සුත්‍රාන්තපිටකයේ කුදුගොත්සඟියෙහි
බුද්ධවංශපාළිය
ඒ භාග්‍යවත් වූ අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
රත්නචඞ්ක්‍රමණ කාණ්ඩය
1. සත්ත්‍වලෝකයට අධිපති වු සහම්පති නම් බ්‍රහ්ම තෙමේ මුදුනෙහී කළ ඇඳිලිපුට ඇති ව – ‘මෙ සත්ලොවැ නුවණැස්හි අල්ප වූ කෙලේස රජස් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ඔවුනට සිව්සස්දහම් දෙසනු මැනවැ මේ සත්ත්‍වප්‍රජාවට අනුකම්පා කළ මැනවැ’යි අනුත්තර වූ සර්‍වඥයන් වහන්සේට ආයාචනා කෙළේ ය.
2. පරිපූර්‍ණ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍ම ඇති (ඉෂ්ටානිෂ්ටාදියෙහි) තාදී වූ ශරීරකාන්ති හෝ ප්‍රඥප්‍රදීප ධරන්නා වූ පශ්චිමශරීරධාරී වු අප්‍රතිපුද්ගල වූ තථාගතයන් වහන්සේට සියලු සත්ත්‍වනිකායෙහි කරුණාව උපන.
3. තෙල (මාගේ ඥාති ආදි) සදේවමනුෂ්‍යයෝ ‘නරෝත්තම වූ මේ සර්‍වඥයන් වහන්සේ කෙබඳු වූවාහු ද, ලොවට හිත වූ සර්‍වඥයන්ගේ ඍද්ධිබලයත් ප්‍රඥාබලයත් කෙබඳු වී ද. බුද්ධබලය කෙබඳු වී දැ’යි යම් හෙයෙකින් නො දනිත් ද,
4. තෙල දෙවියන් සහිත මනුෂ්‍යයෝ ‘නරෝත්තම වූ මේ සර්‍වඥයෝ මෙ බඳු වූවාහු යැ, ලොවට හිත වූ සර්‍වඥයන්ගේ ඍද්ධිබලයත් ප්‍රඥාබලයත් මෙ බඳු විය. බුද්ධබලය මෙබඳු වී ‘යයි යම් හෙයෙකින් නො දන්නාහු ද,
5. එහෙයින් මම අනුත්තර වූ බුද්ධඅනුභාවය දක්වමි. අහස්හි මුක්තාමණි ආදි රත්නයෙන් අලඞ්කෘත වු චඞ්ක්‍රමණයක් මවාලමි. (සිතූ සේක එකල්හි)
6. (ප්‍රාසාද පර්‍වත වන වෘක්‍ෂාදියෙහි සිටි) බූමාටු දෙවියෝ ද සිව්මහරජයෙහි දෙවියෝ ද තව්තිසායෙහි දෙවියෝ ද යාම දෙවියෝ ද තුෂිත දෙවියෝ ද නිර්‍මාණරතී නම් දෙව්ලොවැ දෙවියෝ ද පරනිර්මිත වශවර්තී නම් දෙවියෝ ද සොළොස් බඹතල වැසි දෙවියෝ ද සතුටු සිත් ඇත්තාහු මහත් වූ ඔල්වරසන් නැඟූහ.
(බුදුහු ඕදාතකිසුණු සමවත් සමවැද දහසක් සක්වළ ආලෝක වේව’යි ඉටූහ. එකෙණෙහි)
7. දේවලෝක සහිත වූ පෘථිවිය ද අසංවෘත වූ බොහෝ ලොකාන්තරිකයෝ ද අවභාෂිත වූහ. එකල්හි ඝනාන්‍ධකාරය ද නැසුණේ වී. ඒ අසිරිමත් පෙළහර දැක දේවමනුෂ්‍යයයෝ සතුටු වූහ.
8. දෙව් ගඳඹ මිනිස් රකුස් යන මොවුන් සහිත මේ ලොව ද අන් දෙව්ලෝ ද යන උභයලෝකයෙහි ද යට (අවීචිය ආදි නරකයන්හි) ද උඩ (අජටාකාශයෙහි) ද සරස (දසදහසක් සක්වළ) ද පැතිර පැවති මහත් වූ අප්‍රමාණ වූ ආලොකයෙක් උපන.
9. ශීලාදිගුණයෙන් සියලු සත්ත්‍වයන් කෙරෙහි උතුම් වූ තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති. සත්ත්‍වයන් හික්මවන්නා වූ ශාස්තෲන් වහන්සේ දෙවිමිනිසුන් විසින් පුදනලද වූහ. මහත් අනුභාව ඇති සියපින්ලකුණෙන් යුත් සර්‍වඥයන් වහන්සේ ආශ්චර්‍ය්‍ය වූ පෙළහරක් දැක්වූ සේක.
10 එකල්හි (පෙළහර අවසන්හි) මිනිසුන් අතර උතුම් වූ පසැස් ඇති ලෝනාහිමි වූ ඒ බුදුරජහු සහම්පති නම් මහබඹහු විසින් අයදනා ලද්දාහු දෙවිමිනිසුනට වන වැඩ සලකා එහි මනාව නිමියා වූ සියලු රුවනින් නිමවනලද සක්මනක් මැවූහ.
11. බුදුහු ඍද්ධි – ආදේශනා – අනුශාසනී යන තුන් පෙළහරෙහි (පස් අයුරෙකින්) වශී වූහ. ලෝකනායක වූ බුදුහු මනාව නිමියා වූ සව්රුවන්මුවා සක්මනක් මැවූහ.
12. දසදහසක් සක්වළෙහි උතුම් වූ මහාමේරුපර්‍වතයන් රුවන් සක්මන්හි ටැඹ සෙයින් පිළිවෙළින් දැක්වූහ.
13. පස්මරුන් දිනූ බුදුහු දසදහසක් සක්වළ ඉක්මවා සක්මන මැවූහ. රුවන්මුවා සක්මන්හි දෙපස සර්‍වස්වර්‍ණමයභූමි විය.
14. යටකී මහමෙර ටැඹ මත ඊට අනුරූප වූ තුලාහඟුළු මතුයෙහි රන්පෝරු අතුරනලද යැ. දෙපසැ මවනලද වේදිකාව සර්‍වස්වර්‍ණමය වි.
15. මිණිමුතුවැල්ලෙන් ගැවැසුණු මවනලද රුවන්මුවා සක්මන උදාහිරු මෙන් සියලු දික් හොබවයි.
16. ධීර වූ දෙතිස්මහපුරිස්ලකුණින් යුත් පස්මරුන් දිනූ සම්බුදුහු ඒ සක්මන්හි බබළමින් සක්මන් කළහ.
17. එහි රැස් වූ සියලු දෙවියෝ දෙව්ලොවැ හටගත් මදාරාමල් ද පියුම් ද පරසතුමල් ද සක්මනෙහි විසුරුවති.
18. දසදහසක් සක්වළ දේවසමූහයෝ සතුටු සිත් ඇත්තාහු උන් වහන්සේ දක්නාහ. සතුටු වූවාහු තුටුපහටු වූවාහු වඳිමින් රැස් වෙති.
19. තව්තිසාවෙහි දෙවියෝ ද යාමයෙහි දෙවියෝ ද තවත් තුෂිතයෙහි දෙවියෝ ද නිර්‍මාණරතියෙහි දෙවියෝ ද පරනිර්මිතවසවරතී දෙවියෝ ද ඔදවැඩිසිත් ඇත්තාහු සතුටු වූවාහු ලෝකනායකයන් බලති.
20. දෙවි ගඳඹ මිනිස් යක් යන මොවුන් සහිත නා ගුරුළු යන මොහු ද තවත් රකුසෝ ද සත්ලොවට හිතානුකම්පා ඇති උන් වහන්සේ අහස්හි උදා වූ සඳ සෙයින් දකිති.
21. ආභස්සර බඹුහු ද සුභකිණ්ණ බඹහු ද වෙහප්ඵල බඹහු ද අකනිටා බඹහු ද ඉතා පිරිසිදු සුදුවත් හැද පෙරෙවියාහු මුදුනෙහි ඇඳිලි බැඳ සිටිත්.
22. තවද ආශ්චර්‍ය්‍යයෙකි, ජිනරාජයන් වහන්සේ සත්ලොවට හිතානුකම්පා ඇතිසේකැ’යි (ඒ පෙළහර දක්වන කල්හි) සඳුන්සුණු මුසු පස් පෑ දිස්නා මදාරාමල් ද විසුරුවති. අහස්හි දිවසළු ද බමවත්.
23. නුඹ වහන්සේ ලොසත්නට ශාස්තෲ වූවහ. කෙහෙලි වැන්නහ. ධ්වජයක් වැන්නහ. යාගස්තම්භයක් වැන්නහ. පිළිසරණයහ. ප්‍රතිෂ්ඨා වූවහ. ප්‍රදීපයක් වැන්නහ. දෙපා ඇතියනට උතුම් වූවහ’යි.
24. දසදහස්ලෝධාභි මහත් ඍද්ධි ඇති දෙවියෝ තුටුපහටු වූවාහු ප්‍රමුදිත වූවාහු පිරිවරා සිට නමස්කාර කෙරෙති.
25. දෙවියෝ ද දෙවඟනෝ ද ප්‍රසන්න වූවාහු සතුටුසිත් ඇත්තාහු පස්වනන් මලින් නරශ්‍රේෂ්ඨ වූ බුදුන් පුදති.
26. දිව්‍යසමූහයෝ ප්‍රසන්න වූවාහු සතුටුසිත් ඇත්තාහු ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුන් දකිති. පස්වනක් මලින් පූජා කෙරෙත්.
27. අහෝ! ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය නියා යැ අද්භූත නියා යැ ලොමුදහනසුලු යැ. මා විසින් මෙබඳු ලොමුදහන ආශ්චර්‍ය්‍ය වූ අද්භූතයෙක් නුදුටුවිරූ යයි.
28. දෙවියෝ තමන් තමන්ගේ විමන්හි හිඳ අහස්හි ආශ්චර්‍ය්‍ය (පෙළහර) දැක මහසිනායෙන් සෙති.
29. අහස්විමන්වැසි වූ ද බූමාටුවිමන්වැසි වූ ද තල්ආදි තණරුක්මුදුන්වැසි වූ ද මංවැසි වූ ද දෙවියෝ සතුටු වූවාහු තුටුපහටු වූවාහු බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
30. බොහෝ ආයුෂ ඇති පින්වත් වු මහත් ඍද්ධි ඇති යම් නාග කෙනෙක් වෙත් නම් (ඔහු ද) සතුටුසිත් ඇත්තාහු නරෝත්තම බුදුරදුන් වඳිත් පුදත්.
31. (දෙවියෝ) අහස්හි ආශ්චර්‍ය්‍ය (පෙළහර) දැක පවන්මඟැ – අහස්හි දෙව්නළුගී පවත්වති, දිවබෙර වයත්.
32. (දෙවියෝ) අහස්හි ආශ්චර්‍ය්‍ය දැක සක් ද පණාබෙර ද යළි බොහෝ මිහිඟුබෙර ද අහස්හි වාදනය කෙරෙත්.
33. ඒකාන්තයෙන් අද අද්භූත වූ ලෝමහර්‍ෂයෙක් උපන්නේ නො! අවශ්‍යයෙන් අර්‍ත්‍ථසිද්ධිය ලබම්හ. අප විසින් බුද්ධොත්පාද ක්‍ෂණය ලබන ලද.
34. ‘බුද්ධ’ යන වදන් අසා එකෙණෙහිම ඒ දෙවියනට (පස්වණක්) ප්‍රීති උපන. ඔහු ‘බුදුහ බුදුහ’ කියමින් මුදුනෙහි ඇඳිලි බැඳ සිටිති.
35. දෙවාදි විවිධ ප්‍රජාවෝ අහස්හි බදැඳිලි වැ සිට හිංකාර නාදය ද සාධුකාර නාදය ද ඔල්වරහඬ ද ප්‍රසන්නාකාරය ද පවත්වති.
36. බුදුගුණ ගයතති සීරුසන් පවත්වති වාදනය කෙරෙති, අපොළති, නටවති, (තුමූත් නටති) යළි පස්වණක් මල් වගුරුවති, සඳුන් සුණු මුසු වු මදාරා මල් ද වගුරුවත්.
37. මහාවීරයන් වහන්සා, යම්සේ නුඹ වහන්සේ ගේ පාසඟලෙහි සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ චක්‍රලක්‍ෂණ බබළා ද එසෙයින් ධ්වජයෙන් පතාකායෙන් වර්ධමානයෙන් හා අඞ්කුශයෙන් ද (ඒ චක්‍රලක්‍ෂණය අලඞ්කෘත වී.)
38. රූපකාය සම්පත්තියෙහි ද ශීලයෙහි ද සමාධියෙහි ද ලෝකෝත්තරප්‍රඥායෙහි ද අනුපම වූවහ. ඵලවිමුක්තියෙහි ද දම්සක් පැවැතුම්හි ද අසම වූ අතීත බුදුවරයන් හා සම වූවහ.
39. සදත්කුලයෙහි වූ දස ඇත් කෙනකුන් ගේ බලය නුඹ වහන්සේ ගේ කයෙහි පියවි බලය වෙයි. (විකුර්‍වණාදි) ඍද්ධිබලයෙන් අසමසමයහ. දම්සක් පැවැතුම්හි දේශනාඥනයෙහි ද අසමයහ.
40. මෙසෙයින් සියලු ලොවි ලොවුතුරා ගුණයෙන් යුක්ත වූ සියලු ගුණාංගයෙන් සමුපේත වූ මහාමුනි වු කාරුණික වූ ලෝක ස්වාමීන් නමස්කාර කරවු.
41. අභිවාදනයට ද (නො හමුයෙහි කරන) ස්තුතියට ද ප්‍රණාමයට ද (හමුයෙහි කරන) ප්‍රශංසාවට ද ඇඳිලි බැඳීමට ද (මල්ගඳ විලෙවුන් ආදියෙන්) පිදීමට ද යන සියලු සත්කාර විශේෂයට නුඹ වහන්සේ නිසි වූවහ.
42. මහාවීරයන් වහන්ස, ලොවැ යම් කෙනෙක් වන්‍දනීය වූවාහු ද යම් කෙනෙක් වන්‍දනාවට නිසි වූවාහු ද නුඹ වහන්සේ ඒ සියල්ලන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූවහු යැ. නුඹ වහන්සේට සම වූයෙක් නැති.
43. මහාප්‍රඥා වූ චිත්තසමාධියෙහි හා ප්‍රථමධ්‍යානාදියෙහි නිපුණ වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගිජුකුළු පව්වෙහි සිටියාහු මැ (රුවන් සක්මන්හි සක්මන් කරන) ලෝකනායක වූ සර්‍වඥයන් වහන්සේ දුටුවාහ.
44. නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේ සුපිපි සල්රුකක් මෙන් ද, අහසෙහි (තරු පිරිවරන ලද) පුන්සඳු සෙයින් ද, බබලන මධ්‍යාහ්න සූර්‍ය්‍යයා සෙයින් ද දුටුවාහ.
45. දිලියෙන ව්‍යාමප්‍රභායෙන් හාත්පසින් රැඳුණු ධීර වූ ලෝකනායකයන් වහන්සේ (නැඟූ පහන් ඇති) දිලියෙන පහන් රුකක් සෙයින් ද උදයට පැමිණි ළහිරු මඬලක් සෙයින් ද දුටුවාහ.
46. සිව්සස්හි කොට නිමැ වූ කිස ඇති ලාභලාභාදියෙහි තාදී වූ මඟනැණින් ක්‍ෂය කළ ආස්‍රව ඇති විගත වූ රාගාදි මල ඇති පන්සියක් භික්‍ෂූන් ඇසිල්ලෙකින් රැස් කරවූහ.
47. බුදුහු ලෝකවිවරණ නම් වූ ප්‍රාතිහාර්‍ය්‍යයක් දැක්වූහ. ඇපිදු එහි යම්හ. ඇපි ජිතපඤ්චමාර වූ සර්‍වඥයන් වහන්සේ වඳිම්හ.
48. එනු මැන ඇපි හැමදෙනමෝ රැස් වැ සිට ජිතපඤ්චමාර වූ බුදුරදුන් විචාරම්හ. ලෝකනායකයන් වහන්සේ දැක කාඞ්ක්‍ෂා දුරු කරම්හ.
49. නිපකප්‍රඥා ඇති සංවර කළ ඉඳුරන් ඇති ඒ භික්‍ෂූහු මැනැවැ යි පිළිවදන් දි පාසිවුරු ගෙන යුහු වැ තෙරුන් කරා එළඹියාහු යැ.
50. උත්තම දම සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය නිමිති කොට කයින් හා සිතින් හා දැමුණු විගතමල වූ ඒ ක්‍ෂීණාස්‍රවයන් සමග මහාප්‍රාඥ වූ සැරියුත් මහතෙරණුවෝ ඍද්ධියෙන් බුදුන් වෙත එළඹියහ.
51. මහත් වූ ගණ ඇති ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ඒ භික්‍ෂූන් විසින් පිරිවරන ලද්දාහු අහස්හි දිලියෙන දෙවියකු සෙයින් ඍද්ධියෙන් බුදුරදුන් කරා එළඹියහ.
52. ඒ භික්‍ෂූහු උකැසිහඬ ද කිවිසිහඬ ද නො කොට සුවිමල ධුතගුණ ඇත්තාහු බුද්ධ ගෞරවයෙන් සගෞරව වූවාහු නීචවෘත්ති ඇත්තාහු සම්මාසම්බුදුන් කරා එළඹියාහ.
53. එළැඹ ගුවන්තෙලෙහි උදයට පැමිණි චන්‍ද්‍රයා සෙයින් ස්වයම්භූ වූ ලෝකනායක වූ අහස්හි පැන නැඟී සිටි ධීර වූ සර්‍වඥයන් වහන්සේ දක්නාහ.
54. දිලියෙන පහන්රුකක් සෙයින් ද ගුවන්තෙලෙහි විදුලිය සෙයින් ද මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද ලෝකනාථයන් වහන්සේ දුටුවාහ.
55. සියලු පන්සියක් භික්‍ෂූහු පහන්දිය ඇති සුපිපි පියුම් ඇති විලක් සෙයින් ලෝකනායකයන් වහන්සේ දුටුවාහ.
56. (සැරියුත් තෙරුන් ප්‍රමුඛ ඒ භික්‍ෂූහු) මුදුනෙහි ඇඳිලි බැඳගෙන තුටුපහටු වූවාහු ප්‍රමුදිත වූවාහු නමස්කාර කෙරෙමින් ශාස්තෲන් වහන්සේ ගේ චක්‍රලක්‍ෂණ ඇති පාද සමීපයෙහි වැඳ වැටුණාහ.
57. මහනුවණැති වූ කටුකරඬු මල් සුදුසු පැහැ ඇති වූ චිත්තසමාධියෙහි හා ප්‍රථමධ්‍යානයෙහි ඡේක වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ලෝකනායක වූ සර්‍වඥයන් වහන්සේ වැන්දාහ.
58. ගර්‍ජනා කරන කාළමේඝයක් බඳු වූ නීලෝත්පල සදෘශ ප්‍රභා ඇති ඍද්ධිබලයෙන් අසම වූ මහත් ඍද්ධි ඇති මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ සර්‍වඥයන් වහන්සේ වැන්දාහ.
59. රත්රන් බඳු සිවිපැහැ ඇති, ධූතගුණයෙහි අගතැන්හි තබන ලද, ශාස්තෲන් වහන්සේ විසින් ස්තූති කරන ලද වර්‍ණනා කරන ලද මහසුප් මහතෙරණුවෝ ද සර්‍වඥයන් වහන්සේ වැන්දාහ.
60. යම් කෙනෙක් දිවැස් ඇතියන් අතුරින් අග්‍ර වූ නම් භාග්‍යවතුන් වහන්සේගේ ඥාතිශ්‍රේෂ්ඨ වූ නම් ඒ මහත් ගණ ඇති අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ නුදුරෙහි මැ සිටියාහ.
61. ප්‍රතිකර්‍ම සහිත වූ ද රහිත වූ ද, ආපත්තිඅනාපත්තියෙහි ඡේක වූ, විනයෙහි අගතැන්හි තබන ලද, ශාස්තෲන් විසින් වර්‍ණනා කරන ලද උපාලි තෙරණුවෝ (නුදුරෙහි මැ සිටියාහ.)
62. ප්‍රතිවේධ කළ සූක්‍ෂම වූ නිපුණ වූ අර්‍ත්‍ථ ඇති, ධර්‍ම කථිකයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගණ ඇති ඍෂී වූ, මන්තානි නම් බැමිණියගේ පුත්‍ර වූ ‘පුණ්ණ’ නමැයි ප්‍රසිද්ධ වූ තෙරණුවෝ ද (නුදුරෙහි සිටියාහ.)
63. මොවුන්ගේ සිත් දැන උපමායෙහි දක්‍ෂ වූ සැක සිඳුනා වූ මහත් වීර්‍ය්‍ය ඇති සර්‍වඥයන් වහන්සේ තමන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළහ.
64. යම් කෙනකුන්ගේ අන්තය නො පැනේ නම් මොහු සතර දෙන සඞ්ඛ්‍යානයට (ගණනට) නො හැකි වෙති: සත්ත්‍ව සමූහය ද ආකාශය ද චක්‍රවාටයෝ ද අනන්තයෝ යැ බුද්ධඥානය ප්‍රමාණ කළ නො හැක්කේ යැ. මොහු දැනගන්නට නො හැක්කාහ.
65. මාගේ ඍද්ධි විකුර්‍වණය යන යමෙක් ඇද්ද තෙල ලොවැ කවර නම් ආශ්චර්‍ය්‍යයෙක් ද? අද්භූත වූ ලොමුදහ ගන්වන අර්‍න්‍ය වූ ආශ්චර්‍ය්‍යයෝ බොහෝ වෙති.
66. යම් කලෙකැ මම් තුෂිත දිව්‍යනිකායයෙහි සන්තුෂිත නම් දෙවි වූයෙම් ද එකල්හි දසදහසක් සක්වළැ දෙවියෝ රැස් වැ මා කරා පැමිණ බදැඳිලි වැ අයදිත්:
67. මහාවීරයාණෙනි, මේ මුඹට බුදුවන්නට කලි. මව්කුසැ පිළිසිඳගනු මැනැවැ. දෙවියන් සහිත ලෝකය තරණය කෙරෙමින් අමෘතපදය අවබෝධ කළ මැනැවැ’යි.
68. යම් කලෙක තුෂිත දිව්‍යනිකායෙන් ච්‍යුත වැ මව් කුසැ පිවිසියෙම් ද එකල්හි දශස්හශ්‍රීලෙකධාතු ධරණිය කම්පා විය.
69. යම් කලෙක මම් සිහි ඇති වැ මව්කුසින් නික්මියෙම් ද එකල්හි දශස්හශ්‍රීලෙකධාතුව සාධුකාර පවත්වමින් කම්පා විය.
70. ගර්‍භාවක්‍රාන්තියෙහි ද මව්කුසින් බිහිවීමෙහි ද මා හා සමයෙක් නැති. සම්බෝධියෙහි දම්සක්පැවැත්මෙහි මම් ශ්‍රේෂ්ඨයෙමි.
71. ලොවැ බුදුවරයන්ගේ ගුණමහත් බව අහෝ ආශ්චර්‍ය්‍ය යැ. දසදහසක් සක්වළැ මහපොළොව ෂට්ප්‍රකාරයෙකින් සැලුණේ යැ. මහත් වූ අවභාසයෙක් ද ආශ්චර්‍ය්‍යයෙක් ද ලෝමහර්‍ෂයෙක් ද විය.
72. එසමයෙහි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ජිතපඤ්චමාර වූ භාග්‍යවතුන් වහන්සේ ද දෙවියන් සහිත ලෝකයාට පෙළහර දක්වමින් ඍධියෙන් සක්මන් කළහ.
73. ලෝකනායක වූ ශාස්තෲන් වහන්සේ සක්මන්හි සක්මන් කරන්නාහු මැ (මිහිරි දහම් කථා) වදාළහ. (පැළ–පැදුන් සක්වළ මුවවිට හිම් කොට ඇති සක්මන්හි) සතර රියන් සක්මනෙක්හි සෙයින් අතුරෙහි නො නවත්නාහ.
74. මහාප්‍රාඥ වූ චිත්තසමාධියෙහි හා ප්‍රථමාධ්‍යානාදියෙහි ඡේක වූ ශ්‍රාවකපාරමිඥානයෙහි පාරයට පැමිණි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ලෝකනායක වූ භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්ති:
75. මහ වීරයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, මුඹ වහන්සේ ගේ අභිනීහාරය කිබඳු යැ? ධීරයන් වහන්ස, මුඹ වහන්සේ විසින් කවර කලෙකැ උත්තම බෝධිය ප්‍රාර්‍ත්‍ථනා කරන ලද ද?
76. (මුඹ වහන්සේ ගේ) දානය ද ශීලය ද නෛෂ්ක්‍රම්‍යය ද ප්‍රඥාව ද වීර්‍ය්‍ය ද කිබඳු යැ? ක්‍ෂාන්තිය ද සත්‍යය ද අධිෂ්ඨානය ද මෛත්‍රිය ද උපේක්‍ෂාව ද කිබඳු යැ?
77. ධීර වූ ලෝකනායකයන් වහන්ස, මුඹ වහන්සේ විසින් කෙබඳු දසපාරමී පුරන ලද ද? කෙසේ දස උපපාරමී පුරන ලද ද? කෙසේ දස පරමත්‍ථපාරමී පුරන ලද දැ? යි.
78. ඒ සැරියුත් තෙරුන් විසින් පුළුවුස්නා ලද කුරවිකෙවිල්ලනට බඳු මිහිරි වදන් ඇති සර්‍වඥයන් වහන්සේ (කෙලෙසින් තැවුණවුන්ගේ) ළය නිවමින් සදේවක ලෝකයා තුටු කෙරෙමින් ප්‍රකාශ කළාහු යැ.
79. ජිතපඤ්චමාර වූ අතීත බුදුවරයන් විසින් දේශිත වූ උන්වහන්සේගේ චරිතය වු සම්බුදු පරපුරෙන් පැවැත ආවා වූ ලොවට හිත වූ බුද්ධවංශය පෙරවිසූ කඳපිළිවෙළ දන්නා නුවණින් දෙවියන් සහිත ලෝකයාට ප්‍රකාශ කළ සේක.
80. ප්‍රීතිප්‍රමෝදය උපදනා වූ ශෝකශල්‍යය දුරු කරන්නා වූ සර්‍වසම්පත් ලාභයට කරුණු වූ මා කියන බුද්ධවංශ දේශනාව සිත්හි ලා අසවු.
81. ජාත්‍යාදි මද නිර්‍මදනය කරන්නා වූ ශෝකය දුරු කරන්නා වූ සංසාරබන්‍ධනයෙන් මුදාලන්නා වූ ජාත්‍යාදි හැම දුක් ක්‍ෂය කරන්නා වූ මාර්‍ගය වු බුද්ධවංශදේශනාව සකසා අසවු. නොහොත් ප්‍රීතිප්‍රමෝදය උපදනා ශෝකශල්‍ය දුරු කරන, සියලු සම්පත් ප්‍රතිලාභයට කරුණු වූ බුද්ධවංශදේශනාව අසා. මද නිර්‍මදනය කරන ශෝකය දුරලන සසර බැඳුමින් මුදාලන සියලු දුක් ක්‍ෂය කරන බුද්ධභාව සඞ්ඛ්‍යාත මාර්‍ගයට බසිවු” යයි.
රත්නචඞ්ක්‍රමණ කාණ්ඩය නිමි.
සුමේධ කථා
1. සාරාසැකි කප්සුවහස් මතුයෙහි දැකුම්කලු මනහර වූ අමර නම් නුවරෙක් වී.
2. ආහාරපානයෙන් යුක්ත වූ ඇතුන්ගේ කුඤ්චනාදය අසුන්ගේ හේසාරවය බෙර සක් රිය හඬින් ද (වීණා ගිත සම්මතාල ශබ්දයෙන් ද) කව පොව ආදි වූ ආහාරපාන පිළිබඳ ශබ්දයෙන් ඝෝෂා කරන ලද දස වැදෑරුම් ශබ්දයෙන් නො වෙන් වූ,
3. සියලු නගරාඞ්ගයෙන් සම්පූර්‍ණ වූ සියලු කර්‍මාන්තයෙන් යුක්ත වූ සත්රුවනින් සමෘද්ධ වූ නානා ජනයා විසින් ගැවැසිගත් එනුවර සමෘද්ධ වූ (ආලකමන්‍දා) දෙව්නුවර සෙයින් පින්කම් කළ ජනයන්ට ආවාස වී.
4-5. ඒ අමරවතී නගරයෙහි රැස්කළ නොයෙක් කෙළ ගණන් බොහෝ ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ වේද මන්ත්‍ර ධරන්නා වූ ත්‍රිවේදයාගේ පරතෙරට ගිය ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද ස්වකීය බ්‍රාහ්මණධර්‍මයෙහි ද පරතෙරට ගිය සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වී.
6. එකල්හි සුමේධපණ්ඩිත නම් වූ මම් එකලා වැ හිඳ මෙසේ සිතීමි: පුනර්‍භවය නම් දුකෙකි, ශරීරභෙදන සඞ්ඛ්‍යාත මරණය ද දුකෙකි.
7. ඒ සුමේධපණ්ඩිත සමයෙහි මම ඉපදීම ස්වභාව කොට ඇත්තෙම් ජරාව ස්වභාව කොට ඇත්තෙම් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙම් වෙමි. එහෙයින් ජරා රහිත වූ මරණ රහිත වූ නිර්‍භය වූ නිර්‍වාණය සොයන්නෙමි.
8. නානා කුණපයෙන් පිරුණු මේ කුණු කය හැර දමා නිරාලය වූයෙම් අර්ත්‍ථී නො වූයෙම් යන්නෙම් නම් යෙහෙකැ යි.
9. (යම් මාර්‍ගයෙකින් නිවනට යෙම් ද) ඒ මඟ අවශ්‍යයෙන් ඇත, වන්නේ යැ, ඒ මඟ හේතු නො වන්නට නො හැකි, භවයෙන් මිදීම පිණිස ඒ මඟ සොයන්නෙමි.
10. යම්සේ දුක ඇති කල්හි සුවයෙකුදු ඇද්ද එසෙයින් භවය ඇති කල්හි විභවයෙකුදු කැමැති වියයුතු යැ.
11. යම්සේ උෂ්ණය ඇති කල්හි අන්‍ය ශීතයෙකුදු ඇද්ද එසෙයින් (රාගාදි) තුන් ගිනි ඇති කල්හි නිවනෙක් කැමැති වියයුතු යැ.
12. යම්සේ පාපය ඇති කල්හි කුශලයෙකුදු ඇද්ද, එසෙයින් ජාතිය ඇති කල්හි නො ඉපැද්මකුදු කැමැති වියයුතු යැ.
13. යම්සේ මල වැකුණු මිනිසෙක් දිය පිරුණු තඩාගයක් දැක ඒ තඩාගය නො සොයා ද ඒ තඩාගයාගේ දෝෂයෙක් නො වේ.