Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 1501-1600 න් 7679

931. (කුරුඳුගල් සුන්නෙන්) මැනැවින් මදනා ලද සුන්‍දර පාශ ඇති අනුක්‍රමයෙන් මොනොවට වට වූ කිනිහිරය විනිවිදුනා තද ඉදිකටුව මිලයට ගන්නට කවරෙක් කැමැති වේ ද.
932. දැන් ඉදිකටු ද බිළිකටු ද මේ කඹුරුගමින් ඒ ඒ දිග පැතිර යන්නාහ. කඹුරුගමේ ඉදිකටු විකුණන්නට කැමැති මේ කවරෙක් ද?
933. මෙයින් ආයුධ ද බැහැර යති. නානාවිධ බොහෝ කර්‍මාන්තයෝ ද (මෙයින් ගෙනගිය උපකරණයෙන් මැ) පවතිත්. මේ කඹුරුගමේ ඉදිකටු විකුණන්නට මේ කවරෙක් සුදුසු වේ ද.
934. දන්නා තැනැත්තා විසින් ඉදිකටුව කඹුරුගම්හි විකිණියයුතු ය. කුමක් හෙයින් ද යත්, මනා නො මනා කර්‍මාන්තය ශිල්පාචාරීහු මැ දනිත්.
935. සොඳුර තීගේ පියා මා විසින් කරන ලද මේ ඉදිකටුව හැඳින්නේ වී නම් තී ද මට පවරන්නේ ය. ගෙහි යම් අන් ධනයකුත් ඇත් ද එය ද පවරන්නේ යි.
2. සූචි ජාතක යි.
936. අලුත් අයුරෙකින් පිළියෙළ කළ දීමනාවක් දෙනු ලැබේ. අපගේ බත්ඔරුව පිරී තිබේ. අපගේ ස්වාමිදුව ද සිටිනී ය. පාශ ගත් අතැති බොහෝ දෙනා වෙති. මට කන්නට රුචිය ඇති නො වේ.
937. තුණ්ඩිලය, තැති ගත්තෙහි, ඒ මේ අත කැරකෙන්නෙහි ය, පිහිට කැමැත්තෙහි ය, අසරණ වූයේ කොහි යන්නෙහි ද, අල්පොත්සුක ව අනුභව කරන්න. මස සඳහා අපි පෝෂණය කරනු ලබම්හ.
938. මඩ නැති විලට බසුව. ඩහදිය කුණු සියල්ල ඉවත් කරව. යමක් පිළිබඳ ගන්‍ධය කිසිකලෙකත් නො නැසේ ද එබඳු නව විලේපනයක් ගනුව.
939. මඩ නැති විල කවරේ ද? කුමක් ඩහදිය මලය යි කියනු ලැබේ ද? නව විලේපනය යනු කුමක් ද? කුමක් පිළිබඳ ගන්‍ධය කිසිකලෙකත් නො නැසේ ද?
940. තුන් සුචරිතය ආදි ගුණදහම් මඩ නැති විල ය. සියලු පාපයෝ ඩහදියමල ය. සීලය නව විලේපනය යි. සීලයේ ගන්‍ධය කිසිකලෙක නො නැසේ.
941. අන්‍යයන් නසන්නෝ (අන්‍යයන් නැසීමේ දී) සතුටු වෙති. සිරුරු දරන්නෝ (තමහට මරණ වාරය පැමිණි සඳ) සතුටු නො වෙති. පුන්සඳ උදා වැ ඇති (අද වැනි) දවස්හි (ගුණයෙන් පිරුණු අප වැන්නෝ) ප්‍රීති සිතැති ව ම ජීවිතය අත් හරිති.
3. තුණ්ඩිල ජාතක යි.
942. එම්බා යහළුව, දිග ඇස් ඇති කටුව ම සිවිය කොට ඇති දියෙහි වෙසෙන ලොම් නැති අඬු නමැති අං ඇති සිංගීමිග නමැති කකුළුවෙකි. ඔහු විසින් මඩනා ලදුයෙන් අසරණ ව හඬමි. කුමක් හෙයින් මා හැර යෙහි ද?
943. මිතුරු වූ ඒ සර්‍පයා මිතුරු කපුටා රක්නේ විශාල පෙණයක් සහිත ව ප්‍රශ්වාස කරමින් කකුළුවා වෙත පැමිණියේ ය. කකුළුවා ඒ සර්‍පයා ද අල්ලා ගත්තේ ය.
944. කකුළුවා ආහාර වශයෙන් කපුටා හෝ සර්‍පයා හෝ නො ගත්තේ ය. දිගු නෙතැත්තාණනි, තා විචාරමි. කවර හෙයින් අප දෙදෙනා අල්ලා ගත්තෙහි ද?
945. මේ පුරුෂයා මට හිත කැමැත්තේ ය. හේ මා දියට පමුණුව යි. ඔහු මළ කල්හි මට බොහෝ දුක් වන්නේ ය. මම ද මෙ තෙමේ ද යන දෙදෙනා ම ජීවත් නො වෙමු.
946. හොඳින් වැඩුණු ශරීරය ඇති, රසවත් වූ මහත් වූ මොළොක් වූ මස් සහිත මා දැක හැමදෙන හිංසා කරන්නට කැමැති වන්නෝ ය. මා දැක කවුඩෝ ද හිංසා කරන්නෝ ය.
947. ඉදින් ඔහු නිසා අප දෙදෙනා ගන්නා ලද්දාහු නම් පුරුෂයා නැඟීසිටීවා විෂ උරා ගනිමි. මිනිසාට විෂ වේදනා වැඩි වන්නට පෙර මා ද කවුඩා ද වහා මුදව.
948. සර්‍පයා මුදමි. කවුඩා නො මුදමි. කවර හෙයින් ද යත්, කවුඩා තට ඇපකරුවකු වන්නේ ය. යම්සේ සර්‍පයා මිදූයෙම් ද, පුරුෂයා නීරෝග වූ පසු කවුඩා ද එසේ මුදන්නෙමි.
949. කවුඩා එදවස දෙව්දත් විය. මරහු වනාහි කෘෂ්ණ සර්‍පයා විය. යහළු කක්කටක ආනන්‍ද තෙරුන් වහන්සේ වූහ. ශාස්තෘ වූ මම් බ්‍රාහ්මණ වීමි.
4. සුවණ්ණකක්කටක ජාතක යි.
950. පර්‍වතයේ ද කඳුබෑවුම්හි ද පර්‍වත විවරයේ ද හැසිරෙන මය්හක නමැති පක්‍ෂියෙක් පැසුණුගෙඩි ඇති පුලිල ගසෙක සිට “මය්හං මය්හං” මගේ මගේ ය යි කියමින් හඬයි.
951. මෙසේ ඔහු හඬද්දී ම ගසට රැස් වූ පක්‍ෂි සමූහයෝ පුලිලගෙඩි කා යති. ඒ පක්‍ෂියා හඬන්නේ ම ය.
952. එ සෙයින් ම මෙලොව ඇතැමෙක් බොහෝ ධනය රැස් කොට බෙදුව මනා කොටස් බෙදා නො දෙති. තමා ද නිසි ප්‍රයෝජන නො ලබයි.
953. හේ එක්වරෙක් හෝ ඇඳුම්වලින් හා ආහාරයෙන් ප්‍රයෝජන නො ගනී. මලින් සැරසීම හෝ විලෙවුන් අලෙවු දීම හෝ නො කරයි. කිසිම නෑයකුට සංග්‍රහ නො කරයි.
954. මගේ මගේ යයි රකිමින් හඬන්නා වූ ඔහුගේ වස්තුව රජවරු ද නැතහොත් හොරු ද අප්‍රියයෝ ද ගෙනයත්. ඒ මිනිසා හඬන්නේ ම ය.
955. නුවණැත්තා වස්තුව ලැබ නෑයන්ට සංග්‍රහ කරයි. එයින් හේ කීර්තිය ඇත්තේ වේ. පරලොව ද ස්වර්‍ගයේ (ඉපිදැ) සතුටු වේ.
5. මය්හක ජාතක යි.
956. සොඳුරු රූ ඇති තෙපි විරූප වූවකු (පැවිද්දකු) පෙරටු කොට ඇඳිලි බැඳ නමස්කාර කරවු. මෙතෙම තොපට වඩා උතුම් ද නැතහොත් සමාන වේ ද. අනෙකාගේ ද තමාගේ ද නම කියව.
957. රජතුමනි, මනා පිළිවෙත් ඇති ඍජුමගට පිළිපන් උතුම් වූ විශුද්ධිදේවියන්ගේ නම් ගොත් උත්පත්තියෙන් දෙවි වූවෝ නො ගනිත්. මම ඔබට මගේ නම කියමි. තව්තිසා දෙව්ලෝ වාසීන්ට අධිපති වූ මම ශක්‍රයා වෙමි.
