Mahāvagga

Great Division

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 2789 segments

පෙන්වන කොටස් 1301-1400 න් 2789

24. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
25. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
26. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද එබඳු වූ භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
27. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
28. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
29. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
30. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
31. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
32. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක සමාන සංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද යම් තැනක් “අද ම යන්නට හැක්කෙමි” යි දන්නේ ද එබඳු වූ භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට යා යුතු ය.
33. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක සමාන සංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද යම් තැනක් “අද ම යන්නට හැක්කෙමි” යි දන්නේ ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
34. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක සමාන සංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනක් “අද ම යන්නට හැක්කෙමි” යි දන්නේ ද එබඳු වූ භික්‍ෂූන් සහිත වූ ආවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
35. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක සමාන සංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද, යම් තැනක් “අද ම යන්නට හැක්කෙමි” යි දන්නේ ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් සහිත වූ ආවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ අනාවාසයට –පෙ– භික්‍ෂූන් සහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු ය.
36. මහණෙනි, මෙහෙණක හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.
37. හික්මෙන්නියක –පෙ– නො පැවරිය යුතු ය. හෙරණකු –පෙ– නො පැවරිය යුතු ය. හෙරණියක –පෙ– නො පැවරිය යුතු ය. ශික්‍ෂාව බැහැරලූවකු –පෙ– නො පැවරිය යුතු ය. අන්තිම වස්තුවට පැමිණියකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.
38. ඇවැත් නො දැක්මෙහි බැහැර ලූවකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් ධර්‍මය (විනය නීති) පරිදි කරවිය යුතු ය.
39. ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර ලූවකු –පෙ– ලාමක මිසදිටු අත නො හැරීමෙහි බැහැර ලූවකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් ධර්‍මය පරිදි කරවිය යුතු ය.
40. පණ්ඩකයකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.
41. පැවිද්ද සොරකම් කළ එකකු –පෙ– නො පැවරිය යුතු ය. තීර්‍ත්‍ථකයන් කරා ගියකු –පෙ– නො පැවරිය යුතු ය. තිරිසන් ගියකු –පෙ– නො පැවරිය යුතු ය. මාතෘඝාතකයකු –පෙ– නො පැවරිය යුතු ය. පිතෘඝාතකයකු –පෙ– නො පැවරිය යුතු ය. අරහන්තඝාතකයකු –පෙ– නො පැවරිය යුතු ය. භික්ඛුණීදූසකයකු –පෙ– නො පැවරිය යුතු ය. සඞ්ඝභේදකයකු –පෙ– නො පැවරිය යුතු ය. ලෝහිතුප්‍පාදකයකු –පෙ– නො පැවරිය යුතු ය. උභාතොබ්‍යඤ්‍ජනකයකු හුන් පිරිසෙහි නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.
42. මහණෙනි, පිරිස නො නැගී හුන් කල්හි හැර පාරිවාසික පවාරණය දීමෙන් නො පැවරිය යුතු ය.
43. මහණෙනි, සඞ්ඝසාමග්ගියෙහි හැර පවාරණය නො කට යුතු දිනයෙහි නො පැවරිය යුතු ය.
දෙවන බණවර නිමි.
1. එකල්හි කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණයෙහි වැද්දන්ගෙන් බියක් වූයේ ය. භික්‍ෂූහු තෙවරක් කීමෙන් පවරන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙවරක් කීමෙන් පවරන්නට අනුදනිමි” යි. දැඩි වැදි බියක් වූයේ ය. භික්‍ෂූහු දෙවරක් කීමෙන් පවරන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එක්වරක් කීමෙන් පවරන්නට අනුදනිමි” යි. ඉතා දැඩි වැදිබියක් වූයේ ය. භික්‍ෂුහු එක්වරක් කීමෙන් ද පවරන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සමාන වස් ඇත්තන් එකතු ව (කීමෙන්) පවරන්නට අනුදනිමි” යි.
2. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පවාරණයෙහි දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. එකල්හි ඒ භික්‍ෂූන්ට “දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. ඉදින් සඞ්ඝ තෙමේ තෙවරක් කියා පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. එසේ කල්හි මේ රාත්‍රිය පහන් වන්නේ ය. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ“යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. එහි දී භික්‍ෂූන්ට ‘දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම් සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. එසේ කල්හි මේ රාත්‍රිය පහන් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූ නමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. දන් දෙන්නා වූ මිනිසුන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. ඉදින් සඞ්ඝ තෙමේ තුන් වරක් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. දැන් මේ රාත්‍රිය පහන් වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණ කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ දෙවරක් කීමෙන් –පෙ– එක්වරක් කීමෙන් –පෙ– සමාන වස් ඇත්තන් එකතු ව කීමෙන් පවරන්නේ ය.”
3. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණයෙහි දහම් දෙසන්නා වූ භික්‍ෂූන් විසින් –පෙ– සූත්‍රාන්ත සඞ්ගායනා කරන්නා වූ සූත්‍රාන්තිකයන් විසින් –පෙ– විනය විසඳන්නා වූ විනයධරයන් විසින් –පෙ– ධර්‍ම සාකච්ඡා කරන්නා වූ ධර්‍මකථිකයන් විසින් –පෙ– කලහ කරන්නා වූ භික්‍ෂූන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. එහි දී භික්‍ෂූන්ට ‘කලහ කරන්නා වූ භික්‍ෂූන් විසින් රාත්‍රිය ගෙවන ලදී. සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නෙන් නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ රාත්‍රිය ද පහන් වන්නේ ය” යි මෙසේ අදහස් වේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: කලහ කරන්නා වූ භික්‍ෂූන් විසින් බොහෝ සෙයින් රාත්‍රිය ගෙවන ලදී. ඉදින් සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. දැන් මේ රාත්‍රිය පහන් වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ දෙවරක් කීමෙන් –පෙ– එක් වරක් කීමෙන් –පෙ– සමාන වස් ඇත්තන් එකතු ව කීමෙන් පවරන්නේ ය” යි.
4. එකල්හි කොසොල්දනව්වෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි මහාභික්‍ෂුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. නො තෙමෙන තැන් ඉතා ටික වේ. මහත් මේඝයෙක් ද නැංගේ වේ. එකල්හි ඒ භික්‍ෂූන්ට “මේ මහාභික්‍ෂූහුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. නො තෙමෙන තැන් ද ටික ය. මහාමේඝයෙක් ද නැංගේ වේ. ඉදින් සඞ්ඝ තෙමේ තුන් වරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ මේඝය ද වසින්නේ ය. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි මහාභික්‍ෂුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. නො තෙමෙන තැන් ද ටික වේ. මහත් වූ මේඝයෙක් ද නැංගේ වේ. එහි දී භික්‍ෂූන්ට ‘මේ මහාභික්‍ෂුසඞ්ඝ තෙමේ රැස් වූයේ වේ. නො තෙමෙන තැන් ද ටික ය. මහත් වූ මේඝයෙක් ද නැංගේ ය. සඞ්ඝ තෙමේ තුන්වරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. ඒ මේඝය ද වසින්නේ ය’යි මෙසේ අදහස් වේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය: ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ මහාභික්‍ෂු සඞ්ඝ තෙමේ රැස් වූයේ ය. නො තෙමෙන තැන් ද ටික ය. මහත් වූ මේඝයෙක් ද නැංගේ ය. ඉදින් සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ මේඝය ද වසින්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ දෙවරක් කීමෙන් –පෙ– එක්වරක් කීමෙන් –පෙ– සමාන වස් ඇත්තන් එකතු ව කීමෙන් පවරන්නේ ය” යි.
5. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි රජුගෙන් අන්තරායයෙක් වේ. –පෙ– සොරුන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– ගින්නෙන් අන්තරායයෙක් වේ. –පෙ– ජලයෙන් අන්තරායයෙක් වේ. –පෙ– මිනිසුන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– අමනුෂ්‍යයන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– චණ්ඩමෘගයන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– සර්‍පයන්ගෙන් අන්තරායයෙක් වේ. –පෙ– ජීවිතයට අන්තරායයෙක් වේ. –පෙ– බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වේ. –පෙ– එහි දී භික්‍ෂූන්ට ‘මේ බ්‍රහ්මචර්‍ය්‍යාන්තරායයෙකි. සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායය ද වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙකි. ඉදින් සඞ්ඝ තෙමේ තෙවරක් කීමෙන් පවරන්නේ නම්, සඞ්ඝ තෙමේ නො පැවරූයේ ම වන්නේ ය. මේ බ්‍රහ්මචර්‍ය්‍යාන්තරායය ද වන්නේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ දෙවරක් කීමෙන් –පෙ– එක් වරක් කීමෙන් –පෙ– සමාන වස් ඇත්තන් එකතු ව කීමෙන් පවරන්නේ ය” යි.
6. එකල්හි සවග මහණෝ ඇවැත් සහිත වූවෝ පවරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇවැත් සහිත වූවහු විසින් නො පැවරිය යුතු ය. යමෙක් පවරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, ඇවැත් සහිත වූ යමෙක් පවරා නම්, ඔහුට අවකාශ කරවා (කැමැත්ත ගෙණ) ඇවැතින් චෝදනා කරන්නට අනුදනිමි” යි.
7. එකල්හි සවග මහණෝ අවකාශ කරවනු ලබන්නෝ අවකාශ කරන්නට (ඉඩ දෙන්නට) නො කැමැති වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “මහණෙනි, අවකාශ නො කරන්නහුගේ පවාරණය නවතාලන්ට අනුදනිමි. මහණෙනි, මෙසේ නැවැත්විය යුතු ය. එදවස පවාරණයෙහි තුදුස්වක්හි හෝ පසළොස්වක්හි හෝ ඒ පුද්ගලයා හමු වූ කල්හි සඟමැද ප්‍රකාශකළ යුතු ය: ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මෙ නම් ඇති පුද්ගල තෙමේ ඇවැත් සහිත වේ. ඔහුගේ පවාරණය නවත්වමි. ඔහු හමු වූ කල්හි නො පැවරිය යුතු ය’ යි (මෙසේ) පවාරණය නවත්වන ලද්දේ වේ.”
8. එකල්හි සවග මහණෝ “පේශලභික්‍ෂූහු අපට පෙර අපගේ පවාරණය නවත්වති” යි වස්තුවක් නැති ව නිකරුණෙහි පළමු කොට ම ඇවැත් රහිත වූ පිරිසිදු වූ භික්‍ෂූන්ගේ පවාරණය නවත්වති. පවාරණය කළ භික්‍ෂූන්ගේ ද පවාරණය නවත්වත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වස්තුවක් නැති කල්හි නිකරුණෙහි ඇවැත් රහිත වූ පිරිසිදු භික්‍ෂූන්ගේ පවාරණය නො නැවැත්විය යුතු ය. යමෙක් නවත්වන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, පවාරණය කළ භික්‍ෂූන්ගේ ද පවාරණය නො නැවැත්විය යුතු ය. යමෙක් නවත්වන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
9. “මහණෙනි, පවාරණය මෙසේ නවත්වන ලද්දේ වේ. මෙසේ නො නවත්වන ලද්දේ වේ. මහණෙනි, පවාරණය කෙසේ නො නවත්වන ලද්දේ වේ ද? මහණෙනි, තෙවාචික පවාරණය කියූ කල්හි පැවසූ කල්හි අවසන් කළ කල්හි පවාරණය නවතා ද, (එකල්හි) පවාරණය නො නවත්වන ලද්දේ වේ. මහණෙනි, ද්වේවාචික පවාරණය –පෙ– මහණෙනි, ඒකවාචික පවාරණය –පෙ– මහණෙනි, සමානවස්සික පවාරණය කියූ කල්හි පැවසූ කල්හි අවසන් කළ කල්හි පවාරණය නවතා ද, එකල්හි පවාරණය නො නවත්වන ලද්දේ වේ. මහණෙනි, මෙසේ පවාරණය නො නවත්වන ලද්දේ වේ.”
10. “මහණෙනි, පවාරණය කෙසේ නවත්වන ලද්දේ වේ ද? මහණෙනි, තෙවාචික පවාරණය කියූ කල්හි පැවසූ කල්හි අවසන් නො කළ කල්හි පවාරණය නවතා ද, පවාරණය නවත්වන ලද්දේ වේ. මහණෙනි, ද්වේවාචික පවාරණය –පෙ– මහණෙනි, ඒකවාචික පවාරණය –පෙ– මහණෙනි, සමාන වස්සිකපවාරණය කියූ කල්හි පැවසූ කල්හි අවසන් නො කළ කල්හි පවාරණය නවතා ද, පවාරණය නවත්වන ලද්දේ වේ. මහණෙනි, මෙසේ පවාරණය නවත්වන ලද්දේ වේ.”
11. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත් තෙමේ කය පිළිබඳ අපිරිසිදු හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ අපිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. අපිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. අඥ ය. අව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු ඉදිරිපත් කරන්නට දක්‍ෂ නො වේ ය’ යි අන්‍ය වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘මහණ, කම් නැත, ඩබර නො කරව, කලහ නො කරව, විරුද්ධ ගැණීම් නො ගණුව විරුද්ධවාද නො කරව’ යි (මෙසේ ඔහුගේ කීම) මැඩ සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
12. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත් තෙමේ කය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ අපිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. අපිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. අඥ ය. අව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු කීමට දක්‍ෂ නො වේ’ යි අන්‍ය වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘මහණ, කම් නැත. ඩබර නො කරව, කලහ නො කරව, විරුද්ධ ගැණිම් නො ගණුව, විරුද්ධවාද නො කරව’ යි (මෙසේ ඔහුගේ කීම) මැඩ සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
13. “මහණෙනි, එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත්තෙමේ කය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. අපිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. අඥ ය. අව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු කීමට දක්‍ෂ නො වේ’ යි අනාථ වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘මහණ, ඩබර නො කරව, කලහ නො කරව, විරුද්ධ ගැණිම් නො ගණුව, විරුද්ධවාද නො කරව’ යි මෙසේ (ඔහුගේ කීම) මැඩ සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
14. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත් තෙමේ කය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. පිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. අඥ ය. අව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු කීමට දක්‍ෂ නො වේ” යි අන්‍ය වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘මහණ ඩබර නො කරව, කලහ නො කරව, විරුද්ධ ගැණිම් නො ගණුව, විරුද්ධ වාද නො කරව’ යි මෙසේ (ඔහුගේ කීම) මැඩ සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
15. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ මහණකුගේ පවාරණය නවතයි. ‘මේ ආයුෂ්මත් තෙමේ කය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. වචනය පිළිබඳ පිරිසිදු වූ හැසිරීම් ඇත්තේ ය. පිරිසිදු වූ දිවිපැවැතුම් ඇත්තේ ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. කරුණු විචාරණු ලබන්නේ කරුණු කීමට දක්‍ෂ වේ’ යි අන්‍ය වූ භික්‍ෂූහු ඒ මහණහු දනිත්. ‘ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය නවත්වන්නෙහි කිනම් හේතුවකින් එය නවත්වන්නෙහි ද? සීලවිපත්තිය හේතු කොට නවත්වන්නෙහි ද? ආචාරවිපත්තිය හේතු කොට නවත්වන්නෙහි ද? දාෂ්ටිවිපත්තිය හේතු කොට නවත්වන්නෙහි දැ?‘යි ඒ මහණ තෙමේ මෙසේ විචාළ යුතු වන්නේ ය.”
16. “සීලවිපත්තිය හේතු කොට හෝ නවතමි. ආචාරවිපත්තිය හේතු කොට හෝ නවතමි. දෘෂ්ටිවිපත්තිය හේතු කොට හෝ නවතමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ආයුෂ්මත් තෙමේ සීලවිපත්තිය දනී ද? ආචාරවිපත්තිය දනී ද? දෘෂ්ටි විපත්තිය දනී දැ?” යි ඒ මහණ තෙමේ මෙසේ විචාළ යුතු වන්නේ ය. ‘ඇවැත්නි, මම සීලවිපත්තිය දනිමි. ආචාරවිපත්තිය දනිමි. දෘෂ්ටිවිපත්තිය දනිමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, සීලවිපත්තිය කවරී ද? ආචාරවිපත්තිය කවරී ද? දෘෂ්ටිවිපත්තිය කවරී දැ’ යි ඒ මහණ තෙමේ මෙසේ විචාළ යුතු වන්නේ ය.”
17. “සතර පරිජි, තෙරස සඞ්ඝාදිසේස යන මේ සීලවිපත්ති නමි. ථුල්ලච්චය පාචිත්තිය පාටිදේසනීය දුක්කට දුබ්භාසිත යන මේ ආචාරවිපත්ති නමි. මිච්ඡාදිට්ඨි අන්තග්ගාහකදිට්ඨි යන මේ දෘෂ්ටිවිපත්ති නමි’ යි. ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය නවත්වන්නෙහි දක්නා ලද්දකින් නවත්වන්නෙහි ද? අසන ලද්දකින් නවත්වන්නෙහි ද? සැකයකින් නවත්වන්නෙහි දැ?‘ යි ඒ මහණ තෙමේ මෙසේ ඇසිය යුතු වන්නේ ය.”
18. “දුටුවකින් හෝ නවත්වමි. ඇසුවකින් හෝ නවත්වමි. සැකයකින් හෝ නවත්වමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය දුටුවකින් නවත්වන්නෙහි නම්, තා විසින් කුමක් දක්නා ලද්දේ ද? තා විසින් කිනම් ලෙසකින් දක්නා ලද්දේ ද? තා විසින් කවර කලෙක දක්නා ලද්දේ ද? තා විසින් කොතැනක දී දක්නා ලද්දේ ද? පාරාජිකාවට පැමිණෙනුයේ දක්නා ලද්දේ ද? සඞ්ඝාදිසේසයට පැමිණෙනුයේ දක්නා ලද්දේ ද? ථුල්ලච්චයයට –පෙ– පාචිත්තියට –පෙ– පාටිදේසනීයයට –පෙ– දුක්කටයට –පෙ– දුබ්භාසිතයට පැමිණෙනුයේ දක්නා ලද්දේ ද? තෝ කොතැනක වූ යෙහි ද? මේ මහණ කොතැනක වූයේ ද? තෝ කුමක් කෙරෙහි ද? මේ මහණ කුමක් කෙරේ දැ?‘ යි ඒ මහණ තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය.”
19. “ඇවැත්නි, මම මේ මහණහුගේ පවාරණය දුටුවකින් නො නවතමි. එහෙත් ඇසුවකින් පවාරණය නවතමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය ඇසුවකින් නවතන්නෙහි නම්, තා විසින් කුමක් අසන ලද්දේ ද? තා විසින් කිනම් ලෙසකින් අසන ලද්දේ ද? තා විසින් කවර කලෙක අසන ලද්දේ ද? තා විසින් කොතැනක දී අසන ලද්දේ ද? පාරාජිකාවට පැමිණියේ යි අසන ලද්දේ ද? සඞ්ඝයාදිසේසයට පැමිණියේ යි අසන ලද්දේ ද? ථුල්ලච්චයයට –පෙ– පාචිත්තියට –පෙ– පාටිදේසනීයයට –පෙ– දුක්කටයට –පෙ– දුබ්භාසිතයට පැමිණියේ යි අසන ලද්දේ ද? මහණකුගෙන් අසන ලද්දේ ද? මෙහෙණකගෙන් අසන ලද්දේ ද? හික්මෙන්නියකගෙන් අසන ලද්දේ ද? හෙරණකුගෙන් අසන ලද්දේ ද? හෙරණියකගෙන් අසන ලද්දේ ද? උපාසකයකුගෙන් අසන ලද්දේ ද? උපාසිකාවකගෙන් අසන ලද්දේ ද? රජුන්ගෙන් අසන ලද්දේ ද? රජමහඇමතියන්ගෙන් අසන ලද්දේ ද? තීර්‍ත්‍ථකයන්ගෙන් අසන ලද්දේ ද? තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් අසන ලද්දේ දැ?’ යි ඒ මහණ තෙමේ මෙසේ ඇසිය යුතු වන්නේ ය.”
20. “ඇවැත්නි, මම ද මේ මහණහුගේ පවාරණය ඇසුවකින් නො නවතමි. එහෙත් සැකයකින් පවාරණය නවතමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, “ඇවැත්නි, යම් හෙයකින් තෝ මේ මහණහුගේ පවාරණය සැකයකින් නවතන්නෙහි නම්, කුමක් සැක කරන්නෙහි ද? කිනම් ලෙසකින් සැක කරන්නෙහි ද? කවර කලෙක සැක කරන්නෙහි ද? කොතැනෙක දී සැක කරන්නෙහි ද? පාරාජිකාවට පැමිණියේ යි සැක කරන්නෙහි ද? සඞ්ඝයාදිසේසයට පැමිණියේ යි සැක කරන්නෙහි ද? ථුල්ලච්චයයට –පෙ– පාචිත්තියට –පෙ– පාටිදේසනීයයට –පෙ– දුක්කටයට –පෙ– දුබ්භාසිතයට පැමිණියේ යි සැක කරන්නෙහි ද? මහණකුගෙන් අසා සැක කරන්නෙහි ද? මෙහෙණකගෙන් අසා සැක කරන්නෙහි ද? හික්මෙන්නියකගෙන් අසා සැක කරන්නෙහි ද? හෙරණකුගෙන් අසා සැක කරන්නෙහි ද? හෙරණියකගෙන් අසා සැක කරන්නෙහි ද? උපාසකයකුගෙන් අසා සැක කරන්නෙහි ද? උපාසිකාවකගෙන් අසා සැක කරන්නෙහි ද? රජුන්ගෙන් අසා සැක කරන්නෙහි ද? රජමහ ඇමැතියන්ගෙන් අසා සැක කරන්නෙහි ද? තීර්‍ත්‍ථකයන්ගෙන් අසා සැක කරන්නෙහි ද? තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් අසා සැක කරන්නෙහි දැ?’ යි ඒ මහණ තෙමේ මෙසේ ඇසිය යුතු වන්නේ ය.”
21. “ඇවැත්නි, මම මේ මහණහුගේ පවාරණය සැකයකින් නො නවත්වමි. එහෙත් මම මේ මහණහුගේ පවාරණය කුමකින් නවත්වම් දැ? යි මම නො දනිමි’ යි ඒ මහණ තෙමේ මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ චෝදක භික්‍ෂු තෙමේ ප්‍රශ්න කිරීමෙන් නුවණැති සබ්‍රම්සරුන්ගේ සිත සතුටු නො කෙරේ ද ‘චූදිත භික්‍ෂු තෙමේ චෝදනා රහිතයෙකැ’ යි කීමට සුදුසු වේ. මහණෙනි, ඒ චෝදක භික්‍ෂූ තෙමේ ප්‍රශ්න කිරීමෙන් නුවණැති සබ්‍රම්සරුන්ගේ සිත සතුටු කෙරේ ද, ‘චූදිතභික්‍ෂූ තෙමේ චෝදනාසහිතයෙකැ’යි කීමට සුදුසු වේ.
22. “මහණෙනි, ඒ චෝදකභික්‍ෂු තෙමේ අමූලික වූ පාරාජිකාපත්තියකින් චෝදනා කිරීම ප්‍රතිඥා කෙරේ ද, (ඒ චෝදකයාට) සඞ්ඝාදිසේසාපත්තිය ආරෝපණය කොට සඞ්ඝයා විසින් පැවරිය යුතු ය. මහණෙනි, ඒ චෝදකභික්‍ෂු තෙමේ අමූලික වූ සඞ්ඝාදිසේසාපත්තියකින් චෝදනා කිරීම ප්‍රතිඥා කෙරේ ද, (ඔහුට) ඇවැත් පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය. ‘මහණෙනි, චෝදකභික්‍ෂු තෙමේ අමූලික වූ ථුල්ලච්චයාපත්තියකින් –පෙ– පාචිත්තියාපත්තියකින් –පෙ– පාටිදේසනීයාපත්තියකින් දුක්කටාපත්තියකින් –පෙ– දුබ්භාසිතාපත්තියකින් චෝදනා කිරීම ප්‍රතිඥා කෙරේ ද, ධර්‍මය පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
23. “මහණෙනි, චුදිත භික්‍ෂූ තෙමේ ‘පාරාජිකාපත්තියට පැමිණියෙමි’ යි ප්‍රතිඥා කෙරේ ද, ලිඞ්ගනාසනය කොට (=සිවුරු හරවා) සඞ්ඝයා විසින් පැවරිය යුතු ය. මහණෙනි, චූදිතභික්‍ෂු තෙමේ ‘සඞ්ඝාදිසේසාපත්තියට පැමිණියෙමි’ යි ප්‍රතිඥා කෙරේ ද, (ඔහුට) සඞ්ඝාදිසේසාපත්තිය ආරෝපණය කොට සඞ්ඝයා විසින් පැවරිය යුතු ය. මහණෙනි, චූදිතභික්‍ෂු තෙමේ ‘ථුල්ලච්චයාපත්තියකට –පෙ– පාචිත්තියාපත්තියකට –පෙ– පාටිදේසනීයාපත්තියකට –පෙ– දුක්කටාපත්තියකට –පෙ– දුබ්භාසිතාපත්තියකට පැමිණියෙමි’ යි ප්‍රතිඥා කෙරේ ද, (ඔහුට) ධර්‍මය පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.”
24. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණයෙහි ථුල්ලච්යාපත්තියකට පැමිණියේ වේ. ඇතැම් මහණෝ ථුල්ලච්චයාපත්තිය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ සඞ්ඝාදිසේසාපත්තිය යන ලබ්ධි ඇත්තෝ වෙත්. මහණෙනි, යම් ඒ මහණෝ ථුල්ලච්චයාපත්තිය යන ලබ්ධිය ඇත්තෝ වෙත් ද, මහණෙනි, ඒ මහණුන් විසින් ඒ මහණ තෙමේ පසෙකට ඉවත් කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙතට එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ මහණ තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඔහු විසින් ඒ ඇවැත විනය පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේය’ යි. මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි මහණෙක් තෙමේ ථුල්ලච්චයාපත්තියකට පැමිණියේ වේ. ඇතැම් මහණෝ ථුල්ලච්චය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ පාචිත්තිය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. –පෙ– ඇතැම් මහණෝ ථුල්ලච්චය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ පාටිදේසනීය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. –පෙ– ඇතැම් මහණෝ ථුල්ලච්චය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ දුක්කටය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. –පෙ– ඇතැම් මහණෝ ථුල්ලච්චය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. ඇතැම් මහණෝ දුබ්භාසිතය යන ලබ්ධිය ඇත්තෝ වෙත්. මහණෙනි, යම් ඒ මහණෝ ථුල්ලච්චය ය යන ලබ්ධිය ඇත්තෝ වෙත් ද මහණෙනි, ඒ මහණුන් විසින් ඒ මහණ තෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය. “ඇවැත්නි, ඒ මහණ තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඔහු විසින් ඒ අවැත විනය පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේය’ යි.”
25. “මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි භික්‍ෂූ නමක් පචිති ඇවැතකට පැමිණියේ වේ. {*}[ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු සඞ්ඝාදිසේස ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු ද, ඒ භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කියයුතු වන්නේ ය. ‘ඇවැත්නි, ඒ භික්‍ෂූහුතෙමේ යම් ඇවැතකට පැමිණියේ ද ඒ ඇවැත විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි. මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු තුලසි ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු දුකකට ය යන ලබ්ධි ඇත්තාහු වෙත් –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිතය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු පචිතිය යන ලබ්ධි ඇත්තෝ ද, ඔවුන් විසින් ඒ භික්‍ෂූහුතෙම පසෙකට ඉවත් කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, ඒ භික්‍ෂු තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝතෙමේ පවරන්නේ ය’ යි.]
26. “[මහණෙනි, මෙහි එ දවස පවාරණයෙහි භික්‍ෂූ නමක්] පාටිදේසනීය ඇවැතකට පැමිණියේ වේ. {*}[ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු සඞ්ඝාදිසේස ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂුතෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කියයුතු වන්නේය. “ඇවැත්නි, ඒ භික්‍ෂු තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැත විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි. මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු තුලසි ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු පාටිදේසනීය යන ලබ්ධි ඇත්තෝ ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂූහු තෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කියයුතු වන්නේ ය. ‘ඇවැත්නි, ඒ භික්‍ෂූහු තෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි.]
27. [”මහණෙනි, මෙහි භික්‍ෂු නමක් එදවස පවාරණයෙහි] දුක්කටාපත්තියකට පැමිණියේ වේ. ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු සඞ්ඝාදිසේසය යන ලබ්ධි ඇත්තාහු වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තාහු ද, ඔවුන් විසින් ඒ භික්‍ෂු තෙමේ පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ භික්‍ෂූතෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවත විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි. මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු දුක්කටය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු තුලසි ය යන ලබ්ධි ඇත්තෝ වෙත් –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තෝ වෙත් –පෙ– මහණෙනි මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය යන ලබ්ධි ඇත්තෝ වෙත්. –පෙ– මහණෙනි, මෙහි –පෙ– ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු දුක්කට ලබ්ධි ඇත්තෝ ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂුතෙම පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ භික්‍ෂුතෙමේ යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි”.
28. [“මහණෙනි, මෙහි එදවස පවාරණයෙහි භික්‍ෂුනමක්] දුබ්භාසිතාපත්තියකට පැමිණියේ වේ. ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තාහු වෙත්. ඇතැම් භික්‍ෂූහු සඞ්ඝාදිසේස ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු දුක්කටය යන ලබ්ධි ඇත්තෝ ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂු තෙම එක්පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ භික්‍ෂුතෙම යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝතෙමේ පවරන්නේ ය’ යි [මහණෙනි, මෙහි –පෙ–] ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂුහු තුලසි ය යන ලබ්ධි ඇත්තෝ වෙති. [–පෙ– මහණෙනි, මෙහි –පෙ–] ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙති. ඇතැම් භික්‍ෂූහු පචිති ය යන ලබ්ධි ඇත්තෝ වෙති. [–පෙ– මහණෙනි, මෙහි –පෙ–] ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙත්. ඇතැම් භික්‍ෂූහු පාටිදේසනීය ය යන ලබ්ධි ඇත්තෝ වෙත් [–පෙ– මහණෙනි, මෙහි –පෙ–] ඇතැම් භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ වෙති. ඇතැම් භික්‍ෂූහු දුක්කට ය යන ලබ්ධි ඇත්තෝ වෙති. මහණෙනි, යම් ඒ භික්‍ෂූහු දුබ්භාසිත ය යන ලබ්ධි ඇත්තෝ ද, මහණෙනි, ඔවුන් විසින් ඒ භික්‍ෂුතෙම පසෙකට බැහැර කොට ඇවැත් පරිදි කරවා සඞ්ඝයා වෙත එළඹ මෙසේ කිය යුතු වන්නේ ය: ‘ඇවැත්නි, ඒ භික්‍ෂුතෙම යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ඇවැතට විනය වූ පරිදි පිළියම් කරණ ලදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි.”
29. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණයෙහි සඟ මැද ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ වස්තුව පෙණේ. පුද්ගල තෙමේ නො පෙණේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, වස්තුව තබා සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි කියන්නේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිසිදු මහණුන්ට පවාරණය පණවන ලද්දේ ය. වස්තුව පෙණේ නම්, පුද්ගල තෙමේ නො පෙණේ නම්, දැන් ම එය කියව’ යි ඒ මහණ තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය:
30. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණයෙහි සඟ මැද ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ පුද්ගලතෙමේ පෙණේ. වස්තුව නො පෙණේ. සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, පුද්ගලයා තබා සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි කියන්නේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිසිදු වූ ද සමගි වූ ද මහණුන්ට පවාරණය පණවන ලද්දේ ය. පුද්ගල තෙමේ පෙණේ නම්, වස්තුව නො පෙණේ නම්, දැන් ම ඔහු කියව’ යි ඒ මහණ තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය.”
31. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණයෙහි සඟ මැද ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ වස්තුව ද පුද්ගල තෙමේ ද පෙණේ. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් වේ නම්, වස්තුව ද පුද්ගලයා ද තබා සඞ්ඝ තෙමේ පවරන්නේ ය’ යි කියන්නේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිසිදු වූ ද සමගි වූ ද මහණුන්ට පවාරණය පණවන ලද්දේ ය. වස්තුව ද පුද්ගලයා ද පෙණේ නම්, දැන් ම එය කියව’ යි ඒ මහණ තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය. මහණෙනි, පැවරීමට පෙර වස්තුව පෙණේ ද, පසු ව පුද්ගලයා පෙණේ ද, කීමට (චෝදනා කිරීමට) සුදුසු වේ. මහණෙනි, පැවරීමට පෙර පුද්ගලයා පෙණේ ද, පසු ව වස්තුව පෙණේ ද, කීමට (චෝදනා කිරීමට) සුදුසු වේ. මහණෙනි, පැවරීමට පෙර වස්තුවත් පුද්ගලයාත් පෙණේ ද, පැවරීම කළ කල්හි එය උගුළුවා ද (=නැවත විනිශ්චය කිරීමට ඉල්ලා ද, එකල්හි) උක්කෝටනක (=විනයානුකුල ව සමථයට පැමිණ වූ අධිකරණයක් නැවත විනිශ්චය කිරීමට සැලැස්වීම් හේතුවෙන් වන) පාචිත්තිය වේ යි.”
32. එකල්හි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළඹියහ. ඒ භික්‍ෂූන්ට සමීප තැනෙක ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ අන්‍ය වූ භික්‍ෂූහු “අපි වස් වැස නිම කළ ඒ භික්‍ෂූන්ගේ පවාරණයෙහි දී පවාරණය නවතන්නෙමු” යි වස් එළඹියහ. ඒ භික්‍ෂූහු “ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ අන්‍ය වූ භික්‍ෂූහු ‘අපි වස් වැස නිම කළ ඒ භික්‍ෂූන්ගේ පවාරණයෙහි දී පවාරණය නවතන්නෙමු’ යි අපට සමීප තැනෙක වස් එළඹියාහු” යි ඇසූහ. “අප විසින් (මෙහි දී) කෙසේ පිළිපැදිය යුතු ද?” භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
33. “මහණෙනි, මෙහි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු එක්තරා ආවාසයෙක වස් එළඹෙත්. ඔවුන්ට සමීප තැනෙක ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාදකරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වු අන්‍ය වූ භික්‍ෂූහු ‘අපි වස් වැස නිම කළ ඒ භික්‍ෂූන්ගේ පවාරණයෙහි දී පවාරණය නවතන්නෙමු’ යි වස් එළඹෙත්. මහණෙනි, ‘අපි ඒ භික්‍ෂූන්ට වඩා පළමු කොට කෙසේ පවරන්නෙමු දැ’ යි ඒ (මිතුරු වූ) භික්‍ෂූන් විසින් පොහොය දෙක තුණක් චාතුද්දසික කිරීමට අනුදනිමි” යි.
34. “මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ඒ ආවාසයට එත් ද මහණෙනි, ආවාසික වූ ඒ භික්‍ෂූන් විසින් ඉක්මනින් ම රැස් වී පැවරිය යුතු ය. පවරා ‘ඇවැත්නි, අපි පැවරුවෝ වෙමු. ආයුෂ්මත්හු යම් සේ හඟිත් ද, එසේ කෙරෙත්වා’ යි කිය යුතු ය.”
35. “මහණෙනි, ඩබර කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත, නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු සංවිදහන රහිත ව (එන බව නො අඟවා) ඒ ආවාසයට එත් නම්, මහණෙනි, ඒ ආවාසික භික්‍ෂූන් විසින් අසුන් පැණවිය යුතු ය. පා දෝනා දිය පාපුටුව පාපුවරුව එළවිය යුතු ය. ඉදිරියට ගොස් පාසිවුරු පිළිගත යුතු ය. පැනින් පිළිවිසිය යුත්තාහ. ඒ ඩබරකරුමහණුන් මුළා කොට (‘තෙපි ක්ලාන්ත වූවහු ය. මොහොතක් විඩා සංසිඳුවා ගණිවු’ යි) සීමාවෙන් බැහැරට ගොස් පැවරිය යුතු ය. පවරා ‘ඇවැත්නි, අපි පැවරුවෝ වෙමු. ආයුෂ්මත්හු යම් සේ හඟිත් නම්, එසේ කෙරෙත්වා’ යි කිය යුතු ය. මෙය මෙසේ ලබන්නහු නම්, ඒ යහපත් ය. නො ලබන්නහු නම්, මහණෙනි, ආවාසික වූ ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූනමක් විසින් ඒ ආවාසිකභික්‍ෂූහු දැන්විය යුතු ය. ‘ආයුෂ්මත් වූ ආවාසික භික්‍ෂූහු මාගේ වචනය අසත් වා. ආයුෂ්මතුන්ට පැමිණි කල් ඇත්තේ නම්, දැන් පොහොය කරන්නෙමු. පාමොක් උදෙසන්නෙමු. ලබන කළුවර පොහොය දිනයෙහි පවරන්නෙමු’ යි.
36. “මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, මැනවි. දැන් ම අපට පවරවු’ යි ඒ ආවාසික භික්‍ෂූන්ට මෙසේ කියන්නාහු ද, ඒ ඩබරකරු මහණහු ‘ඇවැත්නි, තෙපි අපගේ පවාරණයෙහි අධිපතීහු නො වහු. අපි ඒ තාක් කල් (ලබන පොහොය තෙක්) නො පවරන්නෙමු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය.
37. “මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ඒ කළුවර පොහොය (මහාපවාරණදිනය පටන් තුදුස්වක) තෙක් එක් ව වසන්නාහු නම්, මහණෙනි, ආවාසික වූ ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූ නමක් විසින් ආවාසික භික්‍ෂූහු දැන්විය යුතු ය: ‘ආයුෂ්මත් වූ ආවාසික භික්‍ෂූහු මාගේ වචනය අසත්වා. ආයුෂ්මතුන්ට පැමිණි කල් ඇත්තේ නම්, දැන් පොහොය කරන්නෙමු. පාමොක් උදෙසන්නෙමු. ලබන ජුණ්හයෙහි (පුරපසළොස්වක් හි) පවරන්නෙමු’ යි.
38. ‘මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපදවන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ඒ ආවාසික භික්‍ෂූන්ට ‘ඇවැත්නි, මැනවි. දැන් ම අපට පවරවු’ යි මෙසේ කියන්නාහු නම්, ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, තෙපි අපගේ පවාරණයෙහි ඊශ්වර නො වහු. අපි ඒ තාක් කල් නො පවරන්නෙමු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය.
39. “මහණෙනි, ඩබර කරන්නා වූ කලහ කරන්නා වූ විවාද කරන්නා වූ කලහ උපද වන කතා කරන්නා වූ සඞ්ඝයා වෙත නඩු කියන්නා වූ ඒ භික්‍ෂූහු ඒ පණ්ණරසීදිනයෙහි ද එක් ව වසන්නාහු නම්, මහණෙනි, ඒ සියලු භික්‍ෂූන් විසින් ම ඉදිරියෙහි එන සිවුමස්පිරීම් ඇති කොමුදී නම් ඉල් පුරපසළොස්වක්හි{*} නො කැමැත්තෙන් (අවශ්‍යයෙන්) පැවරිය යුතු ය.
40. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි ගිලන් මහණෙක් නොගිලන් මහණකුගේ පැවරීම නවත්වා ද, ඒ මහණ තෙමේ ‘ආයුෂ්මත් තෙමේ ගිලන් ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලන් තෙමේ ද කරුණු විචාරීමට නුසුදුස්සෙකැ’ යි වදාරණ ලද්දේ ය. ඇවැත්නි, යම් තාක් කල් රෝග නැත්තෙක් වෙහි ද, (ඒ තාක් කල්) බලාපොරොත්තු වෙව, රෝග නැත්තෙහි කැමැත්තෙහි චෝදනා කරන්නෙහි” යි කිය යුතු වන්නේ ය. මෙසේ කියනු ලබන්නේ චෝදනා කෙරේ නම්, අනාදරයෙහි පචිති වේ.
41. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි නො ගිලන් මහණෙක් ගිලන් මහණකුගේ පවාරණය තබා ද, ඒ මහණ තෙමේ ‘ඇවැත්නි, මේ මහණතෙමේ ගිලන් ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලන් තෙමේ ද කරුණු නො විචාළ යුත්තෙකැ යි වදාරණ ලද්දේ ය. ඇවැත්නි, මේ මහණ යම් තාක් කල් රෝග නැත්තේ වේ ද, ඒ තාක් කල් බලාපොරොත්තු වෙව, රෝග නැත්තහුට කැමැති වන්නෙහි චෝදනා කරන්නෙහි’ යි කිය යුතු වන්නේ ය. මෙසේ කියනු ලබන්නේ චෝදනා කෙරේ නම්, අනාදරයෙහි පචිති වේ.
42. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි ගිලන් මහණෙක් තෙමේ ගිලන් මහණකුගේ පවාරණය තබා ද, ඒ මහණ තෙමේ ‘ආයුෂ්මත්හු ගිලන්හු වෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් ගිලන් තෙමේ ද කරුණු විචාරීමට නුසුදුස්සෙකැ’ යි වදාරණ ලද්දේ ය. ඇවැත්නි, යම් තාක් කලකින් රෝග නැත්තෝ වහු ද, ඒ තාක් බලාපොරොත්තු වෙවු. රෝග නැත්තේ රෝග නැත්තහුට කැමැති වන්නෙහි චෝදනා කරන්නෙහි’ යි මෙසේ කිය යුතු වන්නේ ය. මෙසේ කියනු ලබන්නේ චෝදනා කෙරේ නම්, අනාදරයෙහි පචිති වේ.
43. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි නො ගිලන් මහණෙක් තෙමේ නො ගිලන් මහණකුගේ පවාරණය තබා ද ඒ දෙදෙනා සඞ්ඝයා විසින් අනුයෝගවතෙහි යොදා කරුණු විචාරා, කරුණු පිළිගන්වා, කරුණු කියා, ඇවැත් පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය” යි.
44. එකල්හි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹියහ. සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ ඒ භික්‍ෂූන් විසින් එක්තරා පහසු විහරණයක් (තරුණසමථය හෝ තරුණ විදර්‍ශනාව) ලබන ලද්දේ වේ. එකල්හි ඒ භික්‍ෂූන්ට ‘සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ අප විසින් එක්තරා පහසුවිහරණයක් අවබෝධ කරණ ලද්දේ ය. අපි දැන් පවරන්නෙමු නම්, භික්‍ෂූහු පවාරණය කොට චාරිකාවට යන්නාහු ම ය. එසේ ඇති කල්හි අපි මේ පහසුවිහරණයෙන් (සමථ–විපස්සනාවෙන්) බැහැර වන්නෙමු. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ’ යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
45. “මහණෙනි, මෙහි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු එක්තරා ආවාසයෙක වස් එළැඹෙත්. සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ ඒ භික්‍ෂූන් විසින් එක්තරා පහසු විහරණයෙක් ලබන ලද්දේ වේ. එහි දී ඒ භික්‍ෂූන්ට ‘සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ අප විසින් එක්තරා පහසු විහරණයෙක් ලබන ලද්දේ ය. අපි දැන් පවරන්නෙමු නම්, භික්‍ෂූහු පවාරණය කොට චාරිකාවට යන්නාහු ම ය. එසේ ඇති කල්හි අපි මේ පහසු විහරණයෙන් බැහැර වන්නෙමු’ යි මෙසේ අදහස් වේ නම්, –
46. “මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කල් තැබීම කරන්නට අනුදනිමි. මහණෙනි, ඒ මෙසේ කළ යුතු ය: සියල්ලන් ම එක් තැනෙක රැස් විය යුතු ය. රැස් ව ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝයාට දැන්විය යුතු ය:
47. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ අප විසින් එක්තරා පහසු විහරණයෙක් ලබන ලද්දේ ය. අපි දැන් පවරන්නෙමු නම්, භික්‍ෂූහු පවාරණය කොට චාරිකාවට යන්නාහු ම ය. මෙසේ ඇති කල්හි අපි මේ පහසුවිහරණයෙන් බැහැර වන්නෙමු. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ පවාරණාසඞ්ගහය (පවාරණය කල් තැබීම) කරන්නේ ය. දැන් පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. ඉදිරියෙහි එන සිවුමස් පිරෙණ කොමුදී නම් පසළොස්වක්හි පවාරණය කරන්නේ ය. මේ දැන්වීම ය.
48. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සමගි ව සතුටු ව විවාද නො කරමින් වසන්නා වූ අප විසින් එක්තරා පහසු විහරණයෙක් ලබන ලද්දේ ය. අපි දැන් පවරන්නෙමු නම්, භික්‍ෂූහු පවරා චාරිකාවට යන්නාහු ම ය. මෙසේ ඇති කල්හි අපි මේ පහසු විහරණයෙන් බැහැර වන්නෙමු. (එබැවින්) සඞ්ඝ තෙමේ පවාරණාසංග්‍රහය කරන්නේ ය. දැන් පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. ඉදිරියෙහි එන චාතුමාසිනී කොමුදී නම් ඉල්පුරපසළොස්වක්හි පවරන්නේය. යම් ආයුෂ්මතකුහට ‘දැන් පොහොය කරන්නේය, පාමොක් උදෙසන්නේ ය, ඉදිරියෙහි එන චාතුමාසිනී කොමුදී නම් පසළොස්වක්හි පවාරණය කරන්නේ ය’ යි (මෙසේ) පවාරණාසංග්‍රහය කිරීම රුචි වේ නම්, ඒ ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වේ නම්, හෙතෙමේ කියන්නේ ය.
49. “සඞ්ඝයා විසින් පවාරණාසඞ්ග්‍රහය කරණ ලද්දේ ය. දැන් පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. ඉදිරියෙහි එන චාතුමාසිනී කොමුදී නම් පසළොස්වක් හි පවාරණය කරන්නේ ය. එය සඞ්ඝයාට රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි”යි.
50. “මහණෙනි, ඒ භික්‍ෂූන් පවාරණාසඞ්ග්‍රහය කළ කල්හි එක්තරා මහණෙක් තෙමේ ‘ඇවැත්නි, මම ජනපදචාරිකාවට යන්නට කැමැත්තෙමි. මට ජනපදයෙහි කටයුත්තෙක් ඇත්තේ ය.’ යි මෙසේ කියන්නේ නම්, ඒ මහණ තෙමේ ‘ඇවැත්නි, මැනවි. පවාරණය කොට යව’ යි මෙසේ කිය යුතු වන්නේ ය.
51. “මහණෙනි, ඒ මහණ තෙමේ පවරණුයේ එක්තරා මහණකුගේ පවාරණය තබා ද, ඒ මහණ තෙමේ ‘ඇවැත්නි, තෝ මාගේ පවාරණයෙහි ඊශ්වර නො වෙහි. මම ඒ තාක් කල් නො පවරන්නෙමි’ යි මෙසේ කිය යුතු වන්නේ ය. මහණෙනි, එක්තරා මහණෙක් තෙමේ පවරන්නා වූ ඒ මහණහුගේ පවාරණය තබා ද, දෙදෙනා සඞ්ඝයා විසින් කරුණෙහි යොදා කරුණ පිළිගන්වා කරුණ විස්තර කොට ඇවැත් පරිදි කරවිය යුත්තාහ.
52. “මහණෙනි, ඒ මහණ තෙමේ ජනපදයෙහි ඒ කටයුතු අවසන් කොට නැවැත සිවුමස් පිරෙණ කොමුදී නම් පසළොස්වක ඇතුළත ඒ ආවාසයට පැමිණේ ද, මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි එක්තරා මහණෙක් තෙමේ ඒ මහණහුගේ පවාරණය තබා ද, ඒ මහණ තෙමේ ‘ඇවැත්නි, තෝ මාගේ පවාරණයෙහි ඊශ්වර නො වෙහි. මම පැවරූයේ වෙමි යි මෙසේ කිය යුතු වන්නේ ය. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් පවාරණය කරණු ලබන කල්හි ඒ මහණ තෙමේ එක්තරා මහණකුගේ පවාරණය තබා ද, දෙදෙනා සඞ්ඝයා විසින් කරුණෙහි යොදා, කරුණු පිළිගන්වා, සමනුභාෂණය කොට, ඇවැත් පරිදි කරවා සඞ්ඝයා විසින් පැවරිය යුතු ය.
සිවුවන පවාරණක්ඛන්‍ධකය නිමි.
මේ ඛන්‍ධකයෙහි උද්දානය (වස්තුනාමාවලිය) මෙසේය:
1. කොසොල්දනව්වෙහි වස් වැස නිම කළ භික්‍ෂූහු ශාස්තෘදර්‍ශනයට පැමිණියහ. අපහසු වූ පසුසංවාසය, උනුන්ට අනුලොම් වූ පවාරණය,
2. උත්කුටුකයෙන් හිඳ පැවරීම, පැවරූ පසු අසුනෙහි හිඳීම, පවාරණ දෙක, කර්‍ම (සතර), ගිලන්හුගේ පැවරීම, නෑයෝ මහණකු ගණිති. එසේ රජහු සොරහු ධූර්‍තයෝ පසමිතුරු භික්‍ෂූහු (මහණුන්) ගණිත්.
3. පස් දෙනාගේ පැවරීම, සිවුදෙනාගේ පැවරීම, තිදෙනාගේ පැවරීම, දෙදෙනාගේ පැවරීම, එකකුගේ පැවරීම, ඇවැතට පැමිණීම, ඇවැතෙහි විමතිය, ඇවැත සිහිපත් කිරීම, සියලු සඞ්ඝ තෙමේ ඇවැතෙහි විමති ඇත්තේ ය. බොහෝ පිරිස, සමපිරිස, ටිකපිරිස,
4. ආවාසිකයෝ (ආගන්තුකයෝ) තුදුස්වක, පසළොස්වක, ආවාසික ලක්‍ෂණ, උභයසංවාසකයෝ, යා යුතු ය. නො යා යුතු ය. මෙහෙණන් ඈ හුන් පිරිසෙහි නො පැවරීම, පාරිවාසික පවාරණාදානයෙන් නො පැවරීම, නො පැවරිය යුතු දිනයෙහි නො පැවරීම,
5. වැදිබියෙන් නො පැවරීම, රාත්‍රිය ගෙවන ලදී. වැස්ස, අන්තරාය, සාපත්තිකව පැවරීම, චෝදනාවට ඉඩ නො දීම. පෙර අපගේ පවාරණය නැවැත්වූහ යි අනාපත්තිකයන්ගේ පවාරණය නැවැත්වීම, නැවැත්වීම (වන පරිදි හා) නො වන පරිදි, භික්‍ෂුහුගේ (පවාරණය තැබීම),
6. කිනම් හේතුවකින් දැ යි පිළිවිසීම, කිනම් දැ යි පිළිවිසීම, දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ පැවරීම, චෝදක තෙමේ ය, චූදිතක තෙමේ ය, ථුල්ලච්චය, වස්තු, භණ්ඩනකාරක යන මොහු ය. පවාරණාසඞ්ග්‍රහය ද පවාරණයෙහි නො ඉසුරුබව ද වේ.
මේ ඛන්‍ධකයෙහි වස්තු සතළිස් සයෙකි.
චම්මක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ගම් අසූදහසෙක ඓශ්වර්‍ය්‍යයයෙන් හා අධිපති භාවයෙන් යුත් රාජ්‍යය කරවයි. එකල්හි චම්පානුවර කොළිවීස ගොත්‍රයෙහි උපන් සෝණ නම් සිටුපුත්‍ර තෙමේ සිවුමැලි වූයේ වේ. ඔහුගේ යටිපතුල්හි (අඳුන්වන්) ලොම් හට ගත්තේ වේ. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ කිසියම් කටයුත්තක් සඳහා (මෙන්) ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් රැස් කරවා කොළිවීසගෝත්‍රයෙහි උපන් සෝණ සිටුපුතු වෙතට “සෝණ තෙමේ පැමිණේවා. සෝණගේ ඊම කැමැත්තෙමි” යි දූතයකු යැවී ය.
2. එවිට කොළිවීස සෝණගේ මවු පියෝ ‘පුත් සෝණ, රජ තෙමේ ඔබගේ පාදයන් දකිනු කැමැත්තේ ය. පුත් සෝණ, තෝ රජු දිසාවට පාදයන් දිගු නො කරව. රජුගේ ඉදිරියෙහි අහරමිණිය ගොතා හිඳුව. රජ තෙමේ එසේ හුන් තාගේ පාදයන් දකින්නේ ය” යි කොළිවීස සෝණට කීහ.
3. ඉක්බිති කොළිවීස සෝණ සිවිගෙයකින් (දෝලාවකින්) ගෙණවාහු ය. කොළිවීස සෝණ තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙතට ගියේ ය. ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු සකසා වැඳ රජ ඉදිරියෙහි අහරමිණිය ගොතා හුන්නේ ය. මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ කොළිවීස සෝණගේ යටිපතුල්හි හටගත් ලොම් දුටුයේ ය.
4. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් මේ ජීවිතයට හිත වූ කරුණෙහි අනුශාසනා කොට “කොලෙනි, මා විසින් තෙපි මේ ජීවිතයට හිත වූ කරුණෙහි අනුශාසනා කරණ ලද්දෝ වහු ය. යවු. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙවු. අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පරලොවට හිත වූ කරුණෙහි අනුශාසනා කරන්නාහු ය” යි පිටත් කෙළේ ය. එවිට ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ගිජු කුළුපව්වට ගියහ.
5. ඒ කාලයෙහි ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙත්. එහෙයින් ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ආයුෂ්මත් සාගත තෙරුන් වෙතට ගියහ. ගොස් ආයුෂ්මත් සාගත තෙරුන්ට “ස්වාමීනි, මේ අසූදහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි පැමිණියාහු ය. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබන්නෙමු නම් මැනවැ” යි මෙය සැළකළහ. “එසේ නම් ආයුෂ්මත්නි, තෙපි මම යම්තාක් කලෙකින් භාග්‍යවතුන් වහන්සේට එය දන්වන්නෙම් ද, ඒ තාක් කල් මොහොතක් මෙහි ම සිටිවු.”
6. ඉක්බිති සාගත ස්ථවිරයන් වහන්සේ ඒ අසූදහසක් ගම් ප්‍රධානයන් ඉදිරියෙහි බලා සිටිය දී සඳකඩපහණෙහි ගිලී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මතු වී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ අසූදහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි පැමිණියාහු ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එයට කල් දන්නා සේක්වා”යි මෙය සැළකළහ.
7. “සාගත, එසේ නම් වෙහෙර පිටිපස සෙවණෙහි අසුන් පණවන්නැ? යි වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පුටුවක් ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ගිලී ඒ අසූදහසක් ගම් ප්‍රධානයන් ඉදිරියෙහි බලා සිටිය දී සඳකඩ පහණෙන් මතු වී වෙහෙර පිටිපස සෙවණෙහි අසුනක් පැණවූහ.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර පිටිපස සෙවණෙහි පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. ඉන් පසු ඒ අසූ දහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
9. එකල්හි ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ආයුෂ්මත් සාගත තෙරුන් ගැණ ම සලකත්. භාග්‍යවතුන් වහන්සේ ගැණ එසේ නො සලකත්. භාග්‍යවතුන් වහන්සේ ඒ අසූදහසක් ගම් ප්‍රධානයන්ගේ සිතේ අදහස තම සිතින් දැන ආයුෂ්මත් සාගත තෙරුන් ඇමතූ සේක: “සාගත, එසේ නම් තෝ බොහෝවක් උතුරු මිනිස් දම් පෙළහර දක්වවු” යි. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සාගත තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී අහසට නැගී අහසෙහි සක්මන් ද කෙරෙයි. සිටීම ද කෙරෙයි. සයනය ද කෙරෙයි. දුමන්නේ ද වෙයි. දිලිසෙන්නේ ද වෙයි. අතුරුදහන් ද වෙයි.
10. ඉන් පසු ආයුෂ්මත් සාගත තෙමේ අහස් කුසෙහි උතුරු මිනිස් දම්පෙළහර දක්වා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවක වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවක වෙමි” යි මෙය සැළකෙළේ ය.
11. ඉක්බිති ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ “පින්වත්නි, ආශ්චර්‍ය්‍යයෙකි! පින්වත්නි, පෙර නො වූවෙකි! ඒ එසේ ම ය. ශ්‍රාවක තෙමේ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වන්නේ නම්, ශාස්තෘ තෙමේ අහෝ පුදුමැ!” යි භාග්‍යවතුන් වහන්සේ ම සලකත්. ආයුෂ්මත් සාගත තෙරුන් ගැණ එසේ නො සලකත්.
12. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන්ගේ සිතේ අදහස තම සිතින් දැන අනුපිළිවෙළකතාව වදාළ සේක. එනම් දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව, ලාමකබව, කෙලෙසීම, පැවිද්දෙහි අනුසස් වදාළ සේක.
13. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු වූ සිත් ඇත්තන් මොළොක් වූ සිත් ඇත්තන් නො වැසුනු සිත් ඇත්තන් නො හැකුළුණු සිත් ඇත්තන් පහන් සිත් ඇත්තන් ද කොට දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ තමන් ම පියොවින් උසස් බවට පැමිණියා වූ යම් ධර්‍මදේශනාවක් වේ ද, ඒ දුඃඛ සත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් මනා කොට සායම් අල්ලා ගන්නේ යම් සේ ද, එසේ ම ඒ අසූදහසක්, ගම් ප්‍රධානයන්ට ඒ ආසනයෙහි දී ම “යමක් හට ගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදී රජස් ඇති පහ වූ කෙලෙස් මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
14. දුටු දහම් ඇති පැමිණි දහම් ඇති අවබෝධ කළ දහම් ඇති නුවණින් බැස ගත් දහම් ඇති තරණය කළ විචිකිච්ඡා ඇති පහ වූ ‘කෙසේ කෙසේ දැ’ යි පැවති සැක ඇති විශාරදභාවයට පැමිණි බුදුසසුන්හි අනුන්ගේ උපකාර නො වුව මනා වූ ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, ඉතා යහපත් ය. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, මං මුළා වූවහුට මාර්‍ගය යම් සේ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකින්නාහු’ යි ගනඳුරෙහි තෙල් පහනක් යම් සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය තෙමේ ප්‍රකාශ කරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද නවලෝකොත්තර ධර්‍මය ද අෂ්ටාර්‍ය්‍ය පුද්ගල භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමු. භාග්‍යවතුන් වහන්සේ අද පටන් අප දිවි තෙක් සරණ ගියා වූ උපාසකයන් කොට දරණසේක්වා” යි.
15. එකල්හි කොළිවීසසෝණයන්ට “මම භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් පරිද්දෙකින් දෙසන ලද ධර්‍මය දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පරිපූණී වූ හැම ලෙසින් පිරිසිදු වූ සඞ්ඛලිඛිත වූ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීම පහසු නො වේ. මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්නෙම් නම් යෙහෙකැ” යි මේ සිත් වි ය.
16. ඉන් පසු ඒ අසූදහසක් ගම් වැස්සෝ භාග්‍යවතුන් වහන්සේගේ භාසිතය ඉතා සතුටින් පිළිගෙණ අනුමෝදන් වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. ඉක්බිති කොළිවීස සෝණ තෙමේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් ගිය නොබෝ වේලාවක දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් කොළිවීස සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් පරිද්දෙකින් දේශනා කරණ ලද ධර්‍මය දනිම් ද ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ හැම ලෙසින් පිරිසිදු වූ සඞ්ඛලිඛිත වූ මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරීම ගිහිගෙයි වසන්නහුට පහසු නො වේ. ස්වාමීනි, මම කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණසේක්වා” යි සැළකෙළේ ය. කොළිවීස සෝණතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබුයේ ය. උපසම්පදාව ලැබුයේ ය.