Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 2101-2200 න් 2612

5. යො පන යනු: යමෙක්, යම්බඳුයෙක් ...
භික්‍ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ ය යි අදහස් කරන ලද්දේ ය.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්මුත්තා යුගය තෙක් නොසැබැඳියෝ.
භික්ඛුනී නම්: උභතෝ සඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා.
චීවර නම්: ස සිවුරු අතුරින් විකපුන් පොහෝනා සිවුරු පැසුළු කොට ඇති එක්තරා සිවුරෙකි.
අඤ්ඤත්‍ර පාරිවට්ටකා යනු: පිරුළු තබා පිළිගණියි.
6. පියොව්හි දුකුළා වෙයි, පිළිගැනීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය: ‘වහන්ස , මේ මාගේ සිවුර නොනෑ මෙහෙණක අතින් පිරුළු තබා පිළිගන්නා ලද්දේ නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි ...
7. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පිරිවට තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව පිරුළු තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණක යන සංඥා ඇතිව පිරුළු තබා සිවුරු පිළිගනී නම් නිසැඟිපචිති වෙයි. භික්‍ඛුනීසඞ්ඝයා කෙරෙහි උපසපන් මෙහෙණ අතින් පිරුළු තබා සිවුරු පිළිගනී නම් දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නො නෑ මෙහෙණක යන සංඥා ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... ඇවැත් නැ.ති.
8. නෑ මෙහෙණෙක අතින්, පිරුළු විසින් අල්පයෙකින් මහඇගි සිවුරක් හෝ මගඇගියකින් අල්ප සිවුරක් හෝ ගණී නම්, මහණ විස්වසින් ගණී නම්, තව්කැලි කොට ගණී නම්, සිවුරු තබා අන් පිරිකරක් ගණී නම්, ඇවැත් නැති. සික්ඛමානා අතින්, සාමණේරිය අතින් ගණී නම්, ඇවැත් නැති, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.
චීවරප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදය නිමි.
අඤ්ඤාතකවිඤ්ඤත්තිශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්වෙහෙර වැඩ වෙසෙති. තව ද එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ධර්‍මකථා කරන්නට සමර්‍ත්‍ථ වෙයි. එසඳ එක්තරා සිටු පුත්‍රයෙක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් කරා එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ සිටුපුත්හට ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම දැහැමි කථායෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. තෙද ගැන්වීය. පැහැදවී. ඉක්බිති ඒ සිටුපුත් තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහදවන ලද්දේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රහට ‘වහන්ස, කැමැති දැයෙකින් කිව මැනව. අපි හිමියනට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නට සමර්‍ත්‍ථයම්හ’ යි මෙය කී ය: ‘ඉදින් ඇවැත්නි, තෝ මට දෙනු කැමැත්තෙහි නම් මෙයින් එක් සළුවක් දෙව’ යි හේ කීය.
2. “වහන්ස, කුලපුත් වූ අපට එක් සළුවකින් යන්නට ලජ්ජාකාරය වෙයි. වහන්ස, යම්තාක් ගෙට යෙම් ද, එතෙක් නවතිනු මැනව. ගෙට ගියෙම් මෙයින් එකක් හෝ මෙයට වඩා සුන්‍දරතරයක් හෝ එවන්නෙමි’ යි. දෙවන වට ද ... තෙවන වට ද ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ඒ සිටුපුත්හට ‘ඉදින් ඇවැත්නි, තෝ මට දෙනු කැමැත්තෙහි නම් මෙයින් එක් සළුවක් දෙව’ යි කී ය. “වහන්ස කුලපුත් වූ අපට ඒකසාටක ව යන්නට ලජ්ජාකාරය වෙයි. වහන්ස, යම්තාක් ගෙට යෙම් ද එතෙක් නවතිනු මැනව. ගෙට ගියෙම් මෙයින් එකක් හෝ මෙයට වඩා සුන්‍දරතරයක් හෝ එවන්නෙමි’ යි හේ කී ය. “ඇවැත්නි, නො දෙනු කැමැති ව පැවැරූ තගෙන් කවර ප්‍රයෝජන ද? යම් හෙයකින් තෝ පවරා නො දෙයි ද එහෙයිනි’ යි හේ කීය. ඉක්බිති ඒ සිටුපුත් තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා විසින් දැඩි ව පෙළනු ලබන්නේ එක් සළුවක් දී ගියේ ය. මිනිස්සු ඒ සිටුපුත්හු දැක ‘ආර්‍ය්‍යයෙනි, කුමක් හෙයින් තෙපි ඒකසාටක ව එන්නහු දැ’ යි. මෙය කීහ. එසඳ ඒ සිටුපුත් තෙම ඒ මිනිසුන්ට එ පවත් දැන්වී ය. මිනිස්සු අවඥා කෙරෙත්. අගුණ කියත්. දොස් පහළ කෙරෙත්:
3. ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය, අසන්තුෂ්ටයෝ ය. මොවුනට දැහැමි නිමන්ත්‍රණයකුදු කරන්නට පහසු නො වෙයි. කෙසේ නම් සිටුපුත්හු විසින් දැහැමි නිමන්ත්‍රණය කරනු ලබන කල්හි සාටකය ගත්තාහු දැ” යි, භික්‍ෂුහු ඒ මිනිසුන් අවඥා කරණුවන් අයුණු කියනුවන් දොස් පහළ කරණුවන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු ‘කෙසේ’ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙම සිටුපුතක්හු සිවුරක් විනැවී දැ’ යි. අවඥා කෙරෙත්, අයුණු කියත්, දොස් පහළ කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ: ‘සැබෑ ද උපනන්‍දය, තෝ සිටුපුතක්හු සිවුරක් විනවුයෙහි දැ’ යි අසා වදාළහ. “සැබව භාග්‍යවතුන් වහන්ස, යි හේ කී ය. “උපනන්‍දය, තාගේ නෑයෙක් ද නොනෑයෙක්දැ?” යි භගවත් ඇසූහ. “නොනෑයෙක භාග්‍යවතුන් වහන්සැ’ යි හේ කී ය. “තුච්ඡපුරුෂය, නොනෑයෙක් නොනෑයෙකුහට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ විද්‍යාමානය හෝ අවිද්‍යාමානය හෝ නො දනියි. එහි ලා තුච්ඡපුරුෂය, තෝ නොනෑ සිටුපුතක්හු සිවුරක් විනවූයෙහි ය. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“යම් මහණෙක් තෙම නොනෑ ගැහැවියක්හු හෝ ගැහැවිනියක හෝ සිවුරක් විනවා නම් නිසැඟි පචිති වේ.”
මෙසේත් මේ ශික්‍ෂාපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.
[මුල්පැණවීමයි.]
4. තව ද එසමයෙහි බොහෝ භික්‍ෂූහු සාකේතනුවරින් සැවැත්නුවර බලා අදන්මගට පිළිපන්නාහු වෙති. අතරමඟ සොරු නික්ම ඒ භික්‍ෂූන් (පාසිවුරු) පැහැර ගත්හ. එසඳ ඒ භික්‍ෂූහු ‘භාග්‍යවතුන් විසින් නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක් හෝ සිවුරක් විනවන්නට පිළිකෙව් කරණ ලදැ’ යි කුකුස් කරන්නාහු නො විනවූහ. ලිහිණි වණින් ම සැවතට ගොස් භික්‍ෂූන් වඳිති. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ ආජීවකයෝ සුන්‍දරයහ. මොහු භික්‍ෂූන් වඳිති” යි මෙසේ කීහ. “ඇවැත්නි, අපි ආජීවක නො වම්හ. අපි මහණම්හු” යි. මෙසේ කීහ. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලිහට “එසේ වී නම් ඇවැත්නි, උපාලි මොවුන් විමසව” යි කීහ. ඒ භික්‍ෂුහු අනුයෝග කරනු ලබන්නාහු එ පවත් දැන්වූහ.
5. ඉක්බිති ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ඒ භික්‍ෂූන් විමසා භික්‍ෂුන්ට ‘ඇවැත්නි, මොහු භික්‍ෂූහු ය. මොවුනට සිවුරු දෙව’ යි කීහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු “කෙසේ නම් භික්‍ෂූහු ලිහිණි ව ආවාහු ද, තෘණයෙන් හෝ පර්‍ණයෙන් හෝ පිළිසන් කොට ඉයයුතු නො වේ දැ” යි අවඥා කෙරෙති. අයුණු කියති. දොස් පහළ කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
6. එසඳ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රකරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඇසිදෑගත් සිවුරු ඇතියහුට හෝ නට සිවුරු ඇතියහුට හෝ නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සිවුරක් වීනවන්නට, යම් ආවාසයකට පළමු එළඹේ නම්, ඉදින් එහි සඞ්ඝයාගේ විහාර සිවුරක් හෝ පසතුරුණෙක් හෝ බුමුතුරුණෙක් හෝ බිසිසිවියෙක් හෝ වේ නම් ‘(සිවුරු) ලැබ තබන්නෙමි’ යි එය ගෙණ පොරෝනට අනුදනිමි. ඉදින් සඞ්ඝයාගේ විහාර සිවුරක් හෝ පසතුරුණෙක් හෝ බුමුතුරුණෙක් හෝ බිසිසිවියෙක් හෝ නොවේ නම් තෘණයෙන් හෝ පර්‍ණයෙන් හෝ පිළිසන් කොට ඉයයුතු ය. ලිහිණි ව නො ම ඉයයුතු ය. යමෙක් ඒ නම් දුකුළාඇවැත් වෙයි. මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.”
“යම් මහණෙක් නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සමය තබා සිවුරක් විනවා නම් නිසැඟිපචිති වෙයි. එහි මේ සමය වෙයි: මහණ තෙම පැහැර ගන්නා ලද සිවුරු ඇත්තේ හෝ නට සිවුරු ඇත්තේ හෝ වෙයි. මේ එහි සමය වේ.”
[දෙවන පැණවීමයි.]
7. යො පන යනු: යමෙක්, යම් බඳුයෙක් ...
භික්‍ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි භික්‍ඛු ය යි අදහස් කරණ ලද්දේ ය.
අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මුත්තා යුගය තෙක් අසම්බද්ධයෝ ය.
ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ නම් හේ.
[need trans?]
චීවර නම්: සසිවුරු අතුරින් විකපුන් පොහෝනා සිවුරු පැසුළු කොට ඇති එක්තරා සිවුරෙකි.
අඤ්ඤත්‍ර සමයා යනු: සමය තබා.
අච්ඡින්නචීවර නම්: භික්‍ෂුහුගේ සිවුරු රජුන් විසින් හෝ සොරුන් විසින් හෝ ධූර්‍තයන් විසින් හෝ යම්කිසි කෙනකුන් විසින් හෝ පැහැර ගන්නා ලද වෙයි.
නට්ඨචීවර නම්: භික්‍ෂුහුගේ සිවුර ගින්නෙන් හෝ දැවුනේ වෙයි. දිය විසින් හෝ උසුලන ලද වෙයි. මීයන් විසින් හෝ වේයන් විසින් හෝ කන ලද වෙයි. පරිභෝගයෙන් දිරුනේ හෝ වෙයි. සමය තබා විනවා (ඉල්ලා) නම් පියොව්හි දුකුළා වෙයි. පිළිගැනීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැජිය යුතු ය. තව ද “මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය: ‘වහන්ස, මේ මාගේ සිවුර නොනෑ ගැහැවියක්හු සමය තබා විනවන ලද්දේ නිසැගි විය. මෙය මම් සඟනට නිසදමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
8. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නො නෑයකු කෙරෙහි විමති ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇති ව සමය තබා සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නො නෑයෙක යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයෙකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
9. සමයෙහි, නෑයන් සතු, පැවැරූවන් සතු සිවුරු විනවන්නහුට අනෙකකු සඳහා විනවන්නහුට, තමාගේ ධනයෙන් පිරුළු ගන්නහුට, උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.
අඤ්ඤාතකවිඤ්ඤත්ති ශික්‍ෂාපදය නිමි.
තතුත්තරිශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්වෙහෙරෙහි වැඩ වෙසෙති. එසමයෙහි සවග මහණහු අසිඳැගන්නා ලද සිවුරු ඇති භික්‍ෂූන් වෙත එළඹ මෙසේ කියති: ‘ඇවැත්නි, භාග්‍යවතුන් විසින් අසිඳැගන්නා ලද සිවුරු ඇතියහුට හෝ නට සිවුරු ඇතියහුට හෝ නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සිවුරක් විනැවීම අනුදන්නා ලද. ඇවැත්නි, සිවුරක් විනවවු’ ය යි. ‘කම් නැත ඇවැත්නි, අප විසින් සිවුරක් ලබන ලදැ’ යි. ඔහු කියත්. ‘අපි ආයුෂ්මතුන් සඳහා විනවම්හ’ යි සවැඟියෝ කීහ. ‘විනවවු ඇවැත්නි’ යි ඔහු කීහ. ඉක්බිති සවග මහණහු නො නෑ ගැහැවියන් කරා එළඹ මෙසේ කීහ. ‘ඇවැත්නි, අසිඳැගන්නා ලද සිවුරු ඇති මහණහු ආහ. ඔවුනට සිවුරු දෙව’ යි බොහෝ සිවුරු විනවාගත්හ.
2. එසමයෙහි එක්තරා පුරුෂයෙක් සභායෙහි හුන්නේ එක්තරා පුරුෂයකුට මෙ පවත් කී ය: ‘ආර්‍ය්‍යයෙනි, අසිඳැගන්නා ලද සිවුරු ඇති භික්‍ෂූහු ආහ. මා විසින් ඔවුනට සිවුරක් දෙන ලදැ’ යි. හෙ ද මෙසේ කී ‘මා විසිනුදු දෙන ලදැ’ යි. අනෙකෙකුදු මෙසේ කී: ‘මා විසිනුදු දෙන ලදැ’ යි. ඔහු අවඥා කෙරෙත් අයුණු කියත් දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රීයයෝ පමණ නො දැන බොහෝ සිවුරු විනවා ගත්තු ද, පිළී වෙණෙඳහමක් හෝ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කෙරෙත් ද පිළී අවුණක් හෝ විවෘත කෙරෙත් දැ යි. භික්‍ෂූහු අවඥා කරණ අයුණු කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් සවඟ මහණහු පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
3. ‘සැබෑ ද මහණෙනි, තෙපි පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු ල’ යි භාග්‍යවත්හු ඇසූහ. “සැබෑව භාග්‍යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: ‘කෙසේ නම් කුච්ඡ පුරුෂයෙනි, තෙපි පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු ද! තුච්ඡපුරුෂයෙනි, තෙල කරුණ නො පහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“ඉදින් නොනෑ ගෘහපතියෙක් හෝ ගෘහපතිනියක් හෝ ඒ (අසිඳැගත්නට සිවුරු ඇති) මහණහට කැමතිතාක් ගෙන යන්නට බොහෝ සිවුරින් පවරා නම් ඒ මහණහු විසින් හඳනා සිවුර හා උතුරුසඟ පරම කොට ඇති සිවුරක් එයින් ඉවසිය යුතු” ය. ඉදින් එයින් මත්තෙහි ඉවසා නම් නිසැඟි පචිති වේ” යයි.
4. තඤ්චෙ යනු: පැහැරගන්නා ලද සිවුරු ඇති මහණ.
අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මී මුතුන් යුගළුව දක්වා අසම්බද්ධයෝ ය.
ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද හේ.
ගහපතානි නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද හෝ.
බහූහි චීවරෙහි යනු: බොහෝ වූ සිවුරින්.
අභිහට්ඨුං පවාරෙය්‍ය යනු: යම්තාක් රිසියෙහි නම් ඒ තාක් ගණුව යි.
න්තරුත්තපරමං තෙන භික්ඛුනා තතෝ චීවරං සාදිතබ්බං යනු: ඉදින් තුන් සිවුර නටුයේ නම් දෙකෙක් ඉවසිය යුතු ය. දෙකෙක් නටුයේ නම් එකෙක් ඉවසිය යුතු ය. එකෙක් නටුයේ නම් කිසිවක් නො ඉවසිය යුතු ය.
තතො චෙ උත්තරිං සාදියෙය්‍ය යනු: එයින් මත්තෙහි විනවා නම් ප්‍රයෝගයෙහි දුකුළා වෙයි. සිවුරු ලැබීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය.
‘වහන්ස, මේ මාගේ සිවුර නොනෑ ගැහැවියකු සතු වූයේ පමණින් මතුයෙහි විනවන ලද්දේ නිසැඟි විය, මෙය මම් සඟනට නිසදමි’ යි ... දෙන්නේ ය යි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි ...
5. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව පමණින් මත්තෙහි සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇත්තේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ පමණින් මත්තෙහි සිවුරක් විනවා නම් නිසැගි පචිති වෙයි. නෑයකු කෙරෙහි නො නෑයෙක යන සංඥා ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ, ඇවැත් නැති.
6. සෙස්ස ‘ගෙණ එන්නෙමි’ යි ගෙණ යේ නම්, සෙස්ස තොපට ම වේවයි දෙත් නම් අසිඳැගන්නා ලද කරුණින් නො දෙත් නම්, තට හෙයින් නො දෙත් නම්, තතුත්තර සිවුරු ගන්නහුට, නෑයන් සතු, පැවරූවන් සතු තතුත්තර සිවුරු ගන්නහුට, තමාගේ ධනයෙන් ගන්නහුට, උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති.
තතුත්තරි ශික්‍ෂාපදය නිමි.
ප්‍රථමඋපක්ඛටශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි එක්තරා පුරුෂයෙක් භාර්‍ය්‍යාවට උපනන්‍ද හිමියන් සිවුරෙන් ආච්ඡාදනය කරන්නෙමි’ යි. මේ කී ය: එක්තරා පිඬුසිඟා යන මහණෙක් ඒ පුරුෂයා මේ තෙපුල් කියන්න ඇසී ය. ඉක්බිති ඒ මහණ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට ආයුෂ්මත් උපනන්‍දයෙනි, තෙපි මහපින් ඇත්තහු ය. අසෝ පෙදෙසෙහි එක්තරා මිනිසෙක් බිරිඳට “උපනන්‍ද හිමියන් චීවරයෙන් ආච්ඡාදනය කරවන්නෙමි” යි. කී යයි සැළ කෙළේ ය. “ඇවැත්නි, (එබඳු මිනිසෙක්) ඇත. හේ මාගේ උපස්ථායකයෙකැ” යි. උපනන්‍ද තෙර කීය. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ඒ පුරුෂයා වෙත එළඹ “සැබෑවෙක් ද, ඇවැත්නි, තෙපි මා සිවුරකින් ආච්ඡාදනය කරණු කැමැත්තහු දැ?” යි ඇසී ය. “හිමියනි, උපනන්‍ද හිමියන් චීවරයෙකින් ආච්ඡාදනය කරන්නෙමි” යි මට මේ සිත නම් වී යැයි හේ කී ය. “ඉදින් ඇවැත්නි, තෙපි සිවුරෙකින් මා ආච්ඡාදනය කරණු කැමැත්තාහු නම් මෙබඳු සිවුරකින් ආච්ඡාදනය කරවු. යම් සිවුරක් මම් පරිභෝග නො කෙරෙම් නම් ඒ සිවුරින් පුදන ලද්දෙම් නමුදු එයින් මම් කුමක් කෙරෙම් දැ?” යි උපනන්‍ද තෙර කී ය.
2. ඉක්බිති ඒ පුරුෂ ‘මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීකයයෝ මහේච්ඡයෝ ය. අසන්තුෂ්ටයෝ ය, මොවුන් සිවුරකින් පුදන්නට පහසු නො වෙයි. කෙසේ නම් උපනන්‍ද හිමියෝ කලින් මා විසින් නොපවරණ ලද්දාහු මා වෙත එළඹ චීවරයෙහි අධික විධානයට පැමිණෙන්නාහු දැ’ යි අවඥා කෙරෙයි, නුගුණ කියයි, දොස් පහළ කෙරේ: භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසාගේ බස් ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡයෝ ද ඔහු ‘කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නොපවරණ ලද්දාහු, ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ!’ යි. අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙති. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබෑවෙක් ද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලදුයෙහි ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි දැ?’ යි. භාග්‍යවත්හු පුළුවුත්හ. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස’ යි හේ කී ය. “උපනන්‍දය, තාගේ නෑයෙක් ද නො නෑයෙක් දැ?” යි භාග්‍යවත්හු ඇසූහ. ‘නොනෑයෙක භාග්‍යවතුන් වහන්සැ’ යි හේ කී ය. “තුච්ඡ පුරුෂය, නො නෑයෙක් නොනෑයකුට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනියි. තුච්ඡපුරුෂය, එහි නම් තෝ පෙර නො පවරණ ලද්දෙහි නොනෑ ගැහැවියකු කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි. තුච්ඡ පුරුෂය, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදයට හෝ නො වැටෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“මහණක්හු ම උදෙසා නොනෑ ගැහැවියකු විසින් හෝ ගැහැවි දුවක විසින් හෝ මේ සිවුරුමිලයෙන් සිවුරක් මිල දී ගෙණ මෙනම් ඇති මහණහුට දෙන්නෙමි යි සිවුරුමිලයක් සපයන ලද්දේ වේ ද, ඉදින් ඒ මහණ පෙර නො පවරණ ලද්දේ එහි එළඹ ‘ආයුෂ්මත, මේ සිවුරු මිලයෙන් මෙබඳු වූ ද මෙබඳු වූ ද සිවුරක් මිල දී ගෙණ මට දෙව’ යි සොඳුරු බව කැමැති බව රිසි වැ මෙසේ කළහොත් මැනැවැ යි චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ වී නම් නිසැඟිපචිති වේ.”
3. භික්‍ඛුං පනෙව උද්දිස්ස යනු: මහණක්හු සඳහා, මහණක්හු අරමුණු කොට, මහණක්හු ආච්ඡාදනය කරණු කැමැත්තේ.
අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වන මීමුතුන් යුගලය දක්වා නො සබඳ වූයේ ය.
ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ නම් හේ ය.
ගහපතානී නම්: යම් කිසිවක් ගිහිගෙයි වෙසේ නම් හෝ ය.
චීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ පබළු හෝ පිළිමිණි හෝ පටයෙක් හෝ හූ හෝ කපු හෝ ය.
ඉමිනා චීවරචේතාපන්නෙන යනු: වෙතට පත් දැයෙකින්.
චෙතාපෙත්‍වා යනු: පිරිවටා.
අච්ඡාදෙස්සාමි යනු: දෙන්නෙමි.
තත්‍ර වෙසො භික්‍ඛු යනු: යම් මහණක්හු උදෙසා සිවුරුමිල සපයන ලද වේ ද ඒ මහණ.
පුබ්බේ අප්පචාරිතො යනු: වහන්ස, කෙබඳු සිවුරෙකින් තොපට ප්‍රයෝජන වේ ද කෙබඳු සිවුරක් තොපට මිල දී ගනිම් දැ යි පෙර නො කියන ලද්දේ වේ.
උපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස් යම් කිසි තැනෙක්හි එළඹ.
චීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: දිගු ද පුළුල් ද ඝන ද සිලිටි ද වේව යි.
[need trans?]
[need trans?]
චෙතාපෙත්‍වා යනු: පිරිවටා.
අච්ඡාදේහි යනු: දෙව.
කල්‍යාණකම්‍යතං උපාදාය යනු: සොඳුරු බව කැමැත්තේ මහඇඟි බව කැමැත්තේ.
4. ඔහුගේ බසින් දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ වූවක් මිල දී ගණී නම්, පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේ නිසැජියයුතු ය: ‘වහන්ස, මේ මාගේ සිවුර පෙර නො පවරන ලදුයෙම් නොනෑ ගැහැවියක්හු කරා එළඹ සිවුරෙහි අධිකවිධානයට පැමිණෙන ලදුයේ නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’යි. ...
5. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව පෙර නොපවරන ලදුයේ ගැහැවියකු කරා එළැඹ චීවරයෙහි විධානයට පැමිණේ නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇතියේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ පෙර නො පවරන ලදු වැ ගැහැවියකු කරා එළැඹ චීවරයෙහි විකල්පයට පැමිණේ නම්, නිසැඟි පචිති වෙයි. නෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇතියේ ඇවැත් නැති.
6. නෑයනට, පැවැරුවනට අනෙකක්හු සඳහා, තමාගේ ධනයෙන් මහඇඟි කොට මිල දී ගණු කැමැත්තහුට නො අගනා කොට මිල දී ගන්වා නම්, ඇවැත් නැත. උන්මත්තකයහට ආදිකම්‍මිකයහට ඇවැත් නැත්තේ යි.
ප්‍රථම උපක්‍ඛට ශික්‍ෂාපදය නිමි.
ද්විතීයඋපක්ඛටශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩවසන සේක. තව ද එසමයෙහි එක්තරා මිනිසෙක් එක්තරා මිනිසකුට ‘මම් උපනන්‍ද හිමියනට සිවුරක් දෙන්නෙමි’ යි කීය. හෙ තෙමේ ‘මම ද උපනන්‍ද හිමියනට සිවුරක් දෙන්නෙමි’ යි කී ය. එක්තරා පිඬුසිඟා යන භික්‍ෂූ කෙනෙක් ඒ මිනිසුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. ඉක්බිති ඒ මහණ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා කරා එළැඹ, ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා හට “ඇවැත්නි උපනන්‍දයෙනි, තෙපි මහපින් ඇත්තව, අසුවල් පෙදෙසෙහි එක්තරා මිනිසෙක් එක්තරා මිනිසකුට මම් උපනන්‍ද හිමියන් සිවුරකින් පුදන්නෙමි යි කී ය. හෙතෙමේ ‘මම ද උපනන්‍ද හිමියන් සිවුරකින් පුදන්නෙමි’ යි කීය. “ඇවැත්නි, ඔහු මට උපස්ථායකයෝ වෙති” යි උපනන්‍ද තෙරණුවෝ කීහ.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ මිනිසුන් කරා එළැඹ “සැබැවෙක් ද? ඇවැත්නි, තෙපි මා සිවුරුවලින් පුදනු කැමැතියවු දැ?” යි විචාළහ. ‘හිමියෙනි, උපනන්‍ද හිමියන් පුදන්නම්හ’ යි මෙබඳු සිතෙක් නම් වියැ” යි ඔහු කීහ. ‘ඉදින් ඇවැත්නි, තෙපි සිවුරුවලින් පුදනු කැමැතියවු නම්, මෙබඳු සිවුරකින් පුදව්, යම් බඳු සිවුරු මම් පරිභෝග නො කෙරෙම් නම්, එයින් පුදන ලදුයෙම් නමුදු මම් කුමක් කෙරෙම් දැ’ යි තෙරණුවෝ කී හ.
3. එකල්හි ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය. අසන්තුෂ්ටයෝ යැ. මොවුන් සිවුරුවලින් පුදන්නට පහසු නො වෙයි. කෙසේ නම් උපනන්‍ද හිමියෝ අප විසින් පෙර නො පවරණ ලද්දාහු සමීපයට පැමිණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ’ යි ඒ පුරුෂයෝ ගරහති නුගුණ කියති දොස් පහළ කෙරෙත්. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ පුරුෂයන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ නම් ඔහු ‘කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නො පවරණ ලද්දාහු ගැහැවියන් කරා පැමිණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ’ යි අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්.
4. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබෑද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලද්දේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ ල?” යි භාග්‍යවත්හු පුළුවුත්හ. “සැබෑව, භාග්‍යවතුන් වහන්ස” යි තෙරණුවෝ කීහ. “උපනන්‍දය, තාගේ නෑයෝ ද නො නෑයෝ දැ” යි භාග්‍යවත්හු අසා වදාළහ. “නොනෑ කෙනෙක භාග්‍යයවතුන් වහන්සැ” යි තෙරණුවෝ කීහ. “තුච්ඡපුරුෂය, නො නෑයෙක් නො නෑයනට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනියි. තුච්ඡපුරුෂය, එහි තෝ පෙර නො පවරණ ලද්දේ, නොනෑ ගැහැවියන්, කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි. තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“මහණක්හු ම උදෙසා නොනෑ වූ ගැහැවියන් දෙදෙනකුන් විසින් හෝ ගෙහඹුවන් දෙදෙනකුන් විසින් හෝ අපි මේ වෙන් වෙන් වූ සිවුරු මිලයෙන් වෙන වෙන සිවුරු මිල දී ගෙණ මෙනම් මහණහු සිවුරින් පුදම්හ” යි වෙන වෙන සිවුරු මිල රැස් කරණ ලද වේ ද, තෙල මහණ පෙර නො පවරන ලදුයේ ඔවුන් සමීපයෙහි එළඹ ‘ආයුෂ්මත්නි, තෙපි දෙදෙනා මැ එක් ව මේ වෙන වෙන සිවුරුමිලයෙන් මෙබඳු වූ ද මෙබඳු වූ ද සිවුරක් විකොටගෙණ එක් සිවුරෙකින් මා පුදන්නහු නම් මැනැවැ’ යි කල්‍යාණකම්‍යතාව සිතාගෙණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ වී නම් නිසැඟි පවිතී වේ.”
5. භික්‍ඛුං පනෙච උද්දීස්‍ස යනු: මහණක්හු සඳහා මහණක්හු අරමුණු කොට මහණකු ආච්ඡාදනය කරුණු කැමැත්තාහු.
උභින්නං යනු: දෙදෙනකුන්ගේ.
අඤ්ඤාතක නම්: මවුපියන් හෝ පියපසින් හෝ සත් වන මීමුතුන් යුවල දක්වා නො බැඳුනාහු.
ගහපති නම්: යම් කෙනෙක් ගිහිගෙයි වෙසෙත් ද ඔහු.
ගහපතානී නම්: ගිහිගෙයි වෙසෙන යම් කිසි ස්ත්‍රීහු ය.
චීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ පබළු හෝ පිළිමිණි හෝ පිළි හෝ හූ හෝ කපු හෝ ය.
ඉමෙහි චීවරචේතාපන්නෙහි යනු: වෙතට පත් දැයෙකින්, පරිවත්තෙත්‍වා යනු: පිරිවටා (වීකොටගෙණ)
අච්ඡාදෙස්සාම යනු: දෙන්නම් හ.
තත්‍ර වෙසො භික්‍ඛු යනු: යම් මහණකු උදෙසා සිවුරුමිල රැස් කරණ ලද ද ඒ මහණ.
පුබ්බේ අප්පවාරිතො යනු: ‘වහන්ස, ඔබට කෙබඳු සිවුරෙකින් ප්‍රයෝජන ද? කෙබඳු සිවුරක් ඔබට මිලදී ගණුවෝ දැ’ යි පෙර නො කියන ලද්දේ වෙයි.
උපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස්, යම් තැනෙක්හි එළඹ.
චීවරෙ විකප්පං ආපජ්ජෙය්‍ය යනු: දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ වේව’යි.
ඉමෙහි චීවරවෙතාපන්නෙහි යනු: වෙතට පත් දැයෙකින්.
එවරූපං වා එවරූපං වා යනු: දිගු හෝ පුළුල් හෝ ඝන හෝ සිලුටු හෝ.