Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 2201-2300 න් 2789

23. “මහණෙනි, අඳනාසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසි ලකුණක් හෝ වේ ද, ගඟින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක‍්ෂා කළ විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ ද, මහණෙනි, මේ පස අඳනාසිවුර බහා තැබීමට කරුණු ය.
24. “මහණෙනි, වැසිසළුව බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, සීමාවෙන් බැහැර ගමනක් හෝ වේ ද, ගඟින් එතර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්‍ෂා කළ විහාරයෙක් හෝ වේ ද, වැසිසළුව නො කරණ ලද්දේ හෝ අඩාළ කරණ ලද්දේ හෝ වේ ද, මහණෙනි, මේ පස වැසිසළුව බහා තැබීමට කරුණු ය”යි වදාළ සේක.
25. එකල්හි එක්තරා මහණෙක් තෙමේ තනි ව වස් විසී ය. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දුන්හ. එකල්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් චතූර්‍වර්‍ගය (සිවු දෙන) පශ්චිම (අඩු ම ගණනින්) සඞ්ඝයා යි පණවන ලද්දේ ය. මම ද එකලා වෙමි. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දුන්හ. මම මේ සඟසතුසිවුරු සැවැත්නුවරට ගෙණ යන්නෙමි නම්, යෙහෙකැ” යි ඒ මහණහුට අදහස් වී ය. ඉක්බිති ඒ මහණ තෙමේ ඒ සිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේ ය. “මහණ, කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු තට ම අයත් ය” යි වදාළසේක.
26. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එකලා ව වස් වසයි. එහි මිනිස්සු ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. මහණෙනි, ඒ සිවුරු, කඨිනය ඉදිරීම තෙක් ඒ මහණහුට ම අයත් ය යි අනුදනිමි.”
27. එකල්හි එක්තරා මහණෙක් තෙමේ ඍතුකාලයෙහි (වස්සානයෙන් අන්‍යකාලයෙහි) එකලා ව විසී ය. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දුන්හ. ඉක්බිති ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්වර්‍ගය පශ්චිමසඞ්ඝයා’ යි පණවන ලද්දේ ය. මම ද එකලා වෙමි. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දුන්හ. මම මේ සඟසතු සිවුරු සැවැත්නුවරට ගෙණ යන්නෙම් නම් යෙහෙකැ” යි අදහස් වී ය. අනතුරු ව ඒ මහණ තෙමේ ඒ සිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් මේ කරුණ භික්‍ෂූන්ට සැළකෙළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හමු වූ සඞ්ඝයා විසින් බෙදන්නට අනුදනිමි.”
28. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ඍතුකාලයෙහි එකලා ව වසයි. එහි මිනිස්සු ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. මහණෙනි, ඒ මහණහු විසින් ‘මේ සිවුරු මා සතු ය’ යි ඒ සිවුරු ඉටන්නට අනුදනිමි. මහණෙනි, ඒ මහණහුගේ ඒ සිවුරු දෙනා ඉටූ කල්හි අන් මහණෙක් එයි නම්, සම කොටසක් දිය යුතු ය. මහණෙනි, ඒ මහණුන් විසින් ඒ සිවුරු බෙදනු ලබන කල්හි කුසපත් නො හෙළූ කල්හි අන් මහණෙක් එයි නම්, සම කොටසක් දිය යුතු ය. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් ඒ සිවුරු බෙදනු ලබන කල්හි කුසපත් හෙළූ කල්හි අන් මහණෙක් එයි නම්, නො කැමැත්තෙන් කොටසක් නො දිය යුතු ය” යි වදාළ සේක.
29. එකල්හි ආයුෂ්මත් ඉසිදාස ආයුෂ්මත් ඉසිභද්ද යන සහෝදර තෙරවරු දෙනම සැවැත්නුවර වස් වසා නිම කළාහු එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියහ. මිනිස්සු “බොහෝ කලකින් තෙරවරු ආහ” යි සිවුරු සහිත ව බත් පිළියෙල කළහ. ආවාසික භික්‍ෂූහු “ස්වාමීනි, මේ සඟසතුසිවුරු තෙරුන් නිසා ලැබුනේ ය. ස්ථවිරයන් වහන්සේලා කොටස ඉවසන්නාහු දැ” යි තෙරුන් විචාළාහු ය. “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ විනයදහම් යම් ලෙසකින් දනිමු ද, (එ ලෙසින්) කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු ඔබ වහන්සේලාට ම අයත් ය” යි ඒ ස්ථවිරයන් වහන්සේලා මෙසේ කීහ.
30. එකල්හි තෙනමක් භික්‍ෂූහු රජගහනුවර වස් වසත්. එහි මිනිස්සු “සඞ්ඝයාට දෙමු” යි සිවුරු දෙත්. එකල්හි ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්වර්‍ගය පශ්චිමසඞ්ඝයා’ යි පණවන ලද්දේ ය. අපි ද තිදෙනෙක් වෙමු. මේ මිනිස්සු ද ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්. අප විසින් කෙසේ කළ යුතු දැ” යි අදහස් වී ය.
31. එකල්හි ආයුෂ්මත් නීලවාසි තෙමේ ද ආයුෂ්මත් සාණවාසී තෙමේ ද ආයුෂ්මත් ගොපක තෙමේ ද ආයුෂ්මත් භගු තෙමේ ද ආයුෂ්මත් එළිකසන්‍දාන තෙමේ ද යන බොහෝ ස්ථවිරයන් වහන්සේලා පාටලිපුත්‍ර නගරයෙහි වූ කුක්කුටාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු පාටලිපුත්‍රනගරයට ගොස් තෙරුන් විචාළාහු ය. ස්ථවිරයන් වහන්සේලා “ඇවැත්නි, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ විනයදහම් යම් ලෙසකින් දනිමු ද, (එ ලෙසින්) කඨිනය ඉදිරීම තෙක් ඒ සිවුරු ඔබ වහන්සේලාට ම අයත් ය” යි මෙසේ කීහ.
32. එකල්හි ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ සැවැත්නුවර වස් වැස නිම කෙළේ එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියේ ය. එහි භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු “ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි (උපනන්‍ද තෙරුන්) විචාළාහු ය. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් සිවුරුකොටස ගෙණ අන් ආවාසයකට ගියේ ය. එහි ද භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ද “ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් ද සිවුරු කොටස ගෙණ අන් ආවාසයකට ගියේ ය. එහි ද භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ද ඇවැත, සඟසතු වූ මේ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි” යි එතැනින් ද සිවුරුකොටස පිළිගෙණ මහත් සිවුරුපොදියක් ගෙණ නැවැත සැවැත්නුවර ට පෙරළා ආයේ ය.
33. භික්‍ෂූහු “ඇවැත, උපනන්‍දය, තෝ මහපිණැත්තෙහිය. ඔබට බොහෝ සිවුරු ලැබී තිබේ” යි මෙසේ කීහ. “ඇවැත්නි, මට පින් කොයින් ද? ඇවැත්නි, මම මෙහි සැවැත්නුවර වස් වැස නිම කෙළෙම් එක්තරා ගමක පිහිටි ආවාසයකට ගියෙමි. එහි භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, මේ සඟසතු වූ සිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි. එතැනින් සිවුරුකොටස ගෙණ අන් ආවාසයකට ගියෙමි. එහි ද භික්‍ෂූහු සිවුරු බෙදනු කැමැති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ද ‘ඇවැත්නි, මේ සඟසතුසිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි එතැනින් ද සිවුරු කොටස ගෙණ අන් ආවාසයකට ගියෙමි. එහි ද භික්‍ෂූහු සිවුරු බෙදනු කැමති ව රැස් වූහ. ඒ භික්‍ෂූහු ද ‘ඇවැත, මේ සඟසතුසිවුරු බෙදනු ලැබේ. කොටස ඉවසන්නෙහි දැ’ යි මාගෙන් මෙසේ ඇසූහ. ‘ඇවැත්නි, එසේ ය. ඉවසන්නෙමි’ යි එ තැනින් ද සිවුරුකොටස ගත්තෙමි. මට බොහෝ සිවුරු ලැබුනේ මෙසේ ය” යි කී ය.
34. “ඇවැත, උපනන්‍දය, කිම? තෝ අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස ඉවසූයෙහි දැ” යි ඇසූහ. “ඇවැත්නි, එසේ” යි කී ය. අල්පෙච්ඡ වූ –පෙ– යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්‍ද තෙමේ කෙසේ නම් අන් තැනෙක වස් වැස නිම කෙළේ අන් තැනෙක සිවුරු කොටස ඉවසී දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
35. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “උපනන්‍දය, සැබෑ ද? තෝ අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස ඉවසූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂය, අන් තැනෙක වස් වැස නිම කෙළෙහි අන් තැනෙක සිවුරු කොටස කෙසේ නම් ඉවසූයෙහි ද? හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, අන් තැනෙක වස් වැස නිම කළහු විසින් අන් තැනෙක සිවුරු කොටස නො ඉවසිය යුතු ය. යමෙක් ඉවසන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
36. එකල්හි ශාක්‍යපුත්‍රීයවූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ “මෙසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය” යි හුදකලා වූයේ ආවාස දෙකක වස් විසී ය. එකල්හි ඒ භික්‍ෂූන්ට “ශාක්‍යපුත්‍රීය වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන්ට කෙසේ නම් සිවුරුකොටස දිය යුතු දැ” යි අදහස් වී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිස් පුරුෂයාහට එක් (පුද්ගලයෙකුගේ) කොටසක් දෙවු” යී වදාළ සේක.
37. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මෙසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය’ යි හුදකලා ව ආවාස දෙකෙක වස් වසයි. ඉදින් අසවල් තැන අඩක් වෙසේ ද, අසවල් තැන අඩක් වෙසේ ද, අසවල් තැන භාගයක් ද, අසවල් තැන භාගයක් දැ යි (මෙසේ) සිවුරුකොටස දිය යුතු ය. යම් තැනෙක වැඩියක් වෙසේ නම්, එතැනින් (එක් පුද්ගලයකු ලබන සම්පූර්‍ණ) සිවුරු කොටස දිය යුතු ය” යි වදාළහ.{*}
38. එකල්හි එක්තරා මහණකුහට කුස රුජාවක් වේ. හෙ තෙමේ සිය මලමුත්‍රයෙහි වැතිරී හොවි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳතෙරුන් පසු ව යන මහණහු කොට සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ මහණහුගේ විහාරයට වැඩියහ.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ස්වකීයමලමුත්‍රයෙහි වැතිරී නිදන ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහු වෙතට වැඩි සේක. වැඩ “මහණ තාගේ ආබාධය කිමැ” යි ඒ මහණහු විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මට කුස රුජාවක් වේ”. “මහණ, තට උපස්ථායකයෙක් ඇත්තේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නැත”. කුමක් හෙයින් භික්‍ෂූහු තට උවැටන් නො කෙරෙත් ද?” “ස්වාමීනි, මම භික්‍ෂූන්ට (උවැටන්) නො කරන්නෙක් වෙමි. එහෙයින් භික්‍ෂූහු මට උවැටන් නො කෙරෙත්”.
40. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, යව. දිය ගෙණ එව. මේ මහණ නාවමු” යි ආයුෂ්මත් අනඳ තෙරුන්ට වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී දිය ගෙණ ආයේ ය. භාග්‍යවතුන් වහන්සේ දිය වක් කළහ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ සේදූයේ ය. භාග්‍යවතුන් වහන්සේ හිසින් ගත් සේක. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ දෙපයින් ගත්තේ ය. (මෙසේ) ඔසොවා ඇඳෙහි හොවා ලූහ.
41. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අසවල් විහාරයෙහි ගිලන් මහණෙක් ඇත්තේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඇත්තේ ය”. “මහණෙනි, ඒ මහණහුගේ ආබාධය කිම?” “ස්වාමීනි, ඒ ආයුෂ්මත්හුහට කුස රුජාවක් වේ”. “මහණෙනි, ඒ මහණහුට උවැටන් කරන්නෙක් වේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නැත්තේ ය”. “කුමක් හෙයින් භික්‍ෂූහු ඔහුට උවැටන් නො කරත් ද?” “ස්වාමීනි, මේ මහණ තෙමේ භික්‍ෂූන්ට උවැටන් නො කරන්නෙක් වේ. එහෙයින් භික්‍ෂූහු ඔහුට උවැටන් නො කෙරෙත්”යි කීහ.
42. “මහණෙනි, යම් කෙනෙක් තොපට උවැටන් කරන්නාහු ද, තොපට එබඳු මවක් නැත. පියෙක් නැත. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උවැටන් නො කරන්නහු නම් එකල්හි කවරෙක් උවැටන් කරන්නේ ද? මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය. උපාදධ්‍යායයෙක් වේ නම්, උපාද්ධ්‍යායයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. ඇදුරෙක් වේ නම්, ඇදුරා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරෙත්තු විය යුතු ය. සද්ධිවිහාරිකයෙක් වේ නම්, සද්ධිවිහාරිකයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. අතැවැසියෙක් වේ නම්, අතැවැසියා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. සමානෝපාධ්‍යායයෙක්{*} වේ නම්, සමානොපාධ්‍යායයා විසින් ජීවත් වන තෙක් උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. සමානාචාර්‍ය්‍යයෙක්{*} වේ නම් සමානාචාර්‍ය්‍යයා විසින් ජීවත් වන තුරු උවැටන් කළ යුතු ය. ඔහුගේ ලෙඩින් නැගී සිටීම බලාපොරොත්තු විය යුතු ය. උපාද්ධ්‍යායයෙක් හෝ ආචාර්‍ය්‍යයෙක් හෝ සද්ධිවිහාරිකයෙක් හෝ අතැවැසියෙක් හෝ සමානෝපාදධ්‍යායයෙක් හෝ සමානාචාර්‍ය්‍යයෙක් හෝ නො වේ නම්, සඞ්ඝයා විසින් උවැටන් කළ යුතු ය. උවැටන් නො කරන්නේ නම්, දුකුළාදෑවැත් වේ.
43. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලන් තෙමේ උවැටන් නො කට හැකි වේ: (යම් ගිලනෙක්) අහිතදෙය කරන්නේ ද, හිතදෙයෙහි පමණ නො දන්නේ ද, බෙහෙත් නැවැත නැවැත සේවනය නො කරන්නේ ද, වැඩෙන්නා වූ රෝගය වැඩේ ය යි ද දුරු වන්නා වූ රෝගය දුරු වේ යයි ද පවත්නා වූ රෝගය පවතී යි ද වැඩ කැමැත්තා වූ ගිලන්උවැටන් කරන්නහුට ඇති සැටියෙන් ආබාධය ප්‍රකාශ කොට නො කියන්නේ ද, උපන්නා වූ සිරුරෙහි වූ දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ දිවි හැරගන්නා වූ වේදනාවන් නො ඉවසන ස්වභාව ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලන් තෙමේ උවැටන් කළහැකි නො වේ.
44. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලන් තෙමේ පහසුවෙන් උවැටන් කළ හැකි වේ: (යම් ගිලනෙක්) හිතදෙය කරන්නේ ද, හිතදෙයෙහි පමණ දන්නේ ද, බෙහෙත් නැවත නැවැත සේවනය කරන්නේ ද, වැඩෙන්නා වූ රෝගය වැඩේ ය යි ද දුරු වන්නා වූ රෝගය දුරු වේ ය යි ද පවත්නා වූ රෝගය පවති යි ද වැඩ කැමැත්තා වූ ගිලන්උවැටන් කරන්නහුට ඇති සැටියෙන් ආබාධය ප්‍රකාශ කොට කියන්නේ ද, උපන්නා වූ සිරුරෙහි වූ දුක් වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ මන නො වඩන්නා වූ දිවි හැර ගන්නා වූ වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලන් තෙමේ ඉතා පහසුවෙන් උවැටන් කළ හැක්කේ ය.
45. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට නො සුදුසු ය. (යමෙක්) බෙහෙත් යොදන්නට සමර්‍ත්‍ථ නො වේ ද, හිතඅහිතදෙය නො ද නී ද අහිතදෙය ලං කරයි ද හිතදෙය බැහැර කරයි ද, ආමිෂයක් (ලාභයක්) කැමැත්තේ ගිලනහුට උවැටන් කරයි ද මෙත් සිත් ඇත්තේ උවැටන් නො කරයි ද, මලමූ හෝ කෙළ හෝ වමනය හෝ බැහැර කරන්නට පිළිකුල් ඇත්තේ ද, කලින් කල දැහැමි කතාවෙන් ගිලනහුට කරුණු දක්වන්නට (එහි ඔහු) සමාදන් කරවන්නට තියුණු කරවන්නට සමර්‍ත්‍ථ නො වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු නො වේ.
46. “මහණෙනි, කරුණු පසකින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු ය: (යමෙක්) බෙහෙත් යොදන්නට සමර්‍ත්‍ථ වේ ද, හිතඅහිතදෙය දනියි ද අහිතදෙය බැහැර කෙරෙයි ද හිතදෙය ලං කෙරෙයි ද, ආමිෂයක් නො කැමැත්තේ මෙත් සිත් ඇති ව ගිලනහුට උවැටන් කෙරෙයි ද, මලමූ හෝ කෙළ හෝ වමනය හෝ බැහැර කරන්නට පිළිකුල් ඇත්තේ නො වේ ද, කලින් කල දැහැමිකතාවෙන් ගිලනහුට කරුණු දක්වන්නට (එහි ඔහු) සමාදන් කරවන්නට උත්සාහවත් කරවන්නට සතුටු කරවන්නට සමර්‍ත්‍ථ වේ ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් ගිලානුපට්ඨාක තෙමේ ගිලනහුට උවැටන් කරන්නට සුදුසු වේ.”
47. එකල්හි දෙනමක් භික්‍ෂූහු කොසොල් දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඔහු එක්තරා ආවාසයකට එළඹියහ. එහි එක්තරා මහණෙක් ගිලන් වූයේ වේ. එකල්හි ඒ භික්‍ෂූන්ට “ඇවැත්නි, ගිලන් උවැටන් භාග්‍යවතුන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද්දේ ය. ඇවැත්නි, එහෙයින් අපි මේ මහණහට උවැටන් කරමු” යි අදහස් වී ය. ඔහු ඒ මහණහුට උවැටන් කළහ. ඔවුන් විසින් උවැටන් කරණු ලබන ඒ මහණ තෙමේ කලුරිය කෙළේ ය.
48. ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ කලුරිය කළ මහණහුගේ පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහණකු කලුරිය කළ කල්හි සඞ්ඝතෙමේ පාසිවුරෙහි හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තෝ වෙති. මහණෙනි, සඞ්ඝයා විසින් තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට අනුදනිමි.
49. “මහණෙනි, මෙසේ දිය යුතු ය; ඒ ගිලානුපට්ඨාක මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඒ මහණහුගේ තුන් සිවුර ය. මේ පාත්‍රය’ යි මෙසේ කිය යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල වූ මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: ස්වාමීනි, ‘සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ තුන් සිවුර ද පාත්‍රය ද වේ. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ තුන් සිවුර ද පාත්‍රය ද ග්ලානෝපස්ථායකයන්ට දෙන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ තුන් සිවුර ද පාත්‍රය ද වේ. සඞ්ඝ තෙමේ මේ තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ තුන් සිවුරත් පාත්‍රයත් ගිලානුපට්ඨාකයන්ට දීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා, යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝයා විසින් මේ තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
50. එකල්හි එක්තරා හෙරණෙක් කලුරිය කෙළේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හෙරණකු කලුරිය කළ කල්හි සඞ්ඝ තෙමේ පාසිවුරෙහි හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තාහු ය. මහණෙනි, සඞ්ඝයා විසින් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට අනුදනිමි.”
51. “මහණෙනි, මෙසේ දිය යුතු ය: ඒ ගිලානුපට්ඨාක මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ’ යි මෙසේ කිය යුතු වන්නේ ය. ව්‍යක්ත ප්‍රතිබල වූ මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. මෙනම් ඇති හෙරණ තෙමේ කලුරිය කෙළේ ය. මේ ඔහුගේ සිවුර ද පාත්‍රය ද වේ. සඞ්ඝ තෙමේ මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ සිවුරත් පාත්‍රයත් ගිලානුපට්ඨාකයන්ට දීම රුචි වේ නම්, හෙ තෙමේ තුෂ්ණිම්භූත වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝයා විසින් මේ සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි” යි.
52. එකල්හි එක්තරා උපසපන් මහණෙක් ද හෙරණෙක් ද ගිලනකුට උවැටන් කළහ. ඔවුන් විසින් උවැටන් කරණු ලබන හෙ තෙමේ කලුරිය කෙළේ ය. එකල්හි ඒ ගිලන් උවැටන් කරණ මහණහුට “ගිලානුපට්ඨාක සාමණේරයාහට සිවුරු කොටස කෙසේ දිය යුතු දැ” යි සිත් වී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි ගිලානුපට්ඨාක සාමණේරයාහට සම කොටසක් දෙන්නට අනුදනිමි” යි.
53. එකල්හි බොහෝ බඩු ඇති බොහෝ පිරිකර ඇති එක්තරා මහණෙක් කලුරිය කෙළේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහණකු කලුරිය කළ කල්හි සඞ්ඝ තෙමේ පාසිවුරට හිමියා වේ. එහෙත් ගිලානුපට්ඨාකයෝ බොහෝ උපකාර ඇත්තාහු වෙත්. මහණෙනි, සඞ්ඝයා විසින් තුන් සිවුර ද පාත්‍රය ද ගිලානුපට්ඨාකයන්ට දෙන්නට ද, එහි යම් ලඝුභාණ්ඩයක් වේ නම්, ලඝුපරිෂ්කාරයක් වේ නම්, එය හමු වූ සඞ්ඝයා විසින් බෙදන්නට ද, එහි යම් ගරුභාණ්ඩයක් වේ නම්, ගරු පරිෂ්කාරයක් වේ නම්, එය පැමිණි නො පැමිණි සිවුදිසාවැසි සඞ්ඝයාට අයත්, නො දිය යුතු, නො බෙදිය යුතු දෙය කොට තබන්නට ද අනුදනිමි”.
54. එකල්හි එක්තරා මහණෙක් තෙමේ නග්න ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයකින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවන සුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යය ඇත්තහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ නග්න භාවය නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවන සුලු පැවතුම් පිණිස, කෙලෙස් නසනු පිණිස, වීර්‍ය්‍යයාරම්භය පිණිස, පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට නග්න භාවය අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නෙක. මහණකමට නො සරිලන්නෙක. නො කැප වූවෙක. නො කට යුත්තෙකැ” යි ගැරහූ සේක. “හිස්පුරුෂය, තීර්‍ත්‍ථකව්‍රතයක් වූ නග්නභාවය කෙසේ නම් සමාදන් වූයෙහි ද? හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ”. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, තීර්‍ත්‍ථකව්‍රතයක් වූ නග්නභාවය සමාදන් නො විය යුතු ය. යමෙක් සමාදන් වන්නේ නම්, තුලසි ඇවැත් වේ” යි භික්‍ෂූන්ට වදාළ සේක.
55. එකල්හි එක්තරා මහණෙක් කුසවැහැරි ඇඳ –පෙ– වාවැහැරි ඇඳ –පෙ– පෝරුවැහැරි ඇඳ –පෙ– කෙහෙකම්බිලි ඇඳ –පෙ– සැඩමුවලොමින් කළ කම්බිලි ඇඳ –පෙ– බකමූණුපියාපත් ඇඳ –පෙ– අඳුන්දිවිසම් ඇඳ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවනසුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යාරම්භය කරන්නහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ අඳුන්දිවිසම නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවනසුලු පැවතුම් පිණිස, කෙලෙස් නැසීම පිණිස, වීර්‍ය්‍යාරම්භය පිණිස පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට අඳුන්දිවිසම අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නෙක. මහණකමට නො සරිලන්නෙක. නො කැප වූවෙක. නො කට යුත්තෙකැ” යි ගැරහූ සේක. “හිස්පුරුෂය, කෙසේ නම් තෝ තීර්‍ත්‍ථකධ්වජය වූ අඳුන්දිවිසම දැරූ යෙහි ද? හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ”. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, තීර්‍ත්‍ථකධ්වජය වූ අඳුන්දිවිසම නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, තුලසිඇවැත් වේ” යි වදාළ සේක.
54. එකල්හි එක්තරා මහණෙක් තෙමේ වරාහුයෙන් කළ වතක්{*} ඇඳ –පෙ– නියඳවැහැරියෙන් කළ වතක් ඇඳ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් අල්පෙච්ඡ වූවහුගේ, ලද දෙයින් සතුටු වූවහුගේ, කෙලෙස් ලියන පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් සලන පැවතුම් ඇත්තහුගේ, පහදවන සුලු පැවතුම් ඇත්තහුගේ, කෙලෙස් නසන පැවතුම් ඇත්තහුගේ, වීර්‍ය්‍යාරම්භය කරන්නහුගේ ගුණ කියන සේක. ස්වාමීනි, මේ නියඳවැහරියෙන් කළ වත නොයෙක් ක්‍රමයෙන් අල්පේච්ඡභාවය පිණිස, ලද පමණින් සතුටු වීම පිණිස, කෙලෙස් ලියන පැවතුම් පිණිස, කෙලෙස් සලන පැවතුම් පිණිස, පහදවන සුලු පැවතුම් පිණිස, කෙලෙස් නැසීම පිණිස, වීර්‍ය්‍යයාරම්භය පිණිස පවතී. ස්වාමීනි, මැනවි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ භික්‍ෂූන්ට නියඳවැහැරියෙන් කළ වත අනුදන්නා සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, නො සුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. මහණකමට නො සරි ලන්නෙක. නො කැප වූවෙක. නො කටයුත්තෙකැ”යි ගැරහූ සේක. “හිස්පුරුෂය, කෙසේ නම් තෝ නියඳවැහැරියෙන් කළ වතක් හැඳියෙහි ද, හිස්පුරුෂය, මේ නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස නො වේ. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, නියඳවැහැරියෙන් කළ වත නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
55. එකල්හි සවගමහණෝ සියල්ල නිල් වූ සිවුරු දරත්. –පෙ– සියල්ල රන්වන් වූ සිවුරු දරත්, –පෙ– සියල්ල රතු වූ සිවුරු දරත්. –පෙ– සියල්ල මදටියවන් වූ සිවුරු දරත්. –පෙ– සියල්ල කළු වූ සිවුරු දරත්. –පෙ– සියල්ල රත්වෑපිටපැහැති සිවුරු දරත්. –පෙ– සියල්ල මුසුපැහැති සිවුරු දරත්. –පෙ– නො සිඳූ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– දික් දාවලු ඇති සිවුරු දරත්. –පෙ– මල්කම් කළ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– පෙණ සේ ගෙතූ දාවලු ඇති සිවුරු දරත්. –පෙ– අඟිය (සැට්ට) දරත්. –පෙ– තිහිරිපිළී දරත්. –පෙ– හිස් වෙළුම් දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ කෙසේ නම් හිස්වෙළුම් දරත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
56. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රතුපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල මදටියපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල කළුපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල රත්වෑපිටපැහැති සිවුරු නො දැරිය යුතු ය. සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතු ය. නො සිඳි දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. මල්දාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. පෙණදාවලු ඇති සිවුරු නො දැරිය යුතු ය. අඟිය නො දැරිය යුතු ය. තිහිරිපිළී නො දැරිය යුතු ය. හිස්වෙළුම් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ”.
57. එකල්හි වස් වැස නිම කළ භික්‍ෂූහු සිවුරු නූපන් කල්හි බැහැර ද යෙත්. සිවුරු ද හරිත්. කලුරිය ද කෙරෙත්. හෙරණුම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ශික්‍ෂාව බැහැර කළම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. අන්තිමවස්තුවට පැමිණියම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. උන්මත්තකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. යක්‍ෂෝන්මාද ඇත්තම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. වේදනාවෙන් පෙළෙන්නම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ඇවැත් නො දැක්මෙහි උඛෙව්නීකම් (තහනම්) කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ඇවතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. පණ්ඩකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ථෙය්‍යසංවාසකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. තීර්‍ත්‍ථක ශාසනයට ගියම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. තිරච්ඡානගතයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. මාතෘඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. පිතෘඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. අරහන්තඝාතකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. භික්ඛුනීදූසකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. සඞ්ඝභේදකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. ලොහිතුප්පාදකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්. උභතෝබ්‍යඤ්ජනකයම්හ යි ද ප්‍රතිඥා කෙරෙත්.
58. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි බැහැර යේ ද, සුදුසු වූ ගන්නකු ඇති කල්හි දිය යුතු ය.
59. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි සිවුරු හරියි, කලුරිය කෙරෙයි, හෙරණෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ශික්‍ෂාව බැහැර කළ එකෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අන්තිමවස්තුවට පැමිණියෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝ තෙමේ (ඔහුගේ කොටසට) හිමියා වේ.
60. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි උමතු වූවෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, යක්‍ෂෝන්මාද ඇත්තෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, වේදනාවෙන් පෙළෙන්නෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැත් නො දැක්මෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලාමක දෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
61. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ සිවුරු නූපන් කල්හි පණ්ඩකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ථෙය්‍යසංවාසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිත්‍ථියපක්කන්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිරච්ඡානගත යෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, මාතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, පිතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අරහන්තඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, භික්ඛුනීදූසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝභේදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලොහිතුප්පාදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, උභතොබ්‍යඤ්ජනකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඔහුගේ කොටසට සඞ්ඝ තෙමේ හිමියා වේ.
62. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ බෙදූ කල්හි බැහැර යෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
63. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි සිවුරු හරියි, කලුරිය කෙරෙයි, හෙරණෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ශික්‍ෂාව බැහැර කෙළෙමි යි ප්‍රතිඥා කෙරෙයි, අන්තිමවස්තුවට පැමිණියෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝ තෙමේ හිමියා වේ.
64. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණ තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි උන්මත්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, යක්‍ෂෝන්මාද ඇත්තෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, වේදනාවෙන් පෙළෙන්නෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ඇවැත් නො දැක්මෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි. ඇවැතට පිළියම් නො කිරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලාමකදෘෂ්ටිය අත් නො හැරීමෙහි තහනම් කරණ ලද්දෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සුදුසු වූ ගන්නකු ඇති කල්හි (කොටස) දිය යුතු ය.
65. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ මහණෙක් තෙමේ උපන් සිවුරු නො බෙදූ කල්හි පණ්ඩකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ථෙය්‍යසංවාසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිත්‍ථියපක්කන්තකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, තිරච්ඡානගතයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, මාතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, පිතෘඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, අරහන්තඝාතකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි. භික්‍ඛුනීදූසකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝභේදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, ලොහිතුප්පාදකයෙක්මි යි ප්‍රතිඥා කෙරෙයි, උභතෝබ්‍යඤ්ජනකයෙක් මි යි ප්‍රතිඥා කෙරෙයි, සඞ්ඝතෙමේ හිමියා වේ.”
66. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්‍ෂයකට දිය දෙත්, එක් පක්‍ෂයකට ‘සඞ්ඝයාට දෙමු’ යි සිවුරු දෙත්, ඒ සිවුරු සඞ්ඝයාට ම වේ.
67. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්‍ෂයක දිය දෙත්, ‘සඞ්ඝයාට දෙමු’ යි ඒ පක්‍ෂයට ම සිවුරු දෙත්, ඒ සිවුරු සඞ්ඝයාට ම වේ.
68. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්‍ෂයකට දිය දෙත්, ‘පක්‍ෂයට දෙමු’ යි එක් පක්‍ෂයකට සිවුරු දෙත්, ඒ සිවුරු පක්‍ෂයට ම වේ.
69. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට සිවුරු නූපන් කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, එහි මිනිස්සු එක් පක්‍ෂයකට දිය දෙත්, ඒ පක්‍ෂයට ම ‘පක්‍ෂයට දෙමු’ යි සිවුරු දෙත්, ඒ සිවුරු පක්‍ෂයට ම අයත් වේ.
70. “මහණෙනි, මෙහි වස් වැස නිම කළ භික්‍ෂූන්ට උපන් සිවුරු නො බෙදූ කල්හි සඞ්ඝ තෙමේ බිඳෙයි, සියල්ලන්ට සම ව බෙදිය යුතු ය”.
71. එකල්හි ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ එක්තරා මහණකු අත ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “මේ සිවුර තෙරුන්ට දෙව”යි සිවුරක් යැවී ය. ඉක්බිති ඒ මහණ තෙමේ අතරමග දී ආයුෂ්මත් රේවත තෙරුන් කෙරෙහි විශ්වාසයෙන් ඒ සිවුර ගත්තේ ය. එකල්හි ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හමු වී “ස්වාමීනි, මම තෙරුන් වහන්සේට සිවුරක් යැවීමි. ඒ සිවුර ලැබුනේ දැ” යි විචාළේ ය. “ඇවැත්නි, මම ඒ සිවුර නො දකිමි.” ඉක්බිති ආයුෂ්මත් රේවත ස්ථවිර තෙමේ ඒ මහණහු “ඇවැත්නි, මම ආයුෂ්මතුන්ගේ අත තෙරුන් වහන්සේට සිවුරක් යැවීමි. ඒ සිවුර කොහි දැ” යි විචාළේ ය. “ස්වාමීනි, මම ආයුෂ්මතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඒ සිවුර ගත්තෙමි” යි කී ය.
72. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’ යි මහණකු අත සිවුරක් යවයි, ඒ මහණ තෙමේ අතරමග දී යමෙක් යවා නම්, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, එය නිවරැදි ගැණීමෙකි. එය යමකු සඳහා යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, එය වැරදි ගැණීමෙකි.
73. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මේ සිවුර මෙනම් ඇති මහණහුට දෙව’ යි මහණකු අත සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි. වැරදි ගැණීමෙක් වේ. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි. නිවරැදි ගැණීමෙක් වේ.
74. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමෙක් යවා ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’. යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරැදි ඉටීමෙක් වේ. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙක් වේ.
75. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමකුට යවනු ලැබේ ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙක් වේ. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙක් වේ.
76. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙව’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී, දෙදෙන ම කලුරිය කළහ’ යි අසයි. යමෙක් යවා ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි.
77. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි.
78. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි.
79. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමෙක් යවා ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහු කෙරෙහි විශ්වාස යෙන් ගණියි, නිවැරැදි ගැණීමෙකි.
80. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘යමකුට යවනු ලැබේ ද, හෙතෙමේ කලුරිය කෙළේ ය’ යි අසයි, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරැදි ඉටීමෙකි. යමෙක් යවා ද, ඔහු කෙරෙහි විශ්වාසයෙන් ගණියි, වැරදි ගැණීමෙකි.
81. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මහණකු අත ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමි’ යි සිවුරක් යවයි, හෙතෙමේ අතරමග දී ‘දෙදෙන කලුරිය කළහ’ යි අසයි, යමෙක් යවා ද, එය ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, වැරදි ඉටීමෙකි. යමකුට යවනු ලැබේ ද, ඔහුගේ මතක සිවුරක් කොට ඉටයි, නිවැරදි ඉටීමෙකි.”
82. “මහණෙනි, සිවුරු ලැබීමට මේ මාතෘකා අටෙකි: සීමාවෙහි දෙයි. කතිකාවෙන් දෙයි. භික්‍ෂාප්‍රඥප්තියෙන් දෙයි. සඞ්ඝයාට දෙයි. උභතෝසඞ්ඝයාට දෙයි. වස් වැස නිම කළ සඞ්ඝයාට දෙයි. නියම කොට දෙයි. පුද්ගලයකුහට දෙයි යන අට ය{*}.”
83. “සීමාවෙහි දෙයි ද, යම් පමණ භික්‍ෂූහු සීමාව තුළට පිවිසියෝ ද, ඔවුන් විසින් බෙදිය යුතු ය.
84. “කතිකාවෙන් (සමානලාභසම්මුතියෙන්) දෙයි ද, බොහෝ ආවාසයෝ සමානලාභ ඇත්තාහු වෙත් ද, එක් ආවාසයකට දුන් කල්හි කතිකානුරූප ව සියලු ආවාසයන්ට දෙන ලද්දේ වේ.
85. “භික්‍ෂාප්‍රඥප්තියෙන් දෙයි ද, යම් තැනෙක්හි සඞ්ඝයාට නිති සත්කාරකරණු ලැබෙත් ද, ඒ ආවාසයන්ට දෙයි.
86. “සඞ්ඝයාට දෙයි ද, හමු වූ සඞ්ඝයා විසින් බෙදිය යුතු ය.
87. “උභතෝසඞ්ඝයාට දෙයි ද, බොහෝ භික්‍ෂූහු වෙත් ද, එක් භික්‍ෂූණියක් වේ ද, අඩක් දිය යුතු ය. බොහෝ භික්‍ෂුණීහු වෙත් ද, එක් භික්‍ෂුනමක් වේ ද, අඩක් දිය යුතු ය.
88. “වස් වැස නිම කළ සඞ්ඝයාට දෙයි ද, යම් පමණ භික්‍ෂූහු ඒ ආවාසයෙහි වස් වැස නිම කළාහු ද, ඔවුන් විසින් බෙදිය යුතු ය.
89. “නියම කොට දෙයි ද, කැඳ හෝ බත් හෝ කෑයුතු දෙය හෝ සිවුරු හෝ සෙනසුන් හෝ බෙහෙත් හෝ පිළිගත්තවුන්ට එය අයත් වෙයි.
90. “පුද්ගලයකුහට දෙයි. ‘මේ සිවුරු මෙනම් ඇත්තහුට දෙමි’ යි.”
අටවැනි චීවරක්ඛන්‍ධකය නිමි.
මේ ඛන්‍ධකයෙහි වස්තු සානූවෙකි.
එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
1. රජගහනුවර වැසි කෙළඹිජන තෙමේ විසාලාමහනුවර වැසි ගණිකාව දැක නැවත රජගහනුවරට ගොස් රජුට එකරුණ දැන් වී ය.
2. අභයකුමරුගේ අත්‍රජ වූ, සාලවතී නම් ගණිකාවගේ පුත්‍ර තෙමේ කුමරුන් විසින් “ජීවත් වේ” නු යි ජීවක ය යි කියන ලද්දේ ය.
3. හෙතෙමේ තක්සලාවට ගොස් උගෙණ මහ වෙදෙක් වූයේ සත් අවුරුද්දක් පැවති හිසරුදාව නස්‍යකර්‍මයෙන් නැසී ය.
4. බිම්සරරජුගේ භගන්‍දළාබාධය ආලේපයක් දීමෙන් ඉවත් කෙළේ ය. මාහට ද අන්තඃපුරයට ද බුදුරජුන්ට ද භික්‍ෂුසඞ්ඝයාට ද උවටැන් කරව යි (රජතෙමේ තනතුරු දුන්නේ ය.)
5. රජගහසිටු තෙමේ සුව පත් කරණ ලද්දේ ය. (බරණැස්සිටුපුත්හුගේ) අන්තගණ්ඨි ආබාධයට පිළියම් කරණ ලදී. පජ්ජෝත රජුගේ මහා රෝගය ගිතෙල් පෙවීමෙන් නැසූයේ ය.
6. අධිකාරය ද, සීවෙය්‍යපරිත්‍යාගය ද, දොස් කිපුනු ශරීරය මොළොක් කිරීම ද, උපුල්මල්මිටි තුණෙකින් සමතිස් විරේචනය–
7. ප්‍රකෘතිස්වභාව ඇති බුදුරජුගෙන් වරයක් ඉල්ලී ය. සීවෙය්‍යවස්ත්‍ර පිළිගත්හ. තථාගතයන් වහන්සේ ගැහැවියන් දෙන සිවුරු පිළිගැණීම අනුදත් සේක.
8. රජගහනුවර ද ජනපදයෙහි ද බොහෝ සිවුරු උපන. උතුරු සළුව ද, කෝසෙය්‍යපාවාරය ද, කොඳුපලස ද පන්සියයක් අගනා කම්බිලිය ද,
9. කුදුමහත් සිවුරු, සතුටුවීම, අනපෙක්‍ෂා සාපේක්‍ෂාවන්හි (අකැමැත්තෙන් කොටස නො දීම, අකැමැත්තෙන් කොටස දිම), පළමු පැමිණීම, පසු ව පැමිණීම, එක් ව සොහොනට පැමිණීම, කතිකා කොට පැමිණීම, ආරාමයට ගෙණ ආ සිවුරු ආපසු ගෙණ ගියහ.
10. භාණ්ඩාගාරය, සිවුරු ආරක්‍ෂා නො වීම, (භාණ්ඩාගාරිකයා) බැහැර කරවත්. භාණ්ඩාගාරය සිවුරුවලින් පිරීම, සිවුරු බෙදන තැන කොලාහලය, කෙසේ බෙදන්නේ ද කෙසේ දෙන්නේ ද –
11. ගමනට සූදානම් වූ භික්‍ෂුහුගේ කොටස දීම, අතිරේක භාගය දීම, පිරිකර කොටස කෙසේ දෙන්නේ ද, ගොම හා නො තැම්බූ පඬු, පඬු ඉතිරීම, පඬු පැසීම පඬු නො පැසීම ද නො දනිත්.
12. පඬු බාන්නෝ, පඬු වක්කිරීමට බඳුන, තලියෙහි, බිම සිවුරු ඇතිරීම, (වේයෝ තණ ඇතිරිය කෑහ.) සිවුර මැද (පඬු ගැලීම), කොන් දිරත්. එක් පසකින් පඬු වැගිරේ. සිවුර දැඩි වීම,
13. සිවුර රළුවීම, කඩ නො කැපීම, ලියදී බැඳි කුඹුර, සිවුරුපොදි ඔසවා ගත් භික්‍ෂූන් ද දුටු සේක. භාග්‍යවතුන් වහන්සේ පරීක්‍ෂා කොට තුන් සිවුර අනුදත් සේක.
14. අනික් අනික් අතිරේක සිවුරෙන් යුක්තවීම, අනඳ තෙරුන්ට සිවුරක් ලැබුනේ ය. අඳනය සිදුරුවීම, චාතුද්දීපිකමහාමේඝය, වර ඉල්වී ය. වැසිසළු දීම,
15. ආගන්තුක, ගමික, ගිලාන, උපට්ඨාක, බෙහෙත් දීම, නිති කැඳ දීම, දියසළු දීම, පිණි බොජුන් වැළඳීම, කුඩා පසතුරුණ තහනම් කිරීම,
16. ථුල්ලකච්ඡුආබාධය, මුව පිස්නා රෙදිකඩ, කොමුයෙන් කළ පැරණි වත, පිරිපුන් තුන් සිවුරු, ඉටීම, පැසුළු සිවුර, කරණ ලද බර වූ පංසුකූල චීවරය, සිවුරෙහි කොන් දික්වීම, නූල් ඉදිරීම,
17. සිවුරු පත් නැසේ. කඩ කැපීමට නො පොහෝනේ ය. අමුතු පටියක් ඇල්ලීම, බොහෝ සිවුරු ලැබීම, අන්‍ධවනයෙහි තුබූ සිවුර නැතිවීම, අසතියෙන් සඟලසිවුරෙන් වෙන් ව ගම් වැදීම, තනි ව වස් විසීම, වස්සානයෙන් අන් කාලයෙහි එකලා ව විසීම –
18. සහෝදරයෝ දෙදෙන රජගහනුවර වස් වුසූහ. උපනන්‍ද තෙරුන් සැවැත්නුවර වස් විසීම, දෙපලක එකලා ව වස් විසීම, කුච්ජිවිකාරය ඇති ගිලනා, ගිලන්හු දෙදෙන, ගිලන් උවටැනට සුදුසු නො සුදුසු අය –
19. නග්න ව පැමිණීම, කුසවැහරි දැරීම, වාකවැහරි, ඵලකවැහරි, කෙහෙකම්බිලි, වාලකම්බිලි, මහමූණු පියාපත්, අඳුන් දිවිසම්, වරාහුයෙන් කළ වැහරි,
20. නියඳින් කළ වැහරි, නිල්වන් වත්, රන්වන් වත්, රතුවන්, මදටිය පැහැ ඇති වත් හා කළු වත්, පත්තෑපිටපැහැති වත්, කන්වෑපිටපැහැති වත්, නො සිඳූ දාවලු ඇති සිවුරු, එසේම –
21. දික් දාවලු ඇති සිවුරු, මල්දාවලු ඇති සිවුර ද, පෙණදාවලු ඇති සිවුරු, සැට්ටය, රුක්සුඹුලු, හිස්වෙළුම්, සිවුරු නූපන් කල්හි බැහැර යයි. සිවුරු උපන් කෙණෙහි සඞ්ඝ තෙමේ බිඳේ.
22. පක්‍ෂයකට දෙත්. සඞ්ඝයාට දෙත්. ආයුෂ්මත් රේවත තෙමේ (ශාරීපුත්‍ර තෙරුන්ට සිවුරක්) යැවී ය. විශ්වාසයෙන් ගැණීම, ඉටීම, සිවුරු ලැබීමේ මාතෘකා අටෙක යන මොහු වෙත්.
චම්පෙය්‍යක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ චම්පානුවර ගග්ගරා පොකුණුතෙර වැඩ වසන සේක. එකල්හි කසිදනව්වෙහි වාසභගාම නම් ගමෙක් වේ. එහි කාශ්‍යපගෝත්‍ර නම් මහණ තෙමේ ආවාසික වූයේ කටයුතු පරම්පරාවෙහි නිති බැඳුනේ “කෙසේ නම් නො පැමිණි ප්‍රියශීල භික්‍ෂූහු පැමිණෙන්නාහු ද, පැමිණියා වූ ප්‍රියශීල භික්‍ෂූහු සැප සේ වසන්නාහු ද, මේ ආවාසයත් වැඩීමට දියුණුවට මහත් බවට පැමිණෙන්නේ දැ” යි උත්සාහයට පැමිණියේ වේ.
2. එකල්හි බොහෝ භික්‍ෂූහු කාසිජනපදයෙහි චාරිකා කරන්නාහු වාසභගමට පැමිණියාහු ය. කාශ්‍යපගෝත්‍රභික්‍ෂු තෙමේ එන්නා වූ ඒ භික්‍ෂූන් දුර දී ම දුටුයේ ය. දැක අසුන් පැණවී ය. පා දෝනා දිය පාපුටුව පා තබන පුවරුව එළවා තැබී ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත්තේ ය. පැනින් විචාළේ ය. නෑමෙහි උනන්දු කෙළේ ය. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කෙළේ ය.
3. එකල්හි ඒ ආගන්තුකභික්‍ෂූන්ට “ඇවැත්නි, මේ ආවාසික භික්‍ෂූ තෙමේ යහපත් ය. නෑමට උනන්දු කරයි. කැඳෙහි කැවිලියෙහි බතෙහි ද උනන්දු කරයි. ඇවැත්නි, එබැවින් අපි මෙහි ම වාසභගමෙහි වසමු” යි සිත් වී ය. ඉක්බිති ඒ ආගන්තුකභික්‍ෂූහු එහි ම වාසභගමෙහි වාසය කළහ.