17. උපසපන් වීමෙන් නොබෝ කල් ඇති ආයුෂ්මත් සෝණ තෙමේ සීතවනයෙහි වෙසෙ යි. බලවත් වීර්‍ය්‍යය ඇති ව සක්මන් කරන්නා වූ ඒ සෝණ තෙරුන්ගේ පතුල් පැළුනේ ය. සක්මන ගවයන් මරණ තැනක් සේ ලෙයින් තැවරුණේ ය.
18. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන්නා වූ ආයුෂ්මත් සෝණ තෙරුන්ට “භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තෝ ව වෙසෙත් ද, මම උන්වහන්සේලා අතුරෙහි එක්තරා එකෙක් වෙමි. එහෙත් මාගේ සිත උපාදාන රහිත ව (තෘෂ්ණදාෂ්ටි වශයෙන් අල්ලා නො ගෙණ) කාමාදිආශ්‍රවයන්ගෙන් නො මිදේ. මාගේ ගෙයි භෝගයෝ ඇත්තාහු ම ය. සම්පත් අනුභව කරන්නටත් පින් කරන්නටත් හැකි ය. මම ගිහි බවට පෙරැළී සම්පත් අනුභව කරන්නෙම් නම්, පිණුත් කරන්නෙම් නම්, යෙහෙකැ” යි මෙසේ අදහසක් උපන්නේ ය.
19. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ සිතේ අදහස තම සිතින් දැන බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් යම් සේ දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් යම්සේ හකුළන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ගිජුකුළුපව්වෙහි අතුරුදහන් ව සේක් සීතවනයෙහි පහළ වූ සේක.
20. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග සේනාසන චාරිකාවෙහි වඩනා සේක් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ සක්මන වෙතට එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ ලෙයින් වැකුනු සක්මන දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගවයන් මරණ තැනක් සේ ලෙයින් වැකී ඇති මේ සක්මන කවරකුගේ ද? “ස්වාමීනි, දැඩි සේ පටන් ගත් වීර්‍ය්‍යය ඇති ව සක්මන් කරන්නා වූ සෝණ තෙරුන්ගේ පතුල් පැළුනේ ය. උන් වහන්සේගේ මේ සක්මන ගවයන් මරණ තැනක් සේ ලෙයින් වැකුනේ ය.”
21. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ වෙහෙරට වැඩි සේක. වැඩ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් සෝණ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “සෝණ, රහෝගත වූ විවේකයට පැමිණ හුන් තට ‘භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තෝ ව වෙසෙත් ද, මම උන්වහන්සේලා අතුරෙහි එක්තරා එකෙක් වෙමි. එහෙත් මාගේ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් අල්ලා නො ගෙණ කාමාදිආශ්‍රවයන්ගෙන් නො මිදෙයි. මාගේ ගෙයි භෝගයෝ ඇත්තාහු ම ය. සම්පත් අනුභව කරන්නටත් පින් කරන්නටත් හැක්කේ ය. මම ගිහිබවට පෙරැළී සම්පත් අනුභව කරන්නෙම් නම්, පිණුත් කරන්නෙම් නම්, යෙහෙකැ” යි මේ සිත පහළ වූයේ නො වේ ද?“. “ස්වාමීනි, එසේ ය.”
22. “සෝණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? තෝ පෙර ගිහි වූයේ වීණා වාදනයෙහි දක්‍ෂ වූයෙහි ද? “ස්වාමීනි, එසේ ය”. “සෝණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් තදින් අදනා ලද්දේ ඉතා තද වූයේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යෝග්‍ය වූවා හෝ වේ ද?” “ස්වාමීනි, මේ නො වේ ම ය” “සෝණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් ඉතා ලිහිල් වූයේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යෝග්‍ය වූවා හෝ වේ ද?” “ස්වාමීනි, මේ නො වේ ම ය.” “සෝණ, ඒ කිමැ යි සිතන්නෙහි ද? යම් කලෙක තාගේ වීණාවෙහි තත් ඉතා තද නො වූයේ ඉතා ලිහිල් නො වූයේ සමගුණයෙහි පිහිටියේ වේ ද, කිම, එකල්හි තාගේ වීණාව මිහිරි හඬ ඇත්තී හෝ කර්‍මයට යෝග්‍ය වූවා හෝ වේ ද?” “ස්වාමීනි, එසේ වන්නී ය.”
23. “සෝණ, එපරිද්දෙන් ම දැඩි ව ගත් වීර්‍ය්‍යය උඩඟුබව පිණිස පවතී. ඉතා සැඟවුනු (හැකුළුණු) වීර්‍ය්‍යය කුසීතබව පිණිස පවතී. සෝණ, එහෙයින් තෝ වීර්‍ය්‍යයාගේ සමබව ඉටා ගණුව, ඉඳුරන්ගේ සමබව දැන ගණුව. එහි නිමිති ද ගණුව.” “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය.
24. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ට මේ අවවාදයෙන් අවවාද දී බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් යම් සේ දිගු කරන්නේ ද, දිගු කළ අතක් යම් සේ හකුළන්නේ ද, එපරිද්දෙන් සීත වනයෙහි ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ ඉදිරියෙහි අතුරුදහන් වූ සේක් ගිජු කුළුපව්වෙහි පහළ වු සේක.
25. ඉක්බිති ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ පසු කාලයෙහි වීර්‍ය්‍යයාගේ සමබව ඉටී ය. ඉඳුරන්ගේ සමබව දත්තේ ය. එහි නිමිති ද ගත්තේ ය. ඉක්බිති ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ එකලා වූයේ වෙන් වූයේ නිරතුරු සිහි ඇත්තේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ භාවනාවට යැවූ සිත් ඇති ව වාසය කරණුයේ යමක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් ද, නිරුත්තර වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ රහත්බව නොබෝ දිනකින් ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ විසී ය. “ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සිවු මගින් කළ යුතු කටයුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ” යි දත්තේ ය. ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ රහතුන් අතුරෙහි එක්තරා නමක් වී ය.
26. ඉක්බිති රහත් බවට පැමිණි ආයුෂ්මත් සෝණ තෙරුන්ට “මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කරන්නෙම් නම්, යෙහෙකැ” යි මේ සිත් වි ය. එකල ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය:
27. “ස්වාමීනි, යම් ඒ මහණෙක් තෙමේ රහත් වූයේ ගෙවා දැමූ කාමාදි ආශ්‍රව ඇත්තේ වැස නිම කළ බඹසර ඇත්තේ සිවුමගින් කොට නිම කළ කටයුතු ඇත්තේ බහා තැබූ බර ඇත්තේ පැමිණි රහත්බව ඇත්තේ ගෙවූ බවබැඳුම් ඇත්තේ මනා කොට සිවුමගනුවණින් දැන මිදුනේ වේ ද, ඒ මහණ තෙමේ කරුණු සයක් ප්‍රත්‍යක්‍ෂ කළේ වේ: නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. උපාදානක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. තෘෂ්ණාක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. අසම්මෝහය (නිර්‍වාණය){*} ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය.
28. “ස්වාමීනි, මෙහි ඇතැම් ආයුෂ්මතකුහට ‘මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් (ප්‍රතිවේධප්‍රඥාරහිත) ශ්‍රද්ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ දෝ’ යි කිසි විටෙක මෙසේ අදහස් වන්නේ ය. ස්වාමීනි, මේ ප්‍රකාශය මෙසේ නො දත යුතු ය. ස්වාමීනි, ගෙවා දැමූ කාමාදිආශ්‍රව ඇති වැස නිම කළ බඹසර ඇති සිවුමගින් කොට නිම කළ කටයුතු ඇති මහණ තෙමේ තමා විසින් සිවුමගින් කළයුතු තවත් කටයුතු ඇතැයි හෝ කළ (භාවනා) කර්‍මයාගේ නැවත (කිරීමෙන්) වැඩීමක් හෝ නො දක්නේ, රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය.
29. “ස්වාමීනි, මෙහි කිසි ආයුෂ්මතකුහට ‘මේ ආයුෂ්මත් තෙමේ ලාභසත්කාර කීර්තිය කැමැති වෙමින් ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කෙළේ දෝ’ යි කිසි විටෙක මෙසේ අදහස් වන්නේ ය. ස්වාමීනි, මේ මෙසේ නො දත යුතු ය. ස්වාමීනි, ගෙවා දැමූ කාමාදිආශ්‍රව ඇති වැස නිම කළ බඹසර ඇති සිවු මගින් කොට නිම කළ කටයුතු ඇති මහණ තෙමේ තමා විසින් කළ යුතු කටයුතු ඇතැයි හෝ කළ කර්‍මයාගේ නැවත වැඩීමක් හෝ නො දක්නේ, රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කළේ වේ. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කළේ වේ. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් ප්‍රවිවේකය ප්‍රත්‍යක්‍ෂ කළේ වේ.
30. ‘ස්වාමීනි, මෙහි කිසි ආයුෂ්මතකුහට ‘මේ ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් සීලබ්බතපරාමාසය සාරවශයෙන් ගණිමින් රහත්බව ප්‍රත්‍යක්‍ෂ කළේ දෝ’ යි කිසි විටෙක මෙසේ අදහස් වන්නේ ය. ස්වාමීනි, මේ මෙසේ නො දත යුතු ය. ස්වාමීනි, ගෙවා දැමූ කාමාදි ආශ්‍රව ඇති වැස නිම කළ බඹසර ඇති සිවුමගින් කොට නිම කළ කටයුතු ඇති මහණ තෙමේ තමන් විසින් කටයුතු ඇතැයි හෝ කළ කර්‍මයාගේ නැවත වැඩීමක් හෝ නො දක්නේ, රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් රහත් බව ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් රහත්බව ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් රහත් වූයේ ය. –පෙ – රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් උපාදානක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් උපාදානක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් උපාදානක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. –පෙ– රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් තෘෂ්ණාක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් තෘෂ්ණාක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් තෘෂ්ණාක්‍ෂයය ප්‍රත්‍යක්‍ෂ කෙළේය. –පෙ– රාගය ක්‍ෂය වීමෙන් පහ වූ රාගය ඇති බැවින් අසම්මෝහය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. ද්වේෂය ක්‍ෂය වීමෙන් පහ වූ ද්වේෂය ඇති බැවින් අසම්මෝහය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය. මෝහය ක්‍ෂය වීමෙන් පහ වූ මෝහය ඇති බැවින් අසම්මෝහය ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය.
31. “ස්වාමීනි, මෙසේ මනා කොට මිදුනු සිත් ඇති රහත් මහණහුගේ ඇස්හමුවට ඉදින් චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ බලවත් (දිව්‍යමය වූ හෝ) රූපයෝ පැමිණෙත් ද, ඒ රහත්හුගේ සිත නො ම අල්ලා ගණිත් (නො මඩිත්.) ඒ රහත්හුගේ සිත අරමුණ හා අමිශ්‍රිත වූයේ ම පිහිටියේ නො සැලෙන බවට පැමිණියේ වේ. ඒ අරමුණේ විනාශය ද දකි යි. සෝතවිඤ්ඤාණයෙන් දතයුතු බලවත් ශබ්දයෝ –පෙ– ඝාණවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ගන්‍ධයෝ –පෙ– ජිව්හාවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් රසයෝ –පෙ– කායවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ඵොට්ඨබ්බයෝ –පෙ– මනෝවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ධර්‍මයෝ සිත් හමුවට පැමිණෙත් ද, ඒ රහත්හුගේ සිත මැඩ නො ගණිත්. ඒ රහත්හුගේ සිත අමිශ්‍රිත වූයේ ම පිහිටියේ නිසල බවට පැමිණියේ වේ. ඒ ධම්මාරම්මණයාගේ විනාශය ද දකි යි.
32. “ස්වාමීනි, කුඩා සිදුරු රහිත වූ මහසිදුරු රහිත වූ ඒකඝන වූ ගල්පව්වෙක් (වේ ද), බලවත් වාතමේඝයෙක් පෙරදිගින් එන්නේ, ඒ පර්‍වතය යම් සේ සොලවාලිය නො හැක්කේ ද, හාත්පසින් සොලවාලිය නො හැක්කේ ද, වෙවුලුවා හෙළිය නො හැක්කේ ද, බලවත් වාතමේඝයෙක් පැසුළුදිගින් එන්නේ ද –පෙ– බලවත් වාතමේඝයෙක් උතුරුදිගින් එන්නේ ද, –පෙ– බලවත් වාතමේඝයෙක් දකුණුදිගින් එන්නේ ද, ඒ පර්‍වතය යම් සේ සොලවාලිය නො හැක්කේ ද, කොයි අතිනුත් සොලවාලිය නො හැක්කේ ද, වෙවුලුවා හෙළිය නො හැක්කේ ද, ස්වාමීනි, එපරිද්දෙන් මනා කොට මිදුනු සිත් ඇති ඒ රහත්හුගේ ඇස් හමුවට චක්ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් රූපයෝ පැමිණෙත් ද, ඒ රහත්හුගේ සිත නො ම අල්ලා ගණිත්. ඒ රහත්හුගේ සිත මිශ්‍රිත නො වූයේ ම පිහිටියේ නො සැලෙනබවට පැමිණියේ වේ. රූපාරම්මණයාගේ විනාශය ද දකියි. සෝතවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ශබ්දයෝ –පෙ – ඝාණවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ගන්‍ධයෝ – පෙ – ජිව්හාවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් රසයෝ –පෙ– කායවිඤ්ඤාණයෙන් දත යුතු වූ බලවත් ඵොට්ඨබ්බයෝ –පෙ– මනෝවිඤ්ඤාණයෙන් දත යුතු වු බලවත් ධර්‍මයෝ සිත් හමුවට පැමිණෙත් ද, ඒ රහත්හුගේ සිත නො ම අල්ලා ගණිත්. ඒ රහත්හුගේ සිත මිශ්‍රිත නො වූයේ ම පිහිටියේ නොසැලෙනබවට පැමිණියේ වේ. ධම්මාරම්මණයාගේ විනාශය ද දකි යි.
33. “නෙක්ඛම්මය, සිත්හි ප්‍රවිවේකය, අඛ්‍යාපජ්ඣය, උපාදානක්ඛයය, තණ්හක්ඛයය, සිත්හි අසම්මෝහය (යන නම් ඇති රහත්බව) අවබෝධ කොට සිටියා වූ රහත්හුගේ සිත ආයතනයන්ගේ ඉපදීම (විපස්සනා වසයෙන්) දැක මනා කොට (ඵලසමාපත්ති වසයෙන්) මිදේ. (නිවන් අරමුණෙහි පිහිටයි යූ සේයි.)
34. ඵලසමාපත්තිවසයෙන් මනා කොට මිදුනු සන්හුන් සිත් ඇති ඒ රහත් මහණහුට කළ කර්‍මයාගේ නැවැත වැඩීමෙක් නැත්තේ ය. සිවුමගින් (තවත්) කටයුත්තෙක් විද්‍යාමාන නො වේ.
35. ඒකඝන වූ ගල්පව්වෙක් සිවුදිගින් හමන හුළඟින් යම් සේ නො සැලේ ද, එපරිද්දෙන් සියලු රූප, සද්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බ යන ආරම්මණයෝ ද, ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ ධම්මාරම්මණයෝ ද රහතුන් වහන්සේගේ සිත කම්පිත නො කෙරෙත් ඒ රහත්හුගේ ස්ථිර වූ මැනවින් කෙලෙසුන්ගෙන් මිදුනු සිත විනාශය ද දකි යි.{*}”
36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මෙසේ කුලපුත්‍රයෝ රහත්බව ප්‍රකාශ කෙරෙත්. අර්‍ත්‍ථය ද කියන ලද්දේ ය. (මම රහත්මි යි මෙසේ ව්‍යඤ්ජනවශයෙන්) තෙමේ ද නො එළවන ලද්දේ ය. එහෙත් මෙහි ඇතැම් හිස් පුරුෂයෝ සිනහසෙන්නවුන් මෙන් රහත්බව ප්‍රකාශ කෙරෙත්. ඔහු පසු ව දුකට පැමිණෙත්” යි භික්‍ෂූන් ඇමතූ සේක.
37. නැවැත භාග්‍යවතුන් වහන්සේ “සෝණ, තෝ සියුමැලි ය. සෝණ, තට එක් පටලයක් (පටක්) ඇති වහනක් අනුදනිමි” යි ආයුෂ්මත් සෝණ තෙරුන් ඇමතූ සේක. “ස්වාමීනි, මම අසූගැල්බරක් මසුරන් ද (එක් අණීකයක් වූ ඇතකු හා ඇතිනියන් සදෙනකුන් ඇති) ඇත් අණීක සතක් ද හැර දමා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වීමි. දැන් මම එක්පටවහනක් දරන් නෙම් නම්, ඒ මට ‘කොළිවීස සෝණ තෙමේ අසූගැල්බරක් මසුරන් ද ඇත් අණීක සතක් ද හැර දමා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ ය. ඒ මේ සෝණ තෙමේ දැන් එක් පටක් ඇති වහන්හි ඇලුනේ ය’ යි කියන්නෝ වෙත්. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාහට අනුදන්නා සේක් නම්, මමත් පරිභෝග කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයාහට නො අනුදන්නා සේක් නම්, මමත් පරිභෝග නො කරන්නෙමි” යි.
38. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, එක්පටක් ඇති වහනක් අනුදනිමි. මහණෙනි, දෙපටක් ඇති වහන් නො දැරිය යුතු ය. තෙපටක් ඇති වහන් නො දැරිය යුතු ය. තුන් පටට වැඩි පට ඇති වහන් ද නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
39. එකල්හි සවග මහණෝ සව් (සියල්ල) නිල් (පැහැයෙන් යුත්) වහන් දරත්. –පෙ– සව්රන්වන් වහන් දරත්. සව්රත් වහන් දරත්. සව්මඳටවන් වහන් දරත්. සව්කළු වහන් දරත්. සව්පතඟිවන් (රත්වෑයන් පිටිපැහැ යුත්) වහන් දරත්. මුසු වූ (හෝ රත්පියුම්මල්පෙති) පැහැ යුත් වහන් දරත්. මිනිස්සු (මොහු) “කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
40. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සව්නිල් වහන් නො දැරිය යුතු ය. –පෙ – සව්රන්වන් වහන් නො දැරිය යුතු ය. සව්රතු වහන් නො දැරිය යුතු ය. සව්මඳටවන් වහන් නො දැරිය යුතු ය. සව්කළු වහන් නො දැරිය යුතු ය. සව්පතඟිපැහැති වහන් නො දැරිය යුතු ය. මිශ්‍ර වූ පැහැති වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
41. එකල්හි සවගමහණෝ නිල් වැටි = වර (වරපට) ඇති වහන් දරත්. –පෙ– රන්වන් වර ඇති වහන් දරත්. රතුවර ඇති වහන් දරත්. මදටවන් වර ඇති වහන් දරත්. කළුවන් වර ඇති වහන් දරත්. පතඟිවන් වර ඇති වහන් දරත්. මුසු වූ පැහැ යුත් වර ඇති වහන් දරත්. මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
42. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නිල් වන් වර ඇති වහන් නො දැරිය යුතු ය. –පෙ– රන්වන් වර ඇති වහන් නො දැරිය යුතු ය. රතුවර ඇති වහන් නො දැරිය යුතු ය. මඳටවන් වර ඇති වහන් නො දැරිය යුතු ය. කළුවන් වර ඇති වහන් නො දැරිය යුතු ය. පතඟිවන් වර ඇති වහන් නො දැරිය යුතු ය. මුසු වූ පැහැ යුත් වර ඇති වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
43. එකල්හි සවගමහණෝ විළුම් වසාලන වර ඇති වහන් දරත්. –පෙ– කෙණ්ඩය වසාලන සේ මැසූ වහන් දරත්. පිටිපාවසාලන වගන් දරත්. පුලුන් පුරවා මැසූ වහන් දරත්. තිත්වටුපියාපතින් පිරියම් කළ වහන් දරත්. මැඩෙළු අං වැනි සටහන් ඇති වර (දෙපැත්තෙහි = පය දෙඇඟිලි අවුළුවන තැන) යොදා කළ වහන් දරත්. තිරෙළුඅං වැනි සටහන් ඇති වර යොදා කළ වහන් දරත්. ගෝනුසුනඟුටු ආකාරයෙන් වර යොදා කළ වහන් දරත්. මොනරපිල්වලින් මසා කළ වහන් දරත්. විසිතුරු (වර ඇති) වහන් දරත්. මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
44. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, විළුම් වසාලන වර ඇති වහන් නො දැරිය යුතු ය. –පෙ– කෙණ්ඩය දක්වා වසාලන වහන් නො දැරිය යුතු ය. පිටිපා වසාලන වහන් නො දැරිය යුතු ය. පුලුන් පුරවා මැසූ වහන් නො දැරිය යුතු ය. තිත්වටුපියාපතින් පිරියම් කළ වහන් නො දැරිය යුතු ය. එළුඅං වැනි සටහන් ඇති වර යොදා කළ වහන් නො දැරිය යුතු ය. තිරෙළුඅං වැනි සටහන් ඇති වර යොදා කළ වහන් නො දැරිය යුතු ය. ගෝනුසුනගුටු ආකාරයෙන් වර යොදා කළ වහන් නො දැරිය යුතු ය. මොනරපිල්වලින් මසා කළ වහන් නො දැරිය යුතු ය. විසිතුරු වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
45. එකල්හි සවගමහණෝ සිහසම් වටේ යොදා කළ වහන් දරත්. –පෙ– වගසම් වටේ යොදා කළ වහන් දරත්. දිවිසම් වටේ යොදා කළ වහන් දරත්. අඳුන්දිවිසම් වටේ යොදා කළ වහන් දරත්. දියබලුසම් වටේ යොදා කළ වහන් දරත්. බළල්සම් වටේ යොදා කළ වහන් දරත්. ලෙහෙනසම් වටේ යොදා කළ වහන් දරත්. මහමුහුණු (බකමූණු) සම් වටේ යොදා කළ වහන් දරත්. මිනිස්සු “(මොහු) කාමභෝගී වූ ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
46. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිහසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. –පෙ– වගසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. දිවිසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. අඳුන්දිවිසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතුය. දියබලුසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. බළල්සම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. ලේනසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතුය. මහමුහුණුසම් වටේ යොදා කළ වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කැටු ව යන එක්තරා මහණකු සමග රජගහනුවරට පිඬු පිණිස වැඩි සේක. ඒ මහණ තෙමේ කොර ගසමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස ලුහුබැඳ ගියේ ය.
48. එකල්හි එක්තරා උපාසකයෙක් සිවුපටක් ඇති වහන් ලා එන්නේ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක වහන් මුදා භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ ඒ මහණහු වෙතට ගියේ ය. ගොස් ඒ මහණහු සකසා වැඳ මෙය කීයේ ය: “ස්වාමීනි, ආර්‍ය්‍ය තෙමේ කුමක් නිසා කොර ගසයි දැ?” යි. “ඇවැත්නි, මාගේ පතුල් පැළුනේ ය.” “ස්වාමීනි, එසේ නම් මෙන්න වහන්.” “ඇවැත්නි, වුව මනා නැත. භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුපට වහන් ප්‍රතික්‍ෂේප කරණ ලදී.” “මහණ, මේ වහන් ගණුව.”
49. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, පරිභෝගයෙන් මුදා ඉවත් කළ පටගණන් ඇති වහන් අනුදනිමි. මහණෙනි, පටගණන් ඇති අළුත් වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
50. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එලිමහන්හි වහන් රහිත ව සක්මන් කරණ සේක. “ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ සේකැ” යි ස්ථවිර භික්‍ෂූහු ද වහන් රහිත ව සක්මන් කෙරෙති.
51. ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ කල්හි ස්ථවිර භික්‍ෂූන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි සවගමහණෝ වහන් සහිත ව සක්මන් කෙරෙත්. ආශා රහිත වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද ඔහු “ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ කල්හි ස්ථවිර භික්‍ෂූන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි කෙසේ නම් සවග මහණෝ වහන් සහිත ව සක්මන් කරත් දැ”යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
52. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ කල්හි ස්ථවිර භික්‍ෂූන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි සවග මහණෝ වහන් සහිත ව සක්මන් කෙරෙත් ල. ඒ සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
53. “මහණෙනි, ඒ හිස් පුරුෂයෝ ශාස්තෲන් වහන්සේ වහන් රහිත ව සක්මන් කරණ කල්හි ස්ථවිරභික්‍ෂූන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි කෙසේ නම් වහන් සහිත ව සක්මන් කරත් දැ” යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ (ඔවුන්ට) ගැරහූ සේක. “මහණෙනි, සුදුපිළි අඳින්නා වූ කාමභෝගී වූ මේ ගිහියෝ දිවි පැවැත්වීමට සුදුසු වූ ශිල්ප හේතුවෙන් ඇදුරන් කෙරෙහි ගෞරව සහිත ව ආදරසහිත ව සමාන පැවැතුම් ඇති ව වාසය කරන්නාහු ය. මහණෙනි, ඉදින් තෙපි මෙසේ මනා කොට දෙසූ ශාසනයෙහි පැවිදි ව ඇදුරන් කෙරෙහි ඇදුරන් පමණ වූවන් කෙරෙහි උපාධ්‍යායයන් කෙරෙහි උපාධ්‍යායයන් පමණ වූවන් කෙරෙහි ගෞරව රහිත ව ආදර රහිත ව නො සමපැවැතුම් ඇති ව වසන්නහු නම්, මෙහි තෙපි හොබනහු ද?
54. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ –පෙ–” යි ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ඇදුරන් පමණ වූවන් උපාධ්‍යායයන් පමණ වූවන් වහන් රහිත ව සක්මන් කරණ කල්හි වහන් සහිත ව සක්මන් නො කළ යුතු ය. යමෙක් (එසේ) සක්මන් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ආරාමය තුළ වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
55. එකල්හි එක්තරා මහණකුට පාදයෙහි මස්දළු ලියලන ආබාධයෙක් වේ. භික්‍ෂූහු ඒ මහණහු වට කොට (ඔසොවා) ගෙණ මල ද මුත්‍ර ද පහ කරවත්. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙතට වැඩි සේක. වැඩ “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිනම් දැ” යි ඒ භික්‍ෂූන් අතින් අසා වදාළ සේක. “ස්වාමීනි, මේ මහණහුට පාදයෙහි මස්දළු හට ගැණිම් ආබාධයෙක් වේ. අපි මොහු ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවමු” යි.
56. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණ යෙහි දැහැමි කතා කොට “මහණෙනි, යම් මහණකුගේ පාදයෝ දුක් ඇත්තාහු හෝ වෙත් ද, පතුල් පැළුනේ හෝ වේ ද, පාදයෙහි මස්දළු හට ගැණීම් ආබාධයෙක් හෝ වේ ද, එකල්හි වහන් දරන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක.
57. එකල්හි භික්‍ෂූහු නො සේදූ පාවලින් යුක්ත ව ඇඳට ද පුටුවට ද නගිත්, සිවුර ද සෙනසුන ද කිලිටි වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘දැන් ඇඳට හෝ පුටුවට නගින්නෙමි’ යි වහන් දරන්නට අනුදනිමි” යි.
58. එකල්හි භික්‍ෂූහු රාත්‍රියෙහි පොහෝගෙට ද රැස් ව හිඳිනා තැනට ද යන්නෝ අන්‍ධකාරයෙහි උල් ද කටු ද පාගති. පාදයෝ වේදනා සහිත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ආරාමය තුළ වහන්, ගිනි හුලක්, පහනක්, සැරයටියක් දරන්නට අනුදනිමි” යි.
60. එකල්හි සවගමහණෝ රැ අලුයම් කාලයෙහි නැගිට දැවවහන් පය ලා ගෙණ උස්හඬ ඇති ව මහහඬ ඇති ව ඛට බට යන හඬ නගන්නෝ නන් වැදෑරුම් තිරිසන් කතා කරමින් එළිමහනෙහි සක්මන් කෙරෙත්. – එනම්: රාජකථා චෝරකථා මහාමාත්‍යකථා සේනාකථා භයකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා සයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා ශුරකථා වීථිකථා කුම්භස්ථානකථා (පැන්තොට හා පැන් ගෙණෙන දාසීන් පිළිබඳ කථා) පූර්‍වප්‍රේතකථා නානාත්‍වකථා ලෝකනිර්‍මාණකථා සමුද්‍රකථා වැඩීම හා නො වැඩීම පිළිබඳ කථා යන මොහු ය. පණුවන් ද පාගා මරත්. භික්‍ෂූන් ද සමාධියෙන් තොර කෙරෙත්.
61. ආශාරහිත යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවගමහණෝ කෙසේ නම් රෑ අලුයම් කාලයෙහි නැගිට දැව වහන් පය ලා ගෙණ උස්හඬ ඇති ව මහහඬ ඇති ව ඛට බට යන හඩ නගන්නෝ නන් වැදෑරුම් තිරිසන් කතා – එනම්: රාජකථා චෝරකථා –පෙ– වැඩීම හා නො වැඩීම පිළිබඳ කතා යන තිරිසන් කතා කරමින් එළිමහනෙහි සක්මන් කරත් ද, පණුවන් ද පාගා මරත් ද, භික්‍ෂූන් ද සමාධියෙන් තොර කරත් දැයි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
62. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සවගමහණෝ රෑ අලුයම නැගිට දැවවහන් පය ලා ගෙණ උස්හඬ ඇති ව මහත්හඬ ඇති ව බට බට යන හඬ නගන්නෝ නන් වැදෑරුම් තිරිසන් කතා – රාජකථා චෝරකථා –පෙ– වැඩීම හා නොවැඩීම පිළිබඳ කතා යන මේ තිරිසන් කතා කියමින් එළිමහනෙහි සක්මන් කරත් යනු සැබෑ ද? පණුවන් ද පාගා මරත්. භික්‍ෂූන් ද සමාධියෙන් තොර කෙරෙත් දැ?”යි. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”.
63. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගර්‍හා කළසේක. –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, දැවවහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
64. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහ නුවර වැඩ වාසය කොට බරණැස බලා චාරිකා කළ සේක. පිළිවෙළින් චාරිකා කරණ සේක් බරණැස් නුවරට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි බරණැස මිගදාය නම් වූ ඉසිපතනයෙහි වසන සේක.
65. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් දැව වහන් තහනම් කරණ ලදැ” යි තරුණ තල්ගස් සිඳුවා තල්පතින් කළ පාදුකා = වහන් දරත්. ගොබ සිඳින ලද ඒ තරුණ තල්ගස් මැලවේ. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් තරුණ තල්ගස් සිඳුවා තල්පතින් කළ වහන් දරත් ද? කපා දැමූ ඒ තරුණ තල්ගස් මැලවේ. ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ ඒකින්‍ද්‍රියජීව පෙළත්” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
66. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සවග මහණෝ තරුණ තල්ගස් කපවා තල්පතින් කළ වහන් දරත් ල. කපා දැමූ ඒ තරුණ තල්ගස් මැලවේ ල. ඒ සැබෑ දැ?” යි. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
67. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂයෝ කෙසේ නම් තරුණ තල්ගස් කපවා තල්පතින් කළ වහන් දරත් ද? ගොබ කපා දැමූ ඒ තරුණ තල්ගස් මැලවේ. මහණෙනි, මිනිස්සු ගස්වල පණ ඇත්තාහු ය යන කල්පනා ඇත්තෝ වෙත්. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. –පෙ–” ගරහා දැහැමි කතා කොට “මහණෙනි, තල්පතින් කළ වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක.
68. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් තල්පතින් කළ වහන් තහනම් කරණ ලදැ” යි තරුණ උණගස් කපවා උණපතින් කළ වහන් දරත්. කපා දැමූ ඒ ලපටි උණගස් මැලවේ. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කෙසේ නම් ලපටි උණගස් කපවා උණපතින් කළ වහන් දරත් ද? කපා දැමූ ඒ ලපටි උණගස් මැලවේ. ශාක්‍ය පුත්‍රීය වූ ශ්‍රමණයෝ ඒකින්‍ද්‍රියජීව පෙළත්” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
69. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. එකල්හි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. –පෙ– “මහණෙනි, උණපතින් කළ වහන් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
70. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් බරණැස් නුවර වාසය කොට භද්දියනගරය බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් භද්දියනගරයට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි භද්දිය නගර සමීපයෙහි වූ ජාතියවන වෙහෙරෙහි වසන සේක.
71. එකල්හි භද්දියනගර වැසි භික්‍ෂූහු නොයෙක් ලෙසින් වහන් සැරසීමෙහි එක්වන් යෙදී වසත්. තණවහන් ද කෙරෙත්. කරවත්. මුදුතණවහන් ද කෙරෙත්. කරවත්. බබුස්තණවහන් ද කෙරෙත්. කරවත්. කිතුල් (ඉඳි) කොළවහන් ද කෙරෙත්. කරවත්. කමලතණ (සැවැන්න) වහන් ද කෙරෙත්. කරවත්. පලස් (උණුලොම්) වහන් ද කෙරෙත්. කරවත්. උදෙසීම ද පිළිවිසීම ද අධිශීලය ද අධිචිත්තය ද අධිප්‍රඥාව ද සිස් කෙරෙත්.
72. ආශා රහිත වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “භද්දිය නගර වැසි භික්‍ෂූහු කෙසේ නම් නොයෙක් ලෙසින් වහන් සැරසීමෙහි එක්වන් යෙදී වසත් ද? “තණවහන් කරත් ද? කරවත් ද? මුදුතණවහන් කරත් ද? කරවත් ද? බබුස්තණ වහන් කරත් ද? කරවත් ද? කිතුල්කොළවහන් කරත් ද? කරවත් ද? කමලතණවහන් කරත් ද? කරවත් ද? පලස්වහන් කරත් ද? කරවත් ද? උදෙසීම පිළිවිසීම අධිශීලය අධිචිත්තය අධිප්‍රඥාව සිස් කරත් දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
73. “මහණෙනි, භද්දිය නගර වැසි භික්‍ෂූහු නොයෙක් ලෙසින් වහන් සැරසීමෙහි යෙදී වසත් ල. ඒ සැබෑ ද? තණවහන් කෙරෙත් ද? කරවත් ද? මුදුතණවහන් කෙරෙත් ද? කරවත් ද? බබුස්තණවහන් කෙරෙත් ද? කරවත් ද? කිතුල්කොළවහන් කෙරෙත් ද? කරවත් ද? කමලතණවහන් කෙරෙත් ද? කරවත් ද? පලස්වහන් කෙරෙත් ද? කරවත් ද? උදෙසීම පිළිවිසීම අධිශීලය අධිචිත්තය අධිප්‍රඥාව සිස් කෙරෙත් ද?”. “භාග්‍යවතුන් වහන්ස, සැබෑය.”
74. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මේ සිස් පුරුෂයෝ කෙසේ නම් නොයෙක් ලෙසින් පාදුකා සැරසීමෙහි යෙදී වසත් ද? තණ පාදුකා කෙරෙත් ද? කරවත් ද? මුදුතණ පාදුකා කෙරෙත් ද? කාරවත් ද? බබුස්තණ පාදුකා කෙරෙත් ද? කරවත් ද? කිතුල්කොළපාදුකා කෙරෙත් ද? කරවත් ද? කමලතණ පාදුකා කෙරෙත් ද? කරවත් ද? පලස්වහන් කෙරෙත් ද? කරවත් ද? උදෙසීම පිළිවිසීම අධිශීලය අධිචිත්තය අධිප්‍රඥාව සිස් කෙරෙත් දැ” යි ගැරහූ සේක.
75. “මහණෙනි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ යි –පෙ– ගරහා දැහැමි කතා කොට ‘මහණෙනි, තණපාදුකා නො දැරිය යුතු ය. මුදුතණපාදුකා නො දැරිය යුතු ය. බබුස්තණපාදුකා නො දැරිය යුතු ය. කිතුල්කොළපාදුකා නො දැරිය යුතු ය. කමලතණපාදුකා නො දැරිය යුතු ය. පලස්පාදුකා නො දැරිය යුතු ය. රනින් කළ පාදුකා නො දැරිය යුතු ය. රිදියෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. මිණියෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. වෙරළුමිණියෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. පළිඟුයෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. කස්ලෝහයෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. කදාමිණි(වීදුරු)යෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. ඊයමෙන් කළ පාදුකා නො දැරිය යුතු ය. කළුඊයමෙන් කළ පාදුකා ද නො දැරිය යුතු ය. තඹ ලෝහයෙන් කළ පාදුකා ද නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගෙණ යා හැකි (පය ලා ඇවිද්ද හැකි) කිසි (යම්) පාදුකා නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ස්ථිර ව (එහි ම) තිබෙන, තැන තැන ගෙණ යා නො හැකි වූ වැසිකිළිපාදුකාව කෙසකිළිපාදුකාව දියකිස සාහන පාදුකාව යන පාදුකා තුණක් අනුදනිමි” යි.
76. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භද්දියනගරයෙහි කැමැති තාක් කල් වාසය කොට සැවැත්නුවර බලා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනා සේක් සැවැත් නුවරට පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
77. එකල්හි සවගමහණෝ අචිරවතීගංගාවෙන් එතෙර වන්නා වූ දෙනුන්ගේ අං ද අල්වා ගණිත්. කන් ද අල්වා ගණිත්. බෙල්ල ද අල්වා ගණිත්. නගුට ද අල්වා ගණිත්. පිටට ද නගිත්. රාගයෙන් රත් වූ සිත් ඇත්තාහු රහසඟ ද ස්පර්‍ශ කෙරෙත්. නාඹු වැසිදෙන ද දියෙහි ගිල්වා මරත්.
78. මිනිස්සු “ශාක්‍යපුත්‍රීය වූ ශ්‍රමණයෝ කාමභෝගී ගිහින් සේ කෙසේ නම් (ගඟින්) එතෙර වන්නා වූ දෙනුන්ගේ අං අල්වා ගණිත් ද? කන් අල්ලා ගණිත් ද? බෙල්ල අල්වා ගණිත් ද? නගුට අල්වා ගණිත් ද? පිටට නගිත් ද? රාගයෙන් රත් වූ සිත් ඇති ව රහසඟ ස්පර්‍ශ කරත් ද? නාඹුවැසිදෙනුන් දියෙහි ගිල්වා මරත් දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.
79. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සැබෑ ද? –පෙ– භාග්‍යවතුන් වහන්ස සැබෑ ය.”
80. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. –පෙ– ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දෙනුන්ගේ අං නො (අල්වා) ගත යුතු ය. කන් නො (අල්වා) ගත යුතු ය. බෙල්ල නො (අල්වා) ගත යුතු ය. නගුට නො (අල්වා) ගත යුතු ය. පිටට නො නැගිය යුතු ය. යමෙක් නගින්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, රාගයෙන් රත් වූ සිතින් අඞ්ගජාතය නො පහළ යුතු ය. යමෙක් පහස්නේ නම් ථුලසිඇවැත් වේ. වැසිනැහැඹිය නො මැරිය යුතු ය. යමෙක් මරන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු” යි.
81. එකල්හි සවගමහණෝ දෙනුන් යෙදූ පිරිමිරියැදුරා ඇති පිරිමිසතුන් යෙදූ ගෑණුරියැදුරා ඇති යානයෙන් යෙත්. මිනිස්සු “ගඞ්ගා උත්සව ක්‍රීඩා පිණිස (යන්නේ) යම් සේ ද, එ මෙනැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යානයෙන් නො යා යුතු ය. යමෙක් යන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
82. එකල්හි එක්තරා මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස කොසොල්දනව්වෙහි වූ සැවැත්නුවරට යන්නේ අතරමග දී ගිලන් වූයේ වේ. ඉක්බිති ඒ මහණ තෙමේ මාර්‍ගයෙන් ඉවත් ව එක්තරා ගසක් මුල හුන්නේ ය.
83. මිනිස්සු ඒ මහණහු දැක “ස්වාමීන් වහන්සේ කොහි වඩිනා සේක් දැ” යි ඇසූහ. “ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස සැවැත්නුවරට යන්නෙමි” යි. “ස්වාමීනි, (එසේ නම්) වඩින්න, යන්නෙමු” යි. “ඇවැත්නි, මම යා නො හැක්කෙමි. ගිලන්මි” යි. “එන්න, ස්වාමීනි, යානයට නගින්න” යි. “ඇවැත්නි, වුවමනා නැත. භාග්‍යවතුන් වහන්සේ විසින් යානය තහනම් කරණ ලදී” යි. සැක කරන්නේ යානයට නො නැංගේ ය.
84. ඉක්බිති ඒ මහණ තෙමේ සැවැත්නුවරට ගොස් භික්‍ෂූන්ට මේ කරුණ සැළකළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගිලනහුට යානය අනුදනිමි” යි.
85. එකල්හි භික්‍ෂූන්ට ගෑණු සතුන් යෙදූ යානය ද? (නොහොත්) පිරිමි සතුන් යෙදූ යානය දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, (ගොන් ආදී) පිරිමිසතුන් යෙදූ අතින් අදිනා යානය අනුදනිමි” යි.
86. එකල්හි එක්තරා මහණකුට යානය ගැස්සීමෙන් ඉතා දැඩි අපහසුවෙක් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවිකාව (දෝලාව) හිදොළුව (පල්ලැක්කිය) අනුදනිමි” යි.
87. එකල්හි සවගමහණෝ උසසුන් මහසුන් දරත්: දික් හඟළා පුටුව, පළඟ, මහාකොඳුපලස, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, ගනපුප්රතුඇතිරිය, පුලුන් බහා කළ තුලිකාව (ගුදිරිය), සිංහව්‍යාඝ්‍රාදි රූපයන්ගෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක්පසෙක නැගි ලොම් ඇති එළුලොම් ඇතිරිය, දෙපස නැගි ලොම් ඇති එළුලොම් ඇතිරිය, රන් කම් කළ නූලෙන් වියූ ඇතිරිය, රනින් මුසු තිහිරිහුයින් කළ ඇතිරිය, සොළොස් නළඟනන්ට නැටිය හැකි පමණින් එළුලොමින් කළ මහ ඇතිරිය, ඇතු පිට ලන ඇතිරිය, අසු පිට ලන ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන් දිවිසමින් ඇඳ පමණට කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ උතුම් ඇතිරිය, රතු වියන් සහිත වූ හිස් දොර පාමුල රතු කන්වැයින් තැබූ අසුන යන මොහු ය.
88. විහාරචාරිකාවෙහි ඇවිදින මිනිස්සු දැක “කාමභෝගී ගිහින් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසසුන් මහසුන් නො දැරිය යුතු ය. එනම් දික්සඟළාපුටුව, පලඟ, මහකොඳුපලස, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, ගනපුප් රතු ඇතිරිය, පුළුන් බහා කළ බිසිය, සිංහව්‍යාඝ්‍රාදිරූපයන්ගෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක්පසෙක නැගි ලොම් ඇති එළුලොම් ඇතිරිය, දෙපස නැගි ලොම් ඇති එළුලොම් ඇතිරිය, රන්කම් කළ නූලෙන් වියූ ඇතිරිය, රනින් මුසු තිහිරිහුයින් කළ ඇතිරිය, නළඟනන් සොළොසකට නැටිය හැකි පමණින් එළුලොමින් කළ ඇතිරිය, ඇතු පිට ලන ඇතිරිය, අසු පිට ලන ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් ඇඳ පමණින් කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ උතුම් ඇතිරිය, රතු වියන් සහිත වූ (හිස පය) දෙපස රතුකන්වැයින් තැබූ අසුන යන මොහු ය. යමෙක් (මේ අසුන්) දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
89. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් උසසුන් මහසුන් තහනම් කරණ ලදැ’ යි සිංහසම් වගසම් දිවිසම් යන මහසම් දරත්. ඒ සම් ඇඳ පමණට ද සිඳින ලද්දේ වේ. පුටු පමණින් ද සිඳින ලද්දේ වේ. ඇඳේ ද පණවන ලද්දේ වේ. ඇඳින් පිටත ද පණවන ලද්දේ වේ. පුටුවේ ද පණවන ලද්දේ වේ. පුටුවෙන් පිටත ද පණවන ලද්දේ වේ. විහාරචාරිකාවෙහි ඇවිදින මිනිස්සු දැක “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිංහසම් වගසම් දිවිසම් යන මහසම් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
90. එකල්හි සවගමහණෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් මහසම් තහනම් කරණ ලදැ” යි ගෙරිසම් දරත්, ඒ ගෙරිසම් ඇඳ පමණට ද සිඳින ලද්දේ වේ. පුටු පමණට ද සිඳින ලද්දේ වේ. ඇඳේ ද පණවන ලද්දේ වේ. ඇඳෙන් පිටත ද පණවන ලද්දේ වේ. පුටුවේ ද පණවන ලද්දේ වේ. පුටුවෙන් පිටත ද පණවන ලද්දේ වේ.
91. එක්තරා පවිටු මහණෙක් එක්තරා පාපි උපාසකයකුගේ කුලූපග වේ. එකල්හි ඒ පාපි භික්‍ෂු තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන ඒ පාපී උපාසකයාගේ ගෙට ගියේ ය. ගොස් පැණවූ අසුනෙහි හුන්නේ ය. ඉක්බිති ඒ පවිටු උවසු තෙමේ ඒ පවිටු මහණ වෙතට එළඹියේ ය. එළඹ ඒ පවිටු මහණ සකසා වැඳ පසෙක හුන්නේ ය.
92. එකල්හි ඒ පාපී උපාසකයාගේ තරුණ වූ මනා රූ ඇති දැකුම්කලු සතුට එළවන දිවිපැටවකු සේ විසිතුරු පැහැ ඇති වස්සෙක් වේ. ඒ පාපී භික්‍ෂූ තෙමේ ඒ වස්සා ගැණ ඉතා ඕනෑකමින් සලකා බලයි. එවිට ඒ පාපී උපාසක තෙමේ ඒ පාපී භික්‍ෂුහුහට “කවරහෙයින් ස්වාමීනි, ස්වාමීන් වහන්සේ මේ වස්සා ගැණ ඉතා ඕනෑකමින් සිතා බලත් දැ” යි මෙය ඇසී ය. “ඇවැත්නි, මේ වස්සාගේ සමින් මට වැඩෙක් තිබේ.” ඉක්බිති ඒ පාපී උපාසක තෙමේ ඒ වස්සා මරා හම උපුටා ඒ පාපී භික්‍ෂුහුහට දුන්නේ ය. ඉන් පසු ඒ පාපී භික්‍ෂු තෙමේ ඒ හම සඟළ සිවුරෙන් වසා ගෙණ ගියේ ය.
93. ඒ වේලෙහි වස්සා කෙරෙහි ගිජු වූ ඒ දෙන ඒ පවිටු මහණහු පසු පස ලුහුබැඳ ගියා ය. “ඇවැත්නි, කුමක් නිසා මේ දෙන තා පසු පස ලුහුබැඳ ඒ දැ” යි භික්‍ෂූහු මෙසේ ඇසූහ. “ඇවැත්නි, මේ දෙන මා පසු පස කුමක් හෙයින් ලුහුබැඳ එන්නී දැ” යි මමත් නො දනිමි.
94. එකල්හි ඒ පාපී භික්‍ෂුහුගේ සඟළසිවුර ලෙයින් වැකුනේ වේ. “ඇවැත්නි, තාගේ සඟළසිවුර කුමක් කෙළේ දැ” යි භික්‍ෂූහු මෙසේ ඇසූහ. එවිට ඒ පාපී භික්‍ෂූතෙමේ භික්‍ෂූන්ට මේ කරුණ ප්‍රකාශ කළේ ය. “කිමෙක් ද ඇවැත්නි, තෝ සතුන් මැරීමෙහි සමාදන් කරවූයෙහි ද?”. “ඇවැත්නි, එසේ ය.” අල්පෙච්ඡ වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් මහණෙක් සතුන් මැරීමෙහි සමාදන් කරවා ද? භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් සතුන් මැරීම ගරහන ලද්දේ නො වේ ද? සතුන් මැරීමෙන් වැළකීම පසස්නා ලද්දේ නො වේ දැ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂූහුසඞ්ඝයා රැස් කරවා ඒ පවිටුමහණහුගෙන් විචාළ සේක. “මහණ, සැබෑ ද? තෝ සතුන් මැරීමෙහි සමාදන් කරවූයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
95. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “සිස් පුරුෂය, කෙසේ නම් තෝ සතුන් මැරීමෙහි සමාදන් කරවූයෙහි ද, සිස් පුරුෂය, මා විසින් සතුන් මැරීම නොයෙක් ලෙසින් ගරහන ලද්දේ නො වේ ද? සතුන් මැරීමෙන් වැළකීම පසස්නා ලද්දේ නො වේ ද? සිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ. –පෙ– ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, සතුන් මැරීමෙහි සමාදන් නො කරවිය යුතු ය. යමෙක් සමාදන් කරවන්නේ ද, ඇවැත් පරිදි කරවිය යුතු ය. මහණෙනි, ගෙරිසම් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, කිසි හමක් නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත්වේ ” යි.
96. එකල්හි මිනිසුන්ගේ ඇඳ ද පුටු ද සම් වද්දන ලද්දේ වෙයි. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිහින් සතු ඇඳපුටුවල හිඳින්නටත් එහි නො නිදන්නටත් අනුදනිමි” යි.
97. එකල්හි විහාරයෝ සම්වැටියෙන් වෙළා බඳිනු ලැබෙත්. භික්‍ෂූහු කුකුස් කරන්නෝ නො හිඳිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බැඳුම්පමණ නිසා හිඳින්නට අනුදනිමි” යි.
98. එකල්හි සවගමහණෝ වහන් සහිත ව ගමට පිවිසෙත්. මිනිස්සු “කාමභෝගී ගිහින් වැනි ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වහන් සහිත ව ගමට නො පිවිසිය යුතු ය. යමෙක් පිවිසෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යි.
99. එකල්හි එක්තරා මහණෙක් තෙමේ ගිලන් වෙයි. වහන් නැති ව ගමට පිවිසෙන්නට අපොහොසත් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගිලන්මහණහු විසින් වහනින් යුක්ත ව ගම් වැදීම අනුදනිමි” යි.
100. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර, තෙමේ අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි ප්‍රපාතපර්‍වතයෙහි වාසය කරයි. එකල්හි කුටිකණ්ණ නම් වූ සෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ගේ උපස්ථායක වේ.
101. දිනක් කුටිකණ්ණ සෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් කුටිකණ්ණ සෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ට මෙය සැළකළේ ය: “ස්වාමීනි, ආර්‍ය්‍යය වූ මහාකාත්‍යායනයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය යම් යම් පරිද්දෙකින් මම දනිම් ද, ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ හැම ලෙසින් පිරිසිදු වූ සඞ්ඛලිඛිත{*} වූ මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීම ගිහිගෙයි වසන්නහුට පහසු නො වේ. ස්වාමීනි, මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. ස්වාමී වූ මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මා පැවිදි කරණ සේක්වා”යි. “සෝණ, දිවිහිම් කොට එක් සයනයක් ඇති එක් වේලේ බත් ඇති බඹසර විසීම පහසු නො වේ. සෝණ, එබැවින් තෝ ගිහි වූයේ බුදුන්ගේ අනුශාසනය වූ කාලානුරූප වූ එක් සයනයක් ඇති එක් වේලේ බත් ඇති ඒ බ්‍රහ්මචර්‍ය්‍යයෙහිම (අටසිල්හි) යෙදෙව” යි.
102. ඉක්බිති කුටිකණ්ණසෝණ උපාසකයාහට ඇති වූ පැවිදි වීමේ තියුණු අදහස සංසිඳී ගියේ ය. දෙවනු ද කුටිකණ්ණසෝණ උපාසක තෙමේ –පෙ– තෙවනු ද කුටිකණ්ණසෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් වූ මහාකාත්‍යායන තෙරුන් සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් කුටිකණ්ණසෝණ උපාසක තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන්ට මෙය සැළ කළේ ය: “ස්වාමීනි, මම ආර්‍ය්‍ය වූ මහාකාත්‍යායනයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය යම් යම් පරිද්දෙකින් දනිම් ද, ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ හැම ලෙසින් පිරිසිදු වූ සඞ්ඛලිඛිත වූ මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීම ගිහිගෙහි වසන්නහුට පහසු නො වේ. ස්වාමීනි, මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. ස්වාමී වූ මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මා පැවිදි කරණ සේක්වා” යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කුටිකණ්ණසෝණ උපාසකයා පැවිදි කළහ.
103. එකල්හි අවන්තිදක්ඛිණාපථය මහණගණයාගෙන් තොර වූයේ වේ. එහෙයින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙවසක් ඇවෑමෙන් ඉතා දුකින් ඒ ඒ දිශාවෙන් දශවර්ගික වූ භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් සෝණහෙරණහු උපසපන් කළහ.
104. ඉක්බිති වස් වැස නිම කළ රහෝගත වූ විවේකයට පැමිණ හුන් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ සිත්හි මෙබඳු අදහසෙක් උපන: “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘මෙබඳු ය, මෙබඳු ය’ යි අසන ලදසේක් ම ය. (එහෙත්) මා විසින් ඉදිරියෙහි නො ද දක්නා ලදහ. මට උපාධ්‍යායයන් වහන්සේ අනුදන්නා සේක් නම්, මම අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යන්නෙමි” යි.
105. ඉක්බිති ආයුෂ්මත් සෝණස්ථවිර තෙමේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි, මෙහි රහෝගත ව විවේකයට පැමිණ හුන් මාගේ සිතෙහි මෙබඳු අදහසෙක් උපන: ‘මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘මෙබඳු ය, මෙබඳු ය’ යි අසන ලදසේක් ම ය. (එහෙත්) මා විසින් ඉදිරියෙහි නො ද දක්නා ලදහ. ඉදින් මට උපාධ්‍යායයන් වහන්සේ අනුදන්නෝ නම් අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යන්නෙමි යි. ස්වාමීනි, උපාධ්‍යායයන් වහන්සේ ඉදින් මට අනුදනිත් නම්, මම අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යන්නෙමි” යි. “සෝණ, ඉතා යහපති. සෝණ, තෝ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දක්නට යව. සෝණ, තෝ පැහැදීම එළවන පැහැදීමට ස්ථාන වූ සන්සුන් ඉඳුරන් ඇති සන්සුන් සිත් ඇති උතුම් කායූපසමයට හා චිත්තූපසමයට පැමිණියා වූ දැමුනා වූ රක්නා ලද ඉඳුරන් ඇති හික්මවූ ඉඳුරන් ඇති ශ්‍රේෂ්ඨ වූ නොහොත් පව් නැති ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නෙහි ය.
106. “සෝණ, එසේ නම් තෝ ‘ස්වාමීනි, මාගේ උපාද්ධ්‍යාය වූ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිති’ යි කියා මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. මෙසේත් සැළකරව: ‘ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථය මහණගණයාගෙන් තොර වූයේ ය. තුන් අවුරුද්දක් ඇවෑමෙන් ඉතා දුකින් (අපහසුවෙන්) ඒ ඒ දිශාවන්ගෙන් දශවර්ගිකභික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ගෙණ (මම) මාගේ උපසම්පදාව ලැබුයෙමි. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි ඉතා අඩු වූ භික්‍ෂුගණයාගෙන් යුක්ත උපසම්පදාව අනුදන්නා සේක් නම් යෙහෙක.
107. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි කළු මැටි වැඩි බිම ගවකුරයෙන් කැඩුනී ය. රළු ය. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි පට කීපයක් ඇති ඝන වහන් අනුදන්නා සේක් නම්, යෙහෙක.
108. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි මිනිස්සු නෑම ගරු කොට ගත්තෝ ය. දියෙන් පිරිසිදු බව බලාපොරොත්තු වන්නෝ ය. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි නිත්‍යස්නානය (නිතර නෑම) අනුදන්නා සේක් නම්, යෙහෙක.
109. “ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම්, තිරෙළුසම්, මුවසම්, යන සම් ඇතිරි වේ. ස්වාමීනි, මධ්‍යජනපදයෙහි එරගු, මොරගු, මජ්ජාරු, ජන්තු යන තෘණයන්ගෙන් කළ කළාල මෙන් – ස්වාමීනි, අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළුසම් මුවසම් යන සම් ඇතිරි වේ. භාග්‍යවතුන් වහන්සේ අවන්තිදක්ඛිණාපථයෙහි එළුසම් තිරෙළු සම් මුවසම් යන සම්ඇතිරි අනුදන්නා සේක් නම්, යෙහෙක”.
110. “ස්වාමීනි, දැන් මිනිස්සු සීමාවෙන් බැහැරට ගිය භික්‍ෂූන්ට ‘මේ සිවුර, මෙනම් ඇත්තහුට දෙමු’ යි සිවුරු දෙත්. ඔහු අවුත් ‘ඇවැත්නි, මෙනම් ඇති මිනිසුන් විසින් තට සිවුරු දෙන ලදැ’ යි කියත්. ඔහු කුකුස් කරන්නෝ ‘අපට නිසඟිපචිති නො වේවා” යි නො ඉවසත් (නො පිළිණිත්). භාග්‍යවතුන් වහන්සේ සිවුරෙහි ක්‍රමයක් (පිළිගැණිමේ නීතියක්) වදාළ සේක් නම්, යෙහෙකැ” යි.
115. “එසේ ය, ස්වාමීනි” යි ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සෙනසුන තැන්පත් කොට තබා පාසිවුරු ගෙණ සැවැත් නුවරට ගියේ ය.
116. පිළිවෙළින් (ගොස්) සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනෙක ද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද, එහි එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට “ආනන්‍දය, මේ ආගන්තුක භික්‍ෂුහුහට සෙනසුනක් පණව” යි ඇමතූ සේක.
117. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ “ආනන්‍දය, මේ ආගන්තුක භික්‍ෂූහුහට සෙනසුනක් පණව” යි භාග්‍යවතුන් වහන්සේ මට යමකු පිළිබඳ ව අණ කරණ සේක් ද, භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු සමග එක වෙහෙර විසීම කැමැති සේක. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන් සමග එක වෙහෙර විසීම කැමැති සේකැ’ යි භාග්‍යවතුන් වහන්සේ යම් වෙහෙරක වසන සේක් නම්, ඒ වෙහෙරෙහි ආයුෂ්මත් සෝණ තෙරුන්ට සෙනසුන් පැණවූහ.
118. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් එළිමහනෙහි කල් ගෙවා වෙහෙරට පිවිසි සේක. ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ ද රෑ බොහෝ වේලාවක් එළිමහනෙහි කල් ගෙවා වෙහෙරට පිවිසියේ ය.
119. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගී සිට සෝණ තෙරුන්ට “මහණ, තට දහම් දෙසීමට වැටහේවා” යි ආරාධනා කළ සේක. “එසේ ය, ස්වාමීනි,” යි ආයුෂ්මත් සෝණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සියලු ම අෂ්ටකවර්‍ගයෙහි සූත්‍රයන්{*} මිහිරිහඩින් කීයේ ය.
120. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ මිහිරි හඬින් (පෙළ අරුත්) කීම අවසන්හි වෙසෙසින් සතුටු වූ සේක. “මහණ, ඉතා මැනවි. මහණ, තා විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ සූත්‍රයෝ මනා සේ උගන්නා ලදහ. මනා සේ මෙනෙහි කරණ ලද්දාහු ය. මනා කොට විමසන ලද්දාහු ය. විශද වූ නිර්දෝෂ වූ අර්‍ත්‍ථය වෙසෙසින් හඟවන්නා වූ යහපත් වචනයෙන් යුක්ත වූයෙහි ය. මහණ, තෝ කෙතෙක් වස් ඇත්තේ වෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම එක්වස් ඇත්තේ වෙමි” “මහණ, තෝ කුමක් නිසා මෙසේ බොහෝ කල් යැවූයෙහි ද?” “ස්වාමීනි, මා විසින් කාමයන් දුක්බව බොහෝ කලින් දක්නා ලද්දේ ය. එහෙත් ගිහිගෙයි විසීම අවකාශ රහිත ය. බොහෝ කෘත්‍යය ඇත්තේ ය. බොහෝ කටයුතු ඇත්තේ ය”.
121. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලෙහි මේ උදානය පහළ කළසේක: