”යම් මහණෙක් මහණකුට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගණීනම් හෝ අසිඳැ ගන්වන්නේ නම් හෝ නිසඟි පචිති වේ” යයි
3. යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලදී.
භික්ඛුස්ස යනු: අන් මහණකුට ය.
සාමං යනු: තෙමේ ම දී.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරකි.
කුපිතෝ අනත්තමනෝ යනු: නොපහන්වූයේ, ක්‍රෝධයෙන් ගැටුනු සිත් ඇත්තේ, හටගත් කෙලෙස් කණු ඇත්තේ.
අච්ඡින්‍දෙය්‍ය යනු: තෙමේ අසිඳැ ගණී නම් නිසඟිපචිති වේ.
අච්ඡින්‍දාපෙය්‍ය යනු: අනෙකකු අණවා නම් දුකුළාඇවැත් වෙයි. වරක් අණවන ලද්දේ බොහෝ දෙයක් අසිඳ ගණී නම් නිසඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසජිය යුතු යි. මහණෙනි, මෙසේ නිසදිය යුතු යි: “වහන්ස, මගේ මේ සිවුර මහණකුට තමාම දී අසිඳැ ගන්නා ලද්දේ නිසඟි විය. මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
4. උපසපන් මහණකු කෙරෙහි උපසපන් සන් ඇතියේ සිවුරක් දී කිපියේ නොසතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ නිසඟිපචිති වෙයි. උපසපන් මහණකු කෙරෙහි විමති ඇතියේ ... උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ සිවුරක් දී කිපියේ නොසතුටුවූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ නිසඟිපචිති වේ.
5. අන් පිරිකරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ දුකුළාඇවැත් වෙයි. අනුපසපනකුට සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගණී හෝ අසිඳ ගන්වයි හෝ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි.
6. හේ තෙමේ හෝ දේ නම්, ඔහුට විස්වස් ඇත්තේ හෝ ගණී නම්, (ඔවුනට ද,) උන්මත්තකයාට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නැත්තේ යි.
චීවරඅච්ඡින්‍දන ශික්‍ෂාපදය නිමි.
5. 3. 6.
සුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩවසන සේක. තවද එසමයෙහි සවග මහණහු සිවුරු කරණ කාලයෙහි බොහෝ හූ විනවූහ. සිවුර නිමි කල්හි ද බොහෝ හූ ඉතිරි විය. ඉක්බිති සවග මහණුන්ට මේ සිත විය: “ඇවැත්නි, ඉදින් අපි වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවමෝ නම් මනා යැ” යි. ඉක්බිති සවග මහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. සිවුර වියා නිමි කල්හි ද බොහෝ හූ ඉතිරි වූයේ වෙයි. දෙවනවට ද සවගමහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. සිවුර වියා නිමි කල්හිදු බොහෝ හූ ඉතිරි වූයේ වෙයි. තෙවනවට දු සවග මහණහු වෙනත් හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහ. මිනිස්සු හෙලා දකිති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහුදැ”යි.
2. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවද්දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණෙනි, තෙපි තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියැවුහු දැ’යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස” යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නින්‍දා කළ සේක: “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි තුමූ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් සිවුරු පිණිස හූ විනවා පෙහෙරුන් ලවා සිවුරු පිළියක් වියවා නම් නිසඟිපචිති වේ” යයි.
3. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ කරුණෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලද්දේයි.
සාමං යනු: තෙමේ ඉල්ලා ගෙණය.
සුත්ත නම්: “කොමුවැහැරියෙන් කළ හූ ය, කපුයෙන් නිපන් හූ ය, තිහිරියෙන් කළ හූ ය, එළුලොමින් කළ හූය, හණවැහැරියෙන් කළ හූ ය, මේ පස මුසුකොට කළ හූ ය”යි සවැදෑරුම් හූය.
