76. එකල්හි භික්‍ෂූන්ට “පාතිමොක්ඛුද්දෙසයෝ කෙතෙක් දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මේ පාතිමොක්ඛුද්දෙසයෝ පසෙකි. නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය. මේ පළමුවන පාමොක්උදෙසීම වේ.”
77. “නිදානය උදෙසා සතර පරිජි උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුත්තේ ය. මේ දෙවන පාමොක්උදෙසීම වේ.”
78. “නිදානය උදෙසා සතර පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය. මේ තෙවන පාමොක් උදෙසීම වේ.”
79. නිදානය උදෙසා සතරපරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා අනියත දෙක උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය. මේ සිවුවන පාමොක් උදෙසීම වේ.”
80. “විස්තර වශයෙන් ම පාමොක් දෙසීම පස්වන උද්දේසය යි. මහණෙනි, මේ පාමොක් උදෙසීම් පසය.”
81. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් පාමොක් උදෙසීම අනුදන්නා ලදැ” යි හැම කල්හි සැකෙවින් පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැකෙවින් පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම් දුකුළා ඇවැත් වේ.”
82. එකල්හි කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක එ දවස පොහොයෙහි වනවැසි මිනිසුන්ගෙන් බියෙක් වූයේ ය. භික්‍ෂූහු විස්තර වශයෙන් පාමෙක් උදෙසන්නට අපොහොසත් වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අන්තරායයක් ඇති කල්හි සැකෙවින් පාමොක් උදෙසන්නට අනුදනිමි.”
83. එකල්හි සවග භික්‍ෂූහු අන්තරායයක් නැති කල්හි ද සැකෙවින් පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අන්තරායයක් නැති කල්හි සැකෙවින් පාමෙක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, අන්තරායයක් ඇති කල්හි සැකෙවින් පාමොක් උදෙසන්නට අනුදනිමි. එහි මේ අන්තරායයෝ ය – රජුගෙන් වන අන්තරාය, සොරුන්ගෙන් වන අන්තරාය, ගින්නෙන් වන අන්තරාය, ජලයෙන් වන අන්තරාය, මිනිසුන්ගෙන් වන අන්තරාය, අමනුෂ්‍යයන්ගෙන් වන අන්තරාය, චණ්ඩමෘගයන්ගෙන් වන අන්තරාය, සර්‍පයන්ගෙන් වන අන්තරාය, ජීවිතයට වන අන්තරාය, බ්‍රහ්ම චර්‍ය්‍යයට වන අන්තරායය යි. මහණෙනි, මෙබඳු අන්තරායයක් ඇති කල්හි සැකෙවින් පාමොක් උදෙසන්නට ද, අන්තරායයක් නැති කල්හි විස්තර වශයෙන් උදෙසන්නට ද අනුදනිමි” යි.
84. එකල්හි සවග භික්‍ෂූහු ආරාධනා නො කරණ ලද්දාහු සඟ මැද දහම් දෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ආරාධනා තො කරණ ලද්දහු විසින් සඟ මැද දහම් නො දෙසිය යුතු ය. යමෙක් දෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ස්ථවිර භික්‍ෂුහු විසින් තමන් හෝ දහම් දෙසන්නට නැතහොත් අනුන්ට හෝ ආරාධනා කරන්නට අනුදනිමි” යි.
85. එකල්හි සවග භික්‍ෂූහු සඟ මැද සම්මත නො කරණ ලද්දාහු විනය විචාරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මත නො කරණ ලද්දහු විසින් සඟ මැද විනය නො විචාළ යුතු ය. යමෙක් විචාරන්නේ නම් දුකුළා ඇවැත් වේ. මහණෙනි, සම්මත කරණ ලද්දාහු විසින් සඟ මැද විනය විචාරන්නට අනුදනිමි” යි.
86. “මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. තමන් විසින් හෝ තෙමේ සම්මත කළ යුතු ය. අනිකකු විසින් අනෙකෙක් සම්මත කළ යුතු” ය.
87. “තමන් විසින් තමා කෙසේ සම්මත කළ යුතු ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු” ය.
“ස්වාමීනි, සඞ්ඝ තොමෝ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මෙ නම් ඇත්තහු විනය විචාරන්නෙමි’ යි මෙසේ තමන් විසින් හෝ තමා සම්මත කළ යුතු” ය.
88. “අනෙකෙකු විසින් අනෙකෙක් කෙසේ සම්මත කළ යුතු ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය:
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණ කල් ඇත්තේ නම්, මෙ නම් ඇත්තේ මේ නම් ඇත්තහු විනය විචාරන්නේ ය යි මෙසේ අනෙකෙකු විසින් අනෙකෙක් සම්මත කළ යුතු ය.”
89. එකල්හි පේශල භික්‍ෂූහු සම්මත කරණ ලද්දාහු සඟ මැද විනය විචාරත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නො සතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මතය ලද්දහු විසිනු දු පිරිස බලා පුද්ගලයාගේ පමණ සලකා සඟ මැද විනය විචාරන්නට අනුදනිමි” යි.
90. එකල්හි සවග භික්‍ෂූහු සම්මත නො කරණ ලද්දාහු සඟ මැද විනය විසඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මත නො කරණ ලද්දහු විසින් සඟ මැද විනය නො විසඳිය යුතු ය. යමෙක් විසඳන්නේ නම් දුකුළාඇවැත් වේ. මහණෙනි, සම්මතය ලද්දහු විසින් සඟ මැද විනය විසඳන්නට අනුදනිමි” යි
91. “මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. තමන් විසින් තමා සම්මත කළ යුතු ය. අනෙකකු විසින් අනෙකෙක් සම්මත කළ යුතු ය.
92. “තමන් විසින් තමා කෙසේ සම්මත කළ යුතු ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මෙ නම් ඇත්තහු විසින් විනය විචාරණ ලද්දෙම් විසඳන්නෙමි යි මෙසේ තමන් විසින් තමා සම්මත කළ යුතු ය.
93. “අනෙකෙකු විසින් අනෙකෙක් කෙසේ සම්මත කළ යුතු ද? ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මෙ නම් ඇත්තේ මෙ නම් ඇත්තහු විසින් විනය විචාරණ ලද්දේ විසඳන්නේ ය යි මෙසේ අනෙකෙකු විසින් අනෙකෙක් සම්මත කළ යුතු ය.”
94. එකල්හි පේශල භික්‍ෂූහු සම්මත කරණ ලද්දාහු සඟ මැද විනය විසඳත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නො සතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සම්මතය ලද්දහු විසින් ද සඟ මැද පිරිස බලා පුද්ගලයා ගැණ සලකා විනය විසඳන්නට අනුදනිමි” යි.
95. එකල්හි සවග භික්‍ෂූහු අවකාශ නො කළ භික්‍ෂුහට ඇවැතින් චෝදනා කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අවකාශ නො කළ භික්‍ෂුහට ඇවැතින් චෝදනා නො කළ යුතු ය. යමෙක් චෝදනා කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ‘ආයුෂ්මත් තෙමේ මට අවකාශ කෙරේවා. මම ඔබට කියනු කැමැත්තෙමි’ යි අවකාශ කරවා ඇවැතින් චෝදනා කරන්නට අනුදනිමි” යි.
96. එකල්හි පේශල භික්‍ෂූහු අවසර ලබා සවග භික්‍ෂූන්ට ඇවැතින් චෝදනා කෙරෙත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නො සතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අවසර දුන් කල්හි ද පුද්ගලයා ගැණ සලකා චෝදනා කරන්නට අනුදනිමි” යි.
97. එකල්හි සවග භික්‍ෂූහු “නොබෝ කලකින් අපට (චෝදනා කරණු පිණිස) පේශල භික්‍ෂූහු අවකාශ කරවත්” යි පළමු කොට ම ඇවැත් රහිත වූ පිරිසිදු භික්‍ෂූන්ට (චෝදනා) වස්තුවක් නැති කල්හි නිකරුණෙහි අවකාශ කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇවැත් රහිත පිරිසිදු භික්‍ෂූන්ට වස්තුවක් නැති කල්හි නිකරුණෙහි (චෝදනා කිරීමට) අවකාශ නො කරවිය යුතු ය. යමෙක් අවකාශ කරවන්නේ නම් දුකුළාඇවැත් වේ. මහණෙනි, පුද්ගලයා සලකා අවකාශ කරන්නට අනුදනිමි” යි.
98. එකල්හි සවග භික්‍ෂූහු සඟමැද අධර්‍මකර්‍ම කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අධර්‍මකර්‍ම නො කළ යුතු ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.” අධර්‍මකර්‍ම කෙරෙත් ම ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අධර්‍මකර්‍ම කරණු ලබන කල්හි වළකාලන්නට අනුදනිමි” යි
99. එකල්හි පේශල භික්‍ෂූහු සවග භික්‍ෂූන් අධර්‍මකර්‍ම කරණු ලබන කල්හි වළකාලත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නො සතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෘෂ්ටිය ද ප්‍රකාශ කරන්නට අනුදනිමි.” ඔවුන් වෙත ම දෘෂ්ටිය ප්‍රකාශ කෙරෙත්. සවග භික්‍ෂූහු ක්‍රෝධ කෙරෙත්. නොසතුටු වෙත්. වධයෙන් තර්‍ජනය කෙරෙත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘ඒ අධර්‍මකර්‍ම මට රුචි නො වේ’ යි සිවු දෙනකුන් විසින් පස් දෙනකුන් විසින් වළකාලන්නට ද, දෙදෙනකුන් විසින් තුන් දෙනකුන් විසින් දෘෂ්ටිය ප්‍රකාශ කරන්නට ද, එකකු විසින් ‘මෙය මට රුචි නො වේ ය’ යි ඉටන්ට ද අනුදනිමි” යි.
100. එකල්හි සවග භික්‍ෂූහු සඟ මැද පාමොක් උදෙසන්නාහු දාන දැන නො අස්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පාමොක් උදෙසන්නහු විසින් දැන දැන නො ඇස්විය යුතු නො වේ. යමෙක් නො අස්වන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
101. එකල්හි ආයුෂ්මත් උදායිස්ථවිර තෙමේ සඞ්ඝයාගේ පාතිමොක්ඛුද්දෙසක වූයේ කවුඩුහඬ ඇත්තේ වේ. ඉක්බිති ආයුෂ්මත් උදායි ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පාමොක් උදෙසන්නහු විසින් ඇස්විය යුතු ය’යි පණවන ලද්දේ ය. මම ද කවුඩු හඬ ඇත්තේ වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පාතිමොක්ඛුද්දෙසකයා විසින් ‘කෙසේ අස්වන්නෙම් දැ’යි උත්සාහ කරන්නට අනුදනිමි. උත්සාහ කරන්නාහට ඇවැත් නො වේ.”
102. එකල්හි දේවදත්ත තෙමේ ගිහියන් සහිත පිරිසෙහි පාමොක් උදෙසයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිහියන් සහිත පිරිසෙහි පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
103. එකල්හි සවග භික්‍ෂූහු සඟ මැද ආරාධනා නො කරණ ලද්දාහු පාමොක් උදෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ආරාධනා නො කරණ ලද්දාහු විසින් සඟ මැද පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පාමොක් උදෙසීම ‘සඞ්ඝස්ථවිරයන් අයත් ය’ යි අනුදනිමි.”
අන්‍යතීර්‍ත්‍ථකභාණවාරය නිමි.
1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමැති තාක් වැඩ වාසය කොට චෝදනාවත්‍ථු නගරය බලා වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් චෝදනාවත්‍ථු නගරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ චෝදනාවත්‍ථුනගරයෙහි වැඩ වාසය කරත්. එකල්හි එහි එක්තරා ආවාසයෙක බොහෝ භික්‍ෂූහු වාසය කරති. එහි වැසි ස්ථවිර භික්‍ෂූ තෙමේ අඥ ය. අව්‍යක්ත ය. හෙ තෙමේ උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනි යි.
2. එහි වැසි අනික් භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පාතිමොක්ඛය සඞ්ඝස්ථවිරයන් අයත්” යි පණවන ලද්දේ ය. අපගේ මේ ස්ථවිර තෙමේත් අඥ ය. අව්‍යක්ත ය. උපෝසථය හෝ උපෝසථ කර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනි යි. මෙහි ලා අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ”? යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එහි ව්‍යක්ත වූ ප්‍රතිබල මහණෙක් වෙසේ නම්, පාතිමොක්ඛය ඔහු අයත් ය යි අනුදනිමි” යි.
3. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වාසය කෙරෙත්. ඔහු උපෝසථය හෝ උපෝසථ කම්මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනිත්. ඔහු, “ස්වාමීනි, ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා” යි තෙරුන්ට ආරාධනා කළහ. ස්ථවිර තෙමේ “ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ” යි කී ය. දෙවන තෙරුන්ට ද “ස්වාමීනි, ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා” යි ආරාධනා කළහ. ඒ ස්ථවිර තෙමේ ද “ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ” යි කී ය. “ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා” යි තෙවන තෙරුන්ට ද ආරාධනා කළහ. ඒ ස්ථවිර තෙමේත් “ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ” යි කී ය. මේ ක්‍රමයෙන් සඞ්ඝනවකයා තෙක් “ආයුෂ්මත් තෙමේ පාතිමොක්ඛය උදෙසාවා” යි ආරාධනා කළහ. හෙතෙමේ ද “ස්වාමීනි, මට ප්‍රගුණ නැතැ” යි කී ය.
4. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වාසය කෙරෙත්. ඔහු උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුදදේසය හෝ නො දනිත්. ඔහු ‘ස්වාමීනි, පාතිමොක්ඛය උදෙසාවා’ යි තෙරුන්ට ආරාධනා කෙරෙත්. ඒ ස්ථවිර තෙමේ ‘ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ’ යි කියයි. “ස්වාමීනි, ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා’ යි දෙවන තෙරුන්ට ද ආරාධනා කෙරෙත්. හෙතෙමේ ද ‘ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ’ යි කියයි. තෙවන තෙරුන්ට ද ‘ස්වාමීනි, ස්ථවිර තෙමේ පාතිමොක්ඛය උදෙසාවා’ යි ආරාධනා කෙරෙත්. හෙ තෙමේත් ‘ඇවැත්නි, මට ප්‍රගුණ නැතැ” යි කියයි. මේ ක්‍රමයෙන් සඞ්ඝනවකයා තෙක් ‘ආයුෂ්මත් තෙමේ පාතිමොක්ඛය උදෙසාවා’ යි ආරාධනා කෙරෙත්. හෙ තෙමේත් ‘ස්වාමීනි, මට ප්‍රගුණ නැතැ’ යි කියයි.
“මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි, සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පාතිමොක්ඛය ප්‍රගුණ කොට එව’ යි එක් මහණෙක් එදා ම එනු පිණිස සමීප ආවාසයකට යැවිය යුතු” යි.
5. එකල්හි භික්‍ෂූන්ට “කවරකු විසින් (මහණෙක්) යැවිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිරභික්‍ෂූහු විසින් නවක මහණකුට අණ කරන්ට අනුදනිමි” යි. තෙරුන් විසින් අණ කරණ ලද නවක භික්‍ෂූහු නො යත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තෙරුන් විසින් අණ කරණ ලද නො ගිලන් වූවහු නො යා යුතු නො වේ. යමෙක් නො යන්නෙන් නම් දුකුළා ඇවැත් වේ.”
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චෝදනාවත්‍ථු නගරයෙහි කැමැති තාක් වාසය කොට නැවත රජගහනුවරට පෙරළා වැඩිසේක. එකල්හි මිනිස්සු පිඬු සිඟා යන භික්‍ෂූන්ගෙන් “ස්වාමීනි, අද පක්‍ෂය පිළිබඳ කවර දින දැ?” යි විචාරත්. එවිට භික්‍ෂූහු “ඇවැත්නි, අපි නො දනිමු” යි කීහ. මිනිස්සු “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පක්‍ෂය ගිණිම් පමණකුත් නො දන්නෝ ය. කිම? මොහු අන් කිසි යහපතක් දනිත් දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පක්‍ෂ ගිණීම ඉගෙණ ගන්නට අනුදනිමි” යි. එකල්හි “භික්‍ෂූන්ට කවරකු විසින් පක්‍ෂ ගිණීම උගත යුත්තේ දැ? යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සියල්ලන් විසින් ම පක්‍ෂ ගිණීම ඉගෙණ ගන්නට අනුදනිමි” යි.
7. එකල්හි මිනිස්සු පිඬු සිඟා යන භික්‍ෂූන්ගෙන් “ස්වාමීනි, වෙහෙර වැසි භික්‍ෂූහු කොපමණ දැ? යි විචාරත්. (එවිට) භික්‍ෂූහු ‘ඇවැත්නි, අපි නො දනිමු යි” කියත්. මිනිස්සු ඒ අසා “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ උනුන් ගැණ වත් නො දනිත්. කිම? මොහු අන් කිසි යහපතක් දනිත් දැ?” යි අවමන් කෙරෙත්. ගරහත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, භික්‍ෂූන් ගණින්නට අනුදනිමි” යි. එකල්හි භික්‍ෂූන්ට “කවදා නම් භික්‍ෂූන් ගිණිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට “මෙය සැළකළහ. “මහණෙනි, එදවස පොහොයෙහි නම් වශයෙන් ගණින්නට හෝ කුසපත් ගැන්වීමෙන් ගණින්නට හෝ අනුදනිමි” යි.
8. එකල්හි භික්‍ෂුහු “අද පොහොය” යි නො දන්නෝ දුර (ඈත) ගමට පිඬු සිඟා යත්. ඔහු පාමොක් උදෙසනු ලබන කල්හි ද එත්. උදෙසූ ඇසිල්ලෙහි ද එත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘අද පොහොය’ යි දන්වන්නට අනුදනිමි” යි. “කවරෙකු විසින් දැන්විය යුතු දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු විසින් කල් ඇති ව තිබිය දී දන්වන්නට අනුදනිමි” යි.
9. එකල්හි එක්තරා ස්ථවිර නමක් කල් ඇති ව තිබිය දී එය සිහි නො කරයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බත් කාලයෙහි දන්වන්නට අනුදනිමි” යි. බත් කාලයෙහි ද දන්වන්නට සිහි නො කරයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් කාලයක සිහි කෙරේ ද, එකල්හි දන්වන්නට අනුදනිමි” යි
10. එකල්හි එක්තරා ආවාසයෙක උපෝසථාගාරය කුණුකසළින් යුක්ත ව පවතී. ආගන්තුක භික්‍ෂූහු “කෙසේ නම් ආවාසයෙහි වසන භික්‍ෂූහු පොහොය ගෙය නො හමදින්නාහු දැ?” යි පරිභව කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපෝසථාගාරය හමදින්නට අනුදනිමි” යි. එකල්හි “කා විසින් උපෝසථාගාරය හැමදිය යුතු දැ? “යි භික්‍ෂූන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු විසින් නවක භික්‍ෂූහුහට අණ කරන්නට අනුදනිමි.” ස්ථවිර භික්‍ෂුහු විසින් අණ කරණ ලද නවකභික්‍ෂූහු (උපෝසථාගාරය) නො හමදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂුහු විසින් අණ කරණ ලද නො ගිලන් මහණහු විසින් (උපෝසථාගාරය) නො හැමදිය යුතු නො වේ. යමෙක් නො හමදින්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
11. එකල්හි උපෝසථාගාරයෙහි අසුන් නො පණවන ලද්දේ වේ. භික්‍ෂූහු බිම හිඳිත්. සිරුරුත් සිවුරුත් පසින් තැවරුණේ වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපෝසථාගාරයෙහි අසුන් පණවන්නට අනුදනිමි. එකල්හි “කා විසින් උපෝසථාගාරයෙහි අසුන් පැණවිය යුතු දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු විසින් නවක භික්‍ෂූහු හට අණ කරන්නට අනුදනිමි” යි. තෙරුන් විසින් අණ කරණ ලද නවක භික්‍ෂූහු (අසුන්) නො පණවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තෙරුන් විසින් අණ කරණ ලද නො ගිලන්හු විසින් (අසුන්) නො පැණවිය යුතු නො වේ. යමෙක් නො පණවන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
12. එකල්හි උපෝසථාගාරයෙහි පහන් දැල්වීමෙක් නො වේ. භික්‍ෂූහු අඳුරෙහි (උනුන්ගේ) සිරුරු ද සිවුරු ද පාගත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපෝසථාගාරයෙහි පහන් දල්වන්නට අනුදනිමි.” එවිට “කා විසින් උපෝසථාගාරයෙහි පහන් දැල්විය යුතු දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තෙරුන් විසින් එය නවක භික්‍ෂුහුහට අණ කරන්ට අනුදනිමි.” තෙරුන් විසින් අණවන ලද නවක භික්‍ෂූහු පහන් නො දල්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තෙරුන් විසින් අණ කරණ ලද නො ගිලන්හු විසින් පහන් නො දැල්විය යුතු නො වේ. යමෙක් නො දල්වන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
13. එකල්හි එක්තරා ආවාසයෙක ආවාසයෙහි වසන භික්‍ෂූහු පැන් නො තබත්. පරිභෝගයට ගන්නා දිය නො තබත්. ආගන්තුක භික්‍ෂූහු “කෙසේ නම් ආවාසික භික්‍ෂූහු පැන් නො තබන්නාහු ද? පරිභෝගයට ගන්නා දිය නො තබන්නාහු දැ?” යි අවමන් කෙරෙ ති. ගරහති. දොස් කියති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පැන් ද පරිභෝගයට ගන්නා දිය ද තබන්නට අනුදනිමි” යි. “එකල්හි භික්‍ෂූන්ට කවරෙකු විසින් පැන්, පරිභෝගයට ගන්නා දිය තැබිය යුතු දැ? යි සිත් විය.
භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු විසින් නවක භික්‍ෂූහුහට අණ කරන්නට අනුදනිමි.” තෙරුන් විසින් අණ කරණ ලද නවක භික්‍ෂූහු (පැන් හා දිය ද) නො තබත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ‘මහණෙනි, තෙරුන් විසින් අණ කරණ ලද නො ගිලන්හු විසින් පැන් හා පරිභෝගයට ගන්නා දිය නො තැබිය යුතු නො වේ. යමෙක් නො තබන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
14. එකල්හි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු පිටිසර දනවු බලා යන්නාහු ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් නො විචාළාහු ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු පිටිසර බලා යන්නාහු ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් නො විචාරති. මහණෙනි, ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් විසින් ‘කො තැන්හි යන්නහු ද? කවරකු සමග යන්නහු දැ ” යි ඒ අන්තේවාසික සද්ධිවිහාරිකයෝ විචාළ යුත්තාහු ය.”
15. “මහණෙනි, ඉදින් අඥ වූ අව්‍යක්ත වූ ඔහු (එසේ ම) අඥ වූ අව්‍යක්ත වූ අන් මහණුන් දක්වන්නාහු නම්, මහණෙනි, ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් විසින් ඔහු නො අනුදැනිය යුතු ය. ඉදින් අනුදන්නාහු නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, ආචාර්‍ය්‍යෝපාදධ්‍යයායයන් විසින් නො අනුදන්නා ලද අඥ වූ අව්‍යක්ත වූ ඔහු යන්නාහු නම්, දුකුළාඇවැත් වේ.”
16. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වාසය කරත්, ඔහු උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනිත්. එ තැනට බොහෝ ඇසූ පිරූ තැන් ඇති දත්ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ උභයමාතෘකාධර වූ නුවණැත්තා වූ ව්‍යක්ත වූ විදසුන්නුවණැති පව් කිරීමෙහි ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂාකාමී වූ අන් භික්‍ෂුනමක් එයි. මහණෙනි, ඒ ආවාසික භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂූතෙමේ (ඇඟ ගානා) සුණුයෙන් මැටි යෙන් දැහැටියෙන් මුව දෝනාදියෙන් සංග්‍රහ කළ යුතු ය. අනුග්‍රහ කළ යුතු ය. ප්‍රිය වචනයෙන් කතා කළ යුතු ය. උපස්ථාන කළ යුතු ය. ඉදින් සුණුයෙන් මැටියෙන් දැහැටියෙන් මුවදෝනා දියෙන් සංග්‍රහ නො කරන්නාහු නම්, අනුග්‍රහ නො කරන්නාහු නම්, ප්‍රිය වචනයෙන් නො කතා කරන්නාහු නම්, උපස්ථාන නො කරන්නාහු නම්, දුකුළාඇවැත් වේ.”
17. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වාසය කරත්. ඔහු උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො දනිත්. මහණෙනි, ඒ ආවාසික භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි, යව. සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පාතිමොක්ඛය ප්‍රගුණ කොට එව’ යි එක් භික්‍ෂු නමක් සමීප විහාරයකට එදවස ම එනු පිණිස යැවිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, එය යහපත් ය. නො ලබන්නහු නම්, මහණෙනි, ඒ සියලු භික්‍ෂූන් විසින් උපෝසථය හෝ උපෝසථකම්මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ යම් තැනක වැසි භික්‍ෂූහු දනිත් ද, ඒ ආවාසයට යා යුතු ය. නො යන්නාහු නම්, දුකුළාඇවැත් වේ.”
18. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක අඥ වූ අව්‍යක්ත වූ බොහෝ භික්‍ෂූහු වස් වෙසෙත්. ඔහු උපෝසථය හෝ උපෝසථකර්‍මය හෝ පාතිමොක්ඛය හෝ පාතිමොක්ඛුද්දෙසය හෝ නො ද නිත්. මහණෙනි, එහි වැසි භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි, යව, සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පාතිමොක්ඛය පුහුණු කොට එව’ යි සමීපවිහාරයකට භික්‍ෂු නමක් එ දවසම එනු පිණිස යැවිය යුතු ය. මෙය මෙසේ ලබන්නෝ නම්, එය යහපත් ය. ඉදින් නො ලබන්නේ නම්, ඇවැත්නි, යව, සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ පාතිමොක්ඛය පුහුණු කොට එව’ යි එක් භික්‍ෂුනමක් සත් දවසකට කල් නියම කොට යැවිය යුතු ය. එය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, මහණෙනි, ඒ භික්‍ෂූන් ඒ ආවාසයෙහි වස් නො විසිය යුතු ය. ඉදින් වසන්නෝ නම්, දුකුළාඇවැත් වේ.”
19. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, රැස් වවු. සඞ්ඝතෙමේ පොහොය කරන්නේ ය” යි භික්‍ෂූන් ඇමතූ සේක. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් “ස්වාමීනි, එක් ගිලන් මහණෙක් ඇත්තේ ය. හෙතෙමේ නො ආයේ” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. “මහණෙනි ගිලන් භික්‍ෂුහු විසින් පාරිශුද්ධිය දෙන්නට අනුදනිමි. මහණෙනි, ඒ මෙසේ දිය යුතු ය. ඒ ගිලන් මහණහු විසින් එක් මහණකු වෙතට ගොස් උතුරුසඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘පාරිශුද්ධිය දෙමි. මාගේ පාරිශුද්ධිය ගෙණ යව, මාගේ පාරිශුද්ධිය සඞ්ඝයාට දන්වාලව’ යි මෙසේ කිය යුතු වන්නේ ය. මෙය කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කය වචන දෙකින් හඟවා ද, (එකල) පාරිශුද්ධිය දෙන ලද්දී වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නො හඟවා ද, පාරිශුද්ධිය නො දෙන ලද්දී වේ. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, මහණෙනි, ඒ ගිලන් මහණහු ඇඳකින් හෝ පුටුවකින් හෝ සඞ්ඝයා මධ්‍යයට ගෙණවුත් පොහොය කළ යුතු ය. මහණෙනි, ඉදින් ග්ලානෝපස්ථායක භික්‍ෂූන්ට ‘ඉදින් අපි ගිලනහු හුන් තැනින් ඉවත් කරන්නෙමු නම්, ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය” යි අදහස් වේ ද, මහණෙනි, ගිලන් තෙමේ හුන් තැනින් නො ඉවත් කළ යුතු ය. සඞ්ඝයා එ තැනට ගොස් පොහොය කළ යුතු ය. වර්‍ග වූ සඞ්ඝයා විසින් පොහොය නො කළ යුතු ම ය. කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි.
20. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි (සඟ මැදට නො පැමිණ) එහි දී ම කොතැන්හි හෝ යේ ද, (එකල) පාරිශුද්ධිය අනෙකෙකුට දිය යුතු ය. මහණෙනි, පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ ඉදින් පාරිශුද්ධිය දුන් කල්හි එහි දී ම සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, ‘මම හෙරණෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කෙළෙමි’ යි පිළිණ කෙරේ ද, ‘අන්තිම වස්තුවට පැමිණියෙමි’ යි පිළිණ කෙරේ ද ‘උමතු වූවෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘වික්‍ෂිප්ත සිත් ඇත්තෙමි’ යි පිළිණ කෙරේ ද, ‘වේදනාවෙන් පෙළෙන්නෙමි’ යි පිළිණ කෙරේ ද, ‘ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීය කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි’ යි පිළිණ කෙරේ ද ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි’ යි පිළිණ කෙරේ ද, ‘ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි’ යි පිළිණ කෙරේ ද, ‘පණ්ඩකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, “ථෙය්‍යසංවාසකයෙකිමි’ යි පිළිණ කෙරේ ද, තිත්‍ථියපක්කන්තකයෙක්මි’යි පිළිණ කෙරේ ද, ‘තිරිසන් ගියෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘මාතෘඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘පිතෘඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘අරහන්තඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, “භික්ඛුණි දූසකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘සඞ්ඝභේදකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘ලොහිතුප්පාදකයෙක්මි” යි පිළිණකෙරේ ද, ‘උභතොබ්‍යඤ්ජනකයෙක්මි” යි පිළිණ කෙරේ ද, එකල අනෙකෙකුට පාරිශුද්ධිය දිය යුතු ය.”
21. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි අතරමග දී බැහැර යේ ද, පාරිශුද්ධිය නො ගෙණෙන ලද්දී වේ. මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි අතරමග දී සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, – පෙ – ‘උභතෝබ්‍යඤ්ජනකයෙමි’ යි පිළිණ කෙරේ ද, පාරිශුද්ධිය නො ගෙණෙන ලද්දී වේ.”
22. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි සඞ්ඝයා වෙතට පැමිණියේ බැහැර යේ ද, පාරිශුද්ධිය ගෙණෙන ලද්දී වේ. මහණෙනි, ඉදින් පාරිශුද්ධිය , ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි සඞ්ඝයා වෙතට පැමිණියේ සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, – පෙ – “උභතොබ්‍යඤ්ජනකයෙමි’ යි පිළිණ කෙරේ ද, පාරිශුද්ධිය ගෙණෙන ලද්දී වේ.”
23. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිය ගෙණ එන මහණ තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි සඞ්ඝයා වෙතට පැමිණියේ නිදි ගත්තේ නො සැළකෙරේ ද, ප්‍රමත්ත වූයේ නො සැළකෙරේ ද, සමාධියට සමවන්නේ නො සැළ කෙරේ ද, පාරිශුද්ධිය ගෙණෙන ලද්දී වේ. පාරිශුද්ධිය ගෙණ ආවහුට ඇවැත් නො වේ.”
24. “මහණෙනි, ඉදින් පාරිශුද්ධිහාරක තෙමේ පාරිශුද්ධිය දුන් කල්හි සඞ්ඝයා වෙතට පැමිණියේ දැන දැන නො සැළකෙරේ ද, පාරිශුද්ධිය ගෙණෙන ලද්දී වේ. පාරිශුද්ධිහාරකයාහට දුකුළාඇවැත් වේ.”
25. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, සඞ්ඝ තෙමේ කර්‍ම කරන්නේ ය, රැස් වවු” යි භික්‍ෂූන් ඇමතූ සේක. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් තෙමේ “ස්වාමීනි, ගිලන් මහණෙක් ඇත්තේ ය, ඒ මහණ නො ආයේ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකළේ ය. “මහණෙනි, ගිලන් මහණහු විසින් ඡන්‍දය දෙන්නට අනුදනිමි. මහණෙනි, එය මෙසේ දිය යුතු ය: ඒ ගිලන් මහණහු එක් මහණෙකු වෙතට පැමිණ උතුරු සඟ සිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඡන්‍දය දෙමි. මාගේ ඡන්‍දය ගෙණ යව, මාගේ ඡන්‍දය සැළකරව’ යි මෙසේ කිය යුතු වන්නේ ය. මෙය කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කයින් හා වචනයෙන් හඟවා ද, ඡන්‍දය දෙන ලද්දේ වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නො හඟවා ද, ඡන්‍දය නො දෙන ලද්දේ වේ. මෙය මෙසේ ලබන්නහු නම්, එය යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, මහණෙනි, ඒ ගිලන් මහණ ඇඳකින් හෝ පුටුවකින් හෝ සඟමැදට පමුණුවා කර්‍මය කළ යුතු ය. මහණෙනි, යම් ලෙසකින් ග්ලානෝපස්ථායක භික්‍ෂූන්ට ‘ඉදින් අපි ගිලනහු හුන් තැනින් ඉවත් කරන්නෙමු නම්, ආබාධය හෝ වැඩෙන්නේ ය, කලුරිය කිරීම හෝ වන්නේ ය’ යි සිත් වේ නම්, මහණෙනි, ගිලන් මහණ තෙමේ හුන් තැනින් ඉවත් නො කළ යුතු ය. සඞ්ඝයා එ තැනට ගොස් කර්‍මය කළ යුතු ය. වර්‍ග වූ සඞ්ඝයා විසින් කර්‍ම නො කට යුතු ම ය. කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
26. ‘මහණෙනි, ඉදින් ඡන්‍දය ගෙණ එන මහණ තෙමේ ඡන්‍දය දුන් කල්හි එ තැන දී ම බැහැර යේ ද, (එකල) අනෙකෙකුට ඡන්‍දය දිය යුතු ය. මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි එහි දී ම සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, ‘හෙරණෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානය කෙළෙමි’ යි පිළිණ කෙරේ ද, ‘අන්තිමවස්තුවට පැමිණියෙක්මි” යි පිළිණ කෙරේ ද, ‘උමතු වූවෙක්මි” යි පිළිණ කෙරේ ද, ‘වික්‍ෂිප්ත සිත් ඇත්තෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘වේදනාවෙන් පීඩිතයෙමි’ යි පිළිණ කෙරේ ද, ‘ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි” යි පිළිණ කෙරේ ද, ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි’ යි පිළිණ කෙරේ ද, ‘ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙමි” යි පිළිණ කෙරේ ද, ‘පණ්ඩකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘ථෙය්‍යසංවාසකයෙක්මි” යි පිළිණ කෙරේ ද ‘තිර්‍ත්‍ථයපක්කන්තකයෙක්මි” යි පිළිණ කෙරේ ද, ‘තිරිසන් ගතයෙක්මි” යි පිළිණ කෙරේ ද, ‘මාතෘඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘පිතෘඝාතකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘අරහන්තඝාතකයෙක්මි” යි පිළිණ කෙරේ ද, “භික්ඛුණීදූසකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ‘සඞ්ඝභේදකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ලොහිතුප්පාදකයෙක්මි’ යි පිළිණ කෙරේ ද ‘උභතොබ්‍යඤ්ජනකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, (එකල) අනෙකෙකුට ඡන්‍දය දිය යුතු ය.”
27. “මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි අතරමග දී බැහැර යේ ද, ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ. මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි අතරමග දී සිවුරු හරී ද, කලුරිය කෙරේ ද, –පෙ– ‘උභතොබ්‍යඤ්ජනකයෙක්මි’ යි පිළිණ කෙරේ ද, ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ.”
28. “මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි සඟ මැදට පැමිණියේ බැහැර යේ ද, ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ. මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි සඟ මැදට පැමිණියේ සිවුරු හරී ද, කලුරිය කෙරේ ද –පෙ– ‘උභතෝබ්‍යඤ්ජනක වෙමි’ යි පිළිණ කෙරේ ද ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ.”
29. “මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි සඟ මැදට පැමිණියේ නිදි ගත්තේ නො සැළකෙරේ ද, ප්‍රමත්ත වූයේ නො සැළකෙරේ ද, සමාධියට සමවන්නේ නො සැළකෙරේ ද, ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ. ඡන්‍දහාරකයාහට ඇවැත් නො වේ.”
30. “මහණෙනි, ඉදින් ඡන්‍දහාරක තෙමේ ඡන්‍දය දුන් කල්හි සඟ මැදට පැමිණියේ දැන දැන නො සැළකෙරේ ද, ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ. ඡන්‍දහාරකයාහට දුකුළාඇවැත් වේ. මහණෙනි, එදවස පොහොයෙහි පාරිශුද්ධිය දෙන්නහු විසින් ‘සඞ්ඝයාට කට යුතු ඇත්තේ ය’ යි ඡන්‍දය ද දෙන්නට අනුදනිමි.”
31. එකල්හි නෑයෝ එදවස පොහොයෙහි එක්තරා මහණෙකු අල්ලා ගත්හ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි නෑයෝ එදවස පොහොයෙහි මහණෙකු අල්ලා ගණිත්. භික්‍ෂූන් විසින් ඒ නෑයන්ට ‘ආයුෂ්මත්නි, තෙපි මේ මහණ තෙමේ යම් තාක් පොහොය කෙරේ ද, ඒ තාක් මේ මහණහු මොහොතකට මුදවු” දැ යි කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, භික්‍ෂූන් විසින් “ආයුෂ්මත්නි, තෙපි මේ මහණ තෙමේ යම් තාක් පාරිශුද්ධිය දේ ද, ඒ තාක් මොහොතක් පසෙකට වවු’ දැ යි ඒ නෑයන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, තෙපි සඞ්ඝ තෙමේ යම් තාක් පොහොය කෙරේ ද, ඒ තාක් මේ මහණහු මොහොතකට සීමාවෙන් බැහැරට ගෙණ යවු’ දැයි ඒ නෑයන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, වර්‍ග වූ සඞ්ඝයා විසින් පොහොය නො කට යුතු ම ය. කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
32. “මහණෙනි, මෙහි එදවස පොහොයෙහි රජහු මහණෙකු අල්ලා ගණිත් – සොරු අල්ලා ගණිත් – ධූර්‍තයෝ අල්ලා ගණිත් – පසමිතුරු මහණෝ අල්ලා ගණිත්. භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, තෙපි මේ මහණ තෙමේ යම් තාක් පොහොය කෙරේ ද, ඒ තාක් මේ මහණහු මොහොතකට මුදවුදැ’ යි ඒ පසමිතුරු මහණුන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, තමුන්නාන්සේලා, මේ මහණ තෙමේ යම් තාක් පාරිශුද්ධිය දේ ද, ඒ තාක් මොහොතකට පසෙකට වවු’ දැ යි ඒ පසමිතුරු මහණුන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, සඞ්ඝ තෙමේ යම් තාක් පොහොය කෙරේ ද, ඒ තාක් මේ මහණහු මොහොතකට සීමාවෙන් බැහැරට ගෙණ යවු” දැ යි පසමිතුරු මහණුන්ට කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, සඞ්ඝයා වර්‍ග ව පොහොය නො කට යුතු ම ය. කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
33. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, රැස් වවු, සඞ්ඝයාට කට යුතු ඇතැ’යි භික්‍ෂූන් ඇමතූ සේක. මෙසේ වදාළ කල්හි (එහි සිටි) එක්තරා මහණෙක් “ස්වාමීනි, ගග්ග නම් භික්‍ෂු තෙමේ උමතු වූයේ වේ, හෙ තෙමේ මෙහි නො ආයේ? යි භාග්‍යවතුන් වහන්සේට සැළකළේ ය.
34. “මහණෙනි, උමතු වූවෝ මොහු දෙදෙනෙක් වෙති: උපෝසථය සිහි කරන්නාවූ ද, සිහි නො කරන්නා වු ද, සඞ්ඝකර්‍මය සිහි කරන්නා වූ ද, සිහි නො කරන්නා වූ ද, උමතු මහණෙක් ඇත. (එකතින්) සිහි නොම කරන්නෙක් ද ඇත. උපෝසථයට එන්නාවූ ද, නො එන්නා වූ ද, සඞ්ඝකර්‍මයට එන්නා වූ ද, නො එන්නා වූ ද, උමතු මහණෙක් ඇත. (එකතින්) නොම එන්නෙක් ද ඇත.”
35. “මහණෙනි, ඔවුන් දෙදෙනා අතුරෙහි යම් ඒ උන්මත්තකයෙක් උපෝසථය සිහි කෙරේ ද, සිහි නො කෙරේ ද, සඞ්ඝකර්‍මය සිහි කෙරේ ද, සිහි නො කෙරේ ද, උපෝසථයට ඒ ද, නො ඒ ද, සඞ්ඝකර්‍මයට ඒ ද, නො ඒ ද, මහණෙනි, මෙබඳු වූ උන්මත්තකයාහට උම්මත්තකසම්මුතිය දෙන්ට අනුදනිමි. මහණෙනි, මෙසේ ඒ දිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් (පළමු කොට) සඞ්ඝයාට දැන්විය යුතු ය:
36. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ගර්‍ග භික්‍ෂු තෙමේ උන්මත්තක වේ. උපෝසථය සිහි කරන්නේ ද, සිහි නො කරන්නේ ද වේ. සඞ්ඝකර්‍මය සිහි කරන්නේ ද, සිහි නො කරන්නේ ද වේ. උපෝසථයට එන්නේ ද, නො එන්නේ ද වේ. සඞ්ඝකර්‍මයට එන්නේ ද, නො එන්නේ ද වේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ උමතු වූ ගර්‍ගභික්‍ෂුනමට “ගර්‍ගභික්‍ෂු තෙමේ උපෝසථය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ සඞ්ඝකර්‍මය සිහි කරන්නෙන් හෝ සිහි නො කරන්නේ හෝ උපෝසථයට එන්නේ හෝ නො එන්නේ හෝ සඞ්ඝකර්‍මයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා” යි උම්මත්තකසම්මුතිය දෙන්නේ ය. සඞ්ඝ තෙමේ ගර්‍ගභික්‍ෂුනම සමග හෝ ගර්‍ගභික්‍ෂුනම හැර හෝ පොහොය කරන්නේ ය. සඞ්ඝකර්‍ම කරන්නේ ය. මේ දැන්වීම ය.”
37. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ගර්‍ගභික්‍ෂු තෙමේ උන්මත්තක වේ. උපෝසථය සිහි කරන්නේ ද සිහි නො කරන්නේ ද, සඞ්ඝකර්‍මය සිහි කරන්නේ ද, සිහි නො කරන්නේ ද, උපෝසථයට එන්නේ ද, නො එන්නේ ද, සඞ්ඝකර්‍මයට එන්නේ ද, නො එන්නේ ද වේ. සඞ්ඝ තෙමේ උමතු වූ ගර්‍ගභික්‍ෂුනමට ‘ගර්‍ගභික්‍ෂු තෙමේ උපෝසථය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ සඞ්ඝකර්‍මය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ උපෝසථයට එන්නේ හෝ නො එන්නේ හෝ සඞ්ඝකර්‍මයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා” යි උම්මත්තකසම්මුතිය දෙයි. සඞ්ඝ තෙමේ ගර්‍ගභික්‍ෂුනම සමග හෝ ගර්‍ගභික්‍ෂුනම හැර හෝ පොහොය කරන්නේ ය. සඞ්ඝකර්‍ම කරන්නේ ය. යම් ආයුෂ්මතෙකුහට උමතු වූ ගර්‍ගභික්‍ෂුනමට – උපෝසථය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ සඞ්ඝකර්‍ම සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ උපෝසථයට එන්නේ හෝ නො එන්නේ හෝ සඞ්ඝකර්‍මයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා” යි සඞ්ඝතෙමේ ගර්‍ගභික්‍ෂුනම සමග හෝ ගර්‍ගභික්‍ෂුනම හැර හෝ පොහොය කරන්නේ ය. සඞ්ඝකර්‍ම කරන්නේ ය” යි උම්මත්තකසම්මුතිය දීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා.”
38 “සඞ්ඝයා විසින් උමතු වූ ගර්‍ගභික්‍ෂුනම ‘උපෝසථය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ සඞ්ඝකර්‍මය සිහි කරන්නේ හෝ සිහි නො කරන්නේ හෝ උපෝසථයට එන්නේ හෝ නො එන්නේ හෝ සඞ්ඝකර්‍මයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා” යි සඞ්ඝ තෙමේ ගර්‍ගභික්‍ෂුනම සමග හෝ ගර්‍ගභික්‍ෂුනම හැර හෝ පොහොය කරන්නේ ය, සඞ්ඝකර්‍ම කරන්නේ ය” යි උම්මත්තකසම්මුතිය දෙන ලද්දී ය. සඞ්ඝයාට ඒ රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”
39. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සිවුනමක් භික්‍ෂූහු වාසය කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උපෝසථය කළ යුතු ය’ යි පණවන ලද්දේ ය. අපි දු සිවුනමක් වෙමු. (එහෙයින්) අප විසින් කෙසේ නම් උපෝසථය කට යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවු දෙනාට පාමොක් උදෙසන්නට අනුදනිමි” යි.
40. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි තෙනමක් භික්‍ෂූහු වෙසෙති. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු දෙනාට පාමොක් උදෙසීම අනුදන්නා ලද්දේ ය. අපි දු තිදෙනෙක් වම්හ. කෙසේ නම් අප විසින් උපෝසථය කළ යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තිදෙනාට පාරිසුද්ධි උපෝසථය කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ඒ කළ යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් ඒ භික්‍ෂූන්ට දැන්විය යුතු ය:–
41. ‘ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා. අද පොහොය පසළොස්වක වේ. ඉදින් ආයුෂ්මතුන්ට පැමිණි කල් ඇත්තේ නම්, අපි එක්එක්කෙනා පාරිසුද්ධි උපෝසථය කරන්නෙමු’ යි. ඉන් පසු ස්ථවිර භික්‍ෂුනම විසින් උතුරු සඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම පිරිසිදු වෙමි. එහෙයින් මා පිරිසිදු ය යි දරවු. ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරවු. ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරවු’ යි ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය.
42. “නවක භික්‍ෂූනම විසින් උතුරුසඟ සිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනවි. ස්වාමීනි, මම පිරිසිදු වෙමි, මා පිරිසිදු ය යි දරණු මැනවි. ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනැවැ’ යි ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය.”
43. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි දෙ නමක් භික්‍ෂූහු වාසය කරත්. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු දෙනාට පාමොක් උදෙසන්ටත් තිදෙනාට පාරිසුද්ධි උපෝසථය කරන්ටත් අනුදන්නා ලද්දේ ය. අපි දෙදෙනෙක් වම්හ. අප විසින් කෙසේ නම් උපෝසථය කළ යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙදෙනාට පාරිසුද්ධිඋපෝසථය කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ මෙසේ කළ යුතු ය: ස්ථවිරභික්‍ෂුනම විසින් උතුරුසඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරන්න. ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරන්න. ඇවැත්නි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරන්නැ” යි නවක භික්‍ෂුනමට කිය යුතු ය.
44. නවක භික්‍ෂුනම විසින් උතුරුසඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනවි. ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනවි. ස්වාමීනි, මම පිරිසිදු වෙමි. මා පිරිසිදු ය යි දරණු මැනවැ’ යි ස්ථවිර භික්‍ෂුනමට කිය යුතු ය.”
45. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි එක් භික්‍ෂු නමක් වෙසෙයි. ඉක්බිති ඒ භික්‍ෂුනමට “භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු දෙනාට පාමොක් උදෙසන්නට, තිදෙනාට පාරිසුද්ධි උපෝසථය කරන්නට, දෙදෙනාට පාරිසුද්ධි උපෝසථය කරන්නට, අනුදන්නා ලද්දේ ය. මම එකලා වෙමි. මා විසින් කෙසේ නම් උපෝසථය කළ යුතු දැ” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
46. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි එක් භික්‍ෂුනමක් වෙසෙයි. මහණෙනි, ඒ භික්‍ෂූනම විසින් යම් උපස්ථානශාලාවෙක හෝ මණ්ඩපයෙක්හි හෝ රුක්මුලෙක්හි හෝ භික්‍ෂූහු රැස් වෙත් ද ඒ පෙදෙස හැමද පැන් හා පරිභෝගයට ගන්නා දිය එළවා අසුන් පණවා පහන් දල්වා හිඳිය යුතු ය. ඉදින් අන් මහණහු එහි එත් ද, ඔවුන් සමග පොහොය කළ යුතු ය. ඉදින් නො එත් නම් ‘අද මාගේ පොහොය’ යි ඉටිය යුතු ය. ඉදින් නො ඉටන්නේ නම්, ඔහුට දුකුළාඇවැත් වේ.”
47. “මහණෙනි, එහි යම් තැනෙක්හි සිවුනමක් භික්‍ෂූහු වෙසෙත් ද, එක් නමකගේ පාරිසුද්ධිය ගෙණවුත් තෙනමක් විසින් පාමොක් නො උදෙසිය යුතු ය. ඉදින් උදෙසන්නාහු නම්, ඔවුනට දුකුළාඇවැත් වේ. මහණෙනි, එහි යම් තැනෙක්හි තෙනමක් භික්‍ෂුහු වෙසෙත් ද, එක්නමකගේ පාරිසුද්ධිය ගෙණවුත් දෙනමක් විසින් පාරිසුද්ධි උපෝසථය නො කළ යුතු ය. ඉදින් කරන්නාහු නම්, ඔවුනට දුකුළා ඇවැත් වේ. මහණෙනි, එහි යම් තැනෙක්හි දෙ නමක් භික්‍ෂූහු වෙසෙත් ද, එක් නමකගේ පාරිසුද්ධිය ගෙණවුත් එක් නමක් විසින් නො ඉටිය යුතු ය. ඉටන්නේ නම් දුකුළාඇවැත් වේ.”
48. එකල්හි එක්තරා මහණෙක් එදවස පොහොයෙහි ඇවැතකට පැමිණියේ වේ. එවිට ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඇවැත් සහිත මහණහු විසින් පොහොය නො කට යුතු ය’ යි පණවන ලද්දේ ය. මම ද ඇවැතකට පැමිණියෙම් වෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
49. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පොහොයෙහි ඇවැතකට පැමිණියේ වේ. මහණෙනි, ඒ භික්‍ෂූනම විසින් එක් මහණකු වෙතට පැමිණ උතුරු සඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම මෙනම් ඇවැතට පැමිණියේ වෙමි. එය දෙසමි” යි මෙසේ කිය යුතු ය. ඒ ඇවැත පිළිගන්නා මහණහු විසින් ‘ඒ ඇවැත දක්නෙහි දැ’ යි කිය යුතු ය. ඇවැත දෙසන මහණහු විසින් ‘එසේ ය දකිමි’ යි කිය යුතු ය. ඇවැත පිළිගන්නා මහණහු විසින් ‘ඉදිරියෙහි සංවර වෙව’ යි කිය යුතු ය.”
50. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එ දවස පොහොයෙහි ඇවැතෙහි විමති ඇත්තේ වේ. මහණෙනි, ඒ මහණහු විසින් එක් මහණෙකු වෙත ගොස් උතුරුසඟසිවුර එකස් කොට පොරොවා උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම මෙනම් ඇවැතෙහි විමති ඇත්තේ වෙමි. යම් කලෙක විමති නැත්තෙම් වන්නෙම් ද, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නෙමි’ යි කිය යුතු වන්නේ ය. කියා පොහොය කළ යුතු ය. පාමොක් ඇසිය යුතු ය. ඒ හේතුවෙන් උපෝසථයට අන්තරාය නො කළ යුතු ම ය”.
51. එකල්හි සවග මහණෝ සමාන ඇවැත් දෙසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සමාන ඇවැත් නො දෙසිය යුතු ය. යමෙක් දෙසන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
52. එකල්හි සවග මහණෝ සමාන ඇවැත් පිළිගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සමාන ඇවැත් නො පිළිගත යුතු ය. යමෙක් පිළිගන්නේ නම්, දුකුළාඇවැත් වේ.”
53. එකල්හි එක්තරා මහණෙක් තෙමේ පාමොක් උදෙසනු ලබන කල්හි ඇවැත සිහි කෙරෙයි. ඉක්බිති ඒ භික්‍ෂුනමට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඇවැත් ඇත්තහු විසින් පොහොය නො කළ යුතු ය’ යි පණවන ලද්දේ ය. මම ද ඇවැතකට පැමිණියෙම් වෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
54. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ පාමොක් උදෙසනු ලබන කල්හි ඇවැත සිහි කරයි. මහණෙනි, ඒ මහණහු විසින් ලඟ සිටි මහණහුට ‘ඇවැත්නි, මම මෙනම් ඇවැතට පැමිණියෙම් වෙමි, මෙතැනින් නැගිට ඒ ඇවැතට පිළියම් කරන්නෙමි” යි මෙසේ කිය යුතු වන්නේ ය. එසේ කියා පොහොය කළ යුතු ය. පාමොක් ඇසිය යුතු ය. ඒ හේතු වෙන් උපෝසථයට අන්තරායයක් නො කළ යුතු ම ය.”
55. “මහණෙනි, මෙහි පාමොක් දෙසනු ලබන කල්හි මහණ තෙමේ ඇවැතෙහි විමති ඇත්තේ වේ. මහණෙනි, ඒ භික්‍ෂුනම විසින් ලඟ සිටි මහණහුට ‘ඇවැත්නි, මම මෙනම් ඇවැතෙහි විමති ඇත්තෙම් වෙමි. යම් කලෙක්හි විමති නැත්තෙම් වන්නෙම් ද, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නෙමි’ යි මෙසේ කිය යුතු වන්නේ ය. කියා පොහොය කළ යුතු ය. පාමොක් ඇසිය යුතු ය. ඒ හේතුවෙන් උපෝසථයට අන්තරායයක් නො කළ යුතු ම ය.”
56. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සමාන ඇවැත නො දෙසිය යුතු ය. සමාන ඇවැත නො පිළිගත යුතු ය’ යි පණවන ලද්දේ ය. මේ සියලු සඞ්ඝ තෙමේ ද සමාන ඇවැතකට පැමිණියේ වේ. අප විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
57. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පොහොයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. මහණෙනි, ඒ මහණුන් විසින් සමීපවිහාරයකට එක් මහණෙක් තෙමේ එ දවස එනු පිණිස ‘ඇවැත්නි, යව. ඒ ඇවැතට පිළියම් කොට එව. අපි ඔබගේ හමුවෙහි ඇවැතට පිළියම් කරන්නෙමු’ යි යැවිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝයාට දැන් විය යුතු ය:–
58. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ‘මේ සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. යම් කලෙක ඇවැත් නැති පිරිසිදු අන් මහණකු දක්නේ ද, එකල්හි ඔහු වෙත ඒ ඇවැතට පිළියම් කරන්නේ ය” යි කියා පොහොය කළ යුතු ය. පාමොක් උදෙසිය යුතු ය. ඒ හේතුවෙන් උපෝසථයට අන්තරායයක් නො කළ යුතු ම ය.
59. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එ දවස පොහොයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන වූ ඇවැතෙහි විමති ඇත්තේ වේ. (එහෙයින්) ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝයාට දැන් විය යුතු ය: ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතෙහි විමති ඇත්තේ වේ. යම් කලෙක්හි විමති නැත්තේ වන්නේ නම්, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නේ ය’ යි උපෝසථය කළ යුතුය. පාමොක් උදෙසිය යුතු ය. ඒ හේතුවෙන් උපෝසථයට අන්තරායයක් නො කළ යුතු ම ය.”
60. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක වස් එළඹියා වූ සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් සමීප විහාරයකට එක් භික්‍ෂුනමක් ‘ඇවැත්නි, යව. ඒ ඇවතට පිළියම් කොට එව. අපි ඔබගේ සමීපයෙහි ඒ ඇවතට පිළියම් කරන්නෙමු”යි එදවස එනු පිණිස යැවිය යුතු ය. මේ මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නහු නම්, එක් භික්‍ෂුනමක් ‘ඇවැත්නි, යව. ඒ ඇවැතට පිළියම් කොට එව. අපි ඔබගේ සමීපයෙහි ඒ ඇවැතට පිළියම් කරන්නෙමු” යි සත් දවසකට කල් දී යැවිය යුතු ය.”
61. එකල්හි එක්තරා ආවාසයෙක සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැතෙහි නම නො දනි යි. ගෝත්‍රය නො දනි යි. එහි බොහෝ ඇසූ පිරූ තැන් ඇත් අවබෝධ කළ ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ උභයමාතෘකාධර වූ නුවණැත්තා වූ ව්‍යක්ත වූ විදසුන් නුවණැත්තා වූ පව් කිරීමෙහි ලජ්ජා ඇත්තා වූ කුකුස් ඇත්තා වූ ශික්‍ෂාකාමී වූ අන් මහණෙක් එ යි. (ඔහු ආ පසු) එක්තරා මහණෙක් තෙමේ ඒ මහණහු වෙතට ගියේ ය. ගොස් ඒ මහණහුට මෙය කීයේ ය.
62. “ඇවැත්නි, යම් මහණෙක් මෙසේත් මෙසේත් කෙරේ ද, ඒ මහණ තෙමේ කිනම් ඇවතකට පැමිණේ ද? ඒ මහණ තෙමේ “ඇවැත්නි, යමෙක් මෙසේත් මෙසේත් කෙරේ නම්, හෙතෙමේ මෙනම් ඇවතකට පැමිණේ. ඇවැත්නි, තෙපි මෙනම් ඇවතකට පැමිණියෝ වහු ය. ඒ ඇවැතට පිළියම් කරවු”යි හෙතෙමේ මෙසේ කීයේ ය. (එවිට) ඒ ඇවතට පැමිණි මහණ තෙමේ ‘ඇවැත්නි, මම එකලාව ම මේ ඇවතට නො පැමිණියෙමි. මේ සියලු සඞ්ඝ තෙමේ මේ ඇවැතට පැමිණියේ ය”යි කීයේ ය. ඉක්බිති අළුතෙන් පැමිණි මහණ තෙමේ ‘ඇවැත්නි, අනෙකෙක් පැමිණියේ හෝ නො පැමිණියේ හෝ ඔබට කිම? ඇවැත්නි, ඒ නිසා තෙපි සිය ඇවැතින් නැඟී සිටිවු” යි මෙසේ කීයේ ය.
70. එකල්හි ඒ මහණ තෙමේ ඒ මහණහුගේ වචනයෙන් ඒ ඇවැතට පිළියම් කොට ඒ මහණුන් හුන් තැනට ගියේ ය. ගොස් “ඇවැත්නි, යමෙක් තෙමේ මෙසේත් මෙසේත් කෙරේ ද, හෙතෙමේ මෙනම් ඇවැතකට පැමිණේ. ඇවැත්නි, තෙපි මෙනම් ඇවැතකට පැමිණියහු ඒ ඇවැතට පිළියම් කරවු”යි ඒ භික්‍ෂූන්ට මෙය කීයේ ය. ඉක්බිති ඒ මහණහු ඒ මහණහුගේ වචනයෙන් ඒ ඇවැතට පිළියම් කරන්නට නො කැමැති වූහ. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ.
“මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක සියලු සඞ්ඝ තෙමේ සභාගාපත්තියකට පැමිණියේ වේ. ඒ සඞ්ඝ තෙමේ ඒ ආපත්තියෙහි නම නො දනි යි. ගෝත්‍රය නො දනි යි. එහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුහුණු කළ නිකාය ඇතී ධර්‍මය දරන්නා වූ විනය දරන්නා වූ උභයමාතෘකා දරන්නා වූ නුවණැත්තා වූ ව්‍යක්ත වූ විදර්‍ශනාප්‍රඥාවෙන් ප්‍රාඥ වූ පව් කිරීමෙහි ලජ්ජා ඇත්තා වූ කුකුස් ඇත්තා වූ ශික්‍ෂාකාමී වූ අන් මහණෙක් තෙමේ එයි. එක්තරා මහණෙක් ඒ පැමිණි මහණහු වෙතට එළඹියේ ය. එළඹ ඒ මහණහුට මෙසේ කියයි: ‘ඇවැත්නි, යම් මහණෙක් තෙමේ මෙසේත් මෙසේත් කෙරේ ද, ඒ මහණ තෙමේ කිනම් ඇවැතකට පැමිණේ දැ? යි. හෙතෙමේ ‘ඇවැත්නි, යම් මහණෙක් මෙසේත් මෙසේත් කෙරේ නම්, හෙතෙමේ මෙනම් ඇවැතකට පැමිණේ. ඇවැත්නි, තෙපි මෙනම් ඇවැතට පැමිණියහු ය. එයට පිළියම් කරවු” යි මෙසේ කිය යි. හෙතෙමේ ‘ඇවැත්නි, මම තනි වූයේ ම මේ ඇවැතට නො පැමිණියෙමි. මේ සියලු සඞ්ඝ තෙමේ මේ ඇවැතට පැමිණියේ ය” යි මෙසේ කියයි. හෙතෙමේ ‘ඇවැත්නි, අනිකෙක් පැමිණියේ හෝ නො පැමිණියේ හෝ ඔබට කිම? ඇවැත්නි, එබැවින් තෙපි සිය ඇවතින් නැගී සිටිවු’ යි මෙසේ කිය යි. මහණෙනි, “ඉදින් ඒ මහණ තෙමේ ඒ මහණහුගේ වචනයෙන් ඒ ඇවැතට පිළියම් කොට ඒ මහණුන් වෙතට ගියේ ය. ගොස් ‘ඇවැත්නි, යම් මහණෙක් තෙමේ මෙසේත් මෙසේත් කෙරේ ද, ඒ මහණෙතමේ මෙනම් ඇවැතකට පැමිණේ. ඇවැත්නි, තෙපි මෙනම් ඇවැතට පැමිණියහු ය. ඒ ඇවැතට පිළියම් කරවු” යි ඒ භික්‍ෂූන්ට මෙසේ කිය යි. මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ මහණහුගේ වචනයෙන් ඒ ඇවැතට පිළියම් කරන්නාහු නම්, එය යහපත් ය. ඉදින් පිළියම් නො කරන්නාහු නම්, මහණෙනි, ඒ මහණහු තුමූ ඒ මහණහු විසින් නො කැමැත්තෙන් නො කිය යුත්තාහ.”
චෝදනාවස්තුභාණවාරය කියා නිමවන ලදී.