Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 2201-2300 න් 2612

චෙතාපෙත්‍වා යනු: පිරිවටා.
අච්ඡාදෙථ යනු: දෙවු. උභොච සත්තා ඒකෙන යනු: දෙදෙන මැ එකෙකින්.
කල්‍යාණකම්‍යතං උපාදාය යනු: සොඳුරු බව කැමැත්තේ, මහඇගි බව කැමැත්තේ.
6. ඔහුගේ බසින් දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ (සිවුරක්) විකොට ගණිත් නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේ නිසැජියයුතු: “වහන්ස, මේ මාගේ සිවුර පෙර නොපවරණ ලදුයෙම් නොනෑ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණියේ නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ ය යි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි” යි ...
7. නොනෑ වූවහු කෙරෙහි නොනෑ ය යන සංඥා ඇති ව පෙර නො පවරණ ලද්දේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇතියේ ... නො නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇති ව පෙර නො පවරණ ලදුයේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ, ඇවැත් නැති.
8. නෑයනට, පැවැරුවනට, අනෙකක්හු සඳහා තමාගේ ධනයෙන්, මහඇගියක් විකොට ගණු කැමැතියන් ලවා මඳ අගනා සිවුරක් මිල දී ගන්වා නම්, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති යි.
ද්විතීය උපක්ඛට ශික්‍ෂාපදය නිමි.
රාජශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙති. තවද එසමයෙහි ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන්ගේ උපස්ථායක වූ මහඇමැතියෙක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට දූතයකු ලවා සිවුරුමිලයක් යැවී ය. “මේ සිවුරුමිලයෙන් සිවුරක් විකොටගෙණ සිවුරෙන් උපනන්‍දහිමියන් පුදව’ යි. එකල්හි ඒ දූත තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන්ට “වහන්ස, ආයුෂ්මතුන් උදෙසා මේ සිවුරුමිල ගෙණ එන ලද. ආයුෂ්මත්හු සිවුරුමිල පිළිගණිත්වා” යි කීය. මෙසේ කී කල්හි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයෝ ඒ දූතයාට “ඇවැත්නි, ඇපි සිවුරුමිල නො පිළිගණුම්හ. සුදුසු කල්හි කැප සිවුර වූ කලි ඇපි පිළිගණුම්හයි” කීහ. මෙසේ කී කල්හි ඒ දූත තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගෙන් “ආයුෂ්මත්හට කිසි මෙහෙකරුවෙක් ඇද්දැයි” ඇසී ය. එකල්හි එක්තරා උපාසකයෙක් කිසි යම් කටයුත්තෙකින් ආරාමයට ගියේ ය. එකල්හි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ දූතයාට “ඇවැත, තෙල උපාසක තෙම භික්‍ෂූන්ගේ මෙහෙකරු යයි කීහ. ඉක්බිති ඒ දූත තෙම ඒ උපාසකයාට දන්වා ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට “වහන්ස, ආයුෂ්මත්හු යම් මෙහෙකරුවකු දැක්වූහු නම් මා විසින් හේ දන්වන ලද්දේ ය. ආයුෂ්මත්හු සුදුසුකල ඔහු කරා එළඹෙත්වා. සිවුරෙන් පුදන්නේ ය” යි කීය.
2. තව ද එසමයෙහි ඒ මහඇමැති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා, අපි හිමියන් ඒ සිවුර පරිභෝග කරණු කැමතියම්හ” යි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උවසුහට කිසිවක් නො කීහ. දෙවනවට ද ඒ මහඇමැති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා. අපි හිමියන් ඒ සිවුර පරිභෝග කරණු කැමැතියම්හ’ යි. දෙවනවට ද ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උවසුහට කිසිවක් නො කීහ. තෙවනවට ද ඒ මහඇමති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා. අපි හිමියන් විසින් ඒ සිවුර පරිභෝග කරණු කැමතියම්හ” යි.
3. තවද එසමයෙහි නියම්ගම්වැසියන්ගේ සමාගමයෙක් වෙයි. නියම්ගම් වැසියන් විසිනුදු ‘යමෙක් පසු ව ඒ නම් (හෙතෙම) පණසකින් බැඳුනේ (කහවණු පණසක් දඩ ගෙවිය යුතු වේ’) යයි, කතිකායෙක් කරණ ලද වෙයි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උපාසකයා වෙක එළඹ ඒ උපාසකයාහට මෙය කීහ:
‘ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජනය ඇතැ’යි. “වහන්ස, අද එක් දවසක් බලව. අද නියම්ගම්වැසියන්ගේ සමාගමයෙක් වෙයි. නියම්ගම්වැසියන් විසිනුදු ‘යමෙක් පසුව ලා ඒ නම් (හෙතෙම) පණසකින් බැඳුණේ වේ’ යයි කතිකායෙක් කරණ ලද වෙයි. ‘අද ම ඇවැත, මට සිවුර දෙව’ යි එළියෙහි (හිඟැ) ගත්හ. ඉක්බිති ඒ උපාසක තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් විසින් දැඩි කොට පෙළනු ලබන්නේ ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයනට සිවුරක් මිලයට ගෙණ දී පසුවැ ලා ගියේ ය. මිනිස්සු ඒ උවසුහට මෙය කීහ: “කවර හෙයින් ආර්‍ය්‍යයෙනි, තෝ පසු වැ ලා ආයෙහි ද, පනසකට පැරදුනෙහි” යයි.
4. ඉක්බිති ඒ උපාසක තෙම ඒ මිනිසුන්ට මෙ පවත් දැන්වී ය. මිනිස්සු අවඥා කෙරෙහි නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය, අසන්තුෂ්ටයෝ ය, මොවුනට මෙහෙයකුදු කරන්නට පහසු නො වෙයි. කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දයෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’යි කියනු ලබන්නාහු නො බැලූහු දැ’ යි භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පෙච්‍ඡයෝ නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නාහු නොබැලූහු දැ’ යි ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළහ. ‘සැබෑ ද උපනන්‍දය, තෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නෙහි නො බැලීහි දැ? යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නෙහි නො බැලීහි ද, තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“මහණක්හු ම උදෙසා රජෙක් හෝ රජ ඇමැතියෙක් හෝ බමුණෙක් හෝ ගැහැවියෙක් හෝ ‘මේ සිවුරුමිලයෙන් සිවුරක් විකොට ගෙණ මෙනම් මහණහු සිවුරෙන් ආච්ඡාදනය කරව’ යි දූතයකු ලවා සිවුරුමිලයක් යවා නම්, ඉදින් ඒ දූත තෙම ඒ මහණහු කරා එළඹ ‘වහන්ස, මේ සිවුරු මිලය ආයුෂ්මතුන් උදෙසා ගෙණ එන ලද ය. ආයුෂ්මත්හු සිවුරුමිලය පිළිගණිත්වා’ යි මෙසේ කියා නම්, ඒ මහණහු විසින් ඒ දූත තෙම මෙසේ කියයුතු වන්නේ ය. ‘ඇවැත, අපි සිවුරුමිල නො පිළිගණුම් හ. එතෙකුදුවත් ඇපි සුදුසු කල්හි කැප වූ සිවුරක් පිළිගනුම්හ’ යි. ඉදින් ඒ දූත තෙම ඒ මහණහට ‘ආයුෂ්මතුන්ගේ කිසි මෙහෙකරුවෙක් ඇද්දැ’යි මෙසේ කියා නම්, මහණෙනි, සිවුරු කැමති මහණහු විසින් ආරාමිකයෙක් වේවයි උපාසකයෙක් වේවයි ‘අවැත, මේ තෙම භික්‍ෂූන්ගේ මෙහෙකරු ය’ යි මෙහෙකරු දැක්විය යුත්තේ ය. ඉදින් ඒ දූත තෙම ඒ මෙහෙකරු ඇනවා මහණහු කරා එළඹ මෙසේ කියා නම්: ‘වහන්ස, ආයුෂ්මත්හු යම් මෙහෙකරුවකු දැක්වූහු ද, මා විසින් හෙතෙම ඇනවන ලද්දේ ය. ආයුෂ්මත්හු සුදුසු කල්හි එළඹෙත්වා, සිවුරෙන් මුඹ වහන්සේ පුදන්නේ ය’ යි. මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් එළඹ ‘ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජන ඇතැ’ යි මෙහෙකරු තෙම දෙතුන් වරක් සෙවිය යුත්තේ ය. සිහි කරවිය යුත්තේ ය.
දෙතුන්යලක් සොයනු ලබන්නේ සිහි කරවනු ලබන්නේ ඒ සිවුර නිපදවා (සපයා) නම් මේ නිපැදවීම මැනැවි. ඉදින් නො නිපදවා නම්, සිවුයලක් පස්යලක් සයලක් පරම කොට තුෂ්ණිම්භූත වූවහු විසින් උදෙසා සිටියයුතු ය. සිවුයලක් පස්යලක් සයලක් පරම කොට තුෂ්ණිම්භූත ව උදෙසා සිටිනුයේ ඒ සිවුර නිපදවා නම් මේ නිපැදවීම මැනැවි. ඉදින් එයින් මත්තෙහි වෑයම් කරන්නේ ඒ සිවුර නිපදවා නම් නිසඟිපචිති වෙයි. ඉදින් නො නිපදවා නම් යමක්හු කෙරෙන් ඒ මහණහට සිවුරු මිලය ගෙණ එන ලද ද එහි තමා හෝ යායුතු ය: ‘ඇවැත්නි, තෙපි යම් මහණකු උදෙසා සිවුරුමිලයක් යැවූහු ද, එය ඒ මහණහට කිසි අර්‍ත්‍ථයක් සිදු නො කෙරෙයි. ආයුෂ්මත්හු ස්වකීය ධනය ලබත්වා. තොප සතු ධනය නහමක් වැනැසේ වා’ යි දූතයකු හෝ යැවිය යුත්තේ ය. මේ එහි අනුධර්‍මතා වේ” යයි.
5. භික්‍ඛුං පනෙච උද්දිස්ස යනු: භික්‍ෂූහු සඳහා භික්‍ෂූහු අරමුණු කොට භික්‍ෂූහු ආච්ඡාදනය කරණු කැමැත්තේ.
රාජ නම්: යම් කිසිවෙක් රාජ්‍යය කෙරේ ද හෙතෙම.
රාජභොග්ග නම්: රජහුගේ බත්වැටුම් බුදින යම් කිමිවෙක්.
බ්‍රාහ්මණ නම්: ජාතියෙන් බමුණු වූයේ.
ගහපතික නම්: රජ, රාජභෝග්‍යයා. බ්‍රාහ්මණයා ගබා ශේෂ වූයේ ගෘහපතික නම්.
චීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ.
ඉමිනා චීවරචේතාපන්නෙන යනු: එළඹසිටියෙන්.
චෙතාපෙත්‍වා යනු: පිරිවටා.
අච්ඡාදේහි යනු : දෙව.
ඉදින් ඒ දූත තෙම ඒ මහණහු කරා එළඹ ‘වහන්ස, මේ සිවුරුමිලය ආයුෂ්මතුන් උදෙසා ගෙණ එන ලද ය. ආයුෂ්මත්හු සිවුරුමිලය පිළිගණිත්වා’ යි. මෙසේ කියා නම්, ඒ මහණහු විසින් ඒ දූත තෙම මෙසේ කියයුතු වන්නේ ය: ‘ඇවැත, ඇපි සිවුරුමිල නො පිළිගණුම්හ. එතෙකුදුවත් ඇපි සුදුසු කල්හි කැප වූ සිවුරක් පිළිගණුම්හ’ යි. ඉදින් ඒ දූත තෙම ඒ මහණහට ‘ආයුෂ්මතුන්ගේ කිසි කැපකරුවෙක් ඇද්දැ’ යි මෙසේ කියා නම්, මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් ආරාමික වේවයි උපාසක වේවයි ඇවැත, මේ තෙමේ භික්‍ෂූන්ගේ කැපකරු’ යයි කැපකරු දැක්විය යුත්තේ ය. “ඔහුට දෙව යි හෝ හෙතෙම බහා තබන්නේ ය හෝ හෙතෙම පිරිවටන්නේ ය හෝ හෙතෙම විකොටගන්නේ ය හෝ” යි නොකියයුත්තේ ය.
ඉදින් ඒ දූත තෙම ඒ කැපකරු ඇනවා ඒ මහණහු වෙත පැමිණ මෙසේ කියා නම්: ‘වහන්ස, ආයුෂ්මත් හු යම් කැපකරුවකු දැක්වූහු නම්, හෙතෙම මා විසින් ඇනවන ලද්දේ ය. ආයුෂ්මත්හු සිවුරෙන් ප්‍රයෝජන ඇති කල්හි එළඹෙත්වා සිවුරෙන් මුඹ වහන්සේ පුදන්නේ ය’ යි . මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් එළඹ ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජන ඇතැ යි කැපකරු තෙම දෙතුන්යලක් සෙවිය යුත්තේ ය. සිහි කරවිය යුත්තේ ය, ‘මට සිවුරක් දෙව, මට සිවුරක් ගෙණෙව, මට සිවුරක් පිරවටව, මට සිවුරක් විකොට ගණැ’ යි නො කියයුත්තේ ය. දෙවනවට ද කියයුතු ය. තෙවනවට ද කියයුතු. ඉදින් නිපදවා නම් මේ නිපදවීම මැනැව.
ඉදින් නො නිපදවා නම් එහි ගොස් තුෂ්ණිම්භූත වූවහු විසින් උදෙසා සිටිය යුතු ය. අසුනෙක නො හින්ද යුතු ය. අහර නො පිළිගත යුතු ය. දහම් නොකිය යුතු ය. ‘කවර කරුණෙන් ආයෙහි දැ’ යි විචාරණු ලබන්නේ ‘ඇවැත් දනැ’යි කිය යුතු ය. ඉදින් අසුනෙහි හිදි නම් හෝ අහර පිළිගණී නම් හෝ දහම් කියා නම් හෝ සිටීම බිඳෙයි. දෙවනවට ද සිටිය යුතු ය තෙවනවට ද සිටිය යුතු ය. සතරවරක් චෝදනා කොට සතරවරක් සිටිය යුතු ය. පස්වරක් චෝදනා කොට දෙවරක් සිටිය යුතු ය. සවරක් චෝදනා කොට නො සිටිය යුතු ය. ඉදින් එයින් මතුයෙහි වෑයම් කරන්නේ ඒ සිවුර නිපදවා නම් පියොව්හි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසජිය යුතු ය. ‘වහන්ස, මෙ මාගේ සිවුර අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් නිපදවන ලද්දේ නිසඟි විය. මෙය මම් සඟනට නිසජමි යි ... දෙන්නේ ය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
ඉදින් නො නිපදවා නම් යමක්හු කෙරෙන් ඔහුට සිවුරුමිල ගෙණ එන ලද ද එහි තමා හෝ යා යුතු ය. ‘ඇවැත්නි, තෙපි යම් මහණක්හු උදෙසා සිවුරු මිලයක් යැවූහු ද එය ඒ මහණහට කිසි අර්‍ත්‍ථයක් සිදු නො කෙරේ. ආයුෂ්මත්හු ස්වකීය ධනය ලබත්වා. තොප සතු ධනය නහමක් වැනසේවා’ යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය.
අයං තත්‍ථ සාමීචි යනු: මේ එහි අනුධර්‍මතා යි.
6. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් අතිරේකය යන සංඥා ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් විමති ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් ඌන ය යන සංඥා ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වේ. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් අතිරේක ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් ඌනය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
7. තුන්යලක් චෝදනායෙන් සයලක් සිටීමෙන් උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් දේ නම්, නො සොයනු ලබන්නේ දේ නම්, හිමියෝ සොයා දෙත් නම් ඇවැත් නැති. උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති යි.
රාජශික්‍ෂාපදය නිමි.
පළමු වැනි චීවරවර්‍ගය යි.
එහි උද්දානය:
උබ්‍භත කඨින සිකපදය, උද්දෝසිත (දෙවන කඨින) සිකපදය, තෙවන කඨින සිකපදය යන තුණ ද, ධෝවන සිකපදය, පටිග්‍ගහණ සිකපදය යි පසෙකි. තතුත්‍තරිය උපක්‍ඛට දෙක ය යන අඤ්ඤාතක සිකපද තුණ ය, දූතක සිකපද දෙකය යි සියල්ල දශයෙකි.
කෝසිය වර්‍ගය
කෝසිය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අසල අග්ගාළව දෙවොලෙහි වැඩ වසන සේක. එසමයෙහි වූ කලි සවගමහණහු තිහිරිහූ නිපදවන්නන් වෙත එළඹ “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපි ද තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි මෙසේ කියත්. ඒ මිනිස්සු “ශාක්‍යපුත්‍රීය මහණහු අප වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපි දු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ’ යි කෙසේ නම් කියත් ද? යම් බඳු අපි ජීවිකා හේතුයෙන් අඹුදරුවන් රක්නා කරුණින් බොහෝ කුඩා පණුවන් මරණයට පමුණුවමෝ ද ඒ අපට ද අලාභයෙකි: අපගේ ද අභාග්‍යයෙකි.” යී අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. භික්‍ෂූහු අවමන් කරන අයුණු කියන නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙත් ද? ඔහු “කෙසේ නම් සවග මහණහු තිහිරිහූ නිපදවන්නවුන් වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපිදු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි කියත් දැ’ යි යී අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැළ කළහ ... “සැබව, භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් තිහිරිහූ නිපදවන්නවුන් කරා එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපිදු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ’ යි කෙසේ නම් කියවු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ ද උදෙසවු:
“යම් මහණෙක් තිහිරිහූ මුසු ඇතිරියක් කරවන්නේ නම් නිසඟි පචිති වේ.”
2. යො පන යනු යම්, යම් බඳු
භික්ඛු (මහණෙක්) යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු යයි අභිප්‍රේතය.
සන්‍ථත (ඇතිරිය) නම්: අතුරා වියුම් රහිත කොට කරණ ලද්ද වෙයි.
කාරාපෙය්‍ය (කරවන්නේ නම්) යනු එක් තිහිරි කෙන්දකිනු දු මුසු කොට කෙරෙයි නම් හෝ කරවයි නම් හෝ පියාවෙහි දුකුළා වේ. ලබා ගැන්මෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයා හට හෝ පුඟුල් හට හෝ නිසජිය යුතු “වහන්ස, මා විසින් තිහිරිහූ මුසු මේ නිසජිය යුතු ඇතිරියෙක් කරවන ලද්දේ ය. මෙය මම් සඟනට නිසජමි යි ... දෙන්නේය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි නිසජිය යුතු.
3. තමා විසින් කොට අඩාළ (ඇතිරිය) තෙමේ නිමවා ද, නිසඟිපචිති වේ. තමා විසින් කොට අඩාළ දැය අනුන් ලවා නිමවා ද, මෙරමා විසින් කොට අඩාළ දැය තෙමේ නිමවා ද නිසැඟි පචිති වේ. මෙරමා කොට අඩාළ දැය මෙරමා ලවා නිමවා ද නිසැඟි පචිති වේ. අනෙකක්හු පිණිස කෙරේ ද කරවා ද, දුකුළාඇවැත් වේ. අනෙකකු කළ ඇතිරියක් ලැබගෙන පරිභෝග කෙරේ ද, දුකුළාඇවැත් වන්නේ ය.
4. වියනක් හෝ බුමුතුරුණක් හෝ වටතිරයක් හෝ බිස්සක් හෝ කන්වයිනක් හෝ කෙරේ ද, ඔහුට ද උමතුවාහට ද ආදිකාර්මිකහට ද ඇවැත් නො වේ.
කෝසිය ශික්‍ෂාපදය නිමි.
ශුද්ධකාලක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි හැසිරෙන්නාහු එය දැක, “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් මෙන් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවද්දැ”යි අවමන් කරත්, අයුණු කියත්, දොස් පතුරුවත්. භික්‍ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු “කෙසේ නම් සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්දැ!”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු දැ?” යි භාග්‍යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඒ මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යම් මහණෙක් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවා නම් නිසැඟි පචිති වෙයි.”
2. යො පන යනු යමෙක්, යම්බඳු වූ ...
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු ය යි අදහස් කරණ ලදී.
කාළක නම්: උත්පත්තියෙන් කළු වූයේ රඳන් පෙවීමෙන් කළු වූයේ දැ යි කළු පැහැය දෙවැදෑරුම් වෙයි.
සන්‍ථත නම්: අතුරා කරණ ලද, නොවියන ලද.
කාරාපෙය්‍ය යනු කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට හෝ නිසජිය යුතු. මහණෙනි, මෙසේ වනාහි නිසජිය යුතු: “වහන්ස, මා විසින් කරවන ලද හුදු කළු එළුලොම්මුවා මේ ඇතිරිය නිසඟි වෙයි. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි නිසජිය යුතු.
3. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා ද, නිසඟිපචිති වේ. තමා විසින් අඩාළ කරණ ලද්ද අනුන් ලවා නිමවා ද, නිසඟිපචිති වේ, අනුන් විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා ද නිසඟිපචිති වේ. අනෙකකු පිණිස කෙරේ ද කරවා ද දුකුළාඇවැත් වේ. අනෙකකු විසින් කරණ ලද්දක් ලැබ පරිභෝග කෙරේ ද, දුකුළාඇවැත් වන්නේ ය.
4. වියනක් හෝ බුමුතුරුණක් හෝ වටතිරයක් හෝ බිස්සක් හෝ කන්වයිනක් හෝ කෙරේ ද ඇවැත් නො වේ. උමතුවාහට ද ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.
ශුද්ධකාලක ශික්‍ෂාපදය නිමි.
ද්වේභාග ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි සවග මහණහු “භාග්‍යවතුන්වහන්සේ විසින් හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවීම පිළිකෙවිනැ” යි තුමූ මඳක් ම සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත්. යම් අපිස් මහණහු වෙද්ද ඔහු “කෙසේ නම් සවග මහණහු මඳක් සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත් දැ”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන්වහන්සේට එ පවත් සැළ කළහ. “සැබෑ ද? මහණෙනි, තෙපි සුදු එළුලොම් මඳක් ම දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවවු දැ?” යි භාග්‍යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුරජානන්වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් සුදු එළුලොම් මඳක් දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“අලුත් ඇතිරියක් කරවන මහණහු විසින් හුදු කළු එළුලොම් දෙකොටසක් ගත යුතු. තෙවෙනි කොටස සුදුපැහැ එළුලොම් ද සිවුවන කොටස කිඹුල් වන් එළුලොම් ද ගත යුතු. ඉදින් මහණ තෙම දෙකොටසක් හුදු කළුපැහැ එළුලොම් ද තෙවෙනි කොටස සුදුපැහැ එළුලොම් ද සිවුවන කොටස කිඹුල්වන් එළුලොම් ද නොගෙණ අලුත් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ.”
2. නවං යනු: කිරීම් වශයෙන් අලුත් බව ඇරැබැ කියනු ලැබේ.
සන‍්ථතං යනු: අතුරා කරණ ලද්දෙක් වෙයි, නොවියන ලද්දෙක් වෙයි.
කාරයමානෙන යනු: කරණ හෝ කරවන හෝ.
දෙව භාගා සුද්ධකාළකානං එළකලෝමානං ආදාතබ්බා යනු: මැන තුලා දෙකක් ගත යුතු.
තතියං ඕදාතානං යනු: සුදුපැහැ එළුලොම් තුලාවක්.
චතුත‍්ථං ගෝචරියානං යනු: කිඹුල්වන් එළුලොම් තුලාවක්.
අනාදා චෙ භික්ඛු ද්වෙ භාගෙ සුද්ධකාළකානං එළකලෝමානං තතියං ඕදාතානං චතුත‍්ථං ගෝචරියානං යනු: හුදු කළුපැහැ එළුලොම් තුලා දෙකක් ද සුදුපැහැ එළුලොම් තුලාවක් ද කිඹුල්පැහැ එළුලොම් තුලාවක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කෙරේ නම් හෝ කරවා නම් හෝ පියොවෙහි දුකුළා වේ. ලබා ගැණීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට හෝ නිසජිය යුතු. මහණෙනි, මෙසේ වනාහි නිසජිය යුතු: “වහන්ස, හුදු කළුවන් එළුලොම් තුලා දෙකක් ද සුදුපැහැ එළුලොම් තුලාවක් ද කිඹුල්වන් එළුලොම් තුලාවක් ද නොගෙණ මා විසින් කරවන ලද මේ අලුත් ඇතිරිය නිසඟි වේ, මෙය මම් සඟනට නිසජමි ... දෙන්නේය ... දෙන්නාහු ය ... ආයුෂ්මත්හට දෙමි” යි මෙසේ නිසජිය යුතු.
3. තමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. අනෙකකු සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළාඇවැත් වෙයි. අනෙකකු විසින් කරණ ලද්ද ලැබ පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වේ.
4. සුදු එළුලොම් සම ව කිඹුල්වන් එළුලොම් සම ව ගෙණ කෙරේ නම්, සුදු එළුලොම් බහුතර ව කිඹුල්වන් එළුලොම් බහුතර ව ගෙණ කෙරේ නම්, නො මුසු සුදු එළුලොම් නො මුසු කිඹුල්වන් එළුලොම් ගෙණ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කෙරේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති යි.
ද්වේභාග ශික්‍ෂාපදය නිමි.
ඡබ්බස්ස ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. තවද එසමයෙහි භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවති. ඔහු ‘එළුලොම් දෙව එළුලොමින් අර්‍ත්‍ථ ඇතැ’යි යැදීම බහුල ව විනැවීම් බහුල ව වෙසෙති. මිනිස්සු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ වසක් පාසා ඇතිරි කරවත් ද, ‘එළුලොම් දෙව එළුලොමින් අර්‍ත්‍ථ ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් ද, අපගේ වැලිත් වරක් කරණ ලද ඇතිරි පස්වසකුදු සවසකුදු පවතිත්. එහි අපගේ දරුවෝ මලමූ ද කෙරෙති (ඔහු) මීයන් විසිනිදු කනු ලැබෙත්. එතෙකුදුවත් මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ වසක් පාසා ඇතිරි කරවති. ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙති” යි.
2. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවත් ද, ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, භික්‍ෂූහු වසක් පාසා ඇතිරි කරවත් ද “එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ”යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් දැ’යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ වසක් පාසා ඇතිරි කරවත් ද ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වාසය කෙරෙත් දැ”යි වෙසෙසින් ගර්‍හා කළහ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීමට නො වැටෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“මහණහු විසින් නව ඇතිරිය කරවා සවසක් ධැරිය යුතු ය. ඉදින් සවසකින් මෙපිට ඒ ඇතිරිය විසජා හෝ නො විසජා හෝ අනිත් නවඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද වේ.
[මුල් පැණවීමයි]
3. තවද එසමයෙහි කොසඹෑනුවර එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ‘වහන්සේ පැමිණෙත්වා අපි උපස්ථාන කරම්හ’ යි ඒ මහණහු වෙත දූතයකු යැවූහ. භික්‍ෂූහු ද ‘යා ඇවැත, නෑයෝ තොපට උවැටන් කරන්නාහ’යි මෙසේ කීහ. හේ මෙසේ කී ය: “ඇවැත්නි, භාග්‍යවතුන් විසින් සිකපද පණවන ලද. ‘මහණහු නවඇතිරියක් කරවා සවසක් ධැරිය යුතු’ යයි. මම් වූ කලි ගිලන් වෙමි. ඇතිරිය ගෙණ නික්ම යන්නට නො හැක්කෙමි. මට ද ඇතිරිය නැති ව සුවයෙක් නො වෙයි. මම් නො යෙමි” යි. භාග්‍යවතුන් වහන්සේට එපවත් දැන්වූහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි ගිලන් මහණහට සන්‍ථතසම්මුතිය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේත් දියයුතු ය. ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරව මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම් ගිලන් වෙමි. සන්‍ථතය ගෙණ යන්නට නො හැක්කෙමි. වහන්ස, මම් සඞ්ඝයාගෙන් සන්‍ථතසම්මුතිය අයදිමි. දෙවනවට ද යැදියයුතු තෙවනවට ද යැදියයුතු. ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් වෙයි. සන්‍ථතය ගෙණ යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් සන්‍ථතසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට සන්‍ථතසම්මුතිය දෙන්නේ ය. මේ ‘ඤත්ති’ යයි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් වූයේ සන්‍ථතය ගෙණ යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් ‘සන්‍ථතසම්මුතිය’ යදියි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘සන්‍ථතසම්මුතිය’ දෙයි. මෙනම් මහණහට සන්‍ථතසම්මුතිය දීම යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණීම්භූත වන්නේය. යමක්හට රිසි වේ නම් හේ බණන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණහට ‘සන්‍ථතසම්මුතිය’ දෙන ලද, සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණීම්භාවය යි. මේ මෙසේ ධරමි” යි.
5. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“මහණක්හු විසින් අලුත් ඇතිරියක් කරවා සවසක් ධැරිය යුතු ය. ඉදින් මහණහු විසින් සාවුරුද්දක් මෙපිට ඒ ඇතිරිය විසජා හෝ නො විසජා හෝ භික්‍ෂුසම්‍මති නැති ව අනිත් අලුත් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
[දෙවන පැණවීමයි.]
6. නව නම්: කිරීම උදෙසා කියනු ලැබෙයි.
සන‍්ථත යනු: නො වියූ අතුරා කරණ ලද්දෙක් වෙයි.
කාරාපෙත්‍වා යනු: කොට හෝ කරවා හෝ.
ඡබ්බස්ස ධාරෙතබ්බං යනු: සාවුරුද්දක් පරම කොට ධැරිය යුතු ය.
ඔරෙන චෙ ඡන්නං වස්සානං යනු: උනු සාවුරුද්දක්.
තං සන්‍ථතං විස්සජ්ජෙත්වා යනු: අනුනට දී.
අවිස්සජ්ජෙත‍්වා යනු: කිසිවක්හට නො දී.
අඤ්ඤත්‍ර භික්ඛුසම්මුතියා යනු: භික්‍ෂුසම්මති තබා.
7. අනිත් නව ඇතිරියක් කෙරේ නම් හෝ කරවා නම් හෝ ප්‍රයෝගයෙහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. මහණෙනි, මෙසේත් නිසැජිය යුතු: “වහන්ස, මේ මාගේ ඇතිරිය භික්‍ෂුසම්‍මති නැති ව උනු සාවුරුද්දක් ඇති ව කරවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’යි . ... දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.
8. තමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි.
9. සාවුරුද්දක් පිරුණු කල්හි කරවා නම්, අයිරා සාවුරුද්දක් පිරුණු කල්හි කරවා නම්, අනෙකක්හු විසින් කරණ ලද්දක් ලැබ පරිභෝග කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කරවා නම්, භික්‍ෂුසම්‍මති ඇති කල්හි, උම්මතකයාහට, ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.