එහි කවර විවාදයෙක් අධිකරණ නො වේ ද යත්: පුතු හා මවු ද විවාද කෙරෙයි, මව හා පුත් ද විවාද කෙරෙයි, පුතු හා පියා ද විවාද කෙරෙයි, පියා හා පුත් ද විවාද කෙරෙයි, බෑයා හා බෑයා ද විවාද කෙරෙයි, බුහුන හා බෑයා ද විවාද කෙරෙයි. බෑයා හා බුහුන ද විවාද කෙරෙයි. යහළු හා යහළුවා විවාද කෙරේ. මේ විවාද යි අධිකරණ නො වේ.
එහි විවාද නොවූ අධිකරණ කවර යැ යත්: අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ යන මේ විවාද නො වූ අධිකරණ යි.
එහි කුමක් අධිකරණ වූයේ ම විවාදත් වෙයි යත්: විවාදාධිකරණය අධිකරණ වූයේ ම විවාද ද වේ.
3. අනුවාදය අනුවාදාධිකරණ වේ ද, අනුවාදය අධිකරණ නො වේ ද, අධිකරණය අනුවාද නො වේ ද, අධිකරණ වූයේ ම අනුවාදත් වේ ද යත්:
අනුවාදය අනුවාදාධිකරණ විය හෙයි, අනුවාදය අධිකරණ නො විය හෙයි, අධිකරණය අනුවාද නො විය හෙයි. අධිකරණ වූයේ ම අනුවාදත් විය හෙයි.
එහි කවර අනුවාදයෙක් අනුවාදාධිකරණ වේ යැ යත්: මෙ සස්නෙහි මහණහු මහණක්හට ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ චෝදනා කෙරෙති. එහි යම් චෝදනා කිරීමෙක් පුනපුනා කීමෙක් පුනපුනා තෙපලීමෙක් පුනපුනා බිණීමෙක් පුනපුනා තිදොරින් අවනත වීමෙක් දැඩි වැ නැඟී සිටීමෙක් අනුබල දීමෙක් වේ ද, මේ අනුවාදය අනුවාදාධිකරණ වේ.
එහි කවර අනුවාදයෙක් අධිකරණ නො වේ ය යත්: මව ද පුතුට චෝදනා කෙරෙයි, පුත් ද මවට චෝදනා කෙරෙයි, පියා ද පුතුට චෝදනා කෙරෙයි, පුත් ද පියාට චෝදනා කෙරෙයි, බෑයා ද බෑයාට චෝදනා කෙරෙයි, බෑයා ද බුහුනට චෝදනා කෙරෙයි, බුහුන ද බෑයාට චෝදනා කෙරෙයි, යහළුවා ද යහළුවාට චෝදනා කෙරේ. මේ අනුවාද යි, අධිකරණ නො වේ.
එහි කවර අධිකරණයෙක් අනුවාද නො වේ යැ යත්: ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ විවාදාධිකරණ යැ යන මේ අධිකරණ වෙයි, අනුවාද නො වේ.
එහි කවරෙක් අධිකරණ වූයේ ම අනුවාදත් වේ යැ යත්: අනුවාදාධිකරණය අධිකරණ වූයේ ම අනුවාදත් වේ.
4. ආපත්තිය ආපත්තාධිකරණ වේ ද, ආපත්තිය අධිකරණ නො වේ ද, අධිකරණය ආපත්ති නො වේ ද, අධිකරණ වූයේ ම ආපත්තිත් වේ ද යත්:
ආපත්තිය ආපත්තාධිකරණ විය හෙයි, ආපත්තිය අධිකරණ නො විය හෙයි, අධිකරණය ආපත්ති නො විය හෙයි, අධිකරණ වූයේ ම ආපත්ති ද විය හෙයි.
එහි කවර ආපත්තියෙක් ආපත්තාධිකරණ වේ යැ යත්: පඤ්චාපත්තිස්කන්‍ධයෝ ද ආපත්තාධිකරණ යැ, සප්තාපත්තිස්කන්‍ධයෝ ද ආපත්තාධිකරණ යි, මේ ආපත්ති ආපත්තාධිකරණ වේ.
එහි කවර ආපත්තියෙක් අධිකරණය නො වේ යැ යත්: සෝතාපත්ති යැ සමාපත්ති යැ යන මේ ආපත්ති යැ, අධිකරණ නො වේ.
එහි කවර අධිකරණයෙක් ආපත්ති නො වේ යැ යත්: කිච්චාධිකරණ යැ විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ යන මේ, අධිකරණ වෙයි, ආපත්ති නො වේ.
එහි කවරෙක් අධිකරණ වූයේ ම ආපත්ති ද වේ යැ යත්: ආපත්තාධිකරණය අධිකරණ වූයේ ම ආපත්ති ද වේ.
5. කෘත්‍යය කිච්චාධිකරණ වේ ද, කෘත්‍යය අධිකරණ නො වේ ද, අධිකරණය කෘත්‍ය නො වේ ද, අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ ද යත්:
කෘත්‍යය කිච්චාධිකරණ විය හෙයි, කෘත්‍යය අධිකරණ නො විය හෙයි, අධිකරණය කෘත්‍ය නො විය හෙයි, අධිකරණ වූයේ ම කෘත්‍යයත් විය හෙයි.
එහි කවර කෘත්‍යයෙක් කිච්චාධිකරණ වේ යැ යත්: සඞ්ඝයාගේ අපලෝකන කර්‍ම යැ, ඤත්තිකර්‍ම යැ, ඤත්තිදුතියකර්‍ම යැ, ඤත්තිචතුත්‍ථකර්‍මයැ, යම් කෘත්‍යභාවයෙක් කටයුතු බවෙක් වේ ද, මේ කෘත්‍යය කිච්චාධිකරණ වේ.
එහි කවර කෘත්‍යයෙක් අධිකරණ නො වේ යැ යත්: ආචාර්‍ය්‍ය කෘත්‍යයෙක් උපාධ්‍යාය කෘත්‍යයෙක් සමානෝපාධ්‍යාය කෘත්‍යයෙක් සමානාචාර්‍ය්‍ය කෘත්‍යයෙක් වේ ද, මේ කෘත්‍ය වෙයි. අධිකරණ නො වේ.
එහි කවර අධිකරණයෙක් කෘත්‍ය නො වේ යැ යත්: විවාදාධිකරණයෙක් අනුවාදාධිකරණයෙක් ආපත්තාධිකරණයෙක් වේ ද, මේ අධිකරණ වෙයි. කෘත්‍ය නො වේ.
එහි කුමක් අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ යැ යත්: කිච්චාධිකරණය අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ.
අධිකරණභේද නිමි.
එහි නාමාවලිය:
1. අධිකරණ භේද යැ උක්කොට යැ උක්කෝටනාකාර යැ පුද්ගල භේදය සමඟ අධිකරණ නිදාන යැ හේතු යැ පච්ච යැ සමුට්ඨානය සමඟ මූල යැ ආපත්තිහොති යැ යත්‍ථ යැ සංසට්ඨ යැ නිදාන යැ පහව යැ,
2. හේතු යැ පච්ච යැ මූල යැ සමුට්ඨානය සමඟ ඛ්‍යඤ්ජන යැ විවාද යැ අධිකරණ යැ යන මෙය අධිකරණ භේදයෙහි උද්දානය වේ.
අපරගාථාසඞ්ගණිකය
1. චෝදනාව කුමක් පිණිස යැ, වරද සිහිකරවීම කුමක් සඳහා යැ, සඞ්ඝ සන්නිපාතය කුමක් පිණිස යැ, යළි මතිකර්‍මය (විනයධරයන්ගේ විනය නය සංසන්‍දනය) කුමක් පිණිස යැ යත්:
2. චෝදනාව කළ වරද සිහිපත් කරවනු පිණිස යැ, කළ වරද සිහිපත් කරවීම නිග්‍රහ පිණිස යැ, සඞ්ඝසන්නිපාතය (විනිශ්චයෙහි දැහැමි නො දැහැමි බව) දැනගන්නා පිණිස යැ, යළි මතිකර්‍මය වනාහි වෙන් වෙන් වැ විනිශ්චය මොනවට නිමවීම පිණිස යි.
