19. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේ දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ (තමහට) පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.”
20. “ස්වාමීනි, ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු උත්ක්‍ෂේපක භික්‍ෂූන් වෙත ගියහ. ගොස් ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. මේ භික්‍ෂු තෙමේ ඇවැතට නො පැමිණියේ වේ. මේ භික්‍ෂු තෙමේ පැමිණියේ නො වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර නො කරණ ලද්දේ ය. මේ භික්‍ෂු තෙමේ බැහැර කරණ ලද්දේ නො වේ. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ වේ’ යි උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට මෙය කීහ.
21. “ස්වාමීනි, මෙසේ කී කල්හි ඒ උත්ක‍්ෂෙපකභික්‍ෂූහු ‘ඇවැත්නි, මෙය ඇවැත් වේ. මෙය අනාපත්ති නො වේ. මේ භික්‍ෂු තෙමේ ඇවැතට පැමිණියේ වේ. මේ භික්‍ෂු තෙමේ නො පැමිණියේ නො වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර කරණ ලද්දේ වේ. මේ භික්‍ෂු තෙමේ බැහැර නො කරණ ලද්දේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන්නා වූ ධාර්මික කර්‍මයෙන් බැහැර කරණ ලද්දේ වේ. ආයුෂ්මත්නි, තෙපි බැහැර කරණ ලද මේ මහණහුට අනුවර්‍තක නො වවු, අනුගමනය නො කරවු’ යි උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූන්ට කීහ.
22. “ස්වාමීනි, උත්ක්‍ෂේපකභික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නා වූ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු උත්ක්‍ෂිප්ත වූ ඒ මහණ ඒ ලෙසින් ම පිරිවරත්.”
23. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භික්‍ෂුසඞ්ඝ තෙමේ බිඳුනේ ය. භික්‍ෂුසඞ්ඝ තෙමේ බිඳුනේ ය” යි හුනස්නෙන් නැගිට උත්ක්‍ෂේපකභික්‍ෂූන් වෙත වැඩිසේක. වැඩ පැණ වූ අසුනෙහි වැඩහුන් සේක.
24. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂේපකභික්‍ෂූන්ට මෙය වදාළ සේක: “මහණෙනි, තෙපි ‘අපට වැටහෙයි. අපට වැටහේ ය’ යි යම් ඒ කරුණෙක්හි මහණෙක් බැහැර කළ යුතු ය” යි නහමක් සලකවු.
25. “මහණෙනි, මෙහි මහණෙක් ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වේ ය යි දැකුම් ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැත ඇවැත් ය යි දැකුම් ඇත්තෝ වෙති.
26. “මහණෙනි, ඒ භික්‍ෂූහු ඒ මහණහු ගැණ “මේ ආයුෂ්මත් තෙමේ බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය. අපි මේ මහණහු ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නෙමු නම්, අපි මේ මහණහු සමග පොහෝ නො කරන්නෙමු නම්, මේ මහණහු හැර පොහොය කරන්නෙමු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝයාගේ බිඳීමක් සඞ්ඝයාගේ භේදයට ඉරි වැටීමක් සඞ්ඝයා වෙන් කිරීමක් සඞ්ඝයාගේ වෙනස් බවක් වන්නේ ය යි දනිත් ද?”
27. මහණෙනි, බිඳීම බරපතල කොට සලකන භික්‍ෂූන් විසින් ඒ මහණ තෙමේ ඇවැත් නො දැක්මෙහි බැහැර නො කට යුතු ය.
28. “මහණෙනි, මෙහි මහණෙක් ඇවතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවත ඇවැත් නො වෙයි යන දැකුම් ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙත්.”
29. “මහණෙනි, ඒ භික්‍ෂූහු ඒ මහණහු පිළිබඳ ව ‘මේ ආයුෂ්මත් තෙමේ බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය. අපි මේ මහණහු ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නෙමු නම් අපි මේ මහණහු හා නො පවරන්නෙමු නම්, මේ මහණහු හැර පවරන්නෙමු නම්, අපි මේ මහණහු සමග සඞ්ඝකර්‍ම නො කරන්නෙමු නම්, මේ මහණහු හැර සඞ්ඝකර්‍ම කරන්නෙමු නම්, අපි මේ මහණහු සමග එක් අසුනෙහි නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර අසුනෙහි හිඳින්නෙමු නම්, අපි මේ මහණහු සමග යාගුපානයෙහි (කැඳ බීමට) නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර කැඳ බීමට හිඳින්නෙමු නම්, අපි මේ මහණහු සමග බත්හලෙහි නො හිඳින්නෙමු නම්, මේ මහණහු හැර බත්හලෙහි හිඳින්නෙමු නම්, අපි මේ මහණ සමග එක් පියසි ඇති ගෙයි නො වසන්නෙමු නම්, මේ මහණහු හැර එක් පියසි ඇති ගෙයි වසන්නෙමු නම්; අපි මේ මහණහු සමග වැඩිමහල් පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලි කිරීම සැලකිලි කිරීම (සුදුසු ගෞරවය) නො කරන්නෙමු නම්, මේ මහණ හැර වැඩිමහල් පිළිවෙළට වැඳීම නැගී සිටීම ඇඳිලි කිරීම සැලකිලි කිරීම කරන්නෙමු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය’ යි මෙසේ දනිත් ද?”
30. “මහණෙනි, සඞ්ඝභේදය බරපතළ කොට සලකන භික්‍ෂූන් විසින් ඒ මහණ තෙමේ ඇවැත් නො දැක්මෙහි නහමක් බැහැර කළ යුතු” යි.
31. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂේපක භික්‍ෂූන්ට මේ කරුණ වදාරා හුනස්නෙන් නැගිට උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන් වෙත වැඩි සේක. වැඩ පැණවූ අසුනෙහි හුන්සේක.
32. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට මෙය වදාළ සේක: “මහණෙනි, තෙපි ඇවැතට පැමිණ ‘නො පැමිණියමෝ වෙමු. පැමිණියමෝ නො වෙමු’ යි ඇවැතට පිළියම් නො කට යුතු ය යි සැලකූවහුය.
33. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වෙයි යන ලබ්ධි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙති.”
34. “මහණෙනි, ඒ මහණතෙමේ ඒ මහණුන් ගැණ ‘මේ ආයුෂ්මත්හු බොහෝ ඇසූපිරූතැන් ඇත්තාහ. පුහුණු වූ නිකාය ඇත්තාහ. ධර්‍මධරයහ. විනයධරයහ. මාතෘකාධරයහ. පණ්ඩිතයහ. ව්‍යක්තයහ. නුවණැත්තාහ. ලජ්ජා ඇත්තාහ. කුකුස් කරන්නාහ. හික්මෙනු කැමැත්තාහ. මා නිසා හෝ අනුන් නිසා හෝ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ බියෙන් හෝ අගතියට යන්ට සුදුසු නො වෙත්. මේ භික්‍ෂූහු මා ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නාහු නම්, මා හා පොහොය නො කරන්නාහු නම්, මා හැර පොහොය කරන්නාහු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය යි. මෙසේ ද නී ද?”
35. “මහණෙනි, බිඳීම බරපතළ කොට සලකන මහණහු විසින් අනුන් පිළිබඳ විශ්වාසයෙන් ද ඒ ඇවැත දෙසිය යුතු ය.”
36. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඇවැතට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැත ඇවැත් නො වේ යන ලබ්ධි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවත ඇවැත් ය යන ලබ්ධි ඇත්තෝ වෙත්.”
37. “මහණෙනි, ඒ මහණ තෙමේ ඒ මහණුන් ගැණ ‘මේ ආයුෂ්මත්හු බොහෝ ඇසූපිරූතැන් ඇත්තාහ. පුහුණු කළ නිකාය ඇත්තාහ. ධර්‍මධරයහ. විනයධරයහ. මාතෘකාධරයහ. පණ්ඩිතයහ. ව්‍යක්තයහ. නුවණැත්තාහ. ලජ්ජා ඇත්තාහ. කුකුස් කරන්නාහ. හික්මෙන්නට කැමැත්තාහ. මා නිසා හෝ අනුන් නිසා හෝ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ භයෙන් හෝ අගතියට යන්ට සුදුසු නො වෙත්. මේ භික්‍ෂූහු මා ඇවැත් නො දැක්මෙහි බැහැර කරන්නාහු නම්, මා සමග නො පවරන්නාහු නම්, මා හැර පවරන්නාහු නම්, මා සමග සඞ්ඝකර්‍ම නො කරන්නාහු නම්, මා හැර සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, මා සමග එක් ආසනයෙහි නො හිඳින්නාහු නම්, මා හැර ආසනයෙහි හිඳින්නාහු නම්, මා සමග යාගුපානයෙහි නො හිඳින්නාහු නම්, මා හැර යාගුපානයෙහි හිඳින්නාහු නම්, මා සමග බත්හලෙහි නො හිඳින්නාහු නම්, මා හැර බත්හලෙහි හිඳින්නාහු නම්, මා සමග එක් පියසි ඇති ගෙයි නො වසන්නාහු නම්, මා හැර එක් පියසි ඇති ගෙයි වසන්නාහු නම්, මා සමග වැඩිමහලු පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලිකිරීම සැලකිලිකිරීම නො කරන්නාහු නම්, මා හැර වැඩිමහලු පිළිවෙළට වැඳීම නැගීසිටීම ඇඳිලිකිරීම සැලකිලිකිරීම කරන්නාහු නම්, ඒ හේතුවෙන් සඞ්ඝයාගේ ඩබරයක් කලහයක් විග්‍රහයක් විවාදයක් සඞ්ඝභේදයක් සඞ්ඝරාජියක් සඞ්ඝවවත්‍ථානයක් සඞ්ඝනානාකරණයක් වන්නේ ය’ යි දනී ද?”
38. “මහණෙනි, බිඳීම බරපතළ කොට සලකන මහණහු විසින් අනුන් පිළිබඳ විශ්වාසයෙන් ද ඒ ඇවැත දෙසිය යුතු” යි.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූන්ට මේ කරුණ වදාරා හුනස්නෙන් නැගිට වැඩි සේක.
40. එකල්හි උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි සීමාව තුළ ම පොහොය කෙරෙත්. සඞ්ඝකර්‍ම කෙරෙත්.
41. උත්ක්‍ෂේපකභික්‍ෂූහු සීමාවෙන් බැහරට ගොස් පොහොය කෙරෙත්. සඞ්ඝකර්‍ම කෙරෙත්.
42. එකල්හි එක්තරා උත්ක්‍ෂේපක වූ මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි ම සීමාව තුළ පොහොය කරත්, සඞ්ඝකර්‍ම කරත්. ස්වාමීනි, උත්ක්‍ෂේපකභික්‍ෂූහු වූ අපි සීමාවෙන් බැහැරට ගොස් පොහොය කරමු. සඞ්ඝකර්‍ම කරමු” යි මෙය සැළ කළේ ය.
43. “මහණ, ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු එහි ම සීමාව තුළ මා විසින් පැණ වූ ඤත්තියත් අනුසාවණයත් යම් සේ ද, (එසේ) පොහොය කරන්නාහු නම්, සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, ඔවුන්ගේ ඒ කර්‍මයෝ අකෝප්‍ය ද සසුනට සුදුසු ද ධාර්මික ද වෙති. මහණ, තෙපි උත්ක්‍ෂේපකභික්‍ෂූහු එහි ම සීමාව තුළ මා පැණ වූ ඤත්තියත් අනුසාවණයත් පරිදි පොහොය කරන්නාහු නම්, සඞ්ඝකර්‍ම කරන්නාහු නම්, තොපගේ ද ඒ කර්‍මයෝ අකෝප්‍ය ද සසුනට සුදුසු ද ධාර්මික ද වෙති. කිනම් හේතුවකින් ද? යත්: ඒ භික්‍ෂූහු තොප හා නානාසංවාසක වෙති. තෙපි ද ඔවුන් හා නානාසංවාසක වවු. (එහෙයිනි.)
44. “මහණ, නානාසංවාසකභූමි දෙකෙකි: තෙමේ හෝ තමා නානාසංවාසක කරයි. සමගි වූ සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ලාමක මිසදිටු අත් නො හැරීමෙහි හෝ ඔහු බැහැර කෙරේ යනුයි. මහණ, මේ නානාසංවාසකභූමි දෙක ය.”
45. “මහණ, සමානසංවාසකභූමි දෙකෙකි: තෙමේ හෝ තමන් සමානසංවාසක කෙරෙයි. සමගි වූ සඞ්ඝ තෙමේ හෝ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ලාමක මිසදිටු අත් නො හැරීමෙහි හෝ බැහැර කරණ ලද්දහු ඇතුළත් කෙරේ යනුයි. මහණ, මේ සමානසංවාසකභූමි දෙක ය” යි.
46. එකල්හි භික්‍ෂූහු බත්හලෙහි ද ඇතුලු ගම්හි ද හටගත් ඩබර ඇත්තෝ හටගත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත්. අතින් ගසා ගණිත්. එකල්හි මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ බත්හලෙහි ඇතුලුගමෙහි හටගත් ඩබර ඇත්තෝ හටහත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත් ද? අතින් ගසා ගණිත්දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. අල්පේච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් භික්‍ෂූහු බත්හලෙහි ඇතුලුගමෙහි හටගත් ඩබර ඇත්තෝ හටගත් කලහ ඇත්තෝ විවාදයට පැමිණියෝ ඔවුනොවුන්ට නො සුදුසු වූ කායකර්‍ම වාක්කර්‍ම දක්වත් ද? අතින් ගසා ගණිත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
47. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැබෑ ද?” -පෙ- “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”’ -පෙ- ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, සඞ්ඝයා බිදුනු කල්හි අධර්‍මකර්‍ම කරණ කල්හි නො සතුට උපදවන ක්‍රියා කරණ කල්හි (සතුටු නො විය හැකි කතා පවත්නා කල්හි) ‘මෙපමණකින්, ඔවුනොවුන්ට අනුලොම් නො වූ කායකර්‍ම වාක්කර්‍ම නො දක්වන්නෙමු. අතින් ගසා නො ගන්නෙමු” යි සමීප ආසනයෙහි නො හිඳිය යුතු ය. මහණෙනි, සඞ්ඝයා බිදුනු කල්හි ධර්‍මකර්‍ම කරණ කල්හි සතුටු විය හැකි කතා පවත්නා කල්හි අසුනක් හැර හිඳිය යුතු ය” යි වදාළ සේක.
48. එකල්හි භික්‍ෂූහු සඟමැද හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුවසැත්වලින් (වචන නැමැති අඩයටිවලින්) විදිමින් වෙසෙත්. ඔහු ඒ අධිකරණය සන්සිඳවීමට නො හැකිවෙත්. ඒ අතර එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මෙහි භික්‍ෂූහු සඟ මැද හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුවසැත්වලින් විදිමින් වෙසෙත්. ඔහු ඒ අධිකරණය සන්සිඳවීමට නො හැකි වෙත්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා ඒ භික්‍ෂූන් වෙතට වඩින සේක් නම්, මැනැවැ” යි සැළ කළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂීණිම්භාවයෙන් (එය) ඉවසා වදාළ සේක.
49. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වෙත වැඩිසේක. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට ‘මහණෙනි, කම් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ (විරුද්ධග්‍රහණ) නො කරවු. විවාද නො කරවු” යි වදාළසේක. මෙසේ වදාළ කල්හි එක්තරා අධර්‍මවාදී මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ (නිසි කල් එන තෙක්) ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව මෙලොව සුවපහසුවෙහි එක්වන් යෙදී වසන සේක්වා. අපි මේ ඩබරයෙන් කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ප්‍රකට වන්නෙමු” යි දන්වා සිටියේ ය. දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කම් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ නො කරවු. විවාද නො කරවු” යි වදාළ සේක. දෙවනු ද ඒ අධර්‍මවාදී මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව මෙලොව සුවපහසුවෙහි එක්වන් යෙදී වසන සේක්වා. අපි මේ ඩබරයෙන් මේ කලහයෙන් මේ විග්‍රහයෙන් මේ විවාදයෙන් ප්‍රකට වන්නෙමු” යි සැළකෙළේ ය.
50. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, පෙර බරණැස් නුවර ධනයෙන් සමෘද්ධ වු නිදන්ගත මහත් ධන ඇති මහත් උපභෝග පරිභෝගසම්පත් ඇති මහත් බල ඇති මහත් වාහන ඇති මහත් රට ඇති පිරිපුන් කොටුගුල් ඇති බ්‍රහ්මදත්ත නම් කසීරජෙක් වීය.
51. “එසේම දිළිඳු වූ ස්වල්ප ධන ඇති ස්වල්ප උපභෝග පරිභෝග සම්පත් ඇති ස්වල්ප බල ඇති ස්වල්ප වාහන ඇති ස්වල්ප වූ රට ඇති හිස් වූ කොටුගුල් ඇති දීඝීති නම් කොසොල් රජෙක් වී ය.
52. “මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ සිවුරඟසෙන් සන්නද්ධ කොට (යුදට සරසා ගෙණ) දීඝීති කොසොල් රජු කරා යුද පිණිස ගියේ ය.
53. “දීඝීතිකොසොල් රජතෙමේ බ්‍රහ්මදත්තකසීරජ තෙමේ සිවුරඟසෙන් සරසා ගෙණ මා වෙත යුද පිණිස එන්නේ ල’ යි ඇසී ය.”
54. “මහණෙනි, එකල්හි දීඝීති කොසොල් රජුට ‘බ්‍රහ්මදත්තකසීරජ තෙමේ ධනයෙන් සමෘද්ධ ය. නිදන්ගත මහත් ධන ඇත්තේ ය. මහත් උපභෝග පරිභෝගසම්පත් ඇත්තේ ය. මහත්බල ඇත්තේ ය. මහත් වාහන ඇත්තේ ය. මහත් රට ඇත්තේ ය. පරිපූර්‍ණකෝෂකෝෂ්ඨාගාර ඇත්තේ ය. මම දිළිඳු වෙමි. ස්වල්ප ධන ඇත්තෙමි. ස්වල්ප උපභෝග - පරිභෝගසම්පත් ඇත්තෙම් වෙමි. ස්වල්ප බල ඇත්තෙම් වෙමි. ස්වල්ප වාහන ඇත්තෙම් වෙමි. ස්වල්ප රට ඇත්තෙම් වෙමි. අපරිපූර්‍ණකෝෂකෝෂ්ඨාගාර ඇත්තේ වෙමි. එහෙයින් මම බ්‍රහ්මදත්තකසීරජුගෙන් එක යුදපහරකුත් ඉවසන්නට අපොහොසත් වෙමි. මම පළමු කොට ම නුවරින් නික්ම යන්නෙම් නම්, යෙහෙකැ’ යි සිත් විය.”
55. “මහණෙනි, ඉක්බිති දීඝීතිකොසොල්රජ තෙමේ මෙහෙසිය ගෙණ කලින් ම නුවරින් නික්ම ගියේ ය.”
56. “මහණෙනි, ඉන් පසු බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝීතිකොසොල් රජුගේ සේනාව ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද දිනාගෙණ විසී ය.”
57. මහණෙනි, අනතුරු ව දිඝීතිකොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව බරණැසට ගියේ ය. පිළිවෙළින් ගොස් බරණැසට පැමිණියේ ය. මහණෙනි, දීඝීති කොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව එහි එක්තරා පසල්දෙසක කුඹල්ගෙයක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ වාසය කරයි.
58. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ නොබෝ දිනකින් ම ගැබිනී වූ ය. ඈට මෙබඳු වූ දොළදුකෙක් උපන්නේ වේ: ඉරු උදා වන වේලෙහි යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මට ද, කඩු සේදූ දිය බොන්නට ද කැමැති වේ.
59. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ දීඝීති කොසොල්රජුට “දේවයන් වහන්ස, මම ගැබිනී වෙමි. මට මෙබඳු දොළදුකෙක් උපන: ඉරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මටත් කඩු සේදූ දිය බොන්නටත් කැමැත්තෙමි” යි කීවා ය. “දේවිය, දුප්පත් වූ අපට යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් කොයින් ද? කඩු සේදූ දිය කොයින් දැ”යි රජතෙමේ කී ය. “දේවයන් වහන්ස, නො ලබන්නෙම් නම්, මම මැරෙන්නෙමි” යි දේවිය කීවා ය.
60. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ දීඝීති කොසොල්රජුගේ යහළුවෙක් වේ.
61. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල්රජ තෙමේ බ්‍රහ්මදත්ත නම් කසීරජුගේ පෙරෙවි බමුණා වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණාට “යහළුව, ඔබගේ යෙහෙළිය ගැබිනී වූය. ඇයට මෙබඳු දොළදුකෙක් ඉපැද තිබේ: හිරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දැක්මටත් කඩු සේදූ දිය බොන්නටත් කැමැති වේ” යි කීයේ ය. “දේවයන් වහන්ස, එසේ නම්, අපි දු දේවිය දක්නෙමු” යි බමුණු තෙමේ කී ය.
62. මහණෙනි, ඉක්බිති දීඝිතිකොසොල්රජුගේ මෙහෙසි තොමෝ බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණා වෙත ගියා ය. මහණෙනි, බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ එන්නා වූ දීඝීති කොසොල්රජුගේ මෙහෙසිය දුර දී ම දුටුයේ ය. දැක හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට දීඝීති කොසොල්රජුගේ මෙහෙසිය දිසාවට ඇඳිලි බැඳ “පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය. පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය. පින්වත්නි, එකැතින් කොසොල්රජෙක් කුසට පැමිණියේ ය” යි තෙවරක් උදන් ඇනී ය. “දේවිය, දුර්මුඛ නොව. ඉරු උදා වන වේලේ යුද ඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දක්නටත් කඩු සේදූ දිය බොන්නටත් ලබව” යි කීය.
63. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජුගේ පෙරෙවි බමුණු තෙමේ බ්‍රහ්මදත්තකසීරජු වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, හෙට ඉරු උදා වන වේලේ යුද ඇඳුමෙන් සැරසුනු කවච දැරු සිවුරඟසේනාව මනා බිම්හි සිටීවා. කඩු ද සෝදනු ලැබෙත්වා එබඳු නිමිති දක්නා ලැබෙත් ය” යි මෙසේ කී ය.
64. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “සගයෙනි, පෙරෙවි බමුණා යමක් කියා ද, එය එසේ කරවු” යි මිනිසුන්ට අණ කෙළේ ය.
65. මහණෙනි, දීඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ ඉරු උදා වන වේලේ යුදඇඳුමෙන් සැරසුනු කවච දැරූ මනා බිම්හි සිටි සිවුරඟසෙන් දක්නටත් කඩු සේදූ දිය බොන්නටත් ලැබූ ය.
66. මහණෙනි, ඉක්බිති දිඝීති කොසොල්රජුගේ මෙහෙසි තොමෝ ඒ ගැබ මේරීමට පැමිණීමෙන් පුතකු වැදූ ය. ඔහුට “දීඝාවු” යි නම් කළහ. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ නොබෝ කලකින් ම නුවණැතිබවට පැමිණියේ ය.
67. මහණෙනි, ඉක්බිති දිඝීති කොසොල්රජුට “මේ බ්‍රහ්මදත්ත කසී රජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ (පැහැර) ගන්නා ලද්දේ ය. මෙතෙමේ අප දන්නේ නම්, තිදෙනා ම මරවන්නේ ය. එහෙයින් මම දීඝාවු කුමරු නුවරින් පිටත වාසය කරවන්නෙම් නම්, යෙහෙකැ”යි සිත් වීය.
68. මහණෙනි, ඉක්බිති දීඝීති කොසොල් රජතෙමේ දීඝාවු කුමරු නුවරින් පිටත වාසය කරවී ය. මහණෙනි, දීඝාවූ කුමාර තෙමේ බිහිනුවර වසන්නේ නොබෝ කලකින් ම සියලු සිප් උගත්තේ ය.
69. මහණෙනි, එකල්හි දීඝීති කොසොල්රජුගේ කරනවෑමි තෙමේ බ්‍රහ්මදත්තකසීරජු වෙත වෙසෙයි. මහණෙනි, දීඝීති කොසොල්රජුගේ කරනවෑමි තෙමේ බරණැස් නුවර එක්තරා පසල්දෙසක කුඹල්කරු ගෙදරක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ බිරිඳ හා එක් ව වසන දීඝීති කොසොල්රජු දුටුයේ ය. දැක බ්‍රහ්මදත්තකසීරජු වෙත ගියේ ය. ගොස් බ්‍රහ්මදත්ත කසීරජුට “දේවයන් වහන්ස, දීඝීති කොසොල්රජ තෙමේ බිරිඳ හා එක් ව බරණැස් නුවර එක්තරා පසල්දෙසක කුඹල්කරුගෙදරක අප්‍රකටවේශයෙන් පිරිවැජියකු සේ වාසය කෙරේ ය”යි දැන්වී ය.
70. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “කොල, එසේ නම් බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු අල්ලා ගෙනෙවු” යි මිනිසුන්ට අණ කෙළේ ය. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු අල්ලා ගෙණ ආහ.
71. මහණෙනි, අනතුරු ව බ්‍රහ්මදත්තකසීරජ තෙමේ “කොල, එසේ නම් බිරිඳ සහිත වූ දිඝීති කොසොල්රජු දළ රැහනකින් දෙඅත් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරහඬින් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට පමුණුවා දකුණුදිගදොරින් බැහැර කරවා නුවර දකුණුදිග දී සිවුකඩක් කොට සිඳ සිවුදිග කැබැලි බහාලවු”යි මිනිසුන් ඇණවී ය.
72. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී බිරිඳ සහිත වූ දීඝීති කොසොල්රජු දළ රැහනකින් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරයෙන් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ යෙත්.
73. මහණෙනි, එකල්හි දීඝාවුකුමාරයාහට “මා විසින් බොහෝ කලකට පෙර මවුපියෝ දක්නා ලදහ. මම මවුපියන් දකින්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වී ය.
74. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ බරණැසට පිවිස දැඩි රැහැනින් පිටිතල හයා දැඩි ව බැඳ හිස මුඩු කොට රළුහඬ ඇති වදබෙරයකින් යුක්ත ව වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ යන මවු පියන් දුටුයේ ය. දැක මවුපියන් වෙත ගියේ ය.
75. මහණෙනි, දීඝීති කොසොල්රජ තෙමේ එන්නා වූ දීඝාවුකුමාරයා දුර දී ම දුටුයේ ය. දැක දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් ම වෛරයෝ සන්සිදෙත් මය”යි කී ය.
76. මහණෙනි, මෙසේ කී කල්හි ඒ මිනිස්සු දීඝිති කොසොල්රජුට “මේ දීඝීති කොසොල්රජ තෙමේ උමතු ව නන් දොඩයි. මොහුගේ දීඝාවු කවරෙක් ද? මෙතෙමේ පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් මය’යි කවරකුට කියා දැ”යි කීහ. “සගයෙනි, මම උමතු නො වෙමි. නන් නො දොඩමි. වැලි, යමෙක් නුවණැත්තේ නම් හෙතෙමේ සලකන්නේ ය” යි රජ තෙමේ කී ය.
77. දෙවනු ද මහණෙනි, -පෙ- තෙවනු ද මහණෙනි, දිඝීති කොසොල් රජ තෙමේ දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව, දුර බලව, ලඟ නො බලව, පුත දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කී ය. තෙවනු ද මහණෙනි, මිනිස්සු දීඝීතිකොසොල්රජුට “මේ දිඝීති කොසොල් රජ තෙමේ උමතු ව නන් දොඩයි. මොහුගේ දීඝාවු කවරෙක් ද, මෙතෙමේ ‘පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කවරකුට මෙසේ කියා දැ”යි කීහ. “සගයෙනි, මම උමතු නො වෙමි. නන් නො දොඩමි. වැලි, යමෙක් නුවණැත්තේ නම්, හෙතෙමේ සලකන්නේ ය”යි කී ය.
78. මහණෙනි, ඉක්බිති ඒ මිනිස්සු බිරිඳ සහිත වූ දීඝීතිකොසොල්රජු වීථියෙන් වීථියට සිවුමංහන්දියෙන් සිවුමංහන්දියට ගෙණ ගොස් දකුණු දොරින් බැහැර කරවා නුවරට දකුණෙහි සිවු කඩ කොට සිඳ සිවු දිග කැබැලි බහා රැකවල් තබා නික්ම ගියහ.
79. එකල්හි මහණෙනි, දීඝාවු කුමාර තෙමේ බරණැසට පිවිස සුරා ගෙණවුත් රැකවල සිටියවුන්ට පෙවී ය. යම් විටෙක ඔහු මත් වී වැටුනාහු ද, එවිට දරකඩ රැස් කොට දරසෑයක් කොට මවුපියන්ගේ සිරුරු දරසෑයට නගා ගිනි දල්වා බදැඳිලි ඇත්තේ තෙවරක් සෑය පැදකුණු කෙළේ ය.
80. මහණෙනි, එවේලෙහි බ්‍රහ්මදත්තකසීරජ තෙමේ පහය මතුමහලට නැගී සිටියේ වේ. මහණෙනි, බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බදැඳිලි ව තෙවරක් සෑය පැදකුණු කරණ දීඝාවු කුමාරයා දුටුයේ ය. දැකීමෙන් ඔහුට “ඒ මිනිසා නිසැකයෙන් ම දීඝීතිකොසොල්ජුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ වන්නේ ය. හා! මට නපුරෙක. කිසිවෙක් මට නො දන්වන්නේ ය”යි මෙසේ සිත් වි ය.
81. මහණෙනි, අනතුරුව දීඝාවු කුමාර තෙමේ වනයට ගොස් හැකි තාක් විලාප කියා හඬා බාෂ්ප (=කඳුලු) පිස දමා බරණැසට පිවිස ඇතුළුනගරය සමීපයෙහි වූ ඇත්හලට ගොස් ඇතැදුරාට “ඇදුර, මම සිප් ඉගෙණීමට කැමැත්තෙමි”යි කියා සිටියේ ය. “සගය මාණවකය, එසේ නම් උගනුව” යි හෙතෙමේ කී ය.
82. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාර තෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගායනා කෙළේ ය. වීණාව ද වැයී ය.
83. මහණෙනි, බ්‍රහ්මදත්තකසී රජතෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයීම හා වැයූ වෙණහඬ ද ඇසී ය. අසා “සගයෙනි, කවරෙක් රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයී ද? වෙණ වැයී දැ?”යි මිනිසුන් විචාළේ ය.
84 “දේවයන් වහන්ස, අසවල් ඇතැදුරාගේ අතැවැසි වූ මාණවක තෙමේ රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගැයී ය. වීණාව ද වැයී ය”’ යි ඔහු කී හ. “සගයෙනි, එසේ නම් ඒ මාණවකයා ගෙණ එවු”යි රජතෙමේ කී ය. මහණෙනි, ඒ මිනිස්සු “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී දීඝාවු කුමරු ගෙණ ආහ.
85. “සගය, මාණවකය, රෑ අලුයම නැගිට ඇත්හලෙහි මිහිරිහඩින් ගායනා කෙළෙහි ද? වෙණ වැයූයෙහි ද?”. “දේවයන් වහන්ස, එසේය”. “සගය, මාණවකය, එසේ නම් ගයව, වෙණ ද වයව”. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජු සතුටු කීරීම බලාපොරොත්තු වන්නේ මිහිරිහඩින් ගැයී ය. වෙණ ද වැයී ය. “සගය, මාණවකය, තෝ මට උවැටන් කරව”. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජුට පිළිවදන් දුන්නේ ය.
86. මහණෙනි, එතැන් සිට දීඝාවු කුමාර තෙමේ බ්‍රහ්මදත්තකසීරජුට පෙරාතු ව නින්දෙන් නැගී සිටිනුයේ පසු ව නිදන්නේ ‘කුම් කෙරෙම් දැ’යි පිළිවිස කරන්නේ මනාප වූ හැසිරීම් ඇත්තේ පියවදන් කියන්නේ වි ය.
87 මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමරු නොබෝ කලකින් ම ඇතුළත්හි විශ්වාසිකස්ථානයෙහි තැබී ය.
88. මහණෙනි, එකල බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමරුට “සගය, මාණවකය, එසේ නම් රිය යොදව, මුවදඩයමට යන්නෙමු” යි කීයේ ය. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය” යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී රිය යොදා බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, යම් ගමනකට සුදුසු කලැ යි සලකන සේක් නම්, ඒ ගමනට නුඹවහන්සේට රිය යොදන ලද්දේ” ය යි කී ය.
89. මහණෙනි, ඉන් පසු බ්‍රහ්මදත්තකසීරජ තෙමේ රියට නැංගේ ය. දීඝාවු කුමාර තෙමේ රිය පැදවී ය. යම් සේ අන් පසෙකින් සේනාවත් අන් පසෙකින් රියත් ගියේ ද, එලෙසින් රිය පැදවී ය.
90. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දුරක් ගොස් දීඝාවු කුමරුට “සගය, මාණවකය, රිය මුදව. විඩාපත් වීමි. නිදන්නෙමි”යි කීයේ ය.
91. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්තකසීරජුට පිළිවදන් දී රිය මුදා බිම හසරමිණිය ගොතා හුන්නේ ය.
92. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ දීඝාවු කුමාරයාගේ ඇකයෙහි හිස තබා සයනය කෙළේ ය. වෙහෙසට පත් ව සිටි ඔහුට මොහොතකින් ම නින්ද ගියේ ය.
93. මහණෙනි, එකල්හි දීඝාවුකුමාරයාහට මේ සිත් වි ය: “මේ බ්‍රහ්මදත්තකසීරජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ ගන්නා ලද්දේ ය. මොහු විසින් මාගේ මවුපියෝ ද නසන ලදහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය”යි. (මෙසේ සිතා) කොපුවෙන් කඩුව ඇද ගත්තේ ය.
94. මහණෙනි, ඉක්බිති දීඝාවුකුමාරයාහට “මාගේ පියා මැරෙණ වේලෙහි මට ‘පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි කීයේ ය. මම පියාගේ වචනය ඉක්මවන්නෙම් නම්, එය මට සුදුසු නො වේ”යි කඩුව කොපුවෙහි බැහී ය.
95. දෙවනු ද මහණෙනි, -පෙ- තෙවනු ද මහණෙනි, දීඝාවු කුමාරයාහට මේ සිත් වි ය: “මේ බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ අපට බොහෝ අවැඩ කෙළේ ය. මොහු විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාර ය ද අසිඳ ගන්නා ලද්දේ ය. මොහු විසින් මාගේ මවුපියෝ නසන ලදහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය” යි මෙසේ සිතා කඩුව කොපුවෙන් ඇද්දේ ය. තෙවනු ද මහණෙනි, දීඝාවුකුමාරයාහට මේ සිත් වි ය: “මාගේ පියා මැරෙණ වේලේ මට ‘පුත, දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, අවෛරයෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය” යි කීයේ ය. මම පියාගේ වචනය ඉක්මවන්නෙම් නම් මට ඒ නො සුදුසු ය”යි මෙසේ සිතා නැවතත් කඩුව කොපුවෙහි බැහී ය.
96. මහණෙනි, ඒ අතර බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බිය පත් වූයේ තැති ගත්තේ මහත් සැක ඇත්තේ වෙවුලන්නේ වහා නැගී සිටියේ ය.
97. මහණෙනි, එකල්හි දීඝාවුකුමාර තෙමේ බ්‍රහ්මදත්ත කසීරජුගෙන් “දේවයන් වහන්ස, බියපත් වූවෙහි තැති ගත්තෙහි සැක ඇත්තෙහි වෙවුලන්නෙහි වහා නැගී සිටියෙහි කුමක් හෙයින් දැ?”යි ඇසී ය. “සගය, මාණවකය, මෙහි දී දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවුකුමාර තෙමේ සීනෙන් මා කඩුවෙන් කපා හෙළී ය. එයින් මම බියපත් වීමි. තැති ගත්තෙමි. සැක ඇත්තේ වීමි. සැලුණේ වීමි. වහා නැගී සිටියෙමි”.
98. මහණෙනි, ඉක්බිති දීඝාවු කුමාර තෙමේ වම්අතින් බ්‍රහ්මදත්ත කසීරජුගේ හිස අල්වා දකුණු අතින් කඩුව ඇද බ්‍රහ්මදත්ත කසීරජුට “දේවයන් වහන්ස, දීඝීතිකොසොල්රජුගේ පුත්‍ර වූ දීඝාවුකුමාරයා මම වෙමි. යුෂ්මතා අපට බොහෝ අවැඩ කෙළෙහි ය. ඔබ විසින් අපගේ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරය ද අසිඳ ගන්නා ලද්දේ ය. ඔබ විසින් මාගේ මවුපියෝ නසන ලද්දාහ. මම පලි ගන්නෙම් නම්, ඊට මේ කාලය”යි කී ය.
99. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවුකුමාරයාගේ පාමුල හිසින් වැටී දීඝාවුකුමාරයාහට “පුත, දීඝාවු, මට දිවි දෙව. පුත, දීඝාවු, මට දිවි දෙව”යි කී ය. “කිම, මම දේවයන් වහන්සේට දිවි දීමට උත්සාහ කෙරෙම් ද? දේවයන් වහන්සේ මට දිවි දෙත්වා.” “පුත, දීඝාවු, එසේ නම් තෝ මට දිවි දෙව. මමත් තට දිවි දෙමි”යි රජතෙමේ කී ය.
100. මහණෙනි, එකල්හි බ්‍රහ්මදත්ත කසීරජ තෙමේත් දීඝාවුකුමාරයාත් ඔවුනොවුන්ට දිවි දුන්හ. අතින් අත ගත්හ. ද්‍රෝහ නො කරණු සඳහා දිවුළහ.
101. මහණෙනි, අනතුරු ව බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවු කුමාරයාහට “පුත, දීඝාවු, එසේ නම් රිය යොදව. යන්නෙමු”යි කී ය. මහණෙනි, දීඝාවු කුමාර තෙමේ “දේවයන් වහන්ස, එසේ ය”යි බ්‍රහ්මදත්ත කසීරජුට පිළිවදන් දී රිය යොදා බ්‍රහ්මදත්තකසීරජුට “දේවයන් වහන්ස, ඔබවහන්සේට රිය යොදන ලද්දේ ය. දැන් ගමනට කල් දන්නා සේක්වා”යි සැළකෙළේ ය.
102. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මදත්තකසීරජ තෙමේ රියට නැංගේ ය. දීඝාවුකුමාර තෙමේ රිය පැදවී ය. නොබෝවේලාවකින් සේනාව හා එක් වන ලෙසට රිය පැදවී ය.
103. මහණෙනි, නැවැත බ්‍රහ්මදත්තකසීරජ තෙමේ බරණැසට පිවිස ඇමැතිපිරිස රැස් කරවා “සගයෙනි, දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවු කුමරු දක්නහු නම්, ඔහුට කුමක් කරන්නහු දැ?”යි පිළිවිසී ය.
104. ඇතැම් කෙනෙක් “දේවයන් වහන්ස, අපි අත් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි පා සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි අත්පා සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි කන් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි නාසය සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි කන්නාස් සිඳින්නෙමු. දේවයන් වහන්ස, අපි හිස සිඳින්නෙමු” යි මෙසේ කීහ.
105. “සගයෙනි, මේ ඒ දීඝීතිකොසොල්රජුගේ පුත් වූ දීඝාවු කුමාරයා ය. මේ තෙමේ කිසි දඬුවමක් කිරීම නො ලබයි. මොහු විසින් මට දිවි දෙන ලද්දේ ය. මා විසිනුත් මොහුට දිවි දෙන ලද්දේ ය.”
106. ඉක්බිති මහණෙනි, බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ දීඝාවු කුමාරයාගෙන් “දරුව, දීඝාවු, තාගේ පියා මැරෙණ වේලේ “පුත දීඝාවු, ඉක්මන් නො වව. දුර බලව. ලඟ නො බලව. පුත, දීඝාවු, වෛරයෙන් වෛරයෝ නො සන්සිඳෙත් ම ය. පුත, දීඝාවු, මෛත්‍රියෙන් වෛරයෝ සන්සිඳෙත් ම ය”යි යමක් කීයේ ද, තාගේ පියා කුමක් සඳහා (ඒ) කීයේ දැ”යි ඇසී ය.
107. “දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි ‘මා දීඝං’ යි යමක් කීයේ ද, (එයින්) ‘බොහෝ කල් වෛර නො කරව’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘මා දීඝං’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි ‘මා රස්සං’ යි යමක් කීයේ ද, (එයින්) ‘වහා මිත්‍රයන් හා නො බිඳෙව’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘මා රස්සං’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි “න හි තාත, දීඝාවු, වේරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි තාත, දීඝාවු, වෙරා සම්මන්ති” යි යමක් කීයේ ද, (එයින්) ‘දේවයන් වහන්සේ විසින් මාගේ මවුපියෝ නසන ලද්දාහ’යි මම දේවයන් වහන්සේ ජීවිතයෙන් තොර කරන්නෙම් නම්, දේවයන් වහන්සේට වැඩ කැමැති වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු මා ජීවිතයෙන් තොර කරන්නාහු ය. මට වැඩ කැමැති වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු ඔවුන් ජීවිතයෙන් තොර කරන්නාහු ය. මෙසේ ඒ වෛරය වෛරයෙන් නො සන්සිඳෙන්නේ ය. දැන් දේවයන් වහන්සේ විසින් මට දිවි දෙන ලද්දේ ය. මා විසිනුත් දේවයන් වහන්සේට දිවි දෙන ලද්දේ ය. මෙසේ ඒ වෛරය අවෛරයෙන් සන්සිඳුනේය’ යනු කීයේ ය. දේවයන් වහන්ස, මාගේ පියා මැරෙණ කල්හි මේ සඳහා ම ‘න හි තාත, දීඝාවු, වේරෙන වෙරා සම්මන්ති. අවෙරෙන හි වෙරා සම්මන්ති’ යනු කීයේ ය.”
108. ඉක්බිති මහණෙනි, බ්‍රහ්මදත්ත කසීරජ තෙමේ “පින්වත්නි, අරුමයකි. පින්වත්නි, පුදුමයකි. යමෙක් පියා විසින් සැකෙවින්, කියූ වචනයෙහි අර්‍ත්‍ථය විස්තරවශයෙන් දන්නේ ද, ඒ මේ දීඝාවුකුමාර තෙමේ අතිශයින් පණ්ඩිත ය”යි පියසතු වූ සේනා ද වාහන ද ජනපදය ද ධනාගාරය ද ධාන්‍යාගාරයද නැවැත දුන්නේ ය. දුව ද දුන්නේ ය.
109. මහණෙනි, දඬු ගත් අවි ගත් ඒ රජුන්ගේත් මෙබඳු වූ ඉවසීමෙක් හා සුරත බවෙක් වන්නේ ය. මහණෙනි, තෙපි මනා කොට දෙසූ මෙබඳු සසුන්හි පැවිදි වූවහු කමා ඇත්තෝ සුරත වූවෝ වහු නම්, ඒ තෙපි මේ සස්න හොබවන්නහු ය යි වදාළසේක.
110. තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට “මහණෙනි, වැඩෙක් නැත. ඩබර නො කරවු. කලහ නො කරවු. විග්‍රහ නො කරවු. විවාද නො කරවු”යි වදාළහ.
111. තෙවනු ද ඒ අධර්‍මවාදී මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව සමවත් සුවවිහරණයෙහි යෙදී වෙසෙන සේක්වා. අපි මේ ඩබරයෙන් කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ප්‍රසිද්ධ වන්නෙමු”යි කීයේ ය.
112. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මේ හිස් පුරුෂයෝ විනාශයට ලංව සිටියාහ. මොහු (කරුණු) හඟවන්නට පහසු වූවෝ නො වෙති. (මොවුන් සන්හිඳුවීම පහසු නො වේ.) යි හුනස්නෙන් නැගිට වැඩි සේක.
පළමු දීඝාවු බණවර නිමියේ ය.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ පිඬු පිණිස කොසඹෑ නුවරට පිවිසිසේක. කොසඹෑනුවර පිඬු පිණිස හැසිර පස්වරු පිණ්ඩපාතයෙන් හැරී ආ සේක් සෙනසුන් තැන්පත් කොට පා සිවුරු ගෙණ සඟමැද සිටිසේක් ම මේ ගාථාවන් වදාළසේක:
2. මේ එක සමාන (කලහකාරී) ජන තෙමේ මහහඬ ඇත්තේ ය. (පණ්ඩිතමානී වූ) ඔවුනතුරෙන් කිසිවෙක් “මම අඥ වෙමි” යි නො සිතී ය. තව ද, සඞ්ඝයා බිඳෙන කල්හි අනෙක් එකෙක් වත් (= “මා නිසා සඞ්ඝයා බිඳේ ය”යි මේ කරුණ) නො සිතී ය.
3. මුළාසිහි ඇති පණ්ඩිතම්මන්‍ය වූ වචන ම ගෝචර කොට ඇත්තාහු හැකි තාක් මුව අයා (නො නවත්වා) බණනසුලු වෙත් මැයි. (ඔහු) යම් කලහයකින් නීර්‍ලජ්ජභාවයට පමුණුවන ලද්දාහු ද, එය (මෙබඳු දොස් සහිත ය යි) නො දත්හ.
4. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු වස්තුව, පැහැර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත බඳිත් ද, ඔවුන්ගේ වෛරය නො සන්සිඳේ.
5. “මට ජාත්‍යාදියෙන් ගටා බැන්නේ ය. මා පහළේ ය. මා දිනී ය. මා සතු දෙය පැහැර ගත්තේ ය”යි යම් ගිහි පැවිදි කෙනෙක් ඒ වෛරය සිත නො බඳිත් ද, ඔවුන්ගේ වෛරය සන්සිඳේ.