Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 1501-1600 න් 2789

“සංස්කාරලෝකයෙහි අනිත්‍යාදිදෝෂය දැක උපධි රහිත වූ නිර්‍වාණධර්‍මය මගපල නුවණින් දැන ආර්‍ය්‍ය පුද්ගල තෙමේ පවෙහි නො ඇලෙයි. (ඒ එසේ මැයි) මාර්‍ගඵලලාභී විශුද්ධපුද්ගල තෙමේ පව්කම්හි නො ඇලේ” යි.
122. ඉක්බිති ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මා හා, පිළිසඳර කතා කරණ සේක. මාගේ උපාධ්‍යාය තෙමේ යමක් දැන්වී ද, ඊට මේ කාලය වේ ය” යි හුනස්නෙන් නැගිට උතුරුසඟසිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: “ස්වාමීනි, මාගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිත්. මෙසේ ද කියත්:
123. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථය භික්‍ෂූන් ස්වල්ප ගණනක් ඇති පෙදෙසෙකි. තුන් අවුරුද්දක් ඇවෑමෙන් ඉතා දුකින් ඒ ඒ දිශාවන්ගෙන් දශවර්ගික භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා (මම) මාගේ උපසම්පදාව ලැබීමි. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි ඉතා ස්වල්ප වූ භික්‍ෂුගණයාගෙන් උපසපන් කිරීම අනුදන්නා සේක් නම්, යෙහෙක.”
124. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි මතුපිට කළුමැටි බහුල බිම රළු ය. ගවකුරවලින් කැඩුනේ ය.{*} භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි ගණඞ්‍ගණඋපාහනයන් අනුදන්නා සේක් නම්, යෙහෙක.”
125. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි මිනිස්සු නෑම ගරු කරන්නෝ ය. උදකසුද්ධිය (දියෙන් පිරිසිදු බව) බලාපොරොත්තු වන්නෝ ය. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි නිතර නෑම අනුදන්නා සේක් නම්, යෙහෙක.”
126. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම්ඇතිරි වේ. ස්වාමීනි, මධ්‍යමජනපදයෙහි එරගු මොරගු මජ්ජාරු ජන්තු{*} යන තෘණයෙන් කළ කළාල මෙන් ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි අනුදන්නා සේක් නම්, යෙහෙක.”
127. “ස්වාමීනි, දැන් මිනිස්සු සීමාවෙන් බැහැර ගිය භික්‍ෂූන්ට ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමු’ යි සිවුරු දෙත්. ඒ භික්‍ෂූහු අවුත් ‘ඇවැත්නි, මෙනම් ඇති මිනිසුන් විසින් තට සිවුරක් දෙන ලදැ’ යි කියත්. ඔහු කුකුස් කරන්නෝ ‘අපට නිසඟිපචිති නො වේවා’ යි{*} නො ඉවසත්. භාග්‍යවතුන් වහන්සේ සිවුරෙහි (පිළිපදිනා) ක්‍රමයක් වදාරණසේක් නම්, යෙහෙක” යනුයි.
128. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, අවන්තිදක්ඛිණාපථය භික්‍ෂූගණයාගෙන් හිඟ වූයේ ය. මහණෙනි, සියලු ප්‍රත්‍යන්තජනපදයන්හි විනයධරයා පස් වැනි කොට ඇති භික්‍ෂුගණයාගෙන් උපසපන් කිරීම අනුදනිමි” යි.
129. “මේ එහි ප්‍රත්‍යන්තජනපදයෝ ය:{*} (මහබෝමැඩට) පෙරදිගින් කජඞ්ගල නම් නියම්ගම ය. ඉන් පිටත මහාශාලයෝ ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්තජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශය යි. පූර්‍වදක්‍ෂිණ දිශාවෙන් (ගිනිකොණින්) සලලවතී නම් ගඞ්ගාව ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්තජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශය යි. දකුණුදිගින් ශ්වේතකර්ණිකා නම් නියම්ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්තජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශය යි. බස්නාහිරිදිගින් ථූණ නම් බමුණුගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්නතජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශය යි. උතුරුදිගින් උශිරධ්වජ නම් පර්‍වත ය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්තජනපදයෝ ය. ඉන් මොබ මධ්‍යදේශ ය යි. මහණෙනි, මෙබඳු ප්‍රත්‍යන්තජනපදයන්හි විනයධරයා පස් වැනි කොට ඇති භික්‍ෂුගණයාගෙන් උපසපන් කිරීම අනුදනිමි” යි.
130. “මහණෙනි, අවන්තිදක්ඛිණාපථයෙහි මතුපිට කළු මැටි බහුල බිම ගවකුරයෙන් කැඩුනී රළු ය. මහණෙනි, සියලු ප්‍රත්‍යන්තජනපදයන්හි පටගණන් ඇති ඝන වහන් (දැරීම) අනුදනිමි” යි.
131. “මහණෙනි, අවන්තිදක්ඛිණාපථයෙහි මිනිස්සු නෑම ගරු කොට ගත්තෝ ය. දියෙන් පිරිසිදු වීම කැමැත්තෝ ය. මහණෙනි, සියලු ප්‍රත්‍යන්තජනපදයන්හි නිතර නෑම අනුදනිමි” යි.
132. “මහණෙනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි වේ. මහණෙනි, මධ්‍යමජනපදයන්හි එරගු මොරගු මජ්ජාරු ජන්තු යන තෘණයන්ගෙන් කළ කළාල සේ මහණෙනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි වේ. මහණෙනි, සියලු ප්‍රත්‍යන්තජනපදයන්හි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි අනුදනිමි” යි.
