Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 601-700 න් 2612

39. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ නැගිට වූහ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (49-50)
40. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ බිම හෙළූහ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (51)
41. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ බිම හෙළූහ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (52-53)
42. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට බත් දුන්හ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (54)
43. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණහට බත් දුන්හ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (55-56)
44. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට පැන් දුන්හ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් වීය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (57)
45. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියටී වූවෝ ඒ මහණහට පැන් දුන්හ. ඒ මහණ මළේ ය. ... [පරිජිඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් වීය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (58-59)
46. එසමයෙහි විරහිණී වූ එක්තරා ස්ත්‍රියක් සොර සැමියකු නිසා ගැබිනී වෙයි. ඕ තොමෝ කුලුපග මහණහට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව.” “යහපත නැගණිය”යී ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දරුවා මළේය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (60)
47. එසමයෙහි එක්තරා පුරුෂයකුට භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳ ය, එකක් නො වඳ ය. වඳ ගැහැණිය කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් දරුවන් වදන්නීනම් ඕ සියලු ධනයට හිමි වන්නීය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇයට ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව” යි. “යහපත, නැගණිය” යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දරුවා මළේ ය. මවු නො මළාය. ඔහුට කුකුස් වීය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (61)
48. එසමයෙහි එක්තරා පුරුෂයකුට භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳය. එකක් නො වඳය. වඳ ගැහැණිය, කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් ඕ වදන්නී නම් සියලු ධනයට හිමි වන්නීය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇගේ ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව” යි. “යහපත, නැගණිය” යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. මවු මළා ය. දරුවා නො මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ. (62)
49. එසමයෙහි එක්තරා පුරුෂයකුට අඹුවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳ ය. එකක් නො වඳ ය. වඳ ගැහැණිය කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් ඕ වදන්නී නම් ඕ සියලු සැපතට හිමි වන්නී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇගේ ගැබ හෙළන බෙහෙතක් දනු මැනව”යි. “යහපත, නැගණිය”යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දෙදෙනා ම මළාහුය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] දෙදෙනාම නො මළාහුය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (63-64)
50. එසමයෙහි එක්තරා ගැබිනි ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව”යි එසේ වී නම් නැගණිය, (කුස) මඩින්නැ”යි. ඕ කුස මැඩ ගැබ හෙළී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (65)
51. එසමයෙහි එක්තරා ගැබිනි ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව”යි නැගණිය එසේ වී නම් කුස තවනු”යි. ඕ කුස තවා ගැබ හෙළී ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (66)
52. එසමයෙහි එක්තරා වඳ ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, යම් බෙහෙතකින් මම වදම් ද එබඳු බෙහෙතක් දනු මැනව”යි. යහපත නැගණිය”යි ඇයට බෙහෙතක් දුනි. ඕ මළා ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (67)
