මේ කාරණය බුදුහු වදාළහ. එහි ලා මේ අර්‍ත්‍ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
2-3. “බෙදා වැළඳීමෙහි අනුසස් මහත් ඵල වන පරිදි බුදුහු විසින් යම් ලෙසකින් වදාරණ ලද සැටියෙන් මිනිස්සු දනිත් නම්, මසුරුමල දුර ලන්නාහු ය. යම් තැනකට දෙන ලද්දේ මහත්ඵල වේ ද (එබඳු වු) ආර්‍ය්‍යයනට සුදුසු කාලයෙහි පහන් සිතින් දන් දෙන්නාහු ය.
4. දන් පිළිගැණීමට සුදුසු ආර්‍ය්‍යයනට පරලොව අදහා දන් දී බොහෝ දායකයෝ මේ මිනිසත් බැවින් චුත ව ස්වර්‍ගයට යෙත්.
5. ඒ දායකයෝ ස්වර්‍ගයට ගියාහු එහි සියලු කම්සැපවලින් යුක්ත ව සුතුටු වෙත්. මසුරුමල රහිත වූ ඔහු බෙදා වැළඳීමෙහි ප්‍රතිඵල වළඳත්.“
භාග්‍යවතුන්වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
1. 3. 7.
[මෙත්තා චේතෝවිමුත්ති සූත්‍රය]
27. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, උපධි සම්පතට (අත්බැව් සපුවට) හිතවූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො වටී. ඒ පින් කිරිය වත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි. මහණෙනි, තාරකාවන්ගේ යම් ප්‍රභායෙක් වේ නම් යම් සේ එය සඳපහනින් සොළොස් වන කලාවකුදු නො වටී ද, ඒ තරු එළිය මැඩ පවත්වා සඳ එළිය ම දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඔපධික වූ යම් ඒ පින්කිරිය වත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි.
2. මහණෙනි, යම් සේ වස්සාන ඍතුවෙහි කෙළවර ඉල් මස සරත් කාලයෙහි හෙළි වූ, විසුරුණු වැහි වලාකුළු ඇති, පහ වූ වලාකුළු ඇති, අහසෙහි සූර්‍ය්‍යයා ගමන් කරන්නේ අහසෙහි වූ සියලු අඳුරු මැඩ පවත්වා දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි. මහණෙනි, යම් සේ රෑ පැසුලුයම්හි (අලුයම්හි) දහවත් තරුව දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වු යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩපවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, මැඩ බබලයි.
මේ කාරණය භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:
3. “යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් එළඹ සිටි සිහි ඇත්තේ මෛත්‍රී ධ්‍යානය අප්‍රාමාණ්‍ය වශයෙන් වඩා ද, නිර්‍වාණය දක්නා වු ඔහුගේ සඤ්ඤෝජනයෝ තුනී වෙත්.
4. ඉදින් එක් ප්‍රාණියකුකෙරෙහි දූෂිත නො වූ සිතින් යුතු ව මෙත් කෙරේ ද, ඒ හේතු කොට ගෙණ හෙ තෙමේ මහ පින් ඇත්තෙක් වේ. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් යුත් ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කරන්නේ ය යනු කියනු ම කිම?
5-6. මිනිසුන්ගෙන් ගැවැසී ගත්තා වූ මහ පොළොව ජය ගත් ඍෂීන් වැනි යම් දැහැමි රජ කෙනෙක් වූ ද (ඔහු) අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගළ යන යාගයන් කරමින් හැසුරුණාහු ද, ඒ යාග මනා කොට වඩන ලද මෙත් සිතින් ලැබෙන පිණින් සොළොස් වන කලාවකුදු නො අගී. සියලු තරු සඳපහනින් සොළොස් වන කලාවකුදු අගනාක් මෙනි.
7. යමෙක් තෙමේ කිසිවකුට හිංසා නො කෙරේ ද, අනුන් ලවා හිංසා නො කරවා ද, කිසිවකු නො පරදවා ද, අනුන් ලවා අනෙකකුට හානි නොකරවා ද, සියලු සතුන් කෙරෙහි මෛත්‍රියෙහි අංශයක් බඳු වේ ද ඕහට කිසිකරුණෙකිනුත් (නොහොත් කිසිවකු හා ද) වෛරයක් නැත්තේ ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
තුන්වැනි වර්‍ගයයි.
එහි උද්දානය:
පසන්නචිත්ත, මාපුඤ්ඤභායී, උභො අත්‍ථ, අට්ඨිපුඤ්ජ, සම්පජානමුසාවාද, දානසංවිභාග, මෙත්තාචෙතොවිමුත්ති යන සත ද පළමු කී විස්ස දැයි සත්විසි සූත්‍රාන්තයෝ ඒකක නිපාතයේ සඞ්තෘහීත වෙත්:
ඒකකනිපාතය නිමියේ ය.
දුක නිපාතය
ප්‍රථම වර්‍ගය
2. 1. 1.
[පඨමබික්ඛු සූත්‍රය]
28. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරරදුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, අකුශලධර්‍ම දෙකෙකින් යුක්තවූ මහණ තෙමේ මේ අත් බව්හිම (කායචිත්ත) පීඩාසහිත වූ, දැඩි වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ දුකින් යුක්ත ව වෙසෙයි. ඔහු විසින් මරණින් මතු දුගතිය කැමැති විය යුතු වෙයි. කවර ධර්‍ම දෙකෙකින් ද යත්: ඉන්‍ද්‍රිය විෂයයෙහි අසංවර බැවිනුත්, අහරෙහි පමණ නොදන්නා බැවිනුත් ය. මහණෙනි, මේ අකුශල ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත් බව්හිම පීඩා සහිත වූ, දැඩි වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ දුකින් යුතු ව වෙසෙයි. මරණින් මතු (ඔහු විසින්) දුගතිය කැමැති විය යුතු වෙයි.
මෙ කරුණ බුදුහු වදාළහ. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2-3. “මේ ශාසනයෙහි යම් කිසි මහණකුගේ ඇස කණ නැහැය දිව කය සිත යන මේ දෙරවල් නොවසන ලද ද, අහරෙහි පමණ නොදන්නා වූ ඉන්‍ද්‍රියයන්හි නොවැසූ දොර ඇති ඒ මහණ තෙමේ කය සිත පිළිබඳ සර්‍වප්‍රකාර දුකට පැමිණේ.
4. එබඳු පුද්ගල තෙමේ කායික චෛතසික දුක් නැමැති ගින්නෙන් දැවෙමින් දිවා රෑ දෙක්හි ම දුක සේ වාසය කෙරෙයි.”
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.
2. 1. 2.
[දුතියබික්ඛු සූත්‍රය]
29. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, (කුශල) ධර්‍ම දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායචිත්ත) පීඩා නැති, දැඩි වෙහෙස නැති, නන්වැදෑරුම් දැවීම් නැති සැපයෙන් යුක්ත ව වෙසෙයි. මරණින් මතු ඔහු විසින් සුගතිය කැමැති විය යුතු වෙයි. කවර (කුශල) ධර්‍ම දෙකෙකින් ද යත්: ඉඳුරන්හි සංවරයෙනුත්, අහරෙහි පමණ දන්නා බැවිනුත් ය. මහණෙනි, මේ ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායචිත්ත) පීඩා නැති, දැඩි වෙහෙස නැති, නන්වැදෑරුම් දැවීම් නැති සැපයෙන් යුතු ව වෙසෙයි. (ඔහු විසින්) මරණින් මතු සුගතිය කැමැති විය යුතු වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2-3. “මේ ශාසනයෙහි යම් කිසි භික්‍ෂූවකගේ ඇස කණ නැහැය දිව කය සිත යන මේ සදොර වසන ලද ද, අහරෙහි පමණ දන්නා වු, ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූ ඒ භික්‍ෂු තෙමේ කය සිත පිළිබඳ සර්‍වප්‍රකාර සැපයට පැමිණේ.
4. එබඳු පුද්ගල තෙමේ කායික චෛතසික ගින්නෙන් නො දැවෙන්නේ දිවා රෑ දෙක්හි ම සැප සේ වාසය කෙරෙයි.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
2. 1. 3.
[තපනීය සූත්‍රය]
30. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, (දෙලොව ම) පසුතැවිල්ල ඇති කරණ (පසුතැවිල්ලට හේතු වූ) මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරණ ලද කලණ දම් ඇත්තේ, නොකරණ ලද කුසල් ඇත්තේ, නොකරණ ලද පුණ්‍ය කර්‍ම ඇත්තේ, කරණ ලද පාපකර්‍ම ඇත්තේ, කරණ ලද රෞද්‍ර කර්‍ම ඇත්තේ, කරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙතෙමේ ‘මා විසින් පින් නොකරණ ලදැ’යි ද තැවෙයි. ‘පව් කරණ ලදැ’යි ද තැවෙයි. මහණෙනි, පසුතැවිල්ලට හේතු වූ මේ ධර්‍මයෝ දෙදෙන වෙත්.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය ම (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2-3. “ඒ අඥාන පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා (කර්‍මපථභාවයට නොගිය) වෙනත් අකුසල් ද කොට, කුසල් නො කොට, බොහෝ අකුසල් කොට, කාබුන් මරණින් මතු අපායෙහි උපදී.”
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
2. 1. 4.
[අතපනීය සූත්‍රය]
31. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, පසුතැවිල්ල ඇති නො කරණ (පසුතැවිල්ලට හේතු නොවන්නා වූ) මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් කරණ ලද කලණ දම් ඇත්තේ, කරණ ලද කුසල් ඇත්තේ, කරණ ලද පුණ්‍යකර්‍ම ඇත්තේ, නොකරණ ලද පාපකර්‍ම ඇත්තේ, නොකරණ ලද රෞද්‍ර කර්‍ම ඇත්තේ, නොකරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙ තෙමේ ‘මා විසින් පින් කරණ ලදැ’යි ද නො තැවෙයි. ‘මා විසින් පව් නොකරණ ලදැ’යි ද නො තැවෙයි. මහණෙනි, පසුතැවිල්ල ඇති නොකරණ මේ ධර්‍මයෝ දෙදෙන වෙත්.
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය ම (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
2. “ඒ ප්‍රාඥ පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා වෙනත් සදොස් දැ ද (අකුසල්) හැර පියා,
3. අකුසල් නොකොට, බොහෝ කුසල් කොට, මරණින් මතු සුගතියෙහි උපදී.”
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.
2. 1. 5.
[පාපක සීල සූත්‍රය]
32. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන දෙකෙනි. මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 6.
[භද්දක සීල සූත්‍රය]
33. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්‍ගයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: යහපත් ශීලයෙන් ද, යහපත් දෘෂ්ටියෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්‍ගයෙහි උපදී.
බුදුහු මෙ කරුණ වදාළ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යහපත් වූ ශීලයෙන් ද යහපත් වූ දෘෂ්ටියෙන් ද, යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඒ නුවණැති පුද්ගල තෙමේ මරණින් මතු ස්වර්‍ගයෙහි උපදී.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 7.
[ආනාතාපී සූත්‍රය]
34. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් තොර වූ, (කුසීත වූ) පවට බිය නැති මහණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට සුදුස්සෙක් නො වේ. නිර්‍වාණාධිගමයට සුදුස්සෙක් නො වේ. රහත් පලයට පැමිණීමට සුදුස්සෙක් නො වේ. මහණෙනි, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති මහණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට සුදුස්සෙක් වේ. නිර්‍වාණාධිගමයට සුදුස්සෙක් වේ. අර්‍හත්ඵලාධිගමයට සුදුස්සෙක් වේ.
මෙ කරුණ බුදුහු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. කෙලෙස් තවන වීර්‍ය්‍ය නැත්තා වූ, පවට බිය නොවන සුලු වූ, කුසීත වූ, වීර්‍ය්‍යය නැති, ථීන-මිද්ධය බහුල කොට ඇති, ලජ්ජා නැති, මනා පිළිවෙත්හි ආදරයක් නැති යම් මහණෙක් වේ ද, හෙ තෙමේ උතුම් වූ අර්‍හත්‍වය ලබන්ට සුදුස්සෙක් නො වේ.
3. යම් කිසි මහණෙක් මනා සිහියෙන් යුක්ත වූයේ, ප්‍රඥා ඇත්තේ, ධ්‍යාන වඩන සුලු වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, පවට බිය වන සුලු වූයේ, කමටහන් වැඩීමෙහි පමා නොවූයේ, ජාතිජරා සංයෝජන ධර්‍මයන් සිඳ මේ අත්බැව්හි ම උතුම් රහත්මඟ නුවණ ලබන්නේ ය.
මේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 8.
[ප්‍රථම ජනකුහන සූත්‍රය]
35. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය (නොහොත් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවනු පිණිස, ලාභසත්කාරකීර්ති සඞ්ඛ්‍යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්‍රහ්මචර්‍ය්‍යය සංවරය පිණිස ද ක්ලේශප්‍රහාණය පිණිස ද වසනු ලැබේ.
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිස ද, ප්‍රහාණය පිණිස ද, උපද්‍රව රහිත වූ, නිවන් නමැති ප්‍රතිෂ්ඨාවට පමුණුවන බ්‍රහ්මචර්‍ය්‍යය වදාළ සේක.
3. මේ මාර්‍ගය උදාර අදහස් ඇති මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ බ්‍රහ්මචර්‍ය්‍යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.
මෙ කරුණ බුදුහු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 9.
[දෙවෙනි ජනකුහන සූත්‍රය]
36. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. මහණෙනි, මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය (නොහොත් ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවා ගනු පිණිස, ලාභසත්කාර කීර්ති සඞ්ඛ්‍යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්‍රහ්මචර්‍ය්‍යයන් සර්‍වධර්‍මයන් විශිෂ්ටඥානයෙන් අවිපරීත ලෙස දැන ගණු පිණිස ද ත්‍රෛභූමක ධර්‍මයන් පිරිසිඳ දැන ගණු පිණිස ද වසනු ලැබේ.
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ඒ භාග්‍යවතුන් වහන්සේ සර්‍වධර්‍මයන් ඇති සැටියෙන් විශිෂ්ටඥානයෙන් දැන ගණු පිණිස, ත්‍රෛභූමකධර්‍මයන් පිරිසිඳ දැන ගණු පිණිස ශඞ්කාරහිත වූ නොහොත් උවදුරු රහිත වූ නිවණට පමුණුවන මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය දේශනා කළ සේක.
3. මේ මාර්‍ගය උදාර අදහස් ඇති, බුද්ධාදි මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.”
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
2. 1. 10.
[සෝමනස්ස සූත්‍රය]
37. භගවත්හු විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායික චෛතසික වූ) සුව සොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් ආස්‍රවයන් ක්‍ෂය කිරීම සඳහා (අර්‍හත්ඵලයට අවශ්‍ය) කාරණය පටන් ගන්නා ලද්දේ නම් වෙයි. කවර නම් දෙකෙකින් ද යත්: සංවේගයට වස්තු වූ තන්හි සංවේගයෙන් ද, සංවේගයට පැමිණියහුගේ සම්‍යක් ව්‍යායාමයෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මේ ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බැව්හි ම සුවසොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් අර්‍හත්ඵලය සඳහා අවශ්‍ය කාරණය පටන් ගන්නා ලද්දේ නම් වේ.
බුදුහු මෙ කරුණ වදාළහ. මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පාරිහාරික ප්‍රඥාවෙන් යුක්ත වූ නුවණැති මහණ තෙමේ නුවණින් මොනවට බලා සංවේගයට පැමිණිය යුතු තන්හි සංවේගයට පැමිණේ ම ය.
3. මෙසේ වාසය කරණ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, යහපත් පැවතුම් ඇති, වික්‍ෂිප්ත නො වූ, චිත්තසමථයෙහි යෙදුනු භික්‍ෂු තෙමේ දුක්ඛක්ඛය සඞ්ඛ්‍යාත නිවණට පැමිණෙන්නේ ය.
මේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.
ප්‍රථම වර්‍ගය යි.