Pārājika

Defeats

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-22 · 2612 segments

පෙන්වන කොටස් 1201-1300 න් 2612

විනිශ්චිතවස්තු
උද්දානගාථා:
මාතු ධීතු භගිනි වත්‍ථුය, ජායා යක්ඛී පණ්ඩක වත්‍ථුය, සුත්ත මත තිරච්ඡානගත වත්‍ථුය, දාරුධීතලික වත්‍ථුය,
සමපීළන සංකම මග්ග වත්‍ථුය, රුක්ඛ නාවා රජ්ජු වත්‍ථුය, දණ්ඩ පත්ත පනාමන වන්‍දන නඡුපන වත්‍ථු ය යි විනීතවත්‍ථු විස්සකි.
1. එසමයෙහි එක්තරා මහණෙක් මාතෘප්‍රේමයෙන් මවගේ සිරුර අත ගෑ ය. ඔහුට කුකුස් විය. ... කිම? මම සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දැ?”යි භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කෙළේ ය. ... “මහණ සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
2. එසමයෙහි එක්තරා මහණෙක් දුහිතෘප්‍රෙමයෙන් දුවගේ සිරුර අත ගෑ ය. ... භගිනි ප්‍රේමයෙන් බුහුනනියන්ගේ සිරුර අත ගෑය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (2.3)
3. එසමයෙහි එක්තරා මහණෙක් ගිහිකල අඹුව හා කායසංසර්‍ගයට සමවනි. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (4)
4. එසමයෙහි එක්තරා මහණෙක් යකින්නක හා කාසසඟයට සමවනි. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (5.)
5. එසමයෙහි එක්තරා මහණෙක් පණ්ඩකයකු හා කාසසඟයට සමවනි. ඒ මහණට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළ සේක. (6.)
6. එසමයෙහි එක්තරා මහණෙක් නිදන ස්ත්‍රියක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි”ය යි වදාළ සේක. (7.)
7. එසමයෙහි එක්තරා මහණෙක් මළ ස්ත්‍රියක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළ සේක. (8.)
8. එසමයෙහි එක්තරා මහණෙක් තිරිසන්ගිය මාගමක හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (9.)
9. එසමයෙහි එක්තරා මහණෙක් දඬුමුවා පෙතැලිරුවක් හා කාසසඟයට සමවනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (10.)
10. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු එක්තරා මහණකු පෙළා අතිනතින් පැමිණවූහ. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, තෝ ඉවසුයෙහි දැ?”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීම්”යී හේ කීය. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”යී වදාළ සේක. (11.)
11. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ඒදණ්ඩක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ”යි වදාළ සේක. (12.)
12. එසමයෙහි එක්තරා මහණෙක් පෙරමග ස්ත්‍රියක දැක සංරක්ත වූයේ උරහිසින් පහර දිනි. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි”ය යි වදාළ සේක. (13.)
13. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ගසක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත්වේ”යි වදාළ සේක. (14.)
14. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක නැගුනු ඔරුවක් සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (15.)
15. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක ගත් රැහනක්ඇද්දේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලසිඇවැත් වේ”යි වදාළ සේක. (16.)
16. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්තවූයේ ස්ත්‍රියක ගත් දඬුකඩක් ඇද්දේ ය. ඒ මහණහට කුකුස් වීය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (17.)
17. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක පාත්‍රයෙන් දුරු කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (18.)
18. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියක වඳින කල්හි පය එසවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහි ය”යි වදාළ සේක. (19.)
19. එසමයෙහි එක්තරා මහණෙක් ස්ත්‍රියක අල්ලා ගණිමි යි වෑයම් කොට ස්පර්‍ශ නො කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (20.)
කායසංසර්‍ග ශික්‍ෂාපදය නිමි.
දුට්ඨුල්ලවාචාශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙමේ අරණෙහි වෙසෙයි. ඒ ආයුෂ්මත් උදායී තෙරුන්ගේ විහාරය මනරම් ය. දැකුම්කලු ය. ප්‍රසාද එළවන්නේ ය. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු සෙනස්න බැලියැටි වූවාහු ඒ අරමට පැමිණියාහු ය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ආයුෂ්මත් උදායී තෙරුන් කරා එළඹියාහු ය. එළඹ ආයුෂ්මත් උදායී හට “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේගේ විහාරය බලන්නට අපි කැමැත්තෙමු”යි කීහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙමේ ඒ ස්ත්‍රීන්ට විහාරය පෙන්වා ඒ ස්ත්‍රීන්ගේ වසමග පසමග ලක් කොට ගුණ ද කියයි. අගුණ ද කියයි. යදනේත් වෙයි. අයදනේත් වෙයි. විචාරණුයේත් වෙයි. පුළුවුස්නේත් වෙයි. අනුසස්නේත් වෙයි. හවන්නේත් වෙයි. යම් ඒ ස්ත්‍රී කෙනෙක් සුන් ඔතප් ඇත්තෝ සඨ වූවෝ ලජ්ජා නැත්තෝ වෙත් ද, ඔහු ආයුෂ්මත් උදායී තෙරුන් සමග මඳ සිනා පහළ කරන්නෝත් වෙත්. පොළඹවන බස් දොඩන්නෝත් වෙත්. මහ හඬින් සිනා සෙන්නෝ ද වෙත්. පරිහාස ද කෙරෙත්. යම් ඒ ස්ත්‍රී කෙනෙක් ලජ්ජා ඇත්තාහු ද ඔහු නික්ම ‘වහන්ස, මෙය නුසුදුසු ය. යෝග්‍ය නො වෙයි. හිමියා විසිනුදු මෙසේ කියන ලද්දා වූ අපි නො රුස්නෙමු. උදායී ආර්‍ය්‍යයන් වහන්සේ විසින් කියන ලදුමෝ කිම රුස්නමෝ ද?”යි භික්‍ෂූන්ට අවඥා කරත්. යම් ඒ අපිස් මහණහු වෙත් ද ඔහු “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙමේ මාගමුන්ට වසමග පසමග ඇරැබ තුළුල් තෙපුලින් ඔවස් බෙණේ ද?”යි අවඥා කෙරෙත්. අයුණු කියත්. දොස් පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස්කරවා “උදායී, තෝ මාගමට තුළුල් තෙප්ලෙන් ඔවස් බිණූයෙහි සැබෑ ද?”යි ආයුෂ්මත් උදායී තෙරුන් පුළුවුත් සේක. “සැබව, භාග්‍යවතුන් වහන්සැ”යි හේ කීය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වදාරණ සේක්, “හිස් පුරුෂය, නුසුදුසු ය. අනුලොම් නො වෙයි. යෝග්‍ය නො වෙයි. මහණුන්ට නො ගැළපෙන්නෙක. නො කැප ය. නොකටයුත්තක. හිස් පුරුෂය, කවර කරුණකින් තෝ මාගමට තුළුල් තෙප්ලෙන් පහත් ලෙස බිණූයෙහි ද? හිස් පුරුෂය, මා විසින් සරාගය පිණිස නො ව විරාගය පිණිස නන් අයුරින් දහම් දෙසන ලද්දේ නො වේ ද? කාමපරිදාහයන්ගේ සංසිඳීම කියන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පහන් බව පිණිස නො වේ”යි ... ගැරහූ සේක. ඉක්බිති මෙය වදාළ සේක: මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් තුළුල් තෙපුල් කියැටි රායෙන් මඩනා ලද්දේ පෙරළි සිතින් මිනිස් මාගමකට වසමග පසමග ඇරැබ මෙවුන්දම් පිළිබඳ තුළුල් තෙප්ලෙන් තරුණයකු තරුණියකට මෙන් ඔවස් බෙණේ නම් ඒ මහණහට සඟවෙසෙස් ඇවැත් වේ.”
3. යෝපන යනු යමෙක්, යම්බඳු වූයෙක් ...
භික්ඛු යනු ... මේ අරුත්හි මේ තෙමේ භික්‍ෂු ය යි අභිමත යි.
ඔතිණ්ණ නම්: ඇලුම් ඇත්තේ, අපේක්‍ෂා ඇත්තේ, පිළිබඳ සිතැත්තේ යි.
විපරිණතං යනු: රාගයෙන් රත් වූ සිත ද විපරිණත ය, ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය, මෝහයෙන් මූඪ වූ සිත ද විපරිණත ය. වැලිත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණතය යි අභිමත යි.
මාතුගාම නම්: මිනිස් මාගමකි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් ද නො වෙයි. සුබැසි දුබැසි තුළුල් නොතුළුල් තෙපුල් දැන ගැණීමට සමත් නුවණැති මාගම කි.
දුට්ඨුල්ලවාචා නම්: වසමග පසමග මෙවුන්දම් පිළිබඳ තෙපුල් ය.
ඔහාසෙය්‍ය යනුයෙන් ආචාරව්‍යතික්‍රමය කියනු ලැබේ.
යථා තං යුවා යුවතිං යනු ගම්දරුවකු ගම්දැරියකට තරුණයකු තරුණියකට කම්සැප විඳින්නකු කම්සැප විඳින්නියකට කථා කරන්නාක් මෙනි.
මෙථුනූපසංහිතා යනු: මෙවුන්දම් පිළිබඳ තෙපුලින් ය.
සඞ්ඝාදිසේසො යනු ... එයිනුදු සඟවෙසෙස යි කියනු ලැබේ.
4. දෙමග ඇරැබ ගුණත් කියයි. අගුණත් කියයි. යදින්නේත් වෙයි. අයදින්නේත් වෙයි. විචාරන්නේත් වෙයි. පුළුවුස්නේත් වෙයි. කියන්නේත් වෙයි. අනුශාසනා කරන්නේත් වෙයි. ආක්‍රෝශ කරන්නේත් වෙයි.
ගුණ කියයි යනු: දෙමග ගුණ කියයි. වණයි. පසසයි.
අගුණ කියයි යනු: ගරහයි, අවමන් කෙරෙයි, නින්‍දා කෙරෙයි.
යදියි යනු: ‘මට දෙව, මට දීමට සුදුස්සෙහි ය’යි කියයි.
අයදියි යනු: කවරදා තීගේ මවු තුටු වන්නී ද? කවරදා තීගේ පියා තුටු වන්නේ ද? කවරදා තීගේ (ඉටු) දෙවියෝ පහදින්නාහු ද? කවරදා සුබ ක්‍ෂණය, සුබ ලය, සුබ මොහොත වන්නේ ද? කවරදා තිගේ මෙවුන්දම් ලබන්නෙම් ද? යී කියයි.
විචාරයි යනු: ‘කෙසේ නම් තෝ සැමියාට දෙයි ද? කෙසේ නම් තෝ සොර සැමියාට දෙයි ද? යි ප්‍රශ්න කෙරෙයි.
පිළිවිසියි යනු: ‘මෙසේ තෝ සැමියාට දෙයිල මෙසේ තෝ සොරසැමියාට දෙයිල’යි පිළිවිසියි.
කියයි යනු: විචාරන ලද්දේ “මෙසේ දෙව. මෙසේ දෙන්නිය හිමියාට ප්‍රිය ද මන වඩන්නී ද වන්නීය”යි කියයි.
අනුශාසන කෙරෙයි යනු: නො විචාරණ ලද්දේ “මෙසේ දෙන්නිය සැමියාට ප්‍රිය වන්නී ය, මන වඩන්නීය”යි කියයි.
ආක්‍රෝශ කෙරෙයි යනු: ‘නිමිත්ත නැත්තී වෙහි, නොපිරිපුන් නිමිත්ත ඇත්තී වෙහි, ඔසප් නැත්තී වෙහි, නිති ඔසප් ඇත්තී වෙහි, නිති දරණ පිළි කඩ ඇත්තී වෙහි, මූ වගුරුවන්නී වෙහි, හිවී ගිය මස් ඇත්තී වෙහි, ස්ත්‍රීපණ්ඩක වෙහි, පිරිමි අයුරු ඇත්තී වෙහි, මුසු වූ හදන් ඇත්තී වෙහි, දෙහදන් ඇත්තී වෙහි’යි කියයි.
1. ස්ත්‍රියකුදු වෙයි, ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇති ඇලුනු මහණෙකුදු වෙයි, ස්ත්‍රියගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද, යදියි ද, අයදියි ද, විචාරයි ද, පිළිවිසියි ද, බෙණෙයි ද, අනුශාසනා කෙරෙයි ද, ආක්‍රෝශ කෙරෙයි ද, සඟවෙසෙස් ඇවැත් වේ. ...
2. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙම ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි, ස්ත්‍රීන් දෙදෙනාගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද සඟවෙසෙස්ඇවැත් දෙකෙකි. ...
3. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙම දෙදෙනා පිළිබඳ ව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි, ස්ත්‍රීන් දෙදෙනාගේ වසමග පසමග ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, සඟවෙසෙස් හා දුකුළාඇවැත් වේ. ...
4. ස්ත්‍රියකුදු වෙයි, මහණතෙම ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද, වෙයි. ස්ත්‍රියගේ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් මතු ගුණ කියයි ද, අගුණ කියයි ද, ආක්‍රෝශ කෙරෙයි ද ථුලැසි වේ. ...
5. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙම ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් උඩ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, ථුලැසිඇවැත් දෙකෙකි. ...
6. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ වසමග පසමග හැර අකුඇටින් යට දෙදණ මඩලින් මතු ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද ථුලැසි හා දුකුළාඇවැත් වේ. ...
7. ස්ත්‍රියක් ද වෙයි, මහණ තෙමේ ‘ස්ත්‍රියක’ යන හැඟීම් ඇත්තේ, ඇලුම් ඇත්තේ ද වෙයි. ස්ත්‍රියගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද, ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
8. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්, මහණ තෙමේ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රීන් දෙදෙනාගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
9. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්, මහණ තෙමේ දෙදෙනා පිළිබඳ ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ අකුඇටින් මතු දෙදණ මඩලින් යට ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
10. ස්ත්‍රියක් ද වෙයි, මහණ තෙමේ ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. ස්ත්‍රියගේ කය පිළිබඳ වූ වස්ත්‍රාදිය ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද, ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. ...
11. ස්ත්‍රීහු දෙදෙනෙක් වෙත්. මහණ තෙමේ ස්ත්‍රීන් දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ ද වෙයි. ඇලුනේ ස්ත්‍රීන් දෙදෙනාගේ කය පිළිබඳ වූ වස්ත්‍රාදිය ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද, දුකුළාඇවැත් දෙකෙකි. ...
12. ස්ත්‍රියකුදු පණ්ඩකයෙකුදු වෙත්. මහණ තෙමේ දෙදෙනා පිළිබඳව ‘ස්ත්‍රිය’ යන හැඟීම් ඇත්තේ, ඇලුනේ ද වෙයි. දෙදෙනාගේ කය පිළිබඳ වූවක් ඇරැබ ගුණ කියයි ද, අගුණ කියයි ද ... ආක්‍රෝශ කෙරෙයි ද දුකුළාඇවැත් දෙකෙකි. ...
13. ඔවා පෙරටුකොට, දහම් පෙරටු කොට අනුශාසන පෙරටු කොට කියන්නහුටත්, උමතුවූවහුටත් ආදිකර්‍මමිකයාටත් ඇවැත් නො වේ.
විනිශ්චිතවස්තු
උද්දානගාථා:
ලෝහිත වත්‍ථු, කක්කස ලොම වත්‍ථු, ආකිණ්ණ ලොම වත්‍ථු, ඛර ලොම වත්‍ථු, දීඝ ලොම වත්‍ථු, වාපිත වත්‍ථු, කච්චීසංසීදනමග්ග වත්‍ථු, සද්ධා වත්‍ථු, දාන වත්‍ථු, කම්ම වත්‍ථු, (තුනෙකැ) යි වස්තු දොළසෙකි:
1. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අලුත රැඳූ කම්බලයක් පෙරෙවියා වෙයි. එක්තරා මහණෙක් සංරක්තවූයේ ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ ලෙය”යි කී ය. ඕ එබස නො දත්තී ‘එසේය, ආර්‍ය්‍යයන් වහන්ස, අලුත රැඳූ කම්බලයකි’යි කිවු ය. මහණහට “කිම, මම් සඟවෙසෙස්ඇවැත් අවන්නෙම් දැ?”යි කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක.
2. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් ගනලොම් කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්තවූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ කැකුළු ලෝමැ”යි කී ය. ඕ තොමෝ එ බස නො දත්තී “ආර්‍ය්‍යයන් වහන්ස, රළු ලොම් කම්බලයෙකි” යි ඕ කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (2)
3. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අලුත වියූ කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ ගැවසුනු ලොම් වේ”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය ආර්‍ය්‍යයන් වහන්ස, අලුත වියූ කම්බලයකි” යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (3)
4. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් අළුලොම් කම්බලයක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “බුහුනනියනි, තිගේ රළු ලෝමැ”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය ආර්‍ය්‍යයන් වහන්ස, කම්බලය රළුලොම් ඇත්තෙකැ”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (4)
5. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් උතුරු සළුවක් පෙරෙවියා වෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “නඟ, තිගේ දිග ලොම්ය”යි කී ය. ඕ දැන නොගත්තී ය. “එසේ ය, ආර්‍ය්‍යයන් වහන්ස, උතුරුසළුවකි”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (5)
6. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් කෙතක් වපුරවා එයි. එක්තරා මහණෙක් සංරක්ත වූයේ “නඟ, තිගේ කෙත වපුළේ ද?”යි කී ය. ඕ දැන නො ගත්තී ය. “එසේ ය, ආර්‍ය්‍යයන් වහන්ස, වැලිත් නැවත වපුළේ නො වේ ය”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”යි වදාළ සේක. (6)
7. එසමයෙහි එක්තරා මහණෙක් පෙරමග පිරිවැජියක දැක සංරක්ත වූයේ, ඒ පිරිවැජියට “කිම නඟ, තිගේ මග මැනැවින් පවත්නේ ද?”යි ඇසී ය. ඕ නො දත්තී ය. “එසේ ය මහණ, මග බැස යන්නැ”යි කිවු ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (7)
8. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ එක්තරා ස්ත්‍රියකට “නඟ, ශ්‍රද්ධා ඇති වෙහි ය. එහෙත් තෝ යමක් හිමියාට දෙයි නම් එය අපට නො දෙහිය”යි කී ය. “වහන්ස, කිමෙක් දැ?”යි ඕ කිවු ය. “මෙවුන්දමය”යි හේ කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (8)
9. එසමයෙහි එක්තරා මහණෙක් සංරක්ත වූයේ ස්ත්‍රියකට “නඟ, තෝ සැදැහැවත් ය. වැලිත් යම් අග්‍රදානයෙක් වේ නම් එය අපට නො දෙහිය”යි කී ය. “වහන්ස, අග්‍රදානය යනු කිමැ?”යි කිවු ය. “මෙවුන්දමය”යි කී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් අවන්නෙහිය”යි වදාළ සේක. (9)
10. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් කිසි කටයුත්තක් කෙරෙයි. සංරක්ත වූ එක්තරා මහණෙක් ඒ ස්ත්‍රියට “නඟ, සිටුව මම් කරන්නෙමි” ... “නඟ, හිඳුව. මම් කරන්නෙමි” ... “නඟ, වැදහෙව. මම් කරන්නෙමි” යි කී ය. ඕ දැන නො ගත්තී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. දුකුළා ඇවැත්වේ”යි වදාළ සේක. (10. 11. 12.)
දුට්ඨුල්ලාවාචාශික්‍ෂාපදය නිමි.
අත්තකාමපාරිචරියශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙමේ සැවැත්නුවර බොහෝ කුලයන් කරා එළඹෙයි. එසමයෙහි සැමියා මළ මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නාවූ එක්තරා ස්ත්‍රියක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ ඒ ස්ත්‍රියගේ නිවසට එළඹ පැණවූ අස්නෙහි හිඳගත්තේ ය.
2. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උදායී වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තී ය. එකත්පසෙක හුන් ඒ ස්ත්‍රියට ආයුෂ්මත් උදායි තෙමේ දැහැමි කථාවෙන් දෙලෝවැඩ මනාකොට දැන්වීය. කුශලධර්‍මයන්හි සමාදන් කරවී ය. මැනවින් පැහැද වීය.
3. ඉක්බිති ආයුෂ්මත් උදායි විසින් දෙලෝවැඩ දක්වන ලද්දාවූ කුශල ධර්‍මයන්හි සමාදන් කරවන ලද්දාවූ උත්සාහවත් කරණ ලද්දාවූ මනා කොට පහදවන ලද්දාවූ ඒ ස්ත්‍රී ආයුෂ්මත් උදායීහට “වහන්ස, යමකින් ප්‍රයෝජන නම් එය මට කියනු මැනව. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙය ආර්‍ය්‍යයන් වහන්සේට දීමට සමත් වෙමි”යි කිවු ය. “නඟ, මේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර යන යමෙක් වේ ද, ඒ අපට දුලබ නො වෙයි. වැලි දු අපට යමක් දුලබ නම් එය දෙව”යි හේ කී ය. “වහන්ස, කිමැ”යි ඕ ඇසූ ය. “මෙවුන්දම”යි හේ කී ය. “වහන්ස, එයට කැමති දැ?”යි ඕ ඇසූ ය. “නඟ, කැමැත්තෙමි”යි හේ කී ය. “වහන්ස, එනු මැනවැ”යි ලගිනාගෙට පිවිස සළුව මුදා ඇඳෙහි උඩුකුරු ව හොත්තී ය. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙමේ ඇය වෙත පැමිණ “කවරෙක් නම් මල වැහෙන දුගඳ මැය ආමර්‍ශනය කරන්නේ දැ?”යි කෙළ ගසා ඉවත් ව ගියේ ය.
4. ඉක්බිති ඒ ස්ත්‍රිය අවමන් කරයි. අයුණු කියයි. දොස් පතුරුවයි. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය. දුශ්ශීලයෝ ය. මුසාවාදිහු ය. මොහු “තුමූ ධර්‍මචාරීහු ය යි සමාචාරීහු ය යි බ්‍රහ්මචාරීහුය යි සත්‍යවාදීහු ය යි සිල්වත්හු ය යි කලණ දහම් ඇත්තෝ ය යි පිළිණ කෙරෙත්. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද? මොවුන්ට බමුණුකමෙක් කොයින් ද? මොහු මහණකමින් පහ වූවෝ ය. මොවුහු බමුණු කමින් පහ වූවෝ ය. කවර කරුණකින් උදායී මහණ තෙමේ ම මා මෙවුන්දමින් යැද “කවරෙක් මළ වැහෙන දුගඳ වූ මැය ආමර්‍ශනය කරන්නේ දැ?”යි “කෙළ ගසා යන්නේ ද?” “මගේ කුමක් ලාමක ද? මගේ කුමක් දුගඳ ද? මම කිනම් ස්ත්‍රියකට කෙබඳු අලඞ්කාරයකින් පිරිහෙම් ද?”යි කිවු ය.
5. අනෙක් ස්ත්‍රීහු ද “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහුය ... අයුණු කියත්. නුගුණ පතුරුවත්. කවර හෙයකින් උදායි මහණ තෙමේ මැයගෙන් තෙමේ ම මෙවුන්දම් යැද කවරෙක් මළ වගුරණ දුගඳ වූ මැය ආමර්‍ශනය කරන්නේ දැ?යි කෙළ ගසා යන්නේ ද? මැගේ කුමක් ලාමක ද? මැගේ කුමක් දුගඳ ද? මෝ තොමෝ කිනම් ස්ත්‍රියකට කිනම් අලංකාරයකින් පිරිහේ ද?” යනුයි.
6. භික්‍ෂූහු අවමන් කරන්නාවූ අයුණු කියන්නා වූ නුගුණ පතුරුවන්නාවූ ඒ ස්ත්‍රීන්ගේ කථාව ඇසූහ. යම් අල්පේච්ඡ භික්‍ෂූහු වූවාහු ද ඔහු අවමන් කෙරෙත්. අයුණු කියත්. නුගුණ පතුරුවත්. “කවර කරුණකින් ආයුෂ්මත් උදායි තෙමේ ස්ත්‍රියක ලඟ තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියන්නේ ද?”
7. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස්කරවා. “උදායි, තෝ ස්ත්‍රියක ලඟ තමහට මෙවුන්දම් සෙවුමෙහි අනුසස් කීයෙහි යනු සැබෑ දැ?”යි ආයුෂ්මත් උදායින් විචාළසේක. “සැබව, භාග්‍යවතුන් වහන්ස”යි හේ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ, “හිස්පුරුෂය, නුසුදුස්සෙකි. අනුලොම් නොවූවකි. මහණකමට නොසුදුස්සෙකි. නොකැපයෙකි. නොකටයුත්තකි. හිස් පුරුෂය, තෝ කෙසේ නම් මාගම ලඟ තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කිවුයෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් සරාගය පිණිස නොව විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නොවේ ද? ... කාමදාහයන් සංසිඳුවීම දෙසන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අත්තකාමපාරිචරියා රාගයට බටුයේ පෙරළී ගිය සිතින් මිනිස් මාගමක සමීපයෙහි යම් ස්ත්‍රියක් සිල්වත් වූ කලණ දහම් ඇති බඹසර ඇති මා වැන්නක්හු මේ මෙවුන්දමින් අභිරමණය කරවා නම් මෙය පාරිචරියාවන් අතුරෙන් අග්‍රයයි මෛථුනෝපනිඃශ්‍රිත වචනයෙන් තමහට මෙවුන්දමින් මෙහෙ කිරීමෙහි අනුසස් කියා ද, ඒ මහණහට සඟවෙසෙස්ඇවැත් වේ.”
8. යෝපන යනු යමෙක් යම්බඳුවෙක් ...
භික්ඛු යනු ... මේ අර්‍ත්‍ථයෙහි මෙ තෙමේ භික්‍ෂු ය යි අභිමත යි.
ඔතිණ්ණ නම්: මොනවට ඇලුනේ බලාපොරොත්තු සහිත වූයේ පිළිබඳ සිත් ඇත්තේ යි.
විපරිණත නම්: රාගයෙන් රත් වූ සිත ද විපරිණත ය, ද්වේෂයෙන් ද්විෂ්ට වූ සිත ද විපරිණත ය, මෝහයෙන් මුළා සිත ද විපරිණත ය. වැලිත් මේ අර්‍ත්‍ථයෙහි රාගයෙන් රත් වූ සිත විපරිණතය යි අභිමත යි.
මාතුගාම නම්: මිනිස් මාගමකි. යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි. තිරිසන් ගත මාගමක් ද නො වෙයි. සුබැසි දුබැසි තුළුල් නොතුළුල් තෙපුල් දැන ගන්නට සමත් නුවණැත්තියකි.
මාතුගාමස්ස සන්තිකේ යනු මාගම් වෙත, මාගම්හට නුදුරු තැන ය.
අත්තකාමං යනු තමාගේ කැමැත්ත, තමාගේ හේතුව, තමාගේ අදහස, තමා පිළිබඳ පාරිචර්‍ය්‍යා ය.
ඒතදග්ගං යනු මෙය අග්‍රය, මෙය ශ්‍රේෂ්ඨ ය, මෙය ප්‍රමුඛ ය, මෙය උත්තම ය, මෙය ප්‍රවර ය යන අර්‍ත්‍ථ යි.
යා යනු ක්‍ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ වෛශ්‍ය හෝ ශුද්‍ර හෝ ස්ත්‍රීයි.
මාදිසං යනු කැතකු හෝ බමුණකු හෝ වෙළෙඳෙකු හෝ සුදුරකු හෝ.
සීලවන්තං යනු: පණිවායෙන් තොර වූ අයිනාදනින් තොර වූ මුසවායෙන් තොර වූ එකක්හු ය.
බ්‍රහ්මචාරිං යනු: මෙවුන්දමින් තොරවූවකු ය.
කල්‍යාණධම්ම නම්: ඒ ශීලයෙන් ද ඒ බඹසරින් ද කලණදහම් ඇත්තෙක් වෙයි.
එතෙන ධම්මෙන යනු: මෙවුන්දමින් ය.