පළමු බණවර නිමි.
1. එකල්හි කසීරජ තෙමේ ජීවක කොමාරභච්චහට අඩදහසකට පොහෝනා වූ (පන්සියයක් අගනා වූ) කම්බිලියක් යැවී ය. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ පන්සියයක් අගනා වූ ඒ කම්බිලිය ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ජීවක කෝමාරභච්චතෙමේ “ස්වාමීනි, මාගේ අඩ දහසකට පොහෝනා වූ (පන්සියයක් අගනා වූ) මේ කම්බිලිය කාසිරජු විසින් එවන ලද්දේ ය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැණීම මට බොහෝ කාලයක් හිත සැප පිණිස වන්නේ ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මාගේ මේ කම්බිලිය පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ කම්බිලිය පිළිගත්සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ජීවක කෝමාරභච්චයාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. (එහි ඔහු) සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
3. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, කම්බිලිය අනුදනිමි” යි වදාළසේක.
4. එකල්හි සඞ්ඝයාට අගය ඇති නැති සිවුරු ලැබෙයි. එකල භික්‍ෂූන්ට “කවර භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට සිවුරු අනුදන්නා ලද ද, කවර නො අනුදන්නා ලද දැ?” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොමු පිළී, කපු පිළී, පට පිළී, කම්බිලි, හණවැහැරි පිළී, මේ පස් නූලෙන් මුසු පිළී යන සිවුරු{*} සයක් අනුදනිමි”.
5. එකල්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් එක ම සිවුරක් අනුදන්නා ලද ය. සිවුරු දෙකක් නො අනුදන්නා ලදැ”යි යම් ඒ භික්‍ෂූහු ගෘහපතී චීවරය ඉවසත් ද, ඒ භික්‍ෂූහු කුකුස් කරන්නෝ පංසුකූලය නො ඉවසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගෘහපති චීවරය ඉවසන්නහු විසින් පංසුකූලයත් ඉවසන්නට අනුදනිමි. මහණෙනි, මම ඒ දෙකින් ම සතුටු වීම වර්‍ණනා කරමි”.
6. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පංසුකූල වස්ත්‍ර පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු එය බලාපොරොත්තු නො වූවාහු ය. යම් ඒ භික්‍ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ද, ඒ භික්‍ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්‍ෂූහු බලාපොරොත්තු නො වූවාහු ද, ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටසක් දෙවු” යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටසක් නො දෙන්නෙමු. කුමක් නිසා තෙපි බලාපොරොත්තු නො වූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. ‘මහණෙනි, (බලාපොරොත්තු නො වන්නවුන්ට) අකමැත්තෙන් කොටස නො දෙන්නට අනුදනිමි” යි.
7. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළි පන්නාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු බලාපොරොත්තු ව සිටියහ. යම් ඒ භික්‍ෂූහු පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ද, ඒ භික්‍ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්‍ෂූහු බලාපොරොත්තු ව සිටියාහු ද, ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො පැමිණියහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලාපොරොත්තු ව සිටින්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
8. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල්දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පංසුකූල පිණිස පළමු කොට සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු පසු ව පිවිසියාහු ය. යම් ඒ භික්‍ෂූහු පංසුකූල පිණිස පළමු කොට සොහොනට පිවිසියාහු ද, ඒ භික්‍ෂූහු පංසුකූල ලැබූහ. යම් ඒ භික්‍ෂූහු පසු ව පිවිසියාහු ද, ඒ භික්‍ෂූහු නො ලැබූහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි පසු ව පැමිණියහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, පසු ව පැමිණෙන්නවුන්ට අකමැත්තෙන් කොටස නො දෙන්නට අනුදනිමි”.
9. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල්දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඒ භික්‍ෂූහු සම ව (එක් විට) පංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු පංසුකූල ලැබූහ. ඇතැම් භික්‍ෂූහු නො ලැබූහ. යම් ඒ භික්‍ෂූහු නො ලැබූහු ද, ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු” යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො ලැබූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සම ව පැමිණෙන්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
10. එකල්හි බොහෝ භික්‍ෂූහු කොසොල්දනව්වෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඒ භික්‍ෂූහු කතිකා කොට පාංසුකූල පිණිස සොහොනට පිවිසියාහු ය. ඇතැම් භික්‍ෂූහු පාංසුකූල ලැබූහ. ඇතැම් භික්‍ෂූහු නො ලැබූහ. යම් ඒ භික්‍ෂූහු නො ලැබුවාහු ද, ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපටත් කොටස දෙවු”යි මෙසේ කීහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, අපි තොපට කොටස නො දෙන්නෙමු. කුමක් හෙයින් තෙපි නො ලැබූවහු දැ” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කතිකා කොට පැමිණෙන්නවුන්ට නො කැමැත්තෙන් කොටස දෙන්නට අනුදනිමි”.
11. එකල්හි මිනිස්සු සිවුරු ගෙණ ආරාමයට එත්. ඒ මිනිස්සු පිළි ගන්නකු නො ලබන්නෝ පෙරළා ගෙණයත්. සිවුරු ස්වල්පවශයෙන් ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යම් මහණෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නො ගත් දෙය දන්නේ ද, එබඳු පසගින් යුත් මහණකු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
12. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්විය යුත්තේ ය. ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂූහුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු පිළිගන්නහු කොට සම්මත කරයි යම් ආයුෂ්මතකු හට මෙ නම් ඇති මහණහුගේ චීවරප්‍රතිග්‍රාහකසම්මුතිය රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමකුට රුචි නො වේ නම් හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ චීවරප්‍රතිග්‍රාහකයා යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”යි කියා යි.
13. එකල්හි චීවරප්‍රතිග්‍රාහක භික්‍ෂූහු සිවුරු පිළිගෙණ එහි ම හැරදමා බැහැර යෙත්. සිවුරු නැසේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, තැන්පත් කළ නො කළ දෙය දන්නේ ද යන පසඟින් යුත් මහණකු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි”.
14. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්විය යුත්තේ ය. ඉල්වා ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මහණහු සිවුරු තැන්පත් කරන්නහු කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙ නම් ඇති මහණහුගේ සිවුරු තැන්පත් කිරීමේ සම්මුතිය රුචි වේ නම්, ඒ මහණ තෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යම් මහණකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ සිවුරු තැන්පත් කරන්නේ යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
15. එකල්හි සිවුරු තැන්පත් කරණ භික්‍ෂූහු මණ්ඩපයෙහි ද රුක්මුලෙහි ද අගුවෙහි ද සිවුරු තැන්පත් කෙරෙත්. මීයන් විසින් ද වේයන් විසින් ද කනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සඞ්ඝතෙමේ වෙහෙරක් හෝ අඩ පියසි ගෙයක් හෝ සිවුරැස් ගෙයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ යමක් කැමැති නම්, එය භාණ්ඩාගාරයක් කොට සම්මත කරන්නට අනුදනිමි”.
16. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමීනි, සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙ නම් විහාරයාගේ භාණ්ඩාගාරසම්මුතිය රුචි වේ නම්, හෙතෙමේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමකුහට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය. සඞ්ඝයා විසින් මෙ නම් ඇති විහාරය භාණ්ඩාගාරයක් කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
17. එකල්හි සඞ්ඝයාගේ භාණ්ඩාගාරයෙහි සිවුරු නො රැකුනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, රකින නො රකින ලද්ද දන්නේ ද යන පසඟින් යුත් මහණකු භාණ්ඩාගාරික කොට සම්මත කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. –පෙ– සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ භාණ්ඩාගාරික ය යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
18. එකල්හි සවගමහණෝ භාණ්ඩාගාරිකයා පහ කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, භාණ්ඩාගාරික තෙමේ පහ නො කට යුතු ය. යමෙක් පහකරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
19. එකල්හි සඞ්ඝයාගේ භාණ්ඩාගාරයෙහි සිවුරු බොහෝ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හමු වූ සඞ්ඝයා විසින් බෙදා ගන්නට අනුදනිමි”.
20. එකල්හි සියලු සඞ්ඝ තෙමේ සිවුරු බෙදන්නේ කලහ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේ ද, බියෙන් අගතියට නො යන්නේ ද, බෙදූ නො බෙදූ දෙය දන්නේ ද යන මේ පසඟින් යුත් මහණකු සිවුරු බෙදන්නහු කොට සම්මත කරන්නට අනුදනිමි”. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: –පෙ– සඞ්ඝයා විසින් මෙ නම් ඇති මහණ තෙමේ සිවුරු බෙදන්නේ ය යි සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාහට රුචි වේ. එහෙයින් තුෂ්ණිම්භූත වේ. මෙය මෙසේ දරමි”.
21. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “කෙසේ සිවුරු බෙදිය යුතු දැ”යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පළමු කොට තෝරා වටිනාකම පිරිසිඳ, සම කොටස් කොට, භික්‍ෂූන් ගණන් කොට, පොදි බැඳ, සිවුරු කොටස් තබන්නට අනුදනිමි”.
22. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “කෙසේ නම් හෙරණුන්ට සිවුරු කොටස් දිය යුතු දැ”යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, හෙරණුන්ට කොටස් භාගයක් දෙන්නට අනුදනිමි”.
23. එකල්හි එක්තරා මහණෙක් සිය කොටස ගෙණ එතෙර ව යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එතෙර යනු කැමැත්තහුට සිය කොටස දෙන්නට අනුදනිමි”.
24. එකල්හි එක්තරා මහණෙක් වැඩි කොටසකින් යුක්තව එතෙර යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොටසෙහි වැඩි වටිනා ගණන වෙනුවට දිය යුතු කැප පිරිකර දුන්{*} කල්හි වැඩි කොටසක් දෙන්නට අනුදනිමි”.
25. එකල්හි සිවුරු බෙදන මහණුන්හට “සිවුරු කොටස කෙසේ නම් දිය යුතු ද? ආ පිළිවෙළින් දිය යුතු ද? නොහොත් වැඩිමහලු පිළිවෙළින් දිය යුතු දැ”යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඌන ව සිටි කල්හි (සම සේ බෙදීමට සිවුරු හෝ පුද්ගලයන් නො පොහෝනා කල්හි){*} සතුටු කරවා කුසපත් හෙළීම කරන්නට අනුදනිමි”යි වදාළසේක.
26. එකල්හි භික්‍ෂූහු ගොමින් ද පඬුවන් මැටියෙන් ද සිවුරු පඬු පොවත්. සිවුරු දුර්වර්‍ණ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මුල්පඬු, දඬුපඬු, පොතුපඬු, කොළපඬු, මල්පඬු, පලපඬු යන පඬු (වර්‍ග) සයක් අනුදනිමි”.
27. එකල්හි භික්‍ෂූහු නො පැසුනු පඬුයෙන් සිවුරු පඬු පොවත්. සිවුරු දුගඳ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬු පිසන්නට උදුනක් ද පඬුසැළියක් ද අනුදනිමි.” පඬු උතුරා යෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වටඅළුවක් (වට ආදාරයක්) බඳින්නට අනුදනිමි”.
28. එකල්හි භික්‍ෂූහු “පඬු පැසුනේ ද නො පැසුනේ දැ” යි නො දනිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දියෙහි හෝ නිය පිට හෝ පඬු බින්‍දුවක් හෙළන්නට අනුදනිමි”.
29. එකල්හි භික්‍ෂූහු (සැළියෙන්) පඬු බාන්නාහු සැළිය නමත්. සැළිය බිඳේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬු කිණිස්සක්, දඬුයෙන් කළ හැන්දක්, අනුදනිමි”.
30. එකල්හි භික්‍ෂූන්ට පඬු (බැහීමට) බඳුනක් නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මහපඬුසැළියක් ද පඬු කළයක් ද අනුදනිමි”.
31. එකල්හි භික්‍ෂූහු තැටියෙහි ද පාත්‍රයෙහි ද සිවුරු මඩිත්. සිවුර ඉරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පඬුඔරුවක් අනුදනිමි”.
32. එකල්හි භික්‍ෂූහු සිවුරු බිම එලත්. සිවුරු පස් තැවරුණේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තණඇතිරියක් අනුදනිමි”. තණඇතිරිය වේයන් විසින් කනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි සිවුරු ලන උණදණ්ඩක් ද සිවුරු ලන රැහනක් ද අනුදනිමි”. මැදින් එල්බේ. පඬු දෙකොණින් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොන් බඳින්නට අනුදනිමි”. කොණ දිරයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කොන්හි බඳින හුයක් අනුදනිමි”. පඬු එක් කොණකින් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරළ පෙරළා පඬු පොවන්නට ද දියබින්‍දු නො සිඳුනු තෙක් බැහැර නො යන්නට ද අනුදනිමි”.
33. එකල්හි සිවුරු (අතිරජනයෙන්) තද වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දියෙහි ගිල්වා තබන්නට අනුදනිමි”.
34. එකල්හි සිවුරු රළු වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අතින් පෙළන්නට (පොඩි කරන්නට) අනුදනිමි”.
35. එකල්හි භික්‍ෂූහු කඩ නො කැපූ, දත් මෙන් කහට පැහැති, සිවුරු දරත්, මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, “මහණෙනි, නො කැපූ සිවුරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත්වේය” යි වදාළසේක.
