විනයපිටකයෙහි
මහවග
ප්‍රථම භාගය
ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
මහාඛන්ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුර සමීපයෙහි වූ බෝරුක්මුල්හි අභිසම්බෝධියට පැමිණ ප්‍රථමයෙන් (=බුදු ව පළමු වර) වැඩ වාසය කරණ සේක.
2. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ බෝරුක්මුල්හි සත්දවසක් මුළුල්ලෙහි විමුක්තිසුඛය (=පලසමවත් සුව) විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩහුන් සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ පෙරයම මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් (=මුල සිට අගටත් අග සිට මුලටත්) මෙනෙහි කළ සේක.
4. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමය ද රූපය ද නාමරූපය ද{*} වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ.
5. අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්ශනිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්ත්ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
“යම් කලෙක කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුත් ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි උන්වහන්සේ අවිද්‍යාදි හේතුවෙන් සහේතුක වූ ධර්මය දනිති. එහෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැක දුරු වේ.”
7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි මධ්‍යමයාමය මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් මෙනෙහි කළ සේක: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. –පෙ–{1} මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ –පෙ–{1} නිරෝධය වේ.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්ත්ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
”යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි අවිද්‍යාදිප්‍රත්‍යයයන්ගේ ක්ෂය වීම දැනගත් හෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැකයෝ දුරු වෙත්.”
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැසුළුයම මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් මෙනෙහි කළ සේක: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. –පෙ–{1} මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ –පෙ–{1} නිරෝධය වේ.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්ත්ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
“යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි ඒ රහතුන් වහන්සේ මරසෙනඟ පිඹ හරිමින් අහස බබුළුවන්නා වූ හිරු මෙන්, සිටින සේක.”
බෝධිකථාව නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට බෝරුක්මුලින් නික්ම අජපල්නුගරුක වෙතට වැඩි සේක. වැඩ අජපල්නුගරුක්මුල් හි සත් දවසක් මුළුල්ලෙහි පලසමවත් සුව විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන් සේක.
2. ඉක්බිති (මාන වශයෙන්) “හූම්! හූම්!” ය යි ශබ්ද කරණ ස්වභාවය{*} ඇති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූයේ ය. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා එකත්පසෙක සිටියා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේ ය. “පින්වත් ගෞතමයන් වහන්ස, කොපමණකින් බමුණෙක් වේ ද? බමුණකු කරන්නාවූ ධර්මයෝ කවරහු ද?”
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ත්ථය දැන එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
“පව් බැහැර කළ, හුහුංකාරයන්ගේ පහ කිරීමෙන් හුහුංකාර (මාන) රහිත වූ රාගාදිකසට නැත්තා වූ සංසුන් සිත් ඇත්තා වූ චතුර්විධමාර්ගඥාන නම් වේදයෙහි කෙළවරට පැමිණියා වූ වැස නිමවූ මාර්ගබ්රහ්මචර්ය්යය ඇති යම් ක්ෂීණාශ්රවබ්රාහ්මණයෙක් වේ ද, යමකුට ලෝකයෙහි කිසි තැනක රාගාදි උත්සදයෝ* නැත්තාහු ද, ඒ පුද්ගල තෙමේ ‘මම බ්‍රාහ්මණ වෙමි’ යි ධර්මයෙන් (=නිවැරදි ලෙස) කියන්නේ ය.”
අජපාලකථාව නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට අජපල් නුගරුක්මුලින් මිදෙල්ලරුක වෙතට වැඩි සේක. වැඩ, මිදෙල්ලරුක්මුල්හි සත් දවසක් මුළුල්ලෙහි පලසමවත්සුව විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන්සේක.
2. එකල්හි මහත් වූ නොකල්වැස්සෙක් පහළ වී ය. සීතසුළං වලාවෙන් වැලලි වූ හද්දාවැස්සෙකි.
3. ඉක්බිති මුචලින්දනාරජ තෙමේ ස්වකීයභවනයෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ සිරුර සත්වරක් දරණවැලින් හාත්පසින් වට කොට “ශීතය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා. උෂ්ණය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා. ඩැහැ ලේ බොන මැසි මදුරු සුළං අවු සර්ප යන මොවුන්ගේ ස්පර්ශය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා” යි හිස මුදුනෙහි මහත් පෙණයක් කොට සිටියේ ය.
4. ඉක්බිති මුචලින්දනාරජතෙමේ සත්දවසක් ඇවෑමෙන් පහ වූ වලාපටල ඇති පැහැදිලි අහස (ඇති බව) දැන භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් දරණවෙළුම් හැර සියවේසය අතුරුදහන් කොට තරුණ මිනිස් වෙසක් මවා ගෙණ බුදුරජුන් ගේ ඉදිරියෙහි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ වඳිමින් සිටියේ ය.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළසේක:
“නිවණ නම් වූ උපධිවිවේකය සැප වේ. චතුර්මාර්‍ගඥානසන්තෝෂයෙන් යුත්, ප්‍රකට වූ දහම් ඇති, ඒ උපධිවිවේකය නුවණ නැමැති ඇසින් දක්නහුට නො කිපීම සැප වේ. ලෙව්හි සතුන් කෙරෙහි හිංසා නො කිරීම සැප වේ.
“ලෝකයෙහි නො ඇලීම – වස්තුකාමක්ලේශකාමයන්ගේ ඉක්මවීම සැප වේ. අස්මිමානයාගේ යම් වැනසීමෙක් වේ ද මෙය ඒකාන්තයෙන් උතුම් වූ සැපය වේ.”
මුචලින්දකථාව නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත්දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට මුචලින්දරුක්මුලින් කිරිපලුරුක වෙතට වැඩි සේක. වැඩ කිරිපලුරුක්මුල්හි සත්දවසක් මුළුල්ලෙහි පලසමවත්සුව විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන් සේක.
2. එකල්හි ත්රපුෂ්ය–භල්ලික{*} වෙළඳදෙබෑයෝ උක්කලාජනපදයෙන් ඒ දේශයට යනු පිණිස දීර්ඝමාර්ගයට පිළිපන්නාහු වෙත්. එකල්හි ත්රපුෂ්–භල්ලික1 වෙළෙඳුන්ගේ සහලේනෑ වූ දේවතාවෙක් ත්රපුෂ්ය–භල්ලික වෙළෙඳුන්ට මෙය කී ය:–
“නිදුකානෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණි අළුත ම කිරිපලුරුක් මුල්හි වැඩ වසන සේක. යවු; ඒ භාග්‍යවතුන් වහන්සේ අත්සුණුයෙන් ද මීපිඬුයෙන් ද පුදවු. ඒ පිදීම තොපට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස ද සැප පිණිස ද වන්නේ ය”.
3. ඉක්බිති ත්රපුෂ්ය–භල්ලික වෙළෙන්දෝ අත්සුණු ද මීපිඬු ද ගෙණ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියාහු ය. එකත්පසෙක සිටියා වූ ත්රපුෂ්ය–භල්ලික1 වෙළෙන්දෝ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපගේ අත්සුණු හා මීපිඬුත් පිළිගන්නා සේක්වා; ඒ පිළිගැණීම අපට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය”යි සැළ කළහ.
4. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “තථාගතයෝ අතින් නො පිළිගණිති. මම වනාහි කුමකින් අත්සුණුත් මීපිඬුත් පිළිගන්නෙම් දැ”යි සිතෙක් වූයේ ය. එකල්හි සතරවරම්මහරජහු තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැන සිවුදිගින් අවුත් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙයින් අත්සුණුත් මීපිඬුත් පිළිගන්නා සේක්වා”යි ශෛලමය පාත්‍ර සතරක් භාග්‍යවතුන් වහන්සේ අතට එළවූහ. භාග්‍යවතුන් වහන්සේ එකෙණෙහි උපන් අළුත් මාහැඟි ශෛලමය වූ පාත්‍රයෙන් අත්සුණු ද මීපිඬු ද පිළිගත් සේක. පිළිගෙණ වැළඳූ සේක.
5. ඉක්බිති ත්රපුෂ්ය–භල්ලික වෙළෙන්දෝ “ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සරණ යමු, භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් දිවි හිම් කොට සරණ ගියා වූ උපාසකයනැයි දරණ සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළෝ ය. ඔහු දෙදෙන ද පළමු කොට ලෝකයෙහි ද්වේවාචික (=‘බුද්ධ, ධම්ම’ යන වචන දෙකින් සරණ ගියා වූ) උපාසකයෝ වූහ.
රාජායතනකථාව නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත්දවසක් ඇවෑමෙන් ඒ පලසමවතින් නැඟිට කිරිපලුරුක්මුලින් නික්ම අජපල්නුගරුක්මුලට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ අජපල්නුගරුක්මුල්හි වැඩවසන සේක.
2. එකල්හි හුදකලා වූ, පලසමවතින් යුක්ත වූ, භාග්‍යවතුන් වහන්සේට මෙබඳු කල්පනාවෙක් පහළ වි ය:– “මා විසින් අවබෝධ කළ මේ චතුරාර්‍ය්‍ය සත්‍යධර්මය ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. අවබෝධයට දුෂ්කර ය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් නො දත හැකි ය. සියුම් ය. පණ්ඩිතයන් විසින් ම දත යුතු ය. මේ ප්‍රජා තොමෝ පඤ්චකාමගුණයෙහි සතුටු වූවා ය. පඤ්චකාමගුණයෙහි ඇලුනී ය. පඤ්චකාමගුණයෙහි දැඩි සේ මුදිත ය. පස්කම්ගුණයෙහි සතුටු වූ පස්කම්ගුණයෙහි ඇලුනා වූ පස්කම් ගුණයෙහි දැඩි සේ සතුටු වූ ප්‍රජාව විසින් යම් මේ (එකිනෙක ප්‍රත්‍යය හා ප්‍රත්‍යයසමුත්පන්න වන ආකාර ඇති) අවිද්‍යාදි ප්‍රත්‍යය සමූහය වූ ප්රතීත්යසමුත්පාදයෙක් වේ ද, මෙය දැකීම දුෂ්කර ය. යම් මේ සකලසංස්කාරයන්ගේ සංසිඳීමෙක් වේ ද, සකලඋපධීන්ගේ බැහැර ලීමෙක් වේ ද, තෘෂ්ණාවගේ ක්ෂය වීමෙක් වේ ද, නො ඇල්මෙක් වේ ද, සකල දුඃඛනිරෝධයෙක් වේ ද, නිර්‍වාණයෙක් වේ ද, (යන) මෙය ද දැකීම ඉතා දුෂ්කර ය. ඉදින් මම දහම් දෙසන්නෙම් නම්, අන්‍යයෝ මාගේ දහම් දැන නො ගන්නාහු නම්, එය මට ක්ලාන්තියෙක් වන්නේ ය; ඒ මට වෙහෙසෙක් ම වන්නේ” යි.
3. වැලිදු භාග්‍යවතුන් වහන්සේට පෙර නො ඇසූවිරූ නැවත නැවත විස්මයකර වූ මේ ගාථාවෝ ද වැටහුනහ:–
“මා විසින් දුක සේ අවබෝධ කළ චතුරාර්‍ය්‍යසත්‍යධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් වැඩෙක් නැත්තේ ය. රාග ද්වේෂයන්ගෙන් පෙළුනවුන් විසින් මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්මය තෙමේ අවබෝධ කට හැක්කේ නො වේ.
“උඩුහෝ (නිවන්) කරා යන්නා වූ නිපුණ වූ ගැඹුරු වූ දුක සේ දැක්ක යුතු වූ සියුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යධර්මය රාගයෙන් රත් වූ අවිද්යාස්කන්ධයෙන් වැසුනා වූ සත්ත්වයෝ නො දක්නාහු ය”.
4. මෙසේ සලකන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහභාවයට නැමේ. දහම් දෙසීම පිණිස නො නැමේ.* එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ අදහස දත් සහම්පතිබ්රහ්මයා හට මෙ බඳු සිතෙක් වී ය. යම් ලෝකයක රහත් වූ සම්මාසම්බුදු වූ තථාගතයන් වහන්සේගේ සිත මන්දෝත්සාහභාවයට නැමේ ද, දහම් දෙසනු පිණිස නො නැමේ ද, භවත්නි, ඒ ලෝකය නැසේ. භවත්නි, ඒ ලෝකය වැනසේ”යි කියායි.
5. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ බලවත් පුරුෂයෙක් හැකිළූ අත යම් සේ දිගු කරන්නේ ද, දිගු කළ අත යම් සේ හකුළන්නේ ද, එපරිද්දෙන් (වහා) බ්‍රහ්මලෝකයෙහි අතුරුදහන් වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූයේ ය. ඉක්බිති සහම්පතිබ්රහ්මතෙමේ උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි ඇන භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ මෙය සැළ කෙළේ ය:– “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. ස්වල්ප වූ රාගාදි රජස් ඇති සත්ත්වයෝ වෙති. (ඔහු) දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් දැනගන්නෝ (ලෝකයෙහි) ඇත්තාහ” කියා යි. නැවත මේ ගාථා ද කීයේ ය:
“පෙර මගදදනව්වෙහි රාගාදිකෙලෙස්මලින් යුක්ත වූවන්{*} විසින් සිතන ලද අපිරිසිදු වූ මිත්ථාදෘෂ්ටිධර්මයෙක් පහළ වූයේ ය. නිවන් දොරටුව වූ මේ ආර්ය්යමාර්ගය විවෘත කළ මැනවි. දුරු වූ රාගාදි කෙලෙස් මල ඇති බුදුන් විසින් අවබෝධ කළ වතුරාර්ය්ය සත්‍ය ධර්මය සත්ත්වයෝ අසත්වා.
“සමතැස් ඇති සුන්දර ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්ස, ශෛලමය පර්වතයක් මුදුනෙහි සිටි පුරුෂයෙක් හාත්පස ජනසමූහයා යම් සේ දකී ද, පහ වූ ශෝක ඇති ඔබවහන්සේ ඒ ශෛලමපර්වතය වැනි වූ ප්‍රඥාමය වූ පහයට නැඟී ශෝකයට බැසගත් ජාතිජරායෙන් මැඩුනා වූ ජනසමූහයා බලා වදාරණසේක්වා.
“දිනූ මාරසඞ්ග්රාම ඇති සාර්‍ත්‍ථවාහක වූ කාමච්ඡන්දාදි නය නැත්තා වූ වීරයන් වහන්ස, නැඟී සිටිනු මැනවි. ලෝකයෙහි හැසිරෙණු මැනවි. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනසේක්වා. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ” යි.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාව දැන සත්ත්වයන් කෙරෙහි කරුණාව නිසා බුදුඇසින් ලෝකය බලා වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් සත්ත්වලෝකය බලාවදාරණ සේක්, අල්ප වූ රාගාදි රජස් ඇත්තා වූ ද මහත් වූ රජස් ඇත්තා වූ ද තියුණු වූ ශ්රද්ධාදිඉන්ද්රියයන් ඇත්තා වූ ද ශ්‍රද්ධාදීන්ගේ අඩු වැඩි ආකාර ඇත්තා වූ ද සුව සේත් දුක සේත් ධර්මාවබෝධය කට හැක්කා වූ ද පරලොව වරද හා බිය දක්නාසුලු ව වසන්නා වූ ද ඇතැම් සත්ත්වයන් දුටු සේක.
7. යම් සේ උපුල්විලක හෝ පියුම්විලක හෝ හෙලපියුම්විලක හෝ දියෙහි හටගත්, දියෙහි මොනවට වැඩුනා වූ, දියෙන් මතු නො වූ, ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙලපියුම්හු හෝ දිය තුළ ගැලී වැඩෙන්නාහු ද, දියෙහි හටගත් දියෙහි වැඩුනු ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙලපියුම්හු හෝ දිය හා සම ව සිටිත් ද, දියෙහි හටගත් දියෙහි වැඩුනු ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙලපියුම්හු හෝ දියෙන් උඩට නැඟී දිය හා නො තැවරී සිටිත් ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් සත්ත්වලෝකය බලා වදාරණ සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු වූ ත් මෘදු වූ ත් ශ්රද්ධාදිඉන්ද්රියයන් ඇත්තා වූ ද ශ්‍රද්ධාදීන්ගේ අඩු වැඩි ආකාර ඇත්තා වූ ද සුව සේත් දුක සේත් ධර්මවාබෝධය කට හැක්කා වූ ද පරලොව වරද හා බිය දක්නා සුලු ව වසන්නා වූ ද ඇතැම් සත්ත්වයන් දුටු සේක. දැක සහම්පතිබ්රහ්මයාහට ගාථාවකින් මෙසේ වදාළසේක:–
“බ්‍රහ්මය, (නොදන්නවුන්ට දෙසීම කයට) වෙහෙස ය යන කල්පනා ඇත්තෙම් ප්‍රගුණ වූ උතුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යධර්මය මිනිසුන් අතර නො කීයෙමි. යම් කෙනෙක් කන් ඇත්තෝ වෙත් ද, ඔහු ශ්‍රද්ධාව මුදත්වා (හෙවත් ඉදිරිපත් කෙරෙත්වා): ඔවුන්ට (දැන්) නිර්වාණද්වාරයෝ (=ආර්ය්යයමාර්ගයෝ) විවෘත කරණ ලදහ”.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙමේ “භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසනු පිණිස කළ අවකාශ ඇත්තෙම් වෙමි”යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූයේ ය.
බ්රහ්මායාචනකථා නිමි.
1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම කවරකුට පළමු කොට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්මය වහා ම අවබෝධ කරන්නේ දැ?”යි මෙබඳු සිතෙක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “කාලාමගෝත්රයෙහි වූ මේ අළාරතවුස් තෙමේ පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. බොහෝ කලක් මුළුල්ලෙහි අල්පරජස්ක වූයේ ය. මම කාලාමගෝත්රයෙහි වූ ආළාරතවුසාහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් යෙහෙක. හෙතෙමේ වහා ම මේ ධර්මය දැනගන්නේ ය” යි මෙබඳු සිතෙක් වූයේ ය. එකල්හි අතුරුදහන් වූ (නො පෙණී සිටි) දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේහට “ස්වාමීනි, කාලාමගෝත්රයෙහි වූ ආළාරතවුස් තෙමේ මින් සත් දවසකට පෙර කලුරිය කෙළේ ය” යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ආළාරකාලාම තවුස් තෙමේ සත්දවසකට පෙර කලුරිය කෙළේ ය” යි සර්වඥතාඥානයෙන් දත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේහට ආළාරකාලාම තවුස්තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක. ඉදින් හෙතෙමේ මේ ධර්මය ඇසුයේ නම්, වහා ම දැන ගන්නේ ය” යි මෙබඳු සිතෙක් වූයේ ය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මම කවරකුහට පළමු කොට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ ධර්මය වහා ම දැනගන්නේ දැ?” යි සිතෙක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේහට “රාමපුත්‍ර වූ මේ උද්දක තවුස් තෙමේ පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. බොහෝ කලක් මුළුල්ලෙහි අල්පරජස්ක වූයේ ය. මම උද්දකරාමපුත්රයාහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් යෙහෙක, හෙතෙමේ මේ ධර්මය වහා ම දැනගන්නේ ය”යි සිතෙක් උපන. ඉක්බිති මුවා ව සිටි දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේහට “ස්වාමීනි, රාමපුත්රවූ උද්දක තවුස් තෙමේ රෑ මැදියම කලුරිය කෙළේ ය” යි සැළකළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද “උද්දකරාමපුත්‍ර තෙමේ රෑ මැදියම කලුරිය කෙළේ ය” යි සර්වඥතාඥානයෙන් දත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේහට උද්දකරාමපුත්‍ර තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක. ඉදින් හෙතෙමේ මේ ධර්මය ඇසූයේ නම්, වහා ම දැනගන්නේ ය”යි සිතෙක් උපන්නේ ය.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේහට “මම කවරකුට පළමු කොට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ ධර්මය වහා ම දැනගන්නේ දැ?” යි සිතෙක් විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “යම් කෙනෙක් (ක්ලේශ) ප්රදහනවීර්ය්යකරණයෙහි යැවූ සිත් ඇති මට උපස්ථාන කළාහු ද, ඒ පස්වගමහණහු මට බොහෝ උපකාර ඇත්තෝ ම ය. මම් ඒ පස්වග මහණුන්හට පළමු කොට දහම් දෙසන්නෙම් නම් යෙහෙකැ”යි ද “මෙකල්හි පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැ?” යි ද සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිවැසින් බරණැස්නුවර මෘගදාය නම් වූ ඉසිපතනයෙහි වසන්නා වූ පස්වගමහණුන් දුටු සේක. ඉක්බිති උන්වහන්සේ උරුවෙල්දනව්වෙහි කැමැති තාක් වාසය කොට බරණැස්නුවරට වඩිනු පිණිස චාරිකාවෙහි වැඩි සේක.
4. උපකආජීවක තෙමේ ගයාවට හා බෝධිවෘක්ෂයට ද අතරෙහි වූ දීර්ඝමාර්ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේහට මෙසේ කී ය: “ඇවැත්නි, නුඹවහන්සේගේ චක්ෂුරාදිඉන්ද්රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. සිරුරුපැහැය පිරිසිදු ය. අතිශයින් නිර්මල ය. ඇවැත්නි, තමුන්නාන්සේ කවරකු උදෙසා පැවිදි වූ සේක් ද? තමුන්නාන්සේගේ ශාස්තෘතෙමේ කවරෙක් හෝ වේ ද? තමුන්නාන්සේ කවරකුගේ ධර්මය රුචි කරණ සේක් දැ?”යි විචාළේ ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ උපකආජීවකයාහට මේ ගාථාවන් වදාළ සේක:
“මම සියල්ල මැඩ සිටියෙමි. සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන්හි නො ඇලුනෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‍ෂයයෙහි නිමාවට ගියෙමි. (මෙසේ) තෙමේ ම සියල්ල දැන සිටි මම අන් කවරකු ආචාර්ය්ය වශයෙන් උදෙසන්නෙම් ද?
“මට ලෝකෝත්තරධර්මයෙහි ඇදුරෙක් නැත. මට සමානයෙක් විද්‍යාමාන නො වේ. දෙවියන් සහිත ලෝකයෙහි මාහට සම පුද්ගලයෙක් නැත.
“ලෝකයෙහි මම ම රහත් වෙමි. මම ම නිරුත්තර වූ ශාස්තෘ වෙමි. මම ම සම්‍යක්සම්බුද්ධ වෙමි. (සියලු කෙලෙස්ගිනි නිවීමෙන්) සිහිල් වූයෙමි. එහෙයින් ම නිවුනෙමි.
“මම දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”
ඇවැත්නි, තමුන්නාන්සේ යම් සේ පිළිණ කරණ සේක් ද, එසේ “අනන්තජින” වීමට සුදුසු සේක.
“යම් කෙනෙක් කාමාදිආශ්රවයන් ක්ෂය කිරීමට පැමිණියෝ ද, මා වැනි ඔහු ඒකාන්තයෙන් ‘ජින’ නම් වෙති. උපකය, ‘මා විසින් පාප ධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ‘ජින’ නම් වෙමි.”
5. මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ “ඇවැත්නි, එහෙමත් විය හැකි ය”යි හිස සලා කුඩාමගකට බැස වඞ්ගහාරජනපදය බලා ගියේ ය.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් සැරිසරා වඩිනා සේක් බරණැස්නුවර ඉසිපතන නම් වූ මෘගදායයෙහි පස්වගමහණුන් වෙත වැඩිසේක. පස්වගමහණහු වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුවාහු ය. දැක, උන් උන් කතිකාවක් කළාහු ය: “ඇවැත්නි, මේ ග්රමණගෞතම තෙමේ එයි. ප්‍රත්‍යය බහුල කොට ඇත්තේ, ප්‍රධන් වීර්‍ය්‍ය කිරීමෙන් පිරිහුනේ, ප්‍රත්‍යයයන්ගේ බහුලභාවයට පෙරළුනේ ය. ඒ ශ්‍රමණගෞතම තෙමේ නො ම වැඳිය යුත්තේ ය. උපස්ථාන නො කට යුතු ය. පාසිවුරු නො පිළිගත යුතු ය. එසේ නමුත් කැමැති නම් හිඳිනු පිණිස අසුනක් එළවිය යුතු ය.”
7. භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන් වෙත එළඹෙත් එළඹෙත් ම පස්වගමහණහු සිය කතිකාවෙහි සිටින්නට නො හැකි වූහ. නො සිටින්නෝ භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස්, එක් නමක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගත්තේ ය. එක් නමක් අසුනක් පැණැවී ය. එක් නමක් පා දෝනා දිය ද පාපුටුව ද නො සේදූ පා තබනා පුවරුව ද එළවා තැබී ය. භාග්‍යවතුන් වහන්සේ පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ පා සේදු සේක. එසේ නමුත් ඔහු භාග්‍යවතුන් වහන්සේට ගෞතම නාමයෙන් ද “ඇවැත්නි” යන කීමෙන් ද කතා කෙරෙත්. මෙසේ කතා කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්ට “මහණෙනි, තථාගතයන්ට නාමයෙන් ද ‘ඇවැත්නි’ කීමෙන් ද කතා නො කරවු. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. මවිසින් නිවණ ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. ඒ අනුශාසනය පරිද්දෙන් පිළිපදින්නා වූ තෙපි නොබෝ කලකින් ම, යම් අර්හත්ඵලයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් ද, බඹසර කෙළවර කොට ඇති නිරුත්තර වූ ඒ අර්හත්ඵලය ඉහාත්මයෙහි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නහු ය”යි යන මෙය වදාළ සේක.
8. මෙසේ වදාළ කල්හි පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේට “ඇවැත්නි ගෞතමයෙනි, තමුන්නාන්සේ ඒ දුෂ්කර ඉරියවු පැවැත්වීමෙන් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙන්, ඒ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්යධර්මයෙන් අධික වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්ත්ථ වූ ඥානදර්‍ශනවිශේෂයක් නො ලැබූ සේක. මෙකල්හි චීවරාදිප්‍රත්‍යය බහුල කොට ඇති, වීර්‍ය්‍ය කිරීමෙන් පිරිහුනු, චීවරාදිප්‍රත්‍යය බහුලභාවයට පෙරළුනු තමුන්නාන්සේ මනුෂ්යධර්මයෙන් අධික වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්ත්ථ වූ ඥානදර්‍ශනවිශේෂයක් කෙසේ නම් අවබෝධ කළසේක් දැ” යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්හට “මහණෙනි, තථාගත වූ මම චීවරාදිප්‍රත්‍යය බහුල කොට ඇත්තේ නො වෙමි. වීර්‍ය්‍ය කිරීමෙන් පිරිහුනේ නො වෙමි. චීවරාදිප්‍රත්‍යය බහුලභාවය පිණිස පෙරළුනේ නො වෙමි. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. නිවණ ලබනලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. ඒ අනුශාසනය පරිද්දෙන් පිළිපදින්නා වූ තෙපි නොබෝ කලකින් ම යම් නිවණක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත් ද, බඹසර කෙළවර කොට ඇති නිරුත්තර වූ ඒ නිවණ ඉහාත්මයෙහි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය” යි වදාළ සේක. දෙවන වර ද පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. දෙවනවර ද භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්ට මෙය වදාළ සේක –පෙ– තෙවන වර ද පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේට “ඇවැත්නි ගෞතමයෙනි, තමුන්නාන්සේ ඒ දුෂ්කර ඉරියවු පැවැත්වීමෙන්, දුෂ්කර පිළිවෙත් පිරීමෙන්, ඒ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්යධර්මයෙන් අධික වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්ත්ථ වූ ඥානදර්‍ශනවිශේෂයක් නො ලැබූසේක. මෙකල්හි චීවරාදිප්‍රත්‍යය බහුල කොට ඇති, වීර්‍ය්‍ය කිරීමෙන් පිරිහුනු, චීවරාදිප්රත්යයබහුලභාවයට පෙරළුනු තමුන්නාන්සේ මනුෂ්යධර්මයෙන් අධික වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්ත්ථ වූ ඥානදර්‍ශනවිශේෂයක් කෙසේ නම් අවබෝධ කළසේක් දැ” යි කීහ.
9. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්ට “මහණෙනි, මින් පෙර ‘මහණෙනි, මම රහත්මි. සම්මා සම්බුදු වෙමි’ යි මවිසින් මෙබඳු වචනයක් කියනලදැ යි තෙපි දන්නහු දැ?”යි අසා වදාළසේක. “ස්වාමීනි, මෙබඳු වචනයක් නො වදාළහු ම ය”. “මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු, නිවණ ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. ඒ අනුශාසනය පරිද්දෙන් පිළිපදින්නා වූ තෙපි නොබෝ කලකින් ම, යම් නිවණක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් ද, බඹසර කෙළවර කොට ඇති නිරුත්තර වූ ඒ නිවණ ඉහාත්මයෙහි ම තුමූ ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වසන්නහු ය” යි (වදාළසේක). භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන්ට (තමන් වහන්සේ ගේ බුදුබව) හඟවාලන්නට හැකි වූසේක් ම ය. එකල්හි පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය මනා කොට ඇසූහ. කන් යොමු කළහ. රහත්බව පිණිස සිත පිහිටවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූසේක.
10. “මහණෙනි, ලාමක වූ ග්‍රාම්‍ය වූ පොදුජනයා විසින් සෙවුනා වූ අනාර්‍ය්‍ය වූ අනර්ත්ථයෙන් යුක්ත වූ වස්තුකාමයන්හි යම් මේ ක්ලේශකාම – සුඛවශයෙන් ඇලීමෙක් වේ ද, (එ ද), දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්ත්ථයෙන් යුක්ත වූ යම් මේ ශරීරයට වෙහෙස දීමක් වේ ද (එ ද යන) මේ දෙ කොටස පැවිද්දා විසින් සේවනය නො කට යුතු ය. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණලද දර්ශනමාර්ගඥානය කරන්නී වූ භාවනාමාර්ගඥානය කරන්නී වූ මධ්‍යමප්‍රතිපදා තොමෝ කෙලෙසුන් සංසිඳීම පිණිස, සිවුසස්දහම් මොනවට දැනීම පිණිස, සිවුසස්දහම් මනා කොට අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස පවතී.”
11. “මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලද දර්ශනමාර්ගඥානය කරන්නී වූ, භාවනාමාර්ගඥානය කරන්නී වූ ඒ කිනම් මධ්යමප්රතිපදාවක් තොමෝ කෙලෙසුන් සංසිඳීම පිණිස, සිවුසස් දහම් මොනවට දැනීම පිණිස, සිවුසස්දහම් මොනවට අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස පවතී ද? ඒ මධ්‍යම ප්‍රතිපදාව මේ ආර්ය්යෂ්ටාඞ්ගිකමාර්ගය මැ යි. ඒ කවරී ද? යත්:– සම්‍යග්දෘෂ්ටි, සම්යක්සඞ්කල්පනා, සම්‍යග්වචන, සම්යක්කර්මාන්ත, සම්‍යගාජීව, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති, සම්‍යක්සමාධි (යන මේ යි). මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණලද දර්ශනමාර්ගඥානය කරන්නී වූ, භාවනාමාර්ගඥානය කරන්නී වූ ඒ මේ මධ්‍යම ප්රතිපදාතොමෝ කෙලෙසුන් සංසිඳීම පිණිස, සිවුසස්දහම් මනා කොට දැනීම පිණිස, සිවුසස්දහම් මනා කොට අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස, පවතී.”
