36. එවිට සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙයින් සියතින් සතප්වා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැරට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන් මේ ගාථාවලින් අනුමෝදනා කළ සේක.
37. “යම් පෙදෙසක පණ්ඩිත වූවෙක් වාසය කෙරේ නම්, එහි සිල්වත් සංයත වූ බ්‍රහ්මචාරීන් වළඳවා–
38. එහි යම් දේවතාවෝ වූවාහු ද, ඔවුනට පින් දෙන්නේ ය. (මෙසේ) පුදන ලද දෙවියෝ ඔහු ද පුදත්. බුහුමන් කරණ ලද දෙවියෝ ඔහුට බුහුමන් කරත්.
39. එයින්, මවු තොමෝ ලෙහි හොවා වඩන පුතුට මෙන්, ඔහුට අනුකම්පා කෙරෙත්. දෙවියන් විසින් අනුකම්පා කරණ ලද පුරුෂ තෙමේ සියලු කල්හි යහපත දකි යි.
40. භාග්‍යවතුන් වහන්සේ සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන් මේ ගාථාවලින් අනුමෝදනා කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. එකල්හි සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයෝ “අද ශ්‍රමණ ගෞතම තෙමේ යම් දොරකින් නික්මෙන්නේ ද, ඒ දොර ගෞතමද්වාර නම් වන්නේ ය. යම් තොටකින් ගඞ්ගානදිය තරණය කරන්නේ ද, ඒ තොට ගෞතමතීර්‍ත්‍ථ නම් වන්නේ ය” යි භාග්‍යවතුන් වහන්සේගේ පිටිපස ලුහු බැන්දාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරකින් නික්මුනු සේක් ද, ඒ දොර ගෞතමද්වාර නම් වි ය. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදිය වෙතට එළඹි සේක. එකල්හි ගඞ්ගානදිය ගංඉවුර සම ව පිරුණේ වෙයි. කවුඩන් විසින් පිව හැකි වේ. මෙ ගොඩින් එ ගොඩට යනු කැමැති වූ මිනිස්සු සමහරු නැව් සොයත්. සමහරු (දඬු) පහුරු සොයත්. සමහරු (උණ බට ආදියෙන්) පහුරු බඳිත්.
41. භාග්‍යවතුන් වහන්සේ මෙ ගොඩින් එ ගොඩට යනු කැමැති වූ මිනිසුන්, නැව් සොයන සමහරුන්, පහුරු සොයන සමහරුන්, පහුරු බඳින සමහරුන් දුටු සේක. දැක, බලවත් පුරුෂයෙක් හැකිළූ අත යම් සේ දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අත යම් සේ හකුළන්නේ හෝ වේ ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදියෙහි මෙ ගොඩ ඉවුරෙහි අතුරුදහන් වූ සේක් එ ගොඩ ඉවුරෙහි භික්‍ෂුසඞ්ඝයා සමග පහළ වූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනූසේක.
42. “යම් කෙනෙක් දියවතුරු හැර ගැඹුරු වූ (තෘෂ්ණා) නදිය ම තරණය කෙරෙත් ද, ඔහු ආර්‍ය්‍යමාර්‍ගය හෙය කොට එය තරණය කෙරෙත්. මහාජන තෙමේ දියත්තක් තරණය කිරීමට ද පහුරු බඳියි. නුවණැති බුද්ධාදිජනයෝ පහුරක් නැති ව ම එතෙර වූවාහු ය.”
43. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි කෝටිග්‍රාමයෙහි වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මා විසින් ද තොප විසින් ද චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගු කලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරිසරණ ලද්දේ ය. කවර සතරක් අවබෝධ ප්‍රතිවේධ නො කිරීමෙන් ද? යත්: ‘මහණෙනි, මා විසින් ද, තොප විසින් ද දුඃඛාර්‍ය්‍යසත්‍යය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගුකලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරි සරණ ලද්දේ ය. මා විසින් ද තොප විසින් ද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය –පෙ– දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය –පෙ– දුඃඛනිරෝධගාමිනීප්‍රතිදාර්‍ය්‍යසත්‍යය අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මේ දිගු කලක් මෙසේ ධාවනය කරණ ලද්දේ ය. සැරි සරණ ලද්දේ ය. මහණෙනි, ඒ මේ දුඃඛ්‍යාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛසමුදයාර්‍ය්‍යාසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණ ලද්දේ ය. ප්‍රතිවේධ කරණ ලද්දේ ය. භවතෘෂ්ණාව සිඳින ලද්දී ය. භවනෙත්තිය ක්‍ෂය කරණ ලද්දී ය. දැන් පුනර්‍භවයෙක් නැත්තේ ය” යි භික්‍ෂූන්ට වදාළ සේක:
44. “චතුරාර්‍ය්‍යසත්‍යයන් තත් වූ පරිදි නො දැක්මෙන් ම දිගු කලක් ඒ ඒ ජාතීන්හි සැරිසරණ ලද්දේ ය.
45. ඒ මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයෝ දක්නා ලදහ. භවනෙත්තිය නසන ලද්දී ය. දුකෙහි මුල් සිඳින ලද්දේ ය. දැන් නැවැත ඉපැත්මෙක් නැත්තේ ය.”
46. අම්බපාලී නම් ගණිකා තොමෝ “භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක් ල” යි ඇසූ ය. ඉක්බිති අම්බපාලී ගණිකා තොමෝ හොඳ හොඳ යානයන් යොදවා හොඳ යානයකට නැගී හොඳ හොඳ යානාවලින් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස විශාලාමහනුවරින් නික්ම ගියා ය. යානයෙන් යා හැකි බිම යම් පමණ ද, එපමණ තැන් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියා ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නී ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් අම්බපාලී ගණිකාව දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද අම්බපාලී ගණිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත පිළිගන්නා සේක්වා” යි සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලී ගණිකා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට සකසා වැඳ පැදකුණු කොට ගියා ය.
47. විශාලාමහනුවර වැසි ලිච්ඡවීහු “භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයට වැඩි සේක් ල” යි ඇසූහ. ඉක්බිති විශාලාමහනුවර වැසි ලිච්ඡවීහු හොඳ හොඳ යානයන් යොදවා හොඳ හොඳ යානයන්ට නැගී හොඳ හොඳ යානයන්ගෙන් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දක්නට විශාලාමහනුවරින් නික්ම ගියහ. ඇතැම් ලිච්ඡවීහු නිල් වෙත්. නිල්පැහැ ඇත්තෝ වෙත්. නිල්වත් ඇත්තෝ වෙත්. නිල්අබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු රන්වන් වෙත්. රන්වන් පැහැ ඇත්තෝ වෙත්. රන් වන් වත් ඇත්තෝ වෙත්. රන්වන් අබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු රතු වෙත්. රතුපැහැ ඇත්තෝ වෙත්. රතුවත් ඇත්තෝ වෙත්. රතුඅබරණ ඇත්තෝ වෙත්. ඇතැම් ලිච්ඡවීහු සුදු වෙත්. සුදුපැහැ ඇත්තෝ වෙත්. සුදුවත් ඇත්තෝ වෙත්. සුදුඅබරණ ඇත්තෝ වෙත්.
48. ඉක්බිති අම්බපාලීගණිකා තොමෝ තරුණලිච්ඡවීන්ගේ රියහිස රියහිසෙන් ද වියදණ්ඩ වියදණ්ඩෙන් ද චක්‍රය චක්‍රයෙන් ද අකුර අකුරෙන් ද ගැටුවා ය. ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලී ගණිකාවට “කෙල්ල අම්බපාලි, කුමක් හෙයින් අපගේ ලිච්ඡවී තරුණයන්ගේ රියහිස රියහිසෙන් වියදණ්ඩ වියදණ්ඩෙන් චක්‍රය චක්‍රයෙන් අකුර අකුරෙන් ගැටුවා දැ” යි ඇසූහ. “ආර්‍ය්‍යපුත්‍රයෙනි, එසේ ම ය. මා විසින් හෙට බතට බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ” යි. “කෙල්ල, අම්බපාලි, ලක්‍ෂයකින් (ලක්‍ෂයක් ගෙණ) මේ බත අපට දෙව”. “ආර්‍ය්‍යපුත්‍රයෙනි, ඉදින් ජනපද සහිත වූ විශාලාමහානගරය මට දෙන්නහු ද, මම ඒ බත නො ම දෙන්නෙමි” යි.
49. ඉක්බිති ඒ ලිච්ඡවීහු “භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු. භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු” යි අසුර ගැසූහ.
50. ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ඒ ලිච්ඡවීන් දුර දී ම දුටු සේක. දැක භික්‍ෂූන් අමතා “මහණෙනි, යම් භික්‍ෂූන් විසින් තව්තිසාවැසි දෙවියෝ පෙර නො දක්නා ලද්දෝ ද, මහණෙනි, (ඒ තෙපි), ලිච්ඡවීපිරිස බලවු. මහණෙනි, ලිච්ඡවීපිරිස බලවු. ලිච්ඡවීපිරිස තව්තිසාපිරිස ය යි සලකවු” යි වදාළ සේක.
51. ඉක්බිති ඒ ලිච්ඡවීහු යානයෙන් යා හැකි බිම යම් පමණ ද, එපමණ යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ ලිච්ඡවීන්ට දැහැමි කතාවෙන් කරණු දැක්වූහ. (එහි ඔවුන්) සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා සමග හෙට අපේ බත ඉවසන සේක්වා” යි සැළකළහ. “ලිච්ඡවීනි, අම්බපාලිගණිකාව විසින් හෙට බත පිණිස ආරාධිත වෙමි” යි (වදාළසේක). ඉක්බිති ඒ ලිච්ඡවීහු “භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු. භවත්නි, ගැහැණියක විසින් පරදවන ලද්දෝ වෙමු” යි අසුර ගැසූහ. එකල්හි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේගේ භාසිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ.
52. භාග්‍යවතුන් වහන්සේ කෝටිග්‍රාමයෙහි කැමැති තාක් කල් වාසය කොට නාතිකාගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි නාතිකාගමෙහි ගඩොළින් කළ හෙයින් ගිඤ්ජකාවසථ නම් වූ ගෙඩිගෙයි වැඩ වසන සේක. ඉක්බිති අම්බපාලිගණිකාව ඒ රෑ ඉක්ම යෑමෙන් පසු සිය අරමෙහි ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා “ස්වාමීනි, කාලය වේ. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් සැළකරවූ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ අම්බපාලිගණිකාවගේ පරිවේසනයට (බොජුන්හලට) වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
53. ඉක්බිති අම්බපාලිගණිකාව බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නී ය. පසෙක හුන් අම්බපාලිගණිකාව භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම මේ අඹඋයන බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාට දෙමි” යි සැළකළා ය. භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත් සේක.
54. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිගණිකාව දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට මහාවනයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විශාලාමහනුවර මහාවනයෙහි වූ කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක.
ලිච්ඡවීබණවර තෙවැනිය.
1. එකල්හි ඉතා ප්‍රසිද්ධ වූ (වැදගත්) ලිච්ඡවීහු සන්‍ථාගාර (රැස්වීම්) සාලාවෙහි රැස් ව නොයෙක් කරුණෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්.
2. එවේලෙහි නිර්ග්‍රන්‍ථශ්‍රාවක වූ සීහසේනාපති තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වේ. ඉක්බිති සීහසේනාපතිහුහට “නිසැකයෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. එහෙයින් ම මේ ඉතා ප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නෝ නොයෙක් අයුරින් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයේ ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. මම රහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට එළඹෙන්නෙම් නම්, යෙහෙකැ” යි සිතෙක් වි ය.
