Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 401-500 න් 2789

31. පෙර දිගින් නැගී එන දූලි සහිත වූ වාතයෝ හමත් නම්, පෙරදිග කවුළුදොර වැසිය යුතු ය. බස්නාහිර දිගින් නැග එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නා හිර කවුළුදෙර වැසිය යුතු ය. උතුරු දිගින් එන වාතයෝ දූලි සහිත ව හමක් නම්, උතුරු දිග කවුළුදොර වැසිය යුතු ය. දකුණු දිගින් එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, දකුණුදිග කවුළුදොර වැසිය යුතු ය. ශීතකාලය වේ නම්, දහවල කවුළුදොර ඇර තැබිය යුතු ය. රාත්‍රියෙහි වැසිය යුතු ය. උෂ්ණ කාලය වේ නම්, දහවල කවුළුදොර වැසිය යුතු ය. රාත්‍රියෙහි ඇර තැබිය යුතු ය.
32. පිරිවෙණ කසළ සහිත නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළුගෙය කසළ සහිත නම්, ඇතුළුගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත නම්, උපස්ථාන ශාලාව හැමැදිය යුතු ය. ගිනිහල්ගෙය කසළ සහිත නම්, ගිනිහල්ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිත නම්, වැසිකිළිය හැමැදිය යුතු ය. පැන් නො වේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝගයට සුදුසු දිය නො වේ නම්, පරිභෝගයට සුදුසු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදියසැළෙහි දිය නො වේ නම්, වැසිකිළිදියසැළෙහි දිය වක්කළ යුතු ය.
33. ආචාර්‍ය්‍යයාහට ශාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, අතැවැසියා විසින් ආචාර්‍ය්‍යයා අන් තැනකට ගෙණ යා යුතු ය. අනෙකකු ලවා අන් තැනකට පමුණුවාලිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය. ආචාර්‍ය්‍යයාහට කුකුසෙක් උපන්නේ නම්, අතැවැසියා විසින් එය දුරු කළ යුතු ය. “තෙරුන්ගේ කුකුස හැරලව” යි අන් මහණෙකුට කිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය. ආචාර්‍ය්‍යයාහට මිසදිටුවක් උපන්නේ නම්, අතැවැසියා විසින් එය දුරු කට යුතු ය. අනිකකු ලවා හෝ දුරු කරවිය යුතු ය. උන්වහන්සේට ධර්‍මකථා හෝ කිය යුතු ය.
34. ආචාර්‍ය්‍යතෙමේ ගරු ඇවතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, අතැවැසියා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ ආචාර්‍ය්‍යයයාහට පිරිවෙස් දෙන්නේ දැ” යි උත්සාහ කට යුතු ය.
35. ආචාර්‍ය්‍යතෙමේ මුල සිට පිරිවෙස් පිරීමට සුදුසු වූයේ නම් අතැවැසියා විසින් කෙසේ නම් සඞ්ඝ තෙමේ ආචාර්‍ය්‍යයා මුලට (මුල සිට පිරිවෙස් පිරීමට) අදින්නේ දැ” යි උත්සාහ කට යුතු ය.
36. ආචාර්‍ය්‍යතෙමේ මානතට සුදුසු වූයේ නම්, අතැවැසියා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ ආචාර්‍ය්‍යයාහට මානත දෙන්නේ දැ” යි උත්සාහ කට යුතු ය.
37. ආචාර්‍ය්‍යතෙමේ අබ්භානයට සුදුසු වූයේ නම්, අතැවැසියා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ ආචාර්‍ය්‍යයා සඞ්ඝයාට ඇතුළත් කරවන්නේ දැ“යි උත්සාහ කට යුතු ය.
38. සඞ්ඝ තෙමේ ආචාර්‍ය්‍යයාහට තජ්ජනීයකම්මය හෝ නියස්සකම්මය හා පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීයකම්මය හෝ කරණු කැමැත්තේ නම්, “සඞ්ඝතෙමේ කෙසේ නම්, ආචාර්‍ය්‍යයාහට කර්‍ම නො කරන්නේ ද? ලඝු බවට හෝ පෙරළන්නේ දැ” යි අතැවැසියා විසින් උත්සාහ කට යුතු ය. උන්වහන්සේට සඞ්ඝයා විසින් තජ්ජනීයකම්මය හෝ නියස්සකම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීයකම්මය හෝ කරණ ලද්දේ හෝ වේ ද, “කෙසේ නම් ආචාර්‍ය්‍ය තෙමේ මනා කොට පවතින්නේ ද? භික්‍ෂූන්ට අනුලොම් වන්නේ ද? නිදොස්බව පිණිස මනා කොට පවතින්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ” යි අතැවැසියා විසින් උත්සාහ කට යුතු ය.
39. ආචාර්‍ය්‍යයාගේ සිවුර සේදිය යුතු නම්, අතැවැසියා විසින් සේදිය යුතු ය. “කෙසේ නම් ආචාර්‍ය්‍යයාගේ සිවුර සෝදනු ලබන්නේ දැ” සි උත්සාහය හෝ කටයුතු ය. ආචාර්‍ය්‍යයාහට සිවුරක් කට යුතු නම්, අතැවැසියා විසින් ඒ කටයුතු ය. “කෙසේ නම් ආචාර්‍ය්‍යයාගේ සිවුර කරණු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. ආචාර්‍ය්‍යයාහට පඬු පිසිය යුතු නම්, අතැවැසියා විසින් පිසිය යුතු ය. “කෙසේ නම් ආචාර්‍ය්‍යයාහට පඬු පිසනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. ආචාර්‍ය්‍යයාගේ සිවුර පඬු පෙවිය යුතු නම්, අතැවැසියා විසින් පඬු පෙවිය යුතු ය. “කෙසේ නම්, ආචාර්‍ය්‍යයාගේ සිවුර පඬු පොවනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. සිවුර පඬු පොවන්නහු විසින් මනා කොට පෙරළ පෙරළා පඬු පෙවිය යුතු ය. පොද නොසුන්කල්හි බැහැර නො යා යුතුය.
40. ආචාර්‍ය්‍යයා නො විචාරා කිසිවෙකුට පාත්‍රය නො දිය යුතු ය. කිසිවෙකුගේ පාත්‍රය නො පිළිගත යුතු ය. කිසිවෙකුට සිවුර නො දිය යුතු ය. කිසිවෙකුගේ සිවුර නො පිළිගත යුතු ය. කිසිවෙකුට පිරිකර නො දිය යුතු ය. කිසිවෙකුගේ පිරිකර නො පිළිගත යුතු ය. කිසිවෙකුගේ කෙස් නො කැපිය යුතු ය. කිසිවෙකු ලවා කෙස් නො කැප්විය යුතු ය. කිසිවෙකුට පා මිරිකීම් ඈ වත් නො කට යුතු ය. කිසිවෙකු ලවා නො කරවා ගත යුතු ය. කිසිවෙකුට වතාවත් නො කට යුතු ය. කිසිවෙකු ලවා වතාවත් නො කරවා ගත යුතු ය. කිසිවෙකුගේ පස්සේ යන මහණකු නො විය යුතු ය. පස්සේ යන කිසි මහණෙක් නො ගත යුතු ය. කිසිවෙකුගේ පිණ්ඩපාතය බැහැර නො කට යුතු ය. කිසිවෙකු ලවා පිණ්ඩපාතය බැහැර නො කරවිය යුතු ය.
41. ආචාර්‍ය්‍යයා නො විචාරා ගම් නො වැදිය යුතු ය. සොහොනට නො යා යුතු ය. ඒ ඒ දසාවන්හි නො යා යුතු ය. ආචාර්‍ය්‍ය තෙමේ ගිලන් වේ නම්, ජීවත් වන තුරු උපස්ථාන කළ යුතු ය. උන්වහන්සේගේ ලෙඩින් නැගීසිටීම බලාපොරොත්තු විය යුතු ය.
ඇදුරුවත නිමි.
1. මහණෙනි, ආචාර්‍ය්‍යයා අතැවැසියා කෙරෙහි මනා කොට පැවතිය යුතු ය. එහි මේ මනා කොට පැවැත්ම ය: මහණෙනි, ආචාර්‍ය්‍යයා විසින් අතැවැසි තෙමේ උදෙසීමෙන් අනුග්‍රහ කට යුතු ය. කරණු විමසීමෙන් අවවාදයෙන් අනුශාසනායෙන් සංග්‍රහ කට යුතු ය.
2. ආචාර්‍ය්‍යයාහට වැඩි පාත්‍රයෙක් වේ ද, අතැවැසියාහට පාත්‍රයෙක් නො වේ ද, ආචාර්‍ය්‍යයා විසින් අතැවැසියාහට පාත්‍රය දිය යුතු ය. “අතැවැසියාහට පාත්‍රයක් කෙසේ නම් උපදින්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය
3. ආචාර්‍ය්‍යයාහට සිවුරක් වේ ද, අතැවැසියාහට සිවුරක් නො වේ ද, ආචාර්‍ය්‍යයා විසින් අතැවැසියාහට සිවුර දිය යුතු ය. “අතැවැසියාහට සිවුරෙක් කෙසේ නම් උපදනේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය.
4. ආචාර්‍ය්‍යයාහට පරිෂ්කාරයෙක් වේ ද, අතැවැසියාහට පරිෂ්කාරයෙක් නො වේ ද, ආචාර්‍ය්‍යයා විසින් අතැවැසියාහට පරිෂ්කාර දිය යුතු ය. “අතැවැසියාට පරිෂ්කාරයෙක් කෙසේ නම් උපදයෙන් දැ” යි උත්සාහය හෝ කටයුතු ය.
5. අතැවැසි තෙමේ ගිලන් වේ නම්, කලින් ම නැගිට දැහැටි දිය යුතු ය. මුව දෝනා දිය දිය යුතු ය. අසුන් පැණවිය යුතු ය. ඉදින් කැඳ තිබේ නම්, බඳුන සෝදා කැඳ එළවිය යුතු ය. කැඳ වළඳා සිටිය හුට දිය දී බඳුන පිළිගෙණ පාත් කොට මැනැවින් නො ගටා සෝදා තැන්පත් කළ යුතු ය.
6. අතැවැසියා නැගී සිටි කල්හි ආසනය ඔසවා තැබිය යුතු ය. එ දෙස කසළ සහිත නම්, එ තැන හැමැදිය යුතු ය. අතැවැසි තෙමේ ගම් වදිනු කැමැත්තේ නම්, අඳනය දිය යුතු ය. ඇඳ තුබූ අඳනය පිළිගත යුතු ය. පටිය දිය යුතු ය. සගුණ කොට සිවුරු දිය යුතු ය. සෝදා දිය සහිත වූ පාත්‍රය දිය යුතු ය. “මෙපමණකින් පිඬු සිඟීමෙන් නවතින්නේ ය” යි දැන ආසනය පැණවිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබන පුවරුව ද එළවිය යුතු ය. ඉදිරියට ගොස් පා සිවුරු පිළිගත යුතු ය. සිවුර තෙත් නම්, මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. සිවුර උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය. සිවුර නැමිය යුතු ය. සිවුර නමන්නහු විසින් “මැද නො දිරාවා” යි සතරඟුලක් පමණ සිවුරු කොණ උස් කොට සිවුර නැමිය යුතු ය. සිවුරු දරණයෙහි පටිය තැබිය යුතුය.
7. ඉදින් පිණ්ඩපාතය වේ ද, අතැවැසිතෙමේත් වළඳනු කැමැත්තේ වේ ද, දිය දී පිණ්ඩපාතය එළවිය යුතු ය. අතැවැසි තෙමේ පැනින් විචාළ යුතු ය. වළඳා අවසන් කළහුට දිය දී පාත්‍රය පිළිගෙණ පාත් කොට නො ගටා මනා කොට සෝදා දිය පිස දමා මොහොතක් උෂ්ණයෙහි ලා වියලිය යුතු ය. පාත්‍රය උෂ්ණයෙහි ලා වැඩියක් නො දැවිය යුතු ය.
8. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක අතකින් සිවුර ගෙණ එක අතකින් සිවුරු ලන උණදඬුව හෝ රැහැණ හෝ පිසදමා නුවාව එහාට ද දරණය මෙහාට ද ලබා සිවුර බහා තැබිය යුතු ය.
9. අතැවැසියා නැගී සිටි කල්හි ආසනය ඔසවා තැබිය යුතු ය. පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබන පුවරුව ද තැන්පත් කළ යුතු ය. එ දෙස කසළ සහිත නම්, එ තැන හැමැදිය යුතු ය. අතැවැසියා නානු කැමති නම්, නහනු පිළියෙල කළ යුතු ය. සිහිල් දියෙන් ප්‍රයෝජන නම් සිහිල් දිය පිළියෙල කළ යුතු ය. උණු දියෙන් ප්‍රයෝජන නම් උණු දිය පිළියෙල කළ යුතු ය.
10. අතැවැසි තෙමේ ගිනිහල්ගෙට යනු කැමැත්තේ නම්, නහන සුණු තෙමා පිඬු කළ යුතු ය. නහනමැටි තේමිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ ගොස් ගිනිහල්ගෙයි පුටුව දී සිවුර පිළිගෙණ පසෙක තැබිය යුතු ය. නහනසුණු දිය යුතු ය. නහනමැටි දිය යුතු ය. හැක්කේ නම් ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ගිනිහල්ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මූණ තවරා ඉදිරිපසින් හා පසුපසින් සිරුර වසා ගිනිහල්ගෙට පිවිසිය යුතු ය. ස්ථවිරභික්‍ෂූන් ගටා ද නො හිඳිය යුතු ය. නවක භික්‍ෂූන් ආසනයෙන් බැහැර නො කට යුතු ය. ගිනිහල්ගෙයි දී අතැවැසියාගේ ඇඟ ඉලීම් ඈ වත් කළ යුතු ය. ගිනිහල්ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල්ගෙයි පුටුව ගෙණ ඉදිරි පසින් හා පසුපසින් ද සිරුර වසා ගිනිහල්ගෙයින් නික්මිය යුතු ය.
11. ජලයෙහි දී ද අතැවැසියාගේ ඇඟ ඉලීම් ඈ වත් කළ යුතු ය. නා අවසන් කළහු විසින් පළමුකොට ගොඩ නැගී තමන්ගේ සිරුරෙහි දිය පිසදමා හැඳ ගෙණ අතැවැසියාගේ සිරුර පිස දැමිය යුතු ය. අඳනය දිය යුතු ය. සිවුර දිය යුතු ය. ගිනිහල්ගෙයි පුටුව ගෙණ පළමු කොට අවුත් ආසනය පැණවිය යුතු ය. පා දෝනා දිය පාපුටුව නො සේදු පා තබන පුවරුව එළවා තැබිය යුතු ය. අතැවැසි තෙමේ පැනින් විචාළ යුතු ය.
12. යම් වෙහෙරක අතැවැසි තෙමේ වෙසේ ද, ඒ වෙහෙර කසළ සහිත වේ නම් හැක්කේ නම් පිරිසිදු කළ යුතු ය. වෙහෙර පිරිසිදු කරන්නහු විසින් පළමු කොට පා සිවුරු බැහැරට ගෙණ පසෙක තැබිය යුතු ය. හිඳිනා කඩ හා පසතුරුණ බැහැර කොට පසෙක තැබිය යුතු ය. ගුදිරිය හා කොට්ටය බැහැර කොට පසෙක තැබිය යුතු ය. ඇඳ පාත් කොට නො ගටා දොරබාව නො හප්පා බැහැර කොට පසෙක මනා කොට තැබිය යුතු ය පුටුව පාත් කොට නො ගටා දොරබාව නො හප්පා පසෙක මනාකොට තැබිය යුතු ය. ඇඳපාඅළු බැහැර කොට පසෙක තැබිය යුතුය. කෙළමලාව පසෙක තැබිය යුතු ය. වැතිර හෝනා පුවරුව බැහැර කොට පසෙක තැබිය යුතු ය. බුමුතුරුණ පණවා තුබූ සැටි සලකා බැහැර කොට පසෙක තැබිය යුතු ය.
13. වෙහෙරෙහි මකුණු දැල් වේ නම් උඩ සිට පළමු කොට ඉවත් කළ යුතු ය. ඇතුළතපිටත ජනෙල්කවුළු හා කාමරයෙහි මුළුසතර පිසදැමිය යුතු ය. ගුරුයෙන් පිරියම් කළ බිත්තිය හටගත් පුස් ඇත්තී නම් රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. කළු පැහැ කළ බිම හටහත් පුස් ඇත්තී නම් රෙදි කඩක් තෙමා මඳක් මිරිකා පිස දැමිය යුතු ය. බිම පිරියම් නො කරණ ලද නම් දිය ඉස “වෙහෙර නො කිලිටි වේවා” යි හැමදිය යුතු ය. කසළ රැස් කොට පසෙක ඇමිය යුතු ය.
14. බුමුතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ පරිදි තැබිය යුතු ය. ඇඳපාඅළු වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. ඇඳ වියලා ශුද්ධ කොට ගසා දමා පාත් කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනාකොට පැණවිය යුතු ය. පුටුව වියලා ශුද්ධ කොට ගසා දමා පාත්කොට නො ගටා දොරබාව නො හප්පා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් මනා කොට පැණවිය යුතු ය. ගුදිරිය හා කොට්ටය වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය. හිඳිනා කඩ හා පසතුරුණ වියලා ශුද්ධ කොට ගසා දමා ඇතුළට ගෙණවුත් පණවා තුබූ ලෙසින් පැණවිය යුතු ය.
15. කෙළමලාව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. වැතිරහෝනා පුවරුව වියලා පිස දමා ඇතුළට ගෙණවුත් තුබූ තැන තැබිය යුතු ය. පාසිවුරු බහා තැබිය යුතු ය. පාත්‍රය බහා තබන්නහු විසින් එක් අතකින් පාත්‍රය ගෙණ එක් අතකින් ඇඳ යට හෝ පුටුව යට හෝ අත ගා පාත්‍රය බහා තැබිය යුතු ය. කිසිවක් නො අතුළ බිම පාත්‍රය බහා නො තැබිය යුතු ය. සිවුර බහා තබන්නහු විසින් එක් අතකින් සිවුර ගෙණ එක් අතකින් සිවුරු ලන උණදඬුව හෝ රැහැණ හෝ පිස දමා නුවාව එහාට හා දරණය මෙහාට තබා සිවුර බැහිය යුතු ය.
16. පෙර දිගින් නගිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, පෙර දිග වාකවුළු වැසිය යුතු ය. බස්නා හිරින් නැග එන වාතයෝ දූලි සහිත ව හමත් නම්, බස්නා හිර වාකවුළු වැසිය යුතු ය. උතුරු දිගින් නගිනා වාතයෝ දූලි සහිත ව හමත් නම්, උතුරු දිග වාකවුළු වැසිය යුතු ය. දකුණු දිගින් නගිනා වාතයෝ දූලි සහිතව හමත් නම් දකුණු දිග වාකවුළු වැසිය යුතු ය. ශීත කාලය වේ නම්, දහවල වාකවුළු ඇර දැමිය යුතු ය. රාත්‍රියෙහි වැසිය යුතු ය. උෂ්ණකාලය වේ නම්, දහවල වාකවුළු වැසිය යුතු ය. රාත්‍රියෙහි ඇර දැමිය යුතු ය.
17. පිරිවෙණ කසළ සහිත වේ නම්, පිරිවෙණ හැමැදිය යුතු ය. ඇතුළු ගෙය කසළ සහිත වේ නම්, ඇතුළු ගෙය හැමැදිය යුතු ය. උපස්ථානශාලාව කසළ සහිත වේ නම්, උපස්ථානශාලාව හැමැදිය යුතු ය. ගිනිගල් ගෙය කසළ සහිත වේ නම්, ගිනිහල් ගෙය හැමැදිය යුතු ය. වැසිකිළිය කසළ සහිතවේ නම්, වැසිකිළිය හැමැදිය යුතු ය. පැන් නොවේ නම්, පැන් එළවා තැබිය යුතු ය. පරිභෝගයට සුදුසු දිය නො වේ නම්, පරිභෝගයට සුදුසු දිය එළවා තැබිය යුතු ය. වැසිකිළිදියසැළෙහි දිය නො වේ නම්, වැසිකිළිදියසැළෙහි දිය වක් කළ යුතු ය.
18. අතැවැසියාහට ශාසනයෙහි නො ඇල්මෙක් උපන්නේ නම්, ආචාර්‍ය්‍යයා විසින් අන් තැනකට ගෙණ යා යුතු ය. “අනෙකකු ලවා අන් තැනකට පමුණුවා ලිය යුතු ය. ඔහුට ධර්‍මකථා හෝ කිය යුතු ය. අතැවැසියාහට කුකුසෙක් උපන්නේ නම්, ආචාර්‍ය්‍යයා විසින් දුරුකට යුතු ය. “අතැවැසියාගේ කුකුස හැරලව”යි අන් මහණෙකුට කිය යුතු ය. ඔහුට ධර්‍මකථා හෝ කිය යුතු ය. අතැවැසියාහට මිසදිටුවෙක් උපන්නේ නම්, ආචාර්‍ය්‍යයා විසින් දුරුකට යුතු ය. අනිකකු ලවා හෝ එය දුරු කරවිය යුතු ය.
19. අතැවැසි තෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියා හට පිරිවෙස් දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
20. අතැවැසි තෙමේ මුල සිට පිරිවෙස් පිරීමට සුදුසු වූයේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියා මුලසිට (පිරිවෙස් පිරීමට) අදින්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
21. අතැවැසි තෙමේ මානතට සුදුසු වූයේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැසියාහට මානත දෙන්නේ දැ?” යි උත්සාහ කට යුතු ය.
22. අතැවැසි තෙමේ අබ්භානයට සුදුසු වූයේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් “කෙසේ නම් සඞ්ඝතෙමේ අතැවැසියා සඞ්ඝයාට ඇතුළත් කරන්නේ දැ”? යි උත්සාහ කට යුතු ය.
23. සඞ්ඝතෙමේ අතැවැසියාහට තජ්ජනීය කම්මය හෝ නියස්සකම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීයකම්මය හෝ කරණු කැමැත්තේ වේ ද, ආචාර්‍ය්‍යයා විසින් “කෙසේ නම් සඞ්ඝ තෙමේ අතැවැස්සාහට කර්‍මය නො කරන්නේ ද, ලුහුබවට පෙරළන්නේ දැ”? යි උත්සාහ කටයුතු ය. අතැවැසියාහට සඞ්ඝයා විසින් තජ්ජනීයකම්මය හෝ නියස්සකම්මය හෝ පබ්බාජනීයකම්මය හෝ පටිසාරණීයකම්මය හෝ උක්ඛේපනීය කම්මය හෝ කරණ ලද්දේ හෝ වේ ද, “කෙසේ නම් අතැවැසි තෙමේ මනා කොට පවතින්නේ ද? අනුලොම් වන්නේ ද? නිදොස් බව පිණිස මනා කොට පවතින්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සන්සිඳුවන්නේ දැ”? යි ආචාර්‍ය්‍යයා විසින් උත්සාහ කටයුතු ය.
24. අතැවැසියාගේ සිවුර සේදිය යුතු නම් ආචාර්‍ය්‍යයා විසින් “මෙසේ සෝදන්නෙහි” යි කිය යුතු ය. “අතැවැසියාගේ සිවුර කෙසේ නම් සෝදනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. අතැවැසියා හට සිවුරක් කටයුතු නම් ආචාර්‍ය්‍යයා විසින් “මෙසේ කරන්නෙහි” යි කිය යුතු ය. “අතැවැසියාගේ සිවුර කෙසේ නම් කරණු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කටයුතු ය. අතැවැසියාහට පඬු පිසිය යුතු නම් ආචාර්‍ය්‍යයා විසින් “මෙසේ පිසන්නෙහි” යි කිය යුතු ය. “අතැවැසියා හට කෙසේ නම් පඬු පිසනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කට යුතු ය. අතැවැසියාගේ සිවුර පඬු පෙවිය යුතු නම් ආචාර්‍ය්‍යයා විසින් මෙසේ පඬු පොවන්නෙහි’ යි කිය යුතු ය. “අතැවැසියාගේ සිවුර කෙසේ නම් පඬු පොවනු ලබන්නේ දැ” යි උත්සාහය හෝ කටයුතු ය. සිවුර පඬු පොවන්නහු විසින් පෙරළ පෙරළා මනා කොට පඬු පෙවිය යුතු ය. පොද නො සුන් කල්හි බැහැර නො යා යුතු ය. අතැවැසි තෙමේ ගිලන් වේ නම් ජීවත් වනතුරු උවැටැන් කළ යුතු ය. අතැවැසියාගේ රෝගයෙන් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය.
අතැවැසිවත නිමි.
1. එකල්හි අතැවැසියෝ ආචාර්‍ය්‍යයන් වෙත මැනවින් නො පවත්නෝ ය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළකළහ. “මහණෙනි, අතැවැසියා ආචාර්‍ය්‍යයා වෙත මැනවින් නො පැවැතිය යුතු නො වේ. යමෙක් මැනවින් නො පවත්නේ නම් දුකුළාඇවැත් වේ ය” යි. මැනවින් නොම පවතිත්. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළකළහ. මහණෙනි, මැනවින් නො පවතින්නහු බැහැර කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ බැහැර කළ යුතු ය. “තා බැහැර කරමි” යි’ හෝ “මෙහි නො පිවිසෙව” යි හෝ “තාගේ පාසිවුරු බැහැරට ගණුව” යී හෝ “තා විසින් මම උපස්ථාන නො කටයුත්තෙමි” යි හෝ කයින් හඟවා ද වචනයෙන් හඟවා ද කයින් හා වචනයෙන් හඟවා ද අතැවැසි තෙමේ බැහැර කරණ ලදේදේ වේ. කයින් නො හඟවා ද වචනයෙන් නො හඟවා ද කයින් හා වචනයෙන් නො හඟවා ද අතැවැසි තෙමේ බැහැර නො කරණ ලද්දේ වේ ය” යි.
2. එකල්හි බැහැර කරණලද අතැවැසියෝ (ආචාර්‍ය්‍යයන්) කමා නො කරවත්. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළකළහ. “මහණෙනි, කමා කරවා ගන්ට අනුදනිමි” යි. එහෙත් ඔහු ආචාර්‍ය්‍යයන් කමා නො කරවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි බැහැර කරණ ලදහු විසින් කමා නො කර විය යුතු නො වේ. යමෙක් ආචාර්‍ය්‍යයන් කමා නො කරවන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි.
3. එකල්හි අතැවැසියන් විසින් කමා කරවනු ලබන ආචාර්‍ය්‍යයෝ කමා නො කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කමාකරන්ට අනුදනිමි” යි. ආචාර්‍ය්‍යයෝ කමා නො කරත්. අතැවැසියෝ බැහැර ද යෙති. සිවුරු ද හැර ලත්. අන්‍යතීර්‍ත්‍ථකයන් වෙත ද යෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “කමා කරවනු ලබන්නහු විසින් කමා නො කරවිය යුතු නො වේ. යමෙක් කමා නො කරන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි.
4. එකල්හි ආචාර්‍ය්‍යයෝ මනා කොට පිළිවෙත් පුරණ අතැවැසියා බැහැර කෙරෙත්. මනා කොට පිළිවෙත් නො පුරණ අතැවැසියා බැහැර නො කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මනා කොට පිළිවෙත් පුරණ අතැවැසි තෙමේ බැහැර නො කළයුතුය. යමෙක් බැහැර කරන්නේ නම් දුකුළාඇවැත් වේ. මනා කොට පිළිවෙත් නො පුරණ අතැවැසි තෙමේ බැහැර නො කට යුතු නො වේ. යමක් බැහැර නො කරන්නේ නම් දුකුළාඇවැත් වේ” යි.
5. මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසිතෙමේ බැහැර කට යුතුය. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ගෙහසිතප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වන්නී ද, අධික වු ගෞරවයෙක් නො වේ ද, අධික වු මෛත්‍රී භාවනාවක් නො වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසි තෙමේ බැහැර කටයුතු ය.
6. මහණෙනි, කරණු පසකින් යුත් අතැවැසිතෙමේ බැහැර නො කටයුතු ය ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ගෙහසිතප්‍රේමයෙක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වන්නී ද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසි තෙමේ බැහැර නො කට යුතු ය.
7. මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසිතෙමේ බැහැර කරන්නට සුදුසු වේ. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නොවන්නී ද, අධික වූ ගෞරවයෙක් නො වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් නො වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසි තෙමේ බැහැර කරන්නට සුදුසු වේ.
8. “මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසි තෙමේ බැහැර කරන්නට සුදුසු නො වේ. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වන්නී ද, අධික වූ ගෞරවයක් වේ ද, අධික වූ මෛත්‍රීභාවනාවක් වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසිතෙමේ බැහැර කරන්නට සුදුසු නො වේ.
9. මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසියා බැහැර නො කරන්නා වූ ආචාර්‍ය්‍ය තෙමේ දොස් සහිත වේ. බැහැර කරන්නේ දොස් රහිත වේ. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් නො වේ ද, අධික වූ පැහැදීමෙක් නො වේ ද, අධික වූ ලජ්ජාවක් නො වන්නී ද, අධික වූ ගෞරවයක් නො වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් නො වන්නී ද, මේ කරුණු පසින් යුත් අතැවැසියා බැහැර නො කරන්නා වූ ආචාර්‍ය්‍ය තෙමේ දොස් සහිත වේ. බැහැර කරන්නේ දොස් රහිත වේ.
10. මහණෙනි, කරුණු පසකින් යුත් අතැවැසියා බැහැර කරන්නා වූ ආචාර්‍ය්‍ය තෙමේ දොස් සහිත වේ. බැහැර නො කරන්නේ දොස් රහිත වේ. ආචාර්‍ය්‍යයා කෙරෙහි අධික වූ ප්‍රේමයෙක් වේ ද, අධික වූ පැහැදීමෙක් වේ ද, අධික වූ ලජ්ජාවක් වන්නී ද, අධික වූ ගෞරවයෙක් වේ ද, අධික වූ මෛත්‍රී භාවනාවක් වන්නී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් අතැවැසියා බැහැර කරන්නා වූ ආචාර්‍ය්‍ය තෙමේ දොස් සහිත වේ. බැහැර නො කරන්නේ දොස් රහිත වේ.
11. එකල්හි “දසවස් ඇත්තම්හ දසවස් ඇත්තම්හ” යි අඥ වූ අව්‍යක්ත වූ භික්‍ෂුහු නිස්සය දෙත්. ආචාර්‍ය්‍යයෝ අඥ වූවාහු අතැවැසියෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ අව්‍යක්ත වූවාහු අතැවැසියෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ අල්පශ්‍රැත වූවාහු අතැවැසියෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ නුවණ නැත්තාහු අතැවැසියෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත්.
12. යම් ඒ භික්‍ෂූහු ආශා රහිත වූවාහු ද ඔහු අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. “කෙසේ නම් භික්‍ෂූහු ‘දස වස් ඇත්තම්හ, දස වස් ඇත්තම්හ’ යි අඥ වූවාහු අව්‍යක්ත වූවාහු නිස්සය දෙත් ද? ආචාර්‍ය්‍යයෝ අඥ වූවාහු අතැවැසියෝ පණ්ඩිත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ අව්‍යක්ත වූවාහු අතැවැසියෝ ව්‍යක්ත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ අල්පශ්‍රැත වූවාහු අතැවැසියෝ බහුශ්‍රුත වූවාහු දක්නා ලැබෙත්. ආචාර්‍ය්‍යයෝ නුවණ නැත්තාහු අතැවැසියෝ නුවණ ඇත්තාහු දක්නා ලැබෙත්.”
13. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැබෑ ද?” –පෙ– භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය. –පෙ– ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, අඥ වූ අව්‍යක්ත මහණහු විසින් නිස්සය නො දිය යුතු ය. යම් මහණෙක් නිස්සය දෙන්නේ නම් දුකුළාඇවැත් වේ. “මහණෙනි, දසවස් ඇත්තා වූ හෝ වැඩි දස වස් ඇත්තාවූ හෝ ව්‍යක්තවූ ප්‍රතිබලවූ මහණහු විසින් නිස්සය දෙන්නට අනුදනිමි”යි.
සවන ඇදුරුවත්බණවර නිමි.
1. එකල්හි භික්‍ෂූහු ආචාර්‍ය්‍යෝපාධ්‍යායයන් බැහැර ගිය කල්හි ද සිවුරු හැර ගිය කල්හි ද කලුරිය කළ කල්හි ද අන්‍යතීර්‍ත්‍ථකපක්‍ෂයකට මාරු වූ කල්හි ද නිස සන්හිඳීම්* (නිස සන්හිඳෙන සැටි) නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උපාද්ධ්‍යායයා කෙරෙන් නිස සන්හිඳීම් මේ පසෙක් වේ: උපාද්ධ්‍යාය තෙමේ බැහැර ගියේ හෝ වේ ද, සිවුරු හැර ගියේ හෝ වේ ද, කලුරිය කෙළේ හෝ වේ ද, තීර්‍ත්‍ථකපක්‍ෂයකට මාරු වූයේ හෝ වේ ද, යන මේ සතර හා (බැහැරයව’ යි) අණ කිරීම ම පස්වැන්න වේ. මේ පස උපාද්ධ්‍යායයා කෙරෙන් වන නිස සන්හිඳීම් වේ.
2. මහණෙනි, ආචාර්‍ය්‍යයා කෙරෙන් වන නිස සන්හිඳීම් මේ සයෙකි: ආචාර්‍ය්‍ය තෙමේ බැහැර ගියේ වේ ද, සිවුරු හැර ගියේ වේ ද, කලුරිය කෙළේ හෝ වේ ද, තීර්‍ත්‍ථකපක්‍ෂයකට මාරු වූයේ හෝ වේ ද, මේ සතර අණ කිරීම ම පස්වැන්න වේ. උපාද්ධ්‍යායයා හා එක්වීමට{*} ගියේ හෝ වේ. මේ සය ආචාර්‍ය්‍යයා කෙරෙන් වන නිස සන්හිඳීම් වේ.
3. මහණෙනි, කරුණු පසකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අසේඛ වූ ශීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
4. මහණෙනි, කරුණු පසකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුක්ත වු මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
5. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. තෙමේ අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ ද, අන්හු අසේඛ වූ සීලක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ ද, අන්හු අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ ද, අන්හු අසේඛ වූ පඤ්ඤක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ ද, අන්හු අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ මේ ද; තෙමේ අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වුයේද, අන්හු අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද; මහණෙනි, මේ කරුණු පසින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
6. මහණෙනි, කරුණු පසකින් යුතු මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. තෙමේ අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වූ සීලක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වූ පඤ්ඤක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; තෙමේ අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; තෙමේ අසේඛවු විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ ද, අන්හු අසේඛ වු විමුත්තිකඤාණදස්සනක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ වේ ද; මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දියයුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
7. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ශ්‍රද්ධා නැත්තේ ද, ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ ද, කුසීතයෙක් ද, මුළා වූ සිහි ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළයුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
8. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ශ්‍රද්ධා ඇත්තේ ද, ලජ්ජා ඇත්තේ ද, පවට බිය ඇත්තේ ද, පටන් ගත් වීර්‍ණ්‍යය ඇත්තේ ද, එළඹ සිටි සිහි ඇත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
9. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට පැමිණියේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට පැමිණියේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට පැමිණියේ ද, අල්පශ්‍රැත ද, නුවණ නැත්තේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
10. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළයුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට නො පැමිණියේ වේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට නො පැමිණියේ වේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට නො පැමිණියේ වේ ද, බහුශ්‍රුත වේ ද, නුවණ ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
11. මහණෙනි, අනිකුදු කරණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළයුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ගිලන් වූ අතැවැසියාට හෝ සද්ධිවිහාරිකයාහට උපස්ථාන කරන්නට හෝ උපස්ථාන කරවන්නට, ශාසනයෙහි නො ඇල්ම දුරු කරන්නට හෝ දුරු කරවන්නට, උපන්නා වූ කුකුස ධර්‍මානුකූලව දුරු කරන්නට හෝ දුරු කරවන්නට පොහොසත් වූයේ නො වේ ද, ඇවැත් නො දනී ද, ඇවැතින් නැගීසිටීම නො දනී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
12. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ගිලන් වූ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ උපස්ථාන කරන්නට හෝ උපස්ථාන කරවන්නට, ශාසනයෙහි නො ඇල්ම දුරු කරන්නට හෝ දුර කරවන්නට, උපන්නා වූ කුකුස ධර්‍මානුකූල ව බැහැර කරන්නට හෝ බැහැර කරවන්නට පොහොසත් වූයේ වේ ද, ඇවැත් දනී ද, ඇවතින් නැගීසිටීම දනී ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතුය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
13. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අතැවැසියා හෝ සද්ධිවිහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු ආචාරශික්‍ෂාවෙහි (කඳුවත්හි) හික්මවන්නට, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදි වූ (උභතෝවිභඞ්ගයට ඇතුළත්) සිකපදයෙහි හික්මවන්නට, අභිධර්‍මයෙහි (නාමරූප පරිච්ඡේදයෙහි) හික්මවන්නට, සියලු විනයපිටකයෙහි හික්මවන්නට, උපන් මිසදිටු ධර්‍මානුකූලව තොර කරන්නට, පොහොසත් වූයේ නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
14. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. අතැවැසියා හෝ සද්ධිවිහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු ආචාරශික්‍ෂාවෙහි හික්මවන්නට, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදි වූ සිකපදයෙහි හික්මවන්නට, අභිධර්‍මයෙහි හික්මවන්නට, සියලු විනය පිටකයෙහි හික්මවන්නට, උපන් මිසදිටු ධර්‍මානුකූලව තොර කරන්නට, පොහොසත් වූයේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
15. මහණෙනි, අනිකුදු කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළයුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ආපත්තිය නො ද නී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, ඕහට උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ නුවූවාහු වෙත් ද, මාතිකාවිභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු නො වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ නො පවත්නෝ වෙත් ද, මාතිකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා කොට විනිශ්චය නො කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
16. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, ඕහට උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු වෙත් ද, මාතිකාවිභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නෝ වෙත් ද, මාතිකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා කොට විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළයුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
17. මහණෙනි, අනිකුදු කරණු පසකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කර විය යුතු ය. ආපත්තිය නො දනී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, අඩු දස වස් ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් නො කළයුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
18. මහණෙනි, කරුණු පසකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ආපත්තිය දනී ද, අනාපත්තිය දනී ද, ලහුකාපත්තිය දනී ද, ගරුකාපත්තිය දනී ද, දස වස් ඇත්තේ හෝ වැඩි දසවස් ඇත්තේ හෝ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
උපසපන්කිරීමේ සුදුසුකම් පස පිළිබඳ සොළොස් වාරය නිමි.
1. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වේ ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
2. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ සමාධික්ඛන්‍ධ යෙන් යුක්ත වේ ද, අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළයුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
3. මහණෙනි, අනිකුදු කරණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. තෙමේ අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ සීලක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද, තෙමේ අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙහි සමාදන් නොකරවන්නේ වේ ද, තෙමේ අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද, තෙමේ අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද, තෙමේ අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත නො වූයේ අන්හු අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙහි සමාදන් නො කරවන්නේ වේ ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
4. කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. තෙමේ අසේඛ වූ සීලක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ සීලක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, තෙමේ අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ සමාධික්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, තෙමේ අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ පඤ්ඤාක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, තෙමේ අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ විමුත්තික්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, තෙමේ අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙන් යුක්ත වූයේ අන්හු අසේඛ වූ විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධයෙහි සමාදන් කරවන්නේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද, මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
5. මහණෙනි, අනිකුදු කරණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ශ්‍රද්ධා නැත්තේ ද, ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ ද, කුසීත වේ ද, මුළා වූ සිහි ඇත්තේ ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතුය.
6. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ශ්‍රද්ධා ඇත්තේ ද, ලජ්ජා ඇත්තේ ද, පවට බිය ඇත්තේ ද, පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ ද, එළඹ සිටි සිහි ඇත්තේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
7. මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අධිසීලයෙහි සීලවිපත්තියට පැමිණියේ වේ ද, අජ්ඣාචාරයෙහි ආචාරවිපත්තියට පැමිණියේ වේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට පැමිණියේ වේ ද, අල්පශ්‍රැත වේ ද, නුවණ නැත්තේ වේ ද; අඩු දසවස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
8. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දි යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතුය. අධිසීලයෙහි සීලවිපත්තියට නො පැමිණියේ වේ ද, අජ්ඣාචාර යෙහි ආචාරවිපත්තියට නො පැමිණියේ වේ ද, අන්තග්ගාහිකදිට්ඨි ගැණීමෙන් දිට්ඨිවිපත්තියට නො පැමිණියේ වේ ද, බහුශ්‍රුත වේ ද, නුවණැත්තේ වේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
9. මහණෙනි, අනිකුදු කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ගිලන් වූ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ උපස්ථාන කරන්නට හෝ උපස්ථාන කරවන්නට හෝ ශාසනයෙහි නො ඇල්ම බැහැර කරන්නට හෝ බැහැර කරවන්නට හෝ උපන් කුකුස ධර්‍මානුකූලව දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ පොහොසත් නො වේ ද, ආපත්තිය නො දනී ද, ආපත්තියෙන් නැගීසිටීම නො දනී ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
10. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ගිලන් වූ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ උපස්ථාන කරන්නට හෝ උපස්ථාන කරවන්නට, ශාසනයෙහි නො ඇල්ම බැහැර කරන්නට හෝ බැහැර කරවන්නට, උපන් කුකුස ධර්‍මානුකූල ව දුරු කරන්නට හෝ දුරු කරවන්නට, පොහොසත් වේ ද, ආපත්තිය දනී ද, ආපත්තියෙන් නැගී සිටීම දනී ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
11. මහණෙනි, අනිකුදු කරණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. අතැවැසියා හෝ සද්ධිවිහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු චාරිත්‍රශික්‍ෂාවෙහි හික්මවන්නට, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදි වූ උභතෝවිභඞ්ගයට ඇතුළත් සිකපදයෙහි හික්මවන්නට, නාමරූප පරිච්ඡේදයෙහි හික්මවන්නට, සියලු විනය පිටකයෙහි හික්මවන්නට, උපන් මිසදිටුව ධර්‍මයෙන් තොර කරන්නට, පොහොසත් වූයේ නො වේ ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
12. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතුය. අතැවැසියා හෝ සද්ධිවිහාරිකයා හෝ සසුන් පිළිවෙතට සුදුසු වූ චාරිත්‍රශික්‍ෂාවෙහි හික්මවන්නට, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදී වූ උභතෝවිභඞ්ගයට ඇතුළත් සිකපදයෙහි හික්මවන්නට, නාමරූපපරිච්ඡේදයෙහි හික්මවන්නට සියලු විනය පිටකයෙහි හික්මවන්නට, උපන් මිසදිටුව ධර්‍මානුකූලව තොරකරන්නට, පොහොසත් වූයේ වේ ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය.
13. මහණෙනි, අනිකුදු කරණු සයකින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය. ආපත්තිය නො දනී ද, අනාපත්තිය නො දනී ද, ලහුකාපත්තිය නො දනී ද, ගරුකාපත්තිය නො දනී ද, ඕහට උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වූවාහු නො වෙත් ද, මාතිකා විභඞ්ග වශයෙන් මනා සේ බෙදුනාහු නො වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ නො පවත්නාහු වෙත් ද, මාතිකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය නො කරණ ලද්දාහු වෙත් ද, අඩු දස වස් ඇත්තේ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් නො කළ යුතු ය. නිස්සය නො දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන නො කරවිය යුතු ය.
14. මහණෙනි, කරුණු සයකින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ථාන කරවිය යුතු ය. ආපත්තිය දනී ද අනාපත්තිය දනී ද ලහුකාපත්තිය දනී ද ගරුකාපත්තිය දනී ද ඕහට උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර (උභතෝවිභඞ්ග) වශයෙන් මනා සේ අවබෝධ වෙත් ද, මාතිකාවිභඞ්ග වශයෙන් බෙදුනාහු වෙත් ද, වාචෝද්ගත කිරීම් වශයෙන් මනා සේ පවත්නාහු වෙත් ද, මාතිකා වශයෙන් හා විභඞ්ග වශයෙන් මනා සේ විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද, දස වස් ඇත්තේ හෝ වැඩි දස වස් ඇත්තේ හෝ වේ ද; මහණෙනි, මේ කරුණු සයින් යුත් මහණහු විසින් උපසපන් කළ යුතු ය. නිස්සය දිය යුතු ය. සාමණේර තෙමේ උපස්ස්ථාන කරවිය යුතු ය.
උපසපන් කිරීමෙහි සුදුසුකම් පිළිබඳ තුදුස්වාරය නිමි.
1. එකල්හි පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ යම් ඒ මහණෙක් උපාද්ධ්‍යායයා විසින් සිකපදයෙන් කියනු ලබන්නේ උපාද්ධ්‍යායයාහට වාද නගා ඒ තීර්‍ත්‍ථායතනයට ම ගියේ ය. හෙතෙමේ නැවත පෙරළා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලී ය. භික්‍ෂූහු ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ යම් ඒ මහණෙක් උපාද්ධ්‍යායයා විසින් සිකපදයෙන් කියනු ලබන්නේ උපාද්ධ්‍යායයාහට වාද නගා ඒ තීර්‍ත්‍ථායතනයට ම ගොස් නැවත ආයේ ද, හෙතෙම උපසපන් නො කටයුතු ය.
2. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ අන් යමෙක් ද මේ ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව කැමැති වේ නම් ඔහුට සිවුමසක් පිරිවෙස් දිය යුතු ය. මහණෙනි, ඒ දිය යුත්තේ මෙසේ ය: පළමු කොට හිසකේ රැවුල් බැහැර කරවා කසාවත් අන්දවා උතුරු සඟ සිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වන්‍දවා උක්කුටිකයෙන් හින්දවා ඇඳිලි ගන්වා “බුදුන් සරණ කොට යමි. ධර්‍මය සරණ කොට යමි. සඞ්ඝයා සරණ කොට යමි. දෙවනු ද බුදුන් සරණ කොට යමි. දෙවනු ද ධර්‍මය සරණ කොට යමි. දෙවනු ද සඞ්ඝයා සරණ කොට යමි. තෙවනු ද බුදුන් සරණ කොට යමි. තෙවනු ද ධර්‍මය සරණ කොට යමි. තෙවනු ද සඞ්ඝයා සරණ කොට යමි” යි මෙසේ කියව යි කිය යුත්තේ ය.
3. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ ඔහු විසින් සඞ්ඝයා වෙත පැමිණ උතුරු සඟසිවුර එකස් කොට භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ “ස්වාමීනි, මම පෙර මෙ නම් ඇති අන්‍යතීර්‍ත්‍ථකයෙක් වීමි. දැන් මේ ශාසනයෙහි උපසම්පදාව කැමැත්තේ වෙමි. ස්වාමීනි, ඒ මම සිවු මසක් සඞ්ඝයා වෙතින් පිරිවෙස් ඉල්ලමි’ යි මෙසේ කිය යුතු වන්නේය. දෙවනු ද ඉල්ලිය යුතු ය. තෙවනු ද ඉල්ලිය යුතු ය.
4. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණෙකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. “මෙ නම් ඇති පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මේ තෙමේ මේ ශාසනයෙහි උපසම්පදාව බලාපොරොත්තු වේ. සඞ්ඝයාගෙන් සිවුමසක් පිරිවෙස් ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මෙ නම් ඇත්තහුට සිවු මසක් පිරිවෙස් දෙන්නේ ය. මේ දැන්වීම ය.”
5. ස්වාමීනි, සඞ්ඝතෙමේ මා කියන්නක් අසාවා. “මෙ නම් ඇති අන්‍යතීර්‍ත්‍ථක වූ මේ තෙමේ මේ ශාසනයෙහි උපසම්පදාව බලාපොරොත්තු වේ. හෙතෙමේ සඞ්ඝයාගෙන් සිවු මසක් පිරිවෙස් ඉල්ලයි. සඞ්ඝතෙමේ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මෙ නම් ඇත්තනුට සිවු මසක් පිරිවෙස් දෙයි. යම් ආයුෂ්මතෙකුට පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මෙනම් ඇත්තහුට සිවු මසක් පිරිවෙස් දීම රුචි වේ නම් හෙතෙමේ – තුෂ්ණීම්භූත වේවා. යමෙකුට රුචි නො වේ නම් හෙතෙමේ කියාවා.”
6. “සඞ්ඝයා විසින් පෙර අන්‍යතීර්‍ත්‍ථක වූ මෙ නම් ඇත්තහුට සිවු මසක් පිරිවෙස් දෙන ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණීම්භූත වේ. මෙය මෙසේ සලකමි” යි.
7. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ මෙසේ වත් සපයන්නේ (පිරිවෙස්වත පුරන්නේ) වේ. මෙසේ වත් නො සපයන්නේ වේ. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ කෙසේ වත් නො සපයන්නේ වේ ද? මහණෙනි, මෙහි පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ ඉතා කලින් ගමට පිවිසෙයි. ඉතා දහවල් පෙරළා එයි. මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් නො සපයන්නේ වේ.
8. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වෙසඟනන් ඇසුරු කරන්නේ හෝ වේ ද, වැන්දඹු ගැහැණුන් ඇසුරු කරන්නේ හෝ වේ ද, විවාහ නොවී මහලු වූ ගැහැණුන් ඇසුරු කරන්නේ හෝ වේ ද, ලිඞ්ග විකල වූවන් (නපුංසකයන්) ඇසුරු කරන්නේ හෝ වේ ද, මෙහෙණන් ඇසුරු කරන්නේ හෝ වේ ද, මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් නො සපයන්නේ වේ.
9. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ සබ්‍රහ්මචාරීන් පිළිබඳ කුමක් කෙරෙම් දැ යි පිළිවිස කළයුතු යම් ඒ කුදු මහත් කටයුතු වෙත් ද, ඒ කටයුතුවල දක්‍ෂ නො වේ. උත්‍ථානවීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ නො වේ. ඒ ඒ කටයුතුවල “මෙය මෙසේ කට යුතු ය” යි කෙණෙහි උපන් නුවණින් යුක්ත වූයේ නො වේ. සියතින් කරන්නට සමර්‍ත්‍ථ නො වේ. ස්ථවිර – මධ්‍යම – නවකයන් තුළ උත්සාහය උපදවා සංවිධානය කරන්නට සමර්‍ත්‍ථ නො වේ. මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් නො සපයන්නේ වේ.
10. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ පෙළ පුහුණු කිරීමෙහි අරුත් ඇසීමෙහි ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි ලෞකිකසමාධිභාවනා වෙහි ලෝකෝත්තරමාර්‍ගභාවනාවෙහි බලවත් කැමැත්ත ඇත්තේ නො වේ. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ මෙසේ ද වත් නො සපයන්නේ වේ.
11. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ යමෙකුගේ තීර්‍ත්‍ථායතනයකින් මෙහි ආයේ වේ ද, ඒ තීර්‍ත්‍ථායතනස්වාමී වූ ශාස්තෘහුගේ ද ඔහු අයත් ලබ්ධියෙහි ද ඔහුගේ කැමැත්තෙහි ද ඔහුගේ රුචියෙහි ද ඔහුගේ දැඩිව ගත් දෘෂ්ටියෙහි ද දොස් කියනු ලබන කල්හි කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ දොස් කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තේ ඔද වැඩි වූයේ පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, යමෙකුගේ තීර්‍ත්‍ථායතනයකින් මෙහි ආයේ වේ ද, ඒ තීර්‍ත්‍ථායතන ස්වාමී වූ ශාස්තෘහුගේ ද ඔහු අයත් ලබ්ධියෙහි ද ඔහු පිළිබඳ කැමැත්තෙහි ද ඔහුගේ රුචියෙහි ද ඔහුගේ දැඩිව ගත් දෘෂ්ටියෙහි ද ගුණ කියන කල්හි සතුටු සිත් ඇත්තෙක් ඔද වැඩි වූයේ පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ ගුණ කියනු ලබන කල්හි කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පිරිපුන් අදහස් ඇත්තේ වේ ද, මහණෙනි, මෙය පෙර අන්‍යතීර්‍ත්‍ථකවූවහුගේ වත් නො පිරීමෙහි ප්‍රධාන ලක්‍ෂණය වේ. මහණෙනි, මෙසේ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් නො පුරන්නේ වේ. මහණෙනි, මෙසේ වත් නො පුරණ පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ මෙහි ආයේ උපසපන් නො කළ යුතු ය.
12. මහණෙනි, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ කෙසේ වත් පුරන්නෙක් වේ ද? මහණෙනි, මෙහි පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ ඉතා කලින් ගමට නො පිවිසේ. ඉතා දහවල් පෙරළා නො එයි. මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නෙක් වේ.
13. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වෙසඟනන් ඇසුරු නො කරන්නේ වේ ද, වැන්දඹු ගැහැණුන් ඇසුරු නො කරන්නේ වේ ද, විවාහ නොවී මහලුවූ ගැහැණුන් ඇසුරු නො කරන්නේ වේ ද, ලිඞ්ගවිකලවූවන් ඇසුරු නො කරන්නේ වේ ද, මෙහෙණන් ඇසුරු නො කරන්නේ වේ ද, මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නෙක් වේ.
14. මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථකවූයේ සබ්‍රහ්මචාරීන් පිළිබඳ “කුමක් කෙරෙම් දැ” යි පිළිවිස කළ යුතු යම් ඒ කුදු මහත් කටයුතු වේ ද ඒ කටයුතුවල දක්‍ෂ වේ ද, උත්‍ථානවීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ වේ ද, ඒ ඒ කටයුතුවල “මෙය මෙසේ කටයුතු ය, මෙය මෙසේ කටයුතු ය” යි කෙණෙහි උපන් නුවණින් යුක්ත වූයේ වේ ද, සියතින් කරන්නට සමර්‍ත්‍ථ වේ ද; ස්ථවිර – මධ්‍යම – නවකයන් තුළ උත්සාහය උපදවා සංවිධානය කරන්නට සමර්‍ත්‍ථ වේ ද, මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නෙක් වේ.
15 මහණෙනි, නැවත ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ පෙළ පුහුණු කිරීමෙහි, අරුත් ඇසීමෙහි, ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි, ලෞකිකසමාධිභාවනාවෙහි, ලෝකෝත්තරමාර්‍ගභාවනාවෙහි, බලවත් කැමැත්ත ඇත්තේ වේ ද, මහණෙනි, මෙසේ ද පෙර අන්‍යතීර්‍ත්‍ථක වූයේ වත් පුරන්නෙක් වේ.