Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 2001-2100 න් 7679

පළමුවන ගිජ්ඣ වර්‍ග යි.
එහි උද්දානය:
ගිජ්ඣ ජාතක යැ කෝසම්බ ජාතක යැ මහාසුක ජාතක යැ චුල්ලසුක ජාතක යැ හාරිත ජාතක යැ පදමාණවක ජාතක යැ ලෝමසකස්සප ජාතක යැ චක්කවාක ජාතක යැ හළිද්දිරාග ජාතක යැ සමුග්ග ජාතක යැ පූතිමංස ජාතක යැ තිත්තිර ජාතක යැ යි ජාතක දසයෙකි.
නවක නිපාතය නිමි.
10. දසක නිපාතය
1355. ශක්තිසම්පන්න වූ යමුවා තොරණ ඇති මේ නගරයෙහි දොරටු සතරෙක් ඇත. (නුවර වටා) පවුරෙන් වට කරන ලද්දේ ය. මා කවර පාපයෙක් කරන ලද ද?
1356. යක්‍ෂය, දොරටු සියල්ල වසා ඇත. මැදිරියක වෙසෙන පක්‍ෂියකු සේ ගමනට බාධා ඇත්තෙම් වෙමි, කවර කරුණක් නිසා මම චක්‍රයෙන් පහර ලද්දෙම් ද?
1357. මිතුර, (මවගෙන්) දහසක් ද වෙළෙඳාමෙන් එක්ලක්‍ෂ විසිදහසක් ද ලදුයේ නමුදු සානුකම්පික නෑයන්ගේ කීම පරිදි නො කෙළේ ය. විනාස බහුල වූ සාගර නමැති මුහුදට පැන්නේ ය.
1358. සතර දෙනාගෙන් සතුටු නො වූ (හේ) අට දෙනකු සමීපයට ගියේ ය. අට දෙනකු සමීපයෙන් සොළොස් දෙනකු සමීපයට ගියේ ය, සොළොස් දෙනකු සමීපයෙන් දෙතිස් දෙනකු සමීපයට ගියේ ය, (එහෙයින්) ක්‍ෂූර චක්‍රයට (ඉතා තියුණු මුවාත ඇති රවුම් අවිය) වඩාත් සමීප විය. තණ්හාව නිසා වනසට පත් පුරුෂයා මතැ ක්‍ෂූර චක්‍රය කැරකෙයි.
1359. මතු මත්තෙහි විශාල වන පුරවන්නට නො හැකි පංචකාමයන්හි පැතිරෙන තෘෂ්ණාව කෙරෙහි කෙනෙක් ගිජු වූහු ද ඔව්හු ක්‍ෂූර චක්‍රය දරන්නෝ වෙති.
1360. වස්තු රැසක් හැර දමා (යා යුතු) මග දෙස නො බලා කිසිවෙක් (සිය) සිත පිළිබඳ ව සැලැකිලිමත් නො වෙත් ද, ඔව්හු ක්‍ෂූර චක්‍රය දරන්නෝ ය.
1361. නැණවත් පුරුෂයා කරන දේ සදොස් ද නිදොස් දැ යි විමසන්නේ ය. දැහැමිව සපයා ගත් සිය වස්තු සම්භාරය ද විමසා බලන්නේ ය, අනුකම්පා ඇත්තන් කියන ලෙස ක්‍රියා කරන ඔබ ක්‍ෂූර චක්‍රය නො මඩනේ ය.
1362. යක්‍ෂය, මේ ක්‍ෂූර චක්‍රය මගේ හිසැ මත්තෙහි කෙතෙක් කල් පවත්නේ ද? අවුරුදු කීදහසක් සිටිනේ ද? විචාරන මට එය කියව.
1363. මිත්තවින්‍දක, මා කියන්නක් අසව, තෝ ඉතා බලවත් දොස් (පාපකර්‍ම) ඇත්තෙහි. තාගේ හිසැ ඇමිණී තිබෙන ක්‍ෂූරචක්‍රය තාගේ දිවිහිමියෙන් නො හරනේ යි.
1. චතුද්වාර ජාතක යි.
1364. කළු පැහැති මේ පුරුෂයා කළු පැහැති බොජුන් බුදී. කළු පාට බිම් පියෙසකැ (මෙ තෙමේ) වෙසේ. (මෙය) මාගේ සිතට ප්‍රිය නො වේ.
1365. ශක්‍රය, හම කළුපැහැය ඇති වීමෙන් (කෙනකු) කළු නො වේ. සීලාදි ගුණසාරයන් ඇතුළතැ පිහිටියේ (නම්) බ්‍රාහ්මණ නම් වෙයි. ඉදින් යමකු කෙරෙහි පාපකර්‍ම ඇත්තේ ද හේ එකැතින් කළුවෙක් වේ.
1366. බමුණ, තොපට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් තොපට දෙමි.
1367. සර්‍වභූතයන්ට ඊශ්වර වූ දේවේන්‍ද්‍රය, මට වරයක් දේ නම්, මෙරමා කෙරෙහි ක්‍රෝධ රහිත වූ, ද්වේෂ රහිත වූ, ලෝභ රහිත වූ, ස්නෙහ රහිත වූ වරයක් රුස්නෙමි. මේ වර සතර මට දෙනු මැනැවි.
1368. බමුණ, ක්‍රෝධයෙහි, ද්වේෂයෙහි, ලෝභයෙහි හෝ ස්නේහයෙහි කෙබඳු දෝෂයක් දක්නෙහි ද? විචාළ මට එය කියව.
1369. ඉවැසීම නැති බැවින් හටගන්නා කෝපය ස්වල්ප වශයෙන් ඉපිදැ පසුව වැඩි වේ. නැවත නැවත හටගනී. ද්වේෂයට ලක් වූවහුගෙන් ඉවත් ව යන්නට නො දී ආක්‍රෝශ කරවයි. බොහෝ සිත් තැවුල් උපදී. එහෙයින් ක්‍රෝධය නො රුස්නෙමි.
1370. ද්වේෂයෙන් දූෂිත වූවහුගේ වචනය එරුෂ වෙයි, අනතුරු ව දැඩි ව ගැනීම වෙයි, පසුව අත්පහර දෙයි. දඬුපහර දෙයි, ආයුධ පහර දෙයි. අවි පහර දී ද්වේෂය මස්තකප්‍රාප්ත කරයි. ද්වේෂය ක්‍රෝධයෙන් හටගනී, එහෙයින් ද්වේෂය නො රුස්නෙමි.
1371. ගම් පැහැරීම, බලහත්කාරයෙන් පැහැර ගැනීම, වංචා කිරීම, යන මේ පාප ක්‍රියා ලෝභය ඇති කල්හි (සිදු කරනු) දක්නට ලැබෙති. එහෙයින් ලෝභය නො රුස්නෙමි.
1372. නූලකින් මල් ගොතන්නා සේ නානාවිධ බොහෝ ආරම්මණයන්හි තෘෂ්ණායෙන් ඇමිණීම බොහෝ තැවුලි උපදවති, එහෙයින් ස්නේහය නො රුස්නේ ය.
1373. බමුණ, ඔබට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් ඔබට දෙනු කැමැත්තෙමි.
1374. දේවේන්‍ද්‍රය, ඉදින් මට වරයක් දේ නම් නිතර හුදෙකලා ව වනයෙහි වාසය කරන මට තවුස්දම් රැක ගැනීමේ දී අන්තරාය කරන ආබාධයෝ නූපදනාහු නම් එබඳු වරයක් දුන මැනැවි.
1375. බමුණ, ඔබට ඔබින යහපත් ප්‍රකාශය නිමිත්තෙන් කැමැති වරයක් ඔබට දෙනු කැමැත්තෙමි.
1376. සව් සතුනට ඉසුරු වූ ශක්‍රය, ඉදින් මට වරයක් දේ නම් මා නිසා කිසිවකුගේ සිත, කය හෝ වචනය කිසිකලෙකැ අපවිත්‍ර නොවන වරයක් දුන මැනැවි.
2. කණ්හ ජාතක යි.
1377. සත්පුරුෂ තෙම කිසි කලෙක නො කිපෙයි, යමෙක් කිපියැයුතු පුද්ගලයා කෙරෙහි කෝප නො කෙරේ ද, යමෙක් කිපියේ නමුදු කෝපය පහළ නො කෙරේ ද, ඒ පුරුෂයා ඒකාන්තයෙන් (ශමිතපාප බැවින්) ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1378. ඌන වූ උදරය (අල්පාහාර) ඇති යමෙක් සාගිනි ඉවසා ද ඉන්‍දිය දමනයෙන් සමන්‍වාගත වූයේ තපස් ඇතියේ ප්‍රමාණ කරනලද ආහාරපාන ඇතියේ ආහාර හේතුයෙන් පව් නො කෙරේ ද ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1379. ලෝකයෙහි සියලු (කායික, වාචසික) ක්‍රීඩා ද (දිව්‍ය කාමගුණ) රතිය ද දුරු කොට අල්පමාත්‍ර වූ ද මුසාවක් නො කියා ද (මාංස, ඡවී විභූෂණයෙන් ද මෛථුන සේවනයෙන් ද වෙන් වූයේ වේද, ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1380. යම් කෙනෙක් සියලු වස්තුකාමය ද තෘෂ්ණාව ද (ත්‍රිවිධ පරිඥායෙන්) දැන ඒකාන්තයෙන් හැරපියත් ද දැමුණු (මිථ්‍යා විතර්‍කාභාවයෙන්) ස්ථිත ස්වභාව ඇති, මමායන නැති (අඹුදරුවන් කෙරෙහි) ආශා නැති ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි (පණ්ඩිතයෝ) කීහ.
1381. අලාමකප්‍රඥා ඇති කළයුතු දැය කරන තොප පුළුවුසුම්හ, ගාථාවන්හි අපට උපන් විවාදයෙක් ඇත. අද අපගේ සැකය ද විචිකිත්සාවන් ද සිඳුව, තොප කරණකොටගෙන අපි හැමදෙනමෝ සැක දුරලම්හ.
1382. යම් පණ්ඩිත කෙනෙක් අර්‍ත්‍ථ දක්නා සමර්‍ත්‍ථ වෙත් ද ඔහු ඒ විවාදයෙහි (යුක්තප්‍රයුක්ත) කාලයෙහි නුවණින් කියති. රජවරුනි, ඡේක වූවාහු නමුදු නො කියනලද ගාථාවන්ගේ අර්‍ත්‍ථ කෙසේ නම් එළවා ද? (එහෙයින් කියව)
1383. (වරුණ) නාගරාජ කෙසේ කියා ද? යළි විනතාපුත්‍ර ගරුඬරාජ කෙසේ කියා ද? යළි ගන්‍ධර්‍වරාජ කුමක් කියා ද? යළි කුරු ජනපදවැසියන්ගේ රාජශ්‍රේෂ්ඨ කෙසේ කියා දැ? යි.
1384. (වරුණ) නාරජ ක්‍ෂාන්තිය මැ ශීල යැ යි කියයි. විනතාපුත්‍ර ගරුඬරාජ අල්පාහාර බව (ආහාර හේතුයෙන් පව් නො කිරීම) ද ගන්‍ධර්‍වරාජ (සක්දෙව්රජ) පඤ්චකාම රති ප්‍රහාණය ද කුරුරජ පළිබෝධ නැති බව ද ශීල යැ යි කියා යි.
1385. මෙ හැම සුහාෂිතයෝ යැ. මෙහි කිසි දුර්‍භාෂිතයෙක් නැත් මැ යි. තවද යම් පුද්ගලයක්හු කෙරෙහි තෙල ගුණජාතයෝ පිහිටියාහු චක්‍රනාභියෙහි සමවහිත (එක්රැස්) වූ අරයන් (දැවි) මෙන් වෙත් ද තෙල සතර දහමින් සමන්‍වාගත වූ ඒ පුරුෂයා ඒකාන්තයෙන් ශ්‍රමණ යැ යි ලෝකයෙහි පණ්ඩිතයෝ කීහ.
1386. තෙපි ශ්‍රේෂ්ඨ වවු, තෙපි (උත්තරීතරයකු නැතියෙන්) අනුත්තර වවු. තෙපි ධර්‍මගෝපක ද ධර්‍මඥ ද ධර්‍මවිදූ ද සුන්‍දරප්‍රඥා ඇතියහු ද වවු. ප්‍රාඥ තෙම ප්‍රඥායෙන් අපගේ ප්‍රශ්නය යථාභූත කොට දැනැ විචිකිත්සාවන් සින්දේ යැ. යම්සේ දන්ත ශිල්පියෙක් කියතින් ඇත්දළක් සිඳුනේ ද එසෙයින් සැකය ද විචිකිත්සාවන් ද සින්දේ යි.
1387. ප්‍රාඥය, (තොපගේ) ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් නිලුපුල් වන් නිර්‍මල වූ අනර්‍ඝ වූ ධූමයට බඳු පැහැ ඇති මේ වස්ත්‍රය ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
1388. ප්‍රාඥය, ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් දහසක් රුවනින් සැදූ කෙසුරු සහිත පිපි සියපත් (පියුම්) ඇති රන්මල්දම ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
1389. ප්‍රාඥය, ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් මාගේ ගෙලෙහි ලැගුණු මිණිරුවනින් අලංකාර වූ සිත්කලු වූ ප්‍රභාස්වර වූ අනගි මිණිරුවන ධර්‍මපූජා පිණිස තොපට දෙමි.
1390. ප්‍රශ්නව්‍යාකරණයෙන් තුටු වූයෙම් දෙනුන් දහසක් ද පුංගවයකු ද ඇතකු ද ආජානීය සෛන්‍ධවයන් යෙදූ මේ රිය දසයක් ද ගම්වර සොළසක් ද තොපට (ධර්‍මපූජාවට) දෙමි.
3. චතුපෝසථික ජාතක යි.
1391. සඞ්ඛ බමුණ, තෙපි බහුශ්‍රුත වූවහු ඇසූ දහම් ඇත්තහු යැ, තොප විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද දක්නා ලදහ. (එහෙත්) නො කල්හි වලප්නහු යැ, (මෙහි) මා හැර පිළිවදන් දෙන්නේ (අනෙක් තැනැත්තේ) කවරෙක් ද?
1392. දුටු දුටුවන්ගේ සිත් ගන්නා මනා බැම ඇති, විසිතුරු රන්අබරණ පැළැඳි ස්ත්‍රියක් රන්තලියෙක ලූ බොජුන් ගෙන ප්‍රීති සිතැති ව බොජුන් බුදින්නා යි කියතුදු, මම (ඊට) නො කැමැතිය යි ඇයට කියමි.
1393. බමුණ තමාගේ සැපත රුස්නා වූ පුරුෂ තෙම මෙබඳු යක්‍ෂයා දැක (මෙසේ) විචාරන්නේ ය. ඔබ දෙව්දුවක් ද නැතහොත් මනුෂ්‍යස්ත්‍රියක් දැ යි, නැගීසිටගෙන බද්ධාඤ්ජලි වැ විචාරව.
1394. මහතෙදැති ඉතිරිය, මා බලා බත් බුදින්නැ යි මට කියන තී විතාරමී. තෝ දෙව්දුවක් ද? නැතහොත් මනුෂ්‍ය ස්ත්‍රියක් වහු ද?
1395. සඞ්ඛ බමුණ, මුහුදුදිය මැදට පැමිණි මම මහතෙදැති දෙව්දුවක්මු. සානුකම්පික වූ මම තොපගේ යහපත සලකා මෙහි පැමිණියමු. ප්‍රදුෂ්ට සිතැති ව පැමිණියා නො වෙමි.
1396. සඞ්ඛ බමුණ, තොප රුචි කරන කෑම් බිම් ද ආසන ද නානාවිධ යානාවන් ද යන මේ සියලු දෙය දෙමි.
1397. මනස්කාන්ත වූ සිරුරැති තොපගේ ඉහ, බැම, හා මැදපෙදෙස දුටුවන් ළගන්නා සුලු වෙයි, මාගේ කිසියම් දානයක හෝ ආගන්තුක සත්කාරයක හෝ (විපාක) වේ ද? එයට ඔබ ඉසුරු ය. මේවා මා කළ කවර කර්‍මයෙක විපාක ද?
1398. දැඩි රශ්මිය පැවැති සමයෙක මහමඟැ උණුවැල්ලේ තැබූ පා ඇති පිපාසායෙන් හා ක්ලාන්තයෙන් විඩා වූ (සිරුරැති) පසේබුදුන් වහන්සේ නමකට වහන්සඟළක් දුන්නේ ය. ඔබ දුන් ඒ දානය අද ඔබට කැමැති කැමැති දෙය දේ.
1399. (නැව් හැර) අන් යානාවකට බිමක් (මෙහි) නැත. ඒ නැව දිය ඇතුළු නො වන පරිදි බොහෝ පුවරු යොදා සකස් වූවක් වේවා, මා අද ම මෝලිනී නගරයට ගෙනයව.
1400. එහි දී ඔහුගේ ප්‍රකාශයන් අසා අතිශයින් ම ප්‍රමුදිත වූ දෙව්දුව විසිතුරු නැවක් මවා සඞ්ඛ නමැති පුරුෂයා සමග සිත් අලවන මෝලිනී නගරයට ගෙන ගියා ය.
4. සඞ්ඛ ජාතක යි.
1401. බමුණ, යම් කෙනෙක්, විශාල ඇස් ඇති මන්‍දස්මිතයෙන් කතා කරන ඔබගේ ප්‍රියාව පැහැරගෙන ගියෝ නම් කුමක් කෙරේ ද?
1402. මගේ සිතෙහි හටගත් කෝපය ඇය නො මුදන්නේ ය. යම්තාක් කල් මම ජීවත් වෙම් ද ඒතාක් සිතෙහි කෝපයට රැඳෙන්නට නො දෙමි. මහවැස්ස වහා ධූලි නවතන්නා සේ කෝපය වළකා ගනිමි.
1403. පෙරැ ඔබ යමක් ප්‍රකාශ කළේ ද (දන්) බලවතකු සේ තුෂ්ණීම්භූත ව සඟළ සිවුර මසමින් සිටී.
1404. මාගේ කෝපය උපන් නමුදු මෙරමාහට දැනෙන පරිදි නො පහළ විය, ජීවත් ව සිටින තුරු සිතෙහි කෝපය ඉපදීමට ඉඩ නො දෙන්නේ ය. මහවැස්ස ධූලි වළකන්නා සේ කෝපය වැළැකීමි.
1405. තොපගේ සිතෙහි ඉපැදුණේ කුමක් ද? ප්‍රකාශ නො වූයේ කුමක් ද? ජීවත් වන තොප කෙරෙන් නො මිදුණේ කුමක් ද? මහවැස්ස ධූලි වළකන්නා සේ තොප වැළැකුයේ කුමක් ද?
1406. යමක් හටගත් කලැ ආත්මාර්‍ත්‍ථය නො දකී ද. (එය) නො හට ගත් කලැ (ආත්මාර්‍ත්‍ථය) මනාසේ දකී ද, ඒ ක්‍රෝධය මා සිතැ උපනි. මිදුණේ නො වේ. (හෙවත් කෝපය හටගත් බව මෙරමාහට නො හැඟුණේ ය.) ක්‍රෝධය මෝඩයන්ට ගෝචර ය.
1407. යමක් හටගැනීම නිසා දුක රුස්නා සතුරෝ සතුටු වෙත් ද එය මට උපනි. නො මිදුණේ ය. ක්‍රෝධය අඥානයන්ට ගෝචර වෙයි.
1408. යමක් හටගන්නා කල්හි ආත්මාර්‍ත්‍ථය අවබෝධ නො වේ ද, එය මට උපන නො මිදුණේ ය. ක්‍රෝධය අඥානයන්ට ගෝචර වෙයි.
1409. මහරජ, කෝපය විසින් මඩනා ලද කලැ දශපුණ්‍යක්‍රියා දුරු කෙරේ. මහත් වූ දියුණුව බැහැර කෙරේ. කෙලෙස් සේනාවෙන් බලවත් වූ කෝපය උතුමන් පවා මඩී, එය මාගෙන් නො මිදුණේ ය.
1410. වියැළි ලීය ගටන කලැ ගින්න හටගනී. ඒ ගින්න යම් ලීයක් නිසා උපදී නම් එය ම දවයි.
1411. එ පරිදි මන්‍ද බුද්ධික කිසිත් නො දත් පුරුෂයාගේ සංරම්භයෙන් (එකට එක කීමෙන්) ක්‍රෝධය හටගනී. හෙතෙම එම කෝපයෙන් දවනු ලබයි.
1412. තණකොළ හා දර නිසා හටගන්නා ගින්න ලෙස, යමකුගේ (සිතැ) කෝපය වැඩේ ද කෘෂ්ණ පක්‍ෂයෙහි චන්‍ද්‍රයා පරිදි ඔහුගේ යශස පිරිහේ.
1413. යමකුට හටගත් කෝපය දර නැති ගින්න සේ නිවී සන්හිඳේ ද, පුරපසෙහි සඳ සේ ඔහුගේ යශස වැඩේ.
5. චුල්ලබොධි ජාතක යි.
1414. පින් කැමැති මම චිත්තප්‍රසාදය ඇති ව සත් දවසක් බ්‍රහ්මචාරී ව වුසූයෙම් ද, පනස් වසකට වැඩි කලක් තපස් රැක්කෙම් ද, මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1415. දන් දීමට මම කිසි කලෙකත් සතුටු නො වීම් ද, නවාතැන් ගැනීමට පැමිණි ආගන්තුකයා දැක සතුටු නො වීම් ද, බහුශ්‍රුත වූ මහණබමුණෝ මා නො කැමැත්තෙන් දන් දෙන බව නො දත්තෝ ද මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1416. දරුව, මහත් තෙදැති ඝෝරවිෂ සහිත යම් ආශීර්විෂයෙක් තුඹසින් නැඟී තා ඩැසී ද, ඒ සර්‍පයා කෙරෙහි ත් ඔබ පියා කෙරෙහි ත් අද විශේෂ ප්‍රිය බවක් නැත. මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1417. කණ්හදීපායනය, (ඔබ හැර) සෙස්සෝ සන්සුන් ව දමනය කළ ඉඳුරන් ඇති ව ප්‍රව්‍රජ්‍යාව කෙරෙහි කැමැති ව පැවිදි වෙති. කවර කරුණක් නිසා තවුස් දම් රැකීම් පිළිකුල් කෙරෙමින් බඹසර විසීමට නො කැමැත්තෙහි ද?
1418. කෙළතොල්ලකු වූ එකැතින් ම මෝඩ වූ නුවණ රහිත වූ මෙතෙම සැදෑයෙන් ගිහි ගෙය හැර පියා ගොස් පෙරළා ගිහි බවට පැමිණියේ ය යන මේ වචනයට පිළිකුල් කෙරෙමින් නො කැමැත්තෙන් බඹසර හැසිරෙමි. එතෙකුදුවත්, පැවිද්ද සාධුන්ගේ වාසය යි බුද්ධාදී උතුමෝ පසසති. මෙසේ හෙයින් මම පින් කරන්නෙම් වෙමි.
1419. ඔබ මහණ බමුණන් හා මගියන් හා භික්‍ෂූන් ආහාර පානයෙන් සන්තර්‍පණය කරන්නාව. කන බොන දෑ ඇති ඔබගේ නිවාසය සතරමංසන්‍ධියෙක (කැණු) පොකුණක් වැන්න, කාගේ බසක් පිළිකුල් කරමින් මේ දානය නො කැමැත්තෙන් දෙයි ද?
1420. මාගේ මව් පිය මුතුන්මිත්තෝ සැදැවත් දානපතියෝ වූහ. ප්‍රතිග්‍රාහකයන්ගේ වචන වටහා ගත්තෝ ය. ඒ පරපුරෙන් ආ සිරිත අනුගමනය කරන මම ‘කුලයෙහි අන්තිමයා හිස් පුඟුලෙක් නො වේවා”යි (සිතන්නෙම්) මේ වචනය පිළිකුල් කරමින් නො කැමැත්තෙන් දන් දෙමි.
1421. හොබනා සිරුරු ඇත්තිය, ඉතා තරුණ වූ ගෘහසංවිධානය කිරීමට තරම් මේරූ නුවණ නැති, (ඔබ) තීගේ නෑයන්ගෙන් ගෙන ආයෙමි. මට මෙහෙවර කිරීමෙහි ඔබ නුරුස්නා බවක් නො හැඟ වීය. මා හා එක් ව වාසය කිරීම කවර කරුණෙකින් මෙසේ වී ද?
1422. ඉතා ඈත සිට අප කුලයෙහි පුරුෂ පරපුරෙක් නො වී ය. කුල සිරිත අනුව පවත්නා වූ මා නිසා කුලය හිස් නො වේවා යී සිතන්නෙම්. මේ වචනය පිළිකුල් කරමින් නො කැමැත්තෙන් ඔබට පාදපරිචාරිකා වීමි.
1423. මාණඩව්‍යය, නො කියයුතු දෙයක් කීවෙමි. මාගේ ඒ කීම පුතු ගැන සිතා කමා කෙරේවා, පුත්‍ර ප්‍රේමයට වැඩි ප්‍රේමයෙක් මෙ ලොවැ නැත. ඒ අප යඤ්ඤදත්ත කුමාරයා ජීවත් වේවා.
6. කණ්හදීපායන ජාතක යි.
1424. නිග්‍රෝධ රජුනි, මම මොහු නො දනිමි. මේ තෙම කාගේ කවරෙක් දැ යි සාඛයා යම්සේ කී ද, කෙසේ ද ඔබ ත් එසේ සිතවු ද?
1425. සාඛයාගේ වචන කරවූ, සේවකයෝ මුඛප්‍රහාරය දී ගෙල ගැනීමෙන් මා ඉවතට දැමූහ.
1426. ජනාධිපය, ඔබ ගේ මිත්‍රයකු වූ නුවණ නැති අකෘතඥ මිත්‍රද්‍රෝහි සාඛයා විසින් මෙබඳු පහත් ක්‍රියාවක් කරන ලද.
1427. මිතුර ඔබ මට යමක් කිවු ද, එය මම නො දනිමි. සාඛයා කළ තැළුම් පෙළුම් කිසිවෙක් මට නො කී යැ.
1428. ඔබ මටත් සාඛයාටත් එක සමාන ව සංග්‍රහ කළහු ය. මනුෂ්‍යයන් අතරේ ඉසුරු හා දියුණුව ඔබගෙන් අපි ලදුම්හ. මේ කරුණෙහි සැකයක් නැත.
1429. ගින්නෙහි ලූ බීජය ද දැවී යම්සේ (යළි) නො හටගන්නේ ද, එසේ අකෘතඥයාට කළ උපකාරය ද නැසේ. (නැවත) නො වැඩේ.
1430. සිල්වත් ශ්‍රේෂ්ඨ පැවැතුම් ඇති කෘතොපකාර දත් සත්පුරුෂයාට කළ උපකාරය සරුකෙතෙකැ වපුළ බිජුවට මෙන් (වැඩේ.) නො නසී.
1431. අසත්පුරුෂ සිතිවිලි ඇති ලාමක වූ කපටි වූ මේ සාඛයා තෙබින් (ඇණ) නසත්වා. මොහුගේ ජීවිතය (මම) නො රුස්නෙමි.
1432. මහරජ, අසත්පුරුෂ මොහුට කමා කෙරේවා. මළවුන්ගේ ප්‍රාණයෝ යළි ගෙන්වා ගන්නට නො හැකි වෙති. රජතුමනි, කමා කරනු මනා ය. මම මොහුගේ වධය නො රුස්නෙමි.
1433. නිග්‍රෝධයා ම ඇසුරු කරන්න. සාඛයා ගේ ඇසුරට නො යන්න. සාඛයා සමීපයේ ජීවත් වීමට වඩා නිග්‍රෝධයා සමීපයේ මිය යාම උතුම් වේ.
7. නිග්‍රෝධ ජාතක යි.
1434. පියාණෙනි, කුකුළල ද වැල්ලල ද සිරිඅල ද තල්අල ද මෙහි නැත. එහෙත් හුදෙකලා ව වනයේ සොහොන මැද වළක් කණනෙහි. පියාණෙනි, කුමක් කැමැත්තෙහි ද?
1435. පුත්‍රය, ඔබ මුත්තණුවෝ නොයෙක් රෝගයෙන් දුකින් පීඩා ලදහු බොහෝ දුබලයහ. අද මම ඔහු වළෙහි දමමි. ඔහුගේ ජීවත් වීම නො කැමැත්තෙමි.
1436. තොප විසින් තෙල පාපසංකල්පයෙක් ලබන ලද යැ. හිතෛෂී බව ඉක්මවා ගිය දරුණු පාපකර්‍මයක් කරන්නෙහි ය. පියාණෙනි, ජරාවට පත් තෙපි මෙබඳු ක්‍රියාවකින් (සංග්‍රහ) ලබන්නහුය. පාරම්පරික චාරිත්‍රය අනුව සිරිත් පවත්වන මමත් ඔබ වළට දමමි.
1437. කුමාරය, නුඹ පරොස් බසින් මට ගටා බෙණෙහි. පුත්‍රය තෝ මාගේ ඖරස පුත්‍ර වුවද මා කෙරෙහි අනුකම්පා නැත්තෙහි.
1438. පියාණෙනි, මම තොපට අනුකම්පා නැත්තෙම් නො වෙමි. තොප කෙරෙහි හිතානුකම්පා ඇත්තෙමි. පාපකර්‍මයක් කරන තොප (ඉන්) මුදාලන්නට සුදුස්සෙමි.
1439. වසිට්ඨය, පාපි පැවැතුම් ඇති යමෙක් නිරපරාධ මවුපියනට හිංසා කෙරේ ද හේ මරණින් මතු සැක නැතිව ම නරකයට යන්නේ ය.
1440. වසිට්ඨය, යමෙක් මව්පියන් කෑමෙන් බීමෙන් උවටැන් කෙරේ ද හේ මරණින් මතු සැක නැති ව ම දෙව්ලොවට යන්නේ ය.
1441. පුත්‍රය, නුඹ මට හිතානුකම්පා නැති නො වෙහි. නුඹ මට හිතානුකම්පා ඇතියව. මම වනාහි තොපගේ මව කියන හෙයින් මෙ වැනි දරුණු පාප කර්‍මයක් කරමි.
1442. උතුම් පැවැතුම් නැති, තොපගේ යම් බිරිඳක් වේ ද, මැය මා ප්‍රසුත කළ මාගේ මව වෙයි. මැය ගෙන් ඉවත් කළ මැනව. ඕ තොපට වෙනත් කරදර පමුණුවන්නී ය.