Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 401-500 න් 2612

14. එසමයෙහි එක්තරා මහණෙක් පෙයාසුලඟින් නඟන ලද හිස් වෙළුමක් (‘නො බෝ වේලාවකින් හිමියෝ දක්නාහ, ඊට පෙර ගනිමි’ යි සිතා) සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණයෙහි” යි චෝදනා කළාහු ය. ඒ මහණට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (32)
15. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනට ගොස් නුබුන් මළ සිරුරෙහි පාංශුකූල වස්ත්‍රය හැර ගත්තේ ය. ඒ සිරුරෙහි ද ප්‍රේතයෙක් අධිගෘහිත විය. එකල්හි ඒ ප්‍රේතයා ඒ මහණහට “වහන්ස, මගේ වස්ත්‍රය නො ගත මැනව” යි කීය. ඒ මහණ තෙමේ එය නො සලකමින් ගියේ ය. ඉන් පසු ඒ සිරුර නැගිට ඒ මහණහු පසු පස ලුහුබැන්දේ ය. එකල්හි ඒ මහණ විහාරයට ගොස් දොර වැසී ය. ඉක්බිති ඒ සිරුර එහි ම පතිත විය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, නුබුන් සිරුරෙහි පාංශුකූල වස්ත්‍රය නො ගත යුතු ය. යමෙක් ගන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (33)
16. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු සිවුරු බෙදනු ලබන කල්හි සොර සිත් ඇත්තේ කුසපත් මාරු කොට සිවුරක් ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (34)
17. එසමයෙහි ආයුෂ්මත් අනඳ තෙරුණුවෝ ගිනිහල් ගෙහි එක්තරා මහණකුගේ අඳනයක් ‘තමාගේ යැ’ යි හඟිමින් හැන්දහ. එකල්හි ඒ මහණ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය කී ය. “ඇවැත්නි, ආනන්‍ද ස්ථවිරයෙනි, තෙපි මගේ අඳනය කුමක් හෙයින් ඇන්දහු ද?” යි විචාළේ ය. “ඇවැත්නි, මම ‘මගේ යැ’ යි හැඟීම් ඇත්තෙම් වීමි’ යි තෙරණුවෝ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළාහු ය. ... “මහණෙනි, ‘තමා සතු ය’ යන හැඟීම් ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (35)
18. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ගිජුකුළු පව්වෙන් බස්නාහු සිංහයකු විසින් ඉඳුල් කළ මසක් දැක පිසවා අනුභව කළාහු ය. ඔවුන්ට කුකුස් විය. ... “මහණෙනි, සීහවිඝාසයෙහි ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (36)
19. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ගිජුකුළු පව්වෙන් බස්නාහු ව්‍යාග්‍රයකු ඉඳුල් කළ මසක් දැක, ... දිවියකු කා හැරදැමූ මසක් දැක, ... කරබානා වලසකු කා හැර දැමූ මසක් දැක, ... වෘකයකු කා ඉතිරි කළ මසක් දැක පිසවා අනුභව කළාහු ය. ඔවුන්ට කුකුස් විය. ... “මහණෙනි, තිරිසනුන් අයත් දැයෙහි ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (37-40)
20. එසමයෙහි එක්තරා මහණෙක් සඟනට බත් බෙදන කල්හි ‘අනෙකකුට ද කොටසක් දෙව’ යි අමුලු කොට ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිතිඇවැත් වේ” ය යි වදාළ සේක. (41)
21. එසමයෙහි එක්තරා මහණෙක් සඟනට කැවිලි බෙදන කල්හි, ... සඟනට පූ බෙදන කල්හි, ... සඟනට උක් දඬු බෙදන කල්හි, ... සඟනට තිඹිරි බෙදන කල්හි, ‘අනෙකකුට ද කොටසක් දෙව’ යි අමුලු කොට (පිළිගා නැතිව) ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දැන දැන බොරු කීමෙහි පචිතිඇවැත් වේ” ය යි වදාළ සේක.(42-45)
22. එසමයෙහි එක්තරා මහණෙක් දුර්භික්‍ෂයෙහි විකිණීමට බත් පිසන ගෙයකට පැමිණ සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා බත් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (46)
23. ඒසමෙයහි එක්තරා මහණෙක් දුර්භික්‍ෂෙයහි විකිණීමට මස් පිසින ගෙයකට පිවිස සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා මස් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (47)
24. එසමයෙහි එක්තරා මහණෙක් දුර්භික්‍ෂයෙහි කැවුම් පිසින ගෙයකට පැමිණ සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා කැවුම් හැර ගත්තේ ය. ... සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා ලහලු හැර ගත්තේ ය. ... සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා අග්ගලා හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (48-50)
25. එසමයෙහි එක්තරා මහණෙක් දහවල් පිරිකරක් දැක “රෑ සොරකම් කරන්නෙමි” යි නිමිති ගත්තේ ය. හෙතෙමේ ‘එයැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘එයැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... අනෙකකැයි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි” යයි වදාළ සේක. (51-54)
26. එසමයෙහි එක්තරා මහණෙක් දහවල් පිරිකරක් දැක “රෑ සොරකම් කරන්නෙමි” යි නිමිති කෙළේ ය. හෙතෙමේ ‘එයැ’ යි හඟිමින් තමාගේ පිරිකරක් (සොර සිතින්) හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යයි වදාළ සේක. (55)
27. එසමයෙහි එක්තරා මහණෙක් පුටුවක පියැල්ලක් දැක ‘මෙයින් පැහැර ගන්නෙම් පැරැදුනෙම්’ වෙමි යි සිතා පුටුව සමඟ බැහැර කොට හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.”(56)
28. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු බිස්සක් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි (57)
29. එසමයෙහි එක්තරා මහණෙක් සිවුරුවසෙහි ලූ සිවුරක් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (58)
30. එසමයෙහි එක්තරා මහණෙක් විහාරයෙහි සිවුරක් සොරා ගෙන ‘මෙයින් නික්මෙන්නෙම් පරිජිඇවැත් අවන්නෙමි’ යි විහාරයෙන් නො නික්මින. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැළ කළාහු ය. ... “මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ නික්මෙන්නේ හෝ නො නික්මෙන්නේ හෝ පරිජිඇවැත් අවන්නේ වෙයි.” (59)
31. එසමයෙහි යහළු භික්‍ෂූහු දෙනමක් වෙත්. එක් නමක් පිඬු පිණිස ගමට පිවිසියේ ය. දෙවැන්නා සඟනට කැවිලි බෙදනු ලබන කල්හි යහළුවා අයත් කොටස ගෙන ඔහුට විස්වස් ඇතියේ වැළඳී ය. ඒ මහණ තෙමේ එය දැන “තෝ නො මහණෙක් වෙහි” යි ඒ මහණට චෝදනා කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කෙළේ ය. ... මහණ තෝ කෙබඳු සිතැතියෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම් විශ්වාසග්‍රාහී වීමි.” “මහණ විශ්වාසග්‍රාහයෙ ඇවැත් නොවේ.” (60)
32. එසමයෙහි බොහෝ භික්‍ෂූහු සිවුරුකම් කරත්. සඟනට කැවිලි බෙදනු ලබන කල්හි සියල්ලන්ගේ කොටස් ගෙනවුත් වෙත තබන ලද්දාහු වෙත්. එක්තරා මහණෙක් ‘අනෙක් මහණකුගේ කොටස තමාගේ ය’ යි හඟිමින් වැළැඳීය. ඒ මහණ තෙමේ එය දැන “තෝ නො මහණෙක් වෙහි” යි ඔහුට චෝදනා කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කෙළේ ය. ... “මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, තමාගේ ය යන හැඟීම් ඇත්තෙම් වීමි.” “මහණ, තමාගේය යන හැඟීම් ඇත්තහුට ඇවැත් නොවේ.” (61)
33. එසමයෙහි බොහෝ භික්‍ෂූහු සිවුරු ගෙත්තම් කරත්. සඟනට කැවිලි බෙදනු ලබන කල්හි එක්තරා මහණකුගේ පාත්‍රයෙන් අන් මහණකුගේ කොටස ගෙණවුත් තබන ලද්දේ වෙයි. පාත්‍රය හිමි මහණ තෙමේ තමාගේ ය යි සිතමින් වැළැඳී ය. ඒ මහණ එය දැන ඒ මහණහට ‘තෝ නො මහණෙහි’ යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළේ ය. ... “මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම ස්වකීය ය යන හැඟීම් ඇත්තෙම් වීමි.” “මහණ, ස්වකීය ය යන හැඟීම් ඇත්තහුට ඇවැත් නො වේ.” (62)
34. එසමයෙහි අඹ සොරු අඹ නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඒ සොරුන් ලුහු බැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පැන ගියාහු ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇත්තාහු පිළිගන්වා ගෙන වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළහ. මහණෙනි, තෙපි කෙබඳු සිත් ඇත්තෝ වූහු ද? “භාග්‍යවතුන් වහන්ස, අපි පාංශුකූල සංඥා ඇත්තම්හ” යි. “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නොවේ.” (63)
35. එසමයෙහි දඹ සොරු ... දෙල් සොරු ... කොස් සොරු ... තල්පල සොරු ... උක් සොරු ... තිඹිරි සොරු තිඹිරි පල නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඒ සොරුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පළා ගියාහු ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇති ව පිළිගන්වා ගෙන වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නොවේ.” (64-69)
36. එසමයෙහි අඹ සොරු අඹ නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඔවුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පළා ගියාහු ය. භික්‍ෂූහු සොර සිත් ඇත්තාහු ‘නො බෝ වේලාවකින් හිමියෝ දක්නාහ’ යි වැළඳූහ. හිමියෝ “තෙපි නො මහණහ” යි ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.” (70)
37. එසමයෙහි දඹ සොරු ... දෙල් සොරු ... කොස් සොරු ... තල්පල සොරු ... උක් සොරු ... තිඹිරි සොරු තිඹිරි පල නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඔවුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පැන ගියාහු ය. භික්‍ෂූහු සොර සිත් ඇත්තෝ ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.” (71-76)
38. එසමයෙහි එක්තරා මහණෙක් සොර සිත් ඇත්තේ සඟසතු අඹ සොරකම් කෙළේ ය. ... සඟසතු දඹ ... සඟසතු දෙල් ... සඟසතු කොස් ... සඟසතු තල්පල ... සඟසතු උක් ... සඟසතු තිඹිරි සොර සිත් ඇත්තේ පැහැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ...“මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (77-83)
39. එසමයෙහි එක්තරා මහණෙක් මල් උයනකට පැමිණ මසු පසක් අගනා නෙළා තුබූ මල් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (84)
40. එසමයෙහි එක්තරා මහණෙක් මල් උයනට පැමිණ සොර සිත් ඇතියේ මසු පසක් අගනා මල් නෙළා ගෙන ගියේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (85)
41. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යන්නේ එක්තරා මහණකුට, “ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට (ගොස් ඉල්ලා ගැනීමට) ‘තොප විසින් කියනු ලැබූයෙමි’ යි තොප වචනයෙන් කියමි” යි කීය. හේ තෙමේ ගොස් එක් සළුවක් ගෙන්වා ගෙන තෙමේ පරිභෝග කළේ ය. හේ දැන ගෙන ඒ මහණට “තෝ අශ්‍රමණ වෙහි” ය යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. -පෙ- මහණ පරිජිඇවැත් නො වේ. “මහණෙනි, (පණිවුඩයක්) කියනු ලැබුවෙමි යි (ඔවුන්ට) කියමි’ යි නො කිය යුතු ය. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ.” (86)
42. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යයි. අන් මහණෙක් ඒ මහණ හට “ඇවැත්නි, මගේ උපස්ථායක කුලයට මා විසින් කියන ලද්දෙහි යයි මගේ වචනයෙන් කියව” යි කී ය. හේ තෙමේ ගොස් සළු යුවලක් ගෙන්වා ගෙන එකක් තමා පරිභෝග කළේ ය. එකක් ඒ මහණ හට දින. හේ තෙමේ එය දැන ගෙන ඔහුට ‘තෝ අශ්‍රමණ වෙහි’ යි චෝදනා කළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ”. “මහණෙනි, ‘මා විසින් කියන ලද්දෙහි මගේ වචනයෙන් කියව’ යි නො කිය යුතු ය. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ.” (87)
43. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යන්නේ එක්තරා මහණකුට “ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට ‘තා විසින් කියන ලදු යෙමි’යි තාගේ වචනයෙන් කියමි” යි කී ය. හේ තෙමේ ද “මා විසින් කියන ලද්දෙහි යයි මාගේ වචනයෙන් කියව” යි කීය. හෙතෙමේ ගොස් නැලියක් ගිතෙල් ද තුලාවක් උක් සකුරු ද තිඹක් සහල් ද ගෙන්වා ගෙන තෙමේ පරිභෝග කළේ ය. හේ තෙමේ එය දැන ගෙන ඔහුට ‘තෝ නො මහණෙක් වෙහි’ යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. මහණ, ‘තා විසින් කියන ලද්දෙමි, තාගේ වචනයෙන් කියමි’ යි නො කිය යුතු ය. ‘මා විසින් කියන ලද්දෙහි මාගේ වචනයෙන් කියව’ යි නො කිය යුතු යි. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ” යැයි වදාළ සේක. (88)
44. එසමයෙහි එක්තරා පුරුෂයෙක් මා හැඟි මැණිකක් රැගෙන එක්තරා මහණකු හා අදන් මඟට පිළිපන්නේ වෙයි. එකල්හි ඒ පුරුෂයා ශුලකස්ථානයක් (සුංකම් අය කරන තැනක්) දැක නො දන්නා වූ ඒ මහණහුගේ පසුම්බියෙහි මැණික බහා සුංකම් අයකරණ තැන ඉක්මවා නැවත හැර ගත්තේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ කෙබඳු සිතැති වෙහි දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම එය නො දනිමි” යි හේ කීය. “මහණ, නො දන්නහුට ඇවැත් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (89)
45. එසමයෙහි එක්තරා පුරුෂයෙක් මාහැඟි මැණිකක් රැගෙන එක්තරා මහණකු සමඟ අදන් මඟට පිළිපන්නේ වෙයි. එකල්හි ඒ පුරුෂයා ශුල්කස්ථානයක් දැක ගිලන් අයුරු දක්වා ස්වකීය බඩු පොදිය ඒ මහණහට දින. ඉන් පසු ඒ පුරුෂයා ශුල්කස්ථානය ඉක්මවා ඒ මහණහට “වහන්ස, මගේ බඩු පොදිය දෙනු මැනව. මම ගිලනෙක් නො වෙමි” යි මෙය කී ය. “ඇවත, තෝ කුමක් හෙයින් මෙබන්දක් කෙළෙහි ද?යි” ඒ මහණ පිළිවිසී ය. එකල ඒ පුරුෂයා ඒ මහණහට තෙල කරුණ දැන්වී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, නො දන්නහුට ඇවැත් නො වේ.” යැ යි වදාළ සේක. (90)
46. එසමයෙහි එක්තරා මහණෙක් ගැල් තවලමක් සමඟ අදන් මඟට පිළිපන්නේ වෙයි. එක් පුරුෂයෙක් ඒ මහණහු ආමිෂයෙන් පොළොඹවා ශුල්කස්ථානය දැක “වහන්ස, මේ මැණික ශුල්කස්ථානය ඉක්මවා ගෙණ යනු මැනවැ” යි මාහැඟි මැණිකක් ඒ මහණහට දිනි. වැලි ඒ මහණ තෙමේ ඒ මැණික ශුල්කස්ථානය ඉක්මවා ගෙන ගියේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (91)
47. එසමයෙහි එක්තරා මහණෙක් මලපුඬුවෙක බැඳුනු ඌරකු කුළුණු සිත් ඇතියේ මුදා ලී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ කෙබඳු සිතැති විහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම කුළුණු සිත් ඇත්තෙම් වීමි” යි හේ කීය. “කුළුණු සිත් ඇත්තහුට ඇවැත් නො වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (92)
48. එසමයෙහි එක්තරා මහණෙක් මලපත බැඳි ඌරකු හිමියෝ දක්නාහ’යි පෙර ම සොර සිත් ඇතියේ මුදා ලී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (93)
49. එසමයෙහි එක්තරා මහණෙක් මලපුඬුවෙක බැඳි මුවකු කුළුණු සිත් ඇතියේ මුදා ලී ය. ... මලපත බැඳි මුවකු ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇති ව මුදා ලීය. ... කෙමිනෙහි හසු වූ මසුන් කුළුණු සිත් ඇතියේ මුදාලී ය. ... කෙමිනෙහි හසු වූ මසුන් ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇතිව මුදා ලීය. ඒ මහණ හට කුකුස් විය. “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (94-97)
50. එසමයෙහි එක්තරා මහණෙක් යානයක භාණ්ඩය දැක ‘මෙයින් ගන්නෙම් නම් පරිජි අවදින්නෙමි’ යි ඉවත් කොට පෙරළා ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (98)
51. එසමයෙහි එක්තරා මහණෙක් උකුස්සකු විසින් නඟා ගත් මස් වැදැල්ලක් ‘හිමියනට දෙන්නෙමැ’ යි ගත්තේ ය. හිමියෝ “තෝ අශ්‍රමණ වෙහි” යි ඒ මහණහට චෝදනා කළාහු ය.” ඔහුට කුකුස් විය. ... “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැයි වදාළ සේක. (99)
52. එසමයෙහි එක්තරා මහණෙක් උකුස්සකු විසින් නඟාගත් මස් වැදැල්ලක් ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’යි සොරසිත් ඇති ව ගත්තේ ය. “තෝ අශ්‍රමණ වෙහි”යි හිමියෝ ඒ මහණහට චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (100)
53. එසමයෙහි මිනිස්සු පසුරක් බැඳ අචිරවතී නදියෙහි ඕවාපියති. බැමි සිඳී ගිය කල්හි ලී දඬු විසිර ගියේ ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ ගොඩ ගත්හ. හිමියෝ ඒ භික්‍ෂූන්ට “තෙපි අශ්‍රමණයව්හ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (101)
54. එසමයෙහි මිනිස්සු පසුරක් බැඳ අචිරවතී නදියෙහි ඕවාපියති. බැඳුම් සිඳී ගිය කල්හි ලී දඬු විසිර ගියේ ය. භික්‍ෂූහු ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇත්තාහු ගොඩ දැමූහ. හිමියෝ “තෙපි නො මහණහ” යි ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි වදාළ සේක. (102)
55. එසමයෙහි එක්තරා ගොපල්ලෙක් ගසක සළුවක් එල්වා මල පහ කිරීම පිණිස ගියේ ය. එක්තරා මහණෙක් පාංශුකූල සංඥා ඇත්තේ එය ගත්තේ ය. ඉන් පසු ඒ ගොපලු තෙමේ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (103)
56. එසමයෙහි නදියක් තරණය කරණ මහණකුගේ පාදයෙහි රජකයන්ගේ අතින් මිදුනු සළුවක් ලැගුනේ වෙයි. ඒ මහණ තෙමේ ‘හිමියන්ට දෙමැ’ යි එය ගත්තේ ය. හිමියෝ “තෝ අශ්‍රමණයෙහි” යි ඒ මහණහට චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැයි වදාළ සේක. (104)
57. එසමයෙහි නදියක් තරණය කරණ මහණකුගේ පාදයෙහි රජකයන්ගේ අතින් මිදුනු සළුවෙක් ලැගුනේ වෙයි. ඒ මහණ ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇතියේ එය ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි” යැයි වදාළ සේක. (105)
58. එසමයෙහි එක්තරා මහණෙක් ගිතෙල් කළයක් දැක ටික ටික වැළඳී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැයි වදාළ සේක.
59. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ‘බඩු සොරකම් කරන්නෙමු’ යි සංවිධාන කොට ගෙන ගියාහු ය. එක් නමක් බඩුව සොරකම් කෙළේ ය. සෙස්සෝ “අපි පරිජිඇවැත් නො අවදුම්හ. යමෙක් එය සොරා ගත්තේ ද හෙතෙමේ පරිජිඇවැත් අවන්නේ වේ” යැයි මෙසේ කීහු. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළාහු ය. “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහුයැ” යි වදාළ සේක. (107)
60. එසමයෙහි බොහෝ භික්‍ෂූහු සංවිධානය කොට බඩු සොරා ගෙන බෙදුවාහු ය. ඔවුන් විසින් බඩු බෙදනු ලබන කල්හි එක් එක් මහණක්හුගේ කොටස (අගයෙන්) මසු පසක් නො පිරුණි. ඔහු “අපි පැරදුනමෝ නො වන්නමු” යි කීහු. භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (108)
61. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර දුර්භික්‍ෂයෙක දී වෙළෙන්දකුගේ සහල් මිටක් සොර සිතැතියේ ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (109)
62. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර දුර්භික්‍ෂයෙක දී වෙළෙන්දකුට මුං මිටක් ... මෑ මිටක් ... තල මිටක් ... සොර සිතැතියේ ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක.(110-112)
63. එසමයෙහි සැවැත් නුවර අන්‍ධ වනයෙහි සොරු ගවදෙනක මරා මස් කා සෙස්ස සඟවා තබා ගියාහු ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ පිළිගන්වා ගෙන එය වැළදූහ. සොරු ඒ භික්‍ෂූන්ට “තෙපි අශ්‍රමණයව්හ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (113)
64. එසමයෙහි සැවැත් නුවර අන්‍ධ වනයෙහි සොරු ඌරකු මරා මස් කා සෙස්ස සඟවා තබා ගියාහු ය. භික්‍ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ පිළිගන්වා ගෙන එය වැළදූහ. සොරු මහණුන්ට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (114)
65. එසමයෙහි එක්තරා මහණෙක් තණ කෙතකට ගොස් සිඳ ලන ලද පස් මස්සක් අගනා තණ සොර සිතැතියේ හැර ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (115)
66. එසමයෙහි එක්තරා මහණෙක් තණ කෙතකට ගොස් සොර සිත් ඇත්තේ පස් මස්සක් අගනා තණ කපා පැහැර ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (116)
67. එසමයෙහි ආගන්තුක භික්‍ෂූහු සඟ සතු අඹ බෙදවා ගෙන වැළදූහ. ආවාසික භික්‍ෂූහු ඔවුනට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැළ කළාහු ය. “මහණෙනි, තෙපි කෙබඳු සිත් ඇති වූහු ද?” යි අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, අපි පරිභෝග කැමැත්තමෝ වූමු’ යි ඔහු කීහ. ... “මහණෙනි, පරිභෝග කිරීම පිණිස ඇවැත් නො වේ.” යැයි වදාළ සේක. (117)
68. එසමයෙහි ආගන්තුක භික්‍ෂූහු සඟ සතු දඹ ... සඟ සතු දෙල් ... සඟ සතු පනා (කොස්) ... සඟ සතු තල් පල ... සඟ සතු උක් ... සඟ සතු තිඹිරි බෙදවා වැළදූහ. ආවාසික භික්‍ෂූහු ඔවුනට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පරිභෝග පිණිස ඇවැත් නො වේ.” යැයි වදාළ සේක. (118-123)
69. එසමයෙහි අඹ පල්ලෝ භික්‍ෂූන්ට අඹ පල දෙත්. භික්‍ෂූහු “මොහු අඹ රැක ගැන්මෙහි ඉසුරෝ වෙත්. මොහු අනුන්ට දෙන්නට ඉසුරෝ නො වෙත් යැ” යි කුකුස් කරන්නාහු නො පිළිගනිති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැල කළාහු ය. “මහණෙනි, ආරක්‍ෂකයා දුන් දැය පිළිගැන්මෙහි ඇවැත් නො වේ යැ” යි වදාළ සේක. (124)
70. එසමයෙහි දඹපල්ලෝ ... දෙල් රක්නෝ ... කොස් රක්නෝ ... තල් පල රක්නෝ ... උක් රක්නෝ ... තිඹිරි රක්නෝ භික්‍ෂූන්ට තිඹිරි දෙත්. භික්‍ෂූහු ‘මොහු රක්නට ඉසුරෝ වෙත්. මොහු දෙන්නට ඉසුරෝ නො වෙති’ යි කුකුස් කරමින් නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැල කළාහු ය. ... “මහණෙනි, රක්නහුගේ දානය පිළිගැන්මෙහි ඇවැත් නො වේ යැ” යි වදාළ සේක. (125-130)
71. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු දැව තාවකාලික වසයෙන් ගෙන ගොස් තමාගේ විහාරයේ බිත්තියට රුකුල් වශයෙන් යෙදී ය. භික්‍ෂූහු ඒ මහණහට චෝදනා කළාහු ය, “තෝ අශ්‍රමණ වෙහි” යයි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් දැන්විය. “මහණ, තෝ කෙබඳු සිතැති වෙහි ද?” භාග්‍යවතුන් වහන්ස, තව්කැලි සිත් ඇත්තෙමි’. “මහණෙනි, තව්කැලියෙහි ඇවැත් නො වේ.” (131)
72. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ජලය සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... සඟ සතු මැටි සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... සඟ සතු ගොඩ ගසා තිබූ තණ සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (132-134)
73. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ගොඩ ගැසූ තණකොළ සොර සිතින් දැවීය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”. (135)
74. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ඇඳක් සොර සිත් ඇතියේ හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ...“මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (136)
75. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු පුටුවක් ... සඟ සතු බිස්සක් ... සඟ සතු කොට්ටයක් ... සඟ සතු කවුළු දොරක් ... සඟ සතු කවුළුවක් ... සඟ සතු ගොනැස්සක් සොර සිත් ඇතියේ හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (137-142)
76. එසමයෙහි භික්‍ෂූහු එක්තරා උවසුවකුගේ විහාර පරිභෝග වූ සෙනසුනක් අන් තැනක පරිභෝග කරත්. ඉන් පසු ඒ උවසු තෙමේ අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි: ‘කෙසේ නම් පින්වත්හු අන් තැනක පරිභෝග කළ යුතු දෙයක් අන් තැනක පරිභෝග කෙරෙද් දැ’ යි භාග්‍යවතුන් වහන්සේට එපවත් සැල කළාහු ය. ... “මහණෙනි, අන් තැනක පරිභෝග කළ යුතු දෙය අන් තැනක දී පරිභෝග නො කළ යුතු යි. යමෙක් පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වේ” (143)
77. එසමයෙහි භික්‍ෂූහු පොහොය ගෙට ද හිඳිනා කඩ පවා හැරගෙන යන්නට කුකුස් උපදවන්නාහු බිම හිඳ ගනිත්. සිරුරු ද සිවුරු ද පස් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය. ... “මහණෙනි, තව්කැලිව ගෙන යන්නට අනු දනිමි.” (144)
78. එසමයෙහි චම්පාවෙහි ථුල්ලනන්‍දා නම් මෙහෙණගේ අතැවැසි මෙහෙණක් ථුල්ලනන්‍දා මෙහෙණගේ පසදා කුලයට ගොස් “ආර්‍ය්‍යා තොමෝ තිකුළු කැඳ{1} පානය කරන්නට කැමති” යයි පිසවා ගෙන්වා ගෙන තොමෝ පානය කළා ය. ඕ තොමෝ එය දැන ගෙන ඇයට “තී මෙහෙණක් නො වෙහි” යි චෝදනා කළා ය. ඇයට කුකුස් විය. ඉන් පසු ඒ මෙහෙණ මෙහෙණන්ට මෙය සැල කළා ය. මෙහෙණහු මහණුන්ට මෙය සැල කළාහු ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පුවත සැල කළාහු ය. “මහණෙනි, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ.” (145)
79. එසමයෙහි රජගහ නුවර ථුල්ලනන්‍දා නම් මෙහෙණගේ අතැවැසි මෙහෙණක් ථුල්ලනන්‍දා මෙහෙණගේ පසදා කුලයට පැමිණ “ආර්‍ය්‍යා තොමෝ අතිරස කැවුම් වළඳන්නට කැමැත්තී” යයි අතිරස කැවුම් පිසවා ගෙන්වා ගෙන තොමෝ වැළදුවා ය. ඕ මේ කරුණ දැන ගෙන තෙල මෙහෙණට “තී නො මෙහෙණක් වෙහි” යි චෝදනා කළා ය. ඒ මෙහෙණට කුකුස් විය. ... “මහණෙනි, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ.” (146)
80. එසමයෙහි විසල් පුරයෙහි ආයුෂ්මත් අජ්ජුක මහණහුගේ උපස්ථායක ගෘහපතිහුගේ පුත්‍රයා ද බෑනා දැ යි දරුවෝ දෙදෙනෙක් වෙති. ඉක්බිති ඒ ගැහැවි තෙමේ ආයුෂ්මත් අජ්ජුක තෙරුන්ට මෙය කීය: “වහන්ස, මේ දරුවන් දෙදෙනා අතුරෙන් යමෙක් සැදැහැති වේ ද, සස්නෙහි පැහැදුනෙක් වේ ද, ඔහුට මේ ස්ථානය (ධනය) කියනු මැනවැ” යි. එසමයෙහි ඒ ගැහැවියාගේ බෑනා සැදැහැ ඇත්තෙක් ද පැහැදුනෙක් ද වෙයි. ඉක්බිති ආයුෂ්මත් අජ්ජුක තෙමේ ඒ ස්ථානය ඒ දරුහට කීයේ ය. හේ තෙමේ ඒ ධනයෙන් ගෙදළු (ගිහි ජීවිතය) ඇරඹීය. දන් වැට ද තැබී ය. ඉක්බිති ඒ ගැහැවියාගේ පුත් තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය දැන්වී ය. “වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, කවරකු පිය සතු ධනයට හිමියා වේ ද, ‘පුත්‍රයා ද නැත හොත් බෑනා ද?” යි. “ඇවත, පුත් තෙමේ පිය සතු ධනයට හිමියා වෙයි” කී ය. “වහන්ස, මේ අජ්ජුක හිමි තෙමේ අප සතු ධනය අපගේ නෑ සුහුරුබඩු පැවරී ය. ඇවැත්නි, ආයුෂ්මත් අජ්ජුක තෙමේ නො මහණෙකි’යි. ඉක්බිති අජ්ජුක තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කී ය: “ඇවැත් ආනන්‍ද ස්ථවිරයෙනි, මට විනිශ්චයක් දෙනු මැනවැ”යි. එසමයෙහි ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ ආයුෂ්මත් අජ්ජුකහට පක්‍ෂපාතී වෙයි. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය කීය: “ඇවැත් ආනන්‍ද ස්ථවිරය, යමෙක් වනාහි හිමියා විසින් ‘මේ ස්ථානය මෙනම් ඇත්තහුට කියව’ යි කියන ලද්දේ ඔහුට කියා නම් හෙතෙමේ කිනම් ඇවතකට පැමිණේ ද?” “වහන්ස, කිසියම් ඇවතකට නො පැමිණෙයි. යටත් පිරිසෙයින් දුකුළාවක් පමණකට ද නො පැමිණේ” යි. “ඇවැත්නි, මේ ආයුෂ්මත් අජ්ජුක තෙමේ හිමියා විසින් මේ ස්ථානය මෙනම් ඇත්තහුට කියව’ යි කියන ලද්දේ ඔහුට කී ය. ඇවැත්නි, ආයුෂ්මත් අජ්ජුක හට ඇවැත් නො වේ.” (147)
81. එසමයෙහි බරණැස් නුවර ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ උපස්ථායක කුලය සොරුන් විසින් පෙළන ලද්දේ වෙයි. දරුවන් දෙදෙන ද පැහැර ගෙන යන ලද්දාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ ඒ දරුවන් ඍද්ධියෙන් ගෙන වුත් පහයෙහි තැබී ය. මිනිස්සු ඒ දරුවන් දැක මෙය පිළින්‍දිවච්ඡ ආර්‍ය්‍යයන්ගේ ඍද්ධ්‍යානුභාව යයි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් කෙරෙහි ඉතා පැහැදුනාහු ය. භික්‍ෂූහු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුණ පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ සොරුන් විසින් ගෙන යන ලද දරුවන් ගෙන ආයේ දැ” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහු ය. ... “මහණෙනි, ඍද්ධිමත්හුගේ ඍද්ධි විෂයෙහි ඇවැත් නො වේ.” (148)
82. එසමයෙහි පණ්ඩුකය කපිලය යි යහළු භික්‍ෂූහු දෙනමක් වෙත්. එක් නමක් ගමක වෙසෙයි. එක් නමක් කොසඹෑ නුවර වෙසෙයි. ඉක්බිති ගමින් කොසඹෑ නුවරට යද්දී අතර මඟ නදියක් තරණය කරන්නා වූ ඒ මහණහුගේ පාදයෙහි හූරු වැද්දන්ගේ අතින් ගිළිහුනු වුරුණු තෙල් වැටිය ලැගුනේ වෙයි. ඒ මහණ තෙමේ “හිමියන්ට දෙන්නෙමැ” යි එය හැර ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළාහු ය. එතර වූ ඒ මහණ දැක එක් ගෙවිලියක් මෙසේ කීවා ය. “වහන්ස, එනු මැනවි. මෙවුන්දම් සේවනය කරන්නැ” යි. හෙතෙමේ “මම පියොවිනිදු අශ්‍රමණයෙමි” යි ඇය හා මෙවුන්දම් සේවනය කොට කොසඹෑ නුවරට ගොස් භික්‍ෂූන්ට තෙල පවත් සැල කළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැල කළාහු ය. ... “මහණෙනි, අයිනාදනින් පරිජිඇවැත් නො වේ. මෙවුන්දම් සෙවීමෙන් පරිජිඇවැත් වේ”. (149)
83. එසමයෙහි සගල්පුර ආයුෂ්මත් දළ්හිකගේ සද්ධිවිහාරික මහණෙක් අනභිරතියෙන් පෙළුනේ වෙළෙන්දකුගේ හිස් වෙළුමක් සොරා ගෙන ආයුෂ්මත් වූ දළ්හික තෙරුන්ට මෙය කීය: “වහන්ස, මම අශ්‍රමණ වෙමි. උපැවිදි වන්නෙමි” යි. “ඇවැත්නි, තා විසින් කුමක් කරන ලද ද?”. හෙතෙමේ එ කරුණ කීය. එය ගෙන්වා අගය (මිල නියම) කරවී ය. අගය කරවන කල්හි මසු පසක් නො අගනේ විය. “ඇවැත්නි, පරිජිඇවැත් නො වේ ය” යි දැහැමි කථාවක් කළේ ය. ඒ මහණ තෙමේ සස්නෙහි සිත් ඇලවිය. (150)
දෙවන පරිජිය නිමි.
තෘතීය පාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරසාලාවෙහි වෙසෙන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් භික්‍ෂූන්ට අසුභය පිළිබඳ කථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර වදාරණ සේක. අසුභභාවනාවෙහි ගුණ කියන සේක. කරුණු දක්ව දක්වා අසුභසමාපත්තියෙහි අනුසස් වදාරණ සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් හුදකලාව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙණෙන එක් මහණකු හැර කිසිවකු විසින් නොඑළඹිය යුත්තෙම් වෙමි” යි. “වහන්ස, එසේ ය” යි. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මෙහි පිණ්ඩපාතය ගෙණෙන එක් මහණකු හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි.
3. භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අසුභකථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර කියන සේක. අසුභභාවනාවෙහි ගුණ කියන සේක. කරුණු දක්ව දක්වා අසුභසමාපත්තියෙහි අනුසස් වදාරණ සේකැ” යි ඒ භික්‍ෂූහු නොයෙක් අයුරින් මුසු වූ අසුභභාවනාවෙහි යෙදුනාහු වෙසෙත්.
4. යම්සේ සැරසීම පියවි කොට ඇති හිස නෑවාවූ තරුණ වූ යොවුනෙහි සිටියා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුනු සර්‍පකුණපයකින් හෝ බලුකුණකින් හෝ මිනිස් කුණකින් හෝ පෙළෙන්නේ ද, ලජ්ජිතවන්නේ ද, පිළිකුල් කරන්නේ ද, එපරිද්දෙන් ම ඒ භික්‍ෂූහු සියකයින් පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු, පිළිකුල් කරන්නාහු තුමූ තමන් ම ජීවිතයෙන් තොරකර ගණිත්. ඔවුනොවුන් ද ජීවිතයෙන් තොරකර ගණිත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත ද එළඹ මෙසේ කියත්: “ඇවත, අප ජීවිතයෙන් තොර කරණු මැනව. මේ පා සිවුරු තට වන්නේය” යි.
5. ඉක්බිති මහණ වෙස් ගත් මිගලණ්ඩික තෙමේ පා සිවුරුවලින් පෝෂිත වූයේ බොහෝ භික්‍ෂූන් දිවියෙන් තොර කොට ලේ වැකුනු කඩුව ගෙණ වග්ගුමුදා නදිය වෙත පැමිණියේ ය. ඉක්බිති ලේ වැකුණු කඩුව දෝනා මහණවෙස් ගත් මිගලණ්ඩිකයාට කුකුස් වූයේ ම ය. විපිළිසර වූයේ ම ය. “ඒකාන්තයෙන් මට අලාභයහ. ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙති. මා ලත් මිනිසත් බව ද නපුරු ය. මනාසේ ලද්දක් ද නො වෙයි. යම් බඳු වූ මම සිල්වත් වූ කලණදම් ඇති භික්‍ෂූන් දිවියෙන් තොර කෙළෙම් ද, ඒ මා විසින් ඒකාන්තයෙන් බොහෝ අකුසල් රැස්කරන ලද්දේය” යී.
6. ඉක්බිති එක්තරා මාරපාක්‍ෂික දෙවියෙක් නොබිඳෙන දියෙහි (ඍද්ධියෙන්) අවුත් මහණවෙස් ගත් මිගලණ්ඩිකයාට මෙය කීය: “සත්පුරුෂය, ඉතා මැනවි. සත්පුරුෂය, තට ලාභයහ. සත්පුරුෂය, තා විසින් ලද්දේ මනා මිනිසත් බවෙක. යම් හෙයකින් තෝ සසරින් එතර නුවූවන් එතර කෙළෙහි ද එහෙයින් තා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේය.” යි
7. ඉක්බිති මහණ වෙස්ගත් මිගලණ්ඩිකයා “මට ලාභය. මා විසින් ලද්දේ මනා මිනිසත් බවෙක. මා විසින් බොහෝ පින් රැස් කරන ලද්දේ ය. මම වනාහි සසරින් එතර නුවූවන් එතර කෙරෙමි”යි තියුණු අසිපතක් ගෙණ වෙහෙරින් වෙහෙරට ද, පිරිවෙණින් පිරිවෙණට ද එළඹ මෙසේ කියයි: “කවරෙක් සසරින් එතර නුවූයේ ද? කවරකු සසරින් එතර කෙරෙම්දැ”යී. එහි යම් අවීතරාග භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එකල්හි බියෙක් වේ ම ය. තැති ගැණීමෙක් වෙයි. ලොමුදහගැන්මෙක් වෙයි. යම් ඒ වීතරාග භික්‍ෂූහු වෙද්ද එකල්හි ඔවුන්ට බියෙක් නො වෙයි. තැතිගැන්මෙක් නො වෙයි. ලොමු දහගැන්මෙක් නො වෙයි.
8. ඉක්බිති මහණ වෙස් ගත් මිගලණ්ඩික තෙමේ එකදවසකින් එක් මහණකුදු දිවියෙන් තොර කළේය. එකදවසකින් භික්‍ෂූන් දෙනමක් ද දිවියෙන් තොර කෙළේය. එකදවසකින් භික්‍ෂූන් තෙනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සිවුනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් පස්නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් දසනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් වීසිනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් තිස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සතළිස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් පනස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සැට නමක් ද දිවියෙන් තොර කෙළේ ය.
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් පල සමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, කුමක් හෙයින් භික්‍ෂූ සඞ්ඝයා තුනීවූවාක් මෙන් වී ද?”යී
10. වහන්ස, එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් භික්‍ෂූන්ට අසුභකථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර කියන සේක. අසුභ භාවනාවෙහි ගුණ කියන සේක, කරුණු දක්ව දක්වා අසුභ සමවතෙහි අනුසස් වදාරණ සේක. වහන්ස, ඒ භික්‍ෂූහු ද “භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අසුභකථාව වදාරති. අසුභයෙහි විස්තර කියති. අසුභ භාවනාවෙහි ගුණ කියති. කරුණු දක්ව දක්වා අසුභ සමවතෙහි අනුසස් කියති” යි ඒ භික්‍ෂුහු නන් අයුරින් මුසු වූ අසුභභාවනාවෙහි යෙදුනාහු වෙසෙත්. ... යම් සේ සැරසීම පියවි කොට ඇති ශීර්‍ෂස්නානය කළ තරුණ වූ යොවුනෙහි සිටියා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුනු අහිකුණපයකින් හෝ බලුකුණකින් හෝ මිනිස් කුණකින් හෝ පීඩිත වන්නේ ද, ලජ්ජිතවන්නේ ද, ජුගුප්සිත වන්නේ ද, එමෙන් ම ඒ භික්‍ෂූහු සිය කයින් පීඩිත වෙමින් ලජ්ජිත වෙමින් ජුගුප්සිත වෙමින් තුමූ ම තමන් නසා ගනිත්. ඔවුනොවුන් ද දිවි තොර කර ගණිත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත ද පැමිණ මෙසේ කියත්: “ඇවැත්නි, අප දිවියෙන් තොර කරණු මැනැවි. මේ පාසිවුරු තට වන්නේය” යි. ඉක්බිති ශ්‍රමණවේශය ගත් මිගලණ්ඩික තෙමේ පාසිවුරු වලින් පෝෂිත වූයේ එක් දවසකින් එක් භික්‍ෂූ නමක් ද, ... එක් දවසකින් භික්‍ෂූන් සැට නමක් ද දිවියෙන් තොර කෙළේ ය. “වහන්ස, යම් සේ මේ භික්ඛුසඞ්ඝතෙමේ අර්‍හත්‍වයෙහි පිහිටන්නේ ද භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ අනික් ක්‍රමයක් දෙසන සේක්වා” යී.
11. “ආනන්‍දය, එසේ වී නම් යම් පමණ භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙද් ද, ඒ සියල්ලන් උවැටන්හලෙහි රැස් කරවයි. “වහන්ස, එසේය” යි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යම් පමණ භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් ද, ඒ සියල්ලන් උවැටන්හලෙහි රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙය සැළ කෙළේ ය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යමකට කල් දන්නා සේක් ද ඒ සඳහා භික්‍ෂූසඞ්ඝතෙමේ රැස්වීය” යි.
12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උවටැන්හල වෙත එළඹ පැණවූ අසුන්හි වැඩහිඳ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මේ ආනාපානසති සමාධිය වඩනලද්දේ බහුල කරන ලද්දේ සාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුව විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුවයි. මහණෙනි, යම් සේ ගිම්හානයේ පැසුළු මස අහසට නැඟුණු දූවිලි නො කල් මහ වැස්සක් ක්‍ෂණයකින් ම අතුරුදන් කෙරේ ද, එසේ ම මහණෙනි ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරණ ලද්දේ ශාන්ත ද, ප්‍රණීත ද, පියවින් මිහිරි ද, සුව විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුවයි.
13. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරණ ලද්දේ ශාන්ත වේ ද ප්‍රණීත වේ ද පියවින් මිහිරි වේ ද සැප විහරණ ඇත්තේ වේ ද, උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරේ ද, සන්සිඳුවා ද?
14. “මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ වනසෙනසුනට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පලක් බැඳ සිරුර කෙළින් තබා ගෙණ සිහිය කමටහනට යොමු කොට හිඳියි. හෙතෙමේ සිහි ඇත්තේ ආශ්වාස කෙරෙයි. සිහි ඇත්තේ ප්‍රශ්වාස කෙරෙයි:–
ප්‍රවෘත්තිකාල වශයෙන් දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරමියි දනියි. ලුහුඬු කොට හෝ ආශ්වාස කරන්නේ ලුහුඬු කොට ආශ්වාස කරමියි දනි යි. ලුහුඬු කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ලුහුඬු කොට ප්‍රශ්වාස කරමි’යි දනියි. සියලු ආශ්වාසකය මොනොවට දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රශ්වාසකය මොනොවට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික කායසංස්කාරය සන්සිදුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික කායසංස්කාරය සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. {*} ප්‍රීතිය අරමුණු විසින් මොනොවට දනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ප්‍රීතිය මොනොවට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කායික චෛතසික සුවය දනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කායික චෛතසික සුවය දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසඞ්ඛාරයන් දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසඞ්ඛාරයන් දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික චිත්තසඞ්ඛාරයන් සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික චිත්තසඞ්ඛාරයන් සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. {*} චිත්තපටිසංවේදී වූයේ ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත පටිසංවේදී වූයේ ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. (සමථ විපස්සනා වශයෙන්) සිත පහන් කරමින් ... අරමුණෙහි සිත පිහිටුවමින් ... නීවරණාදියෙන් සිත මුදමින් ... {*} අනිස විසින් දක්නා සුලු වූයේ ... (ඛය–අච්චන්ත විසින්) විරාගානුපස්සී වූයේ ... නිරෝධානුපස්සී වූයේ ... (පරිච්චාගපක්ඛන්‍දන වශයෙන්) කෙලෙස් දුරලීම දන්නා සුලුවූයේ ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. (පරිච්චාග–පක්ඛන්‍දන වශයෙන්) කෙලෙස් දුරලීම දක්නා සුලුවූයේ ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. {*} “මහණෙනි, ආනාපාන සති සමාධිය මෙසේ වඩනා ලද්දේ, මෙසේ බහුල කරණ ලද්දේ, සාන්තවූයේ ද, ප්‍රණීතවූයේ ද, ස්වභාව මධුරවූයේ ද, සුව විහරණ ඇත්තේ වූයේ ද, උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුව”යි.
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නිදානයෙහි ඒ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා භික්‍ෂූන් විචාළසේක. “සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු තුමූ ද තමන් දිවියෙන් තොර කෙරෙත්, ඔවුනොවුන් ද දිවියෙන් තොර කෙරෙත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත එළඹ ‘ඇවැත, අප දිවියෙන් තොර කරණු මැනව, මේ පාසිවුරු තට වන්නේය’ යි මෙසේ කියද්ද?” “සැබව භාග්‍යවතුන් වහන්සැ” යි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ ක්‍රියාව නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක. නොගැළපෙන්නෙක. නොමහණකමෙක. නොකැපයෙක. නොකටයුත්තෙක. “මහණෙනි, ඒ භික්‍ෂූහු කෙසේ නම් තුමූ තමනු දු දිවියෙන් තොරකර ගන්නාහු ද, ඔවුනොවුනුදු දිවියෙන් තොරකර ගන්නාහු ද, මහණ වෙස්ගත් මිගලණ්ඩිකයා වෙත එළඹ ‘ඇවැත්නි, අප දිවියෙන් තොර කරණු මැනව. මේ පා සිවුරු තට වන්නේය’ යි මෙසේ කියන්නාහු ද? මහණෙනි, මේ කරුණ නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නො වෙයි. ... මහණෙනි, මේ සික පදය මෙසේ උදෙසවු:–
“යම් මහණෙක් ‘මොහු මරමී’ දැන දැන මිනිස් සිරුරක් දිවියෙන් තොර කෙරේ ද, දිවි තොර කරණ අවියක් හෝ ඔහුට ගත හැකි සේ එළවා තබා ද, මේ මහණ ද පැරදුනේ සංවාසරහිතයෙක් වේ.”
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය මෙසේත් පණවන ලද්දේ වෙයි.
[මුල්පැණවීමයි.]
1. එසමයෙහි එක්තරා උවසුවෙක් ගිලන් වෙයි. ඔහුගේ බිරිඳ මනා රූ ඇත්තී, දැකුම්කලු වූවා, දුටුවන් පහදවන්නී වෙයි. සවග මහණහු ඈ කෙරෙහි පිළිබඳ සිත් ඇත්තාහු වෙත්. එකල්හි සවග භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය. “ඇවැත්නි, ඉදින් ඒ උවසු තෙමේ ජීවත්වන්නේ නම් අපි ඒ මාගම නො ලබන්නෙමු. ඇවැත්නි, එබැවින් අපි ඒ උවසුහට මරණයෙහි ගුණ වණමු” යි.
2. ඉක්බිති සවග මහණහු ඒ උවසු වෙත එළඹ මෙය කීහ. “උපාසකය, තෝ කළ කලණදම් ඇත්තෙහි. කළ කුසල් ඇත්තෙහි. කළ බිය රැකුම් ඇත්තෙහි. නොකළපව් ඇත්තෙහි. නොකළ රුදුකම් ඇත්තෙහි. නොකළ සැහැසිකම් ඇත්තෙහි. තා විසින් යහපතක් ම කරණ ලදී. තා විසින් පව් නො කරණ ලදී. තට මේ ලාමක වූ ජීවිතයෙන් කිම? තාගේ ජීවත් වීමට වඩා මරණය උතුමි. තෝ මෙලොවින් කලුරිය කළේ කාබුන් මරණින් මතු සුගතිය වූ දෙව්ලොවට පැමිණෙන්නෙහි. එහි දී දිව පස්කම් ගුණයෙන් පිණාගියෙහි, එයින් යුතු වූයේ අභිරමණය කරන්නෙහි ය.”
3. ඉක්බිති ඒ උවසු තෙමේ “ආර්‍ය්‍යයෝ සැබවක් කීහු. මම වනාහි කළ යහපත ඇත්තෙක් මි. කළ කුසල් ඇත්තෙක්මි. කළ බිය රැකුම් ඇත්තෙක් මි. නොකළ පව් ඇත්තෙක්මි. නොකළ රුදු කම් ඇත්තෙක් මි. නොකළ සැහැසි කම් ඇත්තෙක් මි. මා විසින් යහපත කරණලදී. මා විසින් පව් නො කරණ ලදී. මට මේ ලාමක දුඃඛ ජීවිතයෙන් කිම? මගේ ජීවත් වීමට වඩා මරණය උතුමි. මම මෙලොවින් කලුරිය කෙළෙම් කාබුන්, මරණින් මතු සුගතිය වූ ස්වර්‍ගලෝකයට පැමිණෙන්නෙමි. එහි දී දිව පස් කම් ගුණයෙන් පිණා ගියෙම් එයින් යුතුවූයෙම් අභිරමණය කරන්නෙමි” යි. හෙ තෙමේ නොසැපවූ ම බොජුන් වැළඳී ය. නොසැප වූ කැවිලි කෑවේ ය. නො සැප වූ ලේහයන් ලෙවී ය. නොසැප වූ පැන් පානය කෙළේ ය. අහිත බොජුන් ම බුදින, අහිත කැවිලි කන, අහිත ලේහයන් ලොවින, අහිත පැන් බොන, ඔහුට දැඩි ආබාධයෙක් උපන. හෙතෙමේ ඒ ආබාධයෙන් ම කලුරිය කෙළේ ය.
4. ඔහුගේ බිරිඳ අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි; “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු නම් ‘ධර්‍මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහු ය, සච්චවාදීහු ය, සිල්වත්හු ය, කළණ දහම් ඇත්තාහුය’ යි පිළින කෙරෙත්. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද, මොවුන්ට බමුණු කමෙක් කොයින් ද, මොහු මහණ කමින් පහවූවෝ ය. මොහු බමුණු කමෙන් පහවූවෝ ය. මොහු මාගේ සැමියාට මරණයෙහි ගුණ වැණූහ. මොවුන් විසින් මාගේ සැමියා මරණ ලද්දේය” යි.
5. අන් මිනිස්සු ද අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු වූ කලී ‘ධම්මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහු ය, සච්චවාදීහු ය, සීලවන්තයෝ ය, කළ කළණ දහම් ඇත්තෝය’යි පිළින කෙරෙති. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණුකමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද, මොවුන්ට බමුණු කමෙක් කොයින් ද, මොහු මහණ කමින් පහ වූවෝ ය. මොහු බමුණුකමින් පහවූවෝ ය. මොහු උවසුහට මරණයෙහි ගුණ වැණූහ. මොවුන් විසින් උවසු තෙමේ මරණ ලද්දේය”යී.
6. භික්‍ෂූහු අවමන් කරන, අයුණු කියන, නුගුණ පතුරුවන, ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ අපිස් මහණහු වෙද් ද, ඔහු අවමන් කරති, අයුණු කියති, නුගුණ පතුරුවත්: කෙසේ නම් සවග මහණහු උවසුහට මරණයෙහි ගුණ වැණූහු ද? යි.
7. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නිදානයෙහි ඒ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා සවග මහණුන් පිළිවිසි සේක. “සැබෑ ද, මහණෙනි, තෙපි උවසුහට මරණයෙහි ගුණ වැණූහු ද” යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස.’ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක, නොගැළ පෙන්නෙක. නොමහණකමෙක, නොකැපයෙක, නොකටයුත්තෙක. “හිස් පුරුෂයෙනි, තෙල කරුණ නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ.” ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කෙරේද, දිවි හරණ අවියක් උහු වෙත එළවා තබන්නේ ද, මරණයෙහි ගුණ හෝ කියන්නේ ද, මරණය පිණිස උපාය උගන්වන්නේ ද, ‘එම්බා පුරුෂය, තාගේ ලාමක වූ මේ දුඃඛජීවිතයෙන් කිම? තාගේ ජීවත්වීමට වඩා මරණය උතුමි’ යි මෙබඳු මරණ සිත් ඇත්තේ මෙබඳු මරණ සංකල්පනා ඇත්තේ නොයෙක් අයුරින් මරණයෙහි ගුණ හෝ වණා ද, මරණය පිණිස උපාය උගන්වා ද, මේ මහණ තෙමේ ද පැරදුනේ වෙයි, සංවාසයට නුසුදුසු වෙයි.”