විනය පිටකයෙහි
පරිවාර පාළිය
මහාවිහඞ්ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
1. කත්‍ථපඤ්ඤත්තිවාරය
1. 1.
පාරාජික කාණ්ඩය
ශික්‍ෂා පැණවීමෙහි කල් දන්නා වූ ශික්‍ෂා පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පළමු පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතන්හි පණවන ලද ද, කවරක්හු ඇරැබැ පණවන ලද ද, කිනම් වස්තුවෙක්හි පණවන ලද ද, එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද, සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද, ඒකතෝ පඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද, පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොතන්හි පිහිටියේ ද, කොහි ඇතුළත් ද, කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද, සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් වේ ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද, එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද, එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම, විපත්ති කවර, සම්පත්ති කවර, ප්‍රතිපත්ති කවර, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු පරිජි සිකපදය පණවන ලද ද, කවුරු හික්මෙද්ද, කවුරු හික්මුණු සිඛ ඇති යෝ ද, කවුරුන් කෙරෙහි පිහිටියේ ද, කවුරු දරද් ද, කවරක්හුගේ වචනයෙක් ද, කවරක්හු විසින් ගෙන එන ලද යැ යත් :
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පළමු පරිජි සිකපදයෙක් පණවනලද යැ, එය කොතැන්හි පණවන ලද යැ යත්: විසල්පුරෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැ පණවන ලද යැ යත්: සුදින්න කලන්‍ද පුත්‍රයා ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි යැ යත්: සුදින්න කලන්‍දපුත්‍ර පළමු තම භාර්‍ය්‍යයාව සමඟ මෙවුන්දම් සෙවී යැ, ඒ වස්තුවෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකැ, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යි.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: සාධාරණපඤ්ඤත්ති යි.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති යැ යත්: උභතෝපඤ්ඤත්ති යි.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ, කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: දෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: සීලවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: එක් සමුට්ඨානයෙකින් නගියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙකැ යත්: ආපත්තාධිකරණ යි.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ යැ යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
එහි විනය කවරේ යැ, එහි අභිවිනය කවරේ යැ යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනය අභිවිනය යි.
එහි ප්‍රාතිමෝක්‍ෂය කිමැ, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යැ යත්: පඤ්ඤත්තිය ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
ප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නොකරමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
3. කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් පළමුපරිජිසිකපදය පණවන ලද යැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් පළමුපරිජිසිකපදය පණවන ලද: සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ. සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ, පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නසනු පිණිස යැ, නො පහන් පුඟුලන්ගේ පැහැදීම පිණිස යැ, පහන් පුඟුලන් බෙහෙවින් පැහැදීම පිණිස යැ, තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ, විනයට අනුග්‍රහ පිණිස යි.
කවුරු හික්මෙති යත්: ශෛක්‍ෂයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.
කවුරු ශික්‍ෂිතශික්‍ෂා ඇතියෝ යැ යත්: රහත්හු ශික්‍ෂිත ශික්‍ෂා ඇතියෝ යි.
කවුරුන් කෙරෙහි පිහිටියේ යැ යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යැ.
කවුරු දරති යත්: යම් කෙනකුන්හට විනයපෙළ අටුවා වනපොත් ඇද් ද, ඔහු දරත්.
කවරක්හුගේ වචනයෙකැ යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචන යි.
කවරක්හු විසින් ගෙන එන ලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදී.
1. උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, සෝණක ස්ථවිර යැ, එසේ ම සිග්ගව ස්ථවිර යැ. මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනිකොට ඇති මේ තෙරවරු දඹදිවැ විනයධර පරපුරෙහි වෙත්.
2. ඉක්බිති මහින්‍දයැ, ඉට්ඨිය යැ, උත්තිය යැ, සම්බල යැ, පණ්ඩිත වූ භද්දනාම යැ යන මහපැනැති මේ රහත්හු දඹදිවින් මෙහි වැඩියහ.
3. ඔහු හෙළදිව්හි විනයපිටකය හැදෑරවූහ. සඟිපස ද ප්‍රකරණ සත ද හැදෑරවූහ.
4. ඉක්බිති ප්‍රාඥ වූ අරිට්ඨ යැ, පණ්ඩිත වූ තිස්සදත්ත යැ, විශාරද වූ කාළසුමන යැ. දීඝනාමස්ථවිර යැ, පණ්ඩිත වූ දීඝසුමන යැ.
5. වැළිදු කාළසුමන යැ, නාගස්ථවිර යැ, බුද්ධරක්ඛිත යැ, නුවණැති තිස්ස ස්ථවිර යැ, පණ්ඩිත වූ දෙවස්ථවිර යැ.
6. නැවත ප්‍රාඥ වූ විනයෙහි විශාරද වූ සුමන ස්ථවිර යැ, අනභිභවනීය හස්තිරාජයකු බඳු වූ බහුශ්‍රුත වූළනාග ස්ථවිර යැ.
7. රෝහණවැසි සාධුන් විසින් පුදන ලද ධම්මපාල යන නම් ඇති තෙරණුවෝ යැ, ඔබගේ ශිෂ්‍ය ප්‍රාඥ මහා ත්‍රිපිටකධර බෙම නම් තෙරණුවෝ යැ, යන මොහු ප්‍රඥායෙන් හෙළදිව චන්‍ද්‍රයා මෙන් බැබළුණාහ.
8. නුවණැති උපතිස්ස තෙරණුවෝ යැ, මහා කථික පුස්සදේව තෙරණුවෝ යැ ඉක්බිති ප්‍රශස්ත නුවණැති සුමන තෙරණුවෝ යැ. (බහුශ්‍රුත පුප්ඵ නාම) පදුම නම් තෙරණුවෝ යැ. ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ මහාකථි මහාසීව තෙරණුවෝ යැ.
9. වැළිදු ප්‍රශස්ත නුවණැති විනයෙහි විශාර ද වූ උපාලි තෙරණුවෝ යැ. ශාසන වංශය දැනීමෙහි දක්‍ෂ මහාප්‍රාඥ මහානාග තෙරණුවෝ යැ,
10. නැවත ද නුවණැති ත්‍රිපිටකයෙහි දක්‍ෂ අභය තෙරණුවෝ යැ. නුවණැති විනයෙහි දක්‍ෂ තිස්ස තෙරණුවෝ යැ.
11. ඔබ ගේ ශිෂ්‍ය (ලක්දිවින් ගොස්) සසුන් රකිමින් දඹදිව වැඩසිටි මහාප්‍රාඥ බහුශ්‍රුත පුප්ඵනාම (සුමන) නම් තෙරණුවෝ යැ.
12. නුවණැති විනයෙහි ද දක්‍ෂ චූලාභය තෙරණුවෝ යැ, ප්‍රාඥ ශාසනවංශයෙහි දක්‍ෂ තිස්ස තෙරණුවෝ යැ.
13. බුද්ධිමත් විනයෙහි ද විශාර ද පුස්සදේව තෙරණුවෝ යැ, නුවණැති විනයෙහි හැමතන්හි දක්‍ෂ සීව තෙරණුවෝ යැ.
14. මහාප්‍රාඥ, විනය දන්නා, මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාශ්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවැසූහ.
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කැරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් දෙවන පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහනුවර දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ යැ යත්: ධනිය කුම්භකාර පුත්‍රයා ඇරැබැ යැ.
කිනම් වස්තුවෙක්හි යැ යත්: ධනියකුම්භකාර පුතු රජහුගේ නුදුන් දැව ගත්තේය. ඒ වස්තුවෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයෙකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී.
3. තෙවන පරිජිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල්පුරයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබැ යැ යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුවෙක්හි යැ යත්: බොහෝ භික්‍ෂූහු ඔවුනොවුන් දිවියෙන් තොරකළහ ඒ වස්තුවෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි,
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නොනගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගියි. කයින් නොනගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...
4. සිවුවන පරිජිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ යැ යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුවෙක්හි යැ යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූහු ඔවුනොවුන්ගේ ධ්‍යානාදී උතුරු මිනිස්දහම් පිළිබඳ ගුණ ගිහියන්ට කීහු. ඒ වස්තුවෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නගී යැ යත්: තුන් සමුට්ඨානයෙකින් නගියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නගියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...
සතරපරිජි නිමි.
එහි උද්දානය:
මෙවුන්දම හා අයිනාදන යැ, මිනිස්විකා යැ, උතුරු මිනිස්දම් යැ යන සතරපරිජි ඒකාන්තයෙන් ඡේද්‍යගාමී වස්තූහු වෙත්.
1. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ (සිකපද පැණවීමෙහි කරුණු) දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවනලද ද එය කොතන්හි පණවන ලද ද කවරක්හු ඇරැබැ (පණවන ලද) ද කිනම් වස්තුවෙක්හි (පණවන ලද) ද එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණ පඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ඇද්ද පස් වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද එහි විනය කවරේ ද එහි අභිවිනය කවරේ ද එහි ප්‍රාතිමෝක්‍ෂය කිම එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම විපත්ති කවර යැ සම්පත්ති කවරයැ ප්‍රතිපත්ති කවරයැ කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලද ද, කවුරු හික්මෙද්ද කවුරු හික්මුණු සිඛ ඇතියෝ ද කොහි පිහිටියේ ද කවුරු දරද්ද කවරක්හුගේ වචනයෙක් ද කවරක්හු විසින් ගෙන එන ලද ද යත්:
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවනලද ද යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ (පණවන ලද) ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණහු ඇරැබ ය.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්‍යසක මහණ අතින් උපක්‍රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුවෙහි ය.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙක අනුපඤ්ඤත්ති එකෙක අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යි.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද යත්: නිදානයෙහි පිහිටියේ ය. නිදානයෙහි ඇතුළත් යැ.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් ද යත්: සීලවිපත්ති යි.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙක් ද යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි වචනයෙන් නොනගී.
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් ද යත්: ආපත්තා ධිකරණ යි.
සත්වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද යත්: පඤ්ඤත්ති විනය යැ, පදභාජනය අභිවිනය යි.
එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යත්: පඤ්ඤත්ති ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
විපත්ති කවර යත්: අසංවරය විපත්ති යි.
සම්පත්ති කවර යත්: සංවරය සම්පත්ති යි.
ප්‍රතිපත්ති කවර යත්: “දිවිහිම් කොට මෙබන්දක් නොකරන්නෙමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කෙතෙක් කරුණු පිණිස භගවත්හු විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදයැ යත්: දස කරුණක් පිණිස භගවත්හු විසින් උපක්‍රම කොට සුකුරු මුදන්නහු පිළිබඳ සඟවෙසෙස පණවන ලදි. සඞ්ඝයා ගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීලභික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි වින්දයුතු දුක්ගැහැට වැළැක්වීම පිණිස යැ. පරලෙව්හි වින්දයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන් වූවන් ගේ පැහැදීම පිණිස යැ, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ. තුන්සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්‍රහ පිණිස යි.
කවුරු හික්මෙද්ද යත්: ශෛක්‍ෂයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හික්මෙත්.
කවුරු හික්මුණු සිඛ ඇත්තෝ ද යත්: රහත්හු හික්මුණු සිඛ ඇතියෝ යි.
කොහි පිහිටියේ ද යත්: ශික්‍ෂාකාමීන් කෙරෙහි පිහිටියේ යි.
කවුරු දරද්ද යත්: යම් කෙනකුන්ට විනය පෙළ අටුවා වන පොත් ද, ඔහු දරත්.
කවරුන්ගේ වචනයෙක් ද යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ගේ වචනයි.
කවරක්හු විසින් ගෙන එනලද යැ යත්: පරපුරෙන් ගෙන එන ලදි. උපාලි ස්ථවිරය, දායක ස්ථවිරය, ... තාම්‍රපර්ණී නම් වූ හෙළදිවැ පැවසූහ.
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මිනිස් මාගමක හා කාසසඟයට පැමිණෙන්නහු පිළිබඳ සඟවෙසෙස කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබැ (පණවන ලද) යැ යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුවෙක්හි ද යත්: ආයුෂ්මත් උදායි මහණ මාගමක හා කාසසඟයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...