Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 2001-2100 න් 2612

“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් මහණහුගේ මේ සිවුර නිසැඟි විය. සඟනට නිසදන ලද. ඉදින් සඟනට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මේ සිවුර මෙනම් මහණහට දෙන්නේ ය” යි.
4. ඒ මහණහු විසින් බොහෝ භික්‍ෂූන් කරා එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නාහු ය. “වහන්ස, මාගේ මේ සිවුර දස දවස් ඉක්ම ගියේ නිසැඟි විය. මම් මේ සිවුර ආයුෂ්මත්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර ඔහුට දිය යුතු:
“ආයුෂ්මත්නි, මා කියන්නක් අසත්වා. මෙනම් භික්‍ෂූහුගේ මේ සිවුර නිසැඟි විය. ආයුෂ්මත්නට නිසජන ලද. ඉදින් ආයුෂ්මත්නට පැමිණි කල් ඇත් නම් ආයුෂ්මත්හු මේ සිවුර මෙ නම් මහණහට දෙන්නාහු ය” යි.
5. ඒ මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උතුරුසඟ එකස් කොට උළුල්ලෙන් හිඳ මෙසේ කියයුතු වන්නේ ය. “ඇවැත්නි, මාගේ මේ සිවුර දස දවසක් ඉක්ම ගියේ නිසැඟි විය. මම් මේ සිවුර ආයුෂ්මත්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතු. ඒ මහණහු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර “මේ සිවුර ආයුෂ්මත්හට දෙමි” යි දිය යුතු.
6. දස දවසක් ඉක්ම ගිය කල්හි ‘ඉක්ම ගියේ ය’ යන සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. දස දවසක් ඉක්මගිය කල්හි විමති ඇත්තේ, නිසැඟි පචිති වෙයි. දස දවසක් ඉක්ම ගිය කල්හි ‘ඉක්ම නො ගියේ ය’ යන සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො ඉටන ලද්දෙහි ඉටන ලදැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො විකපන ලද්දෙහි විකපන ලදැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො විසජන ලද්දෙහි විසජන ලදැයි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො නටුයෙහි නටැ යි සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. නො වැනැසුනෙහි වැනැසිනැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො දැවුනෙහි දැවිනැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො පැහැර ගත්තෙහි පැහැර ගන්නා ලදැයි සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. නිසැඟි සිවුර නො නිසදා පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි ඉක්මිනැ යි සංඥා ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි විමති ඇත්තේ, දුකුළා ඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි නො ඉක්මිනැ යි සංඥා ඇත්තේ, ඇවැත් නැති.
7. ඇතුළු දස දවස්හි ඉටා නම් විකපා නම් විසඳා නම් නැසේ නම් වැනැසේ නම් දැවේ නම් අසිඳැ ගණිත් නම් විස්වැසි ව ගණිත් නම් ඇවැත් නැති. උම්මත්තකයනට ආදිකම්මිකයහට, ඇවැත් නැතැ’ යි.
8. තවද එසමයෙහි ෂඩ්වර්‍ගගීය භික්‍ෂූහු නිසැදු සිවුර නො දෙති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “මහණෙනි, නිසැදු සිවුර නො දිය යුතු නො වෙයි. යමෙක් නො දේ නම් දුකුළාඇවැත් වේ” යයි.
ප්‍රථම කඨින ශික්‍ෂාපදය නිමි.
ද්විතීයකඨිනශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වාසය කරන සේක. තවද එසමයෙහි භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් යුතු ව ජනපදචාරිකායේහි නික්මෙති. ඒ සිවුරු බොහෝ කල් තබන ලද්දාහු හටගත් කැලැල් ඇත්තාහු වෙති. භික්‍ෂූහු ඒ සිවුරු (අවුවෙහි) තවති. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සේනාසන චාරිකායෙහි ඇවිදිනාහු ඒ සිවුරු තවන ඒ භික්‍ෂූන් දුටහ. දැක ඒ භික්‍ෂූන් කරා එළඹ ඒ භික්‍ෂූන්ට මෙසේ කීහ: ‘ඇවැත්නි, කැලැල් හටගත් මේ සිවුරු කවරක්හුගේ දැ’ යි. එකල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන්ට එපවත් දැන්වූහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපදචාරිකායේහි නික්මුණාහු දැ’ යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ‘සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපද චාරිකායෙහි නික්මෙත් දැ’ යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡ පුරුෂයෝ භික්‍ෂූන් අත සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපද චාරිකායෙහි නික්මුණාහු ද, මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීමට හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:
“භික්‍ෂූහු විසින් කොට නිම වූ සිවුරු ඇති කල්හි කෙළින් උදුළ කල්හි ඉදින් මහණ තෙම එක් රැයකුදු තුන් සිවුරින් වෙන් ව වෙසේ නම් නිසැඟි පචිතිවේ ය” යි.
භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.
[මුල් පැණවීමයි]
2. එසමයෙහි කොසඹෑනුවර එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ඒ භික්‍ෂූහුගේ සමීපයෙහි දූතයකු එවූහ. ‘වහන්සේ (මෙහි) එත්වා අපි උවටැන් කරම්හ’යි. භික්‍ෂූහු ද මෙසේ කීහු: ‘යා ඇවැත්නි, නෑයෝ තොපට උවටැන් කරන්නාහ’ යි. හේ මෙසේ කී ය: ‘ඇවැත්නි, භාග්‍යවතුන් විසින් ‘තුන් සිවුරින් නොවෙන් ව විසියයුතු ය’ යි සිකපද පණවන ලද: ‘මම ද ගිලන්මි. තුන්සිවුරු ගෙණ නික්ම යන්නට නො පොහොසත්මි. මම නො යෙමි’ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ:
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, ගිලන් මහණහට ‘තිචීවර අවිප්පවාස සම්මුතිය’ දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේත් දියයුතු ය. ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: “වහන්ස, මම් ගිලන්මි. තුන් සිවුරු ගෙණ යන්නට නො පොහොසත්මි. වහන්ස, ඒ මම් සඞ්ඝයා තිචීවර අවිප්පවාස සම්මුතිය අයදිමි” යි දෙවනවට ද යැදිය යුත්තේ ය. තෙවනවට ද යැදිය යුත්තේ ය. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙම දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් වූයේ තුන් සිවුරු ගෙණ නික්ම යන්නට නො හැකි වෙයි. හෙතෙම සඞ්ඝයා තිචීවර අවිප්පවාසසම්මුතිය අයදියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘තිචීවර අවිප්පවාස සම්මුතිය දෙන්නේ ය’ තෙල ඤත්ති’ යයි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් වූයේ තුන් සිවුරු ගෙණ නික්ම යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයා ‘තිචීවර අවිප්පවාසසම්මුතිය අයදියි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘තිචීවර අවිප්පවාසසම්මුතිය’ දෙයි. මෙ නම් මහණහට තිචීවර අවිප්පවාසසම්මුතිය දීම යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නොරිසි වේ නම් හේ කියන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණහට තිචීවර අවිප්පවාසම්මුතිය දෙන ලද්දී ය. සඞ්ඝායට රුචි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. මෙසේ මේ තුෂ්ණිම්භාවය ධරමි” යි.
තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“භික්‍ෂූහුගේ සිවුර කොට නිමි කල්හි කෙළින්උදුළ කල්හි ඉදින් මහණ තෙම භික්‍ෂූසම්මුතිය නැති ව එක් රැයකුදු තුන්සිවුරින් වෙන් ව වෙසේ නම් නිසැඟි පචිතිවේ” යයි.
[දෙවන පැණවීමයි.]
4. නිට්ඨතචිවරස්මිං යනු භික්‍ෂූහුගේ සිවුර කරණ ලද හෝ වෙයි, නටුයේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ සිවුරු ලැබීමේ ආශාව සිඳුනේ හෝ වෙයි.
උබ්හතස්මිං කඨිනෙ යනු: අට වැදෑරුම් මාතිකාවන් අතුරෙහි එක්තරා මාතිකායෙකින් උදුළේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරන ලද වෙයි.
ඒකරත්තම්පි චෙ භික්‍ඛු තිවීවරෙන විප්පවස්‍යෙය යනු: සඟළසිවුරින් හෝ උතුරුසඟසිවුරින් හෝ අතුරුවසාසිවුරින් හෝ.
අඤ්ඤත්‍ර භික්‍ඛුසම්මුතියා යනු: භික්‍ෂූසම්මතය තබා.
නිස්සග්ගීයං හොති යනු: අරුණු නැඟීම සමඟ නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. ... “වහන්ස, මාගේ මේ සිවුර භික්‍ඛුසම්මුති නැති ව රැයක් වෙන් ව වසන ලද. නිසැඟි වූයේ ය. මම් මෙය සඞ්ඝයාට නිසජමි’යි දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.
5. ගම ඒකූපචාර ද නානූපචාර ද වෙයි. නිවෙස්න ඒකූපචාර ද නානූපචාර ද වෙයි. බඩුහල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අටල්ල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. මහල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. පහය ඒකූපචාර ද නානූපචාර ද වෙයි. සඳලුගෙය ඒකූපචාර ද නානූපචාර ද වෙයි. නැව ඒකූපචාර ද නානූපචාර ද වෙයි, ගැල් සාත්තුව ඒකූපචාර ද නානූපචාර ද වෙයි, කෙත ඒකූපචාර ද නානූපචාර ද වෙයි. කලවිට ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අරම ඒකූපචාර ද නානූපචාර ද වෙයි. වෙහෙර ඒකූපචාර ද නානූපචාර ද වෙයි. රුක්මුල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අබවස ඒකූපචාර ද නානූපචාර ද වේ.
6. ඒකූපචාර ගම නම්: එක් කුලයකට අයත් ගම පිරිකෙව් කරණ ලද්දේ ද වේ නම් ඇතුළුගම සිවුර තබා ඇතුළුගම විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද්දේ වේ නම් යම් ගෙයක සිවුර තබන ලද වේ ද ඒ ගෙහි විසිය යුතු ය. අත්පසින් නොහළ යුතු ය.
7. නානා කුලයනට අයත් ගම පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් යම් ගෙයක සිවුර තබන ලද වේ ද ඒ ගෙහි සභායෙහි හෝ ද්වාරසමීපයෙහි හෝ විසිය යුතු ය. අත්පසින් නො හළ යුතු ය. සබයට යන්නහු විසින් අත්පසැ සිවුර තබා සෙබෙහි හෝ දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. සෙබෙහි සිවුර තබා සෙබෙහි හෝ දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු. පිරිකෙව් නො කරණ ලද්දේ වේ නම් යම් ගෙයක සිවුර තබන ලද්දේ ද ඒ ගෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
8. එක් කුලයකට අයත් නිවෙස්න පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් නානාගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ඇතුළු නිවෙස්නෙහි සිවුර තබා ඇතුළු නිවෙස්නෙහි විසිය යුතු. පිරිකෙව් නොකරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
9. නානා කුලයකට අයත් නිවෙස්න පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් නානාගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
10. එක් කුලයකට අයත් පිරිකෙව් කරණ ලද බඩුහලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ඇතුළු බඩුහලෙහි සිවුර තබා ඇතුළු බඩුහලෙහි විසිය යුතු ය. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
11. නානා කුලයනට අයත් පිරිකෙව් කරණ ලද බඩුහලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. නො පිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
12. එක් කුලයකට අයත් අටල්ලෙක් වේ නම් ඇතුළු අටල්ලෙහි සිවුර තබා ඇතුළු අටල්ලෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් අටල්ලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
13. එක් කුලයකට අයත් මහලෙක් වේ නම් ඇතුළු මහලෙහි සිවුර තබා ඇතුළු මහලෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් මහලෙක් වේ ද නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
14. එක් කුලයකට අයත් පහයෙක් වේ නම් ඇතුළු පහයෙහි සිවුරු තබා ඇතුළු පහයෙහි විසිය යුතු. නානා කුලයනට අයත් පහයෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
15. එක් කුලයකට අයත් සඳලුගෙයක් වේ නම් ඇතුළු හර්‍ම්‍යයෙහි සිවුර තබා ඇතුළු හර්‍ම්‍යයෙහි විසිය යුතු. නානා කුලයනට අයත් හර්‍ම්‍යයෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.
16. එක් කුලයකට අයත් නැවක් වේ නම් ඇතුළු නැවෙහි සිවුර තබා ඇතුළු නැවෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් නැවක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ඔවරකයෙක්හි සිවුර තබන ලද ද ඒ ඔවරකයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
17. එක් කුලයකට අයත් ගැල්සාත්තුයෙක් වේ නම් ගැල්සාත්තුයෙහි සිවුර තබා පෙරටුයෙන් හෝ පිටු පසින් හෝ සත් අබතුරු කෙනෙක් නො හළ යුත්තාහු ය. ඇළයෙන් අබතුරෙක් නොහළ යුතු ය. නානා කුලයනට අයත් ගැල්සාත්තුයෙක් වේ නම් ගැල්සාත්තුයෙහි සිවුර තබා අත්පසින් නො හළ යුතු.
18. එක් කුලයකට අයත් පිරිකෙව් කළ කෙතක් වේ නම් ඇතුළු කෙතෙහි සිවුර තබා ඇතුළු කෙතෙහි විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ කෙතක් වේ නම් ඇතුළු කෙතෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු. නොපිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු.
19. එක් කුලයකට අයත් පිරිකෙව් කළ කලවිටෙක් වේ නම් ඇතුළු කලවිටෙහි සිවුර තබා ඇතුළු කලවිටෙහි විසිය යුතු ය. පිරිකෙව් නොකරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ කලවිටෙක් වේ නම් ඇතුළු කලවිටෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. පිරිකෙව් නො කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු ය.
20. එක් කුලයකට අයත් පිරිකෙව් කළ අරමෙක් වේ නම් ඇතුළු අරමෙහි සිවුර තබා ඇතුළු අරමෙහි විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු. නානා කුලයනට අයත් පිරිකෙව් කළ අරමෙක් වේ නම් ඇතුළු අරමෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළයුතු. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු.
21. එක් කුලයකට අයත් පිරිකෙව් කළ විහාරයෙක් වේ නම් ඇතුළු විහාරයෙහි සිවුර තබා ඇතුළු විහාරයෙහි විසිය යුතු ය. නොපිරිකෙව් කරන ලද වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ විහාරයෙක් වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.
22. එක් කුලයකට අයත් රුක්මුලෙක් වේ නම් යම් තැනෙක හිරිමුදුන් කලැ හාත්පසැ සෙවනලු පැතිරේ නම් ඇතුළු සෙවනලුයෙහි සිවුර තබා ඇතුළු සෙවනලුයෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් රුක්මුලෙක් වේ නම් අත්පසින් නො හළ යුතු ය.
23. අභ්‍යවකාශ ඒකූපචාර නම්: නො ගම්හි වූ අරණ්‍යයෙහි හාත්පසැ සත් අබතුරෙක් ඒකූපචාර ය. එයින් එපිට නානූපචාර යි.
24. භික්‍ෂූසම්මති නැති ව විප්‍රයුක්තයෙහි විප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ නිසැඟිපචිති වෙයි. භික්‍ෂූසම්මතී නැති ව විප්‍රයුක්ත වූයෙහි විමති ඇතියේ නිසැඟිපචිති වෙයි. භික්‍ෂූසම්මති නැති වැ විප්‍රයුක්ත වූයෙහි අප්‍රවියුක්ත ය යන සංඥා ඇත්තේ නිසැඟිපචිති වෙයි. නොපසුදුරණ ලද්දෙහි පසුදුරණ ලදැ යි සංඥා ඇත්තේ ... නොවිසජන ලදුයෙහි විසජන ලදැ යි සංඥා ඇත්තේ ... නොනටුයෙහි නටැ යි සංඥා ඇත්තේ ... නොවැනැසුනෙහි වැනැසුනැ යි සංඥා ඇත්තේ ... නොදැවුනෙහි දැවිනැ යි සංඥා ඇත්තේ ... භික්‍ෂූසම්මති නැති ව නො පැහැරගන්නා ලදුයෙහි පැහැරගන්නා ලදැ යි සංඥා ඇත්තේ නිසැඟිපචිති වේ. නිසැඟි වූ සිවුර නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. විප්‍රයුක්ත නො වූයෙහි විප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අවිප්‍රයුක්තයෙහි වෙමතික වූයේ දුකුළාඇවැත් වෙයි. අවිප්‍රයුක්ත වූයෙහි අවිප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
25. ඇතුළු අරුණෙහි පසුදුරා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම්, භික්‍ෂූසම්මතියෙන්, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය කඨින ශික්‍ෂාපදය නිමි.
තෘතීයකඨිනශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වාසය කරණ සේක. තවද එසමයෙහි එක්තරා මහණක්හට අයල්සිවුරක් උපන්නේ වෙයි. ඔහුට ඒ සිවුර කරණු ලබන්නේ නො පොහෝනේ ය. ඉක්බිති ඒ මහණ තෙම ඒ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකායෙහි වඩනාහු ඒ මහණ ඒ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කරණුවහු දුටහ. දැක ඒ මහණ යම් තැනෙක්හි ද එතැන්හි එළඹියහ. එළඹ ඒ මහණහට මෙය වදාළහ: ‘මහණ, තෝ කුමට මේ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙහි දැ’ යි. ‘වහන්ස, මේ මට උපන් අයල්සිවුර කරණු ලබන්නේ නොපොහොනේ වෙයි. එහෙයින් මම් මේ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙමි’ යි. ‘මහණ, තට සිවුරු ලැබීමේ ආශායෙක් ඇත් දැ?’ යි. ‘ඇත භාග්‍යවතුන් වහන්සැ’ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි, අයල්සිවුරක් පිළිගෙන සිවුරු ලැබීමේ ආශායෙන් තබන්නට අනුදනිමි’ යි.
2. තවද එසමයෙහි භික්‍ෂුහු භාග්‍යවතුන් විසින් ‘අයල්සිවුරක් පිළිගෙණ සිවුරු ලැබීමේ ආශායෙන් තබන්නට අනුදන්නා ලදැ’ යි අයල්සිවුරු පිළිගෙණ අතිරේක මාසයක් කල් තබති. ඒ සිවුරු සිවුරුවසැ බදබැඬි ව සිටිති. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සේනාසනචාරිකායෙහි වඩනාහු ඒ චීවරයන් සිවුරුවසැ බදබැඬි වි සිටියන් දුටහ. දැක භික්‍ෂූන් ඇමතූහ: ‘ඇවැත්නි, කවරක්හුගේ මේ සිවුරු සිවුරුවසැ බදබැඬි ව සිටිත් දැ’ යි. ‘ඇවැත්නි, අපගේ නොකල් සිවුරු චීවරපච්චාසායෙන් තබන ලද්දාහු ය’ යි. ඇවැත්නි, ‘කිපමණ කල් මේ සිවුරු තබන ලද්දාහු දැ’ යි. ‘ඇවැත්නි, අයිරා මසෙකැ’ යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අවඥා කෙරෙති, අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් මහණහු අයල්සිවුරු පිළිගෙණ අයිරා මසක් තැබූ දැ’ යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් දැන්වූ හ. ... “සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අයල්සිවුරු පිළිගෙන අයිරා මසක් තබත් දැ” යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡ පුරුෂයෝ අයල්සිවුරු පිළිගෙණ අයිරා මසක් තැබූහු ද, මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:’
“භික්‍ෂූහුගේ සිවුර කොට නිමි කල්හි කෙළින් උදුළ කල්හි භික්‍ෂූනට මැ වැළිත් අයල්සිවුරෙක් උපදනේ නම් කැමැති වන්නා වූ භික්‍ෂූහු විසින් පිළිගත යුතු ය. පිළිගෙන වහාම කරවිය යුතු ය. ඉදින් පිරිපුන් බව නො වන්නේ නම් ඒ භික්‍ෂූහු විසින් ඌනපූරණය පිණිස සිවුරු ලැබීමේ ආශාවක් ඇති කල්හි ඒ සිවුර මසක් පරම කොට ඇති කලක් තැබිය යුතු ය. චීවරාසාවක් ඇති කල්හිදු එයින් මත්තෙහි තබා නම් නිසැඟි පචිති වේ” යි.
3. නිට්ඨතචීවරස්මිං යනු: භික්‍ෂූහුගේ සිවුර කරණ ලද හෝ වෙයි. නැසුනේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ චීවරාසාව සිඳුනේ හෝ වෙයි.
උබ්හතස්මිං කඨිනෙ යනු: අට වැදෑරුම් මාතෘකාවන් අතුරින් එක්තරා මාතෘකායෙකින් උදුරන ලද්දේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරන ලද වෙයි.
අකාලචීවර නම්: කෙළින් නොඅතුළ කල්හි එකොළොස් මස්හි උපන්නේ ය. කෙළින් අතුළ කල්හි සත්මස් මුළුල්ලෙහි උපන්නේ ය. කල්හිදු නොකල්සිවුරු යි උදෙසා දෙන ලද්දේ ය. තෙල අයල් සිවුරු නම.
උප්පජ්ජෙය්‍ය යනු: සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිත්‍රයන් කෙරෙන් හෝ පසුල් ව හෝ තමාගේ ධනයෙන් හෝ උපදනේ ය.
ආකඞ්ඛමානෙන යනු: කැමැත්තහු විසින් පිළිගත යුතු ය.
පටිග්ගහෙත්‍වා ඛීප්පමෙච කාරෙතබ්බං යනු: දස දවසෙකින් කරවිය යුතු ය.
නො චස්ස පාරිපූරී යනු: කරණු ලබන්නේ නො පොහෝනේ ය.
මාසපරමං තෙන භික්ඛුනා තං චිවරං නික්ඛිපීතබ්බං යනු: මසක් කල් පරම කොට තැබිය යුතු ය.
ඌනස්ස පාරිපූරියා යනු: උනු වූවහුගේ සම්පූර්‍ණ බව පිණිස ය.
සතියා පච්චාසාය යනු: සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිත්‍රයන් කෙරෙන් හෝ පසුල් ව හෝ තමාගේ ධනයෙන් හෝ සිවුරු ලැබීමේ ආශායෙක් වෙයි.
තතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය සතියා’පි පච්චාසාය යනු: එදවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු ය. දෙවන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු ය. තුන්වන දවස උපන් ... සතර වන දවස උපන් ... පස්වන දවස උපන් ... සවන දවස උපන් ... සත්වන දවස උපන් ... අට වන දවස උපන් ... නව වන දවස උපන් ... දස වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු. එකොළොස් වන දවස උපන් ... දොළොස් වන දවස උපන් ... තෙළෙස් වන දවස උපන් ... තුදුස් වන දවස උපන් ... පසළොස් වන දවස උපන් ... සොළොස් වන දවස උපන් ... සතළොස් වන දවස උපන් ... අටළොස් වන දවස උපන් ... එකුන්විසි වන දවස උපන් ... විසි වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු. එක්විසි වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් නව දවසින් කරවිය යුතු ය. දෙවිසි වන දවස උපන් ... තෙවිසි වන දවස උපන් ... සූවිසි වන දවස උපන් ... පස්විසි වන දවස උපන් ... සවිසි වන දවස උපන් ... සත්විසි වන දවස උපන් ... අටවිසි වන දවස උපන් ... එකුන්තිස් වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් එක්දවසින් කරවිය යුතු. තිස් වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් එදවස මැ ඉටිය යුතු ය. විකැපිය යුතු ය. විසැඳිය යුතු ය.
ඉදින් නො ඉටා නම් හෝ නො විකපා නම් හෝ නො විසඳා නම් හෝ එක්තිස් වන අරුණ නැගෙන ලක්හි නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැදිය යුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසැදිය යුතු ය ... “වහන්ස, මේ මාගේ අයල්සිවුර මසක් ඉක්මගියේ නිසැඟි විය, මෙය මම් සඟනට නිසඳමි” යි ... දෙන්නේ ය. ... දෙන්නාහු ය. ... ආයුෂ්මත්හට දෙමි” යි.
4. විසභාග වූ මූලචීවරය උපන් කල්හි පච්චාසාචීවරය උපදී නම් රාත්‍රීහු ද ශේෂ වෙත් නම් නො කැමැත්තෙන් නො කරවිය යුතු ය.
5. මසක් ඉක්ම ගිය සිවුරෙහි “ඉක්ම ගියේ ය” යන සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. මසක් ඉක්මගිය සිවුරෙහි විමති ඇතියේ ... මසක් ඉක්මගිය සිවුරෙහි, නො ඉක්මිනැ’යි සංඥා ඇත්තේ ... නො ඉටූයෙහි ‘ඉටන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො විකැපූයෙහි ‘විකපන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො නටුයෙහි නටැ යි සංඥා ඇත්තේ ... නො වැනැසුනු සිවුරෙහි ‘වැනැසිනැ’ යි සංඥා ඇත්තේ ... නො දැවුනෙහි ‘දැවිනැ’යි සංඥා ඇත්තේ ... අසිඳැ ගන්නා ලද්දෙහි ‘නො අසිඳැ ගන්නා ලදැ’ යි සංඥා ඇත්තේ නිසැඟි පචිති වේ.
6. නිසැඟි වූ සිවුර නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. මසක් නො ඉක්මගිය සිවුරෙහි ‘ඉක්මිනැ’ යි සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. මසක් නො ඉක්මගිය සිවුරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. මසක් නොඉක්මගිය සිවුරෙහි ‘නො ඉක්මිනැ’ යි සංඥා ඇත්තේ ඇවැත් නැති.
7. ඇතුළු මාසයෙහි ඉටා නම්, විකපා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම් ඇවැත් නැති. උමතුහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය කඨින ශික්‍ෂාපදය නිමි.
පුරාණචීවරශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරුන්ගේ පුරාණදුතියිකාව මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. ඕ තොමෝ නිරතුරු ආයුෂ්මත් උදායි තෙරුන් වෙත පැමිණෙයි. ආයුෂ්මත් උදායි තෙර ද නිරතුරු ඒ මෙහෙණ වෙත යයි. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙර ඒ මෙහෙණ වෙත බත්කිස කෙරෙයි. එකල ආයුෂ්මත් උදායි තෙර පෙරෙවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ ඒ මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ඒ මෙහෙණ පෙරටුයෙහි අඞ්ගජාතය විවර කොට ආසනයෙහි හුන්නේ ය. ඒ මෙහෙණ ද ආයුෂ්මත් උදායී තෙරුන් ඉදිරියෙහි අඞ්ගජාතය විවර කොට හිඳගතු. එකල්හි ආයුෂ්මත් උදායි තෙර හටගත් රාග ඇත්තේ ඒ මෙහෙණගේ අඞ්ගජාතය මෙනෙහි කෙළේ ය. ඔහුට අශූචි මිදින.
2. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙර ඒ මෙහෙණට මෙසේ කී ය. ‘යා නැඟනියෙනි, දිය ගෙණෙව. අන්තරවාසකය සෝදමි’ යි. ‘දෙව හිමියනි, මම් මැ සෝදමි’ යි. ඒ අශූචි එක්දෙසක් මුවින් ගතු. එක්දෙසක් අඞ්ගජාතයෙහි බැහූ. ඕ තොමෝ එයින් ගැබ් ගතු. භික්‍ෂුණීහු මෙසේ කීහු: “මේ මෙහෙණ බඹසර නැත්තී ගැබිලියකැ” යි. “ආර්‍ය්‍යාවෙනි, මම් බඹසර නැතියක් නො වෙමි” යි. භික්‍ෂුණීන්ට මෙ පවත් දැන් වූ. භික්‍ෂුණීහු අවඥා කෙරෙති. අයුණු කියති. දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් උදායී හිමිහු මෙහෙණක ලවා පොරණ සිවුරක් දෙවවූහු දැ” යි. ඉක්බිති ඒ භික්‍ෂුණීහු භික්‍ෂූන්ට මෙපවත් දැන්වූ හ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙර මෙහෙණක ලවා පොරණසිවුරක් දෙවවී දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ‘සැබෑද උදායීය, තෝ මෙහෙණක ලවා පොරණසිවුරක් දෙවවිහි ලැ’ යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’, උදායිය, තට ‘නෑ එකක් ද නො නෑ එකක් දැ’ යි. ‘නො නෑ එකක භාග්‍යවතුන් වහන්සැ’ යි. ‘තුච්ඡ පුරුෂය, නො නෑයෙක් නො නෑ එකක්හට සුදුස්සක් හෝ නො සුදුස්සක් හෝ ප්‍රසාදයට වැටෙන්නක් හෝ අප්‍රසාදයට වැටෙන්නක් හෝ නො දනියි. එහි ලා තුච්ඡපුරුෂය, තෝ නො නෑ මෙහෙණක ලවා පොරණසිවුර දෙවවිහි. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යම් මහණෙක් තෙම නොනෑ මෙහෙණක ලවා පොරණසිවුරක් දොවවා නම් හෝ රඳවා නම් හෝ කොළවා නම් හෝ නිසැගිපචිති වේ” යයි.
3. යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ...
භික්‍ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ යයි අදහස් කරණ ලද්දේ ය.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මුත්තාවුන් තෙක් අසම්බද්ධයෝ යි.
භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා.
පුරාණචීවර නම්: වරක් හඳනා ලද්දේ ද වරක් පොරෝනා ලද්දේ ද වෙයි.
‘දොවවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි, දෝනා ලද්දේ නිසැගි වෙයි. ‘රඳවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි. රඳනා ලද්දේ නිසැගි වෙයි. ‘කොළවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි. වරක් අත්පහරක් හෝ මුගුරු පහරක් හෝ දුන් කල්හි නිසැගි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය.
4. තවද මහණෙනි මෙසේත් නිසැජිය යුතු ය. “වහන්ස, මාගේ ‘මේ පොරණ සිවුර නොනෑ මෙහෙණක ලවා දොවවන ලද්දේ නිසැගි විය. මම් මෙය සඟනට නිසදමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි ...
5. නො නෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් රජන් කරවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණසිවුරු දොවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු දොවා නම් රජන් කරවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළාඇවැතෙක් වේ.
6. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණය යන සංඥා ඇති ව පොරණ සිවුරු රජන් කරවා නම් නිසැඟිපචිති වෙයි. ... රජන් කරවා නම් කොළවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. රජන් කරවා නම් දොවා නම් නිසැඟි හා සමඟ දුකුළාඇවැත් වෙයි. රජන් කරවා නම් කොළවා නම් දොවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළා ඇවැතෙක් වේ.
7. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණය යන සංඥා ඇති ව පොරණ සිවුරු කොළවා නම් නිසැඟිපචිති වෙයි. නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව පොරණ සිවුරු කොළවා නම් දොවා නම් ... කොළවා නම් රජන් කරවා නම් ... කොළවා නම් දොවා නම් රජන් කරවා නම් නිසැඟි හා සමඟ දෙ දුකුළා ඇවැතෙක් වේ.
8. නොනෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... නොනෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... අනෙකක්හුගේ පොරණ සිවුරු දොවා නම් දුකුළාඇවැත් වෙයි, නිසඳුන් පසතුරුණු දොවා නම් දුකුළා ඇවැත් වෙයි. භික්‍ඛුනීසඞ්ඝයා කෙරෙහි උපසපන් මෙහෙණක ලවා දොවා නම් දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නොනෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි විමති ඇති ව ... දුකුළාඇවැත් වෙයි. නෑ මෙහෙණ කෙරෙහි නෑ මෙහෙණ ය යන සංඥා ඇති ව ... ඇවැත් නැති.
9. නෑ මෙහෙණ දොවන කල්හි, නොනෑ මෙහෙණ දෙවැන්නක් වේ නම්, නො කියන ලද්දී දොවා නම්, පරිභෝග නො කරන ලද්ද දොවා නම්, සිවුරු තබා අන් පිරිකරක් දොවා නම්, සික්‍ඛමාතාවක ලවා, සාමණේරියක ලවා දොවා නම් ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති යයි.
පුරාණචීවර ශික්‍ෂාපදය නිමි.
චීවරප්‍රතිග්‍රහණශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ර‍ජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි උපුල්වන් මෙහෙණ සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති උපුල්වන් මෙහෙණ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිඬු පිණිස සැවැතට පිවිසියා ය. සැවැතෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුනී අන්‍ධවනය කරා එළඹියා ය. එළඹ දිවාවිහාරය පිණිස අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙහි හුන්නී ය. එසමයෙහි කළ සොරකම් ඇති සොරු දෙනක මරා මස් ගෙණ අන්‍ධවනයට පිවිසියහ. ඉක්බිති සොරදෙටු තෙම එක්තරා රුක්මුලෙක දිවාවිහාරයෙහි හුන් උපුල්වන් මෙහෙණ දිටි. දැක ඉදින් මාගේ දරු-මල්හු මේ මෙහෙණ දක්නාහු නම් වෙහෙසන්නාහ’ යි අන් මගෙකින් ගියේ ය. ඉක්බිති ඒ සොරදෙටු තෙම මස් පැසුනු කල්හි සොඳුරුමස් ගෙණ පත්පළාවක් බැඳ උපුල්වන් මෙහෙණට නුදුරු තැන්හි රුකෙක එල්වා “මහණ වේව යි බමුණු වේවයි යමෙක් දකී නම් දෙන ලද මැ” ය ‘ගෙණ යේව’ යි කියා ගියේ ය. උපුල්වන් මෙහෙණ සමාධියෙන් නැඟී මෙතෙපුල් කියන ඒ සොරදෙටුවාගේ බස් ඇසූ ය. ඉක්බිති උපුල්වන් මෙහෙණ ඒ මස් ගෙණ මෙහෙණවරට ගියා ය. ඉක්බිති උපුල්වන් මෙහෙණ ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් ඒ මස් පිළියෙල කොට උතුරුසඟසිවුරෙහි පොදි බැඳ අහසට පැනනැඟී වේළුවනවිහාරයෙහි බැස සිටියාය.
2. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගම්වැදුනාහු වෙති. ආයුෂ්මත් උදායී තෙරණුවෝ වෙහෙර රක්නාහු නැවැතුනාහු වෙති. ඉක්බිති උපුල්වන් මෙහෙණ උදායි තෙරුන් කරා එළඹියා ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කිවූ ය: ‘වහන්ස භාග්‍යවතුන් වහන්සේ කොහි දැ’ යි. “නැගණියනි, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ගමට පිවිසියහ’ යි. ‘වහන්ස, මේ මස් භාග්‍යවතුන් වහන්සේට දෙව’ යි. “නැගණියනි, තොප විසින් භාග්‍යවතුන් වහන්සේ මසින් සතපන ලදහ. ඉදින් තෙපි මට අතුරුවසාසිවුරු දෙන්නහු නම් මෙසේ මම ද අතුරුවසාසිවුරින් සතප්නා ලද්දෙම් වන්නෙමි’ යි. “වහන්ස, අපි නම් මාගම්වූවමෝ ප්‍රත්‍යය දුකසේ ලබන්‍නම්හ. මෙ ද මාගේ පැසිම් පස්වැනි සිවුර ය. (එහෙයින්) මම නො දෙමැ’ යි. ‘යම්සේ නැගණියනි, පුරුෂයෙක් ඇතු දී පොරොද්දෙහි ඇලෙන්නේ ද, එපරිද්දෙන් ම නැගණියනි, තෙපි භාග්‍යවතුන් වහන්සේට මස් දී මාකෙරෙහිලා අතුරුවසාසිවුරෙහි ඇලෙන්නහු” යයි. ඉක්බිති උපුල්වන් මෙහෙණ ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දැඩි ව පෙළනු ලබන්නී අතුරුවසාසිවුර දී මෙහෙණවරට ගියා ය. භික්‍ෂුණීහු උපුල්වන් මෙහෙණගේ පාසිවුරු පිළිගන්නාහු උපුල්වන් මෙහෙණට මෙපවත් කීහ. “ආර්‍ය්‍යාවෙනි, තොපගේ අතුරුවසාසිවුර කොහි දැ’ යි. උපුල්වන් මෙහෙණ භික්‍ෂුණීන්ට එපවත් දැන්වූය. භික්‍ෂුණීහු අවමන් කෙරෙති අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් උදායී හිමි මෙහෙණගේ සිවුර පිළිගත්තේ ද; මාගම (ප්‍රත්‍යය) දුකසේ ලබන්නී’ යයි ඉක්බිති ඒ භික්‍ෂුණීහු මෙපවත් දැන්වූහ.
3. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් ආයුෂ්මත් උදායි තෙර මෙහෙණකගේ සිවුරක් පිළිගත්තේ දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූ හ. “සැබෑද උදායිය, තෝ මෙහෙණකගේ සිවුරක් පිළිගත්තෙහි ල’ යි. “සැබව භාග්‍යවතුන් වහන්ස’, ‘උදායිය, තාගේ නෑ මෙහෙණක් ද නොනෑ මෙහෙණක් දැ’ යි. ‘නො නෑ මෙහෙණක භාග්‍යවතුන් වහන්සැ’ යි. “තුච්ඡපුරුෂය, නොනෑයෙක් නොනෑ එකකට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ විද්‍යාමානය හෝ අවිද්‍යාමානය හෝ නොදනියි. එහිලා තුච්ඡපුරුෂය, තෝ නොනෑ මෙහෙණකගේ අතින් සිවුරක් පිළිගත්තෙහි ය. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“යම් මහණෙක් නොනෑ මෙහෙණකගේ අතින් සිවුරක් පිළිගන්නේ නම් නිසැඟි පචිති වේ.”
මෙසේත් මේ ශික්‍ෂාපදය භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.
[මුල්පැණවීමයි.]
4. තවද එ කල්හි භික්‍ෂුහු කුකුස් කරන්නාහු භික්‍ෂුණීන්ගේ පිරුළුසිවුරු නොපිළිගනිති. භික්‍ෂුණීහු අවඥා කෙරෙත් අයුණු කියත් දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් හිමිහු අපගේ පිරුළුසිවුරු නො පිළිගණිත් දැ’ යි. භික්‍ෂුහු ඒ භික්‍ෂූණින් අවඥා කරන්නන් අයුණු කියන්නන් දොස් පහළ කරන්නන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි, පස් දෙනකුන්ගේ පිරුළුසිවුරු පිළිගන්නට අනුදනිමි: භික්‍ෂූහුගේ ය, භික්‍ෂුණියගේ ය, ශික්‍ෂාමානාවගේ ය, සාමණේරයාගේ ය, සාමණේරියගේ ය. මහණෙනි, මෙ පස් දෙනාගේ පිරුළුසිවුරු පිළිගන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:’
“යම් මහණෙක් නොනෑ මෙහෙණක අතින් පිරුළුසිවුරු තබා සිවුරක් පිළිගන්නේ නම් නිසැඟිපවති වේ.”
[දෙවනපැණවීමයි.]