Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 501-600 න් 2612

[දෙවන පැණවීමයි.]
8. යො පන යි යම්බඳු වූ යමෙක් ... භික්ඛු යි ... (ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසපන් වූයේ ද,) මේ තෙමේ මේ කරුණෙහි භික්ඛු යයි අදහස් කරන ලදි.
සඤ්චිච්ච යි ප්‍රාණියෙකැ යි දන්නේ, දිවියෙන් තොර කරමි යී දන්නේ, වධයට සිතා, නිසැකසිත මෙහෙයවා, ව්‍යතික්‍රම (ක්‍රියාවෙහි යෙදීම) කරන්නේ ය.
මනුස්සවිග්ගහ නම්: මවුකුසෙහි දී පළමු යම් සිතක් උපන්නේ ද, ප්‍රථම විඥානය පහළ වී ද, මරණය දක්වා මේ අතරෙහි පැවති මේ තෙමේ මනුස්සවිග්ගහ නමි.
ජිවිතා වෝරෝපෙය්‍ය යි රූපාරූප ජීවිතේන්‍ද්‍රිය සිඳියි. වළක්වයි. සන්තතිය වෙන් කරයි.
සන්‍ථහාරකං වාස්ස පරියෙසෙය්‍ය යි කඩුවක් හෝ අඩයටියක් හෝ හෙල්ලක් හෝ මුගුරක් හෝ පහණක් හෝ සැතක් හෝ වස හෝ රැහැනක් හෝ ඔහු ලඟ තබන්නේ ය.
මරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය යි දිවියෙහි දොස් දක්වයි. මරණයෙහි ගුණ කියයි.
මරණාය වා සමාදපෙය්‍ය යි ශස්ත්‍රයක් හෝ ගණුව, වස හෝ අනුභව කරව, වැලකින් හෝ එල්ලී කලුරිය කරව යි උපාය ගන්වන්නේ ය.
අම්හො පුරිස යි මෙය ආමන්ත්‍රණ පදයකි.
කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීතෙන යි ලාමකජීවිතය නම් ආඪ්‍යයන්ගේ ජීවිතය නිසා දිළින්දන්ගේ ජීවිතය ලාමක ය. ධනවතුන්ගේ ජීවිතය නිසා ධන හීනයන්ගේ ජීවිතය ලාමක ය. දෙවියන්ගේ ජීවිතය නිසා මිනිසුන්ගේ ජීවිතය ලාමක ය. අත් සිඳුනහුගේ, පා සිඳුනහුගේ, අත් පා සිඳුනහුගේ, කන් සිඳුනහුගේ, නැහැය සිඳුනහුගේ, කන්නාසා සිඳුනහුගේ (දිවිය) දුජ්ජීවිත නමි. මේ ලාමක ජීවිතයෙන්, මේ දුක්ඛජීවිතයෙන් ජීවත් වීමට වඩා තාගේ මරණය උතුමි.
ඉතිචිත්තමනෝ යි යමක් සිතා ද, ඒ මන නමි. යමක් මන ද, එය සිත නමි.
චිත්තසඞ්කප්පො යි මරණසංඥා ඇත්තේ, මරණචේතනා ඇත්තේ, මරණ අදහස් ඇත්තේ ය.
අනෙකපරියායෙන යි නොයෙක් අයුරෙන්ය.
මරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය යි දිවියෙහි දොස් දක්වයි. මරණයෙහි ගුණ කියයි: මෙයින් තෝ කලුරිය කෙළෙහි කාබුන් මරණින් මතු සුගති නම්වූ දෙව්ලොවට පැමිණෙන්නෙහි ය. එහිදී දිවපස්කම් ගුණයන්ගෙන් සමෘද්ධ වූයේ, යුක්ත වූයේ අභිරමණය කරන්නෙහි ය.
මරණාය වා සමාදපෙය්‍ය යි සැතක් හෝ ගණුව, වසක් හෝ කව, රැහැනකින් හෝ එල්බී කලුරිය කරව, හෙබක හෝ නරාවළෙක හෝ ප්‍රපාතයක හෝ වැටෙව.
අයම්පි යි පළමු මෙවුන්දම් සෙවීමෙන් පරිජි අවන් පුඟුලා සලකාගෙණ කියනු ලැබේ.
පාරාජිකො හොති යි දෙබෑවූ මහගලක් යම් සේ සන්‍ධි කට නො හැකිවේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කොට නොමහණෙක් වෙයි. අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. එහෙයින් පරිජි අවන්නේ වේ යයි කියනු ලැබේ.
අසංවාසො යි එකට කර්‍ම කිරීමය, එකට උදෙසීමය, සම වූ ශික්‍ෂා ඇති බවය යන මෙය සංවාස නමි. ඔහු හා ඒ සංවාසය නැත. එහෙයින් අසංවාස යයි කියනු ලැබේ.
[නයමාතෘකා]
1. තෙමේ ම ඉටා දූතයකු ලවා හෝ, දූතපරපුරෙන් හෝ, වරදවා කියන දූතයෙකු ලවා හෝ, ගොස් පෙරළා පැමිණි දූතයෙකු ලවා හෝ, නොරහස රහස් යයි හැඟීම් ඇත්තේ හෝ, රහස නො රහස් යයි හැඟීම් ඇත්තේ හෝ නොරහස් නොරහස් යයි හැඟීම් ඇත්තේ හෝ, රහස රහස යයි හැඟීම් ඇත්තේ හෝ, කයින් අඟවයි. වදනින් කියයි. කයින් හා වදනින් අඟවයි. දුතයෙකු ලවා අරොජයි. ලිපියකින් අඟවයි. මරුවළ, වැතිර ගන්නා පුවරුව, ලඟ තබන අවිය, විස බෙහෙත, බිහිසුණු රුව එළවීම, බිහිසුහුණු හඬ එළවීම, දරුණු දුගඳ එළවීම, පිළිකුල් රස එළවීම, කැකුළු පහස එළවීම, බියකරු බණ එළවීම, ඔත්තු කීම, අනුසස් කීම, සලකුණු කිරීම, නිමිති කම් ය.
2. සාමං යි කයින් හෝ කා පිළිබඳ දෙයකින් හෝ දමා ලූ දෙයකින් හෝ තෙමේ මරයි.
3. අධිට්ඨාය යි සමීපයෙහි සිට “මෙසේ විදුව, මෙසේ පහර දෙව, මෙසේ නසව” යි අණ කෙරෙයි.
4. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ ඔහු යයි හඟිමින් උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාටම පරිජිඇවැත් වේ.
5. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ ඔහු යයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. වධක මහණහට පිරිජිඇවැත් වේ.
6. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැයි හඟිමින් උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ.
7. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. වධක මහණහට පරිජිඇවැත් වේ.
8. මහණෙක් මහණකුට “මෙනම් ඇත්හුට කියව: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියවා: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකාහට කියා නම් දුකුළාඇවැත් වේ. වධක තෙමේ එය පිළිගණී නම් මූලික මහණහට ථුලැසිඇවැත් වේ. ඒ මහණ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් හැමට ම පරිජිඇවැත් වේ.
9. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහුට කියව: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියවා: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකකුට අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. වධක මහණ තෙමේ පිළිගණී නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාහට ඇවැත් නො වේ. අණවන්නහුට ද, වධක මහණහට ද පරිජිඇවැත් වේ.
10. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ ගොස් “උහු දිවියෙන් තොර කරන්නට මම නො සමත්මි” යි පෙරළා ඒ ද, හෙතෙමේ “යම් කලක හැකි වේ නම් එකල ඔහු දිවියෙන් තොර කරව”යි නැවත අණවා නම් දුකුළා ඇවැත් වේ. ඒ මහණ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.
11. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අණවා විපිළිසරවූයේ “නො නසව” යි නො අස්වයි ද, හෙ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාට ම පරිජි ඇවැත් වේ.
12. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙ තෙමේ අණවා විපිළිසරවූයේ “නො නසව” යි අස්වා ද තෙල මහණ තෙමේ “තා විසින් මම අණ කරණු ලැබුවෙමි” යි උහු දිවියෙන් තොර කෙරේ නම් මූලික මහණහට ඇවැත් නො වේ. වධක මහණහට පරිජිඇවැත් වේ.
13. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙ තෙමේ අණවා විපිළිසර වූයේ “නො නසව” යි අස්වයි. හෙ තෙමේ මැනවයි එයින් වළකියි. දෙදෙනාට ම ඇවැත් නො වේ.
14. සම්මුඛයෙහි සිටියේ ‘අසම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ නම් යෙහෙකැ’ යි කථා කෙරේ නම් දුකුළාඇවැත් වේ. අසම්මුඛයෙහි සිටියේ ‘සම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ නම් යෙහෙකැ’ යි කියා නම් දුකුළාඇවැත් වේ. සම්මුඛයෙහි වූයේ ‘සම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ යෙහෙකැ” යි කියා නම් දුකුළාඇවැත් වේ. අසම්මුඛයෙහි වූයේ ‘අසම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ යෙහෙකැ” යි කියා නම් දුකුළාඇවැත් වේ.
15. කායේන සංවණ්ණෙති නම් යමෙක් මෙසේ මැරේ ද, හේ තෙමේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේ යයි කයින් සංඥා කෙරේ නම් දුකුළාඇවැත් වේ. ඒ කායසංවර්‍ණනාව හේතු කොට ගෙණ ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා නම් ථුලැසිඇවැත් වේ. මැරේ නම් පරිජිඇවැත් වේ.
16. වාචාය සංවණ්ණෙති නම් යමෙක් මෙසේ මැරේ ද, හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේයයි වචනයෙන් කියා නම් දුකුළාඇවැත් වේ. ඒ වැණීමෙන් මැරෙන්නෙමියි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
17. කායේන වාචාය සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේද, හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේ ය”යි කයින් ද හඟවයි. වචනයෙන් ද කියයි. දුකුළාඇවැත් වේ. ඒ වැණීමෙන් මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවාද ථුලැසි ඇවැත් වේ. මැරේ ද පරිජි ඇවැත් වේ.
18. දුතෙන සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේ ද හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේය” යි දූතයකුට අස්නක් බෙණේ ද, දුකුළාඇවැත් වේ. දූතයාගේ අස්න අසා ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
19. ලේඛාය සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේ ද හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේය”යි (පොත පතක) අකුරු ලියා ද, අකුරක් පාසා දුකුළාඇවැත් වේ. ලිපිය දැක මැරෙන්නෙමි යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
20. ඕපාත නම් “වැටී මැරෙන්නේය” යි මිනිසකු උදෙසා වළක් කනී නම් දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. “යම් කිසිවෙක් වැටී මැරෙන්නේය” යි (කෙනකුන්) නො උදෙසා වළක් කනී ද දුකුළාඇවැත් වේ. මිනිසෙක් එහි වැටේ ද දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. යකෙක් හෝ ප්‍රේතයෙක් හෝ තිරිසන්වෙස් හෝ මිනිස් වෙස් ගත්තෙක් (යකෙක් හෝ ප්‍රේතයෙක්) හෝ එහි වැටේ ද, දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද දුකුළාඇවැත් වේ. මැරේ ද ථුලැසිඇවැත් වේ. තිරිසනෙක් එහි වැටේ ද දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද දුකුළාඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
21. අපස්සේන නම් ආලම්බන පුවරුවෙහි සැතක් හෝ තබා ද, විස හෝ ගල්වා ද දුර්‍වල හෝ කෙරේ ද, හෙබක හෝ නරාවළක හෝ ප්‍රපාතයක ‘හෝ වැටී මැරෙන්නේය’ යි (ආලම්බනඵලකය) තබා ද, දුකුළාඇවැත් වේ. සැත කරණකොටගෙණ හෝ විස කරණකොටගෙණ හෝ වැටීමෙන් හෝ දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
22. උපනික්ඛිපන නම් “මෙයින් මැරෙන්නේ ය”යි කඩුවක් හෝ අඩයටියක් හෝ හෙල්ලක් හෝ මුගුරක් හෝ ගලක් හෝ සැතක් හෝ විසක් හෝ රැහැනක් හෝ ලඟ තබා ද දුකුළාඇවැත් වේ. එයින් මැරෙන්නෙමි’යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
23. භේසජ්ජ නම් “මෙය ලෙව මැරෙන්නේය” යි ගිතෙල් හෝ වෙඬරු හෝ තලතෙල් හෝ මී හෝ පැණි හෝ දේ ද, දුකුළාඇවැත් වේ. එය ලෙවි කල්හි ඔහුට දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
24. රුපූපහාර නම් “මෙය දැක තැති ගෙණ මැරෙන්නේය” යි භයජනක බියපත් කරවන, නො මනා රුවක් ලඟ තබා ද, දුකුළාඇවැත් වේ. එය දැක තැති ගණී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය දැක නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’යි මනා රුවක් ලඟ තබා ද දුකුළාඇවැත් වේ. එය දැක නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
25. සද්දූපහාර නම් ‘මෙය අසා තැති ගෙන මැරෙන්නේයයි’ බියජනක, බියපත් කරවන නො මනා ශබ්දයක් ඉදිරිපත් කෙරේ ද, දුකුළාඇවැත් වේ. එය අසා තැති ගැණි ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය අසා නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’ යි ප්‍රේමයට හිත වූ ලගන්නා වූ මනාප ශබ්දයක් ඉදිරිපත් කෙරේ ද දුකුළාඇවැත් වේ. එය අසා නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
26. ගන්‍ධූපහාර නම් ‘මෙය සිඹ ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් මැරෙන්නේය’ යි ජුගුප්සා කටයුතු පිළිකුල් කටයුතු නො මනා ගඳක් එළවා ද දුකුළාඇවැත් වේ. එය සිඹි කල්හි ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය සිඹ නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’ යි මනා සුවඳක් එළවා ද, දුකුළාඇවැත් වේ. එය සිඹ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
27. රසූපහාර නම් ‘මෙය රස විඳ ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් මැරෙන්නේය’ යි ජුගුප්සා කටයුතු පිළිකුල් කටයුතු නො මනා රසයක් එළවා ද දුකුළාඇවැත් වේ. එය රස විඳි කල්හි ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජි ඇවැත් වේ. ‘මෙය රස විඳ නො ලැබීමෙන් වියලී මැරෙන්නේ ය’ යි මනාප රසයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එය රස විඳ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
28. ඵොට්ඨබ්බූපහාර නම් ‘මෙයින් පහස්නා ලද්දේ මැරෙන්නේය’ යි දුක් පහස් ඇති රළු පහස් ඇති නො මනා පහස්නා දැයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එයින් පහස්නා ලද්දහුට දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙයින් පහස්නා ලද්දේ නො ලැබීමෙන් වියලී මැරෙන්නේ ය’ යි සුවපහස් ඇති මුදුපහස් ඇති මනාප වූ පහස්නා දැයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එයින් පහස්නා ලද්දේ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
29. ධම්මූපහාර නම් ‘මෙය අසා තැති ගෙණ මැරෙන්නේ ය’ යි නිරයට සුදුසුවූවකුට නිරය පිළිබඳ කථා කියා ද දුකුළාඇවැත් වේ. එය අසා තැති ගණී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය අසා එහි ඇලුනේ මැරෙන්නේ ය’යි කලණකම් ඇත්තහුට දෙව්ලෝ පිළිබඳ කථා කෙරේ ද දුකුළාඇවැත් වේ. එය අසා එහි ඇලුනේ ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවාද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
30. ආචික්ඛනා නම් විචාරණ ලද්දේ “මෙසේ මැරෙව. යමෙක් මෙසේ මැරේ නම් හේ ධනය හෝ ලබයි. යශස් හෝ ලබයි. දෙව්ලොවට හෝ යේ”යි කියා ද, දුකුළාඇවැත් වේ. ඒ සැළකිරීමෙන් ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
31. අනුසාසනී නම් නොවිචාරණ ලද්දේ “මෙසේ මැරෙව. යමෙක් මෙසේ මැරේද, හේ ධනය හෝ ලබයි. යශස් හෝ ලබයි. ස්වර්‍ග යට හෝ යේ ය”යි කියා ද දුකුළාඇවැත් වේ. ඒ අනුශාසනාවෙන් ‘මැරෙන්නෙමි’යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.
32. සඞ්කේතකම්ම නම් “පෙර බත්කල හෝ පසු බත්කල හෝ රෑ හෝ දවල් හෝ ඒ සලකුණෙන් ඔහු දිවියෙන් තොර කරව” යි සලකුණක් කෙරේ ද දුකුළාඇවැත් වේ. ඒ සලකුණෙන් ඔහු තොර කෙරේ ද දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ සලකුණට පෙර හෝ පසුව හෝ ඔහු දිවියෙන් තොර කෙරේ ද මූලිකයාට ඇවැත් නො වේ. මැරුවහුට පරිජිඇවැත් වේ.
33. නිමිත්තකම්ම නම් “ඇස හෝ කසන්නෙමි. බැම හෝ නගන්නෙමි. හිස හෝ ඔසවන්නෙමි. ඒ නිමිත්තෙන් ඔහු දිවියෙන් තොර කරව යි නිමිති කෙරේ ද, දුකුළාඇවැත් වේ. ඒ නිමිත්තෙන් ඔහු දිවියෙන් තොර කෙරේ ද දෙදෙනාහට ම පරිජිඇවැත් වේ. ඒ නිමිත්තට පෙර හෝ පසුව හෝ ඔහු දිවියෙන් තොර කෙරේ ද මූලිකයාට ඇවැත් නො වේ. මැරුවහුට පරිජිඇවැත් වේ.
34. නො දැන මරන්නහුට ද, නොදන්නහුට ද, නොමරණ අදහස් ඇත්තහුට ද, උමතුවූවහුට ද, විසුළසිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළුනහුට ද, ආදි කර්මිකයා ද ඇවැත් නො වේ.
මිනිස්විකාපරිජියෙහි පළමුවන බණවර නිමි.
විනිශ්චිත කථාවස්තු
උද්දානගාථා:
සංවණ්ණනා, නිසීදන්ත, මුසල, උදුක්ඛල සමඟ සතරක් ද, බුඩ්ඪපබ්බජිත තුණක්දැයි සතකි. ලග්ග තුණක් ද වීමංසන විස දෙකක් දැයි වස්තු 12 ක් ද,
විහාරවත්‍ථු තුණක් ද අනෙක් ඉට්ඨකවත්‍ථු තුණක් ද, වාසී, ගෝපානසී, අට්ටක, ඔතාරණ, යන වස්තූන් තුන බැගින් ද, පති දෙකක් දැයි 20 ක් ද,
සෙද, නත්‍ථු, සම්බාහන, නහාපන, අබ්භඤ්ජන, උට්ඨාපන, නිපාතන, අන්නමාරණ, පානමාරණ වස්තු තුන බැගින් 27 ක් ද,
ජාරගබ්භ, සපතනිය සම්බන්‍ධ මවුමළ, පුතුමළ, දෙදෙනා ම මළ, දෙදෙනා ම නො මළ වස්තු සතරක් ද, මද්දාපන, තාපන වඤ්ඣා, විජායිනී වස්තු සතරක් දැයි 9 ක් ද,
පතෝද, නිග්ගහ, යක්ඛ වස්තු ද, වාළ යක්ඛවස්තු තුණක් ද, පාහිනි කන්තාර වස්තු සයක් ද, මඤ්ඤමාන සතරක් ද, පහාර තුණක් ද, සග්ග තුණක් ද, නිරයවණ්ණනා තුණක් දැයි 25 ක් ද,
ආලවිරුක්ඛවත්‍ථු තුණක් ද දාය වත්‍ථු තුණක් ද, මා කිලමෙසි තුණක් ද, තක්ක, සොවීරක දෙක දැයි 10 ක් ද වූ විනීත වස්තු එක්සිය තුණෙකි.
1. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. භික්‍ෂූහු ඒ මහණහට කරුණාවෙන් මරණයෙහි ගුණ වැණූහ. ඒ මහණ තෙමේ කලුරිය කෙළේ ය. “කිම අපි පරිජිඇවැත් අවන්නමෝ ද” යි ඔවුන්ට කුකුස් විය. ... ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.”
2. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් පුටුවක හිඳගන්නේ රෙදිකඩකින් පිළිසන් දරුවකු මැඩ ගෙණ මැරී ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, පරික්‍ෂා නො කොට අසුනෙහි නො හිඳිය යුතුයි. යමෙක් හිඳී නම් දුකුළා ඇවැත් වේ.”
3. එසමයෙහි එක්තරා මහණෙක් ඇතුළු ගම බොජුන්හලෙහි අසුන් පණවන්නේ මොහොල් දෙකක් ඔසවා තැබූ කල්හි එක් මොහොලක් හැර ගත්තේ ය. දෙවෙනි මොහොල පෙරළී එක්තරා දරුවකුගේ හිසමත වැටුනේ ය. ඒ දරු තෙමේ කලුරිය කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ කෙබඳු සිත් ඇත්තෙහි ද”? “භාග්‍යවතුන් වහන්ස, මම නො දැන කෙළෙමි.” මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ.
4. එසමයෙහි එක්තරා මහණෙක් ඇතුළුගම බොජුන් හලෙහි අසුන් පණවන්නේ වංගෙඩියක් ඇක්ම පෙරළීය. එක්තරා දරුවකු යට කොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ.
5. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි මහණවූවෝ වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කී ය: ‘වහන්ස, යනු මැනවි. සඞ්ඝතෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි පිට ගෙණ නෙරීය. හෙතෙමේ වැටී මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? ‘භාග්‍යවතුන් වහන්ස, මම මරණ අදහස් නැත්තෙම් වෙමි.’ මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (5)
6. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි පැවිදිවූවාහු වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කීය: ‘වහන්ස, යනු මුනවි. සඞ්ඝ තෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි මරණ අදහස් ඇත්තේ පිට ගෙණ නෙරීය. හෙ තෙමේ වැටී මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (6)
7. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි පැවිදිවූවාහු වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කීය: ‘වහන්ස, යනු මැනවි. සඞ්ඝ තෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි මරණ අදහස් ඇත්තේ පිට ගෙණ නෙරීය. හෙ තෙමේ වැටී නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (7)
8. එසමයෙහි එක්තරා බුදින මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ කලුරිය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (8)
9. එසමයෙහි එක්තරා බුදින මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. මැරියැටි එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ කලුරිය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (9)
10. එසමයෙහි බුදින එක්තරා මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. මැරියැටි එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ නො ම මෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (10)
11. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් විසමුසු අහරක් ලැබ අසුන්හලට ගෙණ ගොස් භික්‍ෂූන්ට අග්‍රපිණ්ඩය දුනි. ඒ භික්‍ෂූහු මළහ. ඔහුට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?’ ‘භාග්‍යවතුන් වහන්ස, මම නො දනිමි.’ මහණ, නො දන්නහුට ඇවැත් නො වේ. (11)
12. එසමයෙහි විමැසියැටි එක්තරා මහණෙක් එක්තරා මහණකුට වස දුනි. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?’ ‘භාග්‍යවතුන් වහන්ස, මම විමසන අදහස් ඇත්තෙමි’යී. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (12)
13. එසමයෙහි අලවුරට වැසි භික්‍ෂූහු විහාරභූමියක් (ගෙපළක්) කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගලක් නැගී ය. මත්තෙහි සිටි මහණ විසින් නපුරු කොට ගත් ගල යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ. (13)
14. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාර භූමියක් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගලක් එසවී ය. මත්තෙහි සිටි මැරියැටි මහණෙක් යට සිටි මහණහුගේ හිසමත ගල හෙළී ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (14)
15. එසමයෙහි ... ඒ මහණ නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (15)
16. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාරයට බිතක් නංවත්. එක්තරා මහණෙක් යට සිට ගඩොලක් එසවී ය. මත්තේ සිටි මහණ විසින් නපුරු කොට ගත් ගඩොල යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ. (16)
17. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාර බිතක් නංවත්. එක්තරා මහණෙක් යට සිට ගඩොලක් එසවී ය. මත්තෙහි සිටි මැරියැටි මහණ යට සිටි මහණහු හිස මත ගඩොල හෙළී ය. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහි ය. ... එසමයෙහි] ... ඒ මහණ නොමළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (17-18)
18. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට වෑයක් එසවී ය. මත්තෙහි සිටි මහණහු විසින් නපුරු කොට ගත් වෑය යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ නො දැන කළහුට ඇවැත් නො වේ. (19)
19. එසමයෙහි අලවුරට වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට වෑයක් එසවී ය. මත්තෙහි සිටි මහණතෙමේ මැරියැටිවූයේ යට සිටි මහණහුගේ හිස මත වෑය හෙළී ය. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහි ය ... එසමයෙහි] ... ඒ මහණ නො මළේ ය. ... ඔහුට කුකුස් විය. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (20-21)
20. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගොනැස්සක් එසවී ය. මත්තෙහි සිටි මහණහු විසින් නපුරු කොට ගත් ගොනැස්ස යට සිටි මහණහුගේ හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... නො දැන කළහුට ඇවැත් නො වේ. (22)
21. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගොනැස්සක් එසවීය. මත්තෙහි සිටි මහණ තෙමේ මැරියැටි වූයේ යට සිටි මහණහුගේ හිස මත ගොනැස්ස හෙළී ය. ඒ මහණ මළේ ය. .... පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ... ඒ මහණ නො මළේ ය. එහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (23-24)
22. එසමයෙහි අලවුරට භික්‍ෂූහු නවහම් කරන්නාහු අටල්ලක් බඳිත්. එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කීය: ‘ඇවැත, මෙහි සිට බඳව’යි, හෙ තෙමේ එහි සිට බඳින්නේ පෙරළී වැටී මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ තෝ කෙබඳු සිතැත්තෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම මැරි යැටි නො වෙමි.” මහණ, නො මැරියැටිහුට ඇවැත් නො වේ. (25)
23. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවහම් කරන්නාහු අටල්ලක් බඳිත්. එක්තරා මහණෙක් මැරියැටි වූයේ එක්තරා මහණකුට මෙය කීය. “ඇවැත, මෙහි සිට බඳව” යි, හෙ තෙමේ එහි සිට බඳින්නේ පෙරළී වැටී මළේ ය. ... පරිජිඇවැත් අවන්නෙහි ය. එසමයෙහි ... පෙරළී වැටී නො මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (26-27)
24. එසමයෙහි එක්තරා මහණෙක් විහාරය සෙවෙනි කොට බසී. එක්තරා මහණෙක් ඒ මහණහට මෙය කීය: “ඇවත, මේ තැනින් බසිනු” යි හෙ තෙමේ එතැනින් බස්නේ පෙරළී වැටී මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (28)
25. එසමයෙහි එක්තරා මහණෙක් විහාරය සෙවෙනි කොට බසී. එක්තරා මහණෙක් මැරියැටි වූයේ ඒ මහණහට මෙය කීය. “ඇවැත, මෙතැනින් බසිනු” යි හෙ තෙමේ එතැනින් බස්නේ පෙරළී වැටී මළේ ය. ... පරිජිඇවැත් අවන්නෙහි ය. එසමයෙහි ... පෙරළී වැටී නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (29-30)
26. එසමයෙහි එක්තරා මහණෙක් සස්නෙහි උකටලී බැවින් පෙළුනේ ගිජුකුළුපව්වට නැඟී ප්‍රපාතයෙහි වැටෙන්නේ එක්තරා නලකරුවකු යට කොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, ආත්මඝාතනය නො කටයුතුයි, යමෙක් ආත්මඝාතනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. (31)
27. එසමයෙහි සවග මහණහු ගිජුකුළුපව්වට නැඟී කෙළි පිණිස ගලක් පෙරළූහ. ඒ ගල එක්තරා ගොපල්ලකු යට කොට මැරී ය. ඔවුන්ට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. මහණෙනි, කෙළි පිණිස ගල් නො පෙරළිය යුතුයි. යමෙක් පෙරළන්නේ නම් දුකුළාඇවැත් වේ. (32)
28. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ ඩහ ගැන්වූහ. හෙ තෙමේ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (33)
29. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ මැරියැටි වූවෝ ඩහ ගැන්වූ හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔවුනට කුකුස් විය: ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (34-35)
30. එසමයෙහි එක්තරා මහණකුට හිසරුජාවක් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට නස්‍යයක් දුන්හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (36)
31. එසමයෙහි එක්තරා මහණකුට හිසරුජාවක් වෙයි. භික්‍ෂූහු මැරියටිවූවෝ ඒ මහණහට නස්‍යයක් දුන්හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (37-38)
32. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ සම්බාහනය (=ඇඟ පිරිමැදීම) කළහ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නොමැරියැටි වූවහුට ඇවැත් නො වේ. (39)
33. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ මැරියැටි වූවෝ සම්බාහනය කළාහු ය. ඒ මහණ මළේ ය. [පරිජි ඇවැත් අවන්නහු ය. එසමයෙහි ...] ඒ මහණ නොමළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (40-41)
34. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ නැහැවූ හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (42)
35. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ නැහැවූ හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (43-44)
36. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි, භික්‍ෂූහු ඒ මහණ වෙර තෙල් ගැල් වූ හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (45)
37. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ වෙර තෙල් ගැල්වූහ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (46-47)
38. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ නැගිටවූහ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (48)