696. පියාණෙනි, මම වනයෙන් ගමට පැමිණියෙම් කවර සිල් ඇති කෙබඳු පැවතුම් ඇති පුරුෂයෙකු ඇසුරු කෙරෙම් දැ යි විතාරන ලද්දෙහි. එය මට කියන්නේ මැනැවි.
697. පුත්‍රය, යමෙක් තා විශ්වාස කෙරේ ද, තාගේ විශ්වාස කැමැත්තේ ද, තා කියනදෙය අසනු කැමැත්තේ ද කරන වැරදි ඉවසා ද මෙයින් ගියේ ඔහු ඇසුරු කරව.
698. යමකුගේ කය වචනය සිත යන තිදොරින් වැරදි කිරීමක් නැත් ද, මෙයින් ගියේ ඔහු ළෙහි හොවා වැඩූ පුතකු සේ (සිතා) ඇසුරු කරව.
699. පුත්‍රය, කහපාට මෙන් අස්ථිර වූ වඳුරකු සේ චපල සිතැති ඇලීම සහ නො ඇලීම වෙනස්වන ස්වභාවය ඇති පුරුෂයා දඹදිවැ මිනිසුන්ගෙන් හිස්වැ ගිය ද ඇසුරු නො කරව.
8. අරඤ්ඤ ජාතක යි.
700. රථාචාර්‍ය්‍යය, ස්ත්‍රීන් දෙදෙනා කෙරේ සමාන බවක් නැත. ආහාරයෙහි ද සමාන බවක් නැත. එයින් කලහයට කරුණු නැතයී සේ යි. එහෙත් මිතුරන්ගේ මිතුරුකම බිඳැ දෙදෙනාගේ මස් කන්නට සිතූ මේ දුෂ්ට සිවලාගේ සිතිවිල්ල බලව.
701. ප්‍රිය බව සුන් වැ ගිය තැනෙකැ හිවල්ලු වෘෂභයා ද සිංහයා ද අනුභව කරති, තියුණු කඩුව මාංසය මෙන් පිසුනු බස මිත්‍රත්‍වය පෙරලයි නොහොත් මිත්‍රත්‍වය කපා දමයි.
702. රථාචාර්‍ය්‍යය, මේ දෙදෙනාගේ යම් මෘතශයනයක් දක්නෙහි ද යමෙක් මිත්‍රභේද කරන්නහුගේ කීම සත්‍ය යැ යි පිළිගනී ද හේ ද මෙසේ මරණයට පැමිණේ.
703. රථාචාර්‍ය්‍යය, මිතුරන්ගේ මිතුරුකම බිඳින්නහුගේ කීම යම් කෙනෙක් සත්‍යයැ යි නො පිළිගනිත් ද ඔවුහු දෙව්ලොව ගියවුන් සේ සැප විඳිති.
9. සන්‍ධිභේද ජාතක යි.
704. රජතුමනි, අතින් පහරනේ යැ. පයින් පහරනේ යැ. මුහුණ පහරනේ යැ. (එහෙත්) හෙතෙම ඒකාන්තයෙන් ප්‍රිය වේ. පහර දීමේ හේතුවෙන් ප්‍රියවන්නා කවරේ දැ යි දන්නෙහි ද?
705. රජතුමනි, කැමති සේ ආක්‍රෝශ කෙරෙයි (එහෙත්) ඔහුට ආක්‍රෝශ පැමිණීම රිසි නො වේ. හෙතෙම ඒකාන්තයෙන් ප්‍රිය වේ. ඒ කරුණු නිසා ප්‍රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
706. රජතුමනි, අභූත චෝදනාවෙන් චෝදනා කරයි. බොරු සිහිපත් කරවන්නේ ය. හෙතෙම ඒකාන්තයෙන් ප්‍රිය වේ. ඒ කරුණු නිසා ප්‍රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
707. රජතුමනි, ආහාරපාන ද රෙදිපිළි ද ඇඳපුටු ආදිය ද ගෙන යන ඔව්හු ඒකාන්තයෙන් ප්‍රිය වෙත්, ඒ කරුණු නිසා ප්‍රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
10. දේවතා පඤ්හ ජාතක යි.
පස්වන චූළකුණාල වග යි.
එහි උද්දානය:
මිනිසුන්ගේ ඇලීම පවසන කින්නරී ජාතක යැ, ‘අසක්ඛිං’ යන පදය ඇති වානර ජාතක යැ, ‘අවසිමහ’ යනාදි වූ කුන්තිනී ජාතක යැ, නීලිය සඳහන් කරන අම්බචෝර ජාතක යැ, අග්නිදාහය කියන ගජකුම්භ ජාතක යැ, ස්වාදු රස දක්වන කෙසව ජාතක යැ, යළි අයකූට ජාතක යැ, එසේම අරඤ්ඤ ජාතක යැ, සාරථියා ඇමතූ සන්‍ධිභේද ජාතක යැ, ‘හන්ති’ පදයද ඇති දේවතා පඤහ යැ යන දසය යි.
චතුක්ක නිපාතය නිමි.
එහි වර්‍ග උද්දානය:
විවර වර්‍ග යැ, පුචිමන්ද වර්‍ග යැ, කුටිදූසක වර්‍ග යැ, බහුභාණකයකු ඇති කෝකාලික වර්‍ග යැ, පස්වැනි චූළකුණාල වර්‍ගය ද මොනවට ප්‍රකාශ කරන ලද්දේ යි.
5. පඤ්චක නිපාතය
1. මණිකුණ්ඩල වර්‍ගය
708. (මහරජ, තෙපි) රථ අශ්ව මිණිකොඬොල් යන මෙයින් පිරිහුණුහු. එසෙයින් ම දූදරුවන්ගෙන් හා බිරිඳගෙන් පිරිහුණුහු. සියලු ඉසුරු ඉතුරු නැතිව නැතිව ගිය කල්හි ශෝක වියයුතු අවස්ථායෙහි කවර හෙයින් ශෝක නොවන්නහු ද?
709. කාමකාමිය, (කාමය කැමැත්තාණෙනි) වස්තු සම්පත් සත්ත්‍වයා පළමු ව හැරයයි. (නැති වෙයි) සත්ත්‍වයා ද පළමු කොට ම වස්තු සම්පත් හැරයයි. (මැරෙයි) වස්තු සම්පත් ඇත්තෝ සදාකාලික නො වෙති. එහෙයින් ශෝක කටයුතු කල්හි මම ශෝක නො කරමි.
710. සත්තුකය, චන්‍ද්‍රයා උදාවී ක්‍රමයෙන් පිරී බැසයයි. සූර්‍ය්‍යා ද ලොව උණුසුම් කොට බැස යයි. මා විසින් ලෝක ධර්‍මයන් (අටලෝ දහම) දන්නා ලදී. එහෙයින් ශෝක කටයුතු කල්හි මම ශෝක නො කරමි.
711. පස්කම් සුවයට ගිජු අලස ගිහියා නො මැනැවැ. හික්මීමක් නැති පැවිද්දා නො මැනැවැ. නො විමසා ක්‍රියා කරන රජ නො මැනැවැ. යම් පණ්ඩිතයෙක් කිපෙන සුලු ද ඒ කිපීම නො මැනැවි.
712. නරදේවයාණෙනි, ක්‍ෂත්‍රිය තෙමේ විමසා කටයුතු කරන්නේ ය. නො විමසා කටයුතු නො කරන්නේ ය. විමසා කටයුතු කරන්නහුගේ පිරිවර ද කීර්තිය ද වඩනේ යි.
1. මණිකුණ්ඩල ජාතක යි.
713. නිල්තණ වහා කපා ගෙන අවුත් මළ මහලු ගොනාට කව කවැ යි කියන්නේ කිම?
714. ආහාරපානයෙන් මළ ගොනා නොම නැගිටියි. මෝඩයකු මෙන් තෝ නිෂ්ඵල දැයක් කියමින් හඬනෙහි.
715. හිස අත්පා හා වලග එසේ ම (පෙර පරිදි) ඇත්තේ ය දෙකන් ද එලෙසින් ම ඇත්තේ ය. එහෙයින් ගොනා නැගීසිටි යයි සිතමි.
716. අපේ මිය ගිය මුත්තාගේ හිස වේවයි අත් පා වේවයි දක්නට නැත. මැටිසෑය අභිමුඛයෙහි හඬන තෙපි මැ අඥාන නො වහු ද?
717. ගිතෙලින් ඉසින ලද ගින්නක් මෙන් ශෝකාග්නීන් දැල්වුණු මා දිය ඉසැ නිවන්නකු සෙයින් සියලු පීඩා හැර නිවාලූයේ ය.
718. පියා මළ සොවින් පෙළුණු මාගේ ශෝකය යමෙක් දුරු කෙළේ ද හේ හදවතේ ඇවිණී තුබූ ශෝක නමැති උල ඇද දැම්මේ ය.
719. මම උදුරා ලූ සෝක හුල් ඇති වෙමි, පහව ගිය ශෝක ඇති වෙමි, නො කැලඹුණ සිත් ඇත්තෙම් වෙමි. මාණවය, තොපගේ වචන අසා ශෝක නො වෙමි, නො හඬමි.
720. අනුකම්පාව ඇති නුවණැති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු සොවින් පෙළුණු පියා ශෝක රහිත කළ සුජාත මෙන් ශෝකයෙන් වළකති.
2. සුජාත ජාතක යි.
721. බ්‍රහ්මදත්තය, නිරුපද්‍රැත බවත් ආහාරපාන සුලභ වීමත් හැමදා එකසේ නො වේ. මුහුද මැද දී නැව කැඩී ගිය තැනැත්තේ ඉතා දුකට පත්වන්නේ යම්සේ ද එසේ වස්තු විනාශයෙහි දී මුළා වේ.
722. පුරුෂයා යම් ක්‍රියාවක් කෙරේ ද එහි ඵලය තමා දකී. යහපත කරන්නා යහපත ද අයහපත කරන්නා අයහපත ද දකී. යම් වර්‍ගයක බීජයක් රෝපණය කෙරේ ද එබඳු ඵලයක් ලබයි.
723. තෝ පව් නො කරව, යම්බඳු පාපයක් කරන ලද්දෙහි නම් එය තා තවා යයි එකල්හි කීයේ ද මෙය පාරාසරිය නමැති ගුරු ඇදුරුතුමාගේ ප්‍රකාශයයි.
724. පිංගිය බමුණ, සඳුන්කල්ක තවරා සැරසුණු දහස්ගණනක් ක්‍ෂත්‍රියයන් යම් ගසක්මුල දී විනාශ කරවීම් ද, පැතුරුණු අතු ඇති ඒ ගස, දුක මා කරා නැවත පැමිණවී.
725. සඳුන්කල්ක ගල්වා ශෝභමාන වූ සාමා ද මඳ සුළඟේ සැලෙන මුරුංගා ගසක්සේ මනස්කාන්ත උබ්බරී බිසව ද නො දැක මිය යන්නෙමි. මරණ දුකට වඩා ඇය නො දැකීමේ දුක ඉතා වැඩි ය.
3. ධොනසාඛ ජාතක යි.
726. දිරූ හැව හැර යන සර්‍පයා මෙන් ජීවිතේන්‍ද්‍රිය නැති හෙයින් සිය ශරීරය හැරදා පරලොව ගිය කල්හි,
727. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපීම් නො දනී. එහෙයින් මළා වූ මොහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
728. කැඳවීමක් නැති ව එලොවින්, ආයේ ය. අනුදැනීමක් නැති ව මෙලොවින් ගියේ ය. කැඳවීමක් නැති ව යම්සේ ආයේ ද එසේ අනුදැනීමක් නැති ව ගියේ ය. එහි ලා කවර හැඬීමෙක් ද?
729. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
730. ඉදින් හඬන්නේ නම් කෘශ ශරීර ඇත්තෙකිම් වෙමි. ඒ මට කවර ප්‍රයෝජනයක් වේ ද? ඤාතිමිත්‍රහිතවතුන්ට (මා කෙරෙහි) වැඩියක් නො ඇල්ම වන්නේ ය.
731. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
732. අහසේ යන හඳ දැක කුඩා ළමයෙක් එය ඉල්ලා යම්සේ හඬා ද, එසේ යමෙක් මිය පරලොව ගිය පුද්ගලයාට නැවත නැවත ශෝක කෙරේ ද එය ළමයාගේ හැඬීම වැන්න.
733. දවනු ලබන්නේ නෑයන්ගේ හඬාවැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
734. බිඳුණු වතුරකළය නැවත ගැළපිය නො හැක්කේ යම්සේ ද, යමෙක් මිය ගියහුහට නැවත ශෝක කෙරේ ද එය මෙසේ නිෂ්ඵල තැතකි.
735. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
4. උරග ජාතක යි.
736. ඝත රජතුමනි, සෙස්සෝ ශෝක කරති, හඬති. සෙසු ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තෝ ය. (තෙපි) පහන්මුහුණ ඇත්තහු ය. කවර හෙයින් ශෝක නො කරන්නහු ද?
737. ධංකය, ශෝකය ගිය දෙය යළි නොගෙනේ නො පැමිණි සැපය ගෙනෙන්නේ නො වේ. එහෙයින් ශෝක නො කරමි. ශෝකයට සහාය නො වෙමි.
738. ශෝක කරන්නා පඬු පැහැය ඇත්තේ වේ, කෘශ වේ. ඔහුට ආහාරය ප්‍රිය නො වේ. ශෝක නැමැති හුලෙන් විදින ලදුව පෙළෙන කල්හි ඔහුගේ සතුරෝ ප්‍රීත වෙති.
739. ගමෙහි හෝ ඉදින් වනයේ හෝ වළ තන්හි හෝ ගොඩ තන්හි හෝ සිටින මා වෙත විපත් නො එන්නේ ය. මම ධ්‍යාන දක්නා ලද්දෙම් වෙමි. නැතහොත් අටලෝදහම දන්නා ලද්දෙම් වෙමි.
740. යමක්හුගේ සියලු සම්පත් රස එළවන එක් මැ ආත්මය තෙම ධ්‍යාන රස එළවන්නට සමත් නො වේ. එහෙයින් මුළු පොළොව ද ඔහුට (කායික චෛතසික) සුඛය නො එළවන්නේ යි.
5. ඝත ජාතක යි.
741. කාරණ්ඩිය, හුදෙකලාව වනයෙහි වසනුයෙහි යුහුසුලු ස්වභාවයක් ඇති ව නැවත නැවතත් කඳුරැළියෙහි ගල් දමන්නෙහි ය. මෙයින් තොපට කවර ප්‍රයෝජනයෙක් ද?
742. මම සයුරෙන් වට වූ මේ මහපොළොව සියලු කඳු හා පර්‍වත විසුරුවා හැර අල්ල මෙන් සම කරන්නෙමි. එහෙයින් කඳුරැළියෙහි ගල් දමන්නෙමි.
743. කාරණ්ඩිය, එක් මිනිසෙක් මේ මහපොළොව අත්ල මෙන් සම කරන්නට නො හැකි වේ යයි සිතමි. තෙපි කඳුරැළිය පිරවීමට යත්න දරන්නහු මැ මේ සත්ත්‍වලෝකය හරනහු යයි (හෙවත් මරණයට පත්වන්නේ ය) සිතමි.
744. බ්‍රාහ්මණය, එක් මනුෂ්‍යයෙක් සතුන් ධරා සිටුනා මේ මහපොළොව සම කරන්නට සමත් නො වේ ද එපරිදි තෙපි ද නානාදෘෂ්ටික වූ මේ මනුෂ්‍යයන් සිල් ගන්නැ යි කියා ඔවා දී තොප වශයට නො පමුණුවන්නහු යි.
745. කාරණ්ඩිය, මිනිසකු විසින් මේ පොළොව සම කරන්නට යම්සේ නො හැකි ද, එසේ මැ සියලු මනුෂ්‍යයෝ ද හික්මවන්නට නො පිළිවන්හ යි භවත් මාගේ ශුභ සිද්ධිය සලකා ස්වල්ප වශයෙන් මට යමක් කීයේ ද එය එසේ ම ය.
6. කාරණ්ඩිය ජාතක යි.
746. හැට අවුරුද්දෙන් බැස යන මද ඇති ඇත් රජුනි, තොප වඳිමි. අරණ්‍යයෙහි ජාතය, යූථපතිය, පිරිවර ඇතියව මාගේ පියාපතින් තොප වඳිමි. දුබල මාගේ දරුවන් නො නසව.
747. හස්තිරාජයා, තොප වඳිමි. එකලා වැ හැසිරෙනුව ආරණ්‍යකය, පර්‍වත හා කඳු සමීපයන්හි ආහාර සොයනුව, පියාපතින් තොප වඳිමි. දුබල මාගේ දරුවන් නො නසව.
748. කැටකිරිල්ල තීගේ දරුවන් මරන්නෙමි. දුබල වූ තෝ මට කුමක් කරන්නෙහි ද? තී බඳු ලක්‍ෂයක් වුව ද වම් පයින් (පාගා) සුණුවිසුණු කරන්නෙමි.
749. හස්තිරාජයා, හැම තන්හි කාය ශක්තියෙන් ප්‍රයෝජන නැත. අනුවණයාගේ බලය (පර) හිංසාව පිණිස වෙයි. යමෙක් දුබල මාගේ දරුවන් මැරී ද ඒ තොපට විපතක් කරන්නෙමි.
750. කවුඩා කැටකිරිල්ල මැඩියා හා නිලමැස්සා බලව, මොව්හු හස්ති නාගයා මැරූහ. වෛර ඇතියන්ගේ වෛරයේ තරම බලව. එහෙයින්, කිසි කෙනකුන් කෙරෙහි වෛර නො කරව.
7. ලටුකික ජාතක යි.
751. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදවා මාගේ අත් කපන්නේ මැනැවි.
752. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරැදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදාවා! මාගේ පා කපව.
753. දේවයන් වහන්ස, මහාප්‍රතාප රජුට වැරැදි කෙළෙම් නසන ලද වැඩ ඇතියෙම් මම් ම ය. මේ ධර්‍මපාල කුමරුවා මුදාවා! මාගේ හිස සිඳුව.
754. ඖරස පුත්‍රයා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද, (එහෙයින්) මේ රජුට මිතුරෝ ද නෑයෝ ද හිතවත්තු ද ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
755. පුතා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද (එහෙයින්) මේ රජුට මිතුරෝ නෑයෝ හිතවත්තු ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
756. පොළොවට හිමිකරු වූ ධර්‍මපාල කුමාරයාගේ සඳුන් කල්ක ගල්වන ලද දෑත කපති. දේවයන් වහන්ස, මාගේ පණ නිරුද්ධ වේ.
8. චුල්ලධම්මපාල ජාතක යි.
757. එම්බා මෘගය, මහාමෘගය, වෑයම් කරව. රන්වන් පා ඇති මෘගය වෑයම් කරව, වරපටීන් තැනූ පුඬුව සිඳින්න. එකලා වැ වනයෙහි (වාසයට) මම නො ඇලෙමි.
758. උත්සාහ ගනිමි. පුඬුව සිඳලන්නට නො හැක්කෙමි. වේගයෙන් පොළොවට පහර දෙමි, තද වරපටින් කළ පුඬුව මගේ පා කපයි.
759. වැද්දාණෙනි, මස් තැබීමට කොළ අතුරව. කඩුව කොපුවෙන් ඉවත ගනුව. පළමුව මා මරා පසුව මහාමෘගයා මරව.
760. මනුෂ්‍ය භාෂාවෙන් කියන (කථාකරන) මුවදෙනක (පිළිබඳ) මා අසා නැත. දකින ලද්දේ ද නැත. සොඳුර, තෝ සුවපත්ව, මහමුවා ද සුවපත් වේවා!
761. වැද්දාණෙනි, පුඬුවෙන් ගැළවුණ මහාමෘගයා දැක මම අද යම්සේ සතුටු වෙම් ද, එසේ තෙපි ද තොපගේ නෑයන් සමග සතුටු වේවා!
9. සුවණ්ණමිග ජාතක යි.
762. තම්බ රජතුමනි, මිදෙල්ලමල්හි සුවඳ හමයි. දිය සයුර ද හඬ නඟයි. සුසන්‍ධි බිසොව මෙයින් දූර දෙසෙක වසයි. කාම සිතුවිලි මගේ හදවත පෙළයි.
763. සයුර කෙසේ තරණය කෙළේ ද සේරුම දූපත කෙසේ දුටුවේ ද සග්ගය, ඇගේ ද තාගේ ද සමාගමය හෙවත් එක්වීම කෙසේ වී ද.
764. භරුකච්ඡ නැමැති තොටුපලින් පිටත්ව ධන සෙවීමට යන වෙළෙඳුන්ගේ නැව මෝරුන් විසින් බිඳින ලද මම පුවරුකඬෙකින් එතෙර ගියෙමි.
765. නිතර හමා යන සඳුන් සුවඳැති ඒ භද්‍රාවෝ මුදුමොළොක් බසින් කතා කොට ඖරස පුත්‍රයකු ගන්නා මවක මෙන් මා දෝතින් ගොඩට ගත්හ.
766. තම්බය, ඒ චිත්‍රලෝචනාවෝ මා ආහාරපානයෙන් ද වස්තුයෙන් හා සයනයෙන් ද පිනවූහ. එපමණක් නොව අභිරමණයෙන් ද මා පිනවූහ. එය මෙසේ දනු මැනැවි.
10. සුසන්‍ධි ජාතක යි.
පළමුවන මණිකුණ්ඩල වර්‍ග යි.
එහි උද්දානය:
මණිකුණ්ඩල (ජිනවර) ජාතක යැ, සුජාත (හරිත) ජාතක යැ, ධොනසාක (හිනනපලව) ජාතක යැ, උරගජාතක යැ, ඝතජාතක යැ, කාරණ්ඩිය (දිරි) ජාතක යැ, ලටුකික (කුඤ්ජර) ජාතක යැ, චුල්ලධම්මපාල (භූනහත) ජාතක යැ, සුවණ්ණමිග (මිගපුත්ත) ජාතක යැ, සුසන්‍ධි (සග්ග) ජාතක යැ යි දසයෙක් වේ.
2. වණ්ණාරෝහ වර්‍ගය
767. සුදාඨයෙනි, (තෙපි) ශරීරවර්‍ණයෙන් ද ආරෝහපරිණාහයෙන් ද උත්තම ජාතියෙන් ද කාය බලයෙන් හා වීර්‍ය්‍ය බලයෙන් ද සුබාහු නම් ව්‍යාඝ්‍රයා මට වඩා උසස් නො වේ යයි කියවු ද?
768. එම්බා සුබාහු, (තෙපි) ශරීරවර්‍ණයෙන් ද ආරෝහපරිණාහයෙන් ද උත්තම ජාතියෙන් ද කාය බලයෙන් හා වීර්‍ය්‍ය බලයෙන් ද සුදාඨ මට වඩා උසස් නො වේ යයි කියවු ද?
769. සගය, සුබාහු මෙසේ තා හා සමග වැවසන මා හිවලාගේ බස් පිළිගෙන නසනු කැමැත්තහු ය. මෙතැන් පටන් මම තා සමග වසනු නො කැමැත්තෙමි.
770. යමෙක් මෙරමාගේ මිථ්‍යාවචනයන් තථ්‍ය ලෙස හදහා ගනී ද හේ මිතුරා කෙරෙහි වහා බිඳෙන්නේ යැ. බොහෝ වූ වෛරය ද දනවන්නේ යැ.