64. සපරිදණ්ඩාවක් “වහන්ස, යනු මැනව. ‘මෙනම් ඇත්තහුට ධනක්කීතා ද, ඡන්‍දවාසිනී ද, භෝගවාසිනී ද, පටවාසිනී ද, ඔදපත්තකිනී ද, ඕහටචුම්බටා ද, දාසීභරියා ද, කම්මකාරී භරියා ද, ධජාහටා ද, මුහුත්තිකා ද භාර්‍ය්‍යා වෙමි’ යි මෙනම් ඇත්තහුට කියනු මැනව” යි මහණකු මෙහෙයා ද එ මහණ එය පිළිගණී ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
සපරිදණ්ඩා චක්‍රය යි.
චක්කපෙය්‍යාලය හැම නිමි.
65. පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ. පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු නොම ගෙණ එයි ද ථුලැසිඇවැත් වේ. පිළිගණියි ද, නොවිමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, ථුලැසිඇවැත් වේ. පිළිගණියි ද, නො විමසයි ද, පිළිතුරු නොම ගෙණ එයි ද, දුකුළාඇවැත් වේ. නො පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, ථුලැසිඇවැත් වේ. නො පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු නොම ගෙණ එයි ද, දුකුළාඇවැත් වේ. නො පිළිගණියි ද, නො විමසයි ද, පිළිතුරු නොම ගෙණ එයි ද, ඇවැත් නොවේ.
66. පුරුෂයෙක් “වහන්ස, යන්න. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි බොහෝ මහණුන් අණවයි, සියල්ලෝ ම පිළිගණිත් ද, සියල්ලෝ ම විමසත් ද, සියල්ලෝ ම පිළිතුරු ගෙන එත් ද, සියල්ලන්ට ම සඟවෙසෙස්ඇවැත් වේ.
67. පුරුෂයෙක් “වහන්ස, යන්න, මෙනම් ස්ත්‍රිය විමසන්න”යි බොහෝ මහණුන් අණවයි, සියල්ලෝ ම පිළිගණිත් ද, සියල්ලෝ ම විමසත් ද, එක් මහණකු ලවා පිළිතුරු එළවත් ද, සියල්ලන්ට ම සඟවෙසෙස්ඇවැත් වේ.
68. පුරුෂයෙක් “වහන්ස, යන්න. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි බොහෝ මහණුන් අණවයි. සියල්ලෝ ම පිළිගණිත් ද; එක් මහණකු ලවා විමසවා ද, සියල්ලෝ ම පිළිතුරු එළවත් ද සියල්ලන්ට ම සඟවෙසෙස්ඇවැත් වේ.
69. පුරුෂයෙක් “වහන්ස, යන්න. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි බොහෝ මහණුන් අණවයි’ද, සියල්ලෝ ම පිළිගණිත් ද, එක් මහණකු ලවා විමසවා ද එක් මහණකු ලවා පිළිතුරු එළවා ද, සියල්ලන්ට ම සඟවෙසෙස්ඇවැත් වේ.
70. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි මහණකු අණවයි ද, පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද සඟවෙසෙස්ඇවැත් වේ.
71. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි මහණකු අණවයි ද, පිළිගණියි ද, විමසයි ද, අතැවැසි මහණකු ලවා පිළිතුරු එළවයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
72. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි මහණකු අණවයි ද, පිළිගණියි. අතැවැසි මහණකු ලවා විමසවා තෙමේ පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
73. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙනම් ස්ත්‍රිය විමසන්න”යි මහණකු අණවයි ද, පිළිගණියි ද, අතැවැසි මහණකු ලවා විමසවයි ද, අතැවැසි තෙමේ විමසා බැහැරට පිළිතුරු එළවයි ද දෙදෙනාටම ථුලැසිඇවැත් වේ.
74. යන්නේ පිළිගණියි ද, විමසයි ද, පෙරළා එන්නේ පිළිතුරු නො පවසයි ද, ථුලැසිඇවැත් වේ. යන්නේ නො පිළිගණියි ද, එන්නේ විමසයි ද, පිළිතුරු එළවයි ද, ථුලැසිඇවැත් වේ. යන්නේ පිළිගණියි ද, එන්නේ විමසයි ද, පිළිතුරු එළවයි ද සඟවෙසෙස්ඇවැත් වේ. යන්නේ නො පිළිගණියි ද, නො විමසයි ද, එන්නේ පිළිතුරු නො එළවයි ද, ඇවැත් නොවේ.
75. සංඝයා පිළිබඳ හෝ චෛත්‍යය පිළිබඳ හෝ ගිලනුන් පිළිබඳ හෝ කටයුත්තකින් යෙයි ද ඔහුට ද උන්මත්තකයාට ද ආදිකම්මිකයාට ද ඇවැත් නොවේ.
විනිශ්චිතවස්තු
උද්දානගාථා:
සුත්තාය, මතාය, නික්ඛන්තාය, අනිත්‍ථිය, ඉත්‍ථිපණ්ඩකාය, කලහසම්මෝදනය, පණ්ඩකසඤ්චරිත්තය යි මෙහි වස්තු සතෙකි.
1. එසමයෙහි එක්තරා පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් ස්ත්‍රිය විමසන්නැ”යි එක්තරා මහණකු ඇණවී ය. හෙතෙමේ ගොස් “මෙනම් තැනැත්තී කොහිදැ”යි මිනිසුන් විචාළේ ය. “වහන්ස, ඕ නිද්‍රෝපගත ය”යි මිනිස්සු කීහ. “කිම? මම සඟවෙසෙස්ඇවැත් අවන්නෙම්දැ”යි ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නොවේ. දුකුළාඇවැත් වේ.”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (1)
2. එසමයෙහි එක්තරා පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් ස්ත්‍රිය විමසන්නැ”යි එක්තරා මහණකු ඇණවී ය. හෙතෙමේ ගොස් “මෙ නම් තැනැත්තිය කොහිදැ”යි මිනිසුන් විචාළේ ය. “වහන්ස, ඕ මළාය”යි ඔහු කීහ. ... “වහන්ස, ඕ නික්ම ගියා ය” ... “වහන්ස, ඒ ස්ත්‍රියක් නොවේ.” ... “වහන්ස, ඕ ස්ත්‍රීපණ්ඩකාවකැ”යි ඔහු කීහ. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ.” (2-5)
3. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් හිමියා සමග ඩබර කොට ගෙණ මවුගේ ගෙට ගියා ය. කුලුපග මහණෙක් ඇය ඔවා දී සනසා සැමියා වෙත පෙරළා යැවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සැමියා විසින් අනුශාස්‍ය නොවූවක් වේ ද?” ... “භාග්‍යවතුන් වහන්ස, එසේ අනුශාස්‍යවූවක් නොවේ” ... “මහණ, අනුශාස්‍යවූවක පිණිස ඇවැත් නොවේ.” (6)
4. එ සමයෙහි එක්තරා මහණෙක් පණ්ඩකයෙකු කෙරෙහි සංචරණභාවයට පැමිණියේ ය. ඒ මහණහට “කිම? මම් සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දෝ”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නොවේ. ථුලැසි ඇවැත් වේ” ... (7)
සඤ්චරිතශික්‍ෂාපදය නිමි.
3. 6.
කුටිකාරශික්‍ෂාපදය
1. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි අළවු රට වැසි මහණහු ඉල්ලාගත් උපකරණ ඇති, කරවා දෙන හිමියන් නැති, ඉක්මවූ පමණ ඇති, තමන් උදෙසා වූ කුටි කරවත්. ඒ කුටීහු නිමාවට නොයෙත්. ඒ මහණහු “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ගොණකු දෙන්න, ගැළක් දෙන්න, වෑයක් දෙන්න, පොරොවක් දෙන්න, කෙටේරියක් දෙන්න, උදැල්ලක් දෙන්න, නියනක් දෙන්න, වැලක් දෙන්න, හුණගසක් දෙන්න, මුදුතණ දෙන්න, බබුස්තණ දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදීම් බහුල කොටැති ව විනවීම් බහුල කොටැති ව වෙසෙත්. මිනිස්සු ආයාචනයෙන් මිරිකුනෝ, විනවීමෙන් මිරිකුනෝ මහණුන් දැක උද්වේගයට ද පැමිණෙත්. තැති ද ගණිත්. පලා යෑම ද කෙරෙත්. අන් මඟෙකින් ද යත්. අන් දිගකට මුහුණ ද පෙරළත්. දොර ද වසත්. ඈත දෙනක ද දැක “මහණහු”යි හඟිමින් පලායෙත්.
2. එකල්හි මහසුප් තෙරණුවෝ රජගහනුවර වස් වැස පවරා අළවු නුවරට වැඩියහ. එසමයෙහි මහසුප් තෙරණුවෝ අළවු නුවරට නොදුරු නොළං තන්හි වූ අග්ගාලව නම් චෛත්‍යස්ථානයෙහි වෙසෙත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ අළවු නුවරට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක උද්වීග්න වෙත්. තැති ගණිත්. පලා යෙත්. මඟ වළහා යෙත්. මුහුණ අන් අතකට ද පෙරළත්. දොර ද පියත්. ඉක්බිති මහසුප් තෙරණුවෝ අළවු නුවර පිඬු පිණිස හැසිර පිඬුවායෙන් වැළකුණෝ පසුබත්හි භික්‍ෂූන් අමතා මෙසේ වදාළහ:
“ඇවැත්නි, මේ අළවුනුවර පෙර සුභික්‍ෂ විය. සුලභ පිඬු ඇති විය. පිඬු සිඟීමෙන් යැපීම පහසු විය. දැන් වනාහි මේ අළවුනුවර දුර්භික්‍ෂ ය. දුර්‍ලභ පිඬු ඇත්තේ ය. පිඬු සිඟීමෙන් යැපෙන්නට දුෂ්කර ය. ඇවැත්නි, යම් හෙයකින් මේ අළවුනුවර දුර්භික්‍ෂ නම්, දුර්‍ලභ පිඬු ඇත්තේ නම්, පිඬු සිඟීමෙන් යැපෙන්නට දුෂ්කර නම්, එයට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ” ද? යනු යි. ඉක්බිති ඒ භික්‍ෂූහු මහසුප් මහතෙරුන්ට එ පවත් සැළ කළහ.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වැස පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, අළවුනුවරට වැඩි සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අග්ගාලව නම් චෛත්‍යස්ථානයෙහි වැඩ වසන සේක. ඉක්බිති මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පසක ඉඳගත්හ. එකත් පසෙක හුන් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැළ කළහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රකරණයෙහි (ප්‍රස්තාවයෙහි) භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා අළවුවැසි මහණුන්ගෙන් මෙසේ විචාළ සේක: “සැබෑද, මහණෙනි? තෙපි කරවා දෙන හිමියන් නැති, පමණ ඉක්ම වූ, තමන් ඉල්ලා ගත් උපකරණ ඇති, තමන් උදෙසා වූ කුටි කරවවු ද? ඒ කුටීහු නිමාවට නො යෙත් ද? ඒ තෙපි “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ... කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදීම් බහුල ව, විනවීම් බහුල, ව වසවු ද? මිනිස්සු යැදීමෙන් මිරිකුනෝ, විනවීමෙන් මිරිකුනෝ, මහණුන් දැක උද්වේගයට ද පැමිණෙත් ද? තැති ගණිත් ද? පලායෙත් ද? මඟ වළහා යෙත් ද? මුහුණු වෙන අතකට පෙරළත් ද? දොර වසත් ද? “මහණහු”යි හඟිමින් දෙනක ද දැක පලායෙත් ද?” “සැබව භාග්‍යවතුන් වහන්ස” යි ඒ මහණහු පිළිවදන් දුන්හ.
5. භාග්‍යවතුන් වහන්සේ ගැරැහූ සේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් ඉල්ලා ගත් උපකරණ ඇති, කරවා දෙන හිමියන් නැති, තමන් උදෙසා වූ, පමණ ඉක්ම වූ කුටි කරවවු ද?, ... ඒ කුටීහි නිමාවට නොයෙත්. ඒ තෙපි “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යී යැදීම් බහුලව විනවීම් බහුල ව වසවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නොවේ. ... යී ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක:
6. මහණෙනි, පෙරවූවක් කියමි. දෙබෑ තවුස් කෙනෙක් ගංගා නදිය ඇසුරු කොට වුසූහ. මහණෙනි, එකල්හි මණිකණ්ඨ නම් නාරජ ගංගානදිය පීනා කණිටු තවුසා වෙත එළඹියේ ය. එළඹ සත් වටක් ඔහු දරණවැළින් වෙළා හිස මතුයෙහි මහත් සේ පෙණය කොට සිටියේ ය. මහණෙනි, එකල්හි කණිටු තවුස් තෙම ඒ නාරජුට බියෙන් වැහැරුනේ, රූක්‍ෂ වූයේ, විවර්‍ණ වූයේ, හටගත් පඬු පැහැ ඇත්තේ, නහර පතුළ සිරුර ඇත්තේ විය. මහණෙනි, දෙටු තවුස් තෙම වැහැරුණු රූක්‍ෂවූ විවර්‍ණවූ හටගත් පඬු පැහැති නහර පතුළ සිරුර ඇති කණිටු තවුසා දිටී. දැක ඔහුට “පින්වත, තෝ කවර හෙයින් වැහැරුනෙහි ද? රූක්‍ෂවූයෙහි ද? විවර්‍ණ වූයෙහි ද? හටගත් පඬු පැහැත්තෙහි ද? නහරවැල් පතුළ සිරුර ඇත්තෙහි”ද? යි කී ය. “පින්වත, මෙහි මණිකණ්ඨ නාරජ ගඟනිය පිහිනා මා කරා අවුත් සත් යලක් මා දරණවැළින් වෙළා හිස මතුයෙහි මහත් සේ පෙණය කොට සිටියේ ය. පින්වත, මම් ඒ නයාට බියෙන් වැහැරුනෙම්, රූක්‍ෂ වූයෙම්, විවර්‍ණ වූයෙම්, හටගත් පඬු පැහැ ඇත්තෙම්, නහර පතුළ සිරුර ඇත්තෙම් වෙමි” යි හෙතෙම කීය. “පින්වත, තෝ ඒ නාරජුගේ නොඊම කැමැත්තෙහි දැ?” යි දෙටු තවුස් පුළුවුත. “පින්වත, මම් ඒ නාරජුගේ නොඊම කැමැත්තෙමි” යි කණිටු තවුස් කීය. “පින්වත, තෝ ඒ නාරජුගේ කිසිවක් දක්නෙහි දැ?” යි දෙටු තවුස් පුළුවුත. “පින්වත, ගෙලෙහි පලන් මිණක් දකිමි” යි කණිටු තවුස් කීය. “එසේ නම් පින්වත, “මට මිණ දෙව, මිණෙන් මට වැඩක් ඇතැ”යි නාරජුගෙන් මිණ ඉල්ලව”යි හෙ තෙම කීය.
7. මහණෙනි, ඉක්බිති මණිකණ්ඨ නාරජ ගංගානදිය පීනා කණිටු තවුසා වෙත එළඹ එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටි නාරජුට කණිටු තවුස්තෙම “පින්වත, මට මිණ දෙව. මිණෙන් මට වැඩෙක් ඇතැ”යි කීය. මහණෙනි, එවිට මණිකණ්ඨ නාරජ “මහණ මිණ ඉල්ලයි. මහණහට මිණෙන් වැඩෙක් ඇතැ”යි යුහු ව පලා ගියේ ය. දෙවනු ද මණිකණ්ඨ නාරජ ගඞ්ගා නදිය පීනා කණිටු තවුසා වෙත එළඹියේ ය. කණිටු තවුස් තෙම මණිකණ්ඨ නා රජහු ඈත එන්නහු දැක “පින්වත, මට මිණ දෙව. මිණෙන් මට වැඩ ඇතැ”යි කීය. මහණෙනි “එකල්හි මණිකණ්ඨ නාරජ “මහණ මිණ ඉල්ල යි. මහණහට මිණෙන් වැඩෙක් ඇතැ”යි එපමණින් ම පෙරළා ගියේ ය. තෙවනු ද මහණෙනි, කණිටු තවුස් තෙමේ ගඞ්ගා නදිය පිහිනා එන මණිකණ්ඨ නාරජු දුටුයේ ය. දැක ඔහුට “පින්වත, මට මිණ දෙව. මිණෙන් මට වැඩ ඇතැ”යි කීයේය. මහණෙනි, එකල්හි මණිකණ්ඨ නාරජ තෙමේ කණිටු තවුසාට දෙගයෙකින් මෙසේ කීය.
“මේ මිණ නිසා මට බොහෝ වූ ප්‍රණීත ආහාරපාන උපදී. එය ඔබට නො දෙන්නෙමි. තෙපි පුනපුනා යදනහු ය. තොප අසපුවට ද නො එන්නෙමි.
මුවහත් තබන ලද කඩුවක් ගත් අතැති තරුණයකු මෙන් තෙපි මිණ ඉල්ලමින් මා තැති ගන්වහු. එය තොපට නො දෙන්නෙමි. තෙපි පුන පුනා යදනහු ය. තොප අසපුවට ද නො එන්නෙමි.”
8. මහණෙනි, ඉක්බිති මණිකණ්ඨ නාරජ තෙම “මහණ මිණ ඉල්ලයි. මහණහට මිණෙන් වැඩෙක් ඇතැ”යි නික්ම ගියේ ය. එදා නික්ම ගියේ ගියේ ම විය. පෙරළා නො ආයේ ය. මහණෙනි, ඉක්බිති කණිටු තවුස් තෙම දැකුම්කලු ඒ නාරජු නොදැක්මෙන් බෙහෙවින් වැහැරුනේ රූක්‍ෂවූයේ විවර්‍ණ වූයේ හටගත් පඬුපැහැ ඇත්තේ නහර ඉල්පී ගිය සිරුර ඇත්තේ විය. මහණෙනි, දෙටු තවුස් තෙම බෙහෙවින් වැහැරුණු රූක්‍ෂ වූ විවර්‍ණ වූ හටගත් පඬු පැහැති කණිටු තවුසා දිටී. දැක ඔහුට, “පින්වත, තෝ කවර හෙයින් වෑරුනෙහි, රූක්‍ෂ වූයෙහි, විවර්‍ණ වූයෙහි, හටගත් පඬු පැහැ ඇත්තෙහි, නහරවැල් පෙනෙන සිරුර ඇත්තෙහි දැ?” යි ඇසී ය. “පින්වත, දැකුම්කලු ඒ නා රජු නො දැක්මෙන් බෙහෙවින් වෑරුනෙම්, රූක්‍ෂ වූයෙම්, පඬුපැහැති වූයෙම්, නහර ඉල්පුනු සිරුර ඇතියෙම් වෙමි”යි කී ය. මහණෙනි, ඉක්බිති දෙටු තවුස් තෙම කණිටු තවුසාට ගයෙකින් මෙසේ කී ය:
“යමක්හට යමක් ප්‍රිය යී දන්නේ නම්, එය නො ඉල්ලන්නේ ය. පුන පුනා ඉල්ලීමෙන් ද්වේෂ්‍ය (අප්‍රිය) වෙයි. බමුණා විසින් මිණ ඉල්ලනු ලැබූ නා තෙ ම ඔහුගේ අදර්‍ශනයටම ගියේ ය.”
මහණෙනි, ඒ තිරිසන්ගිය සත්නට පවා ඉල්ලීම, විනවීම අමනාප විය. මිනිස් වූවනට කියනු කිම?
9. මහණෙනි, පෙර එක්තරා මහණෙක් හිමවත් පියසෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. මහණෙනි, ඒ වනලැහැබට නොදුරෙහි ගැඹුරු මහවිලෙක් ඇත. මහණෙනි, එකලැ පක්‍ෂිසමූහයෙක් ඒ විලෙහි දහවල් ගොදුරු කා සවස ලගිනු පිණිස ඒ වනලැහැබට පැමිණෙයි. මහණෙනි, ඉක්බිති ඒ මහණ තෙම ඒ පක්‍ෂි සමූහයාගේ හඬින් පෙළුනේ මා වෙත එළැඹියේ ය. එළැඹ මා වැඳ එකත්පස්ව හුන්නේ ය. මහණෙනි, එකත්පස් ව හුන් ඒ මහණහට “කිම, මහණ, ඉවැසිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම? නිදුකින් අදන්මඟ ආහි ද? මහණ තෝ කොහි සිට එයි දැ” යි කීමි. එවිට ඒ මහණ මෙය කී ය: “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. වහන්ස, මම් නිදුකින් අදන්මඟ ආයෙම් ද වෙමි. වහන්ස, හිමවු පියසෙහි මහ වනලැහැබෙක් වෙයි. එය නොදුරෙහි ගැඹුරු මහවිලෙක් වෙයි. වැලිදු වහන්ස, මහත් පක්‍ෂිසමූහයෙක් ඒ විලෙහි දහවල් ගොදුරු කා සවස ලගින්නට ඒ වනලැහැබට පැමිණෙයි. භාග්‍යවතුන් වහන්ස, මම් එහි සිට එමි. ඒ පක්‍ෂිසමූහයාගේ හඬින් පෙළුනෙම් වෙමි.” “මහණ, තෝ ඒ පක්‍ෂිසමූහයාගේ නොපැමිණීම කැමැත්තෙහි දැ?”යි මම් ඇසීමි. “එසේය, වහන්ස, මම් ඒ පක්‍ෂිසමූහයාගේ නොපැමිණීම රිසියෙමි”යි ඒ මහණ කී ය. එවිට “මහණ, එසේ වී නම්, තෝ එහි ගොස් ඒ වනලැහැබට වැද, ‘යම් පමණ පක්‍ෂීහු මේ වනලැහැබෙහි විසීමට පැමිණියාහු ද, ඒ පින්වත් පක්‍ෂීහු මගේ වචනය අසත්වා. පියාපතින් මට වැඩ ඇත. පින්වත්හු මට එකි එකී පියාපත දෙත්වා”යි පෙරයම්හි තෙවරක් හඬ ගා කියව. රෑ මැදි යම්හි ද, පැසුළු යම්හි ද එසේ ම තෙවර තෙවර හඬ ගා කියව”යි කීමි.
10. මහණෙනි, ඉක්බිති ඒ මහණ තෙම එහි ගොස් ඒ වනලැහැබ වැද රෑ පෙරයම්හි ‘යම් පමණ පක්‍ෂීහු මේ වනලැහැබෙහි වාසයට පැමිණියාහු ද, ඒ පින්වත් පක්‍ෂීහු මගේ වචනය අසත්වා. පියාපතින් මට වැඩ ඇත. පින්වත්හු මට එකි එකී පියාපත දෙත්වා”යි රෑ පෙරයම්හි ද ... මැද යම්හි ද ... පැසුළු යම්හි ද තුන්යලක් හඬගා කී ය. මහණෙනි, එකල්හි ඒ පක්‍ෂිසමූහයා “මහණ තෙම පියාපත් ඉල්ලයි. මහණහට පියාපතින් වැඩ ඇතැ” යි ඒ වනලැහැබෙන් නික්මුනේ ය. එදා ගියේ ගියේ ම ය. පෙරළා නො ආයේ ය. මහණෙනි, ඒ තිරිසන්ගිය සත්නට පවා ඉල්ලීම අප්‍රිය වීය. විනවීම අප්‍රිය විය. මිනිස්වූවනට කියනු ම කිම?
11. මහණෙනි, පෙර රට්ඨපාල කුලපුතුගේ පියා රට්ඨපාල කුලපුතුට–
“රට්ඨපාලය, බොහෝ දෙනා මා වෙත එළඹ මා යදතුදු මම් ඔවුන් නො දනිමි. කවර හෙයින් තෝ මා නො අයදනෙහි දැ?”යි ගයෙකින් කී ය.
“ඉල්ලන තැනැත්තේ අප්‍රිය වෙයි. ඉල්ලූ දෑ නො දෙන තැනැත්තේ ද අප්‍රිය වෙයි. එහෙයින් “මා කෙරෙහි අප්‍රිය භාවයෙක් නො වේ වා”යි මම් ඔබ නො යදිමි” යි රට්ඨපාල කුලපුත් කී ය.
12. “මහණෙනි, ඒ රට්ඨපාල කුලපුත් පවා සිය පියාට මෙසේ කියයි. බාහිර ජනයාට කියනුම කවරේ ද? මහණෙනි, ගිහියන් විසින් භෝග රැස් කටයුතු යි, රැස් කරන ලද භෝග දුකසේ රැක්ක යුතු. හිස් පුරුෂයෙනි, මෙසේ දුකසේ රැස් කළ යුතු, දුකසේ රැක්ක යුතු ඒ භෝග විෂයයෙහි තෙපි “පුරුෂයකු දෙන්න, අත්තමක් දෙන්න, ගොණකු දෙන්න, ගැළක් දෙන්න, වෑයක් දෙන්න, පොරොවක් දෙන්න, කෙටේරියක් දෙන්න, උදැල්ලක් දෙන්න, නියනක් දෙන්න, වැලක් දෙන්න, හුණගසක් දෙන්න, මුදුතණ දෙන්න, බබුස් තණ දෙන්න, කුසතණ දෙන්න, මැටි දෙන්නැ”යි යැදුම් බහුලව, විනවීම් බහුලව වසවු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“තමා ඉල්ලාගත් උපකරණයෙන්, කරවා දෙන හිමියකු නැති, තමා උදෙසා වූ කිළියක් කරවන මහණහු විසින් පමණින් යුත් කිළියක් කරවිය යුතු. එහි මේ ප්‍රමාණයි. දිගින් සුගත් වියතින් දොළොස් වියතෙක. පුළුල අතර සත් වියතෙකි. කුටි බිම දෙසනු පිණිස භික්‍ෂූහු කැඳවිය යුත්තාහ. ඒ භික්‍ෂූන් විසින් උවදුරු රහිත වූ උපචාර සහිත වූ කුටිවාස්තුව දෙසිය යුතු, ඉදින් මහණතෙම උවදුරු සහිත වූ උපචාර රහිත වාස්තුයෙහි ඉල්ලා ගත් උපකරණයෙන් කිළියක් කරවන්නේ නම්, කුටිවාස්තුව දෙසීම පිණිස භික්‍ෂූන් හෝ නො කැඳවන්නේ නම් පමණ හෝ ඉක්මවන්නේ නම්, සඟවෙසෙස්ඇවැත් වේ.”
13. සඤ්ඤාචිකා නම්: පුරුෂයකු ද අත්තමක් ද ගොණකු ද ගැළක් ද වෑයක් ද පොරොවක් ද කෙටේරියක් ද උදැල්ලක් ද නියනක් ද වැල් ද හුණගසක් ද මුදුතණ ද බබුස් තණ ද කුසතණ ද මැටි ද තමා ම ඉල්ලා ගෙණ ය.
කුටි නම්: ඇතුළත අලෙවු දුන් හෝ පිටත අලෙවු දුන් හෝ ඇතුළත පිටත දෙක්හි ම අලෙවු දුන් හෝ කිළිය වෙයි.
කාරයමානෙන යනු කරණ හෝ කරවන.
අස්සාමිකං යනු: අන්කිසි හිමියෙක්, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගැහැවියෙක් හෝ පැවිද්දෙක් හෝ නො වෙයි.
අත්තුද්දෙසං යනු: තමා උදෙසා.
පමාණිකා කාරෙතබ්බා තත්‍රිදං පමාණං දීඝසො ද්වාදස විදත්‍ථියො සුගතවිදත්‍ථියා යනු: ප්‍රමාණික ව කටයුතුය යන මෙහි ප්‍රමාණය නම් බිහි බිත්හි සිට මැනීමෙන් සුගත් වියතින් දොළොස් වියතෙකි.
තිරියං සත්තන්තරා යනු: ඇතුළත බිත්හි සිට මැනීමෙන් සරස වියත් සතෙකි.
භික්ඛු අභිනෙතබ්බා වත්‍ථුදේසනාය යනු: ඒ කුටිය කරණ මහණහු විසින් කුටිවාස්තුව ශුද්ධ කොට සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසෙයින් කිය යුතු වන්නේ ය. ‘වහන්ස, මම කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කිළියක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම කුටිවාස්තුව බැලීමට සඞ්ඝයා යදිමි’යි. දෙවනවට ද යැදිය යුතු. තෙවනවට ද යැදිය යුතු. ඉදින් සියලු සඞ්ඝ තෙමේ කුටිවාස්තුව බැලීමට රුචි කෙරේ නම් හැම සඞ්ඝයා විසින් බැලිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ කුටිවාස්තුව බලන්නට උත්සාහවත් නො වේ නම් එහි යම් භික්‍ෂූ කෙනෙක් සොපද්‍රව අනුපද්‍රව බව, සඋපචාර අනුපචාර බව දැනගන්නට ව්‍යක්ත වූවාහු ප්‍රතිබල වූවාහු වෙත් ද, ඒ භික්‍ෂූහු අයැද සම්මත කළ යුත්තාහ. මහණෙනි, මෙසෙයින් සම්මත කළ යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා: මේ මෙනම් ඇති මහණ තෙමේ කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණයෙන් කරණු කැමැති වෙයි. හෙතෙම කුටිවාස්තුව බැලීමට සඞ්ඝයා යදී. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ කුටිවාස්තුව බැලීමට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කරන්නේ ය. තෙල ඤත්ති ය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා: මේ මෙනම් ඇති මහණ තෙමේ කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණයෙන් කරණු කැමැති වෙයි. හෙතෙම කුටිවාස්තුව බැලීමට සඞ්ඝයා යදී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ කුටිවාස්තුව බලන්නට මෙනම් වූ ද, මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කෙරෙයි. මෙනම් මහණහුගේ කුටිවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන්ගේ සම්මුතිය යම් ආයුෂ්මතක්හට රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට රුචි නො වේ නම් හෙතෙම කියන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ කුටිවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූහු සම්මතයහ. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් මේ තූෂ්ණීම්භාවයැ යි. මෙසේ තෙල තූෂ්ණීම්භාවය ධරමි” යි.
ඒ සම්මත වූ භික්‍ෂූන් විසින් එහි ගොස් කුටිවාස්තුව බැලිය යුතු ය. සොපද්‍රව බව අනුපද්‍රව බව සඋපචාර බව අනුපචාර බව දතයුතු ය. ඉදින් සොපද්‍රව අනුපචාර වේ නම් “මෙහි නහමක් කරා”යි කියයුත්තේ ය. ඉදින් අනුපද්‍රව සඋපචාර වේ නම් ‘අනුපද්‍රව ය. සඋපචාර ය’යි සඟනට ආරොචන කළයුතු ය. ඒ කුටිකාරක මහණහු විසින් සඟුන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තේ ය: ‘වහන්ස, මම කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණින් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම කුටිවාස්තු දේශනාවට සඞ්ඝයා අයදිමි’යි. දෙවනවට ද යැදිය යුතු. තෙවනවට ද යැදිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ ඥාපනය කළ යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා: මේ මෙනම් මහණ කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණින් කරණු කැමැත්තේ ය. හේ කුටිවාස්තු දේශනාවට සඞ්ඝයා අයදී. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු ගේ කුටිවාස්තුව දෙසන්නේ ය. තෙල ඤත්ති යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා: මේ මෙනම් මහණ කරවා දෙන හිමියකු නැති තමා උදෙසා වූ කුටියක් තමා ම ඉල්ලාගත් උපකරණින් කරණු කැමැත්තේ ය. හේ කුටිවාස්තු දේශනාවට සඞ්ඝයා අයදී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ කුටිවාස්තුව දෙසයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ කුටිවාස්තුව දෙසීම රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට රුචි නො වේ නම් හෙතෙම කියන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ කුටිවාස්තුව දෙසන ලද. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. මෙසේ තෙල තූෂ්ණීම්භාවය ධරමි” යි.
සාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ තුඹසෙක් වෙයි. වේයන්ගේ හෝ තුඹසෙක් වෙයි. මීයන්ගේ හෝ බිලයෙක් වෙයි. සපුන්ගේ හෝ බිලයෙක් වෙයි. නුහුසුවන්ගේ හෝ බිලයෙක් වෙයි. සියපානන්ගේ හෝ බිලයෙක් වෙයි. ඇතුන් හෝ වසන තැනෙක් වෙයි. සිංහයන් හෝ වසන තැනෙක් වෙයි. වගුන් හෝ වසන තැනෙක් වෙයි. දිවියන් හෝ වසන තැනෙක් වෙයි. වලසුන් හෝ වසන තැනෙක් වෙයි. තරසුන් හෝ වසන තැනෙක් වෙයි. යම්කිසි තිරිසන්ගිය සතුන් වසන තැනෙක් වෙයි. හැල් ඈ පුබ්බන්න වපුළ තැනෙක් හෝ වෙයි. උඳු ඈ අපරන්න වපුළ තැනෙක් හෝ වෙයි. වධස්ථාන ඇසිරි කෙළේ හෝ වෙයි. දම්ගෙඩිය ඇසිරි කෙළේ හෝ වෙයි. සොහොන ඇසිරි කෙළේ හෝ වෙයි. උයන් ඇසිරි කෙළේ හෝ වෙයි. රජවතු ඇසිරි කෙළේ හෝ වෙයි. ඇත්හල් ඇසිරි කෙළේ හෝ වෙයි. අස්හල් ඇසිරි කෙළේ හෝ වෙයි. සිරගේ ඇසිරි කෙළේ හෝ වෙයි. අවන්හල් ඇසිරි කෙළේ හෝ වෙයි. මස්ළොඹු ඇසිරි කෙළේ හෝ වෙයි. රියමඟ ඇසිරි කෙළේ හෝ වෙයි. සිවුමංසල ඇසිරි කෙළේ හෝ වෙයි. සභා ඇසිරි කෙළේ හෝ වෙයි. යන එන මඟ ඇසිරි කෙළේ හෝ වෙයි. තෙල ‘සාරම්භ’ නම.
අපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලෙකින් සිසාරා යන්නට හාත්පස හිණෙකින් සිසාරා යන්නට නො හැකි වේ ද, තෙල ‘අපරික්කමන’ නම.
අනාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ තුඹසෙක් නො වෙයි. ... යන එන මඟ ඇසිරි කෙළේ හෝ නො වෙයි. තෙල අනාරම්භ නම.
සපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලෙකින් සිසාරා යන්නට, හාත්පස හිණෙකින් සිසාරා යන්නට හැකි වෙයි. තෙල ‘සපරික්කමන’ නම.
සඤ්ඤාචිකා නම්: මිනිසකු දු මිනිස් අත්කමු දු ... මැටි දු තෙමේ ඉල්ලා ගෙණ.
කුටි නම්: ඇතුළත පිරියම් කරණ ලදු හෝ පිටත පිරියම් කරණ ලදු හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලදු හෝ වෙයි.
කරෙය්‍ය යනු: කෙරෙයි හෝ කරවා හෝ.
භික්ඛු වා අනභිනෙය්‍ය වත්‍ථුදේසනාය පමාණං වා අතික්කාමෙය්‍ය යනු: ඤත්තිදුතිය කම්වදනින් ගෙබිම නො දෙසවා අයමින් හෝ විතරින් හෝ යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු ඉක්මවා කෙරෙයි හෝ කරවා හෝ පියොව්හි පියොව්හි දුකුළා වෙයි. පැසුළු එක් මැටි පිඩක් නො පත් කල්හි ථුලැසිඇවැත් වෙයි. එ පිඬ පැමිණි කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
සංඝාදිසේසො යනු: ... එයිනු දු ‘සඞ්ඝාදිසේස’ය යි කියනු ලැබේ.
------------
1. මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර සහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වේ.
මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ උපචාර රහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ සෝපචාර වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
මහණ තෙම දෙසූ ගෙබිම් ඇති සෝපද්‍රව වූ උපචාර රහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම දෙසූ ගෙබිම් ඇති සෝපද්‍රව වූ සෝපචාර වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ අනුපචාර වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ සෝපචාර වූ කුටියක් කෙරේ හෝ කරවා නම් ඇවැත් නැති.
මහණ තෙම පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම පමණ ඉක්ම වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම පමණ ඉක්ම වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම පමණ ඉක්ම වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
මහණ තෙම පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම පමණින් යුත් සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම පමණින් යුත් අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම පමණින් යුත් අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් ඇවැත් නැති.
මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති පමණ ඉක්ම වූ උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ සඟවෙසෙසක් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම නො දෙසූ කුටිවත් ඇති පමණ ඉක්ම වූ අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ සඟවෙසෙස්ඇවැතෙක් වේ.
මහණ තෙම දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.
මහණ තෙම දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම දෙසූ කුටිවත් ඇති පමණින් යුත් අනාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.
මහණ තෙම දෙසූ කුටිවත් ඇති පමණින් යුත් අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරේ හෝ කරවා නම් ඇවැත් නැති.
2. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම් ඒ මහණහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත්) නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ (සපරික්කමන වූ කුටියක් කෙරෙත්) නම් සඟවෙසෙස්ඇවැත් වේ.
3. මහණ තෙම ‘මට කුටියක් කරවයි ඇණවා නම් ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත්) නම් ඇවැත් නැති.
4. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම් ඔහට පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.
5. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම් ඔහට පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් ඇවැත් නැති.
6. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම්, ඔහට නො දෙසූ, ගෙබිම් ඇති පමණ ඉක්ම වූ සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙසඟවෙසෙසක් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙසක් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දෙ සඟවෙසෙස්ඇවැතෙක් වෙයි.
7. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නම් ඒ ඔහට දෙසූ කුටිවත් ඇති පමණින් යුත් සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි ... සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) ඇවැත් නැති.
8. මහණ තෙම ‘මට කුටියක් කරව’යි ඇණවා නික්ම යේ නම් දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ඇණවා නම් ඔහට නො දෙසූ කුටිවත් ඇති සාරම්භ වූ අපරික්කමන වූ කුටියක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. සාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (කුටියක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.