1712. පාත්‍රය ගෙන හිස මුඩු කොට සඟළ සිවුර පොරොවා ගත් ශ්‍රමණ ප්‍රතිරූපකයෝ නගුලින් සී සාති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එ කලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය,
1713. පැවිදි වූ භික්‍ෂුණීහු හිස මුඩු කොට සඟළ සිවුර පොරොවා ගෙන පස්කම් සුව විඳිමින් හැසිරෙත්. (යම් කලෙකැ මොවුන් මරා මස් කන ලද්දේ ද) එකල මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
1714. උඩුරැවුල වැඩුනා වූ ජටා සහිත වූ මල සහිත දත් ඇති ධූලි සහිත හිස් ඇති තවුසෝ මුදල් පොලී කොට ජීවත් වෙති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ, මෙ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1715. බමුණෝ වේදය ද සාවිත්‍රිය ද යාග විධි ද හදාරා කුලිය සඳහා යාග කරති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1716. ජරාවටපත් වූ මහලු වූ මව්පියන් වත්කම තිබිය දී (යම් කෙනෙක්) පෝෂණය නො කෙරෙත් ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
1717. ජරාවට පත් මහලු වූ මව්පියන්ට තෙපි බාලයෝ යැ යි කියත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1718. ඇදුරු බිරිඳ, මිතුරු බිරිඳ, මයිලණුවන්ගේ බිරිඳ, සහ පියාගේ සොහොවුරිය යන මොවුන් සමග ලෝකයෙහි ආචාරධර්‍ම විරෝධී ව යම් කෙනෙක් හැසිරෙත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1719. බමුණෝ කඩුව හා පළිහ ගෙන කඩු ඔසොවාගෙන මං පැහැරීම කෙරෙත් ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1720. ආලේපයන්ගෙන් ඡවිවර්‍ණය සකස් කර ගත් ධනවත් වැන්දඹුවන් හා හැසිරෙන ස්ථුල හස්තයන් ඇති ස්ත්‍රී ධූර්‍තයෝ (ඒ වැන්දඹුවන් හා) මිත්‍ර භේදයට පැමිණෙත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1721. ලෝකයා රවටන වංචාකාරී දුර්‍ජනයෝ යම් කලෙක ලොවෙහි ඇති වන්නාහු ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
6. මහාකණ්හ ජාතක යි.
1722. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණමි. මා විසින් රැස් කළ ධනයෙක් ද නො ද ඇත. මේ අල්ප ආහාරය ද දුකසේ ලබන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙදෙනකුන්ට පමණ නො වෙයි.
1723. අල්පමාත්‍ර දැයින් අල්පමාත්‍රයක් දෙන්නේ යැ. අණුමාත්‍ර අර්‍ධයෙන් අඩක් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.
1724. කෝසිය සිටාණෙනි, එකරුණෙන් තොපට කියමි; දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1725. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් බුදී නම් ඔහුගේ හෝම සිස් වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සිස් වෙයි.
1726. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1727. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහුගේ දානය සත්‍ය වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සත්‍ය වෙයි.
1728. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව. තෙමේ ද වළඳ කරව. ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව. එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1729. යම් පුරුෂයෙක් (ලවණසමුද්‍ර පුෂ්කරණී ආදි) ජලාශයක් කරා එළැඹැ බලිකර්‍ම කෙරේ ද, බාහුකා නදී යැ ගයාපුෂ්කරණී යැ ද්‍රෝණ තීර්‍ත්‍ථ යැ තිම්බරු තීර්‍ත්‍ථ යැ මහත් වූ ජලප්‍රවාහ ඇති ශීඝ්‍රශ්‍රෝතස් යැ යන මෙහි බලිකර්‍ම කෙරේ ද.
1730. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහු විසින් තෙල තන්හි දු බලිකර්‍ම කරනලද වෙයි. තෙල තන්හි දු ධනෝපායන වීර්‍ය්‍ය කරනලද වෙයි.
1731. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේත් වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකල වැ වළඳනුයේ සුව නො ලබා.
1732. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ අහර වළඳ කෙරේ ද, හේ දීර්‍ඝසූත්‍රයක් ඇති බන්‍ධන සහිත වූ බිලියක් ගිලියි.
1733. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේ ද වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1734. මේ බ්‍රාහ්මණයෝ උදාරවර්‍ණ ඇතියාහු මැ යැ. තොපගේ මේ සුනඛ තෙම කවර හෙයින් හීන ප්‍රණීත පැහැසටහන් විකුර්‍වණ (නිර්‍මාණ) කෙරේ ද? බ්‍රාහ්මණයෙනි, අපට කියව, තෙපි කවරහු ද?
1735. සඳ හිරු දෙදෙන මෙහි ආහ. මේ වූකලි දේවසාරථි වූ මාතලී වෙයි. මම තිදස්වැසි දෙවියනට අධිපති සක්දෙව්රජ වෙමි. තෙල තැනැත්තේ ‘පඤ්චසිඛ’ යැ යි කියනු ලැබේ.
1736. අත්තල නාදයෝ ද මිහිඟුබෙර හඬ ද මුරජ බෙර හඬ ද පණාබෙර හඬ ද නිදිගත් මොහු පුබුදු කෙරෙති. පිබිදියේ තුටු වේ.
1737. යම්කිසි කෙනෙක් මසුරු වූවාහු තදමසුරු වූවාහු මහණ බමුණන්ට පිරිහෙළා කථා කරන්නාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කාබුන් මරණින් මතු නිරයට යති යි.
1738. යම්කිසි කෙනෙක් සුගතිය පතන්නාහු සංයම සංඛ්‍යාත දශශීලධර්‍මයෙහි ද සංවිභාග සංඛ්‍යාත දානධර්‍මයෙහි ද සිටියාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කායභේදයෙන් මතු සුගතියට යති යි.
1739. තෙපි පූර්‍වජාතියෙහි අපගේ ඥාති වූවාහු යැ. ඒ තෙපි මසුරු වවු. රොස්පරොස් බස් ඇතියහු. පාපධර්‍ම ඇතියහු යැ. තොපට වැඩ සඳහා මැ මෙහි ආම්හ. පාපධර්‍ම ඇතියහු නිරයට නො යව.
1740. යම්හෙයෙකින් තෙපි මට මැනැවින් අනුශාසනා කරවු ද, එහෙයින් ඒකාන්තයෙන් මැ තෙපි මට හිත කැමැත්තවු යැ. හිත කැමැතියන් විසින් කියනලද සියල්ල ඒ මම එසේ මැ කරන්නෙමි.
1741. තෙල මම් අද මැ මසුරු බැවින් වෙන් වෙමි. මම කිසි පවකුදු නො කරමි. (මෙතැන් පටන්) නො දියැයුතු කිසිවක් මට නැත. කිසිවක්හට නො දී මම දියපතකුදු නො බොමි.
1742. සක්දෙව්රජුනි, හැම කල්හි දෙන්නා වූ මාගේ මේ භෝගයෝ ක්‍ෂය වන්නාහ. සක්දෙව්රජුනි, එකල්හි මම (වස්තුකාම ක්ලේශකාම විසින්) ශේෂ වැ සිටි කාමයන් හැරපියා පැවිදි වන්නෙමි යි.
7. කෝසිය ජාතක යි.
1743. මෙලොව යම් කෙනකුන්ගේ සත්පියවරක් පමණ මිත්‍රසන්‍ථවයකුදු කිසිකලෙකත් ඇස්හමු නො වූ විරී ද, එබඳු සතුරෝ දෙදෙනෙක් මිත්‍ර වූවාහු කවර හෙයින් ඝටිත වැ හැසිරෙත් ද?
1744. ඉදින් අද පෙරබත් වේලෙහි තෙල ප්‍රශ්නය මට කියන්නට නොහැකි වන්නවු නම් තොප හැමදෙනා නෙරනෙමි. නුනුවණ සැහැවි ඇතියන්ගෙන් මට අර්‍ත්‍ථයෙක් නැත් මැ යි.
1745. මහාජනසමාජයෙහි මහත් වූ ජනකලහසමාගම හටගත් කල්හි විසුළ සිත් ඇතියමෝ නොයෙක් සිතිවිලි ඇතියමෝ තෙල ප්‍රශ්නය කියන්නට නො හැකියම්හ.
1746. රජතුමනි, මේ ප්‍රාඥයෝ එකඟසිත් ඇතියාහු එකිනෙකා රහසිගත වැ කායචිත්තචිවෙකයෙහි සිටියාහු සම්මර්‍ශන කොට අර්‍ත්‍ථ නිශ්චය කොට ඉක්බිති තෙල අර්‍ත්‍ථය කියන්නාහ යි.
1747. එළුමස් අමාත්‍යපුත්‍රයනට ද රාජපුත්‍රයනට ද ප්‍රිය මනාප වෙයි. ඔහු ශුනකමාංස භක්‍ෂණ නො කෙරෙති. එතෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළුබවෙක් වන්නේ යැ යි.
1748. අසුපිට අතුරුණු සුව හෙයින් එළුවාගේ සම වෙන් කොට ගනිත්. ඔහු ශුනකයාගේ සම නො අතුරති, එතෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළුබවෙක් වන්නේ යැ.
1749. එළුවා ඇඹරුණු අං ඇත්තේ යැ. ශුනකයාට අං නැත. එළුවා තණ කන්නේ යැ. ශුනකයා මාංසභක්‍ෂණ කරන්නේ යැ. එතෙකුදු වත් සුනඛයකු හා සමග එළුවාගේ යහළු බවෙක් වන්නේ යැ යි.
1750. එළුවා තණ කන්නේ යැ. කොළ කන්නේ යැ. ශුනකයා තණ නො කයි. කොළ නො කයි. ශුනකයා සාවා, බළලා අල්වා ගන්නේ යැ. එකෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළු බවෙක් වන්නේ යැ යි.
1751. පා සතරක් ඇති නිය අටක් ඇති මෙ එළුවා අප්‍රකට වැ තෙල ශුනකයාට මස් ගෙන එයි. මේ ශුනක තෙම මේ එළුවාට තණ ගෙන එයි.
1752. ප්‍රාසාදතලයට ගිය වේදේහ රජ අන්‍යෝන්‍ය ආහාර ව්‍යතීහාරය (හුවමාරුව) දුටුයේ වන. නරේන්‍ද්‍ර තෙම ශුනකයාගේ ද එළුවාගේ ද තෙල මිත්‍රධර්‍මය ආත්මප්‍රත්‍යක්‍ෂ කොට දුටුයේ යැ යි.
1753. යම්බඳු මාගේ කුලයෙහි මෙවන් පණ්ඩිතයෝ ඇද්ද? ඒ මට ඒකාන්තයෙන් අනල්ප ලාභයෙකි. ප්‍රාඥයෝ ගැඹුරු වූ නිපුණාර්‍ත්‍ථය සුභාෂිතයෙන් දැන කියති.
1754. පණ්ඩිත වූ තොපට එකෙකි අශ්වතරී රථයක් ද එකෙකි සමෘද්ධ වූ ගම්වරයක් ද යන සියල්ල දෙමි. සුභාෂිතයෙන් අතිශයින් සතුටු වූ සිත් ඇතියෙමි’යි.
8. මෙණ්ඩකප්‍රශ්න යි.
1755. අන් කෙනෙකුගේ ලොකු කුඩා වැරැදි සියලු ආකාරයෙන් නො දැක, නො විමසා රජ තෙම දඬුවම් නියම නො කරන්නේ ය.
1756. කිසියම් ක්‍ෂත්‍රියයෙක් (රජෙක්) නුවණින් නො සිතා (කෙනකුට) දඬුවම් නියම කෙරේ ද හේ කටු සහිත ආහාරය ගිලී. මැස්සන් සහිත බොජුන් බුදිනා ජාත්‍යන්‍ධයකු මෙන් වෙයි.
1757. යමෙක් දඬුවම් නොදිය යුත්තාට දඬුවම් කෙරේ ද දඬුවම් දිය යුත්තාට දඬුවම් නො කෙරේ ද හේ විෂම මඟට පැමිණියා වූ අන්‍ධයකු පරිද්දෙන් පාෂාණනාදියෙහි පැකිළෙන්නේ සම අසම දෙක නො දනී. (මහත් වූ අපාය දුකට පැමිණෙයි.)
1758. යමෙක් මේ ලොකු කුඩා කරුණු සර්‍වප්‍රකාරයෙන් මනාකොට දැන (දැකැ) අනුශාසනා කෙරේ ද හේ ඒකාන්තයෙන් රාජ්‍යානුශාසනයට සුදුසු වෙයි.
1759. ඒකාන්ත මොළොක් පැවැත්මෙන් ද, ඒකාන්ත තියුණු (රළු) පැවැත්මෙන් ද තමා ආධිපත්‍යයෙහි තබවන්නට නො හැකි වෙයි. එහෙයින් (මොළොක් වූ ද, රළු වූ ද, දෙයාකාරයෙන් හැසිරෙන්නේ ය.
1760. මොළොක් වූවහුට මහජනයා අවමන් කරයි, රළු වූවහුට මහජනයා සතුරු වෙයි. මේ දෙයාකාරය දැනැ මධ්‍යස්ථ ව හැසිරෙන්නේ ය.
1761. රාගයෙන් රත් වූයේ බොහෝ දේ කියන්නේ ය. ද්වේෂයෙන් දූෂිත වූයේ ද බොහෝ දේ කියන්නේ ය. මහරජ තුමනි, ස්ත්‍රිය නිසා පුත්‍රයා නසන්නට නො වටී.
1762. ලෝ වැස්සා එක් පක්‍ෂයක් විය. මේ ස්ත්‍රී හුදෙකලා වූවා ය. එහෙයින්, මම ස්ත්‍රියගේ කීම පිළිපදින්නෙමි. යවු, ඔහු ප්‍රපාතයේ දමවු.
1763. තල්ගස් ගණනක් බහා ලන්නට තරම් ගැරැඹුති, එතර වන්නට අපහසු නරකයක් වැනි ගිරි දුර්‍ගයේ දමා ලූ ඔබ වහන්සේ නො මළේ කිම?
1764. ඒ පර්‍වත ප්‍රපාතයේ උපන් ශක්ති සම්පන්න වූ නාගයෙක් මා දරණ–වැළින් පිළිගත්තේ ය. එහෙයින් එහි දී මම නො මළෙමි.
1765. රාජ පුත්‍රය, එව, තොප සිය නිවසට ගෙන යන්නෙමි. පින්වත, රාජ්‍යය කරන්න. වනයෙහි කරන්නේ කුමක් ද?
1766. ගිල්ලා වූ බිළිය ලේ සහිතව උදුරා දමන්නේ යම් සේ ද, උදුරාලූ පසු සුවපත් වනුයේ යම්සේ ද එපරිද්දෙන් මා ද සුවපත් වූවකු ලෙස දකිමි.
1767. තෙපි කුමකට බිළිය යි කියවු ද? කුමකට ලේ සහිතය යි කියවු ද? කුමක් උදුරාලූය යි කීවහු ද? විතාළ මට එය කියව.
1768. මම කාමයන් බිළිය යි කියමි, ඇතුන් අසුන් (ඇති බව) ලේ සහිත යයි කියමි, හළුවා වූ දෙය උදුරා ලූ දෙය යයි කියමි ක්‍ෂත්‍රියය, එය මෙසේ දැන ගනුව.
1769. එ සමයෙහි මව චිංචාමාණවිකා ය. පිය රජ දෙව්දත් තෙර ය. නැණවත් නාගයා ආනන්‍ද තෙර ය. දිව්‍යපුත්‍රයා සැරියුත් රහතන් වහන්සේ ය. රාජපුත්‍රයා මම වෙමි. මේ ජාතකය මෙසේ දරා ගනිවු. (සිතැ තබා ගනිවු)
9. මහාපදුම ජාතක යි.
1770. නැණවත් පුරුෂයා ඇසින් දැක, කනින් අසා කවර කර්‍මයන් කරන්නහු මා සතුරෙකැ යි දැනගන්නේ ද, එය දැන ගැනීමට නැණවතා කෙසේ වෑයම් කටයුතු ද?
1771. මිත්‍ර ප්‍රතිරූපකයා, මිතුරා දැක ද සිනා නො වෙයි. සතුටු නො වෙයි. ඇස් ඇර බැලීම ද නො කෙරෙයි. මිතුරා කරන කතාවට ද විරුද්ධ වේ.
1772. ඔහුගේ සතුරන් භජනය කෙරෙයි. ඔහුගේ මිතුරන් භජනය නො කෙරෙයි. ගුණ කියන්නවුන් වළකයි. නුගුණ කියන්නවුන් පසයයි.
1773. සැඟවියයුතු දෙය ඔහුට නො කියයි. ඔහුගේ සැඟවිය යුතු දෙය නො සඟවයි. ඔහුගේ වැඩ නො පසසයි. ඔහුගේ නුවණ නො පසසයි.
1774. ඔහුගේ පරිහානියේ දී සතුටු වෙයි. ඔහුගේ දියුණුවේ දී සතුටු නො වෙයි. රසවත් බොජුනක් ලද විටෙක ඔහු සිහිපත් නො කරයි. එයින් ඔහුට සංග්‍රහ කරන්නට තරම් සානුකම්පික නො වෙයි. මෙයින් නො සතුට ලබන්නේ ය.
1775. මෙසේ, සතුරා කෙරේ පිහිටි මේ සොළසාකාර ලකුණෙන් පණ්ඩිත පුරුෂයා සතුරා දැක ද අසා ද දැනැ ගන්නේ ය.
1776. කෙබඳු දේ කරන්නකු ඇසින් දැකැ කනින් අසා මේ මගේ මිතුරෙකැ යි නැණවත් පුරුෂයා දැනැ ගන්නේ ද එය දැනැ ගැනීමට නැණවත් පුරුෂයා කෙසේ වෑයම් කටයුතු ද?
1777. විදේශයට ගිය ඔහුගේ මිතුරා සිහිකරයි. ආපසු පැමිණි මිතුරා දැක ඉතා සතුටු වෙයි. ඉක්බිති මමායනය කරන්නේ වෙයි. ප්‍රිය බසින් සල්ලාපයේ යෙදෙමින් ප්‍රීත වෙයි.
1778. ඔහුගේ ම මිතුරන් භජනය කරයි. ඔහුගේ සතුරන් භජනය නො කරයි. නින්‍දා කරන්නන් වළක්වයි. ගුණ කියන්නන් පසසයි.
1779. සැඟවියයුතු දෙය ඔහුට කියයි. ඔහුගේ සැඟවිය යුතු දෙය සඟවයි. ඔහුගේ වැඩට පැසසුම් කරයි. ඔහුගේ නුවණට පැසසුම් කරයි.
1780. ඔහුගේ දියුණුවෙහි සතුටු වෙයි. ඔහුගේ පරිහානියෙහි නො සතුටු වෙයි. රසවත් බොජුනක් ලද විටෙක ඔහු සිහිපත් කරයි. එයින් ඔහුට සංග්‍රහ කරන්නට තරම් සානුකම්පක වෙයි. මෙයින් සතුටක් ලබන්නේ ය.
1781. මෙසේ මිතුරා කෙරේ පිහිටි මේ සොළසාකාර ලකුණෙන් පණ්ඩිත පුරුෂයා මිතුරා දැක ද අසා ද දැනැ ගන්නේ ය.
10. මිත්තාමිත්ත ජාතක යි.
දොළොස්වැනි නිපාතය නිමි.
එහි උද්දානය:
ලහුචිත්ත (වූලකුණාල) ය, භද්දසාල ය, කසන්ති (සමුද්දවාණිජ) ය, කාම ය, දස බලු (ජනසන්‍ධ) ය, කණ්හ (මහාකණ්හ) ය, කෝසිය ය, මෙණ්ඩක ය, මහාපදුම ය, මිත්තාමිත්ත ය යි දශ ජාතකයෝ වෙත්.
13. තේරසක නිපාතය
1782. බඹසැරිය, ලොකු කුඩා අඹ පෙර (තෙපි) මට ගෙනාවහු ය. තොපගේ ඒ මන්ත්‍ර බලයෙන් දැන් අඹ පහළ නො වෙ යි. (අඹ නො සෑදේ.)
1783. නැකැත් යෝගය ගරු කරමි. හෙවත් පරීක්‍ෂාවෙන් සිටිමි. ක්‍ෂණය (නැකැත) සුභ මොහොත මා තුටු නො කෙරේ. නැකැත් යෝගයත් සුභ මොහොතත් ලැබ නැවත බොහෝ අඹ ගෙනෙන්නෙමි.
1784. නැකැත් යෝගයක් (එහි අවශ්‍යතාව) පෙරැ නො කීය. සුභ මොහොත තිබියයුතු යයි නො කීය. එහෙත්, පැහැයෙන් සුවඳින් හා රසයෙන් යුතු අඹරැසක් ගෙනාවේ ය.
1785. බමුණ, මන්ත්‍ර ජල්පනයෙන් පෙරැ තොපට අඹ ගසේ ඵලයෝ පහළ වූහ. ඒ තෙපි අද මතුරු දපන්නේ නමුදු ගස පල ගන්වන්නට අපොහොසත් වූහු. අද තොපට මේ වූයේ කුමක් ද?
1786. සැඬොල් පුතෙක් දැහැමින් හෙවත් පාරිතොෂිකයක් හෝ නො ගෙන මට මන්ත්‍රය දිනි. (ඉදින්) මතුර දුන්නහු (කවුරුන් හෝ) පිළිවිසියේ නො සඟවා කියව. (එය) මතුරු තා නො හරින්නට හේතු ය.
1787. රජතුමා විසින් ජනයා මැද මා විතාළේ ගුණමකු වැ මම බොරු කීවෙමි. මේ මතුර බමුණකුගෙන් ඉගෙන ගත්තේ යයි කීම බොරු ය. මන්ත්‍ර නැති ව ගියෙන් අසරණ ව අඬමි.
1788. මී සොයන්නෙක්, එරඬු ගසෙහි හෝ කොහොඹ ගසෙහි හෝ එරබදු ගසෙහි හෝ බඳනා ලද මීයක් ලබා ද ඒ ගස ඔහුට උතුම් වේ.
1789. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර ,චණ්ඩාල හෝ පුක්කුස යන මොවුනතර කාගෙන් හෝ දහමක් දත්තේ නම් හේ ඔහුට උත්තමයෙක් වේ.
1790. යමෙක් දුකසේ ලද උතුම් වස්තුව (මතුරු) අධික මානය නිසා නසාපී ද, ඔහුට දඬුවම් හා හිංසා කොට බොටුවෙන් ගෙන ඇද දමවු.
1791. වළ, ගුහාව, ප්‍රපාතය, නරාවළ යන තැන් සම තැන් යයි සිතන්නේ වැටේ ද රැහැන යන හැඟීමෙන් සර්‍පයකු මඩී ද අන්‍ධයෙක් ගින්න මඩී ද එ පරිදි (සිතා) සප්‍රාඥ වූ ඔබ වහන්සේ, නටුවහුට නැවත මතුර දෙන්නේ මැනැවි.
1792. දැහැමි පරිදි තොපට මතුර දුනිමි. තෙපි ද එසේ එය ගත්තහු ය. සතුටු සිතැතියාගේ ප්‍රකෘතිය තොපට කීමි. ධර්‍මයේ පිහිටියේ නම්, මන්ත්‍රය තොප අත් නො හරින්නේ ය.
1793. මෙ කල, මිනිස් ලොව දුර්‍ලභ වූ දුකසේ ලද මතුරත් මහන්සි ව ගෙන ගිය දිවිපැවැත්මත් දුෂ්ප්‍රාඥ තෙමේ බොරු බස් කියමින් වැනැසී ය.
1794. නුවණ රහිත වූ කළගුණ නො දත්තා වූ බොරු කියන සංයමයක් නැත්තා වූ එ බඳු නුගුණයකුට මතුර නො දෙමු. තොප මට නුරුස්නේ ය. මොන මතුරක් ද? (මෙතැනින්) යව.
1. අම්බ ජාතක යි.
1795. පොරොවක් අතින් ගත් පුරුෂයෙක් වන වැද සිටී. මිතුර, විතාළ මට කියව, කෙබඳු දැවයක් (ගසක්) කපන රිස්සේ ද?
1796. වලස් වූ තෝ සම විසම වනයන්හි හැසිරෙන්නෙහි. මිතුර, විතාළ මට කියව. නිම්වළල්ලක් තැනීමට ශක්තිමත් දැව (වර්‍ගය) කුමක් ද?
1797. නිම්වළල්ල තැනීමට සල්, කිහිරි අස්කන් (අශ්වකර්‍ණ) ගස් සුදුසු නො වේ. කිහිරි ගස කෙසේ යෝග්‍ය වේ ද? නිම්වළල්ල තැනීමට කොළොම්දැව ශක්ති සම්පන්න වේ.
1798. මිතුර, ඒ (කොළොම්) ගසේ කොළ කෙබඳු ද? කඳ කෙබඳු ද? කොළොම්ගස (අපි) යම්සේ හඳුනා ගනිමු ද, එසේ විතාළ මට කියව.
1799. යම් ගසක ශාඛාවෝ එල්බැ සිටිත් ද නැමෙත් ද (එහෙත්) නො කැඩෙත් ද ඒ ගස ඵන්‍දන නම් වේ. ඒ ගසැ මුල මම සිටිනේ වෙමි.
1800. රියෙහි අර, සක්නැව, රියහිස්, නම්වළ යන මේවා තැනීමට මේ කොළොම්ගස කර්‍මණ්‍ය හෙවත් යෝග්‍ය වේ.
1801. මෙසේ කී මොහොතේ ම කොළොම්ගස අරක් ගත් දෙවියා ද මෙලෙස කීය. භාරද්වාජය, මගේ කීමෙක් ද ඇත. එය ද අසව.