133. “මහණෙනි, මෙහි මිනිස්සු සීමාවෙන් බැහැර ගිය භික්‍ෂූන්ට ‘මේ සිවුර මෙනම් ඇත්තහුට දෙමු’ යි සිවුරු දෙත්. මහණෙනි, ඉවසන්ට අනුදනිමි. යම් තාක් කල් ඒ අත්පත් නොවේ ද, ඒ තාක් කල් ගණනට නො ගැණේ යි” වදාළ සේක.
පස්වන චම්මක්ඛන්‍ධකය නිමි.
මේ ඛන්‍ධකයෙහි වස්තු තෙසැටෙකි.
එහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේ ය:
1. මගධාධිපති බිම්බිසාර තෙමේ ය. සෝණසිටු තෙමේ ය. අසූදහසක් ගම්දෙටුහු ය. සාගතස්ථවිර තෙමේ ගිජුකුළුපව්වෙහි බොහෝ උතුරු මිනිස්දම් දැක් වී ය.
2. සෝණසිටුගේ පැවිද්ද හා අධිකවීර්‍ය්‍යය නිසා පතුල් පැළිම, වෙණ වැයීම, එක්පට වහන් අනුදැනීම, නිල්වන් වහන්, රන්වන් වහන්, රතුවහන්, මදටියවන් වහන්, කළුවහන්–
3. පතඟිවන් වහන්, මුසුපැහැති වහන්, නිල්වන් ඈ වරපට ඇති වහන් යන මේ වහන් ප්‍රතික්‍ෂේප කිරීම, විලුඹ වසා කළ වහන්, කෙණ්ඩා වැසෙන සේ කළ වහන්, පිටිපා වසාලන වහන්, පුලුන් පුරවා කළ වහන්, තිත්වටුපියාපත් පිරියමින් විසිතුරු කොට කළ වහන්, බැටලුඅං සටහන් වර ඇති වහන්, එළුඅං සටහන් වර ඇති වහන්–
4. ගෝනුසුනගුටුසටහන් වර ඇති වහන්, මොනරවිල් වහන්, විසිතුරු වහන්, සිහසමින් කළ වහන්, වගසමින් කළ වහන්, අඳුන්දිවිසමින් කළ වහන්, දියබලුසමින් කළ වහන්, බළල්සමින් කළ වහන්, ලේනසමින් කළ වහන්, බකමූණු පිහාටුවලින් කළ වහන් ප්‍රතික්‍ෂේප කිරීම–
5. පැළුනු පතුල් ඇති මහණකු නිසා වහන් අනුදැනීම, පට කිහිපයකින් යුත්වහන් අනුදැනීම, සවගමහණුන් නිසා ආරාමය තුළ වහන් දැරීම තහනම් කිරීම, පාදඛීලාබාධය, සේදූ පාදය, උල් ඇණිම, ඛට ඛට යන ශබ්දයෙන් යුත් පාදුකා දැරීම, තල්කොළ, උණකොළ, තණකොළ පාදුකා, මුදුතණ, බබුස්තණ, කිතුල්කොළ යන මෙයින් කළ පාදුකා ප්‍රතික්‍ෂේප කිරීම–
6. කමලතණ, පලස් පාදුකා, රන්, රිදී, මැණික්, වෙරළුමිණි, පළිඟු, කස්ලෝහ, කදාමිණි, සුදුඊයම්, කළුඊයම්, තඹලෝහෝ, යන මෙයින් කළ පාදුකා ප්‍රතික්‍ෂේප කිරීම–
7. ගඟින් එතරවන දෙනුන්, යානාව, ගිලනා, පිරිමිසතුන් යෙදූ යානාවන්, සිවිකා, හිදොළු, මහසම්, ගෙරිසම්, පවිටුමහණ යන මොවුන් පිළිබඳ වස්තු–
8. ගිහින් සතු සම්වෙලූ අසුන්, සම්බැඳි වෙහෙර හිඳීම, (වහන් පය ලා ගම්) වැඳීම, ගිලන්හු, මහාකාත්‍යායන ස්ථවිර තෙමේ, සෝණස්ථවිර තෙමේ, මිහිරිහඬින් අෂ්ටක වර්‍ග සූත්‍ර දෙසීම–
9. පංචවර්ගිකභික්‍ෂූන් විසින් උපසපන් කිරීම, තුන් පටින් වැඩි පට ඇති වහන් දැරීම, නිත්‍යාස්නානය, සම්ඇතිරි, අත්පත් වන තෙක් ගණන් නො ගැණෙන සිවුරු ඉවසීම ද අනුදත් සේක. නායක වූ බුදුරජානන් වහන්සේ සෝණ තෙරුන්ට මේ වර පස දුන් සේක.
විනයපිටකයෙහි
මහවග
ද්විතීය භාගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
භේසජ්ජක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ශරත්කාලයෙහි හටගත් පිත්තරෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද (නො දිරීමෙන්) නැගෙයි. අනුභව කළ බත් ද (නො දිරීමෙන්) නැගෙයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණු රළු සිරුරු ඇත්තාහු දුර්වර්‍ණ වූවාහු ඉතා පඬුවන් වූවාහු නහර ඉල්පුනු සිරුරු ඇත්තාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ වෑරුණු රළු සිරුරු ඇති දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුර ඇති ඒ භික්‍ෂූන් දුටු සේක. දැක “ආනන්‍දය, දැන් භික්‍ෂූහු කුමක් හෙයින් වෑරුණු රළු සිරුරු ඇත්තාහු දුර්වර්‍ණ වූවාහු ඉතා පඬුවන් වූවාහු නහර ඉල්පුනු සිරුර ඇත්තාහු දැ” යි අනඳතෙරුන් ඇමතූ සේක.
2. “ස්වාමීනි, දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද උඩට එයි. අනුභව කළ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණාහු ය. රළු වූ සිරුරු ඇත්තෝ ය. දුර්වර්‍ණ වූවෝ ඉතා පඬුවන් වූවෝ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය.”
3. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි “දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද උඩට එයි. අනුභව කළ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණෝය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ඉතා පඬුවන් වූවෝ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය. එහෙයින් යමක් බෙහෙත් වන්නේ ද, ලෝකයා විසින් බෙහෙතැ යි සම්මතත් කරණ ලද්දේ ද, අහරකිසත් සපයන්නේ ද, දළආහාරයක් සේ නො පෙණෙන්නේ ද, එබඳු වූ බෙහෙදක් මම භික්‍ෂූන්ට කිම අනුදන්නෙම් දැ”යි අදහසෙක් පහළ වූයේ ය.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මේ බෙහෙත් පසෙක් වේ. එනම්: ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු යන මේ ය. මොහු බෙහෙත් ද වෙති. ලෝකයා විසින් බෙහෙතැ යි ද සම්මතයහ අහර කිසත් සිදු කෙරෙත්. දළආහාරයක් සේ නො පෙණෙත්. මම භික්‍ෂූන්හට මේ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වැළඳීමට අනුදන්නෙම් නම්, යෙහෙකැ” සි මේ සිත් වි ය.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටි සේක් මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, මෙහි රහෝගත ව විවේකයට පැමිණ හුන් මාගේ සිතෙහි ‘දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බීපු කැඳ ද උඩට එයි. වැළඳූ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණෝ ය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ය. ඉතා පඬුවන් වූවෝ නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය. (එහෙයින්) යමක් බෙහෙත් වේ ද, ලෝකයා විසින් බෙහෙතැ යි සම්මතත් කරණ ලද්දේ ද, අහරකිසත් සිදු කරන්නේ ද, දළආහාරයක් සේ නො පෙණෙන්නේ ද, (එබඳු වූ) බෙහෙතක් මම භික්‍ෂූන්ට කිම අනුදන්නෙම් දැ’ යි අදහසෙක් උපන.
6. “මහණෙනි, ඒ මට – ‘මේ බෙහෙත් පසෙක් වේ. එනම්: ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු යන මේ ය. මොහු බෙහෙත් ද වෙති. ලෝකයා විසින් බෙහෙතැ යි ද සම්මතයහ. අහර කිසත් සිදු කෙරෙත්. දළ ආහාරයක් සේ නො පෙණෙත්. මම භික්‍ෂූන්හට මේ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳන්නට අනුදන්නෙම් නම්, යෙහෙකැ’යි මේ සිත් වි ය. මහණෙනි, ඒ බෙහෙත් පස සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳන්නට අනුදනිමි” යි.
7. එකල්හි භික්‍ෂූහු ඒ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි පරිභෝග කෙරෙත්. ඒ භික්‍ෂූන්හට යම් ඒ ස්වාභාවික වූ රළුආහාරයෝ වෙත් ද, ඒ ආහාරයෝ ද රුචි නො වෙත්. සිනිඳු ආහාරයෝ රුචි නොවෙත් යනු කිම? ඒ භික්‍ෂූහු ශරත් කාලයෙහි හටගත් ඒ රෝගයෙන් ද මේ ආහාරඅරුචියෙන් ද යන ඒ දෙකින් පහස්නා ලද්දාහු බොහෝ සෙයින් වෑරුණෝ ය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ය. ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය.
8. භාග්‍යවතුන් වහන්සේ ඉතා තදින් වෑරුණු රළු වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුරු ඇති ඒ භික්‍ෂූන් දුටු සේක. දැක, “ආනන්‍දය, කුමක් නිසා දැන් භික්‍ෂූහු ඉතා තදින් වෑරණාහු ද? රළු වූවාහු ද? දුර්වර්‍ණ වූවාහු ද? ඉතා පඬුවන් වූවාහු ද? නහර ඉල්පුනු සිරුර ඇත්තාහු දැ” යි අනඳ තෙරුන් ඇමතූ සේක.
9. “ස්වාමීනි, භික්‍ෂූහු දැන් ඒ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳත්. ඔවුන්ට යම් ඒ ස්වාභාවික වූ රළු ආහාරයෝ වෙත් ද, ඒ ආහාරයෝ ද රුචි නො වෙත්. සිනිඳු ආහාරයෝ කියනු කිම? ඒ භික්‍ෂූහු ශරත් කාලයෙහි හටගත් ඒ රෝගයෙන් ද මේ ආහාරඅරුචියෙන් ද යන ඒ දෙකින් පහස්නා ලද්දාහු බොහෝ සෙයින් වෑරුණාහු ය. රළු වූවාහුය. දුර්වර්‍ණ වූවාහු පඬුවන් වූවාහු ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තාහු ය” යි.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, ඒ පස් බෙහෙත් පිළිගෙණ පෙරවරු කාලයෙහි ද පස්වරුකාලයෙහි ද වළඳන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
11. එකල්හි ගිලන් භික්‍ෂූන්ට වුරුණුතෙල්බෙහෙදින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ. “මහණෙනි, වුරුණුතෙල් බෙහෙත්: වලස්තෙල් මත්ස්‍ය තෙල් කිඹුල්තෙල් ඌරුතෙල් කොටළුතෙල් යන තෙල් පෙරවරු කාලයෙහි පිළිගන්නා ලදු ව පෙරවරු කාලයෙහි පැසවන (කකාරණ) ලදු ව පෙරවරු කාලයෙහි (අන්‍යද්‍රව්‍යයන් හා කලතා) පෙරණ ලදු ව තෙල පරිභෝගයෙන් වළඳන්නට අනුදනිමි. මහණෙනි, පස්වරු කාලයෙහි පිළිගන්නා ලද, පස්වරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැත් තුණක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පස්වරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැත් දෙකක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පෙරවරු කාලයෙහි පැසවූ, පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, දුකුළාඇවැතෙක් වේ. මහණෙනි, පෙරවරු කාලයෙහි පිළිගන්නා ලද, පෙරවරු කාලයෙහි පැසවූ, පෙරවරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම්, ඇවැත් නො වේ” යි.
12. එකල්හි ගිලන්මහණුන්ට මුල්බෙහෙදින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. මහණෙනි, කහ ඉඟුරු වදකහ හෙළවදකහ අතිවිඩයන් කුළුරෑණ සුවඳහොට වම්මුතු යන මුල් බෙහෙත් ද, යම් අනෙක් මුල් බෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, බුදිය යුතු දැයෙහි ලා බුදීමේ ප්‍රයෝජනය නො සපයයි ද, (ඛාද්‍ය භෝජ්‍ය වශයෙන් නො ගැණෙන) එබඳු මුල් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද උපන් පසෙහි (හේතුවක් ඇති කල්හි) වළඳන්නට ද අනුදනිමි. නූපන් පසෙහි වළඳන්නහුට දුකුළාඇවැත් වේ යි.
13. එකල්හි ගිලන්මහණුන්ට බෙහෙත්මුල්පිටිවලින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දාගල (ඇඹරුම්ගල) ද දරුගල ද අනුදනිමි” යි.
14. එකල්හි ගිලන්මහණුන්ට කසටබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කොහොඹකසට කෙළිඳකසට දුම්මෑල්ලකසට හඟුලුකසට කරඳකසට යන කසට බෙහෙත් ද, යම් අනෙක් කසටබෙහෙත් කෑ යුතු දැයෙහි ලා කෑමේ ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කට යුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු කසටබෙහෙත් පිළිගෙණ දිවි තෙක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
15. එකල්හි ගිලන්මහණුන්ට කොළබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කොසඹකොළ කෙළිඳකොළ දුම්මෑල්ලකොළ තලාකොළ කපුකොළ යන කොළ බෙහෙත් ද යම් අනෙක් කොළබෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු කොළබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
16. එකල්හි ගිලන්මහණුන්ට පලබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වළඟසාල් තිප්පිලි ගම්මිරිස් අරළු බුළු නෙල්ලි ගොටුපල (කුකුළු පක් = කුකුරුමුවන්) යන පලබෙහෙත් ද, යම් අනෙක් පලබෙහෙත් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කට යුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු පලබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද හේතුවක් ඇති කල්හි වළඳන්නට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
17. එකල්හි ගිලන්මහණුන්ට මැලියම්බෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිඞ්ගු (= පෙරුම් කායම්) හිඞ්ගුදඬු තම්බා ගත් මැලියම්, හිඞ්ගුකොළ තම්බා ගත් මැලියම්, රුක් කරටියෙන් වැහෙන මැලියම්, රුක්හි කොළවලින් වැහෙන මැලියම්, රුක්හි මෙරූ කොළ තම්බා ගත් මැලියම්, දුම්මල යන මැලියම් බෙහෙත් ද, යම් අනෙක් මැලියම්බෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයෝජනය නො සපයයි ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ප්‍රයෝජනය නො සපයයි ද, එබඳු මැලියම්බෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද, හේතුවක් ඇති කල්හි වළඳන්නට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
18. එකල්හි ගිලන්මහණුන්ට ලුණුබෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මූදුලුණු, කළුලුණු, සින්‍ධුජනපදයෙහි උපන් ලුණු, සුවස ලුණු, බළල් ලුණු යන ලුණුමිශ්‍ර බෙහෙත් ද, යම් අනෙක් ලුණුබෙහෙතක් කෑ යුතු දැයෙහි ලා කෑමෙහි ඵලය නො සිදු කෙරේ ද, අනුභව කටයුතු දැයෙහි ලා අනුභව කිරීමේ ඵලය නො සිදු කෙරේ ද, එබඳු ලුණුබෙහෙත් පිළිගෙණ දිවි ඇති තාක් පරිහරණය කරන්නට ද, හේතුවක් ඇති කල්හි වැළඳීමට ද අනුදනිමි. හේතුවක් නැති කල්හි වළඳන්නහුට දුකුළාඇවැත් වේ” යි.
19. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් බෙලට්ඨිසිස ස්ථවිරයන් වහන්සේට මහත් කැසීම් රෝගයෙක් වේ. සැරව ඕජසින් සිවුරු උන්වහන්සේගේ සිරුරෙහි ඇලෙයි. භික්‍ෂූහු ඒ සිවුරු දියෙන් තෙමතෙමා බැහැර කෙරෙත්.
20. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙතට වැඩි සේක. වැඩ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි ඇසූහ. “ස්වාමීනි, මේ ආයුෂ්මතුන්ට ථුල්ලකච්ඡාබාධය වේ. සැරව ඕජසින් සිවුරු සිරුරෙහි ඇලෙයි. අපි ඒ සිවුරු දියෙන් තෙමතෙමා ඉවත් කරමු” යි.
21. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, යම් මහණකුහට කැසීමෙක් හෝ පොළක් හෝ ඕජස් ගැලීමෙක් හෝ දැඩි කැසීම් ආබාධයෙක් හෝ වේ ද, කය හෝ දුගඳ වේ ද, (ඔහුට) සුණු බෙහෙත් අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක. නො ගිලන්මහණහුට ගොමබෙටි, මැටි, රජනකසට අනුදනිමි. මහණෙනි, වංගෙඩිය හා මොහොල අනුදනිමි” යි.
22. එකල්හි ගිලන්මහණුන්ට සලන ලද බෙහෙත්සුණුවෙන් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සුණු සලන පෙරහනක් අනුදනිමි”යි. සියුම් සුණුවෙන් ප්‍රයෝජන වේ. “මහණෙනි, රෙදිපෙරහනක් අනුදනිමි” යි.
23. එකල්හි එක්තරා මහණකුට අමනුෂ්‍යාබාධයෙක් වේ. ආචාර්‍ය්‍යඋපාධ්‍යායයෝ ඔහුට උවැටන් කරන්නෝ නීරෝග කරන්නට නො හැකි වූහ. ඒ මහණ තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමුමස් කෑසේ ය. අමුලේ ද බීයේ ය. (ආවිෂ්ට වූ අමනුෂ්‍යයා මස් ලේ කා බී ගියේ ය යි යූ සේ යි.) ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයෙහි අමුමස් අමුලේ අනුදනිමි” යි.
24. එකල්හි එක්තරා මහණකුහට ඇස්ලෙඩක් වේ. භික්‍ෂූහු ඔහු අල්වා ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවත්.
25. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු අල්වා ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙත එළඹි සේක. එළඹ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි පිළිවිසූහ. “ස්වාමීනි, මේ මහණහුට ඇස්ලෙඩකි. අපි මේ මහණහු අල්වා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවමු” යි.
26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, කළුඅඳුන්, රසඳුන්, ගං හෝ ආදියෙහි උපදින අඳුන්, ලොහෝඅඳුන්, සුවන්ගුරුඅඳුන්, පහන්සිළුදැලිඅඳුන් යන අඳුන් අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක. අඳුන් පිණිස ගල ගා ගත් බෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඳුන්, තුවරලා, කළුඅගිල්, තලිස්, වම්මුතු අනුදනිමි” යි.
27. එකල්හි භික්‍ෂූහු පිටිඅඳුන් තලු තැටියෙහි ද මලාවෙහි ද බහත්. තණසුන්නෙන් ද පසින් ද ගැවසී ගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කුලාවක් (නළයක්) අනුදනිමි” යි.
28. එකල්හි සවගමහණෝ රනින් කළ රිදියෙන් කළ උස් පහත් අගය ඇති අඳුන්කුලා දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් අඳුන්කුලා නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ, දතින් කළ, අඟින් කළ, බටදඬුවෙන් කළ, උණදඬුවෙන් කළ, ලීයෙන් කළ, ලාකඩින් කළ, පැසුනුඵලයෙන් කළ, ලෝහයෙන් කළ, සක්නැබින් කළ අඳුන්කුලා අනුදනිමි” යි.
29. එකල්හි අඳුන්කුලාවෝ නො වසන ලද්දාහු වෙත්. තණසුන්නෙන් හා පසින් ද ගැවසී ගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි” යි. පියන වැටේ. “මහණෙනි, හුයකින් පියන බැඳ අඳුන්කුලාවෙහි බඳින්නට අනුදනිමි” යි. කුලාව පැළෙයි. “මහණෙනි, හුයෙන් විදිනට අනුදනිමි” යි.
30. එකල්හි භික්‍ෂූහු ඇඟිල්ලෙන් අඳුන් ගාති. ඇස් පෙළෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කූරු (අඳුන්ලහ) අනුදනිමි” යි.
31. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් අඳුන්කූරු දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් අඳුන්කූරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ අඳුන්කූරු අනුදනිමි” යි.
32. එකල්හි අඳුන්කූරු බිම වැටුනේ රළු වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කූරු ලන කොපුවක් අනුදනිමි”යි.
33. එකල්හි භික්‍ෂූහු අඳුන්කුලා ද අඳුන්කූරු ද අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන් පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් (උරහිස ලන පටියක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අස්වටක් බඳිනහුයක් අනුදනිමි” යි.
34. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට හිසරුදාවක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිසෙහි තෙල් ගෑම අනුදනිමි” යි. ඉවසිය හැක්කේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍ය කිරීම අනුදනිමි” යි. නස්‍යය වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍යකරණියක් = නැහැඔරුවක් අනුදනිමි” යි.
35. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් නස්‍යකරණීන් දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් නස්‍යකරණී නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ නස්‍යකරණී අනුදනිමි” යි. නස්‍යය විෂම ව වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යමක (සමදෙණි දෙකකින් යුත්) නස්‍යකරණියක් අනුදනිමි” යි. නො ඉවසිය හැකි වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම් බීම අනුදනිමි” යි. ඒ දුන්වැටිය ම දල්වා බොත්. උගුර දැවේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝවක් (=නළයක්) අනුදනිමි” යි.
36. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ වටිනා කමින් වැඩි අඩු දුම්කෝව දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් දුම්කෝව නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ දුම්කෝව අනුදනිමි” යි.
37. එකල්හි දුම්කෝව නො වැසුනේ වේ. සත්තු වදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි”යි.
38. එකල්හි භික්‍ෂූහු දුම්කෝව අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝව ලන පසුම්බියක් අනුදනිමි” යි. එකට හැපෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බියලි (කොපු) දෙකක් ඇති පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අංසවට්ටකයක් බඳිනාහුයක් අනුදනිමි” යි.
39. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට වාතාබාධයෙක් වේ. වෙද්දු “තෙලක් පිසිය යුතු ය” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බෙහෙත්තෙල් පිසීම අනුදනිමි” යි. ඒ තෙල් පිසීමෙහි මද්‍යය බැහිය යුත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බෙහෙත් පිණිස පිසන තෙලෙහි මද්‍යය බැහීම අනුදනිමි” යි.
40. එකල්හි සවගමහණෝ වැඩියක් බැහූ මද්‍යය ඇති තෙල් පිසත්. ඒ තෙල් පානය කොට මත් වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, වැඩියක් බැහූ මද්‍යය ඇති තෙල් නො පිය යුතු ය. යමෙක් බොන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය. මහණෙනි, යම් තෙල් පිසීමෙක මද්‍යායෙහි පැහැය නො පෙණේ ද, ගඳ නො පෙණේ ද, රසය නො පෙණේ ද, එබඳු වූ මද්‍යාය බැහූ තෙල් බීම අනුදනිමි” යි.
41. එකල්හි භික්‍ෂූන්ට මද්‍යය වැඩියක් බැහූ බොහෝ තෙල් පිසන ලද්දේ වේ. එකල්හි භික්‍ෂූන්ට “ඉතා වැඩියක් මද්‍යය බැහූ තෙලෙහි කෙසේ පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇඟ ගල්වන තෙලක් කොට ඉටීමට අනුදනිමි”යි.
42. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට බොහෝ තෙල් පිසන ලද්දේ වේ. තෙල්බඳුනෙක් නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලොහොසැළිය, ලීසැළිය, මේරූ පලයෙන් කළ සැළිය යන සැළි තුණක් අනුදනිමි” යි.
43. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට අඞ්ගවාතයෙක් (=ඇඟරුදාවෙක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්වේදය (ඩහ ගැන්වීම) අනුදනිමි” යි. නො ඉවසිය හැක්කේ වේ. –පෙ– “මහණෙනි, කොළ වර්‍ග වලින් ස්වේද ගැන්වීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, මහාස්වේද ගැන්වීම{*} අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, (ස්වේද ගැන්වීමට) කොළ තැම්බූ දිය අනුදනිමි” යි. පහසු නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, (ස්වේද ගැන්වීමට) දියකොටුවක්{*} අනුදනිමි” යි.
44. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට පුරුක්වාතයෙක් (=හන්දිරුදාවක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලේ ඇරීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, ලේ මුදා අඟකින් ගන්නට අනුදනිමි” යි.
45. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ පාදයෝ පැළුනාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පය ගල් වන තෙලක් අනුදනිමි.” පහසු නොවේ. –පෙ– “මහණෙනි, පයට හිත වූ බෙහෙතක් පිළියෙල කරන්නට (පිසන්නට) අනුදනිමි” යි.
46. එකල්හි එක්තරා මහණකුහට ගණ්ඩාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැත්කම් අනුදනිමි” යි. කහට වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, කහටවතුර අනුදනිමි” යි. තලකල්කයෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, තලකල්කය අනුදනිමි” යි. කබොලුවකින් (පැලැස්තරයකින්) ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, කබොලුවක් අනුදනිමි” යි. වණ බඳින රෙදි කඩකින් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, වණ බඳින රෙදිකඩක් අනුදනිමි” යි. වණය කසයි. –පෙ– “මහණෙනි, අබකුඩුවෙන් උලන්නට අනුදනිමි” යි. වණය තෙත් වි ය.–පෙ– “මහණෙනි, දුම් (වේදු) ඇල්ලීමට අනුදනිමි” යි. වැඩෙන මස්දළු නගී. –පෙ– “මහණෙනි, ලුණුපුපුරකින් සිඳින්නට අනුදනිමි” යි. වණය ගොඩ නො වේ. –පෙ–“මහණෙනි, වණතෙල් අනුදනිමි” යි. තෙල් වැගිරෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වණවැටියක් (තෙල් රඳවන කඩක්) ද සියලු වණ පිළියම් ද අනුදනිමි” යි.
47. එකල්හි එක්තරා මහණෙක් තෙමේ සර්‍පයකු විසින් දෂ්ට කරණ ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මල, මූත්‍ර, උණුඅළු, මැටි යන සතර මහාවිකටය දෙන්නට අනුදනිමි” යි. එකල්හි භික්‍ෂූන්ට “නො පිළිගත් මල ආදීහු ද? නොහොත් පිළිගතයුතු මල ආදීහු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, කැපකරුවකු ඇති කල්හි පිළිගන්වා ගන්නට ද, කැපකරුවකු නැති කල්හි තමන් ගෙණ වළඳන්නට ද අනුදනිමි” යි.
48. එකල්හි එක්තරා මහණකු විසින් විස බොන ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අශුචි පොවන්නට අනුදනිමි” යි. එකල්හි භික්‍ෂූන්ට නො පිළිගත් මල ද නොහොත් පිළිගත යුතු මල දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පහ කරමින් යමක් පිළිගණී ද, ඒ ම පිළිගැණීම වේ. නැවැත පිළිගන්වා ගත යුත්තේ නො වේ” ය යි අනුදනිමි.
49. එකල්හි එක්තරා මහණකුහට ඝරදින්නකාබාධයෙක් (ඝරණිය =ගෙහඹු දුන් වසීකරණ බෙහෙදක් බීමෙන් හටගත් ආබාධයෙක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හීවිට (නගුලෙහි) ඇලුනු මඩ දියෙන් කලතා පෙවීමට අනුදනිමි” යි.
50. එකල්හි එක්තරා මහණෙක් තෙමේ නපුරු ග්‍රහණිරෝග ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වියලිබත් පුළුස්සා දිය කොට පෙරා ගත් බත්කාරම පොවන්නට අනුදනිමි” යි.
51. එකල්හි එක්තරා මහණකුහට පණ්ඩුරෝගාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගොමූත්‍රයෙහි ලූ අරළු පොවන්නට අනුදනිමි” යි.
52. එකල්හි එක්තරා මහණකුහට ඡවිදොෂාබාධයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සුගන්‍ධද්‍රව්‍යය ආලේප කරන්නට අනුදනිමි” යි.
53. එකල්හි එක්තරා මහණෙක් තෙමේ දොස් කිපුනු සිරුරු ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, විරේචනයක් බොන්නට අනුදනිමි” යි. පෙරා ගත් කැඳවතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, බත් නැති කැඳවතුර අනුදනිමි” යි. දුරු මිරිස් නො යෙදූ මුංඇට තැම්බූ වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, මුං ඇට තැම්බූ වතුර අනුදනිමි” යි. මුංඇට තම්බා ඇට නැති සේ පෙරා ගත් වතුරෙන් ප්‍රයෝජන වේ. –පෙ– “මහණෙනි, මුංඇට තම්බා ඇට නැති සේ පෙරා ගත් වතුර අනුදනිමි” යි. මස්රසයෙන් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මස්රසය අනුදනිමි”යි.
54. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ලෙණක් කරණු කැමැත්තේ රජගහනුවර ගුහාවක් ශුද්ධ කරව යි. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගෙන් “ස්වාමීනි, ස්ථවිර තෙමේ කුමක් කරවා දැ” යි ඇසී ය. “මහරජ, ලෙණක් කරණු කැමැත්තෙම් ගුහාවක් පිරිසිදු කරවමි” යි. “ස්වාමීනි, ඔබවහන්සේට ආරාමිකයකුගෙන් ප්‍රයෝජන වේ දැ” යි (ඇසී ය). “මහරජ, භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් නො අනුදන්නා ලද්දේ ය” යි. “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිවිස මට දන්වනු මැනවි” යි. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මහරජ, එසේ ය” යි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට පිළිවදන් දුන්නේ ය.
55. ඉක්බිති ආයුෂ්මත් වූ පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු දැහැමිකතාවෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. තියුණු කරවී ය. සතුටු කරවී ය. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජතෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පැදකුණු කොට ගියේ ය.
56. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “ස්වාමීනි, මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආරාමිකයකු දෙනු කැමැත්තේ ය. ස්වාමීනි, එහි දී කෙසේ පිළිපැදිය යුතු දැ” යි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට දූතයකු යැවී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, ආරාමිකයකු අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
57. දෙවනු ද මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ගෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ආරාමිකයෙක් අනුදන්නා ලද්දේ දැ” යි ඇසී ය. “මහරජ, එසේ ය”. “ස්වාමීනි, එසේ නම් ස්වාමීන් වහන්සේට ආරාමිකයකු දෙමි” යි.
58. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට අරාමිකයකු ගිවිස සිහි නො කොට කල් ගෙවා සිහි ලැබ සියලුකටයුතුවල අධිපති වූ එක්තරා මහඇමැතියකු අමතා “සගය, මා විසින් ආර්‍ය්‍යයන් වහන්සේට යම් ආරාමිකයෙක් (දීමට) ප්‍රතිඥා කරණ ලද්දේ ද, ඒ ආරාමික තෙමේ දෙන ලද්දේ දැ” යි ඇසී ය. “දේවයන් වහන්ස, ආරාමිකයෙක් නො දෙන ලද්දේ ය” යි. “සගය, මෙදවසින් එදවස කෙතෙක් කල් දැ” යි (ඇසී ය). ඉක්බිති ඒ මහාමාත්‍ය තෙමේ රෑ ගණන් කොට මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට “දේවයන් වහන්ස, රෑ පන්සියයකැ” යි කීයේ ය. “සගය, එසේ නම් ආර්‍ය්‍යයන් වහන්සේට ආරාමිකයන් පන්සියයක් දෙවු” යි. “දේවයන් වහන්ස, එසේ ය” යි ඒ මහාමාත්‍ය තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට ගිවිස ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට ආරාමිකයන් පන්සියයක් දුන්නේ ය. වෙන ම (වෙන් වූ) ගමක් පිහිටියේ ය. ඒ ගම ආරාමිකගම යි ද කීහ. ඒ ගම පිලින්‍දිගම යි ද කීහ.
59. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ඒ ගමෙහි කුලුපග වේ. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස පිවිසියේ ය.
60. එකල්හි ඒ ගමෙහි උත්සවයෙක් වේ. එහි දරුවෝ අබරණින් සැරසුනෝ පැලඳි මල්මාලා ඇත්තෝ ක්‍රීඩා කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ එක්තරා ආරාමිකයකුගේ ගෙට වැඩියේ ය. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන්නේ ය.
61. එකල්හි ඒ ආරාමිකබිරින්දෑගේ දුව අබරණින් සැරසුනු පැලඳි මල්මාලා ඇති අන් දරුවන් දැක “මට මල්මාලාවක් දෙවු. මට ආභරණ දෙවු” යි හඬයි. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මේ දැරිය කුමක් නිසා හඬා දැ” යි ඒ ආරාමිකබිරින්දෑගෙන් ඇසී ය. “ස්වාමීනි, මේ ලදැරිය අබරණින් සැරසුනු පැලඳි මල්මාලා ඇති අන් දරුවන් දැක “මට මල්මාලාවක් දෙවු. මට ආභරණ දෙවු” යි හඬයි. දුප්පත් වූ අපට මල්මාලා කොයින් ද? ආභරණ කොයින් දැ” යි (ඕතොමෝ කීවා ය.)
62. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ එක්තරා තණ දරණුවක් ගෙණ ඒ ආරාමිකබිරින්දෑට “එසේ නම් මේ තණදරණුව ඒ ලදැරියගේ හිසෙහි පලඳව” යි කීයේ ය. ඉක්බිති ඒ ආරාමික බිරින්ද ඒ තණදරණුව ගෙණ ඒ ලදැරියගේ හිසෙහි පැලඳුවා ය. ඒ මාලාව මනා රූ ඇති දැකුම් කටයුතු සිත් ගන්නා රන්මාලාවක් වි ය. රජුගේ ද අන්තඃපුරයෙහි එබඳු වූ රන්මාලාවක් නැත. මිනිස්සු “දේවයන් වහන්ස, අසවල් ආරාමිකයාගේ ගෙයි මනා රූ ඇති දැකුම් කටයුතු සිත් ගන්නා රන්මාලාවක් ඇත. එබඳු වූ රන්මාලයක් දේවයන් වහන්සේගේ අන්තඃපුරයෙහි ද නැත. ඒ දුප්පතාට (එබඳු රන් මාලයක්) කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණෙන ලද ය” යි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට දැන්වූහ. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ඒ ආරාමිකකුලය බැඳවී ය. (සිර කරවී ය.)
63. දෙවනු ද ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙණ පිලින්‍දිගමට පිඬු පිණිස ගියේ ය. පිලින්‍දිගමෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේ ඒ ආරාමිකයාගේ ගෙට එළඹියේ ය. එළඹ “මේ ආරාමිකකුලය කොහි ගියේ දැ” යි අසල් වැස්සන් අතින් විචාළේ ය. “ස්වාමීනි, ඒ රන්මාලාව හේතු කොට රජු විසින් බඳවන ලද්දේ ය” යි කීහ.
64. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගේ මාලිගාවට ගියේ ය. ගොස් පැණවූ අසුනෙහි හුන්නේ ය. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ පසෙක හුන් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගෙන් “මහරජ, කුමක් හෙයින් ආරාමිකකුලය බඳවන ලද දැ” යි ඇසී ය. “ස්වාමීනි, ඒ ආරාමිකයාගේ ගෙයි මනා රූ ඇති දැකුම්කලු සිත් ගන්නා රන්මාලයක් තිබේ. එබඳු වූ රන්මලාවක් අපගේ අන්තඃපුරයෙහි ද නැත. ඒ දුප්පතාට රන්මාලයක් කොයින් ද? නිසැකයෙන් සොරකමින් ගෙණ එන ලද ය”.
65. ඉක්බිති ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ “මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුගේ ප්‍රාසාදය රන් වේවා”සි ඉටුයේ ය. ඒ ප්‍රාසාදය සියල්ල රන් වි ය. “මහරජ, ඔබට මේ තරම් බොහෝ රන් කොයින් ද?” “ස්වාමීනි, දැන ගන්නා ලද්දේ ය. ආර්‍ය්‍යයන් වහන්සේගේ මේ ඍද්ධ්‍යානුභාව ය” යි ඒ ආරාමික කුලය නිදහස් කොට හැරියේ ය. මිනිස්සු ‘ස්වාමී වූ පිලින්‍දිවච්ඡ තෙරුන් විසින් රජුන් සහිත වූ පිරිසෙහි උතුරුමිනිස්දමින් ඉදුපෙළහරක් දක්වන ලද්දේ ල” යි සතුටු සිත් ඇත්තාහු විශේෂයෙන් පහන් වූවෝ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට පස් බෙහෙත් එළවූහ. එනම් ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි සකුරු යන මේ ය.
66. ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙමේ ප්‍රකෘතියෙන් ම පස් බෙහෙත් ලබනසුලු වේ. ලත් ලත් දෙය පිරිසට පරිත්‍යාග කරයි. උන්වහන්සේගේ පිරිස ද ප්‍රත්‍යයයන්ගේ බහුලත්‍වය පිණිස පිළිපන්නේ වේ. ලත් ලත් දෙය මහසැළි ද කළ ද පුරවා තැන් පත් කරයි. පෙරහන් ද පසුම්බි ද පුරවා වාකවුළුවල එල්ලයි. ඒ වැගිරි වැගිරී තිබේ. මීයන්ගෙන් ද ආවාසයෝ හැම අතින් ගැවසී ගත්තාහු වෙත්. මිනිස්සු විහාරචාරිකාවෙහි ඇවිදින්නෝ (ඒ දැක) “ශාක්‍යපුත්‍රීය වූ මේ ශ්‍රමණයෝ ඇතුළත කොටුගුල් ඇත්තෝ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු වැනි ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
67. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. යම් ඒ භික්‍ෂූහු ආශා රහිත වූවාහු ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් භික්‍ෂූහු මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස (ප්‍රත්‍යයයන් බොහෝ සේ රැස් කිරීමට) සිතූහු දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, භික්‍ෂූහු මෙබඳු වූ ප්‍රත්‍යයයන්ගේ බහුලභාවය පිණිස සිතත් ල, සැබෑ දැ” යි. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”. –පෙ– ගරහා දැහැමි කතා කොට “ගිලන් භික්‍ෂූන් විසින් වැළඳිය යුතු වූ (රස විඳිය යුතු වූ) යම් ඒ බෙහෙත් එනම් ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි සකුරු වේ ද, ඒ පිළිගෙණ සතියක් නගා තබා වැළඳිය යුතු ය. ඒ නියමිත කාලය (සතිය) ඉක්මවන්නහුට ඇවැත් පරිදි කරවිය යුතු ය” යි භික්‍ෂූන් ඇමතූ සේක.
බෙහෙත් අනුදත් පළමුබණවර නිම.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර කැමති තාක් වාසය කොට රජගහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක.