Buddhavaṁsa

Chronicle of the Buddhas

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

පෙන්වන කොටස් 201-300 න් 1370

114. යම්සේ ආපන්නසත්ත්‍ව (ගැබිනි) යන්ගේ ප්‍රසූතිය ඒකාන්ත වේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති. (එයින්) මම් නියතයෙන් බුදුවෙමි.
115. උඩ දෙව්ලොව යැ යට මිනිස්ලොව යැ දශදිශායෙහි යැ යන ධර්‍මධාතුව හිම් කොට ඔබිනොබ බුදුකුරු දහම් සොයම් නම් මැනැවි.
116. එකල්හි (බුදුකුරු දහම්) විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝසතුන් විසින් ඇසුරු කළ (සම්බෝධියට) මහාමාර්‍ග වූ පළමු වන දානපාරමීතාව දිටිමි.
117. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් පළමු කොට මේ දානපාරමිතාව දැඩි කොට සමාදන් වැ දානපාරාමිතාව පූරණය කරව. හෙවත් දානයාගේ පරතෙරට යව.
118. යම්සේ (දිය කිරි ඈ) යම් කිසිවකින් පරිපූර්‍ණ වූ කුම්භයෙක් යටිහුරු කරන ලදුයේ දිය නිරවශේෂ කොට වගුරුවා ද, එහි නො රැඳේ ද,
119. එසෙයින් මැ හීනෝත්කෘෂ්ටමධ්‍යම වූ යාචකයන් දැක යටිහුරු කළ කළයක් සෙයින් නිරවශේෂ කොට දන් දෙව.
120. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
121. එකල්හි සොයන්නෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ දෙවැනි ශීලපාරමිතාව දිටිමි.
122. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් දෙ වැනි වූ මේ ශීලපාරමිතාව දැඩි කොට සමාදන් වැ ශීලපාරමිතාව පූරණය කරව හෙවත් ශීලයාගේ පරතෙරට යව.
123. යම්සේ සෙමෙරමුව තෙමේ වලක් කිසිවෙක්හි ලැගුණේ වාලධිය නො සිඳී ද එහි මැ මරණයට පැමිණේ ද–
124. එ සෙයින් මැ තෙපි (ප්‍රාතිමෝක්‍ෂ සංවරාදි) සිව් බිම්හි සිල් පුරව, සෙමෙරමුව වාලධිය සෙයින් හැම කල්හි ශීලය රක්‍ෂා කරව.
125. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
126. එකල්හි සොයන්නෙම් මහර්ෂී වූ පෙර බෝසතුන් විසින් භාවිත බහුලීකෘත වූ තුන් වැනි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව දිටිමි.
127. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියෙවු නම් තුන්වැනි වූ මේ නෛෂ්ක්‍රම්‍යපාරමිතාව දැඩි කොට සමාදන් වැ ශීලපාරමිතාව පූරණය කරව හෙවත් නෛෂ්ක්‍රම්‍යයාගේ පරතෙරට යව.
128. යම්සේ බන්‍ධනාගාරයෙහි බොහෝ කල් විසූ දුකින් පීඩිත වූ පුරුෂයෙක් එහි ඇලුම් නූපදවා ද මිදීම මැ සොයා ද–
129. එසෙයින් මැ තෙපි කාමාදි සියලු භවයන් බන්‍ධනාගාරයන් සෙයින් දක්ව, භවයෙන් මිදීම සඳහා නෛෂ්ක්‍රම්‍යයට අභිමුඛ වව.
130. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
131. විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ ප්‍රඥාපාරමිතාව දිටිමි.
132. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් සතර වැනි වූ මේ ප්‍රඥාමිතාව දැඩිකොට සමාදන් වැ ප්‍රඥාපාරමිතාව පුරව.
133. යම්සේ මහණ පිඬුසිඟා යනුයේ හීනෝත්කෘෂ්ට මධ්‍යම වූ කුලයන් නො හරනේ මෙසේ යැපෙන පමණ අහර ලබා ද,
134. එසෙයින් මැ තෙපි හැම කල්හි පණ්ඩිත ජනයා පුළුවුස්නහු ප්‍රඥා පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
135. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු ද ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
136. එකල්හි විමසනුයෙම් පෙර මහර්ෂී වූ බෝධිසත්ත්‍වයන් විසින් ආදරයෙන් සෙවුනා ලද නිරතුරු සෙවුනා ලද පස් වැනි වූ වීර්‍ය්‍ය පාරමිතාව දිටිමි.
137. ඉදින් තෙපි සම්බෝධියට පැමිණෙන්නට රිසියවු නම් පස් වැනි වූ මේ වීර්‍ය්‍යපාරමිතාව දැඩි කොට සමාදන් වැ වීර්‍ය්‍යපාරමිතාව සම්පූර්‍ණ කරව.
138. යම්සේ සිංහමෘගරාජතෙමේ හිඳීම් – සිටීම් – සක්මන්හි නො පසුබස්නා වීර්‍ය්‍ය ඇත්තේ දැඩි කොට ගන්නා ලද සිත් ඇත්තේ වේ ද.
139. එසෙයින් මැ තෙපි (උපනුපන්) හැම භවයෙහි වීර්‍ය්‍යය දැඩි කොට ගන්ව, වීර්‍ය්‍ය පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
140. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
141. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ ස වැනි ක්‍ෂාන්තිපාරමිතාව දිටිමි.
142. තෙපි මේ සවැනි ක්‍ෂාන්තිපාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඒ ක්‍ෂාන්තියෙහි ඒකාන්ත සිත් ඇතියහු සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
143. යම්සේ පෘථිවිය නම් බහාලන ලද සඳුන් ආදි පවිත්‍රය ද කුණපාදි අපවිත්‍රය ද යන සියල්ල ඉවසා ද (ඒ සුචි අසුචි නික්‍ෂේපයෙන්) කෝප ස්නේහ නො කෙරේ ද.
144. එ සෙයින් මැ තෙපිදු සියල්ලන්ගේ බුහුමන් අවමන් ඉවසනුවහු ක්‍ෂාන්තිපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
145. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නො වන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
146. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ සත් වැනි සත්‍යපාරමිතාව දිටිමි.
147. තෙපි මේ සත් වැනි සත්‍යපාරමිතාව දැඩිකොට සමාදන් වැ ගෙන ඒ සත්‍යපාරමිතායෙහි අතථ්‍යවචන රහිත වූවහු සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
148. යම්සේ ඕසධීතාරකා නම් සදේවක ලෝකයාහට තුලා සදෘශ වූවා වැසි කල්හිදු හිමත් ගිමන් කල්හිදු ගමන වීථියෙන් ඉවත් වැ නො යේ ද නොහොත් සදේවකලෝකයාහට ප්‍රාණාරක්‍ෂායෙහි ප්‍රමාණ වූ සිඟුරු මිරිස් ආදිය ඵලදාන සමයෙහි තත් තත් රෝගෝපශම විධියෙන් නො ඉක්මැ පවතී ද,
149. එසෙයින් තෙපිදු සත්‍යයෙහි වීථියෙන් නො ඉක්මෙව. සත්‍ය පාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
150. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක්මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරු වන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරුදහම් සොයන්නෙමි.
151. එකල්හි විමසනුයෙම් මහර්ෂී පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ අටවැනි අධිෂ්ඨානපාරමිතාව දිටිමි.
152. තෙපි මේ අටවැනි පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඒ අධිෂ්ඨානපාරමිතායෙහි නිශ්චල වැ සිට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
153. යම්සේ ශෛලපර්‍වතයෙක් අචල වූයේ එහෙයින් මැ මොනොවට පිහිටියේ සැඬ පවනින් නො සැලේ ද තමා සිටිතැන්හි මැ සිටී ද,
154. එසෙයින් මැ තෙපි අධිෂ්ඨානයෙහි හැම කල්හි නිශ්චල වව. අධිෂ්ඨානපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
155. යම් හෙයෙකින් තෙල බුදුකුරු දහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
156. එකල්හි විමසනුයෙම් මහාර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ නව වැනි මෛත්‍රීපාරමිතාව දිටිමි.
157. තෙපි මේ නව වැනි මෙත්‍රී පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන ඉදින් සම්‍යක් සම්බෝධියට පැමිණෙනු රිසියවු නම් මෛත්‍රීභාවනායෙහි අසම වව.
158. යම්සේ ජලය නම් කල්‍යාණ වූ ද පාපක වූ ද ජනයන් සිහිල් ගුණයෙන් සම වැ ස්පර්‍ශ කෙරේ ද රජස්මල ආදිය පවිත්‍ර කෙරේ ද–
159. එසෙයින් මැ තෙපි දු හිතාහිතයන් කෙරෙහි මෙත්තාභාවනාව සම කොට වඩව. මෛත්‍රීපාරමිතාවට පැමිණ සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
160. යම් හෙයෙකින් තෙල බුදුකුරුදහම්හු මෙතෙක් මැ නොවන්නාහු ද එහෙයින් යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඒ අනෙකුදු බුදුකුරු දහම් සොයන්නෙමි.
161. එකල්හි විමසනුයෙම් මහර්ෂී වූ පූර්‍ව බෝධිසත්ත්‍වයන් විසින් භාවිත බහුලීකෘත වූ දසවැනි උපේක්‍ෂාපාරමිතාව දිටිමි.
162. තෙපි මේ දස වැනි පාරමිතාව දැඩි කොට සමාදන් වැ ගෙන තුලා (තරාදිය) සදෘස වූවහු දැඩි වැ සිට සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නවු යැ.
163. යම් සේ පෘථිවිය නම් බහාලනලද අපවිත්‍රය ද පවිත්‍රය ද යන මෙ දෙක කෝප ය අනුනය යන දෙකින් තොර වැ උපේක්‍ෂා කෙරේ ද–
164. එසෙයින් මැ තෙපිදු හැම කල්හි සුඛදුඃඛයෙහි තුලා සදෘස වව. උපේක්‍ෂාපාරමිතාවට පැමිණ සම්බෝධියට පැමිණෙන්නවු යැ.
165. ලෝකයෙහි යම් ධර්‍ම කෙනෙක් බෝධිය මුහුකුරුවන්නාහු නම් ඔහු මෙතෙක් මැ යි. ඒ දශපාමීරන් හැර මත්තෙහි අන්‍ය බුද්ධකාරකධර්‍මයෙක් නැති. එහි දැඩිසේ සිටුව.
166. මේ පාරමීධර්‍මයන් ස්වභාව සඞ්ඛ්‍යාත සරසලක්‍ෂණ හෙයින් සම්මර්‍ශනය කරන්නහුගේ දහම් තෙදින් දසදහසක් සක්වළ පෘථිවිය කම්පා වූ යැ.
167. මහපොළොව පෙළනලද උක්යතක් සෙයින් සැලිණ, ගුගුළා ය. මේදිනී තොමෝ තෙලියතෙක සකක් සෙයින් කම්පා වූ ය.
168. දීපඞ්කර බුදුරදුන් (වළඳවන) දන්හල්හි යම් පමණ පිරිස් කෙනෙක් වූවාහු ද, එහු කම්පා වෙමින් මුසපත් වැ එතැන් හි බිමැ වැතිරැගත්හ.
169. නේසුවහස් ගණන් කළ ද බොහෝ සියගණන් සැළ ද එකිනෙක ගැටුණාහු ඇලැළ සුණුවිසුණු වැ ගියහ.
170. තැතිගත් සිතැති (එහෙයින්) තැවුණු බියපත් වූ භ්‍රාන්ත වූ පීඩිත සිත් ඇති මහාජනයෝ රැස්වැගෙන දීපඞ්කර බුදුන් කරා එළැඹියාහ.
171. කිමැ (වහන්ස,) ලොවට කල්‍යාණයෙක් හෝ යලි පාපයෙක් හෝ වන්නේ ද, හැම වැසි තෙමෙ උපද්‍රැත විය. පසැස් වූ භාග්‍යවතුන් වහන්ස, ඒ දුරුකළ මැනැව.
172. එකල්හි මහාමුනි වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ මේ පෘථිවි කම්පනයෙහි (තෙපි) විශ්වස්ත වවු, නහමක් බියපත් වව’යි ඒ ජනයනට මෙසේ හඟවාලූ සේක:
173. ‘මේ තෙමේ මතු ලොවැ බුදු වේ’යයි මම් අද යමක්හට ප්‍රකාශ කෙළෙම් ද, ඒ සුමේධ තවුස් පෙර බුදුවරයන් බෝසත් කලැ සෙවුනා ලද පැරුම් දම් සම්මර්‍ශන කෙරෙයි.
174. බුදුබවට කාරණ වූ පැරුම්දම් නිරවසෙස්නෙන් සිමිදුනා ඔහුට එකරුණෙන් දෙව්ලෝ සහිත දසදහසක් සක්වළැ මේ පෘථිවිය කම්පා වී යයි.
175. බුදුරදුන්ගේ බස් අසා එ කෙණෙහි (ඔවුන්ගේ) සිත නිවිණ. යළිදු ඔහු සියල්ලෝ මා වෙත පැමිණ මට අභිවාදනය කළාහුය.
176. එකල්හි සිත තරකොට බුදුගුණ (–පැරුම්දම්) සමාදන් ව දිවකුරු බුදුරදුන් වැඳ හුනස්නෙන් නැඟී සිටියෙමි.
177. දෙවියෝ ද මනුෂ්‍යයෝ ද යන දෙපක්‍ෂය (මදාරාදි) දිවමල් ද මිනිස් ලොවැ මල් ද ගෙන ආසනයෙන් නැඟීසිටුනා මා මතුයෙහි මල් වගුරුවාලූහ.
178. ඒ දෙවිමිනිස් යන දෙ පක්‍ෂය “තොප විසින් මහත් වූ තනතුරක් පතන ලද, ඒ තනතුර රිසි සේ ලබව’යි ස්වස්තිභාවය ප්‍රකාශ කළාහු ය.
179. සියලු උවදුරු දුරු වැ සෙත් වේවා ශෝක රෝග නැසීයේවා තොපට අන්තරායෙක් නහම් වේවා, උතුම් වූ සම්‍යක්සම්බෝධිය වහා අවබෝධ කරව’යි.
180. යම්සේ ඒ ඒ ගස මල් ගන්නා කාලය පැමිණි කල්හි මල් හට ගන්නා වෘක්‍ෂයෝ විකසිත වෙත් ද, මහාවීරයන් වහන්ස, එසෙයිනි තෙපි දු බුද්ධඥානයෙන් ප්‍රබෝධ වෙව.
181. යම්සේ යම් කිසි බුදු කෙනෙක් දසපැරුම් පිරුවාහු ද, මහාවීරයන් වහන්ස, එසෙයින්ම තෙපි දසපැරුම් පුරව.
182. යම්සේ යම් කිසි සම්බුදු කෙනෙක් බෝමැඩ වැඩහිඳ (සර්‍වඥතාඥානය) අවබෝධ කළාහු ද, මහාවීරයන් වහන්ස, එසෙයින් තෙපිදු බුද්ධබෝධියෙන් නොහොත් සර්‍වඥ බෝධිමූලයෙහි (සිව්සස්) අවාබොධ කළ මැනැව.
183. යම්සේ යම්කිසි සම්බුදු කෙනෙක් දම්සක් පැවැත්වූවාහු ද, මහා වීරයන් වහන්ස, එහෙයින් තෙපි දු දම්සක් පවත්වාලුව මැනැව.
184. යම්සේ පණුරැසිපොහොයෙහි (උපද්‍රවාපගමයෙන්) පරිශුද්ධ වූ සඳු බබළා ද එසෙයින් තෙපි දු පිරිපුන් මනදොළ ඇතියහු දසදහසක් සක්වළැ බැබැළුණ මැනැව.
185. යම්සේ රාහු ග්‍රහයා කෙරෙන් මිදුණු හිරු තෙදින් දිලියේ ද එසෙයින් මැ තෙපි දු ලෝ දහම් හා අලිප්ත වැ බුදුසිරින් බබළනු මැනැව.
186. යම්සේ යම් කිසි නදී කෙනෙක් (වෙත් නම් ඔහු) මහසයුර කරා ගලාබසිත් ද, එසෙයින් දෙවියන් සහිත ලෝවැසියෝ තොප සමීපයට එළැඹෙත්වා.
187. ඒ දෙවියන් විසින් ස්තූතප්‍රශස්ත වූ ඒ සුමේධ තවුස්හු දස පැරුම් දම් සමාදන් වැ ගෙන එකල්හි ඒ පැරුම්දම් පුරමින් ධම්මක පර්‍වතයෙහි මහවනයට පිවිසියාහ’යි.
සුමේධකථා නිමි.
1. දීපඞ්කර බුද්ධවංශය
1. එකල්හි ඒ රඹගම් වැසියෝ සඞ්ඝයා සහිත වූ ලෝකනායකයන් වහන්සේ වළඳවා ඒ දිවකුරු බුදුන් සරණ ගියාහු ය.
2. තථාගතයන් වහන්සේ කිසිවක්හු සරණාගමනයෙහි ද, කිසිවක්හු පන්සිල්හි ද, සමහරුන් දශවිධ ශීලයෙහි ද, පිහිටුවූහ.
3. ඒ දිවකුරු බුදුහු කිසිවක්හට සතර ශ්‍රාමණ්‍ය සඞ්ඛ්‍යාත මාර්‍ගය ද, උතුම් වූ සතර ආර්‍ය්‍යඵලය ද දුන්හ, කිසිවක්හට අසම වූ සිව්පිළිසැඹියා දහම් දුන්හ.
4. නරශ්‍රේෂ්ඨ වු සර්‍වඥයන් වහන්සේ කිසිවක්හට උතුම් වූ අටසමවත් දුන්හ. කිසිවක්හට ත්‍රිවිද්‍යා ද ෂඩභිඥාවන් ද දුන්හ.
5. ඒ මහාමුනි වු සර්‍වඥයන් වහන්සේ ඒ නයින් ජනසමූහයාට අවවාද කළහ. ඒ අවවාදයෙන් ලෝකනාථයන් වහන්සේගේ ශාසනය පතළේ වී.
6. මහත් වූ (සිංහසදෘස වූ පිරිපුන්) හනු ඇති වෘෂභසදෘස වූ (සමවෘත්ත මනෝඥ) ස්කන්‍ධ ඇති දීපඞ්කර නම් වූ සර්‍වඥයන් වහන්සේ (බුද්ධ වෛනෙය වූ) බොහෝ ජනයන් (සසරින්) තැරැවූහ. දුගතයෙන් මුදාලූහ.
7. මහාමුනි වූ සර්‍වඥයන් වහන්සේ සියදහස්යොදුන්හි පවා සිටි සත්‍යාවබෝධයට නිසි වූ ප්‍රජාව දැක ඇසිල්ලෙකින් සමීපයට එළැඹ ඒ ප්‍රජාවට සත්‍යාවබෝධය කැරැවූහ.
8. දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ප්‍රථමධර්‍මාභිසමයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබෝධය කැරැවූහ. ලෝකස්වාමී වූ බුදුහු ද්විතීය ධර්‍මාභිසමයෙහි (නාරදකූටයෙහි දී) අනූකෙළක් සත්නට සත්‍යාවබෝධය කැරැවූහ.
9. තවද යම් කලෙක බුදුහු දේවභවනයෙහි වැඩසිට දහම් දෙසූසේක් ද ( එකල්හි) අනූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
10. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට තුන් ශ්‍රාවකසන්නිපාතයෙක් වී, කෙළසියදහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
11. යලි ජිතපඤ්චමාර වූ සර්‍වඥයන් වහන්සේ නාරදකූටයෙහි විවෙක සඳහා වැඩි කල්හි විගත වූ (රාගාදි) මල ඇති සියකෙළක් රහත්හු රැස්වූහ.
12. මහාවීර වූ සර්‍වඥයන් වහන්සේ යම් කලෙක්හි සුදර්‍ශනකූටයෙහි විසූ සේක් ද, (එකල්හි) මහාමුනි වූ බුදුහු අනූකෙළදහසක් (භික්‍ෂූන්) සමග පවාරණය කළ සේක.
13. (මම් එ සමයෙහි දළමඬුලු ඇති උග්‍ර වූ තපස් ඇති අහස්හි හැසිරෙනසුලු පඤ්චාභිඥාවන්හි තෙරපත් තවුස් වීමි.)
14. දස – විසිදහසුන්ගේ ද ධර්‍මාභිසමය විය. එක්–දෙ–(තුන්) දෙනකුන්ගේ අභිසමය ගණන් විසින් නො ගිණිය හැක්ක.
15. එකල්හි දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය (එ බුදුන් විසින්) මොනොවට විශෝධිත වූයේ මහත්ත්‍වයට පැමිණියේ බොහෝ දේවමනුෂ්‍යයන් විසින් නෛර්‍ය්‍යාණිකත්‍වයෙන් දන්නා ලදුයේ (අධිශීලශික්‍ෂාදියෙන්) සමෘද්ධ වූයේ (ස්මෘති සමාධි ආදියෙන්) වැඩුණේ ද වී.
16. ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සාරලක්‍ෂයක් ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු හැම කල්හි දීපඞ්කර බුදුන් පිරිවරා වෙසෙත්,
17. එසමයෙහි යම් කිසි කෙනෙක් නොපත් අර්‍හත්‍වය ඇති වැ ශෛක්‍ෂ වූවාහු මිනිස් බව පියත් ද, ඔහු ගර්හිත වූවාහු මැ වෙත්.
18. (අභිඥා කුසුමයෙන්) සුපිපි ප්‍රවචනශාසනය ලෝදහම්හි තාදී වූ ක්‍ෂීණාස්‍රව වූ විගත රාගාදි මල ඇති රහතුන් විසින් හැම කල්හි සෝභිත වී.
19. දීපඞ්කර ශාස්තෲන් වහන්සේ ගේ ජාතනගරය රම්මවතී නම් විය, ක්‍ෂත්‍රිය වූ සුදේව නම් රජ පිතෘ විය. මවු තොමෝ සුමේධා නම් වූ.
20. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. හංසා යැ කොඤ්චා යැ මයූරා යැ යි උත්තම වූ තුන් ප්‍රාසාදයෝ වූහ.
21. මොනොවට සැරැසුණු තුන් ලක්‍ෂයක් පරිවාර ස්ත්‍රීහු වූහ, පදුමා නම් ප්‍රසිද්ධ අගබිසෝ වූ උසභක්ඛන්‍ධ නම් කුමාර පුත්‍ර වී.
22. ජින වූ දීපඞ්කර බුදුහු සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් අභිනිෂ්ක්‍රමණ කළහ. අනූන වූ දසමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.
23-24. ඒ මුනිහු ප්‍රධන්වීර්‍ය්‍යය කොට අර්‍හත්ඵලය අවබෝධ කළහ. මහාවීර වූ දීපඞ්කර මහාමුනිහු මහබඹහු විසින් අයදනා ලද්දාහු ලක්‍ෂ්මී වාස වූ නන්‍දාරාමයෙහි දම්සක් පැවැත්වූහ. මහරි රුක්මුල්හි වැඩහිඳ තීර්‍ත්‍ථක මර්දනය කළහ.
25. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට සුමඞ්ගල යැ තිස්ස යැ යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. සාගත නම් තෙර උපස්ථායක වී.