Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 1601-1700 න් 2789

2. ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිර තෙමේ අතරමග උක්හකුරු කරණ තැනකට ඇතුල් ව උක්හකුරුවල පිටි ද අළු ද බහන්නවුන් දුටුයේ ය. දැක “උක්හකුරු අකැප වේ. ආමිස සහිත වේ. නො කල්හි වළඳන්නට උක්හකුරු කැප නො වේ ය” යි කුකුස් කරන්නේ පිරිස් සහිත ව උක්හකුරු නො වළඳයි. උන්වහන්සේගේ වචනය අදහන්නෝ ද උක්හකුරු නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කුමක් සඳහා උක්හකුරුවල පිටිත් අළුත් බහත් ද?”. “භාග්‍යවතුන් වහන්ස, බඳිනු (කැටි කරණු) සඳහා ය.” “මහණෙනි, කැටි කිරීම සඳහා උක්හකුරුවල පිටිත් අළුත් බහත් නම්, එ ද උක්හකුරු ම ය යි සඞ්ඛ්‍යාවට යෙයි. මහණෙනි, උක්හකුරු කැමැති සේ වළඳන්නට අනුදනිමි” යි.
3. ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිර තෙමේ අතර මග දී වර්චස්හි හටගත් මුං (මුං පැළ) දුටුයේ ය. දැක “මුං නො කැපය. තැම්බූ මුං ද පැළ වේ ය” යි කුකුස් කරමින් පිරිස් සහිත ව මුං නො වළඳයි. උන්වහන්සේගේ වචනය අදහන්නෝ ද මුං නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තැම්බූ මුං හටගණිතත් මහණෙනි, කැමැති සේ (තැම්බූ) මුං වළඳන්නට අනුදනිමි” යි.
4. එකල්හි එක්තරා මහණකුහට උදරවාතාබාධයෙක් වේ. හෙ තෙමේ ලෝණසෝවීරකය{*} බීයේ ය. ඔහුගේ ඒ උදරාබාධය සංසිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලනහුට ලෝණසෝවීරකය අනුදනිමි. නො ගිලනහුට දිය හා මුසු කළ ලෝණසෝවීරකය පානපරි භෝගයෙන් වළඳන්නට අනුදනිමි” යි.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් රජගහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහනුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට උදරවාතාබාධයෙක් වේ.
6. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ “පෙරත් භාග්‍යවතුන් වහන්සේගේ උදරවාතාබාධය තිකුළුකැඳෙන් පහසු වූයේ වේ ය” යි තෙමේ තල ද සහල් ද මුං ද විනවා (ඉල්ලා) ගේ තුළ තබා ඇතුළත තමා විසින් පිස භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ තිකුළුකැඳ වළඳන සේක්වා” යි එළවී ය.
7. තථාගතවරයෝ දන්නෝ ද විචාරත්. දන්නෝ ද නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරයෝ අර්‍ත්‍ථ සහිත වූවක් විචාරත්, අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. තථාගතවරයන්ට අනර්‍ත්‍ථයෙන් යුක්ත වූවෙහි හේතු නැසීම මාර්‍ගයෙන් සිද්ධ ය. භාග්‍යවත් බුදුවරයෝ “ධර්‍මය හෝ දෙසන්නෙමු. ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පණවන්නෙමු”සි දෙඅයුරකින් භික්‍ෂූන් විචාරත්.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, මේ කැඳ කො තැනින් ලැබුනේ දැ” යි ආයුෂ්මත් අනඳතෙරුන් විචාළ සේක.
9. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “ආනන්‍දය, නුසුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. නො මහණකමෙක. අකැප වූවෙක. නො කටයුත්තෙක. ආනන්‍දය, කෙසේ නම් තෝ මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස සිතූවෙහි දැ?” යි ගැරහූ සේක. “ආනන්‍දය, යමක් ඇතුළත තුබූයේ ද, එ ද නො කැප ය. යමක් ඇතුළත පිසන ලද්දේ ද, එ ද නො කැප ය. යමක් තමන් විසින් පිසන ලද්දේ ද, එ ද නො කැප ය. ආනන්‍දය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් තුණක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද පිටත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, පිටත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, ඇතුළත තබන ලද පිටත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද ඇතුළත පිසන ලද අනුන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද පිටත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පිටත තබන ලද පිටත පිසන ලද අන්‍යයන් විසින් පිසන ලද දෙය වළඳන්නේ නම්, ඇවැත් නො වේ ය” යි භික්‍ෂූන් ඇමතූ සේක.
10. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් විසින් පිසීම ප්‍රතික්‍ෂේප කරණ ලද්දේ ය” යි පිසූ දෙය නැවැත පිසීමෙහි කුකුස් කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නැවැත පිසීම අනුදනිමි” යි.
11. එකල්හි රජගහනුවර දුර්භික්‍ෂ වේ. මිනිස්සු ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෙය ද ආරාමයට ගෙණ එත්. භික්‍ෂූහු ඒ දෑ පිටත තබවත්. බළල් මී මුගටි ආදිහු ද කත්. සොරු ද පැහැර ගණිත්. ඉඳුල් කන්නෝ ද ගෙණ යත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇතුළත තබවන්ට අනුදනිමි” යි. ඇතුළත තබවා පිටත පිසවත්, ඉඳුල් කන්නෝ පිරිවරා ගණිත්. භික්‍ෂූහු විශ්වාස රහිත වූවාහු (සැකඇත්තෝ) වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇතුළත පිසන්නට අනුදනිමි” යි. දුර්භික්‍ෂයෙහි කැපකරුවෝ ඉතා වැඩියක් ගෙණ යත්. භික්‍ෂූන්ට ඉතා ස්වල්පයක් දෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තමන් විසින් පිසන්නට අනුදනිමි. මහණෙනි, ඇතුළත තබන ලද්ද, ඇතුළත පිසන ලද්ද, තමන් විසින් පිසන ලද්ද අනුදනිමි” යි.
12. එකල්හි බොහෝ භික්‍ෂූහු කසීදනව්වෙහි වස් වැස නිම කළෝ භාග්‍යවතුන් වහන්සේ දැක්මට රජගහනුවරට යන්නෝ අතර මග දී රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලැබූහ. බොහෝ කෑයුතු ඵලවර්‍ග වි ය. කැපකරුවෙක් නො වී ය. ඉක්බිති ඒ භික්‍ෂූහු ක්ලාන්ත ස්වභාව ඇත්තෝ රජගහ නුවර කලන්‍දකනිවාපය වූ වේළුවනයෙහි භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
13. භාග්‍යවත් බුදුරජුන් විසින් ආගන්තුක භික්‍ෂූන් සමග මේ පිළිසඳර කතා කිරීම පුරුදු කරණ ලද්දේ ම ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කිම ඉවසිය හැකි ද? කීම යැපිය හැකි ද? කිම නිදුකින් අදන් මග ආවාහු ද? මහණෙනි, තෙපි කොතැනින් එවු දැ?” යි ඒ භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි මෙහි කසිදනව්වෙහි වුසූ වස් ඇත්තමෝ භාග්‍යවතුන් වහන්සේ දැක්මට රජගහ නුවරට එන්නමෝ අතර මග දී රළු වූ හෝ මිහිරි වූ හෝ සෑහෙන පමණ බොජුන් නො ලැබීමු. බොහෝ කෑ යුතු ඵලවර්‍ග ද වී ය. කැපකරුවෙක් ද නො වූයේ ය. එයින් අපි ක්ලාන්තස්වභාව ඇත්තමෝ අදන්මග ආවෝ වෙමු” යි.
14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, යම් තැනෙක කෑ යුතු ඵලවර්‍ග දකී ද, කැපකරුවෙක් නො වේ ද, (එය) තමන් ගෙණ ගොස් කැපකරුවෙකු දැක බිම හෙළා පිළිගන්වා ගෙණ වළඳන්නට අනුදනිමි. මහණෙනි, උග්ගහිතපටිග්ගහිතය (තමා විසින් ගත් ඵලාදිය වැළඳියටි වුව නැවත පිළිගන්වා ගැණීම) අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
15. එකල්හි එක්තරා බමුණකුහට අළුත් තල ද අළුත් මීපැණි ද ලැබුනේ වේ. ඉක්බිති ඒ බමුණාහට “මම අළුත් තලත් අළුත් මී පැණිත් බුද්ධප්‍රමුඛසඞ්ඝයාට දෙන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත් වි ය. එකල්හි ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූ සිත් ගන්නා කතා කොට නිමවා පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේහට “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට පිණිස මාගේ බත ඉවසාවා” යි (කී ය). භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක. එකල්හි ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන නික්ම ගියේ ය.
16. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් (පසු) ප්‍රණීත වූ කෑ යුතු දෑ බිදිය යුතු දෑ පිළියෙල කරවා “භවත් ගෞතමය, දැන් කාල ය යි. බත් නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා ලී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ ඒ බ්‍රාහ්මණයාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ හුන් සේක.
17. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙසින් සියතින් සතප්වා හොඳින් වළඳවා වළඳා අවසන් කළ, පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ බ්‍රාහ්මණයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
18. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවක දී ඒ බමුණාහට “අළුත්තල ද අළුත්මී ද දෙන්නෙමි යි මා විසින් යමක් පිණිස බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, මා විසින් ඒ දෑ දීමට සිහිපත් නො කරණ ලදි. මම අළුත්තලත් අළුත්මීපැණිත් මහසැළිවලින් ද කළවලින් ද ආරාමයට ගෙන්වා ගෙණ යන්නෙම් නම්, යෙහෙකැ” යි මේ සිත් වි ය.
19. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ අළුත්තලත් අළුත්මීපැණිත් මහ සැළිවලින් ද කළවලින් ද ආරාමයට ගෙන්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ “භවත් භෞතමයන් වහන්ස, “අළුත්තලත් අළුත් මීපැණිත් දෙන්නෙමි” යි මා විසින් යමක් පිණිස බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, ඒ දෑ දීමට මා විසින් සිහි නො කරණ ලදී. භවත් ගෞතම තෙමේ මාගේ අළුත්තලත් අළුත්මීපැණිත් පිළිගණීවා” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “බ්‍රාහ්මණය, එසේ නම් භික්‍ෂූන්ට දෙව”.
20. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි සුළුදෙයක් දුන් කල්හි ද පවරත්. සලකා ද ප්‍රතික්‍ෂේප කෙරෙත්. සියලු සඞ්ඝ තෙමේ භෝජන (වළඳා) පවාරණය කෙළේ වෙයි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, වැළඳූ තැනින් ගෙණ එන ලද අතිරික්ත නො වූ ආහාරය (පඨම පවාරණා සික්ඛාපදයෙහි කී ලෙසින් අයිරිත් නො කළ ආහාරය) වළඳා අවසන් කළ පැවරූ මහණහු විසින් වළඳන්නට අනුදනිමි” යි.
21. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන්ගේ උපස්ථායකකුලයක් සඞ්ඝයා පිණිස “මේ කෑ යුතු දෑ ස්වාමී වූ උපනන්‍ද තෙරුන්ට පෙන්වා සඞ්ඝයාට දිය යුතු ය” යි කෑමක් යැවී ය.
22. එකල්හි ශාක්‍යෂුත්‍ර ආයුෂ්මත් උපනන්‍ද් ස්ථවිර තෙමේ පිඬු පිණිස ගමට පිවිසියේ වේ.
23. ඉක්බිති ඒ මිනිස්සු ආරාමයට ගොස් “ස්වාමීනි, ස්වාමී වූ උපනන්‍ද ස්ථවිර තෙමේ කොහි දැ” යි භික්‍ෂූන් විචාළහ. “ඇවැත්නි, මේ ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ පිඬු පිණිස ගමට පිවිසියේ” යි. “ස්වාමීනි, මේ කෑම ස්වාමී වූ උපනන්‍ද තෙරුන්ට පෙන්වා සඞ්ඝයාට දිය යුතු ය” යි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එසේ නම් පිළිගෙණ උපනන්‍දයන් එන තුරු බහා තබවු”.
24. ඉක්බිති ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි කුලයන් ඇසුරු කරමින් සිට ඉතා දහවල් එයි.
25. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි සුළුදෙයක් දුන් කල්හි ද පවරත්. සලකා ද ප්‍රතික්‍ෂේප කෙරෙත්. “සියලු සඞ්ඝ තෙමේ පැවරූයේ වේ ය” යි භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, පෙරවරුයෙහි පිළිගන්නා ලද අතිරික්ත නො වූ ආහාරය වළඳා අවසන් කළ පැවරූ (=භෝජන ප්‍රතික්‍ෂේප කළ) මහණහු විසින් වළඳන්නට අනුදනිමි” යි.
26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් සැවැත්නුවරට වැඩියහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වසන සේක.
27. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට කායදාහ ආබාධයෙක් (කයදැවිල්ලෙක්) වේ.
28. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙතට එළඹියහ. එළඹ “ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, පෙර ඔබගේ කයදැවිල්ල කුමකින් පහසු වී දැ?” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඇසූහ. “ඇවැත්නි, මාගේ රෝගය නෙළුම්අලයෙන් ද නෙළුඹුදැළියෙන් ද පහසු වී ය”.
29. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිළූ අත දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අත හකුළන්නේ යම් සේ ද, එපරිද්දෙන් ජේතවනයෙහි අතුරුදහන් වූ සේක් මන්‍දාකිනී පොකුණු ඉවුරෙහි පහළ වූ සේක.
30. එක්තරා ඇතෙක් එන්නා වූ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට “ස්වාමීනි, ස්වාමී වූ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ වඩින සේක්වා. ස්වාමීනි, ස්වාමී වූ මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ යහපත් පැමිණීමෙකි. ස්වාමීනි, ස්වාමීන් වහන්සේට කුමකින් ප්‍රයෝජන වේ ද, (මම) කුමක් දෙම් දැ” යි කීයේ ය. “ඇවැත්නි, මට නෙළුම්අලයෙන් ද, නෙළුඹුදැළියෙන් ද ප්‍රයෝජන වේ”.
31. එවිට ඒ ඇත්තෙමේ එක්තරා ඇතකුට “කොල, එසේ නම් ස්වාමීන් වහන්සේට නෙළුම්අල ද නෙළුඹුදැළි ද සෑහෙන පමණ දෙව” යි අණ කෙළේ ය. ඉක්බිති ඒ ඇත් තෙමේ මන්‍දාකිනීපොකුණට බැස හොඬින් නෙළුඹලද නෙළුඹුදැළි ද උපුටා ගෙණ මනා කොට සෝදා මිටියක් බැඳ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙතට පැමිණියේ ය.
32. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිළූ, අත දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අත හකුළන්නේ යම් සේ ද, එපරිද්දෙන් වහා මන්‍දාකිනි පොකුණු ඉවුරෙහි අතුරුදහන් වූ සේක් ජේතවනයෙහි පහළ වූ සේක.
33. ඒ ඇත් තෙමේ ද මන්‍දාකිනීපොකුණු ඉවුරෙහි අතුරුදහන් ව ජේතවනයෙහි පහළ වූයේ ය. ඉක්බිති ඒ ඇත් තෙමේ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට නෙළුඹල ද නෙළුඹුදැළි ද පිළිගන්වා ජේතවනයෙහි අතුරුදහන් ව මන්‍දාකිනීපොකුණු ඉවුරෙහි පහළ වූයේ ය.
34. ඉන් පසු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට නෙළුඹල ද නෙළුඹුදැළි ද එළවූහ. නෙළුඹල ද නෙළුඹුදැළි ද වැළඳූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ කයේ දැවිල්ල සංසිඳුනේ ය. බොහෝ නෙළුඹල ද නෙළුඹුදැළි ද ඉතිරි වි ය.
35. එකල්හි භික්‍ෂූහු දුර්භික්‍ෂයෙහි ස්වල්පමාත්‍රයක් දුන් කල්හි ද පවරත්. දැන ද ප්‍රතික්‍ෂේප කෙරෙත්, සියලු සඞ්ඝ තෙමේ ද පැවරූයේ වේ. භික්‍ෂූහු කුකුස් කරමින් නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු. මහණෙනි, වළඳා අවසන් කළ මහණහු විසින් වනයෙහි හටගත් පියුම්ගසෙහි හටගත් අතිරික්ත නො වූ දෑ වළඳන්නට අනුදනිමි”.
36. එකල්හි සැවැත්නුවර කෑයුතු බොහෝ ඵලවර්‍ග උපන්නේ වේ. කැපකරුවෙක් ද නො වේ. භික්‍ෂූහු කුකුස් කරමින් ඵල නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මුහු කළ ඇට නැත්තා වූ ද (පැළ වෙන) ඇට ඉවත් කළා වූ ද කැප නො කළා වූ ඵලවර්‍ග වළඳන්නට අනුදනිමි” යි.
37. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර කැමැති තාක් කල් වාසය කොට රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් රජගහනුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහනුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනාරාමයෙහි වාසය කරණ සේක.
38. එකල්හි එක්තරා මහණකුහට භගන්‍දරාබාධයෙක් වේ. ආකාසගොත්ත වෙද තෙමේ සැත්කම් (ශල්‍යකර්‍මයක්) කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකාවෙහි වඩිනා සේක් ඒ මහණහුගේ විහාරයට වැඩි සේක. ආකාසගොත්ත වෙද තෙමේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක “භවත් ගෞතම තෙමේ (මෙහි) ඒවා. මේ මහණහුගේ තලගොයි කට වැනි වූ වසමග බලාවා” යි කීයේ ය.
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මේ හිස් පුරුෂ තෙමේ මට විසුළු බස් බෙණේ ය” යී එයින් ම පෙරළා අවුත් මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අසුවල් වෙහෙර ගිලන් මහණෙක් ඇත්තේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, ඇත්තේ ය.” “මහණෙනි, ඒ මහණහුගේ රෝගය කුමක් ද?” “ස්වාමීනි, ඒ ආයුෂ්මතුන් හට භගන්‍දරාබාධයෙකි. ආකාසගොත්ත වෙද තෙමේ ශල්‍යකර්‍ම කෙරෙයි.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂයාගේ ක්‍රියාව නො ගැළපෙන්නක. අනුලොම් නො වූවෙක. නුසුදුස්සෙක. මහණකමට නො හොබනේ ය. අකැප වූවෙක. නො කටයුත්තෙක. මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් සම්බාධ ස්ථානයෙහි (වස මග පස මග අතර) ශල්‍යකර්‍ම කරවී ද? මහණෙනි, ලිඞ්ගප්‍රදේශයෙහි සිවිය සියුම් ය. වණය සුව කරණු අපහසු ය. ආයුධය ක්‍රියා කරවීම දුෂ්කර ය. මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ ය” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ලිඞ්ගප්‍රදේශයෙහි ශල්‍යකර්‍ම නො කරවිය යුතු ය. යමෙක් කරවන්නේ නම්, ථූලසිඇවැත් වේ ය” යි වදාළ සේක.
40. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් ශල්‍යකර්‍මය ප්‍රතික්‍ෂේප කරණ ලදැ” යි වස්තිකර්‍මය කරවත්. අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවගමහණෝ කෙසේ නම් වස්තිකර්‍ම කරවත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. එකල්හි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
41. “මහණෙනි, සවගමහණෝ වස්තිකර්‍ම කරවත් ල යනු සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.” –පෙ– ගරහා දැහැමි කතා කොට ·‘මහණෙනි, ලිඞ්ගප්‍රදේශය හාත්පස දෑඟුලකින් ඇතුළත ශල්‍යකර්‍මය ද (සම්බාධයෙහි) වස්තිකර්‍මය (වස්තිපීඩනය) ද නො කරවිය යුතු ය. යමෙක් කරවා නම්, ථුලසිඇවැත් වේ ය” යි වදාළ සේක.
42. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වාසය කොට බරණැස් නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් බරණැස් නුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි බරණැස්නුවර මෘගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසන සේක.
43. එකල්හි බරණැස් නුවර සුප්පියඋපාසක තෙමේ ද සුප්පියා උපාසිකා තොමෝ ද යන දෙදෙන පැහැදුනෝ වෙත්. දායකයෝ වෙත්. කාරකයෝ වෙත්. සඞ්ඝෝපස්ථායකයෝ වෙත්. එකල්හි සුප්පියාඋපාසිකා තොමෝ ආරාමයට ගොස් වෙහෙරෙන් වෙහෙරට පිරිවෙණෙන් පිරිවෙණට එළඹ “ස්වාමීනි, කවරෙක් ගිලන් වේ ද? කවරකුට කුමක් ගෙණෙනු යුතු දැ” යි භික්‍ෂූන් අතින් විචාරයි.
44. එකල්හි එක්තරා මහණකු විසින් විරේචන බෙහෙතක් බොන ලද්දේ වේ. ඉක්බිති ඒ මහණ තෙමේ “බුහුනනිය, මා විසින් විරේචන බෙහෙතක් බොන ලදී. මට මස්රසයෙන් ප්‍රයෝජන වේ” යි සුප්පියා උපාසිකාවට කී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, හොඳ යි. ගෙණෙනු ලබන්නේය” යි ගෙට ගොස් අතැවැසියකුට “සගය, යව. කඩපිළෙහි විකිණීමට තැබූ මස් දනුව” යි අණ කළා ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ඒ පුරුෂතෙමේ සුප්පියාඋපාසිකාවට පිළිවදන් දී ගොස් මුළු බරණැස ඇවිදින්නේ කඩපිළෙහි විකිණීමට තැබූ මසක් නො දුටුයේ ය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ සුප්පියාඋපාසිකාව වෙතට ගියේ ය. ගොස් “ආර්‍ය්‍යාවෙනි, කඩපිළෙහි විකිණීමට තැබූ මසක් නැත්තේ ය. අද මාඝාත ය” (සතුන් මැරීම තහනම් ය) යි සුප්පියාඋපාසිකාවට දැන්වී ය.
45. එවිට සුප්පියාඋපාසිකාවට “මස්රසය නො ලබන ඒ ගිලන් මහණහුගේ රෝගය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මම යමක් දීමට පොරොන්දු දී එය නො යවන්නෙම් නම්, එය මට නුසුදුසු ය” යි මෙබඳු සිතෙක් වි ය. මස් කපන කැත්ත ගෙණ කලවා මස් කපා “කෙල්ල, මේ මස පිස සකස් කොට, අසවල් වෙහෙර ගිලන් මහණෙක් වේ. ඒ මහණහුට දෙව” යි දාසියට දුන්නී ය. “යමෙක් මා ගැණ විචාරා නම්, ගිලන් වූවා යි කියව” යි උතුරුසළුවෙන් කලවය වෙළාගෙණ ඔවරකයට (නිදනගෙට) ඇතුල් ව ඇඳෙහි හොත්තා ය.
46. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ ගෙට ගොස් “සුප්පියාව කොහි දැ”යි දාසිය විචාළේ ය. “ආර්‍ය්‍යය, නිදනගෙයි හෝ නී ය”. එවිට සුප්පියඋපාසක තෙමේ සුප්පියාඋපාසිකාව වෙතට ගියේ ය. ගොස් “කුමක් හෙයින් හෝනිහි දැ” යි සුප්පියාඋපාසිකාවගෙන් ඇසී ය. “මම ගිලන්මි”. “තීගේ ආබාධය කුමක් ද?” එවිට සුප්පියාඋපාසිකා තොමෝ සුප්පියඋපාසකයාහට මේ කාරණය කී ය.
47. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ “භවත්නි, අරුමයක! භවත්නි, පෙර නො වූවෙක! මේ සුප්පියාඋපාසිකාතොමෝ නිරවශේෂයෙන් ශ්‍රද්ධාවත් ය. නිරවශේෂයෙන් ප්‍රසන්න ය. තමන්ගේ ම මස් මෙසේ පරිත්‍යාග කරණ ලද නම්, මැය විසින් නො දිය හැකි වූ අන් කුමක් වන්නේ දැ” යි සතුටු වූයේ ඔදවැඩියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය.
48. පසෙක හුන් සුප්පියඋපාසක තෙමේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත ඉවසා වදාරණ සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
49. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දෙය බිදිය යුතු දෙය පිළියෙල කරවා “ස්වාමීනි, දැන් මේ කාල ය යි, බත නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට සැළකරවී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ සුප්පියඋපාසකයාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි හුන් සේක.
50. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක සිටි සුප්පිය උපාසකයාගෙන් “සුප්පියාව කොහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, (ඕ තොමෝ) ගිලන් වූවා ය” යි. “එසේ නම් මෙහි ඒවා” යි. “භාග්‍යවතුන් වහන්ස, නො හැකිය”. “එසේ නම් ඔසොවා ගෙණ එවු” යි. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ සුප්පියාඋපාසිකාව ඔසොවා ගෙනායේ ය. භාග්‍යවතුන් වහන්සේගේ දැකීම සමග ම ඇගේ ඒ මහත් වූ වණය ගොඩ වී මනා සිවි ඇත්තේ වි ය. ලොම් හටගත්තේ වි ය.
51. එවිට සුප්පියඋපාසක තෙමේ ද සුප්පියාඋපාසිකා තොමෝ ද “භාග්‍යවතුන්ගේ දැකීම සමග එපමණ මහත් වූ වණය ගොඩ වූයේ මනා සිවි ඇත්තේ හටගත් ලොම් ඇත්තේ වී නම්, තථාගතයන් වහන්සේගේ ඒ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව, භවත්නි, අරුමයකි! භවත්නි, පුදුමයකි!” යි සතුටු වූවෝ ඔද වැඩියාහු බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදියු යුතු දෙයින් සියතින් සතප්වා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුප්පියඋපාසකයා ද සුප්පියාඋපාසිකාව ද දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
52. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, කවරෙක් සුප්පියාඋපාසිකාව මස් විණවූයේ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. මෙසේ විචාළ කල්හි ඒ මහණ තෙමේ “ස්වාමීනි, මම සුප්පියා උපාසිකාව මස් විණ වූ (ඉල්ලූ) යෙමි” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. “මහණ, ගෙණෙනු ලැබී ද?” “භාග්‍යවතුන් වහන්ස, ගෙණෙනු ලැබී ය”. “මහණ, තෝ වැළඳූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම වැළඳූයෙමි”. “මහණ තෝ ‘කිනම් මසක් දැ’ යි විචාළෙහි (විමසුවෙහි) ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො විමසුවෙමි”.
53. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “සිස් පුරුෂය, තෝ කෙසේ නම් නො විචාරා (පරීක්‍ෂා නො කොට) මස් වැළඳූයෙහි ද? සිස් පුරුෂය, තා විසින් වළඳන ලද්දේ මනුෂ්‍යමාංසයෙකි. සිස් පුරුෂය මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ශ්‍රද්ධාවත් වූ ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ වෙති. ඔවුන් විසින් තමන්ගේ මස් ද පුදන ලද්දේ ය. මහණෙනි, මිනිස් මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ථුලසිඇවැත් වේ” යි භික්‍ෂූන් ට වදාළ සේක. “මහණෙනි, නො විචාරා මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
54. එකල්හි රජුගේ ඇත්තු මැරෙත්. මිනිස්සු දුර්භික්‍ෂයෙහි ඇත් මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට ඇත්මස් දෙත්. භික්‍ෂූහු ඇත්මස් වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් ඇත්මස් වළඳත් ද? ඇත් තෙමේ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇත්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
55. එකල්හි රජුගේ අශ්වයෝ මැරෙත්. මිනිස්සු දුර්භික්‍ෂයෙහි අශ්වමාංස අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට අශ්වමාංස දෙත්. භික්‍ෂූහු අශ්වමාංස වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් අශ්වමාංස වළඳත් ද? අශ්වයෝ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අශ්වමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
56. එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි බලුමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට බලුමස් දෙත්. භික්‍ෂූහු බලුමස් වළඳත්, මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් බලුමස් වළඳත් ද? බලු තෙමේ නින්‍දිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලුමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
57. එකල්හි මිනිස්සු දුර්භික්‍ෂයෙහි සර්‍පමාංස අනුභව කරත්, පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සර්‍පමාංස දෙත්. භික්‍ෂූහු සර්‍පමාංස වළඳත්. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් සර්‍පමාංස වළඳත් ද? සර්‍පයා හිරිකිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
58. සුඵස්ස නාරජ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ සුඵස්ස නාරජ තෙමේ “ස්වාමීනි, ශ්‍රද්ධා නැති නො පහන් නාගයෝ ඇත්තාහ. ඔහු ස්වල්පයකිනුදු භික්‍ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා සර්‍පමාංස නො වළඳන්නාහු නම්, යෙහෙකැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.
59. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුඵස්ස නාරජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. ඉක්බිති සුඵස්ස නාරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
60. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සර්‍පමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
61. එකල්හි වැද්දෝ සිංහයන් මරා සිංහමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට සිංහමස් දෙත්. භික්‍ෂූහු සිංහමස් වළඳා වනයෙහි වෙසෙත්. සිංහයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිංහමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
62. එකල්හි වැද්දෝ ව්‍යාඝ්‍රයන් නසා ව්‍යාඝ්‍රමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට ව්‍යාඝ්‍රමස් දෙත්. භික්‍ෂූහු ව්‍යාඝ්‍රමස් වළඳා වනයෙහි වෙසෙත්. ව්‍යාඝ්‍රයෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ව්‍යාඝ්‍රමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
63. එකල්හි වැද්දෝ දිවියන් නසා දිවිමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට දිවිමස් දෙත්. භික්‍ෂූහු දිවිමස් වළඳා වනයෙහි වෙසෙත්. දිවියෝ මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, දිවිමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
64. එකල්හි වැද්දෝ වලසුන් නසා වලස්මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට වලස්මස් දෙත්. භික්‍ෂූහු වලස්මස් වළඳා වනයෙහි වෙසෙත්. වලස්සු මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වලස්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
65. එකල්හි වැද්දෝ කරබානාවලසුන් නසා කරබානාවලස්මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්‍ෂූන්ට කරබානාවලස්මස් දෙත්. භික්‍ෂූහු කරබානාවලස්මස් වළඳා වනයෙහි වෙසෙත්. කරබානා වලස්සු මස්ගඳින් භික්‍ෂූන් නසත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, කරබානාවලස්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
දෙවන සුප්පියබණවර.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර කැමැති තාක් කල් වාසය කොට අන්‍ධකවින්‍දය බලා එක්දහස්දෙසියපණසක් වූ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චාරිකාවෙහි වැඩි සේක.
2. එකල්හි දනවුවැසි මිනිස්සු බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෙය ද ගැල්වල නගා “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙමු ද එවිට බත් පිළියෙල කරන්නෙමු” යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයාගේ පිටිපස ලුහු බැඳ ගියාහු වෙත්. පන්සියයක් පමණ ඉඳුල් කන්නෝ (සිඟන්නෝ) ද (මේ පිරිස හා) ගියහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් අන්‍ධකවින්‍දයට වැඩි සේක. එකල්හි (බත්) පිළිවෙළ වාරය නො ලබන්නා වූ එක්තරා බමුණකුහට “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙම් ද, එවිට බත් පිළියෙල කරන්නෙමි යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ලුහු බඳනා මට දෙමසකට වැඩියක් ඉක්ම ගියේ ය. මාහට බත් පිළිවෙළ වාරය නො ලැබේ. මම ද තනි වූයෙමි. මාගේ බොහෝ වූ ද ගෘහවාසය පිළිබඳ කටයුතු පිරිහෙයි. මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ ද, එය පිළියෙල කරන්නෙමි’ යි මෙබඳු සිතක් උපන. එවිට ඒ බ්‍රාහ්මණ තෙමේ බත්හල බලන්නේ දෙකක් – කැඳත් මීපිඬුත් නො දුටුයේ ය.
4. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත ගියේ ය. ගොස් “පින්වත් ආනන්‍දස්ථවිරයන් වහන්ස, බත්වාරය නො ලබන්නා වූ ‘යම් විටෙක බත් වාරය ලබන්නෙම් ද, එවිට බත් පිළියෙල කරන්නෙමි’ යි බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ලුහු බඳනා මට දෙමසකට වැඩියක් ඉක්ම ගියේ ය. මාහට බත්වාරය නො ලැබේ. මම ද තනි වූයෙමි. මාගේ බොහෝ වූ ගෘහවාසය පිළිබඳ කටයුතු පිරිහෙයි. මම බත්හල බලන්නෙම් නම් යෙහෙක. බත්හලෙහි යමක් නො වන්නේ ද, එය පිළියෙල කරන්නෙමි’ යි මෙබඳු සිතක් උපන. පින්වත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, ඒ මම බත්හල බලන්නෙම් කැඳත් මීපිඬුත් යන දෙක නො දුටුයෙමි. පින්වත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මම කැඳත් මීපිඬුත් පිළියෙල කරන්නෙම් නම්, භවත් ගෞතම තෙමේ මාගේ කැඳ හා මීපිඬු පිළිගන්නේ දැ” යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගෙන් විචාළේ ය. “බ්‍රාහ්මණය, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නෙමි”යි.
5. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, එසේ නම් පිළියෙල කෙරේවා” යි. “බ්‍රාහ්මණය, එසේ නම් පිළියෙල කරව” යි. ඉක්බිති ඒ බ්‍රාහ්මණ තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු බොහෝ වූ කැඳත් මීපිඬුත් පිළියෙල කරවා “පින්වත් ගෞතම තෙමේ මාගේ කැඳත් මීපිඬුත් පිළිගණීවා” යි භාග්‍යවතුන් වහන්සේ වෙත එළවී ය. “බ්‍රාහ්මණය, එසේ නම් භික්‍ෂූන්ට දෙව“යි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො පිළිගණිත්. “මහණෙනි, පිළිගණිවු. වළඳවු” යි.
6. නැවැත. ඒ බ්‍රාහ්මණ තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා බොහෝ වූ කැඳින් ද මීපිඬුවෙන් ද සියතින් සතප්වා වළඳවා, සේදූ අත් ඇති පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් ඒ බමුණාට “බ්‍රාහ්මණය, කැඳෙහි මේ ආනිසංස දසයෙක් වේ: කැඳ දෙන්නේ ආයුෂ දෙයි. වර්‍ණය දෙයි. සැපය දෙයි. බලය දෙයි. නුවණ දෙයි. පානය කළ කැඳ බඩගිනි නසයි. පිපාසාව දුරු කෙරෙයි. වාතය අනුලොම් කරයි. වස්තිය පිරිසිදු කරයි. නො පැසී ශේෂ වූ ආහාරය පැසවයි. බ්‍රාහ්මණය, කැඳෙහි මේ ආනිසංස දසය” යි වදාළ සේක.
7. යමෙක් කායසංයමාදියෙන් යුත් අනුන් විසින් දුන්දෙය වළඳනසුලුවූවන්ට සුදුසු කාලයෙහි සකස් කොට කැඳ දේ ද, හෙතෙමේ ඔහුට අනුසස් (කරුණු) දසයක් දෙයි. ආයුෂය ද වර්‍ණය ද සැපය ද බලය ද (දෙයි.)
8. ඔහුට එයින් නුවණ උපදියි. (කැඳ) බඩසය හා පවස ද දුරු කෙරෙයි. වාතය දුරු කෙරෙයි. වස්තිය ශුද්ධ කෙරෙයි. වැළඳූදැය දිරවයි. මේ බුදුරජුන් විසින් වර්‍ණනා කරණ ලද බෙහෙතකි.
9. එබැවින් සුව කැමැති වූ දිව්‍යසම්පත් හෝ පතන්නාවූ මනුෂ්‍ය සම්පත් හෝ කැමැත්තා වූ මිනිසා විසින් නිති කැඳ දන් දීම සුදුසු වේ ම ය.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණාට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කොට හුනස්නෙන් නැගී වැඩි සේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, කැඳත් මීපිඬුත් අනුදනිමි” යි.
11. මිනිස්සු “භාග්‍යවතුන් වහන්සේ විසින් කැඳත් මීපිඬුත් අනුදන්නා ලදැ” යි ඇසූහ. ඔහු බුදිනකැඳ ද මීපිඬු ද උදෑසන ම පිළියෙල කෙරෙත්. භික්‍ෂූහු කලින් ම බුදිනකැඳින් ද මීපිඬුවෙන් ද තෘප්ත වූවෝ බත් (බොජුන්) හලෙහි දී සිත් සේ බත් නො වළඳත්,
12. එකල්හි එක්තරා අළුත පැහැදුනු මහඇමතියකු විසින් බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ වේ. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහ ඇමතියාහට “මම එක්දහස්දෙසියපණසක් භික්‍ෂූන්ට එක්දහස්දෙසිය පණසක් මස්තලි පිළියෙල කරන්නෙම් නම්, එක එක මහණහුට එක එක මස්තලිය එළවන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහඇමති තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්‍රණීත වූ කෑ යුතු දෑ බිදිය යුතු දෑ එක්දහස්දෙසියපණසක් මස්තලි ද පිළියෙල කරවා “ස්වාමීනි, මේ කාලය යි. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ අළුත පැහැදුනු ඒ මහඇමතියාගේ ගෙට වැඩි සේක. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණ වූ අසුනෙහි වැඩ හුන් සේක.
13. ඉක්බිති අළුත පැහැදුනු ඒ මහඇමති තෙමේ බත්හලෙහි භික්‍ෂූන් වළඳවයි. භික්‍ෂූහු “ඇවැත්නි, ටිකක් දෙව, ඇවැත, ටිකක් දෙව” යි මෙසේ කීහ. “ස්වාමීනි, නුඹ වහන්සේලා ‘මේ තෙමේ අළුත පැහැදුනු මහඇමතියෙකැ’ යි ටික ටික නො පිළිගන්නා සේක්වා.” මා විසින් බොහෝ කෑ යුතු දෙය ද බිදිය යුතු දෙය ද පිළියෙල කරණ ලද්දේ ය. එක්දහස් දෙසියපණසක් මස්තලි එක එක එළවන්නෙම්. ස්වාමීනි, සෑහෙන පමණ පිළිගන්නා සේක්වා “ඇවැත්නි, මේ කරුණෙන් අපි ටික ටික පිළිගන්නමෝ නො වෙමු. අපි උදෑසන ම භෝජ්ජයාගුවෙන් ද මීපිඬුවෙන් ද සෑහුනෝ වම්හ. එහෙයින් අපි ටික ටික පිළිගණිමු”යි.
14. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා මා විසින් පවරණ ලද්දෝ අන්‍යයකුගේ බුදිනකැඳ වැළඳූහු ද? මම සෑහෙන පමණ දෙන්නට අපොහොසත් වෙම් දැ” යි අවමන් කෙරෙයි. නින්‍දා කෙරෙයි. දොස් කියයි. (මෙසේ) කිපියේ නො සතුටු සිත් ඇත්තේ චෝදනාවෙන් පෙළනු කැමැත්තේ “වළඳවු, නැතහොත් ගෙණ යවු” යි භික්‍ෂූන්ගේ පාත්‍ර පුරවමින් ගියේ ය.
15. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ බුද්ධප්‍රමුඛභික්‍ෂූ සංඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බිදිය යුතු දෙයින් ද සියතින් සතප්වා වළඳවා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් තුරුණුපහන් ඒ මහඇමතියා දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩ නො බෝ වේලාවක දී තුරුණුපහන් ඒ මහඇමතියාහට “ඒ මම කිපියෙම් නො සතුටු සිත් ඇත්තෙම් චෝදනා කරණු කැමැත්තෙම් ‘වළඳවු, නැතහොත් ගෙණ යවු’ යි භික්‍ෂූන්ගේ පාත්‍ර පුරවමින් ගියෙම් ද, ඒ මාහට අලාභ ය. මාහට ලාභයෙක් නො වේ. මා විසින් අයහපතක් ලද්දේ ය. මා විසින් යහපතක් නො ලද්දේ ය. කිමෙක් ද, මා විසින් බොහෝ කුසල් හෝ අකුසල් හෝ රැස් කරණ ලද්දේ දැ?” යි කුකුසෙක් වූයේ ය. විපිළිසරෙක් වූයේ ය.
17. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “ස්වාමීනි, මෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ නො බෝ වේලාවකින් මට – ‘යම්සේ මම කිපියෙම් නො සතුටු සිත් ඇත්තෙම් නින්‍දා කිරීම බලාපොරොත්තු වන්නෙම් ‘වළඳවු, නැත්නම් ගෙණ යවු’ යි භික්‍ෂුන්ගේ පාත්‍ර පුරවමින් ගියෙම් ද, ඒ මාහට අලාභ ය. මාහට ලාභයෙක් නො වේ. මා විසින් අයහපතක් ලද්දේ ය. මා විසින් යහපතක් නො ලද්දේ ය. කිමෙක් ද, මා විසින් බොහෝ කුසල් හෝ අකුසල් හෝ රැස් කරණ ලද්දේ දැ?” යි කුකුසෙක් වූයේ ය. විපිළිසරෙක් වූයේ ය. “ස්වාමීනි, කිම මා විසින් බොහෝ පින් හෝ පව් හෝ රැස් කරණ ලද දැ?” යි විචාළේ ය. ඇවැත, යම් දිනෙක පටන් තා විසින් හෙටට බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරණ ලද්දේ ද, එදින පටන් තා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ය. යම් වේලක පටන් එක එක මහණහු විසින් තොපගේ එක එක බත්තුළ පිළිගන්නා ලද්දේ ද, එවේලෙහි පටන් තොප විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ය. තොප විසින් ස්වර්‍ගයෝ සතුටු කරණ ලද්දාහ” යි.
18. ඉක්බිති තුරුණුපහන් ඒ මහඇමති තෙමේ “මට ලාභයෙක් ල. මා විසින් මොනවට ලද්දේ ල. මා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේ ල. මා විසින් ස්වර්‍ගයෝ සතුටු කරණ ලද්දෝ ල” යි සතුටු වූයේ ඔදවැඩියේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, අන් තැනක පවරණ ලද්දෝ අනෙකකුගේ බුදිනකැඳ වළඳත් ල යනු සැබෑ දැ” යි භික්‍ෂූන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ සිස් පුරුෂයෝ අන් තැනක පවරණ (ආරාධනා) ලද්දෝ අන්‍යයකුගේ බුදිනකැඳ වැළඳූවාහුදැයි ගැරහූ සේක. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, අන් තැනක පවරණ ලද්දහු විසින්, අනෙකකුගේ බුදිනකැඳ නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ඇවැත් පරිදි කර විය යුතු ය” යි වදාළ සේක.
19. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධකවින්‍දයෙහි කැමැති තාක් වාසය කොට භික්‍ෂූන් එක් දහස් දෙසිය පණසක් වූ මහාභික්‍ෂුසඞ්ඝයා සමග රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.
20. එකල්හි බෙලට්ඨකච්චාන තෙමේ රජගහනුවරින් අන්‍ධකවින්‍දය බලා උක්හකුරු කළවලින් ම පිරුණු පන්සියයක් පමණ ගැල් සමග දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ බෙලට්ඨකච්චානයා දුර දී ම දුටු සේක. දැක මාර්‍ගයෙන් ඉවත් ව එක්තරා ගසක් මුල වැඩ හුන් සේක.
21. එවිට බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ බෙලට්ඨකච්චාන තෙමේ “ස්වාමීනි, මම එක එක මහණහුට එක එක උක්සකුරුකළයක් දීමට කැමැත්තෙමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ එක ම උක්හකුරුකළයක් ගෙණ එව.” “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී එක ම උක්හකුරුකළයක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ “ස්වාමීනි, උක්හකුරු කළයක් ගෙණ එන ලද්දේ ය. ස්වාමීනි, මම කෙසේ පිළිපදිම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන්ට උක්හකුරු දෙව”. “ස්වාමීනි එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භික්‍ෂූන්ට උක්හකුරු දී “ස්වාමීනි, භික්‍ෂූන්ට උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන්ට උක්හකුරු සෑහෙන පමණ දෙව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, භික්‍ෂූන්ට සෑහෙන පමණ උක්හකුරු දී “ස්වාමීනි, භික්‍ෂූන්ට සෑහෙන පමණ උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය, එසේ නම්, තෝ භික්‍ෂූන් උක්හකුරු වලින් සතප්පව”. “ස්වාමීනි එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භික්‍ෂූන් උක්හකුරුවලින් සැතැප්වී ය. ඇතැම් භික්‍ෂූහු පාත්‍ර ද පිරවූහ. පෙරහන් ද පසුම්බි ද පිරවූහ.
22. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ භික්‍ෂූන් උක්හකුරුවලින් සතප්වා “ස්වාමීනි, භික්‍ෂූහු උක්හකුරුවලින් සතප්පන ලද්දාහු ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේ ය. “කච්චානය එසේ නම්, තෝ ඉඳුල් කන්නන්ට (යාචකයන්ට) උක්හකුරු දෙව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යාචකයන්ට උක්හකුරු දී “ස්වාමීනි, යාචකයන්ට උක්හකුරු දෙන ලද්දේ ය. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “කච්චානය, එසේ නම්, තෝ යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දෙව.” “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දී “ස්වාමීනි, යාචකයන්ට උක්හකුරු සෑහෙන පමණ දෙන ලද්දේ ය. මේ බොහෝ උක් හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, මම කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඇසී ය. “කච්චානය, එසේ නම් තෝ යාචකයන් උක්සකුරුවලින් සතප්පව”, “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දි යාචකයන් උක්හකුරුවලින් සැතැප්වීය. ඇතැම් යාචකයෝ මහසැළි ද කළ ද පැස් ද පුරවාගත්හ. ඔඩොක්කු ද පුරවාගත්හ.
23. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ යාචකයන් උක්හකුරුවලින් සතප්වා “ස්වාමීනි, යාචකයෝ උක්හකුරුවලින් සතප්පන ලද්දාහ. මේ බොහෝ උක්හකුරු ඉතිරි වූයේ ය. ස්වාමීනි, කුමක් කරම් දැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය. “කච්චානය, මම, යමකු විසින් මේ උක්හකුරු අනුභව කරණ ලද්දේ මැනවින් දිරවීමට යන්නේ ද, තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ හැර එබන්දකු දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද, මහණබමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි ද, මම නො දක්මි. කච්චානය, එසේ නම්, තෝ ඒ උක්හකුරු තණකොළ නැති තැනක හෝ දමව. සතුන් නැති දියෙහි හෝ පා කොට හරුව”. “ස්වාමීනි, එසේ ය” යි බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ උක්හකුරු සතුන් නැති දියෙහි පා කොට හැරියේ ය. දියෙහි ලූ ඒ උක්හකුරු චිටි චිටි යන හඬ නගයි. චිටි චිටි යන හඬ නගයි. හැම අතින් දුමයි. හැම අතින් වැඩියක් දුමයි. දවසක් රත් කළ සීවැලක් (නගුල් තලයක්) දියෙහි ලන ලද්දේ යම් සේ චිටි චිටි යන හඬ නගා ද, චිටි චිටි යන හඬ නගා ද, හාත්පසින් දුමා යේ ද, හාත්පසින් වැඩියක් දුමා යේ ද, එපරිද්දෙන් ම ඒ උක්හකුරු දියෙහි ලන ලද්දේ චිටි චිටි යන හඬ නගයි. චිටි චිටි යන හඬ නගයි. හාත්පසින් දුමයි. හාත්පසින් වැඩියක් දුමයි.
24. ඉක්බිති හටගත් බිය ඇති හටගත් ලොමුදහගැණීම් ඇති බෙලට්ඨකච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් බෙලට්ඨකච්චානයාහට පිළිවෙළකතාව වදාළ සේක. එනම්: දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව ද කාමයන් දුක්බව ලාමකබව කෙලෙසීමට හේතුවන බව ද, පැවිද්දෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ බෙලට්ඨකච්චානයා සුදුසු සිත් ඇත්තෙක, මොළොක් වූ සිත් ඇත්තෙක, නො හැකුළුණු සිත් ඇත්තෙක, ඔදවැඩි සිත් ඇත්තෙක, පහන් සිත් ඇත්තෙකැ යි දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ සාමුක්කංසික වූ යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛසත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කළ සේක. [පිරිසිදු වූ පහ වූ කිලිටු ඇති වස්ත්‍රයක් මනා ව සායම් ගන්නේ යම් සේ ද,]. එපරිද්දෙන් ම බෙලට්ඨකච්චානයාහට ඒ අසුනෙහි දී ම “හටගැණීම ස්වභාවය කොට ඇති යම් කිසිවක් වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි රාගාදීරජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
25. ඉක්බිති බෙලට්ඨකච්චාන තෙමේ දක්නා ලද දහම් ඇත්තේ පැමිණි දහම් ඇත්තේ අවබෝධ කළ දහම් ඇත්තේ වෙසෙසින් බැස ගත් දහම් ඇත්තේ දුරු කළ සැක ඇත්තේ පහ වූ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ විශාරදභාවයට පැමිණියේ බුදුසස්නෙහි (අවබෝධය සඳහා) අනුන්ගේ උපකාරයක් (ඕනෑ) නැත්තේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විදහා පාන්නේ ද, මං මුළා වූවහුට යම් සේ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දක්නාහු’ යි ගනඳුරෙහි තෙල්පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය තෙමේ ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකෝත්තරධර්‍මය ද අෂ්ටාර්‍ය්‍යපුද්ගලභික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගියා වූ මා උපාසකයකු කොට දරණ සේක්වා” යි සැළකෙළේ ය.
26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් රජගහනුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවර කලන්‍දකනිවාපයෙහි වූ වේළුවනාරාමයෙහි වසන සේක. එකල්හි රජගහනුවර උක්හකුරු බහුල වේ. භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලනහුට ම උක්හකුරු අනුදන්නා ලද්දේ ය. නොගිලන් වූවහුට නො අනුදන්නා ලද්දේ ය” යි කුකුස් කරමින් උක්හකුරු නො වළඳත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලන් වූවහුට උක්හකුරු ද, නො ගිලන් වූවහුට උක්හකුරුදිය (උක්හකුරු කලතා ගත් දිය) ද අනුදනිමි” යි.
27. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් කල් වාසය කොට පාටලිග්‍රාමය බලා එක්දහස්දෙසියපණසක් වූ මහාභික්‍ෂු සඞ්ඝයා සමග චාරිකාවෙහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණ සේක් පාටලිගමට වැඩි සේක. පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ පාටලිගමට වැඩිසේක් ල” යි ඇසූහ. එවිට පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් පාටලිගම්වැසි උපාසකයන් දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කර වූහ. සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද තියුණු කරවන ලද සතුටු කරවන ලද පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භික්‍ෂුසඞ්ඝයා සමග භාග්‍යවතුන් වහන්සේ අපගේ ආගන්තුකාගාරය පිළිගන්නා සේක්වා” යි (කීහ). භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක.
28. ඉක්බිති පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ආගන්තුකාගාරයට ගියහ. ගොස් ආගන්තුකාගාරය සියලු තැන අතුරා අසුන් පණවා මහදියබඳුනක් පිහිටුවා තෙල්පහන් නගා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියහ. පසෙක සිටි පාටලිගම්වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, ආගන්තුකාගාරය සියලු තැන අතුරණ ලදී. අසුන් පණවන ලදී. දිය බඳුනක් තබන ලදී. තෙල්පහන් නගන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් බලාපොරොත්තු වන සේක් නම්, මේ ඊට කාල ය” යි සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරොවා පාසිවුරු ගෙණ භික්‍ෂුසඞ්ඝයා සමග ආගන්තුකාගාරයට වැඩි සේක. වැඩ පා සෝදා ආගන්තුකාගාරයට පිවිස මැදකණුව නිසා පෙරදිගට මුහුණ දී වැඩ හුන් සේක. භික්‍ෂුසඞ්ඝ තෙමේ ද පා සෝදා ආගන්තුකාගාරයට පිවිස පැසුළු බිත්තිය නිසා පෙරදිගට මුහුණ දී භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්නේ ය. පාටලිගම්වැසි උපාසකයෝ ද පා සෝදා ආගන්තුකාගාරයට ඇතුල් ව පෙරදිග බිත්තිය නිසා පැසුළු දිගට මුහුණ දී භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ.
29. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම්වැසි උපාසකයන් ඇමතූ සේක: “ගැහැවියෙනි, දුග්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ දොස් පසෙක් වේ. කවරපසෙක්ද? යත් ගැහැවියෙනි, මෙහි දුශ්ශීල තෙමේ ශීලවිපත්තියට පැමිණියේ ප්‍රමාදහේතුවෙන් මහත් භොගහානියට පැමිණේ. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි පළමුවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීලයා පිළිබඳ අයහපත් කීර්තිරාවයෙක් පැන නගියි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි දෙවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ ක්‍ෂත්‍රිය පිරිස බමුණුපිරිස ගැහැවි පිරිස මහණපිරිස යන යම් යම් පිරිසක් වෙතට එළඹේ ද, බිය ඇති ව තෙද රහිත ව එළඹෙයි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි තෙවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ මුළා වූයේ කලුරිය කරයි. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි සිවුවන දොස වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්විපතට පැමිණි දුශ්ශීල තෙමේ ජීවිතේන්‍ද්‍රියවිනාශයෙන් මරණින් පසු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ අකමැත්තෙන් ම (දුබල ව) පතිත වන්නා වූ නරකයෙහි උපදී. මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි පස්වන දොස වේ. ගැහැවියෙනි, මේ දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි දොස් පස ය.”
30. “ගැහැවියෙනි, සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි මේ අනුසස් පසෙක් වේ. කවර පසෙක් ද? ගැහැවියෙනි, මෙහි සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ අප්‍රමාදහේතුවෙන් මහත් වූ භොගරාශියක් ලබයි. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි පළමුවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල්වත් වූ සීලයෙන් යුක්ත වූවහුගේ යහපත් කීර්තිරාවයෙක් පැන නගියි. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි දෙවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ ක්‍ෂත්‍රියපිරිස බමුණුපිරිස ගැහැවිපිරිස මහණපිරිස යන යම් යම් පිරිසක් වෙතට එළඹේ ද, නිර්‍භය ව තෙද සහිත ව එළඹේ. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි තෙවන ආනිසංසය වේ. නැවැත ද ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ නො මුළා ව කලුරිය කෙරේ. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි සිවුවන ආනිසංසය වේ. නැවැත ද, ගැහැවියෙනි, සිල් ඇත්තේ සීලයෙන් යුක්ත වූයේ ජීවිතේන්‍ද්‍රිය විනාශයෙන් මරණින් පසු මනා ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදී. මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි පස්වන ආනිසංසය වේ. ගැහැවියෙනි, මේ සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි අනුසස් පස ය.”
31. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලීගම්වැසි උපාසකයන් රෑ බොහෝ වේලාවක් ම දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා “ගැහැවියෙනි, රාත්‍රිතොමෝ ඉක්ම ගියා ය. දැන් යම් ගමනකට බලාපොරොත්තු වන්නහු නම්, එයට කාලය දනිවු” යි වදාළහ. පාටලිගම්වැසි උපාසකයෝ “ස්වාමීනි, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම්වැසි උපාසකයන් ගිය නොබෝ වේලාවකින් ශුන්‍යාගාරයට පිවිසි සේක.
32. එකල්හි සුනීධ–වස්සකාර නම් මගධමහාමාත්‍යයයෝ වජ්ජීන් වළකනු පිණිස පාටලිගම්හි නුවරක් ගොඩ නගත්. භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම් වේලෙහි නැගී සිට පාටලිගම්හි ගෙබිම් පරිග්‍රහණ කරන්නා වූ (=අරක් ගන්නා වූ) බොහෝ දෙවියන් මිනිසැස ඉක්ම වූ පිරිසිදුවූ දිවැසින් දුටුසේක. මහේශාඛ්‍ය දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් (=දෘෂ්ටි හෙළීම් වසයෙන් ගණිත්) ද, එහි ගෙවල් ගොඩ නගන්නට මහේශාඛ්‍ය වූ රජුන්ගේ ද රජමහ ඇමැතියන්ගේ ද සිත් නැමේ. මධ්‍යම වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මධ්‍යම වූ රජුන්ගේ ද රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ. පහත් වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට පහත් රජුන්ගේ ද රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ.
33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, ඒ කවර කෙනෙක් පාටලිගම්හි නුවරක් ගොඩ නගත් දැ” යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් ඇසූ සේක. “ස්වාමීනි, සුනීධ ය, වස්සකාරය යන මගධමහාමාත්‍යයෝ වජ්ජීන් පිළිබහනු (=වළක්වනු) පිණිස පාටලිගම්හි නුවරක් ගොඩනගත්” යි (සැළකෙළේය.) “ආනන්‍දය, සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට ගෙණ (කරන්නා) සේ, ආනන්‍දය, වජ්ජීන් වළක්වනු පිණිස පාටලිගම්හි නුවරක් ඉදි කෙරෙත්. ආනන්‍දය, මම මෙහි රෑ අලුයම් වේලෙහි නැගී සිට පාටලිගම්හි ගෙබිම් පරිග්‍රහණය කරන්නා වූ බොහෝ දෙවියන් මිනිසැස ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් දුටුවෙමි. මහේශාඛ්‍ය දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මහේශාඛ්‍ය රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ ද සිත් නැමේ. මධ්‍යම වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට මධ්‍යම වූ රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ සිත් නැමේ. පහත් වූ දෙවියෝ යම් පෙදෙසක ගෙබිම් පරිග්‍රහණ කෙරෙත් ද, එහි ගෙවල් ගොඩ නගන්නට පහත් වූ රජුන්ගේ හා රජමහඇමැතියන්ගේ සිත් නැමේ. ආනන්‍දය, ආර්‍ය්‍යායතනය (=ආර්‍ය්‍යාවාසය – ආර්‍ය්‍ය මිනිසුන් ගැවසෙන තැන්) යම් තාක් ද, වණික්පථය (=වෙළඳ මග – වෙළෙඳුන් බඩු විකුණන හෝ වසන තැන්) යම් තාක් ද, එහි (නන් දෙසින් ගෙණෙන වෙළෙඳ) බඩු පොදි ලිහන මේ පාටලීපුත්‍රය අග්‍රනගරය වන්නේ ය. ආනන්‍දය, පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් ද ජලයෙන් ද (රටවැස්සන්) උනුන් බිඳීමෙන් ඇතුළතින් දැ යි අන්තරාය තුණෙක් වන්නේ ය” යි වදාළසේක.
34. එකල්හි සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා පසෙක සිටියහ. පසෙක සිටි සුනීධ–වස්සකාර මගධමහාමාත්‍යයයෝ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයාත් සමග අදට අපගේ බත ඉවසාවා” යි සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක.
35. ඉක්බිති සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ඉන් නික්ම ගියහ. අනතුරු ව සුනීධ–වස්සකාර මගධමහාමාත්‍යයයෝ ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දේ පිළියෙල කරවා “භවත් ගෞතමයන් වහන්ස, මේ කාලය වේ. බත් නිමියේ” යි භාග්‍යවතුන් වහන්සේට කල් සැළකරවූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ සුනීධ–වස්සකාරමගධමහාමාත්‍යයන්ගේ පරිවේසනයට (=වළඳවන තැනට) වැඩි සේක. වැඩ පණවා තුබූ අසුනෙහි භික්‍ෂුසඞ්ඝයාත් සමග වැඩ හුන් සේක.