Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 201-300 න් 2612

68. වෛරී භික්‍ෂුහු මහණකු නොමිනිස් මාගමකගේ ... තිරිසන්ගිය මාගමකගේ ... මිනිස් දෙහදන් ඇතියකුගේ ... නොමිනිස් දෙහදන් ඇතියකුගේ ... තිරිසන් ගිය දෙහදන් ඇතියකුගේ ... මිනිස් පණ්ඩකයකුගේ ... නොමිනිස් පණ්ඩකයකුගේ ... තිරිසන් ගිය පණ්ඩකයකුගේ ... මිනිස් පිරිමියකුගේ ... නොමිනිස් පිරිමියකුගේ ... තිරිසන්ගිය පිරිමියකුගේ සමීපයට ගෙණවුත් රහසඟින් වසමගෙහි ... මුවෙහි ... හිඳුවද්ද, තිරිසන් ගිය පිරිමියකුගේ පිළිසන් ... මහණහුගේ නො පිළිසන් ... තිරිසන් ගිය පිරිමියකුගේ නො පිළිසන් ... මහණහුගේ පිළිසන් ... තිරිසන් ගිය පිරිමියකුගේ පිළිසන් ... මහණහුගේ පිළිසන් ... තිරිසන් ගිය පිරිමියකුගේ නො පිළිසන් ... මහණහුගේ නො පිළිසන් ... ඉදින් හෙතෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, පරිජිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
69. වෛරී භික්‍ෂුහු මහණකු නොනිදි තිරිසන්ගිය පිරිමියකුගේ ... නිදි ගත් ... මත් වූ ... උමතු වූ ... පමා වූ ... මළා වූ ක්‍ෂීණ නො වූ ... මළා වූ බෙහෙවින් ක්‍ෂීණ නො වූ ... ඉවසා ද, පරිජි ඇවැත් වේ. වෛරී භික්‍ෂුහු මහණකු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
70. වෛරී භික්‍ෂුහු මහණහු ... මළා වූ බෙහෙවින් ක්‍ෂීණ වූ තිරිසන් ගිය පිරිමියකුගේ සමීපයට ගෙණවුත් රහසඟින් වසමගෙහි ... මුවෙහි ... හිඳුවද්ද පිළිසන් මහණහුගේ ... නො පිළිසන් තිරිසන් ගිය පිරිමියකුගේ ... නො පිළිසන් මහණහුගේ ... පිළිසන් තිරිසන් ගියහුගේ ... පිළිසන් මහණහුගේ ... පිළිසන් තිරිසන් ගියහුගේ ... නො පිළිසන් මහණහුගේ ... නො පිළිසන් ... ඉදින් හෙතෙමේ ප්‍රවේශය ඉවසා ද, ප්‍රවිෂ්ටය ඉවසා ද, ස්ථිතය ඉවසා ද, උද්ධරණය ඉවසා ද, ථුලැසිඇවැත් වේ. වෛරී භික්‍ෂුහු ... නො ඉවසා ද, ඇවැත් නො වේ.
71. සතුරු රජවරු ... සතුරු සොරු ... සතුරු ධූර්‍තයෝ ... බිලියම් පිණිස හදවත උපුටා ගන්නා සතුරෝ ... ඉවසා ද, ඇවැත් වේ. නො ඉවසා ද, ඇවැත් නො වේ. [වෛරී භික්‍ෂුහු වාරයන්හි මෙන් විස්තර කටයුතු]. (පිළිසන්වූව වර්‍ණනා කරණ ලද්දේ ම ය.)
72. මගින් මග මෙහෙයා නම් පරිජි ඇවැත් වේ. මගින් නොමග මෙහෙයා නම් පරිජි ඇවැත් වේ. නොමගින් මග මෙහෙයා නම් පරිජි ඇවැත් වේ. නො මගින් නොමග මෙහෙයා නම් ථුලැසි ඇවැත් වේ.
73. මහණ තෙමේ නිදි ගත් මහණකු කෙරෙහි වරදවා පිළිපදී ද, පිබිදියේ ඉවසා නම් දෙදෙනා ම ලිඞ්ගනාසනයෙන් නැසිය යුත්තාහ. පිබිද නො ඉවසා නම් දූෂකයා ලිඞ්ගනාසනයෙන් නැසිය යුත්තේ ය.
74. මහණ තෙමේ නිදි ගත් හෙරණකු කෙරෙහි වරදවා පිළිපදී ද, පිබිදියේ ඉවසා නම් දෙදෙන ම ලිඞ්ගනාසනයෙන් නැසිය යුත්තාහ. පිබිදියේ නොඉවසා නම් දූෂකයා නැසිය යුත්තේ ය.
75. හෙරණ තෙමේ නිදි ගත් මහණකු කෙරෙහි වරදවා පිළිපදී ද, පිබිදියේ ඉවසා නම් දෙදෙනා ම නැසිය යුත්තාහ. පිබිදියේ නො ඉවසා නම් දූෂකයා ලිඞ්ගනාසනයෙන් නැසිය යුත්තේ ය.
76. හෙරණ තෙමේ නිදි ගත් හෙරණකු කෙරෙහි වරදවා පිළිපදී ද, පිබිදියේ ඉවසා නම් දෙදෙන ම නැසිය යුත්තාහ. පිබිදියේ නො ඉවසා නම් දූෂකයා නැසිය යුත්තේ ය.
77. නොදන්නහුට නොඉවසන්නහුට උමතු වූවහුට, යක්‍ෂෝන්මාදයෙන් උමතු වූවහුට, වේදනාවෙන් පීඩිත වූවහුට ආදිකම්මිකයාට ඇවැත් නො වේ.
සන්‍ථත බණවර නිමි.
විනිශ්චිත කථාවස්තු
උද්දාන ගාථාවෝ:
මක්කටී වජ්ජිපුත්තක ගිහී නග්න තිත්‍ථිය වස්තුහු ය, දාරිකා උප්පලවණ්ණා වස්තු දෙක ය, අන්‍ය වූ බ්‍යඤ්ජන වස්තු දෙක ය, (15)
මාතු දුහිතු භගිනි ජායා වස්තුහු ය, මුදුපිට්ඨී ලම්බී වස්තු දෙක ය, වණවත්‍ථු දෙක ය, දාරුධීතලිකා වස්තුව සමග ආලේපචිත්ත වස්තු ය, (10)
සුන්‍දර වස්තුව සමග වස්තු පස හා සීවථික වස්තු පසය, අට්ඨිකවස්තුව ය, යක්ඛී නාගී පේතී පණ්ඩක උපහත ඡුපිත යන වස්තුහු ය, (17)
භද්දිය නුවර සුත්ත අරහ වස්තුව ය. අන්‍ය වූ සැවැතෙහි වස්තු සතර ය, විසල්පුර මල්ල වස්තු තුණ ය, සුපින වස්තුව ය, භාරුකච්ඡක වස්තුව ය. (10)
සුපබ්බා වස්තු නව ය, සද්ධා වස්තු නව ය, භික්ඛුණී වස්තුව ය, සික්ඛමානා සාමණෙරී වස්තු දෙක ය, වේසී පණ්ඩක ගිහි වස්තු තුණ ය, අඤ්ඤමඤ්ඤ බුඩ්ඪපබ්බජිත මිග වස්තු ය යන මොහු වෙත්. (27)
1. එ සමයෙහි එක්තරා මහණෙක් වැඳිරියක හා මෙවුන්දම් සෙවී ය. “භාග්‍යවතුන්වහන්සේ විසින් සික පද පනවන ලදී. කිම, මම පරිජි ඇවැත් අවන්නෙම් දෝ?” යි ඔහුට කුකුසෙක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (1)
2. එ සමයෙහි විසල්පුර වැසි බොහෝ වජ්ජිපුත්තක භික්‍ෂුහු සික පිළිකෙව් නො කොට දුබල බව් පළ නො කොට මෙවුන්දම් සෙවූහ. “භාග්‍යවතුන් වහන්සේ විසින් සික පදයක් පණවන ලදී. කිම, අපි පරිජි ඇවැත් අවන්නමෝ දැ?”යි ඔවුනට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජි ඇවැත් අවන්නහු ය”. (2)
3. එසමයෙහි එක්තරා මහණෙක් ‘මෙසේ මට ඇවැත් නොවන්නේය’යි ගිහි වෙසින් මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (3)
4. එ සමයෙහි එක්තරා මහණෙක් තෙමේ ‘මෙසේ මට ඇවැත් නොවන්නේය’යි නග්න ව සිවුර ඉවත ලා මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (4)
5. එසමයෙහි එක්තරා මහණෙක් තෙමේ මෙසේ මට ඇවැත් නොවන්නේය යි කුසතණ වැහැරි හැඳ ... නියඳ වැහැරි හැඳ ... පුවරු සටහනින් මසා කළ වැහැරි හැඳ ... කෙස්වලින් කළ කම්බිලි හැඳ ... සෙමර වලින් කළ කම්බිලි හැඳ ... මහමුහුණු පියාපතින් කළ වැහැරි හැඳ ... ලොම් කුර සහිත අඳුන් දිවිසම් හැඳ ... මෙවුන් දම් සෙවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණෙ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (5-11)
6. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් පුටුවක හොත් දැරියක් දැක කායසංසග්ගරාගයෙන් යුක්තවූයේ මාපටැඟිල්ල අංගජාතයට ප්‍රවිෂ්ට කෙළේ ය. ඕ කලුරිය කළා ය. ඔහුට කුකුසෙක් විය. ...“මහණ පරිජි ඇවත් නො වේ. සඟ වෙසෙස් ඇවත් වේ.” (12)
7. එසමයෙහි එක්තරා මාණවකයෙක් උපුල්වන් මෙහෙණ කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වෙයි. ඉක්බිති ඒ මාණවක තෙමේ උපුල්වන් මෙහෙණ ගමට පිඬු පිණිස වන් කල්හි කිළියට වැද සැඟවී හුන. උපුල්වන් මෙහෙණ පසුබත් කාලයෙහි පිඬු සිඟා පෙරළා පැමිණියා පා සෝදා කිළියට පිවිස ඇඳෙහි හුන්නු ය. ඉක්බිති ඒ තරුණයා උපුල්වන් මෙහෙණ මැඩ ගෙණ දූෂණය කෙළේ ය. උපුල්වන් මෙහෙණ තෙල කරුණ භික්‍ෂුණීන්ට සැළ කළා ය. භික්‍ෂුණීහු භික්‍ෂුන්ට මේ කරුණ සැළ කළාහු ය. භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට එය සැළ කළාහු ය. ... “මහණෙනි, නොඉවසන්නියට ඇවැත් නො වේ.” (13)
8. එසමයෙහි එක්තරා මහණකුට ස්ත්‍රීනිමිත්ත පහළ විය. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළාහු ය. “මහණෙනි, එම උපාධ්‍යායයන් ද, ඒ උපසපුව ද, ඒ වස් ද, භික්‍ෂුණීන් සමග එකතු වන්නට ද භික්‍ෂූන් පිළිබඳ භික්‍ෂුණීන් හා සාධාරණ යම් ඇවැත් වේ නම් ඒ ඇවැත් භික්‍ෂුණීන් වෙත දෙසා නැගී සිටින්ට ද අනුදනිමි. භික්‍ෂූන් පිළිබඳ භික්‍ෂුණීන් හා අසාධාරණ යම් ඇවැත් කෙනෙක් වෙත් නම් ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.” (14)
9. එසමයෙහි එක්තරා භික්‍ෂුණියකට පුරුෂනිමිත්ත පහළ විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පුවත සැළ කළාහු ය. මහණෙනි එම උපාධ්‍යායයන් වහන්සේ ද, එම උපසපුව ද, ඒ වස් ගණන ද, භික්‍ෂූන් සමග එක් වන්ට ද අනුදනිමි. භික්‍ෂුණීන් පිළිබඳ භික්‍ෂූන් හා සාධාරණ යම් ඇවැත් වේ නම් ඒ ඇවැත් භික්‍ෂූන් වෙත දෙසා නැගී සිටින්නට ද අනුදනිමි. භික්‍ෂුණීන් පිළිබඳ භික්‍ෂූන් හා අසාධාරණ යම් ඇවැත් කෙනෙක් වෙත් නම් ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.” (15)
10. එසමයෙහි එක්තරා මහණෙක් “මෙසේ මට ඇවැත් නො වන්නේය”යි මවු හා මෙවුන්දම් සෙවී ය. ... දුව හා මෙවුන් දම් සෙවී ය. ... බුහුන හා මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. භාග්‍යවතුන්වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (16-18)
11. එසමයෙහි එක්තරා මහණෙක් ගිහිකල අඹු වූ තෙනැත්තිය සමග මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි” ය. (19)
12. එසමයෙහි එක්තරා මහණෙක් මොළොක් පිටු ඇත්තෙක් වෙයි. හෙ තෙමේ අනභිරතියෙන් පෙළුනේ සිය රහසඟ මුවින් ගත්තේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (20)
13. එසමයෙහි එක්තරා මහණෙක් එල්බෙන රහසඟ ඇත්තේ වෙයි. හේ අනභිරතියෙන් පෙළුනේ සිය රහසඟ තමාගේ වසමගෙහි මෙහෙයී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (21)
14. එසමයෙහි එක්තරා මහණෙක් මළ සිරුරක් දිටී ය. ඒ සිරුරෙහි රහසඟ අවට ව්‍රණයෙක් වෙයි. හේ ‘මෙසේ මට ඇවැත් නොවන්නේ’ ය යි රහසඟෙහි රහසඟ මෙහෙයා ව්‍රණයෙන් බැහැර කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (22)
15. එසමයෙහි එක්තරා මහණෙක් මළ සිරුරක් දුට. ඒ සිරුරෙහි ද රහසඟ අවට ව්‍රණයෙක් වෙයි. හෙතෙමේ “මට මෙසේ ඇවැත් නො වන්නේ ය”යි ව්‍රණයෙහි අඞ්ගජාතය මෙහෙයා අඞ්ගජාතයෙන් බැහැර කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (23)
16. එසමයෙහි එක්තරා මහණෙක් රාගයෙන් ඇලුනේ සිතුවම්රුවක නිමිත්ත රහසඟින් පහළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ” (24)
17. එසමයෙහි එක්තරා මහණෙක් රාගයෙන් ඇලුනේ දැවමුවා පෙතැලිරුවක නිමිත්ත රහසඟින් පහළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ” (24)
18. එසමයෙහි රජගහනුවරින් පැවිදි වූ සුන්‍දර නම් මහණ තෙමේ වීථියෙහි යෙයි. එක්තරා ස්ත්‍රියක් “වහන්ස, මොහොතක් නවතිනු මැනව. වඳින්නෙමි”යි කීවා ය. වඳින්නී අඳනය ඔසවා රහසඟ මුවින් ගත්තී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ ඉවසූයෙහි දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් නො ඉවසීමි”යි හේ කි ය. “මහණ නොඉවසන්නහුට ඇවැත් නො වේ.” (26)
19. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස එනු මැනවි. මෙවුන්දම් සෙවුව මැනව”යි මෙය කීවා ය. “නැගනියෙනි, කම් නැත. මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස, එනු මැනව. මම වෑයම් කරන්නෙමි. ඔබ නහමක් වෑයම් කරන්න. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (27)
20. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස, එනු මැනව, මෙවුන්දම් සෙවුව මැනව”යි, මෙය කීවා ය. නැගනියෙනි, නුසුදුසු ය, මෙය නො කැපය”යි හේ කී ය. “වහන්ස, එනු මැනවි. මම වෑයම් නො කරන්නෙමි. ඔබ වෑයම් කරන්න. මෙසේ ඔබට ඇවැත් නො වන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණ හට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (28)
21. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස, එනු මැනව, මෙවුන්දම් සෙවුව මැනව”යි මෙය කී ය. “නැගනියෙනි, නුසුදුසු ය, මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස එනු මැනව, අබතුර ගටා බැහැර මුදන්න. ... බැහැර ගටා අබතුර මුදන්න. මෙසේ ඔබට ඇවැත් නො වන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (29-30)
22. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් නො ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (31)
23. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් බෙහෙවින් නො ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (32)
24. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් බෙහෙවින් ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ”. (33)
25. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් සුන් හිසක් දැක විවට මියෙහි පහසමින් රහසඟ පිවිසවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජිඇවැත් අවන්නෙහි ය”. (34)
26. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් සුන් හිසක් දැක විවට මියෙහි නොපහසමින් රහසඟ පිවිසවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”. (35)
27. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා ස්ත්‍රියක කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වෙයි. ඕ කලුරිය කළා සොහොනෙහි බහන ලද්දී වෙයි. ඇට විසුරුණේ වෙයි. ඉක්බිති ඒ මහණ සොහොනට ගොස් ඇට රැස් කොට නිමිති සටහනින් රහසඟ මෙහෙයී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ.”. (36)
28. එසමයෙහි එක්තරා මහණෙක් නැයිනියක හා මෙවුන්දම් සෙවී ය. ... යකින්නක හා මෙවුන්දම් සෙවී ය. ... ප්‍රේතියක හා මෙවුන්දම් සෙවී ය. ... පණ්ඩකයකු හා මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (37-40)
29. එසමයෙහි එක්තරා මහණෙක් නටඉඳුරන් ඇත්තේ වෙයි. හේ “මම සුවයක් හෝ නොසුවයක් නො විඳිමි. මට ඇවැත් නො වන්නේ ය”යි මෙවුන්දම් සෙවීය. ... භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළාහු ය. “මහණෙනි, ඒ හිස් මහණ වින්දේ හෝ නොවින්දේ හෝ පරිජිඇවැත් වේ”. (41)
30. එසමයෙහි එක්තරා මහණෙක් ස්ත්‍රියක හා මෙවුන්දම් සෙවුනෙමි යි පහස්නා ලද පමණෙහි විපිළිසර විය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. සඟවෙසෙස් ඇවැත් වේ.” (42)
31. එසමයෙහි එක්තරා මහණෙක් භද්දිය නුවර ජාතියාවනයෙහි දිවාවිහාරගත ව හොත්තේ වෙයි. ඔහුගේ අවයවයෝ වාතයෙන් තද වූවාහු වෙත්. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳ ගෙන ඇති තාක් කොට ගියා ය. භික්‍ෂුහු තෙත් වූවහු දැක භාග්‍යවත්නු වහන්සේට මෙපවත් සැළ කළාහු ය.
“මහණෙනි, අයුරු පසකින් රහසඟ කර්‍මණ්‍ය වෙයි. රාගයෙන් ද වර්‍චසින් ද මූත්‍රයෙන් ද වාතයෙන් ද බූ පණුවන් ගැටීමෙන් ද යන පසෙනි. මහණෙනි, මේ පස් අයුරෙන් රහසඟ කර්‍මණ්‍ය වෙයි. මහණෙනි, ඒ භික්‍ෂුහුගේ අඞ්ගජාතය රාගයෙන් කර්‍මන්‍ය වන්නේය යන මෙයට කරුණෙක් නැත. අවකාශයෙක් නැත. මහණෙනි, ඒ භික්‍ෂු තෙමේ රහත් ය. මහණෙනි, ඒ භික්‍ෂුහට ඇවැත් නො වේ”. (43)
32. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත් නුවර අන්‍ධවනයෙහි දිවා විහාරයට ගියේ හොත්තේ වෙයි. එක්තරා ගොපලු ස්ත්‍රියක් දැක අඞ්ගජාතය මත්තෙහි හිඳ ගත්තී ය. ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසී ය. ප්‍රවිෂ්ටය ඉවසී ය. ස්ථිතය ඉවසී ය. උද්ධරණය ඉවසී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (44)
33. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත් නුවර අන්‍ධවනයෙහි දිවා විහාරයට ගියේ, හොත්තේ වෙයි. එක්තරා අජපාල ස්ත්‍රියක් දැක ... එක්තරා දර ගෙණෙන්නියක් දැක ... ගොම ගෙණ යන්නියක් දැක අඞ්ගජාතය මත්තෙහි හිඳගත්තී ය. ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසී ය. ප්‍රවිෂ්ටය ඉවසී ය. ස්ථිතය ඉවසී ය. උද්ධරණය ඉවසී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (45-47)
34. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවාවිහාරයට ගියේ හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් දැක රහසඟ මත්තෙහි හිඳගෙණ ඇතිතාක් කොට සිනාසෙමින් සමීපයෙහි සිටියා වෙයි. ඒ මහණ තෙමේ පිබිදී ඒ ස්ත්‍රියගෙන් “මේ කාර්‍ය්‍යය තිගේ දැ?”යි ඇසී ය. “එසේ ය, මගේ කාර්‍ය්‍යයකි”යි ඕ කිවු ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ ඉවසූයෙහි ද? ... භාග්‍යවතුන් වහන්ස, මම නො දනිමි”යි හේ කී ය. මහණ, නොදන්නහුට ඇවැත් නො වේ”. (48)
35. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවා විහාරයට ගියේ ගහකට හාන්සි වී හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳගත්තා ය. ඒ මහණ තෙමේ වහා නැගිට සිටියේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ ඉවසුයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීමි”. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (49)
36. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවා විහාරයට ගියේ ගහකට හාන්සි වී හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳගත්තා ය. ඒ මහණ තෙමේ ඇක්ම ඇය පෙරළී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ ඉවසුයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීමි”. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (50)
37. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි කූටාගාරශාලාවෙහි දිවාවිහාරයට ගියේ දොර හැර ගෙණ හොත්තේ වෙයි. ඔහුගේ අවයවයෝ වාතයෙන් දැඩි වූවාහු වෙත්. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු සුවඳ ද මල් ද රැගෙන විහාරය බලනු කැමැතියෝ අරමට පැමිණියාහු ය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඒ මහණ දැක රහසඟ මතුයෙහි හිඳගෙන රිසිතාක් කොට ‘ඒකාන්තයෙන් මේ තෙමේ පුරුෂශ්‍රේෂ්ඨයෙකැ’යි කියා සුවඳ ද මල් ද (එහි) නගා ගියාහු ය. භික්‍ෂුහු තෙත් වූවහු දැක එපවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහුය.
“මහණෙනි, පස් අයුරකින් රහසඟ කර්‍මණ්‍ය වෙයි: රාගයෙන් ද වර්‍චසින් ද මූත්‍රයෙන් ද වාතයෙන් ද බූපණුපහසින් ද යන පසිනි. මහණෙනි, මේ පස් අයුරෙන් රහසඟ කර්‍මණ්‍ය වෙයි. මහණෙනි, ඒ මහණහුගේ රහසඟ යම් හෙයකින් රාගයෙන් කර්‍මණ්‍ය වන්නේ ද එයට කරුණු නැත. අවකාශයෙක් නැත. මහණෙනි, ඒ මහණ තෙමේ රහත් ය. මහණෙනි, ඒ මහණහට ඇවැත් නොවේ. “මහණෙනි, දහවල් සැතපෙන්නහු විසින් දොර වසාගෙන සැතපෙන්නට අනුදනිමි”යි වදාළසේක. (51)
38. එසමයෙහි භරුකච්ඡයෙහි උපන් එක්තරා මහණෙක් ගිහිකල අඹු වූ තෙනැත්තිය සමග සිහිනෙන් මෙවුන්දම් සේවනය කොට “මම අශ්‍රමණයෙක් වීමි. ගිහි වන්නෙමි”යි භරුකච්ඡයට යන්නේ අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක එපුවත සැළ කෙළේ ය. ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ මෙසේ කී ය: “ඇවැත්නි, සිහිනෙන් මෙවුන්දම් සේවනය කරන්නහුට ඇවැත් නො වේ.” (52)
39. එසමයෙහි රජගහ නුවර සුපබ්බා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ ‘යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ ද ඕ අගදන් දේ ය’යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව’ මෙවුන්දම් සේවනය කරන්න”යි මෙය කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය අකැප ය’යි හේ කී ය. “වහන්ස, එනු මැනව. ඌරු අතරෙහි ගටනු මැනැවි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ තෙමේ එසේ කෙළේ ය. ඔහුට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (53)
40. එසමයෙහි රජගහ නුවර සුපබ්බා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ “යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ ද ඕ අගදන් දේ ය” යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව. මෙවුන්දම් සේවනය කරන්නැ”යි කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය කැප නො වෙයි” හේ කී ය. “වහන්ස, නැබැ ගටනු මැනවි. ... වහන්ස, උදරවැටියෙහි ගටනු මැනවි. වහන්ස එනු මැනව. කිසිල්ලෙහි ගටනු මැනව. ... වහන්ස ගීවායෙහි ගටනු මැනව. ... වහන්ස, කන් සිදුරු ගටනු මැනව. ... වහන්ස, කෙස් වැටියෙහි ගටනු මැනව. ... වහන්ස, එනු මැනව. ඇඟිලි අතුරු ගටනු මැනව. ... “වහන්ස, එනු මැනව, අතින් උපක්‍රම කොට මුදන්නෙමි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවු ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (54-61)
41. එසමයෙහි සැවැත් නුවර සද්ධා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ තොමෝ “යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ නම් ඕ අගදන් දේ ය”යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව. මෙවුන්දම් සේවනය කරන්නැ”යි කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස, එනු මැනව. ඌරු අතරෙහි ගටන්න. ... “වහන්ස, එනු මැනව. අතින් උපක්‍රම කොට මුදන්නෙමි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවු ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (62-70)
42. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ මෙහෙණක හා වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙන ම (ලිංගනාසනයෙන්) නැසිය යුත්තාහු ය”. ... දෙදෙන ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (71)
43. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලාගෙන සික්ඛමානාවක හා වරදවා පිළිපැදවූහ. ... හෙරණක හා වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙනා ම (ලිංගනාසනායෙන්) නැසිය යුත්තාහු ය”. ... දෙදෙනා ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (72-73)
44. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ වෙසඟනක හා වරදවා පිළිපැදවූහ. ... පණ්ඩකයකු හා වරදවා පිළිපැදවූහ. ගිහිනියක හා වරදවා පිළිපැදවූහ. ... මහණ ඉවසීය. “මහණ තෙමේ නැසිය යුතු යි”. මහණ නො ඉවසී ය. “මහණහට ඇවැත් නො වේ”. (74-76)
45. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ ඔවුනොවුන් වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙන ම නැසිය යුත්තාහ”. ... දෙදෙන ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (77)
46. එසමයෙහි මහලුව පැවිදි වූවෙක් ගිහිකල අඹු වූ ස්ත්‍රිය දැකීමට ගියේ ය. ඕ “වහන්ස, එනු මැනව. උපැවිදි වනු මැනවැ”යි අල්ලා ගත්තී ය. තෙමේ පෙරළා යනුයේ උඩුකුරුව වැටුනේ ය. ඕ නැමී රහසඟ මතුයෙහි හිඳ ගත්තී ය. ඔහුට කුකුස් විය. ... “මහණ නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (1)
47. එසමයෙහි එක්තරා මහණෙක් අරණෙහි වෙසෙයි. මුවපොව්වෙක් උන්වහන්සේ මුත්‍ර පහ කරණ තැනට පැමිණ මුත්‍ර බොමින් මුවින් රහසඟ ගත්තේ ය. ඒ මහණ ඉවසී ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. “මහණ, තෝ පරිජි ඇවතට පැමිණියෙහි ය”. (2)
ප්‍රථමපාරාජිකය නිමි.
ද්විතීයපාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ සමයෙහි දුටු පමණින් මිතුරු වූ දැඩි මිතුරු වූ බොහෝ භික්‍ෂූහු ඉසිගිලි පර්‍වත පාර්‍ශවයෙහි තණ කිළි කොට වස් එළඹියාහු ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේත් තණ කිළියක් කොට වස් එළඹියේ ය.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු විසූ වස් ඇත්තාහු තෙමස ඉක්ම යෑමෙන් තණ කිළි බිඳ දමා තණ ද ලී දඬු ද තැම්පත් කොට තබා දනව් සැරිසැරීමෙහි නික්මුනාහු ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ එහි ම (තමන් කළ කුටියෙහි) වස්සානය ද එහි ම හේමන්තය ද එහි ම ගිම්හානයෙහි ද විසී ය.
3. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දර ගෙන යන ස්ත්‍රීහු ද තණකිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
4. දෙවෙනි වර ද කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද දැව ද රැස් කොට ගෙන තණ කිළියක් කළේ ය. දෙවෙනි වර ද කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
5. තෙවෙනි වර ද කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද දැව ද රැස් කොට තණ කිළියක් කෙළේ ය. තෙවෙනි වර ද කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
6. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන්ට මේ සිත විය: “තෙවෙනි වර දක්වාත් මා ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද, දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය. මම් වනාහි ස්වකීය ආචාර්‍ය්‍යයන්ගේ කර්‍මය වූ කුම්භකාරකර්‍මය මනාසේ උගත්තෙම් වෙමි. පිරිපුන් සිප් ඇත්තෙම් වෙමි. අසදෘශ ශිල්ප ඇත්තෙම් වෙමි. ඉදින් මම් තෙමේ ම මැටි පාගා පදම් කොට හැම මැටිමුවා කිළියක් කරන්නෙම් නම් යෙහෙක” යනු යි.
7. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ මැටි පාගා පදම් කොට හැම මැටිමුවා කිළියක් කොට තණ ද දර ද ගොම වැරටි ද රැස් කොට ඒ කිළිය පිළිස්සීය ය. රතිඳුගොව්වකු වැනි පැහැ ඇති ඒ කිළිය මනා රූ ඇත්තක් විය. දැකුම්කලු විය. ප්‍රසාද එළවන්නක් විය. ලෙහෙවන් විය. ඒ කිළියේ හඬ කිකිණි හඬ සේ විය.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමඟ ගිජුකුළු පව්වෙන් බස්නා සේක් මනා පැහැ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ලේවන් වූ ඒ කිළිය දුටු සේක. දැක භික්‍ෂූන් අමතා “මහණෙනි, රතිඳුගොව්වකු වැනි පැහැති මනා රූ ඇති දැකුම් කළු ප්‍රසාද එළවන ලෙහෙවන් වූ තෙල කිමෙක් දැ?” යි ඇසූ සේක.
9. ඉක්බිති ඒ භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළාහු ය. භාග්‍යවත් බුදු රජානන් වහන්සේ “මහණෙනි, ඒ හිස් පුරුෂයාට නුසුදුසු වූවකි. අනුලොම් නුවූවකි. නොගැළපෙන්නකි, ශ්‍රමණසාරුප්‍ය නුවූවකි. කැප නුවූවකි. නොකටයුත්තකි” යි ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් හැම මැටිමුවා වූ කිළියක් කළේ ද! මහණෙනි, ඒ හිස් පුරුෂයාට ප්‍රාණීන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් අවිහිංසාවක් නො වූයේ ම ය. මහණෙනි, යවු. තෙල කිළිය බිඳිවු. පශ්චිම ජන තෙමේ ප්‍රාණීන් වැනසීමට නහමක් පැමිණේවා. මහණෙනි, හැම මැටිමුවා කිළියක් නොකටයුතු ය. යමෙක් කරන්නේ නම් දුකුළාඇවැත් වේ”.
10. ඒ භික්‍ෂූහු “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ කිළිය වෙත එළඹ එය බිඳ දැමූහ. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ ඒ භික්‍ෂූන්ට “ඇවැත්නි, තෙපි කුමක් හෙයින් මාගේ කිළිය බිඳිවු දැ?” යි මෙය කී. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ බිඳවන සේක” යි කීහ. “ඇවැත්නි, ඉදින් දම්රජහු බිඳුවත් නම් බිඳිවු” යි හේ කී ය.
11. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන්ට මේ සිත විය. “තෙවෙනි වර තෙක් ගමට පිඬු පිණිස මා පිවිසිය දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ, තණ ද දැව ද රැගෙන ගියාහු ය. මා විසින් හැම මැටිමුවා වූ යම් කිළියක් කරන ලද ද, හේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුවන ලදී. රජහුගේ දැව ගබඩාවෙහි වූ දැවමුදලි තෙමේ මාගේ මිත්‍රයෙකි. මම දැව මුදලිගෙන් දැව ඉල්ලා ගෙන දැව මුවා බිත්ති ඇති කිළියක් කරන්නෙම් නම් ඉතා යෙහෙක” යනු යි.
12. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ දැව මුදලියා වෙත එළඹ ඔහුට මෙය කීය: “ඇවත, තෙවැනිවර තෙක් මා ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ, තණ ද දැව ද රැගෙන ගියාහු ය. මා විසින් හැම මැටිමුවා වූ යම් කිළියක් කරන ලද ද එය භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුවන ලදි. ඇවත, දැවමුවා කිළියක් කරනු කැමැත්තෙමි. මට දැව දෙන්න” යනු යි. “වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේට දීමට සුදුසු දැව නැත. වහන්ස, නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ, ආපදාවකට තබන ලද, රජුට අයත් දැව ඇත. ඉදින් ඒ දැව රජ තෙමේ පරිත්‍යාග කෙරේ නම්, වහන්ස, ගෙන්වා ගනු මැනවි” යි හේ කීය. “ඇවත, රජු විසින් අපට දෙන ලද්දාහු ය” යි හේ කීය.
13. ඉක්බිති දැවමුදලි “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයෝ ධර්‍මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහුය, සත්‍යවාදීහු ය, සිල්වත්තු ය, කළණදහම්හි පිළිපන්නෝ ය, මොවුනට රජ ද වෙසෙසින් පහන් ය. නොදෙන ලද්දක් දෙන ලදැ යි කියන්නට සුදුසු නො වේ” ය යි සිතී ය. සිතා කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය ස්ථවිරයන්ට “වහන්ස, ගෙන්වා ගනු මැනවැ” යි කීය. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ ඒ දැව කඩ කඩ කොට සිඳුවා ගැල්වලින් ගෙන්වා ගෙන දැව මුවා බිතු ඇති කිළියක් කළේ ය.
14. ඉක්බිති මගධ රටෙහි මහ ඇමති වූ වස්සකාර නම් බමුණු තෙමේ රජගහනුවර කර්‍මාන්තයන් විමසමින් දැවමුදලි කරා පැමිණ ඔහුට “සගය, නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ, ආපදාවක් පිණිස ගත යුතු, යම් ඒ රජුට අයත් දැව රැසක් වී ද, ඒ දැව කොහි දැ?” යි කීය. “හිමිය, ඒ දැව රජහු විසින් කුම්භකාර පුත්‍ර වූ ධනිය ආර්‍ය්‍යයන් වහන්සේට දෙන ලදි”. හේ කීය.
15. ඉක්බිති මගධ මහාමාත්‍ය වූ වස්සකාර බමුණු තෙමේ “කෙසේ නම් රජ තෙමේ නගර ප්‍රතිසංස්කරණය පිණිස වෙන් වූ, ආපදාවක් පිණිස තබන ලද්දා වූ, රජු සතු දැව කුම්භකාර පුත්‍ර වූ ධනිය තෙරුන්ට දෙන්නේ දැ?” යි නො සතුටු සිතැති විය.
16. එකල්හි මගධ මහඇමති වූ වස්සකාර බමුණු තෙමේ මගධාධිපති, සේනිය බිම්සර රජු කරා පැමිණියේ ය. පැමිණ මගධාධිපති සේනිය බිම්සර රජුගෙන් “දේවයන් වහන්ස, රජු විසින් නගර ප්‍රතිසංස්කරණය පිණිස වෙන් වූ ආපදාවක් පිණිස තබන ලද්දා වූ රජු සතු දැව කුම්භකාර පුත්‍ර වූ ධනිය තෙරුන්ට දෙන ලද්දේ ය යනු සැබෑ දැ?” යි විචාළේ ය. “කවරෙක් මෙසේ කියයි ද?” “දේවයන් වහන්ස, දැව මුදලියා ය.” “බමුණ, එසේ වී නම් දැවමුදලි කැඳවාලව” යි රජ කීය.
17. ඉක්බිති මගධ මහාමාත්‍ය වූ වස්සකාර තෙමේ දැවමුදලි අත් පා බැඳ ගෙන්වී ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ බැඳගෙන යනු ලබන්නා වූ දැවමුදලි දිටී ය. දැක දැව මුදලිහට “ඇවත, තෝ කුමක් හෙයින් බඳනා ලදුවැ ගෙනයෙහි” ද? කී ය. “වහන්ස, තෙල දැව හේතු කොටගෙන ය” යි හේ කීය. “ඇවත, යනු. මම ද එමි” යි තෙරුණුවෝ කීහ. “වහන්ස, මම නැස්නෙම් වේ ද, එයට පෙර එනු මැනවි” යි හේ කීය.
18. ඉක්බිති කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ මගධාධිපති සේනා ඇති බිම්සර රජුගේ නිවස වෙත එළඹ පැණ වූ අස්නෙහි හුනි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් වෙත එළඹියේ ය. එළඹ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් වැඳ එකත්පසෙක හුනි. එකත්පසෙක හුන් මගධාධිපති සේනිය බිම්සර රජතෙමේ කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙරුන්ට මෙය කීය. “වහන්ස, මා විසින් නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ ආපදාවක් පිණිස තබන ලද්දා වූ රාජසන්තක දැව ආර්‍ය්‍යයන් වහන්සේට දෙන ලද්දේ ය, යනු සැබෑ ද?”
19. “මහරජ, සැබෑය.” “වහන්ස, රජවරු වූ අපි බොහෝ කිස ඇත්තමෝ වෙමු. බොහෝ කටයුතු ඇත්තමෝ වෙමු. පරිභෝග කොට ද සිහි නො කරන්නෙමු”. “වහන්ස, එසේ වී නම් සිහිකරවනු මැනවැ” යි. “මහරජතුමනි, ප්‍රථමාභිෂික්ත වැ ඔබ කී මෙබඳු වචනයක් සිහි කෙරෙහි ද ‘මහණ බමුණන්ට තණ දැව ජලය පරිත්‍යාග කරණ ලද්දේ ම ය. (කැමති සේ) පරිභෝග කෙරෙත්වා”යි. “වහන්ස, මම සිහි කරමි. වහන්ස, ලජ්ජී වූ කුකුස් ඇත්තා වූ ශික්‍ෂාකාමී වූ මහණ බමුණෝ වෙති. උන්වහන්සේලාට ස්වල්ප මාත්‍ර දෙයෙහි ද කුකුස් උපදී. මා විසින් උන්වහන්සේලා සඳහා කියන ලදි. හේ ද වනාහි අරණෙහි වූ නොරක්නා ලද දෙයයි. වහන්ස, ඒ ඔබ ඒ ලේසයෙන් නො දෙන ලද දැව පැහැර ගන්නට හඟනෙහිය. කෙසේ නම් මා වැන්නෙක් මගේ රටෙහි වසන්නා වූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නසන්නේ ද, සිරගෙහි ලන්නේ ද, රටින් නෙරපන්නේ ද, “වහන්ස, යනු මැනවි. ඔබ ලෝමමාත්‍රයෙන් (පැවිදිලිංගයෙන්) මිදුනහු ය. නැවත මෙබන්දක් නහමක් කරණු මැනවි.”
20. මිනිස්සු අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. “ශාක්‍ය පුත්‍ර වූ මේ ශ්‍රමණයෝ අලජ්ජීහු ය. දුශ්ශීලයෝ ය. මුසාවාදීහු ය. මොහු වනාහි ‘ධම්මචාරීහු. සමචාරීහුය. බ්‍රහ්මචාරීහුය. සච්චවාදීහුය. සීලවන්තයෝ ය. කලණදම් ඇත්තමෝ වෙමු’ යි පිළින කරන්නාහු ය. මොවුන්ට මහණ කමක් නැත. මොවුන්ට බමුණුකමක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමක් කොයින් ද? මොවුන්ට බමුණුකමක් කොයින්ද? මොහු මහණකමින් පහවූවෝ ය. මොහු බමුණුකමින් පහ වූවෝ ය. මොහු රජුන් ද රවටත්. අන් මිනිසුන් ගැණ කියනු කවරේ ද” යි.
21. භික්‍ෂූහු අවමන් කරන්නා වූ අයුණු කියන්නා වූ නුගුණ පතුරු වන්නා වූ ඒ මිනිසුන්ගේ කථාව ඇසූහ. අපිස් වූ සතොස් වූ ලජ්ජී වූ කුකුස් කරන්නා වූ ශික්‍ෂාකාමී යම් ඒ භික්‍ෂූහු වෙද්ද, ඔහු අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්: “කෙසේ නම් කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය ස්ථවිර තෙමේ, රජු සතු නුදුන් දැව සොරකම් කළේද’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළාහු ය.
22. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් විචාළ සේක. “ධනිය, තෝ රජු සතු නුදුන් දැව ගත්තෙහි යනු සැබෑ ද?” “සැබෑය, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූසේක. “හිස් පුරුෂය, නුසුදුසු වූවකි. අනුලොම් නුවූවකි. නොගැළපෙන්නකි. ශ්‍රමණසාරුප්‍ය නුවූවකි. නොකැපවූවකි. නොකටයුත්තකි. “හිස් පුරුෂය, කෙසේ නම් තෝ නුදුන් රජු සතු දැව ගත්තෙහි ද?, හිස් පුරුෂය, තෙල කරුණ නොපහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ පහන් වූවන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො වෙයි. වැලි හිස් පුරුෂය, තෙල කරුණ නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද වේ”.
23. එසමයෙහි එක්තරා ගිහිකල විනිසකරු මහ ඇමතියෙක් භික්‍ෂූන් අතර පැවිදි වූයේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුහට මෙය කී සේක. “මහණ, මගධාධිපති වූ සේනාසම්පන්න වූ බිම්සර රජතෙමේ කොපමණකින් සොරකු අල්ලා නසා ද? සිර කෙරේ ද? රටින් නෙරපා ද?” “භාග්‍යවතුන් වහන්ස, පාදයකින් හෝ පාදයක් පොහෝනා දෙයකිනි”. එසමයෙහි රජගහනුවර මසුපසක් පාදයක් වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනියහට නන් අයුරින් ගරහා දුභර බැව් පිළිබඳ -පෙ- මහණෙනි, මේ සික පදය මෙසේ උදෙසව්:
“යම් මහණෙක් හිමියන් විසින් නුදුන් වස්තුව සොර සිතින් ගනී ද, යම්බඳු වූ නුදුන් වස්තුව ගැන්මෙහි රජවරු සොරහු ගෙන ‘සොරෙහි, බාලයෙහි, මූඪයෙහි, අනුන් අයත් දැය සොරා ගත්තෙහි’යි පෙළද්ද, බඳිද්ද, රටින් නගද්ද, එබඳු වූ නුදුන් වස්තුව ගන්නා මේ මහණ තෙමේ ද පරිජි අවන්නේ සංවාස නැත්තෙක් වේ”.
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සික පදය මෙසේත් පණවන ලද්දේ වෙයි.
මුල් පැණවීමයි.
1. එසමයෙහි සවගමහණහු රදා තොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කොට ආරාමයට ගෙණ ගොස් බෙදා ගත්තාහු ය. භික්‍ෂූහු මෙසේ කීහු. “ඇවැත්නි, තෙපි මහ පිණැත්තෝ වහු ය. තොපට බොහෝ සිවුරු උපන.” “ඇවැත්නි, අපට පිනක් කොයින් ද? දැන් අපි රදා තොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කෙළෙමු” යි.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂා පදයක් පණවන ලද්දේ නො වේ ද, ඇවැත්නි, තෙපි කුමක් හෙයින් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහුද?” යි.
“ඇවැත්නි, සැබව. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපදයක් පණවන ලදි. හේ ද වනාහි ගමෙහි ය. අරණෙහි නො වේ.”
2. “ඇවැත්නි, එය එසේ ම නො වේ ද?” ඇවැත්නි, නුසුදුසුවූවකි, අනුලොම් නුවූවකි, නොගැලපෙන්නකි, ශ්‍රමණසාරුප්‍ය නුවූවකි, නොකැපවූවකි, නොකටයුත්තකි. ඇවැත්නි, කෙසේ නම් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද? ඇවැත්නි, මෙය නොපහන්වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ පහන්වූවන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො වේ”. “ඇවැත්නි, වැලි එය නොපහන්වූවන්ගේ නොපැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද වේ” යි.
3. ඉක්බිති ඒ භික්‍ෂූහු සවගමහණුන්ට නන් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා සවගමහණුන් පුළුවුත්හ: “සැබෑ ද, මහණෙනි, තෙපි රදාතොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද?” යි. “භාග්‍යවතුන් වහන්ස සැබෑ ය.” භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගැරහූසේක. “හිස් පුරුෂයෙනි, නුසුදුස්සකි. අනුලොම් නුවූවකි. නො ගැලපෙන්නකි. ශ්‍රමණ සාරුප්‍ය නුවූවකි. නොකැපවූවකි. නො කටයුත්තකි. හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් රදාතොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. -පෙ- මහණෙනි, මෙසේත් මේ සික පදය (අනුප්‍රඥප්තවශයෙන්) උදෙසවු: