1802. වලසාගේ ගෙලෙන් සතරඟුලක් (හම) ගෙන නිම් වළල්ලේ යොදා ගනුව හෙවත් සවි කරව. එයින් ඉතා ශක්තිමත් වන්නේ ය.
1803. එකෙණෙහි කොළොම් ගස ද වෛර ඉපැද වීය. උපන්නා වූ ද නූපන්නා වූ ද වලසුන්ට දුක් ගෙන දුන්නේ ය.
1804. මෙසේ කොළොම් ගස වලසාට ද වලසා කොළොම් ගසට ද ඔවුනොවුන් කළ වාදයෙන් ඔවුනොවුන් නස්වාලූහ.
1805. එසේ මනුෂ්‍යයන් අතරේ විවාදයක් හටගනී ද, එය, වලසා හා කොළොම්ගස පරිදි මොනරනැටුම් නටත්. (හෙවත් විවාදාපන්නයෝ උනුන් කුලමල කියා බැණ ගැනීම නිසා තමන්ගේ ඌනතා හෙළිකර ගනිත්.)
1806. තොපට කියමි, යම්තාක් දෙන මෙහි රැස් වූ ද ඒ හැමට සෙත් වේවා. තෙපි වලසා සහ කොළොම් ගස් සේ නො වවු, ප්‍රීත වවු. වාද නො කරවු.
1807. සමගියෙහි ම හික්මෙවු. මෙය බුදුවරයන් විසින් පසස්නා ලද සමගියෙහි ඇලී සුචරිත ධර්‍මයෙහි පිහිටි තැනැත්තේ නිර්‍වාණ සම්පතින් නො පිරිහේ.
2. ඵන්‍දන ජාතක යි.
1808. හංසය, මෙහි (මේ රන්පුටුවෙහි ම) හිඳුව. තොපගේ දැකීම මට ප්‍රිය වේ. තෙපි මෙහි ඉසුරු බවට පත් වූහු. යමක් කැමැති ද එය කියන්න.
1809. ගුණ ඇසීම නිසා කෙනෙක් කෙනකුට ප්‍රිය වෙති. සමහරුන් දැකීම නිසා සමහරකුගේ ආසා පහව යයි. දැකීමත් ඇසීමත් නිසා සමහරු ප්‍රිය වෙති. කිමෙක් ද, දැකීම නිසා ප්‍රිය බව උපදී ද?
1810. හංසය, තොපි මට ඇසීමෙන් ප්‍රිය වූහු දර්‍ශනයට පැමිණ වඩා ප්‍රිය වූහු ප්‍රිය දැකුම් ඇතියේම මා සමීපයේ වෙසෙව.
1811. නිතර සැලැකිලි හා පිදුම් ලබමින් තොපගේ නිවෙසේ (අපි) වසමු. දවසෙකැ සුරාමදයෙන් මත් වැ මට හංසරාජයා (මස් පිණිස) පිසත්වා (යී කියන්නහු ය.)
1812. තොපටත් වඩා මට යම් ආහාරපානයක් ඉතා ප්‍රිය ද ඊට නින්‍දා වේවා. යම්තාක් තෙපි මාගේ නිවෙසේ වෙසෙන්නහු ද ඒ තාක් මත්පැන් නො බොමි.
1813. රජතුමනි, සිවලුන්ගේ ද පක්‍ෂීන්ගේ ද හඬ සුවසේ දත හැකි ය. මිනිසුන්ගේ හඬ දැන ගැනීම ඊට වඩා බෙහෙවින් දුෂ්කර ය.
1814. යම් පුරුෂයෙක් පළමු සතුටු සිතැති වැ (මේ) නෑයෙක, මිතුරෙක යහළුවෙකැ යි සිතා ද හේ පසුව සතුරු වෙයි.
1815. යමකු කෙරේ සිත බැසැගනී ද හේ දුරැවුව ද සමීපයේ එක්වැ වාසය කරන්නේ වේ. බැඳුණු යමකු කෙරෙන් සිත පහව යේ ද හේ සමීපයේ වෙසෙතත් ඈත වාසය කරන්නේ වේ.
1816. පහන් සිතැත්තෙක් මුහුදෙන් එතෙර වෙසෙතත් හේ ඇතුළත (සිතැ) වෙසෙන්නේ වේ. නො පහන් සිතැත්තෙක් ඇතුළතැ වෙසෙතත් හේ මුහුදෙන් එතෙර වෙසෙන්නේ වේ.
1817. මහරජ, යම් කෙනෙක් සතුරු ද ඔහු එක්වැ වසන්නාහු නමුදු වෙන් වැ වෙසෙන්නෝ වෙති. සත්පුරුෂයෝ දුර වෙසෙතත් මෙත් සිත් නිසා ළං වැ වෙසෙන්නෝ වෙති.
1818. දිගු කල් එක් වැ විසීම නිසා ප්‍රියයා ද අප්‍රිය වේ. අප්‍රිය වන්නට පෙරාතු ව තොපට කියා අවසර ගෙන යමු.
1819. මෙසේ දොහොත් මුදුන් දී කරන ඉල්ලීම නොපිළිගන්නේ නම්, ආශ්‍රිතයන් කියන පරිදි නො කරන්නේ නම් නැවත තොප යදිමු. මෙලෙස නැවත ද ගමනාගමනය කරව.
1820. රට වඩන රජතුමනි, මෙසේ වෙසෙන තොපගේ ද මාගේ ද ජීවිතාන්තරායෙක් නො වන්නේ නම් අහෝරාත්‍රයන් දිවිහිමියෙන් ඔවුනොවුන් දකින්නෙමු නම් ඉතා මැනැවි.
3. ජවනහංස ජාතක යි.
1821. තා විසින් දර නො පලන ලද ය. තා විසින් දිය නො ගෙනෙන ලද ය. තා විසින් ගිනි නො දල්වන ලද අන්‍ධ බාලයකු ලෙස සිත සිතා ඉන්නේ කිම?
1822. කාශ්‍යපයන් වහන්ස, ඔබ වහන්සේ අමතමි. වනයෙහි වාසය කරන්නට උත්සාහයක් නැත. වන වාසය දුක් සහිත ය රටට යන්නට කැමැත්තෙමි.
1823. පියාණෙනි, මම මෙ තැනින් ගොස් යම් දනව්වෙක වසම් ද ඒ දනව් සිරිත් පුහුණුවනු සඳහා මට ධර්‍මයෙන් අනුශාසනා කරනු මැනැවි.
1824. ඉදින් වනයත් වනමුලුත් පලාපලත් හැර පියා රටේ විසුම රුස්නේ නම් ඒ දහම් සිරිත් අසව.
1825. විෂය සෙවීම නො කරව. ප්‍රපාතය දුරුකරව. මඩෙහි නො ගිලෙව. සර්‍පයා දුරු කරව.
1826. බඹසැරියන්හට විෂය කුමක් ද? ප්‍රපාතය කුමක් ද? මඩ නම් කුමක් ද? සර්‍පයා යයි කියන්නේ කුමකට ද? විතාළ මට එය කියනු මැනව.
1827. පුතණුවෙනි, ලෝකයේ සිත් ගන්නා වූ සුවඳැතී හිතට ප්‍රිය වූ දඬුවැල් බෑ මීරස වැනි රස ඇති ආසව සුරා නම් වේ. එය බ්‍රහ්මචර්‍ය්‍යාවට විෂ (වේ) යයි ආර්‍ය්‍යයෝ කියති.
1828. පුතණුවනි, ලොවෙහි ස්ත්‍රීහු සිහි මුළාවූවන් මඩිති. සුළඟ රුකින් ගිලිහුණු පුළුන් රොදක් සේ ස්ත්‍රීහු, තරුණයාගේ සිත පැහැරැ ගනිති. නාරදය තෙල බ්‍රහ්මචර්‍ය්‍යයට ප්‍රපාතය යි කියන ලදී.
1829. නාරද, ලාභය, කීර්තිය, සැලැකිල්ල හා අන්‍ය කුලයන්හි පිදුම් ද යන මේ බ්‍රහ්මචර්‍ය්‍යයට පඞ්ක (මඩ) යයි කියන ලදී.
1830. දරුව නාරද, මහ තෙදැති රජවරු පොළොවට අධිපති ව වෙසෙති. ඉසුරෙන් මහත් වූ ඒ රජවරුන් ද සේවනය නො කරව.
1831. ආඪ්‍ය වූ අධිපති වූ ඒ රජුන් සමීප වැ ඇසුරු කොට නො හැසිරෙව. මෙය බ්‍රහ්මචර්‍ය්‍යාවට ආශීර්විෂ යයි කියන ලදී.
1832. ආහාර කැමැත්තේ, ආහාර වේලායෙහි යම් මැ නිවෙසකට එළැඹේ ද එහි යම් තැනක් නිරවද්‍ය යැ යි දන්නේ නම් ආහාර සෙවීම කරන්නේ ය.
1833. ආහාරපාන සඳහා අන් නිවෙසකට ගොස් පමණ දැන කන්නේ ය. පමණ දැනැ අනුභව කරන්නේ ය. ස්ත්‍රී රූපයෙහි හිත නො යොදන්නේ ය.
1834. ගව ගාල ද මත්පැන් හල ද ධූර්‍තයන් හා කපටියන් වෙසෙන තැන් ද ජනයා රැස්වන තැන් ද රන්රුවන් විකුණන තැන් ද, ගිතෙල් තලතෙල් බඳුන් පුරවා ගත් වාහන විෂම මඟ හැර යන්නා සේ දුරින් ම දුරු කරව.
4. චුල්ලනාරද ජාතක යි.
1835. බමුණ, ගං ඉවුරට වී සිතමින් හිඳින තොප වෙත දූතයන් එවීමි. ඔවුන් විතාරන ලද්දේ නමුදු සැඟවී ඇති දුක් සහිත ගුප්ත සිතුවිලි හෙළි නො කෙළේ ය.
1836. කසී රටවාසීන්ගේ රට වඩන රජතුමනි, ඉදින් ඔබ තුමාට උපන් දුක යමෙක් දුරු නො කෙරේ ද ඔහුට ඒ දුක නො කියනු මනා ය.
1837. හටගත් දුක් ඇති (එය) කියන්නා වූ ඔහුගේ දුක යමෙක් ඒකාන්තයෙන් දැහැමින් මුදා නම් ඔහුට ඒකාන්තයෙන් (එය) කියන්නේ ය.
1838. සිවලුන්ගේ ද පක්‍ෂීන්ගේ ද හඬ මැනැවින් දත හැකි වේ. මහරජ (එහෙත්) මිනිසුන්ගේ හඬ දැනැගැනීම ඊට වඩා බොහෝ දුෂ්කර වේ.
1839. යම් පුරුෂයෙක් පළමු සතුටු සිතැති වැ නෑයෙක, මිතුරෙක, යහළුවෙකැ යි සිතා ද හේ පසුව සතුරු වෙයි.
1840. යමෙක් තම දුක නැවත නැවත විචාරන ලද්දේ අයෝග්‍ය අවස්ථාවක කියන්නේ ද ඔහුගේ සතුරෝ (එය අසා) සතුටු වෙත්. ඔහුගේ හිතකැමති මිතුරෝ දුක් වෙත්.
1841. (රහස් කීමට) සුදුසු කාලය දැනැ තමා හා සමාන අදහස් ඇති නුවණැත්තකුට දුක් වීමට හේතු වූ කරුණු කියන්නේ ය. නුවණැත්තේ අර්‍ත්‍ථවත් දෙය මොළොක් බසින් කියන්නේ ය.
1842. ඉදින් තම දුක ඉවසා ගන්නට අපහසු බව දන්නේ ද (එකලැ) ලෝක ධර්‍මයෝ (අටලෝදහම්) මට සැප ලබා දෙන්නට තිබෙන්නාහු නො වෙති යි සිතන නැණවතා හිරි ඔතප් උපදවා ගැනීමෙන් තියුණු දුක් ඉවසන්නේ ය.
1843. රජතුමනි, ගුරුතුමාට දුනමනා ධනය දෙනු කැමැති වැ රටෙහි ද දනවුවල ද රාජධානිවල ද සිඟමින් ඇවිදින්නෙම්.
1844. ජනපතිතුමනි, ගැහැවියන්, රාජපුරුෂයන් මහාසාර බමුණන් යැද රන් නිෂ්ක සතක් ලදිමි. මගේ ඒ ස්වර්‍ණ නිෂ්කයෝ නටහ. එහෙයින් මම බොහෝ දුක් වෙමි.
1845. මහරජතුමනි, ඔබගේ දූත පුරුෂයෝ සිතින් සිතුවාහු නමුදු මා දුකින් මුදන්නට සමත් නො වෙති. එහෙයින් ඔවුනට නො කීමි.
1846. මහරජතුමනි, තෙපි මාගේ දුක සිතින් සිතුවහු මා දුකින් මුදන්නට සමත් වහු. එහෙයින් තොපට කීවෙමි.
1847. කසීරට වාසීන්ගේ රට වඩන රජ තෙම පහන් සිතින් ස්වර්‍ණ නිෂ්ක තුදුසක් ඔහුට දුන්නේ ය.
5. දූත ජාතක යි.
1848. කාලිංග නමැති සක්විති රජ තෙම ධර්‍මානුකූල වැ රාජ්‍යයානුශාසනා කරන්නේ මහානුභාව සම්පන්න ඇතා පිටින් ශ්‍රී මහා බෝධිය වෙත ගියේ ය.
1849. කාලිංග භාරද්වාජ නමැති පුරෝහිත බමුණා බිම විමසා බලා සක්විති වූ තාපස පුතකු වූ කලිඟු රජුට දොහොත් මුදුන් දී ගෙන මෙය කීය.
1850. රජතුමනි, මේ බිම බුදුවරයන් වහන්සේ වර්‍ණනා කළහ. ඇතාගේ පිටෙන් බසින්නේ මැනැවි. මෙහි අප්‍රමාණ බුදුවරු බුදුබව ලබා බබළති.
1851. මේ බිමෙහි තණ හා වැල් දකුණු දෙසට නැමී කැරැකී සිටිති. මේ බිම පොළොවට අලංකාර (දෙන) තැනකි. මහරජ, අප විසින් මෙසේ අසන ලද ය.
1852. සයුර අවසන් කොට පවතින සව් සතුන් දරා සිටින මේ පොළොවට මෙ තැන අලංකාරයකි. මහරජ, ඇතු පිටින් බැසැ නමදිනු මැනැවි.
1853. මව්පිය දෙ පසින් අභිජාත වූ (උපෝසථ කුලයේ ඉපැදුනු සක්විති රජහට පහළ වන) යම් ඇත්තු වෙත් ද ඒ ඇත්තු මේ පෙදෙසට මේ දක්වා නො පැමිණියාහු ය.
1854. තොපගේ ඇත් තෙම (උපෝසථ කුලයෙහි) අභිජාතය. දළැති ඒ උතුම් ඇතා (තමා) රුස්නා පරිද්දෙකින් මෙහෙයව. මෙතෙක් පෙදෙස ඇත්වාහනයෙන් එළැඹෙන්නට හැක්ක.
1855. කලිඟු රජ එය අසා, ලක්‍ෂණ ශාස්ත්‍ර දත් බමුණාගේ කීම පරිදි එය එසේ වන්නේ දැ යි අපි දැන ගනිමු යි (කියා) ඇතා මෙහෙයැවී.
1856. රජතුමා විසින් මෙහෙයැවුණු ඇතා කොස්වා ලිහිණියකු සේ නාද කොට මහ බරක් දරන්නකු ලෙස පසුබැස සිටියේ යැ.
1857. කාලිංග භාරදචාජ බමුණා ඇතා මළ බව දැනැ කලිඟු රජුට වහා කීය. මහරජ, ඇතා මළේ ය. අන් ඇතකු පිට නැගෙනු මැනැව.
1858. කලිඟු රජ එය අසා වහා අන් ඇතකු පිට නැගුනේ ය. රජ මාරු වූ කලැ මළ ඇත් තෙම එ තැනැ ම බිමට වැටීණි. ලක්‍ෂණශාස්ත්‍රය දත් බමුණාගේ කීම යම්සේ ද එසේ ඇතා මළේ ය.
1859. කලිඟු රජ කාලිංග භාරද්වාජ බමුණාට මෙය කීය. තෙපි ම සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්බුදු වෙවයි.
1860. ඒ කීම නො ඉවසන කලිඟු බමුණා මෙසේ කීය. මහරජ, අපි ලකුණු සතර දන්නෝ වෙමු. බුදුවරයෝ ම සියල්ල දත්තෝ ය.
1861. බුදුවරු ලකුණු සතරින් නොව සර්‍වඥතාඥානයෙන් හැම දේ දනිත්, ශිල්ප බලයෙන් අපි එකදෙශයක් දනිමු. බුදුවරයෝ සියල්ල මැනැවින් දත්තෝ ය:
1862. නානාවිධ තූර්‍ය්‍යයන් වාදනය කරනු ලබදදී සුවඳැති මල් ද විලෙවුන් ද ගෙන්වා බෝධිය පුද පවුරෙකින් පිරිකෙව් කැරැවී ය.
1863. කළිඟු රජ තෙම ගැල් සැටදහසක් මල් රැස් කැරැවී ය. උතුම් බෝමැඩ මලින් පිදී.
6. කාලිංගබෝධි ජාතක යි.
1864. භූතාධිපති ශක්‍ර තෙම, අකිත්තී තවුසා දැකැ තවුසාණෙනි, ග්‍රීෂ්ම කාලයෙහි හුදෙකලා ව කවර සම්පතක් පතා තපස් රක්නේ දැ යි ඇසී ය.
1865. ශක්‍රය, පුනර්‍භවය දුකෙකි, ශරීර භේදනය (මරණය) දුකෙකි, සම්මෝහ මරණය දුකෙකි, එහෙයින් තපස් රකිමි යි කීය.
1866. කාශ්‍යපය, තොප කී මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි).
1867. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, ‘පුතුන්, බිරියන්, ධන ධාන්‍ය හා අනෙක් ප්‍රිය වස්තූන් ලැබැ ද සෑහීමකට පත් නො වන ලෝභය මට නූපදීවා’ යන මේ වරය කැමැත්තෙමි (යි කීය.)
1868. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. තෙපි යම් වරයක් කැමැත්තහු ද (එය ගන්නේ මැනැවි.)
1869. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, ‘කෙත්, වතු, රන්, ගවයන්, දාසයන්, කම්කරු පුරුෂයන් යන මොවුන් නිසා හටගත් කෝපයෙන් සිය පිරිහීම වේ ද ඒ ක්‍රෝධය මට නූපදීවා’ යන මේ වරය කැමැත්තෙමි (යි කීය.)
1870. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තවු ද (එය ගන්නේ මැනැවි.)
1871. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවූ නම්, ‘බාලයකු නො දකීවා, ඔහු ගැන අසන්නට නො ලැබේවා, බාලයකු සමග එක් ව වාසයක් නො ලැබේවා, බාලයන් හා ප්‍රිය බස් (හෝ) බණන්නට නො ලැබේවා, එය රිසි නො වේවා, (යි කීය.)
1872. කාශ්‍යපය බාලයා තොපට කුමක් කළේ ද කාශ්‍යපය, බාලයා දැකීම නො රුස්නේ කවර කරුණක් නිසා ද? ඒ හේතුව මට කියව.
1873. බාලයා (ආශ්‍රිතයන්) අනභිවෘද්ධියට පමුණුවයි. අකට යුතු දෙයෙහි යොදයි. උපිළිවෙළ උසස් සේ ගනී. ළෙන්ගතුව කී දෙයිනු දු තදින් කිපෙයි. ආචාර විනය නො දනි යි. එ හෙයින් ඔහුගේ දසුන නො මැනැවි.
1874. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (තෙපි) යම් වරයක් කැමැත්තවු ද (එය ගන්නේ මැනැවි.)
1875. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම් නැණවතා දකිම්වා, නැණවතා ගැන අසම්වා, නැණවතා හා එක් වැ වෙසෙම්වා, නැණවතා හා ප්‍රිය බස් බෙණෙම්වා, එය රිසි වෙම්වා. (යි කීය.)
1876. කාශ්‍යපය, නැණවතා තොපට කුමක් කළේ ද? කාශ්‍යපය, නැණවතා දැකීම රුස්නේ කවර කරුණක් නිසා ද? ඒ හේතුව මට කියව.
1877. නැණවතා (ආශ්‍රිතයන්) අභිවෘද්ධියට පමුණුවයි. කටයුතු දෙයෙහි යොදවයි. මනා පිළිවෙළ උසස් සේ ගනී. ළෙන්ගතුව කී දෙයින් නො කිපෙයි. ආචාර විනය දනි යි. එ හෙයින් ඔහුගේ එක්වීම මනා ය.
1878. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි.)
1879. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, රාත්‍රිය ගෙවී ගොස් සූර්‍ය්‍යොදය වේලෙහි දිව බොජුන් පහළ වේවා, එය පිළිගන්නට සිල්වත් පිළිගාවෝ පැමිණෙත්වා.
1880. මා දෙන්නා වූ දාන වස්තුව අඩු නො වේවා. දානය දී පසුව නො තැවෙම්වා. දෙමිනු දු සිත පහදම්වා. සක් දෙවිඳුනි මේ වරය ඉල්ලමි.
1881. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි.)
1882. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, තෙපි යළිත් මා වෙතැ නො පැමිණෙවු. ශක්‍රය මේ වරය ඉල්ලමි.
1883. බොහෝ ව්‍රතයන් පුරා පුරුෂයෝ ද ස්ත්‍රීහු ද මගේ දසුන කැමැති වෙති. මගේ දැකීම නිසා ඔබට කවර බයක් ඇති වේ ද?
1884. එබඳු දිව්‍යවර්‍ණ සහිත සියලු සැපතින් පිරුණු තොප දැක තවුස්දම් රැක්මෙහි පමා වෙමි. එහෙයින් තොප දකින්නට බය වෙමි.
7. අකිත්ති ජාතකය.
1885. තක්කාරිය, වනයෙහි සපුන් කැඳවන මැඩියකු සේ නාද කරන අඥානයකු වූ මම වැරැදි ලෙස බිණිමි. (එහෙයින්) මේ වළෙහි වැටෙමි, පමණ ඉක්මවා බෙණෙන පුද්ගලයා නුසුදුසු ය.
1886. ඇදුරුතුමනි, පමණ ඉක්මවා බෙණෙන පුද්ගලයා සිරගෙයි වැටීමට, හිංසා පීඩා ලැබීමට, දුක්වීමට හා වැළැපීමට පැමිණේ. යම් හෙයකින් (ඔබ) මේ වළෙහි තමා හෙළත් ද, ඔබ තමාට ම අපහාස කරගන්නෝ ය.
1887. සිය සොහොයුරු කුණ්ඩිලට පිළී නො දෙනුයේ කිම්දැ යි මම කාළිය විතාළෙමි. එ හෙයින් පිළී යුග්මය ද නැති වැ මම නග්න වීමි. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන යැ.
1888. සටන් වැදුණු බැටළුවන් සටනින් මුදන්නට උන් අතරට ගිය ගේ කුරුල්ලා බැටළුඔළු පහර ලැබ තැළී ගියේ ය. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන යැ.
1889. සතර දෙනෙක් ඝන රෙද්දක කොන් සතර අල්ලා මිනිසකු රකිනුවෝ හිස් පැළී ඔවුහු හැම හොත්තාහ. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන ය.
1890. හුණ ලැහැබෙක බඳින ලද එළුදෙන කෙළි දෙළෙන් පා ගසන්නී සඟවා තැබූ අවියක් පෙරැළී ය. එම අවියෙන් ම ඇගේ ගෙල කපාලූ ය. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන ය.
1891. මොවුහු දෙවියෝ නො වෙති. ගන්‍ධර්‍ව පුත්‍රයෝ නො වෙති. මොවුහු මෘගයෝ වෙති. වස්තු ලෝභයෙන් මොවුහු මා වෙත ගෙනෙන ලද හ. එකකු සවසට පිසත්වා. එකකු උදේට පිසත්වා.
1892. දුබැසි බස් ලක්‍ෂයක්, සුබැසි බසක (සොළොස් වැනි) කලාව තරමවත් නො අගනේ ය. දුබස් බිණුමෙන් කිලිටි වේ යන සැකයෙන් කිඳුරා නිහඬ විය. මෝඩ නිසා නො වේ.
1893. මා හා කතා කළා වූ මැය මුදවු. ඇය හිමවත් පව්වට පමුණුවත්වා. මොහු මුළුතැන් ගෙට දෙත්වා. ඔහු උදාසන්හි උදේ ආහාරයට පිසත්වා.
1894. රජතුමනි, තෘණභක්‍ෂක චතුස්පදිකයන්ට වර්‍ෂාව පිහිට වෙයි. මනුෂ්‍ය ප්‍රජාවට සිව්පාවෝ පිහිට වෙති. මම තොප පිහිට කොට ඇත්තෙමි. මගේ බිරිඳ මා පිහිට කොට ඇත්තීය. අපගෙන් එකකු මළ පසු මරණයෙන් මිදුණු අනිකා පර්‍වතයට යන්නේ ය.
1895. රජතුමනි, නින්‍දාව පහසුවෙන් ඉවත් කළ නො හැකිය. නොයෙක් දේ රුස්නා ජනයා ඇසුරු කළ යුතු වේ. යමක් නිසා එකෙක් ප්‍රශංසා ලබා ද එයින් ම අනෙකා නින්‍දා ලබයි.