Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 2701-2789 න් 2789

6. මේ සත්ත්‍වලෝකයෙහි කිසි කලකෙත් වෛරයෝ වෛරයෙන් නො සන්සිඳෙත්. අවෛරයෙන් (මෛත්‍රියෙන්) ම සන්සිඳෙත්. අවෛරයෙන් වෛරය සන්සිඳෙයි යන මේ ධර්‍මය පැරණි දහමෙකි.
7. (පණ්ඩිතයන් හැර) අන්‍ය වූ කලහකාරකජනයෝ මෙහි (සඟමැද) කලහ කරන්නෝ “අපි නැසෙමු (මරු වෙත යමු)” යි නො දනිත්. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් එය දනිත් ද, එයින් කලහයෝ සන්සිඳෙත්.
8. (යම්කෙනෙකුන්ගේ මවුපියන්ගේ) ඇට සිඳින ලද ද, (යම් කෙනෙක්) ප්‍රාණය පැහැර ගණිත් (=දිවි තොර කෙරෙත්) ද, ගව - අශ්ව - ධනයන් පැහැර ගන්නා සුලු වෙත් ද, (එබඳු වූ) රට වොලෝ ගන්නා වූ ඒ රජුන්ගේ ද සමගිය වේ. කුමක් හෙයින් තොපගේ සමගිය නො වන්නේ ද?
9. ස්ථානෝචිතප්‍රඥා ඇති සමග හැසිරීමට සුදුසු වූ මනා විහරණ ඇති නුවණැති යහළුවකු ලබන්නේ නම්, ප්‍රකට අප්‍රකට හැම උවදුරු මැඩ ඔහු සමග සතුටු සිත් ඇත්තේ සිහි ඇත්තේ හැසිරෙන්නේ ය.
10. ස්ථානෝචිතප්‍රඥා ඇති සමග හැසිරීමට සුදුසු වූ මනා විහරණ ඇති ධෘතිසම්පන්න වූ යහළුවකු නො ලබන්නේ නම්, දිනූ රට හැර ගියා වූ (මහාජනක අරින්‍දමාදී) රජුන් මෙන් ද වනයෙහි (=සීලව හෝ පාරිලෙය්‍යක) ශ්‍රේෂ්ඨහස්තියා මෙන් ද එකලා ව හැසිරෙන්නේ ය.
11. එකලා වූ වහුගේ හැසිරීම උතුම් ය. අඥයා කෙරෙහි යහළුබවෙක් නැත. වනයෙහි ශ්‍රේෂ්ඨ හස්තියා මෙන් (ගණයා සමග එක් වීමේ) උත්සාහ රහිත ව එකලා ව හැසිරෙන්නේ ය. පව් නො කරන්නේ ය.
12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟ මැද සිටි සේක් ම මේ ගාථාවන් වදාරා බාලකලෝණකාරගමට වැඩි සේක.
13. එකල්හි ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ බාලකලොණකාරගමෙහි වාසය කෙරෙයි.
14. ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටු සේක. දැක අසුනක් පැණවී ය. පාදෝනාදිය පාපුටුව පාපුවරුව එළවා තැබී ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ පා සේදූහ.
15. ආයුෂ්මත් භගු ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් භගු තෙරුන්ගෙන් “මහණ, කිම, ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම, ආහාරයෙන් විඩාපත් නො වූයෙහි දැ?”යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, මම ආහාරයෙන් ද වෙහෙසට නො පත් වූයෙමි” යි තෙරහු කී හ.
16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගුතෙරුන් දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට පාචීනවංස නම් වනයට වැඩි සේක.
17. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද පාචීනවංස මුවවනයෙහි වෙසෙත්.
18. උයන්පල් තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක “ශ්‍රමණය, මේ උයනට නහමක් පිවිසෙව. මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙත්. ඔහු තමහට හිත කැමැත්තාහු වෙසෙත්. උන්වහන්සේලාට කරදර නො කළ මැනැවැ”යි කී ය.
19. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ හා කතා කරණ උයන්පල්ලාගේ ඒ කතාව ඇසී ය. අසා උයන්පල්ලාට “ඇවැත, උයන්පල්ල, භාග්‍යවතුන් වහන්සේ නො වළකුව, අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි කී ය.
20. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් නන්‍දිය තෙරුන් වෙත ද ආයුෂ්මත් කිම්බිලතෙරුන් වෙත ද ගියේ ය. ගොස් ආයුෂ්මත් නන්‍දිය තෙරුන්ට ද ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ද “ආයුෂ්මත්නි, මෙහි පැමිණෙවු. ඉදිරියට එවු. අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි දැන්වී ය.
21. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගොස් එක් නමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගත්තේ ය. එක් නමක් අසුන් පැණවී ය. එක් නමක් පාදෝනාදිය පාපුටුව පාපුවරුව එළවා තැබී ය. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ පා සේදූහ.
22. ඒ ආයුෂ්මත්හු ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගෙන් “අනුරුද්ධයෙනි, කිම, තොපට ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, ආහාරයෙන් වෙහෙසට පත් නො වහු දැ?”යි ඇසූහ.
“භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි ආහාරයෙන් වෙහෙසට පත් නො වම්හ.”
“අනුරුද්ධයෙනි, කිම තෙපි සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියහු ඔවුනොවුන් පියඇසින් බලමින් වසවුද?”
“ස්වාමීනි, එසේ ය. අපි සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියමෝ ඔවුනොවුන් පියඇසින් බලමින් වසමු”.
“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා ජලය සේ හැනී එක් ව සිටියහු ඔවුනොවුන් පියඇසින් බලමින් වසවු ද?”
23. ‘ස්වාමීනි, මෙහි දී මට ‘යම් මම මෙබඳු වූ සබ්‍රම්සරුන් හා එක් ව වෙසෙම් ද, මට (එය) ලාභයෙකි. මා ලත් යහපත් ලැබීමකැ’යි සිත් වෙයි. ‘ස්වාමීනි, මේ ආයුෂ්මතුන් කෙරෙහි ඒ මාගේ මෛත්‍රීකායකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. මෛත්‍රීවාක්කර්‍මය -පෙ– මෛත්‍රීමනඃකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. ස්වාමීනි, ඒ මට ‘මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතින්නෙම් නම් යෙහෙකැ’යි සිත් වේ. ස්වාමීනි, ඒ මම සිය සිත බහා තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතිමි. ස්වාමීනි, අපගේ ශරීරයෝ වෙන් ව පවත්නෝ ම වෙති. අපගේ සිත නම් එකක් ම යයි සිතමි.”
24. ආයුෂ්මත් නන්‍දිය ස්ථවිර තෙමේ ද -පෙ- ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මටත් ‘යම් මම මෙබඳු වූ සබ්‍රම්සරුන් හා එක් ව වෙසෙම් ද, මට (එය) ලාභයෙකි. මා ලත් යහපත් ලැබීමකැ’ යි සිත් වෙයි. ස්වාමීනි, මේ ආයුෂ්මතුන් කෙරෙහි ඒ මාගේ මෛත්‍රීකායකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. මෛත්‍රීවාක්කර්‍මය -පෙ– මෛත්‍රීමනඃකර්‍මය ප්‍රකට වත් අප්‍රකට වත් එළඹ සිටියේ ය. ස්වාමීනි, ඒ මට ‘මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතින්නේනම් නම් යෙහෙකැ’ යි සිත් වේ. ස්වාමීනි, ඒ මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත් වශයෙන් පවතිමි. ස්වාමීනි, අපගේ ශරිරයෝ වෙන් ව පවත්නෝ ම වෙති. අපගේ සිත නම් එකක් ම ය යි සිතමි. ස්වාමීනි, අපි මෙසේ සමගි ව සතුටු ව විවාද නො කරමින් කිරි හා දිය සේ එකතු ව ඔවුනොවුන් පියඇසින් බලමින් වෙසෙමු”.
25. “අනුරුද්ධයෙනි, කිම, තෙපි අප්‍රමත්තවූවහු කෙලෙස් තවන වැරැ ඇත්තාහු භාවනාවට යැවූ සිත් ඇත්තහු වසවු ද”? “ස්වාමීනි, එසේය. අපි අප්‍රමත්ත වූවමෝ කෙලෙස් තවන වැර ඇත්තමෝ භාවනාවට යැවූ සිත් ඇත්තමෝ වසන්නෙමු”.
26. “අනුරුද්ධයෙනි, තෙපි කෙසේ අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වැර ඇත්තාහු භාවනාවට යැවූ සිත් ඇත්තාහු වසවු ද?”
27. “ස්වාමීනි, මෙහි අපගෙන් යමෙක් පළමු කොට ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඒ ද, හෙතෙමේ අසුන් පණවයි. පාදෝනාදිය පාපුටුව පා තබන පුවරුව එළවා තබයි. ඉඳුල් ලන බඳුන සෝදා තබයි. පැන් හා පිරිබෝදිය එළවයි. යමෙක් පසු ව ගමෙහි පිඬු සිඟා හැසිර පෙරළා ඒ ද, වළඳා ඉතිරි වූවක් වේ නම්, කැමැත්තේ නම්, වළඳයි. නො කැමැත්තේ නම්, නිල්තණ නැති තැන හෝ බහයි. සතුන් නැති දියෙහි හෝ පා කොට හරියි. හෙතෙමේ අසුන් ඔසොවා තබයි. පාදෝනාදිය පාපුටුව පාපුවරුව තැන්පත් කරයි. ඉඳුල් ලන බඳුන සෝදා තැන්පත් කරයි. පැන් හා පිරිබෝදිය තැන් පත් කරයි. බත්හල හමදියි. යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය හෝ දකී ද, හෙතෙමේ එය එළවා තබයි. ඔහුට නො ඉසිලිය හැකි නම් හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟුවෙන් එළවා තබයි. ස්වාමීනි, ඒ හේතුවෙන් අපි වචන නො බිඳින්නෙමු. (කතා නො කරන්නෙමු.) ස්වාමීනි, පස් දවසකට වරක් සියලු රෑ දැහැමිකතාවෙන් යුක්ත ව හිඳිමු. ස්වාමීනි, මෙසේ අපි අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව භාවනාවට යැවූ සිත් ඇති ව වාසය කරමු”යි.
28. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද ආයුෂ්මත් නන්‍දිය තෙරුන් ද ආයුෂ්මත් කිම්බිල තෙරුන් ද දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට පාරිලෙය්‍යකවනය බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණසේක් පාරිලෙය්‍යකවනයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාරිලෙය්‍යකවනයෙහි රක්ඛිත වනලැහැබෙහි මැනැවින් වැඩුනු මහත් සල් රුකක් මුල වසන සේක.
29. ඉක්බිති එකලා ව විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිත්හි “මම පෙර ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ කොසඹෑ නුවර වැසි භික්‍ෂූන් හා එක් වූයෙම් පහසුවෙන් නො විසූයෙමි. ඒ මම දැන් එකලා වූයෙම් දෙවැන්නෙක් නැත්තෙම් ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් හැර සුව සේ පහසුවෙන් වෙසෙමි”යි පරිවිතර්‍කයෙක් උපන.
30. එක්තරා මහත් ඇතෙක් ද ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් වූයේ ඔවුන් විසින් සිඳ දැමූ අක් ඇති තණ කයි. ඔහු විසින් (උස් තැනින් බිඳ හෙළු) අතුකැබලි (අනික් ඇත්තු) කත්. කැලඹුනු දිය බොයි. ඇතිනියෝ දියෙහි ගැලීමෙන් නොහොත් තොටින් ගොඩ නැංගා වූ ඔහුගේ සිරුර ගටා යෙත්.
31. එකල්හි ඒ මහ ඇතුට “මම ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් ව වසමි. (ඔවුන් විසින්) සිඳ දැමූ අග ඇති තණ ද කමි. මා විසින් බිඳි අතු කැබලි ඔහු කත්, කැලඹුනු දිය ද බොමි. දියට බස්නා ඇතිනියෝ දියෙන් ගොඩ වූ මාගේ කය ගටා යෙත්. එහෙයින් මම එකලා ව ම සමූහයාගෙන් වෙන් වූයේ ම වසන්නෙම් නම් යෙහෙකැ”යි සිත් වි ය.
32. ඉක්බිති ඒ මහඇත් තෙමේ රැළෙන් ඉවත් ව පාරිලෙය්‍යකවනයෙහි රක්ඛිත වනලැහැබෙහි විසල්සල්රුක්මුල හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ සොඬින් භාග්‍යවතුන් වහන්සේට පැන් පිරිබෝදිය එළවයි. තණ ද බැහැර කරයි.
33. එකල්හි ඒ මහඇතුට “මම පෙර ඇතුන් හා ඇතිනියන් හා තරුණ ඇතුන් හා ඇත්පැටවුන් හා එක් වූයෙම් පහසුවෙන් නො විසීමි. සිඳ දැමූ අක් ඇති තණ ද කෑවෙමි. මා විසින් කඩා දැමූ අතුකැබලි ඔහු කෑහ. කැලඹුනු දිය ද බීමි. දියට බස්නා ඇතින්නෝ දියෙන් ගොඩ වූ මාගේ කය ගටා ගියහ. ඒ මම දැන් එකලා ව දෙවැන්නෙකු නැති ව ඇතුන් ඇතින්නන් තරුණඇතුන් ඇත්පැටවුන් හැර සැප සේ පහසුවෙන් වසමි” යි සිත් වි ය.
34. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ පවිවේකය ද දැන ඒ මහඇතුගේ සිතෙහි අදහස ද දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පැවැත්වූහ:
“යම් හෙයකින් එකලා වූයේ වනයෙහි සිත් අලවා වෙසේ ද, එහෙයින් (ඒ විවේකරතියෙන්) රියඉස් වැනි (හේරිය කඳ මෙන් දික් වූ) දළ ඇති හස්තිනාගයාගේ සිත බුද්ධනාගයාගේ සිත හා සම වේ” යී.
35. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරිලෙය්‍යයකවනයෙහි කැමැති තාක් කල් වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් සැවැත්නුවරට වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
36. එකල්හි කොසඹෑනුවර වැසි උපාසකයෝ “කොසඹෑනුවර වැසි ආර්‍ය්‍ය වූ මේ භික්‍ෂූහු අපට බොහෝ අවැඩ කළෝ ය. මොවුන් විසින් පෙළනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ වනයට වැඩි සේක. එබැවින් අපි ආර්‍ය්‍ය වූ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් නො වඳින්නෙමු නම්, දැක හුනස්නෙන් නො නැගිටින්නෙමු නම්, ඇඳිලි කිරීම් ගෞරව කිරීම් නො කරන්නෙමු නම්, සත්කාර නො කරන්නෙමු නම්, ගරු නො කරන්නෙමු නම්, බුහුමන් නො කරන්නෙමු නම්, නො පුදන්නෙමු නම්, අප වෙත එළඹියවුන්ට ද ආහාර නො දෙන්නෙමු නම්, මෙසේ අප විසින් සත්කාර නො කරණු ලබන ගරු නො කරණු ලබන බුහුමන් නො කරණු ලබන නො පුදනු ලබන මොහු අසත්කාරයෙන් මැඩුනෝ බැහැර යන්නාහු හෝ වෙති. සිවුරු හරින්නාහු හෝ වෙති. භාග්‍යවතුන් වහන්සේ හෝ පහදවන්නාහු වෙති”යි (සිතූහ.)
37. ඉක්බිති කොසඹෑ නුවර වැසි උපාසකයෝ කොසඹෑනුවර වැසි භික්‍ෂූන් නො වැන්දාහ. දැක හුනස්නෙන් නො නැගිට්ටාහ. ඇඳිලි කිරීම් ගෞරව කිරීම් නො කළහ. සත්කාර නො කළහ. ගරු නො කළහ. බුහුමන් නො කළහ. නො පිදූහ. වෙත පැමිණියවුන්ට ආහාර ද නො දුන්හ.
38. ඉක්බිති කොසඹෑ නුවර වැසි උපාසකයන් විසින් සත්කාර නො කරණු ලබන ගරු නො කරණු ලබන බුහුමන් නො කරණු ලබන නො පුදනු ලබන කොසඹෑනුවර වැසි භික්‍ෂූහු අසත්කාරයෙන් මැඩුනෝ “ඇවැත්නි, එසේ නම්, අපි සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ආරාවුල සන්සිඳුවන්නෙමු”යි මෙසේ කීහ.
39. අනතුරු ව කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සෙනසුන් තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගියහ.
40. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ “ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූහ.
41. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නාවූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම මේ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ” යි විචාළහ. “ශාරීපුත්‍රය, එසේ නම් තෙපි ධර්‍මය පරිදි සිටිවු”යි. “ස්වාමීනි, මම (මෙය) ධර්‍මය යි හෝ අධර්‍මය යි හෝ කෙසේ දනිම් ද?”
42. “ශාරීපුත්‍රය, වස්තු අටළොසකින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: ශාරීපුත්‍රය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය ධර්‍මය යි දක්වයි ද, ධර්‍මය අධර්‍මයයි දක්වයි ද, අවිනය විනය යි දක්වයි ද, විනය අවිනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, අනාපත්තිය ආපත්තිය යි දක්වයි ද, ආපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, ශාරීපුත්‍රය, මේ වස්තු අටළොසින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය.
43. “ශාරීපුත්‍රය, වස්තු අටළොසකින් ම ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය. ශාරීපුත්‍රය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය අධර්‍මය යි දක්වයි ද, ධර්‍මය ධර්‍මය යි දක්වයි ද, අවිනය අවිනය යි දක්වයි ද, විනය විනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වයි ද, අනාපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ආපත්තිය ආපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද සාවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තියයි දක්වයි ද, ශාරීපුත්‍රය, මේ වස්තු අටළොසින් ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය”යි වදාළසේක.
44. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යානස්ථවිරයන් වහන්සේ “ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල” යි ඇසූහ. ආයුෂ්මත් මහාකාශ්‍යපස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකොට්ඨිතස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් මහාචුන්‍දස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ -පෙ– ඇසූහ. ආයුෂ්මත් රේවතස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ -පෙ- ඇසූහ. ආයුෂ්මත් රාහුලස්ථවිරයන් වහන්සේ ඩබරකරුවූ -පෙ– සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූහ.
45. ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළාහු ය. “රාහුලය, එසේ නම් තෝ ධර්‍මය පරිදි සිටුව”. “ස්වාමීනි, මම (මෙය) ධර්‍මය යි හෝ අධර්‍මය යි හෝ කෙසේ දනිම් ද?”
46. “රාහුලය, වස්තු අටළොසකින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: රාහුලය, මෙහි මහණෙක් අධර්‍මය ධර්‍මය යි දක්වයි ද, ධර්‍මය අධර්‍මය යි දක්වයි ද, අවිනය විනය යි දක්වයි ද, විනය අවිනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වයි ද, අනාපත්තිය ආපත්තිය යි දක්වයි ද, ආපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ලහුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය, දුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, රාහුලය, මේ වස්තු අටළොසින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය.
47. “රාහුලය, වස්තු අටළොසකින් ම ධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: රාහුලය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය අධර්‍මය යි දක්වයි ද, ධර්‍මය ධර්‍මය යි දක්වයි ද, අවිනය අවිනය යි දක්වයි ද, විනය විනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැ යි දක්වයි ද, අනාපත්තිය අනාපත්තිය යි දක්වයි ද, ආපත්තිය ආපත්තියයි දක්වයි ද, ලහුකාපත්තිය ලහුකාපත්තිය යි දක්වයි ද, ගරුකාපත්තිය ගරුකාපත්තිය යි දක්වයි ද, සාවසේසාපත්තිය සාවසේසාපත්තිය යි දක්වයි ද, අනවසේසාපත්තිය අනවසේසාපත්තිය යි දක්වයි ද, දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියයි දක්වයි ද, අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යි දක්වයි ද, රාහුලය, මේ වස්තු අටළොසින් ධර්‍මවාදී පුද්ගල තෙමේ දතයුතු ය”.
48. මහාපජාපතීගෝතමී තොමෝ “ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසූ ය.
49. ඉක්බිති මහාපජාපතීගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියා ය. පසෙක සිටියා වූ මහාපජාපතිගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ– සඞ්ඝයා වෙත නඩු පවරන්නා වූ ඒ කොසඹෑ නුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචළයා ය. “ගෞතමිය, එසේ නම්, ඔබ දෙපක්‍ෂය වෙත ම දහම් අසන්න. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් නම්, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම හෝ හැඟීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරන්න. භික්‍ෂුණීසඞ්ඝයා විසින් භික්‍ෂුසඞ්ඝයාගෙන් යමක් බලාපොරොත්තු විය යුතු නම්, ඒ සියල්ල ධර්‍මවාදීන් කෙරෙන් ම බලාපොරොත්තු විය යුතු ය.”
50. අනේපිඬුගැහැවි තෙමේ “ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර වැසි භික්‍ෂූහු සැවැත් නුවරට එත් ල” යි ඇසී ය.
51. අනතුරු ව අනේපිඩුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් අනේපිඩුගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ -පෙ- සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර වැසි භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළේ ය. “ගැහැවිය, එසේ නම් තොප දෙපක්‍ෂයට ම දන් දෙන්න. දෙපක්‍ෂයට දන් දී දෙපක්‍ෂය වෙත දහම් අසන්න. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් ද, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම හෝ හැඟීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරන්න”.
52. මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ “ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල”යි ඇසු ය.
53. ඉක්බිති මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. පසෙක හුන් මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑනුවර භික්‍ෂූහු සැවැත්නුවරට එත් ල. ස්වාමීනි, මම ඒ භික්‍ෂූන් කෙරෙහි කෙසේ පිළිපදිම් දැ”යි විචාළා ය. “විශාඛාව, එසේ නම් තෙපි දෙපක්‍ෂයට ම දන් දෙවු. දෙපක්‍ෂයට දන් දී දෙපක්‍ෂය වෙත දහම් අසවු. දෙපක්‍ෂය වෙත දහම් අසා එහි යම් භික්‍ෂූහු ධර්‍මවාදී වෙත් නම්, ඔවුන්ගේ ලබ්ධිය ද ඉවසීම ද කැමැත්ත ද ගැණීම ද රුචි කරවු”.
54. එකල්හි කොසඹෑනුවර භික්‍ෂූහු පිළිවෙළින් සැවැත්නුවරට පැමිණියහ.
55. අනතුරු ව ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් “ස්වාමීනි, ඩබරකරු වූ කලහකරු වූ විවාදකරු වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත පැමිණිලි කරන්නා වූ ඒ කොසඹෑ නුවර භික්‍ෂූහු සැවැත්නුවරට පැමිණියාහු ය. ස්වාමීනි, ඒ භික්‍ෂූන් කෙරෙහි සෙනසුන් දීම කෙසේ කළ යුතු දැ”යි විචාළාහු ය. “ශාරීපුත්‍රය, එසේ නම් විවික්ත සෙනසුනක් දිය යුතු ය”. “ස්වාමීනි, විවික්ත සෙනසුනක් නො වේ නම්, කෙසේ කළ යුතු ද?” “ශාරීපුත්‍රය, එසේ නම් විවික්ත කොට ද දිය යුතු ය. ශාරීපුත්‍රය, මම කිසි ලෙසකින් ඉතා වැඩිහිටි මහණහුට සෙනසුන් වැළැක්විය යුතු ය යි නො කියමි. යමෙක් වළකා නම්, දුකුළා ඇවැත් වේ”. “ස්වාමීනි, ආමිෂයෙහි කෙසේ කළ යුතු ද?” “ශාරීපුත්‍රය, ආමිෂය සියල්ලන්ට සම ව බෙදිය යුතු ය”.
56. ඉක්බිති ධර්‍මය ද විනයය ද ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂූහුහට “මෝ ඇවැත් ය. මෝ නො ඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි” යි සිත් වි ය.
57. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂු තෙමේ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට, “ඇවැත්නි, මෝ ඇවැත් ය. මෝ නො ඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. ඇවැතට නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. එහෙයින් ආයුෂ්මත්හු මා ඇතුළත් කරත්වා”යි කීයේ ය.
58. එකල්හි ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූහු ඒ උත්ක්‍ෂිප්ත භික්‍ෂුනම ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ උත්ක්‍ෂිප්ත භික්‍ෂු තෙමේ ‘ඇවැත්නි, මෝ ඇවැත්ය. මෝ නොඇවැත් නො වේ. ඇවැතට පැමිණියෙම් වෙමි. ඇවැතට නො පැමිණියෙම් නො වෙමි. බැහැර කරණ ලද්දෙම් වෙමි. බැහැර නො කරණ ලද්දෙම් නො වෙමි. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. එවු, ආයුෂ්මත්හු මා ඇතුළත් කරත්වා’යි මෙසේ කී ය. ස්වාමීනි, කෙසේ පිළිපැදිය යුතු ද?” “මහණෙනි, මෝ ඇවැත් ය. මෝ නොඇවැත් නො වේ. මේ මහණ ඇවැතට පැමිණියේ ය. මේ මහණ ඇවැතට නො පැමිණියේ නො වේ. මේ මහණ බැහැර කරණ ලද්දේ ය. මේ මහණ බැහැර නො කරණ ලද්දේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන ධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ ය. මහණෙනි, යම් හෙයකින් ඒ මහණ (ඇවැතට) පැමිණියේ ද, බැහැර කරණ ලද්දේ (ඇවැත) දකී ද, මහණෙනි, එසේ නම් ඒ මහණහු ඇතුළත් කරවු”.
59. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු ඒ බැහැර කළ මහණහු ඇතුළත් කොට උත්ක්‍ෂේපක භික්‍ෂූන් වෙත ගියහ. ගොස් “ඇවැත්නි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ ඇවතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද (ඇවැත්) දක්නේ ද වේ. (සඞ්ඝයාට) ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඇවැත්නි, එබැවින් අපි ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරමු”යි උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට කීහ.
60. එකල්හි ඒ උත්ක්‍ෂේපකභික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැද පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ඒ උත්ක්‍ෂේපකභික්‍ෂූහු “ස්වාමීනි, ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූහු ‘ඇවැත්නි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ (ඇවැතට) පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඇවැත්නි, එබැවින් අපි ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරමු’යි මෙසේ කීහ. ස්වාමීනි, කෙසේ පිළිපැදිය යුතු දැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළාහු ය. “මහණෙනි, යම් හෙයකින් ඒ මහණ (ඇවැතට) පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද, මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කෙරේවා. මහණෙනි, මෙසේ කළ යුතු ය: ගිලන් වූ ද නො ගිලන් වූ ද සියල්ලන් ම එක් තැනක රැස් විය යුතු ය. කිසිවකු විසින් ඡන්‍දය නො දිය යුතු ය. රැස් වී ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
61. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ ඇවැතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරන්නේ ය. මේ දැන්වීම ය.
‘ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වී ද, ඒ මේ මහණ තෙමේ ඇවැතට පැමිණියේ ද බැහැර කරණ ලද්දේ ද දක්නේ ද ඇතුළත් කරණ ලද්දේ ද වේ. සඞ්ඝතෙමේ ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රිය කරයි. යම් ආයුෂ්මතකුහට ඒ වස්තුව සන්සිඳවනු පිණිස සඞ්ඝසාමග්‍රීකරණය රුචි වේ නම්, හෙතෙමේ නිශ්ශබ්ද වන්නේ ය. යම් ආයුෂ්මතකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය.
‘සඞ්ඝයා විසින් ඒ වස්තුව සන්සිඳවීම පිණිස සඞ්ඝසාමග්‍රිය කරණ ලදී. සඞ්ඝරාජීය නසන ලදී. සඞ්ඝභේදය හරණ ලදී. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි’යි. එකෙණෙහි පොහොය කළ යුතු ය. පාමොක් උදෙසිය යුතු ය”යි වදාළසේක.
62. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. පසෙක හුන්නා වූ ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, ස්වාමීනි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික දැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූහ.
“උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, ඒ සඞ්ඝසාමග්‍රිය අධාර්මික ය”.
“ස්වාමීනි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මුලෙන් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, ස්වාමීනි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික ද?”.
“උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මුලින් මුලට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, ඒ සඞ්ඝසාමග්‍රිය ධාර්මික ය”.
63. “ස්වාමීනි, සඞ්ඝසාමග්‍රීහු කෙතෙක් ද?”. “උපාලි, මේ සඞ්ඝසාමග්‍රී දෙකෙකි. උපාලි, අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ (නමින් පමණක් වූ) සඞ්ඝසාමග්‍රියක් ඇත. උපාලි, අන්‍වර්‍ත්‍ථ වූත් පදයෙන් යුක්ත වූත් සඞ්ඝසාමග්‍රියක් ඇත.
64. “උපාලි, අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රිය කවරී ද? උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, මේ අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ.
65. “උපාලි, අර්‍ත්‍ථයෙන් තොර නො වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝ සාමග්‍රිය කවරී ද? උපාලි, යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වේ ද, සඞ්ඝතෙමේ ඒ වස්තුව විනිශ්චය කොට මූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි, මේ අර්‍ත්‍ථයෙන් යුක්ත වූ ද පදයෙන් යුක්ත වූ ද සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ. උපාලි, මේ සඞ්ඝසාමග්‍රී දෙක ය”.’
66. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි කොට භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීහ:
67. “සඞ්ඝයාගේ කර්‍තව්‍යයන්හි ද විනයමන්ත්‍රණයන්හි ද උපන් විනයාර්‍ත්‍ථයන්හි ද ඒ අර්‍ත්‍ථයන් විනිශ්චය කිරීම්හි ද මහත් උපකාර ඇත්තා වූ මිනිස් තෙමේ මේ ශාසනයෙහි කෙබඳු වේ ද? මේ ශාසනයෙහි අනුබල දීමට සුදුසු වූ මහණ තෙමේ කෙබඳු වේ ද?”
68. “පළමු කොට සීලයෙන් උපවාද රහිත වූයේ ‘ආලෝකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති’ යනාදීන් බලාපොරොත්තු වන හැසිරීම් ඇත්තේ මනා කොට හික්මවූ ඉඳුරන් ඇත්තේ වේ ද, ඔහුට පසමිතුරෝ කරුණු වශයෙන් චෝදනා නො කෙරෙත් (දොස් නො කියත්). යම් හෙයකින් ඔහුට කියන්නාහු ද ඔහුට ඒ චෝදනාව නැත්තේ ය.
69. එබඳු වූ ශීලවිශුද්ධියෙහි පිහිටියා වු හෙතෙමේ විශාරද වෙයි. අභිභවනය කොට කියයි. පිරිස් මැදට ගියේ තැති නො ගණියි. නො සැලෙයි. අනුදන්නා ලද්දක් කරුණු සහිත ව කියන්නේ අර්‍ත්‍ථය නො නසයි.
70. එපරිද්දෙන් ම පිරිස් මැද පුළුවුස්නා ලද්දේ සිතිවිලි නො සිතයි. තෙදරහිත නො වේ. මකු නො වේ. කිය යුතු කල්හි පැමිණියා වූ අර්‍ත්‍ථානුලෝම වූ ව්‍යාකරණයට සුදුසු වූ වචන කියන්නා වූ ඒ නුවණැත්තේ නුවණැති පිරිස සතුටු කෙරෙයි.
71. වැඩි මහලු මහණුන් කෙරෙහි ගෞරව සහිත වූයේ වාසය කරයි. ස්වකීය ආචාර්‍ය්‍යවාදයෙහි විශාරද වේ. ඒ ඒ කරුණු නුවණින් ප්‍රමාණ කරන්ට (විනිශ්චය කරන්ට) සමර්‍ත්‍ථ වේ. කිය යුත්තෙහි කළ පරිචය ඇත්තේ වේ. පසමිතුරන් වැරදවූ තැන් දැක්මෙහි දක්‍ෂ වේ.
72. යම් වචනයකින් පසමිතුරෝ නිග්‍රහයට යෙත් ද, මහාජන තෙමේ අවබෝධයට යේ ද, හෙතෙමේ හිංසා නො කරන්නා වූ ප්‍රශ්නයන් ප්‍රකාශ කරමින් ස්වකීය ආචාර්‍ය්‍යවාදය වූ ලබ්ධිය සිස් නො කෙරෙයි.
73. සඞ්ඝයාගේ දූතකර්‍මයන්හි සමර්‍ත්‍ථ වේ. සඞ්ඝයාගේ කෘත්‍යයන්හි ආහුතිපිණ්ඩය (හෝමගින්නෙහි ලු ගිතෙල්) සේ ඉගෙණීම් හෝ පිළිගැණිම් ඇත්තේ වේ. පැවිදි සමූහයා විසින් යවන ලද්දේ සඞ්ඝයාගේ වචන කරමින් ‘මම සඞ්ඝයාගේ කටයුතු කරමි’යි යන හේතුවෙන් තමන් උසස් කොට නො සිතයි.
74. යම් පමණ වූ වස්තූන්හි ඇවැතට පැමිණේ ද, යම් ලෙසකින් ඇවැතින් නැගී සිටීම වේ ද, ආපත්තිආපජ්ජන ආපත්තිවුට්ඨාන යන මේ විහඞ්ගයෝ (අර්‍ත්‍ථද්‍යොතකයෝ) දෙදෙන ඔහු විසින් මනා කොට අවබෝධ කරණ ලද්දාහු නු යි ඇවැතින් නැගී සිටීම් කරුණෙහි දක්‍ෂ වේ.
75. විභඞ්ගයෙහි දක්‍ෂ වූයේ යම් ඩබර කිරීම් ආදිය කරන්නේ තර්‍ජනීයකර්‍මාදීන්ගේ වශයෙන් බැහැර කිරීමට පැමිණේ ද, යම් ලෙසකින් වස්තුවශයෙන් බැහැර කරණ ලද්දේ වේ ද, ඒ නිස්සාරණයට නියමිත වත් සම්පුර්‍ණර්‍ කළා වූ මහණහුගේ ඇතුළත් කරගැණීම ද දනියි.
76. මේ ශාසනයෙහි වැඩි මහලු වූ ස්ථවිර භික්‍ෂූන් කෙරෙහි ද නවකයන් කෙරෙහි ද මද්ධ්‍යමයන් කෙරෙහි ද ගෞරව සහිත වූ ද, නුවණැත්තා වූ ද, මහාජනයාගේ වැඩෙහි හැසිරෙන්නා වූ ද, එබඳු වූ මහණ තෙමේ අධිකරණ විනිශ්චය පිණිස ගත යුත්තේ වේ”.
දස වැනි වූ කෝසම්බක්ඛන්‍ධකය නිමි.
එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
1. ශ්‍රේෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේ කොසඹෑනුවර වැඩ වසන කල්හි විවාදාපත්තිදර්‍ශනයෙහි යම් තම් අවකාශයෙක්හි උක්ඛේපනීයකර්‍මය කෙළේ ය. භේදගරුක පැවිද්දා අනුන් බස් පිළිගෙණ ඇවැත් දෙසන්නේ ය.
2. එහි සීමාව තුළ උපෝසථාදිවිනයකර්‍ම කරන්නේ ය. බාලකලෝණකාරග්‍රාමය, පාචීනවංසදාය, පාරිලෙය්‍යකවනය, සැවැත්නුවර, සාරිපුත්ත, කෝලිත -
3. මහාකස්සප, මහාකච්චාන, මහාකොට්ඨිත, මහාකප්පින, මහාචුන්‍ද, අනුරුද්ධ, රේවත, උපාලි
4. ආනන්‍ද රාහුල දෙනම ද, මහා පජාපතීගෝතමී, අනාථපිණ්ඩික, විශාඛා මෘගාරිමාතෘ ... (යන මොහු වෙත්). විවේකසෙනසුනක් දෙන්නේ ය. ආමිසය සමාන ව දෙන්නේ ය.
5. කිසිවකු විසින් ඡන්‍දය නො දිය යුතු ය. උපාලි තෙරුන් ප්‍රශ්න විචාරීම; සමගි කරවන මහණ ජිනසසුන්හි අධිශීලයෙන් උපවාද රහිත විය යුතු ය.
මහවග නිමි.