3. ඉක්බිති සීහසේනාපති තෙමේ නිර්ග්‍රන්‍ථඥාත පුත්‍රයා වෙත ගියේ ය. ගොස් නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයා සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සීහසේනාපති තෙමේ නිර්ග්‍රන්‍ථඥාතපුත්‍රයාහට “ස්වාමිනී, මම ශ්‍රමණ ගෞතමයන් දක්නට යෑමට කැමැත්තෙමි” යි කීයේ ය. “සීහය, ක්‍රියාවාදී වූ තෝ අක්‍රියාවාදී වූ ශ්‍රමණ ගෞතමයන් දක්නට කුමක් නිසා එළඹෙන්නෙහි ද? සීහය, ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාදී ය. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවයි”. එකල්හි සීහසේනාපතිහුහට භාග්‍යවතුන් වහන්සේ දැකීමට යෑමෙහි යම් උත්සාහයෙක් වී ද, එය සංහිඳී ගියේ ය.
4. දෙවනු ද –පෙ– තෙවනු ද ඉතා ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නාහු නොයෙක් කරුණෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. තෙවනු ද සීහසේනාපතියාහට “ඒ භාග්‍යවතුන් වහන්සේ නිසැකයෙන් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. එබැවින් ම මේ ඉතා ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස් ව හුන්නාහු නොයෙක් අයුරින් බුදුන්ගේ ගුණ කියත්. ධර්‍මයෙහි ගුණ කියත්. සඞ්ඝයාගේ ගුණ කියත්. නිගණ්ඨයෝ විචාරණ ලද්දෝ හෝ නො විචාරණ ලද්දෝ හෝ මාහට කුමක් කරන්නාහු ද? මම නිගණ්ඨයන් නො විචාරා ම රහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස යන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.
5. ඉක්බිති සීහසේනාපති තෙමේ රිය පන්සියයකින් යුක්ත ව ඉරමුදුන් දවල් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස විශාලාමහානගරයෙන් නික්ම ගියේ ය. යානයෙන් යා යුතු සීමාව යම් පමණ ද, (එපමණ) යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වන්සේට “ස්වාමිනී, ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාදී වේ. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ශ්‍රාවකයන් ද හික්මවා’ යි මා විසින් මෙය අසන ලද්දේ ය. ස්වාමිනී, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියවාදී වේ. නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ශ්‍රාවකයන් ද හික්මවා’ යි. මෙසේ කීහු ද, ස්වාමිනී, කිමෙක් ද, ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහු ද? භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් ගටා නො කියත් ද? කාරණයට එකඟ වූවක් ප්‍රකාශ කෙරෙත් ද? (එයින්) කරුණු සහිත වූ කිසියම් වාදයෙක් හෝ අනුවාදයෙක් ගැරහිය යුතු තැනට නො පැමිණේ ද? ස්වාමිනී, අපි භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් ගටා චෝදනා නො කරණු කැමැත්තෝ ම වෙමු” යි (සැළකෙළේ ය).
6. “සීහය, මැනවින් (ඇතිසැටි) කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
7. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
8. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
9. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
10. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශ කරන්නේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
11. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් “ශ්‍රමණ ගෞතම තෙමේ තපස් ඇත්තේ (තවන්නේ) තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
12. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ හීන වූ ගැබ් ඇත්තේ (ගර්‍භාවාස – ඉපදීම් නැත්තේ) ගැබ් (ඉපදීම) පහ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
13. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අස්වැසුනේ අස්වැසුම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, එබඳු ක්‍රමයෙක් ඇත්තේ ය.”
14. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වචීදුච්චරිතය මනෝදුච්චරිතය නො කිරීම කියමි. (සෙසු) නානාවිධ ලාමක අකුශල ධර්‍මයන් නො කිරීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අක්‍රියාවාද ඇත්තේත් නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
15. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායසුචරිතය වචීසුචරිතය මනෝසුචරිතය කිරීම කියමි. නානාවිධ කුශලධර්‍මයන්ගේ කිරීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ක්‍රියාවාද ඇත්තේ කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
16. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම රාගයාගේ දෝසයාගේ මෝහයාගේ සිඳීම කියමි. නානාවිධ ලාමක අකුශලධර්‍මයන්ගේ සිඳීම කියමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ උච්ඡේදවාද ඇත්තේ සිඳ ලීම පිණිස දහම දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
17. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වචීදුච්චරිතය මනෝදුච්චරිතය පිළිකුල් කරමි. නානාවිධ ලාමක වූ අකුශලධර්‍මයන්ගේ ඉපදීම පිළිකුල් කරමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ පිළිකුල් කරන්නේ පිළිකුල්බව පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නෙන් නම්, මේ ඒ ක්‍රමය වේ.”
18. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශ කරන්නේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම රාගය දෝසය මෝහය වැනසීම පිණිස දහම් දෙසමි. නානාවිධ ලාමක අකුශලධර්‍මයන්ගේ විනාශය පිණිස දහම් දෙසමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ විනාශකාර වූයේ විනාශය පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
19. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තවන්නේ තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම කායදුච්චරිතය වවීදුච්චරිතය මනෝදුච්චරිතය තැවිය යුතු වූ ලාමක අකුශලධර්‍මය යි කියමි. සීහය, යමකුගේ තැවිය යුතු වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ වූවාහු ද, සිඳින ලද මුල් ඇත්තාහු ද, මුදුන සිඳ දැමූ (නැවත නො වැඩෙන) තල්ගසක් සේ කරණ ලද්දාහු ද, පසු ව නූපදනා සේ විනාශයට පමුණුවන ලද්දාහු ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තාහු ද, මම ඔහු තපස්සී යි කියමි. සීහය තථාගතයන් වහන්සේගේ තැවිය යුතු වූ ලාමක වූ අකුශලධර්‍මයෝ ප්‍රහීණ වූහ. සිඳින ලද මුල් ඇත්තාහ. මුදුන සිඳ දැමූ තල්ගසක් සේ කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තාහ. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ තවන්නේ තැවීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
20. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ගැබ් නැත්තේ ගැබ් නැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, යමකුගේ මතු ගැබෙක හොවීම (මවුකුස විසීම) නැවැත භවයක ඉපදීම ප්‍රහීණ වී ද, සිඳ දැමූ මුල් ඇත්තේ ද, මුදුන සිඳ දැමූ නැවත හට නො ගන්නා තල්ගසක් සේ කරණ ලද්දේ ද, අභාවයට පමුණුවන ලද්දේ ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ද, මම ඔහු අපගබ්භ ය යි කියමි. සීහය, තථාගතයන්ගේ මතු මවුකුස විසීම නැවැත භවයෙක ඉපදීම ප්‍රහීණ වී ය. සිඳින ලද මුල් ඇත්තේ ය. මුදුන සිඳ දැමූ තල්ගසක් සේ කරණ ලද්දේ ය. අභාවයට පමුණුවන ලද්දේ ය. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ය. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ ගැබ් නැත්තේ ගැබ් නසනු පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
21. “සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අස්වැසුනේ අස්වැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, ඒ ක්‍රමය කවරේ ද? සීහය, මම උතුම් වූ (සිවුමගපල) අස්වැසීමෙන් සැනසුනේ වෙමි. අස්වැසීම පිණිස දහම් දෙසමි. එයින් ම ශ්‍රාවකයන් හික්මවමි. සීහය, මැනවින් කියන්නෙක් යම් ක්‍රමයකින් ‘ශ්‍රමණගෞතමතෙමේ අස්වැසුනේ අස්වැසීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවා’ යි මට කියන්නේ නම්, මේ ඒ ක්‍රමය වේ.”
22. මෙසේ වදාළ කල්හි සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමිනී, ඉතා යහපත් ය. ස්වාමිනී, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්ගෙන් ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි ගනඳුරෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දහම් දෙසන ලද්දේ ය. ස්වාමිනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද, නව ලෝකෝත්තර ධර්‍මය ද, අෂ්ටාර්‍ය්‍යපුද්ගල භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වා” යි සැළ කෙළේය.
23. සීහය, දැන (සිතා බලා) ක්‍රියා කරව, තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට සලකා බලා ක්‍රියා කිරීම සුදුසු වේ. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ “සීහය, දැන ක්‍රියා කරව. තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට සලකා බලා කිරීම සුදුසු වේ” යි මෙසේ මට යම් වචනයක් වදාළ සේක් ද, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනයෙන් ඉතා බොහෝ සේ සතුටු වූයෙම් ඇලුනෙම් වෙමි. “ස්වාමිනී, අන්‍යතීර්‍ත්‍ථකයෝ (නම්) මා වැනි ශ්‍රාවකයකු ලැබ ‘සීහසේනාපති තෙමේ අපගේ ශ්‍රාවකභාවයට පැමිණියේ’ යි මුළු විශාලා මහනුවර දද නංවා (හඬ නගා) ඇවිදින්නාහු ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, දැන ක්‍රියා කරව. තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට දැන කිරීම සුදුසු වේ’ යි මට මෙසේ වදාළ සේක. ස්වාමිනී, මේ මම දෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ද, නවලෝකෝත්තරධර්‍මය ද, අෂ්ටර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වා.”
24. සීහය, තොපගේ කුලය (නිවෙස) බොහෝ කලක් නිඝණ්ඨයන්ට පැන් පොකුණක් සේ සිටියේ ය. එහෙයින් (තොප) වෙත පැමිණි නිඝණ්ඨයන්ට පිණ්ඩාහාරය දිය යුතු ය යි සිතව”. (බුදුන් සරණ ගිය මුත් නිඝණ්ඨයන් පැමිණි කල ඔවුන්ට දෙන දෑ නො සිඳ දිය යුතු ම ය යි යූ සේ යි.) ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ‘සීහය, තොපගේ කුලය බොහෝ කලක් නිඝණ්ඨයන්ට පැන්පොකුණක් සේ වීය. එහෙයින් වෙත පැමිණි නිඝණ්ඨයන්ට පිඬු දිය යුතු ය යි සිතව’ යි මට යම් වචනයක් වදාළ සේක් ද, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනයෙන් ද ඉතා බොහෝ සේ සතුටු වූයෙම් ඇලුනෙම් වෙමි.
25. ස්වාමිනී, “ශ්‍රමණ ගෞතම තෙමේ ‘මට ම දන් දිය යුතු ය. අන්හට දන් නො දිය යුතු ය. මාගේ ම ශ්‍රාවකයන්ට දන් දිය යුතු ය. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දන් නො දිය යුතු ය. මට ම දෙන ලද්ද මහත්ඵල ඇත්තේ ය. අන්හට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ නො වේ. මාගේ ම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ ය. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ නො වේ” යි මෙසේ වදාරන්නේ ය” යි මා විසින් අසන ලද්දේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ නිගණ්ඨයන් කෙරෙහි ද දීමෙහි මා සමාදන් කරවන සේක. (මෙහෙයවන සේක). ස්වාමිනී, වේවා; අපි මෙහි කල් දන්නෙමු. ස්වාමිනී, මේ මම තෙවනු ද භාග්‍යවතුන් වහන්සේ ද, නවලෝකොත්තරධර්‍ම ය ද අෂටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද, සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයකු කොට මා දරණ සේක්වායි.
26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සීහසේනාපතිහුහට දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීමට හේතු වන බව යන පිළිවෙළකථාව වදාළසේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක සීහසේනාපතියා සුදුසු සිත් ඇතැ යි, මොළොක් සිත් ඇතැ යි, නීවරණ රහිත වූ සිත් ඇතැ යි, ඔදවැඩි සිත් ඇතැ යි, පහන් සිත් ඇතැ යි, දත් සේක් ද, එකල බුදුවරුන්ගේ තමන් (=ස්වභාවයෙන්) ම උත්කෘෂ්ට වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන මේ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එසේ ම සීහසේනාපතිහුහට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදි රජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
27. ඉක්බිති දක්නා ලද දහම් ඇති පැමිණ දහම් ඇති අවබෝධ කළ දහම් ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි, බුදුදහමෙහි අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ සීහසේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසන සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. අනතුරු ව සීහ සේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
28. ඉක්බිති සීහසේනාපති තෙමේ “සගය, යව, ප්‍රවෘත්තමාංස (විකුණන මස්) තිබේ දැ යි දනුව” යි එක්තරා පුරුෂයකුට ඇණවී ය. නැවැත සීහසේනාපති තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු වූ බිදිය යුතු වූ දෙය පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමිනී, මේ කාල ය යි. බත් නිමියේ” යි කල් සැළකරවී ය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ සීහසේනාපතියාගේ නිවෙසට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
29. එසමයෙහි බොහෝ නිගණ්ඨයෝ විශාලාමහනුවර වීථියෙන් වීථියෙහි සතරමංසන්‍ධියෙන් සතරමංසන්‍ධියෙහි (සිටගෙණ) දෙඅත් ඔසොවා ගෙණ “අද සීහසේනාපතියා විසින් තරබාරු සිවුපාවකු මරා ශ්‍රමණ ගෞතමයාට බත් කරණ ලද්දේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ තමන් උදෙසා කළ (මරණ ලද) තමන් නිමිති කොට (කන්නා විසින් ද ස්පර්‍ශ කරණ ප්‍රාණඝාතකර්‍ම) ඇති ඒ මස් දැන ගෙණ වළඳා” යි විලාප (අඳෝනා) කියත්.
30. එවිට එක්තරා පුරුෂයෙක් සීහසේනාපතියා වෙතට ගියේ ය. ගොස් සීහසේනාපතියාට “ස්වාමිනී, දන්නෙහි ද? මේ බොහෝ නිගණ්ඨයෝ විශාලාමහනුවර වීථියෙන් වීථියට සතරමංසන්‍ධියෙන් සතරමංසන්‍ධියට පැමිණ ‘අද සීහසේනාපතියා විසින් තරබාරු සිවුපාවකු මරා ශ්‍රමණ ගෞතමයාහට බත් කරණ ලද්දේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ තමන් උදෙසා කළ තමන් නිමිති කොට ඇති ඒ මස් දැන ගෙණ වළඳා’ යි දෙඅත් ඔසොවා ගෙණ අඳෝනා කියත්” යි කණ ලඟ (කොඳුරා) දැන්වී ය.
31. “පින්වත, කම් නැත. ඒ ආයුෂ්මත්හු බොහෝ කලක් ම බුදුන්ගේ අගුණ කියනු කැමැත්තෝ ය. ධර්‍මයෙහි අගුණ කියනු කැමැත්තෝ ය. සඞ්ඝයාගේ අගුණ කියනු කැමැත්තෝ ය. ඒ භාග්‍යවතුන් වහන්සේට නැත්තා වූ හිස් වූ බොරු වූ අවිද්‍යාමාන වූ කරුණකින් ගටා කියන්නා වූ ඒ ආයුෂ්මත්හු නො දිරත්, (චෝදනාවෙහි කෙළවරට නො පැමිණෙත්.) අපි ජීවිතහේතුවෙන් වත් දැන දැන ප්‍රාණයකු ජීවිතයෙන් තොර නො කරන්නෙමු.”
32. ඉක්බිති සීහසේනාපති තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැරට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් සීහසේනාපතියා දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, දැන දැන තමන් උදෙසා කළ මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. “මහණෙනි, තමන් විසින් නො දුටු, නො ඇසූ, සැක නො කළ, ත්‍රිකෝටිකපරිශුද්ධ මත්ස්‍යමාංස අනුදනිමි”.
34. එකල්හි විශාලාමහනුවර සුලභ වූ භික්‍ෂා ඇත්තේ යහපත් සස්‍ය ඇත්තේ සුව සේ ලැබිය හැකි ආහාර ඇත්තේ පාත්‍රය ගෙණ පිඬු සිඟා යෑමෙන් යැපීමට පහසු වූයේ වේ.
35. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි මෙබඳු කල්පනාවෙක් පහළ වි ය: “භික්‍ෂා නැති සස්‍ය නැති දුර්‍ලභ වූ පිඬු ඇති කාලයෙහි – ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද්ද, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරුයෙහි පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය. පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද භික්‍ෂූහු ඒ දෑ අදත් පරිභෝග කෙරෙත්දැ” යි (කියායි).
36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටි සේක් “ආනන්‍දය, භික්‍ෂා නැති සස්‍ය නැති පිඬු දුර්‍ලභ වූ කාලයෙහි ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරු පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද භික්‍ෂූහු ඒ දෑ අදත් වළඳත් දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, වළඳත්” යි අනඳ තෙරහු සැළකළහ.
37. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, භික්‍ෂා නැති සස්‍ය නැති දුර්‍ලභ වූ පිඬු ඇති කාලයෙහි – ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරුයෙහි පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය, පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද, මම අද පටන් ඒ දෑ ප්‍රතික්‍ෂේප කරමි. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, වළඳා අවසන් කළ පවාරණය කළ මහණහු විසින් වැළඳූ තැනින් ගෙනෙණන ලද, පෙරවරුයෙහි පිළිගන්නා ලද, වනයෙහි හටගත් පියුම්ගසෙහි හටගත් අනතිරික්ත වූ, දෙය නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය” යි.
38. එකල්හි දනවුවැසි මිනිස්සු බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෑ ද ගැල්වල පටවා ගෙණ අරම්කොටුවෙන් පිටත ගැල්වට තබා “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙමු ද එවිට බත් පිළියෙල කරන්නෙමු” යි බලා සිටිත්. මහාමේඝයෙක් ද නැගුනේ වෙයි.
39. ඉක්බිති ඒ මිනිස්සු ආයුෂ්මත් අනඳ තෙරුන් වෙතට ගියහ. ගොස් “ස්වාමිනී, ආනන්‍දස්ථවිරයන් වහන්ස, මෙහි බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෑ ද ගැල්වල පටවා තිබේ. මහා මේඝයෙක් ද නැංගේ ය. ස්වාමිනී, ආනන්‍දස්ථවිරයන් වහන්ස, කුමක් කළ යුතු දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් විචාළහ.
40. එවිට ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, එසේ නම් සඞ්ඝ තෙමේ යම් වෙහෙරක් හෝ අඩපියසි ඇති ගෙයක් හෝ පහයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ යන යම් තැනක් කැපබිමක් කිරීමට කැමැති වේ ද, එබඳු පසු පසෙක පිහිටි විහාරයක් කැපබිම සේ සම්මත කොට එහි තැන්පත් කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමිනී, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැපබිම කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමිනී, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැප බිම කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙනම් විහාරය කැපබිමක් කොට සම්මත කිරීම රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැපබිම කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.
41. එකල්හි මිනිස්සු එහි ම – සම්මත කරණ ලද කැපබිමෙහි කැඳ පිසත්. බත් පිසත්. ව්‍යඤ්ජන සපයත්. මස් කපත්. දර පළත්.
42. භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගී සිට උස්හඬ මහහඬ කවුඩුහඬ ඇසූ සේක. අසා “ආනන්‍දය, ඒ උස්හඬ මහහඬ කවුඩුහඬ කිමැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විචාළ සේක. “ස්වාමිනී, මිනිස්සු දැන් සම්මත භූමියෙහි ම කැඳ පිසත්. බත් පිසත්. ව්‍යඤ්ජන සපයත්. මස් කපත්. දර පළත්. භාග්‍යවතුන් වහන්ස, මේ ඒ උස්හඬ මහහඬ කවුඩුහඬ ය”.
43. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සම්මත කළ කැපබිම පරිභෝග නො කට යුතු ය. යමෙක් පරිභෝග කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, උස්සාවනන්තිකා කිළිය, ගො නිසාදි කිළිය, ගහපති කිළිය යි කැපබිම් තුණක් අනුදනිමි”.
44. එකල්හි ආයුෂ්මත් යසොජ ස්ථවිර තෙමේ ගිලන් වේ. උන්වහන්සේ පිණිස බෙහෙත් ගෙණෙනු ලැබේ. භික්‍ෂූහු ඒ බෙහෙත් බැහැර තබවත්. බළල් මී ආදී සත්තු ද කත්. සොරු ද ගෙණ යත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ. “මහණෙනි, සම්මත කළ කැපබිම පරිභෝග කරන්නට අනුදනිමි. මහණෙනි, උස්සාවනන්තිකා ගො නිසාදිකා ගහපති සම්මුති යි කැපබිම් සතරක් අනුදනිමි”.{*}
සීහබණවර සිවුවැනි වේ.
1. එකල්හි භද්දිය නගරයෙහි මෙණ්ඩක නම් (සිටු) ගැහැවියෙක් වෙසෙයි. ඒ සිටුහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: ඉස් සෝධා නා කොටුගෙය හමදවා ප්‍රාග්ද්වාරයෙහි (අක් දෙරියෙහි – ගෘහය අභිමුඛයෙහි) හිඳියි. අහසින් ධාන්‍යධාරා (=රත්හැල් වී කඳු) වැටී කොටුගෙය පුරවයි.
2. බිරින්දගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: සිවු නැළියක් ගන්නා එක ම බත්තලියක් හා එක ම ව්‍යඤ්ජන ඇතිලියක් ලඟ හිඳගෙණ දස්කම්කරු පිරිසට බත් වළඳවයි. ඕ තොමෝ යම් තාක් (එතැනින්) නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ.
3. පුත්‍රයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ දස්කම්කරු පුරුෂයන්ට සමසක වැටුප් දෙයි. යම් තාක් (ඒ පසුම්බිය) ඔහුගේ අතෙහි වේ ද, ඒ තාක් එය හිස් නො වේ.
4. යෙහෙළියගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: ද්‍රෝණ (ලාස්) සතරක් ගන්නා එක ම වී පැස ලඟ හිඳ දස්කම්කරු පුරුෂයන්ට සමසක බත් බිජුවට (= වී) දෙයි. යම් තාක් ඕ තොමෝ (එතැනින්) නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ.
5. දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: එක් නඟුලකින් සාන්නහුට හීවිටි (නඟුල්පාර) සතක් (සෑවී) යෙයි.
6. මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ – “අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසේ. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: හිස් සෝදා නහා කොටුගෙය හමදවා ඉදිරිදෙරටුවෙහි හිඳියි. අහසින් වී ධාරා වැටී කොටුගෙය පුරවයි. බිරින්දගේ මෙබඳු ‘ඍද්ධ්‍යනුභාවයෙක් වේ: සිවු නැළියක් ගන්නා එක ම බත්තලියක් හා එක ම ව්‍යඤ්ජනඇතිලියක් ලඟ හිඳ ගෙණ දස්කම්කරුපිරිසට බත් වළඳවයි. යම් තාක් ඕ තොමෝ නො නැගිටි ද, ඒ තාක් එය හිස් නො වේ. පුත්‍රයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ දස්කම්කරු පුරුෂයන්ට සමසක වැටුප් දෙයි. යම් තාක් (ඒ පසුම්බිය) ඔහුගේ අතෙහි වේ ද, ඒ තාක් එය හිස් නො වේ’. ලේළියගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. සතර ද්‍රෝණයක් ගන්නා එක ම පෙට්ටියක් ලඟ හිඳ දස්කම්කරු පුරුෂයන්ට සමසක බත් බිජුවට දෙයි. යම් තාක් ඕ තොමෝ නො නැගිටී ද, ඒ තාක් එය හිස් නො වේ. දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් (සෑවී) යේ ය” යි ඇසී ය.
7. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ සියලු කටයුතුවල යෙදෙන එක්තරා මහඇමැතියකු ඇමතූසේ ය: “සගය, අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසෙයි. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. හිස සෝධා නා කොටුගෙය හමදවා අගදොරකඩ හිඳියි. අහසින් ධාන්‍යධාරා වැටී කොටුගෙය පුරවයි. බිරින්දගේ –පෙ– පුත්‍රයාගේ –පෙ– යේළනියන්ගේ –පෙ– දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් යෙ යි. සගය, යව. දනුව, තා විසින් දක්නා ලද්ද මා විසින් ම දක්නා ලද්දක් මෙන් වන්නේ ය.
8. ඒ මහාමාතා තෙමේ “දේවයන් වහන්ස, එසේ ය” යි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුහට පිළිවදන් දී සිවුරඟසෙනගින් යුක්ත ව භද්දිය නගරයට ගියේ ය. පිළිවෙළින් (ගොස්) භද්දියනුවර මෙණ්ඩක ගැහැවියා වෙතට පැමිණියේ ය. පැමිණ මෙණ්ඩක ගැහැවියාහට මෙය කී ය: “ගැහැවිය, මම – අපගේ රටෙහි භද්දියනගරයෙහි මෙණ්ඩක නම් ගැහැවියෙක් වෙසෙයි. ඔහුගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ: හිස සෝදා නා කොටුගෙය හමදවා ඉදිරිදොර හිඳියි. අහසින් ධාන්‍ය ධාරා වැටී කොටුගෙය පුරවයි. –පෙ– දාසයාගේ මෙබඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ. එක් නඟුලකින් සාන්නහුට හීවිටි සතක් යේ ය’ යි. සගය, යව, දනුව, තා විසින් දක්නා ලද්ද මා විසින් ම දක්නා ලද්දක් මෙන් වන්නේ ය යි රජු විසින් අණවන ලද්දෙම් වෙමි. ගෘහපතිය, තාගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු.”
9. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ හිස සෝදා නා කොටුගෙය හමදවා ඉදිරි දොරටුවෙහි හුන්නේ ය. අහසින් ධාන්‍යධාරා වැටී කොටුගෙය පිරවී ය.
10. “ගැහැවිය, තාගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ බිරින්දගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු”. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට බත් කව” යි බිරින්දට අණ කෙළේ ය. එවිට මෙණ්ඩක ගැහැවිහුගේ බිරින්ද සතර නැළියක් ගන්නා එක ම බත් තලියක් ලඟ හිඳ එක ම ව්‍යඤජනඇතිලියක් ගෙණ සිවුරඟසෙනඟට බත් කැවී ය. යම් තාක් ඕ තොමෝ නො නැගී සිටියා ද, ඒ තාක් එය හිස් නො වී ය.
11. “ගැහැවිය, තාගේ බිරින්දගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ පුත්‍රයාගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු” යි. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට සමසක වැටුප් දෙව” යි පුත්‍රයාට අණ කෙළේ ය. ඉක්බිති මෙණ්ඩක ගැහැවිහුගේ පුත්‍ර තෙමේ දහසින් බැඳි එක ම පියල්ලක් ගෙණ සිවුරඟසෙනඟට සමසක වැටුප් දුන්නේ ය. යම් තාක් ඒ පසුම්බිය ඔහුගේ අතෙහි වී ද, ඒ තාක් එය හිස් නො වී ය.
12. “ගැහැවිය, තාගේ පුත්‍රයාගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ යෙහෙළියගේ ඍද්ධ්‍යනුභාවය බලන්නෙමු” යි. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ “එසේ නම් සිවුරඟසෙනඟට සමසක බත්බිජු දෙව” යි යෙහෙළියට අණ කෙළේ ය. ඉක්බිති මෙණ්ඩක ගැහැවිහුගේ යෙහෙළි තොමෝ ද්‍රෝණසතරක් ගන්නා එක ම වී පෙට්ටියක් ලඟ හිඳ සිවුරඟසෙනඟට සමසක බත්බිජු දුන්නී ය. යම් තාක් ඕ තොමෝ නො නැගී සිටියා ද, ඒ තාක් එය අවසන් නො වී ය.
13. “ගැහැවිය, තාගේ යෙහෙළියගේ ඍද්ධ්‍යනුභාවය දක්නා ලද්දේ ය. තාගේ දාසයාගේ ඍද්ධානුභාවය බලන්නෙමු” යි. “හිමියෙනි, මාගේ දාසයාගේ ඍද්ධ්‍යනුභාවය කෙතෙහි දී දැක්ක යුතු ය”. “ගැහැවිය, කම් නැත. තාගේ දාසයාගේ ඍද්ධ්‍යනුභාවය ද දක්නා ලද්දේ ය”.
14. ඉක්බිති ඒ මහාමාත්‍ය තෙමේ සිවුරඟසෙනනනඟින් යුක්ත ව නැවැත රජගහනුවරට පෙරළා ගියේ ය. (එහි) මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙතට එළඹියේ ය. එළඹ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජුට මෙ පවත් දැන්වී ය.
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විශාලාමහානගරයෙහි කැමැති තාක් කල් වාසය කොට එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග භද්දියනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.
16. එකල භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් භද්දියනගරයට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි භද්දිය නගරයෙහි ජාතියාවනයෙහි (සමන්මල් වනයෙහි) වැඩ වාසය කරණ සේක.
17. මෙණ්ඩක ගැහැවි තෙමේ “ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ භද්දියනගරයට පැමිණියේ භද්දියනගරයෙහි ජාතියා වනයෙහි වාසය කෙරේ. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ කල්‍යාණ වූ කීර්තිඝෝෂයෙක් පැන නැංගේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ ‘මේ මේ කරුණෙන් රහත් සේක. මේ මේ කරුණෙන් සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් සුගත් සේක. මේ මේ කරුණෙන් ලෝකවිදූ සේක. මේ මේ කරුණෙන් පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් දෙව්මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් බුද්ධ සේක. මේ මේ කරුණෙන් භාග්‍යවත් සේක. උන්වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේ මුල මැද අග යහපත් වූ අර්‍ත්‍ථසම්පත්තියෙන් යුක්ත වූ පදසම්පත්තියෙන් යුක්ත වූ දහම් දෙසන සේක. සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ ශාසනමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ සේක’. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ” ය යි ඇසී ය.
18. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ හොඳ හොඳ යානයන් යොදවා හොඳ යානයකට නැගී හොඳ හොඳ යානයන්ගෙන් යුක්ත ව භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස භද්දියනුවරින් පිටත් ව ගියේ ය.
19. බොහෝ තීර්‍ත්‍ථකයෝ එන්නා වූ මෙණ්ඩක ගැහැවියා දුර දී ම දුටුවාහු ය. දැක මෙණ්ඩක ගැහැවියාට “ගැහැවිය, තෝ කොහි යෙහි දැ” යි කීහ. ස්වාමිනී, මම භාග්‍යවත් ශ්‍රමණගෞතමයන් දැකීමට යමි”. “ගැහැවිය, තෝ ක්‍රියාවාදී වෙහි. කුමක් හෙයින් අක්‍රියාවාදී ශ්‍රමණ ගෞතමයා දැකීමට යෙහි ද? ගැහැවිය, ශ්‍රමණගෞතම තෙමේ අක්‍රියාවාදී වූයේ නො කිරීම පිණිස දහම් දෙසයි. එයින් ම ශ්‍රාවකයන් හික්මවයි”.
20. ඉක්බිති මෙණ්ඩක ගැහැවියාහට “මේ තීර්‍ත්‍ථකයෝ යම් කරුණකින් ඊර්‍ෂ්‍යා කෙරෙත් ද, ඒ කරුණෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ නිසැකයෙන් ම රහත් වෙති. සම්‍යක්සම්බුද්ධ වෙති” යි මෙබඳු සිතෙක් විය. (ගැහැවි තෙමේ) යානයෙන් යා හැකි බිම යම් පමණවී ද, එපමණ තැන් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවියාහට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළ කතාව එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීම ඇතිබව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.
21. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියා සුදුසු සිත් ඇතැ යි මොළොක් සිත් ඇතැ යි නීවරණ රහිත වූ සිත් ඇතැ යි ඔදවැඩි සිත් ඇතැ යි පහන් සිත් ඇතැ යි දත් සේක් ද එකල්හි බුදුවරුන්ගේ තමන් ම (ස්වභාවයෙන් ම) උත්කෘෂ්ට වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එසේ ම මෙණ්ඩක ගැහැවියාහට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදීරජස් ඇති පහ වූ කෙලෙස් මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
22. ඉක්බිති දක්නා ලද දහම් ඇති පැමිණි දහම් ඇති අවබෝධ කළ දහම් ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ ‘කෙසේ කෙසේ දැ’ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි (අවබෝධය පිණිස) අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මංමුළා වූවකුට යම් සේ මාර්‍ගය කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද එපරිද්දෙන් ම, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේ ය. ස්වාමීනි, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවි හිම් කොට සරණ ගිය වූ උපාසකයකු කොට දරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ද ඉවසන සේක්වා”. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
23. එකල්හි මෙණ්ඩක ගැහැවි තෙමේ ඒ රෑ ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දේ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ කාලය යි. බත් නිමියේ ය” යි කල් සැළ කරවී ය.
24. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ මෙණ්ඩක ගැහැවියාගේ නිවෙසට වැඩි සේක. වැඩ භික්‍ෂු සඞ්ඝයා සමග පැණවූ අසුනෙහි හුන් සේක.
25. එකල්හි මෙණ්ඩක ගැහැවියාගේ බිරින්ද ද පුත්‍රයා ද ලේළිය ද දාසයා ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකතාව එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව, කාමයන් දුක් බව ලාමකබව කෙලෙසීම ඇති බව වදාළ සේක. පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක.
26. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු සිත් ඇත්තන් මොළොක් සිත් ඇත්තන් නීවරණ රහිත වූ සිත් ඇත්තන් ඔදවැඩි සිත් ඇත්තන් පහන් සිත් ඇත්තන් යි දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ සාමුක්කංසික වූ ධර්‍මදේශනාව – දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයෙක් යම් සේ මනා කොට සායම් ගන්නේ ද, එපරිද්දෙන් ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
27. දක්නා ලද දහම් ඇති පැමිණි දහම් ඇති අවබෝධ කළ දහම ඇති වෙසෙසින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ ‘කෙසේ කෙසේ දැ’ යි පැවැති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුදහම්හි (අවබෝධය පිණිස) අනුන්ගේ උපකාරයක් නො වුව මනා වූ ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මං මුළා වූවකුට යම් සේ මග කියන්ගෙන් ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු ය’ යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේ ය. ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකොත්තර ධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගල භික්‍ෂු සඞ්ඝයා ද සරණ කොට යමු. භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයන් කොට දරණ සේක්වා” යි.
28. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. පසෙක හුන් මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් තාක් කල් භද්දියනගරයෙහි වාසය කරණ සේක් ද, ඒ තාක් කල් මම බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාහට නිති බතින් උපස්ථාන කරමි” යි සැළකෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙණ්ඩක ගැහැවියා දැහැමිකතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
29. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් භද්දියනගරයෙහි වාසය කොට මෙණ්ඩකගැහැවියා නො විචාරා භික්‍ෂූන් එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග අඞ්ගුත්තරාපය බලා චාරිකාවෙහි වැඩි සේක.
30. මෙණ්ඩක ගැහැවි තෙමේ “භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් එක් දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග අඞ්ගුත්තරාපය බලා වැඩි සේක් ල” යි ඇසී ය.
31. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ “කොලෙ නි, එසේ නම් බොහෝ ලුණු ද තෙල් ද මී ද සහල් ද කෑ යුතු දේ ද ගැල්වල පටවා ගෙණ එවු. එක්දහස්දෙසියපණසක් ගොපල්ලන් ද එක්දහස්දෙසියපණසක් දෙනුන් ද ගෙණ එත්වා. අපි යම් තැනෙක දී භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමු ද, එහි දී එකෙණෙහි දෙවූ උණුසුම් කිරි වළඳවන්නෙමු” යි දාසයන්ට ද කම්කරුවන්ට ද අණ කෙළේ ය.
32. එකල මෙණ්ඩක ගැහැවි තෙමේ අතරමග කාන්තාරයෙහි දී භාග්‍යවතුන් වහන්සේට හමු වි ය. එහි දී මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටි මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසන සේක්වා” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
33. ඉක්බිති මෙණ්ඩක ගැහැවි තෙමේ ඒ රෑ ඉක්ම ගිය පසු ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දෙය පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි මේ කාල ය යි. බත නිමියේ ය” යි කල් දැන්වී ය.
34. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ මෙණ්ඩක ගැහැවියාගේ පරිවේසනයට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයාත් සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
35. එවිට මෙණ්ඩක ගැහැවි තෙමේ එක්දහස්දෙසියපණසක් ගොපල්ලන්ට “කොලෙනි, ‘දෙවූ කෙණෙහි උණුසුම් කිරි වළඳවන්නෙමු’ යි එක එක දෙන ගෙණ එක එක මහණහු වෙතට එළඹ සිටිවු” යි අණ කෙළේ ය.