3. ඉදින් තෙපි අනුවිජ්ජක වවු නම් යුහු වැ බස් නො කියව, සැඩ වැ බස් නො කියව, කෝපය නූපදව.
4. (පිරිස් කැළඹීම් ආදී) අවැඩින් යුත් කලහ උපදවන කථාවක් වහා නො කියව, උභතෝ විභඞ්ගයෙහි ද ඛන්‍ධකයෙහි ද පරිවාරයෙහි ද සියලු විනය පිටකයෙහි ද සතර මහාපදේසයෙහි ද,
5. දක්‍ෂ වූ බුදුරජුන් විසින් එළවා තබන ලද මොනවට පනවන ලද සියලු සිකපදයන්ට අනුලොම් වූ අනුයෝගවත පරලොව ඉපැත්ම (පිහිට) නො නසමින් සලකා බලව.
6. චුදිතකයාහට ද චෝදකයාහට ද මෙත් සිත් පෙරදැරි වැ සුදුසු කාලයෙහි අර්‍ත්‍ථසංහිත කොට විනිශ්චය කරව. ඔවුන් ලාහෙලා කියන ලද වචනය නො ගණුව.
7. චෝදක ඇවැතට අවන්නේ යයි කියා නම් චුදිතක නො අවන්මියි කියා නම් (එකල්හි) දෙපක්‍ෂයෙහි තෙපුල් බැහැර නො කරමින් කථානුසන්‍ධිය හා ප්‍රතිඥාව සලකා විනිශ්චය කරන්නේ යැ.
8. ප්‍රතිඥාව ලජ්ජී භික්‍ෂූන් කෙරෙහි කරන ලද්දී යැ. අලජ්ජීන් කෙරෙහි මේ පිළින විද්‍යාමාන නො වෙයි. අලජ්ජි තෙමේ බොහෝ කොටත් කියන්නේ යැ. (එබැවින්) ඔහුගේ වත සමඟ යම් පිළිනෙක් ගැළපේ ද ඒ පිළිනෙන් විනිශ්චය කරන්නේ යැ.
9. අලජ්ජි පුද්ගල කෙබඳු වේ ද, යමක්හුගේ පිළින නො නගී ද, කෙබඳු වූයේ ‘අලජ්ජී පුද්ගල’යි කියනු ලැබේ දැයි මෙසේත් මම ඔබ විචාරමි.
10. දැන දැන ඇවැතට පැමිණෙ යි, ඇවැත සඟවයි, (ඡන්‍දාදීන් අගතියට ද යෙයි, මෙබඳු වූයේ ‘අලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ.
11. සැබැවැ, මම ද එය දනිමි. එබඳු වූයේ ‘අලජ්ජි පුද්ගල’යි කියනු ලැබේ. මම අනෙකක් ද ඔබ විචාරමි. කෙබඳු වූයේ ‘ලජ්ජි පුද්ගල’යි කියනු ලැබේ ද?
12. දැන දැන ඇවැතට නො පැමිණෙයි, ඇවැත නො සඟවයි, අගතියට නො යෙයි, මෙබඳු වූයේ “ලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ.
13. සැබැවැ, මම ද එය දනිමි. එබඳු වූයේ “ලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ. මම අනෙකක් ද ඔබ විචාරමි. “අධර්‍මචෝදක’ කෙබඳු යැ යි කියනු ලැබේ ද?
14. නො කල්හි චෝදනා කෙරෙයි, අභූතයෙන්, පරුෂවචනයෙන් අනර්‍ත්‍ථ සංහිතයෙන් චෝදනා කෙරෙයි, ඇතුළත හටගත් ද්වේෂ ඇති වැ මෙත්සිත් නැති වැ චෝදනා කෙරෙයි. මෙබඳු පුද්ගල ‘අධර්‍මචෝදක’ යි කියනු ලැබේ.
15. සැබැවැ, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල ‘අධර්‍මචෝදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’යි කියනු ලැබේ ද?
16. නිසි කල්හි චෝදනා කෙරෙයි, භූතයෙන් සිලිටි බසින් අර්‍ත්‍ථ සංහිතයෙන් චෝදනා කෙරෙයි. මෙත්සිත් ඇති වැ ඇතුළත හටගත් ද්වේෂ නැති වැ චෝදනා කෙරෙයි. මෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’ යි කියනු ලැබේ.
17. සැබැව, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘බාලචොදක’ යි කියනු ලැබේ ද?
18. පෙර පසු කථාව නො දනියි, පෙර පසු කථාවෙහි අදක්‍ෂ වෙයි, අනුසන්‍ධි වචන මාර්‍ගය නො දනියි, අනුසන්‍ධි වචන මාර්‍ගයෙහි අදක්‍ෂ වෙයි, මෙබඳු පුද්ගල ‘බාලචොදක’ යි කියනු ලැබේ.
19. සැබැවැ, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල “බාලචොදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ ද?
20. පෙර පසු කථාව වෙසෙසින් දනියි, පෙර පසු කථාවෙහි දක්‍ෂ වෙයි. අනු සන්‍ධි වචන මාර්‍ගය දනියි, අනුසන්‍ධි වචන මාර්‍ගයෙහි දක්‍ෂ වෙයි, මෙබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ.
21. සැබැවැ, මම ද එය දනිමි. එබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. චෝදනා කිමැ යි කියනු ලැබේ ද?
22. ශීල විපත්තියෙන් චෝදනා කෙරෙයි, යළි ආචාර විපත්තියෙන් හා දෘෂ්ටි විපත්තියෙන් චෝදනා කෙරෙයි, ආජීව විපත්තියෙනුදු චෝදනා කෙරෙයි, එයින් ‘චෝදනා’යි කියනු ලැබේ.
අපරගාථාසඞ්ගණිකය නිමි.
චෝදනා කාණ්ඩය
අනුවිජ්ජකානුයෝගය
1. අනුවිජ්ජක විසින් ඇවැත්නි, තෙපි යම්හෙයකින් මේ මහණහට චෝදනා කරනු ද, කවර ඇවැතක් නිමිතිකොට ඔහුට චෝදනා කරනු ද, ශීල විපත්තියෙන් චෝදනා කරහු ද, ආචාර විපත්තියෙන් චෝදනා කරහු ද, දෘෂ්ටි විපත්තියෙන් චෝදනා කරනුදැයි චෝදකයා විචාළ යුතු යි.
2. ඉදින් හේ “ශීල විපත්තියෙන් හෝ චෝදනා කරමි, ආචාර විපත්තියෙන් හෝ චෝදනා කරමි, දෘෂ්ටි විපත්තියෙන් හෝ චෝදනා කරමි”යි මෙසේ කියන්නේ නම් “ආයුෂ්මත්නි, තෙපි ශීලවිපත්තිය දන්නහු ද, ආචාර විපත්තිය දන්නහු ද, දෘෂ්ටි විපත්තිය දන්නහු දැයි” ඔහුට මෙසේ කිය යුතු යැ.
3. ඉදින් හේ “ඇවැත්නි මම ශීලවිපත්තිය දනිමි, ආචාරවිපත්තිය දනිමි, දෘෂ්ටි විපත්තිය දනිමි” යි මෙසේ කියන්නේ නම් “ඇවැත්නි ශීල විපත්තිය කවර ද, ආචාර විපත්තිය කවර ද, දෘෂ්ටි විපත්තිය කවර දැයි ඔහුට මෙසේ කිය යුතු යැ.
4. ඉදින් හෙතෙම සතර පරිජි යැ තෙළෙස් සඟවෙසෙස් දැයි මෙය ශීල විපත්ති යි ද ථුලැසි යැ පචිති යැ පිළිදෙස්නී යැ දුකුළා යැ දුබැසි යැයි මෙය ආචාර විපත් ති යි ද අන්ත ග්‍රාහික මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටි විපත්ති යි ද මෙසේ කියන්නේ නම් “ඇවැත්නි, යම් හෙයෙකින් තෙපි මෙ මහණ හට චෝදනා කරනු ද, දක්නා ලද්දෙන් චෝදනා කරනු ද, අසන ලද්දෙන් චෝදනා කරනු ද, සැකයෙන් චෝදනා කරනු දැ” යි ඔහුට මෙසේ කිය යුතු යැ.
5. ඉදින් හේ “දක්නා ලද්දෙන් හෝ චෝදනා කෙරෙමි, අසන ලද්දෙන් හෝ චෝදනා කෙරෙමි, සැකයෙන් හෝ චෝදනා කෙරෙමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතුය: ඇවැත්නි තෙපි යම්හෙයෙකින් මේ මහණහට දක්නා ලද්දෙන් චෝදනා කරනු නම් තොප විසින් කුමක් දක්නා ලද ද, තොප විසින් කුමකැයි දක්නා ලද ද, තොප විසින් කවර කලෙකැ දක්නා ලද ද, තොප විසින් කොතැන්හි දක්නා ලද ද, පරිජියට අවදනේ දක්නා ලද ද, සඟවෙසෙසට අවදනේ දක්නා ලද ද, ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවදනේ දක්නා ලද ද, තෙපි කොහි වූවහු ද, මේ මහණ කොහි වී ද, තෙපි කුමක් නම් කළහු ද, මේ මහණ කුමක් නම් කෙළේ දැයි කියා යි.
6. ඉදින් හේ “ඇවැත්නි, මම මේ මහණහට දක්නා ලද්දෙන් නො ම චෝදනා කරමි, එහෙත් අසන ලද්දෙන් චෝදනා කරමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතු ය: “ඇවැත්නි, තෙපි යම් හෙයෙකින් මේ මහණහට අසන ලද්දෙන් චෝදනා කරනු නම් තොප විසින් කුමක් අසන ලද ද, තොප විසින් කුමකැ යි අසන ලද ද, තොප විසින් කවර කලෙකැ අසන ලද ද, තොප විසින් කොතැන්හි අසන ලද ද, පරිජියට අවනැයි අසන ලද ද, සඟවෙසෙසට ... ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවනැයි අසන ලද ද, මහණක්හුගෙන් අසන ලද ද, මෙහෙණකගෙන් අසන ලද ද, සික්මනුවකගෙන් අසන ලද ද, හෙරණකුගෙන් අසන ලද ද, හෙරණක ගෙන් අසන ලද ද, උවසුවකුගෙන් අසන ලද ද, උවැසියකගෙන් අසන ලද ද, රජුන්ගෙන් අසන ලද ද, රජමහ ඇමතියන්ගෙන් අසන ලද ද, තොටුවන්ගෙන් අසන ලද ද, තොටුසව්වන්ගෙන් අසනලද දැ” යි කියා යි.
7. ඉදින් හේ “ඇවැත්නි, මම් මේ මහණහට අසන ලද්දෙන් නො ම චෝදනා කරමි, එහෙත් සැකයෙන් චෝදනා කරමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතු ය: ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහට සැකයෙන් චෝදනා කරහු නම් කුමක් සැක කරහු ද, කුමකැයි සැක කරහු ද, කවර කලෙක සැක කරහු ද, කොතැන්හි සැක කරහු ද, පරිජියට අවනැයි සැක කරහු ද, සඟවෙසෙසට ... ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවනැයි සැක කරහු ද මහණක්හුගෙන් අසා සැක කරහු ද, මෙහෙණකගෙන් ... සික්මනුවකගෙන් .... හෙරණකුගෙන් .... හෙරණකගෙන් ... උවසුවකුගෙන් ... උවැසියකගෙන් ... රජුන්ගෙන් ... රජමහ ඇමතියන්ගෙන් ... තොටුවන්ගෙන් ... තොටුසව්වන්ගෙන් අසා සැක කරහු” දැයි කියා යි.