තන්තවායෙහි යනු: පෙහෙරුන් ලවා වියවා නම් පියොවක් පාසා දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැජිය යුතු යි. “මහණෙනි, මෙසේ නිසැජිය යුතු යි: “වහන්ස, මවිසින් මේ සිවුරු පිළිය තමා ම හූ විනවා පෙහෙරුන් ලවා වියවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය’යි ... දෙන්නාහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
4. වියවන ලදුයෙහි වියවන ලදැයි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. වියවන ලදුයෙහි විමති ඇත්හේ නිසඟිපචිති වෙයි. වියවන ලදුයෙහි නො වියවන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ.
5. නොවියවන ලදුයෙහි වියවන ලදැයි සන් ඇතියේ දුකුළා ඇවැත් වෙයි. නොවියවන ලදුයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නොවියවන ලදුයෙහි නොවියවන ලදැ යි සන් ඇතියේ ඇවැත් නැති.
6. සිවුරු මැහීම පිණිස ද, ආයෝගපට්ටය, කායබන්‍ධය, අංසවට්ටකය, පත්තත්‍ථවිකාය, පරිස්සාවනය යන මේ නිමිති කොට හූ විනවන්නහූට ද, ඥාති භික්‍ෂූන්ට ද, පවරණු ලැබුවනට ද, අනෙකක්හු සඳහා ඉල්වන්නහු ට ද, සිය ධනයෙන් ගන්නහුට ද, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නැති.
සුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපදය නිමි.
5. 3. 7.
මහාපෙසකාර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එසමයෙහි එක්තරා පුරුෂයෙක් ප්‍රවාසයට යන්නේ බිරිඳට මෙය කීය: “හූ තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළිය වියවා තබව. පෙරළා ආයෙම් උපනන්‍ද හිමියන් සිවුරින් පුදන්නෙමි” යි. එක්තරා පිණ්ඩචාරික මහණෙක් කියන්නා වූ ඒ පුරුෂයාගේ මෙතෙපුල් ඇසී ය. ඉක්බිති ඒ මහණ තෙමේ උපනන්‍ද ශාක්‍ය පුත්‍රයන් වෙත එළඹ මෙය කීය: “ඇවැත් උපනන්‍දයෙනි, තෙපි මහ පිනැත්තහුය. අසුවල් තැන එක්තරා පුරුෂයෙක් ප්‍රවාසයට යන්නේ බිරිඳට මෙය කීය. “නූල් තුලනය කොට අසුවල් පෙහෙරාට දෙව. සිවුරු පිළියක් වියවා තබව. පෙරළා ආයෙම් සිවුර උපනන්‍ද හිමියන් පුදන්නෙමි’යි. “ඇත ඇවැත්නි, හේ මට උපස්ථායකයැ” යි. ඒ පෙහෙර තෙමේ ද ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ උපස්ථායකයෙක් වෙයි.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ උපස්ථායකයා වෙත එළඹ පෙහෙරාට මෙය කීය. “ඇවැත, මේ සිවුරු පිළිය මා උදෙසා වියනු ලැබේ. දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, සමව වියන ලද්දක් ද, සමව නූල් එළා වියන ලද්දක් ද, මනා හිරි අඳින ලද්දක් ද, කොස්සෙන් පිරිසිදු කරණ ලද්දක් ද කරව” යි. “වහන්ස, මොහු මට මේ හුයින් සිවුරු පිළියක් වියවයි හූ පමණ කොට දුන්හ. වහන්ස, දිග හෝ පුළුල් හෝ ඝන හෝ කරන්නට නො හැකිය. “වහන්ස, සුචිත ද, සුප්පවායිත ද සුවිලේඛිත ද සුචිතච්ඡිත ද කරන්නට හැකි වෙයි.” “ඇවැත, එසේ නම් තෝ දිග්වූවක් ද, පුළුල්වූවක් ද, ඝන වූවක් ද, කරව. තට හුයින් අඩුවෙක් නොවන්නේ ය.”
3. ඉක්බිති ඒ පෙහෙර තෙමේ ගෙණා පමණ හූ යන්ත්‍රයෙහි එළවා ඒ ස්ත්‍රිය වෙත එළඹ මෙය කීය. “ආර්‍ය්‍යාවෙනි, හුයින් ප්‍රයෝජන ඇතැ”යි. “ආර්‍ය්‍යාවෙනි, මේ හුයින් සිවුරක් වියව’ යි තෙපි මා විසින් කියන ලද්දහු නො වේ ද?” “සැබව ආර්‍ය්‍යාවෙනි, තොප විසින් මේ හුයින් සිවුරක් වියව’යි කියන ලද්දෙමි” යි. එතකුදුවුවත් උපනන්‍ද ස්වාමීහු මට මෙය කීහ. “ඉදින් ඇවැත තෝ දිග ද පුළුල ද ඝන ද කරව, තට හුයින් අඩුවෙක් නො වන්නේය” යි. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ යම් පමණ හූ පළමුව දුන්නී ද, පසුව ද එපමණ දුන්නීය.
4. ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ පුරුෂයා බැහැර සිට ආයේයයි ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ පුරුෂයාගේ නිවසට එළඹ පැණවූ අස්නෙහි හුන්හ. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹ වැඳ එකත්පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීයේය. ඒ සිවුරුපිළිය වියවන ලදදැ”යි. “එසේ ය හිමියනි, ඒ සිවුරු පිළිය වියවන ලද්දේය’ යි. “ගෙණ එව. උපනන්‍ද හිමියන් සිවුරින් පුදන්නෙමි”යි. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ඒ සිවුරුපිළිය ගෙණවුත් සැමියාට දී මේ පවත් දැන්වූවාය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයාහට සිවුරුපිළිය දී හෙලා දකියි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ මහත් ආශා ඇත්තෝය. ලද දෙයින් සතුටු නො වන්නෝය. මොහු සිවුරකින් පුදන්නට පහසු නො වෙත්. “කෙසේ නම් උපනන්‍ද හිමියෝ මවිසින් පෙර නො පවරණ ලද්දාහු පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියාහු දැ”යි.
5. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ පුරුෂයාගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරවති. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නොපවරණ ලද්දාහු ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරුපිළියෙහි අධික විධානයට පැමිණියාහු දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලද්දෙහි ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියෙහි දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” “උපනන්‍දය හේ තාගේ නෑයෙක් ද? නො නෑයෙක් ද?” “භාග්‍යවතුන් වහන්ස, නො නෑයෙකි.” “තුච්ඡපුරුෂය, නො නෑයෙක් නො නෑයකුගේ සුදුසුබව හෝ නුසුදුසු බව හෝ ඇතිබව හෝ නැතිබව හෝ නො දනියි. එහිලා තුච්ඡපුරුෂය, තෝ පෙර නො පවරණ ලද්දෙහි නො නෑ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණියෙහි ය. “තුච්ඡපුරුෂය, තෙල නොපහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි.” ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“මහණකු උදෙසාම නොනෑ ගැහැවියෙක් හෝ ගිහිනියක් හෝ පෙහෙරුන් ලවා සිවුරුපිළියක් වියවා නම් එකල්හි ඒ මහණ තෙමේ පෙර නො පවරණ ලද්දේ පෙහෙරුන් වෙත එළඹ ඉදින් සිවුරෙහි අධික විධානයට පැමිණේ නම්: ‘ඇවැත්නි, මේ සිවුරුපිළිය මා උදෙසා වියනු ලැබේ. දිග් වූවක් ද පුළුල් වූවක් ද ඝන වූවක් ද කරවු. මනාකොට වියන ලද්දක් ද සමකොට හූ අතුරා වියන ලද්දක් ද මනාකොට හිරි අඳින ලද්දක් ද, මනාකොට මදින ලද්දක් ද කරවු. ඉදින් අපිදු ආයුෂ්මත්හට කිසිවක් දෙන්නමෝ නම් යෙහෙකැ’යි. ඒ මහණ තෙමේ මෙසේ කියා යටත් පිරිසෙයින් ස්වල්පමාත්‍රවූ ද පිඬුපමණකුදු දේ නම් නිසඟිපචිති වේ” යයි.
6. භික්ඛුං පනෙව උද්දිස්ස යනු: මහණකු සඳහා මහණකු අරමුණු කොට මහණක්හට දෙනු කැමැත්තේ.
අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන මුත්තා යුගළු දක්වා සම්බන්‍ධනුවූයේ වෙයි.
ගහපති නම්: යමෙක් ගිහිගෙයි වෙසේ නම් හෙ තෙමේ ය.
ගහපතානී නම්: ගිහිගෙයි වසන යම්කිසි මාගමක්.
තන්තවායෙහි යනු: පෙහෙරුන් ලවා
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරෙකි.
චායාපෙය්‍ය යනු: වියවයි.
තත්‍ර චෙසො භික්ඛු යනු: යම් මහණකු උදෙසා සිවුරක් වියනු ලැබේ ද, ඒ මහණ තෙමෙ ය.
පුබ්බේ අප්පචාරිතො යනු: “වහන්ස, කෙබඳු සිවුරකින් තොපට ප්‍රයෝජන වේ ද, තොපට කෙබඳු සිවුරක් වියවම් දැ යි” පෙර නො කියනුලැබුවෙක් වෙයි.
තන්තවායෙ උපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස් යම්කිසි තැනෙක්හි එළඹය.
චීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: “ඇවැත, මේ සිවුරුපිළිය මා උදෙසා වියනු ලැබේ. දිග්වූවක් ද පුළුල්වූවක් ද ඝනවූවක් ද කරවු. මනා කොට වියන ලද්දක් ද, සමකොට හූ අතුරා වියන ලද්දක් ද, මනාකොට හිරි අඳින ලද්දක් ද, මනාකොට මදින ලද්දක් ද කරවු.”
අප්පෙව නාම මයම්පි ආයසමන්තානං කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්‍යාමාති එවං ච සො භික්ඛු වත්‍වා කිඤ්චිමත්තං අනුපදජ්ජෙය්‍ය අන්තමසෝ පිණ්ඩපාතමත්තම්පි යනු: පිණ්ඩපාත නම්: හඹු ද, බත් ද, කැවිලි ද, සුණුපිඬක් ද, දැහැටි දඬුවක් ද දහවළුකඩක් ද යටත් පිරිසෙයින් දහම් ද දෙසයි.
7. ඔහුගේ වචනයෙන් දිග්වූවක් හෝ පුළුල්වූවක් හෝ ඝනවූවක් හෝ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට හෝ නිසැජිය යුතු. මහණෙනි, මෙසේ නිසැජිය යුතුයි. “වහන්ස, මාගේ මේ සිවුර පෙර නො පවරණ ලදුයෙම් නො නෑ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධිකවිධානයට පැමිණෙන ලදුයේ නිසඟි විය. “මෙය මම් සඟනට නිසජමි’යි ... දෙන්නේය’යි ... දෙන්නාහ’යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
8. නොනෑයෙකු කෙරෙහි නොනෑයෙක යන සන් ඇතියේ පෙර නො පවරණලද්දේ ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණේ නම්, නිසඟිපචිති වෙයි. නො නෑයෙකු කෙරෙහි විමති ඇත්තේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සන් ඇත්තේ පෙර නොපවරණ ලද්දේ, ගැහැවියකුගේ පෙහෙරුන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණේ නම් නිසඟිපචිති වේ.
9. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සන් ඇතියේ ඇවැත් නැති.
10. නෑයනට, පැවරූවනට, අනෙකක්හු සඳහා, සිය ධනයෙන්, මහඟු කොට වියවනු කැමැත්තහුගේ සිවුර අගය අඩුවූවක් කොට වියවා නම්, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
මහාපෙසකාර ශික්‍ෂාපදය නිමි.
5. 3. 8.
අච්චෙකචීවර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි එක්තරා මහ ඇමතියෙක් ප්‍රවාසයට යන්නේ භික්‍ෂූන් වෙත දූතයකු යැවීය. වහන්දෑවරු වඩින සේක්වා වස්සාවාසිකයක් දෙන්නෙමි” යි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ විසින් වස්විසූවන්ට වස්සාවාසිකය අනුදන්නා ලදැයි කුකුස් කරමින් නොගියාහු ය. ඉක්බිති ඒ මහඇමති තෙමේ හෙලා දකියි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “කෙසේ නම් වහන්දෑවරු මා විසින් දූතයකු යැවූ කල්හි නො එද්ද” යි. මම සේනාව සමග යෙමි. ජීවත්වීම නො දත හැකි ය. මරණය නොදත හැකිය” යි. භික්‍ෂූහු හෙලා දකින නුගුණ පවසන දොස් පතුරුවන ඒ මහඇමතියාගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, අතික් සිවුරක් පිළිගෙණ තබන්නට අනුදනිමි” යි.
2. එසමයෙහි මහණහු භාග්‍යවතුන් වහන්සේ විසින් අතික් සිවුරක් පිළිගෙණ තබන්නට අනුදන්නා ලදැයි. අතික් සිවුරු පිළිගෙණ චීවරකාල සමය ඉක්මවත්, ඒ සිවුරු චීවරවංසයෙහි බදබැඩි ව තිබේ. සේනාසන චාරිකාවෙහි හැසිරෙණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ චීවරවංසයෙහි බදබැඩි වූ ඒ සිවුරු දුටහ. දැක භික්‍ෂූන්ට මෙය කීහ. “ඇවැත්නි, චීවරවංසයෙහි පොදි බැඳ තබන ලද මේ සිවුරු කවරක්හුගේ දැ”යි. “ඇවැත්නි අපගේ අතික් සිවුරු” යි. “ඇවැත්නි, මේ සිවුරු කෙතෙක් කල් තබන ලදදැ”යි. එකල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තැබූපරිදි සැළ කළහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරුවති. “කෙසේ නම් භික්‍ෂූහු අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්දැ”යි. ඉක්බිති ආනන්‍ද තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ.
3. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්ද”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “මහණෙනි කෙසේ නම් ඒ තුච්ඡපුරුෂයෝ, අතික් සිවුරක් පිළිගෙණ චීවරකාලසමය ඉක්මවද්ද” “මහණෙනි තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“දසදිනකින් නො පත් වප්මස මැදි පොහොය තෙක් මහණහට අතික් සිවුරක් උපන්නේ නම් ඉක්මන් බව හඟනා මහණහු විසින් පිළිගත යුතුය. පිළිගෙණ චීවරකාලසමය තෙක් තැබිය යුතුය. ඉදින් ඉන් මත්තෙහි තබන්නේ නම් නිසඟිපචිති වේ” යයි.
4. දසාහානාගතං යනු: පවාරණය දසදිනකින් නො පත් කල්හි.
කත්තිකතෙමාසිකපුණ්ණමං යනු: වප්මස පවුරුණු පණුරැස කියනු ලැබේ.
අච්චෙකචීවර නම්: සේනාව සමග යනු කැමැත්තේ හෝ වෙයි. බැහැර විසීමට යනු කැමැත්තේ හෝ වෙයි. ගිලනෙක් හෝ වෙයි. ගැබිණියක් හෝ වෙයි. සැදැහැ නැත්තකුට සැදැහැ උපන්නේ හෝ වෙයි. නො පහන් වූවකුට පහන්බව උපන්නේ හෝ වෙයි. ඉදින් හෙ තෙම භික්‍ෂූන් වෙත “වහන්දෑවරු වඩිත්වා වස්සාවාසිකය දෙන්නෙමි” යි දූතයකු එවා නම් මේ අච්චෙකචීවර නමි.
අච්චෙකං මඤ්ඤමානෙන භික්ඛුනා පටිග්ගහෙතබ්බං පටිග්ගහෙත්‍වා යාව චීවරකාලසමයං නික්ඛිපිතබ්බං යනු: මේ අතික් සිවුරයයි සලකුණු කොට තැබිය යුතුයි.
චීවර කාලසමය නම්: කෙළින් නො අතුළ කල්හි වැසි සාරමස පිළිබඳ පැසුළු මසයි. කෙළින් අතුළ කල්හි පස්මසකි.
තතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය යනු: කෙළින් නො අතුළ කල්හි වැසිසාරමස පිළිබඳ පැසුළු දින ඉක්ම වා නම් නිසඟිපචිති වෙයි. කෙළින් අතුළකල්හි කෙළින් උදුරණ දිනය ඉක්මවා නම් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට නිසැජිය යුතුය. මහණෙනි, මෙසේ නිසැජිය යුතු ... “වහන්ස, මගේ මේ අතික් සිවුර චීවරකාලසමය ඉක්මවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි” යි, ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
5. අතික් සිවුරෙහි අතික් සිවුරෙක යන සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වෙයි. අතික් සිවුරෙහි විමති ඇත්තේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟි පචිති වෙයි. අතික් සිවුරෙහි නො අතික් සිවුරෙක යන සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වේ. නොඉටන ලදුයෙහි ඉටන ලදැයි සන් ඇතියේ ... නොවිකපන ලදුයෙහි විකපන ලදැයි සන් ඇතියේ නොවිසජන ලදුයෙහි විසජනලදැ යි සන් ඇතියේ නොනටුයෙහි නටැයි සන් ඇතියේ , නොවැනැසුනෙහි වැනැසි නැ’යි සන් ඇතියේ නොදැවුනෙහි දැවිනැ’යි සන් ඇතියේ නොපැහැර ගන්නා ලදුයෙහි පැහැර ගන්නා ලදැ’යි සන් ඇතියේ චීවරකාලසමය ඉක්මවා නම් නිසඟිපචිති වේ.
6. නිසැඟි සිවුර නො නිසජා වළඳා නම් දුකුළාඇවැත් වෙයි. නො අතික් සිවුරෙහි අතික් සිවුරෙක යන සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. නො අතික් සිවුරෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. නො අතික් සිවුරෙහි නො අතික් සිවුරෙක යන සන් ඇතියේ ඇවැත් නැති.
7. සමයතුළ ඉටා නම්, විකපා නම්, විසඳා නම්, නැසේ නම්, වැනසේ නම්, දැවේ නම්, අසිඳ ගණිත් නම් විස්වසින් ගණිත් නම්, ඔවුනට, උමතුවූවහුට, ආදිකම්මිකයාහට ඇවැත් නැත්තේ යි.
අච්චෙකචීවර ශික්‍ෂාපදය නිමි.
5. 3. 9.
සාසඞ්ක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි භික්‍ෂූහු වැස නිමවූ වස් ඇතියාහු වනසෙනසුන්හි වෙසෙති. ඉල්මස සොරු “භික්‍ෂූහු ලද ලාභ ඇත්තාහු යයි” උවදුරු කෙරෙති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි, දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි වනසෙනසුන්හි වසන්නහු විසින් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නට අනුදනිමි”යි.
2. එසමයෙහි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ විසින් වනසෙනසුන්හි වසන්නහු විසින් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නට අනුදන්නා ලදැ’යි තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වෙසෙති. ඒ සිවුරු නැසෙති. වැනසෙති. දැවෙති. මීයන් විසිනුදු කනු ලැබෙති. මහණහු දිරූ සිවුරුපිළි ඇත්තාහු, රළු සිවුරු ඇත්තාහු වෙත්. භික්‍ෂූහු මෙසේ කීහ. “ඇවැත්නි, තෙපි කුමක් හෙයින් දිරූ සිවුරුපිළි ඇත්තාහු රළුසිවුරු ඇත්තහුදැ”යි. එකල්හි ඒ භික්‍ෂූහු භික්‍ෂූන්ට මෙපවත් දැන්වූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මහණහු තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වෙසෙද්දැ”යි.
3. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා ‘සරැයක් වෙන්ව වෙසෙත්ල’යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ, කෙසේ නම් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබා අයිරා සරැයක් වෙන්ව වුසූහු ද. මහණෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“වස් වැස හිල් මැදි පොහොය තෙක් සැක සහිතයයි සම්මත වූ බිය සහිත වූ වනසෙනසුන් කෙනෙක් වෙද්ද, එබඳු සෙනසුන්හි වසන මහණ තෙමේ කැමැත්තේ නම් තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගම තබන්නේ ය. ඒ මහණහට ඒ සිවුරෙන් වෙන්ව විසීමට කිසි හේතුවක් ඇත්තේ නම් එ මහණ විසින් උඩත් පිරිසෙයින් සරැයක් කල් ඒ සිවුරෙන් වෙන්ව විසිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි භික්‍ෂූසම්මතියෙන් තොරව වෙන්ව වසන්නේ නිසඟිපචිති වේ” යයි.
4. උපවස්සං පන ඛො යනු: විසූවස් ඇතියනට.
කත්තිකපුණ්ණමං යනු: හිල්මස පණුරැසිය කියනු ලැබේ..
යානි ඛො පන තානි ආරඤ්ඤකානි සේනාසනානි යනු: දුනු පන්සියක් වූ පැසුළු සෙනසුන ආරණ්‍යක නමි.
සාසඞ්ක නම්: අරම්හි ද අරම් උවසරෙහි ද සොරුන් පිවිසි තැන දක්නා ලැබෙ යි. අනුභව කළ තැන දක්නා ලැබෙයි. සිටි තැන දක්නා ලැබෙයි. හුන් තැන දක්නා ලැබෙයි. හොත් තැන දක්නා ලැබෙයි.
සප්පටිභය නම්: අරම්හි ද අරම් උවසරෙහි ද සොරුන් විසින් නසන ලද මිනිස්සු දක්නා ලැබෙති. පැහැර ගන්නා ලදහු දක්නා ලැබෙති. පෙළන ලද්දාහු දක්නා ලැබෙති.
තථාරූපෙසු භික්ඛු සේනාසනේසු විහරන්තො යනු: එබඳු සෙනසුන්හි වසන මහණ තෙමේය.
ආකඞ්ඛමානෝ යනු: කැමැතිවන්නේ.
තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං යනු: සඟළ හෝ පොරෝණය හෝ අඳනය හෝ යි.
අන්තරඝරෙ නික්ඛිපෙය්‍ය යනු: හාත්පසැ ගොදුරුගමෙහි තබන්නේය.
සියා ච තස්ස භික්ඛුනෝ කෝචිදේව පච්චයො තෙන චීවරෙන විප්පවාසාය යනු: හේතුවක් වේ නම්, කටයුත්තක් වේ නම්.
ජාරත්තපරමං තෙන භික්ඛුනා තෙන චීවරෙන විප්පවසිතබ්බං යනු: උඩත් පිරිසෙයින් සරැයක් වෙන්ව විසිය යුතුයි.
අඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා යනු: භික්ඛුසම්මුතිය හැර.
තතො චෙ උත්තරිං විප්පවසෙය්‍ය යනු: සත්වන අරුණ නැගෙත්ම නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට නිසැජිය යුතුය. මහණෙනි, මෙසේ නිසදිය යුතු. “වහන්ස මගේ මේ සිවුර භික්‍ෂුසම්මතියෙන් තොරව අයිරා සරැයක් වෙන්ව වසන ලද්දේ නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි යි, ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි”යි.
5. අතිරේක සරැයක් ඇතියෙහි අතිරේක ය යන සන් ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොරව වෙන් ව වෙසේ නම් නිසඟිපචිති වෙයි. අතිරේක සරැයක් ඇතියෙහි විමති ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොරව වෙන් ව වෙසේ නම් නිසඟිපචිති වෙයි. අතිරේක සරැයක් ඇතියෙහි උනුසන් ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොරව වෙන් ව වෙසේ නම් නිසඟිපචිති වෙයි. නොපසුදුළෙහි පසුදුළැයි සන් ඇතියේ ... නොවිසඳන ලද්දෙහි විසඳන ලදැයි සන් ඇතියේ ... නොනැසුනෙහි නැසිනැයි සන් ඇතියේ, නො වැනැසුනෙහි වැනසිනැයි සන් ඇතියේ, නොදැවුනෙහි දැවිනැයි සන් ඇතියේ, නො පැහැර ගන්නා ලදුයෙහි පැහැර ගන්නා ලදැයි සන් ඇතියේ, භික්‍ෂුසම්මුතියෙන් තොරව වෙන්ව වෙසේ නම් නිසඟිපචිති වේ.
6. නිසැඟි වූ සිවුර නො නිසජා වළඳා නම් දුකුළාඇවැත් වෙයි. උනු සදවසක් ඇතියෙහි අතිරේක ය යන සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනු සදවසක් ඇතියෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනු සදවසක් ඇතියෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.
7. සරැයක් වෙන්ව වෙසේ නම්, උනු සරැයක් වෙන්ව වෙසේ නම්, සරැයක් වෙන්ව වැස යලි ගම් ඉමට බැස වැස නික්මේ නම්, ඇතුළු සදවසැ පසුදුරා නම්, විසදා නම්, නැසේ නම්, වැනසේ නම්, දැවේ නම්, අසිඳ ගණිත් නම්, විස්වසින් ගණිත් නම්, භික්‍ෂුසම්මතියෙන් වෙන්ව වෙසේ නම්, උමතුවූවහුට, ආදිකම්මිකයාට ඇවැත් නැති යි.
සාසඞ්ක ශික්‍ෂාපදය නිමි.
5. 3. 10.
පරිණත ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි සැවැත්නුවර එක්තරා සමාගමක් විසින් සඟනට වළඳවා සිවුරු දෙන්නෙමු’ යි, සිවුරු සහිත බතක් පිළියෙළ කරණ ලද්දේ වෙයි. එකල්හි සවගමහණහු ඒ සමූහයා වෙත එළඹ ඒ සමූහයාට මෙසේ කීහ: “ඇවැත්නි, අපට මේ සිවුරු දෙව” යි. “වහන්ස, අපි නො දෙම්හ. අප විසින් සඟනට අවුරුදු පතා සිවුරු සහිත භික්‍ෂාව පිහිටුවන ලද්දීය.” “ඇවැත්නි, සඞ්ඝයාට දායකයෝ බොහෝ ය. සඞ්ඝයාට ලාභද්වාර බොහෝ ය. අපි තොප නිසා, තොප බලමින් මෙහි වසම්හ. ඉදින් තෙපි අපට නො දෙන්නහු නම් එකල්හි කවරෙක් අපට දෙන්නේ ද “ඇවැත්නි, මේ සිවුරු අපට දෙව” යි: එකල්හි ඒ ජනසමූහය සවග මහණුන් විසින් තර කොට කියනු ලබන්නේ පිළියෙළ කළ පරිදි සිවුරු සවග මහණුන්ට දී සඞ්ඝයා බතින් වැළඳවීය. යම් භික්‍ෂූ කෙනෙක් සඞ්ඝයාට සිවුරු සහිත බතක් පිළියෙළ කරණ ලදැයි දනිත් ද, සවග මහණුන්ට දෙන ලදැයි නොදනිත් ද” ඔහු මෙසේ කීහ.
2. “ඇවැත්නි සඞ්ඝයාට සිවුරු පිරිකර දෙව” යි. “වහන්ස, නැත පිළියෙල කළ පරිදි සිවුරු සවග මහණහු තමන්ට පිරිණමා ගත්හ” යි. යම් අපිස් මහණහු කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු දැන දැන පිරිණමන ලද සඟසතු ලාභය තමහට පිරිණැමූහු දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි තෙපි පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන තමහට පිරිණැමූහු දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන තමහට පිරිණැමූහු ද, තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් දැන දැන සඟසතු පිරිණැමු ලාභය තමනට පිරිණමවන්නේ නම් නිසඟිපචිති වේ” යයි.
3. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ..
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලදී.
ජානත්ති නම්: තෙමේ හෝ දනියි. අන් කෙනෙක් හෝ ඔහුට දන්වත්. හෙ තෙමේ හෝ දන්වයි.
සඞ්ඝික නම්: සඞ්ඝයාට දෙන ලද්දේ පරිභෝග කරණ ලද්දේ වෙයි.