Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 1801-1900 න් 2789

36. එකල මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද සියතින් සැතැප්වී ය. දෙවූ කෙණෙහි උණුසුම් වූ කිරෙන් ද පැවරී ය. භික්‍ෂූහු කුකුස් කරන්නෝ කිරි නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු.”
37. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද එකෙණෙහි දෙවූ කිරෙන් ද සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි දිය නැත්තා වූ ආහාර නැත්තා වූ පාථේය (මාර්ගෝපකරණ) රහිත ව නො යා හැකි (යෑමට අපහසු වූ) කාන්තාරමාර්‍ගයෝ ඇත්තාහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මාර්ගෝපකරණ අනුදන්නා සේක්වා. ඒ යහපති” යි සැළකෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියාට දැහැමි කතාවෙන් මොනවට කරුණු දක්වා එහි ඔහු සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
38. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, කිරි දිහි මෝරු වෙඬරු ගිතෙල් යන පස්ගෝරසය අනුදනිමි. මහණෙනි, දිය නැත්තා වූ ආහාර නැත්තා වූ මග වියදම් රහිත ව යෑමට අපහසු වූ කාන්තාරමාර්‍ගයෝ ඇත්තාහ. මහණෙනි, මාර්ගෝපකරණ සොයන්නට අනුදනිමි. සහල් කැමැත්තහු විසින් සහල්, මුං කැමැත්තාහු විසින් මුං, මෑඇට කැමැත්තහු විසින් මෑඇට, ලුණු කැමැත්තහු විසින් ලුණු, උක්සකුරු කැමැත්තහු විසින් උක්සකුරු, තෙල් කැමැත්තහු විසින් තෙල්, ගිතෙල් කැමැත්තහු විසින් ගිතෙල් සෙවිය යුතු ය යි අනුදනිමි. මහණෙනි, සැදැහැති පහන් වූ මිනිස්සු ඇත්තාහ. ඔහු ‘මෙයින් ස්වාමීන් වහන්සේට කැප වූ දෙයක් ගෙණ දෙවු’යි කැපකරුවන්ගේ අත මසුරන් (මුදල්) තබත්. මහණෙනි, එයින් කැප වූ දෙයක් ඉවසන්නට අනුදනිමි. මහණෙනි, කිසි ලෙසකින් රන් රිදී ඉවසිය යුතු ය යි සෙවිය යුතු ය යි මම නො කියමි” යි වදාළ සේක.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් ආපණයට වැඩි සේක. කේණිය ජටිල තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ආපණයට පැමිණියේ ආපණයෙහි වෙසේ. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ යහපත් කීර්තිරාවයෙක් පැන නැංගේ ය. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් ද රහත් සේක. මේ මේ කරුණෙන් ද සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් ද අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් ද සුගත සේක. මේ මේ කරුණෙන් ද ලෝකවිදූ සේක. මේ මේ කරුණෙන් ද පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් ද බුද්ධ සේක. මේ මෙම කරුණෙන් ද භාග්‍යවත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණබමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. –පෙ– එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි ඇසී ය.
40. ඉක්බිති කේණිය ජටිලයාහට “මම ශ්‍රමණ භවත් ගෞතමයන්ට කුමක් යවන්නෙම් දැ” යි සිත් වි ය. නැවත කේණිය ජටිලයාහට මෙසේ සිතුනේ ය: “බමුණන්ගේ මන්ත්‍ර (වේද) කළා වූ පැවැත්වූ යම් ඒ පූර්‍ව ඍෂීහු වූවහු ද, යම්කෙනෙකුන් සතු වූ ඒ පැරණි වේද මන්ත්‍ර දැන් බමුණෝ (පෙර බමුණන්) ගැයූ කියු රැස් කොට තැබූ පරිදි ගයත් ද, කියත් ද, හදාළ පරිදි හදාරත් ද, කියවූ පරිදි කියවත් (උගන්වත්) ද, ඒ ඍෂීහු – එනම්: අට්ටක, වාමක, වාමදෙව, වෙස්සාමිත්ත, යමතග්ගි, අඞ්ගිරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොහු රාත්‍රිභෝජනයෙන් වැළකුනෝ ය. විකල්බොජුනෙන් තොර වූවෝ ය. ඔහු මෙබඳු පැන් ඉවසූහ. ශ්‍රමණගෞතම තෙමේ ද රාත්‍රිභෝජයෙන් වැළකුනේ ය. විකල්බොජුනෙන් වෙන් වූයේ ය ශ්‍රමණගෞතම තෙමේ ද මෙබඳු පැන් ඉවසීමට සුදුසු වේ” යි (මෙසේ සිතූ කේණිය ජටිල තෙමේ) බොහෝ පැන්{1} පිළියෙල කරවා කත්වලින් ගෙන්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා පසෙක සිටියේ ය. පසෙක සිටි කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ මාගේ පැන් පිළිගණීවා” යි සැළකෙළේ ය. “කේණිය, එසේ නම් භික්‍ෂූන්ට දෙව”. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු, වළඳවු”.
41. ඉක්බිති කේණිය ජටිල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ පැනින් සියතින් සතප්පා පවරා, සේදූ අත් ඇති පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. එහි ඔහු සමාදන් කරවූ සේක. සතුටු කරවූ සේක. තියුණු කරවූ සේක.
42. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සමාදන් කරවූ තියුණු කරවූ සතුටු කරවූ කේණිය ජටිල තෙමේ “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. “කේණිය, භික්‍ෂුසඞ්ඝ තෙමේ මහත් වේ. එක්දහස් දෙසියපණසෙකි. තෝ ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනෙකැ”යි (බුදුහු වදාළහ.) දෙවනු ද කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේහට භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. “කේණිය, භික්‍ෂුසඞ්ඝ තෙමේ මහත් වේ. එක්දහස්දෙසිය පණසෙකි. තෝ ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනෙක”. තෙවනු ද කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති කේණිය ජටිල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ගියේ ය.
43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, අඹපැන් දඹපැන් ඇටකෙසෙල්පැන් මස් කෙසෙල්පැන් මීපැන් මිදිපැන් ඕලුපැන් බොරලුදමුනුපැන් යන අට වැදෑරුම් පැන් අනුදනිමි. මහණෙනි, ධාන්‍යඵලරසය හැර සියලු ඵලරසය අනුදනිමි. මහණෙනි, පිසූ පලාකොළරසය හැර දිය හා මුසු කොට මිරිකාගත් සියලු කොළරස අනුදනිමි. මහණෙනි, මීපුප්රසය හැර සියලු මල්රස අනුදනිමි. මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි” යි වදාළ සේක.
44. එකල්හි කේණිය ජටිල තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු සිය අසපුවෙහි ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දැ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, මේ කාලය යි. බත් නිමියේ ය” යි කල් සැළකරවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ කේණිය ජටිලයාගේ අසපුවට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
45. එවිට කේණිය ජටිල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කළ සේක:–
i. “යාගයේ ගිනිපිදීම ප්‍රධාන කොට ඇත්තාහ. සාවිත්‍රීජන්‍දස{*} වේදයට ප්‍රධාන වේ. රජතෙමේ මිනිසුන්ට ප්‍රධාන වේ. සාගරය නදීන්ට ප්‍රධාන වේ.
ii. චන්‍ද්‍ර තෙමේ තාරකාවන්ට ප්‍රධාන වේ. බබළන්නන් අතුරෙන් සූර්‍ය්‍ය තෙමේ ප්‍රධාන වේ. පින් කැමැත්තා වූ දන් දෙන්නන්ට සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් ප්‍රධාන වේ”.
46. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කේණියජටිලයාට මේ ගාථාවන් ගෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. නැවත භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආපණයෙහි කැමැති තාක් කල් වාසය කොට කුසිනාරාව බලා චාරිකාවෙහි වැඩි සේක.
47. කුසිනාරානුවරවැසි මල්ලයෝ “භාග්‍යවතුන් වහන්සේ එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග කුසිනාරාවට එත් ල” යි ඇසූහ. ඔහු “යමෙක් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් නො කරන්නේ ද, ඔහුට පන්සියයක් දඩැ” යි ගිවිසුමක් කළහ.
48. එකල්හි රොජමල්ල තෙමේ අනඳතෙරුන්ගේ සහායයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩනා සේක් කුසිනාරාවට පැමිණියහ. එකල්හි කුසිනාරානුවරවැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කළහ.
49. රොජමල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කොට ආයුෂ්මත් අනඳතෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ පසෙක සිටියේ ය. ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ පසෙක හුන් රොජමල්ලයාට “ඇවැත, රොජය, තෝ භාග්‍යවතුන් වහන්සේට යම් පෙරගමනක් කෙළෙහි ද, තාගේ මේ ගමන ඉතා උසස් ය” යි කී ය. “ස්වාමීනි ආනන්‍දස්ථවිරයන් වහන්ස, මම බුදුන් කෙරෙහි හෝ ධර්‍මය කෙරෙහි හෝ සඞ්ඝයා කෙරෙහි හෝ බොහෝ උපකාර කෙළෙම් නො වෙමි. එහෙත් ‘යමෙක් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් නො කරන්නේ ද, ඔහුට පන්සියයක් දඩැ’ යි නෑයන් විසින් සම්මතයක් කරණ ලද්දේ ය. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම නෑයන්ගේ දඩයට බියෙන් භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කෙළෙමි” යි.
50. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ “කෙසේ නම් රොජමල්ල තෙමේ මෙසේ කීයේ දැ” යි නො සතුටු සිත් ඇත්තේ වී ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ රොජමල්ල තෙමේ ප්‍රකට වූවෙකි. බොහෝ දෙනා විසින් දන්නා ලද මිනිසෙකි. මෙබඳු ප්‍රකට මිනිසුන් මේ සසුනෙහි පැහැදීම මහත් දියුණුවෙක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, රොජමල්ල තෙමේ මේ සසුනෙහි යම් සේ පහදින්නේ නම්, එසේ කරණ සේක්වා” යි සැළ කෙළේ ය. “ආනන්‍දය, රොජමල්ල තෙමේ මේ සසුනෙහි යම් සේ පහදින්නේ නම් එසේ කිරීම තථාගතයන් විසින් දුෂ්කර නො වේ” යි.
51. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රොජමල්ලයාහට මෙත්සිත පතුරුවා හුනස්නෙන් නැගිට විහාරයට පිවිසි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙත්සිතින් පහස්නා ලද රොජමල්ල තෙමේ ලදරුවස්සකු ඇති දෙනක මෙන් වෙහෙරෙන් වෙහෙරට පිරිවෙණෙන් පිරිවෙණට ගොස් “ස්වාමීනි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩ වසන සේක් ද? අපි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ” යි භික්‍ෂූන් විචාරයි. “ඇවැත, රොජය, තෙල වැසූ දොර ඇති විහාරය වෙයි. නිශ්ශබ්ද ව එහි එළඹ ඉක්මන් නො වී ආලින්‍දයට පිවිස කාරා අගුළට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ තට දොර අරින්නාහු ය” යි භික්‍ෂූහු කීහ.
52. ඉක්බිති රොජමල්ල තෙමේ වැසූ දොර ඇති ඒ වෙහෙරට නිශ්ශබ්ද ව පැමිණ ඉක්මන් නො වී ආලින්‍දයට පිවිස කාරා අගුළට තට්ටු කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ දොර අළ සේක. එවිට රොජමල්ල තෙමේ වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් රොජමල්ලයාහට පිළිවෙළ කතාව එනම්: දානකථාව ශීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීම ඇති බව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.
53. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක රොජමල්ලයා සුදුසු සිත් ඇතැ යි මොළොක් සිත් ඇතැ යි නීවරණ රහිත සිත් ඇතැ යි ඔදවැඩි සිත් ඇතැ යි පහන් සිත් ඇතැ යි දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ සාමුත්කර්ෂිකීධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම රොජමල්ලයාහට ඒ ආසනයෙහි දී ම “යමක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි යන පහ වූ රාගාදීරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
54. ඉක්බිති දක්නා ලද දහම් ඇති අවබොධකළ දහම් ඇති බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ රොජමල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා මාගෙන් ම සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස බෙහෙත්පිරිකර පිළිගන්නාහු නම්, අනුන්ගෙන් නො පිළිගන්නාහු නම්, යෙහෙකැ” යි සැළකෙළේ ය. “රොජය, තා විසින් දක්නා ලද පරිදි යම් කෙනෙකුන් විසින් සේඛඤාණයෙන් සෙඛදස්සනයෙන් නිර්‍වාණධර්‍මය දක්නා ලද්දේ නම්, ඔවුන්ට ද ‘ආර්‍ය්‍යයන් වහන්සේලා අපගෙන් ම සිවුරු අහර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගන්නහු නම්, අනුන්ගෙන් නො පිළිගන්නාහු නම්, යෙහෙකැ’ යි මෙසේ අදහස් වේ. රොජය, එසේ නම්, තාගේ සිවුරු – පිරිකර ද අනුන්ගේ සිවුරු – පිරිකර ද, පිළිගන්නාහු ය” යි (වදාළ සේක).
55. එකල්හි කුසිනාරානුවර පිණී වූ බත් පිළිවෙළක් පැවැත්තේ ය. එකල්හි පිළිවෙළ (දන් දීමට දිනක්) නො ලබන්නා වූ රොජමල්ලයාහට “මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ නම්, එය පිළියෙල කරන්නෙමි” යි සිත් වි ය. ඉන් පසු බත්හල බලන්නා වූ රොජමල්ල තෙමේ පලා ද පිටකැවිලි ද යන දෙක නො දුටුයේ ය. එවිට රොජමල්ල තෙමේ ආයුෂ්මත් අනඳතෙරුන් වෙතට ගියේ ය. ගොස් ආයුෂ්මත් අනඳතෙරුන්ට “ස්වාමීනි ආනන්‍දස්ථවිරයන් වහන්ස, මෙහි දන් දීමට දිනක් නො ලබන්නා වූ මට ‘මම බත්හල බලන්නෙම් නම්, යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ නම්, එය පිළියෙල කරන්නෙමි’ යි සිත් වි ය. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම බත්හල බලන්නෙම් පලාකොළ ද පිටිකැවුම් ද යන දෙක නො දුටුවෙමි. ස්වාමීනි, ආනන්‍දස්ථවිරයන් වහන්ස, ඒ මම පලාකොළත් පිටිකෑමත් පිළියෙල කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මාගේ පලාකොළත් පිටිකෑමත් පිළිගන්නා සේක් දැ” යි විචාළේ ය. “රොජය, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ විචාරන්නෙමි” යි.
56. ඉක්බිති ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකළහ: “ආනන්‍දය, එසේ නම් පිළියෙල කෙරේවා” යි. “රොජය, එසේ නම් පිළියෙල කරන්නැ” යි (ආනන්‍දස්ථවිරයන් වහන්සේ රොජයාහට දැන්වූහ).
57. ඉක්බිති රොජමල්ල තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු බොහෝ පලා ද පිටිකෑම ද පිළියෙල කරවා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ පලාත් පිටිකෑමත් පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේ වෙතට එළවී ය. “රොජය, එසේ නම් භික්‍ෂූන්ට දෙව” යි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු” යි.
58. ඉක්බිති රොජමල්ල තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ පලාවලින් හා පිටිකෑමෙන් ද සියතින් සතප්පා, සේදූ අත් ඇති පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් රොජමල්ලයාට දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, පිසූ නො පිසූ සියලු පලා ද සියලු පිටිකෑම ද අනුදනිමි” යි
60. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් කුසිනාරාවෙහි වාසය කොට එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරය බලා චාරිකාවෙහි වැඩි සේක.
61. එකල්හි පෙර කරනැවෑමියෙක් වූ එක්තරා මහලු පැවිද්දෙක් ආතුමානගරයෙහි වෙසෙයි. ඔහුට මිහිරිබස් කියන සියසිප්හි වැටහෙන නුවණැති දක්‍ෂ වූ සියඇදුරන් අයත් කරනෑවිකම්හි නිදොස් වූ ශිල්ප ඇත්තා වූ දරු දෙදෙනෙක් වෙත්. ඒ මහලු පැවිදි තෙමේ “භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරයට එත් ල” යි ඇසී ය.
62. ඉක්බිති ඒ මහලු පැවිදි තෙමේ “දරුවෙනි, භාග්‍යවතුන් වහන්සේ එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග ආතුමානගරයට එත් ල” යි ඒ දරුවන්ට කී ය. “දරුවෙනි, තෙපි කරනෑවිබඩු ගෙණ නැළියක් හා ආවාපක=පසුම්බියක් ද ඇතු ව යවු, ගෙයක් පාසා ඇවිදිවු. වැඩියා වූ භාග්‍යවතුන්ට කැඳදනක් දෙන්නෙමු. ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කරවු” යි. “පියේ, එසේ ය” යි ඒ දරුවෝ මහලු පැවිද්දාට පිළිවදන් දී කරනෑවිබඩු ගෙණ නැළියකින් හා පසුම්බියකින් යුක්ත ව ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කරමින් ගෙයක් පාසා ඇවිදිත්. මිනිස්සු මිහිරිබස් කියන සියසිප්හි ප්‍රතිභා සම්පන්න වූ ඒ දරුවන් දැක, යම් කෙනෙක් (කරකම්) නො කරවනු කැමැත්තාහු ද, ඔහු ද කරවත්. කරවා ගෙණ ද බොහෝ දෙත්. ඉක්බිති ඒ දරුවෝ බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දේ ද රැස් කළහ.
63. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් ආතුමානගරයට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි පිදුරු (සෙවෙනි කළ) ගෙයක වැඩ වසන සේක.
64. ඉක්බිති ඒ මහලු පැවිදිතෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු බොහෝ කැඳ පිළියෙල කරවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කැඳ පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේ වෙතට එළවී ය.
65. තථාගතවරු දන්නෝ ම විචාරත්. දන්නෝ ම නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරු අර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් විචාරත්. අනර්‍ත්‍ථ සහිත වූවක් නො විචාරත්, අනර්‍ත්‍ථයෙන් යුක්ත වචනයෙහි හේතු නැසීම තථාගතයන් වහන්සේලාට මාර්‍ගඥානයෙන් ම සිද්ධ ය. භාග්‍යවත් බුදුරජහු “ධර්‍මය හෝ දෙසන්නෙමු. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමු” යි යන දෙ කරුණින් භික්‍ෂූන් පිළිවිසිත්.
66. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහලු පැවිද්දහු “මහණ, මේ කැඳ කොයින් දැ?” යි අසා වදාළ සේක. එවිට ඒ මහලු පැවිදිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේ ය. ඉන් පසු භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “සිස් පුරුෂය, නුසුදුස්සෙක. අනුලොම් නො වන්නෙක. නො ගැළපෙන්නක. මහණකමට නුසුදුසු ය. නො කැප වූවෙක. නො කට යුත්තෙක. සිස් පුරුෂය, කෙසේ නම් තෝ පැවිද්දන් නො කැප කරුණෙහි සමාදන් කරවූයෙහි ද, සිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි ගැරහූ සේක. –පෙ– ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, පැවිද්දෝ නො කැප කරුණෙහි සමාදන් නො කරවිය යුත්තාහු ය. යමෙක් සමාදන් කරවන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පෙර කරනැවෑමි වූ මහණහු විසින් කරබඩු පරිහරණය නො කළ යුතු ය. යමෙක් පරිහරණය කරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
67. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් ආතුමානගරයෙහි වැඩ වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් සැවැත්නුවරට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වසන සේක.
68. එකල්හි සැවැත්නුවර බොහෝ කෑ යුතු පල උපන්නේ වේ. එකල භික්‍ෂූන්ට “කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් කෑ යුතු පල අනුදන්නාලද ද? කිම, නො අනුදන්නා ලද දැ” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කෑ යුතු සියලු පල අනුදනිමි” යි.
69. ඒ කාලයෙහි සඟුන් අයත් බිජුවට පුද්ගලයන් අයත් බිම්හි රෝපණය කරණු ලැබේ. පුද්ගලයන් අයත් බිජුවට සඟුන් අයත් බිම්හි රෝපණය කරණු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, සඟුන් අයත් බිජුවට පුද්ගලයන් අයත් බිම්හි රෝපණය කරණ ලද්දේ නම්, (දහයෙන්) කොටසක් දී වැළඳිය යුතු ය. පුද්ගලයන් අයත් බිජුවට සඟුන් අයත් බිම්හි රෝපණය කරණ ලද්දේ නම්, (දහයෙන්) කොටසක් දී වැළඳිය යුතු ය” යි.
70. ඒ කාලයෙහි භික්‍ෂූන්ට ඇතැම් කරුණෙහි “කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද ද? කිම, නො අනුදන්නා ලද දැ” යි කුකුස් උපදී. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මා විසින් ‘මේ නො කැපැ’ යි යමක් ප්‍රතික්‍ෂේප නො කරණ ලද්දේ ද, ඉදින් එය නො කැපයට අනුලොම් වේ ද, කැපය වළකා ද, තොපට එය නො කැප වේ. මහණෙනි, මා විසින් ‘මේ නො කැපැ’ යි යමක් ප්‍රතික්‍ෂේප නො කරණ ලද්දේ ද, ඉදින් එය කැපයට අනුලොම් වේ ද, නො කැපය වළකා ද, තොපට එය කැප වේ. මහණෙනි, මා විසින් මේ කැපැ යි යමක් නො අනුදන්නා ලද්දේ ද, ඉදින් එය නො කැපයට අනුලොම් වේ ද, කැපය වළකා ද, තොපට එය නො කැප වේ. මහණෙනි, මා විසින් මේ කැපැ යි නො අනුදන්නා ලද්දේ ද, ඉදින් එය කැපයට අනුලොම් වේ ද, නො කැපය වළකා ද, තොපට එය කැප වේ” යි.
71. එකල්හි භික්‍ෂූන්ට “යාවකාලිකය හා මිශ්‍ර වූ යාමකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාවකාලිකාය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාවකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ ද? යාමකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කැප වේ ද? නො කැප වේ ද? යාමකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ ද? සත්තාහකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කැප වේ ද? නො කැප වේ දැ” යි අදහස් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එදවස පිළිගන්නා ලද යාවකාලිකය හා මිශ්‍ර වූ යාමකාලිකය කාලයෙහි (පෙරවරුයෙහි) කැප වේ. නො කල්හි (පස්වරුයෙහි) නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාවකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය කාලයෙහි කැප වේ. නො කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාවකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය කාලයෙහි කැප වේ. නො කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාමකාලිකය හා මිශ්‍ර වූ සත්තාහකාලිකය පැසුළුයම අවසන තෙක් කැප වේ. පැසුළුයම ඉක්මුනු කල්හි නො කැප වේ. මහණෙනි, එදවස පිළිගත් යාමකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය පැසුළුයම අවසන තෙක් කැප වේ. පැසුළුයම ඉක්මුනු කල්හි නො කැප වේ. මහණෙනි, එ දවස පිළිගත් සත්තාහකාලිකය හා මිශ්‍ර වූ යාවජීවිකය සතියක් කැප වේ. සතිය ඉක්මුනු කල්හි නො කැප වේ” යි.
සවන භේසජ්ජක්ඛන්‍ධකය නිමි.
මේ ඛන්‍ධකයෙහි වස්තු එක්සියසයෙකි.
එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
ශරද්ඍතුවෙහි ලෙඩ, නො කල්හි ගිතෙල් ඈ බෙහෙත්, වුරුණුතෙල්, මුල් හා මුලින් කළ පිටි, කසට හා කොළ, පල ලාටු, ලුණු, අස්බෙටි ද,
සුණු පෙණේරය, අමුමස්, අඳුන්, අඳුන් සාදන ද්‍රව්‍යය, අඳුන්කුලා, රන් ආදියෙන් කළ උසස් අඳුන්කූරු, අඳුන්කූරුකොපු,
ථවිකය, අංසවට්ටකය, හුය, හිසෙහි ලන තෙල්, නස්‍යය, නස්‍යය කරණ ඔරු, ධූමනෙත්තය, පියන, යමකථවිකය,
මද්‍ය මිශ්‍ර තෙල් පිසීම, අධිකමද්‍යතෙල්බිම, තෙල් ඇඟ ගෑම, සැළි, ඩහගැන්වීම, සම්හාරසෙදය, මහාසෙදය, එසේ ම භඞ්ගෝදකය,
දියකොටුව, ලේ බැහැර කිරීම, වක්කම් ඇල්ලීම, පාතෙල් ගැල්වීම, පාදයට හිත තෙල් පිසීම, සැත්කම් කිරීම, කසාවෝදකය, තිලකක්කය, කබලිකය,
වණ බඳින රෙදිකඩ, අබපිටි, දුම් දීම, ලුණුපුපුරෙන් කැපීම, වණතෙල්, වණවැටිය, විකට පිළිගැණීම,
මල පෙවීම, සීතාලෝලිය, ක්‍ෂාරය, ගොමූත්‍රයෙහි ලූ අරළු, ගන්‍ධාලේපය, විරේචනය, අච්ඡකඤ්ජිය, නො කළ යුෂය, කළ නො කළ යුෂය,
මස්රසය, ගුහා පිරිසිදු කිරීම, ආරාමිකයන් පන්සියයක් දීම, උක්සකුරු, මුංඇට, ලුණුකාඩි, සාමපාකය, පුනපාකය,
දුර්භික්‍ෂයෙහි නැවත අනුදැනීම, පල, තල, කෑයුතු දෙය, පෙරබත, කායදාහය, උපුටා හළ බීජ ඇති පල, භගන්‍දරාරෝගය,
වස්තිකර්‍මය, සුප්පියාඋපාසිකාව, මිනීමස්, ඇත්මස්, අස්මස්, බලුමස්, සර්‍පමස්, සිංහමස්, වගමස්, දිවිමස්,
වලස්මස්, කරබානාවලස්මස්, පටිපාටිය, කැඳ, තරුණමහාමාත්‍ය, අන් තැනෙක නො වැළඳීම, උක්සකුරු, සුනීධ–වස්සකාර දෙදෙන, ආවස්ථාගාරය,
ගඞ්ගානදිය, කෝටිග්‍රාමය, චතුස්සත්‍යකථා, අම්බපාලිගණිකාව, ලිච්ඡවීහු, උදෙසා කළ මත්ස්‍යමාංසය, සුභික්‍ෂයෙහි නැවත තහනම් කිරීම,
මේඝය, යසෝජස්ථවිර, මෙණ්ඩක, මාර්ගෝපකරණය හා පස්ගෝරසය, කේණිය, අම්බජම්බු වොච මොච මධු මුද්දික සාලුක ඵාරුසක යන අෂ්ටපාන වර්‍ග, පලාකාළ හා පිටි, ආතුමානුවර, කරනැවෑමි, සැවැත්නුවර දී කෑයුතු පල අනුදැනීම, බීජරෝපණය, ඇතැම් කරුණෙහි සැකය, කාලිකයෙහි විනිශ්චය ද වේ.
කඨිනක්ඛන්‍ධකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
2. එකල්හි පාවානුවරවැසි තිසක් පමණ භික්‍ෂූහු සියල්ලෝ ආරණ්‍යක වූවාහු සියල්ලෝ පිණ්ඩපාතික වූවාහු සියල්ලෝ පංසුකූලික වූවාහු සියල්ලෝ තෙචීවරික වූවාහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට යන්නාහු වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹෙන්නට යෑමට නො හැකි වූහ. අතරමග සාකේතනුවර වස් එළඹියහ.
3. ඔහු “භාග්‍යවතුන් වහන්සේ අපගේ සමීපයෙහි ම මෙයින් සයොදුනක් ගිය තැන්හි වැඩ වසන සේක. අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ලබමු” යි කළකිරුණෝ ම වස් විසූහ.
4. ඉක්බිති වස් වැස නිම කළ ඒ භික්‍ෂූහු තෙමසක් ඇවෑමෙන් පවාරණය කළ කල්හි වැසි වසිද්දී දිය ගැල්මෙන් (වළ ගොඩ) පිරුණු කල්හි ගොහොරු මඩෙහි දියෙන් පිරුණු (තෙමුනු) සිවුරුවලින් යුක්ත ව ක්ලාන්තස්වභාව ඇත්තෝ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
5. භාග්‍යවත් බුදුවරුන්ට ආගන්තුක භික්‍ෂූන් සමග සතුටු වීම පුරුදු ම ය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, කිම, ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, සමගි වූවහු සතුටු වූවහු විවාද නො කරන්නහු පහසුවෙන් වස් වුසූහු ද? ආහාරයෙන් වෙහෙසට පත් නො වූවහු දැ” යි අසා වදාළ සේක.
6. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි සමගි ව සතුටු ව විවාද නො කරමින් වස් වුසුම්හ. ආහාරයෙන් ද වෙහෙසට පත් නො වූම්හ. ස්වාමීනි, මෙහි අපි පාවානුවර වැසි තිසක් පමණ වූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවර එන්නමෝ වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹීමට පැමිණෙන්නට නො හැකි වූම්හ. අතරමග සාකේත නුවර වස් එළඹියෙමු. ඒ අපි ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ සමීපයෙහි ම මෙයින් සයොදුනක් ගිය තැන වැඩ වසන සේක. අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට නො ලබමු’ යි කළකිරුණාහු ම වස් වුසූම්හ. ස්වාමීනි, ඉක්බිති අපි වස් වැස නිම කළෝ තෙමසක් අවෑමෙන් පවාරණය කළ කල්හි වැහි වහිද්දී දිය ගැල්මෙහි ගොහොරු මඩෙහි දියෙන් පිරුණු සිවුරු වලින් යුක්ත ව ක්ලාන්තස්වභාවය ඇත්තමෝ දීර්‍ඝමාර්‍ගයට බැස ආවෙමු” යි.
7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, වස් වැස නිම කළ භික්‍ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි” යි “මහණෙනි, ඇතිරූ කඨිනය ඇති (කෙළින් සිවුරු අතුළ) භික්‍ෂූන්ට අනාමන්තවාරය (නො විචාරා ගම් වැදීම), අසමාදානචාරය (තුන් සිවුරු නො ගෙණ යෑම), ගණභෝජනය (සමූහ භෝජනය), කැමැති පමණ සිවුරු පිළිගැණීම, එහි කඨිනය ඇතිරූ වෙහෙරෙහි යම්තාක් සිවුරු ලැබීමෙක් වේ ද, එය ද ඔවුන්ට (අයත්) වන්නේ ය යන පස කැප වන්නේ ය. මහණෙනි, අතුළ කඨිනය ඇති භික්‍ෂූන්ට මේ පස කැප වන්නේ ය.
8. මහණෙනි, කඨිනය මෙසේ ඇතිරිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය.
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට මේ කඨිනවස්ත්‍රයක් ලැබුනේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙන්නේ ය. මේ දැන්වීම ය.
“ස්වාමීනි සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට මේ කඨින වස්ත්‍රයක් ලැබුනේ ය. සඞ්ඝ තෙමේ මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ කඨින වස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දීම රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වන්නේ ය. යම් ආයුෂ්මතකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියන්නේ ය.
“සඞ්ඝයා විසින් මේ කඨිනවස්ත්‍රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙන ලද්දේ ය. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.
9. මහණෙනි, කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේ ද, ලකුණු කළ (සිවුරේ දිග පළල ගත්) පමණින් කඨිනය නො අතුළේ වේ. වස්ත්‍රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ. හිස් (බොරු) නූල් ඇදීම් පමණින් කඨිනය නො අතුළේ වේ. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. අතු බැඳුම් (මූට්ටු කිරීම්) පමණින් කඨිනය නො අතුළේ වේ. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. පිට නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. ඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. අමුතු රෙදිපටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ. මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. අනුසස් කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. තැන්පත් කොට (එදින ම නො මසා) තුබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. (රැය ඉක්ම යෑමෙන්) නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. කප්බිඳු නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. සඟළ සිවුර හැර, උතුරුසඟ සිවුර හැර, අඳනය හැර (අනෙක් වස්ත්‍රයකින්) කඨිනය නො අතුළේ වේ. එදවස ම කපන ලද මැඩිලි සහිත කරණ (මැඩිලි දක්වා මසන) ලද කඩපසක් හෝ වැඩියක් හෝ කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වේ. පුද්ගලයකුගේ ඇතිරීමෙන් හැර (සඞ්ඝයාගේ හෝ ගණයාගේ ඇතිරීමෙන්) කඨිනය නො අතුළේ වේ. කඨිනය මනා කොට ම අතුරණ ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වේ. මහණෙනි, මෙසේ කඨිනය නො අතුළේ වේ.
(ආකාර සූවිස්සෙකි.)
10. මහණෙනි, කඨිනය කෙසේ අතුරණ ලද්දේ වේ ද? අළුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අළුත් වස්ත්‍රයට සමාන වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. රෙදි කැබලිවලින් කළ සිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. පංසුකූලික (වශයෙන් ලත්) වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සල්පිල්දොරටුවෙහි හැර දැමූ (අහුලාගත්) වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. හැඟවීමක් නැති ව ලත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අනුසස් නො කීමෙන් ලද වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. තාවකාලික නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සන්නිධි (තැන්පත්) කොට නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. නිසඟි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. කප්බිඳු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. සඟළසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. උතුරුසඟසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. අඳනාසිවුරෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. එදවස ම කපන ලද මැඩිලි සහිත කරණ ලද අතු පසක් ඇති පසට වැඩි වූ හෝ අතු ඇති සිවුරකින් කඨිනය අතුරණ ලද්දේ වේ. පුද්ගලයකුගේ ඇතිරීමෙන් කඨිනය අතුරණ ලද්දේ වේ. කඨිනය මනා කොට (නියමය අනු ව ම) අතුරණ ලද්දේ ද, එය සීමාවෙහි සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේත් කඨිනය අතුරණ ලද්දේ වේ. මහණෙනි, කඨිනය මෙසේ අතුරණ ලද්දේ වේ.
[ආකාර සතළොස]
1. මහණෙනි, කඨිනය කෙසේ (පඤ්චානිසංස නො ලැබෙන සේ) උදුරණ ලද්දේ වේ ද? මහණෙනි, කඨිනය ඉදිරීමට පක්කමනන්නතිකා නිට්ඨානන්තිකා සන්නිට්ඨානන්තිකා නාසනන්තිකා සවණන්තිකා ආසාවච්ඡේදිකා සීමාතික්කන්තිකා සහුබ්භාරා යි මේ මාතෘකා අටෙකි.
2. කෙළින් අතුළ මහණ තෙමේ නිම කළ සිවුර ගෙණ “පෙරළා නො එන්නෙමි” යි ඒ ආවාසයෙන් බැහැර යෙයි. ඒ මහණහුට පක්කමනන්තික (බැහැර යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය (කඨිනබලය ඉදිරී යෑම)) වේ. (1)
3. අතුළ කඨින ඇති මහණ තෙමේ (නො කළ) සිවුර (වස්ත්‍රය) ගෙණ බැහැර යෙයි. සීමාවෙන් බැහැර වෙන වෙහරකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට නිට්ඨානන්තික (සිවුර නිම කිරීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (2)
4. අතුළ කඨින ඇති මහණ තෙමේ වස්ත්‍රය ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සන්නිට්ඨානන්තික (සනිටුහන් කිරීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (3)
5. අතුළ කඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඔහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නාසනන්තික (නැසීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (4)
6. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට සවණන්තික (ඇසීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ. (5)
7. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර ගෙණ පෙරළා එන්නෙමි” යි බැහැර යයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාතික්කන්තික (චීවර කාල සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති) කඨිනුද්ධාරය වේ.
8. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුරු ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග (= සහුබ්භාර) කඨිනුද්ධාරය වේ. (7)
ආදායසත්තකය නිමි.
1. අතුළකඨින ඇති මහණ තෙමේ නිම කළ සිවුර රැගෙණ “පෙරළා නො එන්නෙමි” යි බැහැර යෙයි. ඒ මහණහුට බැහැර යෑම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
2. අතුළකඨින ඇති මහණ තෙමේ (නො කළ) සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)
3. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
4. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නසියි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
5. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුර ඇති ඒ මහණ තෙමේ ඒ ආවාසයෙහි “කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
6. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉකුත් වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (6)
7. අතුළකඨින ඇති මහණ තෙමේ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. නිම කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (7)
සමාදායසත්තකය නිමි.
1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ඉක්මවයි. ඒ මහණහුට සීමාව ඉකුත්වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)
6. ඇතිරූ කඨිනය ඇති මහණ තෙමේ අඩාළ සිවුර ගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුර ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනුද්ධාරයට පැමිණේ. ඒ මහණහුට භික්‍ෂූන් සමග කඨිනුද්ධාරය වේ. (6)
ආදාය ඡක්කය නිමි.
1. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුට සිවුර නිම කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (1)
2. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මේ සිවුර නො කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණහුට සනිටුහන් කිරීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (2)
3. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණහුට “මෙහි දී ම මේ සිවුර කරවන්නෙමි. පෙරළා නො එන්නෙමි” යි මෙසේ අදහස් වේ. ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. ඒ මහණහුගේ කරණු ලබන ඒ සිවුර නැසෙයි. ඒ මහණහුට නැසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (3)
4. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුරු රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “ඒ ආවාසයෙහි කඨිනය උදුරණ ලද්දේ ල” යි අසයි. ඒ මහණහුට ඇසීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (4)
5. ඇතිරූ කඨින ඇති මහණ තෙමේ අඩාළ කළ සිවුර රැගෙණ “පෙරළා එන්නෙමි” යි බැහැර යෙයි. බැහැර සීමාවකට ගියා වූ ඒ මහණ තෙමේ ඒ සිවුර කරවයි. කළ සිවුරු ඇති ඒ මහණ තෙමේ “පෙරළා එන්නෙමි. පෙරළා එන්නෙමි” යි කඨිනයාගේ ඉදිරීම තෙක් බැහැර කල් ගෙවයි. ඒ මහණහුට සීමාව ඉකුත් වීම අවසන් කොට ඇති කඨිනුද්ධාරය වේ. (5)