Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 301-400 න් 2612

“යම් මහණෙක් නුදුන් වස්තුවක් ග්‍රාමයෙන් හෝ අරණ්‍යයෙන් හෝ සොරසිතින් ගනී ද, යම් බඳු වූ නුදුන් වස්තුවක් ගැන්මෙහි රජවරු ‘සොරහු ගෙන, සොරෙහි, බාලයෙහි, මූඪයෙහි, අනුන් අයත් දැය සොරා ගත්තෙහි’යි ඔහු පෙළද්ද, බඳිද්ද, රටින් නගද්ද එබඳු නුදුන් වස්තුව සොරසිතින් ගන්නා වූ මේ මහණ ද පරිජි අවන්නේ සංවාස රහිත වූයේ වෙයි”.
[දෙවැනි පැණවීමයි]
4. යෝපන යනු යම්බඳු වූ යමෙක් -පෙ-;
භික්ඛු යනු හිඟන්නේ “භික්‍ෂු” නම් වේ. -පෙ- මේ තෙමේ මේ අරුත්හි භික්‍ෂුය යි අභිප්‍රේතයි.
ගාම නම්: එක් කිළියක් ඇත්තේ ද ගමය. දෙකිළියක් ඇත්තේ ද ගමය. ගෙවල් තුනක් ඇත්තේ ද ගමය. ගෙවල් සතරක් ඇත්තේ ද ගමය. මිනිසුන් සහිත වූයේ ද ගමය. මිනිසුන් රහිත වූයේ ද ගමය. පිරිකෙව් කරණ ලද්දේ ද ගමය. පිරිකෙව් නො කරණ ලද්දේ ද ගමය. වීථි වෙන් කිරීමක් නො මැතිව ගෙවල් දෙකක් තුනක් (ගවයන් ලැගුනාක් මෙන්) තැනින් තැන වූයේ ද ගමය. යම් සාර්‍ත්‍ථවාහක සමූහයක් ගැල් බඩු වෙළඳමුලක් අයිරා සිවුමස් කලක් විසුයේ ද ගමයි කියනු ලැබේ.
ගාමූපචාරය නම්: පිරිකෙව් කළ ගමෙහි ඉන්‍ද්‍රකීලය (පුරටැඹ) වෙත සිටි මැදුම් පුරුෂයෙකුගේ ලෙඩ්ඩුපාත යයි. (ගලක් ගසන දුරයි) නො පිරිකෙව් කළ ගමෙහි ගෘහෝපචාරයෙහි සිටියා වූ මැදුම් පුරුෂයෙකුගේ ලෙඩ්ඩුපාත යයි.
අරඤ්ඤ නම්: ගම ද, ගාමූපචාරය ද හැර සෙස්ස අරණ නමි.
අදින්න නම්: යමක් නො දෙන ලද ද, (අයිතියෙන්) බැහැර නො කරණ ලද ද, පරිත්‍යාග නො කරණ ලද ද, රක්නා ලද ද, ගෝපනය කරණ ලද ද, මාගේ යයි ගන්නා ලද ද, අනුන් අයත් දෑ ද, මෙය අදින්න නමි.
ථෙය්‍යසඞ්ඛාතං යනු: සොර සිත් ඇත්තේ, පැහැර ගන්නා සිත් ඇත්තේ ය.
ආදියෙය්‍ය යනු: ගණී නම්, හැර ගණී නම්, පැහැර ගණී නම්, ඉරියව් වෙනස් කෙරේ නම්, තුබූ තැනින් වෙන් කෙරේ නම්, සලකුණ ගැණීමෙහි කළ ලකුණ ඉක්මවා නම් ය.
යථාරූපං යනු: පාදයක් (මසු පහක්) හෝ, පාදයක් අගනේ හෝ පාදයකට වැඩි වූයේ හෝ ය.
රාජානෝ යනු: පෘථිවීශ්වර රජහු ය, ප්‍රදේශ රජහු ය, මණ්ඩලිකයෝ ය, අතර පිහිටි ගම් කිහිපයක් වළඳනා රජහු ය. අක්‍ෂදර්‍ශක (විනිශ්චයකාරක)යෝ ය, මහාමාත්‍යයෝ ය, යම් කෙනෙක් සිඳුම් බිඳුම් ඈ දඬුවම් නියම කෙරෙද්ද, මොහු මෙහි රජවරු නම් වෙත්.
චෝර යනු: යමෙක් මසු පහක් හෝ අයිරා මසු පහක් හෝ අගනා හිමියන් නුදුන් දෙය සොර සිතින් ගනී ද, හේ චෝර නමි.
හනෙය්‍යුං වා යි: අතින් හෝ පයින් හෝ කසයෙන් හෝ වේවැලින් හෝ අඩදඬුවකින් හෝ අවියකින් හෝ පෙළන්නාහු ය.
බන්‍ධෙය්‍යුං වා යි: රැහැන් බැම්මෙන් හෝ විලංගු බැම්මෙන් හෝ හැකිලි බැම්මෙන් හෝ ගෙයක සිර කර තැබීමෙන් හෝ නුවරක සිර කර තැබීමෙන් හෝ ගමක සිර කර තැබීමෙන් හෝ නියම් ගමක සිර කර තැබීමෙන් හෝ මෙසේ බඳින්නාහු ය. පුරුෂාරක්‍ෂාව හෝ කරන්නාහු ය.
පබ්බාජෙය්‍යුං වා යි: ගමින් හෝ නියම් ගමින් හෝ නුවරින් හෝ ජනපදයෙන් හෝ ජනපද පෙදෙසින් හෝ බැහැර කරන්නාහු ය.
චෝරොසි බාලොසි මූළ්හෝසි ථේනෝසි යනු: මෙය පරිභව බිණීමකි.
තථාරූපං නම්: පාදයක් හෝ පාදයක් අගනේ හෝ අයිරා පාදයක් හෝ ය.
ආදියමානෝ යනු: ගන්නේ, හැරගන්නේ, පැහැර ගන්නේ, ඉරියව් වෙනස් කරන්නේ, තුබූ තැනින් ඉවත් කරන්නේ, සලකුණ වෙනස් කරන්නේ ය.
අයම්පි යනු: පළමු පරිජි ඇවතට අවන් පුද්ගලයා ගෙන ‘මෙතෙමේත්’ යි කියනු ලැබේ.
පාරාජිකො හොති යනු: යම් සේ නටුවෙන් ගිලිහුණු කොළය නැවත නිල් වීමට නුසුදුසු වේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ පාදයක් හෝ පාදයක් අගනා දෙය හෝ අයිරා පාදයක් හෝ හිමියන් නුදුන් දෙය සොර සිතින් ගෙණ අශ්‍රමණයෙක් වෙයි. අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. එහෙයින් පාරාජික වේ යයි කියනු ලැබේ.
අසංවාසො යි: සංවාස නම් එක්ව විනයකර්‍ම කිරීම, එක්ව උදෙසීම, සමානශික්‍ෂා ඇති බව මේ සංවාස නමි. එය ඔහු හා නැත් නුයි, එහෙයින් අසංවාස යයි කියනු ලැබේ.
[නය මාතෘකා]
1. භුම්මට්ඨය, ථලට්ඨය, ආකාසට්ඨය, වේහාසට්ඨය, උදකට්ඨය, නාවට්ඨය, යානට්ඨය, භාරට්ඨය, ආරාමට්ඨය, විහාරට්ඨය, ඛෙත්තට්ඨය, වත්‍ථුට්ඨය, ගාමට්ඨය, අරඤ්ඤට්ඨය, උදකය, දන්තපෝනය, වනස්පතිය, හරණකය, උපනිධිය, සුඞ්කඝාතය, පාණය, අපදය, දිපදය, චතුප්පදය, බහුප්පදය, ඔවරකය, ඔනිරක්ඛය, සංවිදාවහාරය, සංකේතකම්මය, නිමිත්තකම්මය යි.
2. භුම්මට්ඨ නම්: භාණ්ඩය බිම තබන ලද්දක් වෙයි. වළ දමන ලද්දක් වෙයි. සැඟවුනක් වෙයි. බිම පිහිටි භාණ්ඩය හැරගන්නෙමි යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් උදැල්ලක් හෝ කූඩයක් හෝ සොයා නම් යේ නම් හෝ දුකුළාඇවැත් වේ. එහි හටගත් දඬු කඩක් හෝ වැලක් හෝ සිඳී ද දුකුළාඇවැත් වේ. පස් සාරයි හෝ රැස් කරයි හෝ නගයි හෝ දුකුළාඇවැත් වේ. සැළක් පහස්නේ හෝ දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. තම බඳුන එව මසු පහක් හෝ අයිරා මසු පහක් හෝ අගනා දැයක් සොර සිත් ඇත්තේ පහස්නේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තම බඳුනට ගනී නම් හෝ මිටු මොළවා ගනී නම් හෝ පරිජිඇවැත් වේ. නූලක ඇවුනු භාණ්ඩයක් හෝ පමුවක් හෝ ගෙලපලඳනාවක් හෝ හින පලඳනාවක් හෝ සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කෙළවර ගෙන ඔසවා නම් ථුලැසිඇවැත් වේ. ගටමින් බැහැර කෙරේ නම් ථුලැසිඇවැත් වේ. යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු සැළි මුවෙන් මුදා නම් පරිජිඇවැත් වේ. ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ උක්පැණි හෝ මසුපසක් හෝ අයිරා මසුපසක් හෝ අගනා දෑ සොර සිත් ඇත්තේ එක් පියොවක් පානය කෙරේ නම් පරිජිඇවැත් වේ. එහි ම බිඳි නම් හෝ බැහැර කෙරේ නම් හෝ දවා නම් හෝ පරිභෝගයට නුසුදුසු කෙරේ නම් හෝ දුකුළාඇවැත් වේ.
3. ස්ථලස්ථ භාණ්ඩය නම්: භුම්‍යාදි තලයෙහි තබන ලද්දක් වෙයි. ඒ ථලට්ඨ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
4. ආකාශස්ථ භාණ්ඩය නම් ආකාශ ගත වස්තුවෙක් වෙයි. මොනරෙක් හෝ සුදු තිත්වටුවෙක් හෝ කළු තිත්වටුවෙක් හෝ වටුවෙක් හෝ සළුවක් හෝ හිස් වෙළුමක් හෝ අමු රන් කඩක් හෝ රත්රන් කඩක් හෝ සිඳිනු ලබන්නේ වැටේ. අහසෙහි වූ භාණ්ඩය ‘පැහැර ගනිමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නෙකු හෝ සොයා නම්, යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ගමන ඔබ මොබ යාම නවතා නම් දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
5. විහායසස්ථ භාණ්ඩ නම් අහස් ගත වූ භාණ්ඩයක් වෙයි. ඇඳක හෝ පුටුවක හෝ සිවුරුවසෙක හෝ සිවුරු රැහැනෙක හෝ බිත්තියෙහි සවි කළ ඇණයක හෝ නාදැත්තෙක හෝ රුකෙක හෝ යටත් පිරිසෙයින් පාත්‍රාධාරයක එල්වන ලද්දක් වෙයි. අහස් ගත භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම්, යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
6. උදකස්ථ භාණ්ඩය නම් ජලයෙහි තබන ලද්දක් වෙයි. උදකස්ථ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. දියේ ගිලේ නම් හෝ දියෙන් මතු වේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. එහි හට ගත් උපුලක් හෝ පියුමක් හෝ හෙල පියුමක් හෝ නෙලුඹු දැළියක් හෝ මසකු හෝ කැසුබුවකු හෝ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දැය සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම්, දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
7. නෞකා නම් යමකින් තරණය කෙරේ ද, එය යි. (නාවට්ඨ) නෞකාස්ථ භාණ්ඩ නම් නැවෙහි තබන ලද්දෙක් වෙයි. නැවෙහි වූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම්, යේ නම් දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘නැව පැහැර ගනිමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම්, යේ නම් දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. බැම්ම මුදා නම් දුකුළාඇවැත් වේ. බැම්ම මුදා ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. උඩට හෝ යටට හෝ සරසට හෝ යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු ගමන් කරවා නම් පරිජිඇවැත් වේ.
8. යාන නම් හිදොලුව ද, රිය ද, ගැල ද, ගුරුළු පියාපත් නයින් කළ රිය ද, වෙයි. යානස්ථ භාණ්ඩය නම් යානයෙහි තබන ලද්ද වේ. යානයෙහි තුබූ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘යානය පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නෙකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
9. භාර නම් හිසින් උසුලන බර ය, උරහිසින් උසුලන බර ය, ඉණෙන් උසුලන බර ය, එල්ලාගෙන යන බර ය: හිසෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කඳෙහි තබා නම් පරිජිඇවැත් වේ. කඳෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කටියෙහි තබා නම් පරිජිඇවැත් වේ. කටියෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. අතට ගනී නම් පරිජිඇවැත් වේ. අතෙහි වූ බර සොර සිත් ඇත්තේ බිම තබා නම් පරිජිඇවැත් වේ. සොර සිත් ඇත්තේ බිමින් ගනී නම් පරිජිඇවැත් වේ.
10. ආරාම නම් පුෂ්පාරාම, ඵලාරාම යි. ආරාමස්ථ භාණ්ඩ නම් අරම්හි භූමිෂ්ඨ, ස්ථලස්ථ, ආකාශස්ථ, විහායසස්ථ යැ යි සතර තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි. ආරාමයෙහි තුබූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් හෝ එයට යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තැනින් බැහැර කෙරේ ද පරිජිඇවැත් වේ. එහි හටගත් මුලක් හෝ පොත්තක් හෝ පත්‍රයක් හෝ මලක් හෝ ගෙඩියක් හෝ, පස් මසක් හෝ අතිරේක පස් මසක් හෝ අගනා දැයක් සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. ‘අරම තමා සතු ය’ යි පැමිණිලි කෙරේ ද දුකුළාඇවැත් වේ. හිමියා ට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට අයත් නොවන්නේ යැ’ යි ධුරනිඃක්‍ෂේපය කෙරේ ද පරිජිඇවැත්වේ. යුක්ති බණන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. යුක්ති බණන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ.
11. විහාරස්ථ භාණ්ඩය නම් විහාරයෙහි සිවු තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි: ඒ භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු ය. විහාරස්ථ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් බැහැර කෙරේ ද පරිජිඇවැත් වේ. විහාරය නිමිති කොට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ ය’ යි ධුර නිඃක්‍ෂේපය කෙරේ ද පරිජිඇවැත් වේ. යුක්තිය බණන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. යුක්තිය බණන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ.
12. ක්‍ෂේත්‍ර නම් යම් තැනෙක ඇල් ආදී පුබ්බන්න ධාන්‍ය හෝ උඳු, මුං, ආදී අපරන්න ධාන්‍ය හෝ හට ගනී ද එය යි. ක්‍ෂෙත්‍රස්ථ භාණ්ඩය නම් කෙතෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද්ද වෙයි: භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු යි. කෙතෙහි වූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා ද, යේ ද, දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් අගනා එහි හට ගත් පුබ්බන්න හෝ අපරන්න හෝ සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. කෙතට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ ය’ යි බලාපොරොත්තුව හරී ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ (හිමියා) පරදවා ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ. ඉම් කණුව හෝ තමන් සතු කරන්නේ ද, රැහැන හෝ පතුරුවන්නේ ද, වැට හෝ ඈත් කරන්නේ ද, ඉම හෝ පුළුල් කරන්නේ ද, මෙසේ ඉම ඉවත් කෙරේ නම් දුකුළාඇවැත් වේ. එය පිළිබඳ එක් ප්‍රයෝගයක් (පමණක්) සම්පූර්‍ණ නො වූ කල්හි ථුලැසිඇවැත් වේ. ඒ ප්‍රයෝගය (උත්සාහය) ද සම්පූර්‍ණ වූ කල්හි පරිජිඇවැත් වේ.
13. වාස්තු නම් ආරාම වස්තු යි. වාස්තුස්ථ භාණ්ඩ නම් වත්තෙහි සිවු තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි: භුම්මට්ඨ ය, ථලට්ඨ ය, ආකාසට්ඨ ය, වේහාසට්ඨ ය යන මොහු ය. වත්තෙහි වූ බඩු ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ යොදා ද යේ ද දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. වත්තට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ යැ’ යි බලාපොරොත්තු හරී ද පරිජිඇවැත්වේ. විනිශ්චය කරන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ. ඉම් කණුව හෝ රැහැන හෝ වැට හෝ පවුර හෝ තමන් සතු වන සේ වෙනස් කෙරේ ද දුකුළාඇවැත් වේ. එක් ප්‍රයෝගයක් සම්පූර්‍ණ නො වූ කල්හි ථුලැසිඇවැත් වේ. ඒ ප්‍රයෝගය ද සම්පූර්‍ණ වූ කල්හි පරිජිඇවැත් වේ.
14. ග්‍රාමස්ථ නම් ගමෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද භාණ්ඩය වෙයි: භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ (යන මොහු ය.) ගමෙහි වූ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
15. අරණ්‍ය නම් මිනිසුන් විසින් පරිගෘහිත යමක් වේ ද එය අරණ්‍යය යි. අරණ්‍යස්ථ භාණ්ඩය නම් අරණෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද්ද වෙයි. භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු යි. අරණෙහි වූ භාණ්ඩයක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් අගනා එහි හට ගත් ලීයක් හෝ වැලක් හෝ තණ හෝ සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
16. උදක නම් භාජනගත වූ හෝ පොකුණෙහි වූ හෝ තඩාගයෙහි වූ දියෙක් වේ. එය සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. තමාගේ බඳුන එහි එව මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දියක් සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තම බඳුනට ගනී නම් පරිජිඇවැත් වේ. මියර සිඳී නම් දුකුළාඇවැත් වේ. මියර සිඳ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දියක් නික්මවා ගනී නම් පරිජිඇවැත් වේ. මස්සකට වැඩි වූ හෝ මසු පසකට අඩු වූ අගනා දියක් නික්මවා ගනී නම් ථුලැසිඇවැත් වේ. මස්සක් හෝ උනුමස්සක් හෝ අගනා දියක් නික්මවා ගනී නම් දුකුළාඇවැත් වේ.
17. දන්තපොන නම් සිඳින ලද හෝ නො සිඳින ලද හෝ දැහැටුයෙක් දන්ත පවන දැහැටි වෙයි. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දැහැටි සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
18. වනස්පති නම් මිනිසුන් විසින් පරිගෘහිත මිනිසුන්ගේ පරිභෝග වූ වෘක්‍ෂයෙක් වෙයි. සොර සිත් ඇත්තේ (එය) සිඳී නම් පහරක් පාසා දුකුළාඇවැත් වේ. එක් පහරක් නො පැමිණි කල්හි ථුලැසිඇවැත් වේ. ඒ පහර ද පැමිණි කල්හි පරිජිඇවැත් වේ.
19. හරණක නම් අනෙකකුට ගෙන යන බඩුවකි. සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘බඩුව සමඟ ගෙන යන්නහු හැර ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබා නම් ථුලැසිඇවැත් වේ. දෙවෙනි පිය ඉදිරියට තබා නම් පරිජිඇවැත් වේ. ‘වැටුනු බඩුව හැර ගන්නෙමි’ යි බිම ලවා නම් දුකුළාඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා වැටුනු බඩුවක් සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
20. උපනිධි නම් රක්නා පිණිස තැබූ බඩුව ය. ‘මගේ බඩුව දෙව’ යි කියනු ලබන්නේ ‘මම් නො ගනිමි’ යි කියා නම් දුකුළාඇවැත් වේ. හිමියාට විමිති උපදවා නම් ථුලැසිඇවැත් වේ. හිමි තෙමේ ‘මට නො දෙන්නේ යැ’ යි ධූරනිඃක්‍ෂේප කෙරේ නම් පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ හිමියා පරදවා නම් පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ (තෙමේ) පරදී නම් ථුලැසිඇවැත් වේ.
21. සුඞ්කඝාත නම් කඳු කපොල්ලෙක හෝ ගංතොටෙක හෝ ගම් දොරෙක හෝ ‘මෙහි පැමිණියහුගෙන් සුංවත් ගනිත්වා’ යි රජු විසින් නියම කොට තබන ලද්දක් වේ. එහි පිවිසි රජුගේ සුංවතට සුදුසු වූ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා බඩුවක් සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. පළමු පිය සුංවත් ගන්නා තැනින් ඉක්මවා නම් ථුලැසිඇවැත් වේ. දෙවෙනි පිය ඉක්මවා නම් පරිජිඇවැත් වේ. සුංවත් ගන්නා තැන තුළ සිටියේ සුංවත් ගන්නා තැනින් සුංකම පිටතට හෙළා නම් පරිජිඇවැත් වේ. සුංකම වළකා නම් දුකුළාඇවැත් වේ.
22. ප්‍රාණ නම් මනුෂ්‍ය ප්‍රාණියෙක් කියනු ලැබේ. සොර සිතින් ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් පරිජිඇවැත් වේ.
23. අපද නම් සර්‍පයෝ ය, මත්ස්‍යයෝ ය. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා සතකු සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
24. ද්විපද නම් මිනිස්සු ද, පක්‍ෂීහු ද වෙත්. සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් පරිජිඇවැත් වේ.
25. චතුප්පද නම් ඇත් ය, අස් ය, ඔටු ය, ගව ය, කොටළු ය, සෙසු සිවුපාවෝ ය යන මොහු වෙති. සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් ථුලැසිඇවැත් වේ. තෙවැනි පිය තබවා නම් ථුලැසිඇවැත් වේ. සිවුවන පිය තබවා නම් පරිජිඇවැත් වේ.
26. බහු පද නම් ගෝණුස්සෝ ය, පත්තෑයෝ ය, බූපණුවෝ ය, යන මොහු වෙත් මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා සතකු සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි ඉදිරියට ගමන් කරවා නම් පියක් පියක් පාසා ථුලැසිඇවැත් වේ. පැසුම් පිය මාරු කරවා නම් පරිජිඇවැත් වේ.
27. ඔචරක නම් (යමෙක්) බඩුවක ඔත්තු බලා ‘මේ නම් බඩුව පැහැර ගනු ව’ යි කියා නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ.
28. ඔනිරක්ඛ නම් අනෙකෙකු ගෙනවුත් තුබූ බඩුවක් රක්නේ වෙයි. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා එය සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සෙලවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
29. සංවිදාවහාර නම් බොහෝ දෙනෙකු කතා කොට ගෙන එකෙක් බඩුවක් සොරකම් කරයි. ඒ සියල්ල හට පරිජිඇවැත් වේ.
30. සඞ්කේතකර්‍ම නම් පෙරවරු හෝ පස්වරු හෝ රෑ හෝ දවල් හෝ ‘අසෝ සලකුණෙන් බඩුව ගනු ව’ යි සලකුණු කෙරෙයි. ‘ඒ සලකුණෙන් ඒ බඩුව ගනු ව’ යි කියා නම් දුකුළාඇවැත් වේ. ඒ සලකුණෙන් ඒ බඩුව සොරකම් කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ සලකුණට නියමිත කාලයට පෙර හෝ පසුව හෝ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
31. නිමිත්තකර්‍ම නම් ‘ඇස හෝ කනින්නෙමි, බැම හෝ නගන්නෙමි, හිස හෝ ඔසවන්නෙමි. ඒ නිමිත්තෙන් ඒ බඩුව පැහැර ගනු ව’ යි නිමිති කෙරෙයි නම් දුකුළාඇවැත් වේ. ඒ නිමිත්තෙන් ඒ බඩුව පැහැර ගනී නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ නිමිත්තට පෙර හෝ පසුව හෝ ඒ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
32. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරා ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ එය යැ යි හඟනේ එය ම සොරකම් කෙරේ නම් දෙදෙනාහට පරිජිඇවැත් වේ.
33. මහණෙක් මහණෙකුට ‘මේ නම් බඩුව සොරා ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ එය ම යැ යි හඟනේ අනෙකක් සොරකම් කෙරේ නම් මූලිකයාහට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
34. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කර ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැ යි හඟනේ එය සොරකම් කෙරේ නම් දෙදෙනාහටම පරිජිඇවැත් වේ.
35. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කර ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකකැ යි හඟනේ අනෙකක් සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
36. මහණෙක් ‘මේ නම් ඇත්තේ මේ නම් බඩුව පැහැර ගනී වා’ යි මේ නම් ඇත්තේ මේ නම් ඇත්තහුට කියාවා යි ‘මේ නම් ඇත්තහුට කිය ව’ යි දන්වා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ (එය) දන්වා නම් දුකුළාඇවැත් වේ. අවහාරක තෙමේ පිළිගනී නම් මූලිකයා හට ථුලැසිඇවැත් වේ. හේ තෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් සියල්ලන් හට පරිජිඇවැත් වේ.
37. ‘මේ නම් ඇත්තේ මේ නම් බඩුව පැහැර ගනී වා’ යි මේ නම් ඇත්තේ මේ නම් ඇත්තහුට කියා වා යි ‘මේ නම් ඇත්තහුට කියව’ යි මහණෙක් මහණකුට අණවා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ (අසවලාට මෙසේ කියව යි) අනෙකෙකු හට අණ කරයි නම් දුකුළාඇවැත් වේ. අවහාරක තෙමේ පිළිගනී නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයා හට ඇවැත් නො වේ. අණවන්නහුට ද පැහැර ගන්නහුට ද පරිජිඇවැත් වේ.
38. මහණෙක් මහණකුට, ‘මේ නම් බඩුව සොරකම් කරව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ ගොස් ‘ඒ බඩුව ගන්නට මම නො සමත් මි’ යි පෙරළා එයි. මහණ තෙමේ ‘යම් දවසක සමත් වී නම් ඒ දවසෙහි ඒ බඩුව පැහැර ගනුව’ යි නැවත අණවා නම් දුකුළාඇවැත් වේ. ඒ මහණ තෙමේ බඩුව සොරකම් කරයි නම් දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.
39. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කරව’ යි අණවයි නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණ කොට විපිළිසර වෙයි. ‘නො ගනුව’ යි නො කියයි. හේ ඒ බඩුව සොරකම් කරයි. දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.
40. මහණෙක් මහණකුට ‘මෙනම් බඩුව සොරකම් කරව’ යි අණවා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණ කොට විපිළිසර වූයේ ‘නො ගනුව’ යි අස්වයි. හේ ‘තා විසින් මම අණ කරණ ලද්දෙමි’ යි ඒ බඩුව සොරකම් කරයි. මූලිකයා හට ඇවැත් නො වේ. පැහැර ගන්නහුට පරිජිඇවැත් වේ.
41. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණවා විපිළිසර වූයේ ‘නො ගනුව’ යි අස්වයි. හේ ‘මැනවැ’ යි අත්හරියි. දෙදෙනාට ම ඇවැත් නො වේ.
42. හිමියන් නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් පරිජිඇවැත් වේ. අනුන් අයත් දෙයක් වේ ද, අනුන් අයත් යැයි හැඟීම් ඇත්තෙක් වේ ද, පස් මස්සක් හෝ අයිරා පස් මස්සක් හෝ අගනා ගරු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
43. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් ථුලැසිඇවැත් වේ. අනුන් සතු දෙයක් වෙයි ද, අනුන් සතු යැයි හැඟීම් ඇත්තේ වෙයි ද, මස්සකට වැඩි වූ හෝ පස් මස්කට අඩු වූ ලඝු පිරිකරක් වෙයි ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් ථුලැසිඇවැත් වේ.
44. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. මෙරමා සතු දැයකුත් වේ ද, මෙරමා සතුය යන හැඟීම් ඇත්තේත් වේ ද, මස්සක් හෝ උනුමස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
45. නුදුන් දැය පැහැර ගන්නහුට ආකාර සයෙකින් පරිජිඇවැත් වේ. ‘මෙය මා සතු ය’ යන හැඟීම් නැත්තේත් වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේත් වේ ද, තාවකාලිකත් නො වෙයි ද, මසු පසක් හෝ අයිරිත් මසු පසක් අගනා ගරු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
46. නුදුන් දැය ගන්නහුට අයුරු සයකින් ථුලැසිඇවැත් වේ. ‘මා සතු ය’ යන හැඟීම් නැත්තේ වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේ වේ ද, තව්කැලිත් නො වේ ද, මස්සකින් වැඩි වූ මසු පසකින් අඩු වූ ලුහු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් ථුලැසිඇවැත් වේ.
47. නුදුන් දැය පැහැර ගන්නහුට අයුරු සයෙකින් දුකුළාඇවැත් වේ. ‘තමා සතු ය’ යන හැඟීම් නැත්තේත් වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේත් වේ ද, තව්කැලිත් නො වේ ද, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා ලුහු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
48. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. අනුන් අයිති දැයක් නො වෙයි ද, අනුන් අයත් යැ යි හැඟීම ඇත්තේ වෙයි ද, මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා ගරු පිරිකරකුත් වෙයි ද, සොර සිතක් එළඹ සිටියේ වෙයි ද, ආමර්‍ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
49. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. අනුන් අයිති දැයකුත් නො වෙයි ද, අනුන් අයත් යැ යි හැඟීම ඇත්තේත් වෙයි ද, අයිරා මස්සක් හෝ උනුපස් මස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වෙයි ද, සොර සිතත් එළඹ සිටියේ වෙයි ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තුබූ තැනින් මුදවා නම් දුකුළාඇවැත් වේ.
50. පස් අයුරකින් නුදුන් දැය ගන්නහුට දුකුළාඇවැත් වෙයි: අනුන් අයිති දැයක් නො වෙයි ද, අනුන් අයත් යයි හැඟීම ඇත්තේ වෙයි ද, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වෙයි ද, සොර සිතත් එළඹ සිටියේ වෙයි ද, ආමර්‍ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් මුදවා නම් දුකුළාඇවැත් වේ.
51. (මේ වස්තුව) මා සතුය යන හැඟීම් ඇත්තාහට ද, විශ්වාස ග්‍රාහය ඇති කල්හි ද, තව්කැලියෙහි ද, ප්‍රේතයන් සතු දැයෙහි ද, තිරිසනුන් සතු දැයෙහි ද, පාංශුකූල සංඥාවෙන් ගන්නහුට ද, උන්මත්තකයාට ද, වික්‍ෂිප්ත සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළුනහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.
අදින්නා දාන ශික්‍ෂා පදයෙහි පළමු වන බණවර නිමි.
විනිශ්චිත කථාවස්තු
උද්දාන ගාථා:
රජක බඩු විසින් වස්තු පසෙක් ද අත්‍ථරණ නිසා සතරෙක් ද අන්‍ධකාරයෙන් පසක් ද හාරක විසින් පසක් හා සයෙක් ද කියන ලද හ. (25)
නිරුත්තියෙන් පසෙක් ද වාතයෙන් දෙකෙක් ද අසම්භින්න කුසාපාතජන්තග්ග වස්තු තුන සමඟ දසයෙක් කියන ලදි. (10)
විඝාස විසින් පසෙක් ද අමූලක පසෙක් ද දුර්භික්‍ෂයෙහි කුර - මංස - පූව - සක්ඛලික - මෝදක වශයෙන් පසෙක් ද කියන ලද හ. (15)
පරික්ඛාර වස්තු සතරෙකි, සකපරික්ඛාර එකෙකි, ථවිකා - භිසි - චීවරවංස - න නික්ඛම වසයෙන් සතරෙකි, ඛාදනීය නිසා එකෙකි. තවත් සසඤ්ඤා විසින් දෙකෙකි. (12)
නාවහරාමයී සතෙකි, අවාහරුංයී සතෙකි, සඞ්ඝසන්තක අවහාර සතෙකි, පුප්ඵාරාම විසින් තවත් දෙකෙකි. (23)
වුත්තවාදී තුනෙකි, මණි අතික්කම තුනෙකි, සූකර දෙකෙකි. මිග දෙකෙකි. මච්ඡ දෙකෙකි. යානය පෙරළීයයි කී එකෙකි. (13)
මංස පේසි දෙකෙකි. දාරු දෙකෙකි. පංසුකූල එකකි. උදක (නදී) දෙකෙකි. අනුපුබ්බ සංවිධාන ‘නපරිපූරී’ සමඟ දෙකෙකි. එයින් අන්‍ය වූ එකකි. (10)
සැවතෙහි මුට්ඨි වත්‍ථු සතරෙකි. විඝාස දෙකෙකි. තිණ දෙකෙකි. සඞ්ඝභාජන සතෙකි. අසාමික විසින් සතෙකි. (22)
දාරු - උදක - මත්තිකා වසයෙන් තුනෙකි. තිණ දෙකෙකි. අවභාසන වත්‍ථු සතෙකි. සස්සාමික නීහරෙය්‍ය - තාවකාලික හරෙය්‍ය වසයෙන් දෙකෙකි. (14)
චම්පා නුවර, රජගහ නුවර, විසල්පුර, අජ්ජුක බරණැස, කොසඹෑනුවර, සාගලපුර, දල්හික යයි වත්‍ථු සයෙකි. (6) – 150
1. එසමයෙහි සවග මහණු රදා තොටකට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කළාහු ය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සික පද පනවන ලදි. “කිම, අපි පරිජිඇවැත් අවන්නමෝ දැ?” යි ඔවුනට කුකුස් ඇති විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළාහු ය. “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (1)
2. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඉපදවීය. “කිම, මම පරිජිඇවැත් අවන්නෙම් දෝ” යි ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළේ ය. “මහණ, චිත්තෝත්පාදයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (2)
3. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිතැතියේ ආමර්‍ශනය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැ යි වදාළ සේක. (3)
4. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඇත්තේ සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ” යැ යි වදාළ සේක. (4)
5. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඇත්තේ තුබූ තැනින් පහ කළේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක.
6. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් මාහැඟි උතුරු අතුරුණක් දැක සොර සිත් ඉපද විය ... සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලවිය. ... සොර සිත් ඇත්තේ තුබූ තැනින් පහ කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (6-9)
7. එසමයෙහි එක්තරා මහණෙක් දවල් භාණ්යක් දැක ‘රෑ පැහැර ගන්නෙමි’ යි නිමිති කළේ ය. හේ ‘එයැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘එයැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (10-13)
8. එසමයෙහි එක්තරා මහණෙක් දවල් භාණ්ඩයක් දැක ‘රෑ සොරා ගන්නෙමි’ යි නිමිති කෙළේ ය. හේ තෙමේ ‘ඒ ම යැ’ යි හඟිමින් තමා සතු භාණ්ඩයක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැ යි වදාළ සේක. (14)
9. එසමයෙහි එක්තරා මහණෙක් අනෙකෙකු සතු භාණ්ඩයක් ගෙණ යන්නේ හිසෙහි තුබූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලැවී ය. ... සොර සිත් ඇත්තේ කරට ගත්තේ ය. ... කරෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලැවී ය. ... සොර සිත් ඇත්තේ උකුළට ගත්තේ ය. ... උකුළෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. සොර සිත් ඇත්තේ සෙලැවී ය ... සොර සිත් ඇත්තේ අතින් ගත්තේ ය. ... අතෙහි වූ බර සොර සිත් ඇත්තේ බිම තැබීය. ... සොර සිත් ඇත්තේ බිමින් උඩට ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (15-25)
10. එසමයෙහි එක්තරා මහණෙක් අභ්‍යවකාශයෙහි සිවුරක් අතුට විහාරයට ගියේ ය. එක්තරා මහණෙක් ‘මේ සිවුර නො වැනසේ වා’ යි තැම්පත් කොට තැබී ය. ඒ මහණ තෙමේ නික්ම ගොස් “ඇවත, මාගේ සිවුර කවරකු විසින් පැහැර ගන්නා ලද දැ” යි ඒ මහණ විචාළේ ය. ‘ම විසින් පැහැර ගන්නා ලද යැ’ යි ඒ මහණ කීය. හේ තෙමේ ‘තෝ අශ්‍රමණයෙහි යැ’ යි කියා එය ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැතියෙහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් ව්‍යවහාර වචන ඇත්තෙම් වෙමි” යි හේ කීය. “මහණ, ව්‍යවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (26)
11. එසමයෙහි එක්තරා මහණෙක් පුටුවක් මත සිවුර බහා තබා ... පුටුවක් මත නිසීදනය බහා තබා ... පුටුවක් යට පාත්‍රය බහා තබා විහාරයට ගියේ ය. එක්තරා මහණෙක් ‘මේ පාත්‍රය නො නැසේ ව’ යි තැම්පත් කොට තැබී ය. ඒ මහණ නික්ම අවුත් තෙල මහණගෙන් “ඇවත, මාගේ පාත්‍රය කවරකු විසින් පැහැර ගන්නා ලද දැ” යි විචාළේ ය. හේ තෙමේ ‘ම විසින් පැහැර ගන්නා ලද යැ’ යි මෙසේ කීය. හේ ‘තෝ අශ්‍රමණයෙහි යැ’ යි කියා එය ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, ව්‍යවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (27-29)
12. එසමයෙහි එක්තරා මෙහෙණක් වැටේ සිවුර අතුට විහාරයට ගියා ය. එක්තරා මෙහෙණක් ‘මේ සිවුර නො නැසේ ව’ යි තැම්පත් කොට තැබුවා ය. ඕ නික්මවුත් ඒ මෙහෙණගෙන් ‘ආර්‍ය්‍යාවෙනි, මාගේ සිවුර කවරකු විසින් පැහැර ගන්නා ලද දැ?’ යි මෙසේ විචාළා ය. ‘මා විසින් පැහැර ගන්නා ලද යැ’ යි ඕ මෙසේ කීවා ය. ඒ මෙහෙණ එය ගත්තී ය. ‘තෝ නො මෙහෙණකැ’ යි කිවු ය. ඈට කුකුස් විය. ඉන් පසු ඒ මෙහෙණ මෙහෙණන්ට මේ පවත් දැන්වූවා ය. මෙහෙණහු භික්‍ෂූන්ට මේ පවත් සැල කළාහු ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළාහු ය. “මහණෙනි, ව්‍යාවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (30)
13. එසමයෙහි එක්තරා මහණෙක් පෙයාසුළඟින් නඟන ලද සළුවක් දැක ‘හිමියන්ට දෙමි’ යි ගත්තේ ය. ‘තෝ අශ්‍රමණයෙක් වෙහි ය’ යි හිමිහු ඒ මහණ හට චෝදනා කළාහු ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ තෝ කෙබඳු සිතැත්තෙහි දැ?” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො සොර සිත් ඇත්තෙම් වීමි” යි කීය. “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (31)