1896. රජතුමනි, හැම ලෝ වැසියා මෙරමා සිත් ඉක්ම සිටී සිත් ඇත්තේ ය. හැම ලෝ වැසියා හීනෝත්කෘෂ්ට විසින් සිය සිත්හි සිත් ඇතියේ නම. හැම සත්ත්‍වයෝ වෙනස් වෙනස් සිත් ඇතියෝ ය. ඔවුනතුරෙහි කවර එකක්හුගේ සිත් වශයෙන් පවතී ද?
1897. බිරිඳ සහිත කිඳුරා තුෂ්ණිම්භූත වැ මරණ බය නිසා දැන් බිණිය. දැන් හේ මරණින් මිදුණේ ය. සුවපත් ය. නීරෝග ය. සත්ත්‍වයන්ට වචනය ම හිත සැප ගෙන දේ.
8. තක්කාරිය ජාතක යි.
1898. ගම්වර හා සැරසුණ ස්ත්‍රීන් කාහට දෙම් ද? කවරෙක් මුවන්ගෙන් උතුම් වූ රන්වන් මුවා (ගැන) කියන්නේ ද?
1899. ගම්වර ද සැරසුණු ස්ත්‍රීන් ද මට දෙව. මම තොපට මුවන්ගෙන් උතුම් වූ රන්වන් මුවා (ගැන) කියමි.
1900. මේ වන ළැහැබෙහි පිපුණ අඹගස් ද සල් ගස් ද ඇත. රතිඳුගොව් පැහැය ඇති තෘණ ගැවසුණ මේ බිමෙහි ඒ රන්වන් මුවා සිටී.
1901. රජතෙම දුනුදිය නගා දුන්න සරහා ගෙන පැමිණි යේය. මුවා ද එලෙස එන රජු දැකැ දුර සිට මෙලෙස කීය.
1902. රජතුමනි, බලාපොරොත්තු වනු මැනවි. මා නො විදින්නේ මැනැවි. ඒ රන්වන් මුවා මෙහි සිටිය යි තොපට කවරෙක් කීයේ?
1903. මිත්‍රය, ලාමක ගති ඇති ඒ පුරුෂයා ඈත සිටියි. ඒ රන්වන් මුවා මෙහි සිටී යන පුවත හේ මට කීය.
1904. මේ ලෝකයේ ඇතැම් මනුෂ්‍යයෝ “දියෙහි පා වී යන වියළි දඬුකඩ ගොඩ ලීම මැනැවි. (එහෙත්) ඇතැමකු ගොඩ ගැනීම නො මනාය යි සත්‍යයක් ම බිණූහු.”
1905. රූරු මෘගය, කිමෙක් ද, තෙපි මෘගයන්ට නින්‍දා කරන්නහු ද, පක්‍ෂීන්ට නින්‍දා කරන්නහු ද, මනුෂ්‍යයනට නින්‍දා කරන්නහු ද? මිනිස් බසින් බෙණෙන ඒ බස් අසා මට මහත් බියක් උපදී,
1906. වේගයෙන් ගලන මහ දිය කඳෙහි පා වී යන යමකු ගොඩට නගාලීම් ද ඒ හේතුවෙන් මට බිය පැමිණියේ ය. රජතුමනි, අසත්පුරුෂයන් හා එක්වීම ඒකාන්තයෙන් දුකෙකි.
1907. ඒ මම පියාපත් සතරක් තිබෙන, අහසින් යා හැකි, සිරුර සිඳ ලන, මේ හීය ඔහුගේ හදවතට යවන්නෙමි. යමෙක් කළ උපකාර නො දනී ද එ බඳු මිත්‍රද්‍රෝහියා නසමි.
1908. ජනපතිතුමනි, පණ්ඩිතයාගේ ද මෝඩයාගේ ද විනාශය සත්පුරුෂයෝ ඒකාන්තයෙන් ප්‍රශංසා නො කෙරෙති. පාප පැවැතුම් ඇති (හේ) කැමැති පරිදි ගෙදර යේවා. යමක් මොහුට දෙමි යි කීයේ ද එයත් ඔහුට දෙන්නේ මැනැවි. මම ද තොප කැමැති පරිදි කරන්නෙක් වෙමි.
1909. ද්‍රෝහි මිනිසාට යමෙක් ද්‍රෝහ නො කෙළේ ද මේ රූරු මෘගයා ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගෙන් කෙනෙකි. පාප පැවැතුම් ඇති (හේ) කැමැති පරිදි ගෙදර යේවා. ‘යමක් මොහුට දෙමි’ යි කීයෙම් ද එයත් මොහුට දෙමි. මම ද තොපට කැමැති පරිදි වාසය කරන්නට වර දෙමි.
1910. රජතුමනි, සිවලුන්ගේත් පක්‍ෂීන්ගේත් නාදය පහසුවෙන් තේරුම් ගත හැකිය. මනුෂ්‍යයන්ගේ නාදය තේරුම් ගැනීම ඊට වඩා අපහසු ය.
1911. ඉදින් පුරුෂයෙක් (මේ) නෑයෙක, මිතුරෙක, යහළුවෙක කියා දනී ද, හේ පළමු සතුටු සිතැති වැ පසු වැ සතුරු වන්නේ ය.
1912. රැස් වූ දනවු වැසියෝ ද නියම්ගම් වැසියෝ ද “රජතුමනි, මුවෝ ධාන්‍ය කන්නාහ. රජතුමා, එය වළකන සේක්වා” යී කීහ.
1913. ජනපදය ඒකාන්තයෙන් වැනසේවා. රට ද වැනසේවා. රූරු මුවාට අභය දානය දී (යළිත්) මම ද්‍රෝහ නො කරන්නෙමි.
1914. මගේ ජනපදය වැනැසේවා. රට ද වැනැසේවා. මම මුවරජහට වර දී බොරු නො කියමි.
9. රූරු මෘග ජාතක යි.
1915. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේය, මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
1916. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
1917. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
1918. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
1919. දුකට පැමිණියේ නමුදු නැණවත් පුරුෂයා සැපතට පැමිණීමේ රිස්ස නො සිඳින්නේ ය. නො සිතූ හිතාහිත ස්පර්‍ශයෝ සත්ත්‍වයා වෙත පැමිණෙති.
1920. නො සිතූ දැය සිදු වෙයි. සිතූ දැය නො සිදු වෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතූ ලෙස වස්තුව නො ලැබේ.
1921. පෙරැ ඔබ යම් ගිරි දුර්‍ගයෙක සරභ මුවකු ලුහුබැඳ ගියෝ ද, කරුණා සිතැති උගේ වෑයම නිසා තෙපි ජීවත් වව.
1922. යම් සරභ මුවෙක් ගලෙන් උපක්‍රම යොදා, ගොඩ පැමිණිය නො හැකි නරාවළින් තොප ගොඩ ගත්තේ ද දුකට පත් වැ සිටි තොප මරු මුවෙන් මිදී ද, ධෛර්‍ය්‍යය සම්පන්න සිතැති ඒ මුවාගේ ගුණ කීහු ය.
1923. බමුණ, තෙපි එදා එහි සිටියහු ද? නැතහොත් කිසිවෙක් එය තොපට කීවේ ද? (නැතහොත්) දුරු කළ කෙලෙස් ඇති සර්‍වඥ වූහු ද? තොපගේ නුවණ බලවත් පැවැතුම් ඇත්තේ ය.
1924. ජනපති තුමනි, මම එදා එහි නො වීමි. කිසිවෙකුත් මට එය නො කීය. (එහෙත්) මනා කොට කී ගාථා පදයන්ගේ අර්‍ත්‍ථය නුවණැත්තෝ සොයති.
1925. අන්‍යයන්ගේ වෑයම නසන ඊතලය දුන්නෙහි බහාගෙන ඔබ සැක කරන්නේ කිම? ඊය විද වහා සරභයා නසත්වා. එය උතුම් පැණැති රජුගේ ආහාර යි.
1926. බමුණ, මුවා ක්‍ෂත්‍රියයාගේ ආහාර යි. එය මම ද ඒකාන්තයෙන් දනිමි. පෙරැ කළගුණය පුදන්නෙම්, මම සරඟමුවා නො මරමි.
1927. දිශාධිපති රජතුමනි, මෙතෙම මුවෙක් නො වේ. මෙතෙම අසුරයා ය. නරදෙටුව, මොහු මරා ඔබ ශක්‍ර වන්නේ මනාය.
1928. රජතුමනි, මේ සරභයා මාගේ මිතුරා යයි (යන හැඟීම නිසා) නසන්නට සැක උපදවා ද (එහෙයින්) නරදෙටුව, අඹු දරුවන් සහිත තෙපි යමයාගේ වේතරණී නම් නිරයට යන්නාහුය.
1929. බමුණ, මම ද දනවු වැසියෝ ද පුත්‍රයෝ ද භාර්‍ය්‍යාවෝ ද මිතුරෝ ද යන හැමදෙන යමයාගේ වේතරණී නිරයට ඒකාන්තයෙන් යම්හ. (එහෙත්) යමෙක් මට පණ දුන්නේ ද හේ නො මැරිය යුතු ය.
1930. බමුණ, මේ මුවා මහවනයෙහි හුදෙකලා ව සිටි මට නරාවළෙන් ගොඩ එන්නට උපකාර කෙළේ ය. පෙරැ කළ ඒ උපකාර සිහි කරන්නෙම් දැන දැන ම ඔහු කෙසේ නසම් ද?
1931. මිතුරන් සතුටු කරන ඔබ බොහෝ කල් වෙසෙත්වා. (දශ)රාජ ධර්‍මයෙහි පිහිටා රාජ්‍යයානුශාසනා කෙරෙත්වා. ස්ත්‍රී සමූහයා පිරිවරා ගෙන වෙසෙන ශක්‍රයා මෙන් රටෙහි ප්‍රීතියෙන් වෙසෙත්වා.
1932. නො කිපෙන සතුටු සිතැති (ඔබ) අමුත්තන්ගේ යාචනයට සුදුසු වෙත්වා. හැකි පමණින් දීමත් බිදීමත් කොට නින්‍දා රහිත වැ සැපතින් අග්‍රස්ථානය වන දෙව්ලොවට පැමිණෙත්වා.
10. සරභමිග ජාතක යි.
තේරසක නිපාතය නිමියේ ය.
එහි උද්දානය:
අම්බජාතකය, කුඨාරී (චන්‍දන) ජාතකය, ජවන හංස ජාතකය, චුල්ලනාරද ජාතකය, පස්වැනි දූත ජාතකය ද, යළි කාලිඞ්ග බෝධි ජාතකය, අකිත්ති ජාතකය, තක්කාරිය ජාතකය, රූරුමිග ජාතකය හා සරභමිග ජාතකය දැයි (ජාතක දශය වේ.)
14. පකිණ්ණක නිපාතය
1933. කෝසිය ගොත්හි උපන් බමුණ, ඇල් කෙත සම්පූර්‍ණයෙන් පැසී තිබේ. කෙත ගිරවු කති. එය වළකන්නට නො හැක්කෙමි. එය ඔබට දන්වමි.
1934. එහි ගිරවුන් අතරැ අංගෝපාංග සම්පූර්‍ණ බැවින් සර්‍ව සුන්‍දර වූ ගිරවෙක් වෙයි. හේ රිසි සේ ඇල් වී රස විඳැ වී කරල් රැගෙන යයි.
1935. ඒ පක්‍ෂියා බැඳෙන පරිදි පුඩු අටවා තබත්වා. ජීවග්‍රහයෙන් ම ඔහු අල්ලා මා සමීපයට ගෙනෙව.
1936. මේ පක්‍ෂීහු වී බිදැ පැන් බී ඉවත් වැ යති. හුදෙකලාව මම පුඩුවෙන් බැඳුනෙමි. මා කෙබඳු පාපයක් කරන ලද ද?
1937. ගිරා පෝතකය, සෙසු ගිරවුන්ගේ බඩට වඩා තොපගේ බඩ ඉතා මහත් යයි සිතමි. රිසි සේ ඇල් වී කා තුඩෙනු දු ගෙන යන්නෙහිය.
1938. ගිරවාණෙනි, එහි කොටුගුලක් පුරවන්නෙහි ද? නැතහොත් මා හා වෛරයක් පවතී ද? මිතුර, විතාරන මට කිය. ඇල් වී කොහි තැන්පත් කරන්නෙහි ද?
1939. කෝසිය බමුණ, තොප හා මාගේ වෛරයෙක් නැත. මට කොටුගුලෙකුත් නැත. ඉඹුල් රුකට පැමිණ ණයක් මුදමි. ණය ද දෙමි. එහි නිධානයක් ද නිදන් කරමි. (මෙය) මෙසේ දනුව.
1940. ගිරවාණෙනි, තොපගේ ණය දීම කෙබඳු ද? ණයෙන් මිදීම කෙබඳු ද? නිදන් කිරීම කෙබඳු ද? එකලැ තෙපි පුඩුවෙන් මිදෙන්නහුය.
1941. කෝසිය බමුණ, පියාපත් නො සෑදුණු මාගේ පුත්‍ර පැටවු සිටිති. මා විසින් පෝෂණය කරනු ලැබූ ඔවුහු යළිත් මා පුස්නාහ. එ හෙයින් ඔවුනට ණය දෙමි.
1942. මගේ මවුපියෝ වෘද්ධයහ. ජරාවෙන් යුක්තහ. යොවුන් බව පහව ගොස් ඇත. තුඩින් ගෙන ගොස් (ඇල් වී කරල්) ඔවුනට දී මම පෙර ගත් ණය මුදමි.
1943. එහි ඉතා දුබල නැසුණ පියාපත් ඇති තවත් පක්‍ෂීහු වෙසෙති. පින් සඳහා ඔවුනටත් දෙමි. එය අනුගාමික නිධානය යි නුවණැත්තෝ කියති.
1944. කෝසිය බමුණ, මාගේ ණය දීම මෙබඳු වෙයි. මාගේ ණය මිදීම ද මෙබඳු වේ. කියන ලද නිදන් කිරීමත් මෙලෙස දැන ගනුව.
1945. පියාපත් ඇති මේ පක්‍ෂියා යහපත් ය. ඉතා දැහැමිය. ඇතැම් මිනිසුන් අතර ද මේ ගුණ දහම විද්‍යමාන නො වේ.
1946. සියලු නෑයන් සමග කැමැති පරිදි ඇල් වී අනුභව කරව. යළිදු (තොප) දකිමු. තොපගේ දැක්ම මට ප්‍රිය ය.
1947. කෝසිය බමුණ, තොපගේ නිවෙසෙහි කෑවෙමි. බීවෙමි. තොප කෙරෙහි ඇල්ම ද ඇති විය. බහා ලූ දඬු ඇත්තන්ට දන් දෙව. ජරපත් මවුපියන් පෝෂණය කරව.
1948. පක්‍ෂීන්ගෙන් උතුම් ගිරවා මම දුටුයෙම් ද ඒ මට ශ්‍රී කාන්තාව ඒකාන්තයෙන් පහළ වූවා ය. ගිරවාගේ සුභාෂිත අසා බොහෝ පින් කරමි.
1949. ඒ කෝසිය බමුණා මුදිත වූයේ ප්‍රමුදිත වූයේ, කෑම බිම පිළියෙළ කොට පහන් සිතින් ආහාරපානයෙන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සතුටු කරවී ය.
1. සාලිකේදාර ජාතක යි.
1950. චන්‍ද්‍රාවෙනි, මේ ජීවිතය විනාශය කරා පැමිණියේය යි හඟිමි. (වැගිරෙන) ලෙයෙහි ගිලෙමි. ජීවිතය අත් හරිමි. ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
1951. මාගේ පණ නවතී. මට දුකෙකි. මාගේ හදවත දැවේ. ඉතා ක්ලාන්ත ඇත්තේ වෙමි. මේ මාගේ දුක ශෝක කරන චන්‍ද්‍රාව නිසා උපනි. අන් කරුණ නිසා නො වේ.
1952. රත් වූ ගලෙහි ලූ තණ මෙන් ද මුලසුන් කැලෑ ගසක් මෙන් ද මලානික වෙමි. දිය නො පිරුණු නදියක් මෙන් වියළෙමි. එය ශෝක කරන චන්‍ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වෙයි.
1953. පර්‍වත පාදයෙහි වැසි දිය මෙන් මගේ කඳුළු ධාරා නො සිඳී ගලයි. එය ශෝක කරන චන්‍ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වේ.
1954. රාජපුත්‍රය, යමෙක් දුක්පත් මා කැමැති මාගේ සැමියා වනයෙහි විද්දේ ද (ඒ නුඹ) පාපියෙක් වෙහි. විදුම් ලද හෙතෙම බිමැ හෝනේ ය.
1955. රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ සිත්හි යම් දුකෙක් වේ ද, මාගේ සිත්හි හටගත් දුක තොපගේ මව ද ලබාවා.
1956. රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ හිතෙහි යම් දුකෙක් වේ ද, මාගේ හිතෙහි හටගත් දුක තොපගේ බිරිඳ ද ලබාවා.
1957. රාජපුත්‍රය, යමෙක් අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ මව ද දූදරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා.
1958. රාජපුත්‍රය, යමෙක්, අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ බිරිඳ දරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා යි සාප කළා ය.
1959. චන්‍ද්‍රාවෙනි, නො හඬන්න. දුක් නො වන්න. තී මානෙල් මල් බඳු ඇස් ඇත්තීය. තෙපි රජකුලයේ ස්ත්‍රීන්ගෙන් පිදුම් ලබන්නී මාගේ භාර්‍ය්‍යාව හෙවත් අගමෙහෙසිය වන්නහු ය.
1960. රාජපුත්‍රය, අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා යමෙක් මැරී ද, මම මිය යතත් (ඒ) තොපගේ භාර්‍ය්‍යා නො වෙමි.
1961. තලිස් පතුරු හා තුවරලා ආහාර කොට ගන්නා බියසුලු කිඳුරිය, ජීවත් වන්නට කැමැති නම් හිමවතට යව. වනයෙහි මෘගයෝ තී රමණය කරන්නාහ.
1962. කිඳුරාණෙනි, ඒ පර්‍වත ද ඒ කඳුරැලි ද ඒ පර්‍වත ගුහා ද ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1963. කිඳුරාණෙනි, ව්‍යාල මෘගයන් හැසිරැ පුරුදු කොළ ඇතිරී ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1964. කිඳුරාණෙනි, ව්‍යාල මෘගයන් හැසිරැ පුරුදු රමණීය වූ මල්ඇතිරී ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1965. කිඳුරාණෙනි, පිරිසුදු දිය ඇති කුසුම් විසුරුණු දියදහර ඇති ගිරිනදීහු මෙහි ගලා බසිති. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1966. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ නිල්පැහැති පර්‍වතකූටයෝ වෙති. එහි තොප නො දක්නා මම කුමක් කරම් ද?
1967. කිඳුරාණෙනි, හිමවතෙහි දැකුම්කලු රන්වන් පර්‍වතකූටයෝ වෙති. එහි තොප නො දක්නා මම කුමක් කරම් ද?
1968. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ තඹපැහැති පර්‍වත කූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1969. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ උස් වූ පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1970. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ සුදුපැහැති පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1971. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ විසිතුරු පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1972. කිඳුරාණෙනි, ඔසුයෙන් ගැවැසුණු බූමාටුදෙවියන් සෙවුනා ගඳමහන් පව්වෙහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1973. කිඳුරාණෙනි, ඔසුයෙන් ගැවැසුණු කිඳුරන් සෙවුනා ගඳමහන් පව්වෙහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1974. උතුම් බමුණාණෙනි, යමෙක් දුක්පත් මාගේ සැමියා අමාදියෙන් ඉස්සේ ද, (එ හෙයින්) ප්‍රියතම සැමියා හා එක්වීම් ලදිමි. ඒ ඔබ වඳිමි.
1975. අපි දැන් මලින් ගැවැසුණු දියදහර ඇති නන්වැදෑරුම් තුරුසෙවණ නැමැති වස්ත්‍ර ඇති ගිරිමතින් ඇද හැලෙන නදීන්හි ඔවුනොවුනට ප්‍රිය බස් බෙණෙමින් හැසිරෙම්හ.
2. චන්‍දකින්නර ජාතක යි.
1976. උකුස්සාණෙනි, මාගේ දරුවන් කන්නට රිසිඇති දනවු වැස්සෝ අප වසන දූපතෙහි හුළු බඳිති. එක් වැ හැසිරෙන මිතුරකුට කියව. පක්‍ෂී වූ අපගේ ඥාති ව්‍යසනය උකුසුරජුට කියනු මැනැවි.
1977. උකුසුරජාණෙනි, ඔබ පක්‍ෂීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ පක්‍ෂි වෙති. මම ඔබ සරණ යමි. රුදුරු ජනපද වාසීහු මාගේ දරුවන් කන්නට රිසි වන්නාහ. ඔබ මට සැප පිණිස වෙත්වා.
1978. උකුස්සාණෙනි, ප්‍රාඥයෝ කල්හි දු නො කල්හි දු සැපය සොයන්නාහු උපකාර කරන මිතුරන් සහායයන් ඇති කර ගනිති. එහෙයින් මම ඔබට මේ උපකාරය කරමි. ආචාරසම්පන්න පුද්ගල ආචාරසම්පන්න පුද්ගලහට කටයුතු දෑ කෙරෙයි.
1979. අනුකම්පා ඇති ආචාරසම්පන්න ඔබ විසින් කටයුතු යමක් ඇත් ද, ආචාරගුණ ඇති මට මේ උපකාරය කරන ලදී. තමා රැකෙන්නේ මැනැවි. නො දැවෙන්නේ මැනැවි. ඔබ ජීවත් වන කලැ (අපි) දරුවන් ලබන්නමු.
1980. (මිතුර,) ඔබගේ ම රැකවරණ සඳහා ක්‍රියා කරන මම මැරෙතු දු සන්ත්‍රාසයට පත් නො වෙමි. ඇතැම් මිතුරෝ මිතුරන් නිසා සිය පණ ද අත් හරිති. මෙය සත්පුරුෂ ධර්‍ම යි.
1981. ආකාශචාරී මේ උකුසු පක්‍ෂි තෙමේ අඩරැයක් ගෙවෙන තාක් මිතුරාගේ පුතුන් සඳහා ඉතා දුෂ්කර කාර්‍ය්‍යයක් කෙළේ ය.
1982. දියෙහි වසන මාගේ මිත්‍රය, ඇතැම් කෙනෙක් යසසින් හා ධනයෙන් පිරිහෙත් නමුදු මිතුරනට අනුකම්පාවෙන් පිහිට වෙති. මාගේ පුත්හු කරදරයට පත් වැ සිටිති. පිළිසරණ සොයා පැමිණියෙමි. හිතචර්‍ය්‍යායෙහි යෙදෙනු මැනැවි.
1983. නුවණැත්තෝ ධනධාන්‍යයට ද ජීවිතයට ද වඩා මිතුරාට සහායයාට උදව් කෙරෙති. උකුස්සාණෙනි, ඔබගේ මේ කාර්‍ය්‍යය කරමි. ආචාරසම්පන්නයා ආචාරසම්පන්නයාගේ කාර්‍ය්‍යය ඉටු කෙරෙයි.
1984. පියාණෙනි, ඔබ වෙහෙස නො වනු මැනවි. පුත්‍රයා පියාගේ කාර්‍ය්‍යයෙහි නියුක්ත ව හැසිරෙයි. උකුස්සාගේ දරුවන් රකිමින් මම ඔබගේ මේ කාර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමි.
1985. දරුව, පියාගේ කාර්‍ය්‍යයෙහි පුත්‍රයා නියුක්ත වීම ඒකාන්තයෙන් සත්පුරුෂ ගුණයෙකි. බොහෝ වැඩී ගිය මා දැකැ දනව් වැසියෝ උකුස්සාගේ පුතුන් වෙහෙස නො කරන්නාහු නම් මැනැවි.
1986. මෘගයන් අතරේ වීර්‍ය්‍යය ඇති ශ්‍රේෂ්ඨ රජතුමනි, තිරිසන්නු ද මනුෂ්‍යයෝ ද බියට පත් වූවෝ ශ්‍රේෂ්ඨයකු කරා එති. මාගේ දරුවෝ පීඩිතයහ. පිළිසරණ සොයා ආයේ වෙමි. ඔබ අප රජ වෙති. මාගේ සැපත පිණිස උපකාර වුව මැනැවි.