Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 1-100 න් 2612

විනයපිටකයෙහි
පාරාජිකපාළිය
භික්‍ෂුවිභඞ්ගය
වේරඤ්ජකාණ්ඩය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වේරඤ්ජාව සමීපයෙහි නළේරු කොසඹගස මුල පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග වැඩ වෙසෙන සේක. වේරඤ්ජබ්‍රාහ්මණ තෙමේ (මෙය) ඇසීය: “පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ පන්සියක් පමණ වූ මහසඟන සමග වේරඤ්ජානුවර නළේරු කොසඹරුක මුල වැඩ වෙසෙති. ඒ භවත් ගෞතමයන්ගේ කලණ වූ කීර්‍තතිරාවය මෙසේ පැන නැංගේ ය: “ඒ භාග්‍යවත් තෙමේ මේ මේ කරුණෙන් කෙලෙස්සතුරන් නැසුවෙක; සම්‍යක්සම්බුද්ධ ය; විද්‍යාචරණධර්‍මයන්ගෙන් යුක්ත ය; මනා ගමන් ඇත්තෙක; සව්ලෝ දත්තෙක; නිරුත්තර වූ පුරුෂදම්‍යසාරථි ය; දෙව්මිනිසුන්ගේ අනුශාසක ය; සව්නේ දත්තෙක; භගවත් ය. ඒ භාග්‍යවත් තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශ ලෝකය හා මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ සත්ත්‍ව ලෝකය ද තෙමේ මනා නුවණින් දැන පසක් කොට පවසයි. හෙ තෙමේ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ දහම් දෙසයි. (මෙසේ) සසුන් බඹසර හා මගබඹසර ද පවසයි. එබඳු රහතුන් දැකීම මැනැව” යනුයි.
2. ඉක්බිති වේරඤ්ජබමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිතෙහි රැඳවිය යුතු වූ කථාව කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නා වූ වේරඤ්ජබමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “භවත් ගෞතමයෙනි, මා විසින් මෙය අසන ලදී: ‘භවත් ගෞතමයෝ ජරාවට පත් වූ වෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පැසුළුවියට පත් බමුණන් නො වඳිති. පෙරගමන් නො කෙරෙති. අසුනෙන් හෝ නො පවරති’යි. භවත් ගෞතමයෙනි, ඒ කාරණය එසේ මය. භවත් ගෞතමයෝ ජරාවට පත් වූ වෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පැසුළුවියට පත් බමුණන් නො වඳිති. නැගිට පෙර ගමන් නො කරති. අස්නෙන් හෝ නො පවරති. භවත් ගෞතමයෙනි, මේ කාරණය සුදුසු නො වෙයි.”
3. “බ්‍රාහ්මණය, මම යම් පුද්ගලයකුට වඳිම් ද, නැගිට පෙර ගමන් කෙරෙම් ද, අස්නෙන් හෝ පවරම් ද, එබඳු පුද්ගලයකු දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි ද නො ම දකිමි. බ්‍රාහ්මණය, යම් පුද්ගලයකුට තථාගත තෙමේ වඳී නම් හෝ, නැගිට පෙර ගමන් කෙරේ නම් හෝ, අසුනෙන් පවරා නම් හෝ, ඔහුගේ හිස ද ගෙලෙන් ගිලිහෙයි.
4. “භවත් ගෞතමයෝ රසවිරෝධිහු”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ රස විරෝධිහුය යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ ද, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපාස්වාදයෝ ශබ්දාස්වාදයෝ ගන්‍ධාස්වාදයෝ රසාස්වාදයෝ ස්ප්‍රෂ්ටව්‍යාස්වාදයෝ වෙද්ද, ඒ ආස්වාද (රසයෝ) තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳුනා ලද මුල් ඇතියහ. මුදුන සුන් තල් රුකක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාවය ඇතියහ. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ රසවිරෝධිහුය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි ද, ඒ කාරණය නො වේ.”
5. “භවත් ගෞතමයෝ පරිභෝග රහිතයෝ යයි”. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘පරිභෝග රහිතයෝ යැ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපපරිභෝගයෝ, ශබ්දපරිභෝගයෝ ගන්‍ධපරිභෝගයෝ, රසපරිභෝගයෝ, ඵොට්ඨබ්බපරිභෝගයෝ වෙද්ද, ඔහු තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇතියහ. මුදුන සුන් තල්ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ පරිභෝග රහිතයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි ද, ඒ කාරණය නො වේ.”
6. “භවත් ගෞතමයෝ අක්‍රියවාදීහු ය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘අකිරියවාදීහ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, ඒ කාරණය ඇත් ම ය. බ්‍රාහ්මණය, මම කායදුශ්චරිතයාගේ වාග්දුශ්චරිතයාගේ මනෝදුශ්චරිතයාගේ නොකිරීම කියමි. සෙසු ලාමක අකුශල ධර්‍මයන්ගේ නො කිරීම කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘අකිරියවාදීහ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණයයි. එහෙත් යමක් සඳහා තෝ කියයි නම්, ඒ කාරණය නො වේ.”
7. “භවත් ගෞතමයෝ උච්ඡේදවාදිහුය’ යි.” “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘උච්ඡේදවාදිහුය’ යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම් ඒ මේ කාරණය ඇත් ම ය. බ්‍රාහ්මණය, මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ නැසීම කියමි. සෙසු අකුශල ධර්‍මයන්ගේ නැසීම කියමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘උච්ඡේදවාදිහුය’ යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
8. “භවත් ගෞතමයෝ පිළිකුල් කරන්නෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘ජෙගුච්ඡි ය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, මම වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය පිළිකුල් කරමි. සෙසු ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘ජෙගුච්ඡි ය’යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
9. “භවත් ගෞතමයෝ නාශකයෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතම තෙමේ ‘නාශකයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ විනාශය පිණිස ධර්‍මය දේශනා කරමි. සෙසු ලාමක අකුශලධර්‍මයන්ගේ විනාශය පිණිස ධර්‍මය දේශනා කරමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘වෙනයිකයෝ = නාශකයෝය’යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
10. “භවත් ගෞතමයෝ අනුන් තවන්නෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘තවන්නෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. “බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය තැවිය යුතු කොට කියමි. බ්‍රාහ්මණය, යමකුගේ වනාහි තැවිය යුතු ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ වෙද්ද, උදුරණ ලද මුල් ඇත්තෝ වෙද්ද, මුදුන සුන් තල් ගසක් මෙන් කරණ ලද්දෝ වෙද්ද, නැවත නොහටගන්නා පරිද්දෙන් කරණ ලද්දෝ වෙද්ද, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තෝ වෙද්ද, මම් ඔහුට ‘තපස්වී’ (තවන්නා)’ යි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ වූ කලී තැවිය යුතු ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණයහ. උදුරණ ලද මුල් ඇතියහ. මුදුන සුන් තල්ගසක් මෙන් කරණ ලදහ. නැවත නොහටගන්නා පරිද්දෙන් කරණ ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියන තෙනැත්තේ ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්සී යැ’යි මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
11. “භවත් ගෞතමයෝ අපගර්‍භයෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අපගර්‍භයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, යමකුගේ මතු මවු ගැබ හෝනාබව, නැවත භවයෙහි ඉපදීම ප්‍රහීණ ද, උදුරණ ලද මුල් ඇත්තේ ද, සුන් මුදුන ඇති තල්ගසක් මෙන් කරණ ලද ද, නැවත නො හට ගන්නා පරිද්දෙන් කරණ ලද ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත් ද, ඔහුට මම් ‘අපගර්‍භ’ය යි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ මතු මවුගැබ ශයනය, නැවත භවයෙහි ඉපදීම ප්‍රහීණ ය. උදුරණ ලද මුල් ඇත්තේ ය. සුන් මුදුන ඇති තල්ගසක් මෙන් කරණ ලද ය. නැවත නො හට ගන්නා පරිද්දෙන් කරණ ලද ය. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ය. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්‍භ හ’යි මොනවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කාරණය නො වේ.”
12. “බ්‍රාහ්මණය, යම්සේ කිකිළියගේ බීජයෝ අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් හෝ වෙත් ද, උහු කිකිළිය විසින් මත්තෙහි හෙව රක්නා ලද්දාහු ද, මනා කොට උණුසුම් ගන්වන ලද්දාහු ද, මනා කොට කුකුළුගඳ ගන්වන ලද්දාහු ද, ඒ කුකුළුපැටවුන් අතුරෙන් යමෙක් සිය පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුකටුව පළා ගෙන සියල්ලන්ට පළමුවෙන් සුවයෙන් නික්මෙන්නේ ද, කිම, හේ දෙටු ය යි හෝ කනිටු ය යි හෝ කිය යුතු වන්නේ ද?” “භවත් ගෞතමයෙනි, හේ දෙටු ය යි කිය යුතු වන්නේ ය. හෙ තෙමේ ඔවුන් අතුරෙන් දෙටු වෙයි.” “බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම මම් අවිද්‍යා නැමැති බිජුවට තුළ වූ, අවිද්‍යා නැමැති අණ්ඩකෝෂයෙන් හාත්පසින් බැඳුනා වූ සත්ත්‍වවර්‍ගයා අතුරෙන් අවිද්‍යා නැමැති බිජුකටුව පළාගෙන සියලු ලෝකසන්නිවාසයෙහි අද්විතීය වූයෙම් නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමි. බ්‍රාහ්මණය, ඒ මම් ලොවට දෙටු ද වෙමි. සෙට ද වෙමි.
13. බ්‍රාහ්මණය, (බෝමැඩ හුන්) මා විසින් වඩන ලද වීර්‍ය්‍යය නො හැකුළුනේ විය. සිහිය එළඹ සිටියේ නොනටුයේ ය. (නාමරූප) කය සංහිඳුනේ දරථ රහිත විය. සිත අරමුණෙහි මොනොවට පිහිටියේ එකඟ විය. බ්‍රාහ්මණය, ඒ මම් කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ද ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් සිය සතන්හි හටගත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ, චිත්තයාගේ එකඟ බව ඇති, විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතියෙන් ද වෙන්වීමෙන් ධ්‍යානෝපේක්‍ෂාව ඇත්තෙම් වාසය කෙළෙමි. සිහි ඇත්තෙම්, සම්‍යක්ප්‍රඥාවෙන් යුක්ත වූයෙම්, කයින් සුවය වින්දෙමි. යම් ධ්‍යානයක් හේතු කොට ගෙණ, ඒ පුද්ගලයා ‘උපේක්‍ෂාවෙන් යුක්තයෙක, සිහියෙන් යුක්තයෙක, සුඛ විහරණ ඇත්තෙකැ’යි බුද්ධාදී ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් නම්, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. කායිකසුඛයාගේ ද කායික දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමුවෙන් ම සොම්නස් දොම්නස් පහ ව යාමෙන් දුක්වේදනා නැති සුඛවේදනා ද නැති, උපේක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
14. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාහිත වූ කල්හි, උපේක්‍ෂාස්මෘතිපරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදී අඞ්ගණ ඇති වූ කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පිරිසිදුබව් ආදියෙහි සිටි කල්හි, අචල බවට පත් කල්හි, පෙර වුසූ කඳපිළිවෙළ සිහි කිරීමේ නුවණ පිණිස සිත නැමුයෙමි. ඒ මම නන්වැදෑරුම් වූ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරමි. ඒ මෙසේ යි: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුණක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පණසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්‍ෂයක් ද, නොයෙක් නස්නා කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් නස්නා වැඩෙන කල්පයන් ද සිහි කරමි. කෙසේ ද? යත්: අසෝ තැන මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් විඳින්නෙම්, මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම් එයින් චුත වූයෙම් අසෝ තැන උපනිමි. එහි ද මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් අනුභව කරන්නෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීම්. ඒ මම් එයින් චුත වූයෙම් මෙහි උපනිමි කියා යි. මෙසේ ආකාර සහිත වූ නාමගෝත්‍රාදී උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් වූ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරමි. බමුණ මා විසින් රැයෙහි පෙරයම්හි දී මේ පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කරණ නුවණ නැමැති ප්‍රථම විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව පහළ විය. මෝහ නැමැති අඳුර නැසුනේ ය. ප්‍රඥා නැමැති ආලෝකය පහළ විය. ස්මෘතිඅවිප්‍රවාසයෙන් අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත ව අභිප්‍රෙතාර්‍ත්‍ථ සිද්ධිය කෙරෙහි යොමු කරණ ලද සිත් ඇති ව වාසය කරන්නහුට යම්සේ ද මටත් එසේ ය. බමුණ, බිජුවටින් කුකුළුපැටියාගේ නික්මීම මෙන් මාගේ මේ පළමු වන නික්මීම විය.
15. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාහිත වූ කල්හි, උපේක්‍ෂා ස්මෘති පාරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදී අඞ්ගණ ඇති කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මෘදුභාවයට පැමිණි කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පරිශුද්ධභාවාදියෙහි පිහිටි කල්හි, අචලබවට පත් කල්හි සත්ත්‍වයන්ගේ චුති උපපත්ති දෙක දැනීම පිණිස සිත නැමූයෙමි. ඒ මම් පිරිසිදු වූ, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවැසින් චුත වන්නා වූ ද උපදින්නා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද ආඪ්‍ය වූ ද දිළිඳු වූ ද සත්ත්‍වයන් දකිමි. කර්‍මය පරිදි පැමිණියා වූ සත්ත්‍වයින් දනිමි. ඒ මෙසේ යි: “ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූහ. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූහ. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූහ. බුද්ධාදී ආර්‍ය්‍යයන්ට ගර්‍හා කරන්නෝ වූහ. විපරීතදෘෂ්ටි ඇත්තෝ වූහ. මිථ්‍යාදෘෂ්ටියෙන් ගන්නා ලද නානාවිධ කර්‍ම ඇත්තෝ වූහ. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ හෙයින් අපාය නම් වූ දුක පිහිටි තැන හෙයින් දුග්ගති නම් වූ, (නො කැමැත්තෙන් ම) පතිත වන හෙයින් විනිපාත නම් වූ නරකයට පැමිණියාහු ය. මේ භවත් සත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යයන්ට ගර්‍හා නො කරන්නෝ වූහ. සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තයෝ ය. සම්‍යග්දෘෂ්ටියෙන් ගන්නා ලද නානාවිධ කර්‍ම ඇත්තෝ වූහ. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති හෙයින් සුගති නම් වූ දිව්‍යලෝකයට පැමිණියාහු ය”යි මෙසේ මිනිස් ඇස ඉක්ම පැවැති පිරිසිදු දිවැසින් චුත වන්නා වූ ද උපදින්නා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද ආඪ්‍ය වූ ද දිළිඳු වූ ද සත්ත්‍වයන් දකිමි. කර්‍මය වූ පරිදි පැමිණියා වූ සත්ත්‍වයන් දනිමි. බ්‍රාහ්මණය, මා විසින් රැය මැදුම්යම්හි මේ ද්විතීය විද්‍යාව වූ දිව්‍යඥානය ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව පහළ විය. මෝහ අඳුර පහ විය. ප්‍රඥා ආලෝකය පහළ විය. අප්‍රමාදී වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වසන්නහුට යම් සේ නම් එමෙනි. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටියාගේ නික්මීම මෙන් මාගේ මේ ද්විතීය වූ නික්මීම විය.
16. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාධිගත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදි අඞ්ගණ ඇති කල්හි, පහවූ උපක්ලේශ ඇති කල්හි, සිත වශී භාවයට පැමිණි කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පරිශුද්ධභාවාදියෙහි පිහිටි කල්හි නොසැලී සිටි කල්හි, ආස්‍රවක්‍ෂයකරඥානය පිණිස හෙවත් මගනුවණ පිණිස විදසුන් සිත නැමූයෙමි. ඒ මම් මේ දුක යැ යි තත් වූ පරිද්දෙන් දතිමි. මේ දුක හටගැණීමට හේතුවැ යි තත් වූ පරිද්දෙන් දතිමි. මේ දුක්ඛනිරෝධය යි තත් වූ පරිදි දතිමි. දුක්ඛනිරෝධයට = නිවනට යන පිළිවෙත ය යි තත් වූ පරිදි දතිමි. මොහු ආස්‍රවයෝ යි තතු සේ දතිමි. මේ ආස්‍රවයන්ගේ හට ගැණීමට හේතුව ය යි තතු සේ දතිමි. මේ ආස්‍රවනිරෝධය යි තතු සේ දතිමි. මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්ති ය යි තතු සේ දතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුනේ ය. භවාස්‍රවයෙන් ද මිදුනේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද මිදුනේ ය. සිත මිදුනු කල්හි මිදිනැ යි නුවණ පහළ විය. ඉපදීම ක්‍ෂීණ විය. මග බඹසර වැස නිමවන ලදී. සිවු මග කටයුතු කරණ ලද්දේ ය. මේ බව (කෙලෙසුන් නැසීම) පිණිස අන්‍ය වූවක් නැතැ යි දනිමි. බ්‍රාහ්මණය, රෑ පැසුළුයමෙහි මේ තෘතීයවිද්‍යාව (ආස්‍රවක්‍ෂයකරඥානය) අවබෝධ කරණ ලද්දේ ය. අවිද්‍යාව නසන ලදී. ආර්‍ය්‍යමාර්‍ගඥානවිද්‍යාව උපන. මෝහාන්‍ධකාරය නැසින. ප්‍රඥාලෝකය පහළ විය. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වසන්නහුට යම් සේ ද, එසේ ය. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටියාගේ නික්මීම මෙන් මාගේ මේ තුන්වන නික්මීම විය.
17. මෙසේ වදාළ කල්හි ඒ වේරඤ්ජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේ ය: “භවත් ගෞතමයෝ ජ්‍යේෂ්ඨයහ. ශ්‍රේෂ්ඨයහ. භවත් ගෞතමයෙනි, ඉතා මැනැවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනැවි. භවත් ගෞතමයෙනි, යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මග කියන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකිත්වා යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ ද, මෙපරිද්දෙන් ම භවත් ගෞතමයන් විසින් නන් අයුරින් දහම් දෙසන ලදී. මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂු සංඞ්ඝයා ද සරණ යමි. භවත් ගෞතමයෝ අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ උවසුවකු කොට මා සලකත්වා. භවත් ගෞතමයෝ භික්‍ෂුසඞ්ඝයා සමග මට අනුග්‍රහය පිණිස වේරඤ්ජා නුවර වස් විසීම ද ඉවසත්වා”යි.
18. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් එය ඉවසූසේක. ඉක්බිති වේරඤ්ජ බමුණු තෙමේ බුදුරජානන් වහන්සේගේ ඒ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදුකුණු කොට ගියේය.
19. එකල්හි වේරඤ්ජා නුවර දුක සේ ලැබිය යුතු භික්‍ෂාව ඇත්තේය. ජීවිතයත් මරණයත් අතර පැවැති දෙ-අදහස් ඇත්තේ ය. තැන තැන විසුළ මිනීඇටවලින් යුක්ත ය. (නොහොත් ‘සේතට්ඨිකා’ නම් සස්‍යරෝගයෙන් යුක්ත ය.) කුසපත් බෙදා කරණ දිවිපැවැත්ම ඇත්තේ ය. (නොහොත් කූරු පමණක් ව හටගත් සස්‍ය ඇත්තේ ය.) පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නොවන තැනෙක් විය. එකල්හි උත්තරාපථයෙන් පැමිණි අස්වෙළෙන්දෝ පන්සියක් පමණ වූ අසුන් සමග වස් සාරමස විසීමට වේරඤ්ජාවට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අස්මඬුලුවල දී භික්‍ෂූන්ට යවහාල් පත පත පිහිටුවන ලද්දේ වෙයි. භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ වේරඤ්ජාවට පිඬු පිණිස පිවිස නො ලබන්නාහු අස්මඬුලුවල පිඬු සිඟා ඇවිද යවහාල් පත පත අරමට ගෙණවුත් වනෙහි ලා කොටා වළඳත්. ආයුෂ්මත් වූ ආනන්‍ද ස්ථවිර තෙමේ යවහාල්පතක් ගලෙහි ලා අඹරා (මී සකුරු යොදා) භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ එය වළඳනසේක.
20. භාග්‍යවතුන් වහන්සේ වනෙහි මොහොල් ගැටෙන හඬ ඇසූසේක. - තථාගතවරයෝ කරුණ දන්නාහු ද විචාරත්. දන්නාහු ද නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරයෝ වැඩ සහිත වූවක් ම විචාරත්. අවැඩ සහිතයෙක් නො විචාරත්. අනර්‍ත්‍ථ සහිත වචන විෂයයෙහි තථාගතවරයන්ගේ සේතුඝාතය (එබඳු වචන කීමෙහි සිත මාර්‍ගයෙන් නැසුනේ ම) වෙයි. භාග්‍යවත් බුදුවරු “දහම් හෝ දෙසන්නෙමු. සව්වන්ට සිකපද හෝ පණවන්නෙමු” යි දෙ කරුණෙකින් භික්‍ෂූන් පිළිවිසිත්. –
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූ සේක: “ආනන්‍දය, ඒ වනෙහි මොහොල් ගැටෙන හඬ කිමෙක් ද?”. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කෙළේය. “ආනන්‍ද ය, මැනැවි, මැනැවි. සත්පුරුෂ වූ තොප විසින් දුර්භික්‍ෂය ද ලෝභය ද දිනන ලදී. පශ්චිමජනතාව මස් හා හැල්සාල්බතට පවා අවමන් කරායි” වදාළ සේක.
21. ඉක්බිති ආයුෂ්මත් වූ මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් සැළ කළහ: “වහන්ස, දැන් වේරඤ්ජා නුවර දුක සේ ලැබිය යුතු වූ භික්‍ෂාව ඇත්තේ ය. ජීවිතය පිළිබඳ ව දෙඅතෙකින් පැවැති සැක ඇත්තේය. තැන තැන විසුළ මිනීඇට ඇත්තේ ය. (නොහොත් වැළඳුනු සේතට්ඨිකා නම් සස්‍යරෝගය ඇත්තේය.) ලහ බෙදීමෙන් දිවි පවත්වන්නක් වෙයි. පිඬු සිඟීමෙන් ජීවත් වන්නට පහසු නොවන්නක් වෙයි. වහන්ස, මේ පොළොවේ යට පෙදෙස මිහිරිරසයෙන් සමෘද්ධ වෙයි. පිලවුන් නැති මීවදයක් යම් සේ ද, එමෙන් රසවත් වෙයි. වහන්ස, භික්‍ෂූහු පෘථිවිරසය වළඳත්වා’ යි මම් පොළොව පෙරළන්නෙම් නම් මැනැවි” යනු යි.
“මුගලන, යම් ඒ පොළොව ඇසුරු කළ ප්‍රාණීහු වෙද්ද, ඔවුනට කුමක් කරන්නෙහි ද?”
“වහන්ස, මම් පොළොව පමණ මහත් වූ එක් අත්ලක් මවන්නෙමි. පොළොව ඇසුරු කළ ඒ ප්‍රාණීන් එයට මාරු කරන්නෙමි. අනික් අතින් පොළොව පෙරළන්නෙමි.”
“මුගලන, නුසුදුසු ය. පොළොව පෙරැළීම තොපට රුචි නො වේවා. සත්ත්‍වයෝ චිත්තවිපර්‍ය්‍යාසයට පවා පැමිණෙන්නාහු ය.”
“වහන්ස, සියලු භික්‍ෂුසඞ්ඝ තෙමේ උතුරුකුරු දිවයිනට පිඬු පිණිස යන්නේ නම් මැනැවි.”
“මුගලන, නුසුදුසු ය. උතුරුකුරුදිවයිනට සියලු භික්‍ෂුසඞ්ඝයාගේ යෑම තොපට රුචි නො වේවා.”
22. ඉක්බිති රහෝගත වූ, චිත්තවිවේකයෙන් යුත් වූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ වූ චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය. “කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?”
23. ඉක්බිති ආයුෂ්මත් වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ පස්වරුයෙහි පලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත් පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, මෙහි රහසිගත වූ චිත්තවිවේකයෙන් යුත් වූ මගේ සිතට මෙබඳු විතර්‍කයෙක් පහළ විය. “කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?” යනු යි.
24. “වහන්ස, මෙහි කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?”
“ශාරීපුත්‍රයිනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවැතුනෙක් නො වී ය. ශාරීපුත්‍රයිනි, කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ ද කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ද, ශාසනය වූ කලී බොහෝ කල් පැවැතුනෙක් වී” යැ යි වදාළ සේක.
25. “වහන්ස, යම් හේතුවෙකින් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවතුනෙක් නො වී නම්, එයට හේතු කවරේ ද? එයට ප්‍රත්‍යය කවරේ ද?”
26. “ශාරීපුත්‍රයෙනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ ද ශ්‍රාවකයන්ට විස්තරවශයෙන් ධර්‍මය දේශනා කරන්නට උත්සාහ රහිත වූහ. ඒ බුදුවරුන්ගේ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වේදල්ල ය යන නවාංග ශාස්තෘශාසනය ස්වල්ප ද විය. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද ද නො පණවන ලදී. ආණාපාතිමොක්ඛය නො උදෙසන ලදී.
27. ඒ භාග්‍යවත් වූ බුදුවරුන්ගේ පරිනිර්‍වාණයෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ ද පරිනිර්‍වාණයෙන් නානානාම ඇති, නානාගෝත්‍ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු ද, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළාහු ය. ශාරීපුත්‍රයෙනි, යම්සේ නන් වැදෑරුම් පුෂ්පජාතීහු මලස්නේ තැන්පත් කරණ ලද්දාහු හුයෙන් නොගොතන ලද්දාහු ද, යම් සේ ඒ මල් වාතය තෙමේ විසුරුවා ද, අන් තැනකට යවා ද, තුබූ තැනින් පහ කෙරේ ද, ඒ කවර හෙයින් ද? යත්: සුදුසු පරිදි ඒ මල් හුයින් නොගෙතුනු හෙයිනි. මෙ පරිද්දෙන් ම, ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ ශ්‍රාවකයන්ගේ අතැවැසි වූ නානානාමගෝත්‍ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළහ.
28. වැලි දු ඒ භාග්‍යවත් බුදුවරු තමන්ගේ සිතින් ශ්‍රාවකයන් සිත පිරිසිඳ දැන ශ්‍රාවකයන්ට අවවාද කරන්නට උත්සාහ සහිත වූහ. ශාරීපුත්‍රයෙනි, පෙර වූවක් කියමි: අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ බිහිසුණු වූ එක්තරා වනලැහැබක දී තමන්ගේ සිතින් ඒ මහණුන්ගේ සිත පිරිසිඳ දැන දහසක් මහණුන්ට ‘මෙසේ (නෙක්ඛම්මාදි) විතර්‍ක කරවු. (කාමාදි) විතර්‍ක නො කරවු. මෙසේ අනිත්‍යාදිවශයෙන් මෙනෙහි කරවු. නිත්‍යාදිවශයෙන් මෙනෙහි නො කරවු. අකුසල් වූ මෙය දුරු කරවු. කුසල් වූ මෙයට පැමිණ වාසය කරවු’යි අවවාද කරණ සේක, අනුශාසනා කරණ සේක. ඉක්බිති ශාරීපුත්‍රයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නා වූ මෙසේ අනුශාසනා කරණු ලබන්නා වූ ඒ දහසක් මහණුන්ගේ සිත් උපාදාන රහිත ව කාමාදි ආස්‍රවයන්ගෙන් මිදුනේය. - ශාරීපුත්‍රයෙනි, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ බිහිසුණු බව වෙයි: අවීතරාග වූ යමෙක් ඒ වන ලැහැබට පිවිසේ ද, බෙහෙවින් ඔහුගේ ලොමුදහගණී.-
29. යමක් හේතු කොට ගෙණ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පවත්නේ නො වී ද, ශාරීපුත්‍රයෙනි, මේ එයට හේතුව යි. මේ එයට ප්‍රත්‍යය යි.”
30. “වහන්ස, යමක් කරණ කොට ගෙණ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේත් කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේත් ශාසනය බොහෝ කල් පවත්නක් වී නම්, එයට හේතුව කිම? ප්‍රත්‍යය කිම?”
31. “ශාරීපුත්‍රයෙනි, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ද කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ද ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් දහම් දෙසන්නට උත්සාහවත් වූහ. ඒ බුදුවරුන්ගේ සූත්‍රදේශනා ද, ගාථා සහිත සූත්‍ර දේශනා ද, අභිධර්‍මපිටකය හා අන්‍ය අඞ්ග අටට අයත් නුවූ බුද්ධවචන ද, ගාථා දේශනා ද, සොම්නස්මුවා නුවණින් වදාළ දේශනා ද, ‘භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේකැ’යි දැක්වූ සූත්‍රාන්ත ද, ජාතකදේශනා ද, ආශ්චර්‍ය්‍යාද්භූතධර්‍මප්‍රතිසංයුක්ත සූත්‍රාන්ත ද, ප්‍රීතිය හා ඥානය ඇසුරු කළ සූත්‍රාන්ත ද යන නවාංග ශාස්තෘශාසනය බොහෝ විය. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන ලදී. පාමොක් උදෙසන ලදී.
32. ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පරිනිර්‍වාණයෙන්, ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පරිනිර්‍වාණයෙන්, ඒ සම්බුද්ධසම්මුඛ ශ්‍රාවකවරයන්ගේ අතැවැසි වූ, නන් වැදෑරුම් නම් ගොත් ඇති, නන් වැදෑරුම් ජාතියෙන් නන් වැදෑරුම් කුලයෙන් නික්ම පැවිදි වූ යම් ඒ පශ්චිම ශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය ඉතා දීර්‍ඝ කාලයක් තැබූහ. ශාරීපුත්‍රයෙනි, යම්සේ නන්වැදෑරුම් පුෂ්පයෝ මලස්නේ තැන්පත් කරණ ලද්දාහු හුයෙන් මනා ව බඳනා ලද්දාහු ද, වාතය තෙමේ ඔවුන් නො විසුරුවා ද, අන් තැනකට නො යවා ද, තුබූ තැනින් පහ නො කෙරේ ද, ඒ කවර හෙයින් ද? යත්: සුදුසු පරිදි ඒ මල් හුයින් ගෙතුනු හෙයිනි. මෙ පරිද්දෙන් ම ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවීමෙන්, ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන්, ඒ සම්මුඛශ්‍රාවකයන්ගේ අතැවැසි වූ, නානා නම් ගොත් ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් ඒ පශ්චිම ශ්‍රාවක කෙනෙක් වූවාහු ද, ඔහු ඒ ශාසනය බොහෝ දිගු කලක් තැබූහ.
33. ශාරීපුත්‍රයෙනි, යම් කරුණෙකින් කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේත්, කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේත්, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේත් ශාසනය දිගු කලක් පවත්නේ වී ද, මේ එයට හේතුව ය, මේ එයට ප්‍රත්‍යය ය” යි වදාළ සේක.
34. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පොරෝණය එකස් කොට පෙරෙව භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “භාග්‍යවතුන් වහන්ස, යම් හෙයෙකින් මේ ශාසනය දිගුකල් පවත්නක්, බොහෝ කල් පවත්නක් වන්නේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවන සේක්වා. පාමොක් උදෙසන සේක්වා. භාග්‍යවතුන් වහන්ස, මෙය එයට කල් වෙයි. සුගතයන් වහන්ස, මෙය එයට කල් වෙයි.”
35. “ශාරීපුත්‍රයෙනි, බලාපොරොත්තු වවු. ශාරීපුත්‍රයෙනි, බලාපොරොත්තු වවු. තථාගත තෙමේ ම එයට කල් දන්නේ ය. ශාරීපුත්‍රයෙනි, යම් තාක් මේ ශාසනයෙහි ආස්‍රවයන් ඉපද සිටීමට ආධාර වූ ඇතැම් ධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි නො පහළ වෙද්ද, ඒ තාක් ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන්ට සිකපද නො පණවයි, පාමොක් නො උදෙසයි. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක වනාහි මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙද්ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්‍රවස්ථානීය ධර්‍මයන් නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
36. ශාරීපුත්‍රයෙනි, සඞ්ඝ තෙමේ යම් තාක් චිරරාත්‍රයන්ගෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ චිරරාත්‍රයන්ගෙන් මහත්‍වයට පැමිණියේ වේ ද, මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙත් ද, එකල්හි ශාස්තෘ තෙමේ ඒ ආස්‍රවස්ථානීයධර්‍මයන් නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
37. ශාරීපුත්‍රයෙනි, සඞ්ඝ තෙමේ යම් තාක් ස්ථවිර මද්ධ්‍යම නවක වශයෙන් විපුලත්‍වයට මහත්ත්‍වයට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ විපුලත්‍වයට මහත්ත්‍වයට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. එකල්හි ශාස්තෘ තෙමේ එ ම ආස්‍රවස්ථානීය ධර්‍ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
38. ශාරීපුත්‍රයෙනි, යම් තාක් සඞ්ඝ තෙමේ ලාභයෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ ලාභයෙන් මහත්බවට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. ඉක්බිති ශාස්තෘ තෙමේ එ ම ආස්‍රවස්ථානීය ධර්‍ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
39. ශාරීපුත්‍රයෙනි, යම් තාක් සඞ්ඝ තෙමේ බහුශ්‍රැතියෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ බොහෝ උගත්බවට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. එකල්හි ශාස්තෘ තෙමේ එ ම ආස්‍රවස්ථානීය ධර්‍ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
40. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝ තෙමේ නිරර්බුද ය, නිදොස් ය, දුසිල් මහණුන්ගෙන් තොර ය, පිරිසුදු ය, සිල් ආදි සරුදහම්හි පිහිටියේ ය. ශාරීපුත්‍රයෙනි, මේ පන්සියක් මහණුන් අතුරෙන් යම් පැසුළු මහණෙක් වේ ද, හෙතෙමේ සෝවන් ය, අපායෙහි නො හෙනසුලු ය, නිවණට නියත ය, සම්බෝධිය ම පිහිට කොට ඇත්තේ ය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
41. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳතෙරුන් අමතා “ආනන්‍දය, බුදුවරු යම් කෙනෙකුන් විසින් නිමතන ලද්දාහු වස් වෙසෙද්ද, ඔවුන් නො විචාරා දනවු සැරිසැරීමට නො නික්මෙත් යන මෙය තථාගතයන්ගේ පුරුදු ධර්‍මතාවකි. ආනන්‍දය යමු. වේරඤ්ජ බ්‍රාහ්මණයාට දැනුම් දෙමු”යි වදාළ සේක. ආයුෂ්මත් ආනන්‍ද තෙමේ, “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි.
42. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙව පාසිවුරු ගෙණ ආයුෂ්මත් අනඳ තෙරහු පසුව ලා යන මහණහු කොට වේරඤ්ජ බමුණාගේ නිවෙසට එළැඹි සේක. එළඹ පැනවූ අසුන්හි වැඩ හුන් සේක.
43. එකල්හි වේරඤ්ජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත් පසෙක හුන් වේරඤ්ජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ “බමුණානෙනි, අපි තොප විසින් නිමතන ලද්දමෝ වස් වුසූමු. තොපට දන්වමු. දනවු සැරිසරන්නට අපි කැමැත්තෙමු” යි වදාළ සේක.
44. “භවත් ගෞතමයන් වහන්ස, සැබැව. මා විසින් නිමතන ලද්දහු වස් වුසූහු ය. එහෙත් යම් දෙයධර්‍මයක් වී නම්, එය නො දෙන ලද්දේ ය. හෙ ද වනාහි නැතිව නො වෙයි. නො දෙනු කැමැත්තෙක් ද නො වීය. ගෘහවාසයෝ බොහෝ කෘත්‍ය ඇත්තෝ ය. බොහෝ කටයුතු ඇත්තෝ ය. එහෙයින් එයට අවකාශයෙක් කොයින් ලැබේ ද? භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා සමග සෙට දවසට මාගේ දානය ඉවසන සේක්වා”යි හේ කී ය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් එය ඉවසූ සේක.
45. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයාට දැහැමි කථාවෙන් කරුණු දක්වා, ඔහු කුසල් දහම්හි සමාදන් කරවා, තියුණු කරවා, සතුටු කොට හුනස්නෙන් නැගී වැඩි සේක.
46. ඉක්බිති වේරඤ්ජ බ්‍රාහ්මණ තෙමේ එ රැය ඇවෑමෙන් සිය නිවෙසෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා, “භවත් ගෞතමයන් වහන්ස, කල් වෙයි. බත නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය.
47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ වේරඤ්ජ බ්‍රාහ්මණයාගේ නිවෙසට එළඹ පැණවූ අසුන්හි භික්‍ෂුසඞ්ඝයා සමග වැඩහුන් සේක. ඉක්බිති වේරඤ්ජබ්‍රාහ්මණ තෙමේ ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් බුදුපාමොක් මහසඟන සියතින් වළඳවා පවරවා, වළඳා නිමවූ, පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ තුන්සිවුරෙන් පිදී ය. එක් එක් භික්‍ෂුනමක් එක් එක් වස්ත්‍රයුග්මයෙන් පිදී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බමුණාට දැහැමි කථාවෙන් කරුණු දක්වා, ඔහු කුසල් දහම්හි සමාදන් කරවා, තියුණු කරවා, පහන් කොට හුනස්නෙන් නැගී වැඩි සේක.
48. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජාවෙහි රිසි තාක් වැස සොරෙය්‍ය, සඞ්කස්ස, කාන්‍යකුබ්ජ යන නගරයන්ට නො පැමිණ ප්‍රයාගප්‍රතිෂ්ඨානයට එළඹි සේක. එළඹ ප්‍රයාගප්‍රතිෂ්ඨානයෙහි දී ගඞ්ගා නදිය තරණය කොට බරණැසට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස රිසි තාක් වැස විසල්පුර බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරණ සේක්, විසල්පුර යම් තැනෙක ද එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වෙසෙන සේක.
වේරඤ්ජ බණවර නිමියේ ය.
පාරාජිකකාණ්ඩය
[එහි (විනයෙහි) මේ පාරාජික ධර්‍මයෝ සිව් දෙන උදෙසීමට පැමිණෙත්.]
ප්‍රථමපාරාජිකය
සුදින්න බණවර
1. එසමයෙහි විසල්පුර අසල කලන්‍දගාම නම් ගමෙක් වෙයි. එහි කලන්‍ද සිටුහුගේ පුත් වූ සුදින්න නම් සිටුපුතෙක් වෙයි. ඉක්බිති කලන්‍දසිටුපුත් වූ සුදින්න තෙමේ බොහෝ යහළුවන් සමග කිසි යම් කටයුත්තෙකින් විසල්පුරයට පැමිණියේ ය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවැරුණ සේක් දහම් දෙසමින් වැඩහුන් සේක.
2. කලන්‍ද සිටුපුත් තෙමේ මහපිරිසෙන් පිරිවරණ ලදු ව දහම් දෙසමින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක ඔහුට “ඉදින් මම ද බණ අසන්නෙම් නම් යෙහෙකැ”යි මෙබඳු සිතෙක් විය. ඉක්බිති සුදින්න සිටුපුත් තෙමේ ඒ පිරිස වෙත පැමිණ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සුදින්නහට මෙබඳු සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය යම් යම් සේ මම දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය හැසිරෙන්නට සුකර නො වේ. ඉදින් මම කෙස්රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නෙම් නම් මැනැව” යනුයි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද, කුසල් දහම්හි යොදවන ලද, තියුණු කරණ ලද, පහන් කරණ ලද ඒ පිරිස හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
4. ඉක්බිති සුදින්න නම් වූ කලන්‍දපුත් තෙමේ ඒ පිරිස නැගිට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුදින්න කලන්‍දපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය මම යම්සේ දනිම් ද, ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය හැසිරෙන්නට සුකර නො වේ. වහන්ස, මම් කෙස් රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණ සේක්වා” යනු යි.
“සුදින්නය, ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් තෝ අනුදන්නා ලද්දෙහි ද?”
“වහන්ස, ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් මම නො අනුදන්නා ලද්දෙම් වෙමි.”
“සුදින්නය, තථාගතවරයෝ මව්පියන් විසින් නොඅනුදත් කුලදරුවා පැවිදි නො කෙරෙත්.”
“වහන්ස, ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට යම්සේ අනුදන්නාහු ද, මම් එසේ කරන්නෙමි.”
5. ඉක්බිති කලන්‍ද සිටු පුත් වූ සුදින්න තෙමේ විසල්පුරයෙහි ඒ කටයුතු දැය අවසන් කොට කලන්‍දගම මව්පියන් වෙත ගියේ ය. ගොස් මව්පියන්ට “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය මම යම් යම් ලෙසෙකින් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම් කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මට අවසර දෙන්නැ”යි මෙය කීය. මෙසේ කී කල්හි සුදින්න කලන්‍ද පුතුගේ මව්පියෝ සුදින්න කලන්‍ද පුත්හට “දරුව, සුදින්නය, තෝ අපගේ ප්‍රිය වූ මනාප වූ සුව සේ වැඩුනු, සුව සේ පෝෂණය කරණ ලද, එක ම පුත්‍ර වෙහි. දරුව, සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. අපි තාගේ මරණයෙනුදු නොකැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු දැ?” යි මෙය කීහ.
6. දෙවෙනු ද ... තෙවෙනු ද ... කලන්‍ද පුත් වූ සුදින්න තෙමේ මව්පියන්ට “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය මම යම් සේ දනිම් ද, ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මට අවසර දෙන්නැ”යි මෙය කී ය. තෙවෙනු ද කලන්‍ද පුත් සුදින්නගේ මව්පියෝ කලන්‍ද පුත් සුදින්නහට “දරුව, සුදින්නය, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මන වඩන, සුව සේ වැඩුනු, සුවසේ පෝෂිත වූ, එක ම පුත්‍ර වෙහි. දරු, සුදින්න, තෝ කිසි දුකක් නො දන්නෙහි. තාගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු දැ?” යි මෙය කීහ.
7. ඉක්බිති කලන්‍ද පුත් සුදින්න තෙමේ “ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට නො ම අනුදනිත්. මෙහි ම මගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේ ය”යි එහි ම කිසිවක් නො අතුළ බිමෙහි හොත්තේ ය. ඉක්බිති කලන්‍දපුත් සුදින්න තෙමේ එක් බතක් ද නො වැළඳීය. බත් දෙකක් ද නො වැළඳී ය. බත් තුණක් ද නො වැළඳී ය. බත් සතරක් ද නො වැළඳී ය. බත් පසක් ද නො වැළඳී ය. බත් සයක් ද නො වැළඳී ය. බත් සතක් ද නො වැළඳී ය. (සත් දිනක් ම නො වැළඳීය යනු භාවයි.)
8. ඉක්බිති කලන්‍දපුත් සුදින්නගේ මවුපියෝ කලන්‍දපුත් සුදින්න හට “දරු, සුදින්න, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මන වඩන්නා වූ, සුවසේ වැඩුනු, සුව සේ පෝෂණය කරණ ලද, එක ම පුත්‍ර වෙහි. දරුව සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. තාගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස අපි අනුදනිමු ද? දරුව, සුදින්නය, නැගිටුව. අනුභව ද කරව. පානය ද කරව. ඉඳුරන් ද පිණවව. කමින් බොමින් ඉඳුරන් පිණවමින් පස්කම් සුව විඳිමින් පින් කරමින් ගිහිසුව විඳුව. ගිහිගෙන් නික්ම සසුන් වදිනට අපි තට නො ම අනුදනිමු” යි මෙය කීහ. මෙසේ කී කල්හි කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ වි ය. දෙවෙනුත් ... තෙවෙනුත් කලන්‍දපුත් සුදින්නගේ මවුපියෝ කලන්‍දපුත් සුදින්න හට “දරුව, සුදින්නය, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මනාප වූ, සුවසේ වැඩුනා වූ සුව සේ පෝෂිත වූ එක ම පුත්‍ වෙහි. දරුව, සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. අපි තාගේ මරණයෙනුදු නො කැමැත්තමෝ වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු ද? දරුව, සුදින්නය, නැගිටුව, කව, බොව. ඉඳුරන් පිණවව. කමින් බොමින් ඉඳුරන් පිණවමින් පස්කම්සුව විඳිමින් පින් කරමින් (ගිහිගෙහි) සිත් අලවව. අපි තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අවසර නො දෙමු” යි මෙය කීහ. තෙවනුත් කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ වි ය.
9. ඉක්බිති කලන්‍දපුත් සුදින්නගේ යහළුවෝ කලන්‍දපුත් සුදින්න වෙත පැමිණියාහු ය. පැමිණ කලන්‍දපුත් සුදින්නහට “යහළු සුදින්නය, තෝ වනාහි මවුපියන්ගේ ප්‍රිය වූ මනාප වූ සුවසේ වැඩුනා වූ, සුව සේ පෝෂිත වූ, එක ම පුත් වෙහි ය. යහළු සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. තාගේ මරණයෙනුදු මවුපියෝ නො කැමැත්තමෝ ම වෙන් වන්නාහ. කිම, ඔහු ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නාහු ද? යහළු සුදින්නය, නැගිටින්න. කන්න. බොන්න. ඉඳුරන් පිණවන්න. කමින් බොමින් ඉඳුරන් පිණවමින් කම් සුව විඳිමින් පින් කරමින් ගිහිගෙහි සිත් අලවන්න. මව්පියෝ තොපට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට නො අනුදන්නාහ” යි මෙය කීහ. මෙසේ කී කල්හි කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ විය. දෙවෙනුත් ... තෙවෙනුත් කලන්‍දපුත් සුදින්නගේ යහළුවෝ කලන්‍දපුත් සුදින්නහට මෙය කීහු: “යහළු සුදින්නය, තෝ වනාහි ...” තෙවෙනුත් කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ විය.
10. ඉක්බිති කලන්‍දපුත්‍ර වූ සුදින්නගේ යහළුවෝ කලන්‍දපුත්‍ර සුදින්නගේ මාපියන් වෙත එළඹියාහු ය. එළඹ කලන්‍දපුත්‍ර සුදින්නගේ මාපියන්ට මෙය කීහු: “මෑනියනි, පියාණෙනි, තෙල සුදින්න තෙමේ ‘මෙහි ම මාගේ මරණය හෝ පැවිද්ද වන්නේ ය’ යි කිසිවක් නො අතුළ බිමෙහි හොත්තේ වෙයි. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම සසුන් වදින්නට සුදින්නට අවසර නො දෙන්නහු නම්, එහි ම මරණය පැමිණෙන්නේ ය. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අවසර දෙන්නහු නම්, පැවිදි වූ ඔහු දක්නහු ය. ඉදින් සුදින්න තෙමේ ගිහිගෙන් නික්ම සසුන් වැදී පැවිද්දෙහි සිත් නො අලවන්නේ නම්, ඔහුගේ කිනම් අනෙක් ගතියෙක් වන්නේ ද? මෙහි ම පෙරළා එන්නේ ය. ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අනුදනිවු” යි. “දරුවෙනි, ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අනුදනිමු” යි. ඉක්බිති කලන්‍දපුත්‍ර සුදින්නගේ යහළුවෝ කලන්‍දපුත්‍ර සුදින්න වෙත එළඹියාහු ය. එළඹ කලන්‍දපුත්‍ර සුදින්නහට මෙය කීහු: “යහළු සුදින්නයෙනි, නැගිටින්න, මාපියන් විසින් ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නා ලද්දාහු ය” යි.
11. ඉක්බිති කලන්‍දපුත්‍ර සුදින්න තෙමේ “මාපියන් විසින් ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නා ලද්දෙම් වෙමි”යි සතුටු වූයේ ඔදවැඩි සිත් ඇත්තේ, අතින් සිරුර පිරිමදිමින් නැගී සිටියේ ය. ඉක්බිති කලන්‍දපුත්‍ර සුදින්න තෙමේ කීපදවසක් මුළුල්ලෙහි කය බල ගන්වා බුදුරදුන් වෙත එළැඹියේ ය. එළඹ බුදුරදුන් වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ කලන්‍දපුත්‍ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “වහන්ස, මම ගිහිගෙන් නික්ම සසුන් වැදීමට මාපියන් විසින් අනුදන්නා ලද්දෙම් වෙමි. භාග්‍යවතුන්වහන්සේ මා පැවිදි කරණ සේක්වා”යි. කලන්‍දපුත්‍ර වූ සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබී ය. උපසම්පදාව ලැබී ය. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් සුදින්න තෙමේ මෙබඳු ධුතගුණයන් සමාදන් ව වෙසෙයි: අරණෙහි වසන්නෙක් වෙයි. පිණ්ඩපාතිකයෙක් වෙයි. පසුල්සිවුරු දරන්නෙක් වෙයි. ගෙපිළිවෙලින් පිඬු සිඟන්නෙක් වෙයි. එක්තරා වැදෑගමක් ඇසුරු කොට වාසය කෙරෙයි.
12. එකල වැදෑරට දුක සේ ලැබිය යුතු භික්‍ෂාව ඇත්තේ වෙයි. දෙපරිද්දෙකින් පැවැති අදහස් ඇත්තක් වෙයි. තන්හි තන්හි විසුරුණු මිනීඇට ඇත්තක් වෙයි. නොහොත් සේතට්ඨිකානම් සස්‍යරෝගය ඇත්තක් වෙයි. කුසපත්නියමයෙන් ජීවිකාවෘත්තිය පවත්වන්නක් වෙයි. නොහොත් ඉරටු පමණක් ව හටගත් සස්‍ය ඇත්තක් වෙයි. පාත්‍රය ගෙන භික්‍ෂාවෙහි හැසිරීමෙන් ජීවත් වන්නට පහසු නො වන්නක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නහට මේ සිත විය: “දැන් වනාහි වැදෑරට දුක සේ ලැබිය හැකි භික්‍ෂාව ඇත්තකි. දෙපරිද්දෙන් පැවති අදහස් ඇත්තකි. තන්හි තන්හි විසුරුණු මිනීඇට ඇත්තකි නොහොත් සේතට්ඨිකා නම් රෝගය ඇත්තකි. කුසපත්නියමයෙන් ජීවිකාවෘත්තිය පවත්වන්නකි නොහොත් ඉරටු පමණක් ව හටගත් සස්‍ය ඇත්තකි. පාත්‍රය ගෙණ භික්‍ෂාවෙහි හැසිරීමෙන් ජීවත් වන්නට පහසු නො වන්නකි. විසල්පුරයෙහි (උපභෝග පරිභෝගයන්ගෙන්) ආඪ්‍ය වූ නිදන්ගත මහත් ධනය ඇති, දින පතා වියදම් වන මහත් භෝග ඇති, බොහෝ වූ රන්රිදී ඇති, සතුටු උපදවන බොහෝ අලඞ්කාරෝපකරණ ඇති, ගණුදෙනුවට යෝග්‍ය වූ බොහෝ ධනධාන්‍යයන් ඇති මාගේ ඥාතීහු බොහෝ වෙත්. මම නෑයන් ඇසුරු කොට වාසය කරන්නෙම් නම්, ඉතා මැනැවි. නෑයෝ මා නිසා දන් දෙත්. පින් කරත්. භික්‍ෂුහු ද ලාබ ලබත්. මම ද ආහාරයෙන් ක්ලාන්ත නො වෙමි” යි.
13. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ සෙනසුන තැන්පත් කොට පා සිවුරු ගෙන විසල්පුරය බලා ගියේ ය. පිළිවෙළින් ගොස් විසල්පුරයට පැමිණියේ ය. එකල්හි ආයුෂ්මත් සුදින්න තෙමේ විසල්පුර මහවනයෙහි වෙසෙයි. ආයුෂ්මත් වූ සුදින්නගේ නෑයෝ “කලන්‍ද පුත් සුදින්න තෙමේ විසල් පුරයට පැමිණියේ ල” යි ඇසූහ. ඔහු ආයුෂ්මත් සුදින්නට බත්සැළි සැටක් එළැවූහ. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ බත්සැළි සැට භික්‍ෂූන්ට දී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කලන්‍දසිටුගමෙහි පිඬු පිණිස හැසිරෙන්නේ සිය පියාගේ නිවෙසට පැමිණියේ ය.
14. එකල්හි ආයුෂ්මත් සුදින්නගේ නෑදැස්සක් පිළුනු වූ කොමු පිඩුවක් ඉවත ලනු කැමැත්තී වෙයි. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ නෑදැස්සට මෙය කී: “ඉදින් නැගනියෙනි, එය ඉවත දැමිය යුත්තක් නම් මෙහි මාගේ පාත්‍රයෙහි බහාලනු මැනැවි”යි. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ නෑදැස්ස ඒ පිළුනු කොමුපිඩුව ආයුෂ්මත් සුදින්නගේ පාත්‍රයෙහි බහන්නී අත්වල ද පාවල ද ස්වරයෙහි ද නිමිති ගත්තා ය. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ නෑදැස්ස ආයුෂ්මත් වූ සුදින්නගේ මවු වෙත එළඹියාය ය. එළඹ ආයුෂ්මත් සුදින්නගේ මවට මෙය කිවූය: “ආර්‍ය්‍යාවෙනි, දන්නෙහි ද? ආර්‍ය්‍ය පුත්‍ර වූ සුදින්න තෙමේ පැමිණියේ ය” යි. “එම්බල දාසිය, ඉදින් තෝ සත්‍යයක් කීයෙහි නම්, තී නොදැස්සක් කරමි”යි.
15. එකල්හි ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ පිළුනු වූ කොමුපිඩුව එක් ගෙබිත්තියක් ලඟ හිඳ වළඳයි. ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ද කර්‍මාන්ත ස්ථානයෙන් පෙරළා එන්නේ ඒ පිළුනු වූ කොමුපිඩුව එක් ගෙබිත්තියක් ලඟ හිඳ වළඳන්නා වූ ආයුෂ්මත් සුදින්න දිටී ය. දැක ආයුෂ්මත් සුදින්න වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “දරුව සුදින්නයෙනි, රෑලැගි කොමු පිඩුව වළඳවු ද, (අත්‍ථි නාම =) තොප කෙරෙහි ශ්‍රමණගුණ විශේෂයක් ඇත් ම ය;{1} දරුව සුදින්නය, සියගෙට යා යුතු නො වේ ද?”. “ගැහැවිය, ඔබගේ ගෙට ගියෙමු. මේ පිළුනු කොම පිඩුව ඒ ඔබගේ ගෙයින් ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ බාහුව ගෙණ ආයුෂ්මත් සුදින්නට මෙය කීය: “දරුව, සුදින්නය, එව. ගෙට යමු” යි. පසු ව ආයුෂ්මත් සුදින්න තෙමේ සිය පියාගේ ගෙට ගියේ ය. ගොස් පණවන ලද අස්නෙහි හුනි. ඉන් පසු ආයුෂ්මත් වූ සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් වූ සුදින්නට “දරුව, සුදින්නය, අනුභව කරව” යි මෙය කී ය. “ගැහැවිය, කම් නැත. අද බත්කිස නිමවන ලදී” යි සුදින්න භික්‍ෂු තෙමේ කීය. “දරුව සුදින්න හෙට සඳහා බත ඉවසන්නැ” යි (පියතුමා) කීවේය. ආයුෂ්මත් සුදින්න තෙමේ නිශ්ශබ්දභාවයෙන් ඉවසූ සේක. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ හුනස්නෙන් නැගිට වැඩිසේක.
16. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ මවු තොමෝ එ රැය ඇවෑමෙන් අමුගොමින් බිම පිරිබඩ දී කහවණුවලින් එකක් ද රනින් එකක් දැ යි ගොඩවල් දෙකක් කරවී ය. මොබ සිටි පුරුෂතෙමේ ඔබ සිටි පුරුෂයා නො දකීද, ඔබ සිටි පුරුෂ තෙමේ මොබ සිටි පුරුෂයා නො දකීද, ඒ සා මහත් ගොඩවල් වූහ. ඒ ගොඩවල් කළාලවලින් වසා මැද අසුනක් පණවා තිරයකින් වට කොට ආයුෂ්මත් සුදින්නගේ පැරණි දෙවැන්නිය (= අඹුව) අමතා, “ලෙහෙළිය, යම් අලඞ්කාරයකින් සැරසුනා වූ තී මා පුත් සුදින්නට ප්‍රිය වූවා ද, මනාප වූවා ද, ඒ අලඞ්කාරයෙන් සැරසෙව” යි කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ආයුෂ්මත් සුදින්නගේ පැරණි අඹුව ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් දුන්නී ය.
17. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පෙරබත්කල හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සිය පිය නිවෙස වෙත එළඹියේ ය. එළඹ පැණවූ අස්නෙහි හුන්නේ ය. ඉන්පසු ආයුෂ්මත් සුදින්නගේ පියතෙමේ ආයුෂ්මත් සුදින්න වෙත එළඹියේ ය. එළඹ ඒ රන්රුවන් ගොඩවල් වැසුම් හරවා ආයුෂ්මත් සුදින්නට මෙය කී: “දරුව, සුදින්නය, මේ මිත්තනියන් විසින් ඔබගේ මවට දෛනික පරිභෝග වූ නානසුණු ආදිය ගැණීම පිණිස දුන් ධනය වෙයි. පියාට අයත් ධනය මෙයින් අන්‍ය ය. මුත්තනුවන්ගේ ධනය මෙයින් අන්‍ය ය. දරුව සුදින්නය, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. දරුව සුදින්නය, එව. තෝ ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” යනු යි. “පියාණෙනි, නො හෙමි. නො හැකියෙමි. මම් සස්නෙහි ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි. දෙවනුවත් ... තෙවෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියතෙමේ ආයුෂ්මත් සුදින්නහට මෙය කී ය: “දරුව සුදින්නය, මේ මිත්තනියන් විසින් ඔබගේ මවට දෛනික පරිභෝය පිණිස දුන් ධනය වෙයි. පියාට අයත් ධනය මෙයින් අන්‍ය ය. මුත්තනුවන්ගේ ධනය ද මෙයින් අන්‍ය ය. දරුව සුදින්නය, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. දරුව සුදින්නය, එව, තෝ ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” කියා යි. “ඉදින් ගැහැවිය, ඔබ නොකිපෙන්නහු නම්, එයට කිව යුතු දෙය කියමු” යි. “පුත සුදින්නය, කියව” යි ගැහැවි කී ය. “එසෙ වී නම් ගැහැවිය, ඔබ මහත් මහත් ගෝණිමලු කරවා, කහවණුවලින් හා රනින් පුරවා, ගැල්වලින් අදවා, ගඟ මැද සැඩ දියපහරෙහි කිඳවා ලන්න. ඒ කවර හෙයින් ද? ගැහැවිය, ඔබට එය හේතු කොට ගෙණ යම්බඳු බියක් හෝ ලය සැලීමෙක් හෝ ලොමුදහ ගැණීමක් හෝ රැක ගැණීමක් හෝ වේ ද, එය ඔබට නොවන්නේය” යි සුදින්න භික්‍ෂු කී ය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ “කෙසේ නම් මා පුත් සුදින්න තෙමේ මෙසේ කියන්නේ දැ?”යි නොසතුටු සිත් ඇත්තේ විය.
18. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව ඇමතී ය: “එසේ වී නම් ලෙහෙළිය, තෝ ද යාච්ඤා කරව. පුත් වූ සුදින්න තෙමේ තිගේ වචනය වත් කරන්නේ නම් ඉතා මැනැවි”යි කී ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ පා අල්ලාගෙන ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “ආර්‍ය්‍යපුත්‍රයෙනි, ඔබ යම්බඳු වූ දෙවඟනන් ලැබීම පිණිස බඹසර හැසිරෙත් නම්, ඒ දෙවඟනෝ කෙබඳු දැ”යි ඇසුවා ය. “නැගනියෙනි, මම දෙවඟනන් හේතු කොට ගෙණ බඹසර නො හැසිරෙමි”යි හේ කී ය.
19. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආර්‍ය්‍යපුත්‍ර වූ සුදින්න තෙමේ “අද පටන් මට භගිනිවාදයෙන් කථා කෙරේ ය”යි සිහි නැති ව එහි ම වැටුනී ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්න තෙමේ “ඉදින් ගැහැවිය දිය යුතු ආහාරයක් වේ නම්, දෙනු මැනැවි. අප නො වෙහෙසන්නැ”යි පියාට කී ය. “පුත සුදින්නය, වළඳනු මැනැවි” යි ගැහැවි කීය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු ද පියා ද ආයුෂ්මත් සුදින්නට ප්‍රණීත වූ කෑ යුතු දැය ද බිදිය යුතු දැය ද සියතින් වැළඳවූහ, පැවැරවූහ. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ වළඳා අවසන් කළ, පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍ය ය. මහද්ධන ඇත්තක. මහද් භෝග ඇත්තක. බොහෝ රන් රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. පුත සුදින්න, ගිහි බවට පැමිණ භෝග අනුභව කරන්ට ද පින් කරන්ට ද හැකි ය. පුත සුදින්න. එව, තෝ ගිහි බවට පැමිණ භෝග ද අනුභව කරව. පින් ද කරව” කියා යි. “මෑනියනි, නො හෙමි. නො හැක්කෙමි. මම ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි සුදින්න භික්‍ෂු කී ය. දෙවනුවත් ... තෙවනුවත් ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නහට මෙය කීය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද්ධන ඇත්තක. මහාභෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. එහෙයින් පුත සුදින්න, (කුලවංශය ආරක්‍ෂා කර ගැණීමට) බීජයක් (පුතෙකු) දෙව. අපගේ දරුවන් නොමැති වස්තුව ලිච්ඡවීහු ගෙන්වා නො ගණිත්වා”යනු යි. “මෑනියනි, මෙය මට කරන්නට හැකි ය”යි සුදින්න කී ය. “පුත සුදින්න, මෙ කල කොහි වෙසෙහි දැ?”යි මවු ඇසුවා ය. “මෑනියනි, මහවනයෙහියැ”යි සුදින්නභික්‍ෂු තෙමේ කී ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ අස්නෙන් නැගිට ගියේ ය.
20. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව බණවා “එසේ වී නමි ලේළිය, යම් දවසක ඍතුමතී වෙහි ද, තිට මල්වර වේ ද, එකල්හි මට දන්වව” යි කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එස් යැ”යි කියා ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් දුන්නී ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ නොබෝ දවසකින් ම ඍතුමතී වූවා ය. ඇයට මල්වර උපන. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට “ආර්‍ය්‍යාවෙනි, උතුනියක් වෙමි. මට ඔසප් ලෙය උපනැ”යි මෙය කීවා ය. “එසේ වී නම් ලේළිය, යම් අලඞ්කාරයකින් සැරසුනී පුත් වූ සුදින්නහට ප්‍රියමනාප වූ ද, ඒ අලඞ්කාරයෙන් සැරසෙව”යි ඕ කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය”යි ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් ඇස්වූ ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව කැඳවාගෙණ මහවනයෙහි ආයුෂ්මත් සුදින්න වෙත එළඹියා ය. එළඹ ආයුෂ්මත් සුදින්නහට මෙය කිවු ය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද්ධන ඇත්තක. මහද්භෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. පුත සුදින්න, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. පුත සුදින්න, එව. තො ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” යනු යි. “මෑනියනි, නො හෙමි. නො හැකියෙමි. මම ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි හේ කී ය. දෙවනුත් ... තෙවනුත් ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නහට මෙය කීවාය: “පුත, සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද් ධන ඇත්තක. මහද් භෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධන ධාන්‍ය ඇත්තක. එහෙයින් පුත සුදින්නය, බීජයක් (පුතකු) දෙව. අපුත්‍රක වූ ධනය ලිච්ඡවීහු හැර නො ගණිත්වා” යනු යි.
21. “මෑනියනි, මෙය නම් මට කරන්නට හැකි” යි හෙතෙම ගිහි කල අඹුවගේ අත අල්ලා ගෙණ මහවනයට බැස ගෙණ, සිකපද නො පැණවූ කල්හි ආදීනව නො දක්නේ ගිහිකල අඹුව සමග තෙවරක් මෙවුන්දම් සෙවී ය. ඕ එයින් ගැබ් ගත්තී ය.
“පින්වත්නි, ඒකාන්තයෙන් ම භික්‍ෂුසඞ්ඝ තෙමේ නො කැලැල් ය. නිදොස් ය. කලන්‍දසිටු පුත් වූ සුදින්න විසින් අර්බුදයක් උපදවන ලදී. ආදීනවයක් උපදවන ලදැ” යි බූමාටු දෙවියෝ උද්ඝෝෂණය කළාහු ය. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ උද්ඝෝෂණය කළාහු ය. ... තව්තිසා වැසි දෙවියෝ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ … නිම්මානරති දෙවියෝ ... පරනිර්මිත වශවර්ති දෙවියෝ ... බඹලොව වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් භික්‍ෂුසඞ්ඝ තෙමේ නො කැලැල් ය. නිදොස් ය. කලන්‍දසිටු පුත් සුදින්න විසින් අර්බුදයක් උපදවන ලදී. ආදීනවයක් උපදවන ලදැ” යි උද්ඝෝෂණය කළාහු ය. මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි ඝෝෂය බඹලොව තෙක් පැන නැගුනේ ය.
22. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුතොමෝ ඒ ගබ මිහිකිරීමට පැමිණ පුතකු වැදුවා ය. එකල්හි ආයුෂ්මත් වූ සුදින්නගේ යහළුවෝ ඒ දරුහට ‘බීජක ය’ යි නම් කළාහු ය. ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුවට ‘බීජකමාතෘ ය’ යි නම් කළාහු ය. ආයුෂ්මත් සුදින්නහට ‘බීජකපිතෘ ය’ යි නම් කළාහු ය. ඔහු (මාතෘපුත්‍ර) දෙදෙන පසු කාලයෙහි ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වී රහත්බව ලැබූහ.
23. ඉක්බිති ආයුෂ්මත් සුදින්නහට “යම් ඒ මම මෙසේ මනා කොට දේශනා කරණ ලද ධර්‍මවිනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වීම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෝ ය. ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙත්. මා විසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමක් ය. යහපත් ලැබීමක් නො වේ”යි පසුතැවිලි ඇති විය. විපිළිසර ඇති විය. හෙතෙමේ ඒ කුකුසෙන් ඒ විපිළිසරින් කෘශ වූයේ රළු වූයේ දුර්වර්‍ණ වූයේ පඬුවන් පැහැ ඇති වූයේ නහර ඉල්පී ගිය සිරුරු ඇත්තේ, සැඟවුනු හැකුළුණු සිත් ඇත්තේ දුක් ඇත්තේ නො සතුටු සිත් ඇත්තේ විපිළිසර වූයේ සිතිවිල්ලට වැටුනේ විය.
24. එකල්හි ආයුෂ්මත් සුදින්නගේ යහළු භික්‍ෂුහු ආයුෂ්මත් සුදින්න හට මෙය කීවාහු ය: “ඇවැත් සුදින්න ය, පෙර තෝ පැහැපත් වූයෙහි ය. පිණා ගිය ඉඳුරන් ඇත්තෙහි ය. පහන් වූ මුව පැහැය ඇත්තෙහි ය. ඉතා ප්‍රසන්න වූ ඡවිවර්‍ණ ඇත්තෙහි ය. ඒ තෝ දැන් වනාහි කෘශ වූයෙහි රළු වූයෙහි දුර්වර්‍ණ වූයෙහි පඬුවන් පැහැ ඇති වූයෙහි නහර ඉල්පී ගිය සිරුරු ඇත්තෙහි සැඟවුනු සිත් ඇත්තෙහි හැකිළුනු සිත් ඇත්තෙහි දුක් ඇත්තෙහි නො සතුටු සිත් ඇත්තෙහි විපිළිසර වූයෙහි ඒ ඒ දෑ සිතන්නට පටන් ගත්තෙහි ය. කිම ඇවැත් සුදින්න, තෝ නො ඇලුනෙහි බඹසර හැසිරෙහි ද?”. “ඇවැත්නි, මම නො ඇලුනෙම් බඹසර නො හැසිරෙමි. මා විසින්කළ පව්කමක් ඇත. පොරණඅඹුව හා මෙවුන්දම් සෙවුනා ලද්දේ ය. ‘ඇවැත්නි, යම් ඒ මම මෙසේ මනා කොට දේශනා කරණ ලද ධර්‍මවිනයෙහි පැවිදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වීමි ද, ඒ මට අලාභයෝ ය. ඒකාන්තයෙන් ලාභයෝ නො වෙත්. මවිසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමකි, එකැතින් මට යහපත් ලැබීමක් නො වෙයි, පසුතැවිලි ඇති විය. විපිළිසර ඇති විය” යි සුදින්න මහණ කී ය. එ විට ඒ මහණහු මෙසේ කීහ:
25. “ඇවැත් සුදින්න, යම් හෙයකින් තෝ මෙසේ මැනැවින් දෙසූ ධර්‍ම විනයයෙහි පැවිදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? තාගේ කුකුසට එය සෑහේ. විපිළිසරට සෑහේ.
26. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් සරාගය පිණිස නොව විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? (නො ඇලීම පිණිස දෙසන ලදී. ඇලීම පිණිස නො වෙයි.) ක්ලේශයන්ගෙන් වෙන් ව විසීම පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? කෙලෙසුන් හා නො යෙදීම පිණිස ධර්‍මය දෙසන ලද්දේ නො වේ ද? තෘෂ්ණාවශයෙන් දැඩි කොට නො ගැණීම පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? තෘෂ්ණා වශයෙන් දැඩි කොට ගැණීම පිණිස නො දෙසන ලද්දේ නො වේ ද?
27. එහි ඇවැත්නි, තෝ භාග්‍යවතුන් වහන්සේ විසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද කල්හි රාගය හා පවත්නා මෙවුන්දම් සෙවීම පිණිස උත්සාහ කෙළෙහි ය. විසංයෝගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද කල්හි සංයෝගය පිණිස උත්සාහ කෙළෙහි ය. අනුපාදානය පිණිස ධර්‍මය දේශනා කරණ ලද කල්හි සඋපාදානය පිණිස උත්සාහ කෙළෙහි ය.
28. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මදාදිය දුරු කිරීම පිණිස කාම පිපාසාදීන්ගේ දුර ලීම පිණිස, පඤ්චකාමාලය මුලින් ම සිඳීම පිණිස සංසාරයේ මුල් සිඳීම පිණිස, තෘෂ්ණාක්‍ෂයය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, නිවණ පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නොවේ ද?