පත්ත ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වාසය කරණ සේක. එසමයෙහි සවගමහණහු බොහෝ පාත්‍ර රැස් කෙරෙති. විහාරචාරිකාවෙහි හැසිරෙන මිනිස්සු දැක හෙලා දකිති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බොහෝ පාත්‍ර රැස් කෙරෙද්ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පාත්‍ර වෙළෙඳාම හෝ කෙරෙද් ද, අමත්අවුණක් හෝ විවෘත කෙරෙත් දැ”යි. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිත්, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු අතිරේකපාත්‍ර දරද් දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, තෙපි අතිරේක පාත්‍ර දරවු දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි අතිරේක පාත්‍ර දරවු ද? තුච්ඡපුරුෂයෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් අතිරේකපාත්‍ර දරා නම් නිසඟිපචිති වේ” යයි.
මෙසේත් මේ සිකපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.
[මුල්පැණවීමයි.]
2. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරුන්ට අතිරේක පාත්‍රයෙක් උපන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ ඒ පාත්‍රය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වෙයි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සාකේතනුවර වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට මේ සිත විය: අතිරේක පාත්‍රයක් නො දැරියයුතු ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. මට මේ අතිරේක පාත්‍රයෙක් උපන. මම ද මේ පාත්‍රය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තෙමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වෙසෙති. ම විසින් කෙසේ පිළිපැදිය යුතු දැ”යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ.
3. “ආනන්‍දය, ශාරීපුත්‍ර තෙමේ කොපමණ කලකින් එන්නේ දැ?”යි. “භාග්‍යවතුන් වහන්ස, නවවැනි හෝ දසවැනි දවසැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි මේ ප්‍රස්තාවයෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දස දිනක් පරම කොට අතිරේක පාත්‍රයක් දරන්නට අනුදනිමි”. “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“දස දිනක් පරම කොට ඇති කල් අතිරේක පාත්‍රයක් දැරිය යුතුයි. එය ඉක්මවන්නහුට නිසඟිපචිති වේ” යයි.
[දෙවන පැණවීමයි.]
4. දසාහපරමං යනු: දසදවසක් පරම කොට ඇති කල් දැරිය යුත්තේ ය.
අතිරේක පත්ත නම්: නො ඉටන ලදුයේ නො විකපන ලදුයේ යැ.
පත්ත නම්: පාත්‍ර දෙකෙකි: අයස්පාත්‍ර යැ මාත්තිකාපාත්‍ර යි. පාත්‍රයාගේ ප්‍රමාණයෝ තිදෙනෙකි: උත්කෘෂ්ටපාත්‍ර යැ මධ්‍යමපාත්‍ර යැ අවමකපාත්‍ර යි. උත්කෘෂ්ටපාත්‍රය නම්: සහල් දෙනැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වූ ව්‍යඤ්ජන ද ගණී. මධ්‍යමපාත්‍රය නම්: සහල් නැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වූ ව්‍යඤ්ජන ද ගණී. අවමකපාත්‍රය නම්: සහල් අඩනැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වු ව්‍යඤ්ජන ද ගණී. එයින් උත්කෘෂ්ට වූයේ පාත්‍ර නො වෙයි. අවමක වූයේ පාත්‍ර නො වේ.
තං අතික්කයමාතො නිස්සග්ගියං පාචිත්තියං හොති යනු: එකොළොස් වන අරුණ නැගෙන කල්හි නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසැජිය යුත්තේ ය: ඒ මහණහු විසින් සඟුන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුලු වා හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: ‘වහන්ස, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මෙය මම සඟනට නිසජමි’යි නිසජා ඇවැත් දෙසිය යුතු ය. ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් ඇවැත් පිළිගතයුතු ය. නිසජන ලද පාත්‍රය දියයුත්තේ යි.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණහුගේ පාත්‍රය නිසඟි වූයේ සඟනට නිසදන ලද්දේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම් සඞ්ඝ තෙමේ මේ පාත්‍රය මෙනම් මහණහට දෙන්නේය”යි.
ඒ මහණහු විසින් බොහෝ භික්‍ෂූන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තාහ. “වහන්ස, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආයුෂ්මතුන්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු ය. නිසජන ලද පාත්‍රය දියයුත්තේ යි.
“ආයුෂ්මත්නි, මා කියන්නක් අසත්වා” මේ මෙනම් මහණහුගේ පාත්‍රය නිසඟි වූයේ ආයුෂ්මතුන්ට නිසඳන ලදී. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් වේ නම් ආයුෂ්මත්හු මේ පාත්‍රය මෙනම් මහණහට දෙන්නාහ” යි.
5. ඒ මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උතුරුසඟ එකස් කොට අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තේය. “ඇවැත්නි, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආයුෂ්මතුන්හට නිසඳමි” යි නිසදා ඇවැත් දෙසිය යුතුයි. ඒ මහණහු විසින් ඇවැත් පිළිගත යුතු ය. “මේ පාත්‍රය ආයුෂ්මත්හට දෙමි”යි නිසදූ පය (ඔහුට) දියයුතු.
6. දස දිනක් ඉක්ම ගියෙහි ඉක්මගිය සන් ඇතියේ නිසඟිපචිති වෙයි. දස දින ඉක්ම ගියෙහි විමති ඇතියේ නිසඟිපචිති වෙයි. දස දින ඉක්ම ගියෙහි නො ඉක්මිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ. නො ඉටන ලදුයෙහි ‘ඉටන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො විකපන ලදුයෙහි ‘විකපන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නොනටුයෙහි ‘නටැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නොවැනැසුනෙහි ‘වැනැසිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො බිඳුනෙහි ‘බිඳිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො පැහැරගන්නා ලදුයෙහි ‘පැහැරගන්නා ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ. නිසඟි වූ පාත්‍රය නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. දසදවසක් නොඉක්මගියෙහි ‘ඉක්මිණැ’යි සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. දසදවසක් නො ඉක්මගියෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. දස දවසක් නොඉක්මගියෙහි ‘නො ඉක්මිණැ’යි සන් ඇතියේ ඇවැත් නැති.
7. ඇතුළු දසදවසැ ඉටා නම්, විකපා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, බිඳේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි වැ ගණිත් නම් උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
8. තවද එසමයෙහි සවගමහණහු නිස්සජනය කළ පාත්‍රය නො දෙති. භාග්‍යවතුන් වහන්සේට එපවත් දැන්වූහ. “මහණෙනි, නිස්සජනය කළ පාත්‍රය නො දියයුත්තේ නො වෙයි. යමෙක් නො දේ නම් දුකුළාඇවැත්වේ” යයි.
පත්ත ශික්‍ෂාපදය නිමි.
5. 3. 2.
ඌනපඤ්චබන්‍ධන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි එක්තරා කුඹල්කරුවකු විසින් භික්‍ෂූහු පවරණ ලද්දාහු වෙත්. “යම් ආර්‍ය්‍යයන් වහන්සේ කෙනකුන්ට පාත්‍රයෙන් ප්‍රයෝජන වේ නම් මම පාත්‍රයෙන් පවරමි’යි. එසමයෙහි මහණහු පමණ නො දැන බොහෝ පා විනවත්. යම් කෙනෙකුන්ගේ කුඩා පාත්‍රයෝ වෙද්ද, ඔහු මහත් පා විනවත්. යම් කෙනෙකුන්ගේ මහත් පාත්‍රයෝ වෙද්ද, ඔහු කුඩා පා විනවත්. ඉක්බිති ඒ කුඹල්කරු තෙමේ භික්‍ෂූන්ට බොහෝ පාත්‍ර ඉදිකරන්නේ අනිත් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසෙති. මිනිස්සු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පමණ නො දැන බොහෝ පා විනවද්ද
මේ තෙමේ මොවුනට බොහෝ පා ඉදිකරන්නේ අනිත් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසෙතැ’යි. මහණහු හෙලා දකින නුගුණ පවසන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් මහණහු පමණ නො දැන බොහෝ පා විනවුහුදැ’යි.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... “සැබෑද, මහණෙනි, භික්‍ෂූහු පමණ නො දැන බොහෝ පා විනවද්දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ, පමණ නො දැන බොහෝ පා විනවූහු ද, මහණෙනි, එය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පාත්‍රයෙක් විනවා නො ගත යුතුය. යමෙක් විනවා නම් දුකුළා ඇවැත් වේ” යයි.
3. එසමයෙහි එක්තරා මහණක්හුගේ පාත්‍රය බිඳුනේ වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් පාත්‍රය විනවා ගැනීම පිළිකෙව් කරණ ලදැ’යි කුකුස් කරන්නේ නො විනවයි. අතින් පිඬුසිඟා යෙයි. මිනිස්සු හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අන් තොටුවන් සේ අතින් පිඬු සිඟා හැසිරෙත් දැ”යි. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. ඉක්බිති භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළාහු ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, නට පා ඇතියහුට හෝ බුන් පා ඇතියහුට හෝ පයක් විනවා ගන්නට අනුදනිමි” යි.
4. එසමයෙහි සවග මහණහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් නට පා ඇතියහුට හෝ බුන් පා ඇතියහුට හෝ පයක් විනවා ගන්නට අනුදන්නා ලදැ’යි ඒ මහණහු මඳක් බුන් පමණකිනුදු, මඳක් කැඩුනු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනුදු, බොහෝ පා විනවා ගණිත්. ඉක්බිති ඒ කුඹල්කරු තෙමේ භික්‍ෂූන්ට එසේ ම් බොහෝ පා ඉදිකරන්නේ අන් විකිණියයුතු බඩුවක් කරන්නට නොහැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසත්. මිනිස්සු එසේ ම හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයෝ පමණ නො දැන බොහෝ පා විනවා ගණිත් ද, මේ තෙමේ මොවුනට බොහෝ පා ඉදිකරන්නේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝත් වෙහෙසෙතැ”යි.
5. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පහළ කරණ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් සවග මහණහු මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවද්දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවවු ද?” යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවවුද?” “තුච්ඡපුරුෂයෙනි, තෙල නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් උනුපස්බාන් පා ඇතියාව අනිත් අලුත් පයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ. ඒ මහණහු විසින් ඒ විනවූ පය මහණපිරිස්හි නිසජිය යුතුය. ඒ මහණපිරිසෙහි පර්‍ය්‍යන්තයෙහි ලද යම් පාත්‍රයෙක් වේ ද එය එ මහණහට දියයුතු: මහණ තා විසින් මේ පාත්‍රය බිඳීම දක්වා දැරිය යුත්තේ’ යයි. මේ එහි වත” යි.
6. යො පන යනු: යමෙක්, යම්බඳු වූයෙක් ...
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’ යි අදහස් කරණ ලදී.
ඌනපඤ්චබන්‍ධනපත්ත නම්: බැඳුම් නැතියේ හෝ එක් බැඳුමක් ඇතියේ හෝ දෙබැඳුමක් ඇතියේ හෝ තුන්බැඳුමක් ඇතියේ හෝ සතර බැඳුමක් ඇතියේ හෝ යි. අබන්‍ධනෝකාසපත්ත නම්: යමක්හුගේ දැගුල්හිරෙක් නො වේ ද ඒ යැ. බන්‍ධනොකාස පත්ත නම්: යමක්හුගේ දැගුල්හිරෙක් වේ ද ඒ යැ. නවපත්ත නම්: වීඤ්ඤතතිය සඳහා කියනු ලැබේ.
චේතාපෙය්‍ය යනු: විනවා නම් පියෝගී දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟමැද නිසැජියයුතු. සියල්ලන් විසින් මැ ඉටූ පාත්‍රය ගෙණ රැස්වියයුතු. (මාහැඟි පාත්‍රයක් ගන්නෙමි’ යි) ලාමක පාත්‍රයක් නො ඉටියයුතු. ඉදින් (මාහැඟි පාත්‍රයක් ගන්නෙමි’යි) ලාමක පාත්‍රයක් ඉටා නම් දුකුළාඇවැත් වෙයි.
තවද මහණෙනි, මෙසේ නිසැජිය යුතු: ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරව මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: ‘වහන්ස, මේ මාගේ පාත්‍රය උනුපස්බානින් යුක්ත වැ විනවා ගන්නා ලදුයේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’යි. නිසජා ඇවැත් දෙසියයුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගතයුතු.
පසඟකින් යුත් පත්තගාහාපක මහණ තෙම සම්මත කළයුත්තේ ය: යමෙක් ඡන්‍දාගතියට නො යේ ද දෝසාගතියට නො යේ ද මෝහාගතියට නොයේ ද භයාගතියට නො යේ ද ගත් නො ගත් බව දනී ද හෙතෙමේ යි. තවද මහණෙනි, මෙසේ සම්මත කළයුත්තේ ය: පළමු කොට මහණ තෙම අයැදිය යුත්තේ ය. අයැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙම මෙනම් මහණහු පත්තගාහාපක කොට සම්මත කරන්නේ ය. මේ ‘ඤත්ති’යැ,
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා සඞ්ඝ තෙම මෙනම් මහණහු පත්තගාහාපක කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ පත්තගාහාපක සම්මතිය රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
සඞ්ඝයා විසින් පත්තගාහාපක වූ මෙනම් මහණ තෙම සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. මෙසේ තෙල තුෂ්ණිම්භාවය ධරමි” යි.
ඒ සම්මත මහණහු විසින් පාත්‍රය ගැන්වියයුතු. ‘වහන්ස, තෙරණුවෝ පාත්‍රය ගණිත්වා’ යි ස්ථවිර මහණහට කියයුතු ය. ඉදින් තෙරහු පාත්‍රය ගණිත් නම් තෙරුන්ගේ පාත්‍රය දෙවැන්නාට ගැන්වියයුතු ය. ඔහුට දයා ඇති බැවින් නො ද නො ගතයුත්තේ ය. යමෙක් නොගණී නම් දුකුළාඇවැත් වෙයි. පාත්‍රයක් නැත්තහුට නො ගැන්වියයුතු ය. මෙනයින් සඞ්ඝනවකයා තෙක් ගැන්වියයුතු ය. ඒ මහණපිරිසෙහි යම් පයර්‍ය්‍යන්තපාත්‍රයෙක් වේ නම් එය ඒ මහණහට දියයුතුය. ‘මහණ මේ පය තා විසින් බිඳීම තෙක් දැරියයුතු’ යයි. ඒ මහණහු විසින් ඒ පාත්‍රය ‘කෙසේ නම් මේ පාත්‍රය නැසේ හෝ වැනසේ හෝ බිඳේ හෝ යැ’යි නුසුදුසු තන්හි නො තැබියයුතු ය. නුසුදුසු පරිභෝගයෙන් නො වැළඳිය යුතුය. නො විසජියයුතු. ඉදින් නුසුදුසු තන්හි තබා නම් හෝ නුසුදුසු පරිභෝගයෙන් වළඳා නම් හෝ විසජා නම් හෝ දුකුළාඇවැත් වේ.
අයං තත්‍ථ සාමීචි යනු: එහිලා මේ ලොවුතුරු දහම් අනුව ගිය මඟ යි.
7. බන්‍ධන නැති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධන නැති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිතිඇවැත් වෙයි. බන්‍ධන නැති පාත්‍රයෙන් යුක්ත ව එක් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
8. එක් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
9. දෙ බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
10. තුන් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
11. සතර බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
12. බැඳුම් නැති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වෙයි. බැඳුම් නැති පාත්‍රයෙන් යුක්ත ව එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
13. එක් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
14. දෙ බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
15. තුන් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... විනවා ගණී නම් නිසඟිපචිති වේ.
16. සතර බැඳුමක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... ද්විබන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
17. බන්‍ධනාවකාශ නැති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධන නැති පාත්‍රයක් ... එක් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... ද්විබන්‍ධනයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව ... ද්විබන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධන නැති පාත්‍රයක් ... එක් බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනයක් ඇති පාත්‍රයක් ... බන්‍ධනාවකාශ නැති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... ද්විබන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
18. එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
19. දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
20. සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයකින් යුක්ත ව බන්‍ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්‍ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
21. නට පා ඇතියහට, බුන් පා ඇතියහට, නෑයනට, පවරණ ලදුවනට, අනෙකක්හු සඳහා තමාගේ ධනයෙන්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැතියි.
ඌනපඤ්චබන්‍ධන ශික්‍ෂාපදය නිමි.
5. 3. 3.
භේසජ්ජ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ ලෙනක් කරණු කැමැත්තාහු රජගහනුවර පවුබෙයදක් ශුද්ධ කරවති. එකල්හි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හිඳ මෙය සැළ කෙළේය. “වහන්ස තෙරණුවෝ කුමක් කරවද්ද” යි “මහරජ ලෙනක් කරණු කැමැත්තෙම් පවුබෙයදක් ශුද්ධ කරවමි” යි “වහන්ස, හිමියනට ආරාමිකයකුගෙන් ප්‍රයෝජන දැ”යි “මහරජ භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. එසේ වී නම් “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වනසේක්වා” යි. “එසේ ය මහරජැ” යි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්සරරජුට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. පැහැද වූහ. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ (කුසල් දහම්හි) සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ, පහදවන ලද්දේ හුනස්නෙන් නැගී ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
2. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත දූතයකු යැවූහ: “වහන්ස මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආරාමිකයකු දෙනු කැමැත්තේ ය. “වහන්ස මවිසින් කෙසේ පිළිපැදියයුතුදැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක “මහණෙනි, ආරාමිකයකු අනුදනිමි” යි. දෙවනවට ද මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන් වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් මගධාධිපති සේනිය බිම්සර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන්ට මෙය සැළ කෙළේය. “වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් අනුදන්නා ලද්දේ දැ”යි. “එසේය මහරජැ’ යි. “වහන්ස එසේ වී නම් හිමියනට ආරාමිකයකු දෙමි’ යි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවන්ට ආරාමිකයකු දීමට ගිවිස නො සිහිකොට කලකින් සිහි එළවා හැම කාරියෙහි යුත් එක්තරා මහඇමැතියකු ඇමැතීය. “තෙල මා විසින් හිමියනට යම් ආරාමිකයෙක් ගිවිස්නා ලද්දේ නම් ඒ ආරාමික තෙම දෙන ලද්දේදැ’යි. “දේවයන්වහන්ස හිමියනට ආරාමිකයෙක් නො දෙන ලදැ’යි. “කොල එය මෙයින් කෙතෙක් කල් ඉක්ම ගියේ දැ’යි. ඉක්බිති මහාමාත්‍ය තෙමේ දවස් ගැණ මගධාධිපති සේනිය මිබ්සර රජහට මෙය සැළ කෙළේය. “දේවයන් වහන්ස පන්සියක් දවසැ’යි. “කොල එසේ වී නම් හිමියනට ආරාමිකයන් පන් සියයක් දෙව’ යි. “එසේය දේවයන් වහන්සැ’ යි ඒ මහඇමැති තෙමේ මගධාධිපති සේනිය බිම්සර රජහට පිළිවදන් දී ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්හට ආරාමිකයන් පන්සියයක් දුනි. වෙන ම ගමෙක් පිහිටියේ ය. එය ආරාමිකගම’යි කීහ, එය පිලින්‍දිගම” යි ද කීහු.
3. එසමයෙහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ ඒ ගමෙහි කුලුපග වූයෙක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය. ඒ කල්හි ඒ ගමෙහි උත්සවයෙක් වෙයි. දරුවෝ අබරණින් සදන ලද්දාහු මල්දමින් සදන ලද්දාහු ක්‍රීඩා කෙරෙත්.
4. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ පිලින්‍දිගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙන්නේ එක්තරා ආරාමිකයකුගේ නිවෙස්න වෙත එළඹ පැනවූ අස්නෙහි හුන්නේ ය. එසමයෙහි ඒ ආරාමික බිරිඳගේ දියැනි තොමෝ අන් දරුවන් අබරණින් සදනලදුවන් මල්දමින් සදනලදුවන් දැක මට මල්දමක් දෙව, මට පළඳනාවක් දෙව’ යි හඬා. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ ඒ ආරාමික බිරිඳට මෙය කීය: ‘කුමකට මේ දැරිය හඬා දැ’යි. වහන්ස, මේ දැරිය අන් දරුවන් අබරණින් සදනලදුවන් මල්දමින් සදන ලදුවන් දැක ‘මට මල්දමක් දෙව’ මට පළඳනාවක් දෙව’ යි හඬා. දුගී අපට මල්දම් කොයින් ද? අබරණ කොයින් දැ?”යි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙමේ එක්තරා තණසුඹුළුවක් ගෙණ ඒ ආරාමික බිරිඳට මෙය කී ය: ‘ඉඳ මේ තණසූඹුළුව ඒ දැරියගේ හිසෙහි පළඳව යි. ඉක්බිති ඒ ආරාමිකයාගේ බිරිඳ ඒ තණසුඹුළුව ගෙණ ඇගේ හිසෙහි පැළඳවූ ය. එය මනාරූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලාවක් වූ ය. රජුගේ ඇතොවුරෙහි එබඳු ස්වර්‍ණමාලායෙක් නැති. මිනිස්සු මගධේශ්වර සේනිය බිම්බිසාර රජහට දැන්වූහ: “දේවයන් වහන්ස, අසුවල් ආරාමිකයාගේ ගෙහි මනාරූ ඇති දැකුම්කළලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලායෙක් ඇත. දේවයන් වහන්සේගේ ඇතොවුරෙහි දු එබඳු ස්වර්‍ණමාලායෙක් නැති. ඒ දුගීපුරුෂයාහට කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණෙන ලද වනැ”යි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙම ඒ ආරාමික කුලය සිර කරවී ය.
5. දෙවනවට ද ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙම පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය. පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙණුයේ ඒ ආරාමිකයාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ එක්බිති ගෙහි මිනිසුන් විචාළේ ය: “මේ ආරාමික කුලය කොහි ගියේ දැ?” යි. “වහන්ස, තෙල ස්වර්‍ණමාලාව නිසා රජු විසින් බඳවන ලදැ”යි.
6. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙම මගධාධිපති සේනිය බිම්බිසාර රජුගේ නිවෙස්න කරා එළඹ පණවන ලද අස්නෙහි වැඩහුන්නේ ය. ඉක්බිති මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙම ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මගධාධිපති සේනිය බිම්බිසාර රජහට ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මෙය කීහ: “මහරජ, කුමක් හෙයින් ආරාමිකකුලය බඳවනලද දැ”යි. “වහන්ස, ආරාමිකයාගේ ගෙහි මනාරූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ස්වර්‍ණමාලායෙක් ඇත. එබඳු ස්වර්‍ණමාලායෙක් අපගේ ඇතොවුරෙහිදු නැති. ඒ දුගී පුරුෂයහට කොයින් ද? එකත්නෙන් සොරකමින් ගෙණෙන ලද වනැ”යි. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහුගේ ප්‍රාසාදය රන්මුවා වේවා යි ඉටූහ. හේ සියල්ල රන්මුවා විය. “මහරජ, තොපට මේ මෙතෙක් බොහෝ රන් කොයින් දැ?”යි. “වහන්ස, හේ හිමියන්ගේ ම ඍද්ධ්‍යානුභාවයෙකැ යි දන්නා ලදැ” යි ඒ ආරාමික කුලය මිදැවී ය.
7. මිනිස්සු ‘පිලින්‍දිවච්ඡ හිමියන් විසින් සරාජික පිරිස්හි උතුරුමිනිස්දමින් ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය දක්වන ලද්දේ ය’ යි සතුටුසිත් ඇත්තාහු වෙසෙසින් ප්‍රසන්න වූවාහු ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුනට පස්බෙහෙත් එළැවූහ. හේ මෙසේ ය: ගිතෙල් යැ වෙඬරු යැ තෙල් යැ මිහි යැ පැණි යයි. පියවිනුදු ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරණුවෝ පස්බෙහෙත් ලබනසුලු වෙති. ලද ලද දැය පිරිසෙහි විසජති. ඔබගේ පිරිස ද බාහුලික වෙයි. ලද ලද දැය මහසැළෙහිදු කළයෙහි පුරා සඟවා තබයි. පෙරහනුදු පිහිටා දු පුරා වාකවුළුවල එල්වා තබයි. ඒවා යටටත් දෙපසටත් ගිලිහුණාහු සිටිත්. මීයන් විසිනුදු විහාරයෝ අවකීර්‍ණ විකීර්‍ණ වූවාහු වෙත්. මිනිස්සු විහාරචාරිකායෙහි හැසිරෙන්නාහු දැක අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ මගධාධිපති සේනිය බිම්බිසාර රජහු සෙයින් ඇතුළු කොටුගුළු ඇත්තාහු ය” යි. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් භික්‍ෂූහු මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතූහු දැ” යි.
8. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද? මහණෙනි, භික්‍ෂූහු මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතත් දැ” යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: “කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ මෙබඳු බහුල පැවැතුම් ඇති බවට සිතූහු දැ”යි. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“ගිලන් මහණුන් විසින් වැළඳියයුතු වූ යම් භෛෂජ්‍ය කෙනෙක් වෙද්ද, හේ මෙසේ ය: ගිතෙල් යැ වෙඬරු යැ තෙල් යැ මිහි යැ පැණි යි. ඒවා පිළිගෙණ සත්දවසක් පරම කොට ඇති කාලයක් සන්නිධි කොට වැළඳිය යුත්තාහ. ඒ (සත්තාහකාලය) ඉක්මවන්නාහට නිසඟිපචිති වේ.” යයි.
9. යානි ඛො පන තානි ගිලානානං භික්ඛුනං පටිසායනීයානි භේසජ්ජානි යනු:
සප්පි නම් : ගවගිතෙල් වේවයි එළුගිතෙල් වේවයි මිහිගිතෙල් වේවයි යම් කෙනකුන්ගේ මස් කැප වේ නම් ඔවුන්ගේ ගිතෙල්.
නවනීත නම්: ඔවුන්ගේ ම වෙඬරු ය.
තෙල නම්: තලතෙල් හබතෙල් මීතෙල් එරඬුතෙල් වුරුණුතෙල්
මධු නම්: මී පැණි
ඵාණිත නම්: උගුයෙන් නිපන්නේ යි.
තානි පටිග්ගහෙත්‍වා සත්තාහපරමං සන්ගිධිකාරකං පරිභූඤජිතබ්බානි යනු: සත්දවසක් පරම කොට වැළඳිය යුත්තාහ.
තං අතික්කාමයතෝ නිස්සග්ගියං හොති යනු: අට වැනි අරුණ නැගෙන කල්හි නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජියයුතු ය: ‘වහන්ස, මාගේ මේ බෙහෙත් සත්දවසක් ඉක්මගියේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
10. සත් දවසක් ඉක්මගියෙහි ‘ඉක්මිනැ’ යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි. සත්දවසක් ඉක්ම ගියෙහි විමති ඇතියේ නිසැඟිපචිති වෙයි. සත් දවසක් ඉක්ම ගියෙහි නො ඉක්මිනැ’යි සන් ඇතියේ නිසැඟි පචිති වෙයි. නො ඉටන ලදුයෙහි ‘ඉටනලදැ’යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි.
11. නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’යි සන් ඇතියේ, නො නටුයෙහි ‘නටැ’යි සන් ඇතියේ, නොවැනැසුනෙහි ‘වැනැසුනැ’යි සන් ඇතියේ, නො දැවුනෙහි ‘දැවිනැ’ යි සන් ඇතියේ, නො පැහැරගන්නා ලදුයෙහි ‘පැහැරගන්නා ලදැ’යි සන් ඇතියේ නිසැඟිපචිති වෙයි.
12. නිසජනලද්ද ලැබ කායිකපරිභෝගයෙන් පරිභෝග නො කටයුතු ය. පරඟලා නො කටයුතු ය. පහනෙහි හෝ කළුඅලෙව් දීමෙහි හෝ එළවිය යුතු ය. අන් මහණකු විසින් කායික පරිභෝගයෙන් පරිභෝග කටයුතු ය. පරඟලා නො කටයුතු ය.
13. සත්දවසක් නොඉක්මගියෙහි ‘නො ඉක්මිනැ’ යි සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. සත්දවසක් නො ඉක්ම ගියෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. සත් දවසක් නො ඉක්ම ගියෙහි ‘නො ඉක්මිනැ’යි සන් ඇතියේ ඇවැත් නැති.
14. ඇතුළු සත්දවස්හි ඉටා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම්, අනුපසපනක්හට දෙනලද්දෙන්, හරණලද්දෙන්, මුදනලද්දෙන්, නිරපේක්‍ෂක ව දී නැවත ලැබ පරිභෝග කෙරේ නම්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
භේසජ්ජ ශික්‍ෂාපදය නිමි.
5. 3. 4.
වස්සිකසාටික ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. තවද එසමයෙහි භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට වැසිසළුසිවුර අනුදන්නා ලද වෙයි. සවගමහණහු ‘භාග්‍යවතුන් විසින් වැසිසළු අනුදන්නාලදැ’යි කැල ම වැසිසළුසිවුරු සොයති. කැල ම කොට නිවාසනය කෙරෙති, වැසිසළුසිවුර දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් සවග මහණහු කැල ම වැසිසළුසිවුරු සෙවූහු ද, කැල ම කොට නිවාසනය කළාහු ද, වැසිසළුසිවුරු දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමුහු දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණෙනි, තෙපි කැල ම වැසිසළුසිවුරු සොයවු ල, කැල ම කොට නිවාසනය කරවූ ල, වැසිසළුව දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමවු ලැ’යි. සැබව ‘භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: “තුච්ඡපුරුෂයෙනි, කෙසේ නම් තෙපි කැල ම වැසිසළුසිවුරු සෙවූහු ද, කැල ම කොට නිවාසනය කළහු ද, වැසිසළුව දිරාගිය කල්හි ලිහිණි ව කය තෙමුහු ද. තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“ගිමන් සාරමස සම්බන්‍ධ මසෙක් ශේෂ ව සිටියේ යයි මහණහු විසින් වැසිසළුසිවුර සෙවියයුතු ය. ගිමන් සාරමස සම්බන්‍ධ අඩමසෙක් ශේෂ ව සිටියේ යයි කොට නිමවා හැන්ද යුතු ය. ඉදින් ගිමන් සාරමස සම්බන්‍ධ මසෙක් ශේෂ යයි (කියයුතු තැනට) මෑත භාගයෙහි වැසිසළුසිවුරක් සොයා නම් ගිමන් සාරමස සම්බන්‍ධ අඩ මසෙක් ශේෂ යයි කියයුතු තැනට මෑතභාගයෙහි කොට නිවාසනය කෙරේ නම් නිසඟිපචිති වේ” යයි.
2. මාසො සේසෝ ගිම්හානන්ති භික්ඛුනා වස්සිකසාටිකචීවරං පරියේසිතබ්බං යනු: යම් මිනිස් කෙනෙක් පෙරත් වැසිසළුසිවුරු දෙද්ද ඔවුන් වෙත එළඹ මෙසේ කියයුත්තාහ: “වැසිසළුවට කාලය වෙයි. වැසි සළුවට සමය වෙයි. අන් මිනිස්සු ද වැසිසළු සිවුරු දෙතැ”යි. “මට වැසිසළුසිවුරක් දෙන්න. මට වැසිසළුසිවුරක් ගෙණෙන්න. මට වැසිසළුසිවුරක් පිරිවටා දෙන්න. මට වැසිසළුසිවුරක් විකොට ගෙණ දෙන්නැ”යි නො කියයුත්තාහ.
අද්ධමාසො සේසෝ ගිම්හානන්ති කත්‍වා නිවාසෙතබ්බං යනු: අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හැන්ද යුතු ය.
ඔරෙන චෙ මාසො සේසෝ ගිම්හානං යනු: අයිරා මසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළුසිවුර සොයා නම් නිසඟිපචිති වේ.
ඔරෙනද්ධමාසො සේසෝ ගිම්හානං යනු: අයිරා අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හඳී නම් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැදිය යුතු යි. මහණෙනි, මෙසේත් නිසැදිය යුතු යි: “වහන්ස, මගේ මේ වැසිසළුසිවුර අයිරා අඩමසක් ශේෂ ව සිටි. ගිම්හානයෙහි සොයන ලද්දේ අයිරා අඩමසක් ශේෂ ව සිටි ගිම්හානයෙහි කොට නිමවා හඳින ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි ... දෙනේනේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.
3. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරා සන් ඇතියේ වැසිසළු සිවුර සොයා නම්, නිසඟිපචිති වෙයි. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇත්තේ වැසිසළුසිවුර සොයා නම් නිසඟි පචිති වෙයි. අයිරා මසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ වැසිසළුසිවුරක් සොයා නම් නිසඟිපචිති වේ.
4. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇත්තේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ. අයිරා අඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ කොට නිමවා හඳී නම් නිසඟිපචිති වේ.
5.වැසිසළුව ඇතිකල්හි ලිහිණිව කය තෙමා නම් දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.
6. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි අයිරාසන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනුඅඩමසක් ශේෂ වූ ගිම්හානයෙහි උනුසන් ඇතියේ ඇවැත් නැති.
7. ගිමන් සිවුමසින් මසක් ශේෂ යයි වැසිසළුසිවුරක් සොයා නම්, ගිමන් සිවුමසින් අඩමසක් ශේෂ යයි කොට නිමවා හඳී නම්, ගිමන් සිවුමසින් උනුමසක් ශේෂ යයි වැසිසළුසිවුර සොයා නම්, ගිමන් සාරමසින් උනුමසක් ශේෂ යයි කොට හඳී නම්, සොයන ලද වැසිසළුව ඇති කල්හි වස පෙරට අදනා ලැබේ නම්, හඳනා ලද වැසිසළුව ඇති කල්හි වස පෙරට අදනා ලැබේ නම්, දොවා බහා තැබියයුතු ය. සුදුසුකල්හි හැන්ද යුතු ය. අසිඳැගත් සිවුරු ඇතියාට, නටසිවුරු ඇතියාට, උවදුරු ඇති කල්හි, උම්මතකයාහට, ආදිකම්මිකයහට, ඇවැත් නැත්තේ යි.
වස්සිකසාටික ශික්‍ෂාපදය නිමි.
5. 3. 5.
චීවරඅච්ඡින්‍දන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ බෑයාගේ සද්ධිවිහාරික මහණක්හට මෙය කී ය. “එව ඇවැත්නි, ජනපදචාරිකාහි යම්හ” යි. “වහන්ස මම නො යන්නෙමි. දුඹුල් සිවුරු ඇත්තෙමි” යි. “එව ඇවැත්නි, මම තට සිවුරක් දෙන්නෙමි” යි ඔහුට සිවුරක් දිනි. ඒ මහණ තෙමේ “භාග්‍යවතුන් වහන්සේ ජනපද චාරිකායෙහි වඩනාහ” යි ඇසී ය. ඉක්බිති ඒ මහණහට මේ සිත විය: “මම දැන් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් හා සමග ජනපද චාරිකායෙහි නො යන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ හා සමග ජනපද චාරිකායෙහි යන්නෙමි” යි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ ඒ මහණහට මෙය කීය: “එව ඇවැත්නි, දැන් ජනපද චාරිකායෙහි යම්හ” යි. “වහන්ස, මම නුඹ හා සමග ජනපද චාරිකායෙහි නො යන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ හා සමග ජනපද චාරිකායෙහි යන්නෙමැ” යි. “ඇවැත්නි, මම තට සිවුරක් දිනිම් ද එය මා හා සමග ජනපද චාරිකායෙහි යන්නේ යයි (සිතා) දිනිමි” යි කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගත්තේ ය.
2. ඉක්බිති ඒ මහණ තෙමේ භික්‍ෂූන්ට මෙ පවත් දැන්වී ය. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිති. නුගුණ කියති. දොස් පතුරුවති. “කෙසේ නම් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ මහණහට තෙමේ සිවුරක් දී කිපියේ නොසතුටු වූයේ අසිඳැ ගත්තේ දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද? උපනන්‍දය තෝ මහණකු ට තෙමේ සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳැ ගත්තේ දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “තුච්ඡපුරුෂය,කෙසේ නම් තෝ මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නො සතුටු වූයේ අසිඳ ගත්තේ ද?” “තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”