14. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් තුලැසි දෙකෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනාහට ඤත්තියෙන් වූ දුකුළා ද දෙකම්වදනින් වූ දෙතුලැසිය ද නවතිත් (සන්සිඳෙත්).
සඞ්ඝාදිසේසො යනු: සඞ්ඝ තෙමේ ම ඒ ඇවැතට පිරිවෙස් දෙයි. මුලට අදියි මානත දෙයි. ආහවානය කෙරෙයි. භික්‍ෂූහු තිදෙනෙක් නො දෙත්. එක්පුඟුලෙක් නො දේ. එයිනුදු කියනු ලැබෙයි. ‘සඞ්ඝාදිසේසො’යි. එ ම ඇවැත් මුළුවට නාමකර්‍ම යි අධිවචන යි. එයිනුදු කියනු ලැබෙයි. ‘සඞ්ඝාදිසේසො’යි.
15. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ (ලබ්ධිය) නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මෙයහි විමති ඇතියේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇතියේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇතියේ නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇතියේ නම් දුකුළාඇවැත් වේ.
16. සමනුභාසනකර්‍ම නො කරන්නාහට ද, හැරැපියන්නාහට ද, උන්මත්තකයාහට ද, ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
කුලදූසක ශික්‍ෂාපදය නිමියේ යි.
17. ආයුෂ්මත්වරුනි, තෙළෙස් සඟවෙසෙස් ඇවැත්හු උදෙසන ලදහු ම ය. ප්‍රථමාපත්තික නව දෙනෙක, යාවතතියක සතර දෙනෙකි. මහණ තෙම යම් සඟවෙසෙසුන් අතුරෙන් එක්තරා ඇවැතකට හෝ පැමිණ යම්තාක් දින දැන දැන සඟවා ද, ඒතාක් දින ඒ මහණහු විසින් නො කැමැත්තෙන් නමුදු පිරිවෙස් විසිය යුතුයි. වැස නිමවූ පිරිවෙස් ඇති මහණහු විසින් මත්තෙහි සරැයක් භික්‍ෂූන්ට බුහුමන් පිණිස පිළිපැදිය යුතුයි. පිරූ මානත් ඇති මහණතෙම විංශද්වර්ගික භික්‍ෂූසඞ්ඝතෙමේ යම් සීමාවෙක්හි වන්නේ නම් එහි අබ්භානකර්‍මය කළයුත්තේ යි. එක්නමකිනුදු උනු වූ විංශද්වර්ගික භික්‍ෂූසඞ්ඝතෙමේ එමහණහු ඉදින් අබ්හානකර්‍මයෙන් කරන්නේ නම් ඒ මහණතෙමේත් අනබහිත වූයේ වෙයි. ඒ භික්‍ෂූහුත් ගැරහිය යුත්තාහු වෙති. මේ එහි සාමීචිධර්‍මය යි. එහිලා ආයුෂ්මතුන් විචාරමි. කිම, පිරිසුදුවූවහු ද? දෙවනවට ද විචාරමි. කිම, පිරිසුදුවූවහු ද? තෙවනවට ද විචාරමි. කිම, පිරිසුදු වූවහු ද? මෙහිලා ආයුෂ්මත්හු පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූත වෙති, තෙල නිහඬබව මෙසේ ධරමි.
තේරසකය නිමියේ යි.
උද්දානය:
සුක්විසැටි ය, කාසසඟරා ය, දුටුල්වසු ය, අත්තකාමපාරිචරිය ය, සසුරුතු ය, කුටිකාර ය, විහාරකාර ය, අමුලු ය,
අඤ්ඤභාගිය ය, සඞ්ඝභේද ය, අනුවත්තක ය, දුබ්බච ය, කුලදූසක ය යි තෙළෙස් සඟවෙසෙස්හු වෙත්.
සඞ්ඝාදිසේස කාණ්ඩය නිමියේ ය.
4.
අනියත කාණ්ඩය
ඇවැත්නි, මේ අනියත ධර්‍මයෝ දෙදෙන උදෙසීමට එති:
4. 1.
පළමු අනියතශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සැවැත්නුවරෙහි කුලුපග වෙත්. බොහෝ කුලයන් කරා එළඹෙත්. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවන්ගේ උපස්ථායක කුලයක් සතු කුමරියක් එක්තරා කුලකයක් සතු කුමරකුට දින. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ඒ කුලය වෙත එළඹියහ. එළඹ “මෙ නම් කුමරිය කොහි දැ?” යි මිනිසුන් විචාළහ: “වහන්ස, අසෝ කුලය සතු කුමරකුට දිනැ” යි, ඒ මිනිස්සු කීහ.
2. ඒ කුලය ද ආයුෂ්මත් උදායි තෙරණුවන්ගේ උපස්ථායක වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ කුලය කරා එළඹියහ. එළඹ, “මෙ නම් තුමරිය කොහි දැ?” යි මිනිසුන් විචාළහ. හිමියනි, තෙල කුමරිය ලැගුම් ගෙහි හුන” යි ඔහු කීහ. එසඳ ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ කුමරිය කරා එළඹියහ. එළඹ එකලා වූයේ එකලා ව සිටි ඒ කුමරිය හා සමඟ රහසිගත ව සිට මෙවුන්දමට යෝග්‍ය වූ පිළිසන් අස්නෙහි කල් සලකා පැවති බස් බෙණෙමින් කලට යුතු දහම් බෙණෙමින් නිෂද්‍ය කළහ.
3. එසමයෙහි මෘගාරිමාතා වූ විශාඛාවෝ බොහෝ දූ පුතුන් ඇතියහ. බොහෝ මුනුබුරන් ඇතියහ. නීරෝග දූ පුතුන් ඇතියහ. නීරෝග මුනුබුරන් ඇතියහ. උත්තම මඞ්ගල සම්මතයහ. මිනිස්සු දාන ප්‍රදානයෙහි දී දින නියම ඇති ආවාහ විවාහ ආදි සැණෙහි දී දින නියම නැති (ඇසළ ඈ) මහ සැණෙහි දී මෘගාරිමාතෘ විශාඛාවන් පළමු කොට වළඳවත්. එ සඳ මෘගාරිමාතෘ විශාඛාවෝ කැඳවන ලදු ව එකල කරා ගියහ. මෘගාරිමාතෘ විශාඛාවෝ එකලා ව සිටි ඒ කුමරිය හා සමඟ ආයුෂ්මත් උදායී තෙරණුවන් රහසිගත ව මෛථුනකර්‍මයට යෝග්‍ය වූ පිළිසන් අස්නෙක එකලා ව හුන්නවුන් දුටහ. දැක ආයුෂ්මත් උදායී තෙරණුවන්ට මෙ පවත් සැළ කළහ:
“යම් හෙයකින් හිමිහු එකලා ව සිටි මිනිස් මාගමක හා සමඟ රහසිගත ව මෙවුන්දමට යෝග්‍ය වූ පිළිසන් අස්නෙක එකලා ව සිට නිෂද්‍ය කෙරෙත් ද, වහන්ස, තෙල අයෝග්‍ය ය, නුසුදුසු ය. වහන්ස, හිමිහු ඒ මෙවුන්දමින් අර්‍ත්‍ථ නැති වුව ද වැලිත් නොපහන් මිනිස්සු නො හදහවාලිය හෙති” යි.
4. මෘගාරිමාතෘ විශාඛාව විසින් මෙ ලෙසිනුත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ කියනු ලබන්නාහු දු නොපිළිගත්හ. එසඳ මෘගාරිමාතෘ විශාඛාවෝ නික්ම ගොස් භික්‍ෂූන්ට මෙ පවත් සැළ කළහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද, ඔහු අවඥා කෙරෙත්, නුගුණ බෙණෙත්, අයුණු පතුරුවත්: “ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා ව සිටි මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව සිට කෙසේ නිෂද්‍ය කළාහු ද” කියා ය.
5. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් සැළ කළහ: “උදායිය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කෙළෙහි ල යනු සැබෑ ද?” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබැවෙකැ” යි හේ කී ය. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. “මෝඝපුරුෂය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමග කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක රහසිගත ව එකලා ව කෙසේ නිෂද්‍ය කෙළෙහි ද, මෝඝපුරුෂය, මෙය නොපහන් මිනිසුන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“යම් මහණෙක් එකලා වූ මිනිස් මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කරන්නේ වේ ද, හැදහිය යුතු බස් ඇති උවැසියක් ඒ මහණහු දැක පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේව යි පවිතියෙන් වේ ව යි තුන් ඇවැත් අතුරින් එක්තරා එකෙකින් දොස් තබා බෙණේ නම්, නිෂද්‍යාව පිළින කරණ මහණ පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේව යි පවිතියෙන් වේව යි තුන් ඇවැත් අතුරින් එක්තරා එකෙකින් කරවිය යුතු. හැදහිය යුතු වචන ඇති ඒ උවැසිය යම් ඇවැතකින් හෝ දොස් තබා බෙණේ නම්, ඒ මහණ ඒ ඇවැතින් කරවිය යුතු ය. මේ ඇවැත අනියත යි”
6. යො පන -යි යමෙක්, යම් බඳු වූවෙක් ....
භික්‍ඛු යි ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි දී භික්‍ෂුහු ය යි දක්වන ලදි.
මාතුගාම නම්: මිනිස් මාගම යි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් නො වෙයි. යටත් පිරිසෙයින් එදවස උපන් දැරිය ද වෙයි. ඉමහත් ස්‍ත්‍රිය (මැහැලි) කැලම ය. (කියනු ම කීම).
සද්ධිං යි එකතු ය.
ඒකෝ ඒකාය යි මහණෙක් ද මාගමෙක් ද වෙයි.
රහෝ නම්: ඇසට රහස, කණට රහස. ඇසට රහස නම්: කනන කල ඇස වේව යි නඟන කල බැම වේව යි නගන කල හිස වේව යි දක්නට නොහැකි වෙයි. කණට රහස නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
පටිච්‍ඡන්න නම්: අස්න බිත්තියෙන් හෝ කවුළු දොරින් හෝ කලාලින් හෝ කඩතුරා පවුරින් හෝ රුකින් හෝ කණුවෙන් හෝ පැලලිපොතුයෙන් හෝ යම් කිසිවකින් වැසුනේ වෙයි.
අලංකම්මතියෙ යි මෙවුන්දම් සෙවුනට හැක්කේ වෙයි.
නිඝජ්ජං කප්පෙය්‍ය යි මාගම හුන්කල මහණ ලං ව හුන්නේ හෝ වෙයි. ලං ව හොත්තේ හෝ වෙයි. මහණ හුන්කල මාගම ලං ව හුන්නී හෝ වෙයි. ලං ව හොත්තී හෝ වෙයි. දෙදෙනා ම හෝ හුන්නාහු වෙති. දෙදෙනා ම හෝ හොත්තාහු වෙති.
සද්ධෙය්‍ය වචසා නම්: ලැබූ සෝවාන් ඵල ඇති පිළිවිදි සිවුසස් ඇති දත් සසුන් ඇති (උවැසි).
උපාසිකා නම්: බුදුන් සරණ ගියා ය, දහම් සරණ ගියා ය, සඟුන් සරණ ගියා ය.
දිස්වායී දැක
පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේ ව යි පවිතියෙන් වේ වයි තුන් ඇවැතුන් අතුරින් එක්තරා එකෙකින් කියා නම්, නිෂද්‍යාව පිළින කරණ මහණ පරිජියෙන් වේව යි සඟවෙසෙසින් වේ වයි පවිතියෙන් වේව යි තුන් ඇවැත් අතුරින් එක්තරා එකෙකින් කරවිය යුතු ය. හැදහිය යුතු බස් ඇති ඒ උවැසි යම් ඇවැතකින් කියා නම්, ඒ මහණ ඒ ඇවැතින් කරවිය යුතු ය.
ඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරෙයි නම් පිරිජිඇවැතින් කරවිය යුතුයි.
ඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ඉදින් සැබෑව, මම හුන්නෙමි මෙවුන්දම් නො ද සෙවීමි” යි. මෙසේ කියා නම්: නිෂද්‍යායෙන් කරවිය යුතු ය.
ඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හුන්නාහු දක්නා ලදහ” යි. මෙසේ කියා නම්: ඒ මහණ “මම නුහුන්නෙමි වැලිත් හොත්තෙමි” යි. ඉදින් මෙසේ කියා නම්: නිපත්‍යායෙන් කරවිය යුතු ය. ඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ “මම නුහුන්නෙමි වැලිත් සිටියෙමි” යි. ඉදින් මෙසේ කියා නම්: නොකරවිය යුතු ය.
ඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් වැද හොත්තාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරෙයි නම්, පරිජිඇවැතින් කරවිය යුතු ය. ඒ උවැසි “මා විසින් හිමිහු මාගමට මෙවුන්දම් සෙවුමින් හොත්තාහු දක්නා ලදහ” යි ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ “සැබව, මම හොත්තෙමි. මෙවුන්දම් නො ද සෙවීමි” යි. ඉදින් මෙසේ කියා නම්: නිපත්‍යායෙන් කරවිය යුතු ය ... “මම නො හොත්තෙමි. වැලිත් හුන්නෙමි” යි. කියා නම් නිෂද්‍යායෙන් කරවිය යුතු ය. ... “මම නොහොත්තෙමි, වැලිත් සිටියෙමි” යි. කියා නම් නොකරවිය යුතු ය
ඒ උවැසි “මා විසින් හිමිහු මාගමක හා සමඟ කායසංසර්‍ගයට සමවදිමින් හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරෙයි නම්, කායසංසර්‍ග ඇවැතින් කරවිය යුතු ය ... “සැබව, මම හුන්නෙමි. කායසංසර්‍ගයට නො ද සමවැදිමි” යි. හේ කියා නම් නිෂද්‍යායෙන් කරවිය යුතු ය. ... “මම නුහුන්නෙමි, වැලිත් හොත්තෙමි” යි කියා නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය ... “මම නුහුන්නෙමි, වැලිත් හොත්තෙමි” යි. කියා නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය. .... “මම නුහුන්නෙම්, වැලිත් සිටියෙමි” යි. කියා නම් නො කරවිය යුතු ය. ඒ උවැසි “මා විසින් හිමිහු මාගමක හා සමඟ කායසංසර්‍ගයෙහි සමවදිමින් හොත්තාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද ඒ පිළින කෙරෙයි නම්, කායසංසර්‍ග ඇවැතින් කරවිය යුතු ය. ... “සැබව, මම හොත්තෙමි. කායසංසර්‍ගයට නො ද සමවැදිමි” යි. කියා නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය .... “මම නො හොත්තෙමි, වැලිත් හුන්නෙමි” කියා නම් නිෂද්‍යායෙන් කරවිය යුතු ය ... “මම නොහොත්තෙමි, වැලිත් සිටියෙමි” යි කියා නම් නො කරවිය යුතු ය.
ඒ උවැසි “මා විසින් හිමිහු එකලාව සිටි මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව හුන්නාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරෙයි නම්, නිෂද්‍යායෙන් කරවිය යුතු ය ... “මම නුහුන්නෙමි, වැලිත් හොත්තෙමි” යි, කියා නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය ... “මම නුහුන්නෙමි, වැලිත් සිටියෙමි” යි, කියා නම් නො කරවිය යුතු ය.
ඒ උවැසි “මා විසින් හිමිහු එකලා ව සිටි මාගමක හා සමඟ රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව හොත්තාහු දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද ඒ පිළින කෙරෙයි නම් නිපත්‍යායෙන් කරවිය යුතු ය. ... “මම නොහොත්තෙමි. වැලිත් හුන්නෙමි” යි කියා නම් නිෂද්‍යායෙන් කරවිය යුතු ය. ... “මම නොහොත්තෙමි වැලිත් සිටියෙමි” යි කියා නම්, නො කරවිය යුතු ය.
අනියතෝ යනු: පරිජි යැ හෝ සඟවෙසෙස් යැ හෝ පචිති යැ හෝ නියත නො වූයේ.
7. ගමන පිළින කෙරේ නම් හිඳීම පිළින කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් හිඳීම පිළින නො කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් හිඳීම පිළින කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් හිඳීම නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් හිඳීම පිළින නො කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නො කරවිය යුත්තේ යි.
ගමන පිළින නො කෙරේ නම් හිඳීම පිළින කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් හිඳීම පිළින නො කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් හිඳීම පිළින කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් හිඳිම් නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් හිඳීම පිළින නො කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නො කරවිය යුත්තේ යි.
පළමු වැනි අනියතශික්‍ෂා පදය නිමි.
4. 2.
දෙවැනි අනියතශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා වූ මිනිස්මාගමක හා රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කිරීම භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ’ යි එකලා වු මැ කුමරිය සමඟ එකලා ව රහසිගත ව කලට සුදුසු තෙපුල් බෙණෙමින් කලට සුදුසු දහම් බෙණෙමින් හුන්හ. දෙවන වට ද මෘගාරිමාතෘ විශාඛා තොමෝ කැඳවන ලදු ව ඒ කුලයට ගියා ය. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ ආයුෂ්මත් උදායි තෙරණුවන් එකලා වූ එ මැ කුමරිය සමඟ එකලා ව රහසිගත ව හුන්නවුන් දුටු. දැක ආයුෂ්මත් උදායී තෙරණුවන්ට “යම් හෙයකින් හිමිහු එකලා වූ මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍යා කෙරෙත් ද, වහන්ස, මේ අයෝග්‍ය ය. නුසුදුසු ය. වහන්ස, හිමිහු ඒ මෙවුන්දමින් අර්‍ත්‍ථ නැත්තාහු නමුදු වැළිත් නො පහන් මිනිස්සු හදහවාලිය නො හෙති” යි මෙබස් කිවු ය. ආයුෂ්මත් උදායී තෙරණුවෝ මෘගාරිමාතෘ විශාඛාව විසින් මෙසේත් කියනු ලබන්නාහු නො පිළිගත්හ.
2. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛාවෝ නික්ම ගොස් භික්‍ෂූන්ට මෙපවත් දැන්වූහ: යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවමන් කෙරෙති. අයුණු කියති, දොස් පහළ කෙරෙත්. “කිසෙයින් නම් ආයුෂ්මත් උදායි තෙරණුවෝ එකලා වූ මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍ය කළෝ දැ?” යි. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබවෙක් ද උදායි, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍ය කෙළෙහි දැ” යි. භාග්‍යවත්හු පුළුවුත්හ. “සැබෑව භාග්‍යවතුන් වහන්ස”, භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමග එකලාව රහසිගතව නිෂද්‍ය කෙළෙහි ද, තුච්ඡපුරුෂය, තෙල නො පහනුන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ...”. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.
“අස්න ප්‍රතිච්ඡන්න නො වූයේ ම වේ ද කර්‍මෙයෝග්‍ය නො වේ ද? මිනිස්මාගමකට තුළුල්තෙපුලින් කියන්නට යෝග්‍ය වේ ද, යම් මහණෙක් එබඳු අස්නෙක එකලා වූ මාගමක හා සමඟ එකලාව රහසිගත ව නිෂද්‍ය කෙරේ නම් හැදැහියයුතු වචන ඇති උවැසියක් තොමෝ මේ මහණහු දැක සඟවෙසෙසින් හෝ පවිතියෙන් හෝ දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් කියන්නී නම් මහණ තෙම නිෂද්‍යාව පිළින කරන්නේ සඟවෙසෙසින් හෝ පවිතියෙන් හෝ දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් පිළියම් කරවිය යුත්තේ ය. හැදැහියයුතු වචන ඇති ඒ උවැසි තොමෝ යමෙකින් හෝ කියන්නී නම් ඒ මහණ තෙම ඒ ඇවැතින් හෝ පිළියම් කරවිය යුත්තේ ය. මේ ධර්‍මය ද අනියත වේ.”
3. නහෙව ඛො පන පටිච්‍ඡන්තං ආසනං හොති යනු: නො වැසුනේ වෙයි: බිත්තියෙන් හෝ කවුළුයෙන් හෝ කලාලින් හෝ කඩතුරාපවුරින් හෝ රුකින් හෝ ටැඹින් හෝ පැලලිපොතුයෙන් හෝ යම් කිසිවකින් වැසුනේ වෙයි.
නාලං කම්මනියං යනු: මෙවුන්දම් සෙවුනට නො හැකි වෙයි.
අලඤච ඛො හොති මාතුගාමං දුටුඨුල්ලාභි වාචාහි ඔහාසීතුං යනු: මිනිස්මාගමකට තුළුල්තෙපුලින් කියන්නට හැකි වෙයි.
යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ... භික්‍ඛු යනු ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි “භික්‍ඛු” යි අදහස් කරන ලදි.
තථාරූපෙ ආසනෙ යනු: එබඳු අස්නෙක.
මාතුගාම නම්: මිනිස්මාගම, යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි, තිරිසන්ගිය මාගමක් නො වෙයි.
නුවණැති වූවා සුබැසි දුබැසි තුළුල් නො තුළුල් තෙපුල් දැනගන්නට ප්‍රතිබල වූවා වෙයි.
සද්ධිං යනු: එකට
ඒකෝ ඒකාය යනු: මහණෙක් ද මාගමක් ද වෙයි.
රහෝ නම්: ඇසට රහස, කණට රහස. ඇසට රහස නම්: ඇස කසන කල්හි බැම හෝ නහන කල්හි හිස හෝ නහන කල්හි දක්නට නො හැකි වෙයි. කණට රහස නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
නිස්ජ්‍ජං කප්පෙය්‍ය යනු: මාගම හුන් කල මහණ තෙම වැළත හුන්නේ හෝ වෙයි, වැළත හොත්තේ හෝ වෙයි, මහණ හුන් කල්හි මාගම වැළත හුන්නේ හෝ වෙයි. වැළත හොත්තේ හෝ වෙයි. දෙදෙන හෝ හුන්නාහු වෙති. දෙදෙන හෝ හොත්තාහු වෙති.
සද්ධෙය්‍යවචසා නම්: පැමිණි සෝවාන් ඵල ඇති පිළිවිදි සිවුසස් ඇති දත් සසුන් ඇති (උවැසි.)
උපාසිකා නම්: බුදුන් සරණ ගියා ය, දහම් සරණ ගියා ය, සඟුන් සරණ ගියා ය.
දිස්වා යනු: දැක.
සඟවෙසෙසින් වේවයි පවිතියෙන් වේවයි දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් කියා නම් මහණ තෙම නිෂද්‍යාව පිළින කරණුයේ සඟවෙසෙසින් වේවයි පවිතියෙන් වේ වයි දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් පිළියම් කරවිය යුත්තේ ය. ඒ හැදැහියයුතු වචන ඇති උවැසි තොමෝ යමෙකින් කියා නම් ඒ මහණ තෙම එයින් හෝ පිළියම් කරවිය යුත්තේ යි.
ඒ උවැසි “හිමිහු මාගමක හා කායසංසර්‍ගයට සමවදිමින් හුන්නාහු මා විසින් දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ තෙමේ එය පිළින කෙරේ නම් (සඟවෙසෙස්) ඇවැතින් කරවිය යුත්තේ ය. ඒ උවැසි ඉදින් “හිමිහු මාගමක හා කායසංසර්‍ගයට සමවදිමින් හුන්නාහු මා විසින් දක්නා ලදහ” යි මෙසේ කියා නම්: ඒ මහණ “සැබෑව මම හුන්නෙමි. එතෙකුදුවත් කායසංසර්‍ගයට නො සමවන්මි” යි. ඉදින් මෙසේ කියා නම්: නිෂද්‍ය නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... මම් නිෂද්‍ය නො කෙළෙමි. එතෙකුදුවත් හොත්තෙමි යි ශය්‍යා නිමිති වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නිෂද්‍යා නො කෙළෙමි. එතෙකුදුවත් සිටියෙමි” යි. නො කරවිය යුත්තේ යි.
ඒ උවැසි “හිමිහු මාගමක හා කායසංසර්‍ගයට සමවදිමින් හොත්තාහු මා විසින් දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ... “සැබව මම හොත්තෙමි. එතෙකුදුවත් කායසංසර්‍ගයට නො සමවන්මි” යි. කියා නම් ශය්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් නිෂද්‍යා කෙළෙමි” යි කියා නම්, නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් සිටියෙමි” යි. කියානම්. නො කරවිය යුත්තේ යි.
ඒ උවැසි “හිමියන් මාගමකට තුළුල් තෙපුලින් කියමින් හුන්නවුන් මා විසින් අස ලදැ” යි. ඉදින් මෙසේ කියා නම්: ඒ මහණ ද එය පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ... සැබව මම් හුන්නෙමි එතෙකුදුවත් තුළුල් තෙපුලින් නො කීමි” යි. කියා නම්, නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය ... “මම් නිෂද්‍යා නො කෙළෙමි එතෙකුදුවත් ශයනය කෙළෙමි” යි කියා නම්, ශය්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නිෂද්‍යා නො කෙළෙමි. එතෙකුදුවත් සිටියෙමි” යි කියා නම්, නො කරවිය යුත්තේ යි.
ඒ උවැසි “හිමියන් මාගමකට තුළුල් තෙපුලින් කියමින් වැද හොත්තවුන් බස මා විසින් අසන ලදැ” යි. ඉදින් මෙසේ කියා නම් ඒ මහණ ද එය පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ... “සැබැව මම් හොත්තෙමි එතෙකුදුවත් තුළුල් තෙපුලින් නො කීමි” යි කියා නම්, ශය්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් හුන්නෙමි” යි කියා නම්, නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් සිටියෙමි” යි කියා නම්, නො කරවිය යුත්තේ යි.
ඒ උවැසි “හිමිහු එකලා වූ මාගමක හා එකලා ව රහසිගත ව හුන්නාහු මා විසින් දක්නා ලදහ” යි, ඉදින් මෙසේ කියා නම් ඒ මහණ ද එය පිළින කෙරේ නම්, නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නිෂද්‍යා නො කෙළෙමි, එතෙකුදුවත් හොත්තෙමි” ය. කියා නම්, නිපත්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුතුත්තේ ය. ... “මම් නිෂද්‍යා නො කෙළෙමි, එතෙකුදුවත් සිටියෙමි” යි. කියා නම්, නො කරවිය යුත්තේ යි.
ඒ උවැසි “හිමිහු එකලා වූ මාගමක හා එකලා ව රහසිගත ව හොත්තාහු මා විසින් දක්නා ලදහ” යි. ඉදින් මෙසේ කියා නම් ඒ මහණ ද එය පිළින කෙරේ නම්, නිපත්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ... “මම් නො හොත්තෙමි එතෙකුදුවත් හුන්නෙමි” යි. කියා නම්, නිෂද්‍යායෙන් කරවිය යුත්තේ ය. … “මම් නො හුන්නෙමි එතෙකුදුවත් සිටියෙමි”යි කියා නම්, නො කරවිය යුත්තේ යි.
අයම්පි යනු පළමු ශික්‍ෂාපදය ගෙණ කියනු ලැබෙයි.
අනියතෝ යනු සඟවෙසෙස හෝ පචිති ය හෝ නියත නො වූයේ.
4. ගමන පිළින කෙරේ නම් නිෂද්‍යා පිළින කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් නිෂද්‍යාව පිළින නො කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් නිෂද්‍යාව පිළින කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නිෂද්‍යා නිමිතින් වූ ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින කෙරේ නම් නිෂද්‍යාව පිළින නො කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම්, නො කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් නිෂද්‍යාව පිළින කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම්, ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් නිෂද්‍යාව පිළින නො කෙරේ නම් ඇවැත පිළින කෙරේ නම් ඇවැතින් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් නිෂද්‍යාව පිළින කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නිෂද්‍යායෙන් කරවිය යුත්තේ ය. ගමන පිළින නො කෙරේ නම් නිෂද්‍යාව පිළින නො කෙරේ නම් ඇවැත පිළින නො කෙරේ නම් නො කරවිය යුත්තේ යි.
දෙවැනි අනියතශික්‍ෂාපදය නිමි.
5. ආයුෂ්මත්නි, දෙ අනියතාපත්තීහු උදෙසන ලද්දාහු මැ යි. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි. කිම පිරිසුදු වවු ද? දෙවන වට ද පුළුවුස්මි: කිම පිරිසුදු වවු ද? තෙවන වට ද පුළුවුස්මි: කිම පිරිසුදු වවු ද? මෙහි ලා ආයුෂ්මත් හු පිරිසුදුහ. එහෙයින් තුෂ්ණිම්භූතයහ. මෙය මෙසේ ධරමි” යනුයි.
එහි උද්දානය:
අලංකම්මනිය ද නහෙවඛො දැ යි අනියතාපත්තීහු තාදිගුණ ඇති ශ්‍රේෂ්ඨ වූ බුදුන් විසින් පණවන ලදහ.
අනියත කාණ්ඩය නිමියේ ය.
5.
නිසැඟිකාණ්‍ඩය
ඇවැත්නි, මේ තිස් නිසැඟි පචිති ඇවැත්හු උදෙසීමට පැමිණෙත්.
චීවර වර්‍ගය
5. 1. 1.
ප්‍රථමකඨිනශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුර ගෝතමක චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙති. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලද වෙයි. සවග මහණහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලදැ’යි අනිත් ම තුන් සිවුරකින් ගම් වදිති, අනිත් ම තුන් සිවුරකින් අරමෙහි හිඳිත්, අනිත් ම තුන් සිවුරකින් නහන තොටට බසිත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙත්: කිසෙයින් නම් සවග මහණහු අයිරා සිවුරු ධරත් දැ” යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට මේ පවත් සැළ කළහ ... “සැබෑද මහණෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ලැ? යි. භගවත්හු පුළුවුත්හ. සැබැව භාග්‍යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුහු ගැරහූහ: කිසෙයින් නම් තුච්ඡ පුරුෂයෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ද? තුච්ඡ පුරුෂයෙනි, තෙල නො පහනුන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යම් මහණෙක් තෙම අයිරා සිවුරක් ධරා නම් නිසැඟිපචිති වේ”ය යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.
[මුල් පැණවීමයි.]
2. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අතිරේක චීවරයෙක් උපන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේත් ඒ සිවුර ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තාහ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහ්නසේත් සාකේතයෙහි වාසය කෙරෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට මේ සිත විය. “භාග්‍යවතුන් විසින් අයිරිත් සිවුරක් නො දැරියයුතු ය යි සිකපද පනවන ලදි. මෙ ද මට උපන් අයිරිත් සිවුරෙක, මම ද මේ සිවුර ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තෙමි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේත් සාකේතයෙහි වාසය කෙරෙති. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “ආනන්‍දය, කිපමණ කලෙකින් ශාරිපුත්‍රයෝ එන්නාහු දැ?” යි පුළුවුත්හ. “භාග්‍යවතුන් වහන්ස, නව වැනි හෝ දස වැනි හෝ දවසැ” යි අනඳ තෙරණුවෝ කීහ. එකල්හි භාග්‍යවත්හු මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූහ: “මහණෙනි, දස දවසක් පරම කොට අයිරිත් සිවුරක් දරන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
“භික්‍ෂූහු විසින් කොට නිම වූ සිවුරු ඇති කල්හි කෙළින් උදුළ කල්හි දස දවසක් පරම කොට අයිරිත් සිවුර ධැරිය යුතු ය. ඒ දසාහ පරම කාලය ඉක්මවන්නාහට නිසැඟිපචිති වේ.”
[දෙවනපැණවීමයි.]
3. නිට්ඨිත චිවරස්‍මිං යනු භික්‍ෂූහුගේ චීවරය කරණ ලද හෝ වෙයි නටුයේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ සිවුරු ලැබීමේ ආශාව සිඳුනී හෝ වෙයි.
උබ්හතස්‍මිං කඨිනෙ යනු අට වැදෑරුම් මාතිකාවන් අතුරෙන් එක්තරා මාතිකායෙකින් උදුළේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරණ ලද වෙයි.
දසාහපරමං යනු දස දවසක් පරම කොට ඇති කාලය ධැරිය යුත්තේ ය.
අතිරේක චීවර නම්: නො ඉටන ලද නො විකපන ලද ය.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසිම් සිවුරෙක.
තං අතික්කාමයතෝ නිස්සග්ගියං හොති යනු එකොළොස් වැනි අරුණ නැගෙන සඳ නිසැගි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේ නිසැජිය යුතු ය: “ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. වහන්ස, මේ මාගේ සිවුර දස දවසක් ඉක්මෙන ලද නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි” යි නිසජා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර දිය යුතු: