Itivuttaka

Thus It Was Said

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 1095 segments

පෙන්වන කොටස් 1-100 න් 1095

ඉතිවුත්තක පෙළ
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
ඒකක නිපාතය
ප්‍රථම වර්‍ගය
1. 1. 1.
ලෝභ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. (එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ලෝභ (කාමරාගය) නම් වූ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු.(එසේ ඇති කල්හි) මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් ලෝභයෙකින් ඇලුනා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මා විසින් අසන ලදි.
දොස සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද? යත්: මහණෙනි, ද්වේෂ නම් වූ එක ම සංක්ලේශධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් ද්වේෂයකින් දූෂිත වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදි.
1. 1. 3.
මෝහ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්:
මහණෙනි, මෝහ නම් වූ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මොහයෙකින් මුළා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 4.
කෝධ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි: මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ක්‍රෝධ නම් වූ මේ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා (ගාථා වශයෙන්) මෙය මෙසේ කියනු ලැබේ:
2. “යම් ක්‍රෝධයෙකින් කිපියා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ක්‍රෝධය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
මක්ඛ සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය: මෙසේ මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, ම්‍රක්‍ෂ (මකු බව) නම් වූ මේ එක ම ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මකුබවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 6.
[මාන සූත්‍රය]
6. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය: මා විසින් මෙසේ අසන ලදී:
1. මහණෙනි, එක් සංක්ලේශ ධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්: මහණෙනි, මාන නම් වූ මේ එක ම ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මානයෙකින් මත් වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ මානය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මානය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
[සබ්බපරිඤ්ඤා සූත්‍රය]
7. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ට ඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත නො ම නො අලවන්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නොඅලවන්නේ, කෙලෙස් දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
2. “යම් යෝගාවචරයෙක් තෙමේ දත යුතු සියල්ල සර්‍වප්‍රකාරයෙන් දැන සියලු සත්කායධර්‍මයන්හි නො ඇලේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් සියල්ල දැන ගැණීමෙන් සියලු සසර දුක් ඉක්මවන්නේ ය.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 8.
[මානපරිඤ්ඤා සූත්‍රය]
8. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, මානය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත ඇල්ම නො හරින්නේ, කෙලෙස් නොදුර ලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, මානය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නො අලවන්නේ, කෙලෙස් දුරැලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
2. “මේ සත්ත්‍වයෝ මානයෙන් යුක්ත වූවෝ මානයෙන් ගෙතුනෝ, භවයෙහි ඇලුනාහු ය. මානය (ත්‍රිවිධ පරිඥාවන්ගෙන්) පිරිසිඳ නොදන්නාහු පුනර්‍භවයට පැමිණෙත්. යම් කෙනෙක් මානය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහාණය කොට අර්‍හත් ඵලයෙහි පිහිටා (මානය සමග පවත්නාවූ සියලු කෙලෙසුන් කෙරෙන්) මිදුනාහු වෙද්ද, අභිභවනය කළ මානග්‍රන්‍ථ ඇති ඒ රහත්හු සියලු දුක් ඉක්මියහ.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[ලෝභපරිඤ්ඤා සූත්‍රය]
9. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිතැ ඇල්ම නොහරින්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, එහෙත් ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරණුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නො රඳනුයේ, කෙලෙස් පහ කරණුයේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:
2. “යම් ලෝභයෙකින් ලුබ්ධ වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහකෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නොඑත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. එය මෙසේ මා විසින් අසන ලදි.
1. 1. 10.
[දෝසපරිඤ්ඤා සූත්‍රය]
10. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරණුයේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත ඇල්ම නො හරිණුයේ, කෙලෙස් දුරු නො කරනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. එහෙත් මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නොරඳවනුයේ, එහි ඇල්ම දුරැ ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ.
2. “යම් ද්වේෂයෙකින් ද්විෂ්ට වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[පළමුවන පාටිභෝග වර්‍ගය නිමි.]
එහි උද්දානය:
රාග, දෝස, මෝහ, කෝධ, මක්ඛ. මාන, සබ්බ, නැවතත් මාන, ලෝභ, දෝස ද යන මොහු ප්‍රකාශිත ය හ. වර්‍ගය ප්‍රථම ය යි කීහු.
දෙවන වර්‍ගය
1. 2. 1.
[මෝහපරිඤ්ඤා සූත්‍රය]
11. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මහණෙනි, මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නො ගන්නේ, එහි සිත රඳවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැනැගන්නේ, එහි සිත නො අලවන්නේ, එය දුර ලන්නේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යම් මෝහයෙකින් මුළා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 2.
[කෝධපරිඤ්ඤා සූත්‍රය]
12. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. “මහණෙනි, ක්‍රෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරණුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත අලවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් කෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ එහි සිත නො අලවනුයේ, එය දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “යම් ක්‍රෝධයෙකින් ක්‍රැද්ධ වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ ක්‍රෝධය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 3.
[මක්ඛපරිඤ්ඤා සූත්‍රය]
13. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මහණෙනි, මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත අලවන්නේ, එය දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැනැ ගන්නේ, එහි සිත නො අලවන්නේ,( මාර්‍ග ඥානයෙන්) දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “යම් මකු බවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.
1. 2. 4.