Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 2301-2400 න් 2789

4. එකල්හි කාශ්‍යපගෝත්‍ර භික්‍ෂුහුහට “මේ ආගන්තුකභික්‍ෂූන්ගේ යම් ආගන්තුකවෙහෙසක් වේ ද, එය සන්සිඳුනේ ය. යම් මේ පැවිද්දෝ ගොදුරු ගමෙහි නො දැනීම් ඇත්තාහු ද, ඒ මේ පැවිද්දෝ දැන් ගොදුරු ගමෙහි දැනීම් ඇත්තෝ වූහ. අන්‍යකුලයන් දිවි තෙක් උනන්දු කීරීම දුෂ්කර ය. විණවීම (ඉල්ලීම) ද මිනිසුන්ගේ මන නො වඩන්නේ ය. (එහෙයින්) මම කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කරන්නෙම් නම් යෙහෙකැ”යි අදහස් වී ය. හෙතෙමේ කැඳෙහි කැවිලියෙහි බතෙහි (ඔවුන්) උනන්දු නො කෙළේ ය.
5. එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූන්ට “ඇවැත්නි, පෙර මේ ආවාසික භික්‍ෂූ තෙමේ නෑමෙහි (අප) උනන්දු කෙළේ ය. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙළේ ය. හෙතෙමේ දැන් කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කරයි. ඇවැත්නි, දැන් මේ ආවාසිකභික්‍ෂු තෙමේ දුෂ්ට ය. ඇවැත්නි, එබැවින් අපි ආවාසික භික්‍ෂුහුහට උත්ක්‍ෂෙපණියකර්‍මය කරමු” යි අදහස් වී ය.
6. ඉක්බිති ආගන්තුකභික්‍ෂූහු රැස් වී කාශ්‍යපගෝත්‍ර භික්‍ෂුහුහට “ඇවැත්නි, තෝ පෙර නෑමෙහි (අප) උනන්දු කෙරෙහි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙරෙහි. ඒ තෝ දැන් කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කෙරෙහි. ඇවැත්නි, තෝ ඇවැතට පැමිණියෙහි ය. ඒ ඇවැත දක්නෙහි දැ” යි කීහ. “ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ” යි කී ය.
7. එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූහු කාශ්‍යපගෝත්‍රභික්‍ෂූහුහට ඇවැත් නො දැක්මෙහි උත්ක්‍ෂෙපණියකර්‍මය කළහ. ඉක්බිති කාශ්‍යපගොත්‍රභික්‍ෂුහට “මම මෙය – ඇවැත් යි හෝ නො ඇවැත් යි හෝ පැමිණියේ වෙමි යි හෝ නො පැමිණියේ වෙමි යි හෝ ධාර්මික වූ හෝ අධාර්මික වූ හෝ කෝප්‍ය වූ හෝ අකෝප්‍ය වූ හෝ සසුනට සුදුසු වූ හෝ සසුනට නො සුදුසු වූ හෝ කර්‍මයකින් උත්ක්‍ෂිප්ත වෙමි යි හෝ අනුක්‍ෂිප්ත වෙමි යි හෝ නො දනිමි. මම චම්පානුවරට ගොස් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළකරන්නෙම් නම් යෙහෙකැ“යි අදහස් වී ය.
8. අනතුරු ව කාශ්‍යපගෝත්‍රභික්‍ෂුතෙමේ සෙනසුන් තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ චම්පාව බලා නික්ම ගියේ ය. පිළිවෙළින් චම්පාවට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසකෙ හුන්නේ ය.
9. ආගන්තුකභික්‍ෂූන් සමග මේ පිළිසඳරකතා කිරීම භාග්‍යවත් බුදුවරුන්ගේ පුරුද්ද ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපගෝත්‍රභික්‍ෂු “මහණ, කීම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? වෙහෙසක් නැති ව දීර්‍ඝමාර්‍ගයෙහි ආයේ වෙහි ද? මහණ තෝ කොහි සිට එහි දැ” යි විචාළ සේක.
10. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. යැපිය හැකි ය. ස්වාමීනි, මම වැඩි වෙහෙසක් නැති ව දික්මග ආවෙමි. ස්වාමීනි, කසිදනව්වෙහි වාසභ නම් ගමෙක් ඇත්තේ ය. මම එහි ආවාසික වෙමි. කටයුතු පරම්පරාවෙන් බැඳුනේ වෙමි. “කෙසේ නම් නො පැමිණියා වූ ප්‍රියශීල භික්‍ෂූහු පැමිණෙන්නාහු ද පැමිණියා වූ ප්‍රියශීල භික්‍ෂූහු සැප සේ වසන්නාහු ද මේ ආවාසයත් වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේ දැ” යි උත්සාහයට පැමිණියෙමි.
11. “ස්වාමීනි, ඒ අතර බොහෝ භික්‍ෂූහු කසීදනව්වෙහි චාරිකා කරන්නාහු වාසභගමට පැමිණියාහු ය. ස්වාමීනි, මම එන්නා වූ ඒ භික්‍ෂූන් දුර දී ම දුටුවෙමි. දැක අසුන් පැණවීමි. පා දෝනා දිය පාපුටුව පා තබන පුවරුව එළවා තැබීමි. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගතිමි. පැනින් විචාළෙමි. නෑමෙහි උනන්දු කෙළෙමි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙළෙමි.
12. “ස්වාමීනි, එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූන්ට ‘ඇවැත්නි, මේ ආවාසික භික්‍ෂු තෙමේ යහපත් ය. නෑමෙහි උනන්දු කරයි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කරයි. ඇවැත්නි, එබැවින් අපි මෙහි වාසභගමෙහි ම වාසය කරමු’ යි අදහස් වි ය. ස්වාමීනි, ඉන් පසු ඒ ආගන්තුකභික්‍ෂූහු එහි වාසභගමෙහි ම වාසය කළහ.
13. “ස්වාමීනි, ඒ මට ‘ආගන්තුකභික්‍ෂූන්ගේ යම් අමුතු වෙහෙසක් වී ද, එය සන් සිඳුනේය. යම් මේ පැවිද්දෝ ගොදුරුගමෙහි තතු නො දැන්නෝ ද ඒ මේ පැවිද්දෝ දැන් ගොදුරුගමෙහි තතු දන්නෝ ය. අන්‍යකුලයන් දිවිහිම් කොට උනන්දු කිරීම දුෂ්කර ය. විණවීම ද මිනිසුන්ගේ මන නො වඩන්නේ ය. (එහෙයින්) මට ‘කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කරන්නෙම් නම් යෙහෙකැ’යි අදහස් වී ය. ස්වාමීනි, ඒ මම කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කෙළෙමි” යි සැළ කෙළේ ය.
14. “අනතුරු ව ස්වාමීනි, ඒ ආගන්තුකභික්‍ෂූන්ට ‘ඇවැත්නි, පෙර මේ ආවාසිකභික්‍ෂු තෙමේ නෑමෙහි උනන්දු කරයි. කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු ද කරයි. හෙතෙමේ දැන් කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කරයි. ඇවැත්නි, දැන් මේ ආවාසිකභික්‍ෂු තෙමේ දුෂ්ට ය. ඇවැත්නි, එබැවින් අපි ආවාසිකභික්‍ෂු නම උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කරමු’ යි අදහස් වී ය.
15. “ස්වාමීනි, නැවැත ඒ ආගන්තුකභික්‍ෂූහු රැස් වී ‘ඇවැත්නි, තෝ පෙර නෑමෙහි උනන්දු කෙළෙහි. කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු කෙළෙහි. දැන් තෝ කැඳෙහි කැවිලියෙහි බතෙහි උනන්දු නො කෙරෙහි. ඇවැත්නි, තෝ ඇවැතට පැමිණියෙහි. මේ ඇවැත දක්නෙහි දැ’ යි මට මෙසේ කීහ. ඇවැත්නි, ‘මම යම් ඇවැතක් දක්නෙම් ද (එබඳු) ඇවැතක් මට නැතැ’ යි කීමි.”
16. “ඉක්බිති ස්වාමීනි, ඒ ආගන්තුකභික්‍ෂූහු ඇවැත් නො දැක්මෙහි මා උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කළහ. ස්වාමීනි, මම මෙය ‘ඇවැත් යි හෝ, නො ඇවැත් යි හෝ, පැමිණියේ වෙමි යි හෝ, නො පැමිණියේ වෙමි යි හෝ, ධාර්මික වූ හෝ අධාර්මික වූ හෝ කෝප්‍ය වූ හෝ අකෝප්‍ය වූ හෝ සසුනට සුදුසු වූ හෝ සසුනට නො සුදුසු වූ හෝ කර්‍මයකින් උත්ක්‍ෂිප්ත වෙමි යි හෝ අනුක්‍ෂිප්ත වෙමියි හෝ, නො දනිමි. මම චම්පාවට ගොස් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙම් නම් යෙහෙකැ’යි මට අදහස් වී ය. භාග්‍යවතුන් වහන්ස, මම චම්පානුවර සිට එමි’ යි හෙතෙමේ කී ය.
17. “මහණ, මෙය අනාපත්තියකි. මෙය ආපත්තියක් නො වේ. ඇවැතට නො පැමිණියෙහි ය. ඇවැතට පැමිණියේ නො වෙහි ය. අනුත්ක්‍ෂිප්ත වෙහි ය. උත්ක්‍ෂිප්ත නො වෙහි ය. අධාර්මික වූ කෝප්‍ය වූ සසුනට නො සුදුසු වූ කර්‍මයකින් උත්ක්‍ෂිප්ත වෙහි ය. මහණ, තෝ යව. එහි වාසභගමෙහි ම වාසය කරව” යි. වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි කාශ්‍යපගෝත්‍රභික්‍ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට වාසභගම බලා නික්ම ගියේ ය.
18. එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූන්ට “යම් අපි ඒ පිරිසිදු, ඇවැත් රහිත, මහණකු වස්තු නැත්තෙහි නිකරුණෙහි උත්ක්‍ෂේපණීයකර්‍මයෙන් බැහැර කෙළෙමු ද, එය අපට අලාභයෙකි. අපට ලාභයෙක් නො වේ. අපට වූයේ නපුරෙකි. අපට වූයේ යහපතෙක් නො වේ” යි කුකුසෙක් වී ය. විපිළිසරෙක් වී ය. “ඇවැත්නි, එබැවින් අපි චම්පාවට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි වරද වරද හැටියට දෙසමු” යි සිතූහ.
19. ඉක්බිති ඒ ආගන්තුක භික්‍ෂූහු සෙනසුන් තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ චම්පාවට ගියහ. පිළිවෙළින් චම්පාවට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසකෙ හුන්හ.
20. ආගන්තුකභික්‍ෂූන් සමග මේ පිළිසඳර කතා කිරීම භාග්‍යවත් බුදුවරුන්ගේ පුරුද්දෙකි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම වෙහෙස නැති ව දිග්මග ආවහු ද? මහණෙනි, තෙපි කොහි සිට ආවහු දැ?” යි ඒ භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි වෙහෙස නැති ව දිග්මග ආවෝ වෙමු. ස්වාමීනි, කසිදනව්වෙහි වාසභ නම් ගමෙක් ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්ස, අපි එහි සිට එන්නෙමු” කීහ. “මහණෙනි, තෙපි ආවාසිකභික්‍ෂූනම උත්ක්‍ෂේපණීය කර්‍මයෙන් බැහැර කළහු ද? “ස්වාමීනි, එසේ ය.” “මහණෙනි, කිනම් වස්තුවෙක්හි කිනම් කරුණෙක්හි දැ” යි විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, වස්තු නැත්තෙහි නිකරුණෙහි ය” යි කීහ.
21. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස් පුරුෂයෙනි, නො සුදුස්සෙක. නො ගැළපෙන්නක. අනුලොම් නො වූවෙක. මහණකමට නො සරි ලන්නෙක. නො කැප වූවෙක. නො කටයුත්තෙක. හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි පිරිසිදු වූ ඇවැත් රහිත වූ මහණකු වස්තු නැත්තෙහි නිකරුණෙහි බැහැර කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ –පෙ– ගරහා දැහැමි කතා කොට මහණෙනි, පිරිසිදු වූ ඇවැත් රහිත වූ මහණ තෙමේ වස්තු නැත්තෙහි නිකරුණෙහි බැහැර නො කළ යුතු ය. යමෙක් බැහැර කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි වදාළ සේක.
22. ඉක්බිති ඒ භික්‍ෂූහු හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ඒ අපි ඇවැත් නැත්තෙහි නිකරුණෙහි පිරිසිදු වූ ඇවැත් රහිත වූ මහණකු බැහැර කෙළෙමු ද, අඥයන් යම් සේ ද මුළාවූවන් යම් සේ ද අදක්‍ෂයන් යම් සේ ද එසේ වරද අප ඉක්මවා (අබිබවා) ගියේ ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මතු හික්මීම පිණිස ඒ අපගේ වරද වරද වසයෙන් පිළිගන්නා සේක්වා” යි සැළකළහ. “මහණෙනි, යම් ඒ තෙපි පිරිසිදු වූ ඇවැත් රහිත වූ මහණකු වස්තු නැත්තෙහි නිකරුණෙහි බැහැර කළහු ද, එබැවින් අඥයන් යම් සේ ද මුළා වූවන් යම් සේ ද අදක්‍ෂයන් යම් සේ ද එසේ වරද තොප ඉක්මවා ගියේ ය. මහණෙනි, යම් හෙයකින් තෙපි වරද වරද වසයෙන් දැක දහම් පරිදි පිළියම් කරවු ද, අපි තොපගේ ඒ ප්‍රතිකර්‍මය පිළිගණිමු. යමෙක් වරද වරද වසයෙන් දැක දහම් පරිදි පිළියම් කෙරේ ද, මත්තෙහි හික්මීමට පැමිණේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍යවිනයයෙහි වැඩීමෙක් ම වේ.”
23. එකල්හි චම්පානුවර භික්‍ෂූහු මෙබඳු කර්‍ම කෙරෙත්: අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. අධර්‍මයෙන් සමග්‍රකර්‍ම කෙරෙත්. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම කෙරෙත්. එකෙක් ද එකකු බැහැර කෙරෙයි. එකෙක් ද දෙදෙනෙකුන් බැහැර කෙරෙයි. එකෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙයි. එකෙක් ද සඞ්ඝයා බැහැර කෙරෙයි. දෙදෙනෙකු ද එකකු බැහැර කෙරෙත්. දෙදෙනෙකු ද දෙදෙනකුන් බැහැර කෙරෙත්. දෙදෙනෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙත්. දෙදෙනෙක් ද සඞ්ඝයා බැහැර කෙරෙත්. බොහෝ දෙන ද එකකු බැහැර කෙරෙත්. බොහෝ දෙන ද දෙදෙනකුන් බැහැර කෙරෙත්. බොහෝ දෙන ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙත්. බොහෝ දෙන ද සඞ්ඝයා බැහැර කෙරෙත්. සඞ්ඝ තෙමේ ද සඞ්ඝයා බැහැර කෙරෙයි.
24. අල්පේච්ඡ වූ –පෙ– යම් ඒ භික්‍ෂූහු වෙත් ද ඔහු “කෙසේ නම් චම්පානුවර භික්‍ෂුහු මෙබඳු කර්‍ම කරත් ද? අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? අධර්‍මයෙන් සමග්‍රකර්‍ම කරත් ද? ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම කරත් ද, එකෙක් ද එකකු බැහැර කෙරේ ද? එකෙක් ද දෙදෙනකුන් බැහැර කෙරේ ද? එකෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරේ ද? එකෙක් ද සඞ්ඝයා බැහැර කෙරේ ද, දෙදෙනෙක් ද එකකු බැහැර කරත් ද? දෙදෙනෙක් ද දෙදෙනකුන් බැහැර කරත් ද, දෙදෙනෙක් ද බොහෝ දෙනකුන් බැහැර කරත් ද? දෙදෙනෙක් ද සඞ්ඝයා බැහැර කරත් ද? බොහෝ දෙන ද එකකු බැහැර කරත් ද? බොහෝ දෙන ද දෙදෙනකුන් බැහැර කරත් ද? බොහෝ දෙන ද බොහෝ දෙනකුන් බැහැර කරත් ද? බොහෝ දෙන ද සඞ්ඝයා බැහැර කරත් ද? සඞ්ඝ තෙමේ ද සඞ්ඝයා බැහැර කෙරේ දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
25. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, චම්පානුවර වැසි භික්‍ෂූහු අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. –පෙ– සඞ්ඝ තෙමේ ද සඞ්ඝයා බැහැර කෙරේ යන මෙබඳු වූ කර්‍ම කෙරෙත් ල යනු සැබෑ ද”? “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
26. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, ඒ හිස්පුරුෂයන්ගේ (මේ ක්‍රියාව) නො සුදුසු ය. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නෙක. මහණපිළිවෙතට නො සරි ලන්නෙක. නො කැප වූවෙක. නො කටයුත්තෙක. මහණෙනි, කෙසේ නම් ඒ හිස්පුරුෂයෝ අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද –පෙ– සඞ්ඝතෙමේත් සඞ්ඝයා බැහැර කෙරේ ද යන මෙබඳු වූ කර්‍ම කරත් ද.”
27. මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ –පෙ– ගරහා දැහැමි කතා කොට මහණෙනි, අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, (ඒ) කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. අධර්‍මයෙන් සමග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම් කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. එකෙක් ද එකකු බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. එකෙක් ද දෙදෙනකුන් බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. එකෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. එකෙක් ද සඞ්ඝයා බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. දෙදෙනෙක් ද එකකු බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. දෙදෙනෙක් ද දෙදෙනකුන් බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. දෙදෙනෙක් ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. දෙදෙනෙක් ද සඞ්ඝයා බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. බොහෝ දෙන ද එකකු බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. බොහෝ දෙන ද දෙදෙනකුන් බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. බොහෝ දෙන ද බොහෝ දෙනකුන් බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. බොහෝ දෙන ද සඞ්ඝයා බැහැර කෙරෙත් නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. සඞ්ඝ තෙමේ ද සඞ්ඝයා බැහැර කෙරේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය යි වදාළ සේක.
28. “මහණෙනි, අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම ය, අධර්‍මයෙන් සමග්‍රකර්‍ම ය, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම ය, ධර්‍මයෙන් සමග්‍රකර්‍ම ය යි මේ කර්‍ම සතරෙක් වේ.”
29. “මහණෙනි, එහි යම් මේ අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ ද, මහණෙනි, මේ කර්‍මය අධර්‍ම බැවින් ව්‍යග්‍ර බැවින් කෝප්‍ය වේ. සසුනට සුදුසු නො වේ. මහණෙනි, එබඳු වූ කර්‍මය නො කට යුතු ය. මා විසින් එබඳු කර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
30. “මහණෙනි, එහි යම් මේ අධර්‍මයෙන් සමග්‍රකර්‍මයෙක් වේ ද, මහණෙනි, මේ කර්‍මය අධර්‍ම බැවින් කෝප්‍ය වේ. සසුනට නො සුදුසු වේ. මහණෙනි, එබඳු වූ කර්‍මය නො කට යුතු ය. මා විසින් එබඳු කර්‍මයක් නො අනුදන්නා ලද ය.”
31. “මහණෙනි, එහි යම් මේ ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ ද, මහණෙනි, මේ කර්‍මය ව්‍යග්‍ර බැවින් කෝප්‍ය වේ. සසුනට නො සුදුසු වේ. මහණෙනි එබඳු වූ කර්‍මය නො කට යුතු ය. මා විසින් එබඳු කර්‍මයෙක් නො අනුදන්නා ලද ය.”
32. “මහණෙනි, එහි යම් මේ ධර්‍මයෙන් සමග්‍රකර්‍මයෙක් වේ ද, මහණෙනි, මේ කර්‍මය ධර්‍ම බැවින් සමගි බැවින් කෝප්‍ය නො වේ. සසුනට සුදුසු වේ. මහණෙනි, එබඳු වූ කර්‍මය කට යුතු ය. මා විසින් එබඳු කර්‍මය අනුදන්නා ලද ය. මහණෙනි, එහෙයින් මෙහි ධර්‍මයෙන් යම් සමග්‍රකර්‍මයෙක් වේ ද, එබඳු කර්‍මය කරන්නෙමු’ යි මහණෙනි, තොප විසින් හික්මිය යුතු ම ය.”
33. එකල්හි සවග මහණෝ මෙබඳු වූ කර්‍ම කෙරෙත්: අධර්‍මයෙන් ව්‍යග්‍ර කර්‍ම කෙරෙත්. අධර්‍මයෙන් සමග්‍රකර්‍ම කෙරෙත්, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත්. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම කෙරෙත්. ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය ඇති කර්‍ම කෙරෙත්. අනුශ්‍රාවණසම්පත්තිය නැති ඤත්තිසම්පත්තිය ඇති කර්‍ම කෙරෙත්. ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය නැති කර්‍ම කෙරෙත්. විද්‍යමාන වස්තූන් හැර කර්‍ම කෙරෙත්. චෝදනා සිහි කිරීම් හැර කර්‍ම කෙරෙත්. ඥප්තිඅනුශ්‍රාවණසම්පත්තීන් හැර කර්‍ම කෙරෙත්. අනුන් ප්‍රතික්‍රෝශ (ප්‍රතිබාහන) කරද්දී කරණ ලද නො දැහැමි වූ කෝප්‍ය වූ කරුණට නො සුදුසු කර්‍ම කෙරෙත්.
34. අල්පෙච්ඡ වූ –පෙ– යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් සවග මහණෝ මෙබඳු වූ කර්‍ම කරත් ද: අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? අධර්‍මයෙන් සමග්‍රකර්‍ම කරත් ද? ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම කරත් ද? ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම කරත් ද? ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය ඇති කර්‍ම කරත් ද? අනුශ්‍රාවණසම්පත්තිය නැති ඤත්තිසම්පත්තිය ඇති කර්‍ම කරත් ද? ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය නැති කර්‍ම කරත් ද? ධර්‍මයෙන් (විද්‍යාමානවස්තුවෙන් තොර) කර්‍ම කරත් ද? චෝදනාවෙන් හා සිහිපත් කිරීමෙන් තොර කර්‍ම කරත් ද? ඥප්තිඅනුශ්‍රාවණසම්පත්තීන්ගෙන් තොර කර්‍ම කරත් ද? අනුන් ප්‍රතික්‍රෝශ කරද්දී කරණ ලද නො දැහැමි වූ කෝප්‍ය වූ කරුණට නො සුදුසු කර්‍ම කරත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
35. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සවගමහණෝ මෙබඳු වූ කර්‍ම කෙරෙත් ල යනු සැබෑ ද? අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම කෙරෙත් –පෙ– අනුන් ප්‍රතික්‍රෝශ කරද් දී කරණ ලද නො දැහැමි වු කෝප්‍ය වූ කරුණට නො සුදුසු කර්‍ම කෙරෙත් ද?”
36. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. අධර්‍මයෙන් සමග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. මහණෙනි, ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය ඇති කර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. මහණෙනි, අනුශ්‍රාවණසම්පත්තිය නැති ඤත්තිසම්පත්තිය ඇති කර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. මහණෙනි, ඤත්තිසම්පත්තිය නැති අනුශ්‍රාවණසම්පත්තිය නැති කර්‍මයෙක් වේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. විද්‍යාමානවස්තුවෙන් තොර වූ කර්‍මය කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. චෝදනා සිහිපත් කිරීමෙන් තොර වූ කර්‍මය කර්‍ම නො වේ. ඒ නො කටයුතු ය. ඤත්තිඅනුසාවනසම්පත්තියෙන් තොර වූ කර්‍මය කර්‍ම නො වේ. ඒ නො කට යුතු ය. මහණෙනි, අනුන් ප්‍රතික්‍රෝශ කරද් දී කරණ ලද නො දැහැමි වූ කෝප්‍ය වූ කරුණට නො සුදුසු වූ කර්‍මය කර්‍ම නො වේ. ඒ නො කට යුතු වේ.
37. “මහණෙනි, අධර්‍මකර්‍මය, ව්‍යග්‍රකර්‍මය, සමග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය, ධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි මේ කර්‍ම සයෙක් වේ.
38. “මහණෙනි, අධර්‍මකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි දී එක් ඤත්තියකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
39. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි දී ඤත්ති දෙකකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
40. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි දී එක් කර්‍මවාක්‍යයකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
41. ‘මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි දී කර්‍මවාක්‍යය දෙකකින් කර්‍මය කෙරේ නම් ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
42. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී එක් ඤත්තියකින් කර්‍මය කෙරේ නම, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
43. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී ඤත්ති දෙකකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
44. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී ඤත්ති තුණකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
45. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී ඤත්ති සතරකින් කර්‍මය කෙරේ නම්, කර්‍මවාක්‍යය නො අස්වා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
46. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී එක් කර්‍මවාක්‍යයකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
47. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී කර්‍මවාක්‍ය දෙකකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම් නම්, ඒ අධර්‍මකර්‍ම යි.
48. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දි කර්‍මවාක්‍ය තුණකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි.
49. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි දී කර්‍මවාක්‍ය සතරකින් කර්‍මය කෙරේ නම්, ඤත්තිය නො තබා නම්, ඒ අධර්‍මකර්‍ම යි. මහණෙනි, මෙය අධර්‍මකර්‍ම ය යි කියනු ලැබේ.
50. “මහණෙනි, ව්‍යග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු නො පැමිණියෝ වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ව්‍යග්‍රකර්‍ම යි.
51. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ව්‍යග්‍රකර්‍ම යි.
52. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ව්‍යග්‍රකර්‍ම යි.
53. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු නො ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙදෙණන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද ඒ ව්‍යග්‍රකර්‍ම යි.
54. මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද ඒ ව්‍යග්‍රකර්‍ම යි.
55. “ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙදෙණන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ව්‍යග්‍රකර්‍ම යි. මහණෙනි, මේ ව්‍යග්‍රකර්‍ම ය යි කියනු ලැබේ.
56. “මහණෙනි, සමග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණ එන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ සමග්‍රකර්‍ම යි.
57. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණ එන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ සමග්‍රකර්‍ම යි. මහණෙනි, මේ සමග්‍රකර්‍මැ යි කියනු ලැබේ.
58. “මහණෙනි, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු නො පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
59. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
60. “මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු වෙත් නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
61. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු නො පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
62. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි.
63. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි. මහණෙනි, මේ ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍ම යි කියනු ලැබේ.
64. “මහණෙනි, ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතියකම්මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණ එන ලද්දේ වේ ද, හමුවූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි.
65. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට කර්‍මවාක්‍යය අස්වා ද, පසු ව ඤත්තිය තබා ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍මය යි. මහණෙනි, මේ ධර්‍මප්‍රතිරූපකයෙන් සමග්‍රකර්‍ම ය යි කියනු ලැබේ.
66. “මහණෙනි, ධර්‍මයෙන් සමග්‍රකර්‍මය කිම? මහණෙනි, ඤත්තිදුතිය – කම්මයෙහි පළමු කොට ඤත්තිය තබා ද, පසු ව එක් කර්‍මවාක්‍යයකින් කර්‍මය කෙරේ ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වුවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ ධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි.
67. “මහණෙනි, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙහි පළමු කොට ඤත්තිය තබා ද, පසු ව කර්‍මවාක්‍ය තුණකින් කර්‍මය කෙරේ ද, යම් පමණ භික්‍ෂූහු කර්‍මයට සුදුසු වූවාහු නම්, ඔහු පැමිණියාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වේ ද, හමු වූවාහු විරුද්ධ ව කතා නො කෙරෙත් ද, ඒ ධර්‍මයෙන් සමග්‍රකර්‍මය යි. මහණෙනි, මේ ධර්‍මයෙන් සමග්‍රකර්‍ම ය යි කියනු ලැබේ.”
68. “චතුවග්ගභික්ඛුසඞ්ඝයා ය, පංචවග්ගභික්ඛුසඞ්ඝයා ය, දසවග්ගභික්ඛුසඞ්ඝයා ය, වීසතිවග්ගභික්ඛුසඞ්ඝයා ය, අතිරේකවීසතිවග්ගභික්ඛුසඞ්ඝයා ය යි සඞ්ඝ කොටස් පසෙක් වේ.
69. “මහණෙනි, එහි මේ චතුවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ උපසම්පදාව පවාරණය අබ්භානය යන කර්‍ම තුණ හැර (සෙසු) සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ (කර්‍ම කිරීමට සුදුසු) වේ.
70. “මහණෙනි, එහි මේ පඤ්චවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ මධ්‍යමජනපදයෙහි උපසම්පදාව ය අබ්භානය යන කර්‍ම දෙක හැර සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.
71. “මහණෙනි, එහි මේ දසවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ එකම අබ්භානකර්‍මය හැර සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.
72. “මහණෙනි, එහි මේ වීසතිවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.
73. “මහණෙනි එහි මේ අතිරේකවීසතිවග්ගභික්ඛුසඞ්ඝ තෙමේ ධර්‍මයෙන් සමග වූයේ සියලු කර්‍මයන්හි කර්‍මාර්‍හ වේ.”
74. “මහණෙනි, චතුවග්ගකරණය වූ කර්‍මය මෙහෙණක සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. මහණෙනි, චතුවග්ගකරණය වූ කර්‍මය පැවිද්දෙහි හික්මෙන්නියක සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. –පෙ–* හෙරණකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. හෙරණක සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ශික්‍ෂා බැහැර කොට සිටියකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. අන්තිමවස්තුවට පැමිණියකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ඇවැත් නො දැක්මෙහි බැහැර කළ එකකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කළ එකකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි බැහැර කළ එකකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. පණ්ඩකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ථෙය්‍යසංවාසකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. තිර්‍ත්‍ථයපක්කන්තකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. තිරච්ඡානගතයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. මාතෘඝාතකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. පීතෘඝාතකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. අරහන්තඝාතකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. භික්ඛුණීදුසකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද උච්. සඞ්ඝභේදකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ලෝහිතුප්පාදකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. උභතොඛ්‍යඤ්ජනකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. නානාසංවාසකයකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. නානාසීමාවන්හි සිටියකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. ඍද්ධියෙන් අහස සිටියකු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ. සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, ඔහු සිවුවැනි කොට ඇත්තේ කර්‍මය කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කට යුතු ද වේ.”
චතුවග්ගකරණයයි.
1. “මහණෙනි, පංචවග්ගකරණය වූ කර්‍මය මෙහෙණක පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, පංචවග්ගකරණය වූ කර්‍මය පැවිද්දෙහි පුහුණුවන්නියක පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. –පෙ– හෙරණකු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම –පෙ– හෙරණක පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ශික්‍ෂා බැහැර කළහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– අන්තිම වස්තුවට පැමිණියහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඇවැත් නො දැක්මෙහි බැහැර කළහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කළහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි බැහැර කළහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– පණ්ඩකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ථෙය්‍යසංවාසකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– තිත්‍ථියපක්කන්තකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– තිරච්ඡානගතයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– මාතෘඝාතකයා පස් වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– පිතෘඝාතකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– අරහන්තඝාතකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– භික්ඛුනීදූසකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– සඞ්ඝභේදකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ලෝහිතුප්පාදකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– උභතෝබ්‍යඤ්ජනකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– නානාසංවාසකයා පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– නානාසීමාවන්හි සිටියහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඍද්ධියෙන් අහස සිටියහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම –පෙ– සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, ඔහු පස්වැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ.”{1}
පංච්චවග්ගකරණයයි.
1. “මහණෙනි, දශවර්‍ගකරණය වූ කර්‍මය මෙහෙණක දසවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, දශවර්‍ගකරණය වූ කර්‍මය පැවිද්දෙහි පුහුණුවන්නියක දසවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. –පෙ– සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, ඔහු දසවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ.”{1}
දසවග්ගකරණය යි.
1. “මහණෙනි, වීසතිවග්ගකරණය වූ කර්‍මය මෙහෙණක විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, වීසතිවග්ගකරණය වූ කර්‍මය පැවිද්දෙහි පුහුණුවන්නියක විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. –පෙ– හෙරණහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– හෙරණක විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ශික්‍ෂා බැහැර කළහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– අන්තිම වස්තුවට පැමිණියහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඇවැත් නො දැක්මෙහි බැහැර කළහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කළහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි බැහැර කළහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– පණ්ඩකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ථෙය්‍යසංවාසකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– තිත්‍ථියපක්කන්තකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– තිරච්ඡානගතයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– මාතෘඝාතකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– පිතෘඝාතකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– අරහන්තඝාතකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– භික්බුණිදූසකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– සඞ්ඝභේදකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ලෝහිතුප්පාදකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– උභතෝබ්‍යඤ්ජනකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– නානාසංවාසකයා විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– නානාසීමාවන්හි සිටියහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– ඍද්ධියෙන් අහස සිටියහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම් –පෙ– සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, ඔහු විසිවැනි කොට ඇත්තේ කර්‍ම කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ.”
වීසතිවග්ගකරණය යි.
1. “මහණෙනි, පිරිවෙස් පුරන්නහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, මූලායපටිකස්සනයට සුදුසු වූවහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, මානතට සුදුසු වූවහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, මානත හැසිරෙන්නහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ. මහණෙනි, අබ්භානයට සුදුසු වූවහු සිවුවැනි කොට ඇත්තේ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනය කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොට ඇත්තේ අබ්භාන කරන්නේ නම්, කර්‍ම නො වේ. ඒ නො කටයුතු ද වේ.”
2. “මහණෙනි, සඟමැද ඇතැමකුගේ ප්‍රතික්‍රෝශය = ප්‍රතිබාහනය (විරුද්ධ ව කරුණු කියා වැළකීම) නගියි (=සැලකියයුතු වෙයි). ඇතමකුගේ නො නගියි. (= නො සැලකිය යුතු වෙයි). මහණෙනි, සඟ මැද කවරකුගේ වැළකීම නො නගී ද, මහණෙනි, සඟමැද මෙහෙණගේ වැළකීම නො නගී. මහණෙනි, පැවිද්දෙහි පුහුණුවන්නියකගේ –පෙ– මහණෙනි, හෙරණකුගේ –පෙ– මහණෙනි, හෙරණකගේ –පෙ– මහණෙනි, ශික්‍ෂා බැහැර කළහුගේ –පෙ– මහණෙනි, අන්තිමවස්තුවට පැමිණියහුගේ –පෙ– මහණෙනි, උමතු වූවහුගේ –පෙ– මහණෙනි, (විකල වූ) විසුරුණු සිත් ඇත්තහුගේ –පෙ– මහණෙනි, වේදනාවෙන් පෙළුනහුගේ –පෙ– මහණෙනි, ඇවැත් නො දැක්මෙහි බැහැර කළහුගේ –පෙ– මහණෙනි, ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කළහුගේ –පෙ– මහණෙනි, ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි බැහැර කළහුගේ –පෙ– මහණෙනි, පණ්ඩකයාගේ –පෙ– මහණෙනි, ථෙය්‍යසංවාසකයාගේ –පෙ– මහණෙනි, තිත්‍ථියපක්කන්තකයාගේ –පෙ– මහණෙනි, තිරච්ඡානගතයාගේ –පෙ– මහණෙනි, මාතෘඝාතකයාගේ –පෙ– මහණෙනි, පිතෘඝාතකයාගේ –පෙ– මහණෙනි, අරහන්තඝාතකයාගේ –පෙ– මහණෙනි, භික්ඛුනීදූසකයාගේ –පෙ– මහණෙනි, සඞ්ඝභේදකයාගේ –පෙ– මහණෙනි, ලොහිතුප්පාදකයාගේ –පෙ– මහණෙනි, උභතෝබ්‍යඤ්ජනකයාගේ –පෙ– මහණෙනි, නානාසංවාසකයාගේ –පෙ– මහණෙනි, නානාසීමාවන්හි සිටියහුගේ –පෙ– මහණෙනි, ඍද්ධියෙන් අහස සිටියහුගේ –පෙ– මහණෙනි, සඞ්ඝ තෙමේ යමකුට කර්‍ම කෙරේ ද, සඟ මැද ඔහුගේ ද වැළකීම නො නගී. මහණෙනි, සඟ මැද මොවුන්ගේ වැළකීම නො නගී.
3. ‘මහණෙනි, සඟමැද කවරකුගේ වැළකීම නගී ද? මහණෙනි, සඟමැද ප්‍රකෘතිස්වභාව ඇති (පරිජි ඇවැතට නො පැමිණි), සමානසංවාසය ඇති, සමානසීමාවෙහි සිටි, යටත් පිරිසෙයින් (තමන්) ලඟ ම සිටි මහණහුට දන්වන්නා වූ මහණහුගේ වැළකීම නගී. මහණෙනි, සඟමැද මොහුගේ වැළකීම නගී.{*}
4. “මහණෙනි, මේ නෙරපීම් දෙකෙකි: මහණෙනි, නෙරපීමට නො සුදුසු වූ පුද්ගලයෙක් ඇත. ඉදින් සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, කිසිඑකෙක් නිවැරදි ලෙස නෙරපන ලද්දේ වේ. කිසිඑකෙක් වැරදි ලෙස නෙරපන ලද්දේ වේ.
5. “මහණෙනි, කවර පුද්ගලයෙක් නෙරපීමට නො සුදුසු වූයේ ද, සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, වැරදි ලෙස නෙරපන ලද්දේ වේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිසිදු වූයේ ඇවැත් නැත්තේ වේ. සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, වැරදි ලෙස නෙරපන ලද්දේ වේ. මහණෙනි, මේ පුද්ගල තෙමේ නෙරපීමට (වරදක් නැති බැවින්) නො සුදුසු ය යි කියනු ලැබේ. ඉදින් සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, වැරදි ලෙස නෙරපන ලද්දේ වේ.
6. “මහණෙනි, කවර පුද්ගලයෙක් නෙරපීමට (පබ්බාජනීයකම්ම නො කරණ ලද බැවින්) නො සුදුසු වූයේ ද, ඉදින් සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, නිවැරදි ලෙස නෙරපන ලද්දේ වේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ අඥ වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ඉමක් නැති ඇවැත් ඇත්තේ ගිහියන් හා හැනී (=මිශ්‍ර වී) පැවිද්දට නො නිසි ගිහීසංසර්‍ගවලින් යුක්ත ව වෙසේ ද, ඉදින් සඞ්ඝ තෙමේ (තජ්ජනීයකම්මාදිවසයෙන්) ඔහු නෙරපා නම්, නිවැරදි ලෙස නෙරපන ලද්දේ වේ. මහණෙනි, මේ පුද්ගල තෙමේ නෙරපීමට (යට කී ලෙසින්) නො සුදුසු ය යි කියනු ලැබේ. සඞ්ඝ තෙමේ ඔහු නෙරපා නම්, නිවැරදි ලෙස නෙරපන ලද්දේ වේ.
7. ‘මහණෙනි, මේ ඇතුළත් කිරීම් දෙකෙකි: මහණෙනි, ඇතුළත් කිරීමට නො සුදුසු වූ පුද්ගලයෙක් ඇත. සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, කිසිවෙක් නිවැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ. කිසිවෙක් වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ.
8. ‘මහණෙනි, කවර පුද්ගලයෙක් ඇතුළත් කිරීමට නො සුදුසු වූයේ වේ ද? සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ ද? මහණෙනි, පණ්ඩක තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසු වූයේ ය. සඞ්ඝ තෙමේ ඔහු (උපසම්පදා වසයෙන්) ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ ය. මහණෙනි, ථෙය්‍යසංවාසක තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසු වූයේ ය. සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ ය. මහණෙනි, තිත්‍ථියපක්කන්තක තෙමේ –පෙ– මහණෙනි, තිරච්ඡානගත තෙමේ –පෙ– මහණෙනි, මාතෘඝාතක තෙමේ –පෙ– මහණෙනි, පිතෘඝාතක තෙමේ –පෙ– මහණෙනි, අරහන්තඝාතක තෙමේ –පෙ– මහණෙනි, භික්ඛුණිදූසක තෙමේ –පෙ– මහණෙනි, සඞ්ඝභේදක තෙමේ –පෙ– මහණෙනි, ලෝහිතුප්පාදක තෙමේ –පෙ– මහණෙනි, උභතෝබ්‍යඤ්ජනක තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසු වූයේ ය සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ ය. මහණෙනි, මේ පුද්ගල තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසු ය යි ද, සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේය යි ද කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ (අභව්‍ය හෙයින්) ඇතුළත් කිරීමට නො සුදුස්සෝ ය යි කියනු ලැබෙත්. සඞ්ඝ තෙමේ ඔවුන් ඇතුළත් කෙරේ නම්, ඔහු වැරදි ලෙස ඇතුළත් කරණ ලද්දාහු යි.
9. “මහණෙනි, ඇතුළත් කිරීමට නො සුදුසු වූ පුද්ගලයා කවරේ ද? සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, නිවැරැදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ ද? මහණෙනි, අත් සිඳින ලද්දේ ඇතුළත් කිරීමට නො සුදුසු වේ. ඉදින් සඞ්ඝ තෙමේ ඔහු (උපසම්පදා වසයෙන්) ඇතුළත් කෙරේ නම්, නිවැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ වේ. මහණෙනි, පා සිඳින ලද්දේ –පෙ– මහණෙනි, අත් පා සිඳින ලද්දේ –පෙ– මහණෙනි, කන් සිඳින ලද්දේ –පෙ– මහණෙනි, නාස් සිඳින ලද්දේ –පෙ– මහණෙනි, කන් නාස් සිඳින ලද්දේ –පෙ– මහණෙනි, ඇඟිලි සිඳින ලද්දේ –පෙ– මහණෙනි, මාපට ඇඟිලි සිඳින ලද්දේ –පෙ– මහණෙනි, මහනහර සිඳින ලද්දේ –පෙ– මහණෙනි, පෙණගොබ සේ ගෙතුනු අත් ඇත්තේ –පෙ– මහණෙනි, කුදු වූයේ –පෙ– මහණෙනි, මිටි වූයේ –පෙ– මහණෙනි, වාගෙඩි ඇත්තේ –පෙ– මහණෙනි, සලකුණු කෙටූයේ –පෙ– මහණෙනි, කසෙන් තළන ලද්දේ –පෙ– මහණෙනි, (වැරදිකරුවකු සේ) ලියා තැබුයේ –පෙ– මහණෙනි, බරවාරෝග ඇත්තේ –පෙ– මහණෙනි, පාපරොග ඇත්තේ –පෙ– මහණෙනි, පිරිස් දූෂ්‍ය කරන්නේ –පෙ– මහණෙනි, එකැස් කණ වූයේ –පෙ– මහණෙනි, වක් වූ අත් පා ඇත්තේ –පෙ– මහණෙනි, පිළු වූයේ –පෙ– මහණෙනි, පක්‍ෂාඝාත ඇත්තේ –පෙ– මහණෙනි, සුන් ඉරියවු ඇත්තේ –පෙ– මහණෙනි, ජරාවෙන් දුර්‍වල වූයේ –පෙ– මහණෙනි, අන්‍ධ වූයේ –පෙ– මහණෙනි, ගොළු වූයේ –පෙ– මහණෙනි, බිහිරි වූයේ –පෙ– මහණෙනි, අඳ ගොළු වූයේ –පෙ– මහණෙනි, අඳබිහිරි වූයේ –පෙ– මහණෙනි, ගොළුබිහිරි වූයේ –පෙ– මහණෙනි, අඳගොළුබිහිරි වූයේ ඇතුළත් කිරීමට සුදුසු නො වේ. ඉදින් සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, මනා කොට ඇතුළත් කරණ ලද්දේ වේ. මහණෙනි, මේ පුද්ගල තෙමේ ඇතුළත් කිරීමට නො සුදුසුය යි ද සඞ්ඝ තෙමේ ඔහු ඇතුළත් කෙරේ නම්, නිවැරදි ලෙස ඇතුළත් කරණ ලද්දේ ය යි ද කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ ඇතුළත් කිරීමට නො සුදුස්සාහ යි කියනු ලැබෙත්. සඞ්ඝ තෙමේ ඔවුන් ඇතුළත් කෙරේ නම්, ඔහු නිවැරදි ලෙස ඇතුළත් කරණ ලද්දාහු ය.”
පළමුවන වාසභගම්බණවර යි.
1. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු වූ ඇවැතක් නො වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. මේ ඇවැත. දකුව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඔහු ඇවැත් නො දැක්මෙහි බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
2. “මහණෙනි, මෙහි මහණහුට පිළියම් කළ යුතු ඇවැතක් නො වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. ඒ ඇවැතට පිළියම් කරව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් ඇවැතකට පිළියම් කරන්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැතට පිළියම් නො කිරීමෙහි ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
3. “මහණෙනි, මෙහි මහණහුට අත් හළ යුතු වූ ලාමකදෘෂ්ටියක් නො වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, ඔබගේ දෘෂ්ටිය පවිටු ය. මේ ලාමකදෘෂ්ටිය දුරු කරව’ යි ඔහුට චෝදනා කරයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් දෘෂ්ටියක් දුරු කරන්නෙම් ද, මට එබඳු දෘෂ්ටියක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ පවිටු දෘෂ්ටිය දුරු නො කිරීමෙහි ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
4. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු වූ ඇවැතක් නැත. පිළියම් කටයුතු වූ ඇවැතක් නැත. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. ඒ ඇවැත දකුව. ඒ ඇවැතට පිළියම් කරව’යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ “ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙමි ද, එබඳු ඇවැතක් මට නැත. මම යම් ඇවැතකට පිළියම් කරන්නෙම් ද, එබඳු ඇවැතක් මට නැතැ” යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
5. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු ඇවැතක් නැත. අත් හළ යුතු වූ පවිටු දෘෂ්ටියක් නැත. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. මේ ඇවැත දකුව. තාගේ දෘෂ්ටිය පවිටු ය. මේ පවිටු දෘෂ්ටිය දුරු කරව’යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැත. මම යම් දෘෂ්ටියක් දුරු කරන්නෙම් ද, මට එබඳු වූ පවිටු දෘෂ්ටියක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි හෝ පවිටු දෘෂ්ටිය අත් නො හැරීමෙහි හෝ ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
6. “මහණෙනි, මෙහි මහණහුට පිළියම් කළ යුතු ඇවැතක් නො වේ. අත් හළ යුතු පවිටු දෘෂ්ටියක් නො වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. ඒ ඇවැතට පිළියම් කරව. තාගේ දෘෂ්ටිය පවිටු ය. මේ පවිටු දෘෂ්ටිය දුරු කරව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘මම යම් ඇවැතකට පිළියම් කරන්නෙම් ද, මට එබඳු ඇවැතක් නැත. මම යම් දෘෂ්ටියක් අත් හරින්නෙම් ද, මට එබඳු ලාමකදෘෂ්ටියක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි හෝ ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
7. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු ඇවැතක් නො වේ ද, පිළියම් කටයුතු ඇවැතක් නො වේ ද, අත් හළ යුතු පවිටු දෘෂ්ටියක් නො වේ ද, සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ “ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. මේ ඇවැත දකුව. ඒ ඇවැතට පිළියම් කරව. තාගේ දෘෂ්ටිය පවිටු ය. මේ පවිටු දෘෂ්ටිය දුරු කරව’ යි චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැත. මම යම් ඇවැතකට පිළියම් කරන්නෙම් ද, මට එබඳු ඇවැතක් නැත. මම යම් දෘෂ්ටියක් දුරු කරන්නෙම් ද, මට එබඳු පවිටු දෘෂ්ටියක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ පවිටු දෘෂ්ටිය දුරු නො කිරීමෙහි හෝ ඔහු බැහැර කරයි නම්, අධර්‍මකර්‍ම වේ.
8. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු වූ ඇවැතක් වේ ද, සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. මේ ඇවැත දකුව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ “ඇවැත්නි, එසේ ය, දක්නෙමි” යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි ඔහු බැහර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
9. “මහණෙනි, මෙහි මහණහුට පිළියම් කටයුතු ඇවැතක් වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. ඒ ඇවැතට පිළියම් කරව’යි චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, එසේ ය, පිළියම් කරන්නෙමි’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැතට පිළියම් නො කිරීමෙහි ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
10. “මහණෙනි, මෙහි මහණහුට දුරු කළ යුතු පවිටු දෘෂ්ටියක් වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තාගේ දෘෂ්ටිය පවිටු ය. තෙල පවිටු දෘෂ්ටිය දුරු කරව’යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, එසේ ය. දුරු කරන්නෙමි” යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ පවිටු දෘෂ්ටිය දුරු නො කිරීමෙහි ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
11. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු ඇවැතක් වේ ද, පිළියම් කටයුතු ඇවතක් වේ ද, –පෙ– දැක්ක යුතු ඇවැතක් වේ ද, දුරු කළයුතු පවිටු දෘෂ්ටියක් වේ ද, –පෙ– පිළියම් කටයුතු ඇවැතක් වේ ද, දුරු කළ යුතු පවිටු දෘෂ්ටියක් වේ ද, –පෙ– දැක්ක යුතු ඇවැතක් වේ ද, පිළියම් කටයුතු ඇවැතක් වේ ද, දුරු කළයුතු පවිටු දෘෂ්ටියක් වේ ද, සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත්නි, තෝ ආපත්තියට පැමිණියෙහි ය. තෙල ඇවැත දක්නෙහි ඒ ඇවැතට පිළියම් කරව. තාගේ දෘෂ්ටිය පවිටු ය. තෙල පවිටු දෘෂ්ටිය දුරු කරව’ යි ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ ‘ඇවැත්නි, එසේ ය. දක්නෙමි. එසේ ය, පිළියම් කරන්නෙමි. එසේ ය, දුරු කරන්නෙමි’ යි මෙලෙස කියයි. සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි හෝ ඇවැතට පිළියම් නො කිරීමෙහි හෝ ලාමකදෘෂ්ටිය දුරු නො කිරීමෙහි හෝ ඔහු බැහැර කෙරෙයි නම්, අධර්‍මකර්‍ම වේ.
12. “මහණෙනි, මෙහි මහණහුට දැක්ක යුතු ඇවැතක් වේ. සඞ්ඝ තෙමේ හෝ බොහෝ දෙන හෝ එක් පුද්ගලයෙක් හෝ ‘ඇවැත, තෝ ආපත්තියට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව’ යි. ඔහුට චෝදනා කෙරෙයි. හෙතෙමේ “ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි මෙසේ කියයි. සඞ්ඝ තෙමේ ඇවැත් නො දැක්මෙහි ඔහු බැහැර කෙරෙයි නම්, ධර්‍මකර්‍ම වේ.