1443. උතුම් පැවැතුම් නැති, තොපගේ යම් බිරිඳක් වූ ද, මෝ මා ප්‍රසුත කළ මාගේ මව වෙයි. ඇතින්නක මෙන් දමනය වූ වසඟ වූ පාප ගති ඇති ඕ නැවත පැමිණේවා!
8. තක්කල ජාතක යි.
1444. තා සමාදන් වූ ව්‍රතය කුමක් ද? උත්තම චර්‍ය්‍යාව කුමක් ද? මේ විපාකය කෙබඳු සුචරිතයක් පිරීමෙන් ලදුයේ ද? බමුණ, මේ කරුණු මට කියව. තොපගේ ගෙහි බාලයෝ කවර හෙයින් නො මියන්නෝ ද?
1445. දස පුණ්‍යක්‍රියා ධර්‍මයෙහි හැසිරෙම්හ. බොරු නො කියම්හ. ප්‍රාණඝාතාදි පාපකර්‍මයන් දුරු කරම්හ. නින්‍දා කටයුතු ක්‍රියා සියල්ල දුරු කරම්හ. ඵ හෙයින් අප බාලයෝ (අකාලයෙහි) නො මැරෙති.
1446. සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද ධර්‍මය අසම්හ. අසත්පුරුෂයන්ගේ ධර්‍මය රුචි නො කරන්නමෝ වෙමු. අසත් පුරුෂයන් හැර සත්පුරුෂයන් හරින්නමෝ නො වෙමු. එ හෙයින් අප බාලයෝ (අකාලයෙහි) නො මැරෙති.
1447. දානය දෙන්නට පෙර සතුටු සිතැත්තමෝ වෙමු. දෙමිනුදු සතුටු සිතැත්තමෝ වෙමු. දානය දීමෙන් පසුව (සිතා) පසුතැවිලි වන්නමෝ නො වෙමු. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
1448. ශ්‍රමණයන් ද බමුණන් ද මගියන් ද ගුණ කියා යදින්නන් ද යාචකයන් ද දිළින්දන් දැ යි හැම දෙන ආහාර පානයෙන් සන්තර්‍පණය කරමු. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
1449. අපි දු භාර්‍ය්‍යාවන් ඉක්මවා නො යම්හ. භාර්‍ය්‍යාවෝ ද අප ඉක්මවා නො යති. ඔවුන් හැර අනෙක් ස්ත්‍රීන් කෙරෙහි බඹසර හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
1450. අපි හැම දෙන ප්‍රාණඝාතයෙන් වළකිමු. ලොව (හිමියන්) නුදුන් දැය දුරු කොට වාසය කරම්හ. මත්පැන් නො බොමු. බොරු ද නො කියමු. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
1451. සුසිල්වත් මේ අප උතුම් ස්ත්‍රීන් කෙරෙහි දරුවෝ උපදිත් ද, ඔවුහු ධාරණ ශක්තිය ඇති මහනුවණැත්තෝ වෙති. බහුශ්‍රුත වෙති. වේදයෙහි පාරප්‍රාප්තයෝ වෙති. එහෙයින් අප බාලයෝ නො මැරෙති.
1452. මවුපියෝ ද සහෝදරසහෝදරියෝ ද දරුවෝ ද බිරියෝ දැ යි අපි හැම දෙනමෝ පරලොව සලකාගෙන පුණ්‍යක්‍රියාවන්හි හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
1453. දාසිදාසයෝ ද අප නිසා දිවි රැක ගන්නෝ ද පිරිවර ජනයෝ ද කම්කරුවෝ දැ යි හැම දෙන පරලොව සලකා පුණ්‍යක්‍රියාවන්හි හැසිරෙති. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.
1454. කුශල ධර්‍මය, ධර්‍මයෙහි හැසිරෙන්නහු ඒකාන්තයෙන් රකී. මනා ලෙස පුරුදු කළ කුශලය සුව ගෙන දෙයි. මනා ලෙස පුරුදු කළ කුශලයෙහි තෙල ආනිශංසය වෙයි. දම්සැරී තෙමේ දුගතියට නො යයි.
1455. කුශල ධර්‍මය දම්සැරියා වැසි සමයෙහි මහත් කුඩයක් සේ ඒකාන්තයෙන් රකී. කුසල් බෙලෙන් රක්‍ෂිත වූ මාගේ දම්පල් කුමර සුව ඇත්තේ වෙයි, මෙය අනෙකකුගේ ඇට වේ යයි.
9. මහාධම්මපාල ජාතක යි.
1456. පවු කළ පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. බොරු කියන්නහු කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. ආත්මාර්‍ත්‍ථයට ම නුවණ යොදා ගන්නා පුද්ගලයා කෙරෙහි විශ්වාස නො කරන්නේ ය. අති ශාන්ත පුද්ගලයා කෙරෙහි ද විශ්වාස නො කරන්නේ ය.
1457. සමහර පුරුෂයෝ පිපාසිත ගවයන් වැනියහ. ඔහු මිතුරන් වචනයෙන් කාදමති. ක්‍රියාවෙන් කිසිත් නො කරති.
1458. කළගුණ නො දත් බොරු ඇඳිලි බැඳීම් පමණක් ඇති නිසරු මිනිසා කරා නො යන්නේ ය.
1459. වහා වෙනස් වන ස්වභාව ඇති ස්ත්‍රී පුරුෂයන් විශ්වාස නො කරන්නේ ය. හිතෛෂී නො වූවෙක් නොයෙක් හේතු දක්වමින් (මිතුරකුසේ) එක් වන්නේ ද එ වැන්නහු විශ්වාස නො කරන්නේ ය.
1460. අනාර්‍ය්‍ය ක්‍රියාවට බැසගත් ස්ථිර වචන නැති අවකාස ලද කල්හි හැම දෙන නසන හෙයින් කොපුවෙක ලූ තියුණු කඩුවක් වැනි පුද්ගලයා විශ්වාස නො කරන්නේ ය.
1461. මෙහි (මෙ ලොවැ) යම් කෙනෙක් මිත්‍රප්‍රතිරූපක ව තද හිතැත්තාහු නමුදු සිලිටි බසින් බෙණෙමින් නානාවිධ කෛරාටික පැවැතුම් ඇත්තෝ වෙත් ද එ වැනියන් විශ්වාස නො කරන්නේ ය.
1462. එ බඳු මෝඩයා (මිත්‍ර ප්‍රතිරූපකයා) යම් මිතුරකුගේ නිවෙසකැ ආහාරයක් හෝ ධනයක් හෝ දුටු වේ නම් මිතුරාට ද්‍රෝහ කොට එය පැහැර ගන්නේ ය. ඔහු ද (මිතුරා) නසාපියා යන්නේ ය.
1463. බොහෝ සතුරෝ මිත්‍රප්‍රතිරූපකයන් මෙන් ඇසුරු කෙරෙති. මෙ වැනි නින්දනීය පුරුෂයන් උකුස්සා දුරැලූ විලිකුළුහු මෙන් දුරු කරන්නේ ය.
1464. යමෙක් (යමක් පිළිබඳ) හටගත් කරුණු වහා වටහා නො ගනී ද. හේ සතුරන්ගේ වසඟයට පැමිණ පසුව තැවේ.
1465. යමෙක් (යමක් පිළිබඳ හටගත් කරුණු වහා වටහා ගනී ද. උකුස්සාගෙන් මිදුනු විලිකුළුහු සේ සතුරු වියවුලෙන් මිදෙන්නේ ය.
1466. වනයේ අටවා තැබූ පාසයක් (මළපුඩුවක්) වැනි නො දැහැමි විනාශකාරී වූ ඔහු, උණ වනයේ වෙසෙන පිරික්සුම් නැණින් හෙබි ඇටිකුළා උකුස්සා දුරු කළා සේ දුරු කරන්නේ යි.
10. කුක්කුට ජාතක යි.
1467. නන් අබරණින් සැරැසී මටකොඬොල් පැළැඳ විසිතුරු මල් දරන්නේ, රන්වන් සඳුන් ආලේප කොට ගත් තෙපි මේ වන මැද හිසැ අත් බැඳගෙන කවර හෙයින් අඬන්නහු ද?
1468. රන්මුවා දීප්තිමත් රියමැදිරියක් මට ලැබිණ. ඊට රියසක් දෙකක් නො ලබමි. ඒ නිසා උපන් දුකෙන් දිවි හරිමි.
1469. රන්මුවා, මිණිමුවා, ලොහොමුවා වූ හෝ රිදීමුවා රියක් ඔබට සාදමි. යම් බඳු රියක් කැමැත්තහු ද ඒ සක් යුගළය ඔබට ලබා දෙමි.
1470. ඒ මාණවකයා ඔහුට කීය. මාගේ රිය රන්මුවා වෙයි. දීප්තිමත් සඳහිරු දෙදෙනා සක් යුගළය (වශයෙන්) මාගේ රියට හොබනේ වේ.
1471. මාණවකය, නො පැතියයුතු දැය පතන තෙපි මෝඩයෙකි. තොප මියැ යෙති යි සිතමි. තෙපි සඳහිරු නො ලබන්නහු ය.
1472. ගමනා ගමන (උදාවීම හා බැස යාම) ද හැඩහුරු කම හා පැහැය ද ගමන් මාර්‍ග දෙක ද පෙනේ. මිය ගිය තැනැත්තා දකින්නට නැත. අඬන්නවුන්ගෙන් කවරෙක් වඩා බාල්‍යතර ද?
1473. මාණවකය, සත්‍යයක් කීයෙහි ය. අඬන්නවුන් ගෙන් ඉතා බාලයා මම වෙමි. හඳ ඉල්ලා අඬන ගම්දරුවකු සේ මියැ පරලොව ගියකු පතන්නෙමි.
1474. ගිතෙල් ඉසින ලද ගින්නක් ලෙස ශෝක ගින්නෙන් ඇවිල ගෙන සිටි මා, ජලය ඉසින ලද කලෙක මෙන් සියලු දාහය නිවී ගියේ ය.
1475. සොවින් පෙළුණු මාගේ, පුත්‍ර ශෝකය යමෙක් නැති කෙළේ ද, හේ මාගේ හදවතේ පැවැති ශෝකය නමැති හුල ද ඒකාන්තයෙන් උදුරා දැමී ය.
1476. තරුණය, ඒ මම උපුටා හළ ශෝක නමැති උලඇත්තෙමි. ශෝකය නැත්තෙමි. නො කැලඹුණ සිතැත්තෙමි. තොප ගේ බස් අසා ශෝක නො කරමි. නො හඬමි.
11. මට්ටකුණ්ඩලී ජාතක යි.
1477. නො පිසන සත්පුරුෂයෝ බොජුන් ලැබැ දෙන්නට කැමැති වෙති. පිසන ඔබ යම් හෙයෙකින් දෙන්නට කැමැති නො වෙත් නම් සුදුසු නො වේ.
1478. මසුරුකමත් නො සැලකිල්ලත් නිසා දන් නො දෙනු ලැබේ. පින් කැමැති නුවණැත්තා දන් දියයුතු වේ.
1479. දන් දීම නිසා සාපිපාසාවෙන් පීඩා විඳින්නට සිදු වේ ය යන බිය නිසා මසුරු පුඟුලා නො දේ ද එය ම ඔහුට බිය වන්නේ ය. සාපිපාසා දෙකට මසුරා බිය වේ ද එය ම (ඔහු) දෙ ලොවැ දී පෙළයි.
1480. එ හෙයින් මසුරුකම මඩින්නේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. කළ පින් ප්‍රාණීන්ට පරලොව දී පිහිට වේ.
1481. මසුරු සිත් මැඩ දියයුතු බැවින් දන් දීම දුෂ්කර ය. අසත්පුරුෂයෝ (දානානිසංස නො දන්නෝ) ඔවුන් ගිය මඟෙහි නො යත්. සත්පුරුෂයන් (බෝසත්වරු) ගිය මග යාම සෙස්සනට පහසු නො වේ.
1482. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙයින් මතු උපත වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යති. සත්පුරුෂයෝ දෙව්ලොව යති.
1483. ඇතැමෙක් මඳ වස්තුවකිනු දු දන් දෙත්. ඇතැමෙක් බොහෝ වස්තුව ඇතත් දන් නො දෙත්. මඳ වස්තුවෙන් දුන් දානය ද මහානිසංස ඇති හෙයින් ප්‍රමාණ කොට බැලීමේ දී දහසක් පමණ වැය කොට දුන් දන හා සම වේ.
1484. නො දැහැමි ව සපයාගත් මුදලින් ඉසුරන් ලක්‍ෂයක් දෙනා දෙන දානයෝ ත්‍රිවිධ සුචරිතය පුරමින් අඹුදරුවන් ද රැකැ ගනිමින් දිළින්දකු ස්වල්ප වශයෙන් හෝ කරන පරිත්‍යාගයක සොළොසින් භාගයක් පමණ නො අගනාහ.
1485. දේය ධර්‍ම බොහෝ බැවින් විශාල වූ ලක්‍ෂයක් දෙනා එක් ව දෙන දානය, දැහැමි ව සපයා ගත් දෙයින් දුන් දානය හා සම නො වන්නේ කවර කරුණෙකින් ද? දැහැමි ව සපයා ගත් දෙයින් දන් දෙන දිළින්දාගේ දානමය පින්කමේ (සොළොසින්) කොටසක් පමණවත් නො අගනේ කෙසේ ද?
1486. අනුන් තළා පෙළා අඬවා හිංසා කොට ඇතැම් කෙනෙක් දන් දෙති. එලෙස දුන් දන දැහැමි ව සපයාගත් වස්තුවෙන් දිළින්දා දුන් දානය හා සමාන නො වේ. නො දැහැමි වස්තුවෙන් යාග කළ ලක්‍ෂයක් දෙනාගේ දානය දිළින්දාගේ දානයෙහි සොළොස්වෙනි කොටස තරම්වත් නො අගී.
12. බිළාර කෝසිය ජාතක යි.
1487. සක්වාලිහිණිය, (ඔබ) වර්‍ණවත් ශරීර ඇත්තහු ය. රූප සම්පන්න වූවහු ය. ඝන වූ සිරුරු ඇත්තහු ය. රන්වන් මනා රූ ඇත්තහු ය. පහන් වූ මුහුණ හා ඉඳුරන් ඇත්තහු ය.
1488. මෙසේ ගං තෙර සිටැ පෙටි මස්, ලූල් මස්, වලා මස්, මොදුව මස් හා රේ මස් බුදින්නහු ද?
1489. මිතුර, මේ සෙවෙල් සහ දියපරඬල් මගේ ආහාරය යි. මම මෙය හැර දියෙහි හෝ වනයෙහි හටගන්නා වූ වෙනත් මාංශයක් අනුභව නො කරමි.
1490. සෙවෙල් සහ දියපරඬල් සක්වාලිහිණියාගේ ආහාර යයි මම විශ්වාස නො කරමි. මිතුර, මම ගමෙහි ලුණු හා තෙල් මුසු ආහාර අනුභව කරමි.
1491. චක්‍රවාකය, මනුෂ්‍යයන්ට පිළියෙළ කළ මස් සහිත පවිත්‍ර ආහාරය බුදිතත් ඔබට මෙන් එ බඳු පැහැයක් මට නැත.
1492. (තෙපි) ක්‍රෝධ සිතින් බලමින් මිනිසුන්ට හිංසා කෙරෙමින් තැති ගත් සිතින් බුදින්නහු ය. එහෙයින් තොපගේ පැහැය මෙ බඳු වේ.
1493. කාකය, පාපකර්‍ම බලයෙන් සියලු ලෝකය (ඔබට) විරුද්ධ ය. ඔබ ලද ආහාරය ඔබ නො පිනව යි. එ හෙයින් ඔබේ පැහැය මෙ බඳු වේ.
1494. මිතුර, මම් වනාහි සව්සත්නට හිංසා නො කරන්නෙම්, මඳ වෑයමකින් යුතු ව සැක රහිත ව ශෝක නැති ව බියකු දු නැති ව බුදිමි.
1495. තෙපි, වෑයම් කරව, සිය දුසිල් බව ඉක්මවා පවතුව, (දුසිල් බව අත් හරුව) අහිංසක ව ලොවෙහි හැසිරෙව, මා මෙන් ලොවට ප්‍රිය වන්නහු.
1496. යමෙක් අනුන් නො නසා ද නො නස්වා ද ධන හානි නො කෙරේ ද, නො කරවා ද, සව් සතුන් කෙරෙහි මෙත් කෙරේ ද ඔහුට කිසිවෙක් වෛර නො කෙරේ.
13. චක්කවාක ජාතක යි.
1497. මහානුවණැත්ත, යම්බඳු වූ ඔබ ව්‍යඤ්ජන ස්වල්පයක් සමග යවසාලේ බත් බුදින්නහු ය. ඔබගේ යම් සෞභාග්‍යයක්, ධෛර්‍ය්‍යයක් හා සිහියක් වේ ද, එබඳු සෞභාග්‍යය විපතට පත් ඔබ නො රකියි. එ හෙයින් සෞභාග්‍යය උතුම් වෙයි, ප්‍රඥාව උතුම් නො වෙයි (යන) කීම සැබෑ වෙයි.
1498. මම දුකෙන් සැප දියුණු කරන්නෙම් සැඟවී විසීමටත් නො සැඟවී විසීමටත් (මෙය) යෝග්‍ය සමය යයි සිතා සැඟවුණෙමි. දියුණුවට දොර අරිනුයේ යවසාලේ බතින් ප්‍රීත වෙමි.
1499. වෑයම් කරන්නට යෝග්‍ය කාලය දැනැ නුවණින් දියුණුව වැඩි කර ගෙන සිංහයකු සේ විජෘම්භණය කරන්නෙමි. දියුණු වූ මා නැවත දකින්නහු ය.
1500. පණ්ඩිතය, සැප ඇත්තෝ පාපකර්‍ම නො කෙරෙති. තවත් කෙනෙක් අපකීර්තියට බියෙන් පාපකර්‍ම නො කෙරෙති. බොහෝ දේ සිතීමේ හැකියාව ඇති තෙපි කවර හෙයින් මට දුක් (කරදර) නො කරන්නහු ද?
1501. පණ්ඩිතයෝ ආත්මාර්‍ත්‍ථය සලකා පාපකර්‍ම නො කරති. දුකට පත් වුවත් සම්පත් ගිලිහී ගියත් ඡන්‍දය නිසා හෝ ද්වේෂය නිසා හෝ ධර්‍මය නො හරිත්.
1502. මොළොක් වූ හෝ දරුණු වූ හෝ කිසියම් ආකාරයෙකින් තමාගේ දීනත්‍වය උපුටා හරින්නේ ය. ඉක්බිති ව සුචරිතයෙහි හැසිරෙන්නේ ය.
1503. යම් රුකකැ සෙවණෙහි හුන්නේ වේ ද හොත්තේ වේ ද ඒ රුකෙහි අතු නො කඩනේ ය. මිත්‍රද්‍රෝහී කම දීන හෙයිනි.
1504. යම් පුරුෂයෙක් පුරුෂයකුගෙන් ධර්‍මය උගත්තේ ද, සැක දුරු කෙරේ ද එය ඔහුට පිහිටකි. පිළිසරණෙකි. එ හෙයින් ඇදුරු ව සිටියහු සමග වූ මිතුරුබව දිරාපත් නො කරන්නේ ය.
1505. කම්සැප විඳින අලස ගිහියා නො මැනැවි. හික්මීම නැති පැවිද්ද නො මැනැවි. විමසීම රහිත ව ක්‍රියා කරන රජ නො මැනැවි. යම් පණ්ඩිතයෙක් කිපෙන ගතියෙන් යුතු වේ නම් හේ ද නො මැනැවි.
1506. ක්‍ෂත්‍රිය තෙම පරීක්‍ෂාකාරී ව වැඩ කරන්නේ ය. නො විමසා නො කරන්නේ ය. රජතුමනි, පරීක්‍ෂාකාරීව වැඩ කරන්නාගේ යශස ද කීර්තිය ද වැඩේ.
14. භූරිපඤ්ඤ ජාතක යි.
1507. අභිවෘද්ධිය රුස්නා පුරුෂයා වේදය හෝ ශ්‍රැතය හදාරා කවර ආකාරයෙකින් ක්‍රියා කිරීමෙන් දෙ ලොව ආරක්‍ෂා කර ගත්තේ වේ ද?
1508. සියලු දෙවියෝ ද බ්‍රහ්මයෝ ද දීර්‍ඝජාතීහු ද සියලු සත්ත්‍වයෝ ද මෙත් සිතින් පුදන ලද්දෝ ද මිනිසුන්ට එය මඟුලෙකැ යි කියත්.
1509. යමෙක් ලෝකය කෙරේ නිරහඞ්කාර පැවැතුම් ඇත්තේ ද, ස්ත්‍රීපුරුෂයන් සහ ළමයින් වරදවා කී බස් කමා කෙරේ ද, ගොරෝසු කථා නැත්තේ ද ඉවැසීම ඇත්තේ ද එය මඟුලෙකැ යි කියත්.
1510. යමෙක් යහළුවන් හා මිතුරන් කෙරේ ශිල්පය නිසා හෝ කුලය නිසා හෝ ධනය නිසා හෝ ජාතිය නිසා හෝ අවමානයට ලක් නො කෙරේ ද මනා සිහිය හා නුවණ ඇත්තේ ද එය මඟුලෙකැ යි කියත්.
1511. රැවැටිලි නැතියන් හා සත්පුරුෂයෝ එකැතින් මිතුරු වෙත් ද විශ්වාස වෙත් ද මිත්‍රද්‍රෝහි නො වෙත් ද, සිය ධනය මිතුරන්ට බෙදත් ද, මිතුරන් අතරේ ඒ විශ්වාසය මඟුලෙකැ යි කියත්.
1512. යමකුගේ බිරිඳ සමාන වයස ඇත්තී ද සමගි සම්පන්න ද සැමියා අනුව වසා ද ත්‍රිවිධ සුචරිත ක්‍රියාවන් කැමැත්තී ද දරුවන් ලබන්නී ද කුලවත් වී ද පතිව්‍රතා ගුණය ඇත්තී ද එය බිරියන් කෙරේ මඟුලෙකැ යි කියත්.
1513. ජනපති වූ පරිවාර ඇත්තා වූ රජ යමකුගේ පවිත්‍රකම, එඩිතරකම, දනී ද (මෙ) මට පක්‍ෂපාතී ය නො වෙනස් වචන ඇත්තේ යයි දනී ද එය රජුන් කෙරේ මඟුලෙකැ යි කියත්.
1514. සැදැහැති ව පහන් සිතැති ව සතුටු සිතින් කෑම්බීම් සුවඳමල් විලෙවුන් දේ ද එය ස්වර්‍ගගාමී මඟුලෙකැ යි කියත්.
1515. ඥානවෘද්ධ වූ ප්‍රතිපත්ති ගරුක වූ සත්පුරුෂ වූ බහුශ්‍රුත වූ සිල්වත් වූ ඍෂිවරු ආර්‍ය්‍යධර්‍මයෙන් පවිත්‍ර වෙත් නම් එය රහතන් වහන්සේ කෙරේ ලදමනා මඟුලෙකැ යි කියත්.
1516. මේ මංගලයන් ලෝකයේ නුවණැත්තන් විසින් සැපත් වැඩීමට හේතු වේ යයි පසසන ලදු, එ හෙයින් නැණවත් මිනිසා ඒ මංගලයන් ම සොයන්නේ ය. මේ මංගලයන්ගෙන් තොර සත්‍ය වූ වෙනත් මංගල නැත.
15. මහාමඞ්ගල ජාතක යි.
1517. කේසවය, ඔබේ හදවත වැනි දකුණුඇස හා සම වූ ඝත නැමැති සිය සොහොයුරු කෙනෙක් වෙත් ද ඔහුගේ හදවත අපස්මාර වාතයෙන් පෙළත්. කෘෂ්ණය නැගිටින්න. වැද හෝනේ කිම? තොපගේ නිදාගැනීමෙන් කවර ප්‍රයෝජනයක් ද?
1518. රෝහණෙය්‍යගේ කීම අසා ඉක්මන් වූ කේසව තෙම සෝවුරු සොවින් පීඩාවට පැමිණ නැගීසිටියේ ය.
1519. උමතුවූවකු සේ දවාරවතී පුරය පුරා යමින් සාවා සාවා ය යි කුමට කියහි? ඔබගේ සාවා ගත්තේ කවරෙක් ද?
1520. රන්මුවා, මිණිමුවා, ලොහොමුවා, රිදීමුවා, සක්මුවා සෙල්මුවා, පබළුමුවා සාවකු ඔබට සාදවමි.
1521. වනයේ හැසිරෙන වෙනත් සාවෝ ද ඇත. තොපට ඔවුන් ද ගෙනෙන්නෙමි. තෙපි කෙබඳු සාවකු කැමැත්තහු ද?
1522. පොළොවේ වෙසෙන හාවුන් මම නො කැමැත්තෙමි. හඳේ හාවා (ලබනු) කැමැත්තෙමි. කේසව, ඒ හාවා මට ගෙන දෙන්න.
1523. ප්‍රිය ඤාතිය, හඳෙන් හාවා පතන තෙපි ඒකාන්තයෙන් මධුර වූ ජීවිතය අත් හරින්නහු ය. යම් බඳු තෙපි නො පැතියයුත්තක් පතන්නහු ද එ හෙයිනි.
1524. කෘෂ්ණය, ඉදින් මෙසේ දන්නේ නම් අනෙකකුට අනුසාසනා කරනුයේ (කිම) පෙර මළා වූ පුත්‍රයාට අදත් ශෝක කරන්නේ කවර හෙයින් ද?
1525. උපන් මාගේ පුතා නැවත නො මැරේව යි මනුෂ්‍යයකු විසින් හෝ අමනුෂ්‍යයකු විසින් හෝ ලද නො හැකි ය. එ හෙයින් ලද නො හැකි දෙය කොතැනින් ලැබේ ද?
1526. කෘෂ්ණය, මියගිය යමකු නිසා නැවත නැවැත ශෝක කෙරෙහි ද (මළහු) මන්ත්‍ර බලයෙන් හෝ බෙහෙත්මුල් බලයෙන් හෝ අන් ඔසු බලයෙකින් හෝ ධන බලයෙන් හෝ ගෙනෙන්නට නො හැකි ය.
1527. පුත් සොවින් පෙළුණු මට ඝතපණ්ඩිත තෙම අද කරුණු වටහවා ශෝකය නැති කෙළේ ය. සෙස්සනටත් මෙ වැනි පණ්ඩිත ඇමැතිවරු වෙත් නම් කවර ශෝකයෙක් ද?
1528. ගිතෙල් ඉසින ලද ගින්නක් ලෙස ශෝක ගින්නෙන් ඇවිලගෙන සිටි මා, ජලය ඉසින ලද කලෙක මෙන් (මාගේ) සියලු දාහ නිවිගියේ ය.
1529. සොවින් පෙළුණු මාගේ පුත්‍රශෝකය යමෙක් නැති කෙළේ ද හේ මාගේ හදවතේ පැවැති ශෝකය නමැති හුල ද ඒකාන්තයෙන් උදුරාදැමී ය.
1530. ඒ මම උපුටාලූ ශෝකය නමැති හුල් ඇත්තෙමි. ශෝක රහිතයෙමි. නො කැලඹුණ සිතැත්තෙමි. තොපගේ බස් අසා ශෝක නො කරමි. නො හඬමි.
1531. යම් කෙනෙක් අනුකම්පා ඇති ප්‍රාඥයෝ වෙත් ද දෙටු සොහොයුරු ඝතයා මෙන් ජනයා සොවින් දුරු කෙරෙත්.
16. ඝතපණ්ඩිත ජාතක යි.
දසක නිපදාතය නිමි.
එහි උද්දානය: