Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 1301-1400 න් 2612

පරිවරෙය්‍ය යනු: අභිරමණය කෙරේ නම්.
මෙථුනුපසංහිතෙන යනු: මෙවුන්දම් පිළිබැඳි දහමින් ය.
සඞ්ඝාදිසේසො යනු ... එයිනුදු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබේ.
1. ස්ත්‍රියකුදු වෙයි, ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේත් ස්ත්‍රිය සමීපයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියා ද සඟවෙසෙස්ඇවැත් වේ.
2. ස්ත්‍රියකුත් වේද, වෙමතිකත් වේද, ... පණ්ඩකය යන හැඟීම් ඇති ... පිරිමියක යන හැඟීම් ඇති ... තිරිසන් ගතයෙක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි. මහණ තෙමේ ඒ ස්ත්‍රිය සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද ථුලැසිඇවැත් වේ.
3. පණ්ඩකයෙකුදු වෙයි, පණ්ඩකය යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේ ඒ පණ්ඩකයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියයි ද ථුලැසි ඇවැත් වේ.
4. පණ්ඩකයෙකුත් වෙයි ද, වෙමතිකත් වේ ද ... පිරිමියෙක යන හැඟීම් ඇති ... තිරිසන් ගතයෙක යන හැඟීම් ඇති ... ස්ත්‍රියක යන හැඟීම් ඇති සංරක්තයෙකුදු වෙයි, මහණ තෙමේත් ඒ පණ්ඩකයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද දුකුළාඇවැත් වේ.
5. පිරිමියෙකුදු වෙයි, ... තිරිසන්ගතයෙක් වෙයි, තිරිසන්ගතයෙක යන හැඟීම් ඇත්තේ, ... විමති ඇත්තේ, ... ස්ත්‍රිය යන හැඟීම් ඇත්තේ, ... පණ්ඩකයෙක යන හැඟීම් ඇත්තේ, ... පිරිමියෙක යන හැඟීම් ඇත්තේ සංරක්තත් වෙයි, මහණ තෙමේ ඒ තිරිසන්තගයා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද දුකුළාඇවැත් වේ.
6. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති සංරක්තයෙක් වෙයි, මහණ තෙමේ ඒ ස්ත්‍රීන් දෙදෙනා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියා ද, සඟවෙසෙස් දෙකෙකි. ...
7. ස්ත්‍රියකුදු වෙයි, පණ්ඩකයෙකුදු වෙයි, දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති සංරක්තයෙකුත් වෙයි, මහණ තෙමේත් ඒ දෙදෙනා සමීපයෙහි අත්තකාමපාරිචරියාවෙහි ගුණ කියයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ. ...
8. “සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් යන පිරිකරින් උවටන් කරව”යි කියයි ද, (ඔහුට ද,) උන්මත්තකයාට ද, ආදිකම්මිකයාට ද, ඇවැත් නො වේ.
විනිශ්චිතවස්තු
උද්දානගාථා:
කථංවඤ්ඣාවත්‍ථු, පුත්තවත්‍ථු, පියාවත්‍ථු, සුභගාවත්‍ථු, කිංදජ්ජාවත්‍ථු, කෙනුපට්ඨෙය්‍යවත්‍ථු, සුගතිං කථං ගච්ඡෙය්‍ය වත්‍ථු යි වස්තු සතෙකි:
1. එසමයෙහි එක්තරා වඳ ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කෙසේ නම් වදන්නෙම් ද?”යි මෙය කිවුය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (1)
2. එසමයෙහි එක්තරා වදන ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් පුතකු ලබන්නෙම් දැ?”යි කිවුය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි කී ය. “වහන්ස, අග්‍රදාන නම් යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (2)
3. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් මම් හිමියාට ප්‍රිය වන්නෙම් දැ?” විචාළාය. “එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදාන නම් කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (3)
4. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කෙසේ නම් ඉසුරුමතියක් වන්නෙම් දැ?” පුළුවුත. “එසේ නම් අග්‍රදානය දෙව”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය නම් කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දම ය”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (4)
5. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් ආර්‍ය්‍යයන් වහන්සේට කුමක් දෙන්නෙම් දැ?” විචාළාය. “නඟ, අග්‍ර දානය”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (5)
6. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, මම් කිමෙකින් ආර්‍ය්‍යයන් වහන්සේට උපස්ථාන කෙරෙම් දැ?” යි විචාළාය. “නඟ, අග්‍රදානයෙනි”යි හේ කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි ඕ පුළුවුත. “මෙවුන්දමැ”යි හේ කී ය. ... ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (6)
7. එසමයෙහි එක්තරා ගැහැණියක් කුළුපග මහණකුට “වහන්ස, කෙසේ නම් සුගතියට යන්නෙම් දැ?” යි කිවු ය. “නඟ, එසේ නම් අග්‍රදානය දෙව”යි කී ය. “වහන්ස, අග්‍රදාන යනු කිමැ?”යි ඕ විචාළාය. “මෙවුන්දමැ”යි කී ය. ... ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය” යි වදාළ සේක. (7)
අත්තකාමපාරිචරියශික්‍ෂාපදය නිමි.
සඤ්චරිත්තශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ සැවැත්නුවර කුලුපග වෙයි. බොහෝ කුලයන් කරා පැමිණෙයි. යම් තැනෙක බිරියක නැති කුමරකු හෝ සැමියකු නැති කුමරියක හෝ දකී ද, කුමරුගේ මව්පියන් සමීපයේ දී, “අසෝ කුලයේ කුමරිය අභිරූප ය, දැකුම් කලු ය, ප්‍රසාද එළවන්නී ය, පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තී ය, දක්‍ෂ ය, අනලස ය. මේ කුමරුහට ඒ කුමරිය සුදුසු ය” යි ඇය ගුණ කියයි. “වහන්ස, මොහු කවරහු ද? මොහු කා අයත් දැ? යි තුලුහු අප නො දනිත්. ඉදින් වහන්ස, ආර්‍ය්‍ය තෙමේ දෙවන්නේ නම් අපි ඒ කුමරිය මේ කුමරුට ගෙණ එන්නෙමු” යි ඔහු මෙසේ කියත්. “අසෝ කුලකුමාර තෙමේ අභිරූපය, දැකුම්කලු ය, ප්‍රසාද එළවන්නේ ය, පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය, දක්‍ෂය, අනලස ය. මේ කුමාරිකා තොමෝ ඒ කුමාරයාහට සුදුසු ය” යි කුමරියගේ මාපියන් සමීපයේ දී කුමරුගේ ගුණ කියයි. “වහන්ස, මොහු කවරහු ද? මොහු කා අයත් දැ?” යි තුලුහු අප නො දනිත්. වහන්ස, කුමරිය හේතුකොට කීම අපට ලජ්ජා එළවන්නාක් වැන්න. ඉදින් වහන්ස, ආර්‍ය්‍ය තෙමේ ඔවුන් ලවා යාචනා කරවා නම්, අපි මේ කුමරිය ඒ කුමරුට දෙන්නමු” යි ඔහු මෙසේ කියත්. ආයුෂ්මත් උදායී තෙමේ මේ උපායෙන් ම ආවාහයන් ද කරවයි. විවාහයන් ද කරවයි. දින නකත් ආදිය ද ගිවිස්වා තබයි.
2. එසමයෙහි එක්තරා හිමි නැති ගණකියකගේ දුවක් අභිරූප ය. දැකුම්කලු ය. ප්‍රසාද එළවන්නී ය. අන් ගමෙක වසන ආජීවකසව්වෝ පැමිණ ඒ ගණක බිරියට “ආර්‍ය්‍යාවෙනි, මේ කුමරිය අපගේ කුමරුට දෙව” යි මෙබස් කීහ. “ආර්‍ය්‍යයෙනි, මොහු කවුරු ද? කා අයත් දැ?” යි මම් තොප නො හඳුනමි. මෝ ද මාගේ එක ම දුව ය. බැහැරගම් ද යායුතු ය. මම නො දෙන්නෙමි” යි ඕ මෙසේ කිවු ය. මිනිස්සු ආජීවක ශ්‍රාවකයන්ට “ආර්‍ය්‍යයෙනි, තෙපි කුමක් හෙයින් ආවහු දැ?” යි මෙය කීහ. “ආර්‍ය්‍යයෙනි, මෙහි අපි අසෝ ගණකියගෙන් අපගේ කුමරුට ඇය දුව යැදීමු. ඕ ද “ආර්‍ය්‍යයෙනි, මම් මොහු කවුරු දැ යි කියා හෝ මොහු කාගේ දැ?” යි කියා හෝ නො දනිමි. මෝ ද මගේ එක ම දුව ය. බැහැරගම් ද යායුතු ය. මම් ඇය නො දෙමි” යි කීවා ය යි ඔහු කීහ. “ආර්‍ය්‍යයෙනි, තෙපි කුමක් හෙයින් ඒ ගණකියගෙන් ඇය යැදූහු ද? ආර්‍ය්‍ය උදායී තෙමේ කිය යුතු නො වේ ද? ආර්‍ය්‍ය වූ උදායී තෙමේ දෙවන්නේ ය” යි ඔහු කීහ. ඉක්බිති ආජීවක ශ්‍රාවකයෝ ආයුෂ්මත් උදායී තෙර කරා එළඹියාහු ය. එළඹ, ආයුෂ්මත් උදායීහට, “වහන්ස, මෙහි අපි අසෝ ගණකියගෙන් අපගේ කුමාරයාහට දුව යැදුමු. ඕ ‘ආර්‍ය්‍යයෙනි මොහු කාගේ කවුරු දැ? යි මම තොප නො හඳුනමි. මෝ ද මගේ එක ම දුව ය. බැහැරගම් ද යා යුතුය. මම් ඇය නො දෙමි’ යි කීවා ය. වහන්ස, ආර්‍ය්‍ය තෙමේ ඒ ගණකියගේ දුව අපගේ කුමරුට දෙවන්නේ නම් මැනවැ” යි කීහ.
3. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ගණකිය වෙත පැමිණ ඒ ගණකියට “කුමක් හෙයින් මොවුන්ට දුව නො දෙයි දැ?” යි කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, මොහු කාගේ කවුරු දැ” යි මොවුන් නො හඳුනමි. මෝ ද මාගේ එක ම දුව ය. මම ඇය නො දෙන්නෙමි බැහැරගම් ද යායුතු ය යි ඕ කිවු ය. “මොවුන්ට දෙව, මම මොවුන් හඳුනමි” යි ආයුෂ්මත් උදායීතෙර කී ය. “ඉදින් වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේ හඳුනත් නම් දෙන්නෙමි” යි ඕ කිවු ය. ඉක්බිති ඒ ගණකී ඒ ආජීවක සව්වන්ට සිය දුව දුන්නී ය. ඉක්බිති ඒ ආජීවක සව්වෝ ඒ කුමරිය කැඳවා ගෙණ ගොස් මසක් ම ලෙහෙළියකු කොට පරිභෝග කළාහු ය. ඉන්පසු දාසියක කොට පරිහරණය කෙරෙති. ඉක්බිති ඒ කුමාරිකා තොමෝ, “මම දැන් දුගී වෙමි. දුප්පත්මි. සැපයක් නො ලබමි. මසක් ම මා ලෙහෙළියක කොට පරිභෝග කළහ. ඉන්පසු දාසියක මෙන් පරිහරණය කෙරෙති. මගේ මව් තොමෝ මෙහි ඒවා. මා ගෙණ යේවා” යි මවු වෙතට දූතයකු යැවුවා ය.
4. ඉක්බිති ඒ ගණකී තොමෝ ඒ ආජීවක සව්වන් කරා එළඹියා ය. එළඹ ඔවුන්ට “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කරව. ලෙහෙලියක කොට මේ කුමරිය පරිහරණය කරව” යි කිවුය. ඔහු “තී හා අපගේ ගණුදෙනුවෙක් නැත. අපගේ ගණු දෙනුව මහණහු සමග ය. තෝ යව. අපි තී නො දනිමු”යි කීහ. ඉක්බිති ඒ ගණකී තොමෝ ආජීවක සව්වන් විසින් ගරහන ලද්දී නැවත සැවැතට පෙරළා පැමිණියා ය. දෙවෙනි වර ද ඒ කුමරි “මම දුගීයෙමි. දුප්පත්මි. සැපයක් නො ලබමි. මසක් පමණ මා ලෙහෙළියක කොට පරිහරණය කළහ. එතැන් පටන් දාසියක්කොට පරිහරණය කරත්. මගේ මව් තොමෝ මෙහි ඒවා. මා කැඳවා ගෙණ යේවා” යි මවගේ සමීපයට දූතයකු යැවූ ය.
5. ඉක්බිති ඒ ගණකී තොමෝ ආයුෂ්මත් උදායීතෙර කරා පැමිණියා ය. පැමිණ, ආයුෂ්මත් උදායීහට “වහන්ස, ඒ කුමරිය දුගී ල? දුප්පත් ල, සුවයක් නො ලබා ල. මසක් ම ලෙහෙළියක කොට පරිහරණය කළාහු ල. එතැන් පටන් දාසියක කොට පරිහරණය කරත්ල. වහන්ස, ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නොකරවු ලෙහෙළියක කොට පරිහරණය කරවු’යි කියනු මැනවැයි කී ය. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ආජීවක සව්වන් කරා ගියේ ය. ගොස්, ඒ ආජීවක ශ්‍රාවකයන්ට “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කරවු. ලෙහෙළියක කොට මැය පරිහරණය කරවු” යි කී ය. “මුඹ හා අපගේ ගණුදෙනුවෙක් නැත. අපගේ ගණුදෙනුව ගණකිය හා ය. ශ්‍රමණයා ව්‍යාපාර නැත්තකු විය යුතු යි. ශ්‍රමණයෙක් නම් මනා ශ්‍රමණයෙක් වන්නේය. මුඹ යන්න. අපි මුඹ නො දනිමු” යි ඔහු කීහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහන ලද්දේ සැවතට ම පෙරළා ආයේ ය. තුන්වන වර ද ඒ කුමරි මවු සමීපයට “මම දුගීයෙමි. දුප්පත් වෙමි. සුවයක් නො ලබමි. මසක් ම මා ලෙහෙළියක කොට පරිහරණය කළහ. එතැන් පටන් දාසියක කොට පරිහරණය කරත්. මගේ මව මෙහි ඒවා. මා කැඳවා ගෙණ යේවා”යි දූතයකු යැවූ ය.
6. දෙවෙනි වර ද ඒ ගණකී ආයුෂ්මත් උදායීතෙර කරා ගියා ය. ගොස් ආයුෂ්මත් උදායීහට වහන්ස, ඒ කුමරී දුගී ල. දුප්පත් ය. සුවයක් නො ලබා ල. මසක් ම ඇය ලෙහෙළියක කොට පරිහරණය කළාහු ල. එ තැන් පටන් දාසියක මෙන් පරිහරණය කරත් ල. වහන්ස, “ආර්‍ය්‍යයෙනි, මේ කුමරිය දාසියක කොට පරිහරණය නො කර මු. ලෙහෙළියක කොට පරිහරණය කරවු” යි කියන්නැ යි සැළ කළා ය. “පළමු වර මම ඒ ආජීවක ශ්‍රාවකයන් විසින් ගරහන ලද්දෙම් වෙමි. තෝ යව මම් නො යන්නෙමි” යි ආයුෂ්මත් උදායී කී ය.
7. ඉක්බිති ඒ ගණකී “යම්සේ මා කුමරි පාපී වූ නැන්දණියන් පාපි වූ මයිලනුවන් කරණ කොට ගෙණ, පාපි වූ සැමියා කරණ කොට ගෙණ දුගී වූවා ද, දුප්පත් වූවා ද, සුවයක් නො ලබා ද, ආර්‍ය්‍ය උදායී ද එසේ ම දුගී වේවා, එසේ දුප්පත් වේවා, ආර්‍ය්‍ය උදායී තෙමේ එසේ සුවයක් නො ලබාවා” යි අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි. ඒ කුමරි ද “යම්සේ මම් ලාමක වූ නැන්දණියන් කරණ කොට ගෙණ, ලාමක වූ මයිලනුවන් කරණ කොට ගෙණ, ලාමක වූ හිමියා කරණ කොට ගෙණ දුගී වෙම්ද, දුප්පත් වෙම් ද, සුවයක් නො ලබම් ද, එසේ ම ආර්‍ය්‍ය උදායී තෙමේ දුගී වේවා එසේ ම ආර්‍ය්‍ය උදායි තෙමේ දුප්පත් වේවා ඒසේ ම ආර්‍ය්‍ය උදායී තෙමේ සුවක් නො ලබාවා” යි අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි (ආයුෂ්මත් උදායී තෙරුන්ගේ මෙහෙයීමෙන් පතිකුලයට ගිය) අන් ස්ත්‍රීහු ද නැන්දණියන් හෝ මයිලනුවන් හෝ සැමියන් හෝ සමග නොසතුටු වූවෝ “යම්සේ අපි පාපී වූ නැන්දණියන් පාපී වූ මයිලනුවන්, පාපී වූ සැමියන් කරණ කොට ගෙණ දුගී වූමු ද, දුප්පත් වූමු ද, සුවක් නො ලබමෝ ද, ආර්‍ය්‍ය උදායීත් එසේ ම දුගී වේවා, ආර්‍ය්‍ය උදායීත් එසේ ම දුප්පත් වේවා, ආර්‍ය්‍ය උදායීත් එසේ ම සුවක් නො ලබාවා”යි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
8. යම් ස්ත්‍රී කෙනෙක් (උදායී තෙරහුගේ මෙහෙයීමෙන් පතිකුලයට ගියෝ) නැදිමයිලන් හා සැමියන් හා සතුටු වූවාහු ද, ඔහු “යම්සේ අපි භද්‍ර නැදිමයිලන්, භද්‍ර සැමියන් කරණ කොට ගෙණ සුවපත් වූවමෝ සැදුනමෝ සුවසේ වැඩෙමු ද, ආර්‍ය්‍ය උදායී තෙමේ එසේ ම සුව පත් වේවා, ආර්‍ය්‍ය උදායී තෙමේ එසේ ම සැදුනේ වේවා, ආර්‍ය්‍ය උදායි තෙමේ එසේ ම සුවසේ වැඩේවා” යි මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
9. භික්‍ෂූහු නිගා කරන්නාවූ ඇතැම් ස්ත්‍රීන්ගේ කථා ද, සුව පතන්නා වූ ඇතැම් ස්ත්‍රීන්ගේ කථා ද ඇසූහ. යම් ඒ භික්‍ෂූහු අල්පේච්ඡ ද, ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ (ස්ත්‍රීපුරුෂයන් අතර) සංචරණයට පැමිණේදැ” යි අවමන් කෙරෙත්, අගුණ කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් උදායි අමතා, “උදායිය, තෝ ස්ත්‍රී පුරුෂයන් අතර සංචරණයට පැමිණියෙහි සැබෑදැ?”යි අසා වදාළ සේක. “සැබව භාග්‍යවතුන් වහන්සැ”යි ආයුෂ්මත් උදායී කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වදාරණසේක්, “හිස් පුරුෂය, තෝ කෙසේ නම් ස්ත්‍රීපුරුෂයන් අතර සංචරණයට පැමිණියෙහි ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි ... ගැරැහූ සේක. “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:-
“යම් මහණෙක් භාර්‍ය්‍යාභාවයෙහි වේවයි, මිථ්‍යාචාර භාවයෙහි වේවයි, පුරුෂමතිය ස්ත්‍රියට හෝ ස්ත්‍රීමතිය පුරුෂයාහට හෝ ගෙණ එමින් සඤ්චරණභාවයට වදනේ නම් සඟවෙසෙස් වේ”.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වෙයි.
[මුල් පැණවීමයි.]
11. එසමයෙහි බොහෝ ස්ත්‍රීධුර්‍තයෝ උයනෙහි රමණය කරන්නාහු, “එව, උයනෙහි අභිරමණය කරන්නෙමු”යි එක්තරා වෙසඟනක සමීපයට දූතයකු යැවූහ. “ආර්‍ය්‍යයෙනි, මොහු කවුරු ද, කාගේ දැ?”යි මම තොප නො හඳුනමි. මම් බොහෝ බඩු ඇතියෙම් වෙමි. බොහෝ පිරිකර ඇතියෙමි. බැහැර නුවර යා යුතු ද වෙයි. මම නො යන්නෙමි”යි ඕ කිවු ය. ඉක්බිති ඒ දූත තෙමේ ඒ ධුර්‍තයන්ට මේ කාරණය කීය. මෙසේ කී කල්හි එක්තරා පුරුෂයෙක් ඒ ධූර්‍තයන්ට “ආර්‍ය්‍යයෙනි, තෙපි කුමක් හෙයින් වෙසඟන යැද්දහු ද? ආර්‍ය්‍ය වූ උදායී තෙමේ කිය යුතු නො වේ ද? ආර්‍ය්‍ය වූ උදායී තෙමේ ඇය යවන්නේ ය”යී කීය. මෙසේ කී කල්හි එක්තරා උවසුවෙක් ඒ පුරුෂයාට “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නො කියාවා, මෙබන්දක් කරන්නට ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයන්ට නොකැප ය. ආර්‍ය්‍ය වූ උදායී තෙමේ මෙසේ වූ දැයක් නො කරන්නේ ය”යි කීය. මෙසේ කී කල්හි “හෙතෙම එය කරන්නේය යි ද? නො කරන්නේය යිදැ”යි පරදු තැබූහ. ඉක්බිති ඒ ධූර්‍තයෝ ආයුෂ්මත් උදායිහු කරා ගියාහු ය. ගොස් ආයුෂ්මත් උදායිහට “වහන්ස, අපි මේ උයනෙහි අභිරමණය කරන්නමෝ ‘එව, අභිරමණය කරන්නමු’යි අසෝ වෙසඟන වෙතට දූතයකු යැවූම්හ. ‘මොහු කවුරුද? කා අයත් දැ’යි මම තොප නොහඳුනමි. මම ද බොහෝ බඩු ඇතියෙමි. බොහෝ පිරිකර ඇතියෙමි. බැහැර නුවර යා යුතු වේ. මම නො යන්නෙමි’යි ඕ කිවු ය, වහන්ස, හිමියන් ඒ වෙසඟන යවන්නේ මැනැවි’යි ඔහු කීහ.
12. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ වෙසඟන කරා පැමිණියේය. පැමිණ ඒ වෙසඟනට “කුමක් හෙයින් මොවුන් සමීපයට නො යෙහි ද”යි ඇසී ය. ආර්‍ය්‍යයන් වහන්ස, මොහු කවුරුදැ යි කාගේ දැයි මම නො හඳුනමි. මම ද බොහෝ බඩු ඇතියෙමි. බොහෝ පිරිකර ඇතියෙමි. බැහැර නුවර යා යුතු ද වෙයි. මම නො යන්නෙමි”යි ඕ කිවු ය. “මොවුන් සමීපයට යව. මම මොවුන් හඳුනමි”යි උදායි තෙර කී ය. “වහන්ස, ඉදින් ආර්‍ය්‍ය තෙමේ දනී නම් යන්නෙමි”යි ඕ කිවු ය. ඉක්බිති ඒ ධූර්‍තයෝ ඒ වෙසඟන කැඳවා ගෙණ උයනට ගියාහුය. එකල්හි උවසු තෙමේ “කෙසේ නම් ආර්‍ය්‍ය වූ උදායි තෙමේ (ස්ත්‍රී පුරුෂයන් අතර) එකෙණෙහි සංචරණයට පැමිණේ දැ යි අවමන් කෙළේය, අයුණු කී ය. නුගුණ පැතිරැවී ය. භික්‍ෂූහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ උවසුහුගේ කථාව ඇසූහ. අල්පෙච්ඡ වූ ඒ භික්‍ෂූහු “කෙසේ නම් ආයුෂ්මත් උදායි තෙමේ ස්ත්‍රී පුරුෂයන් අතර එකෙණෙහි සංචරණයට පැමිණේ දැ”යි අවමන් කළහ, අයුණු කීහ, නුගුණ පැතිරැවූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. ... “උදායිය, තෝ ස්ත්‍රී පුරුෂයන් අතර එකෙණෙහි සංචරණයට පැමිණියෙහි ය යනු සැබෑ ද”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “සැබව, භාග්‍යවතුන් වහන්ස”යි හේ කීය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: ... “හිස් පුරුෂය, කෙසේ නම් ස්ත්‍රී පුරුෂයන් අතර එකෙණෙහි සංචරණයට පැමිණියෙහි ද, හිස් පුරුෂය, මෙය නොපහන්වුන්ගේ පැහැදීම පිණිස නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් භාර්‍ය්‍යාභාවයෙහි වේවයි, මිථ්‍යාචාර භාවයෙහි වේවයි, පුරුෂමතිය ස්ත්‍රියට හෝ ස්ත්‍රීමතිය පුරුෂයාහට හෝ යටතින් එමොහොත සෙව්නා කැමැති මාගමකට හෝ ගෙණ එමින් සඤ්චරණභාවයට වදනේ නම් සඟවෙසෙස් වේ.”
(දෙවන පැණවීමයි.)
13. යො පන යනු යමෙක් යම්බඳු වූවෙක් ...
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’ය යි අධිප්‍රෙත ය.
සංචරිත්තං සමාපජ්ජය්‍ය යනු: ස්ත්‍රිය විසින් යවන ලද්දේ පුරුෂයා සමීපයට යේ ද, පුරුෂයා විසින් යවන ලද්දේ ස්ත්‍රියගේ සමීපයට යේ ද,
ඉත්‍ථියා වා පුරිස මතිං යනු: පුරුෂාගේ අදහස ස්ත්‍රියට හෝ කියයි ද,
පුරිසස්ස වා ඉත්‍ථිමතිං යනු: ස්ත්‍රියගේ අදහස පුරුෂයාට හෝ කියයි ද,
ජායත්තනෙ වා යනු: බිරිඳ වන්නෙහි ය යි ...
ජාරත්තනෙ වා යනු: සොර අඹු වන්නෙහි ය යි ...
අන්තමසෝ තඞ්ඛණිකායපි යනු: එ මොහොතෙහි අඹු වන්නෙහිය යි
සඞ්ඝාදිසේසො යනු ... එයිනුදු ‘සඟවෙසෙස’යි කියනු ලැබේ.
14. ස්ත්‍රීහු දස දෙනෙකි; මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සාරක්ඛා ය, සපරිදණ්ඩා ය යන මොහු යි.
භාර්‍ය්‍යාවෝ දස දෙනෙකි: ධනක්කීතා ය, ඡන්‍දවාසිනී ය, භෝගවාසිනී ය, පටවාසිනී ය, ඔදපත්තකිනී ය, ඔභතචුම්බටා ය, දාසිභරියා ය, කම්මකාරී භරියා ය, ධජාහටා ය, මුහුත්තිකා ය, යන මොහු යි.
මාතුරක්ඛිතා නම්: මවු තොමෝ (යම් ස්ත්‍රියක) රකී ද, ගුප්තස්ථානයෙහි තබා රකියි ද ස්වෛර විහරණයට ඉඩ නො දෙයි ද තමා වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි.)
පිතුරක්ඛිතා නම්: යම් මාගමක් පිය තෙමේ රකියි ද, ගෝපනය කෙරෙයි ද ස්වෛර විහරණයට ඉඩ නො දෙයි ද, සිය වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි)
මාතාපිතුරක්ඛිතා නම්: මවුපිය දෙදෙනා ම යම් ස්ත්‍රියක රකිත් ද, ගෝපනය කරත් ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද (ඒ ස්ත්‍රී යි.)
භාතුරක්ඛිතා නම්: යම් ස්ත්‍රියක සොහොවුරු තෙමේ රකියි ද, ගෝපනය කෙරෙයි ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙයි ද, වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි.)
භගිනිරක්ඛිතා නම්: යම් මාගමක බිහිනි තොමෝ රකියි ද, ගෝපනය කෙරෙයි ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙයි ද, වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝය.)
ඤාතිරක්ඛිතා නම්: යම් ස්ත්‍රියක නෑයෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
ගොත්තරක්ඛිතා නම්: යම් මාගමක සමානගෝත්‍රඇතියෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණීවන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
ධම්මරක්ඛිතා නම්: යම් මාගමක සහදැමියෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණීවන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
සාරක්ඛා නම්: යම් මාගමක ගැබෙහි දී ම ‘මෝ මට අයත්වන්නී ය’යි වෙන් කොට ගන්නා ලද්දියක් වෙයි ද, යටත් පිරිසෙයින් මල්දමකින් පිරිකෙවු කරණ ලද්දී වෙයි ද, (ඕ තොමෝ යි.)
සපරිදණ්ඩා නම්: කිසිවකු විසින් “යමෙක් මෙනම් ස්ත්‍රිය කරා යේ නම් මෙ පමණ දඩ ය”යි යම් මාගමක ඇරැබ දඩ තබන ලද්දේ වෙයි ද (ඕ තොමෝ යි.)
ධනක්කීතා නම්: ධනයෙන් පෙරළා ගෙණ වාසය කරවයි ද (ඕ තොමෝ යි)
ඡන්‍දවාසිනී නම්: ප්‍රියයෙක් යම් ප්‍රියාවක වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
භෝගවාසිනී නම්: යම් මාගමක භොග දී වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
පටවාසිනී නම්: යම් මාගමක පිළි දී වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
ඔදපත්තකිනී නම්: යම් මාගමක දිය බඳුනක අත එව (ඒ හා සමව) වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
ඔහතචුම්බටා නම්: යම් මාගමක සුඹුළුව පහකොට තමා වෙත වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
දාසී නම්: යමක් දැස්ස වූවා බිරිය ද වෙයි.
කම්මකාරී නම්: යම් මාගමක් මිඩියක් වූවා බිරිය වෙයි ද (ඕ තොමෝ යි.)
ධජාහටා නම්: බලාත්කාරයෙන් ගෙණෙන ලද්දී කියනු ලැබේ.
මුහුත්තිකා නම්: එකෙණෙහි කැඳවා ගන්නා ලද ස්ත්‍රිය කියනු ලැබේ.
නික්‍ෂේපපදයෝ යි.
1. පුරුෂයෙක් මහණකු යවයි: “වහන්ස, යනු මැනව. මෙ නම් ඇති මාතුරක්ඛිතාවට මෙ නම් ඇත්තහුට මිලදී ගත් බිරිඳ වෙවයි කියව” යි පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
2. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් ඇති පිතුරක්ඛිත ස්ත්‍රියට කියනු මැනව මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට කියනු මැනව” යි මහණකු යවයි ද, භාතුරක්ඛිත ස්ත්‍රියට කියව ... භගිනිරක්ඛිත ස්ත්‍රියට කියව ... ඤාතිරක්ඛිත ස්ත්‍රියට කියව ... ගොත්තරක්ඛිත ස්ත්‍රියට කියව ... ධම්මරක්ඛිත ස්ත්‍රියට කියව ... සාරක්ඛ ස්ත්‍රියට කියව ... සපරිදණ්ඩ ස්ත්‍රියට කියව ... ‘මෙ නම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යාව වෙව’ යි කියව ... පිළිගණියි ද විමසයි ද පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස්ඇවැත් වේ.
3. පුරුෂයෙක් “වහන්ස, යනු මැනව. මෙ නම් මාතුරක්ඛිත ස්ත්‍රියට ද, පිතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව: ‘මෙ නම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි මහණකු යවයි ද, හෙතෙම එය පිළිගණියි ද, විමසයි ද, පිළිතුරු ගෙණ එයි ද, සඟවෙසෙස් ඇවැත් වේ.
4. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙ නම් මාතුරක්ඛිත ස්ත්‍රියට ද පිතුරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද භාතුරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද භගිනිරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද ඤාතිරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද ගොත්තරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද, ධම්මරක්ඛිත ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද, සාරක්ඛ ස්ත්‍රියට ද, ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද, සපරිදණ්ඩ ස්ත්‍රියට ද කියව: “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
ඛණ්ඩචක්‍රය යි.
5. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙ නම් පිතුරක්ඛිත මාතුපිතුරක්ඛිත ස්ත්‍රීන්ට “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි.කියනු මැනව. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස් ඇවැත් වේ.
6. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද භාතුරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද භගිනිරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද ඤාතිරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද ගොත්තරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද ධම්මරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද සාරක්ඛ ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද සපරිදණ්ඩ ස්ත්‍රියට ද කියනු මැනව: “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
7. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද මාතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව. “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
බද්ධචක්‍රය යි.
මූලය සංක්‍ෂිප්තය.
8. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. “මෙ නම් ඇති සපරිදණ්ඩ ස්ත්‍රියට ද මාතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව. “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව යි” පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
9. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් ඇති සපරිදණ්ඩ ස්ත්‍රියට ද පිතුරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද භාතුරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද භගිනිරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද ඤාතිරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද ගොත්තරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද ධම්මරක්ඛිත ස්ත්‍රියට ද ... සපරිදණ්ඩ ස්ත්‍රියට ද සාරක්ඛ ස්ත්‍රියට ද කියනු මැනව: “මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි, විමසයි, පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
එකමූලකය නිමි.
10. දුමූලකය ද තිමූලකය ද චතුමූලකය ද පඤ්චමූලකය ද ඡමූලකය ද සත්තමූලකය ද අට්ඨමූලකය ද නවමූලකය ද මෙසේ කටයුතුයි.
මේ දසමූලකය යි:
11. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් ඇති මාතුරක්ඛිත ස්ත්‍රියට ද, පිතුරක්ඛිත ස්ත්‍රියට ද, මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට ද, භාතුරක්ඛිත ස්ත්‍රියට ද, භගිනිරක්ඛිත ස්ත්‍රියට ද, ඤාතිරක්ඛිත ස්ත්‍රියට ද, ගොත්තරක්ඛිත ස්ත්‍රියට ද, ධම්මරක්ඛිත ස්ත්‍රියට ද, සාරක්ඛ ස්ත්‍රියට ද, සපරිදණ්ඩ ස්ත්‍රියට ද කියනු මැනව. මෙනම් ඇත්තහුට ධනක්කීත භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
ධනක්කීතචක්‍රය නිමි.
12. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් මාතුරක්ඛිත ස්ත්‍රියට කියනු මැනව. ‘මෙනම් ඇත්තහුට ඡන්‍දවාසිනී භාර්‍ය්‍යා වව’යි ... භෝගවාසිනී ... පටවාසිනී ... ඔදපත්තකිනී ... ඔහට චුම්බටා ... දස්සක් ද, භාර්‍ය්‍යාවක් ද, මිඩියක් ද, භාර්‍ය්‍යාවක් ද, ධජාහටා ... මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
13. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට කියව. ... මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට කියව. ... භාතුරක්ඛිත ස්ත්‍රියට කියව. භගිනිරක්ඛිත ස්ත්‍රියට කියව, ... ඤාතිරක්ඛිත ස්ත්‍රියට කියව. ... ගොත්තරක්ඛිත ස්ත්‍රියට කියව. ... ධම්මරක්ඛිත ස්ත්‍රියට කියව. ... සාරක්ඛ ස්ත්‍රියට කියව. ... සපරිදණ්ඩ ස්ත්‍රියට කියනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි, සඟවෙසෙස්ඇවැත් වේ.
නිඃක්‍ෂේපපදයෝ යි.
14. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් මාතුරක්ඛිත ස්ත්‍රියට ද, පිතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා, වව” යි පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
15. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් මාතුරක්ඛිත ස්ත්‍රියට ද, මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට ද ... මාතුරක්ඛිත ස්ත්‍රියට ද, සපරිදණ්ඩ ස්ත්‍රියට ද කියනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
ඛණ්ඩචක්‍රය නිමි.
16. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස, යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද, මාතාපිතුරක්ඛිත ස්ත්‍රියට ද කියනු මැනව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි. පිළිගණියි. විමසයි. පිළිතුරු ගෙණ එයි. සඟවෙසෙස්ඇවැත් වේ.
17. පුරුෂයෙක් මහණකු යවයි. “වහන්ස ... යනු මැනව. මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද භාතුරක්ඛිත ස්ත්‍රියට ද ... පිතුරක්ඛිත ස්ත්‍රියට ද සපරිදණ්ඩ ස්ත්‍රියට ද, කියව. මෙනම් ඇත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව” යි. පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
18. “වහන්ස යනු මැනව. මෙනම් තැනැත්තහුට මුහුත්තිකා භාර්‍ය්‍යා වව”යී මෙනම් පිතුරක්ඛිත ස්ත්‍රියට ද මාතුරක්ඛිත ස්ත්‍රියට ද කියන්නැ” යි පුරුෂයෙක් මහණකු යවා ද, පිළිගණී ද, විමසා ද, පිළිතුරු ගෙණ ඒ ද, සඟවෙසෙස්ඇවැත් වේ.
බද්ධචක්‍රය යි.