8. දක්නා ලද්ද දක්නා ලද්ද හා සම් වේද, දක්නා ලද්ද දක්නා ලද්ද හා සැසඳේ ද, දැකීම මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල තෙමේ අමූලක වැ අශුද්ධ යැ යි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි”යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යැ.
9. අසන ලද්ද අසන ලද්ද හා සම වේ ද, අසන ලද්ද අසන ලද්ද හා සැසඳේ ද, ඇසීම මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල අමූලක වැ අශුද්ධ යැයි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි” යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යැ.
10. (ගන්‍ධ - රස - ස්පර්‍ශ) මුතය මුතය හා සම වේ ද, මුතය මුතය හා සැසඳේ ද, මුතය මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල අමූලක වැ අශුද්ධ යැයි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි” යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යි.
11. චෝදනාව පිළිබඳ ආදිය කවරේ ද, මද්ධ්‍යය කවරේ ද, අවසානය කවරේ ද යත්: අවසර ගැන්ම චෝදනාව පිළිබඳ ආදිය යි, චෝදනා කිරීම මද්ධ්‍යය යි, ශමථය අවසානයයි.
12. චෝදනාව පිළිබඳ මුල් කෙතෙක් ද, වස්තු කෙතෙක් ද, භූමි කෙතෙක් ද, කෙතෙක් අයුරෙකින් චෝදනා කෙරේ ද යත්: චෝදනාව පිළිබඳ මුල් දෙකෙකැ. වස්තු තුණෙකැ. භූමි පසෙකැ. දෙ අයුරෙකින් චෝදනා කෙරේ.
13. චෝදනාව පිළිබඳ මුල් දෙක කවරේ ද යත්: සමූලික යැ, අමූලික යැ යි චෝදනාවගේ මේ මුල් දෙක යි.
14. චෝදනාව පිළිබඳ වස්තු තුණ කවරේ ද යත්: දක්නා ලද්දෙන් යැ අසන ලද්දෙන් යැ සැකයෙන් යැයි චෝදනාව පිළිබඳ මේ වස්තු තුණයි.
15. චෝදනාව පිළිබඳ භූමි පස කවරේද යත්: සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි, සත්‍යයෙන් කියන්නෙමි, අසත්‍යයෙන් නො කියන්නෙමි, මොළොක් බසින් කියන්නෙමි රළු බසින් නො කියන්නෙමි, අර්‍ත්‍ථසංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි, මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි චෝදනාව පිළිබඳ මේ භූමි පස යි.
16. කවර දෙඅයුරෙකින් චෝදනා කෙරේ ද යත්: කයින් චෝදනා කෙරෙයි, වචනයෙන් චෝදනා කෙරෙයි, මේ දෙඅයුරෙන් චෝදනා කෙරේ.
චෝදකාදිප්‍රතිපත්ති
1. චෝදකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, චුදිතකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, අනුවිජ්ජක විසින් කෙසේ පිළිපැදිය යුතු ද?
චෝදකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: චෝදකයා විසින් සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි, සත්‍යයෙන් කියන්නෙමි, අසත්‍යයෙන් නො කියන්නෙමි, මොළොක් බසින් කියන්නෙමි, රළු බසින් නො කියන්නෙමි, අර්‍ත්‍ථ සංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි, මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි කරුණු පසෙහි පිහිටා මෙරමා චෝදනා කටයුතු වෙයි, චෝදකයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
චුදිතකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: චුදිතකයා විසින් සත්‍යයෙහි ද නො කිපෙන සුලු බවෙහි දැයි දෙ දහම්හි පිහිටිය යුතුයි. චුදිතකයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: සඞ්ඝයා විසින් (චෝදක චුදිතකයන්) බැස ගත් නො බැස ගත් පෙර පසු වචනය දතයුතු වෙයි. සඞ්ඝයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
අනුවිජ්ජක විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: අනුවිජ්ජක විසින් යම් ධර්‍මයෙකින් යම් විනයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසේ ඒ අධිකරණය සන්හිඳවිය යුතු යි. අනුවිජ්ජක විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
2. උපෝසථය කුමක් පිණිස ද, පවාරණය කුමක් පිණිස ද, පරිවාසය කුමක් පිණිස ද, මූලායපටිකස්සනය කුමක් පිණිස ද, මානත කුමක් පිණිස ද, අබ්භානය කුමක් පිණිස ද යත්:
3. උපෝසථය සමගබව පිණිස යැ, පවාරණය පිරිසිදුබව පිණිස යැ, පරිවාසය මානත්තය පිණිස යැ, මූලායපටිකස්සනය නිග්‍රහය පිණිස යැ, මානත අබ්භානය පිණිස යැ, අබ්භානය පාරිශුද්ධිය පිණිස යි.
4. ඡන්‍දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද ස්ථවිර භික්‍ෂූන්ට පරිභව බෙණේ නම් දුෂ්පාඥ වූ කණන ලද කුසල් මුල් ඇති නසන ලද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇති ශික්‍ෂායෙහි ගෞරව නැති නුවණ නැත්තේ කාබුන් මරණින් මතු නරකයට යෙයි.
5. (චීවරාදි) ආමිෂය නිසා ද නො වැ, (ආචාර්‍ය්‍ය උපාධ්‍යායාදි) පුද්ගලයා නිසා ද නො වැ, මේ ආමිෂ පුද්ගල දෙපස ම නො තකා ධර්‍මය වූ පරිද්දෙන් විනිශ්චය කරන්නේ යි.
චෝදකාත්මදහනය
1. ක්‍රෝධ ඇති වැ බද්ධ වෛර ඇති වැ සැඬ වැ පරිභාසික වැ නො ඇවැතෙහි ඇවැතැ යි නඟා ද, එබඳු වූ චෝදක තෙමේ තමා දවයි.
2. (මෙසේ කියව මෙසේ නො කියව යි) කණමුල කොඳුරා ද, වරද ම සොයා ද, විනිශ්චය පිරිහෙළා ද, (නො මඟ සෙවී ද) ඇවැත් දක්වා ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
3. නො සුදුසු කල්හි අසත්‍ය වූ රළු වූ අනර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කෙරේ ද, මෙත් සිත් නැති වැ දූෂිත සිත් ඇත්තේ චෝදනා කෙරේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
4. දහම් නො දහම් නො දනී ද, දහම් නො දහම්හි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
5. විනය අවිනය නො දනී ද, විනය අවිනයයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැයි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
6. වදාළ නො වදාළ දැය නො දනී ද, වදාළ නො වදාළ දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
7. (බුද්ධාදීන් විසින්) පුරුදු කළ නො පුරුදු කළ දැය නො දනී ද, පුරුදු කළ නො පුරුදු කළ දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
8. පණවන ලද නො පණවන ලද දැය නො දනී ද, පණවන ලද නො පණවන ලද දැයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
9. ඇවැත නො ඇවැත නො දනී ද, ඇවැතෙහි නො ඇවැතෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
10. ලුහුගුරු ඇවැත් නො දනී ද, ලුහුගුරු ඇවැතෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
11. සාවසේස අනවසේස ආපත්ති නො දනී ද, සාවසේස අනවසේස ආපත්තියෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
12. තුළුල් නො තුළුල් ඇවැත් නො දනී ද, තුළුල් නො තුළුල් ඇවැත්හි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
13. පෙර පසු කථාව නො දනී ද, පෙර පසු කථාවෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
14. අනුසන්‍ධිවචනමාර්‍ගය නො දනී ද, අනුසන්‍ධිවචනමාර්‍ගයෙහි අදක්‍ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
චෝදනාකාණ්ඩය නිමි.
එහි නාමාවලිය:
1. ශාසනයාගේ ප්‍රතිෂ්ඨායෙහි ලා චෝදනා යැ අනුවිජ්ජක යැ (චෝදනාවගේ) මූලය සමග ආදිය යැ උපෝසථ යැ අගති යැ (යන කරුණු) චෝදනා කාණ්ඩයෙහි වේ.
චූළසඞ්ග්‍රාමය
අනුවිජ්ජකප්‍රතිපත්ති
1. සඞ්ග්‍රාමාවචර (සඟමැ ද අධිකරණ විනිශ්චය කරණ) මහණහු විසින් යටත් සිතින් පාපිස්නක් සෙයින් මන් නැති වැ සඞ්ඝයා වෙත එළඹිය යුතු යැ. තමහට සුදුසු අස්නක් තෝරා ගැන්මෙහි දක්‍ෂ විය යුතු යැ. හිඳීම පිළිබඳ දැනීමෙහි දක්‍ෂවූවහු විසින් ස්ථවිර භික්‍ෂූන් නො ගටා නවක භික්‍ෂූන් අස්නෙන් නො නෙරපා තමහට සුදුසු අස්නෙහි හින්ද යුතු යැ, රාජකථාදි තිරශ්චීනකථා නැති වැ නන්වැදෑරුම් අවැඩ කථාවෙන් තොර විය යුතු යැ, තමා විසින් හෝ දහම් දෙසිය යුතු යැ. අනෙකකුට හෝ ආරාධනා කටයුතු යැ, කමටහන් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය හෝ අවඥා නො කට යුතු යි.
2. සඞ්ඝයා විසින් අනුමත කරණ ලද විනිශ්චය කරණු නැමැති අනුවිජ්ජක පුද්ගල විසින් උපාද්ධ්‍යාය (කවරෙ දැයි) නො විචාළ යුතු යැ, ආචාර්‍ය්‍ය නො විචාළ යුතු යැ. සද්ධිවිහාරික නො විචාළ යුතු යැ, අන්තේවාසික නො විචාළ යුතු යැ, සමානෝපාද්ධ්‍යායක නො විචාළ යුතු යැ, සමානාචාර්‍ය්‍යක නො විචාළ යුතු යැ, ජාතිය නො විචාළ යුතු යැ. නාමය නො විචාළ යුතු යැ, ගෝත්‍රය නො විචාළ යුතු යැ, (දීඝභාණකාදි) ආගමය නො විචාළ යුතු යැ, කුල ප්‍රදේශය නො විචාළ යුතු යැ, ජාතභූමිය නො විචාළ යුතු යි. එ කවර හෙයිනැ යත්: මෙහිලා ඔහුට ප්‍රේමය හෝ ද්වේෂය හෝ වන්නේ යැ, ප්‍රේමය හෝ ද්වේෂය හෝ ඇති කල්හි ඡන්‍දයෙනුදු අගතියට යන්නේ යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නේ යැ, මෝහයෙනුදු අගතියට යන්නේ යැ, බියෙනුදු අගතියට යන්නේ යි.
3. සඞ්ඝයා විසින් අනුමත කරණ ලද විනිශ්චය කරණු කැමැති අනුවිජ්ජක පුද්ගල විසින් පුද්ගලගරුක නො වැ සඞ්ඝගරුක විය යුතු යැ, ආමිසගරුක නො වැ සද්ධර්‍මගරුක විය යුතු යැ. පරිස සඞ්කප්පික නො වැ (පිරිස් අනුව කියන්නහු) අත්‍ථවසික විය යුතු යැ, නො කල්හි නො වැ නිසි කල්හි විනිශ්චය කළ යුතු යැ, අසත්‍යයෙන් නො වැ සත්‍යයෙන් විනිශ්චය කළ යුතු යැ, රළු බසින් නො වැ සිලිටි බසින් විනිශ්චය කළ යුතු යැ, අනර්‍ත්‍ථ සංහිතයෙන් නො වැ අර්‍ත්‍ථසංහිතයෙන් විනිශ්චය කළ යුතු යැ, දූෂිත සිතින් නො වැ මෙත් සිතින් විනිශ්චය කළ යුතු යැ, කණට කොඳුරා කියන්නකු නො විය යුතු යැ. වරද නො බැලිය යුතු යැ, ඇස නො කැණිය යුතු යැ. බැම නො නැඟිය යුතු යැ. හිස නො එසවිය යුතු යැ, හස්තවිකාර නො කට යුතු යැ, හස්ත මුද්‍රා නො දැක්විය යුතු යි.