12. “මහණෙනි, මේ (මතු කියන්නේ) දුඃඛාර්‍ය්‍යසත්‍යය යි: ජාතිය ද දුක් (දුකට හේතු) ය. ජරාව ද දුක් ය. ව්‍යාධිය ද දුක් ය. මරණය ද දුක් ය. අප්‍රියයන් හා එක් වීම ද දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන් වීම ද දුක් ය. කැමැති දේ නො ලැබීම ද දුක් ය. කොටින් පඤ්චඋපාදානස්කන්ධයෝ දුක් වෙත්.
13. “මහණෙනි, මේ (මතු කියන්නේ) දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි: යම් මේ තෘෂ්ණාවක් තොමෝ පුනර්භවය ඇති කරන්නී ද, නන්දිරාගය හා එක් වූවා ද, ඒ ඒ භවයෙහි ඇලෙන්නී ද, ඒ තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණා තොමෝ කවරී ද? කාමසහගත තෘෂ්ණා ය, ශාශ්වතදෘෂ්ටිසහගත තෘෂ්ණා ය, උච්ජෙදදෘෂ්ටිසහගත තෘෂ්ණා ය (යන මේයි).
14. “මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය නම් ඒ තෘෂ්ණාව මුළුමනින් නැසීමක් වේ ද, අත්හැරීමක් වේ ද, දුර ලීමක් වේ ද, මිදීමක් වේ ද, නොඇලීමක් වේ ද (යන මේ ය).”
15. “මහණෙනි, මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය නම් මේ ආර්ය්යාෂ්ටාඞ්ගිකමාර්ගය මැ යි. ඒ කවරේ ද? සම්‍යග්දෘෂ්ටි, සම්යක්සංකල්පනා, –පෙ– සම්‍යක්සමාධි (යන මේයි).”
16. “මහණෙනි, මට ‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වී ය. විද්‍යාව පහළ වී ය. ආලොකය පහළ වූයේ ය. මහණෙනි, ‘ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දත යුතු ය’ යි (පෙර මෙනි). මහණෙනි, මට –පෙ– මහණෙනි, මට ‘පිරිසිඳ දන්නා ලද්දේ ය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වී ය. විද්‍යාව පහළ වී ය. ආලොකය පහළ වූයේ ය.”
17. “මහණෙනි, මට ‘මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව උපන. විද්‍යාව උපන. ආලොකය උපන. මහණෙනි, මට ‘ඒ මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය දුරු කට යුතු’ යි –පෙ– මහණෙනි, මට ‘ප්‍රහීණ වූයේ ය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. ඥානය උපන. ප්‍රඥාව උපන. විද්‍යාව උපන. ආලොකය උපන.”
18. “මහණෙනි, මට ‘මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. ඥානය උපන. ප්‍රඥාව උපන. විද්‍යාව උපන. ආලොකය උපන. මහණෙනි, මට ‘ඒ මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය ප්රත්යක්ෂ කට යුතු ය’ යි –පෙ– මහණෙනි, මට ‘ප්රත්යක්ෂ කරණ ලද්දේ ය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. –පෙ– ආලොකය උපන.”
19. “මහණෙනි, මට ‘මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. –පෙ– ආලොකය උපන. මහණෙනි, මට ‘ඒ මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුතු ය.’ යි –පෙ– මහණෙනි, මට ‘වඩනාලද්දේ ය’ යි පෙර නො ඇසූ දහම්හි නුවණැස උපන. ඥානය උපන ප්‍රඥාව උපන. විද්‍යාව උපන. ආලොකය උපන.”
20. “මහණෙනි, යම් තාක් මෙසේ (සත්‍යඥාන – කෘත්‍යඥාන – කෘතඥාන යි) ත්‍රිපරිවෘත්තයක් ඇති (එකී එකී සත්යයයෙක්හි තුන් තුන් ආකාර වශයෙන්) දොළොස් ආකාරයක් ඇති මේ චතුරාර්ය්යසත්යධර්මයන් කෙරෙහි ඇති සැටි දැකීම මට පැහැදිලි නො වී ද, මහණෙනි, ඒ තාක් දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ලෝකයෙහි ද, මහණ බමුණන් සහිත වූ, දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි ද ‘මම නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි’ යි ප්‍රතිඥා නො කෙළෙමි.”
21. “මහණෙනි, යම් දිනක පටන් මෙසේ ත්‍රිපරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති මේ චතුරාර්ය්යසත්යධර්මයන් කෙරෙහි ඇති සැටි දැකීම මට පැහැදිලි වී ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි, මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි යි ප්‍රතිඥා කෙළෙමි. ‘මාගේ අර්හත්ඵලය ස්ථිර ය. මෙ අන්තිම ජාතිය ය. දැන් මතු භවයක් නැත්තේ ය’ යි මට ප්රත්යවේක්ෂාඥානය පහළ වි ය.”
22. මේ වෙය්යාකරණධර්මය දෙසන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට “යම් කිසි ධර්මයක් ප්‍රත්‍යයයෙන් උපන්නේ වේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි රාගාදිරජස් රහිත වූ පහ වූ (දිට්ඨිවිචිකිච්ඡා) මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.
23. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මචක්රය පවත්වනු ලැබූ කල්හි බූමාටුදෙවියෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මෘගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි ලෝකයෙහි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්රාහ්මයකු විසින් හෝ අන්කිසිවකු විසින් හෝ නො පැවැත්විය හැකි වූ නිරුත්තර වූ මේ ධර්මචක්රය පවත්වනලද්දේ ය” යි සාධුනාද පැවැත්වූහ.
24. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජිකදෙවියෝ ශබ්ද ඇස්වූහ. –පෙ– චාතුර්මහාරාජිකදෙවියන්ගේ ශබ්දය අසා තව්තිසාවැසි දෙවියෝ – තව්තිසාවැසි දෙවියන්ගේ ශබ්දය අසා – යාමවැසි දෙවියෝ, යාමදෙවියන්ගේ ශබ්දය අසා – තුසිතවැසි දෙවියෝ – තුසිතදෙවියන්ගේ ශබ්දය අසා – නිම්මානරතිදෙවියෝ – නිම්මානරතී දෙවියන්ගේ ශබ්දය අසා පරනිම්මිතවසවත්තිදෙවියෝ – පරනිම්මිතවසවත්තිදෙවියන්ගේ ශබ්දය අසා බ්රහ්මකායිකදෙවියෝ “භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මෘගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි ලෝකයෙහි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්රාහ්මයකු විසින් හෝ අන් කිසිවකු විසින් හෝ නො පැවැත්විය හැකි වූ නිරුත්තර වූ මේ ධර්මචක්රය පවත්වනලද්දේ ය” යි සාධුනාද පැවැත්වූහ.
25. මෙසේ ඒ ක්ෂණයෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් ශබ්දය ඉතා උස් ව නැංගේ ය. මේ දසදහසක් ලෝකධාතු තොමෝ කම්පිත වූවා ය. තදින් සැලුනී ය. තදින් වෙවුලූ ය. දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්මවා ප්රමාණරහිත වූ මහත් වූ ආලෝකයක් පහළ වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් (චතුරාර්‍ය්‍යසත්‍යධර්මය) දත්තේය භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් (චතුරාර්‍ය්‍යසත්‍යධර්මය) දත්තේ ය” යි ප්‍රීතිවාක්‍යය පැවැත්වූ සේක. මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ” කියා ම මේ නමක් වූයේ ය.
26. ඉක්බිති ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිර තෙමේ දක්නාලද (සිවුසස්) දහම් ඇත්තේ, පැමිණි (සිවුසස්)දහම් ඇත්තේ, වෙසෙසින් බැසගත් (සිවුසස්) දහම් ඇත්තේ, දුරු කළ සැක ඇත්තේ, පහ වූ (කෙසේ කෙසේ දැයි පැවති) සැක ඇත්තේ, විසාරදභාවයට පැමිණියේ, ශාස්තෘශාසනයෙහි අන් කෙනකුන්ගේ පිටිවහලක් නැත්තේ “භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය. භාග්‍යවතුන් වහන්සේ “මහණ, එව. ධර්මය තෙමේ මනා ව දෙසනලද්දේ ය. මනා කොට දුක් කෙළවර කිරීම පිණිස මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙව” යි වදාළ සේක. ඒ වචනය ම ඒ ආයුෂ්මතුන් වහන්සේහට උපසම්පදාව වි ය.
27. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් අවශේෂ වූ භික්ෂූන්ට දැහැමිකතාවෙන් අවවාද කළ සේක. අනුසාසනා කළ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් අවවාද කරණු ලැබූ අනුශාසනා කරණු ලැබූ සිවු දෙනා වහන්සේ අතුරෙන් ආයුෂ්මත් වප්ප ස්ථවිරයන් වහන්සේට ද, ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේට ද “යම් කිසි ධර්මයක් ප්‍රත්‍යයයෙන් උපන්නේ වේ ද, ඒ ‘සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති, පහ වූ දිට්ඨිවිචිකිච්ඡාමල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වි ය. ඔහු දක්නාලද දහම් ඇත්තාහු පැමිණි දහම් ඇත්තාහු, අවබෝධ කළ දහම් ඇත්තාහු, වෙසෙසින් බැසගත් දහම් ඇත්තාහු, දුරු කළ සැක ඇත්තාහු, පහ වූ සැක ඇත්තාහු, නිර්භයභාවයට පැමිණියාහු, ශාස්තෘශාසනයෙහි පරප්රත්යයයක් නැත්තාහු “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු”යි භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්මය තෙමේ මොනවට දෙසන ලද්දේ ය. දුක් කෙළවර කිරීම පිණිස මනා කොට මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළසේක. ඒ වචනය ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය.
28. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (සෙසු භික්ෂූන් විසින්) ගෙණවුත් පිළිගැන්වූ බත් ඇති සේක් දැහැමිකතාවෙන් සෙසු භික්ෂූන්ට අවවාද කළ සේක. අනුශාසනා කළ සේක භික්ෂූහු තිදෙනෙක් පිඬු පිණිස හැසිර යම් අහරක් ගෙණ එත් ද, එ අහරින් ස නම යැපෙත්.
29. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් අවවාද කරණු ලබන්නා වූ අනුශාසනා කරණු ලබන්නා වූ ආයුෂ්මත් වූ මහානාම ස්ථවිරයන් වහන්සේට ද, ආයුෂ්මත් වූ අස්සජි ස්ථවිරයන් වහන්සේට ද “යම් කිසි ධර්මයක් ප්‍රත්‍යයයෙන් උපන්නේ ද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදිරජස් ඇති පහ වූ මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය. ඔහු දක්නාලද දහම් ඇත්තාහු, පැමිණි දහම් ඇත්තාහු, අවබෝධ කළ දහම් ඇත්තාහු, වෙසෙසින් බැසගත් දහම් ඇත්තාහු, දුරු කළ සැක ඇත්තාහු, පහ වූ සැක ඇත්තාහු, නිර්භය භාවයට පැමිණියාහු, බුදුසසුනෙන් පිටත් ඇදහීමක් නැත්තාහු “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්මය තෙමේ මොනවට දෙසනලද්දේ ය. දුක් කෙළවර කිරීම පිණිස මනා කොට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු” යි වදාළ සේක. ඒ වචනය ම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව වී ය.
30. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක: “මහණෙනි, රූපය අනාත්මයි. මහණෙනි, යම් හෙයකින් මේ රූපය ආත්ම වී නම්, මේ රූපය පීඩාව පිණිස නො පවත්නේ ය. ‘මාගේ රූපය මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම් හේතුවකින් රූපය ආත්ම නො වේ ද, ඒ හේතුවෙන් රූපය පීඩාව පිණිස පවතී. ‘මාගේ රූපය මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු රූපයෙහි නො ලැබේ.
31. “මහණෙනි, වේදනාව අනාත්මයි. මහණෙනි, යම්හෙයකින් මේ වේදනාව ආත්මය වී නම්, මේ වේදනාව පීඩාව පිණිස නො පවත්නී ය. ‘මාගේ වේදනාව මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු වේදනාවෙහි ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම්හෙයකින් වේදනාව ආත්ම නො වේ ද, එහෙයින් වේදනාව පීඩාව පිණිස පවතී. ‘මාගේ වේදනාව මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු වේදනාවෙහි නො ලැබේ.
32. “මහණෙනි, සංඥාව අනාත්මයි –පෙ– මහණෙනි, සංස්කාරයෝ අනාත්ම වෙත්. මහණෙනි, යම්හෙයකින් මේ සංස්කාරයෝ ආත්ම වූවාහු නම්, මේ සංස්කාරයෝ පීඩාව පිණිස නො පවත්නාහු ය. ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා මෙසේ නොවෙත්වා’ යනු සංස්කාරයන් කෙරෙහි ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම් හෙයකින් සංස්කාරයෝ ආත්ම නො වෙත් ද, එහෙයින් සංස්කාරයෝ පීඩාව පිණිස පවතිත්. ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා. මෙසේ නො වෙත්වා’ යනු සංස්කාරයන් කෙරෙහි නො ලැබේ.
33. “මහණෙනි, විඥානය අනාත්මයි. මහණෙනි, යම්හෙයකින් මේ විඥානය ආත්ම වී නම්, මේ විඥානය පීඩාව පිණිස නො පවත්නේ ය. ‘මා ගේ විඥානය මෙසේ වේවා මෙසේ නො වේ වා’ යනු විඥානයෙහි ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම්හෙයකින් විඥානය ආත්ම නො වේ ද, එහෙයින් විඥානය පීඩාව පිණිස පවතී. ‘මාගේ විඥානය මෙසේ වේවා. මෙසේ නො වේවා’ යනු විඥානයෙහි නො ලැබේ.
34. “මහණෙනි, ඒ කිමැ යි සිතවු ද? රූපස්කන්ධය නිත්‍ය ද? අනිත්‍ය ද? ස්වාමීනි, අනිත්‍ය යි. යමක් අනිත්‍ය වේ නම්, එය දුක් ද? සැප ද? ස්වාමීනි, දුක් ය, යමක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සුලු ද, එබඳු දෙය ‘මෙය, මාගේ ය. මේ තෙමේ මම වෙමි. මේ තෙමේ මාගේ ආත්මය’ යි දක්නට සුදුසු ද? ස්වාමීනි, ඒ නුසුදුසු ම ය. වේදනා තොමෝ –පෙ– සංඥා තොමෝ –පෙ– සංස්කාරයෝ –පෙ– විඥානය නිත්‍ය ද? අනිත්‍ය ද? ස්වාමීනි, අනිත්‍ය යි. යමක් අනිත්‍ය නම් එය දුක් ද? සැප ද? ස්වාමීනි, දුක් ය. යමක් වනාහි අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සුලු ද, එය ‘මෙය මාගේ ය. මේ තෙමේ මම වෙමි. මේ තෙමේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු ද? ස්වාමීනි, ඒ නුසුදුසු ම ය.
35. මහණෙනි, එහෙයින් මේ ලෝකයෙහි තමා ගේ වූ හෝ බැහැර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ ලාමක වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගතවර්තමාන වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, යම් රූපයෙක් දුරෙහි හෝ සමීපයෙහි හෝ වේ ද ඒ සියලු රූපය “මේ මාගේ නො වේ. මේ තෙමේ මම් නො වෙමි. මේ තෙමේ මාගේ ආත්මය නො වේ ය” යි මෙසේ මෙය යහපත් නුවණින් තත් වූ පරිදි දත යුතු ය. යම් කිසි වේදනාවක් වේ ද, – යම්කිසි සංඥාවක් වේ ද,– යම් කිසි සංස්කාරයෝ වෙත් ද – අධ්‍යාත්මයෙහි වූ හෝ බැහැර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ ලාමක වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගතවර්තමාන වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, යම් විඥානයෙක් දුරෙහි හෝ සමීපයෙහි හෝ වේ ද, ඒ සියලු විඥානය “මේ මාගේ නොවේ. මේ තෙමේ මම නො වෙ මි. මේ තෙමේ මාගේ ආත්මය නොවේ ය’ යි මෙසේ මෙය යහපත් නුවණින් තත් වූ පරිදි දත යුතු ය.
36. මහණෙනි, මෙසේ දක්නා වූ බහුශ්‍රුත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපස්කන්ධයෙහි ද කලකිරෙයි. වෙදනාස්කන්ධයෙහි ද කලකිරෙයි. සංඥාස්කන්ධයෙහි ද කලකිරෙයි. සංස්කාරස්කන්ධයෙහි ද කලකිරෙයි. විඥානස්කන්ධයෙහි ද කලකිරෙයි. කළකිරුණේ නො ඇලෙයි. නො ඇලීමෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යැ යි (පස්විකුම්) නුවණ වේ. ‘ජාතිය ක්ෂය වී ය. බඹසර වැස නිමවන ලදී. (සිවු මගින් කළ යුතු) කටයුතු කරණ ලදී. අර්හත්වය පිණිස (කටයුතු) අනිකක් නැතැ’ යි දනියි.
37. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය (පසසමින්) සතුටු සිතින් පිළිගත්හ. මේ නිර්ගාථක සූත්‍රය දෙසනු ලබන කල්හි පස්වගමහණුන් ගේ සිත් තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් අල්ලා නොගැණීමෙන් ආශ්රවයන්ගෙන් මිදුනාහ.
38. එකල්හි ලෝකයෙහි රහත්හු සදෙනෙක් වෙත්.
පළමු බණවර නිමි.
1. එකල්හි බරණැස යස නම් කුලපුත්‍රයෙක් වෙයි. සිටුපුත් වූ ඔහු සියුමැලි ය. ඔහුට ප්‍රාසාදයෝ තුණක් වෙත්. එක් ප්‍රාසාදයෙක් හේමන්ත ඍතුවට සුදුසු ය. එක් ප්රාසාදෙයක් ග්‍රීෂ්ම ඍතුවට සුදුසු ය. එක් ප්‍රාසාදයෙක් වර්ෂාඍතුවට සුදුසු ය. ඒ යස කුලපුත්‍රතෙමේ වැසිකලට සුදුසු පහයෙහි වැසි සාරමස්හි ස්ත්‍රීන් විසින්ම වාදනය කළ තූර්ය්යයන් ගෙන් හැම ලෙසින් ඉඳුරන් පිණවන්නේ යටපහයට නො බසියි.