Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 1401-1500 න් 7679

6. ඡක්ක නිපාතය
1. අවාරිය වර්‍ගය
848. භූමිපාලයාණෙනි, නො කිපෙන්නේ මැනැවි. රජතුමනි, කෝප නො කරන්නේ මැනැවි. කිපියා වූ තැනැත්තහුට පෙරළා කෝප නො කරන රජ රටවැසියා විසින් පුදනු සුදුසු ය.
849. ගමෙහි හෝ වනයෙහි හෝ වලතන්හි හෝ ගොඩ බිමෙහි හෝ අනුශාසනා කරමි. රජතුමනි, නො කිපුන මැනැවි.
850. අවාරියපිතු නැමැති තොටියෙක් ගඟෙහි විය. හේ පළමු වැ ජනයා ගඟින් එතෙර පමුණුවා පසුව කුලිය ඉල්ලයි. එයින් ඔහුට කලහ ඇති වෙයි. ධනයෙන් හේ නො වැඩේ.
851. දරුව, තොටිය, ජනයා ගඟෙන් තරණය කරවන්නට පළමු ව කුලිය ඉල්ලන්න. ගඟ තරණය කළවුන්ගේ සිත අනෙකෙකි. (වෙනස් වේ) එතෙරවීම සොයන්නහුගේ සිත අනෙකකි.
852. ගමෙහි හෝ වනයෙහි හෝ වලතන්හි හෝ ගොඩබිමෙහි හෝ අනුශාසනා කරමි. තොටිය නොකිපුන මැනැවි.
853. යම් අනුශාසනාවක් නිසා රජතුමා තවුසාට ගම්වරක් දුන්නේ ද ඒ අනුශාසනාව ම නිසා තොටියා තවුසාගේ කටට ගැසූවේ ය.
854. බත් බඳුන බිඳින ලදී. බිරිඳ නසන ලදී. ගැබ ද බිම හෙලන ලදී. මුතුමැණික ආදිය මැඩ ගෙන ගියේ වුව ද එයින් මුවකුට ප්‍රයෝජනයක් ලද නොහැක්කා සේ මෝඩයෙක් පඬිවරයකුගේ ඔවා අසා ද එයින් ප්‍රයෝජනයක් ගන්නට නො හැකි වේ.
1. අවාරිය ජාතක යි.
855. දරුව සේතකේතු, නො කිපෙන්න. කෝප වීම මනා නො වේ. තා නොදුටු නො ඇසූ දේ බොහෝ ය. මවුපියෝ පූර්‍ව දිසාව වශයෙන් ද ගුරුවරු දකුණු දිසාව වශයෙන් ද බුද්ධාදි ආර්‍ය්‍යයෝ කියත්.
856. සේතකේතුව, ආහාරපාන හා රෙදිපිළි දෙන (එසේ ම) දන් පිණිස කැඳවන ගෘහස්ථයෝ වෙත් ද එය ද දිසාවකැ යි බුද්ධාදි උතුමෝ කියති. යම් දිසාවකට පැමිණ දුක්පත් ජනයා සුවපත් වෙත් ද මේ දිසාව උතුම් වේ,
857. රළු අඳුන්දිවිසම් අඳින ජටාමඬුලු අපවිත්‍ර දත් යන මේවා නිසා කිලිටි පෙනුම ඇති යම් තවුස් කෙනෙක් වෙත් ද ඔවුහු මතුරු දපත් (නම්) කෙසේ ද මෙය දන්නා මොවුහු අපායෙන් මිදුණෝ ද?
858. රජතුමනි, උගතකු වුවත් පාපක්‍රියාහි නිරත වෙමින් පුණ්‍ය ක්‍රියාහි නො යෙදේ නම්, දහස් ගණන් වේදමන්ත්‍ර දත්තේ වුව ද සීලයට හා අටසමවතට නො පැමිණ අවාදුකින් නො මිදෙන්නේ ය.
859. බහුශ්‍රැතකම ඇත්තේ වුව ද සිල්සපන් නො වී ඒ බහුශ්‍රැතකම හේතුකොටගෙන අපායාදි දුකෙන් නො මිදෙන්නේ ය. එහෙයින් වේදය නිෂ්ඵලය යි සිතමි. සීලය සහිත චරණය ම සත්‍යයකි.
