1096. බමුණ, හැඬීම නිසා ඒකාන්තයෙන් මැරී පරලොව ගිය පුද්ගලයා නැගී සිටී නම් ඔවුනොවුන්ගේ මළ නෑයනට අපි සියලුදෙනමෝ එක්වැගෙන හඩම්හ.
1097. ගිතෙල් ඉසින ලද දැල්වුණු ගින්නක් මෙන් (සොවින් දැවුණු) මා දිය ඉස නිවූ කලෙක මෙන් සියලු ශෝක දාහය නිවූයෙහි ය.
1098. යමෙක් ශෝකයෙන් මඩනා ලද මාගේ පුත්‍රශෝකය දුරු කෙළේ ද, (ඒ තෙපි) මාගේ හෘදය ඇසිරි කළ යම් ශල්‍යයෙක් වී ද එය ඒකාන්තයෙන් බැහැර කළහු යැ.
1099. ශෝක රහිත නො කැලඹුණු සිත් ඇති ඒ මම උපුටාලූ ශෝකශල්‍යය ඇතියෙම් වීමි. ශක්‍රය එහෙයින් තොපගේ බස් අසා ශෝක නො කරමි, නො හඬමි.
5. සෝමදත්ත ජාතක යි.
1100. සුසීම, හිසැ කේසයට අනුරූප පෙදෙස්හි හටගත් කේසයෝ පෙරැ කළුපැහැයෙන් යුතු වූහ, දැන් සුදු වූ ඒ කෙස් දැක දසකුසල්දහම්හි හැසිරෙව, මෙථුන විරති සංඛ්‍යාත බඹසරට මේ සුදුසු කාලය වෙයි.
1101. දේවයෙනි, නරකෙස් ඇතියේ මගේ හිසෙහි යැ, ඔබගේ හිසෙහි නො වෙයි, මාගේ මැ හිස යැ, මාගේ උතුමඟ යැ, තමහට අර්‍ත්‍ථයක් කරන්නෙමි යි සිතා බොරු කීමි. රජතුමනි, එක් අපරාධයකට කමා කළ මැනවි.
1102. රජතුමනි, තෙපි තරුණවහු, දැකුම්කලුවහු, තුරුණු කිළීලක් (ගොබයක්) වැනි ජීවිතයෙහි පළමු වයසෙහි සිටින්නහු යැ. එහෙයින් රාජ්‍යය ද කරනු මැනැවි, මා ද බලනු මැනැවි. (නොහොත් මා අනාථ නො කරනු මැනැවි.) ජනෙන්‍ද්‍රය, කාලික වූ සුවය අනුව නො දුවනු මැනැවි, නොහොත් මේ ජීවිතයෙහි වින්ද යුතු රජසුව අත් නොහළ මැනැවි.
1103. සිලිටි පහස ද සොඳුරු සිරුර ද යහපත් මැදපෙදෙස ද ඇති කුමරිය මම් දකිමි, කළුවැල් ළපලුවක් මෙන් සැලෙන ඕ කෙලෙස් වසඟ වූවා පුරුෂයන් සමීපයෙහි යයි.
1104. උපතින් අසූ හැවිරිදි වූ හෝ අනු හැවිරිදි වූ හෝ සැරයටියක් ගෙන වෙවුළමින් ගොනැස්සක් සෙයින් බිඳුණු සිරුරු ඇති ව ඇවිදින ඒ ස්ත්‍රිය පසුකලෙක දකිමි.
1105. ඒ මම් එය මැ නැවත නැවත සිතමින් යහන්මැද එකලා වැ හෝමි. මම ද මෙසේ (ජරාවට පත් වන්නෙමි යි) සිතා බලනුයෙම් ගෘහවාසයෙහි නො ඇලෙමි. (සොඳුර) මෙය බඹසර රක්නට සුදුසු කාලය යි.
1106. ගිහිගෙයි වසනුවහුගේ යම් පස්කම් සුවයෙහි ඇලීමෙක් වේ ද, තෙල එල්බෙන රැහැනක් වැන්න, පස්කම්සුවය ද හැරපියා ප්‍රාඥයෝ අපේක්‍ෂා රහිත වූවාහු කම්සුව හැරපියා තපස් රක්නට යති යි.
