45. සිල් නැමැති කස්ස (සැට්ටය) පෙරෙවා ධ්‍යාන නමැති කවචය බැඳ ස්මෘතිසම්‍යග් ඥාන සඞ්ඛ්‍යාත චර්‍මය පෙරෙවැ උතුම් වූ (චතුරඞ්ග සමන්‍වාගත වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සන්නාහය කොට–
46. සිහි නමැති ඵලකායුධය ද තියුණු වූ විදර්‍ශනාඥාන නමැති කුන්තායුධය ද දී ක්ලෙසසසර්‍ග මර්දනය කරන ලෝකෝත්තරශීලය වූ මාර්‍ගප්‍රඥා සඞ්ඛ්‍යාත උත්තමඛඞ්ගය දී–
47. ත්‍රිවිද්‍යාමය අලඞ්කරණ දී සතර ඵලයන් වටංසක කොට ෂඩ්අභිඥා නමැති ආභරණ දී නවලොවුතුරු දහම් නමැති මල් පළඳනා කොට.
48. පව් වළහන සදහම් නමැති සේසත් දී අභයපුරයට යන සුලු අෂ්ටාඞ්ගමාර්‍ග පුෂ්ප මවා ඒ කාශ්‍යප බුදුහු ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
49. පමණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සම්‍යක්සම්බුදුහු තුලුහු මැ යැ ස්වාඛ්‍යාත වූ ‘එව බලව’යි කීමට නිසි වූ දහම්රුවන් එ මැ වෙයි.
50. අනුත්තර වූ සුපිළිපන් වූ සඟුරුවන එ මැ වෙයි. එ හැම අතුරුදහන්වී. හැම සංස්කාරයෝ තුච්ඡ නො ද?
51. ජිනෝත්තම වූ ඒ කාශ්‍යප බුදුහු සේතව්‍යාරාමයෙහි පිරිනිවියහ, එහි මැ එබුදුන්ගේ ජිනථූපය යොදුනක් උස් කොට බඳවන ලද යයි.
සූවිසි වන කාශ්‍යප බුද්ධවංශ යි.
25. ගෞතම බුද්ධවංශය
1. මෙ දවස ශාක්‍යකුල වඩනා ගෞතම නම් සම්බුදු වූ මම් ප්‍රධන්වීර්‍ය්‍ය කොට උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.
2. මහබඹහු විසින් අයදනාලදුයෙම් දම්සක් පැවැත් වීමි. අටළොස් කෙළක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.
3. ඉන් මෑතභාගයෙහිදු දිව්‍යමනුෂ්‍යසමාගමයෙහි (මඞ්ගලසූත්‍රය) දේශනා කරන කල්හි ගණනින් නො කියයුතු දෙව්මිනිස් කෙනෙකුන්ට දෙවැනි ධර්‍මාවබෝධය වී.
4. මෙ දවස මම් මෙහි මැ මාගේ පුත්‍ර (රාහුල) හට අවවාද කෙළෙම් ද, එකල්හි ගණනින් නො කියයුතු සත්ත්‍ව කෙනකුන්ට තුන්වැනි ධර්‍මාභිසමය වී.
5. මට එක් මැ ශ්‍රාවකසන්නිපාතයෙක් වී, මහර්ෂි වූ අඩතෙළෙස්සියක් ශ්‍රාවකභික්‍ෂූන්ගේ සමාගමය වී.
6. බුද්ධශ්‍රීන් දීප්ත වූ විගතරාගාදිමල ඇති මම් භික්‍ෂුසඞ්ඝයාමධ්‍යයට පැමිණියෙම් සියලු කැමැති සැපත් එළවා සිතුමිණිරුවනක් සෙයින් පැතූ හැම ලොවිලොවුතුරා සුවවෙසෙස් දෙමි.
7. ස්‍රොතාපන්නා දි චතුර්විධ ඵලය කැමැති වන්නා වූ භවතෘෂ්ණා හරනා කැමැති සත්නට අනුකම්පායෙන් සිව්සස් ප්‍රකාශ කෙරෙමි.
8. තිස්දහසක් සත්නට ධර්‍මාභිසමය විය. එක් දෙදෙනකුන් ආදීන්ගේ වශයෙන් අභිසමය ගණනින් අසඞ්ඛ්‍ය වී.
9. මෙකල්හි ශාක්‍යමුනි වූ මාවිසින් මොනොවට පවිත්‍ර කළ සස්න (දෙවිමිනිසුන් කෙරෙහි) පැතුරුණේ බොහෝදෙනා කෙරෙහි ප්‍රසිද්ධ වූයේ සමෘද්ධ වූයේ පරිපූණ වූයේ හටගත් මහඵල කුසුම් ඇත්තේ වී.
10. සියල්ලෝ අනාස්‍රව වූ පහවූ රාග ඇති ශාන්ත සිත් ඇති සමාධියට පැමිණි නොයෙක් සියගණන් භික්‍ෂූහු හැම කල්හි මා පිරිවරා සිටිති.
11. දැන් මෙකල්හි රහත්ඵලයට නො පැමිණි සිත් ඇති ශෛක්‍ෂ වූ යම් කෙනෙක් මනුෂ්‍ය භවය හරනාහු ද, ඒ භික්‍ෂූහු නුවණැතියන් විසින් ගරහන ලද්දාහ.
12. හැම කල්හි දහම්හි ඇලුණු ජනයෝ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය පසස්නාහු සිවුසස් ප්‍රතිවේධ කෙරෙති. ස්මෘතිමත් වූ ඒ මනුෂ්‍යයෝ සසරසයුර තරණය කෙරෙත්.
13. මාගේ නගරය කපිලවාස්තු නමැ, පිය තෙමේ සුදොවුන්රජ යැ. මාගේ ජනිකා වූ මවු තොමෝ මායා දේවී නමැ’යි කියනු ලැබේ.
14. මම් එකුන්තිස්වසක් ගිහිගෙයි වාසය කෙළෙමි. රම්ම යැ සුරම්ම යැ සුභ යැ යන උතුම් වූ තුන්පහයෙක් වී.
15. මොනවට සැරැහුණු සතලිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. භද්දකච්චනා නම් ස්ත්‍රිය අගමෙහෙසුන් වී. පුත්‍ර තෙමේ රාහුල නම් වී.
16. සතර පෙර නිමිති දැක අශ්වයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කෙළෙමි. මම් සවසක් දුෂ්කර වූ ප්‍රධන්වීර්‍ය්‍ය කෙළෙමි.
17. මවිසින් බරණැසැ ඉසිපතන්හි දී දම්සක් පවත්වන ලද්දේ යැ. ගෞතම බුද්ධ නම් වූ මම හැම සත්නට සරණ වෙමි.
18. කෝලිත යැ උපතිස්ස යැ යන භික්‍ෂූහු දෙදෙන අගසව් වෙති. මාගේ සන්තිකා වචර වූ උපස්ථායක තෙමේ ආනන්‍ද නම් වෙයි.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන භික්‍ෂුණීහු අගසැවි වෙති. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වෙති.
20. උත්තරා යැ නන්‍දමාතා යැ යන අගඋවටු උවැසියෝ වෙත්. මම් ඇසැතුබෝමුල්හි හිඳ උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
21. හැම කල්හි මාගේ ව්‍යාමප්‍රභාව සොළොස්රියන් උස්වැ නැඟිණ. දැන් මෙකල්හි අල්ප වූ වර්‍ෂ සියයෙක් ආයු පවත්නේ යි. එතෙක් කල් සිටිනා වූ මම් බොහෝ ජනතාව තරවමි.
22. පශ්චිමජනතාව ප්‍රබෝධ කරන දහම් නමැති දඬුවැටපහන තබා මම් ද ශ්‍රාවක සඞ්ඝයා සමග නොබෝ කලකින් මැ ඉන්‍ධන ක්‍ෂයෙන් ගින්නක් සෙයින් මෙහි මැ පිරිනිවෙන්නෙමි.
23. ඒ අතුල්‍ය වූ තේජස්හු ද මේ දශවිධ කායබලයෝ ද ඍද්ධීහු ද දෙතිස් මහපුරිස් ලකුණින් ගැවැසිගත් මේ උතුම් වූ ගුණධර දේහය ද යන–
24. හිරුහු දසදිගුන් සෙයින් සවනක්රසින් (ලොව) හෙළි කොට උක්තප්‍රකාර වූ සියල්ලෝ අතුරුදහන් වන්නාහ. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු? යි.
පස්විසිවැනි ගෞතම බුද්ධවංශය යි.
බුද්ධ ප්‍රකීර්‍ණක කාණ්ඩය
1. මෙයින් පෙර අප්‍රමේය කල්පයෙහි තණ්හඞ්කර යැ මේධඞ්කර යැ යළි සරණඞ්කර යැ දීපඞ්කර යැ යන ඒ පස්මරුන් දිනූ සතර බුදුවරයෝ වූහ.
2. දීපඞ්කරබුදුන්ට මෑත භාගයෙහි කෞණ්ඩින්‍ය නම් වූ එක් මැ ලෝකනායකයන් වහන්සේ එක් කපෙකැ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවූ සේක.
3. දීපඞ්කර භාග්‍යවතුන් වහන්සේට ද කෞණ්ඩින්‍ය ශාස්තෲන් වහන්සේට ද යන මේ බුදුවරයන්ට අතුරු කල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.
4. කොණ්ඩඤ්ඤ බුදුන්ට මෑතභාගයෙහි මඞ්ගල නම් ලෝකනායකයන්වහන්සේ ලොවැ පහළ වූහ. ඒ බුදුවරයන්ට ද අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.
5. මඞ්ගල යැ සුමන යැ රේවත යැ සෝභිත යැ යන චක්‍ෂුර්මත් වූ ප්‍රභාකර වූ ඒ බුදුවරයෝ ද එක් කපෙකැ පහළ වූහ.
6. සෝභිත නම් බුදුන්ට මෑත භාගයෙහි මහායශස්ක වූ අනෝමදස්සී නම් බුදුහු ලො වැ පහළ වූහ. ඒ බුදුවරයනට ද අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.
7. අනවමදර්ශී යැ පදුම යැ නාරද යැ යන ලෝකනායක වූ කෙලෙස් අඳුරු දුරු කළ ඒ තුන් බුද්ධමුනිහු ද එක් කපෙකැ පහළ වූහ.
8. නාරද බුදුන්ට මෑත භාගයෙහි පදුමුත්තර නම් ලෝකනායකයන් වහන්සේ එක් කපෙකැ උපන්සේක් බොහෝ ජනතාව සසරින් තැරැවූහ.
9. නාරද භාග්‍යවතුන් වහන්සේට ද පදුමුත්තර ශාස්තෲන් වහන්සේට ද යන ඒ බුදුවරයන්ට අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්‍ය වූහ.
10. මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ආගන්තුකසත්කාරයන් පිළි ගන්නා වූ මහාමුනි වූ පදුමුත්තර නම් එක් සර්‍වඥ කෙනෙක් පහළ වූහ.
11. මෙයින් පෙර තිස්දහස් වන කල්පයෙහි පියුමතුරා බුදුන්ට මෑත භාගයෙහි සුමේධ යැ. සුජාත යැ යන බුදුවරයෝ දෙදෙනෙක් පහළ වූහ.
12. සුජාත බුදුන්ට මෑතභාගයෙහි අටළොස් වන කප්සියෙහි පියදස්සී යැ අත්‍ථදස්සී යැ ධම්මදස්සී බුදුහු යැ යන සම්බුද්ධ වූ ද්විපදෝත්තම වූ තුන් විනායකයන් වහන්සේ ලොවැ පහළවූහ.
13. මෙයින් සිවුඅනූ වන කප්හි (කෙලෙස් ගඬ පැළීමෙහි) ශල්‍යකර්තෘ වූ අනුත්තර වූ ලෝකවිදූ වූ ඒ එක් මැ සිද්ධාර්‍ත්‍ථ නම් බුදුහු ලොවැ පහළවූහ.
14. මෙයින් දෙයානූවන කප්හි විනේදනන් විනයනය කරන තිස්ස යැ ඵුස්ස යැ යන අසම වූ අප්‍රතිපුද්ගල වූ සම්බුදුවරු දෙදෙනෙක් වූහ.
15. මෙයින් එකානූවන කප්හි විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ ලොව පහළවූහ. කාරුණික වූ ඒ බුදුහු ද සත්ත්‍වයන් සංසාර බන්‍ධනයෙන් මුදාලූ සේක.
16. මෙයින් එක්තිස් වන කප්හි විනායක වූ සිඛී යැ වෙස්සභූ යැ යන අසම වූ අප්‍රතිපුද්ගල වූ බුදුවරු දෙදෙනෙක් ලොවැ පහළ වූහ.
17. මේ මහාභද්‍රකල්පයෙහි කකුසන්‍ධ යැ කෝණාගමන යැ කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ යැ යි තුන් බුදු කෙනෙක් වූහ. මම් මෙකල්හි සම්බුද්ධයෙමි. අනාගතයෙහි මෛත්‍රෙය නම් බුදු කෙනෙක් ද ලොවැ පහළ වන්නාහ.
18. තෙල පස්බුදුවරු ද ධීරයහ, ලොවට අනුකම්පා ඇතියහ, උන් වහන්සේ මේ ධර්‍මරාජයන්ගේ ද අන්‍ය වූ නොයෙක් කෙළගණන් බුදුවරයන්ගේ ද ඒ නිර්‍ය්‍යාණමාර්‍ගය ප්‍රකාශ කොට ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ යි.
බුද්ධප්‍රකීර්‍ණක කාණ්ඩය නිමියේ යි.
ධාතුභාජනීය කථා
1. (ශීලාදිගුණයෙන්) මහත් වූ ගෞතම නම් සර්‍වඥයන් වහන්සේ කුසිනාරා නගරයෙහි පිරිනිවියහ. (උන් වහන්සේගේ) ධාතූන් වහන්සේ ඒ ඒ පෙදෙස්හි පතළාහ.
2. එක් කොටසෙක් අජාතශත්‍රැගේ රාජධානියෙහි ද, එක් කොටසෙක් විසල්පුරයෙහි ද, එක් කොටසෙක් කිඹුල්වත්හි ද, එක් කොටසෙක් අල්ලකප්ප නම් රටෙහි ද–
3. එක් කොටසෙක් රාමගම්හි ද, එක් කොටසෙක් වෙඨද්වීපයෙහි ද, එක් කොටසෙක් පාවානුවරවැසි මල්‍යයන් කෙරෙහි ද, එක් කොටසෙක් කුසිනාරා නුවරවැසි මල්‍යයන් කෙරෙහි ද වී.
4. ද්‍රෝණ නම් බමුණු තෙම කුම්භස්තූපයක් කරවී. මෞර්‍ය්‍යයෝ තුටුසිත් ඇතිවැ අඩ්ගාරචෛත්‍යයක් කරවූහ.
5. ශාරීරිකස්ථූප අටෙකි. නවවැනි කුම්භස්තූපය ද දසවැනි අඞ්ගාරචෛත්‍යය ද එකල්හි මැ පිහිටියේ යැ.
6. එක් දළදාවක් තිදස්පුරයෙහි ද එක් දළදාවක් නාගපුරයෙහි ද එක් දළදාවක් ගන්‍ධාරදේශයෙහි ද එක් දළදාවක් කලිඟුරජුගේ විජිතයෙහි ද වූ යැ.
7. සමසතලිස් දන්තයෝ ද කෙස් ද ලොම් ද දෙවියෝ සක්වළ පරපුරින් සර්‍වප්‍රකාරයෙන් එකෙක විසින් ගෙන ගියහ.
8. භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රධාතු ද කොතුරුදඬු ද සිවුර ද මධුරායෙහි වෙයි, හඳනාසිවුර කුසඝර නම් තැන්හි වෙයි, පසතුරුණ කිඹුල්වත් පුරයෙහි වෙයි.
9. ඩබරාව ද කාබහන ද පැළලුප්නුවර වෙයි, දියසළුව චම්පානගරයෙහි ද උණුලොම්දා කොසොල්දනව්යෙහි ද වේ.
10. එකල්හි කසාවත බඹලෙව්හි ද හිස්වෙළුම තිදස් පුරයෙහි ද නිසදුන්සිවුර අවන්තිපුරයෙහි ද අතුරුණ කුරුරටෙහි ද පිහිටියේ ය.
11. අරණිය (ගිනිගානාදණ්ඩ) මිථිලායෙහි ද පෙරහන විදේහයෙහි ද වාසි හා හිදීඟුළු හා ඉඳිපත්නුවරෙහි ද පිහිටියේ යැ.
12. එකල්හි මිනිස්සු බුදුන් විසින් වළඳනාලද සෙසු පිරිකර අපරාන්තජනපදයෙහි පිහිටුවාලූහ.
13. මෙසෙයින් සත්නට අනුකම්පා පිණිස මහර්ෂි වු ගෞතමසර්‍වඥයන් වහන්සේගේ ධාතූන්ගේ පැතිරීම වී යයි එකල පෞරාණිකාචාර්‍ය්‍යයෝ කීවාහු ය.
ධාතුභාජනීය කථා නිමි.
බුද්ධවංශය නිමියේ යි.