Vimānavatthu

Stories of Heavenly Mansions

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

පෙන්වන කොටස් 801-900 න් 1218

940. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසීය.
941. (තමහට හිතාහිත) දන්නා වූ ප්‍රාඥයා විසින් යම් තැනෙක දුන් දෙය මහත්ඵල වේද, ඒ මනාව පිළිපන් භික්‍ෂූන් කෙරෙහි පින් කළ යුතු ය.
942. භික්‍ෂූන් වහන්සේ ඒකාන්තයෙන් මට වැඩ පිණිස වනයෙන් ගමට වැඩිසේක. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති විසින්) එළඹියෙම් වෙමි.
943. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි, ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
944. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය කරණීය විමාන යි.
945. ඉතා උසස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළු ගෙවල්හු සත් සියයෙක් වෙත්.
946. එහි ඔබ සිටිනෙහිය. පානය කරන්නෙහිය. අනුභව කරන්නෙහිය. දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙත්. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
947. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
948. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් දිලියෙන පුණ්‍යර්ද්ධි ඇති වෙහි ද?
949. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම්කිසි කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසීය.
950. යම්බඳු දැයක් දේ නම් එයට එබඳු වූ ම ඵලය නො ලැබෙයි. (විද්‍යමාන වූ) යම් කිසිවක් ම දේ නම් ඒ (නිවැරැදි දැය) දීම ම උතුම් වෙයි. ම විසින් (චීවරකර්‍මය පිණිස) හිදියෙක් දෙනලදී. ඒ දානය ම (මට) උතුම් විය.
951. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
952. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
සුචිවිමාන යි.
953. ඉතා උසස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
954. එහි (තෝ) සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්‍යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්‍ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
955. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
956. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?
957. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසී ය.
958. මම පෙරැ අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් වූයෙමි.
959. පහ වූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති භික්‍ෂු නමක් දිටිමි. උන්වහන්සේට පහන් වූයෙම් සියතින් හිදියක් පිදුවෙමි.
960. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
961. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය සූචිවිමාන යි.
962. (දිව්‍ය පුත්‍රය) ඉතා සුදු කඳක් ඇති මහත් දළ ඇති නිදොස් වූ බල ඇති මහාජව ඇති මොනවට සැරසූ නැග යාමට සුදුසු වූ උතුම් ඇතකු පිට නැගී අහසින් මෙහි පැමිණියෙහි.
963. ඇත්රජුගේ දෙදළෙහි පැහැදි දිය ඇති සුපිපි පියුම් ඇති දෙපොකුණෙක් මැවිණ. පියුම් මත පසඟතුරු මුළුහු වැයෙති. මේ මනහර දෙවඟනෝ ද නටත්.
964. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය (තෝ) දිව්‍යර්ද්ධියට පැමිණියෙහි මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇති වෙහි ද?
965. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසී ය.
966. පහන් සිත් ඇති මම නටුයෙන් ගිලිහුණු මල් අටක් සියතින් කාශ්‍යප බුදුරදුන්ගේ සෑයෙහි පිදුවෙමි.
967. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
968. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද? (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
නාගවිමන යි.
969. සියල්ල සුදු වූ ඇතුනට උතුම් වූ මහත් ඇතකු පිට නැගී ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලද්දේ දවහත් තරුව මෙන් සියලු දිගුන් බබුළුවමින් වනයෙන් වනයට යෙහි.
970. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද? එ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
971. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි වෙහි ද?
972. වඞ්ගීස තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසීය.
973. මම මිනිසුන් අතරැ මිනිස් වූයෙම් පසැස් ඇති බුදුරදුන්ගේ උපාසකයෙක් වීමි. පණිවායෙන් දුරුවූයෙම් වෙමි. ලෝකයෙහි නුදුන් දෙය හැම ලෙසින් දුරුකෙළෙමි.
974. මත්පැන් නො බීමි. බොරු නො කීමි. සිය බිරිය සමගම සතුටුවූයෙම් වෙමි. පහන් සිත් ඇත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහදන් දුනිමි.
975. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
976. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය නාගවිමාන යි.
977. (එම්බා දිව්‍යපුත්‍රය) සර්‍වධවල වූ දිව්‍යමය වූ හස්තිවාහනයෙකින් පැමිණියා වූ කවරෙක් අහසෙහි තූර්‍ය්‍යවාදනඝෝෂා ඇති ව පුදනු ලැබේ ද?
978. දෙවියෙක් වෙහි ද? ගන්‍ධර්‍වයෙක් වෙහි ද? නැතහොත් පුරින්‍ද ද නම් ශක්‍රයා වෙහි ද? එය නො දන්නමෝ තා විචාරමු. අපි එය කෙසේ දනිමු ද?
979. දෙවි නො වෙමි. ගන්‍ධර්‍ව නො වෙමි. පුරින්‍දද නම් ශක්‍ර ද නො වෙමි. සුධර්‍ම නම් යම් දෙවි කෙනෙක් වෙත් ද, මම ඔවුන් අතරැ එක්තරා එකෙක්මි.
980. (එම්බා දිව්‍යපුත්‍රය) සුධර්‍ම නම් දෙවි වූ තාහට සකසා ඇඳිලි බැඳ විචාරමි. මිනිස් ලොවැ කිනම් කර්‍මයක් කොට සුධර්‍ම නම් දිව්‍ය නිකායයෙහි උපදී ද?
981. යමෙක් උක්ගෙයක් තණගෙයක් පිළිගෙයක් දෙන්නේ ද, හෙතෙමේ මේ තුන් ගෙයින් එක්තරාවක් දී සුධර්‍ම නම් දිව්‍ය නිකායයෙහි උපදී.
තෘතීය නාගවිමාන යි.
982. මනා රුක්හරයෙන් කළ දැඩි දුන්නක් ගත්තෙහි? එහි (එක් කෙළවරක්) ඔබා ගෙන සිටිනෙහි, ඒ තෝ කැත්රජකුමරෙක් වෙහි ද? නැතහොත් වෙනෙහි හැසිරෙන වැද්දෙක් වෙහි ද?
983. වහන්ස වෙනෙහි හැසිරෙන මම අස්සකරට රජුගේ පුත්‍රයෙමි. මහණ ඔබට මාගේ නම කියමි. සුජාත යැයි මා දනිත්.
984. මම මුවන් සොයන්නෙම් මහවලැ වැදුනෙම් මුවකු නො දිටිමි. මම ඔබ ම දැක සිටියෙම් වෙමි.
985. මහ පිනැත්ත තාගේ මේ පැමිණීම මනා පැමිණීමෙකි. තව ද තාගේ පැමිණීම නො මනා පැමිණීමෙක් නො වෙයි. මෙතැනින් දිය ගෙන තාගේ පා දොවා ගනුව.
986. ගිරිලෙනෙන් ගෙනෙන ලද මේ පැන් ද ඉතා සිහිල් ය. රාජපුත්‍රය එයින් පැන් බී (මේ) ඇතිරියෙහි හිඳුව.
987. මහර්ෂීන් වහන්ස ඒකාන්තයෙන් ම ඔබ වහන්සේගේ වචනය යහපත් ය. ඇසිය යුතු ය. නිදොස් ය. අරුත් සහිත ය. මිහිරි ය. අරුත් දැන කියන්නෙහි ය.
988. ඍෂි ශ්‍රේෂ්ඨය වෙනෙහි වසන ඔබ වහන්සේට කිනම් ඇල්මෙක් දැ යි පුළුවුස්නා ලදුයේ කියනු මැනවි. ඔබ වහන්සේගේ වදන් මග අසා අර්‍ත්‍ථ ධර්‍ම පද සඞ්ඛ්‍යාත ශීලා දී ධර්‍මකොට්ඨාසයෙහි (අපිදු) පි ළිපදිම්හ.
989. (පින්වත්) කුමාරය සියලු සතුන්ට හිංසා නො කිරීම සොරකමින් මිසහසරින් රහමෙරින් වැළකීම අපට රුස්නේ වෙයි.
990. (මෙකී පව්කමින්) වැළකීම ද (කාය සමතාදීන්ගේ වශයෙන්) සමව හැසිරීම ද ඇසූ පිරූ තැන් ඇති බව ද කළගුණ දන්නා බව ද යන පැසසිය යුතු මේ දහම් මෙලොව ම (නුවණැත්තන් විසින්) පැසසිය යුතු වේ.
991. රාජපුත්‍රය පස්මසකින් මොබ නුදුරෙහි තාගේ මරණය දනුව. (එහෙයින්) තමා (අපාය දුකින්) මුදව.
992. ඒ මම කවර දනව්වකට ගොස් කිනම් කර්‍මයක් කිනම් පුරුෂකාර්‍ය්‍යයක් කොට කවර නම් හෝ විද්‍යාවකින් පරාමරණ නැත්තෙම් වන්නෙම් දැයි.
993. රාජපුත්‍රය සත්‍ව තෙමේ යම් තැනකට ගොස් ජරාමරණ නැත්තේ වේ ද, එබඳු ප්‍රදේශයෙක් එබඳු කර්‍මයෙක් එබඳු විද්‍යාවෙක් එබඳු පුරුෂකාර්‍ය්‍යයෙක් විද්‍යමාන නො වේ.
994. මහත් ධන ඇති මහත් භොග ඇති රාෂ්ට්‍රාධිපති වූ බොහෝ ධනධාන්‍ය ඇති ක්‍ෂත්‍රියයෝ වෙත් ද, ඔහු ද ජරාමරණ නැතියෝ නො වෙත්.
995. ඉදින් සූර වූ වීර වූ වික්‍රමයෙන් සතුරන්ට පහර දෙන සුලු අන්‍ධක වෙණ්හු පුත්‍රයයි ප්‍රසිද්ධ වූ (කුල පරපුරෙන්) චන්‍ද්‍රසූර්‍ය්‍යාදීන් බඳු වූ ඒ ඔහු ද ආයුක්‍ෂයට පැමිණියාහු නටහ.
996. යම් ක්‍ෂත්‍රිය කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් වෛශ්‍ය කෙනෙක් ශුද්‍ර කෙනෙක් චණ්ඩාල කෙනෙක් පුක්කුස කෙනෙක් වෙත් ද ඔහු ද අන්හු ද වෙත් නම් ඒ හැමදෙන ද ජාතියෙන් ජරා මරණ නැතියෝ නො වෙත්.
997. යම් කෙනෙක් අට්ටකාදී ඍෂීන් විසින් නුවණැසින් දුටු (කල්පව්‍යාකරණාදී) අඞ්ග සයෙන් යුක්ත වූ වේදය පිරිවහත් ද, මොහු ද අන්හු ද වෙත් නම් ඒ හැමදෙන ද විද්‍යාවෙන් ජරාමරණ නැතියෝ නො වෙත්.
998. ශාන්ත කායවාග්කර්‍ම ඇති සංයත වූ සිත් ඇති තපස් ඇසුරු කළ යම් ඍෂි කෙනෙකුත් වෙත් ද, ඒ තපස්වීහු ද සුදුසු කල්හි ශරීරය හැර දමත්.
999. වැඩූ සිත් ඇති සිව් මගින් කිස ඇති ආස්‍රව රහිත වූ රහත්හු ද පින් පව් ගෙවාලීමෙන් මේ සිරුර බහා තබත්.
1000. මහා මුනිවරය ඔබ විසින් මොනවට දෙසන ලද ගාථාවෝ අර්‍ත්‍ථ සහිතයහ. (ඒ) මනා දෙසුමෙන් ධර්‍මසංඥාවට පැමිණියෙම් වෙමි. ඔබ වහන්සේ ද මට පිහිටවන සේක්වා.
1001. (එම්බා කුමාරය) තෝ මා නහමක් සරණ යව. මම ශාක්‍යපුත්‍ර වූ යම් මහාවීරයක්හු සරණ කොට ගියෙම් ද, උන්වහන්සේ ම සරණ කොට යව.
1002. නිදුකාණෙනි ඔබ වහන්සේගේ ඒ ශාස්තෘ තෙමේ කවර දනව්වෙකැ වේ ද, මම ද අප්‍රතිපුද්ගල වූ (ඒ) බුදුරදුන් දකින්නට යන්නෙමි.
1003. (පින්වත) ඔක්කාකකුලයෙහි උපන් ඒ පුරුෂ ශ්‍රේෂ්ඨ තෙමේ එහි පෙරදිග දනව්වෙහි විය. හෙ තෙමේත් පිරිනිවියේ වෙයි.
1004. නිදුකාණෙනි ඉදින් ඔබගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් ඇසුරු කිරීම පිණිස යොදුන් දහසක් වුව ද යන්නෙමි.
1005. නිදුකාණෙනි යම් හෙයකින් වනාහි ඔබගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවී සේක් ද, මම ඒ පිරිනිවියා වූ ද මහාවීරයන් වහන්සේ සරණ කොට යෙමි.
1006. මම බුදුන් සරණ කොට යෙමි. නරදේවයන් වහන්සේගේ අනුත්තර වූ ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි.
1007. (ඒ මම) පණිවායෙන් වහා දුරුවෙමි. ලොවැ නුදුන් දෙ ගැන්ම දුරලමි. මත්පැන් නො බොන්නෙම් වෙමි. මුසවා නො කියමි. සිය බිරියගෙන් ම තුටු වෙමි.
1008. යම් සේ මහත් කැලුම් ඇති හිරු අහසෙහි රිසි රිසි දිගට යන්නේ බබළා ද, හාත්පසින් සත් යොදුනක් වටවූ තාගේ මේ මහාරථය එබඳු වේ.
1009. (හේ) හාත්පසින් රන්පටින් වැසුණේ වෙයි. එහි වියගස මුල මුතු මැණික් වලින් විසිතුරු කරන ලද්දේ වෙයි. රන්රිදී පටයන්හි මොනවට කළ වෙරළුමිණිමුවා මල්කම් ලියකම් ඈ රේඛාවෝ රිය හොබවත්.
1010. මේ රියහිස වෙරළුමිණියෙන් කරන ලදී, මේ වියගහ රතු මැණිකෙන් විසිතුරු කරනලදී. සිතට රිසි ගමන් ඇති මේ අශ්වයෝ ද රනින් හා රිදියෙන් හා කළ රැහැනින් බැඳුණාහු හොබිත්.
1011. දහසක් අසුන් යෙදූ විජයොත් රිය අරා සිටි සක්දෙවිඳු මෙන් ඒ තෝ ද රන්රියෙහි සිටිනෙහි, යසස් ඇත්ත තා විසින් මේ මහත් යසස කෙසේ ලබන ලද දැයි මම දක්‍ෂ වූ තා විචාරමි.
1012. වහන්ස මම පෙරැ සුජාත නම් රාජපුත්‍රයෙක් වීමි. ඔබ වහන්සේත් අනුකම්පාවෙන් කුශල ධර්‍ම සඞ්ඛ්‍යාත සංයමයෙහි මා පිහිටුවූ සේක.
1013. මා පිරිහීගිය ආයු ඇතියෙකැයි දැන සුජාත මෙය පුදව, එය තා හට වැඩ පිණිස වන්නේයයි ශාස්තෲන් වහන්සේගේ සාරීරික ධාතු දුන්සේක.
1014. මම මැනැවින් යෙදුණෙමි. ඒ ධාතූන් ගඳින් මලින් පුදා මිනිස් සිරුර හැරැපියා නඳුන් වෙනෙහි උපන්මි.
1015. නන්වැදෑරුම් පක්‍ෂි සමූහයාගෙන් යුත් මනරම් වූ නඳුනුයනෙහි නෘත්‍යගීතයෙන් හා දිව්‍යප්සරාවන්ගෙන් හා පෙරටු කරන ලද්දෙම් සිත් අලවා වෙසෙමි.
චූළරථ විමාන යි.
1016. දහසක් අසුන් යෙදූ සොඳුරු වූ නන් අයුරින් විසිතුරු කරණ ලද මේ රියට නැඟ උයන්බිම සමීපයට යන්නා වූ (තෝ) භූත පති වූ පුරින්‍දද නම් සක්දෙවිඳු මෙන් (බබළහි).
1017. තාගේ රන්මය රිය දෙපස වේදිකාවෝ පිල්කඩ තෙලෙහි පිහිටි යට දෙකොන් පෙදෙසින් මොනවට හැනී සිටියහ. මොනොවට පිහිටුවන ලද ටැම් සමූහයෝ සිප් ඇදුරන් විසින් නිමවන ලද්දවුන් වැනියහ. (මෙබඳු පිල්කඩ ඇති බැවින් තාගේ මේ රථය) පුණුරැසි සඳමෙන් බබළා.
1018. මේ රිය රන් දැලින් වසන ලද්දේ ය. බොහෝ වූ නන් රුවනින් විසිතුරු කරන ලද්දේ ය. කන්කලු හඬ ඇත්තේ ය. මොනොවට බබළන සුලු ය. සෙමර ගත් අත් ඇති දෙවියන් කරණ කොට ගෙන අතිශයින් බබළයි.
1019. මේ රිය සක්නැබහු ද සිතින් මවන ලද්දවුන් වැනියහ. රියසක් පිළිබඳ අන්තයෙහි වූ නිම් වළලුයෙන් ද අරයන් පිළිබඳ නන් රුවනින් බබළන අකුරින් ද සරසන ලද නන්වන් නොයෙක් සියගණන් රොදින් විසිතුරු බවට පැමිණි මේ නැබහු ද සතෙරත සඞ්ඛ්‍යාත විද්‍යුල්ලතා මෙන් බබළත්.
1020. මේ රිය නන්වැදෑරුම් ලියකම් ඈ විසිතුරුවලින් ගැවසී ගත්තේ ය. මහත් වූ නිම් වලල්ල ද නොයෙක් රැස් ද ඇත්තේ ය. එල්බෙන කිංකිණි දැල් ඇති ඒ මනහර වූ නාදය වැයූ පසඟතුරු නේමින්ගේ නද සේ ඇසේ.
1021. මෙහි රියහිස විසිතුරු ය. සඳමඬල වැනි මැණික් ඔබ්බන ලද්දේ ය. හැම කල්හි පිරිසිදු ය. සිත්කලු ය. පැහැසර ය. සුවර්‍ණ රෙඛාවන්ගෙන් යුක්ත ය. වෙරළුමිණි රොදක් සේ අතිශයින් හොබී.
1022. මිණිමුවා සඳැස් ලකුණින් ඔවිදුනාලද ආරෝහ පරිණාහයෙන් යුක්ත වූ සෝභන ගමන් ඇති තම පමණට වඩා අධික ව පෙනෙන්නා වූ වැඩුණු සියලු අඟපසඟ ඇති මහත් ඉදුහ ඇත්තා වූ බලවත් වූ ශීඝ්‍ර ගමන් වෙග ඇති මේ අශ්වයෝත් ඔබගේ සිත දැන සිතට අනුකූල ව ම පවතිත්.
1023. මේ සියලු අශ්වයෝ ද සමාන ජව ඇත්තාහු සතර පයින් යන්නාහු තාගේ සිත දැන එසේ ම පවතිත්. මොළොක් සැහැවි ඇති නො කැලඹිලි ඇති සතුට පවසන උතුම් අස්හු සමව රිය උසුලත්.
1024. මොනවට කළ (ක්‍ෂුද්‍රක ඝණ්ටාදී) අශ්වාලඞ්කාරයෙන් අධික වූ සලන අස්හු (කිසි විටෙකැ සෙමෙර බර ද කෙසුරු බර ද වලග ද) වෙසෙසින් සලත්. (කිසි විටෙකැ පියෙන් පිය තබා) යෙත්. (කිසි විටෙකැ) අහස්හි පැන යෙත්. ඔවුන්ගේ මනෝඥ වූ ස්වරය වයන ලද පසඟතුරු නද සේ ඇසේ.
1025. රිය හඬ ද පළඳනා හඬ ද කුර ගැටෙන හඬ ද (වරින් වර අසුන් පැවැත් වූ) හේසාරවය ද ප්‍රමුදිත වූ දෙවියන්ගේ ඝෝෂය ද චිත්‍රලතා වනයෙහි ගන්‍ධර්‍වදිව්‍යපුත්‍රයන්ගේ පඤ්චාඞ්ගික තූර්‍ය්‍යනාදය මෙන් ඉමිහිරි ව ඇසේ.