6. සුසීම ජාතක යි.
1107. මම බඹ දහසක් පමණ වූ නයකු ගෙන ආයෙමි. – විශාල ශරීරයක් ඇති ඒ නයා ද මා ද දරමින් නො සැලෙහි.
1108. කෝටිසිම්බලිය, මට වඩා අත්‍යල්ප මාංශ ඇති මේ කුඩා පක්‍ෂියා දරා සිටිමින් තෝ කවර කරුණින් බිය වූයෙහි දැ? යී.
1109. රජතුමනි, තෙපි මස් කන්නහු ය. මේ පක්‍ෂි තෙම ගෙඩි කන්නෙකි. මේ තෙමේ නුග පළොල් දිඹුල් ඇසතු යන මේ ගෙඩිවර්‍ග කා (මාගේ) කඳෙහි මල පහකරන්නේ ය.
1110. මාගේ පාර්‍ශවයෙහි (අතු අතරෙහි) වාත රහිත තැන්හි වැඩුණු නුග ආදි රුක්හු සරුවට වැඩෙති, ඒ ගස් මා වැළැඳගනී. (පසුව) මා රුක් නැත්තකු කෙරෙත්.
1111. නුග ආදි බිජුවට ගෙන එන මේ සකුණ සමූහයා විසින් නසනලද මුල් සහිත කඳ ඇති වෙනත් ගස්හු ඇතියහ.
1112. රජතුමනි, විශාලගස් යටපත් කරගෙන (ඇසටු ආදි ගස්) වැඩෙති. එහෙයින් අනාගත බිය දක්නෙම් සැලෙමි.
1113. සැක කටයුතු දෙය සැක කරන්නේ ය. නො පැමිණි බියෙන් රැකෙන්නේ ය. (නොහොත් පාණාතිපාතාදි පාපක්‍රියාවන් නොකර හැරීම හා පවිටුමිතුරන්ගේ හා වෛරී පුඟුලන්ගේ ඇසුරෙන් ඉවත් වන්නේ ය.) නුවණැත්තේ නො පැමිණි බියෙන් දෙලොව රැක ගන්නේ යි.
7. කෝටිසිම්බලි ජාතක යි.
1114. සුචරිත ධර්‍මය ප්‍රිය කරන ‘යුධිෂ්ඨීර’ රජු විධුර පඬි තුමා අතින් විචාළේ ය. බමුණ, එකලා ව වසන කවරෙක් බොහෝ කොට ශෝක කෙරේ දැ යි කිම දන්නෙහි ද?
1115. එළු රැළ හා සමග බොහෝ දර ඇති ව වනයෙහි වෙසෙන ‘වාසෙට්ඨ’ බමුණු දවරැයෙහි අනලස් වැ මදුරු උවදුරු නැති කරන්නට ගිනි දල්වා දුම් ඇති කෙළේ ය.
1116. මැසිමදුරුවන්ගෙන් පෙළුණු සරභ මෘගයෝ ඒ දුම් ගඳින් දුම හටගන්වන ඒ බමුණා සමීපයෙහි වැසිකල විසීමට පැමිණියහ.
1117. සරභ මුවන් කෙරෙහි ස්නේහය උපදවාගත් ඒ බමුණු වනයෙන් පෙරළා එන්නාවූ හෝ ගොවුදෙන් වනයට යන්නාවූ හෝ එළුවන් නො දනී. එහෙයින් ඔහුගේ ඒ එළුවෝ නැසුණහ.
1118. වනයෙහි මදුරුවන් ප්‍රහීණ ව ගිය සරත් කාලයෙහි සරභමුවෝ ගඞ්ගා හටගන්නා ගිරිදුර්‍ගවලට පිවිසියහ.
1119. සරභමුවන් වල් වැදුණු බව ද එළුවන් මළ බව ද දැකැ බමුණු කෘශ වූ දුර්වර්‍ණ වූ පාණ්ඩුරෝගියෙක් විය.
1120. යමෙක් මෙලෙස ස්වකීයයන් බැහැර කොට අමුත්තන් ප්‍රිය කෙරේ ද හෙතෙම ධූමකාරී බමුණා මෙන් එකලා ව බොහෝ දුක් ඇතියෙක.
8. ධූමකාරි ජාතක යි.
1121. මෙලොව කවරෙක් නිදිවර්ජිතයන් අතුරෙහි සයනය කෙළේ ද? සයනය කළවුන් අතුරෙහි කවරෙක් නිදිවර්ජිත ද? මාගේ තෙල ප්‍රශ්නය දනී ද? කවරෙක් මේ ප්‍රශ්නය විසඳන්නට සමත් වේ ද?
1122. නිදි වර්ජිතයන් අතුරෙහි මම නිදන්නෙමි, සයනය කරන්නන් අතරෙහි මම නිදි වර්‍ජනය කරමි. මේ ප්‍රශ්නය මම දනිමි, තොප විසින් පහදන්නට මම පොහොසත්මි.
1123. නිදි වර්ජිතයන් අතුරෙහි කෙසේ නිදාගත්තේ ද? නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කළේ කෙසේ ද? මේ ප්‍රශ්නය කෙසේ දනිහි ද? මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට කෙසේ සමත් වෙහි ද?
1124. දේවතාවෙනි, සිල්වත් වීම ඉන්‍ද්‍රිය දමනය යන ගුණ ධර්‍මයන් යම් කෙනෙක් නො දනිත් ද, ඔවුහු කෙලෙස් නින්දෙන් නිදද්දී මම අප්‍රමාද ගුණයෙහි පිහිටා නො නිදා සිටිමි.
1125. දේවතාවෙනි, යම් රහතුන් වහන්සේ කෙනකුන්ගේ රාගදෝසමෝහයෝ නැසුණාහු ද ඒ ආර්‍ය්‍යයන් නො නිදන කලැ මම නිදාගත්තෙමි.
1126. නිදි දුරුකරන්නවුන් අතුරෙහි මම මෙසේ නිදමි, නිදන්නවුන් අතුරෙහි මම මෙසේ නිදි වර්‍ජනය කරමි. මෙසේ මේ ප්‍රශ්නය දනිමි. ඔබට මෙසේ ප්‍රකාශ කරන්නට සමත් වෙමි.
1127. මනාලෙස නො නිදන්නවුන් අතුරෙහි සයනය කෙළෙහි, මනාලෙස නිදන්නවුන් අතුරෙහි නො නිදන්නෙහි, මනාසේ ප්‍රශ්නය දත්තෙහි, මා ඇසූ ප්‍රශ්නය මනාලෙස විසඳන්නට සමත් වෙහි යි.
9. ජාගර ජාතක යි.
1128. අලාමක වූ ප්‍රත්‍යෙකබෝධිඥාන ඇති පසේබුදුවරයන් කෙරෙහි කළ වැඳුම් පිදුම් ආදි පරිචර්‍ය්‍යාවන්ගේ ආනිසංසය ස්වල්ප නො වේ. තෙල්, පැණි රහිත කොමුපිඬු දානයෙහි විපාක බල.
1129. ඇත් අස් ගවයෝ ද ධනධාන්‍යයෝ ද සියලු මහ පොළොව ද, දෙවඟනන් වැනි සුන්‍දර රූපිකාවෝ ද මට බොහෝ වෙති. කොමුපිඬු දානයෙහි විපාක බල.
1130. කුශලාධ්‍යශය ඇති රාජශ්‍රේෂ්ඨය, නිරතුරු ගාථා කියන්නෙහි ය රාජ්‍යය දියුණු කරන උතුමාණෙනි, ඔබ විචාරමි. ප්‍රමුදිත ව මෙහි අරුත් කියනු මැන.
1131. මේ නගරයේ ම එක්තරා කුලයෙක උපන්මි. අනුන්ට බැලමෙහෙකම් කොට දිවි රක්නෙම් පිරිසුදු පන්සිල් ඇති වීමි.
1132. කර්‍මාන්ත සඳහා යන මම ආචාරයෙන් හා ශීලයෙන් සම්පූර්‍ණ වූ පාප රහිත හෙයින් සිහිල් වූ ආස්‍රව රහිත වූ ශ්‍රමණයන් වහන්සේ සතර නමක් දිටිමි.
1133. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා කොළ ඇතිරියෙහි වඩාහිඳුවා පහන් සිතැති ව පසේබුදුවරුන්හට සියතින් කොමුපිඬු පිළිගැන්වූයෙමි.
1134. මාගේ පුණ්‍යකර්‍මයේ විපාකඵලය මෙබඳු ය. හැම සම්පත්තියෙන් ආඪ්‍ය වූ උතුම් පොළොව සහිත රාජසම්පත විඳිමි.
1135. කෝසලාධිපය, දන් දී වළඳනු මැනැවි. දානාදි පුණ්‍ය ක්‍රියාහි නොසැලැකිලි නොවන්නේ මැනැවි. චතුශ්චක්‍රක සම්පත් සපුරාලනු මැනවි. රජතුමනි, අධාර්මිකයකු නොවනු මැනැවි. දහම් රකින්නේ මැනැවි.
1136. ඒ මම බුද්ධාදි ආර්‍ය්‍යයන් නැවැතැ නැවැතැ පුරුදු කළ මඟෙහි ම හැසිරෙන්නෙමි, රහතුන් වහන්සේ දකින්නට මට රිසි ඇත.
1137. දේවිය, (කොසොල්රජුගේ දුවක වූ තෙපි) කතුන් මැද අප්සරාවක මෙන් බබලන්නවු ය. පෙර කිනම් කුශලකර්‍මයක් කළා ද? කවර කරුණෙකින් වර්‍ණවත් වූවා ද?
1138. රජතුමනි, මම කෙළෙඹිකුලයක පණිවුඩ ගෙනයන දාසියක් වීමි. තිදොරින් සංවර වූ දැහැමෙන් ජීවත් වන ආචාරසීල සම්පන්න වූ දැකුම්කලු වීමි.
1139. එකලැ මම තමහට ලැබුණු බත්කොටස ගෙනෙනුයේ පිඬුසිඟා වඩනා බුන් කෙලෙස් ඇති පසේබුදුන් වහන්සේට සතුටු සිත් ඇති ව දුනිමි. (පිදීමි) ඒ කර්‍මයේ ඵලය මෙබඳු ය.
10. කුම්මාස පිණ්ඩ ජාතක යි.
1140. අනිෂ්ටවූ දෙයක් මට එන්නේ ය. මට බියක් එන්නේ ය. (යම්හෙයෙකින්) එකල්හි අත්ත මිනිසකු විසින් හෝ මෘගයකු විසින් හෝ සෙලැවිණි.
1141. බියවන ස්වභාව ඇති නුදුරෙහි වසන මගේ බැමිණිය නිසා මට කාමසිතුවිලි උපදී ද, පරන්තප දාසයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූ පඬු පැහැය ඇත්තකු කරන්නේ ය.
1142. මාගේ ප්‍රිය වූ බිරිඳ ගමේ වසන්නී අනින්‍දිත වූවා උතුම් රූ ඇත්තී මා ශෝක කරවා වියළවන්නී ය. පරන්තපයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූවකු ද පඬුපැහැ ඇත්තකු ද කරන්නේ ය.
1143. කළු ඇස්කෙළවර ඇත්තී ය, තී පවත්වන මන්‍දස්මිතය ද මධුර කථා ද පරන්තපයා බිය කළ ඒ අත්ත මෙන් මා කෘශ වූවකු ද පඬුපැහැ ඇත්තකු ද කරන්නේ ය.
1144. ඒ ශාඛා ශබ්දය තා කරා ආයේ යයි සිතමි. ඒ ශබ්දය තොපට දැනුම්දෙන ලදැ යි සිතමි, යමෙක් ඒ අත්ත සෙලැවී ද හේ පියා මැරූ හේතුව කියන ලද යි සිතමි.
1145. බාල වූ මා සිතූ දෙය තා වෙත පැමිණියේ ය. එකලැ සෙලවුණු අත්ත මිනිසකු හෝ මෘගයකු හෝ සෙලවූයේ දැ යි නො පැනිණි.
1146. තෝ මාගේ පියා මැරුයෙහි ය, මරා අතුවලින් වසමින් එබඳු බියක් එන්නේ යයි දෑනගත්තෙහි යයි.
11. පරන්තප ජාතක යි.
දෙවන ගන්‍ධාර වර්‍ග යි.
එහි උද්දානය:
ගන්‍ධරජාතක (වරගාම) යැ මහාකපිජාතක යැ කුම්භකාරජාතක (භග්ගව) යැ දළභධම්මජාතක යැ සෝමදත්තජාතක (කුක්කුර) යැ සුසීමජාතක (කේස) යැ කොටිසිම්බලිජාතක (උරග) යැ ධූමකාරි ජාතක (විධුර) යැ ජාගරජජාතක යැ කුම්මාසපිණ්ඩජාතක යැ පරන්තප ජාතක යැ යි දසයෙකි.
සත්තක නිපාතය නිමි.
එහි වර්‍ග උද්දානය:
සත්තකනිපාතයෙහි කුක්කුවර්‍ග යැ ගන්‍ධාරවර්‍ග යැ යී වර්‍ග දෙකක් මැ මහර්ෂි වූ බුදුරජුන් විසින් වදාරන ලදහ.
8. අට්ඨක නිපාතය
1147. කච්චානිය, හැඳි සුදුවත් ඇත්තී පවිත්‍ර වූ තෙතකෙස් ඇත්තී මිනීඔළුවෙන් කළ උදුනෙහි පිසින තලිය තබා තලපිටි බහා සහල් දොවන්නේ කුමට ද? තලබත් කුමට ද?
1148. සොඳුරු නුවණැති බමුණ, මේ තලබත අනුභව කිරීම පිණිස නො වේ. ධර්‍මය (වැඩිහිටියන් සැලැකීම හා ත්‍රිවිධ සුචරිතය) මළේ ය. මම සොහොනමැද සිට ඒ ධර්‍මයට මතකබත කරන්නෙමි.
1149. කච්චයානිය, විමසා බලා කටයුතු කරව. ධර්‍මය මළේ යයි තොපට තෙල කීයේ කවරෙක් ද? අසම වූ තෙද ඇති දහසක් නෙත් ඇති (ශක්‍රසංඛ්‍යාත) ශ්‍රේෂ්ඨ ධර්‍මය කිසිකලෙක නො මැරේ යයි කී ය.
1150. බමුණ, මෙහි මාගේ දැඩි ප්‍රමාණය යි (හෙවත් විශ්වාසයයි.) මෙහි ලා මට සැකයෙක් නැත. දැන් යම් යම් කෙනෙක් පාපියෝ වෙත් ද ඔවුහු ම සැප ඇත්තෝ වෙත්.
1151. මාගේ ලෙහෙළි වඳ වූවා ය. ඇය මා තළා පෙළා පුතකු ප්‍රසූත කළා ය. දැන් ඕ තොමෝ ගෙදරට අධිපති වූවා ය. ගෙයින් බැහැර කරන ලද මම තනි ව අනාථ වීමි.
1152. මම දිවි ඇත්තෙමි, මම නො මළෙමි, තී නිසා මෙහි පැමිණියෙමි, යම් ස්ත්‍රියක් තොපට හිංසා කොට පුතකු වැදුවා ද පුතා සමග ඇය අළු කරමි යි කී ය.
1153. ශක්‍රය, මෙය තොපට රුචි වේ. මා නිසා මෙහි පැමිණියෙහි මම ද පුතා ද ලෙහෙළිය ද මුණුබුරා ද සතුටු වෙමින් ගෙහි වසම්හ.
1154. කච්චානිය, මෙය තොපට රිසි වෙයි, තළනු ලැබූ ද තෙපි පුත්‍රයා කෙරෙහි මෛත්‍රිය නො හළවු ය, තෙපි ද පුතා ද ලෙහෙළිය ද මුණුබුරා ද ප්‍රමුදිත ව වසවු.
1155. කච්චාන ගෝත්‍ර ඇති ඕ ලෙහෙළිය සමග සතුටින් ගෙහි වුසූවා ය. දේවේන්‍ද්‍ර වූ ශක්‍රයාගේ රැක්ම ලද පුතා ද මුණුබුරා ද ඇයට උවටන් කළහ.
1. කච්චානි ජාතක යි.
1156. කොක්රජුට වාසභවන වූ මාගේ පියා සතු ගෙය වූ මේ මගුල්පොකුණ පෙර දියසොරොව්වෙන් දිය පිරුණු කලැ බොහෝ මසුන් ඇත්තේ ය යි ද, දිය බොහෝ ඇත්තේ ය යි ද කියති. (එහෙත්) අද අපි එක් මැඩියකුගෙන් දිවි රකුම්හ. කුසගින්නෙන් පෙළෙන්නමෝ නමුදු වාසස්ථාන හැර නො යම්හ.
1157. නො හික්මුණු බන්‍ධුර නමැති ඇත්ගොව්වාගේ දෙවැනි ඇස කවරෙක් බිඳී ද, මාගේ පුතුන් ද කූඩුව ද මා ද කවරෙක් රැක දෙන්නේ ද?
1158. යම් පමණ එළය තුබුණේ ද එළය සියල්ල ම කන ලද, මහරජතුමනි, කන්නට තුබූ දෙය ක්‍ෂය වූ කලැ ගුල්ලා අරටුයෙහි නො ඇලේ.
1159. ඒ මම මේ රජනිවෙසින් මිදී ගොස් රුක්අතු නිවාස කොටගෙන තමා කවදා සිත් අලවා වෙසෙම් ද.
1160. ඒ මම මේ රජනිවෙසින් මිදී ගොස් මෘගසමූහයාගේ පෙරමුණෙහි යනුයෙම් ඉඳුල් නො කළ දිය බොන්නට කවදා ලබම් ද.
1161. බාහික රටවැසි භරත නමැති වැද්දා පඤ්චකාමසම්පත්තියෙන් පිරුණු රාගයෙන් රත් වූ කාමයෙන් මුසපත් වූ ඒ මා මෙහි ගෙනාවේ ය. තොපට සෙතක් වේවා.
1162. ඝනාන්‍ධකාරයෙහි උස්වූ පර්‍වත මුදුනෙහි (සිටි) මාගේ බිරිඳ වූ කිඳුරිය ගලෙහි පය නො පැකිලේවා යි මොළොක් බසින් කීවා ය.
1163. නිවන්දුටු මම ඒකාන්තයෙන් ම මවුකුස වාසයට නැවත නො එන්නෙමි. මෙය මාගේ අවසාන ප්‍රතිසන්‍ධිය වේ. නැවත ඉපැදීම නම් වූ සසර ගමන ගෙවීගියේ යි.
2. අට්ඨසද්ද ජාතක යි.
1164. පින්වත, ගෙලපළඳනා මේ ආභරණය ද මුතු රැස ද වෛදූර්‍ය්‍යමණික්‍යය ද යන සියල්ල ගනු මැනැවි. මා දාසියකැ යි අස්වව හෙවත් කියව.
1165. සොඳුර, තිගේ පළඳනා ගළවා තබව, බොහෝ නො හඬව. (මෙරමා) නො නසා ගෙනා ධනය මම නො දනිමි. හෙවත් නො ගනිමි.
1166. යම් කලෙක සිට තමා සිහි කෙරෙම් ද, යම් කලෙක සිට (හොඳ නරක තේරුම් ගන්නා) නැණැති බවට පැමිණියෙම් ද (ඒතාක්) තට වඩා ප්‍රියතමයකු මම නො දනිමි.
1167. එනුමැන, තොප වැළැඳගන්නෙමි, පැදැකුණු කරන්නෙමි, මාගේ ද තොපගේ ද නැවැත එක්වීමෙක් නැත.
1168. හැම තැන්හි පුරුෂයා පණ්ඩිත නො මැ වෙයි. විචක්‍ෂණ වූ ස්ත්‍රිය ද ඒ ඒ තැන්හි පණ්ඩිත වේ.
1169. හැම තැන්හි පුරුෂයා පණ්ඩිත නො මැ වේ. වහා කරුණු සිතා වටහාගන්නා ස්ත්‍රිය ද පණ්ඩිත වේ.
1170. ඒකාන්තයෙන් ලැසි නො වී පමා නො වී ඔහු මරන්නට උපක්‍රම සිතී ය, දක්‍ෂ මුවවැද්දෙක් දුන්නෙන් විද මුවකු මරන්නේ යම්සේ ද එසේ සුලසා තොමෝ සත්තුක නමැති සොරා මැරී ය.
1171. මේ ලෝකයෙහි යමෙක් තමා වෙත පැමිණි කරුණ වහා තේරුම් නො ගනී ද නුවණ මඳ හේ පර්‍වත ප්‍රපාතයෙහි සොරා මෙන් විනාශ වේ.
1172. මේ ලෝකයෙහි යමෙක් පැමිණි විපත වහා තේරුම් ගනී ද, හේ සත්තුක නමැති සොරාගෙන් මිදුණු සුලසාව මෙන් සතුරු උවදුරින් මිදේ.
3. සුලසා ජාතක යි.
1173. (මම්) අතිශයින් කිපියෙම් වෙමි යි (වරදකරු) බලා රජ තෙම යුහුසුලු ව දඬුවම් නො පමුණුවන්නේ ය. කවර හෙයින යත්: කිසිත් හේතු රහිත ව රජකමට නුසුදුසු අනුන්ට බලවත් දුකට හේතු වන දඬුවම් කියන්නේ ය. හෙවත් නියම කරන්නේ ය.
1174. යම් කලෙකැ තමා කෙරෙහි පැහැදීම ඇතැ යි දන්නේ ද, අන්‍යයාගේ වරදට හේතු සොයන්නේ ද මෙය ඔහුගේ වරද ය යි (සිතා) බලා ඉක්බිති ඔහුට යෝග්‍ය දඬුවම නියම කරන්නේ ය.
1175. සතර අගතියෙන් අගතිගාමී නො වී යමෙක් යුක්තිය හෝ අයුක්තිය පිරික්සා ද හෙතෙම අන්‍යයා ද තමා ද නො පෙළයි. යම් රජෙක් වරදට සුදුසු දඬුවම් දෙවන්නේ වේ ද ඒ රජ තෙම ගුණයෙන් හා පිරිවරින් නො පිරිහෙයි.
1176. යම් රජෙක් නො විමසා ක්‍රියා කරන්නේ ද (කෝපයෙන්) මුසපත් ව වහා දඬුවම් නියම කෙරේ ද හේ කීර්ති රහිතයෙක් ව ජීවිතය හරෙන් ය. (මැරෙන්නේ ය) මෙයින් මැරී දුගතියට ද යෙයි.
1177. යම් රජ කෙනෙක් ආර්‍ය වූ දැහැමිරජුන් විසින් ප්‍රකාශිත දශරාජධර්‍මයෙහි ඇලුණෝ ද, ඔවුහු වචනයෙන් සිතින් හා ක්‍රියායෙන් උත්තමයහ. ශාන්තියෙහි සීලයෙහි හා සමාධියෙහි පිහිටි දැහැමි රජවරු දෙලොවට ම (දෙව්මිනිස් ලෝකදෙක) පැමිණෙත්.
1178. මම ස්ත්‍රීපුරුෂයන්ගේ ස්වාමි වූ රජ වෙමි, ඉදින් කිපියේ වුව ද තමා නීතියෙහි පිහිටුවමි, (නීතියෙහි පිහිටා කටයුතු කරමි.) ජනයා නොමග යාමෙන් වළකා අනුකම්පා සහිත ව නුවණින් දඬුවම් දෙමි.