958. දෙව්රජුනි, මෙය ඔබ විචාරමි. යමෙක් සීලසම්පන්න වූ භික්‍ෂූන් වහන්සේ දැක (උන්වහන්සේ) ඉදිරියේ ඇඳිලි බැඳ නමස්කාර කෙරේ ද හේ මින් සැවැ කිනම් සුවයක් ලබන්නේ ද.
959. යමෙක් සිල්සපන් භික්‍ෂූන් වහන්සේ දැක (උන් වහන්සේ) ඉදිරියේ ඇඳිලි බැඳ නමදී ද හේ මේ දිවියේ දී ම පැසසුම් ලබයි. මරණින් මතු දෙව්ලොවට පැමිණේ.
960. අද දෙවියන්ගේ ස්වාමියා වූ ශක්‍රයා දුටුවෙමු ද එහෙයින් කර්‍මවිපාක ඥානය පහළ විය. ශක්‍රය භික්‍ෂූන් වහන්සේ ද ඔබ ද දැක බොහෝ පින් කරන්නෙමි.
961. බහුශ්‍රුත වූ බොහෝ දේ සිතන නැණවත් යම් කෙනෙක් වෙත් ද ඔහු ඒකාන්තයෙන් ඇසුරු කළ යුත්තාහ.
962. දෙව්රජතුමනි, ඔබේ සුබැසි වදන් අසා කෝප නැතියෙක් ව හැමවිට පහන් සිතැති ව සියලු ආගන්තුකයන්ගේ ඉල්ලීමට සුදුස්සෙක් වැ මානය නසා වඳින්නෙමි.
6. ධජවිහෙඨ ජාතක යි.
963. යම් හෙයෙකින් දියේ හටගත් කයින් වචනයෙන් නො දුන් මේ පියුම සුඹුනෙහි ද මෙය අදත්තාදානයේ එක් කොටසෙකි. එසේ හෙයින් නිදුකාණනි, සුවඳසොරෙක් වූයෙහි ය.
964. පියුම නො ගෙන යමි. නො කඩමි. දුරින් සිට සිඹීමි. ඉක්බිති කවර කරුණෙකින් සුවඳසොරා යි කියනු ලැබේ ද?
965. යමෙක් නෙළුම්අල සාරයි ද හෙළනෙළුම් කඩයි ද මෙබඳු දරුණු කම් කරන්නහු සොරා යයි නො කියනු ලැබේ ද?
966. නිරන්තරයෙන් දරුණුකම් කරන පුරුෂයා කිරිමවගේ අපවිත්‍ර වස්ත්‍රය මෙන් පාපක්‍රියා නිසා හැමවිට අපිරිසුදු ය. එහෙයින් ඔහු ගැන මාගේ කථාවක් නැත. තොප කියන්නට නිස්සෙමි (ශ්‍රමණයන් ඔවා අසන්නට කැමැති හෙයිනි.)
967. නිදොස් වූ නිරන්තරයෙන් (තිදොරා) පවිත්‍ර වූ ගුණදහම් සොයන පුරුෂයාගේ පාපය කෙසගක් තරම් වුව ද මහවැහි වලාකුළක් මෙන් වැටහේ.
968. එම්බා දේවතාව තෙපි ඒකාන්තයෙන් මා දැනගත්තහු ය. නැවත මට අනුකම්පා කරව. දෙවිය, යම් කලෙක මෙවැනි දොසක් දුටුයෙහි නම් එකල්හි දු නැවත ඔවා ලෙසින් කියව.
969. භික්‍ෂුව (තවුසාණෙනි) තොප ඇසුරු කොට ජීවත් නො වම්හ. ඔබගේ බැළයක් නිසා ජීවත් නො වම්හ. යමක් නිසා සුගතියට යන්නේ ද තෙපි ම එය දැන ගනුව යී.
7. භිසපුප්ඵ ජාතක යි.
970. යම් කෙනෙක් ඉඳුල් කා ජීවත් වෙත් ද ඔවුහු ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙති. මේ ජීවිතයේ ම ප්‍රශංසා ලැබිය යුත්තෝ ය. පරලොව සුගතිය ලබන්නෝ ය.
971. පඬිවරුනි, ගිරවාගේ වචනය නො අසවු. සහෝදරයෙනි, මෙය අසවු, මෙතෙම අපට පසසයි.
972. කුණප භක්‍ෂකයෙනි, මා කියන්නක් අසවු. මම තොපට ප්‍රශංසා නො කරමි. තෙපි ඉඳුල් කන්නහු ය. කා ඉතුරු කළ දෙය කන්නෝ නො වෙති.
973. මේධ්‍යාරණ්‍යයෙහි වෙසෙන සිළුව සහිත පැවිද්දන් වූ අපට සත් වසක් ගෙවිණ. ඉඳුල් කා යැපෙන අපි භවත්හු විසින් ගර්‍හා කළ යුත්තෝ වමෝ නම් භවත්හු විසින් ප්‍රශංසා කළ යුත්තෝ කවුරු ද?
974. තෙපි හැම සිංහ ව්‍යාඝ්‍ර ආදි ව්‍යාල මෘගයන් කා ඉතුරු කළ දෙය අනුභව කොට ඉන් යැපෙන්නාහු විඝාසාද යම්හ යි හඟිවු.
975. යම් කෙනෙක් බමුණකුට හෝ ශ්‍රමණයකුට හෝ වෙනත් යාචකයකුට හෝ ආහාර දී ඉතුරු ආහාර බුදිත් ද විඝාසාදයෝ වෙති.
8. විඝාස ජාතක යි.
976. (කවුඩු) මයිලණුවනි, රසැති ආහාර අනුභව කෙරෙහි. ගිතෙල් සහ තලතෙල් අනුභව කෙරෙහි. යළි කවර හෙයෙකින් කෘශ වූයෙහි ද?
977. සතුරන් මැද වෙසෙන ඔවුනතරෙහි ආහාර සොයා දිවි රකින නිතර උද්වේගයට පැමිණි සිතැති කවුඩාට කවර පුෂ්ටිමත් සිරුරෙක් ද?
978. ධඞ්ක{*} නම් වූ කවුඩෝ නිතර බියෙන් සැලෙති. මිනිසුන් සතු දැය පැහැර ගැනීමේ පාපකර්‍මයෙන් ලැබූ ආහාරය (අප) නො පිණවයි. වටුව, එහෙයින් මම කෘශයෙමි.
979. වටුව, රළු වූ ඕජාව මඳ තෘණ බීජ බුදින්නෙහි ය. එහෙත් තෝ, පිරුණු මස්ලේ සහිත වූයේ කවර හේතුවකින් ද?
980. කවුඩ, ආහාරයේ ආශාව අඩු බව ද සිතුවිලි ස්වල්ප වීම ද දුර ගමන් නොයාම ද ලද දෙයින් තුටු වීම ද නිසා මම තර වීමි.
981. ආශා මඳ වූ සිතුවිලි අඩු වූ සැප සහිත වූ පමණ දැන ආහාරය අනුභව කරන්නා වූ පුද්ගලයාට ජීවිතය සුවසේ පවත්වා ගත හැකි ය.
9. වට්ටක ජාතක යි.
982. මැණිකක් දරන යහළුවකු ඒකාන්තයෙන් කලෙකින් දකිමු. මනා ලෙස රවුල කපා ඇති මාගේ යහළුවා දැකුම්කලු ය.
983. රාජකාර්‍ය්‍යයෙහි නියැලී සිටි හෙයින් වැඩී ගිය කිසිලි රෝම හා නිය ඇත්තේ වීමි. බොහෝ කලෙකින් කරනැවෑමියකු හමුවී ලෝම ඉවත් කරවීමි.
984. යම් හෙයෙකින් බොහෝ කලෙකින් කරනැවෑමියකු ලදින් ලෝම ඉවත් කරවූයෙහි ද (එය එසේ වේවා.) යහළුව, එහෙත් තොපගේ බොටුවෙහි කුමක් කිණි කිණි යන නාදය කරන්නේ ද?
985. සියුමැලි මනුෂ්‍යයන්ගේ බොටුවෙහි මැණිකක් එල්බෙයි. මම ඔවුන් අනුව හික්මෙමි. හෙවත් ඔවුන් ලෙස මම ද පිළි පදිමි. නුඹ එය විනෝදය තකා කරන ලද්දකැ යි නො සිතව.
986. සබඳ මැනැවින් කරන ලද රැවුළු කැපීම (තෙපිත්) කැමැත්තනු නම්, තොපට ද එය කරවන්නෙමි. තොපට මේ මැණික ද දෙමි.
987. තෝ ම මේ මැණිකට සුදුස්සෙහි. මනා ලෙස කරනලද රවුළු කැපීමට ද තෝ ම සුදුස්සෙහි. මිතුර, තා නො දැකීම මට ප්‍රිය වෙයි. එහෙයින් තා අමතා යමි.
10. කාක ජාතක යි.
දෙවැනි සේනක වර්‍ග යි.
එහි උද්දානය:
ඛරපුත්ත (පස්ස) ජාතක යැ සූචි ජාතක යැ තුණ්ඩීල ජාතක යැ සුවණ්ණ කක්කටක (මිග) ජාතක යැ මය්හක ජාතක යැ ධජවීහෙඨක ජාතක යැ හිසපුප්ඵ (වාරිජ) ජාතක යැ විභාස (මොක්ඛ) ජාතක යැ. වට්ඨක ජාතක යැ කාක ජාතක යැ යි දසයෙකි.
ඡක්ක නිපාතය නිමි.
වග්ගුද්දානය:
ජාතක නිපාත වරයෙහි අවාරිය යැ සේනක යැ යි සුසඤ්ජන වර්‍ග දෙකක් මැ කියන ලදී.
7. සත්තක නිපාතය
1. කුක්කු වර්‍ගය
988. කැණිමඬල උසින් රියන් එකහමාරකි. අට වියතෙක් එය පිරිකෙව් කෙරෙයි. (වටප්‍රමාණය වියත් අටෙකි.) එලය නැති ඇට්ටේරිය අරටුවෙන් සෑදු කැණිමඩල කොහි පිහිටියා (බිමට) නො වැටේ ද?
989. ඍජු නැති සාරදාරුයෙන් තැනූ තිසක් පමණ ගොනැස්හු හාත්පසින් සම ව පිරිවරා සිටියාහු ද ඔවුහු (එකිනෙක) මනා කොට එකට බලයෙන් පෙළන ලද්දාහු මනාකොට එකට බැඳී සමබරට උඩින් සිටියාහු වෙත් ද, එහෙයින් නො වැටෙත්.
990. මෙසේ නුවණැති රජ දැඩි මිතුරු වූ නො බිඳෙන සුලු වූ පිරිසුදු ගති පැවැතුම් ඇති මැතිවරුන් හා දැඩිසේ සම්බන්‍ධ වූයේ, මනාසේ සම්බන්‍ධ වූ ගොණැස් බර දරන කැණිමඩල මෙන් රාජසම්පතින් නො පිරිහේ.
991. යම්සේ අවි ඇත්තේ ඝන ලෙල්ල ඇති නාරන්ගෙඩියේ ලෙල්ල සැස ඉවත් නො කරන්නේ, නාරන්ගෙඩියේ රස තිත්ත කෙරේ ද, ලෙල්ල සැස ඉවත් කරන්නේ රස මිහිරි කෙරේ ද, තුනී ලෙල්ල සැස ඉවත් කරන්නේ (එහි රසය) අමිහිරි කෙරේ ද,
992. මෙසේ නුවණැති රජ තෙමේ සැහැසි නො වී ගම්නියම්ගම්හි අයබදු අය කරන්නේ අනුන් නො පෙළා දහම් අනුව පැවැත්මෙන් පිළිපදනේ හේ අභිවෘඬිය කරන්නේ ය.
993. පොකුණුවල සුදුමුල් ඇති පිරිසුදු ජලයේ හටගත් හිරු රැසින් පිපුණු පියුම්හි යම්සේ මඩ හෝ රජස් (දූවිලි) හෝ ජලය හෝ නො තැවරේ ද,
994. අගති රහිත ව නඩු විනිශ්චය කරන සාහසික ක්‍රියා නැති, පාපක්‍රියා නැති හෙයින් පවිත්‍ර වූ රජ තෙමේ පොකුණුවල හටගත් පියුම (පොකුණුදිය හා නො තැවරෙන්නා) මෙන් කර්‍ම ක්ලේශ හා නො වැකෙයි.
1. කුක්කු ජාතක යි.
995. යම් පරිදි දුන්න නැමේ ද දුනුදිය පොළන (ලද්දී) හඬ නඟා ද මේ කරුණෙන් මාගේ මනෝජ නමැති යහළු සිංහයා මරනු ලැබිය යි සිතමි.
996. එබැවින් දැන් සුවසේ ක්‍ෂේම වූ වනයට යමි. මෙවැනි මළාහු යාළුවෝ නො වෙති. ජීවත්වන මා විසින් යාළුවෝ ලැබිය හැක්කාහ.
997. පවිටු ජනයා ඇසුරු කරනුයේ බොහෝකල් සුව නො ලැබෙයි. ඊපහර ලැබ හෝනා මනෝජයා බල. ගිරිය නම් හිවලා ගේ අනුශාසනය මෙබඳු ය.
998. පවට නැමුණු පුත්‍රයා නිසා මව සතුටු නො වේ. ඒ එසේ මැ ය. තමාගේ ම ලෙයෙහි ගැලී හෝනා මනෝජයා බල.
999. යමෙක් අනාගත අභිවෘඩිය දක්නා හිතෛෂීන්ගේ ඔවා අනුව ක්‍රියා නො කෙරේ ද, එබඳු පුරුෂ තෙම මෙ වැනි දුකට පැමිණේ. ලාමක බවට ද පැමිණෙයි.
1000. උතුම් වූ යමෙක් ගුණනුවණින් හීනයකු ඇසුරු කෙරේ ද හේ හීනයාට වඩා පහත් කෙනකු වන්නේ ය. ඒ එසේ මැ ය. හීනයකු ඇසුරු කළ හී පහරින් මළා වූ උත්තම සිංහයා බල.
1001. හීන ජනයන් ඇසුරු කරන පුරුෂ තෙම පිරිහෙයි. සමානයකු (ගුණයෙන්) ඇසුරු කරනුයේ කිසිකලෙක නො පිරිහෙයි. සීලාදිගුණයන්ගෙන් පිරුණු කෙනකුන් ඇසුරු කරනුයේ වහා දියුණුවට පැමිණෙයි. එහෙයින් තමාට වඩා ගුණැතියන් ඇසුරු කරන්නේ යි.
2. මනෝජ ජාතක යි.
1002. මඛාදේව නමැති නුගයෙහි වෙසෙන දෙවිය, රජතුමා පවිත්‍ර මස්රසයෙන් යුතු බත එවී ය. මෑතට අවුත් වළඳනු මැනැවි.
1003. මාණවකය, මස්රස සහිත ආහාරය ගෙන ඔබින් මෙහි එව මාණවකය, තො ද (තා ගෙනා) බත ද මට ගොදුර වන්නවු ය.
1004. යක්‍ෂය, මරණබිය ඇති ජනයෝ තට ආහාරය නො ගෙනෙති. එහෙයින් තෝ මද දැයෙකින් මහත් ප්‍රයෝජනයක් අත් හරෙනහි ය හෙවත් නො ලබන්නෙහි ය.
1005. යක්‍ෂය, තට රසයෙන් යුත් පවිත්‍ර මිහිරි ආහාරය ලැබෙන්නේ ය. මා කෑ කල්හි ආහාරය ගෙනෙන්නකු දැකීම ඉතා දුලබ වෙයි.
1006. මාණවකය සුතනුවෙනි, තෝ යමක් කීයෙහි ද එය මට වැඩ පිණිස වේ. තෝ මා විසින් අනුදන්නා ලද්දෙහි සුවසේ ගොස් මව දකින්නෙහි ය.
1007. මාණවකය, තොපගේ කඩුව ද ඡත්‍රය ද රන්තලිය ද ගෙන මැ යව. තොපගේ මව සුවසේ දකීවා. තො ද මව බලව.
1008. යක්‍ෂය, මා විසින් ධනය ලබන ලදී. රජ කී ලෙස කරන ලදී. සියලු නෑයන් සමග තෙපි සුවපත් වෙවයි.
3. සුතනු ජාතක යි.
1009. පාශයෙන් බැඳුණු මම් නීලිය නම් වැද්දාගේ වසයට ගියෙම් වෙමි. පර්‍වත කුහරයෙහි වෙසෙන මහලු වූ ඒ මගේ මවුපියෝ කුමක් කරන්නාහු දෝ හෝ.
1010. ගිජුළිහිණිය, කුමක් හෙයින් වැලැපෙහි ද? තාගේ හැඬීම කවර? මිනිස් බසින් කථා කරන පක්‍ෂියෙක් මා විසින් අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ නැති.