චතුද්වාර ජාතක යැ කණ්හ ජාතක යැ චතුපෝසථික ජාතක යැ සඞ්ඝජාතක යැ කණ්හදීපායන ජාතක යැ නිග්‍රෝධ ජාතක යැ තක්කළ ජාතක යැ මහා ධම්මපාලජාතක යැ කුක්කුටජාතක යැ මට්ටකුණ්ඩලී ජාතක යැ බිළාර කෝසිය ජාතක යැ චක්කවාකජාතක යැ භූරිපඤ්ඤජාතක යැ මහාමඞ්ගල ජාතක යැ ඝතජාතක යි සොළසෙකි.
11. ඒකාදසක නිපාතය
1532. මාගේ පුත්‍රයා වන ඇතා වෙන් ව ගිය නිසා ඉඳුසල් ගස් කෙළිඳ ගස් හා කුරුඳු ගස් ද ඉළුක් ආදි තෘණ වර්‍ග ද බොඩහමු ගස් ද වැඩුණාහ. කඳු පමුලැ කිණිහිරි ගස්හි මල් පිපී ගියහ.
1533. යම් කිසි තැනෙකැ රන් අබරණ සහිත රාජ රාජමහාමාත්‍යයෝ ඇතා ආහාරයෙන් පෝෂණය කරත් ද. යම් ඇතකු පිට රජෙක් හෝ රාජ කුමාරයෙක් හෝ හිඳ ගෙන බිය රහිත ව සතුරන්ගේ යුද ඇඳුම් විනාශ කෙරේ ද,
1534. නාගය, (හස්තිය) ආහාර අනුභව කරව. නාගය, කෘශ නො වව, රාජ කටයුතු බොහෝ ඇත. ඒ කටයුතු කරන්නෙහි ය.
1535. දුකට පත් වූ අන්‍ධ වූ අසරණ වූ ඒ මාගේ මව් ඇතිනි (හඬමින්) චණ්ඩොරණ පව්වෙහි කිලිඟුරන් (දැවකඳන්) පයින් පොළතී සිතමි.
1536. මහානාගය, අන්‍ධ වූ මඟ පෙන්වන්නකු නැති ද චණ්ඩොරණ පව්වෙහි කිළිඟුරන් පයින් පොළන ඕ තොපට කවරක් වේ ද?
1537. මහරජ, අන්‍ධ වූ මඟ පෙන්වන්නකු නැති චණ්ඩොරණ පව්වෙහි කිළිඟුරන් පයින් පොළන මාගේ මෑණියෝ ය.
1538. යම් ඇතෙක් මව පෝෂණය කෙරේ ද ඒ ඇතා මුදවු. සියලු නෑයන් සමග (ගොස්) ඇතා මව හා එක් වේවා!
1539. කසී රජු විසින් බැම්මෙන් මුදවා යැවූ ඇතා මොහොතක් විඩා හැර, පව්ව යම් තැනක ද (එතැනට) ගියේ ය.
1540. ඉක්බිති ඒ ඈතා සිහිල් දිය ඇති ඇතුන් ගැවසුන විලට ගොස් සොඬින් දිය ගෙන මවට ඉස්සේ ය.
1541. නො කල්හි වස්නා මේ නොහොබනා වැස්ස කුමක් ද? යමෙක් මට උපස්ථායක ව සිටියේ ද ඒ මාගේ පුත්‍රයා ගියේ ය.
1542. අම්මෙ, නැගිටින්න. වැතිර සිටින්නේ කිම? ඔබේ පුතා වන මම ආවෙමි. නුවණැති පිරිවර ඇති කසී රජ විසින් මම මුදනු ලදිමි.
1543. හැම දා වැඩිහිටියන් සලකන යමෙක් මාගේ පුතා නිදහස් කෙළේ ද කසී රැටියන්ගේ රට දියුණු කරන ඒ රජ සැරදේවා.
1. මාතුපෝසක ජාතක යි.
1544. රජතුමනි, මාගේ කීම ඇසුවමනා ය. ප්‍රයෝජනයක් සලකා ගෙන ජුණ්හ (නම්) ඔබ වෙත පැමිණියෙමි. දෙපා ඇත්තන් අතර උතුම් වූ රජතුමනි, බමුණන් ද මගියන් ද පැමිණ සිටිය දී (ඔවුන්) නො බලා යායුතු යයි (පඬිවරු) නො කියති.
1545. බමුණ, (ඔබ කීම) අසමි. (මෙහි) සිටිමි, කියව. යම් ප්‍රයෝජනයක් සලකා මෙහි ආයෙහි ද ? මා කෙරෙහි වූ කුමක් පතමින් මෙහි ආයෙහි ද ? බමුණ, එය වහා කියව.
1546. ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියක් ද දහසකට වැඩි ස්වර්‍ණ නිෂ්ක ද (ජාතිකුලාදීන්) මා හා සමාන බිරියන් දෙදෙනකු ද මට දුන මැනැවි.
1547. බමුණ, ඔබට උසස් වූ තාපස ගුණධර්‍මයෙක් ඇත් ද නැතහොත් විසිතුරු වූ මන්ත්‍ර තිබේ ද, නැතහොත් සුවච වූ කිසි යක්‍ෂ කෙනෙක් හෝ සිටිත් ද, නැතහොත් ඔබ විසින් මට කළ කිසියම් හිතකර කිසිවක් දන්නෙහි ද?
1548. මට තපසෙක් නැත, මන්ත්‍ර ද නැත, සුවච යක්‍ෂයෝ ද නැත. ඔබට කළ යහපතකු දු නො දනිමි. පෙරැ ඔබ හා සමාගමය පමණෙක් විය.
1549. දන්නා වූ මට මේ පළමු වර දැක්මයි. මීට පෙරැ ඔබ නො හඳුනමි. කවදා කො තැනෙකැ අප හමුවීම සිදුවී ද? පුළුවුස්නා ලද මට මෙය කියව.
1550. දේවයන් වහන්ස, ගන්‍ධාර රජතුමාගේ රම්‍ය තක්සලා නගරයෙහි විසූම්හ. එහි ගනඳුරු (පැවැති) රැයෙකැ අංසයෙන් අංසය ගැටූමු.
1551. මහරජ, අපි එහි දී සිහි කළ මනා කතා කෙළෙමු. අප හමුවීම එ පමණෙකි. ඉන්පසු හමුවීමෙක් නො වීය. ඉන් පෙරැ ද නො වීය.
1552. බමුණ, යම් කලෙක සත්පුරුෂයන් හා හමුවීමෙක් වේ ද මොහොතක් පැවැති එකතුව හෝ බොහෝ කලක් පැවැති එක්වීම හෝ පෙර කළ දැය හෝ පඬිවරු විනාශ නො කරත්.
1553. අඥයෝ මොහොතක් කල් හෝ බොහෝ කලක් හෝ පැවැති එකතුව නසත්, කළ ගුණ ද නසත්. බාලයන් කෙරේ කළ හොඳ වැනැසේ. ඒ එසේ මැ යි. අඥානයෝ කළ ගුණ නො දන්නාහු ය.
1554. ප්‍රාඥයෝ හමුවීම හෝ එක්ව වාසය හෝ පෙරැ කළ උපකාරයන් (දන්නා ගුණය) නො නසත්. නුවණැතියන් කෙරේ කළ හොඳ නො නැසේ. ඒ එසේ මැ යි. නැණැත්තෝ කළ ගුණ දන්නාහු ය.
1555. ඔබට ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියයක් ද දහසකට වැඩි ස්වර්‍ණ නිෂ්ක ද සමාන බිරියන් දෙදෙනකු ද දෙමි.
1556. රජතුමනි, සත්පුරුෂයන් හා එකතු වීම නිසා මෙසේ එය වෙයි. කසී රටේ අධිපති රජ, තාරකා මැද සඳසේ (ක්‍රමයෙන්) පිරෙයි. මම ද අද ඔබතුමා දුන් ගම්වරාදීන් නිසා එසේ වෙමි. දැන් මා විසින් තොප හා සඞ්ගමය ලබන ලදි.
2. ජුණ්හ ජාතක යි.
1557. මම දෙවිමිනිසුන්ට යශස ගෙන දෙන්නෙක්මි. මම පින් කරන්නෙක්මි. මහණ බමුණන් විසින් නිතර පසස්නා ලද්දෙමි. මාර්‍ගය ලබන්නට සුදුස්සෙක්මි. දෙවිමිනිසුන්ගේ පිදුම් ලද්දෙම් වෙමි. අධර්‍ම නම් දිව්‍යපුත්‍රය, මම ධර්‍ම දිව්‍යපුත්‍රයා වෙමි. මට මඟ දුන මැනැවි.
1558. (දැහැමි නම් දේවපුත්‍රය,) මම නො දැහැමි දෙවියා වෙමි. මම ශක්තිමත් අධර්‍ම යානයට නැඟ ගතිමි. බලවතෙක් වීමි. මිතුර, කිසිවෙකුටත් නුදුන් විරූ මඟ කවර හෙයින් අද මම ඔබට දෙම් ද?
1559. ලොවෙහි පළමු වැ ධර්‍මය පහළ විය. පසු වැ අධර්‍මය පහළ විය. (එ හෙයින්) ධර්‍මය ජේෂ්ඨ වෙයි. ශ්‍රේෂ්ඨ වෙයි. පැරැණි ද වෙයි. අධර්‍ම දිව්‍ය පුත්‍රය, ඔබ කනිටු ය. වැඩි මහලු ධර්‍ම දිව්‍ය පුත්‍ර වූ මාගේ මගෙන් ඉවත් වෙව.
1560. යැදීම නිසා ඔබට මග දෙන්නෙම් නම් යෝග්‍ය නො වේ. සුදුසු වචන කීම නිසා මඟ දීම යෝග්‍ය නැත. අද අප දෙදෙනාගේ සටන වේවා ! සටනින් යමෙක් දිනන්නේ ද ඔහුට මඟ (හිමි) වේ.
1561. මම සියලු දිසාවන්හි පැතිරැ ගියෙමි, මහ බලැත්තෙමි, අප්‍රමාණ යශස් ඇත්තෙමි. මා හා සමානයෙක් නැත. හැම ගුණයන්ගෙන් සම්පූර්‍ණ වූ (මම) ධර්‍ම දිව්‍ය පුත්‍රයා වෙමි. තෙපි කෙසේ දිනන්නෙහි ද?
1562. අයෝමය මිටියෙන් රන් ඒකාන්තයෙන් නැසේ. රනින් යකඩ නො නැසේ. අධර්‍මය අද ඔබේ ධර්‍මය නසයි. යමුවා මිටිය දැකුම්කලු රන් නසන්නා මෙනි.
1563. අධර්‍ම දේවපුත්‍රය, ඔබ සටන බලය කොට ඇත්තාව. ඔබට වැඩිහිටියෝ ද ගරුකටයුත්තෝ ද නැත. ඔබට මඟ දෙනුයේ ප්‍රිය අප්‍රිය දෙදෙනාගෙන් ප්‍රියයකු ලෙසින් දෙමි. නපුරු ලෙස ඔබ කී වචන ද ඉවසමි.
1564. අධර්‍ම දිව්‍ය පුත්‍රයා මෙ බස් අසා, යුද්ධය රිසි වුවත් යුද්ධය (කරන්නට) නො ලබමි යි හිස යටිකුරු වැ පා උඩුකුරු වැ වැටුණි. මෙ පමණෙකින් අධර්‍ම දිව්‍ය පුත්‍රයා නටුයේ ය.
1565. යුද්ධය ජය ගෙන, අධර්‍ම දිව්‍ය පුත්‍රයා නසා බිමැ හෙළා සත්‍යය පරාක්‍රම කොට ඇති ක්‍ෂාන්ති බලය මැ ඇති දෙව් පුත් තෙම සතුටු සිතැති ව දිව්‍ය රථයට නැගී මගින් ම ගියේ ය.
1566. යම් කෙනෙක් සිය නිවෙසෙහි මවුපියන්ට ද මහණ බමුණන්ට ද සැලැකිලි නො කෙරෙත් ද, ඔවුහු අධර්‍ම දිව්‍ය පුත්‍රයා නිරයට පිවිසියා සේ මරණින් මත්තේ නිරා වදිත්.
1567. යම් කෙනෙක් සිය නිවෙසෙහි මවුපියන්ට ද මහණ බමුණන්ට ද මැනැවින් සලකත් ද ඔවුහු, ධර්‍ම දිව්‍ය පුත්‍රයා දිව්‍ය රථයට නැග ගියා සේ, මරණින් මත්තේ දෙව්ලොවැ උපදිත්.
3. ධම්ම ජාතක යි.
1568. පවිත්‍ර වස්ත්‍ර ඇඳ ගත්, මනා දෙවටොර ඇති, ඉතා ශොභාසම්පන්න සිරුරැති, කිඳුරු නෙත් වැනි නෙත් ඇති ඔබ පහයට නැඟී සිටියෙහි ය. සැරැසූ මේ යහන මැද මේ රැය ගත කරමුය යි ඔබෙන් ඉල්ලමි.
1569. මේ පුරය තැනින් තැනැ දිය අගල් ආදිය ඇත. ශක්තිමත් අටල්ලෙන් හා දොරකොටුවලින් යුක්ත ය. අසිපත් ගත්තන් විසින් රැකවරණ කරනු ලබන හෙයින් පිවිසිය නො හැකි ය.
1570. ළදරුවෙකුට හෝ සෙබළෙකුට හෝ (මේ නගරයට) පැමිණිය නො හැකි ය: කවර හෙයින් මේ වේලාවෙහි මා හා සඞ්ගමයට කැමැත්තෙහි ද?
1571. සොඳුර, මම දෙව්පුතෙක්මී. දිව්‍යයානුභාවයෙන් තී වෙත ආවෙමි, ඔබට සෙත් වේවා! අද මා පිනවන්න. ඔබට රන්මසු පිරුණු රන්තළිය දෙමි.
1572. යක්‍ෂය, උදය රජතුමා හැර අන් දෙවියකු, මිනිසකු හෝ යකෙකු නො පතමි. ඔබ යව, යළි (මෙහි) නො එව.
1573. රතීන් අතුරෙහි කාමභෝගීන්හට යම් උත්තමරතියක් වේ ද යමක් නිසා සත්ත්‍වයෝ විෂමාචාර කෙරෙත් ද, පියකරු සිනා ඇත්තිය තෙපි ඒ රතිය නො දිනව. තොපට රනින් පිරැවූ රිදීතළිය දෙමි.
1574. පින්වත, ඔබ මෝඩ මිනිසෙකි, කෙලෙස් රතියෙන් සන්තර්‍පණය වන්නෙක් බොහෝ වස්තුවෙන් ස්ත්‍රිය පොළඹවයි. ආසා කරවයි, ඔබේ ස්වභාවය ඊට වෙනස් ය. මඳ වූ ධනයක් ගෙනවුත් තිබෙන බව ප්‍රත්‍යක්‍ෂ හෙයිනි.
1575. ශෝභන සිරුර ඇත්තිය, මිනිස්ලොව මිනිසුන්ගේ ආයුෂ ද, පැහැය ද පිරිහේ, එ හෙයින් තොපට දෙන ධනය ද (ක්‍රමයෙන්) පිරිහේ තෙපි අද බොහෝ දිරුවහු.
1576. යසස් ඇති රජ දියණියනි, දිවා රෑ ගෙවී යන්නා සමග බලා සිටිය දී ම ඔබ ගේ රූපය පිරිහීයයි.
1577. මනා පැහැති රජ දියණියනි, ඔබ මේ වියෝ බඹසර කරව. බොහෝ වර්‍ණවත් වන්නී ය.
1578. මිනිසුන් ලෙස දෙවියෝ නො දිරත්, ශරීරයේ රැළි නො වැවේ. මහානුභාව ඇති යක්‍ෂය, ඊට හේතු ඔබෙන් අසමි. දෙවියන්ගේ දේහය කවර හෙයින් නො දිරා ද?
1579. මිනිසුන් දිරාපත් වන පරිද්දෙන් දෙවියෝ දිරාපත් නො වෙත්. ඔවුන් සිරුරැ රැළි නො වැටේ. දවසක් පාසා දෙවියන්ට බොහෝ දිව්‍ය වර්‍ණය ද භෝගයෝ ද වැඩෙත්.
1580. මෙ ලොවැ ජනයා කුමට බිය වෙත් ද? පඬිවරුන් විසින් නොයෙක් තීර්‍ත්‍ථායතන විසින් සගමග කියන ලද, මහ තෙදැති දෙව් රජාණෙනි, කවර මගෙකැ සිටි කල පරලොවට බිය නො වන්නේ ද?
1581. වචනය ද සිත ද මැනැවින් සංවරයෙහි පිහිටුවා ගෙන කයින් පාපක්‍රියා නො කොට ආහාර පාන බොහෝ ඇති ව ගෙහි වසනුයේ, සැදැහැවත් වීම, මොළොක් සිතැති වීම, සංවිභාග ගුණය ඇත්තකු වීම, ප්‍රතිග්‍රාහකයන්ගේ බස් තේරුම් ගැනීම, සිව්සඟරාවත් ඇත්තකු වීම, ප්‍රිය බස් ඇත්තකු වීම, මට සිලිටි බසින් කථා කිරීම යන ගුණ ඇත්තේ පරලොවට බිය නො වේ.
1582. මහේශාක්‍ය දිව්‍යරාජය, මවක මෙන් පියකු මෙන් මට අනුශාසනා කරන්නෙහි ය. පුණ්‍ය මහිමයෙන් ලද රුවක් ඇති ඔබ කවරෙක් ද?
1583. රූපිකාවෙනි, මම උදය රජ වෙමි. (පෙර) පොරොන්දුවෙන් මිදීමට ආවෙමි. ඔබ අමතා එම පොරොන්දුවෙන් මිදුණෙමි.
1584. ඉදින් ඔබ උදය රජ වේ නම්, ප්‍රතිඥාවෙන් මිදීමට මෙහි පැමිණියේ යළි දූ එක්වීම සිදුවන පරිද්දෙන් මට අනුශාසනය කරව.
1585. වයස ඉතා ශීඝ්‍රව (ගෙවී) යයි. ක්‍ෂණය ද එසේ ගෙවී යයි. සත්ත්‍වයෝ ච්‍යුත වෙත්. ඔවුනට සිටීමෙක් නැත. සිරුර නො තිරය : දිරාපත් වේ. උදයභද්‍රාවෙනි, සිහි මුළාවට නො පැමිණෙව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.
1586. ධනයෙන් පිරුණු මුළු පොළොව එක් රජක්හට අයත් වුවත්, අන් කෙනකුට අයත් නො වුවත්, පහ නො වූ ආසාව ඇති හේ එය ද හැර දමයි. උදයභද්‍රාවෙනි, සිහි මුළාවට නො යව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.
1587. මවු ද පියා ද සහෝදරයෝ ද ධනයෙන් මිලයට ගත් යම් භාර්‍ය්‍යාවකුත් වේ ද ඔහු ද ඔවුනොවුන් හැරයති. එහෙයින්, සිහි මුළාවට නො යව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.
1588. උදයභද්‍රාවෙනි, ශරීරය අන් සතුනට ආහාර වන බව දැනැ, සසරේ සුගති දුගතීන්හි කෙටි කලක් විසුමට ඇති බව දැනැ, සිහි මුළාවට නො යව, දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.
1589. සත්ත්‍ව ජීවිත අල්ප යයි මේ යක්‍ෂයා සොඳුරු දැයක් කියයි. එද ආස්වාද රහිත යැ, ස්වල්ප කලක් පවත්නේ ය. සසරදුක හා යෙදී පවත්නේ ය. ඒ මම කසී රට ත් සුරුන්ධන පුරය ත් හැර හුදෙකලා ව පැවිදි වන්නෙමි.
4. උදය ජාතක යි.
1590. මහරජ, මම එකකු හා මිතුරු වූයෙම්, ඒ මිතුරා නුදුන් පැන් බීවෙමි. ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙම් නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
1591. මහරජ, අනෙකකුගේ බිරිඳක් දැක මට කාමාශා උපනි, ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
1592. මහරජ, සොරු මාගේ පියා වෙනෙහි දී අල්ලා ගත්හ. මා විචාළ ඔවුන්ට දැනැ දැනැ ම වෙනත් අයුරෙකින් කීවෙමි.
1593. ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමි.
1594. සෝම යාගය (කරන මොහොත) එළඹ සිටි කල ප්‍රාණඝාතය කළහ. ඔවුන්ගේ කර්‍මය අනුදත්තෙමි. (එකඟ වීමි.) එය කරණ කොටගෙන පසුව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.
1595. සුරාවත් මේරයත් මිහිරි (පානයකැ යි) පානය කරන්නෝ අපේ ගම්හි වූ ඔහු ද, බොහෝ දෙනාට අවැඩ පිණිස හේතු වන මද්‍ය පානය කළහ. මම ඔවුන්ගේ කර්‍මය අනුදත්තෙමි. එයින් පසුව පිළිකුල් කෙළෙමි නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමි.
1596. මම කාම සම්පත් විඳින්නෙම්, නිකෙලෙස් ධ්‍යාන සුවය වැනි සැපතක් නො ලදිමි. දුගඳ වූ සතුරන් නමැති කටු ඇති බහුල වූ කාමයන්ට නින්‍දා වේවා !
1597. කාමයෝ මහත් වූ ආස්වාදය ත් සැපත ත් ඇත්තාහු වෙති. කාමය හැර අන් සැපතක් නැත. යම් කෙනෙක් කම් සැපත විඳිත් ද ඔවුහු දෙව්ලොව උපදිත්.
1598. කාම්යෝ අල්ප ආස්වාද ඇත්තාහු දුක් බහුල වූවාහු වෙත්, කාමයට වඩා දුකෙක් නැත. යම් කෙනෙක් කම් සැපත විඳිත් ද ඔවුහු නිරයේ උපදිත්.
1599. මුවහත් කළ කඩුව ද, පණපෙවූ සිරියද තෙබ ද ළෙහි පහළේ යම්සේ දුක් උපදවා ද, කාමයන් නිසා ලැබෙන දුක එයට වඩා බොහෝ වේ.
1600. පුරුෂ ප්‍රමාණයටත් වැඩි අඟුරු වළත් දවස මුළුල්ලේ ගිනියම් කළ හීවැලත් නිසා යම් දුකක් උපදී ද, කාමයෝ එයට වඩා බොහෝ දුක් සහිත වෙති.
1601. හලාහල විෂ ද කකියවා ගත් තෙල ද උණු කොට ගත් තඹ ද නිසා යම් පමණ දුක් උපදවා ද කාමයෝ එයට වඩා බොහෝ දුක් සහිත වෙති.
5. පානීය ජාතක යි.
1602. මම, මිතුරන් හා ඇමතියන් පිරිවරා ගත් පිය මහ රජාණන් වඳිමි. මම පැවිදි වන්නෙමි. දේවයන් වහන්සේ, එය අනුදනිත්වා.
1603. යුධංජය කුමාරය, ඔබට කාම සම්පත අඩුව ගියේ ද? එය ඔබට සපුරා දෙන්නෙමි. යමෙක් ඔබට ගැහැට කෙරේ ද ඔහු වළකාලමි. පැවිදි නො වන්න.
1604. මට කාම සම්පතෙන් අඩු නැත. හිංසා කරන්නෙක් නැත. පරලොව ගමන් සඳහා ආරක්‍ෂාව සලසා ගන්නට රිස්සෙමි. අමා මහනිවන සොයන්නෙමි.
1605. යුධංජය කුමාරය, පුතා පියා යදී, පියා පුතා යදි, නියම්ගම වැසියෝ ද යදිති. පුත්‍රය, පැවිදි නො වන්න.
1606. පියරජතුමනි, පැවිදිවන මා වළක්වනු නො මනා ය. මම කාමයෙන් මත් වූවෙක් නො වෙම්වා. ජරාවේ වසයට නො යන්නෙක් වෙම්වා.
1607. දරුව, මම ඔබ යදිමි, මම ඔබ වළකමි, ඔබ කලක් දකිනු කැමැත්තෙමි. පුතේ යුධංජය, පැවිදි නො වන්න.
1608. මනුෂ්‍යයන්ගේ ආයුෂ, හිර උදාවන සමයේ තණ අග පිනිබිඳු වැනි ය, අම්මෙ, මා වැළක්වීම නො මැනැවි.
1609. පියරජතුමනි, මේ මව ඉක්මනින් යනාවට නගීවා! සසර තරණය කරන මට මගේ මව බාධා කරන්නෙක් නො වේවා!
1610. සබ්බදත්ත රජ යුධංජය කුමරාගේ පැවිද්ද අනුදත්තේ ය. (තෙපි) වහා දිවයවු, ඔබට සෙත් වේවා යි කියවු, රම්ම නගරය හිස් වන්නේ ය.
1611. පුත්‍රයන් දහසකට ශ්‍රේෂ්ඨ ව සිටි තරුණ වූ රන් පැහැති යම් කුමරෙක් වී ද, බලැති හේ කහවත අඳින්නා වූ පැවිද්දෙකි.
1612 යුධංජය, යුධිට්ඨිල යන කුමාරවරු මවුපියන් හැරදමා මරුවාගේ බැමි කපා පැවිදි වූහ.
6. යුධංජය ජාතක යි.
1613. ලක්ඛණ සීතා (යන) දෙදෙනා එව. (මේ) වතුරට බසිවු. (ඉක්බිති) මේ භරත කුමරා මෙසේ කීය. දසරථ රජ මළේ ය.
1614. රාම කුමාරයෙනි, කෙබඳු අනුභාවයක් නිසා දුක් විය යුත්තෙහි දී දුක් නො වන්නෙහි ද? පියා මළ බව ඇසූ ඔබ දුකෙන් නො පෙළා ද?
1615. බොහෝ වලප්නා පුරුෂයකුට ද සත්ත්‍වයන්ගේ පණ රකින්නට නො හැකි ය. අට ලෝදහම් දත් නැණවත් තැනැත්තා තමා කුමට තවාද?
1616. ළදරුවෙක් ද, වෘද්ධයෝ ද, මෝඩයෝ ද, පණ්ඩිතයෝ ද ඉසුරෝ ද, දිළින්දෝ ද යන හැම දෙන මියයති.
1617. විලිකුන් පල (බිම) වැටෙයි යන බිය නිතර ඇත්තා සේ, උපන් මනුෂ්‍යයන්ට මරණය නිසා බිය නිතර උපදී.
1618. අලුයම දුටු බොහෝ දෙනකු සවස දකින්නට නැත. සවස දුටු බොහෝ දෙනකු අලුයම දකින්නට නැත.
1619. හඬනු ලබන්නේ කිසි ප්‍රයෝජනයක් උපදවන්නේ නම් නැණවත් පුද්ගලයා මුළාවට පත් වැ තමාට පීඩාව දෙන මේ හැඬීම කරන්නේ ය.
1620. තමා විසින් තමාට හිංසා කිරීම නිසා (සිරුර) කෘශ වේ, දුර්වර්‍ණ වේ, හැඬීම නිසා මිය ගියාහු නො රැකෙත්. හැඬීමෙන් පලක් නැත.
1621. ගිනි ගත් ගෙය දියෙන් නිවන්නේ යම්සේ ද, එසේ ධෛර්‍ය්‍ය සම්පන්න, බහුශ්‍රුත නුවණැති පණ්ඩිත මනුෂ්‍යයා, සුළඟ පුළුන් පහ කරන්නා සේ හටගත් ශෝකය වහා පහ කරන්නේ ය.
1622. සත්ත්‍වයා හුදෙකලා ව පරලොව යයි. හුදෙකලා ව උපදියි. මව්පිය මිතුරු ආදි වශයෙන් ඇති වන සත්ත්‍වයන්ගේ එක්වීම් කර්‍මය අනුව සිදුවන්නේ ය.
1623. එහෙයින්, ධෛර්‍ය්‍ය සම්පන්න වූ බහුශ්‍රුත වූ මෙලොවත් පරලොවත් ධර්‍මයත් දැන සිටියහුගේ හදවත, මහත් ශෝකයෝ ද නො තවත්.