53. එසමයෙහි එක්තරා වදන ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. යම් බෙහෙතකින් මම නො වදම් ද එබඳු බෙහෙතක් දනු මැනව” යි. “යහපත නැගණිය” යි ඇයට බෙහෙතක් දුනි. ඕ මළා ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (68)
54. එසමයෙහි සවග මහණහු සතළොස්වග මහණකු ඇගිල්ලෙන් කිති කැවීමෙන් සිනෑසූහ. ඒ මහණ අධිකව සිනාසෙන්නේ ආශ්වාසප්‍රශ්වාස රහිත වූයේ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවත් නො වේ. (69)
55. එසමයෙහි සතළොස් වග මහණහු සවග මහණකු “කර්‍මයක් (=දඬුවමක්) කරන්නෙමු” යි ඇක්ම මැරූහ. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. (70)
56. එසමයෙහි එක්තරා භූතවෛද්‍ය මහණෙක් යක්‍ෂයකු දිවියෙන් තොර කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (71)
57. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු සැඩයකුන් අරක්ගත් විහාරයකට යැවී ය. යක්‍ෂයෝ ඒ මහණ දිවියෙන් තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (72)
58. එසමයෙහි එක්තරා මහණෙක් මැරියැටිවූයේ එක්තරා මහණකු සැඩ යකුන් අරග්ගත් විහාරයකට යැවී ය. යක්‍ෂයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] යක්‍ෂයෝ ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (73-74)
59. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු ව්‍යාලකාන්තාරයකට යැවීය. ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (75)
60. එසමයෙහි එක්තරා මහණෙක් මැරියටිවූයේ එක්තරා මහණකු ව්‍යාලකාන්තාරයකට යැවී ය. ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (76-77)
61. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු සොරකතරකට යැවී ය. සොරු ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ඔහුට කුකුස් විය. ... මහණ, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (78)
62. එසමයෙහි එක්තරා මහණෙක් මැරියටිවූයේ එක්තරා මහණකු සොරකතරකට යැවී ය. සොරු ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] සොරු ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (79-80)
63. එසමයෙහි එක්තරා මහණෙක් ඔහු යැයි හඟිමින් ඔහු දිවියෙන් තොර කෙළේ ය. ... ඔහු යයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙළේය. ... අනෙකෙකැයි හඟිමින් ඔහු දිවියෙන් තොර කෙළේ ය. ... අනෙකෙකැයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (81-84)
64. එසමයෙහි එක්තරා මහණෙක් අමනුෂ්‍යයකු විසින් ගන්නා ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ඒ මහණහට පහරක් දුනි. ඒ මහණ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (85)
65. එසමයෙහි එක්තරා මහණෙක් අමනුෂ්‍යයකු විසින් ගන්නා ලද්දේ වෙයි. එක්තරා මහණෙක් මැරියැටි වූයේ ඒ මහණහට පහරක් දුනි. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (86-87)
66. එසමයෙහි එක්තරා මහණෙක් කලණකම් ඇත්තකුට ස්වර්‍ග කථාව කෙළේ ය. හෙතෙමේ එහි සිත් ඇලවූයේ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (88)
67. එසමයෙහි එක්තරා මහණෙක් මැරියැටි වූයේ කලණකම් ඇත්තකුට ස්වර්‍ගකථාව කෙළේ ය. හෙතෙමේ එහි සිත් ඇලවූයේ මළේ ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] හෙතෙමේ එහි සිත් ඇලවූයේ නො මළේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (89-90)
68. එසමයෙහි එක්තරා මහණෙක් මිනිස්තිරිසනකුට නිරයකථාව කෙළේ ය. හෙ තෙමේ තැති ගෙණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (91)
69. එසමයෙහි එක්තරා මහණෙක් මරණ රිසි ඇතියේ ආපායිකයකුට නිරයකථාව කෙළේ ය. හෙ තෙමේ තැති ගෙණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] හෙ තෙමේ තැති ගෙණ නොමළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (92-93)
70. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවකම් කරන්නාහු රුකක් සිඳිත්. එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කීයේ ය: “ඇවැත, මෙහි සිට සිඳුව” යි, වෘක්‍ෂය තෙමේ එහි සිට සිඳින උහු යටකොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නොමරණරිසි ඇතියහුට ඇවැත් නො වේ. (94)
71. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවකම් කරන්නෝ රුකක් සිඳිත්. එක්තරා මහණෙක් මරණරිසි ඇතියේ එක්තරා මහණකුට මෙය කීය: “ඇවැත, මෙහි සිට සිඳුව” යි, වෘක්‍ෂය තෙමේ එහි සිට සිඳින මහණහු යට කොට මැරී ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] වෘක්‍ෂය තෙමේ යට කොට නො මැරී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (95-96)
72. එසමයෙහි සවග මහණහු වනය ගිනි ලූහ. මිනිස්සු දැවුනාහු මළාහු ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මරණ රිසි ඇතියහුට ඇවැත් නො වේ. (97)
73. එසමයෙහි සවග මහණහු මරණ රිසි ඇත්තෝ වනය ගිනි ලූහ. මිනිස්සු දැවුනාහු මළාහු ය. ... [පරිජිඇවැත් අවන්නහුය. එසමයෙහි ...] මිනිස්සු දැවුනෝ නොමළාහු ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජි ඇවැත් නොවේ. ථුලැසි ඇවැත් වේ. (98-99)
74. එසමයෙහි එක්තරා මහණෙක් වධකස්ථානයට ගොස් චෝර ඝාතකයාට මෙය කීය: “ඇවත, මොහු නොවෙහෙසව. එක පහරින් දිවියෙන් තොර කරව” යි. ‘වහන්ස, මැනව’ යි එක පහරින් දිවියෙන් තොර කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (100)
75. එසමයෙහි එක්තරා මහණෙක් වධකස්ථානයට ගොස් චෝර ඝාතකයාට මෙය කීය: “ඇවත, මොහු නො වෙහෙසව. එක පහරින් දිවියෙන් තොරකරව” යි හෙතෙමේ “මම තාගේ වචනය නහමක් කරන්නෙමි.” යි ඔහු දිවියෙන් තොර කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ. (101)
76. එසමයෙහි එක්තරා පුරුෂයෙක් තෙමේ නෑගෙයකදී සුන් අත් පා ඇතියේ නෑයන් විසින් පිරිවරණ ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ඒ මිනිසුන්ට මෙය කීය: “ඇවැත්නි, මොහුගේ මරණය කැමතිවවු ද? “වහන්ස එසේ ය. කැමැතිවෙමු” යි. “එසේ වීනම් මෝරු පොවවු” යි. ඔවුහු ඔහුට මෝරු පෙවූහ. හෙතෙමේ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහිය. (102)
77. එසමයෙහි එක්තරා පුරුෂයෙක් කුලගෙයක දී සුන් අත් පා ඇතියේ නෑයන් විසින් පිරිවරණ ලද්දේ වෙයි. එක්තරා මෙහෙණක් ඒ මිනිසුන්ට මෙය කිවුය. “ඇවැත්නි, මොහුගේ මරණය රිසිවවු ද? යී” “ආර්‍ය්‍යාවනි, එසේය. රිසියෙමු” යි කීහ. “එසේ නම් ලෝණසෝවීරකය පොවවු” යී. ඔවුහු ඒ පුරුෂයාට ලෝණසෝවීරකය පෙවූහ. හෙතෙමේ මළේ ය. ඒ මෙහෙණට කුකුස් විය. ඉක්බිති ඒ මෙහෙණ භික්‍ෂුණීන්ට මෙ පවත් සැළ කළා ය. භික්‍ෂුණීහු භික්‍ෂූන්ට මෙ පවත් සැළ කළාහු ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, ඒ මෙහෙණ පරිජි ඇවැත් අවන්නී ය.” (103)
තෙවන පරිජිය නිමි.
සිවුවන පරිජිය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල් පුර මහවෙනෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වෙසෙන සේක. එසමයෙහි බොහෝ දුටුමිතුරු ඉටුමිතුරු වූ භික්‍ෂූහු වග්ගුමුදා නම් ගංතෙර වස් එළඹුනාහ. එසමයෙහි වැදෑරට දුබික් වෙයි. ජීවිතය පිළිබඳ දෙපරිද්දෙකින් පැවති අදහස් ඇති වෙයි. සේතට්ඨිකා නම් ශස්‍යරෝග ඇති වෙයි. (වපුළ ධාන්‍ය) හටගත් හිරටු ඇති වෙයි. පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නො වේ.
2. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය: “දැන් වනාහි වැදෑ රට දුබික් වේ. ජීවිතයත් මරණයත් අතර පැවැති අදහස් ඇත්තේ වෙයි. සේතට්ඨිකා නම් ශස්‍ය රෝගයෙන් පෙළුනේ වෙයි. වපුළ දෑ හිරටු ය. පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නො වෙයි. අපි කවර උපායකින් සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු ද, පිණ්ඩයෙන් නොම ක්ලාන්ත වන්නමුදැ”යි.
3. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, ඉදින් අපි ගිහියන්ගේ කර්‍මාන්ත හිටු කරන්නමෝ නම් මැනව. එසේ ඇතිකල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමග වූවමෝ මනා ව සතුටු වන්නමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිණ්ඩයෙන් ද නො ම ක්ලාන්ත වන්නෙමු” යි.
4. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, කම් නැත. ගිහියන්ගේ කර්‍මාන්ත හිටු කිරීමෙන් කිම? ඇවැත්නි, අපි ගිහියන්ගේ පණිවුඩ ගෙණ යන්නමෝ නම් මැනැව. එසේ ඇතිකල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමග වූවමෝ සතුටු වන්නමෝ විවාද නො කරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිණ්ඩයෙන් ද ක්ලාන්ත නො වන්නෙමු” යි.
5. ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ඇවැත්නි, නොමැනැවි. ගිහියන්ගේ කර්‍මාන්ත හිටු කිරීමෙන් කිම? ගිහියන්ගේ පණිවුඩ ගෙණ යෑමෙන් කිම? ඇවැත්නි, අපි ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම් ගුණ කියමු: “අසෝ මහණ තෙමේ ප්‍රථමධ්‍යානලාභී ය. අසෝ මහණ තෙමේ ද්විතීයධ්‍යානලාභී ය. අසෝ මහණ තෙමේ තෘතීයධ්‍යාන ලෘභී ය. අසෝ මහණ තෙමේ චතුර්‍ත්‍ථධ්‍යාන ලාභී ය. අසෝ මහණ තෙමේ සෝවාන් ය. අසෝ මහණ තෙමේ සෙදගැමි ය. අසෝ මහණ තෙමේ අනගැමි ය. අසෝ මහණ තෙමේ රහත් ය. අසෝ මහණ තෙමේ ත්‍රිවිද්‍යා ඇත්තෙක. අසෝ මහණ තෙමේ ෂඩභිඥ ය” යි. මෙසේ ඇති කල්හි ඔහු අපට පිඬු දෙන්නට සිතන්නාහ. මෙසේ අපි සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නොකරන්නමෝ පහසු සේ වස් වසන්නමු. පිඬුයෙන් ද ක්ලාන්ත නො වන්නෙමු” යී. “ඇවැත්නි, අප විසින් ගිහියන්ට ඔවුනොවුන් පිළිබඳ යම් උතුරුමිනිස්දම් ගුණයෙන් කියන ලද්දේ ද, මෙය ම ශ්‍රේෂ්ඨ වෙයි.”
6. ඉක්බිති ඒ භික්‍ෂූහු ගිහියන්ට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම්ගුණ කීහ: “අසෝ මහණ තෙමේ ප්‍රථමධ්‍යානලාභී ය. ... අසෝ මහණ තෙමේ ෂඩභිඥය” යි.
7. ඉක්බිති ඒ මිනිස්සු “අපට ලාභයෙක් ම ය. ඒකාන්තයෙන් අපට මනා ලැබුමෙකි. යම්බඳු වූ වෙත මෙබෙඳු භික්‍ෂූහු වස් එළඹියාහු ද, යම් සේ මේ භික්‍ෂූහු සිල්වත් ද, කළණදහම් ඇත්තාහු ද, ඒකාන්තයෙන් මින් පෙර මෙබඳු භික්‍ෂූහු අපගේ නිවසට නො එළඹියාහු ය” යි සිතූහ. ඔහු යම් බඳුවූ බොජුන් භික්‍ෂූන්ට දෙත් ද, එබඳු බොජුන් තුමූ නො බුදිත්. මවුපියනට ද නො දෙත්. අඹුදරුවන්ට ද නො දෙත්. දස් කම්කරු පුරුෂයනට ද නො දෙත්. මිත්‍රාමාත්‍යයනට ද නො දෙත්. සහලේ නෑයනට ද නො දෙත්. යම්බඳු වූ කෑ යුතු දැය භික්‍ෂූන්ට දෙත් ද, එබඳු කෑයුතු දෑ ද ... නො දෙත්. රස විඳිය යුතු දෑ ද ... නො දෙත්. ... පානවර්‍ගයන් ද තුමූ නො බොත්. මවුපියනට ද නො දෙත්. අඹුදරුවනට ද නො දෙත්. දස් කම්කරුවනට ද නො දෙත්. මිත්‍රාමාත්‍යයනට ද නො දෙත්. සහලේ නෑයනට ද නො දෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු වර්‍ණවත් වූහ. පිණාගිය ඉඳුරන් ඇති වූහ. පහන් මුවපැහැ ඇති වූහ. වෙසෙසින් පහන් සිවිපැහැ ඇති වූහ.
8. වැස නිමවූ වස් ඇති භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා යෑම පුරුදු ම ය. ඉක්බිති වැස නිමවූ වස් ඇති ඒ භික්‍ෂූහු තෙමස ඇවෑමෙන් සෙනසුන් තැම්පත් කොට තබා, පාසිවුරු ගෙණ විසල්පුරය බලා නික්මුනාහු ය. පිළිවෙළින් විසල්පුර මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නාහු ය.
9. එසමයෙහි දිසාවන්හි වස් වුසූ භික්‍ෂූහු වැහැරුණාහු රළු වූවාහු දුර්වර්‍ණ වූවාහු හටගත් පඬුවන් පැහැ ඇත්තාහු නහර ඉල්පීගිය සිරුරු ඇත්තෝ වෙත්. වග්ගුමුදා ගංතෙර වස් වුසූ භික්‍ෂූහු වර්‍ණවත් වූවාහු පිණාගිය ඉඳුරන් ඇත්තාහු පහන් මුවපැහැ ඇත්තාහු වෙසෙසින් පහන් සිවිපැහැ ඇත්තෝ වෙත්. භාග්‍යවත් බුදුවරුන් විසින් ආගන්තුක භික්‍ෂූන් සමඟ පිළිසඳර කිරීම ආච්ර්‍ණ ම ය.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදා ගං තෙර වැසි භික්‍ෂූන්ට “මහණෙනි, කිම සිහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමග වූවාහු, සතුටු වූවාහු විවාද නො කරන්නාහු පහසු සේ වස් වුසුවහු ද? අහරින් ක්ලාන්ත නො වූවහු ද?” යි වදාළ සේක, භාග්‍යවතුන් වහන්ස, සිහිය හැක්ක. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක. වහන්ස, අපි සමඟ වූවමෝ සතුටු වූවමෝ විවාද නො කරමින් පහසු සේ වස් වුසුම්හ. අහරින් ක්ලාන්ත නො වූම්හ” යි. තථාගතවරු දනිමිනුත් විචාරත්. දනිමිනුත් නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් ම විචාරත්. අනර්‍ත්‍ථසංහියක් නො විචාරත්. අනර්‍ත්‍ථයෙන් යුක්ත වචනයෙහි තථාගතවරන්ගේ මගනුවණින් ප්‍රත්‍යයඝාතය වෙයි.
11. භාග්‍යවත් බුදුවරු දෙ අයුරකින් භික්‍ෂූන් පුළුවුසිත්: “ධර්‍මය හෝ දෙසන්නමු. සවුවනට සිකපද හෝ පණවන්නමු” යි. ඉක්බිති භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වග්ගුමුදා ගංතෙර වස් වුසූ භික්‍ෂූන්ට මෙය වදාළ සේක: “මහණෙනි, තෙපි කෙසේ නම් සමග වූවහු සතුටු වෙමින් විවාද නොකරමින් සුවසේ වස් වුසුවහු ද, අහරින් ක්ලාන්ත නුවූවහුදැ?” යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ. “කිමෙක් ද, මහණෙනි, සැබැවක් කීවහුද?” යී. “භාග්‍යවතුන් වහන්ස, නොසැබැවක් ම කීවමු” යි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, නුසුදුස්සෙක. අනුලොම් නුවූවක. නොගැළපෙන්නක. නොමහණකමෙක. නොකැපයෙක. නොකටයුත්තෙක. “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් කුස කරුණු කොට ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම්ගුණ කීවහු ද? හිස් පුරුෂයෙනි, තොප විසින් තියුණු ගෙරි කපන කැත්තෙන් කුස කපා ගැණීම මැනවි. කුස කරුණු කොට ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස්දම් වැණීම නො මැනවි. ඒ කවර හෙයින? හිස් පුරුෂයෙනි, ඒ හේතුවෙන් මරණයට හෝ මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති විවශ ව පතිත වීම් ඇති නිරයට නො ම පැමිණෙන්නේ ය. හිස්පුරුෂයෙනි, මෙය නොපහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. ...” ගරහා දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක:
12. “මහණෙනි, ලොව මේ මහහොරු පස්දෙනෙක් වෙති. ඔහු පස්දෙන කවරහු ද? යත්:
(1) මහණෙනි, මේ ලෝකයෙහි එක්තරා මහ සොරකුට මෙබඳු අදහසෙක් වෙයි: “මම කවරදා නම් සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම්ගම් රජදනවුහි නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදින්නෙම් දෝ”යි. හෙ තෙමේ පසු කලෙක සියයකින් දහසකින් පිරිවරණ ලද්දේ ගම් නියම් ගම් රජ දනවුහි මරමින් මරවමින් සිඳිමින් සිඳුවමින් දවමින් දවවමින් ඇවිදී. මහණෙනි, එපරිද්දෙන් ම මේ සස්නෙහි ඇතැම් පවිටු මහණකුට මෙ බඳු සිතෙක් වෙයි: “කවරදා නම් මම සියයකින් හෝ දහසකින් හෝ පිරිවරණ ලද්දෙම් ගම් නියම් ගම් රජදනවුහි ගැහැවියන් විසින් ද පැවිද්දන් විසින් ද සත්කාර කරණ ලද්දෙම්, ගරු කරණ ලද්දෙම්, බුහුමන් කරණ ලද්දෙම්, සිවුපසයෙන් පුදන ලද්දෙම්, අභිවාදනා කරණ ලද්දෙම්, සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් සැරි සරන්නෙම් දෝ” යි. ඒ මහණ පසු කලෙක සියයකින් හෝ දහසකින් හෝ ගම් නියම්ගම් රජදනවුහි ගිහියන් විසින් හා පැවිද්දන් විසින් සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ සිවුපසයෙන් පුදන ලද්දේ අභිවාදනා කරනලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලැබීම් ඇත්තේ සැරි සරයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ පළමුවැනි මහසොරා වෙයි.
(2) වැලිදු මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් තථාගතභාෂිත ධර්‍ම විනය ප්‍රගුණ කොට (එය) තමාගේ යයි ප්‍රකාශ කෙරෙයි. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ දෙවැනි මහසොරා වෙයි.
(3) වැලිදු මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් පිරිසිදු බඹසර හැසිරෙණ රහත් මහණකුට මුල් රහිත පරිජිඇවැතින් චෝදනා කෙරේ ද. මහණෙනි, මේ තෙමේ ලොව විද්‍යමාන වූ තෙවන මහසොරා වෙයි.
(4) වැලිදු, මහණෙනි, මේ සස්නෙහි ඇතැම් පවිටු මහණෙක් සඟසතු යම් ඒ ගරු බඩු ගරු පිරිකර වේ ද, ඒ කවරේ ද? අරම්, අරම්වතු, වෙහෙර, වෙහෙරවතු, ඇඳ, පුටු, බිසි, කන්වයින්, ලොහොකළ, ලොහොසැළ, කුඩා ලොහොකළ, ලෝහකටාරම්, වෑ, පොරෝ, කෙටේරි, උදැලු, නියන්, වැල්, හුණ, මුදුතණ, බබුස්තණ, සෙවෙනියට සුදුසු තණ, මැටි, දැව බඩු, මැටි බඳුන් ය. එයින් ගිහියන් සඟන්නේ ද, පොළඹවන්නේ ද, මහණෙනි, මෙතෙමේ ලොව විද්‍යමාන සිවුවැනි මහසොරා වෙයි.
(5) මහණෙනි, යමෙක් සිය සතන්හි නැති උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි කියා ද, මේ මහණ තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද, මහණ බමුණන් සහිත වූ දෙමිනිසුන් සහිත වූ ප්‍රජාව කෙරෙහි ද, ප්‍රමුඛ වූ මහසොරා වෙයි. ඒ කවර හෙයින? මහණෙනි, සොර සිතින් රට්ඨපිණ්ඩය අනුභව කරණ ලද්දේ ය. එහෙයිනි.
යමෙක් අන් පරිද්දෙකින් සිටුනා තමා අන් අයුරකින් පවසන්නේ නම්, ඔහුගේ ඒ සොරකමින් සිවුපසය වැළඳීම ලිහිණිවැද්දා විසින් ලිහිණින් රවටා මරා කනු වැන්න.
ගෙලෙහි ලූ කසාවත් ඇති පවිටු ගතියෙන් යුත් නොහික්මුනු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ පවිටුකමින් නිරයට පැමිණෙත්.
ඉදින් නොහික්මුණු දුසිල් මහණ තෙමේ යම් හෙයකින් රටවැසියාගේ පිඬු වළඳන්නේ ද එයට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ යවටක් බුදින ලද්දේ උතුම් වේ.
13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වග්ගුමුදා ගංතෙරින් ආ මහණුන්ට නන් අයුරින් ගරහා දුබර බැව්හි ... මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍ය වූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවා, ‘මෙසේ (තමා කෙරෙහි ඇතැයි) දනිමි. මෙසේ (තමා කෙරෙහි ඇතැයි) දකිමි’ යි කියන්නේ ද, ඉන් පසු කලෙක විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ ය: ‘ඇවැත්නි, මම නොදන්නෙම් මෙසේ දනිමියි කීමි. නොදක්නෙම් දකිමියි හිස් බොරු කීමි’යී. මේ මහණ ද පරිජි අවන්නේ සංවාස රහිත වේ.”
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මේ සිකපදය පණවන ලද්දේ වේ.
[මුල් පැණවීමයි.]
14. එසමයෙහි බොහෝ භික්‍ෂූහු නොදක්නා ලද්දෙහි දක්නා ලද්දේ යයි හැඟුම් ඇත්තාහු, නො පැමිණෙන ලද්දෙහි පැමිණෙන ලදැයි යන හැඟුම් ඇත්තාහු, නොපිළිවිදි දහම්හි පිළිවිදිනැයි හැඟුම් ඇත්තාහු, නොපසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තාහු, අධිමානයෙන් යුක්ත ව අර්‍හත්‍වය ප්‍රකාශ කළහ. පසු කාලයෙහි ඔවුන්ගේ සිත රාගයට ද නැමෙයි. ද්වේෂයට ද සිත නැමෙයි. මෝහයට ද සිත නැමෙයි. ඔවුන්ට කුකුස් උපනි. “භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. අපි දු නොදක්නා ලද්දෙහි දක්නා ලදැයි හැඟුම් ඇත්තමෝ නොපත් ගුණෙහි පැමිණෙන ලදැයි හැඟුම් ඇත්තමෝ නො පිළිවිදි ගුණෙහි පිළිවිදිනැයි හැඟුම් ඇත්තමෝ නො පසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තමෝ අධිමානයෙන් යුක්ත ව අර්‍හත්ත්‍වය ප්‍රකාශ කළමු. කිම අපි පරිජි ඇවැත් අවන්නමෝ දැ?”යී. ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වූ අනඳ තෙරුන්ට මේ පවත් දැන්වූහ. ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කෙළේය.
15. ආනන්‍දය, තෙල භික්‍ෂූහු නොදක්නා ලද්දෙහි දක්නා ලද්දේයයි හැඟුම් ඇත්තාහු, නොපත්ගුණෙහි පැමිණෙන ලදැයි හැඟුම් ඇත්තාහු, නොපිළිවිදි ගුණෙහි පිළිවිදිනැයි හැඟුම් ඇත්තාහු, නොපසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තාහු වෙත්. අධිමානයෙන් යුක්ත ව රහත් බව ප්‍රකාශ කෙරෙත්. ඔවුන්ගේ තෙල රහත් බැව් පළකිරීම ඇවැතට කරුණු නො වේ. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍ය වූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවා ‘මෙසේ දනිමි, මෙසේ දකිමි’ යි අධිමානයෙන් තොර ව කියන්නේ ද, ඉන් පසුකාලයෙහි විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ ය: “ඇවැත්නි, මම ‘නො දන්නෙම් මෙසේ දනිමි’ යි කීමි. නො දක්නෙම් දකිමියි හිස් බොරු කීමි”යී මේ මහණ ද පැරදුනේ සංවාසරහිත වේ.”
[දෙවෙනි පැණවීමයි.]
16. යෝපන යනු යම් බඳුවූ යමෙක්: ...
භික්ඛු යනු ... ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් ... උපසපන් වූයේ ද, මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අභිමතයි.
අනභිජානං යනු නැත්තා වූ, නො වූ, විද්‍යාමාන නො වූ කුසල් දහම් තමා කෙරෙහි නොදන්නේ, නොදක්නේ මට කුසල් දහම් ඇත්තේය’යී.
උත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යාන, විමොක්ඛ, සමාධි, සමාපත්ති, ඤාණදස්සන, මග්ගභාවනා, ඵලසච්ඡිකිරියා, කිලේසප්පහාණ, සිත නීවරණයන්ගෙන් තොර බව, ශුන්‍යාගාරයෙහි අභිරතිය යි.
අත්තූපනායිකං යනු ඒ කුසල් දහම් හෝ තමා කෙරෙහි එළවයි. තමා හෝ ඒ කුසල් දහම්හි පමුණුවයි.
ඤාණං යනු ත්‍රිවිද්‍යා ය.
දස්සනං යනු යම් ඥානයක් වේ ද ඒ දර්‍ශනයයි. යම් දර්‍ශනයක් වේ ද එය ඥානයයි.
සමුදාචරෙය්‍ය යනු ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ගැහැවියකුට හෝ පැවිද්දකුට හෝ සැළ කරන්නේ ය.
ඉති ජානාමි ඉති පස්සාමි යනු මම තෙල දහම් දනිමි. මම තෙල දහම් දකිමි. තෙල දහම් මට ඇත් ම ය, තෙල දහම් මා කෙරෙහි පැණෙත්, මම ද තෙල දහම්හි පෙණෙන්නෙමි.
තතො අපරෙන සමයෙන යනු යම් කෙණෙක්හි සැළ කෙළේ වේ ද ඒ ක්‍ෂණය, ඒ ලයය, ඒ මොහොත ඉක්මවූ කල්හි ය.
සමනුග්ගාහියමානෝ යනු යම් වතක් පිළිණ කරණ ලද්දේ වේ ද, ඒ වස්තුවෙහි විචාරණු ලබන්නේ: “තා විසින් කිනම් දහමක් අවබෝධ කරණ ලද ද, තා විසින් කෙසේ අවබෝධ කරණ ලද ද, තා විසින් කවර දා අවබෝධ කරණ ලද ද, කොහිදී තා විසින් අවබෝධ කරණ ලද ද, තාගේ කවර කෙලෙස් ප්‍රහීණ ද, තෝ කවර දහම් හෝ ලැබුයෙහි ද?”
අසමනුග්ගාහියමානෝ යනු කිසිවකු විසින් නොවිචාරණු ලබන්නේ ය.
ආපන්නෝ යනු ලාමක ආශා ඇත්තේ, ඉච්ඡාවෙන් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ, නුවූ උතුරුමිනිස්දම් පවසා පරිජිඇවැත් අවන්නේ වේ.
විසුද්ධාපේක්ඛෝ යනු ගිහි හෝ වනු කැමැත්තේ උවසු හෝ වනු කැමැත්තේ ආරාමික හෝ වනු කැමැත්තේ හෙරණකු හෝ වනු කැමැත්තේ ය.
අජානමෙවං ආවුසො අවචං ජානාමි අපස්සං පස්සාමි යනු “මම තෙල දහම් නො දනිමි. මම තෙල දහම් නො දකිමි. තෙල දහම් ද මට නැත. තෙල දහම් මා කෙරෙහි නො පැණෙයි. මම ද තෙල දහම්හි නො පැණෙන්නෙමි” යි.
තුච්ඡං මුසා විලපිං යනු මා විසින් හිස් වදන් කියන ලදී. මා විසින් මුසවා කියන ලදී. මා විසින් නො වූවක් කියන ලදී. නොදන්නාවූ මා විසින් කියන ලදී.
අඤ්ඤත්‍ර අධිමානා යනු අධිමානය හැර ය.
අයම්පි යනු පළමු තුන් පරිජි අවන් පුඟුලන් ගෙණ කියනු ලැබේ.
පරාජිකො හොති යනු යම් සේ මුදුන සුන් තල්ගසක් නැවත වැඩීමට නුසුදුසු වේ ද, එමෙන් ම මහණ තෙමේ ලාමක ආශා ඇත්තේ ඉච්ඡාවෙන් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ අභූත වූ උතුරුමිනිස්දහම් පවසා අශාක්‍යපුත්‍රීය වෙයි, අශ්‍රමණ වෙයි. එහෙයින් පැරදුනේ වේ ය යි කියනු ලැබේ.
අසංවාසො යනු සංවාස නම්: එක් ව කරණ කර්‍මය, එක් ව කරණ උදෙසීම ය, සම වූ ශික්‍ෂා ඇති බව ය යන මේ සංවාස නමි. ඒ සංවාසය ඔහු සමග නැත. එහෙයින් අසංවාස ය යි කියනු ලැබේ.
උත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යානය, විමෝක්‍ෂය, සමාධිය, සමාපත්තිය, ඥානදර්‍ශනය, මාර්‍ගභාවනාය, ඵල පසක් කිරීම ය, ක්ලේශප්‍රහාණ ය, සිත නීවරණ රහිත බව, ශුන්‍යාගාරයෙහි ඇල්ම ද වේ.
ඣානං යනු ප්‍රථමධ්‍යානය – ද්විතීයධ්‍යානය – තෘති ධ්‍යානය – චතුර්‍ත්‍ථ ධ්‍යාන යි.
විමොක්ඛො යනු රාගදෝසමෝහයන්ගෙන් සුන් බැවින් ශුන්‍යත විමෝක්‍ෂය, රාග දෝස මෝහ නිමිති රහිත බැවින් අනිමිත්ත විමෝක්‍ෂය, රාග දෝස මෝහ ප්‍රණිධි රහිත බැවින් අප්‍රණිහිත විමෝක්‍ෂය යි.
සමාධි යනු ශුන්‍යසමාධිය, අනිමිත්තසමාධිය, අප්‍රණිහිතසමාධිය යි.
සමාපත්ති යනු ශුන්‍යතසමාපත්තිය, අනිමිත්තසමාපත්තිය, අප්‍රණිහිතසමාපත්තිය යි.
ඤාණදස්සනං යනු ත්‍රිවිද්‍යාව යි.
මග්ගභාවනා යනු සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධන්ය, සතර ඍද්ධිපාදය, පඤ්චේන්‍ද්‍රියය, පඤ්චබලය, සප්තබෝධ්‍යඞ්ගය, ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගය යි.
ඵලසච්ඡිකිරියා යනු සෝවාන් පල පසක් කිරීම ය, සෙදගැමිපල පසක් කිරීම ය, අනගැමිපල පසක් කිරීම ය, රහත්පල පසක් කිරීම යි.
කිලේසප්පහානං යනු රාගප්‍රහාණය, ද්වේෂප්‍රහාණය, මෝහප්‍රහාණය යි.
විනීවරණතා චිත්තස්ස යනු රාගයෙන් සිත නො වැසෙන බව, ද්වේෂයෙන් සිත නො වැසෙන බව, මෝහයෙන් සිත නොවැසෙන බව යි.