860. වේදය නිෂ්ඵල වූයේ නො වෙයි. සීලය සහිත සමාපත්තිය උතුමි. එය එසේ ම ය. වේදය හදාරා කීර්තියට පැමිණේ නැවත චරණධර්‍මයන් නිසා දමිත වැ නිවනට පැමිණේ.
2. සේතකේතු ජාතක යි.
861. බ්‍රහ්මදත්තය, කාමය මඩ වැනි ය. (එසේ ම) පැතිරගිය මඩකි. මුල් තුනෙකින් පිහිටි (ගසක් සේ) කාමය අචල ව පිහිටියෙන් බිය උපදවයි. දුවිල්ලක් ලෙස ද දුමක් ලෙස මා විසින් ප්‍රකාශ කොට ඇත. නුඹ මේ කාමය හැර පැවිදි වන්න.
862. බ්‍රාහ්මණය, කාමයන් දැඩි ආශා ඇතියේ එහි ඉතා ඇලුණේ ඒ නිසා මුසපත් වූයෙන් ජීවිකාවට කැමැත්තේ බිය උපදවන ඒ කාමය දුරුකරන්නට වෑයම් නො කරමි. (එහෙත්) බොහෝ පින්කම් කරන්නෙමි.
863. යමෙක් දියුණු ව කැමැති ව හිතෛෂී ව අනුකම්පා පෙරටු ව ඔවා දෙනුයේ වුව ද මෙය ම වඩා මනා යයි තමා ගත් මතයේ එල්බගෙන) සිතමින් අනුශාසිත පරිදි ක්‍රියා නො කෙරේ ද හෙතෙම නැවත නැවත මව්ගැබට පැමිණේ.
864. හේ සසරට බිය වූ කුලපුත්‍රයන්හට පිළිකුල් වූ මලමූත්‍රයෙන් පිරුණු දරුණු ස්වභාවය ඇති මව්කුස නම් වූ නිරයට පැමිණේ. යම් කෙනෙක් කාමයන්හි පහව නොගිය ආශා ඇත්තේ ද එහි ගිජු වූයේ ද ඇලුණේ ද ඔහු මව්කුස වාසය නො හරිත්.
865. අශුචියෙන් තැවරී, ලෙයින් වැකී, සෙමින් ගෑවී සත්හු නික්මෙත් ද, යමක් සිරුරෙන් ස්පර්‍ශ කෙරේ ද එකෙණෙහි ම සියල්ල දුක් ය.
866. අනෙකකුගෙන් අසා නො කියමි. පෙරවුසූ කඳපිළිවෙළ දක්නා නුවණින් දැකැ කියමි. බහුල වශයෙන් පෙරවූසූ කඳපිළිවෙළ සිහි කරමි. දරීමුඛ පසේබුදු රජාණන් වහන්සේ විසිතුරු ගාථායෙන් වදාරා නුවණැති රජුට තම අදහස ගැන්වී ය.
3. දරීමුඛ ජාතක යි.
867. වනකවුඩුවෝ ද පියවි කවුඩුවෝ ද පක්‍ෂීන්ට ශ්‍රේෂ්ඨ වූ අපි ද මේ පර්‍වතයට පැමිණ සමාන වෙමු.
868. මේ පර්‍වතයේ දී සිහවගහිවල් යන හැමදෙන සමාන වෙති. මේ පර්‍වතයේ නම කුමක් ද?
869. මේ උතුම් පර්‍වතය රුවන් පව්ව යයි මිනිස්සු දනිත්, මේ පව්වේ දී සියලු ප්‍රාණීහු පැහැපත් ව වෙසෙති.
870. යම් තැනෙකැ සිල්සපන් ගුණවතුන්හට ගරුබුහුමන් නො කෙරේ ද අවමන් කෙරේ ද, දුසිල් මනුෂ්‍යයනට සම්මාන කෙරේ ද එහි වාසය නො කරන්නේ ය.
871. යම් තැනෙකැ අලසයා, දක්‍ෂයා, ශූරයා සහ බියගුල්ලා යන මොවුන් පිදියයුත්තෝ වෙත් ද විෂෙයක් නො කරන ඒ පර්‍වතයෙහි සත්පුරුෂයෝ නො වසත්.
872. මේ ස්වර්‍ණ පර්‍වතය හීන උත්කෘෂ්ට මධ්‍යම යනුවෙන් බෙදීමක් නො කරයි. මේ ස්වර්‍ණ පර්‍වතය විශේෂයක් නො කරයි. එහෙයින් ස්වර්‍ණපර්‍වතය අත් හරිමු.
4. නෙරු ජාතක යි.
873. චිත්‍රලතා වනයෙහි ආසාවතී නැමැති වැලක් හටගත්තේ එහි අවුරුදු දහසෙකින් ගෙඩියක් හටගත්තේ ය. එතරම් දිග කාලයකගේ ඇවෑමෙන් ඵල හටගන්නා ඒ වැල සමීපයට දෙවියෝ නැවත නැවත එති.
874. රජතුමනි, ඔබ ද පතන්නෙහි ය ආසාව ඵලවත් වූයේ සැප ගෙන දේ යයි පක්‍ෂියා බලාපොරොත්තු වේ ම ය. ඒ පක්‍ෂියා ලබමි යි පතන්නේ ය.
875. එතෙක් දුර ගිය ඔහුගේ ආසාව සම්පූර්‍ණ විය. එහෙයින් රජතුමනි ඔබ ද පතනු මැනැවි. ආසාව ඵලවත් වූයේ සැප ගෙන දෙයි.
876. සුවඳ නැති පාට සහිත කටුකරඬු මල් පරිදි මා කථාවෙන් සතුටු කෙළෙහි ය. ක්‍රියාවෙන් සතුටු නො කෙළෙහි ය.
877. යමෙක් (කිසිවක්) නො දෙන්නේ සම්පත් නො හරින්නේ, යාළුවන්ට නිෂ්ඵල වූ මිහිරිකථා කියා ද (කථාවෙන් පමණක් සංග්‍රහ කෙරේ ද) ඔහු හා මිතුරුකම නො ගැළපේ.
878. යමක් කරන්නේ ද එය කියන්නේ ය, යමක් නො කරන්නේ ද එය නො කියන්නේ ය. කියන ලෙස නො කරන්නවුන් නුවණැත්තෝ දැනගනිති.
879. මාගේ බලය ක්‍ෂය විය, මාර්ගෝපකරණ ද නැත. මාගේ පණ නැති වේ යයි සැක කරමි. එහෙයින් දැන් මම හැර යමි.
880. රජතුමනි, මෙහි යම්බඳු නමක් වේ ද මේ මාගේ නම වේ. මහරජතුමනි, බලව මම පියා කැඳවමි.
5. ආසංක ජාතක යි.
881. මිගාලෝපය, තාගේ ඒ ගමන් මට රුස්නේ නො වේ. පුත, ඉතා උඩට නො යව. තෝ තට නුසුදුසු බිම සෙවුනෙහි.
882. යම් වෙලාවක තට පොළොව හතරැස් කුඹුරක් සේ පෙනෙන්නේ වේ ද දරුව, එයින් නවතුව. ඉන් ඔබ්බට නො යව.
883. පියාපත් යානා කොට අහසින් යන සෙසු පක්‍ෂීහු ද වෙති. (ඉහළ අහසේ පවතින) වායුවේගයෙන් අදින ලදු ව ඔවුහු මළහ. පොළොව හා පර්‍වතය සමාන කොට සිතන ඔවුහු පවා මළෝ ය.
884. අපරණ්ණ නමැති මහලු පියාගේ අනුශාසනය පරිදි ක්‍රියා නො කොට කෘෂ්ණ වාතය ඉකුත් කොට ගියේ වේරම්බ වාතයේ වසඟයට ගියේ ය.
885. මෘගාලෝප නම් සකුණයා පියාගේ අවවාදයෙහි නො පවත්නා කල්හි (වේරම්බවාතයෙහි වසඟයට ගිය හෙයින්) ඔහුගේ දරුවෝ ද බිරියෝ ද, ඔහු නිසා දිවි රැකගන්නෝ ද යන හැම නටහ.