36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට දක්‍ෂිණාගිරිය බලා චාරිකාවෙහි වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ සතරැස් ලියදි බැන්දා වූ දිගින් හා පළලින් මහමියර බැන්දා වූ අතරතුර කුඩාමියර බැන්දා වූ සතරහන්දි බැන්දා වූ මගධක්‍ෂේත්‍රය දුටුසේක. දැක, “ආනන්‍දය, තෙපි සතරැස් ලියදි බැන්දා වූ දිගින් හා පළලින් බැඳි මහමියර ඇත්තා වූ අතරතුර බැඳි කුඩා මියර ඇත්තා වූ බඳනා ලද සතරහන්දි ඇත්තා වූ මගධක්‍ෂේත්‍රය දුටුහු දැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විචාළ සේක. “ස්වාමීනි, එසේ ය”. “ආනන්‍දය, තෙපි භික්‍ෂූන්ට මෙබඳු වූ සිවුරු (සිවුරු මෙසේ කපා මැසීම) විධාන කරන්නට උත්සාහවත් වහු ද?” “භාග්‍යවතුන් වහන්ස, උත්සාහවත් වෙමි”යි පිළිවදන් දුන්හ.
37. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දක්‍ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වැඩ වාසය කොට නැවත රජගහනුවරට පෙරළා වැඩි සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ බොහෝ භික්‍ෂූන්ට සිවුරු විධාන කොට දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා විසින් විධාන කරණ ලද සිවුරු බලා වදාරණ සේක්වා” යි සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, යමෙක් මා විසින් සැකෙවින් කියන ලද කාරණයෙහි අර්‍ත්‍ථය විස්තර වශයෙන් දත්තේ ද, දිග පළල නුවා කෙළේ ද, හරස් නුවා කෙළේ ද, මහමැඩිලි කෙළේ ද, කුඩා මැඩිලි කෙළේ ද, වස් අත්ත කෙළේ ද, ඇළ අතු කෙළේ ද, ගෙලපටි ඇල්ලීම කෙළේ ද, කෙණ්ඩාපටි ඇල්ලීම කෙළේ ද, නුවා අතු නොහොත් බාහුව මත සිටින නුවා කෙළේ ද, (මෙසේ කිරීමෙන් සිවුර) කපන ලද්දේත් සැතින් රළු වූයේත් පැවිද්දන්ට සුදුසු වූයේත් පසමිතුරන් විසින් නො පතනලද්දේත් වූයේ ද, මහණෙනි, ඒ ආනන්‍ද තෙමේ පණ්ඩිත වේ. ඒ ආනන්‍ද තෙමේ මහ නුවණැත්තේ වේ. මහණෙනි, කඩ කැපූ සඟළසිවුර ද කඩ කැපූ උතුරු සඟසිවුර ද කඩ කැපූ අදනා සිවුර ද අනුදනිමි” යි වදාළ සේක.
38. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට වේසාලී නගරය බලා චාරිකාවෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරටත් විසාලාමහනුවරටත් අතර වූ දීර්‍ඝමාර්‍ගයට පිළිපන් සේක් සිවුරුපොදි ඔසොවා ගත් හිසෙහි ද සිවුරුබිසි කොට කරෙහි ද සිවුරුබිසි කොට උකුළෙහි ද සිවුරුබිසි කොට එන්නා වූ බොහෝ භික්‍ෂූන් දුටු සේක. දැක භාග්‍යවතුන් වහන්සේට “මේ හිස් පුරුෂයෝ ඉතා වහා චීවර බහුලත්‍වය පිණිස හැරුණාහු ය. මම භික්‍ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි මායිම් තබන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් විසාලාමහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩ වාසය කරත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හේමන්ත ඍතුවෙහි නවම් මැදින් දෙමස අතර අට දිනයෙහි ශීතරාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි රාත්‍රියෙහි එළිමහනෙහි එක් සිවුරක් ඇති සේක් හුන් සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. පෙරයම නික්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ දෙවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. මැදියම නික්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ තෙවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. පශ්චිම යාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි රාත්‍රිය පාන් වූ කල භාග්‍යවතුන් වහන්සේට සීත වී ය. භාග්‍යවතුන් වහන්සේ සිවුවන සිවුරක් පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේට සීත නො වී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මේ ශාසනයෙහි පැවිදි වූ යම් ඒ කුලපුත්‍රයෝ ශීතප්‍රකෘතික (=පියෙවින් ම ශීතයෙන් පෙළෙන්නෝ) වූවාහු සීතයට බිය වන සුලු වෙත් ද, ඔහු ද තුන්සිවුරෙන් යැපෙන්නට පොහොසත් වෙති. මම භික්‍ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, තුන් සිවුරක් අනුදන්නෙම් නම්, යෙහෙකැ” යි සිත්වී ය.
40. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, මම මෙහි රජගහනුවරටත් විසාලාමහනුවරටත් අතර දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නෙම්, සිවුරු පොදි ඔසොවා ගත් හිසෙහි ද සිවුරුබිසි කොට, කරෙහි ද සිවුරුබිසි කොට, උකුළෙහි ද සිවුරුබිසි කොට, එන්නා වූ බොහෝ භික්‍ෂූන් දිටිමි. දැකීමෙන් මට ‘මේ හිස් පුරුෂයෝ ඉතා වහා චීවරබහුලත්‍වය පිණිස හැරුණාහු ය. මම භික්‍ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, යෙහෙකැ’ යි සිත් වී ය.”
41. “මහණෙනි, මම මෙහි හේමන්තඍතුවෙහි නවම් මැදින් දෙමස අතර අටදිනයෙහි ශීතරාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි රාත්‍රියෙහි එළිමහනෙහි එක් සිවුරක් ඇති ව හුන්නෙමි. මට සීත නො වී ය. පෙරයම ඉක්ම ගිය කල්හි මට සීත වී ය. මම දෙවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. මැදියම ඉක්ම ගිය කල්හි මට සීත වී ය. මම තෙවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. පශ්චිමයාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි රෑ එලි වූ කල මට සීත වී ය. මම සිවුවන සිවුරක් පෙරවීමි. මට සීත නො වී ය. මහණෙනි, ඒ මට ‘මේ සාසනයෙහි පැවිදි වූ යම් ඒ කුලපුත්‍රයෝ ශීතප්‍රකෘතීක වූවාහු සීතයට බිය වන සුලු වෙත් ද, ඔහු ද තුන්සිවුරෙන් යැපෙන්නට පොහොසත් වෙති. මම භික්‍ෂූන්ට සිවුරෙහි සීමාවක් බඳින්නෙම් නම්, සිවුරෙහි ඉමක් තබන්නෙම් නම්, තුන් සිවුරක් අනුදන්නෙම් නම්, යෙහෙකැ’යි සිත් වී ය. මහණෙනි, මම දෙපටක් ඇති සඟළසිවුර ද, එක් පටක් ඇති උතුරුසඟසිවුර ද, එක් පටක් ඇති අඳනා සිවුර ද අනුදනිමි”යි වදාළසේක.
42. එකල්හි සවග මහණහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරක් අනුදන්නා ලදැ”යි අන් තුන්සිවුරකින් ම ගමට වදිත්. අන් තුන් සිවුරකින් ම ආරාමයෙහි සිටිත්. අන් තුන්සිවුරකින් ම නෑමට බසිත්. අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් සවග මහණහු වැඩි සිවුරු දරත් දැ”යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
43. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, අතිරේක සිවුරක් (නො ඉටූ නො විකැපූ සිවුරක්) නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය.”
44. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අතිරේක සිවුරක් ලැබුනේ වේ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද ඒ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වේ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වසත්, ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අතිරේක සිවුරක් නො දැරිය යුතු ය’ යි පණවන ලද්දේ ය. මට ද මේ අතිරේක සිවුරක් ලැබුනේ ය. මම ද මේ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වෙමි. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වසත්. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මේ සිත් වි ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, කෙතෙක් දවසකින් ශාරීපුත්‍ර තෙමේ එන්නේ ද?” “භාග්‍යවතුන් වහන්ස, නවවැනි හෝ දසවැනි දිනයෙහි එන්නේ ය”.
45. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, දස දිනක් අවසන් කොට ඇති කාලයක් අතිරේක (වැඩි) සිවුරක් දරන්ට අනුදනිමි”.
46 එසමයෙහි භික්‍ෂූන්ට අතිරේක සිවුරක් ලැබේ. එකල්හි භික්‍ෂූන්ට “අතිරේක සිවුරෙහි කෙසේ නම් පිළිපැදිය යුතු දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, අතිරේක සිවුර විකපන්නට (අනෙකකු හට භාරදෙන්නට) අනුදනිමි”.
47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට බරණැස්නුවර බලා චාරිකාවෙහි වැඩිසේක. පිළිවෙළින් චාරිකා කරණසේක් බරණැස්නුවරට පැමිණිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි බරණැස්නුවර මෘගදාය නම් වූ ඉසිපතනයෙහි වැඩ වාසය කරත්.
48. එකල්හි එක්තරා මහණකුගේ අඳනය සිදුරු වූයේ වේ. එවිට ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දෙපටක් ඇති සඟළ සිවුර එක් පටක් ඇති උතුරුසඟසිවුර එක්පටක් ඇති අඳනා සිවුර’ ය යි තුන් සිවුරක් අනුදන්නා ලද්දේ ය. මාගේ මේ අඳනා සිවුර සිදුරු වි ය. මම අණ්ඩ ලන්නෙම් නම්, හාත්පස (වටේ) දෙපට වන්නේ ය. මැද එක්පට වන්නේ ය” යි සිත් වි ය. එකල්හි ඒ මහණෙතෙම් අණ්ඩයක් ඇල්ලී ය. සේනාසන චාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ අණ්ඩය ලන්නා වූ ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහු වෙතට එළඹියහ. එළඹ “මහණ, තෝ කුමක් කෙරෙහි දැ” යි ඒ මහණහු විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, අණ්ඩයක් ලමි”. “මහණ ඉතා මැනවි. මහණ, ඔබ අණ්ඩයක් ලන්නේ යහපත් ය” වදාළහ.
49. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, අළුත් වස්ත්‍රයෙන් හා වරක් සේදූ වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟළසිවුර, එක් පටක් ඇති උතුරු සඟසිවුර, එක් පටක් ඇති අඳනා සිවුර ද, පුරාණවස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟළසිවුර, දෙපටක් ඇති උතුරුසඟසිවුර, දෙපටක් ඇති අඳනා සිවුර ද, පංසුකූලයෙහි කැමැති පමණ පට ඇති සිවුර ද, අනුදනිමි. කඩ පිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුරු දැරීමෙහි උත්සාහය කට යුතු ය. මහණෙනි, අණ්ඩ ලීම, නූලෙන් එලලීම, වැටි කොට මැසිම, මුදුපත් මැසීම (කැලි පිට කැලි ඇල්ලීම), දැඩි කිරීම අනුදනිමි”.
50. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර කැමැති තාක් කල් වැඩ වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් සැවැත්නුවරට වැඩියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කෙරෙත්.
51. එකල්හි මෘගාරිමාතෘ වූ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛාවට දැහැමිකතාවෙන් කරුණු දැක්වූහ. (ඇය එහි) සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ.
52. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත ඉවසන සේක්වා” යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියා ය.
53. එකල්හි ඒ රැය ඉක්ම ගිය පසු සිවුදිවයිනට එක පැහැර වස්නා වූ මහත් මේඝයෙක් වැස්සේ ය. ඒ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, ජේතවනයට වසින්නා සේ සිවුදිවයිනෙහි වසි යි. මහණෙනි, කය තෙමවු. මේ සිවුදිවයිනට එකපැහැර වස්නා වූ අන්තිම මහාමේඝය”යි වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී බහා තැබූ සිවුරු ඇත්තෝ කය තෙමත්.
54. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛාතොමෝ ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා “කෙල්ල, යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ දාසිය මෘගාරිමාතෘ විශාඛාවට පිළිවදන් දී ආරාමයට ගොස් බැහැර කළ සිවුරු ඇති ව කය තෙමන්නා වූ භික්‍ෂූන් දුටුවා ය. දැක “ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජිවකයෝ කය තෙමති” යි (සිතා) මෘගාරිමාතෘ විශාඛාව වෙත ගියා ය. ගොස් ‘ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජිවකයෝ කය තෙමති” යි මෘගාරිමාතෘ විශාඛාවට කීවා ය.
55. එකල්හි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති මෘගාරිමාතෘ විශාඛාවට නිසැකයෙන් ම ආර්‍ය්‍යයන් වහන්සේලා බැහැර කළ සිවුරු ඇති ව කය තෙමත්. ඒ මේ මෝඩ ගෑණි ‘ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජිවකයන් වැස්සෙන් කය තෙමති’යි සිතුවා ය” යි අදහස් වි ය. නැවත, “කෙල්ල, යව. ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය.
56. ඉක්බිතී ඒ භික්‍ෂූහු සිරුරු සිහිල් කොට සුවපත් සිරුරු ඇත්තාහු සිවුරු ගෙණ තමතමන් වසන වෙහෙරට පිවිසියාහු ය.
57. නැවත ඒ දාසිය ආරාමයට ගොස් භික්‍ෂූන් නො දක්නී “ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආරාමය සිස් ය” යි (සිතා) මෘගාරිමාතෘ විශාඛාව වෙත ගියා ය. ගොස් මෘගාරිමාතෘ විශාඛාවට “ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආරාමය සිස් ය” යි කීවා ය.
58. එකල්හි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති මෘගාරිමාතෘ විශාඛාවට “නිසැකයෙන් ම ආර්‍ය්‍යයන් වහන්සේලා සිරුරු සිහිල් කොට සුව පත් සිරුරු ඇත්තාහු සිවුරු ගෙණ තමතමන් වසන වෙහෙරට පිවිසියෝ ය. ඒ මේ මෝඩ ගෑණිය ‘ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආරාමය සි ස්ය’ යි සිතු ය” යි අදහස් වි ය. නැවත “කෙල්ල යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ ය’ යි කල් දන්වා ලව” යි දාසියට අණ කළා ය.
59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, බතට කාලය යි. සිවුරු සකස් කර ගණිවු” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
60. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නා සේ දිගු කළ අතක් හකුළන්නා සේ ජේතවනයෙහි නො පෙණී ගිය සේක් මෘගාරිමාතෘ විශාඛාවගේ වාහල්කඩ පහළ වු සේක. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩහුන් සේක.
61. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ “පින්වත්නි, තථාගතයන් වහන්සේගේ ඒ මහත් ඍද්ධි ඇති බව මහත් තෙදැති බව ආශ්චර්‍ය්‍යයෙක. පුදුමයෙක. දණ පමණ ජල ගැල්ම පවත්නා කල්හි ද උකුළ පමණ ජලගැල්ම පවත්නා කල්හි ද එක් භික්‍ෂුනමකගේත් පාදයෝ හෝ සිවුරු හෝ නො තෙමුනාහු වෙත් ය” යි සතුටු වූවා ඔදවැඩි වූවා බුද්ධපුමුඛභික්‍ෂූසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නී ය.
62. පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛා තොමෝ “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් වර අටක් ඉල්ලමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළා ය. “විශාඛාව, තථාගතයෝ (ස්ත්‍රීන්ට දිය යුතු) වර ඉක්මවූවෝ ය.” “ස්වාමීනි, යමක් කැප ද, යමක් නිදොස් ද (එබඳු වර අටක් ඉල්ලමි.)” “විශාඛාවෙනි, කියව”. “ස්වාමීනි, මම දිවිහිම් කොට සඞ්ඝයාහට වැසිසළු දෙන්නට, ආගන්තුකබත් දෙන්නට, ගමිකබත් දෙන්නට, ගිලන්බත් දෙන්නට, ග්ලානෝපස්ථායකබත් දෙන්නට, ගිලන්බෙහෙත් දෙන්නට, නිතිකැඳ දෙන්නට, මෙහෙණසඟනට දියසළු දෙන්නට, කැමැත්තෙමි” යි සැළකළා ය.
63. “විශාඛාවෙනි, තී කිනම් කරුණක් දක්නී තථාගතයන් වෙතින් වර අටක් ඉල්වහි ද?”. “ස්වාමීනි, මම මෙහි ‘කෙල්ල, යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව’ යි දාසියට අණ කෙළෙමි. ඉක්බිති ස්වාමීනි, ඒ දාසිය ආරාමයට ගොස් බැහැර කළ සිවුරු ඇති ව වැසිදියෙන් කය තෙමන්නා වූ භික්‍ෂූන් දුටුවා ය. දැක ‘ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජීවකයන් කය තෙමති’ යි (සිතා) මා වෙත පැමිණියා ය. පැමිණ ‘ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජීවකයන් කය තෙමති’ යි. මට සැළකළා ය. ස්වාමීනි, නග්න භාවය නො හොබී. ලජ්ජා සහිත ය. පිළිකුල් ය. ස්වාමීනි, මම මේ කරුණ දක්නී දිවි හිම් කොට සඞ්ඝයාහට වැසිසළු දෙන්නට කැමැත්තෙමි.
64. “නැවත ද, ස්වාමීනි, ආගන්තුකභික්‍ෂු තෙමේ (මෙහි) වීථින්හි දක්‍ෂ නො වූයේ ගෝචරස්ථානයන්හි දක්‍ෂ නො වූයේ විඩා පත් වූයේ පිඬු පිණිස හැසිරේ. ඒ භික්‍ෂු තෙමේ මාගේ ආගන්තුකබත වළඳා වීථින්හි දක්‍ෂ (පුරුදු) වූයේ ගෝචරස්ථානයන්හි දක්‍ෂ වූයේ (යා යුතු නො යා යුතු තැන් දන්නේ) විඩාපත් නො වූයේ පිඬු පිණිස හැසිරෙන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ආගන්තුකබත් දෙන්නට කැමැත්තෙමි.
65. “නැවත ද ස්වාමීනි, ගමිකභික්‍ෂු තෙමේ තමාගේ බත සොයන්නේ සත්‍වායෙන් (=තවලම් නඩයෙන්) හෝ අත්හැරෙන්නේ ය. යම් තැනෙක විසීමට යනු කැමැත්තේ හෝ වන්නේ ද, එතැනට නො කල්හි පැමිණෙන්නේ ය. විඩා පත් වූයේ මග යන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ මාගේ ගමිකබත වළඳා සත්‍වායෙන් නො වෙන් වන්නේ ය. යම්තැනක විසීමට යනු කැමැති වන්නේ ද, එතැනට සුදුසු කාලයෙහි පැමිණෙන්නේ ය. විඩා පත් නො වූයේ මග යන්නේ ය. ස්වාමීනි, මම මේ කරුණ දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගමිකබත් දෙන්නට කැමැත්තෙමි.
66. “නැවත ද ස්වාමීනි, හිත වූ බොජුන් නො ලබන්නා වූ ගිලන් මහණහුගේ ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මගේ ගිලන්බත වැළඳූ ඒ භික්‍ෂූහුගේ ආබාධය නො වැඩෙන්නේ ය. කලුරිය කිරීම නො වන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගිලන්බත් දෙන්නට කැමැත්තෙමි.
67. “නැවත ද ස්වාමීනි, ග්ලානෝපස්ථායකභික්‍ෂු තෙමේ තමාගේ බත සොයන්නේ ගිලනහුට ඉර නැගි කල්හි බත් ගෙණ යන්නේ ය. බත් සිඳීම කරන්නේ ය. ඒ ග්ලානෝපස්ථායකභික්‍ෂු තෙමේ මාගේ ග්ලානෝපස්ථායක බත වළඳා ගිලනහුට සුදුසු කාලයෙහි බත් ගෙණ යන්නේ ය. බත් සිඳීම නො කරන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවිඇති තාක් සඞ්ඝයාහට ග්ලානෝපස්ථායකබත් දෙනු කැමැත්තෙමි.
68. “නැවත ද ස්වාමීනි, හිත වූ බෙහෙත් නො ලබන්නා වූ ගිලන් වූ මහණහුගේ ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මාගේ ගිලන්බෙහෙත් වැළඳූ ඒ භික්‍ෂූහුගේ ආබාධය නො වැඩෙන්නේ ය. කලුරිය කිරීම නො වන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගිලන්බෙහෙත් දෙනු කැමැත්තෙමි.
69. “නැවත ද ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අන්‍ධකවින්‍ද නගරයෙහි දී අනුසස්දසයක් දකිමින් කැඳ අනුදන්නා ලද්දේ ය. ස්වාමීනි, මම මේ අනුසස් දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාට නිතිකැඳ දෙනු කැමැත්තෙමි.
70. “ස්වාමීනි, මෙහි මෙහෙණහු අචිරවතීනදියෙහි වෙසඟනන් සමග නග්න ව එක් තොටෙහි ස්නානය කෙරෙත්. ස්වාමීනි, ඒ වෙසඟනෝ මෙහෙණන්ට ‘ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණ වූ ඔබට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයෝජනයෙක් ද? කාමයෝ පරිභෝග කළ යුත්තෝ නො වෙත් ද? යම් කලෙක දිරුණාහු වන්නහු ද, එකල්හි බඹසරෙහි හැසිරෙවු. එසේ ඇති කල්හි ඔබ විසින් උභයාර්‍ත්‍ථයෝ ම ප්‍රයෝජන ගන්නා ලද්දෝ වන්නාහු ය’ යි වෙහෙසූහ. ස්වාමීනි, වෙසඟනන් විසින් වෙහෙසනු ලබන ඒ මෙහෙණහු මංකු (ලජ්ජිත) වූහ. ස්වාමීනි, නග්න භාවය මාගමට නො හොබී. ලජ්ජා සහිත ය. පිළිකුල් ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි තෙක් මෙහෙණ සඟනට දියසළු දෙනු කැමැත්තෙමි” යි කීවා ය.
71. “විශාඛාවෙනි, තී කිනම් අනුසසක් දක්නී තථාගතයන් වහන්සේ වෙතින් වර අට ඉල්වන්නෙහි ද?” යි අසා වදාළ සේක. “ස්වාමීනි, මෙහි දිසාවන්හි වස් වැස නිම කළ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස සැවැත්නුවරට පැමිණෙන්නාහු ය. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, මෙනම් ඇති මහණ තෙමේ කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කවරී ද? පරලොව කවරේ දැ?” යි විචාරන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ (ඒ භික්‍ෂුනම) සෝතාපත්තිඵලයෙහි හෝ සකදාගාමිඵලයෙහි හෝ අනාගාමිඵලයෙහි හෝ අරහත්තඵලයෙහි හෝ යි ඔහු ගැණ ප්‍රකාශ කරණ සේක. මම ඒ භික්‍ෂූන් වෙත එළඹ ‘ස්වාමීනි, ඒ ආර්‍ය්‍යයන් වහන්සේ පෙර සැවැත්නුවරට පැමිණි විරූ දැ’ යි විචාරන්නෙමි. ඉදින් ඒ මහණහු ‘සැවැත් නුවරට පැමිණි විරූ ය’ යි මට කියන්නාහු නම්, ‘නිසැකයෙන් ඒ ආර්‍ය්‍යයන් වහන්සේ විසින් මාගේ වැසිසළු හෝ ආගන්තුකබත් හෝ ගමිකබත් හෝ ගිලන්බත් හෝ ග්ලානෝපස්ථායකබත් හෝ ගිලන්බෙහෙත් හෝ නිති කැඳ හෝ වළඳන ලදැ’ යි මෙහි නිශ්චයට යන්නෙමි. එය සිහි කරන්නා වූ ඒ මට ප්‍රමෝදය උපදින්නේ ය. ප්‍රමුදිත වූ මට ප්‍රීතිය උපදින්නේ ය. ප්‍රීත සිත් ඇති මාගේ කය සන්සිඳෙන්නේ ය. සන්සිඳුනු කය ඇත්තී සුව විඳින්නෙමි. සුව ඇත්තා වූ මාගේ සිත එකඟ වන්නේ ය. එය මට ඉන්‍ද්‍රියභාවනාව, බලභාවනාව, බොද්ධ්‍යඞ්ගභාවනාව වන්නේ ය. ස්වාමීනි, මම මේ අනුසස් දක්නෙම් තථාගතයන් වහන්සේගෙන් වර අට ඉල්ලමි” යි කිවු ය.
72. “විශාඛාව, ඉතා යහපති, විශාඛාව, තී මේ අනුසස් දක්නී තථාගතයන් වහන්සේගෙන් වර අට ඉල්වන්නෙහි ද, ඒ යහපති. විශාඛාව, තිට වර අට අනුදනිමි’ යි වදාළසේක.
73. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාවට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කළ සේක:
“සුගතයන් වහන්සේගේ සීලසම්පන්න වූ යම් ශ්‍රාවිකාවක් ප්‍රමුදිත වූවා ආහාරපාන දේ ද, මසුරුමල මැඩ ස්වර්‍ගයට හිත වූ ශෝක දුරු කරන්නා වූ සුව එළවන්නා වූ දන් දේ ද–
ඕ තොමෝ දිව්‍යමය වූ ආයුෂ ලබයි. පහ වූ රාගාදීරජස් ඇති පව් නැති මාර්‍ගයට පැමිණ පින් කැමැති ඕ තොමෝ සුවපත් ව රෝග රහිත ව ස්වර්‍ගලෝකයෙහි බොහෝ කලක් සතුටු වෙයි.”
74. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාවට මේ ගාථාවන්ගෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, වැසිසළු, ආගන්තුකබත, ගමිකබත, ගිලන්බත, ග්ලානෝපස්ථායකබත, ගිලන්බෙහෙත්, නිතිකැඳ, මෙහෙණසඟනට දියසළු අනුදනිමි”යි වදාළ සේක.
විසාබණවර නිමි.
1. එකල්හි භික්‍ෂූහු පිණිබොජුන් වළඳා මුළා වූ සිහි ඇත්තාහු සම්‍යක් ප්‍රඥා නැත්තාහු නින්දට බසිත්. මුළා වූ සිහි ඇති ව යහපත් නුවණින් තොර වූ නින්දට යන්නා වූ ඔවුන්ට සිහිනෙන් අසුචි (ශුක්‍ර) මිදේ (නික්මේ). සෙනසුන ශුක්‍රයෙන් කිලිටි වේ.
2. භාග්‍යවතුන් වහන්සේ (තමන් වහන්සේ) පසු ව යන මහණහු වූ ආයුෂ්මත් වූ අනඳ තෙරුන් සමග සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ශුක්‍රයෙන් කිලිටි වූ සෙනසුන් දුටු සේක. දැක, “ආනන්‍දය, මේ සෙනසුන කුමකින් වැකුනේ දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් අසා වදාළ සේක. “ස්වාමීනි, දැන් භික්‍ෂූහු පිණිබොජුන් වළඳා මුළාසිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා නැත්තාහු නින්දට බසිත්. මුළා වූ සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා නැති ව නින්දට බසින්නා වූ ඔවුන්ට සිහිනෙන් ශුක්‍ර මොචනය වේ. භාග්‍යවතුන් වහන්ස, ඒ මේ සෙනසුන් ශුක්‍රයෙන් කිලිටි වූයේ ය” යි සැළකළහ. “ආනන්‍දය, ඒ එසේ ය. ආනන්‍දය, ඒ එසේ ය. ආනන්‍දය, මුළා වූ සිහි ඇති ව සම්‍යක් ප්‍රඥාවෙන් තොරව නින්දට බසින්නවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ ම ය. ආනන්‍දය, එළඹ සිටි සිහි ඇති යහපත් නුවණ ඇති යම් ඒ භික්‍ෂූහු නින්දට බසිත් ද, ඔවුන්ට ශුක්‍ර නො මිදේ. ආනන්‍දය, යම් ඒ පුහුදුන් කෙනෙක් කාමයන්හි පහ වූ ඇලුම් ඇත්තෝ වෙත් ද, ඔවුන්ට ද ශුක්‍ර නො මිදේ. ආනන්‍දය, රහතුන් වහන්සේට ශුක්‍ර මිදෙන්නේ ය යනු නො විය හැකි ය. ඊට අවකාස (හේතු) නැතැ” යි වදාළහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මම මෙහි පසු මහණහු වූ ආනන්‍දයන් සමග සේනාසනචාරිකාවෙහි ඇවිදින්නෙම් ශුක්‍රයෙන් කිලිටි වූ සෙනසුන් දුටුවෙමි. දැක “මේ සෙනසුන් කුමක් නිසා ශුක්‍රයෙන් කිලිටි වූයේ දැ” යි ආනන්‍දයන් විචාළෙමි. “ස්වාමීනි, දැන් භික්‍ෂූහු පිණිබොජුන් වළඳා මුළාසිහි ඇති ව සම්‍යක් ප්‍රඥාවෙන් තොර ව නින්දට බසිත්. මුළා සිහි ඇති ව යහපත් නුවණින් තොර ව නින්දට බසින්නා වූ ඔවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ. භාග්‍යවතුන් වහන්ස, මේ සෙනසුන ඒ අසුචියෙන් කිලිටි වී ය” යි හේ කී ය. “ආනන්‍දය, ඒ එසේ ය. ආනන්‍දය, ඒ එසේ ය. ආනන්‍දය, මුළාසිහි ඇති ව සම්‍යක්ප්‍රඥාවෙන් තොර ව නින්දට බසින්නවුන්ට සිහිනෙන් ශුක්‍ර මිදේ ම ය. ආනන්‍දය, එළඹ සිටි සිහි ඇති සම්‍යක් ප්‍රඥා ඇති යම් ඒ භික්‍ෂූහු නින්දට බසිත් ද, ඔවුන්ට ශුක්‍ර නො මිදේ. ආනන්‍දය, යම් ඒ පුහුදුන් කෙනෙක් කාමයන්හි පහ වූ ඇලුම් ඇත්තාහු ද, ඔවුන්ට ද ශුක්‍ර නො මිදේ. ආනන්‍දය, රහතුන් වහන්සේට ශුක්‍ර මිදෙන්නේ ය යනු නො විය හැකි ය. ඊට හේතු නැතැ” යි කීවෙමි.
4. “මහණෙනි, මුළා වූ සිහි ඇති ව සම්‍යක්ප්‍රඥා නැති ව නින්දට බසින්නාහට මේ දොස් පසෙක් වේ: දුක සේ නිදයි. දුක සේ පිබිදෙයි. පවිටු සිහින දකියි. දෙවියෝ නො රකිත්. ශුක්‍ර මිදේ. මහණෙනි, මුළා සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා නැති ව නින්දට බසින්නහුට මේ දොස් පස වේ.
5. “මහණෙනි, එළඹ සිටි සිහි ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව නින්දට බසින්නහුට මේ අනුසස් පසෙක් වේ: සුව සේ නිදයි. සුව සේ පිබිදෙයි. පවිටු සීන නො දකියි. දෙවියෝ රකිත්. ශුක්‍ර නො මිදේ. මහණෙනි, එළඹ සිටි සිහි ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව නින්දට බසින්නහුට මේ අනුසස් පස වේ. මහණෙනි, කය රක්නා පිණිස සිවුරු රක්නා පිණිස සෙනසුන් රක්නා පිණිස නිසීදනය (හිඳිනා ඇතිරිය) අනුදනිමි” යි වදාළහ.
6. එකල්හි ඉතා කුඩා වූ නිසීදනය මුළු සෙනසුන නො රකියි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යම් පමණ මහත් වූ පසතුරුණු කැමැති වේ නම්, එපමණ මහත් වූ පසතුරුණු කරන්නට අනුදනිමි” යි
7. එකල්හි ආයුෂ්මත් අනඳතෙරුන්ගේ උපාද්ධ්‍යාය වූ ආයුෂ්මත් බෙලට්ඨසිස ස්ථවිරයන් වහන්සේට මහත් පිළිකාරෝගයෙක් වේ. උන්වහන්සේගේ සිවුරු සඳමිදුලෙන් ශරීරයෙහි ලැගෙත් භික්‍ෂූහු ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කෙරෙත්.
8. භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරන්නා වූ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙත එළඹි සේක. එළඹ, “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි ඒ භික්‍ෂූන්ගෙන් ඇසූහ. “ස්වාමීනි, මේ ආයුෂ්මත්හුහට මහ පිළිකාරොගය වේ. සඳමිදුලෙන් සිවුරු සිරුරෙහි ලැගෙයි. අපි ඒ සිවුරු දියෙන් තෙම තෙමා ඉවත් කරමු” යි කීහ.
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, යම් මහණකුහට කැසීමෙක් හෝ ලේගඩුවක් හෝ භගන්‍දරාදි සැරව වැගිරෙන ආබාධයක් හෝ මහ පිළිකා ආබාධයෙක් හෝ වේ ද, කස්පිළිසනක් (වණ වැසුමක්) අනුදනිමි” යි වදාළ සේක.
10. එකල්හි මෘගාරිමාතෘ විශාඛා තොමෝ මුව පිස්නා රෙදිකඩක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ විශාඛා තොමෝ “භාග්‍යවතුන් වහන්සේ මාගේ මුවපිස්නා රෙදිකඩ පිළිගන්නා සේක්වා. එය මට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය” යි භාග්‍යවතුන් වහන්සේට සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ මුවපිස්නා රෙදිකඩ පිළිගත්හ.
11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘගාරිමාතෘ විශාඛාව දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. (ඇය එහි) සමාදන් කරවූ හ. තියුණු කරවූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද මෘගාරිමාතෘ විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියා ය.
12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මුවපිස්නා රෙදිකඩක් අනුදනිමි” යි වදාළ සේක.
13. එකල්හි රොජමල්ල තෙමේ ආයුෂ්මත් වූ අනඳතෙරුන්ගේ යහළුවෙක් වේ. රොජමල්ලයා විසින් කොමුපිළියක් ආයුෂ්මත් අනඳ තෙරුන් අත තබන ලද්දේ වේ. ආයුෂ්මත් අනඳතෙරුන්ට ද කොමු පිළියකින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඞ්ග පසකින් යුක්ත වූවෙකුගේ දෙයක් විශ්වාසයෙන් ගැණීමට අනුදනිමි: දුටු මිතුරු වේ ද, දැඩි මිතුරු වේ ද, කථාමාත්‍රයෙන් මිතුරු වූයේ ද, ජීවත් වේ ද, ‘මා විසින් ගත් කල සතුටු වන්නේ ය’ යි ද නී ද, මහණෙනි, මේ පසඟින් යුක්ත වූවහු පිළිබඳ දෙය විශ්වාසයෙන් ගැණිමට අනුදනිමි”.
14. එකල්හි භික්‍ෂූන්ට තුන්සිවුරු සම්පූර්‍ණ වේ. පෙරහන්වලින් ද පසුම්බිවලින් ද ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පිරිකර රෙදිකඩක් අනුදනිමි”.
15. “භාග්‍යවතුන් වහන්සේ විසින් – තුන් සිවුර ය යි ද, වැසිසළු ය යි ද, නිසීදන ය යි ද, පසතුරුණ ය යි ද, කස්පිළිසන යි ද මුවපිස්නා වත ය යි ද, පිරිකරසොළ ය යි ද යම් ඒ සිවුරු (වස්ත්‍ර) අනුදන්නා ලද ද, ඒ සියල්ල ඉටිය යුතු ද? නොහොත් විකැපිය යුතු දැ” යි භික්‍ෂුන්ට සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තුන් සිවුර ඉටන්නට නො විකපන්නට, වැසිසළුව වස් සාරමස ඉටන්නට ඉන් පසු විකපන්නට, නිසීදනය ඉටන්නට නො විකපන්නට, පසතුරුණ ඉටන්නට නො විකපන්නට, කස්පිළිසන ආබාධ ඇති තෙක් ඉටන්නට ඉන් පසු විකපන්නට, මුවපිස්නාවත ඉටන්නට නො විකපන්නට, පිරිකරසොළ ඉටන්නට, නො විකපන්නට අනුදනිමි”. අනතුරු ව භික්‍ෂූන්ට “කොපමණ දිග පළල ඇති පශ්චිමචීවරය (කුඩා ම සිවුර) විකැපිය යුතු දැ” යි අදහස් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දිගින් සුගත් අඟලෙන් අටඟුලක් (වඩුරියනක්) වූ, සතරඟුලක් (වඩුවියතක්) පමණ පළල් වූ පශ්චිමචීවරය විකපන්නට අනුදනිමි”.
16. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ පංසුකූලයෙන් කළ සිවුර (දිරූ තැන් අණ්ඩ ලීමෙන්) බර වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නූලෙන් (පමණක්) රළු කරන්නට (එල ලන්ට) අනුදනිමි”. සම නො වූ කොන් ඇත්තේ වේ. එක් කොණක් (පරැණි මැහුම් නූල් නො කපා මැහීමෙන්) දික් වූයේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දික් වූ සිවුරුකොණ කපන්නට අනුදනිමි.” කැපූ කොණින් නූල් වැගිරෙයි. (විසිරී යයි.) භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නුවාව හා පිරිබඩ (උඩුනුවාකඩ) ඇල්ලීම අනුදනිමි”. එකල්හි සඟළසිවුරෙහි පත් (කැබලි නූල් හීමෙන්) නැසෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දාම්පෝරුවේ මඩුලු මෙන් පත් (මැඩිලි) මුව මහන්නට අනුදනිමි”.
17. එකල්හි එක්තරා මහණකුගේ තුන් සිවුර කරණු ලබන කල සියල්ල කපනලද්දේ (තුන් සිවුර ම කඩ කපා ප්‍රමාණ වන සේ මැහීමට) නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එසේනම් කැපූ දෙකක් (සිවුරු දෙකක් කපා මැහීමට) ද නො කැපූ එකක් (එක සිවුරක් නො කපා මැහීමට) ද අනුදනිමි”. කැපූ දෙක ද නො කැපූ එක ද (ප්‍රමාණයට) නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නො කැපූ දෙකක් ද කැපූ එකක් ද අනුදනිමි”. නො කැපූ දෙක ද කැපූ එක ද නො පොහෝනේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, අමුතු රෙදිකඩක් අල්ලන්නට අනුදනිමි. සියල්ල ම නො කැපූ (එකකුදු නො කපා මැහූ) තුන් සිවුරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
18. එකල්හි එක්තරා මහණකුහට බොහෝ සිවුරු (වස්ත්‍ර) ලැබුනේ ය. ඒ මහණ තෙමේ ද ඒ සිවුරු මවුපියන්ට දෙනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මවුපියෝ යි කියන කල්හි කුමක් කියන්නෙමු ද? මහණෙනි, මවුපියන්ට දෙන්නට අනුදනිමි. මහණෙනි, සැදැහැයෙන් දුන් දෙය වැරදි තැන නො යෙදිය යුතු ය. යමෙක් යොදන්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
19. එකල්හි එක්තරා මහණෙක් අන්‍ධවනයෙහි සිවුර බහා තබා උතුරුසඟසිවුර හා අඳනා සිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියේ ය. සොරු ඒ සිවුර පැහැර ගත්හ. ඒ මහණ තෙමේ කිලිටි සිවුරු ඇත්තේ රළු සිවුරු ඇත්තේ වේ. භික්‍ෂූහු “ඇවැත, තෝ කුමක් හෙයින් කිලිටි සිවුරු ඇත්තේ රළු සිවුරු ඇත්තේ වෙහි දැ” යි මෙසේ ඇසූහ. “ඇවැත්නි, මම මෙහි අන්‍ධවනයෙහි සිවුර බහා තබා උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියෙමි. සොරු ඒ සිවුර පැහැර ගත්හ. එයින් මම කිලිටි සිවුරු ඇත්තෙම් රළු සිවුරු ඇත්තෙම් වෙමි” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය. යමෙක් ගම් වදින්නේ නම්, දුකුළා ඇවැත් වේ”.
20. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සිහි පත් නො කිරීමෙන් උතුරු සඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව පිඬු පිණිස ගමට පිවිසියහ. භික්‍ෂූහු “ඇවැත්නි, ආනන්‍දය, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය.’ යි පණවන ලද්දේ නො වේ ද? ඇවැත්නි, කුමක් හෙයින් තෙපි උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගමට පිවිසියහු දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන්ගෙන් ඇසූහ. “ඇවැත්නි, සැබව. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘උතුරුසඟසිවුර හා අඳනාසිවුරෙන් යුක්ත ව ගම් නො වැදිය යුතු ය’ යි පණවන ලද්දේ ය. එහෙත් මම අසතියෙන් ගමට පිවිසියෙමි”යි කී ය .
21. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඟළසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසිලකුණක් හෝ වේ ද, ගඟකින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්‍ෂා කළ (යතුරු ලූ දොර ඇති) විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ ද, මහණෙනි, මේ පස සඟළසිවුර බහා තැබීමට කරුණු ය.
22. “මහණෙනි, උතුරුසඟසිවුර බහා තැබීමට මේ කරුණු පසෙක් වේ: ගිලන් හෝ වේ ද, වැසිලකුණක් හෝ වේ ද, ගඟින් එතෙර ගමනක් හෝ වේ ද, අගුළෙන් ආරක්‍ෂා කළ විහාරයෙක් හෝ වේ ද, අතුළ කඨිනය හෝ වේ. ද, මහණෙනි, මේ පස උතුරුසඟසිවුර බහා තැබීමට කරුණු ය.