Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 2301-2400 න් 2612

ඡබ්බස්ස ශික්‍ෂාපදය නිමි.
නිසීදනසන්‍ථත ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩ වසන සේක. එකල්හි භාග්‍යවත්හු භික්‍ෂූන් ඇමැතූහ: ‘මහණෙනි, මම් තුන්මසක් විවික්ත ව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාත එළවන එක් මහණක්හු හැර කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය එළවන එක් මහණකු හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙයි. යළි එසමයෙහි සැවැත්නුවර සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද වෙයි: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තුන්මසක් මුළුල්ලෙහි විවික්ත ව වාසය කරන්නට කැමති වන සේක. පිණ්ඩපාත එළවන එක් මහණකු විනා කිසිවක්හු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හෙතෙම පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි.
2. එකල්හි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේන තෙමේ පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන්නාවූ වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ: ‘කිම උපසේනය, තොපට ඉවසිය හැකි ද, කිම යැපිය හැකි ද, කිම නො වෙහෙසින් දිගුමඟැ ආවාහු දැ’යි. ඉවැසිය හැක්ක භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක භාග්‍යවතුන් වහන්ස, වහන්ස අපි නො වෙහෙසින් දිගුමඟැ ආම්හ’යි.
3. තවද එසමයෙහි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනගේ සද්ධිවිහාරික මහණෙක් භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට මෙය වදාළහ: ‘මහණ තට පසුල්සිවුරු මනාප දැ’යි. ‘වහන්ස, මට පසුල්සිවුරු මනාප නො වෙති’යි. ‘කවර හෙයින් මහණ, තෝ පංශුකූලිකයෙහි දැ’යි. ‘වහන්ස, මාගේ උපාධ්‍යායයෝ පාංශුකූලිකයහ. එසෙයින් මම ද පාංශුකූලිකයෙමි’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනහට මෙය වදාළහ: ‘උපසේනය, තාගේ මේ පිරිස ප්‍රසාදික ය, උපසේනය, කිසෙයින් තෝ පිරිස හික්මවූයෙහි දැ’යි. ‘වහන්ස, යමෙක් මා උපසම්පදාව ඉල්වා නම්, ඔහුට මම මෙසේ කියමි: ඇවැත්නි, මම ආරණ්‍යකයෙමි, පිණ්ඩපාතිකයෙමි, පාංශුකූලිකයෙමි, ඉදින් තො ද ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වන්නෙහි නම් මෙසේ මම් තා උපසපන් කරන්නෙමි’යි ඉදින් මට පිළින කෙරේ නම් උපසපන් කරමි. ඉදින් මට පිළින නො කෙරේ නම් උපසපන් නො කෙරෙමි. යමෙක් මා නිස ඉල්වා නම් ඔහුට මම් මෙසේ කියමි. ‘ඇවැත්නි, මම් ආරණ්‍යකයෙමි, පිණ්ඩපාතිකයෙමි, පාංශුකූලිකයෙමි, ඉදින් තො ද ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වන්නෙහි නම් මෙසේ මම තට නිස දෙන්නෙමි’යි. ඉදින් මට පිළින කෙරේ නම් නිස දෙමි, ඉදින් මට පිළින නො කෙරේ නම් නිස නො දෙමි. වහන්ස, මෙසේ මම් පිරිස හික්මවමි”යි. “මැනව මැනව උපසේනය, උපසේනය තෝ මැනැවින් පිරිස හික්මවූයෙහි. තවද ‘උපසේනය’ තෝ සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දනී දැ”යි. වහන්ස, මම් සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව නො දනිමි’යි. “උපසේනය, සැවැත්නුවර සඞ්ඝයා විසින් ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තෙමසක් විවික්ත ව වසන්නට රිසි වෙති. පිණ්ඩපාත එළවන එක් මහණක්හු තබා කිසිවකු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හේ පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි කතිකාවක් කරණ ලද ය. ‘වහන්ස, සැවැත්නුවර සඞ්ඝ තෙම සිය කතිකායෙන් පැනෙන්නේ ය. අපි නො පණවන ලද්දක් නො පණවම්හ. පණවන ලද්ද හෝ නො සිඳුම්හ. යථාප්‍රඥප්ත වූ ශික්‍ෂාපදයන්හි සමාදන් ව පවතුම්හ’යි. මැනව මැනැව උපසේනය, නො පණවන ලද්දක් නො පැණවිය යුතුය, පණවන ලද්ද හෝ නො සිඳිය යුතුය. යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් ව පැවැතිය යුතු. උපසේනය, යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා’ යි අනුදනිමි.
4. තවද එසමයෙහි බොහෝ භික්‍ෂූහු “අපි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයන් ලවා පචිතිඇවැත් දෙසවම්හ’ යි බිහිදොර කොටුවෙහි සිටියාහු වෙති. ඉක්බිති වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයෝ පිරිස් සහිත ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයන්ට මෙ පවත් කීහ: ‘ඇවැත්නි, උපසේනයෙනි, තෙපි සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දන්නහු දැ’යි. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ද මට මෙසේ වදාළහ: උපසේනය, තෝ සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දන්නෙහි දැ’යි. ‘වහන්ස, මම් සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව නො දනිමි’යි. “උපසේනය, සැවැත්නුවර සඞ්ඝයා විසින් ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තෙමසක් විවික්ත ව වාසය කරන්නට රිසි වෙති. පිණ්ඩපාත එළවන එක් මහණක්හු තබා කිසිවකු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හෙතෙම පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි කතිකාවක් කරණ ලදැ’යි. “වහන්ස, සැවැත්නුවර සඞ්ඝ තෙම සිය කතිකායෙන් පැනෙන්නේ ය. ‘ඇපි නො පණවන ලද්දක් නො පණවම්හ. පණවන ලද්ද හෝ නො සිඳුම්හ. යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් ව පවතුම්හ’ යි. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා’ යි අනුදන්නා ලද” යයි.
5. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් උපසේනයෝ සැබවක් ම කියති: ‘නො පණවන ලද්දක් නො පැණවියයුතු ය, පණවන ලද්ද හෝ නො සින්ද යුතු ය. යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් ව පැවැතියයුතු’ යයි. භික්‍ෂූහු ‘යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා යි අනුදන්නා ලදැ’යි ඇසූහ. ඔහු භාග්‍යවතුන් වහන්සේ දක්නට කැමැත්තාහු ඇතිරි හැරපියා ආරණ්‍යකාඞ්ගය, පිණ්ඩපාතිකාඞ්ගය, පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් හා සමග සේනාසන චාරිකායෙහි වඩනාහු ඒ ඒ තැන්හි හැරපියන ලද ඇතිරි දුටහ. දැක ‘මහණෙනි, මේ ඒ ඒ තැන්හි හැරපියන ලද ඇතිරි කවරක්හුගේ දැ’යි භික්‍ෂූන් ඇමැතූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූහ: “එසේ වී නම් මහණෙනි, කරුණු දශයක් නිසා භික්‍ෂූන් ට ශික්‍ෂාපද පනවන්නෙමි. සඞ්ඝසුට්ඨුතා පිණිස ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“නිසදුන් ඇතිරියක් කරණ මහණහු විසින් දුර්‍වර්‍ණකිරීමට පුරාණ සන්‍ථතයාගේ හාත්පසින් සුගත්වියතක් ගතයුතු ය. ඉදින් මහණ තෙම පුරාණ සන්‍ථතයාගේ හාත්පසින් සුගත්වියතක් නො ගෙණ අලුත් නිසඳුන් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
6. නිසීදන නම්: දාවලු සහිතයෙක් කියනු ලැබේ.
සන්‍ථත නම්: නො වියූ අතුට කරණ ලද්දක් වෙයි.
කාරයමානෙන යනු කරන්නේ හෝ කරවන්නේ හෝ.
පුරාණසන්‍ථත නම්: වරක් හැන්ද හෝ වරක් පෙරවූවකි.
සාමන්තා සුගතවිදත‍්ථි ආදාතබ්බා දුබ්බණ්ණකරණාය යනු වට කොට හෝ සිවුරැස් කොට හෝ සිඳ එක්පසෙක හෝ ඇතිරිය යුතු යි. නෙලා හෝ ඇතිරිය යුතු යි.
අනාදා චෙ භික්ඛු පුරාණ සන්‍ථතස්ස සාමන්තා සුගතවිදත‍්ථිං යනු පැරණි ඇතිරියක පසකින් සුගත් වියතක් පමණ නොගෙණ අලුත් නිසඳුන් ඇතිරියක් කෙරේ හෝ කරවා හෝ පියෝහි දුකුළා වෙයි. ලබා ගැනීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුතු යි. තවද මහණෙනි, මෙසේ නිසජිය යුතු යි. “වහන්ස, පැරණි ඇතිරියක පසකින් සුගත් වියතක් නො ගෙණ කරවන ලද මේ මගේ හිඳිනා ඇතිරිය නිසගි විය. මම් මෙය සඟනට නිසජමි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
7. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. අනෙකකු සඳහා කෙරෙයි හෝ කරවා හෝ දුකුළාඇවැත් වේ.
8. පැරණි ඇතිරියක පසකින් සුගත්වියතක් පමණ ගෙණ කෙරේ නම්, නොලැබෙන්නේ ඉතා මඳක් ගෙණ කෙරේ නම්, නො ලැබෙන්නේ නො ගෙණ කෙරේ නම්, අනෙකක්හු විසින් කරණ ලද්ද ලැබී පරිභෝග කෙරේ නම් වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කෙරේ නම්, ඔහුට ද, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
නිසීදනසන්‍ථත ශික්‍ෂාපදය නිමි.
එළකලෝම ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි කොසොල් දනව්හි සිට සැවැත්නුවරට යන එක්තරා මහණක්හට අතරමගදී එළුලොම් උපන. ඉක්බිති ඒ මහණ තෙමේ ඒ එළුලොම් උතුරුසඟින් පොදියක් බැඳගෙණ ගියේ ය. මිනිස්සු ඒ මහණ දැක වෙළපූහ: “වහන්ස, ඔබ විසින් කොපමණකින් මිලයට ගන්නා ලද ද. කෙතෙක් ලාබ වන්නේ දැ?” යි. ඒ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු වූයේ ය. ඉක්බිති ඒ මහණ සැවැත්නුවරට ගොස් ඒ එළුලොම් සිටි වන ම බිම හෙළී ය. භික්‍ෂූහු ඒ මහණහට මෙසේ කීහ: “ඇවත තෝ කුමක් හෙයින් මේ එළුලොම් සිටි වන ම බිම හෙළුයෙහි ද?” යි. “ඇවැත්නි, මම මේ එළුලොම් නිසා මිනිසුන් විසින් වෙළපන ලද්දෙමි. එහෙයිනි” යි. “ඇවැත්නි, තෝ කෙතෙක් දුර සිට මේ එළුලොම් ගෙණ ආයෙහි දැ?”යි. “ඇවැත්නි, අයිරා තුන් යොදුනකි” යි. යම් අපිස් වූ මහණ කෙනෙක් වෙත් ද, ඔහු අවමන් කෙරෙති, අයුණු කියත්, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් මහණෙක් අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙණ අයි දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණ? තෝ අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙන අයි දැ”යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස” යි. භාග්‍යවත් බුදුහු ගැරැහූහ. “තුච්ඡපුරුෂය, තෝ කෙසේ නම් අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙණ අයි ද? තුච්ඡපුරුෂය, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි.” ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“අදන්මගට පිළිපන් මහණකුහට එළුලොම් උපනේ නම් කැමැති මහණහු විසින් පිළිගත යුතු යි. පිළිගෙණ ගෙණ යන්නකු නැතිකල්හි තුන් යොදුනක් පරම කොට සියතින් ගෙණ යා යුතු යි. ඉදින් ගෙණ යන්නකු නැති කල්හිදු ඉන් මත්තෙහි ගෙණ යන්නේ නම් නිසැඟිපචිති වේ.”
2. භික්ඛු නො පනෙව අද්ධානමග්ගප්පටිපන්නස්ස යනු: මග යන්නහුට.
ඒකලෝමානි උප්පජ්ජෙය්‍යුං යනු: සඞ්ඝයාකෙරෙන් හෝ ගණයාකෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිතුරන් කෙරෙන් හෝ පංසුකූල ව හෝ සිය ධනයෙන් හෝ උපදනාහු ය.
ආකඞ්ඛමානෙන යනු: කැමැතිවන්නහු විසින්
පටිග්ගහෙතබ්බානි පටිග්ගහෙත්‍වා තියෝජනපරමං සහත්‍ථා හරිතබ්බානි යනු: තුන් යොදුන් පරම තැන් ගෙණ යෑ යුත්තාහ.
අසන්තෙ හාරකෙ යනු: ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි ගෙණ යන අන් කිසිවෙක් නැත්තේ වෙයි.
තතො චෙ උත්තරිං හරෙය්‍ය අසන්තෙ’පි හාරකෙ යනු: පළමු පිය තුන් යොදුන ඉක්මවා නම් දුකුළාඇවැත් වෙයි. දෙවෙනි පිය ඉක්මවා නම් නිසඟිපචිති වෙයි. තුන්යොදුන ඇතුළත සිටියේ තුන්යොදුනෙන් පිටත හෙළා නම් නිසඟිපචිති වෙයි. නො දන්නා වූ අනෙකක්හුගේ යානයෙහි හෝ බැඬියෙහි හෝ බහා තුන් යොදුන ඉක්මවා නම් නිසඟි වේ. සඟනට හෝ ගණයාහට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුතු. තවද “මහණෙනි, මෙසේ නිසජිය යුත්තාහ: “වහන්ස, තුන් යොදුනක් ඉක්මවන ලද මගේ මේ එළුලොම් නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි යි, ... දෙන්නේ යි ... දෙන්නහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
3. අතිරේක අයිරා තුන් යොදුනෙහි අයිරා සන් ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන් යොදුනෙහි විමති ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන් යොදුනෙහි උනු ය යන සන් ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වේ. උනු තුන් යොදුනෙහි අයිරා සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනු තුන් යොදුනෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙ’යි. උනුතුන් යොදුනෙහි උනුය යන සන් ඇතියේ ඇවැත් නැති.
4. තුන්යොදුනක් තැන් ගෙණ යේ නම්, උනුතුන් යොදුනක් තැන් ගෙණ යේ නම්, තුන් යොදුනක් තැන් ගෙණ යේ ද පෙරළා ගෙණ ඒ ද, තුන් යොදුනක් තැන් විසියැටි වූයේ ගොස් ඉන් මත්තෙහි ගෙණ යේ නම්, අසිඳැ ගන්නා ලදුව නැවත ලැබ ගෙණ යේ නම්, නිසජන ලද්දක් ලැබගෙණ යේ නම් අනෙකක්හු ලවා ගෙන්වා යේ නම්, එළුලොමින් කළ බඩුවක් ගෙණ යේ නම් (ඔහුට ද), උමතු වූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
එළකලෝම ශික්‍ෂාපදය නිමි.
එළකලෝමධොවාපන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු භික්‍ෂුණීන් ලවා එළුලොම් දොවවති, රඳන් කරවති, නෙළවත්. භික්‍ෂුණීහු එළුලොම් දොවන්නාහු රඳන්නාහු නෙළන්නාහු උදෙසීම පිළිවිසීම අධිසීලය අධිචිත්තය අධිප්‍රඥාව හැරපියති. එකල්හි මහාප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියා ය. එකත්පස්ව සිටි මහාප්‍රජාපතී ගෝතමීයට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක: “කිමෙක් ද? ගෞතමියනි, භික්‍ෂුණීහු නොපමාවූවාහු, කෙලෙසුන් තවන වෙර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාහු වෙසෙද් ද.” “වහන්ස භික්‍ෂුණීන්ට අප්‍රමාදයෙක් කොයින් ද? ෂඩ්වර්ගීය ආර්‍ය්‍යයෝ මෙහෙණන් ලවා එළුලොම් දොවවති, රඳන් කරවති, නෙළවත්. භික්‍ෂුණීහු එළුලොම් දොවන්නාහු රඳන්නාහු නෙළන්නාහු උදෙසීම පිළිවිසීම අධිසීලය අධිචිත්තය අධිප්‍රඥාව යන මේ හැරපියති” යි.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෝතමීයට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. කුසල් දහම්හි සමාදන් කරවූහ. උත්සාහවත් කරවූහ. මැනවින් පැහැද වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, මැනවින් පහදවන ලද මහාප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි බික්සඟන රැස් කරවා සවග මහණුන් පුළුවුත් සේක: “සැබෑද මහණෙනි, තෙපි භික්‍ෂුණීන් ලවා එළුලොම් දොවවවු ද, රඳවවු ද, නෙළවවු ද?” යී. “සැබැව භාග්‍යවතුන් වහන්ස.” “මහණෙනි තොපගේ නෑයෝ ද නොනෑයෝ ද?” යි. “භාග්‍යවතුන් වහන්ස, නො නෑයෝ” යි. “තුච්ඡ පුරුෂයෙනි, නොනෑයෝ නො නෑයන් පිළිබඳ සුදුසු බව හෝ නුසුදුසු බව හෝ පැහැදීම හෝ නො පැහැදීම හෝ නො දනිත්. “තුච්ඡපුරුෂයෙනි, එහි නම් තෙපි නොනෑ වූ භික්‍ෂුණීන් ලවා එළුලොම් දෙවවූහු ය. රැඳවූවහු ය. නෙළවූවහු ය’ යි. “හිස්පුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් හෝ රඳවා නම් හෝ නෙළවා නම් හෝ නිසඟි පචිති වේ” යයි.
3. යො පන යනු යම්බඳු වූ යමෙක් භික්ඛු’ යි ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුය යි අදහස් කරණ ලදී.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන මුත්තා යුගළු දක්වා නො බැඳුනාහු.
භික්ඛුණී නම්, උභතෝ සඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා ය.
4. ‘දොවව’ යි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. දෝනාලද්දාහු නිසජිය යුත්තාහු වෙති. රඳන් කරවයි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. රඳන ලද්දාහු නිසජිය යුත්තාහු වෙත්. නෙළව යි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. නෙළන ලද්දාහු නිසජිය යුත්තාහු වෙත්. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුත්තාහ. තවද “මහණෙනි මෙසේ නිසජිය යුත්තාහුය.” “වහන්ස, නො නෑ මෙහෙණක ලවා දොවවන ලද මගේ මේ එළුලොම් නිසඟි විය. මම මේවා සඟනට නිසජමියි ... දෙන්නේයයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත් හට දෙමි” යි:
5. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් නෙළවා නම් නිසඟියක් හා දුකුළාඇවැත් වෙයි. නො නෑ සන් ඇතියාව, නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් රඳන් කරවා නම් නෙළවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැතෙක් වේ.
6. නො නෑ මෙහෙණක ලවා නො නෑ ය යන සන් ඇති ව එළුලොම් රඳන් කරවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ මෙහෙණක ලවා නො නෑ සන් ඇති ව එළුලොම් රඳන් කරවා නම් නෙළවා නම් ... රඳන් කරවා නම් දොවවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි ... රඳන් කරවා නම් නෙළවා නම් දොවවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැත් වේ.
7. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් නෙළවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් නෙළවා නම් දොවවා නම් ... නෙළවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි ... නෙළවා නම් දොවවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැතෙක් වේ.
8. විමති ඇත්තේ නො නෑ මෙහෙණක ලවා ... නෑය යන සන් ඇතියේ නො නෑ මෙහෙණක ලවා ... අනෙකක්හුගේ එළුලොම් දොවවා නම් දුකුළාඇවැත් වෙයි. භික්‍ෂුණීන් වෙත උපසපන් වූ මෙහෙණක ලවා දොවවා නම් දුකුළාඇවැත් වෙයි. නො නෑය යන සන් ඇතියේ නෑ මෙහෙණක ලවා (දොවවා නම්) දුකුළාඇවැත් වෙයි. විමති ඇත්තේ නෑ මෙහෙණක ලවා (දොවවා නම්) දුකුළාඇවැත් වෙයි. නෑය යන සන් ඇතියේ නෑ මෙහෙණක ලවා දොවවා නම් ඇවැත් නැති.
9. නෑ මෙහෙණක දෝනා කල්හි නො නෑ මෙහෙණක් දෙවැන්න වේ නම්, නො කියන ලද්දී දොවා නම්, පරිභෝග නො කරණ ලද එළුලොමින් කළ භාණ්ඩයක් දොවවා නම්, සික්ඛමානාවක ලවා (දොවවා නම්), හෙරණක ලවා (දොවවා නම්), උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
එළකලෝමධොවාපන ශික්‍ෂාපදය නිමි.
රූපිය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ රජගහනුවර එක්තරා කුලයක්හුගේ කුලුපගවූයේ නිච්චභත්තික වෙයි. ඒ කුලයෙහි කෑ යුතු හෝ බුදිය යුතු යමක් උපදී නම් ඉන් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ කොටස තබනු ලැබේ. එකල්හි ඒ කුලයෙහි සවස මසක් උපන්නේ වෙයි. එයින් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ කොටස තබන ලද්දේ වෙයි. එකුලෙහි දරුවෙක් රෑ අලුයම නැගිට “මට මස් දෙවයි” යි හඬයි. ඉක්බිති ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීය. “ආර්‍ය්‍යයන් වහන්සේගේ කොටස දරුහට දෙව. අන් මසක් විකොට ගෙණ ආර්‍ය්‍යයන් වහන්සේට දෙන්නෙමු” යි. ඔහුට එය දුනි.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ පෙරවරු හැඳ පොරවා පාසිවුරු ගෙණ ඒ කුලය වෙත එළඹ පැණවූ අසුන්හි හුන්නේය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ උපනන්‍ද ශාක්‍යපුත්‍රයනට මෙය කීය. “වහන්ස, ඊයේ සවස මසක් උපන්නේ විය. එයින් ආර්‍ය්‍යයන් වහන්සේගේ කොටස තබන ලදී. “වහන්ස, මේ දරුවා රෑ අලුයම් වේලෙහි නැගිට මට මස් දෙවයි” හඬයි. ආර්‍ය්‍යයන්ගේ කොටස දරුවාට දෙන ලදී. “කහවණුවකින් කුමක් ගෙණා යුතුදැ”යි කීය. “ඇවැත මට කහවණු පරිත්‍යාග කරණ ලදදැ”යි. “එසේය වහන්ස, පරිත්‍යාග කරණ ලදැ”යි. “ඇවැත මට ඒ කහවණුව ම දෙව”යි.
3. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයනට කහවණුව දී අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි. “යම් සේ අපි රන් රිදී මසු කහවණු පිළිගණුමෝ ද, එමෙන් ම මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ද රන් රිදී මසු කහවණු පිළිගණිති” යි. භික්‍ෂූහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ පුරුෂයාගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු අවමන් කරති, අයුණු කියති, නුගුණ පතුරුවත් . “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ රන් රිදී මසු කහවණු පිළිගත්තහු දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑ ද, උපනන්‍දය, තෝ රන් රිදී මසු කහවණු පිළිගන්නෙහි දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡ පුරුෂය, තෝ රන් රිදී මසු කහවණු පිළිගත්තෙහි ද, තුච්ඡ පුරුෂය, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.”
“යම් මහණෙක් රන් රිදී මසු කහවණු තෙමේ ගණී නම් හෝ අනුන් ලවා ගන්වා නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසා නම් හෝ නිසඟිපචිති වේ” යයි.
4. යො පන යනු: යමෙක් යම් බඳුවූයෙක්, ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අදහස් කරණ ලදී.
ජාතරූප නම්: රත්රන් කියනු ලැබේ.
රජත නම්: කහවණුය, ලොහොමසුය, දැවමසුය, ලහමසුයි යමෙක් ව්‍යවහාරයට යේ නම් ඒ යැ.
උග්ගණ්හෙය්‍ය යනු: තෙමේ ගණී නම් නිසඟිපචිති වේ.
උග්ගණ්හාපෙය්‍ය යනු: අනෙකක්හු ලවා ගන්වා නම් නිසඟිපචිති වේ.
උපනික්ඛිත්තං වා සාදියෙය්‍ය යනු: “මෙය ආර්‍ය්‍යයන් වහන්සේට වේවා” යි ලඟ තබන ලද්දක් ඉවසා නම් නිසඟි වේ. සඟමැද නිසජිය යුතුයි. තවද “මහණෙනි, මෙසේ නිසජිය යුතුයි. ඒ මහණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරෙව මහලු භික්‍ෂූන් පා වැඳ අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුත්තේය. “වහන්ස, මම රන් රිදී මසු කහවණු පිළිගත්තෙමි. මාගේ මෙය නිසඟි විය. මම මෙය සඟනට නිසජමි” යි, නිසජා ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතුයි. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම් හේ මෙසේ කිය යුත්තේ ය. ඇවැත මෙය දනැයි. ඉදින් හේ “මෙයින් කුමක් ගෙණ ආයුතුදැ”යි බෙණේ නම් මෙය හෝ මෙය හෝ ගෙණෙවයි නො කිය යුත්තේය. ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ පැණි හෝ කැපවතක් පැවසිය යුතුයි. ඉදින් හේ එයින් පෙරළි කොට කැපවතක් එළවා නම් රූපිය ප්‍රතිග්‍රාහකයා තබා සියල්ලන් විසින් පරිභෝග කටයුතුයි. ඉදින් මෙසේ ලැබේ නම් එය මැනවි. ඉදින් නො ලැබේ නම් හේ මෙසේ කියයුත්තේ ය. ඇවැත මෙය ඉවත ලවයි. ඉදින් හේ ඉවත ලා නම් තෙල ඉවතලීම මැනවි. ඉදින් ඉවත නොලා නම් පසඟකින් සමන්‍විත වූ මහණ තෙමේ ‘රූපිය ඡඩ්ඩකය’ යි සම්මත කටයුත්තේ ය: යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යේ නම්, ද්වේෂයෙන් අගතියට නො යේ නම්, මෝහයෙන් අගතියට නො යේ නම්, බියෙන් අගතියට නො යේ නම්, ඉවත ලූ නො ලූ දැය දනී නම්, හෙතෙමේ යි. තවද මහණෙනි, මෙසේ සම්මත කටයුත්තේ ය: පළමුකොට මහණ තෙමේ යැදිය යුත්තේ ය. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ ය.”
“වහන්ස, සඞ්‍ඝ තෙමේ මා කියන්නක් අසාවා. ඉදින් සඟනට පැමිණි කල් වේ නම් සඞ්‍ඝ තෙමේ මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කරන්නේය. මේ ඤත්තිය” යි.
“වහන්ස, සඞ්‍ඝ තෙමේ මා කියන්නක් අසාවා. සඞ්‍ඝ තෙමේ මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කෙරෙයි. මෙනම් මහණහුගේ රූපියඡඩ්ඩක සම්මතිය යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
සඞ්‍ඝයා විසින් මෙනම් මහණ තෙමේ ‘රූපියඡඩ්ඩක’ යයි සම්මත කරණ ලද්දේ ය. එය සඞ්‍ඝයාට රිසි වෙයි. එහෙයින් තුෂ්ණිම්භාවය යි. මෙය මෙසේ දරමි” යි.
5. සම්මතය ලත් ඒ මහණහු විසින් සලකුණු නො කොට ඉවත ලිය යුතුයි. ඉදින් සලකුණු කොට ඉවත ලා නම් දුකුළාඇවැත් වේ. රූපියෙහි රූපිය යන සන් ඇතියේ රූපියවතක් පිළිගණී නම් නිසඟි පචිති වෙයි. රූපියෙහි විමති ඇත්තේ රූපියවතක් පිළිගණී නම් නිසඟි පචිති වෙයි. රූපියෙහි අරූපිය ය යන සන් ඇත්තේ රූපියවතක් පිළිගණී නම් නිසඟිපචිති වේ. අරූප්‍යයෙහි රූප්‍යසංඥී වූයේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි අරූප්‍ය ය යන සන් ඇත්තේ ඇවැත් නැති.
6. ඇතුළුඅරමැ හෝ ඇතුළුඅවසැ හෝ ‘යමක්හුගේ වේ නම් හේ ගෙණ යන්නේ’ යයි ගෙණ හෝ ගන්වා හෝ බහා තබා නම්,උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.
රූපිය ශික්‍ෂාපදය නිමි.
රූපියසංවෝහාර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි සවග මහණහු නන්වැදෑරුම් රූපියසංවෝහාරයට (රන් රිදී මසු කහවණු ගණුදෙනුවට) පැමිණෙත්. මිනිස්සු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුණ පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් නන්වැදෑරුම් වූ රූපියසංවෝහාරයට පැමිණෙද්දැ”යි. භික්‍ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන් බස් ඇසූහ: යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුන් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණෙද්දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... “සැබෑ ද මහණෙනි, තෙපි නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියවු දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස,” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියවු ද, “තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... “මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු.”
“යම් මහණෙක් නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණේ නම් හෝ නිසඟිපචිති වේ” යයි.
2. යෝපන යනු: යමෙක් යම් බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අදහස් කරණ ලදී.
නානප්පකාරක නම්: කෘතය ද අකෘතය ද කෘතාකෘතය ද වෙයි. කත නම්: ශීර්‍ෂාභරණ යැ ගීවාභරණ යැ හස්තාභරණ යැ පාදාභරණ යැ කට්‍යාභරණ යි. අකත නම්: පිඬු කළ අමුරන් කියනු ලැබේ. කතාකත නම්: ඒ දෙක යි.
රූපිය නම්: රත්රන් ය, කහවණුය, ලොහොමසුය, දැවමසුය, ලහමසුය, යමක් ගණුදෙනුවට පැමිණේ නම් ඒ යැ.
සමාපජ්ජෙය්‍ය යනු: කෘතයෙන් කෘතය විකොට ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතයෙන් අකෘතය ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතයෙන් කෘතාකෘතය විකොට ගණී නම් නිසඟිපචිති වෙයි. අකෘතයෙන් කෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. අකෘතයෙන් අකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වේ. අකෘතයෙන් කෘතාකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් කෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් අකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් කෘතාකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වේ. (නිසඟි වූ වත) සඟමැද නිසැජියයුතු. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය. ඒ මහණහු විසින් සඟ වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරෙව මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය.
“වහන්ස, මම නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියෙමි. මගේ මේ රූපියය (රන් රිදී මසු කහවණු) නිසඟි විය: මම මෙය සඟනට නිසජමි” යි. නිසදා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතුය. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම් “ඇවැත මෙය දනැ” යි හේ කියයුත්තේ ය. ඉදින් හෙතෙමේ ‘මින් කුමක් ගෙණ ආ යුතු දැ’යි කියා නම් ‘මෙනම් මෙනම් දැය ගෙණෙව’යි නො කියයුත්තේ ය. ගිතෙල් හෝ තලතෙල් හෝ මී පැණි හෝ කැපවූවක් කියයුතුය. ඉදින් හෙතෙම ඒ රූපියයෙන් පෙරළි කොට කැප දෙයක් ගෙණේ නම් රූපියය ගණුදෙනු කළහු තබා සියල්ලන් විසින් ම වැළඳිය යුතුය. මෙසේ මෙය ලැබේ නම්, ඒ ලැබීම මැනව. ඉදින් නො ලැබේ නම්, හෙතෙමේ “ඇවත මෙය බැහැර ලව” යි හේ කිය යුත්තේ ය. ඉදින් හෙතෙමේ එය බැහැර ලා නම් තෙල බැහැර ලීම මැනවි. ඉදින් බැහැර නො ලා නම් පසඟින් සමන්‍විත රූපියඡඩ්ඩක මහණ සම්මත කළ යුත්තේ ය. “යමෙක් ඡන්‍දාගතියට නොයේ නම්, දෝසාගතියට නො යේ නම්, මෝහාගතියට නො යේ නම්, භයාගතියට නො යේ නම් බැහැර ලූ නො ලූ දැය දනී නම් එබන්දෙකි.” තවද මහණෙනි, මෙසේ සම්මත කළයුත්තේ ය. පළමුව මහණ තෙම යැදිය යුත්තේ ය. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ ය:”
“වහන්ස, සඞ්‍ඝ තෙම මා කියන්නක් අසාවා. ඉදින් සඞ්‍ඝයාට පැමිණි කල් ඇත් නම් සඞ්‍ඝ තෙම මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කරන්නේය. මේ ‘ඤත්ති’යයි.
වහන්ස, සඞ්‍ඝ තෙම මා කියන්නක් අසාවා. සඞ්‍ඝ තෙම මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහට රූපියඡඩ්ඩකසම්මතිය රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
සඞ්‍ඝයා විසින් මෙනම් මහණ රූපියඡඩ්ඩක කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්‍ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. තෙල මෙසේ ධරමි” යි.
3. සම්මතය ලත් මහණහු විසින් නිමිති රහිත කොට ඉවත ලියයුතු ය. ඉදින් නිමිති කොට ඉවත ලා නම් දුකුළාඇවැත් වේ.
4. රූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ (කෘතාකෘත) රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. රූප්‍යයෙහි විමති ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. රූප්‍යයෙහි අරූප්‍ය ය යන සංඥා ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වේ. අරූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි විමති ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි අරූප්‍ය ය යන සංඥා ඇත්තේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි වෙමතික වූයේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි අරූප්‍යය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
5. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
රූපියසංවෝහාර ශික්‍ෂාපදය නිමි.
කයවික්කය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙමේ සිවුරුකම් කරන්නට සමත් වූයේ වෙයි. හේ මහලු පටකඩින් සඟළක් කොට මොනොවට රඳන ලද්දක් මොනොවට රඳා පිරියම් කරණ ලද්දක් කොට පෙරෙවි ය. ඉක්බිති එක්තරා පිරිවැජියෙක් මහඟු පිළියක් පෙරෙව ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ උපනන්‍දශාක්‍යපුත්‍රයනට මෙය කීය. “ඇවත, තොපගේ මේ සඟළ සොඳුරුය. මගේ පිළියෙන් පෙරළි කොට දෙව” යි. “ඇවත විමසා ගණැ”යි. එසේය “ඇවත දනිමි” යි “එසේ නම් ගණැ”යි දුන්නේය. එකල්හි ඒ පිරිවැජි තෙමේ ඒ සඟළ පෙරව පිරිවැජිඅරමට ගියේය. පිරිවැජියෝ ඒ පිරිවැජියාහට මෙය කීහ. “ඇවැත, තාගේ මේ සඟළ සොඳුරූය. කොයින් ලබන ලදදැ”යි. “ඇවැත්නි, මා විසින් ඒ පිළියෙන් පෙරළි කොට ගන්නා ලදැ”යි. “තාගේ මේ සඟළ කී දවසක් පවත්නේ ද? තාගේ ඒ වස්ත්‍රය ම උතුමැ’ යි.
2. ඉක්බිති ඒ පිරිවැජි තෙමේ පිරිවැජියෝ සැබවක් කීහ. “මගේ මේ සඟළ කී දවසක් පවත්නේ ද, මගේ ඒ වස්ත්‍රය ම උතුමැ”යි. ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ මෙය කීය. “ඇවැත්නි, තාගේ සඟළ ගණුව මගේ වස්ත්‍රය දෙව” යි. “ඇවැත්නි, තෝ මා විසින් විමසා ගණැ”යි කියන ලද්දේ නො වෙහි ද?” “මම නො දෙමි”යි.
3. ඉක්බිති ඒ පිරිවැජි තෙමේ අවඥා කෙරෙයි නුගුණ කියයි දොස් පහළ කෙරෙයි: ගිහියා පවා පසුතැවිලි වන ගිහියාට එය දෙයි. “කුමක්හෙයින් පැවිද්දෙක් පැවිද්දාට නොදෙන්නේද” යි භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ පිරිවැජියාගේ තෙපුල් ඇසූහ. යම් අපිස්වූ මහණ කෙනෙක් වෙද්ද ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ පිරිවැජියකු සමග කයවික්කයට ගණුදෙනුවට පැමිණියාහු දැ?යි”. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද, උපනන්‍දය, තෝ පිරිවැජියකු සමග ගණුදෙනුවට පැමිණියෙහි දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ පිරිවැජියකු සමග ගණුදෙනුවට පැමිණියෙහි ද? තුච්ඡපුරුෂය, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි”. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් නන්වැදෑරුම් ගණුදෙනුවටට පැමිණේ නම් නිසඟිපචිති වේ” යයි.
4. යෝපන යනු: යමෙක් යම්බඳු වූයෙක් ..
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’යි අදහස් කරණ ලදී.
නානප්පකාරක නම්: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරය. යටත් පිරිසෙයින් සුණුපිඬකුදු දැහැටි දඬුකුදු දාවලු හුයකුදු.
කායවීක්කයං සමාපජ්ජෙය්‍ය යනු: මෙයින් මෙය දෙව. මෙයින් මෙය ගෙණෙව. මෙයින් මෙය පෙරළි කරව. මෙයින් මෙය විකොට ගෙණෙව’යි සිකපද මඩී නම්, දුකුළාඇවැත් වේ. යම් කලෙක දෙනු ලදත් ගන්නා ලදත් වේ ද තමන් අයත් බඩු පර අත් ගියේ ද මෙරමා අයත් බඩු තමා අතට ගියේ ද, එකල්හි නිසඟි වේ. සඞ්‍ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැජිය යුතුය. තවද මහණෙනි, මෙසේ නිසැජිය යුතු: “වහන්ස, මම නන්වැදෑරුම් කයවික්කයට පැමිණියෙමි. මාගේ මෙය නිසඟි විය: මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහ’ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
5. විනිමයෙහි විනිමය සන් ඇතියේ නිසඟිපචිති වෙයි. විනිමයෙහි විමති ඇත්තේ නිසඟිපචිති වෙයි. විනිමයෙහි විනිමය සන් නැතියේ නිසඟිපචිති වේ. විනිමය නො වූයෙහි විනිමය ය යන සන් ඇත්තේ දුකුළාඇවැත් වෙයි. විනිමය නො වූයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. විනිමය නො වූයෙහි විනිමය නො වූයේය යන සන් ඇතියේ ඇවැත් නැති.
6. අගය විචාර නම්, කැපකරුහට කියා නම්, මෙනම් දෙයක් අපට ඇත, අපට මේ මේ දෙයින් ප්‍රයෝජනයයි කියා නම්, උමතු වූවහුට, ආදිකම්මිකයාට ඇවැත් නැති.
කායවික්කය ශික්‍ෂාපදය නිමි.
දෙවන කෝසිය වගයි.
එහි උද්දානය:
කෝසිය සිකපදය, සුද්ධකාලක සිකපදය, ද්වේභාග සිකපදය, ඡබ්බස්ස සිකපදය, නිසීදන සිකපදය, සන්‍ථත සිකපදය, එළකලෝම ධෝවන සිකපද දෙකය, රූපිය, රූපියසංවෝහාර සිකපද දෙකය, කයවික්කය සිකපදයයි දසයකි.
පත්ත වර්‍ගය