886. මෙසේ යමෙක් මෙ ලොවැ ගුණනුවණැති වැඩිහිටියන්ගේ කීම වටහා නොගෙන ක්‍රියා කෙරෙත් ද ඔවුහු අනුශාසනාව ඉක්මවා ගිය උඩඟු වූ සීමාව ඉක්මවා ගිය මෘගාලෝප ගිජුළිහිණියා මෙන් විනාශ වෙති.
6. මෘගාලෝප ජාතක යි.
887. වස්ත්‍රාභරණයෙන් කාළවර්‍ණ හෙයින් නො ද ප්‍රිය දර්‍ශන ඇති තෝ කවරහි? කවරක්හුගේ හෝ දුහිතෘ වෙහි? අපි තී කෙසේ දනුමෝ ද? හඳුනමෝ දැ යි යී සේ යි.
888. මම විරූපාක්‍ෂ රජුගේ දූ වෙමි. ක්‍රෝධ කිරීම ස්වභාව කොට ඇති හෙයින් චණ්ඩී නම. කළුපැහැ ඇතියෙන් කාළී නම. අධන්‍යයෙමි. අන්‍යයෝ මා කාලකණ්ණි යයි දනිති. ආරාධිත තෙපි මට අවකාශ දෙව. එක් රැයක් තොප සමීපයේ වසමු.
889. කෙබඳු සිල් ඇති කෙබඳු සමාචාර ඇති පුරුෂයකු සමීපයේ තෝ වෙසෙහි ද. මා විසින් විචාරන ලදුයෙහි යම්සේ තී කවරක් දැ යි අපි දත හැකි වන්නමෝ ද එසේ කියව.
890. යම් පුරුෂයෙක් ගුණමකු ද අනුන් දොස් කියා ද, කරණුත්තරිය කර්‍ම ඇත්තේ ද, ඊර්‍ෂ්‍යා ඇත්තේ ද, මසුරු වේ ද කපටි වේද, ලද ධනය ධූර්‍තකර්‍ම නිසා වනසා ද එබඳු පුරුෂ මට ප්‍රිය වෙයි.
891. යම් පුරුෂයෙක් කිපෙන සුලු ද බද්ධවෛර ඇත්තේ ද කේලාම් කියා ද මිත්‍රභේදය කෙරේ ද සදොස් බස් තෙපලා ද රළු වචන කියා ද හේ යට කී පුරුෂයාට වඩා ප්‍රිය ය.
892. පුරුෂයා මේ අද කටයුතු දෙය ය, මේ සෙට කටයුතු දෙය යයි තම දියුණුවට අවශ්‍ය කටයුතු නො දනී ද, ඔවා දෙන කලැ කිපේ ද තමාට වඩා බුහුමන් ලද යුත්තා පහත් කොට සිතා ද.
893. පංචකාමයෙහි බහුල ආශා ඇති, සියලු මිතුරන්ගෙන් පිරිහෙයි ඒ පුරුෂයා මට ප්‍රිය ය. මේ ගුණයන්ගෙන් හෙබි පුඟුලන් හා නිදුක් ව නිශ්ශෝක ව වසමි.
894. කාළිය, තෙපි මෙතැනින් ඉවත්ව යව. තොප ප්‍රිය කරන මේ ගුණ අප කෙරේ නැත. අනෙක් දනව්වකට හෝ නියම්ගමකට හෝ රජදහනකට හෝ යව.
895. තෙල කරුණු තොප කෙරෙහි අවිද්‍යමානය යි මම ද දනිමි. ලොවැ පින් නැත්තෝ වෙසෙති. ඔව්හු බොහෝ ධනය රැස් කෙරෙති. මම ද මාගේ සොහොයුරු දෙවියා ද යන දෙදෙන ඒ ධනය නසමු.
896. විසිතුරු පැහැයෙන් යුතු ව පොළොවෙහි මැනැවින් පිහිටා සිටින තෝ කවර? කවරක්හුගේ හෝ දූ වෙහි? අපි තී කෙසේ දනුමෝ ද.
897. මම සිරිමත් ධුතරාෂ්ට්‍ර මහරජුගේ දු වෙමි. මම සිරි සහ ලක්‍ෂ්මී යන නම් ඇත්තී වෙමි. මා මහ නුවණැත්තීය යි දෙවියෝ දනිති. අයදනා ලදුයෙහි අවකාශ දෙව. තොප සමීපයේ වසමු.
898. කෙබඳු සිල් ඇති කෙබඳු සමාචාර ඇති පුරුෂයකු සමීපයේ තෙපි වසන්නහු ද, මා විසින් විචාරන ලද තෙපි යම්සේ තී කවරක් දැ යි අපි දත හෙන්නමෝ ද එසේ කියව.
899. යමෙක් සීත හා උණුසුම, අව්සුළං මැසි මදුරුවන් හා සර්‍පයන් සාපවස් යන මේ සියල්ල තණපතක් කොට ද නොගෙන මැඩලා රෑදාවල් නිරතුරු තම අභිවෘඩිය ලබනු සඳහා වැඩෙහි යෙදුනේ වේ ද, සුදුසු කාලය පැමිණි කල එළඹ සිටි ප්‍රයෝජනය නො පිරිහෙළා ද එබඳු පුරුෂයා මට මනාප ය ඔහු කෙරේ වසමු.
900. යමෙක් ක්‍රෝධ නො කෙරේ ද, මිතුරන් ඇත්තේ ද, ත්‍යාගශීලී ද, හික්මීමෙන් යුතු ද, කෛරාටික නො වේ ද, අවංක ද, මිතුරන්ට සංග්‍රහ කෙරේ ද, මොළොක් කථා ඇත්තේ ද ඉසුරෙන් හා බලයෙන් උසස් වුව ද නිරහංකාර වේ ද එබඳු ගුණ ඇති ඒ පුරුෂයා කෙරෙහි යම්සේ සමුද්‍රයාගේ පැහැය බලන්නවුනට එහි රළවැළ විපුල ව වැටහේ ද, එසේ මම ඒ පුඟුලා සමීපයේ විශාල වෙමි. යමෙක් මිතුරා කෙරෙහි ද නැතහොත් සතුරා කෙරෙහි ද තමාට වඩා උසස් වූවහු කෙරෙහි ද, තමා සමාන වූවහු කෙරෙහි ද නැතහොත් පහත් වූවහු කෙරෙහි ද.
901. තමාට වැඩ පිණිස කරන්නහුට ද නැතහොත් අවැඩ කරන්නහුට ද එළිපිට හෝ රහසිගත ව සිවුසඟරාවතින් සංග්‍රහ කෙරේ ද.
902. පරුෂ වචන කිසිකලෙකත් නො කියා මළා වූ හෝ ජීවත් වන්නා වූ හෝ ඔහු වෙතට මම ළං වෙමි. (මේ ගුණ ඇත්තා අත් නො හරිමි යි කි සේ යි.)
903. යම් අනුවණ පුද්ගලයෙක් මේ සම්පත් අතුරෙන් සම්පතක් ලබා සැපවත් වූයේ, සම්පත් සඳහා නැවත නැවත උත්සාහ නො කෙරේ ද, නො සැලකිලි වේ ද උඩඟු වේ ද පාපක්‍රියාහි නිරත වේ ද ඒ පුඟුලා අශුචි වළක්සේ දුරු කරමි.
904. තමා විසින් තමාට සැපත ඇති කරගන්නේ ය. තමා විසින් තමාට විපත ඇති කරගන්නේ ය. සැපත හෝ විපත අනෙකකුට අනෙකෙක් නො කරන්නේ ය.
7. සිරිකාලකණ්ණි ජාතක යි.
905. විසිතුරුපතින් කළ සෙවෙණි ඇතියව, තඹසිළුව ආකාශචාරීය, අත්තෙන් බිමට බසිනු. කිසිවක් නො ගෙන මම තොපගේ බිරිඳ වෙමි.
906. සුන්‍දරිය, තෝ සිවුපා ඇත්තෙහි. මනරම් තැනැත්තිය, මම දෙපා ඇත්තෙමි. මෘගී වූ තො ද පක්‍ෂී වූ මම දැ යි අපි දෙදෙන (අඹුසැමි වනුවට) අයුත්තම්හ. එහෙයින් අන් සැමියකු සොයාගනු.
907. මම තොපට කුමරි බිරිඳ වන්නෙමි. මිහිරිබසින් හෘදයංගම බස් බෙණෙන්නෙමි. සුන්‍දර ලාභය ලබව. ඉදින් කැමැති නම් මා දාසි භාර්‍ය්‍යාවක් කොට අස්වා ගනුව.
908. පක්‍ෂීන් කන තැනැත්තිය, සතුන්ගේ ලේ බොන්නිය, සෙර, කුකුළන් මරන්නිය, තෝ බ්‍රහ්මචර්‍ය්‍ය ලාභයෙන් මා ස්වාමි කොට කැමැති නො වන්නෙහි ය.
909. මෙලෙස දක්‍ෂකම් ඇති ස්ත්‍රීහු පුරුෂයකු දැක මටසිළුටු බසින් බැණැ කුකුළකු ගන්නට තැත් කළ බැළලිය මෙන් සිය වසඟයට පමුණුවත්.
910. යමෙක් උපන් කරුණ වහා වටහා නො ගනී ද එහෙයින් සතුරාගේ වසඟයට පැමිණේ. පසු තැවෙන්නේ ද වේ.
911. යමෙක් උපන් අර්‍ත්‍ථය වහා වටහා ගනී ද හේ බැළලියගෙන් මිදුණු උපාය දක්‍ෂ කුකුළා මෙන් සතුරු පීඩාවන්ගෙන් මිදේ.
8. කුක්කුට ජාතක යි.
912. නෑයෙනි කුසල් කරව. නැවත නැවත කුසල් කරව. තොපට යහපතක් වන්නේ ය. කුසල් කරන්නේ දෙලොව සුවසේ වසන්නේ ය.
913. මේ පක්‍ෂි තෙම ඒකාන්තයෙන් භද්‍ර යැ. පරමධාර්මික පක්‍ෂියෙක. එක් පයින් සිටුනේ ධර්‍මානුශාසනා මැ කෙරෙයි.
914. මොහුගේ සීලය (කෙබඳු දැ යි) නො දන්නහු ය, නො දැන ප්‍රශංසා කරන්නහු ය. හේ බිජුවට ද පැටවුන් ද කා ධර්‍මය ධර්‍මය යි කිය යි.
915. වචනයෙන් අනෙකක් කියයි. කයින් අනෙකක් කරයි. ඒ ධර්‍මයෙහි වචනයෙන් මිස කයින් පිහිටියේ නො වෙ යි.
916. කථාවෙන් මෘදු ය, මනසින් වැදගත නො හැක්කේ ය. ඛීලයකැ හෝනා කළුනයකු සෙයින් ප්‍රච්ඡන්න යැ (සුචරිතධර්‍මය ධ්වජ කොට ඇවිදුනා හෙයින්) ධර්‍මධ්වජ වූ ගම්නියම්ගම්හි මැනැවැ යි සම්භාවිත වූ මේ දුශ්ශීලයා අඥාන පුරුෂයා විසින් දත නො හැකි ය.
917. මේ කපටයා තුඩින් ද පියාපතින් ද පයින් ද පහරවු, මේ හීනයා නසවු, මේ හීනයා එක් ව වාසයට නිසි නො වේ.
9. ධම්මධජ ජාතක යි.
918. බමුණ, සාකේත නගරයේ අංජන උයනට යන්නේ නම් තොපගේ මහලු මව්පිය දෙදෙන තා දක්නට කැමැත්තෝ ය යි අපගේ ඖරස පුත්‍ර නන්‍දියට කියව.
919. බමුණ (මුවන්ට) ගොදුරු පිණිස වපුළ රජු අයත් තෘණ හා පැන් මා විසින් අනුභව කරන ලදී. රජු සතු ඒ ආහාරය නිකම් බුදින්නට මම වෑයම් නො කරමි.
920. දුනුහී ගෙන ආ රජුට මා විදුව කියා මම සිරුරේ ඇළය පෙන්වා සිටිමි. එසඳ සුවපත් වූ මරණින් මිදුණු මම මෑණියන් දක්නෙම් නම් යෙහෙකැ.
921. කොසොල් රජුගේ වාසභවනයට සමීප වූ උයන්හි ශොභාසම්පන්න වූ නන්‍දිය නමැති සිවුපාවෙක් වූයෙම් ද.
922. මුවන්ට වාසය පිණිස දුන් අංජන උයන්හි දී කොසොල් රජ දුනුදිය නඟා ඊතලය පිහිටුවා මා විදිනට ආයේ ය.
923. ඊතල ගත් රජුට මගේ සිරුරේ ඇළය පෙන්වා මා මරව යි කියා සිටිමි. ඉක්බිති සුවපත් ව මරණින් මිදී මෑණියන් දක්නට ආමි.
10. නන්‍දියමිග ජාතක යි.
පළමුවන අවාරිය වග යි.
තස්සුද්දානය:
ආවාරියා කුජ්ඣ ජාතක යැ සේතකේතු ජාතක යැ දරීමුඛ ජාතක යැ නෙරු ජාතක යැ ආසඞ්ක (ආසා) ජාතක යැ මිගාලෝප (නන්‍ද) ජාතක යැ සිරිකාලකණ්ණි ජාතක කුක්කුට (සුචින්ත) ජාතක යැ ධම්මධජ ජාතක යැ නන්‍දියමිග ජාතක යැ ජාතක දසයෙකි.
2. සේනක වර්‍ගය
924. එළුවා මූඪ යයි පණ්ඩිතයෝ සැබැවක් මැ කිවු ල. බලව, රහස් තන්හි කටයුතු දෙය නො රහස් තන්හි කරනුයේ අයෝග්‍ය බව නො දනී.
925. මිතුරු කොටළු පුත්‍රය, තෙපි වනාහි මට වඩා බාලවහු. කවර හෙයින යත්: වියගස සමග ගෙල රැහැනින් බඳනා ලදහු, වක්වූ තොල් ඇත්තවු, (මුඛබන්‍ධන රජ්ජුයෙන්) බඳනා ලද මුව ඇත්තහු මට වඩා අඥානය යි දනුව.
926. යහළුව, බන්‍ධනයෙන් මුදා ලූ තෙපි නො පලායවු ද එය තොපගේ තවත් මෝඩ කමෙකි. තෙපි යම්බඳු සේනක නම් රජකු උසුලවු ද හෙ ද අප දෙදෙනාට වඩා අතිශයින් බාල වෙයි.
927. සගය අජරාජය, යම්හෙයෙකින් මා අඥානය යි දනු ද, සේනක රජ කවර හේතුයෙකින් මූඪ වී ද, මා විසින් විචාරන ලද්දහු එය මට කියව.
928. යමෙක් සියලු ශබ්ද දනැගන්නා මන්ත්‍ර සඞ්ඛ්‍යාත උතුම් ධනය ලැබගෙන බිරිඳට දෙන්නේ ද එයින් ඔහුගේ ජීවිතය හැරපියන්නේ යැ. ඒ බිරිඳ ද ඔහට නො වන්නී ය
929. නරේන්‍ද්‍රය තොප වැන්නෙක් මේ වස්තුව මට ප්‍රිය යයි ජීවිතය හැරපියා ප්‍රිය වස්තූන් සේවන නො කෙරේ මැ යැ. පරම ශ්‍රේෂ්ඨ වස්තූන්ට ද වඩා ජීවිතය මැ ශ්‍රේෂ්ඨ ය. වඩනලද ජීවිතය ඇත්තහු විසින් පසුව ප්‍රිය වස්තු ලද හැක්ක.
1. ඛරපුත්ත ජාතක යි.
930. රළු නැති මටසිළුටු කරගලෙහි ගා ශුද්ධ කළ සුන්‍දර පාශ ඇති සියුම් වූ තියුණු තුඩ ද ඇති ඉදිකටුව මිල දී ගන්නට කවරෙක් කැමැති වේ ද.