යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ යි.
මේ වස්තූන් ශ්‍රමණ ගෞතමයෝ නො අනුදන්නාහ. අපි මේ වස්තූන් කරණ කොටගෙන ජනයා දන්වාලම්හ”යි. ඇවැත්නි, මේ පඤ්චවස්තූන් කරණ කොටගෙන මහණ ගොයුම්හට සඞ්ඝභේද කරන්නට චක්‍රභේද කරන්නට හැකියැ. ඇවැත්නි, යම් හෙයකින් මනුෂ්‍යයෝ රූක්‍ෂප්‍රසන්නයෝ ද එහෙයිනැ”යි.
2. ඉක්බිති දෙව්දත් තෙම පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව හිඳගත. එකත්පස් ව හුන් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේට මෙපවත් කී ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අල්පේච්ඡ බව සන්තුෂ්ට බව සල්ලේඛය ධූතගුණය ප්‍රසාදික බව අපචය වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු නොයෙක් අයුරින් අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතයට ප්‍රසාදික ගුණයට අපචයට වීර්‍ය්‍යාරම්භයට වැටෙත්.
“ස්වාමීනි, භික්‍ෂූහු යාවජීවයෙන් ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පාංශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපතිචීවර ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් වෘක්‍ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි. “කම් නැත දේවදත්තය, යමෙක් රිසියේ නම් ආරණ්‍යක වේවා, යමෙක් රිසියේ නම් ග්‍රාමාන්තයෙහි වාසය කෙරේවා. යමෙක් රිසියේ නම් පිණ්ඩපාතික වේවා. යමෙක් රිසියේ නම් නිමන්ත්‍රණ ඉවසාවා. යමෙක් රිසියේ නම් පාංශුකූලික වේවා. යමෙක් රිසියේ නම් ගැහැවිසිවුරු ඉවසාවා. දේවදත්තය, මා විසින් අටමසෙක්හි ම රුක්මුල් සෙනස්න අනුදන්නා ලද (තමා පිණිස) මරණු නො දක්නා ලද නොඅසන ලද සැක නොකරණ ලද ත්‍රිකෝටිපරිශුද්ධ වූ මත්ස්‍යමාංශය අනුදන්නා ලදැ”යි. එකල්හි දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ මේ පඤ්චවස්තූන් නො අනුදන්නාහ’යි. සතුටු වූයේ ඔදවැඩියේ පිරිස් සහිත ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට පැදකුණු කොට නික්ම ගියේ ය.
3. ඉක්බිති දෙව්දත් තෙම රජගහනුවර වැද පඤ්චවස්තුයෙන් ජනයා හඟවාලී ය: “ඇවැත්නි, අපි මහණගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් අයැදිම්හ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අල්පේච්ඡ බව පිළිබඳ ... යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නොවළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි. ශ්‍රමණගෞතමයෝ මේ වස්තූන් නො අනුදනිති. අපි මේ පඤ්චවස්තූන් සමාදන් ව වැටෙම්හ’යි. එහි යම් මිනිස් කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු නො පහන් වූවාහු දුර්බුද්ධි වූවාහු ද ඔහු මෙසේ කීහු: මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ ධූතගුණ ඇත්තාහ. කෙලෙස් තවන පැවැතුම් ඇත්තාහ. මහණ ගොයුම්හු වැළිත් බාහුලික පැවැතුම් ඇත්තාහු බහුලභාවයට සිතන්නාහ’යි. යම් මිනිස් කෙනෙක් සැදැහැ ඇත්තාහු, ප්‍රසන්න වූවාහු, පණ්ඩිත වූවාහු, බුද්ධිමත් වූවාහු වෙත් නම් ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති. කිසෙයින් නම් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සඞ්ඝභේදයට චක්‍රභේදයට උත්සාහ කරන්නේ දැ’යි.
4. භික්‍ෂූහු අවමන් කරණ, නුගුණ කියන, දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. අල්පේච්ඡ වූ යම් භික්‍ෂූ කෙනෙක් වෙත් නම් ඔහු “කෙසේ නම් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේට සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාය කරන්නේදැ”යි අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... “සැබෑවෙක් ද දේවදත්තය, තෝ සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස වෑයම් කෙරෙහි දැ”යි. “සැබෑව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්‍හා කළහ: කෙසේ නම් තෝ තුච්ඡපුරුෂය, සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස වෑයම් කෙළෙහි ද? තුච්ඡපුරුෂය, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. …තවද මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරේ නම් භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දැඩි ව ගෙණ සිටී නම් ඒ මහණ තෙම (සෙසු ලජ්ජී මහණුන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: “ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දැඩි ව ගෙණ නහමක් සිටුව, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා සමග එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ ඔවුනොවුන් හා සතුටු වූයේ විරුද්ධවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. මෙසේත් ඒ මහණ තෙම භික්‍ෂූන් කියනු ලබන්නේ එසේ ම් දැඩිව ගෙන සිටී නම් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් ඒ අධිකරණයාගේ දුරලීම පිණිස තෙවනවට දක්වා සමනුභාසන කම් කළ යුත්තේ ය, ඉදින් තෙවනවට දක්නා සමනුභාසන කම් කරණු ලබන්නේ ඒ අධිකරණය දුරලා නම් මේ දුරලීම මැනැවි. ඉදින් නොදුරලා නම් සඟවෙසෙස් වේ”ය යි.
5. යො පන යනු: යමෙක් යම්බඳු වූයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’යි අදහස් කරණ ලදී.
සමග්ග සඞ්ඝ නම්: සමාන සංවාසක වූයේ සමාන සීමායෙහි සිටියේ යි.
භේදාය පරක්කමෙය්‍ය යනු: කෙසේ නම් මොහු විවිධ වන්නාහු ද වෙන් වන්නාහු ද වර්‍ග වන්නාහු දැ යි පක්‍ෂයක් සොයයි ගණයා බඳියි.
භේදනසංවත්තනිකං වා අධිකරණං යනු: අටළොස් භේදකරවස්තූහු යි.
සමාදාය යනු: ගෙණ.
පග්ගය්හ යනු: දක්වන්නේ ය.
තිට්ඨෙය්‍ය යනු: නො දුර ලන්නේ ය.
සො භික්ඛු යනු: යමෙක් සඞ්ඝභේදක වේ නම් ඒ මහණ.
භික්ඛුහි යනු: අන්‍යභික්‍ෂූන් විසින්.
යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය: ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකර වස්තුවක් හෝ ගෙණ දක්වාගෙණ නහමක් සිට, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ සතුටු වූයේ විවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි.
ඒ මහණ තෙම සඟමැදට ද ඇදැ කිය යුත්තේ ය: ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දක්වාගෙණ නහමක් සිට, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ සතුටු වනුයේ විවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. ඉදින් හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ සෙසු භික්‍ෂූන් විසින් සමනුභාසන කම් කළයුත්තේ ය. තවද මහණෙනි, මෙසේ සමනුභාසන කම් කළ යුත්තේ ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ ඥාපනය කළ යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ බිඳීම පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැර පියයි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු ඒ වස්තුහුගේ දුරලීම පිණිස සමනුභාසනය කරන්නේ ය. මේ ‘ඤත්ති’ යැ.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැරපියයි. සඞ්ඝ තෙමේ ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහු සමනුභාසනය කෙරෙයි. ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය යම් ආයුෂ්මතක්හට රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
දෙවනවට ද මෙ කරුණ කියමි ...
තෙවනවට ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැරපියයි. සඞ්ඝ තෙමේ ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහු සමනුභාසන කෙරෙයි. ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය යම් ආයුෂ්මතක්හට රුස්නේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
සඞ්ඝයා විසින් ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණ තෙම සමනුභාසන කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුස්නේ වෙයි. එහෙයින් තූෂ්ණීම්භූත ය. මෙසේ තෙල තූෂ්ණීම්භාවය ධරමි”යි.
ඤත්තියෙන් දුකුළා වෙයි. දෙ කම්වදනකින් දෙ තුලැසියෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනාහට ඤත්තියෙන් වූ දුකුළාව ද දෙ කම්වදනින් වූ දෙ තුලැසි ද නවතිත්.
සඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු ‘සඞ්ඝාදිසේස’යි කියනු ලැබේ.
6. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි වෙමතික වූයේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වේ.
7. සමනුභාසන නො කරන්නහුට, හැරපියන්නහුට, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැත.
ප්‍රථම සඞ්ඝභේද ශික්‍ෂාපදය නිමි.
3. 11.
ද්විතීයසඞ්ඝභේදශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වාසය කෙරෙති. තවද එසමයෙහි දෙව්දත් තෙම සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස යතන කෙරෙයි. භික්‍ෂූහු මෙසේ කීහු: ‘දෙව්දත් අධර්‍මවාදී යැ, දෙව්දත් අවිනයවාදී යැ. කෙසේ නම් දෙව්දත් සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස යතන කෙරේ දැ’යි. මෙසේ කී කල්හි කටමොරකතිස්සක නම් කෝකාලික තෙමේ ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්ත තෙමේ ද ඒ භික්‍ෂූන්ට මෙසේ කීහු: ‘ආයුෂ්මත්නි, නහමක් මෙසේ කියවු, දෙව්දත් ධර්‍මවාදී යැ, දෙව්දත් විනයවාදී යැ, දෙව්දත් අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි. අපගේ (ඡන්‍දාදිය) දනී. (දැන) කියයි තෙල අපට ද රුචි වේ’ ය යි. යම් භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති: ‘කෙසේ නම් භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... ‘සැබෑව ද මහණෙනි, භික්‍ෂූහු සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු ද? අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ’යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ... ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ සඞ්ඝභේදය පිණිස යතන කරණ දෙව්දත්හට අනුවර්‍තක වූවාහු වර්‍ගවාදක වූවාහු වෙත් දැ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. ... තව ද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
“සඞ්ඝභේදය පිණිස යතන කරණ එ මැ මහණහට අනුවර්‍තක වූ වර්‍ගවාදක වූ භික්‍ෂූහු එකෙක් හෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ වෙත් ද ඔහු මෙසේ කියන්නාහු නම්: ඇවැත්නි, තෙල මහණහට කිසිවක් නොකියවු. තෙල මහණ ධර්‍මවාදී ය. තෙල මහණ විනයවාදී ය. අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි, අපගේ ඡන්‍දාදිය දනියි. අප සමග බෙණෙයි, තෙල අපට ද රිසි වේ” ය යි. ඒ භික්‍ෂූහු භික්‍ෂූන් විසින් මෙසේ කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. තෙල මහණ නො ද ධර්‍මවාදී ය, තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා, සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි. ඒ (අනුවර්‍තක) භික්‍ෂූහු භික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නාහු එසේමැ දැඩි කොට ගන්නාහු නම් ඒ භික්‍ෂූහු භික්‍ෂූන් විසින් ඒ ලබ්ධිය දුරලීම පිණිස තෙවන වට දක්වා සමනුභාසන කම් කළ යුත්තාහ. ඉදින් තෙවන වට දක්වා සමනුභාසන කම් කරණු ලබන්නාහු ඒ ලබ්ධිය හරණාහු නම් මේ දුරලීම මැනවි. ඉදින් නො හරණාහු නම් සඟවෙසෙස් වේ ය”යි.
2. තස්සේව ඛො පන යනු: ඒ සඞ්ඝභේදක මහණහට.
භික්ඛු හොන්ති යනු: අන් භික්‍ෂූහු වෙත්.
අනුවත්තකා යනු: යම් දෘෂ්ටි ඇත්තෙක් යම් ක්‍ෂාන්ති ඇත්තෙක් යම් රුචි ඇත්තෙක් වේ ද ඔහු ද, ඒ ලබ්ධි ඇත්තාහු ඒ ක්‍ෂාන්ති ඇත්තාහු ඒ රුචි ඇත්තාහු වෙත්.
වග්ගවාදකා යනු: ඔහුගේ ගුණ වැණීමට පක්‍ෂවෘද්ධිය පිණිස සිටියාහු වෙත්.
ඒකෝ වා ද්වෙ වා තයො වා යනු: එකෙක් හෝ වෙයි. දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ වෙත්. ඔහු මෙසේ කියන්නාහු ය: ‘ඇවැත්නි, තෙල මහණහට කිසිවක් නො කියවු, තෙල මහණ ධර්‍මවාදී ය, තෙල මහණ විනයවාදී ය, තෙල මහණ අපගේ ද ඡන්‍දයත් රුචියත් ගෙණ ව්‍යවහාර කෙරෙයි. අපගේ (ඡන්‍දාදිය) දනියි, අප සමග බෙණෙයි. තෙල අපට ද රුචි වේ’ යයි.
තෙ භික්ඛු යනු: යම් ඒ අනුවර්‍තක භික්‍ෂූහු.
භික්ඛූහි යනු: අන්‍ය භික්‍ෂූන් විසින් යම් කෙනෙක් දකිත් ද, යම් කෙනෙක් අසද් ද, ඔවුන් විසින් කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු, තෙල මහණ නො ද ධර්‍මවාදී ය. තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා, සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නොකරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි. දෙවන වට ද කියයුත්තාහ. තෙවන වට ද කියයුත්තාහ. ඉදින් දුරලත් නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුර ලත් නම් දුකුළාඇවැත් වේ. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි. ඒ භික්‍ෂූහු සඟමැදට ද ඇද කියයුත්තාහ: ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. තෙල මහණ නො ද ධර්‍මවාදී ය, තෙල මහණ නො ද විනයවාදී ය, ආයුෂ්මත්නට ද සඞ්ඝභේදය රුචි නො වේවා, ආයුෂ්මතුන්ගේ (සිත) සඞ්ඝයා සමග ඒකීභාවයට යේවා. සමග සඞ්ඝ තෙමේ සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකෝද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ය’යි දෙවන වට ද කියයුත්තාහ. තෙවන වට ද කියයුත්තාහ. ඉදින් දුර ලත් නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුර ලත් නම් දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු අන් මහණුන් විසින් සමනුභාසන කම් කළයුත්තාහ. තවද මහණෙනි, මෙසේත් සමනුභාසන කම් කළයුත්තාහ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සඞ්ඝභේදය පිණිස යතන කරණ මෙනම් මහණහට අනුවර්‍තකයහ, වර්‍ගවාදකයහ. ඔහු ඒ (භේදකර) වස්තුව නො හරිත්. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කරන්නේ ය. තෙල ‘ඤත්ති’ ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සඞ්ඝභේදය පිණිස යතන කරණ මෙනම් මහණහට අනුවර්‍තකයහ වර්‍ගවාදකයහ. ඔහු ඒ (භේදකර) වස්තුව නො හරිත්. සඞ්ඝ තෙමේ ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ඒ වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද මහණුන්ට සමනුභාසන කම් කිරීම රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හෙතෙම බණන්නේ ය. දෙවන වට ද මෙපවත් කියමි. ... තෙවන වට ද මෙපවත් කියමි. ...
සඞ්ඝයා විසින් ඒ (භේදකර) වස්තුව හරණ පිණිස මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූහු සමනුභාසන කර්‍ම කරණ ලදහ. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් මේ තූෂ්ණීම්භාව යි. තෙල මෙසේ ධරමි’ යි.
ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් තුලැසි දෙකෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වෙයි. සඟවෙසෙස් අවදනාවුනට ඤත්තියෙන් වූ දුකුළා ද දෙකම්වදනින් වූ දෙතුලැසිය ද නවතිත්. දෙතුන් දෙනෙක් එකට සමනුභාසන කම් කළයුත්තාහ. එයින් මත්තෙහි සමනුභාසන කම් නො කළයුත්තාහ.
සඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’ යි.
3. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය සංඥා ඇත්තාහු (ලබ්ධිය) නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තාහු නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු නො හරිත් නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු නො හරිත් නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තාහු ... දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තාහු ... දුකුළාඇවැත් වේ.
4. සමනුභාසන කම් නො කරණුවනට, හරණුවනට, උන්මත්තකයනට, නටසිත් ඇතියනට, වෙයින් පෙළෙනුවනට, ආදිකම්මිකයනට ඇවැත් නැති.
ද්විතීය සඞ්ඝභේද ශික්‍ෂාපදය නිමි.
3. 12.
දුර්‍වචශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙන සේක. තවද එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙම අනාචාර කෙරෙයි. භික්‍ෂූහු මෙසේ කීහ: ‘ඇවැත, ඡන්නය, මෙබන්දක් නො කරව, මේ නො කැප ය’ යි. හෙතෙම මෙසේ කියයි: ‘කිමෙක් ද ඇවැත්නි, තෙපි නම් මා කියයුත්තකු කොට සිතවු ද, මම නම් තොපට කියන්නෙම්. අපගේ බුදුහු, අපගේ දහම, අපගේ ආර්‍ය්‍යපුත්‍රයන් විසින් දහම අවබෝධ කරණ ලද ය. යම්සේ නම් මහසුළඟ හමන්නේ තණ වියලිදඬු පරණලා එක්රැස් කරන්නේ ද, තවද යම්සේ හෝ කන්දෙන් ගලාබස්නා නදිය සක් සෙවෙල් පිසඹුරු එක්රැස් කරන්නී ද, එසේ ම තෙපි නොයෙක් නම් ඇත්තහු නොයෙක් ගෝත්‍ර ඇත්තහු නොයෙක් ජාති ඇත්තහු නොයෙක් කුලයෙන් නික්ම පැවිදි වූවහු එක්රැස් වූවහු ය. කිමෙක් ද ඇවැත්නි, තෙපි නම් මා කියයුත්තකු කොට සිතවු ද, මම නම් තොපට කියන්නෙම්, අපගේ බුදුහු, අපගේ දහම, අපගේ ආර්‍ය්‍යපුත්‍රයන් විසින් දහම අවබෝධ කරණ ලදැ’ යි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වූහු ද ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙම භික්‍ෂූන් විසින් කරණු සහිත ව කියනු ලබන්නේ තමා නොකියයුත්තකු කෙළේ දැ’ යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... ‘සැබෑවෙක් ද ඡන්නය, තෝ භික්‍ෂූන් විසින් කරුණු සහිත ව කියනු ලබන්නෙහි තමා නො කියයුත්තකු කෙරෙහි දැ’ යි. “සැබෑව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ: කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ භික්‍ෂූන් විසින් කරුණු සහිත ව කියනු ලබන්නෙහි තමා නො කියයුත්තකු කෙරෙහි ද ... තුච්ඡපුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
“මහණ තෙම දුර්‍වචස්කස්වභාව ඇත්තේ වේ ද, ප්‍රාතිමෝක්‍ෂෝද්දේශයෙහි ඇතුළත් වූ ශික්‍ෂාපදයෙහි ලා (ලජ්ජි) භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ ‘ආයුෂ්මත්නි, මට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියවු. මම ද ආයුෂ්මත්නට කල්‍යාණ වූ හෝ ලාමක වූ කිසිවක් නො කියන්නෙමි. ආයුෂ්මත්නි, මට අවවාදයෙන් වෙන් වවු’යයි තමා නො කියයුත්තකු කෙරේ ද, ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා. ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා. ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා. භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවත්හුගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී ම’ යයි. මෙසේත් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ ම දැඩි කොට ගණී නම් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් ඒ ලබ්ධිය දුරැලීම පිණිස තුන්වනවට දක්වා සමනුභාසනය කළයුත්තේ ය. ඉදින් තුන්වනවට දක්වා සමනුභාසන කම් කරණු ලබන්නේ ඒ ලබ්ධිය හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවි. ඉදින් නො හැරපියා නම් සඟවෙසෙස් වේ” ය යි.
2. භික්ඛු පනෙව දුබ්බචජාතිකො හොති යනු: දුර්වචස්ක වූයේ දුර්වච කරණ ධර්‍මයන්ගෙන් සමන්‍විත වූයේ (අවවාදය) නො ඉවසන්නේ අනුශාසනය පැදකුණින් (අදර ඇති වැ) නො ගන්නේ වෙයි.
උද්දේසපරියාපන්තේසු ශික්ඛාපදෙසු යනු: ප්‍රාතිමෝක්‍ෂයෙහි ඇතුළත් වූ ශික්‍ෂාපදයන්හි.
භික්ඛූහි යනු: අන්‍ය භික්‍ෂූන් විසින්.
සහධම්මික නම්: භාග්‍යවතුන් විසින් පනවන ලද යම් ශික්‍ෂාපදයෙක් වේ ද තෙල සහධම්මික නමි. එයින් කියනු ලබන්නේ ‘ඇවැත්නි, මට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියවු, මම ද ආයුෂ්මත්නට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියන්නෙමි. ඇවැත්නි, මට අවවාද වචනයෙන් වෙන් වවු’ යයි.
සො භික්ඛු යනු: ඒ දුර්වච ස්වභාව ඇති මහණ තෙම.
භික්ඛූහි යනු: අන් මහණුන් විසින්, යම් කෙනෙක් දකිත් ද යම් කෙනෙක් අසත් ද ඔවුන් විසින් ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා, ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා, ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා, භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවතුන්ගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී මැ ය’යි කියයුත්තේ ය. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ තෙම සඟමැදට ද ඇද ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා, ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා, ආයුෂ්මත් තෙමේ ද භික්‍ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා, භික්‍ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවතුන්ගේ පර්‍ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී ම ය’ යි කියයුත්තේ ය. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ තෙම සමනුභාසනය කළ යුත්තේ ය. තවද මහණෙනි, මෙසේත් සමනුභාසනය කළයුත්තේ ය: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ තමා නො කියයුත්තකු කෙරෙයි. හෙතෙම ඒ වස්තුව නො හරියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙම ඒ වස්තුව හැරපියනු පිණිස මෙනම් මහණහට සමනුභාසන කම් කරන්නේ ය. තෙල ‘ඤත්ති’ය.
වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම භික්‍ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ තමා නො කියයුත්තකු කෙරෙයි. හෙතෙම ඒ වස්තුව නො හරියි. සඞ්ඝ තෙම ඒ වස්තුව හැරපියනු පිණිස මෙනම් මහණහට සමනුභාසන කම් කෙරෙයි, යම් ආයුෂ්මතක්හට ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය රුචි වේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නුරුස්නේ නම් හෙතෙම බණන්නේ ය.
දෙවනවට ද මෙපවත් කියමි ... තෙවනවට ද මෙපවත් කියමි. ... සඞ්ඝයා විසින් ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණ තෙම සමනුභාසනය කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තූෂ්ණීම්භාව යි. තෙල මෙසේ ධරමි’ යි.
ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දෙතුලැසියෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනුවහට ඤත්තියෙන් වූ දුකුළා ද දෙ කම්වදනින් වූ දෙ තුලැසි ද නවතිත්.
සඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’යි.
3. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ (ලබ්ධිය) නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ ... දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ … දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ ... දුකුළාඇවැත් වේ.
4. සමනුභාසන කම් නො කරණුවහට, හැරපියනුවහට, උන්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දුර්‍වචශික්‍ෂාපදය නිමි.
3. 13.
කුලදූසකශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. තවද එසමයෙහි අස්සජී ය පුනබ්බසුක ය යන නම් ඇති අලජ්ජී වූ පාපභික්‍ෂූහු කීටාගිරි දනව්වෙහි ආවාසික වෙති. ඔහු මෙබඳු අනාචාර කෙරෙති: මල්ගස් (තුමූද) රෝපණය කෙරෙති, (මෙරමා ලවා ද) රෝපණය කරවති. දිය ඉසිති, දිය ඉස්වති. නෙලති, නෙලවති. ගොතති, ගොතවති. එක්පසැ නටු ඇති මාලා කෙරෙති. කරවති. දෙපසැ නටු ඇති මාලා කෙරෙති, කරවති. මල්කලප් කෙරෙති, කරවති. හිදින් විද කළ මල්දම් කෙරෙති, කරවති. මල්සුඹුළු කෙරෙති, කරවති. මල් කැරලි කෙරෙති, කරවති. උරසැද කෙරෙති, කරවති. ඔහු කුලස්ත්‍රීන්ට, කුලදූන්ට, කුලකුමරියන්ට, කුලසුණිසාවන්ට, කුලදාසීන්ට එක්පස නටු ඇති මාලා ගෙණ යෙති, යවති. දෙපස නටු ඇති මාලා ගෙණ යෙති, යවති. මල් සුඹුළු ගෙණ යෙති, යවති. මල්කැරලි ගෙණ යෙති, යවති. උරසැද ගෙණ යෙති, යවති. ඔහු කුලස්ත්‍රීන් කුලදූන් කුලකුමාරීන් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි ද බුදිති -
එක් තලියෙහි දු බොති. එක් අසුනෙහි දු හිඳිති. එක් ඇඳෙහි දු හොවිති. එක්තිලි ඇති ව හොවිති. එක් පොරෝණ ඇති ව ද හොවිති. එක්තිලිපොරෝණ ඇති ව ද හොවිති. නො කල්හි දු වළඳති. මත්පැන් ද බොති. මල්ගඳ විලවුනු දු දරති, නටති, ගයති, වයති. ලාස්‍ය නැටුම් නටති. නිළිය නටන කල්හි දු නටති. නටන කල්හි දු ගයති. නටන කල්හි දු වයති. නටන කල්හි දු ලාස්‍ය කෙරෙති. ගයන කල්හි දු නටති. ගයන කල්හි දු ගයති. ගයන කල්හි දු වයති. ගයන කල්හි දු ලාස්‍ය කෙරෙති. වයන කල්හි දු නටති. වයන කල්හි දු ගයති. වයන කල්හි දු වයති. වයන කල්හි දු ලාස්‍ය කෙරෙති. ලාස්‍ය කරණ කල්හි දු නටති. ලාස්‍ය කරණ කල්හි දු ලාස්‍ය කෙරෙති. අටපද දූපෝරුයෙහි දු කෙළිති. දශපද දූපෝරුයෙහි දු කෙළිති. දූපෝරුයෙහි සෙයින් අහස්හි දු කෙළිති. හිරිමඬලෙහි දු කෙළිති. නියෙන් කැට ඈත් මෑත් කොට ද කෙළිති. පසැටිනු දු කෙළිති. සිංකෙළියෙනු දු (කල්ලි) කෙළිති. ලහඅතිනු දු කෙළිති. ලාවටිනු දු කෙළිති. පත්නලිනු දු කෙළිති. කුඩානඟුලිනු දු කෙළිති. කරණම් පැනීමෙනු දු කෙළිති. කන්නන්ගුරුවා ඉදි කොට කෙළිති. පත්නැලියෙනු දු කෙළිති. කුඩා රියෙනු දු කෙළිති. කුඩා දුන්නෙනු ද කෙළිති. අකුරුකෙළියෙනු ද කෙළිති. මනෙසිකායෙනු (සිතූ දෙය කීමෙන්) දු කෙළිති. යථාවද්‍යායෙනු දු (සිරුර දොස් ඇති සැටි දක්වමින්) කෙළිති. හස්තිශිල්පයෙහි දු හික්මෙති. අශ්වශිල්පයෙහි දු හික්මෙති. රථශිල්පයෙහි දු හික්මෙති. ධනුශිල්පයෙහි දු හික්මෙති. ඛඩ්ගශිල්පයෙහි දු හික්මෙති. ඇතු පෙරටුයෙහි ද දුවති. අසු පෙරටුයෙහි ද දුවති. රිය පෙරටුයෙහි ද දුවති. පසුපසට දුවති. පෙරට ද දුවති. ප්‍රීතිනාද ද කෙරෙති. අත්පොළසන් ද දෙති. මල්ලව පොර ද කෙරෙති. මිටු පොර ද කෙරෙති. රඟමඬල මැද සඟළ අතුරා නිළියට ‘නැගනියනි මෙහි නටව’යි මෙසේ කියති. නළලෙහි අත ද තබති. විවිධ අනාචාර ද කෙරෙත්.
2. තවද එසමයෙහි එක්තරා මහණෙක් කාසිජනපදයෙහි වස් විසූයේ බුදුරදුන් දක්නා පිණිස සැවැත්නුවරට යන්නේ කීටාගිරිය යම් තැනෙක්හි ද එතැනට පැමිණියේ ය. ඉක්බිති ඒ මහණ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ප්‍රසාද එළවන ගමනින් නැවැත්මෙන් ඉදිරි බැල්මෙන් අවට බැල්මෙන් අත්පා හැකුළුමින් දිග හැරීමෙන් (යුතුව) යට හෙළූ ඇස් ඇත්තේ පිරිපුන් ඉරියව් ඇත්තේ කීටාගිරියට පිඬු පිණිස පිවිසියේ ය. මිනිස්සු ඒ මහණ දැක මෙසේ කීහ: ඉතා දුබලයකු මෙන් ඉතා සණ්හයකු මෙන් ඉතා හැකුළූ මුහුණු ඇත්තකු මෙන් මේ කවරෙක් ද? මොහු ගෙදොරට පැමිණියහුට කවරෙක් පිණ්ඩපාතයකු දු දෙයි ද? අපගේ ස්වාමීහු අස්සජීපුනබ්බසුකයෝ වැළිත් නිපුණයෝ ය. සඛිලයෝ ය, සුව එළවන කථා ඇත්තාහු ය, සිනහ පෙරටු කොට කථා කරන්නාහු ය, ‘එව සුවදැ’යි කියන්නාහු ය, නො හැකුළූ බැම ඇත්තාහු ය, නැඟූ මුව ඇත්තාහු ය, පළමු කථා කරන්නාහු ය. ඔවුනට නම් පිඬු දිය යුත්තේ දැ’යි. එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන ඒ මහණ දුටුයේ ය. දැක ඒ මහණහු කරා එළඹ ඒ මහණහු වැඳ මේ කී ය. ‘වහන්ස, පිඬු ලැබුණේ දැ? යි. ඇවැත්නි, පිඬු නො ලැබිණැ’යි. එව වහන්ස, ගෙට යම්හ’යි.
3. ඉක්බිති ඒ උපාසක තෙම ඒ මහණ ගෙට පමුණුවා වළඳවා මෙපවත් කී ය: වහන්ස, ‘ස්වාමීහු කොහි යෙත් දැ’යි. ‘ඇවැත්නි, මම භාග්‍යවතුන් දක්නා පිණිස සැවැතට යෙමි’යි. එසේ වී නම් වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන්ගේ පාසඟළු උතුමගින් වඳිනු මැනැවැ. මෙසේත් කියුව මැනැවැ: ‘වහන්ස, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. අස්සජි ය පුනබ්බසුක ය යන අලජ්ජී වූ පාපභික්‍ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ ය. ඔහු මෙබඳු අනාචාරයෙහි හැසිරෙත්: (තුමූ ද) මල්ගස් රෝපණය කෙරෙති. (මෙරමා ලවා ද) රෝපණය කරවති. ... විවිධ වූත් නො කටයුතු කෙරෙත්. වහන්ස, පෙර යම් මිනිස් කෙනෙකුත් ශ්‍රද්ධා ඇත්තාහු ප්‍රසන්නයෝ වූහු ද ඔහුත් මෙකල ශ්‍රද්ධා නැත්තාහු අප්‍රසන්නයෝ ය. පෙර සඞ්ඝයාට යම් දන්වැට කෙනෙකුත් වූහු නම් ඔහුත් මෙකල සිඳුනාහු ය. පේශල භික්‍ෂූහු වෙන් ව යෙති. පාපභික්‍ෂූහු නිවසත්. වහන්ස, භාග්‍යවත්හු යම්සේ මේ කීටාගිරියෙහි ආවාසය මැනැවින් පිහිටා නම් එසෙයින් කීටාගිරියට වහන්දෑ කෙනකුන් යවන්නාහු නම් මැනැවැ’යි.
4. ‘එසේ ය ඇවැත්නි’යි ඒ මහණ තෙම ඒ උවසුහට පිළිවදන් දී සැවැතට නික්ම ගියේ ය. අනුක්‍රමයෙන් සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම යම් තැනෙක්හි ද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැන්හි එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. ආගන්තුක භික්‍ෂූන් සමග සතුටු සාමීචිකථා කිරීම යන මෙය භාග්‍යවත් බුදුවරුන් විසින් පුරුදු කරණ ලද්දේ ම ය. ඉක්බිති භාග්‍යවත්හු ඒ මහණහට මෙය වදාළ සේක. “කිමෙක් ද මහණ ඉවසිය හැකි ද? යැපිය හැකි ද? නො වෙහෙසින් මඟ ආයෙහි ද? මහණ තෝ කොහි සිට ආයෙහි දැ”යි. භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැක්ක. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක. ස්වාමීනි, මම් නො වෙහෙසින් මඟ ආයෙමි.
5. ස්වාමීනි, මම් මෙහි කසීජනපදයෙහි වැස නිමවූ වස් ඇත්තෙම් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැත්නුවරට එන්නෙම් කීටාගිරිය යම් තැනෙක්හි ද එහි පිවිසියෙමි. ස්වාමීනි, එකල්හි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ කීටාගිරියට පිඬු පිණිස පිවිසියෙමි. ස්වාමීනි, එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන මා දුටුයේ ය. දැක මා වෙත එළඹ වැඳ මෙපවත් කී ය: ‘වහන්ස, පිණ්ඩපාතය ලැබුණේ දැ’යි. ‘ඇවැත්නි, පිඬු නො ලැබිනැ’යි. ‘එව වහන්ස, ගෙය යම්හ’යි. ස්වාමීනි, ඉක්බිති ඒ උපාසක තෙම මා ගෙට පමුණුවා වළඳවා මෙය කී ය: ‘වහන්ස, ස්වාමීහු කොහි යන්නහු දැ’යි. ‘ඇවැත්නි, මම් භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා සැවැත්නුවරට යන්නෙමි’යි. වහන්ස, එසේ වී නම් මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළුවන් උතුමගින් වඳිනු මැනව, මෙසේත් කියනු මැනව. ‘ස්වාමීනි, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. කීටාගිරියෙහි අස්සජිපුනබ්බසුක නම් වූ ආවාසිකයෝ අලජ්ජිහු ය, පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙති. මල්ගස් රෝපණය ද කෙරෙති, රෝපණය ද කරවති ... විවිධ වූ අනාචාරයෙහි ද හැසිරෙත්. ස්වාමීනි, යම් මනුෂ්‍ය කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු ප්‍රසන්නයෝ වූහු නම් ඔහු දු මෙකල්හි ශ්‍රද්ධා රහිතයෝ ය. අප්‍රසන්නයෝ ය. පෙර සඟනට යම් දන්වැට කෙනෙක් වූවාහු නම් ඔහු දු මෙකල්හි සිඳුනාහු ය. සුපේශල භික්‍ෂූහු නික්ම යෙති. පාපභික්‍ෂූහු වාසය කෙරෙති ය’යි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ කීටාගිරියෙහි මේ ආවාසය පවත්නේ ද එපරිද්දෙන් කීටාගිරියට භික්‍ෂූන් එවනසේක් නම් මැනැවැ”යි. ‘භාග්‍යවතුන් වහන්ස, මම් එහි සිට එමි’යි.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා භික්‍ෂූසඞ්ඝයා රැස් කරවා භික්‍ෂූන් විචාළ සේක. සැබෑවෙක් ද මහණෙනි, කීටාගිරියෙහි අස්සජි - පුනබ්බසුක නම් වූ ආවාසිකයෝ අලජ්ජීහු ය, පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙති. මල්ගස් රෝපණය ද කෙරෙති, රෝපණය ද කරවති ... විවිධ අනාචාරයෙහි දු හැසිරෙති. පෙර සැදැහැති පහන් වූ යම් මිනිස් කෙනෙක් වූහු නම් ඔහු දු දැන් සැදැහැ නැත්තාහු ය, නො පහන් වූවාහු ය. සඟනට පෙර යම් දන්වැට කෙනෙක් වූහු නම් ඔහු දු දැන් සිඳුනාහු ය. පේශල භික්‍ෂූහු නික්ම යෙති පාපභික්‍ෂූහු වාසය කෙරෙත් ය’යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ගැරහූ සේක:
7. මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ කෙසේ නම් මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙත් ද, මල්ගස් රෝපණය කෙරෙත් ද, රෝපණය කරවත් ද, දිය ඉසිත් ද ඉස්වත් ද, නෙලත් ද නෙලවත් ද, ගොතත් ද ගොතවත් ද, එක්පසැ නටු ඇති මාලා කෙරෙත් ද කරවත් ද, දෙපසැ නටු ඇති මාලා කෙරෙත් ද කරවත් ද, මල්කලප් කෙරෙත් ද කරවත් ද, හිදින් විද කළ මල්දම් කෙරෙත් ද කරවත් ද, මල්සුඹුළු කෙරෙත් ද කරවත් ද, මල්කැරලි කෙරෙත් ද කරවත් ද, උරසැද කෙරෙත් ද කරවත් ද, ඔහු කුලස්ත්‍රීන්ට කුලධීතෘන්ට කුලකුමරියන්ට කුලසුණිසාවන්ට කුලදාසීන්ට එක්පසැ නටු ඇති මාලා ගෙණ යෙත් ද යවත් ද, දෙපසැ නටු ඇති මාලා ගෙණ යෙත් ද යවත් ද, මල්කලප් ගෙණ යෙත් ද යවත් ද, හිදින් විද කළ මල්දම් ගෙණ යෙත් ද යවත් ද, මල්සුඹුළු ගෙණ යෙත් ද යවත් ද, මල්කරැලි ගෙණ යෙත් ද යවත් ද, උරසැද ගෙණ යෙත් ද යවත් ද, ඔහු කුලස්ත්‍රීන් කුලධීතෘන් කුලකුමාරීන් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි වළඳත් ද, එක් තලියෙහි බොත් ද, එක් අසුනෙහි හිඳිත් ද, එක් ඇඳෙහි හොවිත් ද, එක් අතුරුණු ඇති ව හොවිත් ද, එක් පොරෝණ ඇති ව හොවිත් ද, එක් අතුරුණු පොරෝණ ඇති ව හොවිත් ද, නො කල්හි වළඳත් ද, මත්පැනු දු බොත් ද, මල්ගඳවිලෙවුනු දු දරත් ද, නටත් ද, ගයත් ද, වයත් ද, ලාස්‍ය නැටුම් කෙරෙත් ද, (නිළිය) නටන කල්හි නටත් ද, නටන කල්හි ගයත් ද, නටන කල්හි වයත් ද, නටන කල්හි ලාස්‍ය කෙරෙත් ද, ගයන කල්හි දු නටත් ද, ගයන කල්හි ගයත් ද, ගයන කල්හි වයත් ද, ගයන කල්හි දු ලාස්‍ය කෙරෙත් ද, වයන කල්හි දු නටත් ද වයන කල්හි දු ගයත් ද වයන කල්හි වයත් ද, වයන කල්හි ලාස්‍ය කෙරෙත් ද, ලාස්‍ය කරණ කල්හි දු නටත් ද, ලාස්‍ය කරණ කල්හි දු ගයත් ද, ලාස්‍ය කරණ කල්හි වයත් ද, ලාස්‍ය කරණ කල්හි ලාස්‍ය කෙරෙත් ද, අටපද පෝරුයෙහි කෙළිත් ද, දසපද පෝරුයෙහි කෙළිත් ද, පෝරුයෙහි සෙයින් අහස් හි කෙළිත් ද, පාරිමඬලෙහි කෙළිත් ද, නියෙන් කැට ඈත් මෑත් කොට කෙළිත් ද, පසැටිනුදු කෙළිත් ද, සිංකෙළි කෙළිත් ද, ලහ අතිනු දු කෙළිත් ද, ලාවටිනු දු කෙළිත් ද, පත්නලිනු දු කෙළිත් ද, කුඩා නඟුලිනු දු කෙළිත් ද, කරණම් පැනීමෙනු දු කෙළිත් ද, කන්නන්ගුරුවා ඉදිකොට කෙළිත් ද, පත්නැලියෙනු දු කෙළිත් ද, කුඩාරියෙනු දු කෙළිත් ද, කුඩාදුන්නෙනු දු කෙළිත් ද, අකුරුකෙළියෙනු දු කෙළිත් ද, මනෙසිකායෙනු දු කෙළිත් ද, යථාවද්‍යයෙනු දු කෙළිත් ද, හස්තිශිල්පයෙහි දු හික්මෙත් ද, අශ්වශිල්පයෙහි දු හික්මෙත් ද, රථශිල්පයෙහි දු හික්මෙත් ද, ධනුශ්ශිල්පයෙහි දු හික්මෙත් ද, ඛඞ්ගශිල්පයෙහි දු හික්මෙත් ද, ඇතු පෙරටුයෙහි දු දිවෙත් ද, අසුපෙරටුයෙහි දු දිවෙත් ද, රියපෙරටුයෙහි දු දිවෙත් ද, පසුපසට ද දිවෙත් ද, පෙරටද දිවෙත් ද, ප්‍රීතිනාද කෙරෙත් ද, අපොළත් ද, මල්ලවපොර දු කෙරෙත් ද, මිටුපොර දු කෙරෙත් ද, රඟමඬල මැද සඟළ අතුරා නිළියට ‘නැගනියනි, මෙහි නටව’යි මෙසේ කියත් ද, නළලෙහි ඇඟිලි තබත් ද, විවිධ අනාචාරයෙහි හැසිරෙත් ද?”
8. මහණෙනි, තෙල නො පහනුන්ගේ පැහැදීමට හෝ නො වෙයි. ... ගරහා දැහැමි කථා වදාරා සැරියුත් මුගලන් තෙරුන් ඇමතූ සේක. ‘ශාරීපුත්‍රයෙනි, තෙපි කීටාගිරියට යවු. ගොස් අස්සජීපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් (නෙරනු සඳහා) පබ්බාජනීයකර්‍මය කරවු. තුලුහු තොපගේ සද්ධිවිහාරිකයෝ ය’යි. ස්වාමීනි, අපි අස්සජීපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනිය කර්‍මය කෙසේ කරමෝ ද ඒ භික්‍ෂූහු චණ්ඩයෝ ය පරුෂයෝ ය යි. ‘එසේ වී නම් ශාරීපුත්‍රයෙනි, තෙපි බොහෝ භික්‍ෂූන් සමග යව’යි. ‘එසේ ය ස්වාමීනි’යි, සැරියුත්මුගලන් තෙරහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
9. තවද මහණෙනි, මෙසේ කළයුතු ය: පළමු කොට අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු චෝදනා කටයුත්තාහු ය. චෝදනා කොට සාරණය කටයුත්තාහු ය. සාරණය කොට ඇවැත් රෝපණය කළ යුත්තාහු ය. ඇවැත් රෝපණය කොට ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝ තෙමේ ඥාපනය කළයුත්තේ ය.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ අස්සජීපුනබ්බසුක භික්‍ෂූහු කුලදූෂකයෝ ය පාපසමාචාර ඇත්තාහු ය. මොවුන්ගේ ලාමක වූ සමාචාරයෝ දක්නට ද ලැබෙත් අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝත් දක්නට ද ලැබෙත් අසනු ද ලැබෙත්. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ අස්සජීපුනබ්බසුක භික්‍ෂූන්ට ‘අස්සජීපුනබ්බසුක භික්‍ෂූන් විසින් කීටාගිරියෙහි නො විසිය යුතු ය’යි කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කරන්නේ ය. තෙල ‘ඤත්ති’ ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු කුලදූෂකයෝ ය. පාපසමාචාරයෝ ය. මොවුන්ගේ ලාමක වූ සමාචාරයෝ දක්නට ද ලැබෙත්. අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝත් දක්නට ද ලැබෙත්. අසනු ද ලැබෙත්. සඞ්ඝ තෙමේ ‘අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් විසින් කීටාගිරියෙහි නො විසියයුතුය’යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ‘අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් විසින් කීටාගිරියෙහි නො විසිය යුතු ය’යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කිරීම රිසි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ බණන්නේ ය:
දෙවනවට ද මෙකරුණ කියමි ... තෙවනවට ද මෙකරුණ කියමි ... සඞ්ඝයා විසින් අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් විසින් කීටාගිරියෙහි නො විසියයුතු ය’ යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කරණ ලද. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. තෙල තූෂ්ණීම්භාවය මෙසේ ධරමි” යි.
10. ඉක්බිති ශාරීපුත්‍ර මෞද්ගල්‍යායන ප්‍රමුඛ භික්‍ෂූසඞ්ඝ තෙමේ කීටාගිරියට ගොස් ‘අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් කීටාගිරියෙහි නො විසියයුතු ය’යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්‍මය කෙළේ ය. ඔහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්‍මය කරණ ලද්දාහු මනාකොට නොපවතිති. (භික්‍ෂූන්ට) යටත් ව නො පවතිති. නිස්තරණවතෙහි නො පවතිති. භික්‍ෂූන් කමා නොකරවති. ආක්‍රෝශ කෙරෙති. පරිභව බෙණෙති: ඡන්‍දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවති. පලායෙති ගිහි දු වෙත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ ද ඔහු අවමන් කෙරෙති, අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්‍මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද යටත් නො වෙත් ද, නිස්තරණවතෙහි නො පවතිත් ද, භික්‍ෂූන් ක්‍ෂමා නො කරවත් ද, ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව බෙණෙත් ද, ඡන්‍දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවත් ද පලායෙත් ද ගිහි වෙත් දැ’යි.
11. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... සැබවෙක් ද මහණෙනි, අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්‍මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද ... ගිහි වෙත් දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. ... කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ සඞ්ඝයා විසින් පබ්බාජනියකර්‍මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද යටත් ව නො පවතිත් ද නිස්තරණ වතෙහි නො පිහිටත් ද භික්‍ෂූන් ක්‍ෂමා නො කරවත් ද ආක්‍රෝශ කෙරෙත් ද පරිභව බෙණෙත් ද ඡන්‍දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවත් ද පලායෙත් ද ගිහි වෙත් දැ’යි. මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
“මහණ තෙම කුලදූෂණය කරන්නේ ලාමක සමාචාර ඇත්තේ එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වෙසේ නම්, ඔහුගේ ලාමක සමාචාරයෝ දක්නා ලැබෙත් නම් අසනු ලැබෙත් නම්, ඔහු දූෂිත කුලයෝ ද දක්නා ලැබෙත් නම් අසනු ලැබෙත් නම් ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ආයුෂ්මත් තෙම කුලදූෂකයෙහි ලාමක සමාචාර ඇත්තෙහි ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක සමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත කුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ අවසින් නික්ම යේවා තාගේ මෙහි විසීමෙන් කම් නැතැ’යි මෙසේත් ඒ මහණ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ ඒ භික්‍ෂූන්ට මෙසේ කියන්නේ නම්: භික්‍ෂූහු ඡන්‍දගාමීහු ද වෙති. භික්‍ෂූහු දෝසගාමීහු ද වෙති. භික්‍ෂූහු මෝහගාමීහු ද වෙති. භික්‍ෂූහු භයගාමීහු ද වෙත්. එබඳු ඇවැතින් ඇතැමකු නෙරති, ඇතැමකු නො නෙරති’යි. ඒ මහණ තෙම භික්‍ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ඇවැත්නි, නහමක් මෙසේ කියව. භික්‍ෂූහු නො ද ඡන්‍දගාමීහු ය, භික්‍ෂූහු නො ද දෝසගාමීහු ය, භික්‍ෂූහු නො ද මෝහගාමීහු ය, භික්‍ෂූහු නො ද භයගාමීහු ය, ආයුෂ්මත් තෙම වැළිත් කුලදූෂක ය, ලාමක සමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක සමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිතකුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ අවසින් නික්ම යේවා තාගේ මෙහි විසීමෙන් කම් නැතැ’යි. මෙසේත් ඒ මහණ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ ම දැඩි ව ගෙණ සිටී නම් ඒ මහණ භික්‍ෂූන් විසින් ඒ වස්තුහුගේ දුරැලීම පිණිස තෙවනවට දක්වා සමනුභාසන කම් කළ යුත්තේ ය. ඉදින් තෙවනවට දක්වා සමනුභාසනය කරනු ලබන්නේ ඒ වස්තුව හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවැ. ඉදින් නො හැරපියා නම් සඟවෙසෙස් වේ ය” යි.
12. භික්ඛු පනෙව අඤ්ඤතරං ගාමං වා නිගමං වා යනු: ගමුදු නිගමුදු නුවරුදු ගාම ද නිගම ද වෙයි.
උපනිස්සාය විහරති යනු: චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරයෝ ඇත් ද එහි පිළිබඳ වූවාහු වෙත්.
කුල නම්: ක්‍ෂත්‍රියකුල ය, බ්‍රාහ්මණකුල ය, වෛශ්‍යකුල ය ශුද්‍රකුල ය යි කුල සතරෙකි.
කුලදූසකො යනු: මලින් හෝ පෙලෙන් හෝ සුණුයෙන් හෝ මැටියෙන් හෝ දැහැටිදඬුයෙන් හෝ හුණදඬුයෙන් හෝ වෙදකමින් හෝ හසුන්පත් ගෙණ යෑමෙන් හෝ කුලයන් දූෂණය කෙරෙයි.
පාපසමාචාරො යනු: මල්ගස් රෝපණය කෙරේ ද, රෝපණය කරවා ද, දිය ඉසී ද ඉස්වා ද, මල් නෙලා ද නෙළවා ද, මල් ගොතා ද ගොතවා ද -පෙ-
දිස්සන්ති චෙව සුය්‍යන්ති ච යනු: යම් කෙනෙක් හමූ වූවා හු නම් ඔහු දකිත්. යම් කෙනෙකු මුවහ වූවාහු නම් ඔහු අසත්.
කුලානි ච තෙන දුට්ඨානි යනු: පෙර සැදැහැති ව සිට ඔහු කරා පැමිණ සැදැහැ නැත්තාහු වෙති. පහන් ව සිට නො පහන් වූවාහු වෙත්.
දිස්සන්ති චෙව සුය්‍යන්ති ච යනු: යම් කෙනෙක් හමු වූවාහු නම් ඔහු දකිත්. යම් කෙනෙක් මුවහ වූවාහු නම් ඔහු අසත්.
සො භික්ඛු යනු: යම් කුලදූෂක මහණෙක් වේ ද හෙතෙමේ යි.
භික්ඛූහි යනු: අන්‍යභික්‍ෂූන් විසින් ය. යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය. ‘ආයුෂ්මත් තෙම කුලදූෂක ය පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ ලාමකසමාචාරයෝ දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත් ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා තා මෙහි විසීමෙන් කම් නැතැ’යි. මෙසේත් ඒ මහණ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ ඒ භික්‍ෂූන්ට මෙසේ කියා නම් “භික්‍ෂූහු ඡන්‍දගාමීහු ද වෙති. භික්‍ෂූහු ද්වේෂගාමීහු ද වෙති. භික්‍ෂූහු මෝහගාමීහු ද වෙති. භික්‍ෂූහු භයගාමීහු ද වෙති. එබඳු ඇවැතින් ඇතැමෙකු නෙරපති, ඇතැමකු නො නෙරපත්”යයි.
සො භික්ඛු යනු: යම් කර්‍මකෘත වූ මහණෙක් වේ ද (හෙතෙමේයි).
භික්ඛූහි යනු: අන්‍යභික්‍ෂූන් විසින්, යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය. ‘ආයුෂ්මත් තෙම මෙසේ නහමක් කියාවා. භික්‍ෂූහු නො ද ඡන්‍දගාමීහු ය. භික්‍ෂූහු නො ද ද්වේෂගාමීහු ය, භික්‍ෂූහු නො ද මෝහගාමීහු ය, භික්‍ෂූහු නො ද භයගාමීහු ය. ආයුෂ්මත් තෙම වනාහි කුලදූෂක ය, පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක වූ සමාචාරයෝ දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා. තා මෙහි විසීමෙන් කම් නැතැ”යි. දෙවනුව ද කියයුත්තේ ය, තෙවනුව ද කියයුත්තේ යි. ඉදින් දුරලයි නම් මේ දුරැලීම මැනැවි. ඉදින් නො දුරලයි නම් දුකුළාඇවැත් වේ. අසා නො කියත් නම් දුකුළාඇවැත් වේ. එ මහණතෙම සඟමැදට ද ඇද කියයුත්තේ ය. ආයුෂ්මත් තෙම නහමක් මෙසේ කියාවා. භික්‍ෂූහු නො ද ඡන්‍දගාමීහු ය. භික්‍ෂූහු නො ද ද්වේෂගාමීහු ය. භික්‍ෂූහු නො ද මෝහගාමීහු ය. භික්‍ෂූහු නො ද භයගාමීහු ය. ආයුෂ්මත් තෙම වනාහි කුලදූෂක ය. පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් පාපසමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා. තා මෙහි විසීමෙන් කම් නැතැ’යි.
දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් දුරලා නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුරලා නම් දුකුළාඇවැත් වේ. ඒ මහණ තෙම සමනුභාසන කම් කළයුත්තේ යි. මෙසේත් මහණෙනි, සමනුභාසන කම් කළයුත්තේ යි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරනලදුයේ භික්‍ෂූන් ඡන්‍දගාමී බවට ද්වේෂගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවයි. හෙතෙම ඒ වස්තුව නො දුරලයි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් මහණහට සමනුභාසන කර්‍ම කරන්නේ ය. තෙල ඤත්ති යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්‍මය කරණලදුයේ භික්‍ෂූන් ඡන්‍දගාමී බවට ද්වේෂගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවයි. හෙතෙම ඒ වස්තුව නො දුරලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාසන කර්‍ම කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාසනය රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රැස්නේ නම් හෙතෙම බණන්නේ යි.
දෙවනවට ද මෙපවත් කියමි. ... තෙවනවට ද මෙපවත් කියමි. ... සඞ්ඝයා විසින් මෙනම් මහණ තෙම ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාසනය කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුස්නේ ය. එහෙයින් මේ තූෂ්ණීම්භාවය යි. මෙය මෙසේ ධරමි”යි.