30. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් තෙමේ “ස්වාමීනි, ගිලන් මහණෙක් ඇත්තේ ය. හෙ තෙමේ නො ආයේ ය” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. “මහණෙනි, ගිලන් මහණහු විසින් පවාරණය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ දිය යුතු ය: ඒ ගිලන් මහණහු විසින් එක් මහණකු වෙත ගොස් උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘පවාරණය දෙමි. මාගේ පවාරණය ගෙණ යව. මාගේ පවාරණය සැළකරව, මා පිණිස පවරව’ යි මෙසේ කිය යුතු වන්නේ ය.
එය කයින් හඟවා ද, වචනයෙන් හඟවා ද, කයින් හා වචනයෙන් හඟවා ද, පවාරණය දෙන ලද්දේ වේ. කයින් නො හඟවා ද, වචනයෙන් නො හඟවා ද, කයින් හා වචනයෙන් නො හඟවා ද, පවාරණය දෙන ලද්දේ නො වේ. මේ මෙසේ ලැබෙන්නේ නම්, ඒ යහපත් ය. නො ලැබෙන්නෙන් නම්, මහණෙනි, ඒ ගිලන් මහණහු ඇඳකින් හෝ පුටුවකින් හෝ සඟමැදට ගෙණවුත් පැවරිය යුතු ය. මහණෙනි, ග්ලානෝපස්ථායක භික්‍ෂූන්ට ‘අපි ගිලනහු හුන් තැනින් ඉවත් කරන්නෙමු නම්, ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, මහණෙනි, ගිලන් තෙමේ හුන් තැනින් ඉවත් නො කට යුතු ය. සඞ්ඝයා එහි ගොස් පැවරිය යුතු ය. ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් නො පැවරිය යුතු ම ය. පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.”
31. “මහණෙනි, ඉදින් පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි බැහැර යේ ද, (එවිට) අනෙකෙකුට පවාරණය දිය යුතු ය. මහණෙනි, ඉදින් පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි එහි දී ම සිවුරු හරී ද –පෙ– කලුරිය කෙරේ ද –පෙ– ‘හෙරණෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ශික්‍ෂාව බැහැර කළ එකෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘අන්තිමවස්තුවට පැමිණියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘උන්මත්තකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘වික්‍ෂිප්ත වූ සිත් ඇත්තෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ – ‘වේදනාවෙන් පෙළෙන්නෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ඇවැත් නො දැක්මෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද – පෙ– ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ලාමක දෘෂ්ටිය නො හැරීමෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘පණ්ඩකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘පැවිද්ද සොරකම් කළ එකෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘තීර්‍ත්‍ථකයන් කරා ගියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද, –පෙ– ‘තිරිසන් ගියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘මාතෘඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘පිතෘඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘අරහන්ත– ඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘භික්‍ෂූණිදූෂකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘සඞ්ඝභේදකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ලොහිතුප්පාදකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘උභතෝබ්‍යඤ්ජනකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද (එකල) අනෙකෙකුට පවාරණය දිය යුතු ය.“
32. ‘මහණෙනි, පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි අතරමග දී බැහැර යේ ද, පවාරණය නො ගෙණෙන ලද්දේ වේ. මහණෙනි, පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි අතරමග දී සිවුරු හරී ද –පෙ– කලුරිය කෙරේ ද –පෙ– ‘හෙරණෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ශික්‍ෂාව බැහැර කළ එකෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘අන්තිමවස්තුවට පැමිණියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘උන්මත්තකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘වික්‍ෂිප්ත වූ සිත් ඇත්තෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘වේදනාවෙන් පෙළෙන්නෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ඇවැත් නොදැක්මෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ලාමක දෘෂ්ටිය අත් නොහැරීමෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘පණ්ඩකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘පැවිද්ද සොරකම් කළ එකෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘තීර්‍ත්‍ථකයන් කරා ගියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘තිරිසන් ගියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘මාතෘඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘පිතෘඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘අරහන්තඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– භික්‍ෂුණිදූෂකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘සඞ්ඝභේදකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ලොහිතුප්පාදකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘උභතෝබ්‍යඤ්ජනකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද පවාරණය ගෙණෙන ලද්දේ නො වේ.“
33. “මහණෙනි, පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි සඞ්ඝයා වෙත පැමිණියේ බැහැර යේ ද, පවාරණය ගෙණෙන ලද්දේ වේ. මහණෙනි, පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි සඟ මැදට පැමිණියේ සිවුරු හරියි ද –පෙ– කලුරිය කරයි ද –පෙ– ‘හෙරණෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ශික්‍ෂාව බැහැර කළ එකෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ – ‘අන්තිමවස්තුවට පැමිණියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘උන්මත්තයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘වික්‍ෂිප්ත වූ සිත් ඇත්තෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘වේදනාවෙන් පෙළෙන්නෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ඇවැත් නො දැක්මෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ඇවැතට පිළියම් නො කිරීමෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ලාමක දෘෂ්ටිය අත් නොහැරීමෙහි බැහැර කරණ ලද්දෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘පණ්ඩකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ – ‘පැවිද්ද සොරකම් කළ එකෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘තීර්‍ත්‍ථකයන් වෙත ගියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘තිරිසන් ගියෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘මාතෘඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘පිතෘඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද – පෙ– ‘අරහන්තඝාතකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘භික්‍ෂූණිදූෂකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘සඞ්ඝභේදකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘ලොහිතුප්පාදකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද –පෙ– ‘උභතෝබ්‍යඤ්ජනකයෙක්මි’ යි ප්‍රතිඥා කෙරේ ද, පවාරණය ගෙණෙන ලද්දේ වේ.”
34. “මහණෙනි, පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි සඟ මැදට පැමිණියේ නිදි ගත්තේ නො සැළකෙරේ ද, පවාරණය ගෙණෙන ලද්දේ වේ. පවාරණය ගෙණෙන මහණහුට ඇවැත් නො වේ. මහණෙනි, පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි සඞ්ඝයා වෙත පැමිණියේ ප්‍රමත්ත ව නො සැළකෙරේ ද – සමාපත්තියට සමවැදුනේ නො සැළකෙරේ ද, පවාරණය ගෙණෙන ලද්දේ වේ. පවාරණය ගෙණෙන මහණහුට ඇවැත් නො වේ.”
35. “මහණෙනි, පවාරණය ගෙණෙන මහණ තෙමේ පවාරණය දුන් කල්හි සඞ්ඝයා වෙත පැමිණියේ දැන දැන නො සැළකෙරේ ද, පවාරණය ගෙණෙන ලද්දේ වේ. පවාරණය ගෙණෙන මහණහුට දුකුළාඇවැත් වේ. මහණෙනි, එදවස පවාරණ දිනයෙහි පවාරණය දෙන්නහු විසින් ‘සඞ්ඝයා පිළිබඳ කටයුතු ඇතැ’ යි ඡන්‍දය ද දෙන්නට අනුදනිමි” යි.
36. එකල්හි එක්තරා මහණකු එදවස පවාරණදිනයෙහි නෑයෝ අල්ලා ගත්හ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි මහණකු එදවස පවාරණදිනයෙහි නෑයෝ අල්ලා ගණිත්. එබැවින් භික්‍ෂූන් විසින් ඒ නෑයෝ ‘ආයුෂ්මත්නි, තෙපි මේ මහණ තෙමේ යම් තාක් කල් පවාරණය කෙරේ ද, (ඒතාක්) කල් මේ මහණහු මොහොතකට මුදවු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය. මේ මෙසේ ලැබෙන්නේ නම්, ඒ යහපත් ය. නො ලැබෙන්නේ නම්, ඒ නෑයෝ භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, එසේ නම් තෙපි මේ මහණ තෙමේ යම් තාක් කල් පවාරණය දේ ද, (ඒතාක්) මොහොතකට පසකට වවු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය. මේ මෙසේ ලැබෙන්නේ නම්, ඒ යහපත් ය. ඉදින් නො ලැබෙන්නේ නම්, ඒ නෑයෝ භික්‍ෂූන් විසින් ‘ආයුෂ්මත්නි, එසේ නම් තෙපි යම් තාක් කල් සඞ්ඝ තෙමේ පවාරණය කෙරේ ද (ඒතාක්) කල් මේ මහණ මොහොතකට සීමාවෙන් බැහැරට ගෙණ යවු” යි මෙසේ කිය යුතු වන්නාහු ය. මේ මෙසේ ලබන්නේ නම් ඒ යහපත් ය. නො ලබන්නේ නම් ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් නො පැවරිය යුතු ම ය. පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.”
37. “මහණෙනි, මෙහි මහණකු එදවස පවාරණදිනයෙහි රජහු අල්ලා ගණිත් –පෙ– සොරු අල්ලා ගණිත් –පෙ– ධූර්‍තයෝ අල්ලා ගණිත් –පෙ– පසමිතුරු වූ භික්‍ෂූහු{1} අල්ලා ගණිත්, භික්‍ෂූන් විසින් ඒ පසමිතුරු වූ භික්‍ෂූහු ‘ආයුෂ්මත්නි, එසේ නම් තෙපි මේ මහණ තෙමේ යම් තාක් කල් පවාරණය කෙරේ ද, (ඒ තාක් කල්) මේ මහණහු මොහොතකට මුදවු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය. මේ මෙසේ ලබන්නේ නම්, ඒ යහපත් ය. නො ලබන්නේ නම්, භික්‍ෂූන් විසින් ඒ පසමිතුරු වූ භික්‍ෂූහු ‘ආයුෂ්මත්නි, එසේ නම් තෙපි මේ මහණ තෙමේ යම් තාක් කල් පවාරණය දේ ද, (ඒ තාක් කල්) මොහොතක් පසකට වවු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය. මේ මෙසේ ලබන්නේ නම්, ඒ යහපත් ය. නො ලබන්නේ නම්, භික්‍ෂූන් විසින් ඒ පසමිතුරු වූ භික්‍ෂූහු ‘ආයුෂ්මත්නි, එසේ නම් තෙපි යම් තාක් කල් සඞ්ඝ තෙමේ පවාරණය කෙරේ ද, (ඒ තාක් කල්) මේ මහණහු මොහොතකට සීමාවෙන් බැහැරට ගෙණ යවු’ යි මෙසේ කිය යුතු වන්නාහු ය. මේ මෙසේ ලබන්නේ නම්, ඒ යහපත් ය. නො ලබන්නේ නම්, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් නො පැවරිය යුතු ම ය. පවරන්නේ නම් දුකුළාඇවැත් වේ.“
38. එකල්හි එක්තරා ආවාසයෙක, එදවස පවාරණදිනයෙහි පස් නමක් භික්‍ෂූහු වාසය කෙරෙත්. එවිට ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් සඞ්ඝයා විසින් පැවරිය යුතු ය යි පණවන ලද්දේ ය. අපි පස් දෙනෙක් වෙමු. අප විසින් කෙසේ පැවරිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පස් දෙනාට සඞ්ඝයා වෙත පවරන්නට අනුදනිමි” යි.
39. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි සිවු නමක් භික්‍ෂූහු වාසය කරත්. එවිට ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් පස් දෙනකුන්ට සඞ්ඝයා වෙත පැවරීම අනුදන්නා ලද්දේ ය. අපි සිවු දෙනෙක් වෙමු අප විසින් කෙසේ පැවරිය යුතු දැ” යි මේ සිත උපන. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සිවු දෙනාට උනුන් පවරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ පැවරිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් ඒ භික්‍ෂූහු දැන්විය යුත්තාහු ය:
40. “ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා. අද පවාරණ දිනය යි. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් ඇත්තේ නම්, අපි උනුන් පවරන්නෙමු. ස්ථවිර භික්‍ෂු නම විසින් උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම (මාගේ) දුටු ඇවැතින් හෝ ඇසූ ඇවැතින් හෝ සැක කළ ඇවැතින් හෝ (කියන්නට) ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දක්නේ පිළියම් කරන්නෙමි’ යි . ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය. දෙවනු ද ඇවැත්නි, මම ආයුෂ්මතුන් පවරමි. –පෙ – තෙවනු ද ‘ඇවැත්නි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයෙකින් හෝ (කියන්නට) ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත්හු මට අනුකම්පා කොට කියත්වා. දක්නේ පිළියම් කරන්නෙමි’ යි (ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය.)“
41. “නවක භික්‍ෂු නම විසින් උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මම (මාගේ) දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දක්නේ පිළියම් කරන්නෙමි’ යි ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය. දෙවනු ද ‘ස්වාමීනි, මම ආයුෂ්මතුන් පවරමි –පෙ– තෙවනු ද ‘ස්වාමීනි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ (කියන්නට) ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත්හු මට අනුකම්පා කොට කියත්වා. දක්නේ පිළියම් කරන්නෙමි’ යි ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය.”
42. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි තෙනමක් භික්‍ෂූහු වාසය කරත්. එකල ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් පස්දෙනාට සඞ්ඝයා වෙත පවරන්නට ද සිවු දෙනාට උනුන් පවරන්නට ද අනුදන්නා ලද්දේ ය. අපි තිදෙනෙක් වෙමු. අප විසින් කෙසේ පැවරිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, තිදෙනාට උනුන් පවරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ පැවරිය යුතු ය. පළමු කොට ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූනමක් විසින් ඒ භික්‍ෂූහු දැන්විය යුතු වෙත්.”
43. “ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා. අද පවාරණ දිනය යි. ඉදින් ආයුෂ්මතුන්ට පැමිණි කල් ඇත්තේ නම්, අපි උනුන් පවරන්නෙමු. ස්ථවිර භික්‍ෂුනම විසින් උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ (කියන්නට) ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය. දෙවනු ද ‘ඇවැත්නි, මම ආයුෂ්මතුන් පවරමි’ –පෙ– තෙවනු ද ‘මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි (ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය.)
44. “නවකභික්‍ෂුනම විසින් උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මම (මාගේ) දුටු වරදකින් හෝ ඇසූ වරදකින් හෝ සැක කළ වරදකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දක්නේ පිළියම් කරන්නෙමි’ යි ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය. දෙවනු ද ස්වාමීනි, මම ආයුෂ්මතුන් පවරමි පෙ– තෙවනු ද මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත්හු අනුකම්පා කොට මට කියත්වා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි (ඒ භික්‍ෂූහු මෙසේ කිය යුතු වන්නාහු ය.)”
45. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි දෙනමක් භික්‍ෂූහු වාසය කෙරෙත්. එකල ඒ භික්‍ෂූන්ට, “භාග්‍යවතුන් වහන්සේ විසින් පස්දෙනාට සඞ්ඝයා වෙත පවරන්නට ද සිවු දෙනාට උනුන් පවරන්නට ද තිදෙනාට උනුන් පවරන්නට ද අනුදන්නා ලද්දේ ය. අපි දෙදෙනෙක් වෙමු. අප විසින් කෙසේ පැවරිය යුතු දැ” යි මේ සිත් උපන. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දෙදෙනාට උනුන් පවරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ පැවරිය යුතු ය. ස්ථවිරභික්‍ෂුනම විසින් උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත් තෙමේ අනුකම්පා කොට මට කියාවා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි නවක භික්‍ෂු තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය. දෙවනු ද ‘ඇවැත්නි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත් තෙමේ අනුකම්පා කොට මට කියාවා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි (නවක භික්‍ෂු තෙමේ කිය යුතු වන්නේ ය.) ‘තෙවනු ද ‘ඇවැත්නි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත් තෙමේ අනුකම්පා කොට මට කියාවා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි (නවක භික්‍ෂු තෙමේ කිය යුතු වන්නේ ය.)”
46. “නවක භික්‍ෂු නම විසින් උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත් තෙමේ අනුකම්පා කොට මට කියාවා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි ස්ථවිර භික්‍ෂු තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය. ‘දෙවනු ද ස්වාමීනි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි ආයුෂ්මත් තෙමේ අනුකම්පා කොට මට කියාවා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි ස්ථවිර භික්‍ෂු තෙමේ මෙසේ කිය යුතු වන්නේ ය. ‘තෙවනු ද ස්වාමීනි, මම දුටුවකින් හෝ ඇසුවකින් හෝ සැකයකින් හෝ කියන්නට ආයුෂ්මතුන් පවරමි. ආයුෂ්මත් තෙමේ අනුකම්පා කොට මට කියාවා. දක්නෙම් පිළියම් කරන්නෙමි’ යි ස්ථවිර භික්‍ෂුතෙමේ මෙසේ කිය යුතු වන්නේ ය.”
47. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි එක් භික්‍ෂු නමක් වෙසෙයි. එකල ඒ භික්‍ෂු නමට “භාග්‍යවතුන් වහන්සේ විසින් පස්දෙනාට සඞ්ඝයා වෙත පවරන්නට ද සිවු දෙනාට උනුන් පවරන්නට ද තිදෙනාට උනුන් පවරන්නට ද දෙදෙනාට උනුන් පවරන්නට ද අනුදන්නා ලද්දේ ය. මම ද එකලා වෙමි. මා විසින් කෙසේ පැවරිය යුතු දැ?” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි එක් භික්‍ෂු නමක් වෙසෙයි. මහණෙනි, ඒ භික්‍ෂු නම විසින් භික්‍ෂූහු උපස්ථානශාලාවක හෝ මණ්ඩපයෙක හෝ රුක්මුලෙක හෝ යම් තැනෙක රැස් වෙත් ද, ඒ පෙදෙස හැමද පැන් පිරිබෝදිය එළවා තබා අසුන් පණවා පහන් දල්වා හිඳිය යුතු ය. අන්‍ය වූ භික්‍ෂූහු එත් නම්, ඔවුන් සමග පැවරිය යුතු ය. නො එත් නම්, ‘අද මාගේ පවාරණ දිනය’ යි ඉටිය යුතු ය. නො ඉටන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, එහි යම් තැනෙක පස් නමක් භික්‍ෂූහු වෙසෙත් ද, එකකුගේ පවාරණය ගෙණවුත් සිවු දෙනකුන් විසින් සඞ්ඝයා වෙත නො පැවරිය යුතු ය. පවරන්නාහු නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, එහි යම් තැනෙක සිවු නමක් භික්‍ෂූහු වෙසෙත් ද, එකකුගේ පවාරණය ගෙණවුත් තිදෙනකුන් විසින් උනුන් නො පැවරිය යුතු ය. පවරන්නාහු නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, එහි යම් තැනෙක තෙනමක් භික්‍ෂූහු වෙසෙත් ද, එකකුගේ පවාරණය ගෙණවුත් දෙදෙනකුන් විසින් උනුන් නො පැවරිය යුතු ය. පවරන්නාහු නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, එහි යම් තැනෙක දෙනමක් භික්‍ෂූහු වෙසෙත් ද, එකකුගේ පවාරණය ගෙණවුත් එකකු විසින් නො ඉටිය යුතු ය. ඉටන්නේ නම් දුකුළාඇවැත් වේ.”
48. එකල්හි එක්තරා භික්‍ෂුනමක් එදවස පවාරණදිනයෙහි ඇවැතකට පැමිණියේ වේ. (එවිට) ඒ භික්‍ෂුනමට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ඇවැත් සහිත වූවහු විසින් නො පැවරිය යුතු ය’ යි පණවන ලද්දේ ය. මම ද ඇවැතකට පැමිණියෙම් වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මේ සිත උපන. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණදිනයෙහි ඇවැතකට පැමිණියේ වේ. මහණෙනි, ඒ මහණහු විසින් එක් මහණකු වෙත ගොස් උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම මෙ නම් ඇවැතට පැමිණියෙමි. ඒ ඇවැත දෙසමි’ යි. මෙසේ කිය යුතු වන්නේ ය. ඒ ඇවැත පිළිගන්නහු විසින් ‘ඇවැත දක්නෙහි දැ’ යි කිය යුතු ය. (දෙසන්නහු විසින්) ‘එසේ ය, දකිමි’ යි (කිය යුතු ය), ‘මත්තෙහි සංවරයෙන් යුත්වෙව’ යි කිය යුතු ය.
49. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ එදවස පවාරණ දිනයෙහි ඇවැතෙහි විමති ඇත්තේ වේ. මහණෙනි, ඒ මහණහු විසින් එක් මහණකු වෙත එළඹ උතුරුසඟසිවුර එකස් කොට උත්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ඇවැත්නි, මම මෙ නම් ඇවැතෙහි විමති ඇත්තෙම් වෙමි. යම් කලෙක විමති රහිත වන්නෙම් ද, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නෙමි’ යි මෙසේ කිය යුතු වන්නේ ය. කියා පැවරිය යුතු ය. ඒ හේතුවෙන් පවාරණයට අන්තරායයක් නො කටයුතු ම ය.
50. එකල්හි එක්තරා මහණෙක් තෙමේ පවරන්නේ ඇවැත සිහිපත් කරයි. එවිට ඒ මහණහුට “භාග්‍යවතුන් වහන්සේ විසින් ඇවැත් සහිත මහණහු විසින් නො පැවරිය යුතු ය යි පණවන ලද්දේ ය. මම ද ඇවතකට පැමිණියෙම් වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ පවරන්නේ ඇවැත සිහිපත් කරයි. මහණෙනි, ඒ මහණහු විසින් ලඟ සිටි මහණ තෙමේ ‘ඇවැත්නි, මම මෙ නම් ඇවැතට පැමිණියෙමි. මෙතැනින් නැගිට ඒ ඇවැතට පිළියම් කරන්නෙමි’ යි කිය යුතු වන්නේ ය. කියා පැවරිය යුතු ය. ඒ හේතුවෙන් පවාරණයට අන්තරායයෙක් නො කට යුතු ම ය. මහණෙනි, මෙහි මහණෙක් තෙමේ පවරන්නේ ඇවැතෙහි විමති ඇත්තේ වේ. මහණෙනි, ඒ මහණහු විසින් ලඟ සිටි මහණ තෙමේ ‘ඇවැත්නි, මම මෙ නම් ඇවැතෙහි විමති ඇත්තෙම් වෙමි. යම් කලෙක විමති රහිත වන්නෙම් ද, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නෙමි’ යි මෙසේ කිය යුතු වන්නේ ය. කියා පැවරිය යුතු ය. ඒ හේතුවෙන් පවාරණයට අන්තරායයක් නො කටයුතු ම ය.”
51. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවතකට පැමිණියේ වේ. එවිට ඒ භික්‍ෂූන්ට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සමාන ඇවැත් නො දෙසිය යුතු ය. සමාන ඇවැත් නො පිළිගත යුතු ය’ යි පණවන ලද්දේ ය. මේ සියලු සඞ්ඝ තෙමේ ද සමාන ඇවැතට පැමිණියේ වේ. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි මෙ සිත් වි ය.
52. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවතකට පැමිණියේ වේ. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් එක් මහණෙක් තෙමේ ‘ඇවැත්නි, යව. සමීප ආවාසයකින් ඒ ඇවැතට පිළියම් කොට එව. අපි ඔබගේ සමීපයෙහි ඒ ඇවැතට පිළියම් කරන්නෙමු’ යි එදවස ම එනු පිණිස යැවිය යුතු ය. මේ මෙසේ ලබන්නේ නම්, ඒ යහපත් ය. ඉදින් නො ලබන්නේ නම්, ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ දැන් විය යුතු ය:
53. ‘ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතකට පැමිණියේ වේ. යම් කලෙක ඇවැත් නැති පිරිසිදු වූ අන් මහණකු දකින්නේ ද, එකල්හි ඒ මහණහුගේ සමීපයෙහි ඒ ඇවැතට පිළියම් කරන්නේ ය” යි කියා පැවරිය යුතු ය. ඒ හේතුවෙන් පවාරණයට අන්තරායයක් නො කට යුතු ම ය.
54. “මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතෙහි විමති ඇත්තේ වේ. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂු නමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය: “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සියලු සඞ්ඝ තෙමේ සමාන ඇවැතෙහි විමති ඇත්තේ වේ. යම් කලෙක විමති නැත්තේ වන්නේ ද, එකල්හි ඒ ඇවැතට පිළියම් කරන්නේ ය’ යි කියා පැවරිය යුතු ය. ඒ හේතුවෙන් පවාරණයට අන්තරායයක් නො කළ යුතු ය.”
පළමු බණවර නිමි.
1. එකල්හි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වූහ. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දත්හ. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ ඔහු සමගි ය යන කල්පනා ඇතිව පැවරූහ. ඔවුන් පවරණ කල්හි නැවත ඉතා බොහෝ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
2. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූ ඔහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත ඉතා බොහෝ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 1.
3. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 2.
4. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 3.
5. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි නැවත ඉතා බොහෝ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 4.
6. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. ඔවුන්ගේ සමීපයෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 5.
7. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි නැවත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. ඔවුන්ගේ සමීපයෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 6.
8. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස නො නැගී හුන් කල්හි නැවත ඉතා බොහෝ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 7.
9. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස නො නැගී හුන් කල්හි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. ඔවුන් හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ.
10. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස නො නැගී හුන් කල්හි නැවත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 9.
11. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස කොටසක් නැගී සිටි කල්හි නැවත ඉතා බොහෝ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 10.
12. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස සමහරක් නැගී සිටි කල්හි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවෝ මනා කොට පැවරූවෝ වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 11.
13. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස සමහරක් නැගී සිටි කල්හි නැවත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 12.
14. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවත ඉතා බොහෝ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 13.
15. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙති. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 14.
16. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි නො දනිත්. ධර්‍මය යන කල්පනා ඇති, විනය යන කල්පනා ඇති, ඔහු වර්‍ග වූවාහු සමගි ය යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි පසු ඉතා ටික වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. පවරණ ලද්දේ මනා කොට පවරණ ලද්දාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට ඇවැත් නො වේ. 15.
නො ඇවැත් පසළොස් වර නිමි.
1. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු ධර්‍මය යන කල්පනා ඇත්තාහු, විනය යන කල්පනා ඇත්තාහු, වර්‍ග වූවෝ වර්‍ග වූයෙමු යි යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පවරණ කල්හි ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 1.
2. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු ධර්‍මය යන කල්පනා ඇත්තාහු, විනය යන කල්පනා ඇත්තාහු, වර්‍ග වූවෝ වර්‍ග වූයෙමු යි යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 2.
3. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු ධර්‍මය යන කල්පනා ඇත්තාහු, විනය යන කල්පනා ඇත්තාහු, වර්‍ග වූවෝ වර්‍ග වූයෙමු යි යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 3.
4. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු ධර්‍මය යන කල්පනා ඇත්තාහු, විනය යන කල්පනා ඇත්තාහු, වර්‍ග වූවෝ වර්‍ග වූයෙමු යි යන කල්පනා ඇතිව පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ –පෙ– පිරිස නො නැගී හුන් කල්හි ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ –පෙ– පිරිස සමහරක් නැගී සිටි කල්හි ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ –පෙ– සියලු පිරිස නැගී සිටි කල්හි නැවත ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 4-15.
වර්‍ග වූ වර්‍ග සංඥා ඇති පසළොස් වර නිමි.
1. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “අපට පැවරීම කැප ද? නො කැප දැ” යි විමති ඇත්තෝ පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත ඉතා බොහෝ වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 1.
2. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “අපට පැවරීම කැප ද? නො කැප දැ” යි විමති ඇත්තෝ පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 2.
3. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “අපට පැවරීම කැප ද? නො කැප දැ” යි විමති ඇත්තෝ පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 3.
4. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “අපට පැවරීම කැප ද? නො කැප දැ” යි විමති ඇත්තෝ පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි නැවත ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ –පෙ– පිරිස් නො නැගී හුන් කල්හි නැවත ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ –පෙ– පිරිස සමහරක් නැගී සිටි කල්හි නැවත ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ –පෙ– සියලු පිරිස නැගී සිටි කල්හි නැවත ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 4-15.
විමති ඇති පසළොස්වර නිමි.
1. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “අපට පැවරීම කැප වේ ම ය. අපට පැවරීම නො කැප නො වේ” යි කුකුසින් මඩනා ලද්දෝ පවරත්. ඔවුන් පවරණ කල්හි ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 1.
2. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “අපට පැවරීම කැප වේ ම ය. අපට පැවරීම නො කැප නො වේ” යි කුකුසින් මඩනා ලද්දෝ පවරත්. ඔවුන් පවරණ කල්හි සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 2.
3. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “අපට පැවරීම කැප වේ ම ය. අපට පැවරීම නො කැප නො වේ” යි කුකුසින් මඩනා ලද්දෝ පවරත්. ඔවුන් පවරණ කල්හි ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පැවරූවාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 3.
4. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “අපට පැවරීම කැප වේ ම ය. අපට පැවරීම නො කැප නො වේ” යි කුකුසින් මඩනා ලද්දෝ පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටිකවූ –පෙ– පිරිස් නො නැගී හුන් කල්හි ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ –පෙ– පිරිස සමහරක් නැගී සිටි කල්හි ඉතා බොහෝ වූ –පෙ– සමසම වූ –පෙ– ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට දුකුළාඇවැත් වේ. 4-15.
කුකුසින් මැඩුම් පසළොස් වර නිමි.
1. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත ඉතා බොහෝ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 1.
2. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවෝ මනා කොට පැවරූවෝ වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 2.
3. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පවරණ කල්හි නැවත ඉතා ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවෝ මනා කොට පැවරූවාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 3.
4. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩිගණනක් හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 4.
5. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි නැවත සමසම වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පැවරූවාහු මනා කොට පැවරූවාහු වෙති. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 5.
6. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි නැවත ටික දෙනෙක් වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 6.
7. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස නො නැගී හුන් කල්හි නැවත ඉතා බොහෝ වූ අන්‍ය ආවාසික භික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 7.
8. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස නො නැගී හුන් කල්හි නැවත සමසම වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 8.
9. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස නො නැගී හුන් කල්හි නැවත ටික වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 9.
10. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස සමහරක් නැගී සිටි කල්හි නැවත ඉතා බොහෝ වූ අන්‍ය ආවාසික භික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 10.
11. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස සමහරක් නැගී සිටි කල්හි නැවත සමසම වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 11.
12. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි පිරිස සමහරක් නැගී සිටි කල්හි නැවත ටික වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 12.
13. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණ දිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවත ඉතා බොහෝ වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු එත්. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවත පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 13.
14. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවත සමසම වූ ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙති. සෙස්සන් විසින් පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 14.
15. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඔහු “නො පැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තාහ” යි දනිත්. ඔහු “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. ඔවුන් පැවරූ ඇසිල්ලෙහි සියලු පිරිස නැගී සිටි කල්හි නැවත ටික වූ අන්‍ය ආවාසිකභික්‍ෂූහු එත්. පවාරණය කළාහු මනා කොට පවාරණය කළාහු වෙත්. ඔවුන්ගේ හමුවෙහි පැවරිය යුතු ය. පැවරූවන්ට තුලසිඇවැත් වේ. 15.
බිඳීම පෙරටුකොට ඇති පසළොස්වර නිමි.
පස්විසිතිකයෝ නිමවන ලදහ.
1. මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එදවස පවාරණදිනයෙහි පස් නමක් වූ හෝ වැඩි වූ හෝ බොහෝ ආවාසිකභික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහු “අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙත්” යි නො දනිත්. –පෙ– ඒ භික්‍ෂූහු “අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණියාහු” යි නො දනිත්. –පෙ– ඒ භික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙන්නා වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූන් නො දකිත්. –පෙ– ඒ භික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණියා වූ අන්‍ය වූ ආවාසිකභික්‍ෂූන් නො දකිත්. –පෙ– ඒ භික්‍ෂූහු “අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණෙත්” යි නො අසත්. –පෙ– ඒ භික්‍ෂූහු “අන්‍ය වූ ආවාසිකභික්‍ෂූහු ඇතුල් සීමාවට පැමිණියාහු” යි නො අසත්. ආවාසිකයන් හා ආවාසිකයෝ – ක්‍රම විසින් තික එක්සිය පන්සැත්තෑවකි.{*} ආවාසිකයන් හා ආගන්තුකයෝ, ආගන්තුකයන් හා ආවාසිකයෝ, ආගන්තුකයන් හා ආගන්තුකයෝ – පෙය්‍යාලමුඛයෙන් තික සත්සියයෙක් වේ.{*}
2. මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූන්ට තුදුස්වක වේ. ආගන්තුකභික්‍ෂූන්ට පසළොස්වක වේ. ආවාසිකයෝ ඉතා බොහෝ වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. සමසම වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ආගන්තුකයෝ බොහෝ වෙත් නම්, ආවාසිකයන් ආගන්තුකයන්ට අනුව පැවතිය යුතු ය.
3. මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූන්ට පසළොස්වක වේ. ආගන්තුකභික්‍ෂූන්ට තුදුස්වක වේ. ආවාසිකයෝ බොහෝ වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. සමසම වෙත් නම්, ආගන්තුකයන් ආවාසිකයන්ට අනුව පැවතිය යුතු ය. ආගන්තුකයෝ බොහෝ වෙත් නම්, ආවාසිකයන් ආගන්තුකයන්ට අනුව පැවතිය යුතු ය.
4. මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූන්ට පෑළවිය වේ. ආගන්තුකයන්ට පසළොස්වක වේ. ආවාසිකයෝ බොහෝ වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට නො කැමැත්තෙන් සමගිය නො දිය යුතු ය. ආගන්තුකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පැවරිය යුතු ය. සමසම වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට නො කැමැත්තෙන් සමගිය නො දිය යුතු ය. ආගන්තුකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පැවරිය යුතු ය. ආගන්තුකයෝ බොහෝ වෙත් නම්, ආවාසිකයන් විසින් ආගන්තුකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය. සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය.
5. මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූන්ට පසළොස්වක වේ. ආගන්තුකයන්ට පෑළවිය වේ. ආවාසිකයෝ බොහෝ වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය. සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය. සමසම වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට සාමග්ගිය හෝ දිය යුතු ය. සීමාවෙන් බැහැරට හෝ යා යුතු ය. ආගන්තුකයෝ බොහෝ වෙත් නම්, ආගන්තුකයන් විසින් ආවාසිකයන්ට නො කැමැත්තෙන් සාමග්ගිය නො දිය යුතු ය. ආවාසිකයන් විසින් සීමාවෙන් බැහැරට ගොස් පැවරිය යුතු ය.
6. මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු ආවාසිකභික්‍ෂූන්ගේ අවාසිකයන් පිළිබඳ ආචාරසණ්‍ඨානය ආවාසිකයන් ඇතැ යි හඳුන් වන ලකුණු, ආවාසිකයන් ඇතැයි හඳුන්වන නිමිති, ආවාසිකයන් හඳුන්වන පිරිකර, මනා කොට පැණ වූ ඇඳ පුටු ගුදිරි හා කොට්ට, මනා කොට එළ වූ පැන් හා පිරිබෝදිය, මනා කොට හැමදි පිරිවෙණ දකිත්. දැක “ආවාසික භික්‍ෂූහු ඇත් ද නැද්දැ” යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ ආගන්තුකභික්‍ෂූහු නො සොයත්. නො සොයා පවරත්. දුකුළා ඇවැත් වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා නො දකිත්. නො දැක පවරත්. ඇවැත් නො වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පවරත්. ඇවැත් නො වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. තුලසිඇවැත් වේ.
7. මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු ආවාසිකභික්‍ෂූන්ගේ ආචාරසණ්‍ඨානය, ආවාසිකයන් හඳුන් වන ලකුණු ආවාසිකයන් ඇති බැව්හි ලකුණු, ආවාසිකයන් හඳුන්වන පිරිකර, සක්මන් කරන්නවුන්ගේ පාහඬ, හැදැරීමේ හඬ, කෑරීම් හඬ, කිවිසිලි හඬ අසත්. අසා “ආවාසිකභික්‍ෂූහු ඇද් ද නැද්දැ” යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු නො සොයත්. නො සොයා පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා නො දකිත්. නො දැක පවරත්. ඇවැත් නො වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පවරත්. ඇවැත් නො වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පවරත්. දුකුළා ඇවැත් වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. තුලසිඇවැත් වේ.
8. මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු ආගන්තුකභික්‍ෂූන්ගේ ආගන්තුකාකාරය, ආගන්තුකලක්‍ෂණය, ආගන්තුකනිමිත්ත, ආගන්තුකඋද්දේසය, නො හඳුනන පාත්‍රය, නො හඳුනන සිවුර, නො හඳුනන නිසීදනය, පා සේදූ තැන්, වැගුරුණු දිය දකිත්. දැක “ආගන්තුක භික්‍ෂූහු ඇද් ද නැද්දැ” යි විමති ඇත්තෝ වෙත්. විමති ඇත්තා වූ ඒ ආවාසිකභික්‍ෂූහු නො සොයත්. නො සොයා පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා නො දකිත්. නො දැක පවරත්. ඇවැත් නො වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පවරත්. ඇවැත් නො වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් ව පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. තුලසිඇවැත් වේ.
9. මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු ආගන්තුකභික්‍ෂූන්ගේ ආගන්තුකාකාරය, ආගන්තුකලිඞ්ගය, ආගන්තුකනිමිත්ත, ආගන්තුකඋද්දේසය, එන්නන්ගේ පා හඬ, වහන් පෙළීමේ හඬ, කෑරීම් හඬ කිවිසිලි හඬ, අසත්. අසා “ආගන්තුක භික්‍ෂූහු ඇද්ද නැද්දැ” යි විමති ඇත්තෝ වෙත්.
විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු නො සොයත්. නො සොයා පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා නො දකිත්. නො දැක පවරත්. ඇවැත් නො වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක එකතු ව පවරත්. ඇවැත් නො වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක වෙන් වෙන් ව පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– විමති ඇත්තා වූ ඒ භික්‍ෂූහු සොයත්. සොයා දකිත්. දැක “මේ මහණහු නැසෙත්වා. මේ මහණහු වැනසෙත්වා. ඔවුන්ගෙන් කිනම් වැඩෙක් දැ” යි බිඳීමේ අදහස පෙරටු කොට ඇත්තාහු පවරත්. තුලසිඇවැත් වේ.
10. මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු නානාසංවාසක වූ ආවාසිකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු සමානසංවාසකදෘෂ්ටිය ලබත්. සමානසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පවරත්. ඇවැත් නො වේ. –පෙ– ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (නානාසංවාසකදිට්ඨිය) බැහැර නො කෙරෙත්. බැහැර නො කොට එකතු ව පවරත් දුකුළාඇවැත් වේ. –පෙ– ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (ඒ දෘෂ්ටිය) බැහැර නො කෙරෙත්. බැහැර නො කොට වෙන් වෙන් ව පවරත්. ඇවැත් නො වේ.
11. මහණෙනි, මෙහි ආගන්තුකභික්‍ෂූහු සමානසංවාසක වූ ආවාසිකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු නානාසංවාසකදෘෂ්ටිය ලබත්. නානාසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (ඒ දෘෂ්ටිය) බැහැර කරත්. බැහැර කොට වෙන් වෙන් ව පවරත්. දුකුළාඇවැත් වේ. ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා බැහැර කෙරෙත්. බැහැර කොට එකතු ව පවරත්. ඇවැත් නො වේ.
12. මහණෙනි, මෙහි ආවාසිකභික්‍ෂූහු නානාසංවාසක වූ ආගන්තුක භික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු සමානසංවාසකදෘෂ්ටිය ලබත්. සමානසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පවරත්. ඇවැත් නො වේ. –පෙ– ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (ඒ දෘෂ්ටිය) බැහැර නො කෙරෙත්. බැහැර නො කොට එකතු ව පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (ඒ දෘෂ්ටිය) බැහැර නො කෙරෙත්. බැහැර නො කොට වෙන් වෙන් ව පවරත්. ඇවැත් නො වේ.
13. මහණෙනි, මෙහි ආවාසික භික්‍ෂූහු සමානසංවාසක වූ ආගන්තුකභික්‍ෂූන් දකිත්. ඒ භික්‍ෂූහු නානාසංවාසකදෘෂ්ටිය ලබත්. නානාසංවාසකදෘෂ්ටිය ලබා නො විචාරත්. නො විචාරා එකතු ව පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (ඒ දෘෂ්ටිය) බැහැර කෙරෙත්. බැහැර කොට වෙන් වෙන් ව පවරත්. දුකුළාඇවැත් වේ. –පෙ– ඒ භික්‍ෂූහු විචාරත්. විචාරා (ඒ දෘෂ්ටිය) බැහැර කෙරෙත්. බැහැර කොට එකතු ව පවරත්. ඇවැත් නො වේ.
14. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
15. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
16. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
17. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
18. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
19. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
20. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
21. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ භික්‍ෂූන් රහිත වූ අනාවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
22. මහණෙනි, එදවස පවාරණදිනයෙහි භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් හෝ අනාවාසයෙන් භික්‍ෂූන් රහිත වූ ආවාසයට හෝ අනාවාසයට හෝ සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.
23. මහණෙනි, එදවස පවාරණදිනයෙහි යම් තැනෙක නානාසංවාසක වූ භික්‍ෂූහු වසන්නාහු ද (එබඳු වූ) භික්‍ෂූන් සහිත වූ ආවාසයෙන් භික්‍ෂූන් සහිත වූ ආවාසයට සඞ්ඝයාගෙන් වෙන් ව අන්තරායයක් නැති ව නො යා යුතු ය.